Daily Archives: නොවැම්බර් 13, 2017

පිටස්තරයා – 15


EP-15

පසුදා සවස්වනතුරු මොලීට තිබුණේ කණස්සල්ල මුසු නොයිවසිල්ලකි….. තමා සිහිනෙකින්වත් නොපැතූ අභව්‍ය සිදුවීම් වැලක් තම දෑස් ඉදිරිපිට දිගහැරෙමින් පවතින බව පමණක් ඇයට හැඟී ගොස් තිබුණි. තම රැකියාවේ හැටියට බොහෝ පිරිමින් ආශ්‍රය කර තිබුණද, මීට වඩා හැඟුම්බර අවස්ථාවලට මුහුණ දී තිබුණද, මේ සිදුවීම් ගොන්න තම ජීවිතයේ ලැබූ අත්දැකීම් සියල්ලට වඩා වෙනස් බව ඇයට හැඟෙමින් පැවතුනි. සේවා ස්ථානයද කිසිම කෙනෙකු විහිළුවක්වත් නොකරන තත්ත්‍වයකට පත්ව තිබුණි.  වෙනදා අන් අයට විහිළු කරන බිල් පවා තමන්ගේ පාඩුවේ සිය කටයුතු කරගෙන යනු දකින්ට ලැබුණි…

මේ අතර හදිසියේම සිය ප්‍රධානියාගෙන් මොලීට ලැබුණේ වහාම පැමිණ ඔහු හමුවන ලෙසයි…

සුවිශාල අනතුරක සේයාවක් ඇගේ සිතේ නලියන්නට විය….

ඇය විද්‍යාගාර ප්‍රධානී නීල් ෆියු හමුවන්නට ගියාය….

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

කොහොමද ? ගමන් මහන්සිය හොඳටම ඇති නේද ?

තානාපති කාර්යාලයේ නිලධාරී ගීතාංජන ලංකාතිලක මහතා විසින්  වොෂිංටන් ඩලස් ගුවන්තොටුපලේ මගී පර්යන්තයේදී සුමනසේකර යුවල පිළිගනිමින් විමසුවේය…

මහන්සියි කියලා මොනවා කරන්නද මහත්මයා…. මේ ගමන එන්න එපායෑ…

මම ගීතාංජන ලංකාතිලක… අඳුන්වාදෙන්නත් බැරි වුනා..

බොහොම සන්තෝෂයි අඳුනා ගන්න ලැබීම ගැන…. මම විශ්වගෙ ලොකු මාමා… සුමනසේකර… මේ මගේ බිරිඳ නීලා…

ඔව්, පන්සලේ ලොකු හාමුදුරුවො මට ඔබ දෙපළ ගැනම හොඳ හැඳින්වීමක් කළා… අත්ථදස්සි හාමුදුරුවොත් සෑහෙන විස්තර මට කිවුවා.. මේ දවස් දෙක තුනම අත්ථදස්සි හාමුදුරුවො මට කතා කරලා කිවුවේ ඔබ දෙපළගෙ නවාතැන්, කෑම බීම කටයුතු සම්පාදනය කරන ආකාරය.. අපි දැන් යන්නෙ තානාපති කාර්යාලයේම සේවය කරන කෙනෙකුගෙ නිවසකට.. එහේ තමයි අපි ඔබ දෙපලට නවාතැන් පහසුකම් දෙන්න යොදාගෙන තිබෙන්නෙ.. එහි ඉන්නෙත් ඒ දෙපළ පමණයි.. ඒ නිසා වැඩි කරදරයක් නෑ.. ගමන් පහසුකම් සඳහා තානාපති කාර්යාලයෙන් වාහනයක් ලැබෙනවා රියැදුරෙක් සමඟම… විශ්වගෙ තාත්තා එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ සේවය කළ නිසා අපට මේ පිළිබඳ විශේෂ පහසුකම් ලැබී තිබෙනවා… ඒ වගේම ඔහු අපේ තානාපති කෙනෙකුව සිටි නිසා ඒ පහසුව තවත් වැඩියි… කිසිම දේකට බය වෙන්න එපා.. සියල්ල සූදානම්…

අනේ පුතා බොහොම ස්තූතියි මේ කරන උදවු වලට…. අපි කීයටවත් බලාපොරොත්තු වුනේ නැහැ මේ වගේ සත්කාරයක්… ලොකු හාමුදුරුවො කිවුවා අපට නවාතැන් පහසුකම් සකසලා තියෙන්නෙ කියලා… මම දැනං හිටියෙ එච්චරයි…

අපට විශ්ව බලන්න යන්න පුළුවන් කීයටද ?

ආ… ඒක ගැන කතා කරන්නයි මම හිටියෙ… අපි මේ බෑග් තියලා පොඩ්ඩක් පිළිවෙලක් වෙලා හවස හයට පමණ යමු රෝහලට…. ඔබ නැවතී ඉන්න අදහස් කරන යාපා මහත්මයාගෙ නිවසේ වැඩි දුරක් නැහැ… රෝහලට…

අනේ ලොකු දෙයක්… මට ඉක්මනින්ම සුදුපුතා බලාගන්න ඕන… නීලා සුමනසේකර මහත්මිය නෙතට නැඟුන කඳුලක් පිසදමමින් පැවසුවාය.

බය වෙන්න එපා මිසිස් සුමනසේකර… විශ්ව නවත්වලා තියෙන්නෙ ඇමරිකාවෙ තියෙන හොඳම හමුදා රෝහලක… මේකේ තියෙන්නෙ ලෝකයේ හොඳම පහසුකම්. ඒ වගේම මේ රෝහලට ඇමෙරිකාවේ තිබෙන අනෙක් ප්‍රධාන රෝහල් සියල්ලම සමඟ සබඳතා තිබෙනවා.. ඒ නිසා විශ්ව වෙනුවෙන් කරන්න පුළුවන් සියළුම දේ ඒ රෝහලෙන් කෙරෙනවා. එච්චරක් නෙවෙයි විශ්වගේ සේවා ස්ථානයෙනුත් මේ ගැන හොඳට හොයා බලනවා.. කිසිම දේකින් අඩුවක් වෙන්න ඉඩක් නෑ..

ඒ සංවාද අතරතුර ඔවුහු යාපා මහතාගේ නිවස කරා පැමිණ තිබුණි. ආගන්තුක සත්කාර වලින් සහ තේ පානයෙන් අනතුරුව නැවතත් මඟට පිලිපන්නේ විශ්ව බැලීම සඳහා රෝහලට යාමටය.

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

මේ මිනිස්සුන්ට හරියට වාහනයක්වත් හප්පන්න බැරි ද ? බලනවා අර මිනිහා දැන් ජීවත් වෙයිද මැරෙයිද කියලා කවුද දන්නෙ ? හොඳ වෙලාවට අපි මැදිහත් වෙලා මේක වැහුවා… කවුරුහරි දැනගත්තා නං අපි මේකට සම්බන්ධයි කියලා මොන වගේ තත්ත්‍වයක්ද ඇතිවෙන්නෙ ?

ඔවුන් තිදෙනාම කිසිදු වචනයක් නොදොඩා නිහඬව ජනරාල් වෙලිංටන් දෙස බලා සිටියා පමණි.

තමුසෙලාට කවදාවත් හරියට වැඩක් කරගන්න බැරි හැටි ? එක පාරක් තාප සංවේදක කැමරාවෙන් ගත්ත වීඩියෝ හරියට කර ගත්තෙ නෑ… දැන් ඒ මදිවට මේ මිනිහා හප්පලා ඒ මිනිහා ජීවිතයත් මරණයත් අතර සටනක.. කවුද දන්නෙ තමුසෙලා හයි කරපු කැමරා ටිකයි  ශබ්ධ රෙකෝඩ් කරන උපකරණයි ටිකත් කාටහරි අහුවෙයිද කියලා… ඒක අන්තිමට  හොයාගෙන ගිහින් ඒවා හයි කළේ එෆ් බී අයි එක කියලා දැනගත්තාම තවත් ලෙඩක්… ඇත්තෙන්ම තමුසෙලා මේ වැඩේට සුදුසුද ?

ජෙනරාල් වෙලිංටන්… අපි හිතුවෙ නැති විදියට තමයි වාහනේ හැප්පිලා තියෙන්නෙ…. අපි සැලසුම් කළේ පිටුපසින් හප්පලා පොඩි හානියක් කරලා ඔහුව නිරීක්‍ෂණය කරන්න… නමුත් හිතුවෙ නැති විදියට වාහනයෙ පැත්තක හැපිලා ඔහුගේ පෙනහැල්ල සිදුරු වෙලා තියෙනවා… මේ නිසා තමයි වැඩේ බරපතල වුනේ… ජෙනී අවසානයේ කටහඬ අවදි කළාය..

ජෙනී… මම ඔයාව මේ වැඩේට දැම්මෙ මීට වඩා සූක්‍ෂම විදියට එයාට ලංවෙලා තොරතුරු ලබා ගන්න… නමුත් මම බලාපොරොත්තු තියාගෙන හිටි ආකාරයට ඒක වුනේ නැහැ… ඔයාත් මාව අසතුටට පත් කරනවා… මේ දෙන්නට වැඩිය ඔයා සූක්‍ෂම වෙන්න ඕන… මට ආයෙම ඔය තුන්දෙනාට කතා කරන්න ඉඩ තියන්න එපා.. මට මෙයාව යථා තත්ත්‍වයට ආවට පස්සෙ ගන්න ඕන තොරතුරු ටික අරගෙන දෙන්න…. මේකට මමත් දැන් අතදාපු නිසා මේකෙ කෙළවරක් දකින්න ඕන…. මෙයා අපට වැදගත් වෙන්නෙ බොහොමයක් හේතු මත… දැන් යන්න පුළුවන්……..

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

සුමනසේකර යුවල විශ්ව බැලීමට රෝහල් කාමරයට යන විටත් අත්ථදස්සි හිමියන් විසින් පිරිත් සජ්ඣායනය අරඹා තිබුණි. සුමනසේකර යුවල පැමිණි බව දුටු අත්ථදස්සි හිමියෝ පිරිත් සජ්ඣායනය මඳකට නතර කර සුමනසේකර මහතාට හිසින් සන් කළ සේක. සුමනසේකර මහතා ද අත්ථදස්සි හිමියන් අසළ සිටගෙන පිරිත් සජ්ඣායනය කරන්නට විය… සුමනසේකර මැතිණිය සෙමෙන් සෙමෙන් විශ්වගේ ඇඳ අසළට ගොස් ඔහු දෙස බලා සිටින්නට වූවාය…. ඈ සෙමෙන් විශ්වගේ අතක් පිරිමදින්නට විය…

සුපුරුදු පරිදි පිරිත් සජ්ඣායනය වන අවස්ථාවේ වෙනස් වන මොළයේ සංඥා සටහන අද දිනද වෙනස් වූ නමුත්, සුමනසේකර මහතාගේ පිරිත් සජ්ඣායනය ඇරඹෙත්ම නැවතත් ව්‍යාකූල වන්නට විය… වාට්ටුව භාර වෛද්‍යවරයා ද මේ සිදුවීම නිරීක්‍ෂණය කරමින් සිටියේය… සුමනසේකර මහත්මිය විශ්වගේ අත පිරිමදින විට සියල්ලන් පුදුමයට පත් කරමින්  විශ්වගේ ඇඟිලි සෙමෙන් සෙමෙන් ඇගේ අත ග්‍රහණය කර ගන්නට විය.. පිරිත් කියමින් සිටි ස්වාමීන් වහන්සේගේ මුවඟ මඳහසක් නැඟෙන්නට විය.. සුමනසේකර මහතා දොහොත් මුදුන් දී පිරිත් සජ්ඣායනය කරමින් සිය සිත දැඩි ඒකාග්‍රතාවයකට ගෙන ආවේය….

අවසන, සියල්ල නිසල විය… විශ්වගේ මොළයෙන් ලැබෙන සංඥා නැවතත් සරළ වන්නට විය.. පෙර පැවති ව්‍යාකූලභාවය අඩුවෙමින් තිබිණ… පිරිත් සජ්ඣායනය අවසානයේ සුමනසේකර මහතා සෙමෙන් ගොස්  විශ්වගේ හිසේ ඉලෙක්ට්‍රෝඩ සවිකර නොතිබූ නළල දෑස් පියාගෙන පිරිමදින්නට විය… විශ්වගේ මුවින් සුළු කෙඳිරියක් පිටවිය…. තවමත් ඔහු ග්‍රහණය කරගෙන තිබූ සුමනසේකර මහත්මියගේ අත අතහැරී නැත….. සැවොම බලාපොරොත්තු වූ ඒ මොහොත උදාවිය.. විශ්ව…….. කෙමෙන් දෑස් විවර කළේය….

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

සිය ප්‍රධානියාගෙන් ලැබූ අවවාද සහ ඉදිරි සැලසුම් පිළිබඳ කල්පනා කරමින් සිටි මොලී, සිය දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණ බවට ලැබුණ සංඥාවෙන් කල්පනා දැහැණින් බිඳුනාය. ඇය සිය දුරකථනයේ රහස් කේතය ඇතුලත් කර පණිවුඩය කියවා බැලුවාය…

සවස සිදු වූ කතාවේ තවත් පරිඡේදයක්දෝ යි සිතමින් මොලී කෙටි පණිවුඩය විවෘත කළාය…

විශ්වට සිහිය ඇවිත්…. දැන්ම යන්න….. සියල්ල සූදානම්…..

ඒ සිය ඉහළම ප්‍රධානියාගෙනි. ඉල්ලීම ඉවත හළ නොහැක. වහාම ඇඳ පැළඳගත් මොලී සිය රථයට නැඟී හමුදා රෝහල කරා ඉගිල්ලුනාය… වේලාව සවස හත පහු වූවා පමණි… 16වන මාවතේ ගමන් කළ ඇයට එතරම් මාර්ග තදබදයක් නොමැති වුවත් වේලාව ගතවන්නේ සෙමින් බව සිතුනි… ඇය සිය රථයේ වේගය වැඩි කර විස්කොන්සින් මාවතට හැරවීම සඳහා අතුරු මාවතකට හැරවූවා පමණි…. පිටුපසින් පැමිණි පොලිස් මාර්ග නිරීක්‍ෂණ රථයක සංඥා එළි දැගේ රථය එල්ල කරගෙන දැල්වෙන්නට විය…

ශිහ්… මේ වෙලාවෙම ?

ඇයට කළ හැකි කිසිත් නොහැක… ඇය සිදු කලේ වැරැද්දක් බව ඇයට හැඟුණි… මාර්ගයේ වේග සීමාවට වඩා පැයට සැතපුම් 15 කට වැඩියෙන් ඇය ධාවනය කර ඇති බව ඇයට දැනුනි… මීටත් වඩා හදිසි අවස්ථාවල මීට වඩා භයානක අවස්ථාවන්හි රථ ධාවනය කිරීමට පළපුරුද්දක් ඇති ඇයට මේ සිදුවීම අදහාගත නොහැකි විය.. කෙසේ වෙතත් කළ හැක්කක් නොමැත… සිය රථයට පිටුපසින් පොලිස් රථය නැවැත්වූ නිලධාරියා මොලීගේ රථයේ දොර අසල සිටගත්තේය. ඇය සිය රථයේ වීදුරුව පහත් කර තමා සතු වූ ඉහළම සේවා හැඳුනුම්පත නිලධාරියාට පෙන්වූවාය..

ඇයි මිස්… හදිසියක්ද ?

ඔව්.. ඉක්මනින්ම වෝල්ටර් රීඩ් හමුදා රෝහලට යන්න ඕන… ඒකයි මම මේ ඉක්මනින් යන්නෙ… දැන්ම ගියේ නැතිනම් මට අවශ්‍ය බොහෝ දේවල් නැති වෙන්න පුළුවන්….

මිස් දන්නවනේ වෙච්ච වැරැද්ද…. පොලිස් නිලධාරියා ඇය අතින් සිදු වූ වැරැද්ද පැහැදිළි කරදෙන්නට  විය.. ඉන්පසු සිය රථයට ගොස් එම හැඳුනුම්පතේ වූ අංකය සිය පරිඝණකයට ඇතුලත් කර ඒ හැඳුනුම්පතේ වූ විස්තර සහතික කර ගත්තේය.

මහත්මයා… මට දැන් යන්න ඕන… ඔබ දන්නවා මම ඉන්න තත්ත්‍වය… මට ඉක්මනටම යන්න ඕන… නැතිනම් මට ප්‍රධානියාට දන්වන්න වේවි..

හරි මිස්…  ඉක්මනට යන්න…  නමුත් පරිස්සමින්….

අනෙක් වැරදිකරුවනට නීතිය අකුරටම ක්‍රියාත්මක කළත්, මේ තරුණියට සිය ගමනාන්තයට ඉක්මනින් ළඟාවීමට ඉඩ දිය යුතු බව පොලිස් නිලධාරියා වටහාගත්තේය.

බොහොම ස්තූතියි…..

ඇය නැවතත් සිය රථය පණගන්වාගෙන වෝල්ටර් රීඩ් හමුදා රෝහල වෙත ධාවනය කළාය… මේ අවස්ථාවේ හැටියට එසේ ඉක්මනින්ම පොලිස් නිලධාරියාගෙන් ගැලවී යාමට හැකිවීම ගැන ඇය බොහෝ සතුටු වූවාය. දැනටමත් පරක්කු වැඩිය… විශ්වගේ ඥාතීන් ද රෝහලට පැමිණ සිටිය හැකි බව ඇයට මතක් වූවාය…. රෝහල් ගේට්ටුව වෙත ලඟා වූ ඇය සිය සේවා හැඳුනුම්පත ආරක්‍ෂක අංශයට ලබා දුන්නාය.. ඒ දෙස දෙවරක් බැලූ හමුදා නිලධාරියා ගේට්ටුව විවර කර දුන්නේ වෙනදා නොමැති වෙනසක් මුහුණේ දරාගෙනය…. වෙනදා ශාන්ත දාන්තව රෝහලට පැමිණෙන මේ තරුණිය අද බොහෝ වෙනස්වී ඇත… කළබලයෙන් නමුත් කිසියම් අරමුණක් කරා යන බවක් ඔහුට පෙණුනි..

රෝහල් පරිශ්‍රයේ වාහනය නතර කළ ඇය විශ්වගේ කාමරය කරා ඇවිද්දා නොව දිවුවාය… ඇයට අවශ්‍ය වූයේ ඉක්මනින්ම විශ්ව බලා ගන්නටය.. විශ්වගේ මානසික තත්ත්‍වය කුමක්දැයි නිශ්චිතව දැන ගැනීමටය.. විශ්ව ඒ තරම්ම ඇයට වටී…. ඈ වටා සිටි සියල්ලන්ටම වටී… ඈ සිය සිතිවිලි එකලස් කර ගත්තාය… තමා මෙතෙක් කල් අන් අය වෙත පෑ ඒ මෘදු සිනාව, සුමුදු බව, අදත් පෙන්විය යුතු බව ඇයට සිහි වූවාය… ඇය වහා අසළ වූ කාන්තා වැසිකිලියකට ඇතුළු වී තමන්ගේ ස්වභාවය කුමනාකාර දැයි පිරික්සා බැලුවාය…

සියල්ල ඒ ලෙසම සිදු වේවි… ඈ තමාටම මුමුණා ගත්තාය.

ඇය සෙමින් සෙමින් විශ්ව සිටි කාමරය වෙත පියමැන්නාය….

මේ තරම් ඉක්මනට කොහොමද ඔයා මේක දැනගත්තෙ ? තානාපති කාර්යාලයේ ගීතාංජන ලංකාතිලක මහතා මොලී හැඳිනගෙන  දුර සිටම විමසුවා.

මට කෙටි පණිවුඩයක් ලැබුණා මගේ ප්‍රධානියාගෙන්… මම හිතන්නෙ ප්‍රධාන වෛද්‍යවරයා ඔහුට දැනුම් දෙන්න ඇති.

විශ්වට දැන් පැයකට විතර ඉස්සර සිහිය ආවා.. තවමත් වෛද්‍යවරු පරීක්‍ෂා කරලා බලනවා කොහොමද කියලා… ඊට පස්සෙ ඔයාට පුළුවන් වේවි එයාව බලන්න…

අපි හැමෝම හුඟක් බලාපොරොත්තු වුන දෙයක්… අපි හැමෝටම සතුටුයි විශ්වට ඉක්මනින්ම සිහිය ආපු එක ගැන… අපේ හැම දෙනාම සෑහෙන කණගාටුවෙන් හිටියෙ….

මේ ඉන්නෙ විශ්වගෙ මාමයි නැන්දයි… ලංකාතිලක මහතා මොලීට සුමනසේකර යුවල හඳුන්වා දුන්නේය.

සන්තෝෂයි අඳුනා ගන්න ලැබීම ගැන…. මම මොලී… විශ්ව එක්ක එකට වැඩ කරන්නෙ….

නීලකාන්ති සුමනසේකර මහත්මිය මොලී දෙස විමසුම් සහගත බැල්මක් හෙළුවාය… මොලී ඇය හා සිනාසුනාය…

සුමනසේකර මහත්මිය ඈ හා සිනාසුනත්, සුමනසේකර මහතාගේ මුහුණේ කිසිදු හැඟීමක් නොවීය…..

අද හවස මම ආවා මෙගන් එක්ක… එතකොටත් විශ්වට සිහිය තිබුණෙ නැහැ… ඩොක්ට කිවුවා විශ්වගෙ ඥාතීන් ආවම කම්පන ප්‍රතිකාරය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා.. විශ්වට සිහිය ආවෙ ඒකෙන් පස්සෙද ? ඇය අපහසුතාවය මඟහරවාගනිමින් විමසුවාය.

නැහැ නැහැ…. මම හිතන්නෙ  නම් මේ දෙන්නා ආවා කියලා විශ්වට තේරිලා… මේ දෙන්නා ආපු ගමන් ඇස් ඇරියා… කවුරු හරි නෑ කෙනෙක් එනකල් ඉඳලා තියෙන්නෙ… ලංකාතිලක මහතා විහිළුවක් කර ඒ අවස්ථාව සැමට පහසු කිරීමට සරළ උත්සාහයක් ගත්තේය.

ඒක හරිම පුදුමයි නෙ… කිසිම බෙහෙතක් නැතිව ?

විශ්වට ලැබෙන්න ඕන හොඳම බෙහෙත ලැබුණා මොලී… එයාට හැමදාම ඒ බව දැනුනා… ඒක අදත් දැනෙන්න ඇති… සුමනසේකර මහත්මිය සෙමෙන් පැවසුවාය….

මමත් හිතන්නෙ එහෙමයි… පිරිත් සජ්ඣායනය වෙලාවෙ නම් වෙනසක් පෙන්වුවා… නමුත් සිහිය එන පාටක් තිබුණෙ නැහැ…. අපි හැමෝම දැනගෙන හිටියා පිරිත් වලින් විශ්වට ලොකු සෙතක් වෙනවා කියලා.. ඒත් කොයි තරම් දුරට ඒක වෙනවද කියලා කාටවත් නිනවුවක් තිබුණෙ නැහැ… මොනවා වුනත් සිහිය ආපු එක ලොකු දෙයක්… මොලී නැවතත් පැවසුවාය….

අපි බලමු… තව ගොඩක් පරීක්‍ෂණ කරන්න වෙයි…

ඒ කතාබහ මොහොතකට නතර වූයේ විශේෂඥ වෛද්‍යවරයා සුමනසේකර යුවලට කාමරය තුළට පැමිණෙන ලෙස කළ ඇරයුමත් සමඟිනි. ඔහුට අවශ්‍ය වූයේ විශ්ව දන්නා හඳුනන මුහුණු වෙත දක්වන ප්‍රතිකාරය අනුව දිගුකාලීන මතකයේ ප්‍රතිස්ථාපනය කෙතෙක් දුරට සිදු වී ඇත්දැයි යන්න ගුණාත්මකව සොයා ගැනීමය.

සුමනසේකර යුවල සෙමෙන් ගොස් විශ්වගේ ඇඳ දෙපස සිටියහ. ඔහුගේ දෑස් කඳුලින් තෙත් විය… මුවේ සිහින් සිනාවක් මතු කරන්නට තැත් කිරීමක් පෙණුනි. නීලකාන්ති සුමනසේකර මහත්මිය සතුටු කඳුලක් හෙළුවාය. වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් නැතත්, ඔහු තමා හඳුනාගත් බව ඇයට දැනුනි…

මමත් යන්නද ? මොලී නොයිවසිල්ලෙන් මෙන් විශේෂඥ වෛද්‍යවරයාගෙන් විමසුවාය…

යන්න… ගිහින් බලන්න එයාගෙ කෙටි කාලීන මතකය කොහොමද කියලා… වෛද්‍යවරයා ඇය දිරිමත් කළාය….

ඇඳ අසළට ගිය මොලී විශ්වගේ මුහුණට එබී බලා සිනාසුනාය…….

 

Advertisements
%d bloggers like this: