Monthly Archives: නොවැම්බර් 2017
පිටස්තරයා – 15
පසුදා සවස්වනතුරු මොලීට තිබුණේ කණස්සල්ල මුසු නොයිවසිල්ලකි….. තමා සිහිනෙකින්වත් නොපැතූ අභව්‍ය සිදුවීම් වැලක් තම දෑස් ඉදිරිපිට දිගහැරෙමින් පවතින බව පමණක් ඇයට හැඟී ගොස් තිබුණි. තම රැකියාවේ හැටියට බොහෝ පිරිමින් ආශ්‍රය කර තිබුණද, මීට වඩා හැඟුම්බර අවස්ථාවලට මුහුණ දී තිබුණද, මේ සිදුවීම් ගොන්න තම ජීවිතයේ ලැබූ අත්දැකීම් සියල්ලට වඩා වෙනස් බව ඇයට හැඟෙමින් පැවතුනි. සේවා ස්ථානයද කිසිම කෙනෙකු විහිළුවක්වත් නොකරන තත්ත්‍වයකට පත්ව තිබුණි. වෙනදා අන් අයට විහිළු කරන බිල් පවා තමන්ගේ පාඩුවේ සිය කටයුතු කරගෙන යනු දකින්ට ලැබුණි…
මේ අතර හදිසියේම සිය ප්‍රධානියාගෙන් මොලීට ලැබුණේ වහාම පැමිණ ඔහු හමුවන ලෙසයි…
සුවිශාල අනතුරක සේයාවක් ඇගේ සිතේ නලියන්නට විය….
ඇය විද්‍යාගාර ප්‍රධානී නීල් ෆියු හමුවන්නට ගියාය….
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
කොහොමද ? ගමන් මහන්සිය හොඳටම ඇති නේද ?
තානාපති කාර්යාලයේ නිලධාරී ගීතාංජන ලංකාතිලක මහතා විසින් වොෂිංටන් ඩලස් ගුවන්තොටුපලේ මගී පර්යන්තයේදී සුමනසේකර යුවල පිළිගනිමින් විමසුවේය…
මහන්සියි කියලා මොනවා කරන්නද මහත්මයා…. මේ ගමන එන්න එපායෑ…
මම ගීතාංජන ලංකාතිලක… අඳුන්වාදෙන්නත් බැරි වුනා..
බොහොම සන්තෝෂයි අඳුනා ගන්න ලැබීම ගැන…. මම විශ්වගෙ ලොකු මාමා… සුමනසේකර… මේ මගේ බිරිඳ නීලා…
ඔව්, පන්සලේ ලොකු හාමුදුරුවො මට ඔබ දෙපළ ගැනම හොඳ හැඳින්වීමක් කළා… අත්ථදස්සි හාමුදුරුවොත් සෑහෙන විස්තර මට කිවුවා.. මේ දවස් දෙක තුනම අත්ථදස්සි හාමුදුරුවො මට කතා කරලා කිවුවේ ඔබ දෙපළගෙ නවාතැන්, කෑම බීම කටයුතු සම්පාදනය කරන ආකාරය.. අපි දැන් යන්නෙ තානාපති කාර්යාලයේම සේවය කරන කෙනෙකුගෙ නිවසකට.. එහේ තමයි අපි ඔබ දෙපලට නවාතැන් පහසුකම් දෙන්න යොදාගෙන තිබෙන්නෙ.. එහි ඉන්නෙත් ඒ දෙපළ පමණයි.. ඒ නිසා වැඩි කරදරයක් නෑ.. ගමන් පහසුකම් සඳහා තානාපති කාර්යාලයෙන් වාහනයක් ලැබෙනවා රියැදුරෙක් සමඟම… විශ්වගෙ තාත්තා එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ සේවය කළ නිසා අපට මේ පිළිබඳ විශේෂ පහසුකම් ලැබී තිබෙනවා… ඒ වගේම ඔහු අපේ තානාපති කෙනෙකුව සිටි නිසා ඒ පහසුව තවත් වැඩියි… කිසිම දේකට බය වෙන්න එපා.. සියල්ල සූදානම්…
අනේ පුතා බොහොම ස්තූතියි මේ කරන උදවු වලට…. අපි කීයටවත් බලාපොරොත්තු වුනේ නැහැ මේ වගේ සත්කාරයක්… ලොකු හාමුදුරුවො කිවුවා අපට නවාතැන් පහසුකම් සකසලා තියෙන්නෙ කියලා… මම දැනං හිටියෙ එච්චරයි…
අපට විශ්ව බලන්න යන්න පුළුවන් කීයටද ?
ආ… ඒක ගැන කතා කරන්නයි මම හිටියෙ… අපි මේ බෑග් තියලා පොඩ්ඩක් පිළිවෙලක් වෙලා හවස හයට පමණ යමු රෝහලට…. ඔබ නැවතී ඉන්න අදහස් කරන යාපා මහත්මයාගෙ නිවසේ වැඩි දුරක් නැහැ… රෝහලට…
අනේ ලොකු දෙයක්… මට ඉක්මනින්ම සුදුපුතා බලාගන්න ඕන… නීලා සුමනසේකර මහත්මිය නෙතට නැඟුන කඳුලක් පිසදමමින් පැවසුවාය.
බය වෙන්න එපා මිසිස් සුමනසේකර… විශ්ව නවත්වලා තියෙන්නෙ ඇමරිකාවෙ තියෙන හොඳම හමුදා රෝහලක… මේකේ තියෙන්නෙ ලෝකයේ හොඳම පහසුකම්. ඒ වගේම මේ රෝහලට ඇමෙරිකාවේ තිබෙන අනෙක් ප්‍රධාන රෝහල් සියල්ලම සමඟ සබඳතා තිබෙනවා.. ඒ නිසා විශ්ව වෙනුවෙන් කරන්න පුළුවන් සියළුම දේ ඒ රෝහලෙන් කෙරෙනවා. එච්චරක් නෙවෙයි විශ්වගේ සේවා ස්ථානයෙනුත් මේ ගැන හොඳට හොයා බලනවා.. කිසිම දේකින් අඩුවක් වෙන්න ඉඩක් නෑ..
ඒ සංවාද අතරතුර ඔවුහු යාපා මහතාගේ නිවස කරා පැමිණ තිබුණි. ආගන්තුක සත්කාර වලින් සහ තේ පානයෙන් අනතුරුව නැවතත් මඟට පිලිපන්නේ විශ්ව බැලීම සඳහා රෝහලට යාමටය.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මේ මිනිස්සුන්ට හරියට වාහනයක්වත් හප්පන්න බැරි ද ? බලනවා අර මිනිහා දැන් ජීවත් වෙයිද මැරෙයිද කියලා කවුද දන්නෙ ? හොඳ වෙලාවට අපි මැදිහත් වෙලා මේක වැහුවා… කවුරුහරි දැනගත්තා නං අපි මේකට සම්බන්ධයි කියලා මොන වගේ තත්ත්‍වයක්ද ඇතිවෙන්නෙ ?
ඔවුන් තිදෙනාම කිසිදු වචනයක් නොදොඩා නිහඬව ජනරාල් වෙලිංටන් දෙස බලා සිටියා පමණි.
තමුසෙලාට කවදාවත් හරියට වැඩක් කරගන්න බැරි හැටි ? එක පාරක් තාප සංවේදක කැමරාවෙන් ගත්ත වීඩියෝ හරියට කර ගත්තෙ නෑ… දැන් ඒ මදිවට මේ මිනිහා හප්පලා ඒ මිනිහා ජීවිතයත් මරණයත් අතර සටනක.. කවුද දන්නෙ තමුසෙලා හයි කරපු කැමරා ටිකයි ශබ්ධ රෙකෝඩ් කරන උපකරණයි ටිකත් කාටහරි අහුවෙයිද කියලා… ඒක අන්තිමට හොයාගෙන ගිහින් ඒවා හයි කළේ එෆ් බී අයි එක කියලා දැනගත්තාම තවත් ලෙඩක්… ඇත්තෙන්ම තමුසෙලා මේ වැඩේට සුදුසුද ?
ජෙනරාල් වෙලිංටන්… අපි හිතුවෙ නැති විදියට තමයි වාහනේ හැප්පිලා තියෙන්නෙ…. අපි සැලසුම් කළේ පිටුපසින් හප්පලා පොඩි හානියක් කරලා ඔහුව නිරීක්‍ෂණය කරන්න… නමුත් හිතුවෙ නැති විදියට වාහනයෙ පැත්තක හැපිලා ඔහුගේ පෙනහැල්ල සිදුරු වෙලා තියෙනවා… මේ නිසා තමයි වැඩේ බරපතල වුනේ… ජෙනී අවසානයේ කටහඬ අවදි කළාය..
ජෙනී… මම ඔයාව මේ වැඩේට දැම්මෙ මීට වඩා සූක්‍ෂම විදියට එයාට ලංවෙලා තොරතුරු ලබා ගන්න… නමුත් මම බලාපොරොත්තු තියාගෙන හිටි ආකාරයට ඒක වුනේ නැහැ… ඔයාත් මාව අසතුටට පත් කරනවා… මේ දෙන්නට වැඩිය ඔයා සූක්‍ෂම වෙන්න ඕන… මට ආයෙම ඔය තුන්දෙනාට කතා කරන්න ඉඩ තියන්න එපා.. මට මෙයාව යථා තත්ත්‍වයට ආවට පස්සෙ ගන්න ඕන තොරතුරු ටික අරගෙන දෙන්න…. මේකට මමත් දැන් අතදාපු නිසා මේකෙ කෙළවරක් දකින්න ඕන…. මෙයා අපට වැදගත් වෙන්නෙ බොහොමයක් හේතු මත… දැන් යන්න පුළුවන්……..
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සුමනසේකර යුවල විශ්ව බැලීමට රෝහල් කාමරයට යන විටත් අත්ථදස්සි හිමියන් විසින් පිරිත් සජ්ඣායනය අරඹා තිබුණි. සුමනසේකර යුවල පැමිණි බව දුටු අත්ථදස්සි හිමියෝ පිරිත් සජ්ඣායනය මඳකට නතර කර සුමනසේකර මහතාට හිසින් සන් කළ සේක. සුමනසේකර මහතා ද අත්ථදස්සි හිමියන් අසළ සිටගෙන පිරිත් සජ්ඣායනය කරන්නට විය… සුමනසේකර මැතිණිය සෙමෙන් සෙමෙන් විශ්වගේ ඇඳ අසළට ගොස් ඔහු දෙස බලා සිටින්නට වූවාය…. ඈ සෙමෙන් විශ්වගේ අතක් පිරිමදින්නට විය…
සුපුරුදු පරිදි පිරිත් සජ්ඣායනය වන අවස්ථාවේ වෙනස් වන මොළයේ සංඥා සටහන අද දිනද වෙනස් වූ නමුත්, සුමනසේකර මහතාගේ පිරිත් සජ්ඣායනය ඇරඹෙත්ම නැවතත් ව්‍යාකූල වන්නට විය… වාට්ටුව භාර වෛද්‍යවරයා ද මේ සිදුවීම නිරීක්‍ෂණය කරමින් සිටියේය… සුමනසේකර මහත්මිය විශ්වගේ අත පිරිමදින විට සියල්ලන් පුදුමයට පත් කරමින් විශ්වගේ ඇඟිලි සෙමෙන් සෙමෙන් ඇගේ අත ග්‍රහණය කර ගන්නට විය.. පිරිත් කියමින් සිටි ස්වාමීන් වහන්සේගේ මුවඟ මඳහසක් නැඟෙන්නට විය.. සුමනසේකර මහතා දොහොත් මුදුන් දී පිරිත් සජ්ඣායනය කරමින් සිය සිත දැඩි ඒකාග්‍රතාවයකට ගෙන ආවේය….
අවසන, සියල්ල නිසල විය… විශ්වගේ මොළයෙන් ලැබෙන සංඥා නැවතත් සරළ වන්නට විය.. පෙර පැවති ව්‍යාකූලභාවය අඩුවෙමින් තිබිණ… පිරිත් සජ්ඣායනය අවසානයේ සුමනසේකර මහතා සෙමෙන් ගොස් විශ්වගේ හිසේ ඉලෙක්ට්‍රෝඩ සවිකර නොතිබූ නළල දෑස් පියාගෙන පිරිමදින්නට විය… විශ්වගේ මුවින් සුළු කෙඳිරියක් පිටවිය…. තවමත් ඔහු ග්‍රහණය කරගෙන තිබූ සුමනසේකර මහත්මියගේ අත අතහැරී නැත….. සැවොම බලාපොරොත්තු වූ ඒ මොහොත උදාවිය.. විශ්ව…….. කෙමෙන් දෑස් විවර කළේය….
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සිය ප්‍රධානියාගෙන් ලැබූ අවවාද සහ ඉදිරි සැලසුම් පිළිබඳ කල්පනා කරමින් සිටි මොලී, සිය දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණ බවට ලැබුණ සංඥාවෙන් කල්පනා දැහැණින් බිඳුනාය. ඇය සිය දුරකථනයේ රහස් කේතය ඇතුලත් කර පණිවුඩය කියවා බැලුවාය…
සවස සිදු වූ කතාවේ තවත් පරිඡේදයක්දෝ යි සිතමින් මොලී කෙටි පණිවුඩය විවෘත කළාය…
විශ්වට සිහිය ඇවිත්…. දැන්ම යන්න….. සියල්ල සූදානම්…..
ඒ සිය ඉහළම ප්‍රධානියාගෙනි. ඉල්ලීම ඉවත හළ නොහැක. වහාම ඇඳ පැළඳගත් මොලී සිය රථයට නැඟී හමුදා රෝහල කරා ඉගිල්ලුනාය… වේලාව සවස හත පහු වූවා පමණි… 16වන මාවතේ ගමන් කළ ඇයට එතරම් මාර්ග තදබදයක් නොමැති වුවත් වේලාව ගතවන්නේ සෙමින් බව සිතුනි… ඇය සිය රථයේ වේගය වැඩි කර විස්කොන්සින් මාවතට හැරවීම සඳහා අතුරු මාවතකට හැරවූවා පමණි…. පිටුපසින් පැමිණි පොලිස් මාර්ග නිරීක්‍ෂණ රථයක සංඥා එළි දැගේ රථය එල්ල කරගෙන දැල්වෙන්නට විය…
ශිහ්… මේ වෙලාවෙම ?
ඇයට කළ හැකි කිසිත් නොහැක… ඇය සිදු කලේ වැරැද්දක් බව ඇයට හැඟුණි… මාර්ගයේ වේග සීමාවට වඩා පැයට සැතපුම් 15 කට වැඩියෙන් ඇය ධාවනය කර ඇති බව ඇයට දැනුනි… මීටත් වඩා හදිසි අවස්ථාවල මීට වඩා භයානක අවස්ථාවන්හි රථ ධාවනය කිරීමට පළපුරුද්දක් ඇති ඇයට මේ සිදුවීම අදහාගත නොහැකි විය.. කෙසේ වෙතත් කළ හැක්කක් නොමැත… සිය රථයට පිටුපසින් පොලිස් රථය නැවැත්වූ නිලධාරියා මොලීගේ රථයේ දොර අසල සිටගත්තේය. ඇය සිය රථයේ වීදුරුව පහත් කර තමා සතු වූ ඉහළම සේවා හැඳුනුම්පත නිලධාරියාට පෙන්වූවාය..
ඇයි මිස්… හදිසියක්ද ?
ඔව්.. ඉක්මනින්ම වෝල්ටර් රීඩ් හමුදා රෝහලට යන්න ඕන… ඒකයි මම මේ ඉක්මනින් යන්නෙ… දැන්ම ගියේ නැතිනම් මට අවශ්‍ය බොහෝ දේවල් නැති වෙන්න පුළුවන්….
මිස් දන්නවනේ වෙච්ච වැරැද්ද…. පොලිස් නිලධාරියා ඇය අතින් සිදු වූ වැරැද්ද පැහැදිළි කරදෙන්නට විය.. ඉන්පසු සිය රථයට ගොස් එම හැඳුනුම්පතේ වූ අංකය සිය පරිඝණකයට ඇතුලත් කර ඒ හැඳුනුම්පතේ වූ විස්තර සහතික කර ගත්තේය.
මහත්මයා… මට දැන් යන්න ඕන… ඔබ දන්නවා මම ඉන්න තත්ත්‍වය… මට ඉක්මනටම යන්න ඕන… නැතිනම් මට ප්‍රධානියාට දන්වන්න වේවි..
හරි මිස්… ඉක්මනට යන්න… නමුත් පරිස්සමින්….
අනෙක් වැරදිකරුවනට නීතිය අකුරටම ක්‍රියාත්මක කළත්, මේ තරුණියට සිය ගමනාන්තයට ඉක්මනින් ළඟාවීමට ඉඩ දිය යුතු බව පොලිස් නිලධාරියා වටහාගත්තේය.
බොහොම ස්තූතියි…..
ඇය නැවතත් සිය රථය පණගන්වාගෙන වෝල්ටර් රීඩ් හමුදා රෝහල වෙත ධාවනය කළාය… මේ අවස්ථාවේ හැටියට එසේ ඉක්මනින්ම පොලිස් නිලධාරියාගෙන් ගැලවී යාමට හැකිවීම ගැන ඇය බොහෝ සතුටු වූවාය. දැනටමත් පරක්කු වැඩිය… විශ්වගේ ඥාතීන් ද රෝහලට පැමිණ සිටිය හැකි බව ඇයට මතක් වූවාය…. රෝහල් ගේට්ටුව වෙත ලඟා වූ ඇය සිය සේවා හැඳුනුම්පත ආරක්‍ෂක අංශයට ලබා දුන්නාය.. ඒ දෙස දෙවරක් බැලූ හමුදා නිලධාරියා ගේට්ටුව විවර කර දුන්නේ වෙනදා නොමැති වෙනසක් මුහුණේ දරාගෙනය…. වෙනදා ශාන්ත දාන්තව රෝහලට පැමිණෙන මේ තරුණිය අද බොහෝ වෙනස්වී ඇත… කළබලයෙන් නමුත් කිසියම් අරමුණක් කරා යන බවක් ඔහුට පෙණුනි..
රෝහල් පරිශ්‍රයේ වාහනය නතර කළ ඇය විශ්වගේ කාමරය කරා ඇවිද්දා නොව දිවුවාය… ඇයට අවශ්‍ය වූයේ ඉක්මනින්ම විශ්ව බලා ගන්නටය.. විශ්වගේ මානසික තත්ත්‍වය කුමක්දැයි නිශ්චිතව දැන ගැනීමටය.. විශ්ව ඒ තරම්ම ඇයට වටී…. ඈ වටා සිටි සියල්ලන්ටම වටී… ඈ සිය සිතිවිලි එකලස් කර ගත්තාය… තමා මෙතෙක් කල් අන් අය වෙත පෑ ඒ මෘදු සිනාව, සුමුදු බව, අදත් පෙන්විය යුතු බව ඇයට සිහි වූවාය… ඇය වහා අසළ වූ කාන්තා වැසිකිලියකට ඇතුළු වී තමන්ගේ ස්වභාවය කුමනාකාර දැයි පිරික්සා බැලුවාය…
සියල්ල ඒ ලෙසම සිදු වේවි… ඈ තමාටම මුමුණා ගත්තාය.
ඇය සෙමින් සෙමින් විශ්ව සිටි කාමරය වෙත පියමැන්නාය….
මේ තරම් ඉක්මනට කොහොමද ඔයා මේක දැනගත්තෙ ? තානාපති කාර්යාලයේ ගීතාංජන ලංකාතිලක මහතා මොලී හැඳිනගෙන දුර සිටම විමසුවා.
මට කෙටි පණිවුඩයක් ලැබුණා මගේ ප්‍රධානියාගෙන්… මම හිතන්නෙ ප්‍රධාන වෛද්‍යවරයා ඔහුට දැනුම් දෙන්න ඇති.
විශ්වට දැන් පැයකට විතර ඉස්සර සිහිය ආවා.. තවමත් වෛද්‍යවරු පරීක්‍ෂා කරලා බලනවා කොහොමද කියලා… ඊට පස්සෙ ඔයාට පුළුවන් වේවි එයාව බලන්න…
අපි හැමෝම හුඟක් බලාපොරොත්තු වුන දෙයක්… අපි හැමෝටම සතුටුයි විශ්වට ඉක්මනින්ම සිහිය ආපු එක ගැන… අපේ හැම දෙනාම සෑහෙන කණගාටුවෙන් හිටියෙ….
මේ ඉන්නෙ විශ්වගෙ මාමයි නැන්දයි… ලංකාතිලක මහතා මොලීට සුමනසේකර යුවල හඳුන්වා දුන්නේය.
සන්තෝෂයි අඳුනා ගන්න ලැබීම ගැන…. මම මොලී… විශ්ව එක්ක එකට වැඩ කරන්නෙ….
නීලකාන්ති සුමනසේකර මහත්මිය මොලී දෙස විමසුම් සහගත බැල්මක් හෙළුවාය… මොලී ඇය හා සිනාසුනාය…
සුමනසේකර මහත්මිය ඈ හා සිනාසුනත්, සුමනසේකර මහතාගේ මුහුණේ කිසිදු හැඟීමක් නොවීය…..
අද හවස මම ආවා මෙගන් එක්ක… එතකොටත් විශ්වට සිහිය තිබුණෙ නැහැ… ඩොක්ට කිවුවා විශ්වගෙ ඥාතීන් ආවම කම්පන ප්‍රතිකාරය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා.. විශ්වට සිහිය ආවෙ ඒකෙන් පස්සෙද ? ඇය අපහසුතාවය මඟහරවාගනිමින් විමසුවාය.
නැහැ නැහැ…. මම හිතන්නෙ නම් මේ දෙන්නා ආවා කියලා විශ්වට තේරිලා… මේ දෙන්නා ආපු ගමන් ඇස් ඇරියා… කවුරු හරි නෑ කෙනෙක් එනකල් ඉඳලා තියෙන්නෙ… ලංකාතිලක මහතා විහිළුවක් කර ඒ අවස්ථාව සැමට පහසු කිරීමට සරළ උත්සාහයක් ගත්තේය.
ඒක හරිම පුදුමයි නෙ… කිසිම බෙහෙතක් නැතිව ?
විශ්වට ලැබෙන්න ඕන හොඳම බෙහෙත ලැබුණා මොලී… එයාට හැමදාම ඒ බව දැනුනා… ඒක අදත් දැනෙන්න ඇති… සුමනසේකර මහත්මිය සෙමෙන් පැවසුවාය….
මමත් හිතන්නෙ එහෙමයි… පිරිත් සජ්ඣායනය වෙලාවෙ නම් වෙනසක් පෙන්වුවා… නමුත් සිහිය එන පාටක් තිබුණෙ නැහැ…. අපි හැමෝම දැනගෙන හිටියා පිරිත් වලින් විශ්වට ලොකු සෙතක් වෙනවා කියලා.. ඒත් කොයි තරම් දුරට ඒක වෙනවද කියලා කාටවත් නිනවුවක් තිබුණෙ නැහැ… මොනවා වුනත් සිහිය ආපු එක ලොකු දෙයක්… මොලී නැවතත් පැවසුවාය….
අපි බලමු… තව ගොඩක් පරීක්‍ෂණ කරන්න වෙයි…
ඒ කතාබහ මොහොතකට නතර වූයේ විශේෂඥ වෛද්‍යවරයා සුමනසේකර යුවලට කාමරය තුළට පැමිණෙන ලෙස කළ ඇරයුමත් සමඟිනි. ඔහුට අවශ්‍ය වූයේ විශ්ව දන්නා හඳුනන මුහුණු වෙත දක්වන ප්‍රතිකාරය අනුව දිගුකාලීන මතකයේ ප්‍රතිස්ථාපනය කෙතෙක් දුරට සිදු වී ඇත්දැයි යන්න ගුණාත්මකව සොයා ගැනීමය.
සුමනසේකර යුවල සෙමෙන් ගොස් විශ්වගේ ඇඳ දෙපස සිටියහ. ඔහුගේ දෑස් කඳුලින් තෙත් විය… මුවේ සිහින් සිනාවක් මතු කරන්නට තැත් කිරීමක් පෙණුනි. නීලකාන්ති සුමනසේකර මහත්මිය සතුටු කඳුලක් හෙළුවාය. වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් නැතත්, ඔහු තමා හඳුනාගත් බව ඇයට දැනුනි…
මමත් යන්නද ? මොලී නොයිවසිල්ලෙන් මෙන් විශේෂඥ වෛද්‍යවරයාගෙන් විමසුවාය…
යන්න… ගිහින් බලන්න එයාගෙ කෙටි කාලීන මතකය කොහොමද කියලා… වෛද්‍යවරයා ඇය දිරිමත් කළාය….
ඇඳ අසළට ගිය මොලී විශ්වගේ මුහුණට එබී බලා සිනාසුනාය…….
පිටස්තරයා – 14
සුමනසේකර මහත්මයා…. මෙන්න ඔබ දෙපලගෙම වීසා සහතික පත්… ඔබට හෙටම ඇමරිකාව බලා යන්න පුළුවනි.
අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරී රොනල්ඩ් මැන්කැඩ් පෞද්ගලිකවම මැදිහත් වී සුමනසේකර යුවලගේ ඇමරිකානු වීසා සහතිකපත් සඳුදා දිනම ඔවුනට සකස් කර දුන්නේ විශ්වගේ සැපදුක් බලා ගැනීමේ අපේක්‍ෂාව ඉක්මනින්ම මල්පල ගැන්වීමටය. සෙනසුරාදා සාකච්ඡා කරගත් පරිදි ඔවුන් දෙපළ ඇමරිකාව බලා යාමට ගුවන් ටිකට්පත් එදිනම වෙන්කරවා ගැනීම නිසා සඳුදාම වීසා ලබා ගැනීමට සිදුවිය. මේ කර්තව්‍යය ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම ඇති නිසාත්, සුමනසේකර යුවල නොදන්නා බොහෝ කරුණු කාරණා රොනල්ඩ් මැන්කැඩ් සහ ඇමරිකානු තානාපති කාර්යාලයේ බුද්ධි නිලධාරීන් දන්නා නිසාත්, මේ කටයුත්ත ඉතා ඉක්මනින් කර දීමට තානාපති කාර්යාලය පසුබට වූයේ නැත. ඔවුන්ට අවශ්‍ය වූවේ තමන් අතින් සිදු වූ වැරැද්ද කෙසේ හෝ නිවැරදි කර ගැනීමටයි.. එසේ කටයුතු කිරීමේදී සාමාන්‍ය ක්‍රියා පටිපාටි වලින් බැහැරව ක්‍රියා කිරීමට අදාල පාර්ශවයේ ඕනෑම කෙනෙකු කටයුතු කරයි.
එදින සවසම සුමනසේකර දෙපල සිය ඥාතිපුතු බැලීම සඳහා පසුදින ඇමෙරිකාව බලා යාම සඳහා ලක ලෑස්ති වූහ. ඊට පෙර ඒ බව වොෂිංටන් බෞද්ධ විහාරයේ වැඩ වසන තමාට බොහෙවින් හිතවත් මඩකුඹුරේ අත්ථදස්සි හිමියන්ට දැන්වීම සඳහා සුමනසේකර මහතා දුරකථන ඇමතුමක් ලබා ගත්තේය.
හලෝ…. වොෂිංටන් බෞද්ධ විහාරය…….
ලොකු හාමුදුරුවනේ මේ මම… සුමනසේකර…..
ආ… සුමනසේකර මහත්මයා… කොහොමද ?…..
හොඳින් ඉන්නවා ලොකු හාමුදුරුවනේ…. අපි මේ හෙට එනවා කියලා දන්වන්නයි කතා කළේ…. අත්ථදස්සි හාමුදුරුවෝ පන්සලේ වැඩ ඉන්නවද ?
අත්ථදස්සි හාමුදුරුවො නම් දැන් භාවනා කරනවා… මම දන්වන්නම් සුමනසේකර මහත්මයා කතා කළා කියලා… ඊයෙ හවසත් අත්ථදස්සි හාමුදුරුවෝ රෝහලට ගිහින් පිරිත් කියලයි ආවෙ…. ඊයෙ නම් ඒ දරුවා අතක් හෙලෙවුවා කියලා උන් වහන්සෙ කිවුවා… අදත් පිරිත් කියන්න හවස වඩිනවා කියලා කිවුවා… තුන් වේලක් වත් පිරිත් කියන්න ඕන නෙ හරි හැටි ගුණයක් ලබන්න…
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
පසුදින උදෑසන සේවයට ගියද, සෑම දෙනාගේම කතාබහ වූයේ විශ්වට සිදු වූ අනතුර පිළිබඳවයි. ආචාර්ය ෆියු සහ ආචාර්ය ලිපර්ඩ් යන දෙදෙනාම සැම දෙනාගේම කාර්යාල කාමර වලට පැමිණ පෞද්ගලිකවම සිය සේවක කැළගේ මානසික තත්ත්‍වය පිළිබඳ සොයා බැලූහ. ඉතා තදින් බැඳුන වියමනක් මෙන් වූ මේ හත්දෙනාගේ මානසිකත්‍වය මේ අවස්ථාවේ ඉහළින් තබාගත යුතු බව කළමණාකාරීත්‍වයේ හසළ දැනුමක් ඇති මේ දෙදෙනාම හොඳින් දැන සිටියහ. ඒ නිසාම පෞද්ගලිකවම ඔවුන්ගේ මානසික තත්ත්‍වය පිළිබඳ සැලකිලිමත් වීමට දෙදෙනාම උනන්දු වූහ.
මොලී වැඩිපුර විශ්ව පිළිබඳ සැලකිළිමත්වීම ගැන මෙගන්ට තිබුණේ ඊර්ෂ්‍යාවක්ද යන්න බොහෝ දෙනා තුළ තිබූ ප්‍රශ්නයකි. එළිපිට නොපෙන්වුවත් මෙගන් නිතරම වාගේ මොලී සමඟ තිබුණේ නොරිස්සුමකි. විශේෂයෙන්ම සති අන්තයේ සිදු වූ කලබැගෑනියට තමාගෙන් කිසිම දායකත්‍වයක් නොවීම පිළිබඳ ඇය සැම දෙනා සමඟම අමනාපයකින් පසු වූවාය.. එය එළිපිට නොපෙන්වුවත් සිදු වූ කතාබහේදී මෙගන්ගෙන් නිකුත් වූ හඬින් එය සැමටම තේරුම් ගොස් තිබුණි. කෙසේ වෙතත් රසායනාගාරයේ සියල්ලන්ම සිටියේ දැඩි කණස්සලු ස්වභාවයකිනි… මොලී අන් සියල්ලන්ටම වඩා පසුතැවිල්ලකින් පසුවන ආකාරයක් පෙණුනි…
අවසන ඇය සිය ප්‍රධානියා වන ආචාර්ය නීල් ෆියුගේ කාමරය වෙත පිය මැන්නාය…..
නීල්…. ඇය දොරට තට්ටු කරන ගමන්ම ඔහු ඇමතුවාය..
ඔව් මොලී…. ඇයි ? මොකක් හරි ප්‍රශ්නයක්ද ?
ලොකු ප්‍රශ්නයක් නෙවෙයි…. මම අද හවස ටිකක් කලින් යන්න ඕන…. මම විශ්ව බලන්න යනවා…
මට තේරෙනවා…. මම මේ පුද්ගලික ප්‍රශ්නයක් අහනවා නෙවෙයි….. ඔයා මේ ටික දවසට විශ්වට ගොඩක් සමීප වුනා නේද ?
නැහැ කියන්න බැහැ නීල්… විශ්ව එක්ක සතියක කාළයක් වැඩ කරද්දි තේරෙනවා එයා බොහොම හොඳ ඒ වගේම බුද්ධිමත් කෙනෙක් කියලා… ඒ තරම්ම සමීපතාවයක් නැහැ… නමුත්……..
ඒක අසාමාන්‍ය නැහැ මොලී…. විශ්වට මෙහේ කවුරුත් නැහැ…. සමහරවිට ඔයා දන්නවා ඇති විශ්වගෙ පවුලෙ තොරතුරු… මගේ අකැමැත්තක් නැහැ ඔයාට පුළුවන් නම් විශ්ව මේ ඉන්න තත්ත්‍වයෙන් ගොඩ ගන්නවට… අපට විශ්ව යථා තත්ත්‍වයට ගන්න ඕන ඉක්මනටම… මේ පර්යේෂණයෙ බොහොම වැදගත් වැඩකොටසක් විශ්වගෙ අතින් කෙරෙන්න ඕන… මේ පර්යේෂණයට විශ්වගෙ දැනුම බොහොම වටිනවා…. මට මේ කොල්ලව කොහොම හරි ආපහු මේ ලැබ් එකට ගේන්න ඕන…. ප්‍රශ්නයක් නැහැ… විශ්ව ගොඩ එනකල් ටිකක් වේලසන යන්න.. මම දන්නවා ඒ කාළය අපතෙ යන්නෙ නැහැ කියලා… මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මට දන්වන්න… මම ඒක නිරාකරණය කරලා දෙන්නම්…
බොහොම ස්තූතියි නීල්…. බොහොම ස්තූතියි….
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මෙන්න වාර්තාව… උණු උණුවෙ ආවෙ…. තාම විශ්ලේෂණය කරන්න බැරි වුනා….
මොනවද තියෙන්නෙ ?
හිතා ගන්න බෑ… එක දෙයක් කියලා නෑ… අච්චාරුවක්….
අපට විශ්ලේෂණය කරන්න බැරි තරම් සංකීර්ණද ?
මට හිතෙන විදියට මේකට හොඳම කෙනා සයන්ටිස්ට් රාහුල් ගුප්තා….
රාහුල් ගුප්තා… අර පිස්සු හටන ?
ඔව්… මිනිහා කාබනික රසායනය කරපු කෙනෙක්නෙ… මේක ගෙනිහින් අහලා බලමු…. ඇහුවයි කියලා අපට පාඩුවක් නැහැනෙ…
යමු… කෝ මිනිහා දැන්….
දැනුත් ලැබ් එකේ ඇති…. මිනිහට ඉතිං ලැබ් එකෙන් තොර ලෝකයක් නෑනෙ……
ඔවුන් රාහුල් ගුප්තා සිටින රසායනාගාරයට යන විටත් රාහුල් සිටියේ පරීක්‍ෂණයක ප්‍රතිඵල විශ්ලේෂණය කරමිනි.
එෆ් බී අයි ආයතනයේ වැදගත්ම ඒකකයක් වන රසායානාගාරයට විවිධාකාර රසායන ද්‍රව්‍ය සහිත සාම්පල ලැබේ. මෙහි සිදු කෙරෙන පරීක්‍ෂණ මත සැකකරුවා වැරදිකරුවෙක්ද නිවැරදිකරුවෙක්ද යන්න තීරණය වන නිසාත්, ඒ තීරණය මතම ඔහුගේ ජීවිතය පිළිබඳ ඉරණම විසඳෙන නිසාත් බොහෝවිට එකම පරීක්‍ෂණය දෙතුන් වතාවක් සිදු කර නිරවද්‍යතාවය තහවුරු කරගනු ලබයි. එසේ වුවත් සමහර තාක්‍ෂණික නිලධාරීන් මූලික පරීක්‍ෂණ සිදු කරන්නේ එතරම් තැකීමකින් තොරවය. මේ නිසාම රසායනාගාරයේ ජ්‍යෙෂ්ඨ රසායනඥයින් ඉතා ඉහළ මට්ටමකින් යුතු දත්ත ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරති. සමහරවිට තමාම ඒ පරීක්‍ෂණය සිදුකර එහි නිරවද්‍යතාවය තහවුරු කර ගනු ලබයි. ඉන්දියානු ජාතික – දැනට ඇමරිකානු ජාතිකත්‍වය ලබා ඇති රාහුල් ගුප්තා කාබනික රසායන විශ්ලේෂණය පිළිබඳ විශාරදත්‍වයක් ලබා ඇති පුද්ගලයෙකි. ඔහුගේ පෞරුෂත්‍වය සමාජගත ආයතනයකට නොගැලපුනද ඔහු සතු විශේෂඥ දැනුම නිසාම දැඩි අවදානමක් ගැනීමෙන් පසුව එෆ් බී අයි ආයතනය රාහුල් ගුප්තාව සිය රසායනාගාරයේ විද්‍යාඥයෙකු ලෙස බඳවා ගත්තේය… වැඩි සමාජ ආශ්‍රයක් නොමැති ඔහු සිය රාජකාරිය දේවත්‍වයෙන් සළකනවා පමණක් නොව සිය විද්‍යාඥ තනතුර ද ඉතා ඉහළ තත්ත්‍වයක තබා ක්‍රියා කරයි.. එසේ නොවන්නට රාහුල් සාමාන්‍ය මිනිසෙකි.
හලෝ රාහුල් ගුප්තා….
යාළුවා…. නම්බු දීලා කතා කරන්න පුරුදු වෙනවා…. සයන්ටිස්ට් රාහුල් ගුප්තා…..
හරි හරි…. සයන්ටිස්ට් රාහුල් ගුප්තා… අපි මේ ආවෙ ඔයාගෙ විශේෂඥ දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න…… අපි දන්නවා ඔයා තමයි මේ විෂය හොඳටම දන්නෙ කියලා..
ආ… එහෙම එන්න… කියමු බලන්න මොකද්ද ප්‍රශ්නෙ කියලා…..
මෙන්න මේකයි ප්‍රශ්නෙ… අපට ලැබුණා තෙල් සාම්පලයක්… මේ තියෙන්නෙ ඒ සාම්පලයේ වර්ණලේඛ විශ්ලේෂණ සටහන (Gas Chromatogram )……… මේක අනුව කියන්න පුළුවන්ද මේ සාම්පලයෙ අඩංගු තෙල් වර්ගය මොකද්ද කියලා ?
දෙයියනේ… මේක තෙලක්ද නැත්නම් කොහෙන් හරි කානුවකින් හොයා ගත්ත ජරාවක්ද ?
ඒ මොකද එහෙම අහන්නෙ ?
මේක පිරිසිදු තෙලක් නෙවෙයි… මේකෙ තියෙන්නෙ ලොකු මිශ්‍රණයක්….
කොහොමද එහෙම කියන්නෙ ?
එහෙම කියන්නෙ මම හොඳට දන්න නිසා…. තනි තෙල් වර්ගයක මේ තරම් විශාල සංඝඨක මිශ්‍රණයක් දකින්න බැහැ… තිබුණත් මේ වගේ අනුපාත නැහැ… මම සගන්ධ තෙල් (essential oils) ගැන හොඳට දන්නවා… මේක අනිවාර්යයෙන්ම සංඝඨක දහයකට වැඩි මිශ්‍රණයක්…… මේ මිශ්‍රණය විශ්ලේෂණය කරන්න ඔහොම බෑ.. අයියෝ මට ගෙනැත් දුන්න නං ඉවරයි නෙ… කෝ සාම්පලය තියෙනවද ?
ඔව්… ලැබ් එකේ තියෙනවා…
මට ගෙනැත් දෙන්න සාම්පලේ… ඔය ලැබ් එකේ ඉන්න තාක්‍ෂණික නිලධාරියො දන්න ඉටිගෙඩියක් නෑ… උන් දන්නෙ ඔයාල දෙන සාම්පලේ ඔහේ ගහලා වාර්තාව දෙන්න විතරයි… මේ වගේ සාම්පලයකට වෙනම තත්ත්‍ව සකසන්න ඕන.. සමහර සංඝඨක ඉක්මනින් වාශ්පෂීලී වෙනවා.. තවත් සමහර ඒවා අඩු වාශ්පශීලීතාවයක් තියෙන්නෙ.. ඒ නිසා මේ පරීක්‍ෂණයෙ තත්ත්‍වයන් වෙනස් කරන්න ඕන… මට දවස් දෙකක් දෙන්න.. මම සම්පූර්ණ වාර්තාවම දෙන්නම්…
හරි.. මම සාම්පලය දැන්ම ගෙනත් දෙන්නම්… බොහොම ස්තූතියි සයන්ටිස්ට් රාහුල් ගුප්තා… ඔබ නම් අපේ ගැලවුම්කාරයෙක්….
කිසි දේකට බයවෙන්න එපා…. මොකද්ද නම කිවුවෙ ?
ආ… මම ජේසන්…
හරි… ජේසන්… කිසි දේකට බය වෙන්න එපා… මම දවස් දෙකකින් වැඩේ කරලා දෙන්නම්…. මොකද්ද මේ සාම්පලය…
අනේ සයන්ටිස්ට් රාහුල් ගුප්තා. ඒකනම් කියන්න බෑ… අතිශය රහසිගතයි…
හරි හරි…. මම දන්නවා…
හරි… එහෙනම්…. අපි යනවා… බොහොම ස්තූතියි..සයන්ටිස්ට් රාහුල් ගුප්තා…
හරි… මට සාම්පලය දැන්මම ගෙනැත් දෙන්නකෝ…
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
තවම සිහිය ආවෙ නැද්ද ඩොක්ට ? මොලී පැමිණි වහාම වාට්ටුව භාර වෛද්‍යවරයාගෙන් විමසුවේ ඉතා දුක්මුසුවය…..
තවම නැහැ මොලී….. අද හවසත් අර හාමුදුරුවො ඇවිත් පිරිත් කියලා ගියා…. ඒත් තවම කිසිම වෙනසක් නැහැ… එකම වෙනස පිරිත් කියන අවස්ථාවෙ විතරක් මොළයේ සංඥාවල සිදුවන වෙනස විතරයි. මේ නිසාම අපි තීරණය කළා අර මුලින් කිවුව විද්‍යුත් කම්පන ප්‍රතිකාරය හෙටින් පසුව කරන්න.
කෝකටත් අපි විශ්වගෙ භාරකාරයො එනකල් ඉඳිමු ඉදිරියේදි මොනවා කරනවද කියන දේ තීරණය කරන්න…. තානාපති කාර්යාලයෙන් දැනුම් දීමක් ලැබුණා ඒ අය හෙට ලංකාවෙන් පිටත් වෙනවා කියලා… ඒ කියන්නෙ හෙට හවස් වෙනකොට ඒ අය මෙහාට එන්න ඕන… එයාලා ආවට පසු අපි වාර්තා පැහැදිලි කරලා දීලා බදාදාට විශ්වගේ කම්පන ප්‍රතිකාරය කරන්න බලාපොරොත්තු වෙනවා.
ඩොක්ට කිවුව නේද අර මුලින් කළ පරීක්‍ෂණ වගයක් ගැන, ඒවයේ වාර්තා වලින් මොනවත් තීරණයක් ගන්න බැරිද ?
ආ… මතක් කළ එක හොඳයි… ඒ වාර්තා අපි හොඳින් සළකා බැලුවා… අපි මේ රෝහලේ විතරක් නොවෙයි. සියැට්ල් ග්‍රේස් රෝහලේ ස්නායු විශේෂඥ වෛද්‍ය ඩෙරික් ශෙපර්ඩ්ගෙනුත් අපි අදහස් ලබා ගත්තා… ඔහුට අනුව මේ තත්ත්‍වය එතරම් අසාමාන්‍යතාවයක් නොවෙයි, නමුත් දිගටම අපි නිරීක්‍ෂණය කරනවා.. අපි අද සවස ඔහුව සජීවීව සම්බන්ධ කරගත්තා පිරිත් කියන අවස්ථාවේදී… ඔහුත් දුටුවා මේ සංසිද්ධිය… ඒ නිසාම අපි තවදුරටත් පිරිත් සජ්ඣායනය කිරීමේ කටයුත්ත දිගටම කරන්න තීරණය කළා… හාමුදුරුවොන්ගෙනුත් අකැමැත්තක් නැහැ…
එතකොට විශ්වගේ අනිත් අවයව වල ක්‍රියාකාරීත්‍වයේ වෙනසක් නැද්ද ? මෙතෙක් වේලා නිහඬව සිටි මෙගන් වෛද්‍යවරයාගෙන් විමසුවාය..
විශ්ව බැලීමට හමුදා රෝහලට ඇතුළුවිය හැක්කේ සීමිත සහ අවසරලත් පුද්ගලයින් සංඛ්‍යාවකට පමණක් නිසා මෙන්ම විශ්ව බැලීමට ඇති කැමැත්ත නිසාත්, වෙනත් කළහැකි කිසිවක් නොතිබූ නිසාත්, මොලී සමඟ පැමිණීමට මෙගන්ට සිදුවිය.
නැහැ…. පෙනහැල්ලේ සිදු වුන තුවාලය නිසා කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක ආධාරයෙන් තමයි හුස්ම ගන්නෙ… ඒ ඇරෙන්න කිසිම අවයවයක හෝ ඉන්ද්‍රියක වෙනසක් පෙන්වන්නෙ නැහැ… ඒක ඇත්තටම හොඳ දෙයක්… ඒ නිසා අපට ගොඩක් බලාපොරොත්තු තබා ගන්න පුළුවනි විශ්වට ඉක්මනින්ම සිහිය ඒවි කියලා.
අපට මොනවද වෙන කරන්න පුළුවන් ?
ඔයාලට නම් මෙතැන කරන්න කිසිම දෙයක් නැහැ… අපි මුලින්ම කරන්න ඕන විශ්ව ප්‍රකෘති තත්ත්‍වට ගන්න එකයි.. ඊට පස්සෙයි ඉතිරිය බලන්න වෙන්නෙ… අපට සමහරවිට විශ්වට මානසික ප්‍රතිකාර කරන්න වෙයි… එයා මෙතැනට වැටුනෙ ලොකු අනතුරකින් පස්සෙ.. ඒ නිසා පශ්චාත් කම්පන ආතතිය (Post Traumatic Stress Disorder) සඳහා ප්‍රතිකාර කරන්න වෙයි.. ඒක බලපාන්නෙ විශ්වගෙ මානසික තත්ත්‍වය අනුව.. එයා මානසිකව ශක්තිමත් පුද්ගලයෙක් නම් බොහොම ඉක්මනින් ප්‍රකෘති තත්ත්‍වයට පත් වේවි.. නැතිනම් ටික කලක් යාවි.. එයා ප්‍රකෘති තත්ත්‍වයට පත් වෙන්නෙ ටික කළක් සිහිනැතිව ඉඳලා නිසා එයාගෙ මතකය, මානසික මට්ටම ගැන පරීක්‍ෂණ කරන්න වේවි. එහෙම ප්‍රශ්නයක් තිබෙනවා නම් අපට ඒ පැත්තෙන් පුනරුත්ථාපනය කරන්න වේවි. ඉන් පස්සෙ අපි බලන්න ඕන එයාගෙ අවයව වල ක්‍රියාකාරීත්‍වය ගැන.. පාදයේ අස්ථියක් සම්පූර්ණයෙන්ම බිඳුන නිසා ඇවිදීම අපහසු වේවි.. පාදය යථා තත්ත්‍වයට ගෙන එන ව්‍යායාම්වල යෙදෙන්න වේවි… මේ වගේ සෑහෙන වැඩ කොටසක් තියෙනවා ඉදිරියට.. සමහරවිට සිහිය ඇවිත් මාස දෙකක් තුනක් යනකල් 100 % ක් ප්‍රකෘති තත්ත්‍වයට ගෙන එන්න අමාරු වේවි.. නමුත් බය වෙන්න එපා.. මීට වඩා දරුණු විදියට ආබාධවලට ලක් වෙලා ඉරාකයෙන් සහ ඇෆ්ගනිස්ථානයෙන් ආපු සොල්දාදුවො අපි හොඳ කරලා නැවත යුධබිමටත් යවලා තියෙනවා. ඒ නිසා හිත කලබල කර ගන්න එපා.. අපි පියවරෙන් පියවර ඉදිරියට යමු….
බොහොම ස්තූතියි ඩොක්ට….
ප්‍රශ්නයක් නැහැ….
එහෙනම්,… අපි ගිහින් එන්නම්………
හොඳයි… සුභ සන්ධ්‍යාවක්…..
ඇස්බැස්ටස් දෙස ඇස් ඇරලා බලන්න
රජය විසින් මෑතකදී ඇස්බැස්ටෝස් තහනම් කරන්නට යෙදුනා. මේ නිසා එය පාවිච්චි කරන මහජනතාව වගේම ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කරන සහ වෙලඳාම් කරන අයට මහත් අපහසුතාවයකට මුහුණ පාන්නට සිදු වෙනවා. කෙසේ වුවත් මේ තහනමට සමගාමීව වෙනත් ආදේශකයක් නිර්ණය වී නැහැ. ඇත්තෙන්ම ඇස්බැස්ටෝස් අනතුරුදායකද ? එසේ අනතුරුදායකනම් එය සිදු වන්නේ කෙසේද ? අපට එය වලක්වා ගන්නට නොහැකිද ?
ඇස්බැස්ටෝස් යන නම මූලිකව පැමිණුනේ ගිණිනොගන්නා යන සමාන පදයක් වූ ග්‍රීක වදනක් ආශ්‍රයෙන්. මෙය අවුරුදු 4500 කට එහා කාළයේ සිට පැවතුනක්. රෝමන්වරු ධනවත් මියගිය පුද්ගලයින් ඔතා ඔවුන් ගිණි තැබීමට ඇස්බැස්ටොස් වලින් සැකසූ රෙදි පාවිච්චි කළ බවට තොරතුරු තිබෙනවා. එසේ සිදු කරන්නේ මියගිය අයගේ අළු, දැව අළු හෝ වෙනත් දෑ සමග මුසු වීම වලකාලීමට බව ඉතිහාසයේ සඳහන්. රෝමයේ පළමු අධිරාජ්‍යයා වන Charlemagne (800–814) විසින් ඇස්බැස්ටෝස් රෙදිවලින් සැකසූ මේස රෙද්දක් භාවිතා කළ බව සඳහන්, ධනවත් පර්සියානුවන් එවැනි රෙදි ගින්නට දමා පිරිසිදු කර සිය අමුත්තන් පුදුම කළ බව ඉපැරණි වාර්තා සාක්‍ෂි දරනවා. නැගෙනහිර ෆින්ලන්තයේ Juorjävi නම් විල ආශ්‍රිතව සොයාගත් පෞරාණික භාණ්ඩ වලින් පෙනීගොස් ඇත්තේ ඔවුන් සිය වලං වැනි දෑ ශක්තිමත් කිරීමට ඇස්බැස්ටෝස් කෙඳි භාවිතා කර ඇති බවයි. පසුව මාර්කෝ පෝලෝ පවා ඇස්බැස්ටෝස් වල ඇති සුවිශේෂී ගුණ හඳුනාගෙන එවැනි රෙදි සැකසූ බව ඉතිහාසයේ සඳහන් වනවා. කෙසේ වුවත් ඇස්බැස්ටෝස් මහා පරිමාණව කැණීම් ආරම්භ වූයේ 19 වන ශතවර්ෂයේදී යි. මේවා සුවිශේෂ භෞතික ගුණවලින් සමන්විත ලවණ විශේෂයක්. ඒවා අතර ශබ්ධ අවශෝෂණය, ඉහළ ආතතියකට ඔරොත්තු දීමේ හැකියාව, මිලෙන් අඩු වීම සහ ගින්නට, තාපයට, සහ විදුලියට දක්වන ප්‍රතිරෝධීතාවය වැනි දෑ ප්‍රබලව සැලෙකෙනවා. මේ නිසාම ඒවා උදුන් වලට භාවිතා කරන වයර් ආවරණය කිරීමට සහ ගොඩනැගිලි පරිවාරණයට භාවිතා කරනවා. ඇස්බැස්ටෝස් ගින්නට හෝ තාපයට ඔරොත්තු දෙන සේ සකසන විට ඒවා සිමෙන්ති සමග මිශ්‍ර කිරීම හෝ රෙදි-නැතහොත් පැදුරු වැනි දෑ විවීම සිදු කරනවා. මෙවැනි වාසිදායක ගතිගුණ නිසා ඇස්බැස්ටෝස් බහුලව භාවිතා වුවත් 20 වන සියවසේදී එහි ඇති සෞඛ්‍යමය හානිදායක තත්ත්‍වයන් නිසා ලොව පුරා ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයේ සහ ගිණි ආරක්‍ෂණ ද්‍රව්‍ය සැකසීමේදී භාවිතයෙන් ඉවත් කළා.
ඇස්බැස්ටෝස් තන්තු දීර්ඝකාලීන ආශ්වාසය නිසා පෙනහළු පිළිකා,Mesothelioma නම් පෙනහළු පටක ආශ්‍රිත පිළිකාවන් සහ ඇස්බැස්ටෝසිස් නම් නියුමෝනියා තත්ත්‍වය ඇති වීමට පුළුවනි. මේ සියල්ල මාරාන්තිකයි. ඇස්බැස්ටෝස් පිළිබඳ මේ තත්ත්‍වයන් කරලියට ආවේ 1920-30 ගණන්වල වුනත්, 1980-90 පමණ වන තෙක් විශේෂ නීතිමය පද්ධතියක් සැකසුනේ නැහැ. නමුත් ඒ වනවිට ලොව බොහෝ රටවල් ඇස්බැස්ටෝස් සිය ඉදිකිරීම් කටයුතු වලින් ඈත් කිරීමට පටන් ගත්තා. ඒ අනුව බොහොමයක් රටවල් ඇස්බැස්ටෝස් තහනම් කිරීමට කටයුතු කළේ මේ කාළයේදීයි. ඇස්බැස්ටෝස් ආශ්‍රිත රෝග කෙතරම් දරුණු වුවත්, ලෝකයේ බොහෝ දෙනා, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල තවමත් ඇස්බැස්ටෝස් බහුලව භාවිතා වනවා.
ඇස්බැස්ටෝස් යනුවෙන් පොදුවේ හඳුන්වන්නේ ස්වභාවිකව පවතින සිලිකේට් ඛණිජ වර්ග හයක එකතුවකටයි. මේවා අයත් වන්නේ Serpentine නම් ඇම්ෆිබෝල් (Amphibole) ඛණිජ සමූහයටයි. එසේම මේ ඛණිජ වර්ග හයම මානව පිළිකා කාරක ද්‍රව්‍ය ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ බොහොමයක් ඛණිජ ඇලුමිනියම්, සිලිකන්, මැග්නීසියම්, සෝඩියම්, කැල්සියම් සහ යකඩ යන මූලද්‍රව්‍ය වල ඔක්සයිඩ වලින් සමන්විතයි. මේ විවිධ මූලද්‍රව්‍යවල විවිධාකාර සැකසීම් නිසා සහ ඒවායේ සාන්‍ද්‍රණය අනුව ඒ ඒ ඛණිජ විවිධ වර්ණය ගන්නවා.
ඇස්බැස්ටෝස් වලට නම ලැබී ඇත්තේ ලවණ වල ඇති තන්තුමය ස්ඵටිකමය ස්වභාවය නිසායි. මෙම ස්ඵටික සාමාන්‍යයෙන් ඉතාම තියුණු තන්තු ස්වභාවයක් ගනු ලබනවා. මේ තන්තු එහි විෂ්කම්භය මෙන් 20 ගුණයක දිගකින් යුක්තයි. මෙම තන්තු පියවි ඇසට දැකගතහැකි වුවත්, ඒවා ඇත්තෙන්ම ඊටත් වඩා කුඩා ක්‍ෂුද්‍ර තන්තු මිලියන ගණනකින් සමන්විතයි. මේ සියුම් ක්‍ෂුද්‍ර තන්තු සමහරවිට ඝර්ෂණයකදී, කැපීමකදී, පීරිගෑමක දී වැනි අවස්ථාවක පරිසරයට මුදා හැරෙන්නට පුළුවනි. මේ ඇස්බැස්ටෝස් වල ඇති ස්ඵටිකවල වර්ණය අනුව ඇස්බැස්ටෝස් නිල්, දුඹුරු, සුදු, සහ කොළ ඇස්බැස්ටෝස් ලෙස නම් කෙරෙනවා.
ඇස්බැස්ටෝස් විෂවීම බොහෝ දෙනා සිතන පරිදි ක්‍ෂණිකව සිදු වන්නක් නොවෙයි. ඕනෑම රසායන ද්‍රව්‍යයක්, හෝ විෂක් ශරීර ගතවීම දෙආකාරයකින් සිදු වනවා. ඉතා කුඩා ප්‍රමාණයක් දීර්ඝ කාළයක් තිස්සේ ශරීර ගතවීම නිදන්ගත (Chronic) තත්ත්‍වයක් ලෙසින් හඳුන්වන්නට පුළුවනි. මෙවිට ශරීරයේ රෝග ලක්‍ෂණ පෙන්වීමට සමහරවිට අවුරුදු 10 ක් හෝ 20කටත් වැඩි ගණනක් ගත වන්නට පුළුවනි. මෙයට හොඳම උදාහරණය වන්නේ රජරට වකුගඩු රෝගයයි. ආසනික්, කැඩ්මියම්, ග්ලයිෆොසේට් හෝ වෙනත් කිසියම් හෝ කරුණක් නිසා ශරීරයේ එකතු වන ද්‍රව්‍යයක බලපෑමෙන් දීර්ඝ කාලීනව සිදුවන බලපෑමක් නිසා වකුගඩු රෝගී තත්ත්‍වය ඇති වීමයි. අනෙක් ක්‍රමය වන්නේ ඉතා ඉහළ සාන්‍ද්‍රණයකින් යුතු රසායන ද්‍රව්‍යයක් ඉතා කෙටි කාළයක් තුළ ශරීරගත වීම නිසා සිදුවන ක්‍ෂණික මරණය හෝ අනතුරුදායක තත්ත්‍වයක් (Acute). මේ ක්‍රම දෙක අතරින් ඇස්බැස්ටෝස් විෂවීම සිදු වන්නේ දීර්ඝකාලීනවයි. එය සමහරවිට අවුරුදු 10 ක් හෝ 40 ක් වන්නට පුළුවනි. මෙම තත්ත්‍වය ඇස්බැස්ටෝසිස් (Asbestosis) යනුවෙන් හඳුන්වනවා. මෙහිදී සිදු වන්නේ ඇස්බැස්ටෝස් කෙඳි දීර්ඝකාලීන ආශ්වාසය නිසා පෙනහළුවල පටකවලට සිදුවන හානියයි. මෙසේ හානි වන පටක පසුකාලීනව පිළිකා තත්ත්‍වයන් දක්වා දුරදිග යා හැකියි.
මෙම කාරණයේ දෙපැත්තක් තිබෙනවා. ඇස්බැස්ටෝස් තහඩු හෝ වෙනත් දෑ වලින් ඇස්බැස්ටෝස් කෙඳි ගැලවී නොයන තාක්, ඇස්බැස්ටෝස් කිසිවෙකුගේ සෞඛ්‍යයට තර්ජනයක් වන්නේ නැහැ. ඇස්බැස්ටෝස් ශරීරයට හානිදායක වන්නේ විශේෂයෙන්ම ඒ හා සම්බන්ධව වැඩ කරන පෙදරේරුවන්ට වැනි පුද්ගලයන්ට සහ එවැනි කටයුතු කරන අවස්ථාවේ ඒ අවට සිටින පුද්ගලයන්ටයි. සමහරවිට ඇස්බැස්ටෝස් තහඩු තරමක් ඝණ තීන්ත ආවරණයකින් වසා තැබුවහොත් මේ ක්‍ෂුද්‍ර තන්තු පරිසරයට එක් වීමේ හැකියාවක් නැහැ. මේ නිසා ඇත්තෙන්ම හොඳින් තීන්ත පිරියම් කළ ඇස්බැස්ටෝස් තහඩු සෙවිළි කළ වහලයක් යට සිටින පුද්ගලයෙකුගේ සෞඛ්‍යමය අවදානම ඉතා පහළ තත්ත්‍වයකයි පවතින්නේ. ඒ ගැන බිය විය යුතු නැති බව ඉතා වගකීමෙන් සඳහන් කළ හැකියි.
නමුත් කෙනෙකු ඇස්බැස්ටෝස් ආශ්‍රිතව කැපීම්, ඉදිකිරීම් ආදිය සිදු කරන්නේ නම්, ඒ පුද්ගලයාට සහ ඒ අවට සිටින්නවුන්ට මේ ඇස්බැස්ටෝස් ක්‍ෂුද්‍ර කෙඳි ආඝ්‍රාණය වීමේ හැකියාව ඉහළයි. විශේෂයෙන්ම මේ කෙඳි පියවි ඇසට නොපෙනෙන නිසා සහ වායුගෝලයේ ඉතා විශාල පරාසයක පැතිර යා හැකි නිසා මේ අවදානම අධිකයි. මෙන්න මේ නිසා බොහෝ රටවල් දැන් ඇස්බැස්ටෝස් තහනමකට ලක් කර තිබෙනවා. එසේම ඇස්බැස්ටෝස් ආශ්‍රිත ද්‍රව්‍ය වලින් තැනූ ගොඩනැගිලි පවා වසා දමා තිබෙනවා. ජර්මනියේ ලුඩ්විග්ෂ්හාෆන් නගරයේ වූ BASF ආයතනයේ සුවිසල් ගොඩනැඟිල්ල දැලකින් වසා දමා ඇත්තේ එහි ඇති ඇස්බැස්ටෝස් ප්‍රමාණය අධික වීම නිසා. එය කඩා බිඳ දැමුවහොත් මුළු නගරයම ඇස්බැස්ටෝස් දුමාරයෙන් දූෂිත වන නිසා ඉතා කුඩා සිදුරු ඇති දැලකින් එම ගොඩනැගිල්ල වසා දමා තිබෙනවා.
රටවල් බොහොමයක් ඇස්බැස්ටෝස් තහනම් කළත් 2009 වසරේ දත්තයන්ට අනුව ලෝකයේ ඇස්බැස්ටෝස් නිශ්පාදනයෙන් 9% ක් සිදු කර ඇත්තේ කැනඩාවයි. නමුත් 2011 වනවිට කැනඩාව සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය නවතා දැමුවා. 2015 වනවිට ලොව පුරා ඇස්බැස්ටෝස් ටොන් මිලියන දෙකක නිෂ්පාදනයක් සිදු වූයේ 55% ක්ම රුසියාවෙන්, 20% ක් චීනයෙන්, 15.6% ක් බ්‍රසීලයෙන් සහ 10.8% ක ප්‍රමාණයක් කසකස්ථානයේ නිපැයුම් ආශ්‍රයෙන්. ඇස්බැස්ටෝස් කාර්මික කටයුතු සඳහා කැණීම ආරම්භ වූයේ කැනඩාවේ 1878 වර්ෂයේදී, එසේම එය කෙතරම් වර්ධනය වූවාද කිව හොත් 1895 වනවිට එය සම්පූර්ණයෙන්ම යාන්ත්‍රිකව සිදු කෙරුණා. 19 වන සියවස වනවටම ඇස්බැස්ටෝස් ඉතා පුළුල් පරාසයක භාණ්ඩ නිපදවීම කෙරෙහි යොදා ගත්තා. ගින්නට ඔරොත්තු දෙන තීන්ත වර්ග, කොන්ක්‍රීට්, ගඩොල්, උදුන් සඳහා යොදා ගන්නා පයිප්ප සහ ගඩොල්, ගින්නට-තාපයට-සහ අම්ලවලට ප්‍රතිරෝධයක් දක්වන අමතර කොටස්, පයිප්ප සහ සිවිලිං පරිවාරක ලෙස, බිමට, වහලට, එලිමහන් ගෘහභාණ්ඩ, බ්‍රේක් පෑඩ් ආදී නොයෙකුත් දේ සඳහා ඇස්බැස්ටෝස් යොදා ගැනුනා. වසර ගණනාවකට පෙර එක්සත් රාජධානියේ ඇස්බැස්ටෝස් තහනම් කර තිබුණත්, 2011 වනවිටත් එහි නිවෙස් වලින් 50% ක ප්‍රමාණයක ඇස්බැස්ටෝස් වලින් සැකසූ උපාංග ඇතුලත්ව තිබුණා. ජපානයේ ඇස්බැස්ටෝස් භාවිතා වූයේ වෙනස් අන්දමකටයි. ඇස්බැස්ටෝස් වල වූ අමුද්‍රව්‍ය භාවිතයෙන් ඔවුන් වී වගාවට අවශ්‍ය ඇමෝනියම් සල්ෆේට් නිෂ්පාදනයට යොදා ගත්තා. මෙයට අමතරව බලශක්තිය සකසුරුවමින් පාවිච්චි කිරීමට සීලිං, බිත්ති සහ බිමට තාප පරිවාරකයක් ලෙසින් ඇස්බැස්ටෝස් යොදා ගත්තා.
1899 තරම් ඈත කාලයකදී වෛද්‍ය මොන්ටේගු මරේ විසින් ඇස්බැස්ටෝස් වල වූ විවිධ සෞඛ්‍යමය ගැටළු අවබෝධ කර ගත්තා. ඇස්බැස්ටෝස් නිසා සිදු වූ පළමු මරණය 1906 දී වාර්තා වූවා. 1900 මුල්භාගයේදී ඇස්බැස්ටෝස් කැණීම් සිදු වූ ප්‍රදේශ වල මිනිසුන් විශාල වශයෙන් විවිධ පෙනහළු ආබාධ වලින් පෙළිම සහ මියයාම සිදු වීම නිරීක්‍ෂණය කළ වෛද්‍ය මරේ විසින් එසේ මියගිය අයගේ පෙනහළු විශ්ලේෂණය කිරීමේදී පෙනී ගියේ ඔවුන්ගේ පෙනහළු ඉතා විශාල වශයෙන් තුවාල වී සහ විනාශ වී ගොස් ඇති බව සහ ඇස්බැස්ටෝස් තැන්පත්ව තිබූ බවයි. ඒ අනුව එක්සත් රාජධානියෙහි අන්තරායකාරී කාර්මික රසායනද්‍රව්‍ය ගොන්නට ඇස්බැස්ටෝස් 1902 දී එකතු වූවා. එයට සමගාමීව 1906 දී ප්‍රංශයත්, 1908 දී ඉතාලියත් ඇස්බැස්ටෝස් එම ලැයිස්තුවට ඇතුලත් කළා.
ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් දෙවන ලෝක යුද්ධය කාලයේදී නැව් නිෂ්පාදන කර්මාන්තයේ යෙදුනු කාර්මිකයන් ලක්‍ෂයක් පමණ මියගොස් තිබුණේ ඇස්බැස්ටෝස් නිසා. එසේ වුවත් ඇමරිකාව අන් රටවල් මෙන් ඇස්බැස්ටෝස් තහනම් කරන්නට කටයුතු යෙදුවේ නැහැ. එය 1970 දශකය දක්වාම කිසිදු බාධාවකින් තොරව පාවිච්චි කෙරුණා. එසේම එහි සෞඛ්‍යමය හානිය 1930 කාලයේ සිටම දැන සිටියත්, සාමාන්‍ය ජනතාවගෙන් එය ඒ කාලයේ සිටම වසන් කරගෙන සිටි බවට පසුව සොයාගෙන තිබුණා. 2001 සැප්තැම්ර් 11 වන දින සිදු වූ ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ප්‍රහාරය නිසා එහි කුළුණු දෙක සම්පූර්ණයෙන්ම බිඳ වැටුනා. එහි වූ දූවිලි සහ දුමාරයේ ඉතා විශාල වශයෙන් ඇස්බැස්ටෝස් අඩංගුව තිබීම නිසා බොහෝ සෞඛ්‍ය ගැටළු පැන නැගුනා.
කාර්මිකව භාවිතා වූ ටැල්ක් පවුඩර් සැකසුනේ ට්‍රෙමොලයිට් නම් ඛණිජය මගින් සෑදුන ඇස්බැස්ටෝස් නිධි ආශ්‍රිතවම තිබූ ටැල්ක් නිධි අනුසාරයෙන්. මේ නිසා ඒවා ඇස්බැස්ටෝස් මගින් දූෂිතව තිබුණා. මේ නිසාම දැන් ශරීරයේ ගල්වන ටැල්ක් සහ කාර්මිකව භාවිතා වන ටැල්ක් පවුඩර් ඉතා වෙනස් ප්‍රභව වලින් ලබා ගැනීමට කටයුතු යොදා තිබෙනවා.
ඇස්බැස්ටෝස් ඇත්තෙන්ම හානි දායක වන්නේ එහි ආශ්වාස කෙරෙන සාන්‍ද්‍රණය මත සහ ආශ්වාස කෙරෙන කාළය මතයි. කෙනෙකු ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදන හෝ ගොඩනැගිලි කර්මාන්තයේ දිගු කාළයක් නියැලී සිටියේ නම්, අනිවාර්යයෙන්ම පෙනහළු පරීක්‍ෂා කර ගැනීම වැදගත්. හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇතිනම්, එයින් අදහස් වන්නේ පෙනහළු, ශ්වාස නාල, ප්ලූරාව වැනි දෑ ඇස්බැස්ටෝස් නිසා යම් තුවාලවීමකට ලක් වී ඇති බව විය හැකියි. මෙය ඇස්බැස්ටෝස් සෙවිලි කළ වහලයක් යට සිටින කෙනෙකුට ඒ තරම් බලපාන්නේ නැති වන්නට පුළුවන්. මක් නිසාද යත්, වහලයෙන් සියුම් තන්තු වායුගෝලයට මුදා හැරීම අවම වන නිසා සහ එම තන්තු වායුගෝලයට එකතු වීමේදී ඒවායේ සාන්‍ද්‍රණය ඉතා අවම වීම නිසා. මේ නිසා පෙනහළුවලට ඇතුළුවන තන්තු ප්‍රමාණය නොගිනිය හැකි තරම්.
මේ කරුණු නිසාම ඇස්බැස්ටෝස් වලට ආදේශකයන් සෙවීමට පර්යේෂකයන් පෙළඹුනා. ඒ අනුව ඒ සොයා ගන්නා සියළුම ද්‍රව්‍ය මානව පිළිකා කාරක නොවිය යුතු බවට නීතියක් පැන නැංවූයේ නව සොයා ගැනීම් සමහරවිට පැරණි දේටත් වඩා හානිදායක විය හැකිව තිබූ නිසා. ඒ අනුව 1978 දී වෙනස් ආකාරයක රටාවකින් බැඳී පවතින, Zetex නමින් හැඳින්වූ වීදුරු තන්තු වර්ගයක් සොයා ගැනුනේ Bal Dixit විසින්. එය ඇස්බැස්ටෝස් වලට වඩා සැහැල්ලු වූ අතර ඒ තරම්ම ඝර්ෂණයට ඔරොත්තු දෙන, ඇස්බැස්ටෝස් මෙන්ම භාවිතා කළ හැකි ද්‍රව්‍යයක් වූවා.
ඇස්බැස්ටෝස් බොහෝ භෞතික ගතිගුණ ගොන්නකින් සමන්විත වුවත් එහි වූ සෞඛ්‍යමය ගැටළු නිසා එහි වෙනස් ගුණ ආදේශක ද්‍රව්‍ය වලින් පිරිමසා ගැනීමට මිනිසුන් පෙළඹුනා ඇස්බැස්ටෝස් වල වූ ගින්නට ඔරොත්තු දෙන ගතිය ලබා ගන්නට සමත් ද්‍රව්‍යයක් වන PolyBenzImidazole නැතහොත් PBI තන්තු නිෂ්පාදනය වූයේ තාප සහ ගින්දර පරිවාරක ද්‍රව්‍ය ලෙස භාවිතා කිරීමට. එය ද්‍රවාංකය 760 °C (1,400 °F) වන ගිනි නොගන්නා ද්‍රව්‍යයක් නිසා ගොඩනැඟිලි පරිවාරණයට භාවිතා කළා.
ඇස්බැස්ටෝස් භාවිතයෙන් ඉවත් කිරීමත් සෞඛ්‍යාරක්‍ෂිතව කළ යුතුවූ නිසා බොහෝ විට ඒවා වගුරුබිම් පිරවීම වැනි දෑ සඳහා යොදා ගත්තා. සෙන්ටිග්‍රේඩ් 1000 – 1250 වැනි උෂ්ණත්‍වයකට රත් කළ පසු ඇස්බැස්ටෝස් සෞඛ්‍යාරක්‍ෂිත සිලිකේට් වීදුරු බවට පත් වන නිසා මයික්‍රොවේව් භාවිතයෙන් එසේ ඇස්බැස්ටෝස් සිලිකේට් වීදුරු සහ විවිධ වීදුරු භාණ්ඩ බවට පරිවර්තනය කිරීම ද සිදු වූවා.
ලංකාවේ ද පමා වී හෝ ඇස්බැස්ටෝස් තහනම සිදු කිරීම විශේෂයෙන්ම ඇස්බැස්ටෝස් ආශ්‍රිතව ගොඩනැගිලි කර්මාන්තයේ යෙදෙන කාර්මිකයන්ට සහ පෙදරේරුවන්ට සිදු කළ සාධාරණයක්. ලංකාවේ කර්මාන්ත ආරක්‍ෂණ කටයුතු ඉතා ලිහිල්ව සිදු කෙරෙන නිසා මේ කර්මාන්තයේ යෙදෙන්නන් මුඛ ආවරණ හෝ පැළඳ සේවය කරන්නේ නැහැ. මෙය ඉතා භයානක තත්ත්‍වයක්. ඇස්බැස්ටෝස් නොවුනත්, වෙනත් දූවිලි වර්ග පෙනහළු කරා යාම වලක්වන්නට බැහැ. මේ නිසා ගොඩනැඟිලි කර්මාන්තයේ යෙදෙන්නන් වෙත ආරක්‍ෂණ ක්‍රියා පිළිවෙලක් සැකසීම ඉතා යෝග්‍ය වන අතර එය කොළවලට සීමා නොවී සත්‍ය වශයෙන්ම ක්‍රියාවේ යෙදවිය යුතුයි. දැනට ඇස්බැස්ටෝස් සෙවිළි කළ ගොඩනැඟිලිවල ජීවත් වන උදවිය ඒ තරම් දැඩි අනාරක්‍ෂිත බවකට පත් වී නැති වුවත්, වහලවල් හෝ සිවිලිං ඉවත් කිරීමේදී හැකිතාක් දුරට ඒ අවටින් ඉවත් වී නාස් ආවරණය කරගෙන සිටීමෙන්, ඇස්බැස්ටෝස් ආඝ්‍රාණය වීම වලක්වා ගන්නට පුළුවනි. එසේම, ඒ පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකරගතයුතු නැහැ. මක්නිසාද යත්, අප කොතරම් අවාසනාවන්තද යත්, ඇස්බැස්ටෝස් වලට වඩා භයානක රසායන ද්‍රව්‍ය සහ රසායනික සමඟ අප බොහෝ දෙනා සාමාන්‍ය ජීවිතයේදී ගැටුනත්, අපි ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති නිසා එය හානිදායකදැයි කියා හෝ නොදන්නා නිසා… මේ නිසා අප භාවිතා කරන මොනයම් හෝ රසායන ද්‍රව්‍යයක්, ඖෂධ වර්ගයක්, හෝ ආලේපනයක රසායනික සංයුතිය සහ එහි අහිතකර ආචරණ සොයා බැලීම ඔබේ සෞඛ්‍යයට ඉතාමත් වැදගත්.