බීර බොමු…. නිරෝගී වෙමු… Editor ගේ කතුරට හසුවී රිවිර පුවත්පතේ පළ නොවූ ලිපිය


Image result for Beer

Editor අමද්‍යප වීම නිසා විද්‍යාත්මක ලිපියක් පුවත්පතක පළවීම කෙතරම් අසාධාරණදැයි මම නොදනිමි. නමුත්, ඒ පිළිබඳ රණ්ඩු කරගන්නට නොගියේ මේ ලිපිය මගේ බ්ලොග් අඩවියේ පළ කිරීමට හැකි නිසාත්, එවැනි ලිපියකට රණ්ඩු කිරීම මගින්, එය මගේ ලිපි කියවන බොහෝ දෙනාට සිදුවන අකටයුත්තක් නිසා බැවිනි…

මා එම කටයුත්ත අනුමත නොකළත්, ඔබ බොහෝදෙනෙකු රිවිර පුවත්පතේ පළවන ඒ ලිපි කියවීමෙන් යම් දැනුමක් ලබන බව මා දන්නා නිසාත්, ඔබ මට එය පවසන නිසාත්, සුළු සිදුවීමකට එවැනි අමනෝඥ තීරණයක් නොගැනීමට මා තීරණය කළෙමි.

මේ එම ලිපියයි.

මෙවර අයවැයෙන් බීර මිල අඩු වීමත්, සීනි අඩංගු කාබනේට් සහිත බීමවලට නව සීනි බද්දක් පැණවීමත් සමගම බොහෝ දෙනාට බීර පිළිබඳ මතකය අවදි වූවා. සීනි සහිත බීම පානයට වඩා බීර පානය සුව දායකද යන ප්‍රශ්නය නිසා, සෑම දේකටම කියන්නට දෙයක් ඇති සමාජ ජාල වෙබ් අඩවිකරුවන්ටත්, බීර රසවත් මාතෘකාවක් වුනා.

බොහෝ දෙනෙකු නොදන්නවාට බීර කියන්නේ ලෝකයේ වඩාත්ම පැරණිම සහ ජලය සහ තේ හැරුණුකොටගෙන වඩාත්ම වැඩියෙන් භාවිතා වන බීම වර්ගයයි. බීරවලට ඇත්තේ ක්‍රිස්තු පූර්ව 9500 කාළය දක්වා ඉපැරණි ඉතිහාසයක්. එය මිනිසා ධාන්‍ය වගාව ආරම්භකළ අවධිය තරම්ම පැරණියි. කවුරු කෙසේ කීවත්, මානව සංහතිය කිසියම් හෝ ආකාරයකට මධ්‍යසාර සමග බැඳී පවතින බවට මෙය ඉතා වැදගත් සාක්‍ෂියක්. එපමණක් නොවෙයි, ක්‍රිස්තු පූර්ව 5000 පමණ කාළයේදී ඉරාකයේ හාම්පුතුන්, සේවකයන්ට ගෙවීම් කර ඇත්තේ ද බීර වලින්. ඊජිප්තුවේ ගීසා හි පිරමිඩ ඉදිකළ මිනිසුන්ට දිනකට බීර ලීටර හතරක් හෝ පහක් ලබා දී ඇත්තේ පෝෂණය ලබාදීමට මෙන්ම වෙහෙස නිවාගැනීම සඳහා බව පුරාතන ලේඛණවල සඳහන්. එසේ සැලකීමේදී බීර ශිෂ්ඨාචාරයක මූලික අංගයක් බවට පත්වී ඇතිබව පෙනී යනවා.

එපමණක් නොවෙයි, බීර නිෂ්පාදනය සහ ඒ සම්බන්ධ ව්‍යාපාර ලෝකයේ ප්‍රධාන ව්‍යාපාරවලින් එකක්. ලොව පුරා වසරකට බීර ලීටර බිලියන 133 ක් නිෂ්පාදනය කෙරෙන අතර එය ඇමරිකානු ඩොලර් බිලියන තුන්සියයකට අධික ව්‍යාපාරයක්.

සාමාන්‍යයෙන් ඕනෑම සීනි සහිත ඕනෑම ද්‍රව්‍යයක් ක්‍ෂුද්‍රජීව ක්‍රියාකාරීත්‍වය නිසා මධ්‍යසාර බවට පත් වීමේ හැකියාවක් තිබෙනවා. සීනි සහිත මාධ්‍යය අනුව බීරවල තත්ත්‍වය වෙනත් ලක්‍ෂණ වෙනස් වනවා. වර්තමානයේ බීර නිෂ්පාදනයේ මූලික අමුද්‍රව්‍ය වන්නේ ජලය, සහ බාර්ලි ආදියයි. එයට අමතරව පැසීම සඳහා යීස්ට් වර්ග සහ රසය ලබාදීම සඳහා බීර මල් (Hops) භාවිතා වෙනවා. සීනි ප්‍රභවය ලෙස් ප්‍රධාන වශයෙන් භාවිතා වන බාර්ලි වලට අමතරව, තිරිඟු, හාල්පිටි, මිලට්, වැනි ධාන්‍ය වර්ගත්, සීනි, හා අර්තාපල්, මඥ්ඥොක්කා වැනි පිටි අධික අල වර්ග ද භාවිතා වනවා.

ජලය සෑම තැනකටම පොදු වුවත්, ජලයේ දියවී ඇති ලවණ වර්ග අනුව මූලිකවම වෙනස් වනවා. සමහර ජලය කිවුල් බවින් වැඩි අතර තවත් සමහර ජල මූලාශ්‍රවලටම ආවේණික ලවණ වර්ග සහ සාන්‍ද්‍රණයන් තිබෙනවා. බීරවල මූලිකම අංගය වන්නේ ජලයයි. එය බීර පරිමාවෙන් 93% ක්. මේ නිසාම ජලයේ තත්ත්‍වය අනුව බීරවල ද තත්ත්‍වය වෙනස් විය හැකියි. ගිනස් ස්ටවුට් සඳහා භාවිතා වන ඩබ්ලින් ප්‍රදේශයේ කිවුල් ජලය නිසා ස්ටවුට් වලට ආවේණික රසයක් ලැබී තිබෙනවා. ලෝකයේ වෙන කොතැනක ස්ටවුට් නිෂ්පාදනය කළත්, ඩබ්ලින් හි ජලය භාවිතා නොකරයි නම්, එයට ආවේණික රසය ලබාගත නොහැකියි. ඒ වගේමයි, පිල්ස්නර් සඳහා භාවිතා වන්නේ චෙක් ජනරජයේ Plzen ප්‍රදේශයෙන් ලබා ගන්නා මෘදු ජලයයි. මේ නිසා බීර නිෂ්පාදනයේදී මූලික ජල ප්‍රභවයෙන් ජලය ලබාගත නොහැකි නම්, එම ජලයේ සංයුතියට සමානවන ලෙස සියළුම ලවණ වර්ග එකතු කිරීමට නිෂ්පාදකයන් වගබලා ගන්නේ බීර පානය කරන පුද්ගලයින් එහි රසයේ සුළු වෙනසක් හෝ හොඳින් ග්‍රහණය කර ගන්නා නිසයි. ලංකාවේ අප බීර පානය කරන්නේ කුමන හේතුවකට වුවත්, බොහෝ රටවල බීර පානය කරන්නන් එ්වා ඉතාම භක්තිමත්ව භාවිතා කරන්නේ යැයි කිවහොත් නිවැරදියි.

බීර නිෂ්පාදනයේ දෙවන වැදගත්ම අංගය වන්නේ සීනි ප්‍රභවයයි. සීනි ප්‍රභවය අනුව ද බීර වර්ගයේ රස සහ සාන්‍ද්‍රණය ආදී ලක්‍ෂණ වෙනස් වනවා. පෙර සඳහන් කළාක් මෙන් බීර වල සීනි ප්‍රභවය ධාන්‍ය වුවත්, මේ ධාන්‍ය සැකසීමේදී එ්වා ජලයේ ගිල්වා මුල් අද්දවාගැනීම සිදු කළ යුතුයි. එසේ මුල් අද්දවාගත් ධාන්‍ය කිසියම් ප්‍රමාණයකට වේලාගැනීම සිදු කරන්නේ කෘත්‍රිම පෝරණු භාවිතයෙන්. එවිට ධාන්‍යවල වූ එන්සයිම ක්‍රියාකාරී වන්නට පටන් ගන්නවා. මේ නිසා උපරිම මධ්‍යසාර ප්‍රමාණය ලබාගැනීම කළ හැකියි. එසේම එකම ධාන්‍ය වර්ගය වුවත්, මුල් අද්දවා ගැනීමට යොදා ගන්නා කාළය සහ වේලා ගැනීමේ කාලය, උෂ්ණත්‍වය අනුව ලබා ගන්නා බීර වර්ගයේ රස සහ වර්ණය වෙනස් වනවා. අඩුවෙන් වේලාගත් ලා පැහැති ධාන්‍ය ලා පැහැති බීර ලබාදෙන අතර, වැඩි පුර කර වූ ධාන්‍ය ලබා දෙන්නේ තද පැහැති බීර වර්ගයි. ධාන්‍ය මුල් අද්දවා, වේලා බීර නිෂ්පාදනයට යොදා ගනිතත්, සමහර ධාන්‍ය මුල් ඇද්දවීමක් නොකර ම භාවිතා වනවා. ඉරිඟු, වී, රයි සහ ඕට් මෙන්ම තිරිඟු සහ සෝගම්, මෙසේ මුල් ඇද්දවීමකින් තොරව භාවිතා වන ධාන්‍ය වර්ගයි. ලෝකයේ සමහරක් මිනිසුන් ග්ලූටන් නම් ධාන්‍ය ප්‍රෝටීනවලට දක්වන සංවේදීතාවය නිසා දැන් දැන් බීර නිෂ්පාදනය ග්ලූටන් රහිත ධාන්‍ය වලින් සිදු කිරීමද කරන්නේ ලොව සැමටම එකසේ බීර රස විඳීමට අවස්ථාව සලසා දෙමින්.

කිනම් ධාන්‍ය වර්ගය භාවිතා කර කෙසේ බීර නිෂ්පාදනය සිදු කළත්, බීරවලට ආවේණික තිත්ත රසය ලබා දෙන්නට ලොව පුරාම භාවිතා වන්නේ එකම අමුද්‍රව්‍යයක්. එය බීර මල් හෝ Hops යනුවෙන් හඳුන්වනවා. මෙය ගංජා පවුලට අයත් ශාකයක්. ලොව බොහෝ දෑ එක් අවශ්‍යතාවයකට වඩා භාවිතා වුවත්, මේ බීරමල් ලෝකයේ ඇත්තේ බීරවලට තිත්ත රසය ලබාදීමේ ක්‍රියාවලිය සඳහා පමණමයි. බීර රසවත් ( හෝ තිත්ත) කිරීම සඳහා බීරමල් යොදා ගැනීම ක්‍රිස්තු පූර්ව 822 දක්වා දිව ගියත්, නිසි ආකාරයට ක්‍රමවත්ව වගාව සිදු කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1300 සිටයි. බීර මල් මගින් බීරවලට තිත්ත රසය ලබා දෙනවා සේම මෝල්ට් නිසා ලැබෙන පැණිරසය ද සමනය කරනවා. මෙමගින් දෙහි, මල්, සහ ශාකමය සුවඳක් සහ රසක් බීරවෙත එක් කරනු ලබනවා. මේ Hops වල තිත්ත ගතිය ගණනය කිරීමට අන්තර්ජාතික තිත්තරස පරිමාණයක් භාවිතා කරනු ලබනවා. මෙයට අමතරව බීර මල්වල ආම්ලික ගතිය නිසා බීර කල්තබා ගැනීමේ හැකියාවක් ඇති අතර මෙහි ක්‍ෂුද්‍රජීව නාශක ගුණ අඩංගුව පවතිනවා. මේ නිසා යීස්ට්වලට අමතරව වෙනත් ක්‍ෂුද්‍රජීවීන්ගේ ක්‍රියාකාරීත්‍වය අඩපණ කිරීම මගින් බීර මත වූ පෙණ ප්‍රමාණය වැඩි කිරීමට සහ පෙණ තට්ටුව කෙතරම් කාළයක් රඳා පවතින්නේද යන්න තීරණය කිරීමටත් දායක වනවා.. මේ බීර මල් ඒ ආකාරයෙන්ම බීර පැසවෙන භාජන තුළට දැමීම සෑමවිටම සිදු වන්නේ නැහැ. මේ නිසා බීර මල්වල ඇති රසායන ද්‍රව්‍ය සියල්ල වෙනත් ද්‍රාවකයකට උකහාගෙන එය සාන්‍ද්‍ර ද්‍රාවණයක් ලෙසින් බීරවලට එකතු කරනවා. බොහෝ විට මේ ද්‍රාවකය වන්නේ හෙක්සේන්, මෙතිල් මධ්‍යසාරය හෝ මෙතිලීන් ක්ලෝරයිඩ් යන රසායනික ද්‍රාවකයි. මේ බීර මල් ද්‍රාවණය බීර පැසෙන සුවිසල් භාජනයට එකතු කිරීමේදී මේ ද්‍රාවකයනුත් එකතු වනවා. මෙහි බීර මල් සාන්‍ද්‍රණය ද්‍රාවක පරිමාවෙන් සියයට 2.2 කට වඩා වැඩි කරන්නේ නැහැ. නමුත්, ඉතා සුළු ප්‍රමාණවලින් හෝ ඉහත කී රසායන ද්‍රව්‍ය බීර සමග අපේ ශරීර තුළට ඇතුළු වනවා.

බීර පානය කරන්නන් බීර වල වූ තිත්ත රසයට මෙන්ම වීදුරුවට වත්කළ පසු බීර මත රැඳෙන පෙණ තට්ටුවටද එකසේ ඇළුම් කරනවා. මේ පිළිබඳ මති මතාන්තර බොහොමයි. සමහරු පෙළ තට්ටුව නිසා වැඩිපුර රසයක්, සහ සුවඳක් ලැබේ යැයි විශ්වාස කරන අතර වැඩිපුර පෙණ තට්ටුවක් තිබීමත් බීර ප්‍රමාණයේ අඩුවක් යැයි සිතන අයත් සිටිනවා. මේ නිසා බීර මත වූ පෙණ තට්ටුවේ ප්‍රමාණය සහ එහි කල්පැවැත්ම කෙරෙහි බීර නිෂ්පාදකයන් ඉතා දැඩි අවධානයක් යොමු කර සිටිනවා. එය වැඩිකර ගැනීමට මෙන්ම දිගු කාළයක් රඳවා තබා ගැනීමටත් විවිධ උපක්‍රම භාවිතා කරනවා. මේ නිසා ධාන්‍ය පැසවීමට පෙර අඹරන ප්‍රමාණය, ධාන්‍ය වර්ගය හෝ මිශ්‍රණය ආදිය ඉතා වැදගත් වනවා. උදාහරණයක් ලෙස බාර්ලි වලට වඩා වැඩි පෙණ ප්‍රමාණයක් සහ පෙණ තට්ටුවේ කල් පැවැත්ම තිරිඟු වලින් ලබාදෙනවා. මේ පෙණ තට්ටුව ලැබෙන්නේ බීර පැසවීමේ ක්‍රියාවලියේදී පිටවන කාබන් ඩයොක්සයිඩ් වායුව නිසායි. සීනි මත ක්‍ෂුද්‍රජීවීන් ක්‍රියාකිරීමේදී අතුරුඵලයක් ලෙස කාබන් ඩයොක්සයිඩ් පිටවනවා. මේ ප්‍රතික්‍රියාව බීර බෝතලයට දමා සීල් කළ පසුද සිදු වනවා. බීර බෝතලයක් විවෘත කිරීමේදී එය හැකිතාක් නොසොල්වා කළ යුත්තේ මේ නිසා. එවිට කාබන් ඩයොක්සයිඩ් පිටවන්නේ බීර හා එකතුව පෙණ වශයෙන්. වීදුරුවකට බීර වත්කිරීමේදී වීදුරුව ඇලකර වත්කරන්නේ මෙසේ පෙණ ඇතිවීම අඩුකර ගැනීමටයි.  සමහර බීරවර්ගවල මෙසේ කාබන්ඩයොක්සයිඩ් නිෂ්පාදනය සිදුවන්නේ අඩුවෙන් නිසා බෝතලවලට ඇසිරීමේදී පැණිබීම බෝතල් අසුරනවාක් මෙන් කෘත්‍රිමව කාබන් ඩයොක්සයිඩ් බෝතල වලට පොම්ප කරනවා. කෙසේ වුවත්, ස්වභාවිකව බෝතලය තුළ ම ඇතිවන ප්‍රතික්‍රියාවෙන් පිටවන කාබන් ඩයොක්සයිඩ් වැඩි රසයක් ලබාදෙන බවයි බීර පානය කරනන්නන් පවසන්නේ. නමුත් එය විද්‍යාත්මකව තහවුරු වී නැහැ.

බීරවල ප්‍රතික්‍රියාව සිදු කරන්නේ යීස්ට් මගින්. යීස්ට් සීනි මත ප්‍රතික්‍රියා කර ඇල්කොහොල් සහ කාබන් ඩයොක්සයිඩ් නිෂ්පාදනය කරනවා. එයට අමතරව යීස්ට් මගින් පෙනුම සහ රසයද එකතු කරනවා. බීර නිෂ්පාදනය සඳහා ක්‍ෂුද්‍රජීව ක්‍රියාකාරීත්‍වය අවබෝධ කරගැනීමට පෙර එය සිදු කර ඇත්තේ වාතයේ වූ බැක්ටීරියා භාවිතා කිරීමෙන්. එසේ වීමේදී බැක්ටීරියා මිශ්‍රණය අනුව රසය වෙනස්වන නිසා වර්තමානයේදී එක් එක් බීර නිෂ්පාදනය සඳහා එක් පිරිසිදු දිලීර වර්ගයක් භාවිතා කරනවා.  එය බොහෝවිට Saccharomyces cerevisiae නම් යීස්ට් වර්ගයයි. එය ක්‍රියාත්මක වන්නේ සෙන්ටිග්‍රේඩ් 15ත් 25ත් අතරයි. මේ උෂ්ණත්‍ව පරාසයේදී මධ්‍යසාරවලට අමතරව යීස්ට් විසින් එස්ටර් සහ වෙනත් ද්විතීයික රසකාරක නිෂ්පාදනයද සිදු කරනවා. මේ නිසා මධ්‍යසාර රසයට සහ සුවඳට අමතරව එයට ඇපල්, පෙයාස්, අන්නාසි, කෙසෙල් වැනි පළතුරු රස සහ සුවඳ ද එකතු වනවා.

මීට අමතරව බීරවල පාරදෘශ්‍යබව සහ වෙනත් ගතිලක්‍ෂණ නියමිත ආකාරයෙන් පවත්වා ගැනීමට විවිධ ද්‍රව්‍ය එකතු කිරීමද සිදු කෙරෙනවා. සාමාන්‍යයෙන් බීරවල සාන්‍ද්‍රණය 3% සිට 14% දක්වා වෙනස් විය හැකි වුවත්, බොහෝවිට එය 4% – 8% දක්වා පරාසයක තබා ගැනීමට බොහෝ නිෂ්පාදකයන් වගබලා ගන්නවා. බීර බෝතලවලට ඇසිරීමට පෙර සියළුම ක්‍ෂුද්‍රජීව ක්‍රියාකාරීත්‍වයන් නතර කිරීමට එය හොඳින් පෙරනු ලබනවා. එසේම එය අඩු උෂ්ණත්‍ව තත්ත්‍ව යටතේ ගබඩා කර තැබිය යුතුයි.

මේ තාක් ලොව නිපදවූ ඉහළම සාන්‍ද්‍රණය සහිත බීර වර්ගය වන්නේ  Snake Venom නම් 67.5% ක සාන්‍ද්‍රණයක් සහිත බීර වර්ගයයි. ලෝකයේ වඩාත්ම මිල අධිකම බීර වර්ගය වනුයේ ඇමරිකානු ඩොලර් 1000 ක වටිනාකමක් ඇති Vielle Bon Secours නම්බීර වර්ගයයි. දැනට ලෝකය පුරා බීර වර්ග 400 ක් පමණ දක්නට ලැබෙනවා.

යීස්ට් සීනි ද්‍රාවණය මත ක්‍රියා කරන ආකාරය අනුව ප්‍රධාන වශයෙන් ලෝකයේ බීර වර්ග දෙකක් තිබෙනවා. ඉහළ උෂ්ණත්‍වයකදී බීර ද්‍රාවණය මත සිදු වන යීස්ට් ක්‍රියාකාරීත්‍වය නිසා නිපදවෙන බීරවලට ඒල් (Ale)යන නම භාවිතා කරන අතර Pale Ale, Porter, Stout, Blonde, Belgian Ale, ආදිය ඒවාට උදාහරණ වෙනවා. පහළ උෂ්ණත්‍ව වලදී බීර ද්‍රාවණය පතුලේ සිදුවන යීස්ට් ක්‍රියාකාරීත්‍වය නිසා නිපදවෙන බීර ලාගර් (Lager) ගණයට අයත් වනවා. Pilsner, Bock, Marzen, Helles, Doppelbock, ආදිය ඒවාට උදාහරණයි.

බීර පානය කිරීමත් කලාවක්. බීර පානයට ලොල්වූ අය බොහෝ විට වෙනත් මධ්‍යසාර පානය කිරීමට ගිජුකමක් දක්වන්නේ නැහැ. බීර පානය කළ යුත්තේ ශීත කිරීමට පසුවයි. බීරවල රසය ඉස්මතු වන්නේ ශීතකිරීමට පසුවයි. බීර වර්ගය අනුව ඒවා සෙන්ටිග්‍රේඩ් 7 සිට 15 දක්වා විවිධ උෂ්ණත්‍වයන්හි ශීත කරනු ලබනවා. පාටින් අඩු සහ මෘදුබවින් වැඩි බීර වර්ග අඩු උෂ්ණත්‍වයකද, පාටින් වැඩි බීර වර්ග ඉහළ උෂ්ණත්‍වයක ද ශීත කරනවා.

බීර පානය සත්තකින්ම සීනි අඩංගු පැණිබීම පානයට වඩා ගුණදායක වුවත්, බීරවල මූූලිකම අන්තර්ගතය වන්නේ එතිල් මධ්‍යසාරයයි. සියයට 8 ක උපරිමයකට යටත් වූවිට එහි සියයට 92 ක්ම ඇත්තේ ජලයයි. එසේ වුවත් මධ්‍යසාර භාවිතයෙන් ලැබෙන අතුරු ප්‍රතිපල සියල්ලම බීර පානයටත් වලංගුයි. නමුත්, බීරවල ඇති අඩු මධ්‍යසාර ප්‍රතිශතය නිසා අනෙක් මධ්‍යසාරවලින් ඇතිවන ආචරණවලට වඩා අඩු බලපෑමක් බීර මගින් ලැබෙනවා. ඒ නිසාම කසිප්පු පානය කරනවාට වඩා බීර පානය සෞඛ්‍යාරක්‍ෂිතයි. මේ නිසාම දිනකට බීර වීදුරුවක් වැනි සුළු ප්‍රමාණයක් පානය කිරීම නිසා හෘදයාබාධ, ආඝාත සහ දියවැඩියාව වැළඳීමේ හැකියාව අඩුකරන බව වෛද්‍ය මතයයි. අනෙක් මධ්‍යසාර පානය කිරීමේදී පෝෂණය ලැබෙන්නේ බයිට් කෑම නිසා වුවත්, බීර පානයේදී බීරවල ඇති පෝෂ්‍ය පදාර්ථ නිසාම යම් පෝෂණයක්ද ලැබෙනවා. සාමාන්‍යයෙන් මැග්නීසියම්, පොටෑසියම්, සෙලීනියම්, පොස්ෆරස්, ක්‍රෝමියම් සහ විටමින් බී කාණ්ඩයේ විටමින් වර්ග බීරවල අන්තර්ගතයි. මේ නිසාම බීරවලට ද්‍රව පාන් (Liquid Bread)යැයිද සඳහන් කරනවා. කෙසේ වුවත් බීර පානය කරන්නන්ගේ උදරය ඉදිරියට නෙරා එන බවට පොදු මතයක් තිබෙනවා. කෙසේ වුවත්, එහි නියම සත්‍යතාවය වන්නේ බීර පානයත් සමග සිදුවන අධික ආහාර ගැනීම සහ ක්‍රියාකාරීත්‍වය නොමැතිකම නිසා උදරය නෙරා එන බවයි. නමුත් නොනවත්වාම බීර පානය කරන්නවුන් ගේ උදරය ඉදිරියට නෙරා ඒමේ සම්භාවිතාවයක් ඇති බව 2004දී කරන ලද පරීක්‍ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

මෙයට අමතරව බීර මල්වල ප්‍රතිඔක්සිකාරක බහුලයි. මේ නිසාම බීර පානය නිසා ශරීරයට වයින්වලින් ලැබෙන ප්‍රතිඔක්සිකාරක ගුණයට හා සමාන ගුණයක් ලැබෙන බව වෛද්‍ය මතයයි. බීර සාමාන්‍ය ප්‍රමාණවලින් පානය කිරීමෙන් අස්ථිවල ඝණත්‍වය ඉහළ යා හැකියි. මේ නිසා වයසට යත්ම සිදුවන අස්ථි භග්න අඩුවනවා සේම, බීරවල අඩංගු සිලිකන් සංයෝග නිසා ඔස්ටියෝපොරෝසිස් වැනි රෝගවලට භාජනය වීමේ හැකියාව අඩු වනවා. බීරවල අඩංගු විටමින් බී සංයෝග නිසා රක්තහීනතාවය, සහ හෘද රෝග වැළඳීමේ හැකියාව අඩු වනවා. බොහෝ දෙනා දන්නා දෙයක් වන්නේ බීර පානය නිසා වකුගඩුවල හෝ මුත්‍රාශයේ ගල් සෑදීම 40% කින් බවයි. බීරවල අඩංගු ජලය ප්‍රමාණය අධික නිසා බීර පානයේදී අධික ලෙස මුත්‍රා කිරීමට සිදුවනවා. මේ නිසා ශරීරයේ වූ විශ ද්‍රව්‍ය සහ අපද්‍රව්‍ය මුත්‍රා මගින් බැහැර වන නිසා ශරීරය පිරිසිදු කිරීමක් ද සිදු වනවා. එසේම බීරවල ඇසට නොපෙනෙන අන්දමේ ක්‍ෂුද්‍ර තන්තු දිය වී පවතිනවා. මේ නිසා එය ආහාර මාර්ග පද්ධතියේ ක්‍රියාකාරීත්‍වයටත් ඉතා හොඳයි. මේ සියල්ල වෛද්‍ය විද්‍යාත්මකවද සනාථ වූ කරුණුයි.

මේ කරුණු එසේ වී මුත්, බීර වුවත් අධිකව පානය කිරීම සෞඛ්‍යයට හානිදායකයි. බීර පානය නිසා ලෝකයේ මරණ සිදුවී යැයි සඳහනක් නොමැති වුවත්, 1814 වසරේදී ලන්ඩනයේදී බීර ටැංකියක් පිපිරී යාම නිසා බීර ගැලුම් 400,000 ලන්ඩනය පුරා ගලා යාමෙන් නිවාස දෙකකට හානි සිදුවී මරණ 9ක් වාර්තා වී තිබෙනවා. ලෝකයේ වැඩියෙන්ම බීර පානය කරන රට වන්නේ චෙක් සමූහාන්ඩුවයි. එහි මිනිසෙකු වසරකට බීර ගැලුම් 40 ක් පානය කරන අතර අන් රටවට වඩා බොහෝ ඉදිරියෙන් සිටිනවා. ලෝකයේ විශාලතම බීර උත්සවය වන්නේ ජර්මනියේ මියුනිච් නුවර දින 16ක් පුරා මිලියන 6 ක සහභාගීත්‍වයකින් පැවැත්වෙන ඔක්ටෝබර්ෆෙස්ට් සැණකෙලියයි. දැන් දැන් ලංකාවේද ඔක්ටෝබර්ෆෙස්ට් පැවැත්වෙන නිසා අපටත් ලෝක වාර්තාවකට හිමිකම් කියන්න අවස්ථාවක් අඩුවූ බීර බද්දත් සමග ලැබේවිද ?

 

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on දෙසැම්බර් 14, 2017, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , , . Bookmark the permalink. එක් ප්‍රතිචාරයක්.

  1. අහා.. එහෙනම් මේකයි රහස.. අහ්ම්ම්ම්..ම්ම්.. ඉතීම් ඉතීම් ඩොක්.. ඔය ගමම්ම කියන්න බැරිද මොන බීර වර්ගෙද කොච්චරක්ද දවසට බොන්න ඕනි කියලත්.. ගෙදර උන්දැට මේ ලිපියත් එක්ක දාල අනුමැතිය ගන්න.. :))))

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: