අනාගතේ දවසක්දා……


අපි අනාගතය ගැන බලාගැනීමට අවශ්‍ය වූ විට කරන්නේ එක්කෝ සාත්තරකාරයෙකුට ගානක් ගෙවා ඔහු කියන දේ ඉත සිතින් විශ්වාස කර කටයුතු කිරීමයි. එසේත් නැතහොත් ‍ජ්‍යෝතිෂ්‍ය හෝ නක්‍ෂත්‍රකරුවකුට අපේ හඳහන ලබා දී ඔහු ගණන් බලන ආකාරයට අනාගතය තීරණය කිරීමයි. අවාසනාවකට මෙය රට කරවන මහාමාත්‍යාදීන් සිට එදා වේල කන්න නැති හිඟන්නා දක්වාම පැතිර ඇති ප්‍රවණතාවයකි. තමතමන්ගේ හැකියාවේ හැටියට ගමේ දේවාලයේ සිට තිරුපති දක්කවාම විවිධාකාර දෙවියන්ගේ පිහිට පතන්නට අපි පුරදු වී සිටිමු. මේ රටේ බොහෝ දෙනෙකු තමන්ගේ හැකියාවන් සහ ආත්ම විශ්වාසය, නොදකින බලවේග වෙත පවරා පසුපසට යමින් සිටින කණ්ඩායමකි. මේ කටයුත්ත පුද්ගලිකව එසේ වුවත්, ලෝකයේ අනාගතය මේ යැයි තීරණය කිරීමට මේ කිසිවෙකුට නොහැකියි. එසේ වූවා නම්, සුනාමිය, ලෝකයේ යුද්ධ, සුප්‍රසිද්ධ පුද්ගල ඝාතන, මහා පරිමාණ විනාශයන්, අන්තර්ජාල අනාවැකිකරුවන් විසින් මෑතකදී ඇති කළ තෙල් හිඟය වැනි දෑ, කාලගුණ ව්‍යසන ආදිය සියල්ල නැවැත්වීමේ හෝ පුරෝකථනය කිරීමේ බලය ඔවුන් සතු විය යුතුයි. කතරගම දෙවියන් වේල් ගණනක් බඩගින්නේ තැබූ කණ්ඩායමක් සුවසේ සිටීමෙන්ම, මේ දේවබලවල ප්‍රබලතාවය වටහාගත හැකිය. මිලියන විසි දෙකක් පමණ වූ ශ්‍රී ලාංකික අප මේ නක්‍ෂත්‍ර උගුලේ වැටී අනාගතය ග්‍රහලෝක නවයකට සහ නොපෙනෙන දෙවියන්ට භාර දී කල් ගෙවන අතර තවත් බිලියන හතකට අධික ප්‍රමාණයක මිනිසුන් මේ කිසිවක බලපෑමක් නොමැතිව අපට වඩා ගවුු ගණනක් ඉදිරියට ගොස් විද්‍යාවේ නව සොයාගැනීම්, ලෝකයට නව නිපැයුම්, ඇතුළු බොහෝ දෑ දායාද කරමින් සිටිති.

ඒ කෙසේ වුවත්, බොහෝ විද්‍යාඥයින් සහ අනාගතය දකින්නන් විවිධාකාර මට්ටමින් අනාගතයේ ඇතිවිය හැකි තත්ත්‍වයන් පිළිබඳව අනාවැකි පළ කරමින් සිටිති, ඒ සිය අධ්‍යයනවල දත්තයන් උපයෝගී කර ගනිමින්. මේ අනුව අනාගත ලෝකය තාක්‍ෂණයෙන් අනූන ලොවක් බවට පත් වන බව දත්ත නොමැතිව වුවද අපට පුරෝකථනය කළ හැකියි. දැනට ලෝකයේ භාවිතා වන අන්තර්ජාලයට සම්බන්ධ උපාංග (Internet of Things) මිලියන 20 නුදුරු අනාගතයේදී වසර 2025 වනවිට මිලියන අසූවකට ආසන්න වීමට නියමිතයි. මේ ප්‍රවණතාවය ඇති වී තිබෙන්නේ ස්වයංක්‍රීය කර්මාන්තශාලා සහ කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝවරු බිහිවීම වැඩිවීමත් සමගයි. සාමාන්‍යයෙන් මිනිසකු පැය අටක් තුළ කරන වැඩකොටස මෙන් දෙගුණයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කිසිදු  හෙට්ටු කිරීමකින් තොරව නිම කිරීමේ කටයුත්ත නිසාම, දැන් දැන් අධිකව මිනිස් ශ්‍රමය වැයවන කටයුතුවලට රොබෝවරු එකතු කර ගැනීමේ ප්‍රවණතාවය වැඩිවෙමින් පවතිනවා.

එසේම දැනට භාවිතා වන ජංගම දුරකථන ප්‍රමාණය 2020 වනවිට බිලියන තුනකට ආසන්න වනු ඇති. වැඩි වැඩියෙන් ජංගම දුරකථනය මාර්ගයෙන් ලෝකයට සම්බන්ධ වන තරුණ පරපුරේ සෑම ගණුදෙනුවක්ම අන්තර්ජාලය හරහාම සිදු වනු ඇති. මීට සමගාමීව වැඩිවන ජංගම දුරකථනවල උපයෝගීතාවයන් වැඩිවත්ම, මිනිසා පෙරටත් වඩා සංවෘත චරිත වනු ඇති. අන්තර් සම්බන්ධතා අන්තර්ජාලය හරහා පමණක්ම සිදු වෙද්දී, හැඟීම් පළකිරීමත් ඩිජිටල්ම වනු ඇති. ලංකාවේ කෙසේ වෙතත් බටහිර රටවල බොහෝ ඉලෙක්ට්‍රොණික උපාංග, ඇඳුම් ආයිත්තම්, මෙන්ම එදිනෙදා භාවිතයට ගන්නා ආහාරවර්ග ද ඇනවුම් කිරීම අන්තර්ජාලය හරහාම සිදු වෙනු ඇති. දැනටමත් සිදුවන Amazon Prime වැනි අන්තර්ජාල උපයෝගීතාවයන් නිසා  සාම්ප්‍රදායික ඇඳුම් සහ වෙලඳසැල්වල පැවැත්මට කණකොකා හඬනු ඇති.

මිනිසා සතුව ඇති හැකියාවන් යන්ත්‍ර භාවිතයෙන් සිදු කිරීමට යාමේදී බොහෝ දෙනෙකුට රැකියා විරහිතභාවයේ නීරසභාවය අත් විඳීමට සිදු වේවි. වසර 2000 සිට 2015 වනවිට ඇමරිකා එක්සත් ජලපදයේ පමණක් ස්වයංකරණය (Automation) නිසා පමණක් රැකියා මිලියන 5.6 ක් පමණ අහිමි වී ගොස් තිබෙනවා. මේ නිසාම දැන් දැන් ගූගල් සමාගම මූලිකත්‍වයෙන් මේ රැකියා අහිමිවන පුද්ගලයන්ට නව රැකියා වර්ග සඳහා පුහුණුව ලබා දීම නිසා මේ තත්ත්‍වය යම් තරමකට පාලනය වේවි. එසේ රැකියා අහිමිවන පුද්ගලයන් අතර, ගණකාධිකාරී, නීතීඥවරුන්, වාහන පින්තාරුකරුවන්, වෙල්ඩින් කාර්මිකයන්, ආදීන් ප්‍රධානයි. එසේම නව තාක්‍ෂණයේ සුපිරිබව විදහා දක්වන්නට තාක්‍ෂණඥයින් දිනපතා නව රොබෝවරුන් නිපදවනවා. මේ නිසා සමාජයේ විවිධ තලවල රැකියාවල පැවැත්ම ඉතාමත් දැඩි තර්ජනයකට ලක්ව තිබෙනවා.

රැකියා තත්ත්‍වය එසේ වෙද්දී, මිනිසා ද නව පරිණාමයකට ලක්වෙමින් පවතිනවා. මෙතුවක් කල් ශරීර අංගයක රෝගී වීමක් හෝ අහිමිවීමක් නිසා එක්කෝ සදාකාලික ආබාධිත තත්ත්‍වයට පත්වීමට ඉඩ තිබූ මිනිසා, දැන් දැන් තාක්‍ෂණයේ බල මහිමයෙන් බයෝනික් (Bionic) වීමට පටන් ගෙන තිබෙනවා. අස්ථියක භග්නයක් වූ විට වෙනදා කළ ශල්‍යකර්මවලින් ඈත්ව, ටයිටේනියම් අස්ථියක් හෝ ඊටත් වඩා සුපිරි අවයවයක හිමිකාරීත්‍වය ලබන්නට අපට හැකි වී තිබෙනවා. ගූගල් කණ්නාඩි, ඉලෙක්ට්‍රොණික සිවි කාච වැනි දෑ නිසා අපට ස්වභාවික පෙනීමේ පරාසයට වඩා එහාට ගිය සුවිසල් දත්ත ගබඩාවක හිමිකරුවන් වන්නට අපට හැකි වී තිබෙනවා. මෙය හොඳ පැත්තට මෙන්ම නරක පැත්තටද යොදා ගත හැකි නිසා ඇතිවන තත්ත්‍වය භයානකයි.

කෘත්‍රිම බුද්ධිය එකතු වූ රොබෝවරු ලෝකය පුරා විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙනු ඇති. සමහරවිට ගුරුවෘත්තිය ද රොබෝවරුන්ගේ තර්ජනයට ලක් වීමට පුළුවන්. සමහර ගුරුවරුන් දැනටමත් රොබෝවරුන් මෙන් උගන්වන නිසා දරුවන්ට එහි වැඩි වෙනසක් දකින්නට නොලැබෙන්නටත් පුළුවන්. නමුත් දැන් දැන් අන්තර්ජාලය හරහා උගන්වන කෘත්‍රිම බුද්ධිය සහිත ටියුටර් වරුන් ඇමරිකාවේ සිටිනවා. එසේම දැනටමත් තර්ජනයට ලක් වී හමාර අන්තර්ජාල තාක්‍ෂණික සහායකවරුන් මෙන්ම පාරිභෝගික සේවා සපයන්නන්ගේ වෘත්තීන් කෘත්‍රිම බුද්ධිය නිසා සදහටම නැතිවී යනු ඇති. එසේම ඔවුන් හා ඔබ සංවාදයේ යෙදෙන විට ඒ සංවාදයන් ඔබට ආගන්තුක නොවන ආකාරයට ඔබේ භාෂා හැසිරවීමට සමානව ඉබේම සැකසෙනු ඇති.

ආරක්‍ෂක අංශවල සහ ගොඩනැගිලි, මංමාවත් ආරක්‍ෂාවද කෘත්‍රිම බුද්ධියට පැවරෙනු ඇති. මාර්ග අයිනේ සිටින පොලීසියේ ට්‍රැෆික් නිලධාරීන් වෙනුවට කෘත්‍රිම බුද්ධිය කැවූ ස්වංක්‍රීය කැමරා පද්ධති මගින් ඔබේ රිය ධාවනය නිරීක්‍ෂණය කෙරෙනවා පමණක් නොව, ඔබේ වැරදිවලට අනුව දඩමුදල් ද නියම කෙරෙනු ඇති. සමහරවිට එම දඩමුදල ඔබටත් නොදන්වා ඔබේ බැංකු ගිණුමෙන් අයකෙරෙනු ඇති. ගොඩනැගිලිවල ආරක්‍ෂණ පද්ධතීන් ස්වයංක්‍රීය වී සාමාන්‍ය සොරුන්ට සොරකම් කිරීමට අපහසු තත්ත්‍වයක් උදාවනු ඇති. දැනටමත් භාවිතා වන ස්මාට් නිවාසවල ඇති ස්වයංක්‍රීය පද්ධතීන් අප්‍රමාණව වැඩිදියුණු වනු ඇති. සමහරවිට ඔබට රොබෝ ගෘහ සේවිකාවකගේ සේවය ලැබෙන අතර ඔබ කැමති කෑම වේලක් රොබෝ අතකින්, කලට වේලාවට නිසි ලුණු ඇඹුල් ඇතිව ඔබට ලැබෙනු ඇති.

තාක්‍ෂණය කෙසේ දියුණු වුවත්, පරිසරය විනාශය නම් දිගින් දිගටම සිදුවනු ඇති. දියුණු රටවල් පරිසර සංරක්‍ෂණය කරා යොමු වෙද්දී අප වැනි සැමදා දියුණු වෙමින් පවතින රටවල වනාන්තර ගහණය තවදුරටත් අඩු වෙමින් සම්පත් හිඟයකට මඟ පාදනු ඇති. තවත් වසර තිහක් වනවිට හිමාලයේ අයිස් තට්ටු දියවීම නිසා ඉන්දියාවට උඝ්‍ර ජලහිඟයකට මුහුණ පාන්න සිදුවන අතරම, කලාපයේ උෂ්ණත්‍ව යාමනයද ඇණහිට, දකුණු ආසියාව මිනිස් වාසයට නුසුදුසු වන්නට බොහෝ ඉඩකඩ ඇතිබව කිව හැකියි. වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය කෙමෙන් කෙමෙන් ඉහළයත්ම, ධ්‍රැවීය අයිස් දියවීම නිසා මුහුදු මට්ටම ඉහළ යනු ඇති. 1870 සිට මේ දක්වා මුහුදු මට්ටම අඟල් 7.5 කින් ඉහළ ගොස් තිබෙනවා. මේ තත්ත්‍වය දිගටම පැවතුනහොත් 2100 වනවිට අඩි 4 කින් මුහුදු මට්ටම ඉහළ යා හැකියි. එවිට මාලදිවයින වැනි මුහුදු මට්ටමට ආසන්නව ඇති රටවල පැවැත්ම කෙසේ කෙළවර වේදැයි සිතා ගන්නට නොහැකි වේවි. ලංකාවේ පවා උතුරු නැගෙනහිර සහ දකුණේ වෙරළබඩ තීරයේ සමහර ප්‍රදේශ මුහුදට යටවී නොපෙනී යනු ඇති. මේ නිසා අප මෙතුවක් කල් සටන් කළ දේශ සීමා නැවත සකසාගෙන නව සටනකට පණ පෙවීමට සිදු වනු ඇති.

චීනයේ බීජිං, ඉන්දියාවේ නවදිල්ලිය වැනි වායු දූෂණය අධික නගර මිනිස් වාසයට නුසුදුසු වන තරමට අපවිත්‍රව තිබෙනු ඇති. උෂ්ණත්‍වය ඉහළ යාම නිසා ඇතිවන අධික තාපයෙන් වැඩි වැඩියෙන් ජලය වාශ්ප වනු ඇති. මේ නිසාම සංවහන වැසි සහ මෝසම් වැසිවලින් පතිතවන ජල ධාරිතාවය අධික වනු ඇති. එවිට සිදුවන ජලගැල්ම, නාය යාම් ආදී ස්වභාවික ආපදාවල තත්ත්‍වය බරපතල වනු ඇති. මේ නිසාම සුලිසුලං සහ ටෝනේඩෝ තත්ත්‍වයන්ගේ බලය අධික වනු ඇති. එවිට එමගින් සිදුවන හානීන් ගනන් බැලීමට අපට වෙනම ඇමතිවරයෙකු පත්කළ හැකි වේවි.

මේ හේතු නිසා විවිධාකාර ලෙඩරෝග තුන්වැනි ලෝකය පුරා පැතිර යනු ඇති. පවතින රෝගවල පවා තත්ත්‍වයන් වෙනස්වෙමින් මිනිසා පීඩාවට පත් කරනු ඇති. කෙසේ වුවත්, ලෝකයේ ඖෂධ කර්මාන්තයේ නව නිපැයුම් නිසා, තමන්ට ආවේණික බෙහෙත් සකසා ගැනීමේ (Personalized Medicines) කලාව ලොවට දායාද වනු ඇති. ඒ අනුව තමන්ගේ DNA සැකැස්මට අනුකූල ජෛව විද්‍යාත්මක අනුකූලතාවයක් ඇති බෙහෙත් ඔබට ලැබෙන දිනය වැඩි ඈතක නොවේ.

බොහොමයක් වාහන විදුලියෙන් ආරෝපණය වී ධාවනය වෙද්දී, සූර්ය බලය සහ සුලං ආදී ස්වභාවික බලශක්ති ප්‍රභව වෙත බොහෝ රටවල් අවධානය යොමු කරාවි. සූර්යකෝෂවල මිල අඩුවීම නිසා මුළු ලෝකයම සිය බලශක්ති ජනනය පරිසරහිතකාමී ආකාරයට සිදු කරන්නට පටන් ගන්නේ තමන් විසින් කාර්මික විප්ලවයෙන් පසුව ලෝකයට කරන ලද හානිය අවම කර ගැනීමට විය හැකියි. නමුත් අපි දැනටමත් පරක්කු වැඩියි. මේ නිසාම අරාබිකරයේ තෙල් ඒකාධිකාරය බිඳ වැටී ඇමරිකා එක්සත් ජනපදය සහ රුසියාවේ තෙල් ඒකාධිකාරය ඉදිරියට එනු ඇති. මේ අතර ධ්‍රැව ආසන්නයේ වූ Permafrost තට්ටුව මෘදු වීම නිසා වායුගෝලයට මෙතේන් එකතු වීමනිසා කැනඩාව සහ ඇලස්කාව වැනි ධ්‍රැවීය ප්‍රදේශවල ජීවත්වන අයට ජීවිතය ගැටගසාගැනීමේ ප්‍රශ්න පැණනඟින්නට පුළුවනි.

ලෞකික සම්පත් මෙසේ වෙනස් වෙද්දී, අධ්‍යාත්මිකවද නොයෙකුත් වෙනස්කම් දැකිය හැකි වේවි. බටහිර ජාතීන් අධ්‍යාත්මිකව දියුණු වෙද්දී, දකුණු ආසියාව මිථ්‍යාදෘෂ්ඨියේ ඉහළටම ගමන් කරනු ඇති, එසේම අනාගමිකත්‍වයද ඉදිරියේදී හිස ඔසවමින් ලොව ප්‍රධානපෙලේ ආගම්වල පැවැත්මට අභියෝග එල්ල කරනු ඇති.

චීනය ආර්ථිකව බලවත් වෙද්දී, ඇමරිකාව තව තවත් ආර්ථිකව අඩපණ වනු ඇති. රුසියාව ප්‍රමුඛ ආසියාව වෙත ලෝක බලය නැඹුරු වන අතර, ඉන්දියාව ද බලවත් රාජ්‍යයක් වනු ඇති. සමහරවිට චීනයෙන් ලොව පළමු මානව ක්ලෝනය සහ කෘත්‍රිම මිනිසකු එලිදැක්වීමේ හැකියාවක්ද පවතී. මේ නිසා මානව විද්‍යාවේ සදාචාරාත්මක භාවය පිළිබඳ ප්‍රශ්න ඇතිවනු ඇති.

ත්‍රස්තවාදීන් වඩාත් තාක්‍ෂණශීලී වනු ඇති. ඔවුන් බෝම්බ වෙනුවට සයිබර් අවකාශය යොදා ගැනීමේ ප්‍රවණතාවය ඉහල යා හැකියි. එසේම ජීව විද්‍යාත්මක අවි පරිහරණය ඉහළ යා හැකි අතර උතුරු කොරියාව සහ මුස්ලිම් අන්තවාදීන් මේ කෙරෙහි අවධානය යොමු කරනු ඇති. ඒ සියල්ලම ඇමරිකාවේ සහ උතුරු කොරියාවේ යුධ ආකල්පමය හැසිරීම මත තීරණය වනු ඇති.

කෙසේ වුවත් මේ වෙනස්කම් ලංකාවට දැනෙන්නට බොහෝ කල් ගතවනු ඇති. ලංකාවේ දේශපාලනය තවත් අවුරුදු 10 කට මේ ආකරයෙන්ම පල් වෙමින් ගතවනු ඇති. නව දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවය අපට දැනෙනුයේ මේ එකතැන පල්වෙන ගතානුගතික පැරණි දේශපාලනඥයින්ගේ ක්‍රමික අභාවයත් සමගයි. තරුණ පරපුර වඩාත් ආවේගශීලී වන අතර ලෝකය පැහැදිලිවම ඇතිහැකි – නැතිබැරි පරතරය වැඩිවෙමින් දෙකට බෙදෙනු ඇති. මුදල් වෙනුවට සියල්ල කාළයෙන් මැනෙන ලෝකයක් නිර්මාණය වීමේදී ලංකාවටද ඒ වෙනුවෙන් කාළය වැය කිරීමට සිදු වනු ඇති.

කෙසේ වුවත්, පවතින ක්‍රමය වෙනස් නොවී අපට ඉදිරි ගමනක් සිතිය නොහැකිවනු ඇති…

මේ සියල්ල ඒ අයුරින්ම සිදු නොවුනත්, ඒ හා සමාන දෑ  සිදුවීමේ ප්‍රවණතාවය ඉහළ බව දැනටමත් අන්තර්ජාලයේ සැරිසරන ඔබට පෙනී යනවා ඇති.

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on දෙසැම්බර් 26, 2017, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , , . Bookmark the permalink. ප්‍රතිචාරයක් ලබාදෙන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: