අනාගත ලෝකයේ බල-පුළුවන්කාරයා – Tesla Motors අධිපති ඉලොන් මස්ක්


Elon Musk

බලය ලැබෙනවා නම් ඕනෑම දෙයක් කරන්නට අපේ රටේ සමහරක් මෙන්ම සම-හරක් දේශපාලනඥයින්ද රැසක් සිටින බව ඔබට දැන් හොඳින්ම අවබෝධව තිබෙනවා වන්නට පුළුවන්. එසේ නොමැතිනම් එක්කෝ ඔබේ දේශපාලන බුද්ධිය ළදරු අවදියේ හෝ ඔබ යම් පක්‍ෂයකට හෝ කණ්ඩායමකට අන්ධ භක්තියෙන් යුතුව අදහන පුද්ගලයෙක් හෝ විය හැකියි. බලය යනු දේශපාලන බලයම පමණක් නොවෙයි. එය විවිධාකාරයි. සමහරවිට මුදල් බලය, බුද්ධිමය බලය මේ සියල්ලටම වඩා බලවත් විය හැකියි. අවාසනාවට ලංකාවේ බුද්ධිමය බලය වෙනත් බොහෝ දෑ වලින් යටපත් වී තිබීම නිසා, රට සෑම අංශයකින්ම පිටුපසට ගමන් කරනවා.

අපේ රට මෙසේ පිටුපසට ගමන් කරද්දී, ලෝකය බොහෝ දුරක් ඉදිරියට ගමන් කරනවා. මේ සියල්ල අවසන අප නිද්‍රාවෙන් ඇහැරී ලෝකය කොහේදැයි බලද්දී, අපට අල්ලන්නට බැරි තරම් දුරක් එය ගමන් කර අවසන්… මේ ඉදිරි ගමනේදී  විවිධාකාර පුද්ගලයින් විසින් විවිධාකාර එකතු කිරීම් ලෝකයට ලබා දෙනවා. සර් එඩ්වඩ් ජෙනර් වසූරිය එන්නත සොයා ගැනීම, ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං පෙනිසිලීන් සොයා ගැනීම, අභ්‍යන්තර දහන එන්ජිම සහිත මෝටර් රථයේ නිමැවුම, මෙන්ම නිකොලා ටෙස්ලාගේ විද්‍යුතය සම්බන්ධ සොයාගැනීම් වැනි සුසමාදර්ශීය වෙනසක් (Paradigm Shift) ඇති කළ හැකි සොයාගැනීම් නිසා ලෝකය ගමන් කරමින් තිබූ දිශාව වෙනතකට යොමු වුනු වාර ගණන බොහොමයක්.

ලොව ප්‍රධාන පෙලේ මෝටර් රථ සමාගම් සහ ඉන්ධන සමාගම්වල දායකත්‍වය වුනේ ලොව පුරා පෙට්‍රල් සහ ඩීසල් වලින් ධාවනය වන මෝටර් රථ නිශ්පාදනය සහ ප්‍රචලිත කිරීමයි. මේ ව්‍යාපාර දෙක එකිනෙක බැඳී අන්‍යොන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීම නිසා වෙනත් විකල්පයක් එලි දක්වන්නට ලැබුණේම නැහැ. එසේම එවැනි විකල්පයක් පැමිණියත්, වැඩිකල් පැවැත්මකට ඉඩක් ලැබුණේද නැහැ. කැලිෆෝනියා ප්‍රාන්තයේ වායු විමෝචන ප්‍රතිපත්තියට අනුව ප්‍රධාන පෙළේ ඇමරිකානු මෝටර් රථ සමාගමක් වන GM Motors විසින් ලොව ප්‍රථම විද්‍යුත් මෝටර් රථය GM EV1 ලෙසින් එළිදැක්වූයේ 1996 වසරේදීයි. මෝටර් රථයේ අයිතිකරුවන් පවසන පරිදි එය ඉතාම සුමට, ධාවනය කිරීමට පහසු සහ විනෝදයක් ගෙන දෙන වාහනයක් වුනා. එකළ එය කිලෝවොට් පැය 18.7 ක ධාරිතාවයකින් යුත් ඊයම් අයන බැටරි පද්ධතියකින් බල ගැන්වුනා. එම බලයෙන් එම රථයට සැතපුම් 70 ත් 100 ත් අතර දුරක් ධාවනය කිරීමට හැකි වීම එකළ සුවිසල් ජයග්‍රහණයක්. නමුත්, කුමක් හෝ කරුණක් නිසා කැලිෆෝනියා ප්‍රාන්තය එම වායු විමෝචන ප්‍රතිපත්තිය නැවත ලිහිල් කරන විට, GM සමාගම එම මෝටර් රථ නිෂ්පාදනය නැවැත්වූවා පමණක් නොවෙයි, විකුණා තිබූ සියළුම EV1 මෝටර් රථ නැවත ලබාගෙන සියල්ලම විනාශ කර දැමුවා. මෙය ලෝකයේ පරිසර හිතකාමී බොහෝ දෙනාගේ කණස්සල්ලට හේතූ වූ අතර මේ සම්බන්ධ සිදුවීම් ජාලය Who Killed the Electric Car නම් වාර්තාමය චිත්‍රපටයෙන් මනා ලෙස සාකච්ඡා කෙරුණා. ඉන්පසු ගෙවී ගිය දහසය වසර තුළ විද්‍යුත් මෝටර් රථ නිපැයුමට විවිධාකාර පර්යේෂණ සිදු කෙරුණා.

පළමු ටෙස්ලා විද්‍යුත් මෝටර් රථය – Tesla Model S

2012 වසරේ ජුනි මාසයේ විද්‍යුත් මෝටර් රථ බලාපොරොත්තුව නැවතත් අළුත් කරමින් ඉලොන් මස්ක් විසින් ලොව පළමු ටෙස්ලා විද්‍යුත් මෝටර් රථය ලොවට හඳුන්වා දුන්නේ අනාගත මෝටර් රථ ලෝකයේ සුසමාදර්ශීය පෙරළියක් ඇති කරමින්. එපමණක් නොවෙයි, මේ මෝටර් රථය සුපිරි පහසුකම් වලින් සමන්විත, පස් දෙනෙකුට සුව පහසුවෙන් යා හැකි, 0 සිට පැයට සැතපුම් 60 ක ත්වරණයක් තත්පර 5 කින් ලබාගත හැකිවන පරිදි සැකසූ පළමු විද්‍යුත් මෝටර් රථය වුනා. ඉහත කී සියළුම පරාමිතීන් ඉන්ධන වලින් ධාවනය වන වෙනත් සියළුම සුපිරි මෝටර් රථ වල දැකිය හැකි ලක්‍ෂණ නිසා, මෙම හඳුන්වාදීම ඉන්ධන වලින් දහනය වන මෝටර් රථ වෙළඳපොලේ සුවිසල් වෙනසක් ඇති කිරීමට සමත් වුනා.

මේ හඳුන්වාදීමත් සමගම මෙතෙක් ලෝකය හඳුනාගෙන නොසිටි නව වීරයෙකු ලොවට පහළ වුනා. ඒ 1971 ජුනි මස 28 වන දින දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියාහි උපත ලබා, දකුණු අප්‍රිකාව, ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව යන රටවල් තුනෙහිම පුරවැසිභාවය ලබා සිටින ඉලොන් රීව්ස් මස්ක් නම් ලොව 80 වන ධනවත්ම පුද්ගලයායි.

ටෙස්ලා සමාගම මුලින්ම හඳුන්වා දුන් රථය වන Tesla Model S, රථය වෙනත් මෝටර් රථ සියල්ලටම වඩා වෙනස් වීම නිසාම එහි වටිනාකම ඉතා ඉහළ ගියා. එහි නවතම සංස්කරණයන් නවීනතම පහසුකම් වලින් සමන්විත අතර 0 සිට පැයට සැතපුම්  60 දක්වා ත්වරණය  දැන් තත්පර 2.5 කින් ලබා ගැනීමේ හැකියාව සහිතයි. එයට අමතරව BMW මෝටර් රථ සමාගම විසින් හඳුන්වා දුන් වංගුවකදී ප්‍රධාන ලාම්පුවල දිශාව වෙනස් කර දැල්වීම මගින් ඉදිරියේ ආලෝකය කාර්යක්‍ෂම කිරීම, ප්‍රධාන සංඥා පුවරුව සම්පූර්ණයෙන්ම ස්පර්ශක සංවේදක තිරයක් (Touch Screen) භාවිතයෙන් පාලනය කිරීම. ජීව රසායනික සාධක වන හානිකර බැක්ටීරියා සහ වෛරස රථය තුළට ඒම පාලනය කරන සුවිශේෂ වායු පෙරණයන් (Air Filters) භාවිතය, අර්ධ හෝ පූර්ණ ස්වයංකාරීත්‍වය. කෘත්‍රීම බුද්ධිය භාවිතා කිරීමේ සුවිශේෂ හැකියාව මගින් ගමන් කළ පාර හෝ තමන් යාමට සිතා සිටින මාර්ගයක මාර්ග තොරතුරු මනා ලෙස ගබඩා කරගැනීම සහ ඒ මාර්ගයේ ධාවනය වන අනෙකුත් Tesla වාහනවලට අදාල සංඥා නිකුත් කිරීම මගින් ඒ වාහනවල ගමන පහසු කිරීම වැනි ඉතා උසස් ගණයේ තාක්‍ෂණික මෙවලම් භාවිතා කරනවා.

ටෙස්ලා හි නවතම මෝටර් රථය වූ Model S 100D තුළ කිලෝවොට් පැය 100 ක ධාරිතාවයකින් යුතු බැටරි සංයුක්තයක් අන්තර්ගතයි. එමගින් සැතපුම් 335 ක් නොනවත්වා ධාවනය කළ හැකියි. 2016 වසරේ නොවැම්බර් මාසය වන විට ලොව පුරා Tesla Model S වාහන එක්ලක්‍ෂ පනස්දහසකට වඩා විකිණී තිබෙනවා. 2013 වසරේදී ලොව හොඳම හරිත වාහනය ලෙස කිරුළු පළන් Model S කාරයට ලැබී ඇති සම්මාන ගණන බොහොමයක්, ඒ අතරින් සියවසේ කාරය ලෙස කිරුළු පැළඳීම විශේෂයි.

ඉලොන් මස්ක් ටෙස්ලා සමාගම ආරම්භ කළ පුද්ගලයා නොවෙයි. එය 2003 ජුලි මස  ඇරඹුවේ Martin Eberhard සහ Marc Tarpenning යන දෙදෙනා විසින්. ඉලොන් මස්ක් 2004 වසරේ පෙබරවාරි මස සමාගමට ආයෝජනය කරන තෙක් පාලනය කරන ලද්දේ මේ දෙදෙනා විසින්. ඉලොන් මස්ක් විසින් සමාගම අයිතිකරගත් පසු ඔහු එහි ප්‍රධාන විධායක නිලධාරී සහ සමාගමේ සභාපතිත්‍වය භාරගනු ලැබුවා. ටෙස්ලා සමාගම මුල්ම විද්‍යුත් මෝටර් රථය නිපදවනු ලැබුවේ 2008 වසරේ  Tesla Roadsterin 2008 නිපදවීමත් සමගයි. එය රටවල් 31 ක ඒකක 2500 ක් විකුණනු ලැබුවා.ඉන්පසු 2012 ජුනි 22 වන දින Tesla Model S එළිදක්වනු ලැබුවා. Tesla Model S තරඟ කළේ කුඩා ජීප් රථ සහ කුඩා වෑන් සංකල්ප සමගයි. 2012 පෙබරවාරි 09 වන දින එළි දැක්වුනු Model X සංකල්ප මෝටර් රථය නිශ්පාදනය 2015 වසරේ සැප්තැම්බර් වනතුරු කල් දමා එළිදැක්වූවා. මෙයට අමතරව ටෙස්ලා සමාගම ඩේම්ලර් බෙන්ස්, සහ ටොයොටා සමාගම්වලට මෝටර් රථ එන්ජින් තනා දීමත සිදු කරනවා. ඒ නිසාම ටොයොටා සහ ඩේම්ලර් බෙන්ස් සමාගම් දෙකම දිගුකාලීන ආයෝජකයන් වශයෙන් ටෙස්ලා සමාගමට දායකත්‍වය සපයනවා.

ටෙස්ලා සමාගමට අමතරව ඉලොන් මස්ක් සතු සමාගම් බොහොමයක් තිබෙනවා.

Zip2

1995 වසරේදී මෙම සමාගම මස්ක් විසින් ඇරඹුවේ සිය පියාණන්ගෙන් ණයට ඉල්ලාගත් ඇමරිකානු ඩොලර් 28,000 ක මුදලින්. සංචාරකයන්ට සිය ගමන් පහසුව සඳහා මඟපෙන්වන වෙබ්පිටුවක් නිර්මාණය කළ ඔවුන් එය The New York Times සහ the Chicago Tribune පුවත්පත්වලට අලෙවි කළා, පසුව එය Compaq සමාගම විසින් මිලදී ගත්තේ ඩොලර් මිලියන 307 කටයි, එයින් මස්ක් ලැබූ කොටස ඩොලර් මිලියන 22ක්.

X.com and PayPal

ඉන් අනතුරුවයි මස්ක් විසින් පළමු ලාභයෙන් ලබාගත් මුදලින් මිලියන 10 ක් ආයෝජනය කර, අප බොහෝ දෙනා දන්නා, නමුත් වැඩි විස්තරයක් නොදන්නා Paypal සමාගම 1999 දී ඇරඹුවේ. මෙය අන්තර්ජාලයෙන් මුදල් හුවමාරු කරගන්නා අයට පහසුකම් සපයන සමාගමක්. පසුව එය Confinity නම් සමාගම සමග එකතු වී කටයුතු කළා. කෙසේ වෙතත් බොහෝ දෙනාට සිදුවනවා සේම 2000 දී ඔහු දැරූ ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඔහුව පහ කරනු ලැබුවා.  2002 දී , PayPal සමාගම  eBay විසින් ඩොලර් බිලියන 1.5 කට අත්පත් කර ගනිද්දී මස්ක් මිලියන 165 කට හිමිකම් කියූවා.

SpaceX

2001 මස්ක් සිය සිහිනයක් වූ අඟහරු ක්‍ෂෙමභූමිය “Mars Oasis”; නම් අඟහරු ලෝකයේ ජීවිතය ගත කිරීමට අවශ්‍ය හරිතාගාරයක් සැකසීමේ සිහින ව්‍යාපෘතියට අතගැසුවා. එහිදී සිය රුසියානු මිතුරන් සහ ව්‍යාපෘති සහචරයන් සමග දෙවතාවක්ම සිය ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමට යත්න දැරුවත්, ඔවුන් රොකට් යානයකට ඉදිරිපත් කළ මුදල් අවශ්‍යතාවය වන ඇමරිකානු ඩොලර් බිලියන 8 ඉතා වැඩි බව මස්ක්ට තේරුම් ගිය නිසා ඔහු රොකට් තාක්‍ෂණය පිළබඳ හදාරන්නට පටන් ගත්තා. එහිදී රොකට් යානයක මිලෙන් අමුද්‍රව්‍ය සඳහා වැයවන්නේ සියයට තුනක ප්‍රමාණයක් බව ගණන් බැලූ ඔහු තමන්ට අවශ්‍ය රොකට් යානා ඔහුම නිපදවන්නට තීරණය කළා. ඊට පෙර ඔහු උපයා තිබූ ධනයෙන් මිලියන 100 ක් ආයෝජනය කර 2002 මැයි මාසයේ ඔහු SpaceX සමාගම ආරම්භ කළා. එය දැනට ලෝකයේ පවතින විශාලතම පෞද්ගලික රොකට් යානා නිෂ්පාදනය කරන ආයතනය වන අතර බොහොමයක් ව්‍යාපෘති NASA ආයතනය සමග ක්‍රියාත්මක කරනවා.

අඟහරු වායුගෝලය ඔක්සිජන් රහිත නිසා සිය රොකට් විදුලියෙන් ක්‍රියාකරවීමට සිදුවන බව ඔහු අදහස් දැක්වූවා. ඒ අනුව 2018 දී සිය ප්‍රථම රොකට්ටුව අඟහරු මත ගොඩබැස්සවීමට ඔහු සැලසුම් කර තිබෙනවා. තව දුරටත් සැලසුම් කරන ඔහු 2022 වනවිට පළමු මිනිසුන් රහිත රොකට්ටුවත්, 2024 දි පළමු මිනිස් පා සළකුණ අඟහරු මත තැබීමටත් ඔහු සැලසුම් කර තිබෙනවා.

Tesla

ටෙස්ලා සමාගම ඉලොන් මස්ක් සතුව තිබුණත්, එය ආරම්භ කළේ Martin Eberhard සහ Marc Tarpenning, දෙදෙනා විසින් 2003 ජුලි මාසයේදී. 2004 දී ඔහු සිය ආයෝජනයන් වැඩි කරමින් ටෙස්ලා මෝටර්ස් හි සභාපතිවරයා වශයෙන් අය අත්පත් කරගත්තා. එසේම ප්‍රථම විද්‍යුත් මෝටර් රථය වූ Roadster හි සියළුම සැලසුම් සඳහා ඔහු සිය දායකත්‍වය ඉතා කැපවීමෙන් සැපයුවා.

2008 දී ඇමරිකානු මූල්‍ය අර්බුධයේදී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන නිපැයුම් ශිල්පී යන තනතුරු දෙකම අත්පත් කරගත් මස්ක් 2008 දී ප්‍රථම විද්‍යුත් මෝටර් රථය වන Tesla Roadster වෙළඳපොලට එළිදැක්වූවා. ඉන්පසුව මෝටර් රථ ලෝකයේ දෙවන සුසමාදර්ශීය විප්ලවය ඇරඹුනා. සිය මෝටර් රථය අධික මිලට විකිණිය හැකි වුවත්, ඔහු එය සැමට මිලදී ගත හැකි වන අයුරින් ඇමරිකානු ඩොලර් 30,000 ක මුදලකට අලෙවි කරනවා. එසේම සිය පාරිභෝගිකයන්ට පහසුවෙන් ආරෝපණය කරගතහැකි වන සේ වෝල්ට් 480 ක වෝල්ටීයතාවයකින් යුත් Super Charger දාමය ඇමරිකාව පුරාම ව්‍යාප්ත කිරීමට ඔහු කටයුතු කරනවා. මෙය සාමාන්‍ය ඉන්ධන මෝටර් රථ සමාගම්වල මොඩලයට මරු පහරක් වන්නේ, මෝටර් රථය අඩු මිලකට ලබා ගැනීම, පහසු සහ අඩු මිල ආරෝපණය, මෝටර් රථයේ ඇති නවීනතම බව සහ ඇති පහසුකම් වෙනත් මෝටර් රථවලට වඩා කිහිපගුණයකින් වැඩි වීම වැනි පාරිභෝගික පහසුව නිසායි. දැනට ටෙස්ලා සමාගමේ කොටස්වලින් 22% ක් පාලනය කරන මස්ක් ලොව 80 වන ධනපතියාව ඇත්තේ එසේයි. එසේ වුවත් ඔහු සිය වේතනය වශයෙන් ලබා ගන්නේ ඩොලර් 1 ක් පමණයි. ඔහුගේ ආදායම වන්නේ සිය සේවයට සරිලන බෝනස් සහ කොටස් ආයෝජනයෙන් ලැබෙන ලාභය වීම විශේෂත්‍වයක්.

මස්ක් ගේ සුවිශේෂීත්‍වය වන්නේ ටෙස්ලා මෝටර් රථයේ සියළුම සැලසුම් සහ පේටන්ට් අවශ්‍ය ඕනෑම කෙනෙකුට භාවිතා කිරීමට හැකිවන සේ ප්‍රසිද්ධ කිරීමයි. ඔහු එය සිදු කළේ ඕනෑම මෝටර් රථ සමාගමකට විද්‍යුත් මෝටර් රථ නිපැයුම කරන්නට අභියෝගයක් ලබා දෙමින්. එයින් ඔහු පරිසර විනාශකාරී ඉන්ධන මෝටර් රථ නිපැයුම අඩු කිරීමට සහ නවතාලීමට මඟ පාදන බවයි ඔහු පවසන්නේ.

Tesla සමාගම 2010 දී කැලිෆෝනියාවේදී සිය ප්‍රථම Model S මහාපරිමාණ නිශ්පාදන කර්මාන්ත ශාලාව ඇරඹුවේ වසරකට කාර් 20,000  නිෂ්පාදන ඉලක්කය් සමගින්. 2016 දී එය කාර් 80,000 ක් වෙළඳපොලට එලිදැක්වූයේ සේවකයින් 6,000 ක් සේවයේ යොදවමින්.

2014 අගෝස්තුවේදී ටෙස්ලා සමාගම තම බැටරි නිෂ්පාදනය සඳහා Gigafactory 1 නම් සුවිසල් කර්මාන්තශාලාව පැනසොනික් සමාගම හා එකතුව ආරම්භ කරන බවට නිවේදනය කළා. එය 2020 දී සිය නිෂ්පාදන වෙළඳපොලට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.  ඇමරිකානු ඩොලර් බිලියන 5 ක වටිනාකමක් ඇති එහි සේවකයන් 6500 ක් සේවය කරන අතර එමගින් ටෙස්ලා බැටරියක මිල 30% කින් පහත හෙළීමට අදහස් කර තිබෙනවා. එනම් මෝටර් රථයේ මිල තවත් අඩු කිරීමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. නෙවාඩා හි ඇති එම කර්මාන්ත ශාලාව 2016 වනවිට සිය නිශ්පාදන වෙලඳපොළට නිකුත් කළා. මෙයට අමතරව දැනටමත් තවත් එවැනි සුවිසල් Gigafactory කර්මාන්තශාලා 2 ක් ඉදිවෙමින් පවතිනවා.

SolarCity

2006 දී සිය ඥාති සහෝදරයන් වන Lyndon සහ Peter Rive සමඟ සූර්ය බලශක්ති ජනනය කරන සමාගම වන SolarCity ඇරඹූ ඔහු එය දැනට ඇමරිකාවේ දෙවන විශාලතම සූර්ය බලශක්ති සැපයුම්කරු බවට පත් වී හමාරයි. එසේම ඔහු විසින් ඉදිරිපත් කළ නිවෙස් වහලවල් මත සූර්යකෝෂ සවි කර, බලශක්තිය නිපදවීමේ වැඩසටහන ක්‍රියාත්මක කරමින් ලොව විශාලතම සූර්ය බලශක්ති නිශ්පාදන සමාගම් වලින් එකක් බවට ඔහුගේ සමාගම පත් කිරීමට ක්‍රියාකරමින් සිටිනවා පමණක් නොවෙයි, සූර්යපැනල නිෂ්පාදනයත් අරඹා තිබෙන්නේ ලෝකය ඉන්ධන දහනයෙන් සිදුවන පරිසර විනාශයෙන් සහ හරිතාගාර ආචරණයෙන් සිදුවන හානියෙන් බේරා ගැනීමට. ඔහුගේ නවතම නිශ්පාදනය වන සූර්යඋළු – සූර්යකෝෂ බවට පත් කළ උළු – දැනටමත් ඇමරිකාවේ වහලවල අත්හදා බැලෙනවා.

Hyperloop

2013 අගෝස්තු 12 වන දින ඉලොන් මස්ක් විසින් අධිවේගී ප්‍රවාහන පද්ධතියක සංකල්පය වන Hyperloop සංකල්පය එළි දැක්වූවා. මෙහිදී සිදු වන්නේ අඩු පීඩනය සහිත සුවිසල් නලයක් තුළවූ අධි පීඩිත කැප්සියුලයක් වායුපායානයක ආකාරයේ වායු ස්ථරයක් මත අධිවේගයෙන් රේඛීය චලිතයක් සිදු කිරීමයි. එහිදී මෙම ප්‍රවාහන කටයුත්ත ලොස් ඇන්ජලීස් නගරයේ සිට සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය වෙත සිදු කිරීමට ඔහු සැලසුම් කළා.  මේ අනුව එම නගර දෙක අතර ප්‍රවාහන කාලය අඩු කිරීමයි ඔවුන්ගේ අරමුණ වුනේ. මුල්ම සැලසුම අනුව එය ඇමරිකානු ඩොලර් බිලියන 6 ක මූලික පිරිවැයක් වූවත්, එය නිසි ලෙස ගණනය කළ එකක් වූයේ නැහැ.

ඉලොන් මස්ක් ට සම්බන්ධයක් නොමැති, Hyperloop One නම් සමාගම විසින් 2017 ජුලි 13 වන දින නෙවාඩා හිදී සිය පළමු Hyperloop පරීක්‍ෂණය සාර්ථකව අත්හදා බලමින් කැප්සියුලයක් පැයට සැතපුම් 70 ක වේගයෙන් ප්‍රවාහනය කිරීමට සමත් වූවා. කෙසේ වුවත් මෙම සංකල්පය තවමත් ඔප්පු නොවූ සංකල්පයක් නිසා බොහෝ ප්‍රවාහන අධිකාරී ආයතන මේ පිළිබඳ දරන්නේ සැකමුසු අදහසක්.

OpenAI

ඉලොන් මස්ක් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ දරන්නේ වෙනස් ආකල්පයක්. ඔහු පවසන්නේ එය ඉතාමත් ආරක්‍ෂාකාරීව පාලනය කළ යුත්තක් බවයි. 2015 දී ඔහු තවත් සමාගමක් වන OpenAI සිය සමාගම් අතරට එක් කරගනිමින් ආරම්භ කරනවා. එය සම්පූර්ණයෙන්ම පර්යේෂණ සඳහා වෙන්වූවක්. ඔහුට අනුව කෘත්‍රිම බුද්ධිය සැමට පරිහරණය කිරීමේ අවස්ථාව සලසාදීම මගින් මිනිස් සංහතියට ආරක්‍ෂාකාරී සහ කාර්යක්‍ෂම බුද්ධි සැපයුමක් ලබාදීමයි ඔහුගේ සමාගමේ අභිප්‍රාය.

Neuralink

ඔහු තවදුරටත් පියවරක් ඉදිරියට තබමින් 2016 දී Neuralink නම් ස්නායු තාක්‍ෂණික සමාගමට දායක්‍වය දක්වන්නේ මිනිස් මොළය සහ කෘත්‍රිම බුද්ධිය එකට එක කිරීමේ පර්යේෂණවලට දායක වන්නටයි. ඒ අනුව මිනිස් මොළය තුළ කෘත්‍රිම බුද්ධිය හා සබැඳි කුඩා උපකරණ සවිකර මිනිස් මොළයේ ධාරිතාවය ඉහළ නැංවීමට අදහස්කර සිටිනවා. එයින් මිනිස් මොළය කෙළින්ම පරිඝණක වැනි උපකරණවලට සම්බන්ධ කිරීමේ සැලසුම දැනටමත් සාර්ථක වන ලකුණු පහල වී තිබෙනවා.

The Boring Company

ඉලෙක්ට්‍රොණික සහ බලශක්තිය හා සම්බන්ධ කටයුතුවලට අමතරව ඔහු උමං හෑරීමේ කටයුත්තටත් අතගසා තිබෙනවා. ඒ අනුව ඔහු ‘The Boring Company’ ආරම්ඝ කළේ 2017 ජනවාරි 17 වන දිනයි. කෙසේ වුවත් ඔහුට උමං හෑරීම සිය ආයතන පරිශ්‍රයේ පමණක් සිදු කිරීමට සිදු වී ඇත්තේ තවමත් අදාල බලධාරීන්ගෙන් නිසි අවසරය නොමැතිවීම නිසයි.

ඉලොන් මස්ක් පදනම මගින් බොහෝ පුණ්‍ය කටයුතු සිදු කරන අතර එය බොහෝ දුරට බලශක්තිය හා සම්බන්ධයි. විවිධ ප්‍රදේශ වල බල අවශ්‍යතා වෙනුවෙන් නොමසුරුව දායක වන ඔහු මිලියන ගණනින් ප්‍රදානය කරනවා. ඒ අතරින් සිත්ගන්නාසුළු ප්‍රදානයක් වන්නේ නිකොලා ටෙස්ලා සැමරීම වෙනුවෙන් තැනෙන ටෙස්ලා විද්‍යා මධ්‍යස්ථානය වෙනුවෙන් ඩොලර් මිලියන 8ක් සහ එහි කෞතුකාගාර පරිශ්‍රයේ ටෙස්ලා කාර් ආරෝපණය සඳහා Supercharger පද්ධතියක් තැනීමට අමතර ඩොලර් මිලියනයක් ප්‍රදානය කිරීමත් යන දෙකයි.

 

ඉලොන් මස්ක්ගේ අසාමාන්‍ය දාර්ශනිකත්‍වය නිසාම ඔහුට ලොව ප්‍රධාන විශ්ව විද්‍යාල තුනකින් සම්මානිත ආචාර්ය උපාධි පිරිනමා තිබෙනවා. එයින් එංගන්තයේ සරේ විශ්ව විද්‍යාලය සහ ඇමරිකාවේ යේල් විශ්ව විද්‍යාලය මගින් තාක්‍ෂණය සහ ගුවන් ඉංජිනේරුතාක්‍ෂණය වෙනුවෙන් පිරිනැමුණු උපාධි සුවිශේෂයි.

ඉදිරියේදීත් ඉලොන් මස්ක් සිය දැනුම පාවිච්චියෙන් වෙනස් වෙනස් දේ ලෝකයට ඉදිරිපත් කරනු නොඅනුමානයි. මේ සියල්ල බලශක්තිය සහ ශක්තිය කාර්යක්‍ෂමව ප්‍රයෝජනයට ගැනීම හා සබැඳීම ඔහු අනාගත ලෝකයේ බලපුළුවන්කාරයෙක් නොකරාවි යැයි අනුමාන කළ නොහැක්කකේ කාටද ?

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ඔක්තෝබර් 9, 2017, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , , , , . Bookmark the permalink. ප්‍රතිචාරයක් ලබාදෙන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: