Monthly Archives: ඔක්තෝබර් 2017

පිටස්තරයා 09


Episode 09.jpg

මොලී මොකාටද එන්න හදන්නෙ ? ඇවිල්ලා දවස් කීපයයි ගියේ විශ්වට බැල්ම දාන්න අරගෙන වගේ…… මෙගන් සිමෝනාට පැවසූවේ අමනාපයෙනි…

ඔයා විශ්වට කැමතිද ?

පොඩි කැමැත්තක් තියෙනවා… මම පොඩ්ඩක් විස්තර හොයලා බැලුවා… තවම ගෑණු ළමයෙක්වත් නැහැ…

පිරිමි ළමයෙක් ඉන්නවද දන්නෙ නෑ…… කැලිෆෝනියාවෙ ඉඳලනෙ ආවෙ…..පිටුපසින් සිට බිල් මහ හඬින් සිනාසෙමින් කතාවට එක් වූයේ තරුණියන් දෙදෙනාම පුදුමයට පත් කරවමිනි..

ඔයා අනුන්ගෙ කතාවලට කට දාන්න ඕන නෑ බිල්…

මම දාපු කටක් නෑ… මට ඇහුනා.. ඒ විතරක් නෙවෙයි ඔයා විශ්වට බැල්ම දානවා අපි හැමෝටම තේරෙනවා….

ඉතිං ඔයාට මොකද ? මම කැමති කෙනෙක් එක්ක යාළු වෙන්න මට පුළුවනි…

මම එදත් කිවුවා … අදත් කියනවා…….. ගෙරි මස් කනකොට බෙල්ලේ එල්ලගෙන කන්න එපා…. මේක මහ භයානක වැඩක්…..

සිමෝනා…. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි…. මම යමක් කරනවා නම් ඒක දිගටම කරන්නයි පටන් ගන්නෙ… මම හිතන්නෙ මට විශ්ව ගැලපෙනවා…. මෙගන් කිවුවෙ බොහොම බැරෑරුම්ව…

විශ්වට සල්ලි තියෙනවද ඔයාට බෑග් අරන් දෙන්නයි සාප්පු සවාරි එක්කන් යන්නයි ? ඔයාව නඩත්තු කරන්න ඉතිං අළුතෙන් බැංකුවක් කඩන්න වෙනවා….

ඒක ඔයාට ප්‍රශ්නයක් නෙවෙයි… මගේ වියදම් මම බලා ගන්නම්….

කොහොම වුනත් මට ආරංචි හැටියට නම් විශ්වගෙ හිතේ මොලී ගැන යමක් තියෙන පාටයි… මෙගන්ට ඉක්මන් වෙන්න වෙයි… ඔන්න දැනුත් විශ්ව මොලීගෙ කාමරයට රිංගනවා මම බලාගෙන… අපි ගැන නැති විශේෂත්‍වයක් විශ්ව ගැන මොලීට තියෙන පාටයි… එහෙනං අපි යනවා…. ඕන දෙයක් කරගන්නවලා… ඕන නම් අපි කියන්නම් විශ්වට, මෙගන්ගෙ කැමැත්තක් තියෙනවා කියලා… මගේ ගාස්තුව ගෙවන්න විතරයි ඕන….

යනවා යන්න…. අපි ඒක බලාගන්නම්… මෙගන් තරහින් මෙන් බිල්ව එලවා ගත්තාය….

ඇත්තෙන්ම කොහෙද මොලී විශ්වව එක්කගෙන ගියේ ?

මම දැක්කෙ නම් නීල්ගෙ කාමරේට ගියේ…. අළුත් ව්‍යාපෘතියක් වගේ…. කොහොමත්  අළුත් කෙනෙක් ආවම අළුතෙන් දෙයක් දෙන එක ලොක්කගෙ පුරුද්දක් නෙ….

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

වාඩිවෙන්න දෙන්නම…………

මම මේ දෙන්නටම එන්න කිවුවෙ මේ ව්‍යාපෘතිය ටිකක් බැරෑරුම් එකක් නිසා.. සමහරවිට ඔය දෙන්නට වෙනත් ප්‍රදේශ වලට යන්නත් වේවි… මට මුලින්ම දැනගන්න ඕන මේ වගේ ව්‍යාපෘතියක් භාර ගන්න ඔය දෙන්නා කැමතිද කියලා.

මොනවගේ ව්‍යාපෘතියක් ද ආචාර්ය ෆියු කියන්නෙ ? බැරෑරුම් කියන්නෙ ?

මේකයි… හොඳට අහගන්න… අපට දැන් චන්‍ද්‍රිකා ගුවන්ගත කිරීමෙදි  තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අධික වියදම… මේ වියදම වැඩිපුරම යෙදෙන්නෙ අපේ යානා පෘථිවි ගුරුත්‍වයෙන් මිදීමට ගන්න ශක්තිය වැඩි වීම… යානා සැකසීමට යන වියදම කොහොමත් එකයි, ඒක අඩු කරන්න තියෙන්නෙ බොහොම සුළු ක්‍රම කිහිපයක් පමණයි. නමුත් අපි විශ්වාස කරනවා මේ යානා ගුවන්ගත කිරීම වෙනස් කළොත් අපට සමහරවිට ලොකු මුදලක් ඉතිරි කරගන්න පුළුවන් කියලා. සමහරවිට අළුත් ඉන්ධන වර්ගයක් හොයා ගැනීම හෝ වෙනස් ගුවන්ගත කිරීමේ ක්‍රමයක් හෝ වෙනයම් ක්‍රමයක් වෙන්න පුළුවන්. ඉතින් මේ ව්‍යාපෘතිය බැරෑරුම් වෙන්නේ ඔය හේතු නිසා. මේ ව්‍යාපෘතියෙ රහස්‍ය භාවය අනෙක් ඒවට වඩා වැඩියි… ඒ නිසා බොහොම පරිස්සම් වෙන්නත් ඕන…

ඉතිං…. මොකද කියන්නෙ ? දෙන්නා මේ ව්‍යාපෘතිය කරන්න කැමතිද නැද්ද ? මට හිතලා බලලා හෙට දවස ඇතුලත කියන්න…. මොකද මට ඉක්මනට මේ ගැන වචනයක් ඉහළට දෙන්න ඕන… මේක මූලිකත්‍වයෙ ඉහළම තැනක තියෙන ව්‍යාපෘතියක්… සුදුසු කෙනෙක් එනකල් හිටියෙ භාර දෙන්න… ඉහළ පාලනාධිකාරයෙන් දැනුම් දුන්නා මේ ව්‍යාපෘතියට සුදුසුම දෙදෙනා ඔබ දෙදෙනා කියලා… ඒකයි මම දෙන්නටම එකට එන්න කියලා මේක කිවුවෙ… වැඩි විස්තර අවශ්‍ය නම් මේකට කැමතිද නැද්ද කියලා කියන්න… ඒ අනුව අපි කටයුතු කරමු….

හොඳයි…. අපි හෙට වෙනකොට හරි උත්තරයක් දෙන්නම්….

දැන් යන්න පුළුවන්… සුභ සන්ධ්‍යාවක් දෙදෙනාටම….

සුභ සන්ධ්‍යාවක්……

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

මොකද කියන්නෙ ? වැඩේ බාර ගන්නවද නැද්ද ? කාමරයෙන් පිට වූ විශ්ව මොලීගෙන් ඇසුවේ ඉතා සෙමින්….

මට නම් හිතෙන්නෙ බාර ගන්න… ටිකක් වැදගත් වැඩක් නෙ… කොහොම වුනත් බෑ කිවුවොත් අපේ වෘත්තීමය ඉදිරිගමනට (Professional Progress) හොඳ නැති වෙන්නත් පුළුවන්… මේ හැම පර්යේෂණයක්ම 100% ක් සාර්ථක වෙන ඒවා නොවෙයිනෙ.. හරි ගියේ නැතිනම් අපට ඉතිං කරන්න දෙයක් නෑ.. කොහොමත් මේ පර්යේෂණවල සාර්ථකත්‍වය ගැන අපි කාටවත් වග කියන්න බැහැ… ඒ නිසා මම නම් බාර ගන්න කැමතියි… කොහොමත් මේක අළුත්ම දෙයක්නෙ… මට යමක් ඉගෙන ගන්න අතරෙම යමක් හොයා ගන්නත් පුළුවන්… ඉතිං අපි Win-Win situation එකක ඉන්නෙ…. මම නං කියන්නෙ ඒකයි.

මටත් මේකෙ ලොකු අනතුරක් දකින්න නැහැ… අනික මට නම් දන්න විෂයයක් නිසා ඒ තරම් අමාරුවක් නැහැ.. මමත් කැමතියි මේ ව්‍යාපෘතියට… අනිත් එක මේක මේ අපි දන්න ලෝකෙ තියෙන දෙයක් නෙ… අනිත් දේවල් ඔක්කොම කරන්නෙ අභ්‍යවකාශයෙ තියෙන දේවල් පොළවෙ අත්හදාබලන එකනෙ….. ඔයත් කැමති නම්, මමත් කැමති නම් අපි දෙන්න හෙට උදෙන්ම ගිහින් කියමු වැඩේට කැමතියි කියලා.. කොහොම වුනත් අළුත් ව්‍යාපෘතියකට මමත් කැමතියි… මීට ඉස්සර කට්ටිය කරලා කුණු වෙලා තිබුණ ඒවට වඩා….

විශ්ව අගේ විකසිතවන මුව දෙස යන්තමින් බලා පැවසුවේය….

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

මොකද කරන්නෙ? ආයෙම බලමුද ?

දාලා තියන්න… පටිගත වෙන දෙයක් පටිගත වෙයිනෙ… අන්තිමට බලමු….

අදත් මිනිහා තනියම….

මිනිහගෙ ජීවිතේම තනියම නෙ ගෙවුනෙ….

මොනවද ඒ කරන්නෙ ? කෑමක් හදනවද ?

ඒ වගේ තමයි… කොහොමත් ඔය ආසියානු මිනිස්සු හරියට කෑම හදන්න වෙලා ගන්නවා…. අපි වගේ නෙවෙයි… උන් දවසක් කෑම හදලා පැයකින් කාලා ඉවර කරනවා. ගෙදරම කුළුබඩු ගඳයි… අපි දවසක් චීන ගෙදරකට ඇතුළු වුන වෙලාවෙ වමනෙ යන්න ආවා… උන් කුකුළු අඬු උයලා කන්න හදනවා…. ඔන්න ඔය වගේ ජරා වැඩ….

අන්න මිනිහා නාන්න යනවා… අදත් බලමු අර සංසිද්ධිය වෙනවද කියලා….

සිය ඉලක්කයට තාප සංවේදක කැමරාව මානාගෙන පටිගත කරන අතරතුර සිය අත්දැකීම් හුවමාරු කර ගනිමින් සිටි එෆ් බී අයි ඒජන්තවරු දෙදෙනා තමන් දකින්නේ කුමක්දැයි සිතාගත නොහැකිව එකිනෙකා දෙස බලාගත්වනම බලාහුන්හ….

සැමදාම සිදු කරන පිරිසිදු වීමේ පිළිවෙත ක්‍රියාත්මක කරමින් විශ්ව උණුවතුර කරාමය විවෘත කළේය…. උණු වතුරෙන් සිය සිරුරේ ශ්වේද ග්‍රන්ථි විවෘතවෙනු ඔහුට දැනුනි…. සිරුර පිරිසිදු කරන සුවිශේෂ ද්‍රාවණය ඔහු සිය සිරුර පුරා තවරාගත්තේය… සිය සිරුර උණුසුම් වනු ඔහුට දැණුනි… නැවතත් ස්නානය කරන්නට පටන් ගත් ඔහු සීතල කරාමය විවෘත කළේය…. සිය ශ්වේද ග්‍රන්ථි ක්‍රමයෙන් වැසෙනු සහ සිරුරේ මස් සම් ඇට නහර සියල්ල උණුසුම් වන අයුරු ඔහුට දැණුනි… තමා නැවතත් ළදරුවෙකු මෙන් පිරිසිදුය….

සැහැල්ලු ඇඳුමක් ලා ගත් ඔහු නාන කාමරයෙන් ඉවතට පැමිණියේය…

ඊට යාර පන්සීයක් පමණ ඈතින් වූ ගොඩනැගිල්ලක ඉහළ මාලයේ සිට කිසිවෙකු තමා නිරීක්‍ෂණය කරන බව විශ්ව නොදත්තේය… නමුත් කිසියම් අමුත්තක් ඔහුගේ සිතට දැනුනි.. ස්නානයෙන් පසු වහාම සුපුරුදු නින්දට වැටීම වෙනුවට තවත් ටික වෙලාවක් නොනිඳා රැඳී සිටීමට ඔහු තීරණය කළේය….

අසළ වූ පොත් රාක්කයක් වෙත ගිය ඔහු කිසියම් පොතක් අතට ගත්තේය….

කොහොමද මෙහෙම මිනිහෙක් ජීවත් වෙන්නෙ ? අදත් උෂ්ණත්‍වය 103 යි

මෙච්චර වෙලා හොඳට හිටිය මිනිහා නාලා ඉවර වුනාම කොහොමද මෙච්චර උණුසුම් වෙන්නෙ ? බලමු එදා වගේ සීතල වෙනවද කියලා….

එෆ් බී අයි ඒජන්තයින් දෙදෙනා කැමරාව මානාගෙන පැය බාගයක් පමණ සිටියත් ඔවුන් බලාපොරොත්තු වූ පරිදි සිය ඉලක්කය උෂ්ණත්‍ව වෙනසක් නොපෙන්වීය..

Jeova Sanctus Unus විසින් රචිත Philosophiæ Naturalis Principia Mathematica නම් වූ ලතින් භාෂාවෙන් ලියැවුන පොත පෙරලාගත් විශ්ව අසල වූ සෝපාවේ දිගා වී පිටු පෙරළන්නට විය.

 

මේ පොත ලියා ඇත්තේ එසේ මෙසේ පුද්ගලයෙකු නොවේ. දාර්ශනිකයෙක්, මහා විද්‍යාඥයෙක් මෙන්ම සුප්‍රසිද්ධ ඇල්කෙමිවරයෙක් වූ පුද්ගලයෙකි. සිය පත්‍රිකා Jeova Sanctus Unus නමින් අත්සන් කළ,ලෝකයා වෙනත් නමකින් දන්නා Isaacus Neutinuus විසිනි. සිය අධ්‍යාපනයේ ඉහළ කඩඉම ඇරඹු දා සිට අයිසැක් නිවුටන් කෙරෙහි වූ ගෞරවය දිනෙන් දින වැඩි වූ බව විශ්ව දැන සිටියේය… අයිසැක් නිවුටන් මහා විද්‍යාඥයෙක් යැයි කියා පමණක් සාමාන්‍ය ලෝකයා දැන සිටියද ඔහු සතු අසාමාන්‍ය බුද්ධිය සහ දියුණු කරන ලද සිත පිළිබඳ දැන සිටියේ අතලොස්සකි. බොහෝ දාර්ශනිකයින් සිය බුද්ධිය උපතින් රැගෙන ආවැයි ලෝකයා හැඳින්වුවද, ඒ බොහෝ දෙනා කිසියම් හෝ ක්‍රමයකින් සිත දියුණු කරන ලද පුද්ගලයින් වේ. ඇරිස්ටෝටල්සොක්‍රටීස්පයිතගරස්ප්ලේටෝ, පරම්පරවෙන් පසු පැමිණි නොස්ට්‍රඩාමස් වැනි අනාවැකි කියන්නන්ද , ලියනාඩෝඅයිසැක් නිවුටන්බීතෝවන්,  තාගෝර්,  අයින්ස්ටයින්  මෙන්ම දැනට ජීවතුන් අතර සිටින ස්ටීවන් හෝකින් ඇතුළු ලොව බොහෝ සුප්‍රසිද්ධ විද්‍යාඥයෝ සහ දාර්ශනිකයෝ මේ ගණයට අයත් පුද්ගලයෝ වෙති. සිත දියුණු කිරීම එක් ආගමකට සීමා වූවක් යැයි බොහෝ දෙනා සිතා සිටියත්, බුදුන් වහන්සේ මෙන්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ද සිය ජීවිතයේ එක්තරා අවධියක සිත දියුණු කිරීම උදෙසා කැප වී සිටි බව බොහෝ දෙනා නොසළකා හැර තිබේ. ඒ තම ආගම අනුන්ගේ ආගමට වඩා උසස් යැයි සිතීමේ පටු මානසිකත්‍වය ඇති මිනිසුන් පිරිසක් බවට ඔවුන් පත් වී ඇති නිසාය. සිත දියුණු කරන්නන් අතීතය වර්තමානය මෙන්ම අනාගතය ද දකිති. අයිසැක් නිවුටන්ට ගුරුත්‍වාකර්ෂණය පිළිබඳ සිතිවිල්ල පහළ වූයේ ඇපල් ගෙඩියක් බිමට වැටෙනවා දැකීමෙන් යැයි ප්‍රවාදයේ සටහන් වුවත් නිවුටන්ගේ දියුණු කළ සිතට එවැනි හැඟීමක් පහළ වීමට ඇපල් ගෙඩියක් බිමට වැටෙන තෙක්  සිටිය යුතුද යන්න විමර්ෂණය කළ යුතු ප්‍රශ්නයකි.

නූතන විද්‍යාව නව සොයා ගැනීම් වලින් බහුල යැයි සිතා බොහෝ දෙනෙකු උදම් ඇනුවත්, ඉපැරණි වේද ග්‍රන්ථ සහ උපනිෂද් ග්‍රන්ථවල ඇති දෑ විවරණය කිරීමේදී නූතන විද්‍යාවෙන් විස්තර කෙරෙන හයිසන්බර්ග් මූලධර්මය (Heisenberg Uncertainty Principle) නම් වූ මූලධර්මය උපනිෂද් නම් හින්දු වේදික පුස්කොළපොත් වල තිබූ බව දන්නේ ලොව ඉතා ස්වල්ප දෙනෙකු පමණි. ඉපැරණි භාරතයේ සුපතල පුස්තකයක් වූ භගවත් ගීතාවෙන් ද්විත්‍ව කල්පිතය (Dualism concept) නම් වූ මූලධර්මය විස්තර කෙරුණේ මීට වසර දෙදහසකටත් වඩා පෙර බව බොහෝ දෙනා නොදනිති. කෙටියෙන් කිවහොත් නූතන විද්‍යාව යනු වසර දෙදහසකට පෙර සිත දියුණු කළ පුද්ගලයින් විසින් ලියන ලද පුස්තකයන්හි ඇති මූලධර්ම ආශ්‍රයෙන් ගොඩ නැඟුනක් බව නූතන විද්‍යාඥයෝ පවා අමතක කර ඇත: නැතහොත් සරළවම ඔවුහු ඒ බව නොදනිති.

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

සුභ උදෑසනක් විශ්ව….

සුභ උදෑසනක් මොලී.. කොහොමද ඔබට ?

බොහොම හොඳයි…..  ඔබට ?

මමත් හොඳින්…… අපි දැන් යමුද ?

යමු…………….

දෙදෙනාම  ආචාර්ය ෆියු හමුවීමට ඔහුගේ කාමරය වෙත පා නැඟූහ….

සාමාන්‍යයෙන්  හමුවන මිතුරු මිතුරියන්ගෙන් “කොහොමද ?” කියා ඇසීම ඇමරිකානු සිරිතකි. එයට පිළිතුරු දීම හෝ නොදීම අදාල පුද්ගලයාගේ සිරිතක් වන අතර බොහෝ විට කෙටි පිළිතුරක් ලබා දේ. මෙය වෙනත් රටවල, විශේෂයෙන් යුරෝපයේ හෝ ආසියාවේ දකින්නට නොලැබෙන සිරිතක් සේ පෙනේ.

මොකද දෙන්නා උදෙන්ම ? සුභ ආරංචියක්ද නැතිනම් එච්චර සුභ ආරංචියක් නෙවෙයිද ?

සුභ ආරංචියක් නීල්…. අපි දෙදෙනාම මේ වැඩේට කැමතියි…. අපි මේ ව්‍යාපෘතිය භාර ගන්නවා.

බොහොම සන්තෝෂයි…. මමත් බලාපොරොත්තු වුනා ඔබ දෙදෙනා මේ ව්‍යාපෘතිය භාර ගනීවි කියලා… මේක බොහොම වැදගත් ව්‍යාපෘතියක්, සමහරවිට  මේ ව්‍යාපෘතිය හරි ගියොත් මේක අමෙරිකානු අභ්‍යවකාශ වැඩසටහනේ ප්‍රබල සංධිස්ථානයක් වේවි. ඉතින් එහෙනම් අපි පටන් ගනිමු….

ආචාර්ය නීල් ෆියු  සිය පරිඝණකයේ වූ වැඩසටහන පසෙක වූ පුළුල් තිර රූපවාහිනි තිරය මත දිස් වන්නට සැලැස්වීය… ඉන් පසු පර්යේෂණය විස්තර කිරීම ඇරඹීය….

විද්‍යාත්මක පර්යේෂණ ආවාට ගියාවට සිදු කරන්නක් නොවේ. පර්යේෂණ වලට පැහැදිලි සැකිල්ලක් ඇති අතර සෑම පර්යේෂණයක්ම පර්යේෂණ සාරධර්ම (Research Ethics) වලට යටත්ව සිදු කෙරේ. බොහෝ බටහිර රටවල පර්යේෂණ සඳහා විශාල මුදල් සම්භාරයක් යට කෙරෙන නිසාම ඒවායේ තත්ත්‍වය මෙන්ම බලාපොරොත්තු වන ප්‍රතිඵල ද උසස් වේ. මේ නිසා සිදු කරන සෑම පරීක්‍ෂණයක්ම මනා සැලසුමකින් යුක්තව බොහෝ කරුණු සළකා බලා සිදු කෙරේ.

බොහෝවිට පර්යේෂණ සිදු කරන්නේ වාලුකා යන්ත්‍රයක (Hourglass) ආකෘතියකට වේ. මේ ආකෘතිය ආරම්භ වන්නේ විශාල පර්යේෂණ ක්‍ෂෙත්‍රයක කරුණු සළකා බැලීමෙනි. එසේ ලබා ගන්නා කරුණු කෙමෙන් කෙමෙන් ලඝු කර නියමිත පර්යේෂණය සඳහා කේන්‍ද්‍ර කර ගනු ලැබේ. එයින් ලැබෙන ප්‍රතිපල විදාරණය කර එහි දත්තවලින් ලැබෙන තොරතුරු සාක්‍ච්ඡා කර නිශ්චිත නිගමනයකට එළැඹීම මගින් පර්යේෂණයේ අභිමතාර්ථයන් සාක්ෂාත් කර ගත හැකිය. විද්‍යාත්මක පර්යේෂණවල මූලික අදියර කිහිපයකි.

 

ඇත්තෙන්ම මේ දෙදෙනා සිදු කරන්නට යන පර්යේෂණය කුමක්ද ?

FBI ඒජන්තවරුන් දෙදෙනා විශ්වගෙන් ලබාගන්න බලාපොරොත්තු වන විස්තර මොනවාද ?

ලබන සතියට….

අනාගත ලෝකයේ බල-පුළුවන්කාරයා – Tesla Motors අධිපති ඉලොන් මස්ක්


Elon Musk

බලය ලැබෙනවා නම් ඕනෑම දෙයක් කරන්නට අපේ රටේ සමහරක් මෙන්ම සම-හරක් දේශපාලනඥයින්ද රැසක් සිටින බව ඔබට දැන් හොඳින්ම අවබෝධව තිබෙනවා වන්නට පුළුවන්. එසේ නොමැතිනම් එක්කෝ ඔබේ දේශපාලන බුද්ධිය ළදරු අවදියේ හෝ ඔබ යම් පක්‍ෂයකට හෝ කණ්ඩායමකට අන්ධ භක්තියෙන් යුතුව අදහන පුද්ගලයෙක් හෝ විය හැකියි. බලය යනු දේශපාලන බලයම පමණක් නොවෙයි. එය විවිධාකාරයි. සමහරවිට මුදල් බලය, බුද්ධිමය බලය මේ සියල්ලටම වඩා බලවත් විය හැකියි. අවාසනාවට ලංකාවේ බුද්ධිමය බලය වෙනත් බොහෝ දෑ වලින් යටපත් වී තිබීම නිසා, රට සෑම අංශයකින්ම පිටුපසට ගමන් කරනවා.

අපේ රට මෙසේ පිටුපසට ගමන් කරද්දී, ලෝකය බොහෝ දුරක් ඉදිරියට ගමන් කරනවා. මේ සියල්ල අවසන අප නිද්‍රාවෙන් ඇහැරී ලෝකය කොහේදැයි බලද්දී, අපට අල්ලන්නට බැරි තරම් දුරක් එය ගමන් කර අවසන්… මේ ඉදිරි ගමනේදී  විවිධාකාර පුද්ගලයින් විසින් විවිධාකාර එකතු කිරීම් ලෝකයට ලබා දෙනවා. සර් එඩ්වඩ් ජෙනර් වසූරිය එන්නත සොයා ගැනීම, ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමිං පෙනිසිලීන් සොයා ගැනීම, අභ්‍යන්තර දහන එන්ජිම සහිත මෝටර් රථයේ නිමැවුම, මෙන්ම නිකොලා ටෙස්ලාගේ විද්‍යුතය සම්බන්ධ සොයාගැනීම් වැනි සුසමාදර්ශීය වෙනසක් (Paradigm Shift) ඇති කළ හැකි සොයාගැනීම් නිසා ලෝකය ගමන් කරමින් තිබූ දිශාව වෙනතකට යොමු වුනු වාර ගණන බොහොමයක්.

ලොව ප්‍රධාන පෙලේ මෝටර් රථ සමාගම් සහ ඉන්ධන සමාගම්වල දායකත්‍වය වුනේ ලොව පුරා පෙට්‍රල් සහ ඩීසල් වලින් ධාවනය වන මෝටර් රථ නිශ්පාදනය සහ ප්‍රචලිත කිරීමයි. මේ ව්‍යාපාර දෙක එකිනෙක බැඳී අන්‍යොන්‍ය සහයෝගයෙන් කටයුතු කිරීම නිසා වෙනත් විකල්පයක් එලි දක්වන්නට ලැබුණේම නැහැ. එසේම එවැනි විකල්පයක් පැමිණියත්, වැඩිකල් පැවැත්මකට ඉඩක් ලැබුණේද නැහැ. කැලිෆෝනියා ප්‍රාන්තයේ වායු විමෝචන ප්‍රතිපත්තියට අනුව ප්‍රධාන පෙළේ ඇමරිකානු මෝටර් රථ සමාගමක් වන GM Motors විසින් ලොව ප්‍රථම විද්‍යුත් මෝටර් රථය GM EV1 ලෙසින් එළිදැක්වූයේ 1996 වසරේදීයි. මෝටර් රථයේ අයිතිකරුවන් පවසන පරිදි එය ඉතාම සුමට, ධාවනය කිරීමට පහසු සහ විනෝදයක් ගෙන දෙන වාහනයක් වුනා. එකළ එය කිලෝවොට් පැය 18.7 ක ධාරිතාවයකින් යුත් ඊයම් අයන බැටරි පද්ධතියකින් බල ගැන්වුනා. එම බලයෙන් එම රථයට සැතපුම් 70 ත් 100 ත් අතර දුරක් ධාවනය කිරීමට හැකි වීම එකළ සුවිසල් ජයග්‍රහණයක්. නමුත්, කුමක් හෝ කරුණක් නිසා කැලිෆෝනියා ප්‍රාන්තය එම වායු විමෝචන ප්‍රතිපත්තිය නැවත ලිහිල් කරන විට, GM සමාගම එම මෝටර් රථ නිෂ්පාදනය නැවැත්වූවා පමණක් නොවෙයි, විකුණා තිබූ සියළුම EV1 මෝටර් රථ නැවත ලබාගෙන සියල්ලම විනාශ කර දැමුවා. මෙය ලෝකයේ පරිසර හිතකාමී බොහෝ දෙනාගේ කණස්සල්ලට හේතූ වූ අතර මේ සම්බන්ධ සිදුවීම් ජාලය Who Killed the Electric Car නම් වාර්තාමය චිත්‍රපටයෙන් මනා ලෙස සාකච්ඡා කෙරුණා. ඉන්පසු ගෙවී ගිය දහසය වසර තුළ විද්‍යුත් මෝටර් රථ නිපැයුමට විවිධාකාර පර්යේෂණ සිදු කෙරුණා.

පළමු ටෙස්ලා විද්‍යුත් මෝටර් රථය – Tesla Model S

2012 වසරේ ජුනි මාසයේ විද්‍යුත් මෝටර් රථ බලාපොරොත්තුව නැවතත් අළුත් කරමින් ඉලොන් මස්ක් විසින් ලොව පළමු ටෙස්ලා විද්‍යුත් මෝටර් රථය ලොවට හඳුන්වා දුන්නේ අනාගත මෝටර් රථ ලෝකයේ සුසමාදර්ශීය පෙරළියක් ඇති කරමින්. එපමණක් නොවෙයි, මේ මෝටර් රථය සුපිරි පහසුකම් වලින් සමන්විත, පස් දෙනෙකුට සුව පහසුවෙන් යා හැකි, 0 සිට පැයට සැතපුම් 60 ක ත්වරණයක් තත්පර 5 කින් ලබාගත හැකිවන පරිදි සැකසූ පළමු විද්‍යුත් මෝටර් රථය වුනා. ඉහත කී සියළුම පරාමිතීන් ඉන්ධන වලින් ධාවනය වන වෙනත් සියළුම සුපිරි මෝටර් රථ වල දැකිය හැකි ලක්‍ෂණ නිසා, මෙම හඳුන්වාදීම ඉන්ධන වලින් දහනය වන මෝටර් රථ වෙළඳපොලේ සුවිසල් වෙනසක් ඇති කිරීමට සමත් වුනා.

මේ හඳුන්වාදීමත් සමගම මෙතෙක් ලෝකය හඳුනාගෙන නොසිටි නව වීරයෙකු ලොවට පහළ වුනා. ඒ 1971 ජුනි මස 28 වන දින දකුණු අප්‍රිකාවේ ප්‍රිටෝරියාහි උපත ලබා, දකුණු අප්‍රිකාව, ඇමරිකා එක්සත් ජනපදය සහ කැනඩාව යන රටවල් තුනෙහිම පුරවැසිභාවය ලබා සිටින ඉලොන් රීව්ස් මස්ක් නම් ලොව 80 වන ධනවත්ම පුද්ගලයායි.

ටෙස්ලා සමාගම මුලින්ම හඳුන්වා දුන් රථය වන Tesla Model S, රථය වෙනත් මෝටර් රථ සියල්ලටම වඩා වෙනස් වීම නිසාම එහි වටිනාකම ඉතා ඉහළ ගියා. එහි නවතම සංස්කරණයන් නවීනතම පහසුකම් වලින් සමන්විත අතර 0 සිට පැයට සැතපුම්  60 දක්වා ත්වරණය  දැන් තත්පර 2.5 කින් ලබා ගැනීමේ හැකියාව සහිතයි. එයට අමතරව BMW මෝටර් රථ සමාගම විසින් හඳුන්වා දුන් වංගුවකදී ප්‍රධාන ලාම්පුවල දිශාව වෙනස් කර දැල්වීම මගින් ඉදිරියේ ආලෝකය කාර්යක්‍ෂම කිරීම, ප්‍රධාන සංඥා පුවරුව සම්පූර්ණයෙන්ම ස්පර්ශක සංවේදක තිරයක් (Touch Screen) භාවිතයෙන් පාලනය කිරීම. ජීව රසායනික සාධක වන හානිකර බැක්ටීරියා සහ වෛරස රථය තුළට ඒම පාලනය කරන සුවිශේෂ වායු පෙරණයන් (Air Filters) භාවිතය, අර්ධ හෝ පූර්ණ ස්වයංකාරීත්‍වය. කෘත්‍රීම බුද්ධිය භාවිතා කිරීමේ සුවිශේෂ හැකියාව මගින් ගමන් කළ පාර හෝ තමන් යාමට සිතා සිටින මාර්ගයක මාර්ග තොරතුරු මනා ලෙස ගබඩා කරගැනීම සහ ඒ මාර්ගයේ ධාවනය වන අනෙකුත් Tesla වාහනවලට අදාල සංඥා නිකුත් කිරීම මගින් ඒ වාහනවල ගමන පහසු කිරීම වැනි ඉතා උසස් ගණයේ තාක්‍ෂණික මෙවලම් භාවිතා කරනවා.

ටෙස්ලා හි නවතම මෝටර් රථය වූ Model S 100D තුළ කිලෝවොට් පැය 100 ක ධාරිතාවයකින් යුතු බැටරි සංයුක්තයක් අන්තර්ගතයි. එමගින් සැතපුම් 335 ක් නොනවත්වා ධාවනය කළ හැකියි. 2016 වසරේ නොවැම්බර් මාසය වන විට ලොව පුරා Tesla Model S වාහන එක්ලක්‍ෂ පනස්දහසකට වඩා විකිණී තිබෙනවා. 2013 වසරේදී ලොව හොඳම හරිත වාහනය ලෙස කිරුළු පළන් Model S කාරයට ලැබී ඇති සම්මාන ගණන බොහොමයක්, ඒ අතරින් සියවසේ කාරය ලෙස කිරුළු පැළඳීම විශේෂයි.

ඉලොන් මස්ක් ටෙස්ලා සමාගම ආරම්භ කළ පුද්ගලයා නොවෙයි. එය 2003 ජුලි මස  ඇරඹුවේ Martin Eberhard සහ Marc Tarpenning යන දෙදෙනා විසින්. ඉලොන් මස්ක් 2004 වසරේ පෙබරවාරි මස සමාගමට ආයෝජනය කරන තෙක් පාලනය කරන ලද්දේ මේ දෙදෙනා විසින්. ඉලොන් මස්ක් විසින් සමාගම අයිතිකරගත් පසු ඔහු එහි ප්‍රධාන විධායක නිලධාරී සහ සමාගමේ සභාපතිත්‍වය භාරගනු ලැබුවා. ටෙස්ලා සමාගම මුල්ම විද්‍යුත් මෝටර් රථය නිපදවනු ලැබුවේ 2008 වසරේ  Tesla Roadsterin 2008 නිපදවීමත් සමගයි. එය රටවල් 31 ක ඒකක 2500 ක් විකුණනු ලැබුවා.ඉන්පසු 2012 ජුනි 22 වන දින Tesla Model S එළිදක්වනු ලැබුවා. Tesla Model S තරඟ කළේ කුඩා ජීප් රථ සහ කුඩා වෑන් සංකල්ප සමගයි. 2012 පෙබරවාරි 09 වන දින එළි දැක්වුනු Model X සංකල්ප මෝටර් රථය නිශ්පාදනය 2015 වසරේ සැප්තැම්බර් වනතුරු කල් දමා එළිදැක්වූවා. මෙයට අමතරව ටෙස්ලා සමාගම ඩේම්ලර් බෙන්ස්, සහ ටොයොටා සමාගම්වලට මෝටර් රථ එන්ජින් තනා දීමත සිදු කරනවා. ඒ නිසාම ටොයොටා සහ ඩේම්ලර් බෙන්ස් සමාගම් දෙකම දිගුකාලීන ආයෝජකයන් වශයෙන් ටෙස්ලා සමාගමට දායකත්‍වය සපයනවා.

ටෙස්ලා සමාගමට අමතරව ඉලොන් මස්ක් සතු සමාගම් බොහොමයක් තිබෙනවා.

Zip2

1995 වසරේදී මෙම සමාගම මස්ක් විසින් ඇරඹුවේ සිය පියාණන්ගෙන් ණයට ඉල්ලාගත් ඇමරිකානු ඩොලර් 28,000 ක මුදලින්. සංචාරකයන්ට සිය ගමන් පහසුව සඳහා මඟපෙන්වන වෙබ්පිටුවක් නිර්මාණය කළ ඔවුන් එය The New York Times සහ the Chicago Tribune පුවත්පත්වලට අලෙවි කළා, පසුව එය Compaq සමාගම විසින් මිලදී ගත්තේ ඩොලර් මිලියන 307 කටයි, එයින් මස්ක් ලැබූ කොටස ඩොලර් මිලියන 22ක්.

X.com and PayPal

ඉන් අනතුරුවයි මස්ක් විසින් පළමු ලාභයෙන් ලබාගත් මුදලින් මිලියන 10 ක් ආයෝජනය කර, අප බොහෝ දෙනා දන්නා, නමුත් වැඩි විස්තරයක් නොදන්නා Paypal සමාගම 1999 දී ඇරඹුවේ. මෙය අන්තර්ජාලයෙන් මුදල් හුවමාරු කරගන්නා අයට පහසුකම් සපයන සමාගමක්. පසුව එය Confinity නම් සමාගම සමග එකතු වී කටයුතු කළා. කෙසේ වෙතත් බොහෝ දෙනාට සිදුවනවා සේම 2000 දී ඔහු දැරූ ප්‍රධාන විධායක නිලධාරී ධුරයෙන් ඔහුව පහ කරනු ලැබුවා.  2002 දී , PayPal සමාගම  eBay විසින් ඩොලර් බිලියන 1.5 කට අත්පත් කර ගනිද්දී මස්ක් මිලියන 165 කට හිමිකම් කියූවා.

SpaceX

2001 මස්ක් සිය සිහිනයක් වූ අඟහරු ක්‍ෂෙමභූමිය “Mars Oasis”; නම් අඟහරු ලෝකයේ ජීවිතය ගත කිරීමට අවශ්‍ය හරිතාගාරයක් සැකසීමේ සිහින ව්‍යාපෘතියට අතගැසුවා. එහිදී සිය රුසියානු මිතුරන් සහ ව්‍යාපෘති සහචරයන් සමග දෙවතාවක්ම සිය ව්‍යාපෘතිය ඉදිරියට ගෙනයාමට යත්න දැරුවත්, ඔවුන් රොකට් යානයකට ඉදිරිපත් කළ මුදල් අවශ්‍යතාවය වන ඇමරිකානු ඩොලර් බිලියන 8 ඉතා වැඩි බව මස්ක්ට තේරුම් ගිය නිසා ඔහු රොකට් තාක්‍ෂණය පිළබඳ හදාරන්නට පටන් ගත්තා. එහිදී රොකට් යානයක මිලෙන් අමුද්‍රව්‍ය සඳහා වැයවන්නේ සියයට තුනක ප්‍රමාණයක් බව ගණන් බැලූ ඔහු තමන්ට අවශ්‍ය රොකට් යානා ඔහුම නිපදවන්නට තීරණය කළා. ඊට පෙර ඔහු උපයා තිබූ ධනයෙන් මිලියන 100 ක් ආයෝජනය කර 2002 මැයි මාසයේ ඔහු SpaceX සමාගම ආරම්භ කළා. එය දැනට ලෝකයේ පවතින විශාලතම පෞද්ගලික රොකට් යානා නිෂ්පාදනය කරන ආයතනය වන අතර බොහොමයක් ව්‍යාපෘති NASA ආයතනය සමග ක්‍රියාත්මක කරනවා.

අඟහරු වායුගෝලය ඔක්සිජන් රහිත නිසා සිය රොකට් විදුලියෙන් ක්‍රියාකරවීමට සිදුවන බව ඔහු අදහස් දැක්වූවා. ඒ අනුව 2018 දී සිය ප්‍රථම රොකට්ටුව අඟහරු මත ගොඩබැස්සවීමට ඔහු සැලසුම් කර තිබෙනවා. තව දුරටත් සැලසුම් කරන ඔහු 2022 වනවිට පළමු මිනිසුන් රහිත රොකට්ටුවත්, 2024 දි පළමු මිනිස් පා සළකුණ අඟහරු මත තැබීමටත් ඔහු සැලසුම් කර තිබෙනවා.

Tesla

ටෙස්ලා සමාගම ඉලොන් මස්ක් සතුව තිබුණත්, එය ආරම්භ කළේ Martin Eberhard සහ Marc Tarpenning, දෙදෙනා විසින් 2003 ජුලි මාසයේදී. 2004 දී ඔහු සිය ආයෝජනයන් වැඩි කරමින් ටෙස්ලා මෝටර්ස් හි සභාපතිවරයා වශයෙන් අය අත්පත් කරගත්තා. එසේම ප්‍රථම විද්‍යුත් මෝටර් රථය වූ Roadster හි සියළුම සැලසුම් සඳහා ඔහු සිය දායකත්‍වය ඉතා කැපවීමෙන් සැපයුවා.

2008 දී ඇමරිකානු මූල්‍ය අර්බුධයේදී ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සහ ප්‍රධාන නිපැයුම් ශිල්පී යන තනතුරු දෙකම අත්පත් කරගත් මස්ක් 2008 දී ප්‍රථම විද්‍යුත් මෝටර් රථය වන Tesla Roadster වෙළඳපොලට එළිදැක්වූවා. ඉන්පසුව මෝටර් රථ ලෝකයේ දෙවන සුසමාදර්ශීය විප්ලවය ඇරඹුනා. සිය මෝටර් රථය අධික මිලට විකිණිය හැකි වුවත්, ඔහු එය සැමට මිලදී ගත හැකි වන අයුරින් ඇමරිකානු ඩොලර් 30,000 ක මුදලකට අලෙවි කරනවා. එසේම සිය පාරිභෝගිකයන්ට පහසුවෙන් ආරෝපණය කරගතහැකි වන සේ වෝල්ට් 480 ක වෝල්ටීයතාවයකින් යුත් Super Charger දාමය ඇමරිකාව පුරාම ව්‍යාප්ත කිරීමට ඔහු කටයුතු කරනවා. මෙය සාමාන්‍ය ඉන්ධන මෝටර් රථ සමාගම්වල මොඩලයට මරු පහරක් වන්නේ, මෝටර් රථය අඩු මිලකට ලබා ගැනීම, පහසු සහ අඩු මිල ආරෝපණය, මෝටර් රථයේ ඇති නවීනතම බව සහ ඇති පහසුකම් වෙනත් මෝටර් රථවලට වඩා කිහිපගුණයකින් වැඩි වීම වැනි පාරිභෝගික පහසුව නිසායි. දැනට ටෙස්ලා සමාගමේ කොටස්වලින් 22% ක් පාලනය කරන මස්ක් ලොව 80 වන ධනපතියාව ඇත්තේ එසේයි. එසේ වුවත් ඔහු සිය වේතනය වශයෙන් ලබා ගන්නේ ඩොලර් 1 ක් පමණයි. ඔහුගේ ආදායම වන්නේ සිය සේවයට සරිලන බෝනස් සහ කොටස් ආයෝජනයෙන් ලැබෙන ලාභය වීම විශේෂත්‍වයක්.

මස්ක් ගේ සුවිශේෂීත්‍වය වන්නේ ටෙස්ලා මෝටර් රථයේ සියළුම සැලසුම් සහ පේටන්ට් අවශ්‍ය ඕනෑම කෙනෙකුට භාවිතා කිරීමට හැකිවන සේ ප්‍රසිද්ධ කිරීමයි. ඔහු එය සිදු කළේ ඕනෑම මෝටර් රථ සමාගමකට විද්‍යුත් මෝටර් රථ නිපැයුම කරන්නට අභියෝගයක් ලබා දෙමින්. එයින් ඔහු පරිසර විනාශකාරී ඉන්ධන මෝටර් රථ නිපැයුම අඩු කිරීමට සහ නවතාලීමට මඟ පාදන බවයි ඔහු පවසන්නේ.

Tesla සමාගම 2010 දී කැලිෆෝනියාවේදී සිය ප්‍රථම Model S මහාපරිමාණ නිශ්පාදන කර්මාන්ත ශාලාව ඇරඹුවේ වසරකට කාර් 20,000  නිෂ්පාදන ඉලක්කය් සමගින්. 2016 දී එය කාර් 80,000 ක් වෙළඳපොලට එලිදැක්වූයේ සේවකයින් 6,000 ක් සේවයේ යොදවමින්.

2014 අගෝස්තුවේදී ටෙස්ලා සමාගම තම බැටරි නිෂ්පාදනය සඳහා Gigafactory 1 නම් සුවිසල් කර්මාන්තශාලාව පැනසොනික් සමාගම හා එකතුව ආරම්භ කරන බවට නිවේදනය කළා. එය 2020 දී සිය නිෂ්පාදන වෙළඳපොලට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා.  ඇමරිකානු ඩොලර් බිලියන 5 ක වටිනාකමක් ඇති එහි සේවකයන් 6500 ක් සේවය කරන අතර එමගින් ටෙස්ලා බැටරියක මිල 30% කින් පහත හෙළීමට අදහස් කර තිබෙනවා. එනම් මෝටර් රථයේ මිල තවත් අඩු කිරීමයි ඔවුන්ගේ බලාපොරොත්තුව. නෙවාඩා හි ඇති එම කර්මාන්ත ශාලාව 2016 වනවිට සිය නිශ්පාදන වෙලඳපොළට නිකුත් කළා. මෙයට අමතරව දැනටමත් තවත් එවැනි සුවිසල් Gigafactory කර්මාන්තශාලා 2 ක් ඉදිවෙමින් පවතිනවා.

SolarCity

2006 දී සිය ඥාති සහෝදරයන් වන Lyndon සහ Peter Rive සමඟ සූර්ය බලශක්ති ජනනය කරන සමාගම වන SolarCity ඇරඹූ ඔහු එය දැනට ඇමරිකාවේ දෙවන විශාලතම සූර්ය බලශක්ති සැපයුම්කරු බවට පත් වී හමාරයි. එසේම ඔහු විසින් ඉදිරිපත් කළ නිවෙස් වහලවල් මත සූර්යකෝෂ සවි කර, බලශක්තිය නිපදවීමේ වැඩසටහන ක්‍රියාත්මක කරමින් ලොව විශාලතම සූර්ය බලශක්ති නිශ්පාදන සමාගම් වලින් එකක් බවට ඔහුගේ සමාගම පත් කිරීමට ක්‍රියාකරමින් සිටිනවා පමණක් නොවෙයි, සූර්යපැනල නිෂ්පාදනයත් අරඹා තිබෙන්නේ ලෝකය ඉන්ධන දහනයෙන් සිදුවන පරිසර විනාශයෙන් සහ හරිතාගාර ආචරණයෙන් සිදුවන හානියෙන් බේරා ගැනීමට. ඔහුගේ නවතම නිශ්පාදනය වන සූර්යඋළු – සූර්යකෝෂ බවට පත් කළ උළු – දැනටමත් ඇමරිකාවේ වහලවල අත්හදා බැලෙනවා.

Hyperloop

2013 අගෝස්තු 12 වන දින ඉලොන් මස්ක් විසින් අධිවේගී ප්‍රවාහන පද්ධතියක සංකල්පය වන Hyperloop සංකල්පය එළි දැක්වූවා. මෙහිදී සිදු වන්නේ අඩු පීඩනය සහිත සුවිසල් නලයක් තුළවූ අධි පීඩිත කැප්සියුලයක් වායුපායානයක ආකාරයේ වායු ස්ථරයක් මත අධිවේගයෙන් රේඛීය චලිතයක් සිදු කිරීමයි. එහිදී මෙම ප්‍රවාහන කටයුත්ත ලොස් ඇන්ජලීස් නගරයේ සිට සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය වෙත සිදු කිරීමට ඔහු සැලසුම් කළා.  මේ අනුව එම නගර දෙක අතර ප්‍රවාහන කාලය අඩු කිරීමයි ඔවුන්ගේ අරමුණ වුනේ. මුල්ම සැලසුම අනුව එය ඇමරිකානු ඩොලර් බිලියන 6 ක මූලික පිරිවැයක් වූවත්, එය නිසි ලෙස ගණනය කළ එකක් වූයේ නැහැ.

ඉලොන් මස්ක් ට සම්බන්ධයක් නොමැති, Hyperloop One නම් සමාගම විසින් 2017 ජුලි 13 වන දින නෙවාඩා හිදී සිය පළමු Hyperloop පරීක්‍ෂණය සාර්ථකව අත්හදා බලමින් කැප්සියුලයක් පැයට සැතපුම් 70 ක වේගයෙන් ප්‍රවාහනය කිරීමට සමත් වූවා. කෙසේ වුවත් මෙම සංකල්පය තවමත් ඔප්පු නොවූ සංකල්පයක් නිසා බොහෝ ප්‍රවාහන අධිකාරී ආයතන මේ පිළිබඳ දරන්නේ සැකමුසු අදහසක්.

OpenAI

ඉලොන් මස්ක් කෘත්‍රිම බුද්ධිය පිළිබඳ දරන්නේ වෙනස් ආකල්පයක්. ඔහු පවසන්නේ එය ඉතාමත් ආරක්‍ෂාකාරීව පාලනය කළ යුත්තක් බවයි. 2015 දී ඔහු තවත් සමාගමක් වන OpenAI සිය සමාගම් අතරට එක් කරගනිමින් ආරම්භ කරනවා. එය සම්පූර්ණයෙන්ම පර්යේෂණ සඳහා වෙන්වූවක්. ඔහුට අනුව කෘත්‍රිම බුද්ධිය සැමට පරිහරණය කිරීමේ අවස්ථාව සලසාදීම මගින් මිනිස් සංහතියට ආරක්‍ෂාකාරී සහ කාර්යක්‍ෂම බුද්ධි සැපයුමක් ලබාදීමයි ඔහුගේ සමාගමේ අභිප්‍රාය.

Neuralink

ඔහු තවදුරටත් පියවරක් ඉදිරියට තබමින් 2016 දී Neuralink නම් ස්නායු තාක්‍ෂණික සමාගමට දායක්‍වය දක්වන්නේ මිනිස් මොළය සහ කෘත්‍රිම බුද්ධිය එකට එක කිරීමේ පර්යේෂණවලට දායක වන්නටයි. ඒ අනුව මිනිස් මොළය තුළ කෘත්‍රිම බුද්ධිය හා සබැඳි කුඩා උපකරණ සවිකර මිනිස් මොළයේ ධාරිතාවය ඉහළ නැංවීමට අදහස්කර සිටිනවා. එයින් මිනිස් මොළය කෙළින්ම පරිඝණක වැනි උපකරණවලට සම්බන්ධ කිරීමේ සැලසුම දැනටමත් සාර්ථක වන ලකුණු පහල වී තිබෙනවා.

The Boring Company

ඉලෙක්ට්‍රොණික සහ බලශක්තිය හා සම්බන්ධ කටයුතුවලට අමතරව ඔහු උමං හෑරීමේ කටයුත්තටත් අතගසා තිබෙනවා. ඒ අනුව ඔහු ‘The Boring Company’ ආරම්ඝ කළේ 2017 ජනවාරි 17 වන දිනයි. කෙසේ වුවත් ඔහුට උමං හෑරීම සිය ආයතන පරිශ්‍රයේ පමණක් සිදු කිරීමට සිදු වී ඇත්තේ තවමත් අදාල බලධාරීන්ගෙන් නිසි අවසරය නොමැතිවීම නිසයි.

ඉලොන් මස්ක් පදනම මගින් බොහෝ පුණ්‍ය කටයුතු සිදු කරන අතර එය බොහෝ දුරට බලශක්තිය හා සම්බන්ධයි. විවිධ ප්‍රදේශ වල බල අවශ්‍යතා වෙනුවෙන් නොමසුරුව දායක වන ඔහු මිලියන ගණනින් ප්‍රදානය කරනවා. ඒ අතරින් සිත්ගන්නාසුළු ප්‍රදානයක් වන්නේ නිකොලා ටෙස්ලා සැමරීම වෙනුවෙන් තැනෙන ටෙස්ලා විද්‍යා මධ්‍යස්ථානය වෙනුවෙන් ඩොලර් මිලියන 8ක් සහ එහි කෞතුකාගාර පරිශ්‍රයේ ටෙස්ලා කාර් ආරෝපණය සඳහා Supercharger පද්ධතියක් තැනීමට අමතර ඩොලර් මිලියනයක් ප්‍රදානය කිරීමත් යන දෙකයි.

 

ඉලොන් මස්ක්ගේ අසාමාන්‍ය දාර්ශනිකත්‍වය නිසාම ඔහුට ලොව ප්‍රධාන විශ්ව විද්‍යාල තුනකින් සම්මානිත ආචාර්ය උපාධි පිරිනමා තිබෙනවා. එයින් එංගන්තයේ සරේ විශ්ව විද්‍යාලය සහ ඇමරිකාවේ යේල් විශ්ව විද්‍යාලය මගින් තාක්‍ෂණය සහ ගුවන් ඉංජිනේරුතාක්‍ෂණය වෙනුවෙන් පිරිනැමුණු උපාධි සුවිශේෂයි.

ඉදිරියේදීත් ඉලොන් මස්ක් සිය දැනුම පාවිච්චියෙන් වෙනස් වෙනස් දේ ලෝකයට ඉදිරිපත් කරනු නොඅනුමානයි. මේ සියල්ල බලශක්තිය සහ ශක්තිය කාර්යක්‍ෂමව ප්‍රයෝජනයට ගැනීම හා සබැඳීම ඔහු අනාගත ලෝකයේ බලපුළුවන්කාරයෙක් නොකරාවි යැයි අනුමාන කළ නොහැක්කකේ කාටද ?

අන්තර්ජාල වෙළඳපොලේ නිර්දය දඩයක්කාරයා.. – Amazon අධිපති ජෙෆ් බෙසෝස්.


Jeff Bezoz

අවුරුදු 25 කට පෙර ලංකාවේ විසූ කෙනෙකුට යමක් අවශ්‍ය නම් කළ යුතුව තිබුණේ අසළ වූ කඩයට ගොස් එය මිලදී ගැනීමයි. එය එතැන නොතිබුණි නම් සිදාදියට එසේත් නැතිනම් නගරයට ගොස් මිලදී ගත යුතුව තිබුණා. සමහරවිට තොරොම්බල් කරන්තයක් රැගෙන එන තම්බි නානාගෙන් වුවත් යමක් මිලදී ගත හැකිව තිබුණා. ඒ එකළ තිබූ සරළ වෙළඳ රටාවයි.

කෙමෙන් කෙමෙන් ලෝකය ඉදිරියට යද්දී, නගරයේ තිබූ භාණ්ඩ ගමට එද්දී සහ ආර්ථිකය කෙමෙන් විවෘත වෙද්දී, වෙළඳ රටාවත් වෙනස් වෙන්නට පටන් ගත්තා. සුදු යකඩ, ඇලුමිනියම් වලින් තැනූ භාණ්ඩ වෙනුවට ප්ලාස්ටික් ආදේශන එන්න පටන් ගත්තා. අසළ නගරයේ නැති දෙයක් කොළඹ ගොස් එන කෙනෙකු අතේ ගෙන්වා ගන්නට මිනිසුන් පුරුදු වුනා. ආර්ථිකය විවෘත වීමත් සමගම ගමේ ලන්දූ ඩුබායි යන්නට පටන් ගැනීමත් සමග “රටබඩු” රට තුළට ගලා ඒමට පටන් ගත්තා. ගැමි ආර්ථිකය වෙනස් වූයේ එහෙමයි.

ලෝකය වෙනස් වීමත් සමගම අන්තර්ජාලය මිනිසුන්ට සමීප වුනා. ලෝකයේ කොන් දෙකක සිටින දෙදෙනකු අන්තර්ජාලය හරහා එකිනෙකා අතර අදහස් හුවමාරු අතරතුර භාණ්ඩ හුවමාරුවත් සිදු කරන්නට වුනා. මේ සමඟම අන්තර්ජාල වෙළඳාම ඇරඹුණා. විවිධාකාර පුද්ගලයින් නොයෙක් නොයෙක් ආකාරයේ අන්තර්ජාල වෙළඳාම් ඇරඹුවත්, ඒවා එතරම් සාර්ථක වූයේ නැහැ.

Amazon අන්තර්ජාල වෙළඳාමට මුල්ගත තැබුණේ 1994 ජුලි 05 වන දින Amazon.com වෙබ් පිටුව ඇරඹීමත් සමගයි. එහි මුලින්ම අලෙවි වුනේ අන්තර්ජාලයේ වෙළඳාම් සිදු කරන පොත් සාප්පුවක් ලෙසින්. සමහරවිට අළුත්ම පොතක් හෝ කියවා නිමවූ පොතක් අන්තර්ජාලය හරහා මිලදී ගැනීම සහ විකිණීම මෙයින් සිදු වුනා. පසුව එය ඩීවීඩී, සීඩී තැටි, ගීත සහ වීඩියෝ බාගත කිරීම්, වීඩියෝ සහ ගීත අන්තර්ජාලය හරහා සජීවීව පෙන්වීම වැනි බොහෝ ඉලෙක්ට්‍රොණික දේ හා සබැඳි වෙළඳාම් සිදු වූවා. ඒ අතරම එය ඉලෙක්ට්‍රොණික භාණ්ඩ, ගෘහ උපකරණ, ඇඳුම් පැළඳුම්, ආභරණ වැනි දෑ විකිණීම සහ මිලදී ගැනීම යන අංශ සඳහා වර්ධනය වුනා.  මේ අතරම ඇමසොන් නිෂ්පාදන ආර්ථිකයටත් ඇතුළු වුනේ ඇමසොන් කින්ඩ්ල් නම් පොත් සහ පුවත්පත් කියවීමේ ටැබ්ලට් එක හඳුන්වා දෙමින්. එය පසුව ෆයර් ටැබ්ලට්, ෆයර් ටී වී සහ එකෝ නම් උපාංග කරා ද විහිදුනා. දැනට එය ලෝකයේ විශාලතම අන්තර්ජාලීය දත්ත ගබඩාව (Cloud infrastructure services) පවත්වාගෙන යාම මගින් සේවා සපයනවා.

අන් සියළුම ව්‍යාපාරික දැවැන්තයන් සේම Amazon නිර්මාතෘ ජෙෆ් බෙසොස් ද සිය ස්ථිර රැකියාවට සමු දුන්නේ තමන් බලාපොරොත්තු වූ ලෝකය එමගින් නිර්මාණය කර ගැනීමට නොහැකි වූ නිසා. 1994 දී සිය රැකියාව වූ ඇමරිකානු කොටස් වෙළඳපොල හා සම්බන්ධ D. E. Shaw & Co. නම් ව්‍යාපාරයේ එක්තරා අංශයක උප සභාපති තනතුරට සමුදුන් ඔහු එවකට නව ව්‍යවසායකයන්ගේ ක්‍ෂෙම භූමිය වූ වොෂිංටන් ප්‍රාන්තයේ සියැට්ල් නගරය වෙත සේන්දු වුනා. එහි සිට සිය සිහිනය වූ අන්තර්ජාල වෙළඳාම සිදු කරන වෙබ් පිටුව නිර්මාණය කළ අතර මුලින්ම 1994 ජුලි 05 වන දින Cadabra, Inc. නමින් සිය සමාගම ඇරඹුවා. පසුව එය Amazon.com, Inc. ලෙස වෙනස් කළා. ඒ අතරම ඔහු සිය වෙබ් පිටුව ස්ථාපිත කළේ  Relentless.com ලෙසින්, එහි තේරුම නිර්දය, නපුරු, හෝ ක්‍රෑර යන්නයි. එය ඉතා පවුකාර නමක් නිසා එය වෙනස් කරන්නැයි කියා කියූ මිතුරන්ගේ ඉල්ලීම පරිදි සිය වෙබ් පිටුව  Amazon.com ලෙස නම් කළා. නමුත් ඔහු සිය මූලික පරමාර්ථය වූ නිර්දය ලෙස අන්තර්ජාල වෙළඳාම සිදු කිරීම දැන් නම් හොඳින්ම කරගෙන යන නිසා ඔහු මුලින් තැබූ නම එයට දැන් හොඳින්ම ගැලපෙනවා.

ජෙෆ් බෙසොස් Amazon නම සොයා ගත්තේ සිය සමාගමට නමක් සොයමින් ශබ්ධකෝෂය පෙරළමින් සිටින අතරතුරේදීයි. ඔහුගේ අදහස් වූයේ එය Amazon ගඟ ලොව විශාලතම ගංගාව වනසේම සිය සමාගමද ලෝකයේ සුවිසල් සහ වෙනස් සමාගමක් බවට පත් කිරීමයි. ඒ අනුව ක්‍රියාකළ ඔහු සිය සිහිනය ඉතා ඉක්මනින්ම සැබෑ කරගෙන තිබෙනවා.

වෙනත් සෑම ව්‍යවසායකයෙක් මෙන්ම ජෙෆ් බෙසොස් ද සිය ව්‍යාපාරය පටන් ගන්නා විට බොහෝ දෑ පරිශීලනය කර දැනුම එක්රැස් කර ගත්තා. ඔහු කියවූ එක් වාර්තාවක් අනුව අන්තර්ජාල වෙළඳාම ඉදිරියේදී 2300% කින් වර්ධනය වන බව දුටු ඔහු පළමුව සිය වෙබ් පිටුවේ විකිණීමට භාණ්ඩ 20 ක් ලැයිස්තුගත කළා. එමෙන්ම එය බහුලව විකිණෙනවා යැයි සැලකූ භාණ්ඩ පහක් වන පරිඝණක ඩිස්ක්, පරිඝණක දෘඪාංග, පරිඝණක මෘදුකාංග, වීඩියෝ සහ පොත් විකිණීමට මුලින්ම සැලසුම් කළත්, ලොව පුරා පොත් පරිශීලනයට සහ සාහිත්‍යයට ඇති ඉල්ලුම සලකා බලා මුලින්ම ඉතාම අඩු මුදලකට අන්තර්ජාලය හරහා ලොව පුරා පොත් වෙළඳාම් කිරීමට මේ ආකාරයෙන් වොෂිංටන් ප්‍රාන්තයේ පිහිටි සිය නිවසේ ගරාජයේ සිට Amazon ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කළා. එය විකිණූ මුල්ම පොත වන්නේ Douglas Hofstadter විසින් රචිත Fluid Concepts and Creative Analogies: Computer Models of the Fundamental Mechanisms of Thought යන කෘතියයි.

මුලින්ම Amazon සමාගම පොත් විකිණීම ආරම්භ කළේ ජෝන් ඉන්ග්‍රම් (John Ingram) හා Keyur Patel සමග  Ingram Book සමාගම සතු පොත් තොග මිලට ගෙන සිල්ලර මිලට විකිණීමෙන්. මේ දෙදෙනා තවමත් Amazon හි කොටස් අයිතිකරුවන්. පළමු දෙමස තුළ පමණක් Amazon සමාගම ඇමරිකාවේ ප්‍රාන්ත 50ම සහ වෙනත් රටවල් 45 ක සිය පොත් විකිණීම සිදු කරනු ලැබූ අතර ඒ කාළයේදී සතියක් තුළ ඇමරිකානු ඩොලර් 20,000 බැගින් වර්ධනයක් පෙන්නුම් කළා. දර්ශීය භෞතිකව පවත්වාගෙන යන පොත් සාප්පු වලින් Amazon මොඩලය වෙනස් වූයේ පොත් සාප්පු වල ඇති පොත් වර්ග සීමා සහිත වීමත්, Amazon හි පොත් ප්‍රමාණය අසීමාන්තික වීමත් නිසා. එමෙන්ම Amazon සමාගම වෙනත් සමාගම් මෙන් නොව, භෞතිකව කිසිදු භාණ්ඩයක් සතුව නොතිබූ සමාගමක්. එය මූළික වශයෙන්ම සිදු කළේ විවිධාකාර වෙළඳුන් හෝ පුද්ගලයන් මාර්ගයෙන් සිය වෙළඳාම සිදු කිරීමයි. මේ නිසා ගබඩා කර ගැනීමක් අවශ්‍ය වුනේ නැහැ.

ඔහුගේ දැක්ම සුවිශේෂී වන්නේ 1995 වැනි කාළයකදීම සිය අනාගතය හොඳින් දැක සැලසුම් කිරීම නිසයි. සාමාන්‍යයෙන් වෙබ් පිටු ලයිස්තුගත කිරීමේදී අකරාදි පිළිවෙලට ගත්විට මුලින්ම දිස් වන්නේ A අකුරින් පටන් ගන්නා වෙබ් අඩවි වන අතර එය අන්තර්ජාලයේදී ඉතා වාසි සහගත වෙනව‍ා. ඔහුගේ දැක්ම පරිදි අන්තර්ජාල වෙළඳාමේදී සදාකල් පවතින, කිසිවෙකුට කොපි කළ නොහැකි වෙළඳ සන්නාමයක් ගොඩනැංවීම, භෞතිකව පවතින වෙළඳපොලකට සන්නාමයක් ගොඩනැංවීමට වඩා බලවත් වනවා. මක් නිසාද යත් හැමවිටම පාරිභෝගිකයන් අතරට මුලින්ම යන්නේ වෙළඳ සන්නාමය වීම නිසා. මේ නිසාම සිය සන්නාමය A අකුරින් පටන් ගැනීම ඔහු ඉතා ප්‍රබල ස්ථානයක තැබූ බවයි ඔහුගේ අදහස.

Amazon පෞද්ගලික සමාගමක් ලෙසින් වොෂිංටන් ප්‍රාන්තයේ ඇරඹුනත්, ඇමරිකාවේ බොහෝ සමාගම් මෙන්ම එයද ඩෙලවෙයාර් ප්‍රාන්තයේ නව ස්ථාපනයක් ඇරඹුවා. ඩෙලවෙයාර් ප්‍රාන්තය ඇමරිකානු සමාගම්වලට සුවිශේෂී වන්නේ එහි ඇති ආදායම්බදු සහන නිසායි. මේ නිසා බොහොමයක් සමාගම් සිය මූලස්ථාන ලිපිනයන් ඩෙලවෙයාර් ප්‍රාන්තයේ ස්ථාපිත කරනවා. ඒ සමගම Amazon සිය ව්‍යාපාරය ඇමරිකානු කොටස් වෙළඳපොළ වෙත හඳුන්වාදෙනු ලැබූවේ මූලික කොටසක් ඇමරිකානු ඩොලර් 18.00 ක අගයකටයි.

වෙනත් සෑම දියුණු වෙන ආයතනයකට වගේම Amazon ආයතනයටත් විවිධාකාර බාධා නොපැමිණියාම නොවෙයි. ඇමරිකාවේ ප්‍රබල පොත් සමාගමක් වන Barnes & Nobel සමාගම Amazon වෙත නඩුවක් පැවරූවේ ඔවුන් සිය වෙබ් පිටුවේ Amazon සමාගම ලෝකයේ විශාලතම පොත් සාප්පුව වශයෙන් හඳුන්වාගනු ලැබූ නිසා. එය සමථයකට පත් වූවත් Amazon සමාගම සිය ප්‍රචාරය ඒ ආකාරයෙන්ම ගෙනගියා. පසුව Walmart සමාගම විසින් Amazon වෙත නඩු පැවරූවේ සිය නිලධාරීන් බඳවාගෙන Amazon තම වෙළඳ රහස් භාවිතා කර දියුණු වන බවයි. එම නඩුවද උසාවියෙන් පිටත සමථයකට පත් වූ අතර ඉන් පසුව Amazon සමාගමට Walmart ආයතනයේ සේවය කළ අය බඳවා ගැනීම නතර කළා.

මුලින් Amazon ලාංඡනයේ නොතිබූ A අකුර සහ Z අකුර අතර වූ තැඹිලි පැහැති සිනහවක් පෙන්නුම් කරන ඊතලය එයට එකතු වූයේ 2000 වසරේ ජුනි 19 වන දිනයි. එයින් අදහස් වන්නේ සිය සමාගම ලෝකයේ පවතින ඕනෑම නිශ්පාදනයක් සතුටින් වෙළඳාම් කරන බවයි. මුලින්ම සැලසුම් කර තිබූ පරිදි Amazon සමාගම ස්ථාපනයෙන් වසර 4 ක් යනතුරු ලාභ ලැබීමට අදහස් කර තිබුණේ නැහැ. එසේම එය කොටස් ආයෝජකයන්ගේ කණස්සල්ලට හේතු වුණා. නමුත් ලෝක අන්තර්ජාල ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයත් සමග එය සමඟ තරඟ කළ බොහොමයක් අන්තර්ජාල සමාගම්වල අවසානය සනිටුහන් කිරීමට Amazon හි ක්‍රියාකලාපය හේතුවක් වුනා. ඒ අනුව Amazon සමාගම 2001 වසරේ හතරවන කාර්තුවේ ඇමරිකානු ඩොලර් මිලියන 5 ක ශුද්ධ ලාභයක් සටහන් කරමින් සිය ජයග්‍රහණයේ මාවතට පිවිසුනා.

මේ සමගම ජෙෆ් බෙසොස් ලොව පුරා කතාවන චරිතයක් බවට පත් වූයේ 1999 වසරේ Time සඟරාව විසින් ලෝකයේ අන්තර්ජාල වෙළඳාමෙහි සිදු කළ පරිවර්තනය උදෙනා වසරේ මිනිසා ලෙසින් නම් කිරීමත් සමගයි. 2011 වනවිට ඇමරිකාව තුළ පමණක් Amazon හි සේවක සංඛ්‍යාව 30,000 වූ අතර මේ වනවිට ලොව පුරා සේවකයින් 306, 800 ක් විවිධාකාර මට්ටම්වල සේවය කරනවා. සිය අන්තර්ජාල වෙළඳ මොඩලය වෙනස් කරමින් 2016 ඔක්තෝබර් මස තම වෙලඳසැල් ජාලය පුළුල් කරන්නට Amazon පියවර තැබුවා. ඒ අනුව Amazon Go වෙළඳසැල වොෂිංටන් ප්‍රාන්තයේ සියැට්ල් නගරයේ ස්ථාපිත කළේ ආහාර වෙළඳසැලක් ලෙසින්. මෙය නවීන තාක්‍ෂණයෙන් පිරිපුන් වෙළඳසැලක්. එය පාරිභෝගකයින් භාණ්ඩ තෝරාගන්නා විටම බිල ගණන් හැදෙන, භාණ්ඩ තෝරාගෙන අවසන් වූ පසුව සිය ක්‍රෙඩිට් කාඩ්පතින් ඉබේටම මුදල් ගෙවෙන ක්‍රමයක් ලෙස කෘත්‍රීම බුද්ධිය එක් කර සැකසු ක්‍රමයක් වුනා.

2014 දී සිය ආසියානු ආධිපත්‍යය ස්ථාපිත කරමින් ඇමරිකානු ඩොලර් බිලියන 2 ක ආයෝජනයක් සමග ඉන්දියාවේ සිය ව්‍යාපාරය ඇරඹු Amazon සමාගම මේ වනවිට එහි ආයෝජනය කර ඇති මුළු මුදල ඇමරිකානු ඩොලර් බිලියන හතක් පමණ වනවා. එයින්ම සිතාගත හැකියි Amazon සමාගම ආසියානු වෙළඳපොළ වෙත එල්ල කර ඇති අභියෝගයන්. Amazon නිෂ්පාදන සමහරක් ලංකාවේද ගත හැකි වුවත්, ලාංකීය අන්තර්ජාල වෙළඳාමේ ප්‍රමුඛතම සමාගම වන කප්රුක සමාගම  Amazon සමාගම සමග එක්ව ලංකාවේ බෙදාහැරීම් සියතට ගනු ලැබුවා. ඒ නිසා ලාංකික අපටත් Amazon නිෂ්පාදන කප්රුක හරහා ගෙන්වාගත හැකියි.

මේ වසරේ ජූනි මස Amazon සමාගම සිය ව්‍යාපාරික ජාලය පුළුල් කළේ ඇමරිකාවේ ප්‍රධාන ආහාර සමාගමක් වන Whole Foods සමාගම සියතට ගැනීමෙන්. මේ නිසා බොහෝ සුපිරි වෙළඳසැල් තබාගෙන තිබූ ඒකාධිකාරය බිඳවැටෙන අතර පාරිභෝගිකයන්ට අඩු මිලට එළවලු පළතුරු සහ වෙනත් ආහාර ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. මේ සිදුවීමත් සමගම ඇමරිකාවේ තිබෙන ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලවල කොටස්වල වටිනාකම පහළ වැටී කොටස් වෙළඳපොලෙහි කිසියම් දෙදරීමක් තාවකාලිකව ඇති වුනා.

කෙසේ නමුත් Amazon හි ව්‍යාපාරික ආධිපත්‍යය එතනින් නැවතුනේ නැහැ. මේ වනවිට Amazon සමාගම ඇඳුම් පැළඳුම් ව්‍යාපාරයට අතගසා අවසන්, මේ නිසාම ඇමරිකාවේ ප්‍රබල ඇඳුම් පැළඳුම් වෙළඳ සමාගම් වලට සිය වෙළඳසැල් වසා දැමීමට සිදුවීම Amazon සමාගමේ නිර්දය ව්‍යාපාර භාවිතාව ගැන කදිම උදාහරණයක්. එපමණක් නොවෙයි, Amazon සමාගම නව තාක්‍ෂණයත් සිය ව්‍යාපාරයට හොඳින් අනුගත කරගෙන තිබෙනවා. දැන් දැන් සිය භාණ්ඩ බෙදාහැරීම ඩ්‍රෝන තාක්‍ෂණය හරහා සිදු කිරීමට සහ ඒ වෙනුවෙන්ම ඩ්‍රෝන කුළුණු තැනීමටත් ඔවුන් සැලසුම් කර තිබෙනවා. ලෝකයේ වඩාත්ම කාර්යක්‍ෂම සහ තාක්‍ෂණයෙන් අනූන වූ ගබඩා සංකීර්ණය සතු කරගෙන තිබෙන්නේත් Amazon සමාගමයි. එය රොබෝ තාක්‍ෂණය සහ ස්වයංක්‍රීය තේරීම්, සැපයීම් වලින් සමන්විතයි.

මෑතකදී Amazon සමාගම සිය රෙදිපිළි සහ ඇඳුම් පැළඳුම් සේවාවට Amazon Prime Wardrobe නම් කොටස එකතු කලා. මෙහි සුවිශේෂීත්‍වය වන්නේ ඔබට ඇඳුම් අවශ්‍ය නම් දින හතක් තුළ එය සළකා බැලීම සඳහා පමණක් ම ඇණවුම් කළ හැකි වීමයි. ඔබ ඇණවුම් කළ ඇඳුම් වලින් තුනකට වඩා ඔබ මිලදී ගන්නේ නම් 10% ක වට්ටමක් ඔබට ලැබෙනවා. ඇඳුම් 5 කට වඩා ගන්නේ නම් 20% ක වට්ටමක් ලැබෙන අතර මිලදී නොගන්නා ඇඳුම් නැවත යැවීමත් ඉතා පහසු කර තිබෙනවා. මේ නිසා අනාගතයේදී ඇඳුම් විකිණීම සම්පූර්ණයෙන්ම අන්තර්ජාල වෙළඳාමක් වන්නට ඉඩ තිබෙනවා.

ඉදිරි වසර කිහිපය තුළ Amazon සමාගම ලෝකයේ බොහොමයක් ව්‍යාපාරවල මළගම සනිටුහන් කරනු ලබන්නේ නව පරපුර අන්තර්ජාල වෙළඳාම කෙරෙහි දක්වා ඇති විශ්වාසය නිසා. ඔවුන් ඉතාමත් කාර්යබහුල නිසා සහ අන්තර්ජාලයට තදින් ඇබ්බැහි වී ඇති නිසා සියළුම ගණුදෙනු සිදු වන්නේ අන්තර්ජාලය හරහායි. මේ නිසා සියළුම මිලදී ගැනීම් ද අන්තර්ජාලය හරහාම සිදු වනවා. එසේ සිදු වීමේදී මුලින්ම මතකයට එන නාමය වන්නේ Amazon නිසාම සහ එහි ඇති පාරිභෝගික පහසු බව නිසා කිසිදු පැකිළීමක් නොමැතිව ඔවුන් Amazon හරහා සිය මිලදී ගැනීම් විශ්වාසවන්තව සිදු කරනවා.

1964 ජනවාරි 12 වන දින නිවු මෙක්සිකෝ හි උපත ලැබූ ජෙෆරි ප්‍රෙස්ටන් බෙසොස් නිව්ජර්සි හි ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයෙන් උපාධිය සමත්ව ඇමරිකානු කොටස් වෙළඳපොලේ රැකියාවකින් සිය ජීවිතය ඇරඹූ පුද්ගලයෙක්. අද වනවිට ලෝකයේ ධනවත්ම පුද්ගලයන් ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසු වන ඔහුගේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 90 ක්. මේ වසරේ ජුලි 27 වන දින කොටස් වෙළඳපොල විවෘත වනවිට ආදායම අතින් බිල් ගේට්ස් පරදවා ලෝකයේ ධනවත්ම මිනිසා බවට පත් වූ ඔහු Amazon කොටස් මිල ස්වල්පයකින් පහත වැටීමත් සමගම දෙවන ස්ථානයට පත් වූවා. නමුත් සිය ව්‍යාපාරික ඥාණය මෙහෙයවමින් ව්‍යාපාර ලෝකයේ වැජඹෙන ඔහු නොබෝ දිනකින්ම ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන බවට කිසිදු සැකයක් නැහැ.

ජෙෆ් බෙසොස් සතුව බොහෝ ව්‍යාපාර තිබෙනවා. එයින් වඩාත් වැදගත් වන්නේ Amazon ව්‍යාපාරයෙන් පිටස්තරව 2013 අගෝස්තු මස ඔහු විසින්  අත්පිට මුදලට ඇමරිකානු ඩොලර් මිලියන 250 කට  මිලදී ගනු ලැබූ   The Washington Post පුවත්පතයි.  එසේම ඔහු එයට සුවිසල් වෙනස්කම් කිහිපයක් හඳුන්වා දෙමින්, එම පුවත්පත සහ එයට අනුබද්ධ ප්‍රාදේශීය පුවත්පත් වන The Dallas Morning News, the Honolulu Star-Advertiser, සහ the Minneapolis Star-Tribune හි අන්තර්ජාල සංස්කරණවලට පණවා තිබූ මුදල් ගෙවා කියවීමේ ක්‍රමයත් අහෝසි කළා.

වෙනත් ව්‍යාපාරිකයන් මෙන්ම ජෙෆ් බෙසොස් ද සිය ප්‍රමුඛ ව්‍යාපාරයට අමතරව වෙනත් ව්‍යාපාර සඳහාද ආයෝජනය කර තිබෙනවා. ගූගල් හි පළමු කොටස් අයිතිකරුවන් කිහිප දෙනාගෙන් කෙනෙකු වන්නේ ජෙෆ් බෙසොස්. ගූගල් හි ඔහුගේ වටිනාකම පමණක් ඩොලර් බිලියන 3.1 ක්. එසේම විවිධ ආයතන 35 කට අධික සංඛ්‍යාවක ජෙෆ් බෙසොස් විසින් විවිධ මට්ටමේ ආයෝජන සිදු කර ඇති අතර Air BNB, UBER, Business Insider, වඩාත් ප්‍රසිද්ධ සමාගම් වනවා. මෙයට අමතරව ඔහු Unity Biotechnology නම් ජීවිත කාළය දිගු කිරීමේ පර්යේෂණ සිදු කරන රසායනාගාරයක් මත ආයෝජනය කර ඇත්තේ වයසට යාම පාලනය කර ජීවිත කාළය දිගු කර බොහෝ කළක් ජීවත් වීමේ කැමැත්තට දැයි සැක මතු වනවා.

කෙසේ වුවත්, අන්තර්ජාලය හරහා ලෝකයම එකම පවුලක් ව ඇති මේ කාලයේදී සහ අනාගතයේදී සියල්ල අන්තර්ජාලය හරහා සිදුවන විට ජෙෆ් බෙසොස් විසින් අරඹා හදා වඩා ගත් Amazon සමාගම ලෝකයේම වෙළඳාම පාලනය කරන බවට කිසිදු සැකයක් නැහැ. මේ වනවිටත් Nike වැනි සමාගම් Amazon සමග එකතු වී ඇත්තේ සිය වෙළඳපොල ආධිපත්‍යය තහවුරු කර ගැනීමට නම් ප්‍රබලයා සමග එකතු විය යුතු බව හොඳින්ම දන්නා නිසා. Amazon සමාගමේ ව්‍යාප්තිය ගැන වද වෙනවාට වඩා වෙනත් ප්‍රශ්න අපේ දේශපාලනඥයින් අපේ හිස මත දමා තිබෙන නිසා තවමත් ලඟ කඩයකින් හාල්, සීනි, තුනපහ මිලදී ගන්නා ශ්‍රී ලාංකිකයාට Amazon සමාගමේ ව්‍යාප්තිය දැනෙන්න තව අවුරුදු දහයක්වත් ගත වේවි.

 

පිටස්තරයා – 08


Final EP8

ඉතින් චාලි අපි මොකද මේ ගැන කරන්න ඕන ? අද්මිරාල් රිචර්ඩ් බවර් සිය මිතුරු ජනරාල් චාල්ස් වෙලිංටන්ගෙන් බොහොම බැරෑරුම්ව ඇසුවේ මදුවිතක් වත්කරගන්නා අතරතුරේදී …..

අපි කෝකටත් මේ පුද්ගලයාව තව තවත් පරීක්‍ෂා කරලා බලමු…. ඒජන්තයෝ දෙන්නෙක් මේකට දැම්මා කියලා අපට ලොකු පාඩුවක් වෙන්නෙ නෑ… මේක ඇත්තෙන්ම බොහොම වැදගත් මාතෘකාවක්… සමහර විට අපි නොදන්න බොහෝ දේවල් මෙයාගෙන් බලා ගන්න පුළුවන් වේවි කියලා මට හිතෙනවා. ඒ නිසා මේ වැඩේ අපට පාඩුවක් වෙන එකක් නැහැ. මොකද මේ වගේ පුද්ගලයො තමයි අපට අවශ්‍ය, අපට පුළුවන් නම් මෙයාව අපේ පැත්තට ගන්න ඒක එක පැත්තකින් ලොකු වාසියක්. ඒ වගේම මෙයා අධ්‍යයනය කරලා මේ වගේ වෙනත් මිනිස්සුන්ගෙ හැසිරීම කොහොමද කියලා ආකෘතියක් හදන්නත් අපට පුළුවන් වේවි…

ඒක නෙවෙයි රික්… ඔය ලැබ් එකේ  තව ඇබෑර්තු නැද්ද ? ජනරාල්වරයා එකපාරටම ඇසුවේ යමක් මතක් වූ ආකාරයෙන්.

දැනට නම් විද්‍යාඥයින්ගේ ඇබෑර්තු ඔක්කොම පිරිලා තියෙන්නෙ… නමුත් අපට තව කෙනෙක්ගෙ අවශ්‍යතාවය තියෙනවා ක්වොන්ටම් ගණනය කිරීම් කරන්න සහ ආකෘති විශ්ලේෂණයට… ඔබ දන්න කියන කෙනෙක් ඉන්නවද ? හැබැයි මේක ඒ තරම් ආකර්ෂණීය රස්සාවක් නෙවෙයි… සාමාන්‍ය විද්‍යාඥයෙකුට ලැබෙන පඩිය වගේ ලොකු පඩියක් ලැබෙන්නෙ නම් නැහැ… නමුත් වැදගත් පඩියක් ලැබෙනවා…

බලමු… ජනරාල්වරයා නැවතත් නිකටට තට්ටු කරමින් කල්පනා කලා…

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

දිනය : බදාදා

ප්‍රගති සමාලෝචන රැස්වීම අවසන සියළුම දෙනාගෙ අවධානය බිඳුනෙ නාවික පර්යේෂණ ආයතනයෙ ප්‍රධානියා තවත් පියකරු යුවතියක් සමඟ රැස්වීම පැවති කාමරයට පැමිණීම නිසා….

සුභ සවසක් අද්මිරාල් තුමනි, මොකද මේ පැත්තෙ නොදන්වාම ?

සාමාන්‍යයෙන් මෙවැනි රැස්වීම් සඳහා අවම වශයෙන් සහභාගි වන අද්මිරාල් තුමාගෙ පැමිණීම හැම දෙනාටම ප්‍රශ්නයක් වුනා විතරක් නෙවෙයි ඔහු සමඟ පැමිණි යුවතිය ගැනත් ගැහැණු පිරිමි භේදයක් නොමැතිව අවධානය යොමු වුනා.. පිරිමින් නම් බැලුවෙ අළුත් යුවතියගෙ ලස්සන වුවත් මෙගනුත් සිමෝනාත් බැලුවෙ තමන්ට වඩා ලස්සන මේ කෙල්ල මොනවට අද්මිරාල්තුමා සමඟ මෙතැනට ආවද කියලා… සාමාන්‍යයෙන් වයසක බලවත් පිරිමින්ගේ ඇඟේ එල්ලෙන සරාගී ගැහැණු හිටියත් මේ වගේ ප්‍රසිද්ධියේ අද්මිරාල් තුමා කෙල්ලක් අරන් ආවෙ ඇයිද කියන ප්‍රශ්නය කාටත් ඇතිවුවා… පෙනෙන විදියට දෙන්නා හොඳට අඳුනන පාටකුත් තිබෙනවා…

අද මම තකහනියක්ම මේ රැස්වීමට ආවෙ විශේෂ කාරණයකට, මම මේ කියන්න යනදේ ආචාර්ය ෆියු සහ ආචාර්ය ලිපර්ඩ් දෙදෙනා ගැනත් සාකච්ඡා කරලයි මේ තීරණය ගත්තෙ. ඔබ හැම දෙනාම දන්නවා ක්වොන්ටම් යාන්ත්‍රික ගණනය කිරීම් සහ ත්‍රිමාණ අනුරූපණ අතින් අපේ රසායනාගාරය සිටින්නෙ තරමක් පසුගාමී තත්ත්‍වයක. මම ඒ ගැන ඔබට දොස් කියන්නෙ නැහැ. මොකද ඔබට තියෙන වැඩ කන්දරාවත් එක්ක ක්වොන්ටම් යාන්ත්‍රික ගණනය කිරීම් කරන්න කියලා අපට බල කරන්න අයිතියක් නැහැ. මේක ඇත්තෙන්ම වෙනම රැකියාවක්, ඉතින් අපි ඔබට වැඩ පහසු කර ගැනීම සඳහා ගණනය කිරීම් සිදු කිරීම සඳහාම දක්‍ෂකම් දක්වන අළුත් සාමාජිකාවක් කණ්ඩායමට එකතු කරන්නට අදහස් කළා… ඒක පර්යේෂණාගාරයේ ලිංගික සමබරතාවය (Gender balance) එකටත් එක්ක හොඳයි කියලා අපි හිතුවා. මේ මාත් සමඟ සිටින මොලී ජේන් රියෝර්ඩන් මැසචුසෙට්ස් තාක්‍ෂණික සරසවියෙ ආචාර්ය උපාධිධාරිණියක්, ඇගේ ප්‍රවීණත්‍වය තිබෙන්නෙ ක්වොන්ටම් ගණනය කිරීම් සහ ත්‍රිමාණ අනුරූපණයන් සඳහා.. ඉතින් තවත් කතා මොනවටද ? අපි ඔබට අළුත්ම සාමාජිකාවක් ලබා දුන්නා.. ඔබේ කටයුතු සියල්ල ඇයත් සමඟ සාකච්ඡා කර සහයෝගයෙන් කටයුතු කරන්න…. ඇගේ දායකත්‍වය වෙන්නෙ ඔබේ පර්යේෂණවලින් ලැබෙන දත්තයන් ගණනය කිරීමෙන් ලැබෙන දත්තයන් සමඟ සමපාත කිරීම මගින් ඔබේ පර්යේෂණවල නිරවද්‍යතාවය නැවත වතාවක් තහවුරු කිරීම. ඒ වගේම ඔබ සියළුම දෙනා දන්නවා අපට නාස්ති කරන්න කාළයක් නැති බව… ඒ නිසාම ගණනය කිරීම් මගින් සහ ත්‍රිමාණ අනුරූපණ මගින් ලැබෙන ආකෘතින් ඉදිරියට ගෙනයාම මගින් සෑහෙන වෙලාවක් ඉතිරිකරගෙන කාර්යක්‍ෂමතාවය ඉහළ නංවගන්නත් අපට මේ නිසා පුළුවන් වෙනවා. මතක තියාගන්න අපි බලන්නෙ ඔබේ පුද්ගලික ජයග්‍රහණ නොවෙයි… අපි සියළුම දෙනා එක කණ්ඩායමක්, අපි සියළු දෙනාගෙ ජයග්‍රහණ පුද්ගලිකව සිදු කරන පර්යේෂණ මත රඳා පැවතුනත්, අපි ජයග්‍රහණය කරන්නෙ එකමුතුව නැගී සිටියහොත්,… මට ඒ ගැන වැඩිහිටියන් වෙච්ච ඔබට අමුතුවෙන් කියා දෙන්න අවශ්‍ය නැති බව ඔබ දන්නවා… ඉතිං… හොඳට වැඩ කරගෙන යන්න…. අපි සෑහෙන සොයා ගැනීම් කරලා තිබෙනවා මේ පර්යේෂණාගාරයෙන්… මට අවශ්‍ය ඒ දේ තව තවත් වැඩි දියුණු කරවන්නයි… තේරුණා නේද ?

සියළුම දෙනා එකාවන්ව හිස සැළුයේ තමන්ට ලැබුණ විධානයන් පමණටත් වඩා හොඳින් තේරුණ බව අඟවමිනි.

සාමාන්‍යයෙන්  කාර්යක්‍ෂමතාවය සහ ඵලදායීතාවය පිළිබඳ ඉතා සැලකිල්ලක් දක්වන රසායනාගාර – ආයතන මෙන්ම කර්මාන්තශාලා ද සිය පර්යේෂණයන් සිදු කිරීමට මත්තෙන් ඒ සියළු පර්යේෂණ තත්ත්‍වයන් පරිඝණක ආශ්‍රයෙන් ගණනය කිරීම් වලට භාජනය කර වඩාත්ම උචිත පර්යේෂණ තත්ත්‍ව තෝරා ගනු ලබයි. මේ නිසා  අහඹු ලෙස තෝරා ගන්නා පර්යේෂණ තත්ත්‍ව සහ වැරදි පර්යේෂණ තත්ත්‍ව පසුපස ගොස් කාළය කා දැමීම මගින් සිදුවන හානිය වලකා ගන්නටයි. බොහෝ ඖෂධ සමාගම් සහ රසායන ද්‍රව්‍ය නිෂ්පාදන සමාගම් දැන් දැන් මේ ක්‍රම භාවිතා කරනවා. මේ නිසා  ඒ සමාගම් වලට සිදුවන ලාභය ඩොලර් මිලියන ගණනක්. ඒ සියල්ල ගණනය වන්නේ වැයවන රසායන ද්‍රව්‍ය සහ අපතේ යන මිනිස් පැය ගණන මගින්. ඉහළම තත්ත්‍වයේ ඇති ආණ්ඩුවේ රසායනාගාර පවා දැන් දැන් මේ ක්‍රම අනුගමනය කරන්නේ එයින් බොහෝ වාසි ලබා ගත හැකි නිසායි.

මොකද හිතෙන්නෙ අළුත් කෙල්ල ගැන.. ?

පසුදා උදෑසනම රසායනාගාරයේ කුස්සියෙදි කෝපි කෝප්පයක් වත්කර ගන්න අතරේ බිල් ඇසුවෙ මයික් ගෙන්….

මොනවා හිතන්නද ? ආයෙ හෝදන්න දෙයක් නෑ…. ඔය ඉන්නෙ……….

මට හිතෙන විදියට නං එයාට කොල්ලෙක් ඇති… ඔය වගේ කෙනෙක් සාමාන්‍යයෙන් ඉතිරි වෙලා තියෙන්න විදියක් නෑ….

කොල්ලෙක්ද කෙල්ලෙක්ද දන්නෙ නෑ…. දෙදෙනාම මහ මහ හඬින් සිනාසෙන්නට විය…

මොකද දෙන්නගෙ  හිනාව ? සිමෝනා ද  එසේ අසමින් ම කුස්සියට  පැමිණියාය..

නෑ මේ අළුත් ගෑණු ළමයා වැඩට යොදා ගන්නෙ කොහොමද කියලා සාකච්ඡා කළේ….

අනේ මේ…. මම නොදන්නවයැ දෙන්නගෙ සාකච්ඡා….. මම එකක් කියන්නං… ගෙරි මස් කනකොට බෙල්ලෙ බැඳගෙන කන්න එපා හරිද ? මේක ඇතුලෙ සම්බන්ධතා තියාගෙන ඒවා කඩාකප්පල් වුනොත් දෙන්නටම එකිනෙකාට මූණ දෙන්න බැරි වෙයි…. ඒකයි කියන්නේ කාර්යාලීය ප්‍රේමය (Office Romance) දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් කියලා.. අනික, උඹලා දෙන්නම කිසිම දෙයක් සීරියස් කරන්නෙ නැති බව දැන දැනත් ඔය වගේ වැඩ වලට නං ගෑවෙන්න එපා.. මම දෙන්නගෙම හොඳට කියන්නෙ… මේ මම වගේ පිටින් එකෙක් හොයා ගන්නවා… කිසි ප්‍රශ්නයක් නෑ… දවස තිස්සෙම කතා කරන්නවත් විදියක් නැති නිසා ගෙදර ගියාම උපරිම සැලකිලි ලැබෙනවා….

ආ…. අපි නොදන්නවයෑ ඒක………….

ඒක නෙවෙයි…Office Romance ගැන කතා කරනකොට මතක් වුනේ…. මොකද අර මෙගන් විශ්ව ගැන වැඩිපුර හොයන්නෙ ? මිනිහවත් දැලේ දාගන්නද ?

ඒ වගේ තමයි…. ගිය සතියෙ අපි කන්න එළියට ගිය වෙලේ යනකං හරස් ප්‍රශ්න… දැක්කනේ කන වෙලාවෙත් අහපු දේවල්…. මම හිතන්නෙත් මෙගන්ගෙ පොඩි කැමැත්තක් තියෙනවා විශ්ව ගැන.

ඇයි යකෝ අපි ඔටුවොද ? මෙච්චර කළක් අපි මේ ලැබ් එකේ හිටියා මෙගන්ට ඕනකම තිබුණා නං අපි දෙන්නගෙන් ඕන කෙනෙක් සපෝට් එකක් දෙනවනේ… අළුතෙන්ම පොරක් එනකං බලං හිටියේ… අපරාදෙ ජීවිතේ… බිල් එසේ කිවුවෙ විහිළුවට, මෙගන් කියන්නෙ කවුද කියලා හොඳටම දන්න නිසා.

දන්නවනේ මෙගන්ගෙ හැටි…. හරිම High Maintenance……… එයාව ආම්බාන් කරන්න ඉතිං උඹට රස්සා දෙක තුනක් කරන්න වෙයි… උඹට පුළුවන්ද  මෙගන්ට  Prada අත් බෑග් අරන් දෙන්න හැම මාසෙම….. ඔන්න පුළුවන් නං සෙට් වෙයං….. අන්තිමට උඹට Bankruptcy file කරන්නයි වෙන්නෙ…..

කවුද  Bankruptcy file කරන්නෙ ? විශ්ව ද කුස්සියට පැමිණෙන අතරේ තිදෙනාගෙන්ම ඇසුවේය….

විශ්ව මේ…. මම උඹේ හොඳට කියන්නෙ…. වැරදිලාවත් මෙගන්ට නං සෙට් වෙන්න එපා පුතෝ…. උඹේ සේසතම ඉවර වෙයි බෑග් අරන් දීලා….

ස්තූතියි බිල්… මගේ එහෙම නං අදහසක් නෑ… දන්නවනේ ඉතිං මේක ඇතුලෙ ඔහොම දේවල් තියා ගත්තාම කරදරයි කියලා…..

පටන් ගන්නෙ ඔහොම තමයි පුතා… දන්නෙම නැතුව උඹ ඒකට වැටිලා තියේවි… මෙච්චර අපි හිටියා… අපි ගැන ඇහැක් ඇරලා බැලුවද ? උඹ ආවා විතරයි උඹ ගැන මාර සැලකිල්ලක් දක්වන්නෙ… අඩුම ගානෙ එක දවසක් අපෙන් ඇහුවද කන්න එළියට යං කියලා… උඹ ඇවිල්ලා සතියයි ගියේ… කෙල්ලම වචනෙ දැම්මනේ…. නැද්ද මයික්…

ඒක තමයි…. ඔන්න අපෙන් නං උඹේ ප්‍රේමය ආම්බාන් කරන්න ණය ගන්න එන්න එපා…. හරිද ?

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

කොහොමද විශ්ව ඔබ කියන්නෙ මේ ආකෘතිය වැරදියි කියලා ?

නැහැ, මම කියන්නෙ නැහැ මේක සම්පූර්ණයෙන්ම වැරදියි කියලා… නමුත් මේකෙ අඩුපාඩු තියෙනවා….

කොහොමද එහෙම කියන්නෙ ? මේක මීට ඉස්සර වෙලා අපි කොච්චරක් නම් අත්හදා බලලා තියෙනවද ? කාටවත් එහෙම දෙයක් අහු නොවුන එකේ ඔබ විතරක් කොහොමද කියන්නෙ මේ ආකෘතියෙ අඩුපාඩු තියෙනවා කියලා ?

හරි, මෙන්න මේකයි මයික් අඩුපාඩුව… මේ අපි අත්හදා බලන චන්‍ද්‍රිකා ක්‍රියාත්මක වෙන්නෙ කොහෙද ?

පිටත වායු ගෝලයේ. (Exosphere)

හරි… දැන් කියන්න බලන්න අපේ චන්‍ද්‍රිකා ස්ථාපනය කරන්න යන්නෙ කොතැනද කියලා…

පිටත වායු ගෝලයේ ක්ලාක් කක්‍ෂයෙ (Clark Orbit) පහළ ස්ථරයෙ.

ඔතැන සංයුතිය මොකක් කියලද ගණනය කිරීම් වලදි උපකල්පනය කරන්නෙ ?

එතැන දී උපකල්පනය කරන්නෙ වායුගෝලීය අවකාශය පරිපූර්ණ වායුවක් (Ideal Gas) ලෙස හැසිරෙනවා කියලා…

හරි…… එතකොට ඉස්සර මේක අත්හදා බලපු අය පිටත වායු ගෝලයේ සංයුතිය විදියට ගත්තෙ මොකද්ද ?

සාමාන්‍ය පිටත වායු ගෝලයේ සංයුතිය: හයිඩ්‍රජන් සහ හීලියම්; අපට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ලැබෙන දත්ත වලින්.

දැන් මේ වායු ගෝලයේ සංයුතිය නිසා, අපි උපකල්පන දෙකක් කරනවා.

  1. ඉහළ අවකාශයේ අංශු ප්‍රමාණය නොසැලකිය හැකි තරම් නිසා ඒවා අතර පරමාණුක ඝට්ඨන නොසලකා හැරීම
  2. ඒ පරමාණු හෝ අංශුන් කිසිදු ඝට්ඨනයකට ලක් නොවී පරිපූර්ණ රේඛිය පථයක ප්‍රක්‍ෂෙපණය වන බව

හරිද ?

ඔව්…. දැන් විශ්වගෙ තර්කය මොකද්ද ?

තර්කය වෙන්නෙ මෙන්න මේකයි මයික්….

මේ පිටත අවකාශයේ ප්‍රමාණය තීරණය වෙන්නෙ සූර්ය ක්‍රියාකාරීත්‍වය මත, සමහර කාළවලදි මේ  පිටත අවකාශයේ සංයුතිය සමහර කාළවලදී වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි මේ සංසිද්ධිය නොසළකා හැර තිබෙනවා. ඒ වගේම සූර්ය ක්‍රියාකාරීත්‍වය වැඩි කාළවලදී පිටවන අංශු ප්‍රමාණය අර අපි උපකල්පනය කළ නොසළකා හැරිය හැකි ප්‍රමාණය ඉක්මවා යනවා..  වායු ගෝලයේ සංයුතිය වෙනස් වෙද්දිත් මේ පිට වායු ගෝලයේ සංයුතිය වෙනස් වෙනවා… අපි මේ කරුණු නොසළකා හැර තිබෙනවා… මෙන්න මෙතැනදි අපි කිසියම් නිවැරදි කිරීමක් කළ යුතුයි…

පරිපූර්ණ වායු සමීකරණයේ පරිමාව සහ පීඩනයට අපි කරන නිවැරදි කිරීම් වගේ නිවැරදි කිරීමක් අපට මේ සඳහා යොදන්න බැරිද ?

පුළුවන්, නමුත් කවුද මේ ගණනය කිරීම් කරන්නෙ ? අපි දෙන්නටම ඒවා කරන්න වෙලාවක් නැහැ…

අමතක වුනාද ? ඒකට තමයි අද්මිරාල් බවර් අළුතෙන්ම ගෑණු ළමයෙක් එවුවෙ… දෙයියො එව්වා වගේ ඔය ඇවිත් ඉන්නෙ… අද්මිරාල් කිවුවෙ පුළුවන් තරම් වැඩ ගන්න කියලා… ඉතිං ගමු….

යමු…. අදම මේක කර ගත්තොත් අපට මේ සතිය වෙනකොට නිගමනයකට එන්න පුළුවන් වේවි…

ඒ වන විටත් මොලී සිටියේ කිසියම් ත්‍රිමාණ අනුරූපණයක් පරිඝණකයේ ක්‍රියාකරවිමිනි….

හලෝ මොලී…. අපට ඔයා එක්ක ටිකක් කතා කරන්න පුළුවන් ද?

සත්තකින්ම…. එන්න…. වාඩිවෙන්න……

මේ අපේ විශ්ව පොඩි තර්කයක් ගේනවා අපේ පැරණි පර්යේෂණවල අඩුපාඩුවක් ගැන… අපිට මේ ගැන කතා කරන්න පුළුවන්ද ? මොකද අපි හිතන්නෙ මේ උපකල්පන සංශෝධනය කළොත් සමහරවිට නිවැරදි  අගයක් ලබා ගන්න පුළුවන් වෙයි කියලයි.. ඒකට ඔයාගෙ ගණනය කිරීම් අත්‍යවශ්‍ය වෙනවා…

ඔව් පුළුවන් වෙයි…. හැබැයි මට විස්තර කරලා කියන්න… තවම මේ ගණනය කිරීම් මට පොඩ්ඩක් අළුත්….

කිසි ප්‍රශ්නයක් නෑ.. විශ්වගෙ තමයි අදහසත්, විශ්වම විස්තර කළා නම් හොඳයි…

මේකයි මොලී… දැන් අපේ පර්යේෂණ කරන චන්‍ද්‍රිකා රඳවන්නෙ  පිටත අවකාශයේ. නමුත් අපි මේ කටයුතු ත්‍රිමාණ අනුරූපණ කරනකොට සමහර සාධක මඟහැර තියෙනවා කියලා මට හිතෙනවා. අපට ඕන මෙන්න මේ සාධකත් ඇතුලත් කරලා ඒ ගණනය කිරීම් කරන්නයි. ඊට පස්සෙ අපේ ගණනය කිරීමෙන් ලැබුණ කරුණු ප්‍රායෝගිකව අනුරූපණය කරන්න පුළුවන් වේවි.

දැන් මොනවද ඔයා කියන සාධක ?

විශ්ව ජීවිතයේ මුල්ම වතාවට ඒ තරම් සුන්දර නිල් පැහැති දෑසක් දුටුවේ එදාය …. තමන් කෙතරම් කෙල්ලන් දැක ඇතත්, මේ තරම් කතා කරන දෑසක් හමු වූයේ නැති බව ඔහුට හැඟුණි….

විශ්ව සිය උපකල්පනය මොලීට පැහැදිලි කළත් ඔහුගේ සිත එකතැන නොමැති බව මෑතකදී හඳුනාගත් මයික්ට පවා  වැටහී තිබුණි….

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

විශ්ව, මට ඔයාව අද හවස හමුවෙන්න ඕන….. හවස ලොකු වැඩක් නෑ නේද ? මොලී කෙලින්ම විශ්වගෙන් ඇසුවේ විශ්වගේ දෑස් දෙස ගැඹූරු බැල්මක් හෙළමින්. මෙතෙක් කිසිම දෑසක් හමුවේ සසල නොවූ විශ්වගේ සිත එකපාරටම ගැස්සුනේ විශ්වටත් නොදැනීම……

නැහැ… කීයට විතරද ?

හවස වැඩ ඉවර වෙලා එන්නකො…. මට ඔයත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා.

හොඳයි…

 

මොලීට විශ්ව එක්ක කතාකරන්න තියෙන මේ තරම් වැදගත් දේ කුමක්ද ?

විශ්වගේ වෙනස මොලීටත් හැඟුණාද ?

 

%d bloggers like this: