Daily Archives: දෙසැම්බර් 6, 2017

පිටස්තරයා 17


EP-17විශ්වට දැන් සෑහෙන සනීපයි… බොහොම උනන්දුවෙන් ව්‍යායාම කරනවා… ඉක්මනටම ගෙදර යන්න ඕන වෙලා වගේ…. විශ්ව බැලීමට පැමිණි සුමනසේකර යුවලට වෛද්‍ය ගීතිකා ගුණසේකර සිනාමුසු මුහුණින් පැවසුවාය…

ඩොක්ටගෙ අත්ගුණේ තමයි…. අපේ පුතා හොඳට බලාගත්ත නිසාම එයාට ඉක්මනින්ම සනීප වුනා… තව කොච්චර කාළයක් විතර යයිද සම්පූර්ණයෙන්ම සනීප වෙන්න ?

දැන් නම් සියයට අනූවක්ම හොඳයි… අනතුර සිදු වුනාට පස්සේ අපි හිතපු තරම් විශ්වගේ මනස කැළඹිලා නැහැ.. මානසිකත්‍වය නම් ඉක්මනටම යථා තත්ත්‍වයට පැමිණියා… නමුත් කකුලේ අස්ථියක් බිඳී ඇති නිසා තමයි මෙච්චර කාළයක් ගත වෙන්නෙ පුනරුත්ථාපනයට… අපි විශ්වට තවම පාදයට සම්පූර්ණ බර දරන්න දෙන්නෙ නැහැ.. මොකද කියනවා නම් කකුලෙ අස්ථි සවි වෙන්න තව ටික කලක් ගතවෙන නිසා… අපි තව සතියකින් පමණ තමයි විශ්වගෙ අළුත් වෛද්‍ය වාර්තා ලබා ගන්නෙ.. ඒ අනුව තමයි කියන්න වෙන්නෙ මොකද්ද තත්ත්‍වය කියලා….

ඉතිං ඩොක්ට, විශ්වට තනියම වැඩ කර ගන්න තව කොච්චර විතර කාළයක් යාවිද ? සුමනසේකර මහත්මියගෙ කුතුහලය වැඩි කමටම දැඩිව ප්‍රශ්න කෙරුණා.

කලබල වෙන්න දෙයක් නැහැ.. විශ්වට තව සතියක් වගේ යනකොට කිහිළිකරු ආධාරයෙන් තනිවම ඇවිදින්න පුළුවන් වේවි. කොහොමත් ඔබ දෙදෙනාත් විශ්වගේ මිතුරියත් ඉන්නවනේ විශ්වගේ වැඩ කටයුතු බලා ගන්න….

ඒ වුනත් ඩොක්ට ඒ ළමයටත් වැඩ නෙ… කොහොමත් එයා ආවයි කියලා මම හිතන්නෙ නැහැ විශ්වගේ වැඩකටයුතු එයා අතින් කෙරේවි කියලා.. ඒ ළමයා විශ්වගේ වැඩපොලේ යාළුවෙක් විතරනෙ..

වෛද්‍යවරියගේ මුවඟ ඇඳුන සිනාරැල්ලේ අරුත කුමක්දැයි වටහා ගැනීමට තරම් අවධානයක් සුමනසේකර මහත්මියට නොතිබුණත්, සුමනසේකර මහතා යමක් අවබෝධ කරගත්තාක් මෙන් හිස සලා මඳ සිනාවක් පෑවේය.

ඩොක්ට ඇමරිකාවට ඇවිත් ගොඩක් කල්ද ? අවසන සුමනසේකර මහතා වෛද්‍ය ගීතිකාගේ පෞද්ගලික තොරතුරු දැනගැනීමේ අටියෙන් විමසුවේය.

ඔව්.. දැනට අවුරුදු නවයක්  පමණ වෙනවා. මම මුලින්ම ආවෙ ආචාර්ය උපාධිය කරන්නයි. නමුත් මුලින් කරන්න හිටි අංශය වෙනස් කරලා  වොල්ටර් රීඩ් එකට බැඳුනා භෞත චිකිත්සක පර්යේෂණ කරන්න, සහ වෛද්‍ය සේවාව කරන්න.. මේ වගේ රෝහලක එවැනි පර්යේෂණ කරන එක තරමක් ලේසියි… අපට ඉගෙන ගන්න පුළුවන් වෙනවා වගේම මේ රටටත් බොහොම ලොකු සේවයක් වෙනවා… ඒ නිසා මම මේකට කැමතියි..

ඒ වුනාට මෙතැන වැඩිපුර යන්නෙ සොල්දාදුවො නේද ?

ඔව්.. යුද්ධයෙන් අතපය කැඩිලා එන සොල්දාදුවෝ ඔක්කොම වගේ ප්‍රතිකාර ලබන්නේ මෙතැන.. ඒ අයගේ අවශ්‍යතා විවිධයි. ඒ නිසා ඒ අයගෙ විවධාකාර ගැටළු වලට අපේ පර්යේෂණ හරහා පිළිතුරු සොයන එක සහ ඒ සියල්ල වාර්තා කරන එක තමයි මගේ පර්යේෂණය.. ඒ නිසා අනාගතයේ ඇතිවන ගැටළු වලට අළුතෙන් පර්යේෂණ කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ.. එක් එක් ගැටළුවට වෙන වෙනම විසඳුම් සියල්ලම අපි ලේඛණගත කරලයි තියෙන්නෙ… වෙන එකක් තියා නියපොත්තක් ගැලවුනත්, ඒකටත් වෙනම සැකසුන විසඳුමක් තිබෙනවා. ඒ තරම් මේ ස්ථානය ක්‍රමාණුකූලයි. ඒ නිසාම තමයි විශ්වගේ පුනරුත්ථාපනය මේ තරම් ඉක්මන් වුනේ..

මට තියෙන ප්‍රශ්නය ඇයි විශ්ව වගේ කෙනෙක් මෙතැන ප්‍රතිකාර ගන්නෙ ? එයා හමුදාවට සම්බන්ධ කෙනෙක් නෙවෙයි නේද ? වෛද්‍ය ගීතිකා ඇසුවෙ තමන්ටත් මේ සිදුවීම තේරුම් ගන්න බැරි නිසා.

අපිත් හරියටම දන්නෙ නැහැ ඩොක්ට.. එයා වැඩ කරන ආයතනය නම් හමුදාවට සම්බන්ධයි ලු… ඒ නිසා වෙන්න ඇති.. ඩොක්ට විශ්ව එක්ක පෞද්ගලික තොරතුරු කතා කරන්නෙ නැද්ද ?

නැහැ…. මම මේ සතියෙම කළේ විශ්වගේ මනස යථා තත්ත්‍වයට ගෙන එන එකයි.. මේ වෙනතෙක් මම අවම වශයෙන් පවුලෙ තොරතුරුවත් ඇහුවෙ නැහැ. ඒක මානසික සමබරතාවයට බාධාවක්.. දැන් විශ්ව සෑහෙන දුරට මානසිකව ශක්තිමත්… අපි මේ සතියෙ කරන අභ්‍යාස අනුව මම ඒ පැත්තට යොමු වෙනවා.. ඒ වගේම එයාට වාහන පදවන්න බයක් තිබෙනවාද කියන එකත් දැනගන්න වෙනවා.. මොකද කියනවා නම් එයාට සිහිය නැති වුනේ වාහනයක් පදවමින් සිටින අවස්ථාවෙ නිසා, ආයෙම වාහනයක් පදවන්න ගියොත් එයාට තිගැස්මක් වගේ එන්න පුළුවනි. ඒ නිසා අපි ඒ පැත්තෙනුත් මානසිකව පුනරුත්ථාපනය කරන්න වෙනවා.

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

අපට හොඳ වෙලාවට මේ එපාට්මන්ට් එක ළඟම එකක් ලැබුණෙ. එෆ් බී අයි ඒජන්ත ජේසන්  සිය සගයා වූ මයික්ට පැවසුවේ සතුටිනි.

ඔව්. එතකොට අපට වෑන් අස්සෙ කර වෙන්න ඕන නැහැ.. ඔක්කොම උපකරණ ටික මේ ගෙදරම හයි කරලා අල්ලපු ගෙදර සිද්ධ වෙන දේවල් බලා ගන්න බැරියෑ. අපේ නිවාස ප්‍රශ්නෙත් ඒත් එක්කම විසඳෙනවා..

ඒ වුනාට කොච්චර කාලෙකටද දන්නෙ නැහැනෙ… එක්කෝ මිනිහව අල්ලගන්න වෙනවා… නැතිනම් අතාරින්න වෙනවා.. මේ දෙකෙන් එකක් සිද්ධ වෙන්න වැඩි කාළයක් යන්නෙ නැහැ…

අපට දැන් කරන්න තියෙන්නෙ ඔක්කොම උපකරණ ටික හයි කරලා මිනිහා ගෙදර එන්න ඉස්සරවෙලා ඒ ඔක්කෝම ටෙස්ට් කරන එකයි… එතකොට මිනිහා ගෙදර ආවම ඔක්කෝම ටික පටිගත කරගන්න පුළුවනි.

ගවනර්ස් කෝනර් නිවාස සංකීර්ණයේ හත්වන තට්ටුවේ වෙන් කරගත් නිවාස ඒකකය වෙත සිය බඩුභාණ්ඩ සහ විදුලි උපකරණ රැගෙන යන අතර ජේසන් සහ මයික් දෙදෙනා කතා කළේ තමන්ගේ ඉලක්කය පිළිබඳ රහස් විමර්ෂණය කවදා නිම වේද යන්නය.. තවමත් කෙළවරක් නොපෙනෙන මේ විමර්ෂණය එක්කෝ සඵල කටයුත්තක්ද, නැතහොත් නිශ්ඵල කටයුත්තක්ද යන්න කිසිවෙකු දැන සිටියේ නැත. තමන් සැලසුම් කළ අනතුර අනපේක්‍ෂිත ලෙස සැමගේම සැලසුම් වෙනස් කළ නිසා තමන්ට නැවතත් වැරැද්දක් සිදු කිරීමේ අවකාශයක් නොමැති බව දෙදෙනාම දැන සිටියහ. කෙතරම් පුරුදු පුහුණු වී සිටියත් සැලසුමක සරළ වෙනසක් ජීවිතයක ඉරණම වෙනස් කළ අයුරු දෙදෙනාටම තමන්ගේ කාර්යයේ අවදානම නැවත නැවතත් සිතා බැලීමට මතක් කර දුනි. ඒ නිසාම සිය කාර්යයන් සහ සැලසුම් දෙතුන් වතාවක් නොව ඊටත් වඩා වැඩි වාර ගණනක් නැවත නැවතත් සැලසුම් කර ක්‍රියාවට නැංවීමට දෙදෙනාම කතා කර ගත්හ.

ඒ අනුව මුලින්ම ගවනර්ස් කෝනර් නිවාස සංකීර්ණයේ වූ විශ්වගේ නිවසට යාබද නිවස වෙන්කරවා ගැනීමට ඔවුහු කටයුතු කළහ. ඒ නිසාම විශ්වගේ නිවසේ සවි කළ ඉතා සූක්‍ෂම කැමරා සහ මයික්‍රෆෝන වලින් ලැබෙන සංඥා කිසිදු බාධාවකින් තොරව පටිගත කිරීමේ හැකියාව ඔවුනට ලැබේ. විශ්ව නිවසේ නැති නිසාම සහ විශ්වගේ නිවසේ දැනට වාසය කරන්නේ විශ්වගේ මාමා සහ නැන්දා වන සුමනසේකර යුවල නිසා සිය පටිගත කිරීමේ කටයුතුවල විශ්වාසනීය භාවය මැන ගැනීමටද එය උපයෝගී වන බව දෙදෙනාම දැනහුන්හ.. මේ නිසා ඉක්මනින්ම නිවසට පැමිණ සිය උපකරණ සවි කර ඒවායේ ක්‍රියාකාරීත්‍වය සහතික කර ගැනීම දෙදෙනාගේම අභිප්‍රාය වී තිබිණ..

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

සෙනෙටර්ස් ක්ලබ් ආපනශාලාව අමුත්තන්ගෙන් පිරී පැවතුනි.. සෑම අවස්ථාවකම එය ඉහල පැලැන්තියේ අමුත්තන්, සෙනෙට් සභිකයින්, ආණ්ඩුකාරවරුන්, ආදී දේශපාලනඥයින්ද, ඒ අයට සම්බන්ධ ඉහළ තනතුරු දරන නිලධාරීන් මෙන්ම ඇමරිකානු රහස් ඔත්තු සේවයේ නිලධාරීන්, දේශපාලනිකයින්ගේ ආරක්‍ෂක භටයින්, ඔත්තුකරුවන්, ආදී විවිධාකාර පුද්ගලයින්ගේ හමුවීම් සිදු කෙරෙන ස්ථානයක් බවට සෙනෙටර්ස් ක්ලබ් ප්‍රසිද්ධව පැවතියා පමණක් නොව ඒ නිසාම එහි ආරක්‍ෂාවද ඉතා තදින් පැවතිණ… සාමාන්‍ය මිනිසෙකුට මේ ස්ථානයට යා හැක්කේ එක්කෝ උසස් පුද්ගලයෙක් ගේ ආරාධනාවක් හෝ එවැනි පුද්ගලයෙක් කැටුව පමණි. ආරක්‍ෂක අංශයේම පිරිසක් විසින් පවත්වාගෙන යන මෙය නිරන්තරයෙන් ඇමරිකාවේ ඔත්තුසේවා හා සම්බන්ධව පවතින ස්ථානයකි.

ආපන ශාලාවේ රථගාලට සිය රථය ඇතුළු කරන විටම කිසියම් පුද්ගලයෙක් පැමිණ සිය රථය නතර කරන ලෙස මොලීට සන් කළාය.

රථය නතර කර එයින් බැසගත් මොලී සිය හැඳුනුම්පත ඔහු වෙත දිගු කළාය… මොලී වෙත මඳ සිනහවක් පෑ ඔහු සිය නවීනතම ජංගම පරිඝණකයේ විවරයක් හරහා එය වරක් ඇදගෙන ගොස් කිසියම් අංක කිහිපයක් ඇතුලත් කළේය…

ඔබ එනතුරු ඔහු මඟ බලාගෙනයි ඉන්නෙ… ඉක්මනටම යන්න….

සිය ඥාතියා නොදන්නා ආරක්‍ෂක අංශයේ කෙනෙකු වේදැයි කල්පනා කරමින්ම මොලී සිය අත්බෑගයෙන් ගත් කුඩා කණ්නාඩියෙන් බලා සියල්ල නිසි ලෙස පවතින බව සහතික කරගෙන සෙනෙටර්ස් ක්ලබ් අවන්හලේ දොර හැරගෙන එයට ඇතුළු වූවාය….

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

දැන් කොහොමද කකුල ? වෛද්‍ය ගීතිකා ගුණසේකර විශ්ව සමඟ රෝහල් උද්‍යානයේ සෙමෙන් ඇවිදින අතරතුර ඇසුවාය….. රෝහල් උද්‍යානයේ විවිදාකාර ආබාධවලට ලක් වූ සොල්දාදුවන් සිය පුනරුත්ථාපන වෛද්‍යවරු සහ උපස්ථායකයන් සමඟින් ව්‍යායාම කිරීම මෙහි සුලභ දසුනකි.

දැන් නම් සෑහෙන හොඳයි…. ගොඩක්ම බර දෙනකොට පොඩ්ඩක් රිදෙනවා… ඒ හැරෙන්න වෙන අමාරුවක් නැහැ… කොහොමත් මම ෆුට්බෝල් ගහන්න යන්නෙ නෑනෙ… ඒ නිසා මේ ගාණට බේරුණා ඇති..

ඇත්තටම විශ්වට මොකද හිතෙන්නෙ අනතුර ගැන… ? දැන් ඉතින් බය එහෙම අඩු වෙලා නෙ තියෙන්නෙ… කියන්න පුළුවන් නම් කියන්න……..

කියන්න බැරි කමක් නෑ ඩොක්ට…. මට එහෙම ප්‍රශ්නයක් නෑ… නමුත්, මට හිතා ගන්න බැහැ අනතුර වුනේ කොහොමද කියලා….. මොකද කියනවා නම් මම ගේට්ටුවෙන් පාරට කාර් එක දාලා ටික වෙලාවක් යනකොට තමයි මේ ලොකු ට්‍රක් එක මගේ පස්සෙන් එන්න ගත්තෙ…. මම ඒකට ඉඩ දුන්නත්, එයා නෙවෙයි මාව පසු කරලා ගියේ…. ඒ පුද්ගලයා කවුද කියලා බලන්න මම පිටුපස බලන කණ්නාඩියෙන් බලද්දිම තමයි එකපාරට ඒකේ වේගය වැඩි වුනේ… මම එතකොටම අනිත් ලේන් එකට කාර් එක දානකොටම තමයි මගේ පැත්තෙන් ඇවිත් වාහනේ හැප්පුනේ… හැප්පුන වේගයට ඒ ට්‍රක් එක පෙරළුනා… ඒත් එක්කම ඉදිරිපස වායු බැග් එක පුපුරලා විවෘත වුනා… ඒ කම්පනයට තමයි මගේ සිහිය නැති වුනේ…

ඔයා දවස් ගණනාවක් සිහිය නැතිව හිටියා… හැමෝටම හරිම පුදුමයි ඔයා අද මේ තත්ත්‍වයෙන් ඉන්න එක ගැන… බොහෝ දෙනා බලාපොරොත්තු වුනේ නැහැ මෙච්චර ඉක්මනින් සිහිය ඒවි කියලා…. මම හිතන්නෙ අද අපට ගොඩක් දේවල් කතා කරන්න හොඳ දවසක්….

ඇය පසෙක වූ බංකුවක වාඩි වෙන අතරම විශ්වට ද ඉඳගන්නා මෙන් සන් කළාය…..

කොහොමද දැන් පපුව ?

මගේ පපුව ඉතිං කවදත් හොඳයි නෙ …. විශ්ව සිනාසෙමින් පැවසුවේය….

කාලෙකින් මම ඔයාගෙ මේ වෙනස දැක්කෙ….. ඒක බොහොම හොඳ ප්‍රවණතාවයක්…. විශ්වගෙ මාමයි නැන්දයි බොහොම වද වෙනවා විශ්ව ගැන….. ඒ දෙන්නා ලංකාවෙ ඉඳලම මෙහේ ආවෙ ඔයා වෙනුවෙන්මයි…

ඔව් ඩොක්ට….. මම ඒ ගැන හොඳටම දන්නවා…..

මට ඩොක්ට කියන්න ඕන නෑ … ගීතිකා කියන්න… මේක ඇමරිකාව…..

හොඳයි ගීතිකා… අම්මයි තාත්තයි නැතිවුන දා ඉඳලා මට අම්මයි තාත්තයි වුනේ ලොකු මාමයි ලොකු නැන්දයි… ඒ දෙන්නට ළමයි නැති නිසා මං ගැන වද වෙනවා හැම තිස්සෙම..

අම්මයි තාත්තයි නැතිවුනේ කොහොමද ?

මගේ තාත්තා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම උපදේශකවරයෙක් වෙලා හිටියෙ…. රාජකාරියෙ යෙදිලා නිවාඩුවක් අවසාන කරලා එන කොට ලෙබනනයෙදි වෙච්ච අනතුරකින් අම්මයි තාත්තයි නංගියි තුන්දෙනාම මියගියා… දැන් ඒක සිදු වෙලා සෑහෙන කලක්…. ඉස්සර නම් මට ඒ කම්පනය තදින්ම දැනුනා…. දැන් නම් තනිවම ජීවත් වෙන්න පුරුදු වෙලා එච්චරම දුකක් නෑ…..

මට තේරෙනවා… මට අම්මයි තාත්තයි දෙන්නමත් ලංකාවෙ ඉඳලා මේ තනියම මෙහාට වෙලා ඉන්නකොට දැනෙන තනිකම…. ඔයාට ඒක කොහොම දැනෙනවද කියලා මට හිතා ගන්න පුළුවන්…. ඉතිං මොලී ඉන්නවනේ ඔයාගෙ තනියට….

මොලී මගේ මිතුරියක් විතරයි… අපි අතරෙ ඊට වඩා සම්බන්ධයක් නෑ…. මොලී හම්බවෙලා මාසයක්වත් නැහැ…

ඒ වුනාට ඔයා දැඩි සත්කාර ඒකකයෙ ඉන්න දවස් හැම එකකම මොලී ඔයාව බලන්න ආවා කියලා ඩොක්ට මට කිවුවා… සිහිය ආපු වෙලාවෙ ඉක්මනටම ආවෙ එයා… සාමාන්‍ය මිතුරියක් නම් එහෙම විශේෂත්‍වයක් දක්වන්නෙ නැහැ නේද ?

ඔව්… මටත් තේරෙනවා මොලී මට කිසියම් විශේෂතාවයක් දක්වනවා කියලා…. නමුත් මට තවම එහෙම ලොකු විශේෂත්‍වයක් දැනෙන්නෙ නැහැ… මම දන්නෙ නැහැ ඒ මම ගැහැණු ළමයෙක් සමීපව ආශ්‍රය කළේ නැති නිසාද කියලා…

නැහැ… ඒ නිසා නෙවෙයි… මානසිකව තවම ඔයා සූදානම් නැහැ ඒ තත්ත්‍වයට එන්න…. මම හිතන්නෙ ඔයා තනිව හැදුන නිසා ඔයාගෙ මනස තවම තනිකමින් ඉවත් වෙන්න කැමැත්තක් නැහැ… නැතිනම් ඔයා කැමති නැහැ සම්බන්ධතාවයක් නිසා ඔයාගෙ පෞද්ගලිකත්‍වයට හානි පැමිණෙනවට… ඔයාට පෙම්වතියක් ඉඳලම නැද්ද කවදාවත් ? මම මේ අහන්නෙ මානසික වෛද්‍යවරියකගෙ කෝණයෙන්… වරදවා වටහා ගන්න එපා…

 

%d bloggers like this: