මරණයේ වෙළෙන්දාගෙන් උපන් නොබෙල් ත්‍යාගය.


Nobel Prize

ලෝකයට, රටට, හෝ සමාජයට වටිනා සේවයක් කළ උදවියට කෘතගුණ සැළකීමක් විදියට බොහෝ ත්‍යාග සහ සම්මාන පිරිනැමීම ආදි කාළයේ සිටම පැවත එන සිරිතක්. සුදුසු වුවත්, නැති වුවත්, රජවරුන්ට බැල මෙහෙවර කළ අයට ගම්වර සහ නොයෙකුත් පදවි තානාන්තර දීම රජකාළයේ තිබුණත්, ඒ පුරුද්ද වර්තමාන දේශපාලනයෙත් අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. නමුත් සමහර සම්මාන ඉතාමත් සූක්‍ෂම ලෙස සළකා බලා, දැඩි පරිශ්‍රමයක් දරා සුදුස්සාටම ලබා දෙන්නට කටයුතු කරන ආයතන නැතුවාම නොවෙයි.

නොබෙල් ත්‍යාගය කියන්නේ ලොව කෙනෙකුට ලබන්න හැකි ඉහළම නම්බු නාමය කියලා කිවුවොත් බොහෝ නිවැරදියි. ලෝකයට සේවයක් කරන පුද්ගලයින්ගේ යටි සිතේ කොණක, තමන්ට කවදා හෝ නොබෙල් ත්‍යාගය ලැබේවි යැයි හෝ අවම වශයෙන් නිර්දේශයක් හෝ ලැබේවි යැයි පුංචි බලාපොරොත්තුවක් තිබෙනවා. ලංකාවට නොබෙල් ත්‍යාගය දුර්ලභ සිදුවීමක් වන්නේ ඇත්තෙන්ම ලෝකෙන් උතුම්ම රට වුවත්, අපි අනෙක් ජාතීන් හා සැසඳීමේදී ඉතාම පහළ මට්ටමක සිටින නිසා.

නොබෙල් ත්‍යාගය සහ නොබෙල් පදනම පිහිටවීම සිදු වූයේ විද්‍යාත්මක, අධ්‍යාපනිකමය, සංස්කෘතිකමය සහ සමාජයීය ප්‍රගමනයන් සඳහා ලොව පුරා සිදුකෙරෙන පර්යේෂණ සහ දායකත්‍වයන් වෙනුවෙන් අගැයීමක් කිරීමට සිදුකරන සම්මාන ප්‍රදානයක් ලෙසින්.

නොබෙල් ත්‍යාගය මුලින්ම සංවිධානය කෙරුණේ ස්වීඩන් ජාතික නව නිර්මාණ කරුවකු වන ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින් 1895 වසරේදී. ඔහු ඉපැදුනේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී 1833 ඔක්තෝබර් 21 වනදා. ඔහුගේ පවුලේ බොහෝ දෙනා ඉංජිනේරුවරුන්. එසේම ඇල්ෆ්‍රඩ් නොබෙල්ද ඉංජිනේරුවෙක්, රසායනඥයෙක් සහ නව නිර්මාණකරුවකු වූයේ පවුලේ ආරයට යමින්. ඔහු 1894 දී යකඩ සකසන කර්මාන්තශාලාවක් මිලදී ගෙන බොහෝ ආයුධ නිර්මාණය කිරීමට පටන් ගත්තා. ඔහු එකළ ප්‍රසිද්ධ වූයේ අවි ආයුධ නිශ්පාදකයෙක් ලෙසයි. ඔහුගේ නව නිර්මාණ අතර බැලිස්ටයිට් නම් ද්‍රව්‍යය ඉතා වැදගත්. එය දුම් නොදමන පුපුරණ ද්‍රව්‍ය සැකසීමේදී මූලික අමුද්‍රව්‍යයක් ලෙස භාවිතා කරනවා. ඔහු කළ නව නිර්මාණ 355 ක දායකත්‍වය නිසාම ඔහු විශාල ධනයකට හිමිකම් කියූවා. මේ නව නිර්මාණ කොතෙක් තිබුණත්, ඔහු ලෝකයා අතර ප්‍රසිද්ධ වූයේ ඩයිනමයිට් සොයාගැනීම පිළිබඳවයි.

මේ අතර 1888 දී ඇල්ෆ්‍රඩ් නොබෙල් ජීවත්ව සිටියදීම ඔහුගේ මරණ දැන්වීම ප්‍රංශ පුවත්පතක් විසින් ප්‍රසිද්ධ කළ අතර එහි මාතෘකාව වූයේ මරණයේ වෙළෙන්දා මියගිය බවයි. ලෝකයා තමන් කෙසේ මතක තබා ගනීවිද යන සැකය මත මේ සිදුවීම ඔහුට මහත් කම්පනයක් ගෙන දුන්නා. මෙය ඔහුගේ අන්තිම කැමති පත්‍රය වෙනස් කිරීම දක්වා වද දුන් කාරණාවක් වුනා. 1896 දී, ඇල්ෆ්‍රඩ් නොබෙල් ඉතාලියේ සැන් රීමෝහි සිය මන්දිරයේදී වයස 63 දී අවසන් හුස්ම හෙළුවේ මොළයේ රුධිරවහනය නිසා ඇතිවූ සංකූලතා නිසා.

ඇල්ෆ්‍රඩ් නොබෙල් ජීවත්ව සිටියදී අන්තිම කැමැත්ත කිහිප විටක් වෙනස් කළ අයෙක්, අවසානයේදී 1895 නොවැම්බර් 25වනදා සිය අවසාන අන්තිම කැමැත්ත ලෙස සටහන් කළේ සිය ධනය භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෝහාරික වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය, සහ සාමය යන අංශවලින් මානව සංහතියේ උන්නතිය උදෙසා සේවය කළ අයට වාර්ෂිකව ත්‍යාග ලබාදීම සඳහා භාවිතා කරන ලෙසයි. මේ වෙනුවෙන් සිය ධනයෙන් සියයට 94 ක් එනම් ඇමරිකානු ඩොලර් මිලියන 186 ක් පමණ වෙන් කර තිබුණා. කෙසේ වුවත් ඔහු අන්තිම කැමති පත්‍ර කිහිපයක්ම ලියා තිබූ නිසා, මෙය 1897 වනතෙක් විසඳී තිබූ ගැටළුවක් වූයේ නැහැ. අවසානයේදී ඔහුගේ අවසන් කැමතිපත්‍රය ක්‍රියාවට නැංවීම භාරව තිබූ දෙදෙනා වන Ragnar Sohlman සහ Rudolf Lilljequist නොබෙල් පදනම පිහිටවා ඔහුගේ අවසාන කැමැත්ත ප්‍රකාරව ත්‍යාග ලබාදීමට කටයුතු කළා.

නොබෙල් ත්‍යාග කමිටුව 1895 දී පිහිටවූවත්, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෝහාරික වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය, සහ සාමය යන අංශවලින් මුලින්ම ත්‍යාග ප්‍රදානය සිදු වූයේ 1901 දී සිටයි. වසර 1980 වනතෙක් තැනූ සියළුම නොබෙල් ත්‍යාග පදක්කම් සැකසුනේ කැරට් 23 රත්‍රං වලින්, ඉන්පසුව එය කැරට් 18 දක්වා අඩු කර කැරට් 24 රන් ආලේපනයක් සිදු කරනවා. පසුගිය වසර වනවිට නොබෙල් ත්‍යාග 579 ක් දැන් දැන් ත්‍යාග පුද්ගලයින් කිහිප දෙනෙකු අතරේ බෙදී යාම නිසා 911 දෙනෙකු අතරේ බෙදී ගොස් තිබෙනවා. නොබෙල් ත්‍යාග ප්‍රදානෝත්සවය සිදුවන්නේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර වුවත්, නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය සිදු වන්නේ නෝර්වේහි ඔස්ලෝ නගරයේදීයි. සෑම ත්‍යාගලාභියෙක්ම සිය ත්‍යාග ලෙස සහතිකයක්, රන් පදක්කමක් සහ නොබෙල් කමිටුව විසින් නියම කරන ලද පරිදි ඇමරිකානු ඩොලර් මිලියන එකක මුදල් ත්‍යාගයක හිමිකරුවකු වනවා.  මුලින් නියම කරනලද විෂය පථයනට අමතරව දැන් ආර්ථික විද්‍යාව සඳහා ද නොබෙල් ත්‍යාගය පිරිනමනු ලබනවා.

භෞතික විද්‍යාව සඳහා ලොව පළමු නොබෙල් ත්‍යාගය පිරිනැමුනේ එක්ස් කිරණ සොයාගත් Wilhelm Röntgen විද්‍යාඥයා වෙතයි. රසායන විද්‍යාව සඳහා බොහොමයක් නම් යෝජනා වී තිබුණේ ඒ වනවිට රසායන විද්‍යාවේ පුනරුදයක් ඇතිවී තිබූ අවධියක් නිසා, කෙසේ වුවත් පළමු රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය පිරිණැමුනේ තාපගතික රසායනය පිළිබඳ පර්යේෂණ පවත්වා ඒ වෙනුවෙන් කළ මෙහෙය වෙනුවෙන් Jacobus van’t Hoff නම් විද්‍යාඥයාටයි. පිළිවෙලින් සාහිත්‍යය වෙනුවෙන් Sully Prudhomme ද, වෝහාරික වෛද්‍යා විද්‍යාව වෙනුවෙන් ජර්මානු වෛද්‍යවරයෙකු සහ ක්‍ෂුද්‍රජීව විද්‍යාඥයෙකු වූ ගලපටලය සඳහා ඖෂධයක් සොයා ගත් Emil von Behring ද,  සාම ත්‍යාගය රතුකුරුස සංවිධානය සහ ජිනීවා සම්මුතිය ආරම්භ කිරීමට දායක වූ Jean Henri Dunant සහ ප්‍රංශ ජාතික Frédéric Passy වෙත ද පිරිනැමුවා.

සාමාන්‍යයෙන් සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී ඉදිරි වසරේ නොබෙල් ත්‍යාගය සඳහා නාමයෝජනා කැඳවීමට අයදම්පත් 3000 ක් පමණ යවනු ලබනවා. මේ අය අතර පර්යේෂකයන් සහ විද්‍යාඥයින්ගේ නම් බහුලව සඳහන් වනවා. නොබෙල් සාම ත්‍යාගයට රජයයන් සහ මීට පෙර සාමත්‍යාගය ලත් පුද්ගලයන්ගේ නම් ඇතුලත් වනවා. මෙයට අමතරව නොබෙල් කමිටුව විසින් නොබලේ ත්‍යාග ලැබීමට සුදුසු යැයි නම් කරන ලද 300 දෙනෙකුට අයදුම්පත්‍ර වෙනම යවනු ලබනවා. මේ සියළුම අයදුම්පත් භාරගන්නා අවසාන දිනය එම වසරේ ජනවාරි 31 වනදායි.  මේ නාම යෝජනා කමිටුව වෙත යවනු ලබන සියළුම නම් ඉතා රහස්‍ය ලෙස තබා ගන්නා අතර කිසිවිටෙක මේ පුද්ගලයින් 3300 දෙනාගේ නම් ප්‍රසිද්ධ කරන්නේ නැහැ.  මේ වාර්තා අදාල දිනයේ සිට අවුරුදු 50 ක් දක්වා සුරැකිව තබා ගන්නවා.

අයදුම්පත් ලද පසු නොබලේ කමිටුව විසින් නම් කරන ලද ආයතන විසින් සියළුම අයදුම්කරුවන්ගේ වාර්තාවන් සකස් කරනවා. ඔවුන්ගේ බහුතර ඡන්දයෙන් නොබෙල් ත්‍යාග ලාභියා තෝරාගනු ලබනවා. මෙය සෑම විටම අවසාන තීරණයක් වන අතර  තීරණය ලද වහාම ත්‍යාගලාභියා ප්‍රසිද්ධියට පත් කරනවා. මෙහිදී කිසියම් විෂයය ක්‍ෂෙත්‍රයකින් නම් කෙරෙන්නේ උපරිම ලෙස ත්‍යාගලාභීන් තුන්දෙනෙකු පමණයි. කෙසේ වුවත් කිසියම් ආයතනයක් ත්‍යාගය ලබන්නේ නම් ඒ සඳහා දායක වූ සියල්ලන්ට ත්‍යාගය ලැබෙනවා.  නොබෙල් සාම ත්‍යාගය හැර, අන් සියල්ලම ප්‍රදානය කරන්නේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවරදී ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ මරණ අනුස්මරණය දා වන දෙසැම්බර් 10 වනදායි. අදාල ත්‍යාග ලාභීන් සිය පර්යේෂණ පිළිබඳ දේශනයන් ඊට පෙර දිනවලදී කමිටුව හමුවේ ඉදිරිපත් කරනවා. නොබෙල් සාම ත්‍යාගය පිළිබඳ දේශනය දෙසැම්බර් 10 වන දින නෝර්වේ හි ඔස්ලෝහිදී පවත්වනු ලබන්නේ ඇල්ෆ්‍රඩ් නොබෙල් වෙත කරන ගෞරවයක් වශයෙන්. නොබෙල් ත්‍යාගයේ විශේෂත්‍වය වන්නේ එය ලබා දෙනු ලබන්නේ ස්වීඩනයේ රජතුමා අතින් වීමයි. නොබල් සාම ත්‍යාගය නෝර්වේ රජතුමා ඉදිරියේදී සාම කමිටුවේ සභාපතිවරයා විසින් ත්‍යාගලාභියා වෙත ප්‍රදානය කරනු ලබනවා.

මේ දක්වා නොබෙල් ත්‍යාග ලාභීන්ගෙන් විද්‍යා හා තාක්‍ෂණ අංශවලදී කාන්තාවන්ට ත්‍යාග ලැබී ඇත්තේ ඉතාම අඩුවෙන්, භෞතික විද්‍යාවෙන් කාන්තාවන් දෙදෙනකු ද, රසායන විද්‍යාවෙන් සිවු දෙනෙකුද, වෝහාරික වෛද්‍ය විද්‍යාවෙන් එකොලොස් දෙනෙකුද සම්මාන ලබා තිබෙනවා. මේ අතර සුවිශේෂීතාවය වන්නේ විකිරණශීලීතාවය සොයා ගැනීම වෙනුවෙන් මාරි කියුරී විසින් 1903 දී භෞතික විද්‍යාව උදෙසා ත්‍යාගය දිනාගත් අතර විකිරණශීලී මූලද්‍රව්‍යයක් වන රේඩියම් සොයාගැනීම වෙනුවෙන් රසායන විද්‍යාව සඳහා ත්‍යාතය ඇය විසින්ම 1911 දී දිනා ගැනීමයි. මෙය එකම පුද්ගලයෙකු විද්‍යාවේ අංශ දෙකකින් නොබෙල් ත්‍යාගය දිනා ගත් එකම අවස්ථාව ලෙස සනිටුහන් වනවා. එසේම මාරි කියුරුගේ ස්වාමියා වන පියරේ කියුරි භෞතික විද්‍යාව වෙනුවෙන් ද දියණිය අයිරීන් ජොලියට් කියුරී රසායන විද්‍යාව වෙනුවෙන් ද නොබෙල් ත්‍යාගය දිනා ගැනීම සුවිශේෂී කාරණයක්. මීට අමතරව රසායනික බන්ධන පිළිබඳ න්‍යාය ඉදිරිපත් කරමින් 1954 දී ලීනස් පෝලිං විසින් රසායන විද්‍යාව උදෙසා ත්‍යාගය දිනාගත් අතර 1962 දී නොබෙල් සාම ත්‍යාගය දිනා ගන්නේ න්‍යෂ්ඨික අවි භාවිතයට එරෙහිව ගෙනගිය අරගලය වෙනුවෙන්. එසේම ට්‍රාන්සිස්ටරය සොයාගත් තිදෙනාගෙන් කෙනෙකු වන ජෝන් බාඩීන් 1956 දී ඒ වෙනුවෙන් ද, 1972 දී සුපිරි සන්නායකතාවය පිළිබඳ න්‍යාය ඉදිරිපත් කිරීම වෙනුවෙන් ද භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයෙන්   පිදුම් ලැබුවා. ඉන්සියුලින් අණුක ව්‍යුහය සොයා ගැනීම වෙනුවෙන් Frederick Sanger 1958 දී සහ 1980 දී ඩී එන් ඒ භෂ්ම සැකැස්ම සොයා ගැනීමට ක්‍රමයක් සම්පාදනය කිරීම වෙනුවෙන් රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනාගනු ලබන්නේ එකම පුද්ගලයා දෙවරක් නොබෙල් ත්‍යාගය දිනූ ගොන්නට එකතු වෙමින්.

මේ දක්වා නොබෙල් සාම ත්‍යාගය දිනූ පුද්ගලයින් අතර නෙල්සන් මැන්ඩෙලා, ඩෙස්මන්ඩ් ටුටූ, අවුන් සාං සුකී, දලයිලාමා තුමා, යසිර් අර්ෆත්, සිමොන් ෆෙරෙස්, ජිමී කාටර්, එක්සත් ජාතීන්ගේ සංවිධානය, කොෆී අන්නන්, අල් ගෝර්, සහ බැරක් ඔබාමා සුවිශේෂී වනවා. මෙහිදී බැරක් ඔබාමාට ලබා දුන් නොබෙල් සාම ත්‍යාගය පිළිබඳ ආන්දෝලනයක් හට ගත්තේ ඔහු ඉදිරියට කළ හැකි සාම කටයුතු සඳහා සළකා බලමින්. නමුත් ඔහුගේ පාලන සමයේ ඇෆ්ගනිස්ථානය, ඉරාකය සහ ලිබියාවට ගෙන දුන් හානිය පිළිබඳ සඳහන් කරමින් බොහෝ සිවිල් සංවිධාන පසුව ඔහුගේ ත්‍යාගයට විරෝධතා පළකර සිටියා.

භෞතික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය දිනුවන් අතර විකිරණශීලතාවය සොයාගැනීම වෙනුවෙන් මාරි කියුරී සහ පියරේ කියුරි, රැහැන් රහිතව ගුවන් විදුලි තරංග සම්ප්‍රේෂණය වෙනුවෙන් ගුග්ලි එල්මෝ මාකෝනි, වායු නියමයන් සඳහා කළ දායකත්‍වය වෙනුවෙන් වැන් ඩර් වාල්ස්, ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඉදිරිපත් කිරීම සහ සාපේක්‍ෂතාවාදය ඇසුරින් භෞතික විද්‍යාවට කළ සේවය වෙනුවෙන් ඇල්බට් අයින්ස්ටයින්, පරමාණුක ව්‍යුහය නිර්ණයට දායක වීම වෙනුවෙන් නීල් බෝර්, ඉන්දියානු විද්‍යාඥ චන්‍ද්‍ර සේකර වෙන්කටරාමන් සහ වෙනත් බොහෝ ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥයින් ඇතුලත්.

2017 වසර සඳහා දැනට වෝහාරික වෛද්‍ය විද්‍යාව සහ භෞතික විද්‍යාව වෙනුවෙන් නොබෙලා ත්‍යාගලාභීන් නම් කර අවසන්. වෝහාරික වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් මෙවර ත්‍යාගය දිනාගෙන ඇත්තේ ජීව ඔරලෝසුව, එසේත් නැතිනම් වයසට යාම පිළිබඳ පර්යේෂණ සිදු කළ Jeffrey C. Hall, Michael Rosbash සහ Michael W. Young තිදෙනා විසින්. මේ පර්යේෂණය මුලින්ම සිදු කළේ පළතුරු මැස්සා උපයෝගී කරගෙනයි. මිනිසා ඇතුළු සියළුම බහු සෛලික සතුන්ගේ සෛලවල ඇතැම් කොටස් මේ ජීව ඔරලෝසුව වෙනුවෙන් ක්‍රියා කරනවා. මෙහිදී සිදු වන්නේ ජීවයේ රිද්මය සෛල මගින් බලාපොරොත්තු වීමයි. මෙය ජීවයේ අඛණ්ඩතාවය පාලනය කරන බවට දැන් සොයාගෙන තිබෙනවා. ජීව ඔරලෝසුවේ ආශ්චර්යය නම් එය ජීවියාට දවල් – රෑ වෙනස වැනි චක්‍රයක් ලෙස වෙනස්වන කරුණු බලාපොරොත්තුව සිටීමට උපයෝගී වීමයි.  මෙහිදී නිදා ගැනීම, රුධිර පීඩනය සහ ශරීර උෂ්ණත්‍වය යාමනය, හෝමොන නිදහස් කිරීම වැනි සංකීර්ණ කාරණා සිදු කිරීම මගින් ජීවය පවත්වාගෙන යාමට ඉවහල් වනවා. මේ පර්යේෂණය සනාථ කරනු ලැබුවේ නිදිකුම්බා ශාක පත්‍රවල පිබිදීම සහ නිද්‍රාව උපයෝගී කරගෙනයි. සාමාන්‍යයෙන් අඳුරේදී හැකිලෙන නිදිකුම්බා ශාක පත්‍ර දීර්ඝකාලයක් අඳුරේම තැබීමේදී ඒවා පැය 24කට වතාවක් දිගහැරෙන බව මේ විද්‍යාඥයින් සොයාගෙන තිබුණා. ඒ අනුව සිදු කළ පර්යේෂණ සහ වෙනත් අදාල පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස ජීව ඔරලෝසුව යන සංකල්පය හා ඒ සම්බන්ධ න්‍යාය ඉදිරිපත් කරනු ලැබුවා.

භෞතික විද්‍යාව වෙනුවෙන් මෙවර නොබෙල් ත්‍යාගය දිනාගනු ලබන්නේ පසුගිය වසරේ මහත් ආන්දෝලනයක් ඇතිකළ ගුරුත්වාකර්ෂණ තරංග සොයාගත් Kip Thorne, Rainer Weiss සහ Barry Barish තිදෙනා විසින්.

රසායන විද්‍යාව සඳහා මෙවර නොබෙල් ත්‍යාගය දිනාගනු ලැබ ඇත්තේ Jacques Dubochet, Joachim Frank සහ Richard Henderson විසින් අධිශීතකළ අවස්ථාවේ ජීව අණුවල ඉලෙක්ට්‍රෝණ අන්වීක්‍ෂ ව්‍යුහයන්  පැහැදිලි ලෙස රූපගත කළහැකි ක්‍රමය සොයාගැනීම වෙනුවෙන්. මේ නිසා විවිධ වෛරස සහ ජීව අණුවල නියම ස්වරූපය අධ්‍යයනය කළ හැකි වෙනවා. මෑතකදී සොයා ගැණුනු සිකා වෛරසය (Zika Virus) මේ ආකාරයෙන් රූපගත කළ වෛරසයක්, ඒ නිසාම ඒ සඳහා ඖෂධ සොයා ගැනීම ද පහසු වුනා.

ලෝකය වේගයෙන් ඉදිරියට යද්දී ලෝකෙන් උතුම්ම රටේ උතුම්මයි සැලකෙන ජාතිය තවමත් නොනවතින අගතිගාමී අරගලයන්හි යෙදෙමින් පවතිනවා. අපේ රටේ කෙනෙක් කවදා හරි සැලකිය යුතු කාරණයක් උදෙසා නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලබාවි යැයි, අපි නෙත් අයාගෙන බලා සිටිනවා.

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ඔක්තෝබර් 17, 2017, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , . Bookmark the permalink. ප්‍රතිචාර 3.

  1. ඉතාම වැදගත් සටහනක්
    අනෙකුත් විශයන් සම්බන්ධව ද නොබෙල් ත්‍යාග ලබාදුන් ආකාරය සහ ගත්තු අය ලියල තිබ්බ නං පූර්ණ සටහනක් වෙන්න තිබ්බ
    කොහොම නමුත් ස්තූතියි.

    කැමතියි

  2. ලෝකෙන් උතුම් රටට නොබෙල් ත්‍යාග දිනන්න අමාරුයි . මොකද ඒ රටේ අය වැඩියෙන්ම මහන්සි වෙන්නේ සොයාගැනීම වෙනුවෙන් නෙවෙයි . තමන්ගේ ග්‍රේඩ් එක වැඩිකරගන්නේ කොහොමද කියන එකට . අනික දැන් තියෙන්නේ කටපාඩම් සංස්කෘතියක් . බොහොම අඩුවෙන් තමයි අවබෝධය භාවිතා වෙන්නේ . ඉස්සර අය හොයාගත්ත දේවල් කට පාඩම් කර කර ඉදිරියට ගෙනියනවා ඇරෙන්න අලුත් යමක් හොයාගන්න අවස්ථාව අඩුයි .

    එහෙම අවස්ථා තියෙනවා . ඒත් ඒ අවස්ථා ලබා දෙන්නේ කටපාඩම් සංස්කෘතියෙන් ගොඩ ගිය අයට . හිතලා බලලා වැඩක් කරන අයට ගෙදර ඉන්න වෙන්නේ . ඒ නිසා අවස්ථාව ලබාදීමේ තේරීම් ක්‍රියාවලියේ ඉඳලා ලෝකෙන් උතුම් රට ඉන්නේ උතුම්ම ස්ථානයක .

    හොඳ ලිපියක් . ආසාවෙන් කියෙව්වා .
    බොහොම ස්තූතියි !

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: