Daily Archives: ඔක්තෝබර් 13, 2017

ජාන වෙනස්කළ ආහාර බිල්ලෙක්ද ?


Geneically Modified Food

 

අතීතයේ අපේ ගොවි මහතුන් සිය වගා කටයුතු කළේ ඊලඟ කන්නය පිළිබඳ හොඳ මිම්මක් හිතේ දරාගෙනයි. මේ කන්නයේ වැවෙන අස්වැන්නෙන් හොඳම කොටසක් ඊලඟ කන්නයේ වගා කිරීම සඳහා බීජ ලෙස වෙන්කර, ඒවා වෙනම සකසාගෙන, නැවත වගාව සඳහා භාවිතා කිරීම ඔවුන්ගේ අරමුණ වුනා. මේ අනුව වී වර්ග බිත්තර වී ලෙස හඳුන්වා, ඒවා ගොවිපොළේ කොණක වගාකර ඉතා උවමනාවෙන් සකසාගෙන දේවත්වයෙන් සලකන්නේ තමන්ට ඊලඟ කන්නයේ වගා කිරීමට තබා ගත්තා. එළවලුවක් නම් වෙනම තබා, අවශ්‍ය පරිදි බීජ වෙන්කරගෙන වේලාතබා ගන්නේ ඊලඟ කන්නයේ භාවිතා කිරීමටයි. මෙසේ බීජ සකස් කර ගැනීමේදී ඒවායේ මල්වල පරාගනය පවා  දැඩිලෙස පාලනය කරන්නේ තමන්ට ලැබෙන ඊලඟ පරම්පරාව නිරෝගී, හොඳ පළදාවක් ලබාදෙන පරම්පරාවක් කර ගැනීමට. ඔවුන්ට අවශ්‍ය වුනේ සිය නිෂ්පාදන තත්ත්‍වයෙන් හොඳම නිෂ්පාදන කිරීමට විනා හොඳම අස්වැන්න ලබාගෙන වැඩිලාභ ලබා ගැනීමේ අදිටනින්.

පාරම්පරික ගොවිතැන කෙමෙන් අභාවයට ගියේ විවිධ යන්ත්‍රසූත්‍ර භාවිතයට පැමිණීම, අධික අස්වැන්නක් ලබාගෙන වැඩි ලාභ ලැබීම වැනි කාරණා නිසා ගොවීන් සිය පාරම්පරිකබව අතහැර නවීන කෘෂිකාර්මික ක්‍රම වලට පුරුදු වුනා. මේ නිසා අතීතයේ වගාකෙරුණු පාරම්පරික භෝග වගාව කෙමෙන් කෙමෙන් නව භෝග වර්ග, නව කෘෂිරසායන ද්‍රව්‍ය ආදියට හුරු වෙන්න පටන් ගත්තා. මේ නිසා අස්වැන්න වැඩි වුවත්, භෝගවල ඇති සමහර ගුණාත්මක භාවයන් නැසෙන්නටත් පටන් ගත්තා.

කෙසේ වුවත්, ලංකාවේ මහඉලුප්පල්ලම, බතලගොඩ වැනි කෘෂි පර්යේෂණ මධ්‍යස්ථාන වලින් නව නිපැයුම් බිහි වුනා. දෙමුහුන් වී වර්ග නිසා පාරම්පරික සමහර වී වර්ගවල ඇති විවිධ දුර්වලතා මඟහරවාගන්නට ඔවුන් සමත් වුනා. මේ නිසා ගොවීන්ට තරමක වාසිදායක ප්‍රතිඵල අත් වූවා. නමුත් කෘෂිකර්මාන්තය විවෘත ආර්ථිකයට ගොදුරු වීමත් සමගම එහි ගුණාත්මක භාවය වෙනුවට ප්‍රමාණාත්මක භාවයට මුල්තැන දෙන්නට ගොවියාටත් වෙළෙන්දාටත් සිදු වුනා. මේ නිසා නව බීජ වර්ග, නව පොහොර සහ කෘෂිරසායන ද්‍රව්‍ය වෙළඳපොළට එකතු වුනා. එයින් ප්‍රමාණාත්මකව අස්වැන්න ඉහළ ගියත්, භූමියට සහ පරිසරයට සිදු වූ හානිය රජරට කලාපයේ සෑම නිවසකින්ම ඇසෙන දුක් අඳෝනා වලින්ම සනාථ වනවා.

මේ කරුණු මෙසේ වන අතර බටහිර ජාතීන් සිය කාර්යක්‍ෂමතාවය සහ ඵලදායීතාවය වැඩි කරගැනීමට දෙමුහුන් කිරීමටත් වඩා එහාට ගිය විද්‍යාත්මක ක්‍රම අත්හදා බැලුවා. DNA සම්බන්ධ ජීව විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රගතියත් සමගම විද්‍යාඥයින් ශාකවල DNA සැකසුම වෙනස් කර, පාරිසරික සංකූලතාවලට ඔරොත්තු දෙන, විවිධාකාර ප්‍රතිඵල ලබාගතහැකි ශාක සහ බීජ නිෂ්පාදනයට නැඹුරු වුනා. මේ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස ජාන වෙනස් කළ ජීවීන් (Genetically Modified Organisms) නම් නව ආහාර ප්‍රභේදයක් ලොවට එකතු වුනා. මේ ප්‍රභේදය වෙනුවෙන් සහ එයට එරෙහිව සටන් වදින කණ්ඩායම් දෙකක් බිහි වුනේ, මේ ලොව හැමදේටම පොදු සාධකයක් වන ද්විත්ව සමතුලිතභාවය (Duality equilibrium) නිසා. මෙම ලිපියේ අරමුණ ඔබ ජාන වෙනස්කළ ආහාරවලට නැඹුරු කරගැනීම හෝ එයින් ඈත් කිරීම නොවන අතර සමබර දැක්මක් ලබාදීම පමණයි. ඒ නිසා විවෘත මනසකින් කියවන්න.

ජාන වෙනස්කළ ආහාර යනුවෙන් සරළව හඳුන්වන්නේ DNA වෙනස් කළ ශාක, සත්ත්‍ව හෝ ක්‍ෂුද්‍රජීවීන්ගේ ආධාරයෙන් සැකසූ ආහාර වර්ගයි. අප බොහෝ දෙනා දන්නා පරිදි අප ජීවය සැකසී ඇත්තේ ලොව මූලිකම ජීව පදාර්ථ වන ඩී එන් ඒ –  DNA (Deoxyribose Nucleic Acid) මගින් සැකසුන පද්ධතියක් මගින්. අපේ ශරීර අවයව, ලෙඩරෝග, ආදිය සියල්ල පාලනය වන සහ පරම්පරාවෙන් පරම්පරාවට අපේ ගති ලක්‍ෂණ සියල්ල රැගෙන යන ජාන සැකසී ඇත්තේ මේ DNA කිහිපයක එකතුවකින්. මේ ජාන වෙනස් කිරීම මගින් අපට බොහෝ දෑ සිදු කල හැකියි. විද්‍යාඥයින් විසින් මිනිසාගේ මූලික ජාන සැකැස්ම හඳුනාගෙන දැන් දැන් බොහෝ රෝග නිධාන සහ ඒ්වාට නිසි පිළියම් ලබාදීම ද සිදුකරගෙන යනවා. ඒ අතරම ශාක විද්‍යාඥයින් විසින් ශාකවල ජාන පද්ධති හඳුනාගෙන ඒ ඒ ජානපද්ධතිවලින් සිදු වන කාර්යයන් හඳුනාගෙන තිබෙනවා. සමහර පද්ධති ලෙඩරෝගවලට ඔරොත්තු දෙන අතර සමහර පද්ධති රෝග ඇතිකිරීමටත් දායක වනවා. මේ නිසා අවාසිදායක පද්ධති ඉවත් කර ඒවා වාසිදායක තත්ත්‍වයට පත් කිරීම සරළව ජාන වෙනස් කිරීම යනුවෙන් හඳුන්වන්නට පුළුවනි. නමුත් මෙය ඉතා වියදම් අධික, සංකීර්ණ ක්‍රියාවලියක්.   මෙහිදී සිදු වන්නේ කිසියම් ප්‍රභේද දෙකක වූ ජාන ඩී එන් ඒ ප්‍රතිසංයෝජක තාක්‍ෂණය (Recombinant DNA Technology) මගින් මිශ්‍ර කිරීමයි. උදාහරණයක් ලෙස වී වර්ග දෙකක් ගනිමු. එක් වී වර්ගයක් දැඩි වියලි කාළගුණයට ඔරෙත්තු දෙන නමුත්, ගොයම් මැස්සා කෙරෙහි ප්‍රතිරෝධයක් නොදක්වනවා. තවත් වී වර්ගයක් කිසිදු සුවිශේෂීතාවයක් නැතත් ගොයම් මැස්සාට උපරිම ප්‍රතිරෝධයක් දක්වනවා. මේ වී වර්ග දෙකෙහි සෛලවල ඇති ජාන වෙන් කරගෙන ගොයම් මැස්සාට ප්‍රතිරෝධයක් දැක්වීම ඇති කරන ජාන වෙන්කරගෙන අනෙක් වී වර්ගයේ එම ජාන වෙනුවට ආදේශ කර බීජ ලබා ගත හැකියි. මෙය සරළව ජාන වෙනස්කිරීම ලෙස හඳුන්වනවා. මේවා ශාක පමණක් නොවෙයි සතුන්ටත් සිදු කළ හැකියි. උසස් ගණයේ කිරි එළදෙනුන්, වැඩිපුර මස් ලැබෙන ඌරන් වැනි සතුන් පවා මේ ආකාරයෙන්  “නිෂ්පාදනය” කළ හැකියි.

මෙසේ ජාන වෙනස් කළ ආහාර නිපදවන්නේ ඒවායෙන් ලබාගත හැකි ආර්ථික වාසි සඳහා පමණයි. මෙහිදී නිෂ්පාදනයක මිල අඩුවෙන් නිපදවීම හෝ පාරිභෝගකයාට වාසියක්, එනම් දිගු කල් පැවැත්මක්, හෝ ඉහළ පෝෂ්‍යදායක ගුණයක් ලබාදීම අදහස් වෙනවා. මුලින් ජාන තාක්‍ෂණය භාවිතා වූයේ ගොවියාට  සෘජු වාසි දෙන ආකාරයේ කටයුතු සඳහා පමණයි.  ශාක සඳහා ජාන තාක්‍ෂණය භාවිතා කිරීමේ අපේක්‍ෂාව වූයේ භෝග අස්වනු ආරක්‍ෂණය ඉහළ නැංවීමයි. මෙහිදී භෝගවලට විවිධ රෝගවලට ඔරෙත්තු දීමේ හැකියාව ඉහළ නැංවීමට ජාන තාක්‍ෂණය භාවිතා කළා. තවත් ආකාරයක ජාන තාක්‍ෂණික පර්යේෂණයක් වන්නේ විවිධ කෘමීන්ට ඔරොත්තු දෙන භෝග සෑදීමේ අභියෝගයයි. එහිදී අදාල ජාන කොටස් ලබා ගන්නේ විෂවර්ගයක් නිකුත් කරන බැක්ටීරියාවක් වන Bacillus thuringiensis (Bt) මගින්. මෙම විෂ වර්ගය දැන් ඇමරිකාව වැනි ‍රටවල භෝග ආරක්‍ෂණය සඳහා භාවිතා වන විෂ වර්ගයක්. නමුත් මෙය මිනිසුන්ට විෂ නැහැ. මේ නිසා ජාන තාක්‍ෂණයෙන් සැකසූ මේ ආහාර වර්ගයක කෘමින් පළවා හැරීමට මේ තාක්‍ෂණය භාවිතා කර තිබෙනවා. මේ නිසා භෝගයන්ට භාවිතා කළ යුතු කෘමිනාශක ප්‍රමාණය අවමව තිබෙනවා. එනිසා ගොවීන්ට ලැබෙන වාසි ප්‍රමාණය ඉහළයි. මේ ආකාරයෙන්ම වෛරස් රෝගවලට ඔරොත්තු දෙන භෝග සකසා ගන්නේ අදාල වෛරසයේ ජාන භාවිතයෙන්. සමහරවිට කෘමිනාශක ඉසීමේදී භෝගයන්ටද හානි පැමිණීමට පුළුවනි. මේ නිසා භෝගවල වැඩීම දුර්වල වනවා. එසේත් නැතිනම් විනාශ වනවා. මේ සඳහා පිළියම වන්නේ කෘමිනාශකවලට ඔරොත්තු දෙන කෘමීන්ගේ ජාන ලබාගෙන ඒවා ශාක ජාන සමග බද්ධ කිරීමයි. මේ නිසා අදාල භෝගය කෘමිනාශකවලට ඔරොත්තු දීමක් සිදු කරනවා.

අප ආහාරයට ගන්නා දෑ පිළිබඳ සාමාන්‍ය මතය නම් ස්වභාවිකව සැකසුන ආහාර ආරක්‍ෂාකාරී බවයි. එසේම නව දෙමුහුම් භෝග හඳුන්වාදීමේදී සිදු වන වෙනස වන්නේ ඒවා පරාගණයෙන් නව බීජ ලබා ගැනීමයි. නමුත් මෙහිදී අවශ්‍ය සහ අනවශ්‍ය සියළුම ජාන මිශ්‍ර වන නිසා අදාල භෝගය සමහරවිට බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබා නොදෙන්න පුළුවනි. සමහරවිට එයට හාත්පසින්ම වෙනස් ප්‍රතිඵල ලැබේවි.. ඒවා ශරීරවලට කෙසේ බලපානවාදැයි කියන්නට පර්යේෂණ බොහොමයක් කරන්නට සිදු වනවා. මේ පර්යේෂණ සැලසුම් සහගතව කළ හැකි ඒවා නොවේ. නමුත් ජාන වෙනස්කළ ආහාරවල පර්යේෂණ සහ ඒවායේ ආරක්‍ෂාව පිළිබඳ පරීක්‍ෂණ සියල්ල ඉතාම සැලසුම් සහගතව සිදු කර තිබෙනවා. එසේම මෙම ජාන වෙනස් කිරීම හැම දෙනාටම කළ නොහැකියි. සුවිශේෂී තත්ත්‍ව යටතේ සිදු කරන නිසා සහ බෙහෝ පර්යේෂණයන්ට ලක් කිරීමෙන් අනතුරුව ගොවීන්ට නිකුත් කිරීම නිසා ආරක්‍ෂාකාරී බවයි පැවසෙන්නේ.

ජාන වෙනස්කළ ආහාර පිළිබඳ මෙම ආරක්‍ෂණ පරීක්‍ෂණ සිදු කරන්නේ විවිධාකාර අංශ කේන්‍ද්‍ර කරගෙනයි.

1.     එම ආහාර මගින් සිදු වන සෘජු විෂවීම් සඳහා

2.     එම ආහාර මගින් ආසාත්මිකතාවයන් මතුවීමට ඇති සම්භාවිතාවය

3.     සෘජු විෂවීම් ඇති වේයැයි උපකල්පනය කරන සුවිශේෂී ආහාර කොටස් සඳහා කරන පර්යේෂණ

4.     ඇතුළත් කළ ජානයේ ස්ථායීතාවය

5.     ඇතුලත් කළ ජානය මගින් බලාපොරොත්තු වන පෝෂණමය වටිනාකම කෙසේ සහ කොපමණ වැඩිවීමකින් ලැබේද යන්න

6.     වෙනත් නොසිතූ ප්‍රතික්‍රියා මේ අළුතින් ඇතුලත් කළ ජානය මගින් සිදු කරයිද යන්න

සළකා බැලෙනවා.

ජාන වෙනස්කළ ආහාර පිළිබඳ සිද්ධාන්තමය කරුණු බැලූ බැල්මට නිවැරදි ලෙස දැනුනත්, එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමේදී නොයෙකුත් කරුණු කාරණා මතු වන්නට පුළුවනි. මෙයින් ප්‍රධාන වනුයේ මානව සෞඛ්‍යට මේ ආහාර කෙසේ බලපායිද යන්න මූලිකවම සාකච්ඡා විය යුත්තක්. මෙය කරුණු තුනක් යටතේ සාකච්ඡා වෙනවා.

ආසාත්මිකතාවයන් ඇතිවීම (Allergenicity)

ප්‍රතිපත්තියක් ලෙස, ආසාත්මිකතාවයක් ඇති නොවන බවට සහතිකයක් නොමැති නම්, ආසාත්මිකතාවයන් ඇතිකළ හැකි ආහාර හෝ ක්‍ෂුද්‍ර ජීවීන්ගෙන් ලබා ගන්නා ජාන සාමාන්‍ය ආහාර සමඟ මිශ්‍රකිරීමක් සිදු කරන්නේ නැහැ. මේ නිසාම ඒවා ඉතාමත් ප්‍රශස්ත තත්ත්‍ව යටතේ ජාන හුවමාරුව කරන නිසා මේ වනතෙක් කිසිදු ආකාරයක ආසාත්මිකතාවයක් ජාන වෙනස්කළ ආහාරවලින් වාර්තා වී නැහැ..

 

ජාන හුවමාරුව (Gene Mixing)

බොහෝ දෙනාගේ සැලකිල්ලට භාජනය වූ එක් කරුණක් වන්නේ ජාන වෙනස් කළ ආහාරවල ඇති ජාන, මිනිසාගේ ආහාර මාර්ගයේදී මිනිස් ජාන හෝ ආහාර මාර්ගයේ සිටින බැක්ටීරියාවල ජාන සමග හුවමාරුවීමේ හැකියාවයි. බොහෝවිට ජාන තාක්‍ෂණයේදී බැක්ටීරියා ජාන යොදා ගන්නා නිසා, මෙම හුවමාරුවට වැඩි ඉඩකඩක් පවතිනවා. මෙය වඩාත් සංකීර්ණ වන්නේ ප්‍රතිජීවකවලට ස්ථායීතාවයක් දක්වන බැක්ටීරියා ජාන යොදාගෙන ජාන වෙනස්කිරීම කළහොත් පමණයි. මේ නිසා, ප්‍රතිපත්තියක් ලෙස ජාන තාක්‍ෂණයේදී ප්‍රතිජීවකවලට ස්ථායීතාවයක් දක්වන බැක්ටීරියා ජාන යොදාගැනීම අවම කර තිබෙනවා.

 

ජාන බහිශ්මාරුව (Gene Outcrossing)

ජාන වෙනස්කළ ආහාර බීජවලින් හටගන්නා ශාක සහ එසේ නොකළ එම වර්ගයේම ශාක පරාගනයේදී ජාන මාරුවීම මෙසේ හඳුන්වනවා. මෙය සාමාන්‍ය භාවිතයේදී දෙමුහුන්වීමක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. මෙසේ වීමේදී තුන්වන පරම්පරාවේ ශාකවල ජාන සංයුතිය මේ දෙකෙහි මිශ්‍රණයක් ලෙස එලිදැක්වෙනවා. එය විශේෂයෙන් මිනිස් පරිභෝජනය සඳහා සකසන ආහාර ආරක්‍ෂණය වෙත නරක බලපෑම් ඇතිකළ හැකියි. සත්ත්‍ව පරිභෝජනයට හෝ කාර්මික කටයුතු වෙනුවෙන් සැකසූ ආහාරවල පවතින ජාන මිනිස් පරිභෝජනය වෙනුවෙන් සැකසූ ආහාරවල ඉතා කුඩා ප්‍රමාණවලින් හමුවීම නිසා මේ කරුණු එළිදරව් වූවා. මේ හේතුවෙන් ජාන වෙනස්කළ ආහාර වගා කෙරෙන පෙදෙස්වල, එවැනි වර්ගයේ සාමාන්‍ය ආහාරයන් වගා නොකිරීමට ප්‍රතිපත්තියක් ගෙන තිබෙනවා. නමුත් මෙය අනාගතයේදී සාමාන්‍ය ගොවියන් අතින් නොදැනුවත්වම සිදු නොවේදැයි කිසිවකුට සහතිකයක් දීමට නොහැකි ප්‍රශ්නයක්.

මේ කරුණු නිසාම ජාන වෙනස්කළ ආහාර මගින් සිදුවිය හැකි හානි පිළිබඳ තක්සේරුවක් (Risk Assessment) සිදු කරනවා. මෙය ජාන වෙනස් කිරීමේදී පරිසරයට, සත්ත්‍වයන්ට සහ පරිසර පද්ධතීන්ට සිදුවන බලපෑම සහ එම වෙනස් කිරීමේදී සිදුවිය හැකි අභව්‍ය තත්ත්‍වයන් පිළිබඳවද පරීක්‍ෂා කෙරෙනවා. යම් හෙයකින් මේ වෙනස් කිරීමකදී පරිසරයට හෝ සත්ත්‍වයනට හානිකර ජීවී විශේෂයක් බිහි වුවහොත් එයම අපේ පැවැත්මට තිත තැබිය හැකියි. මෙය වලක්වා ගැනීමට එවැනි තක්සේරුවකින් (Risk Assessment) තොරව කිසිදු පර්යේෂණයක් සිදු කරන්නේ නැහැ. පාරිසරිකව මෙය දැඩි බලපෑම් ඇතිකළහැකි නිසාම මේ පර්යේෂණ උපකල්පන කිහිපයක් මත පදනම් කරගෙන සිදු කරනවා. එනම් ජාන වෙනස්කළ ආහාරවල ඇති ජාන සාමාන්‍ය භෝග සමග මිශ්‍රවුවහොත් ඇතිවිය හැකි තත්ත්‍වයන්, තෙවන පරම්පරාවේ භෝගවල විකෘතීන්, වෙනත් භෝගයන්ට ඇතිවිය හැකි ආචරණ, ජෛව විවිධත්‍වයට ඇතිවිය හැකි ප්‍රශ්න සහ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා සිදුවන වෙනස්වීම් ආදී බොහෝ අංශ හරහා මේ පර්යේෂණ සිදු කරනවා.

ජාන වෙනස්කළ ආහාර ආරක්‍ෂිතද ?

මෙය බොහෝ දෙනාට ඇති ලොකුම ගැටළුවයි. ජාන වෙනස් කිරීමේදී විවිධ ජාන විවිධ ජීවීන්ට විවිධාකාරව ඇතුලත් කරනු ලබනවා. මෙය එකම ආකාරයට සිදු වන්නේ නැහැ. මේ නිසා ජාන වෙනස්කළ ආහාර ආරක්‍ෂිතද නැද්ද යන්න එක වාක්‍යයකින් සර්ව සාධාරණීකරණය කළ නොහැකියි. එය වෙන් වෙන්ව විවිධ අංශවලින් සළකා බලා කළ යුත්තක්.

සාමාන්‍යයෙන් දැනට වෙළඳපොලේ පවතින සියළුම ජාන වෙනස්කළ ආහාර දැඩි තත්ත්‍ව පරීක්‍ෂණයන්ට ලක් කොට, මිනිස් සහ සත්ත්‍ව පරිභෝජනයට සුදුසු බවට සහතික කරන සියළුම ආරක්‍ෂණ තක්සේරු සිදුකර වෙළඳපොලට නිකුත් කළ ආහාර වෙනවා. මේ නිසා ඒ ගැන ගැටළුවක් ඇති වන්නේ නැහැ.

නමුත් සෑම රජයක්ම එකම ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නැහැ. සමහර රටවල ජාන වෙනස්කළ ආහාර නියාමනයක් තිබුණත්, සමහර රටවල එසේ කරන්නේ නැහැ. බොහෝවිට කෙරෙන්නේ පහසුව තකා ජාන වෙනස්කළ ආහාර තහනම් කිරීමයි.

එසේ වුවත් ලෝකයේ බොහෝ තැන්වල ජාන වෙනස්කළ ආහාර භාවිතා වෙනවා. එය කෘමී හානිවලට ප්‍රතිරෝධයක් දක්වන ආහාර,  වෛරසවලට ප්‍රතිරෝධයක් දක්වන ආහාර, සහ සමහර කෘමිනාශකවලට ප්‍රතිරෝධයක් දක්වන ආහාර, ලෙසින්. එසේම දැන් දැන් ඉහළ පෝෂණ අගයක් ලබාදෙන ආහාර වර්ගයන් ජාන තාක්‍ෂණය මගින් නිපදවීම ආරම්භ කර තිබෙනවා. කෙසේ වුවත්, ජාන තාක්‍ෂණය මගින් නිපදවූ ආහාර අන්තර්ජාතිකව භාවිතා කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැනීම සිදු වන්නේ ලෝක ආහාර සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය සහයෝගයෙන් සැකසුන The Codex Alimentarius Commission (Codex) නම් වූ ඒකකය මගින්. මෙහිදී තත්ත්‍ව පරීක්‍ෂා නිර්ණය කිරීම, භාවිතා කිරීමේ පිළිවෙත් සැකසීම ආදී බොහෝ නිර්ණායක සැකසී තිබෙනවා. එසේම සෑම රටකම රජයයන් ඒ පිළිබඳ දැනුවත් කර නිසි තත්ත්‍ව පවත්වාගෙන යාම වැනි දෑ මෙමගින් සිදුකෙරෙනවා. දැනට ලෝකයේ අන්තර්ජාතිකව භාවිතා වන ජාන වෙනස්කළ ආහාර ආරක්‍ෂිත බවට මෙමගින් සහතික කර තිබෙනවා.

මේ ආරක්‍ෂණ කරුණු කෙසේ වුවත්, බොහෝ පරිසර සංවිධාන, දේශපාලනඥයින් සහ විවිධ ක්‍රියාකාරීන් ජාන වෙනස්කළ ආහාර පිළිබඳ දක්වන්නේ විරෝධයක්. මෙය බොහෝ දුරට දේශපාලනික හෝ තම පුද්ගලික/ආයතනමය න්‍යායපත්‍ර මත පදනම් වූ විරෝධයක්. 1990 දශකයේ දී ජාන වෙනස්කළ ආහාර මුලින්ම වෙළඳපොලට ඉදිරිපත්කළදා සිට මේ විරෝධය පැවතුනේ මිනිසුන්ට මේ ජීව රසායනික පර්යේෂණවල සංකීර්ණත්‍වය අවබෝධ නොවීම නිසා වන්නට ඇති. ජාන වෙනස්කළ ආහාරවලට දැඩි බලපෑමක් ආගමික සංවිධානවලින් සිදු වනවා. එසේ වන්නේ ජාන වෙනස්කිරීම සාමාන්‍ය ජීව රසායනික ක්‍රියාවලියට පටහැනිව කෘත්‍රිමව සිදුකරන එකක් නිසා වීමයි. 1990 සිට මේ දක්වා ජීව රසායනික පර්යේෂණ ඉතා ඉහළ ප්‍රගතියක් ලබා තිබෙන අතර එය නොසිතූ විරූ අන්දමේ ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. කණගාටුවට කරුණ වන්නේ ලෙඩ රෝග වලට බෙහෙත් සොයාගැනීමේ කටයුත්තට සහ ජාන වෙනස් කිරීමේ පර්යේෂණවල සිදුවන පර්යේෂණ යන දෙකම සිදු වන්නේ එකම ජීවරසායනික පර්යේෂණ අනුව වුනත්, මේ දෙකට ඔවුන් දෙවිදියකට සැලකීමයි.

ජාන වෙනස්කළ ආහාර නිසා ලැබෙන වාසි බොහොමයක්. රස, ගුණ වැඩි ආහාර නිෂ්පාදනය, කෘමීන් සහ දැඩි පාරිසරික තත්ත්‍ව වලට ඔරොත්තුදෙන ආහාර නිෂ්පාදනය නිසා වගා හානි අවම කරගැනීමෙන් ඉහළ අස්වැන්නක් ලබාගැනීම. මේ නිසා ආහාර මිල පහළ යාමක් කළ හැකියි. තවත් ආකාරයක වාසියක් වන්නේ පසු අස්වනු හානිය අවම වන ආකාරයේ භෝග නිෂ්පාදනය කළ හැකි වීම. මේ නිසා ද වැඩි ආහාර ප්‍රමාණයක් ලෝකයට නිකුත් වනවා. ඒ නිසා ආහාර හිඟයක් ඇති වන්නේ නැහැ. එසේ වාසි ලැබෙන අතරතුර බොහෝ දෙනාගේ සැකයට භාජනය වන්නේ ප්‍රතිජීවකවලට ප්‍රතිරෝධයක් දැක්වීම සහ ආසාත්මිකතාවයන් ඇතිවීමේ හැකියාව වැඩි ජාන වෙනස්කළ ආහාර වෙළඳපොලේ ඇතිබව සහ එයින් මිනිසාට හානි සිදුවිය හැකි බව යන කරුණුයි. මේ නිසා බොහෝ දෙනා ජාන වෙනස්කළ ආහාර පිළිබඳ අනිතය බියක් දක්වනවා. මේ කරුණු නිසාම, ලෝක ආහාර සංවිධානය දැන් සියළුම ජාන වෙනස්කළ ආහාරවලට ලේබල් ගැසීම මගින් පාරිභෝගික ජනතාව දැනුවත් කර තිබෙනවා.

දැනටමත් බිලියන 7.5 ක් වන ඉදිරියේදී ලෝක ජනගහනය බිලියන 9 ඉක්මවා යන්නට තවත් දශක කිහිපයකට වඩා ගතවන්නේ නැහැ. මේ වැඩිවන ජනගහනයට අවශ්‍ය ආහාර නිපදවාගැනීමට ඇත්තේ සීමිත ඉඩකඩ ප්‍රමාණයක් පමණයි. දියුණු රටවල මහාපරිමාණ කෘෂිකර්මාන්තය සිදුවුවත්, දියුණු වෙමින් පවතින රටවල එය තවමත් සිදුවන්නේ පාරම්පරිකවයි. බොහෝ ශාක සහ සතුන් නිරන්තරයෙන් පරිණාමයට පත් වනවා. මේ නිසාම ඒවා කෘෂි රසායනික ද්‍රව්‍ය වැනි රසායනයන්ට ප්‍රතිරෝධයන් දක්වන්නට පරිණාමය වනවා. ජාන තාක්‍ෂණය මගින් සිදු කරන්නේ එවැනි කෘෂිරසායන භාවිතය අවම කිරීම, උපරිම අස්වැන්නක් ලබාගැනීම, උපරිම පෝෂණයක් ලබාදීම, හානිය අවමකිරීම වැනි කෘෂිකර්මාන්තයේ ඵලදායීතාවය ඉහළ නැංවීමයි. මේ නිසා අඩු ඉඩ ප්‍රමාණයකින් වැඩි අස්වනු ප්‍රමාණයක් සකසාගත හැකියි. මෙයට සමගාමීව පෙර කාළයේ සිදු කළ දෙමුහුම් කිරීම් මගින් හොඳ අස්වනු ලබාදෙන භෝග ප්‍රභේද තැනීමත් ජාන තාක්‍ෂණයේ මූලික අවධිය බව බොහෝ දෙනාට අවබෝධ නොවන කරුණක්.

ලෝකය සමග අප ඉදිරියට යා යුතුමයි. එහිදී වැඩි වැඩියෙන් තාක්‍ෂණය භාවිතා විය යුතුයි. නිසි නියාමනයකින් යුතුව කෙරේ නම්, ඕනෑම භයානක දෙයක් හරිහැටි පාවිච්චියට ගතහැකිවාක් මෙන්ම එය වැරදුනහොත් සිදුවන ප්‍රතිඵලද නොගිනිය හැකි තරම් භයංකාරයි. තවමත් ජාන වෙනස්කළ ආහාරවලින් සිදුවන හිතකර හෝ අහිතකර ආචරණයන් පිළිබඳ ඉහළපෙලේ වාර්තා නැතිව ඇති. කෙසේ වුවත්, අපි කිසිම කෙනෙක් අපේ ආහාර වේලේ ඇති එළවලු මස් මාළු කෙසේ කොහෙන් සැකසුනාද කියා හරිහැටි නොදන්නා බව නම් සත්‍යයක්. අපි ඒ තරම් නොසැලකිළිමත්, ඇත්තෙන්ම අපි මෝඩයි.

%d bloggers like this: