ප්ලාස්ටික් පොලිතින් පිළිස්සීමෙන් ඇතිවිය හැකි ලිංගික විකෘති
මිනිසාටත් සත්ත්‍වයාටත් පොදු එකම ලෝකයේ ජලය හැරුණුකොටගෙන යමෙකුට වැදගත් දෙයක් වේ නම්, ඒ හුස්ම ගන්නා වාතයයි. කිසිවෙකු කවදාවත් මේ ගැන උනන්දු නොවන්නේ වාතය ඉබේම සහ නොමිලේම පෙනහළු වෙත ගමන් කරන නිසායි. දියේ ගිළුණු කෙනෙකු හෝ කිසියම් කරුණක් නිසා හුස්ම හිරවුණු කෙනෙකු හැරෙන්නට වාතයේ අවශ්‍යතාවය කොපමණක්ද කියා අපට නොතේරෙන්නේ මේ නිසයි. මේ තාක් දුරට සුවිශාල වායු දූෂණයක් ලංකාවේ දක්නට නොලැබෙන නිසා සහ එය ජාතික ව්‍යසනයක් තරමට පැතිර ගොස් නොමැති නිසා අපේ අවධානය මේ වෙත යොමු වී නැහැ. නමුත්, පසුගිය දශකයට වඩා මේ දශකයේ පෙනහළු ආබාධ වැඩිවීම, පෙනහළු පිළිකා ප්‍රමාණය වැඩිවීම වැනි හේතු වලට සෘජුව හෝ වක්‍රාකාරව වාතයේ අපවිත්‍රබව බලපා ඇති බව අධ්‍යයනය කරගෙන යාමේදී පෙනෙන කරුණක්. කෙසේ වුවත්, මේ තර්ජනය තවමත් අප නොසළකා හැරීම ඉදිරි දශක කිහිපය තුළ රටේ ජනතාව රෝගීන් බවට පත්වීම, ශ්‍රම බලකායේ කාර්යක්‍ෂමතාවය පහළ යාම වැනි රටේ ප්‍රගමනයට කෙළින්ම බලපාන බව රටේ බලධාරීන්ට නොපෙනීම ජාතියේ අවාසනාවක් බව නොකියාම බැහැ.
වාසනාවකට අපේ රටේ වායු දූෂණය ඉන්දියාවේ නවදිල්ලි නුවර හෝ චීනයේ බෙයිජිං නුවර තරම්ම බරපතල නොවූවත්, දැන් දැන් මහනුවර නගරයේ හා ඒ අවට වැඩිවෙමින් පවතින ශ්වසන ආබාධ ආශ්‍රිත ළමා රෝග, මෙයට කදිම උදාහරණයක්. එසේම කොළඹ නගරයේ අහස සමහර උදෑසනවල දකින මීදුම් සහිත හෝ අපැහැදිලි ස්වභාවය මේ තත්ත්‍වය ඉදිරියේදී ඇතිවිය හැකි ව්‍යසනයක පුරෝකථනයක්.
අප නොදැනුවත්වම ශරීරය තුළට ගමන් කරන මේ වාතය, වෙනත් සංඝඨක කිහිපයකින් මූලිකවම සමන්විතයි. එය නයිට්‍රජන් වායුව 78.09% ක්ම අඩංගු වන අතර 20.95 % ක් අඩංගු වන්නේ ඔක්සිජන් වලින්, 0.93% ක් වූ ආගන් වායුව ඉතිරිය සපුරන අතර, අප පාසල් යන කාළයේ 0.03% තිබූ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය දැන් 0.04% බවට පත් වී ඇත්තේ අපටත් හොරාම, අපේම නොසැළකිල්ල නිසා. ඉතිරිය වෙනස්වන ප්‍රතිශතයකින් යුතු ජලවාශ්ප වැනි දෑ වලින් සමන්විතයි. නයිට්‍රජන් වායුව අපට සෘජුවම අනවශ්‍ය වුවත්, එය නොමැතිනම් ජීවයක් පවතින්නට අවස්ථාවක් නැහැ. කෙළින්ම ගතහොත් ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන මෙන්ම DNA නිෂ්පාදනයට සෘජුවම සම්බන්ධවන නයිට්‍රජන් වායුව නොමැතිනම් ලෝකයම එකම ගිණි ගොඩක් විය හැකිබව බොහෝ දෙනෙකු අමතක කළ කරුණක්. නයිට්‍රජන්හි වූ අක්‍රීයතාවය නිසා සහ එය වායුගෝලයෙන් පහෙන් එකක්ම අයත් කරගෙන තිබෙන නිසා ඔක්සිජන් නිසා සිදුවන ස්වයංක්‍රීය දහනය පාලනය වනවා. සියයට සියයක් ඔක්සිජන් තිබුණේනම්, වායුගෝලය මෙතරම් ස්ථායී වන්නේ නැහැ.
දිනකට කොළඹ නගරය තුළට වාහන ලක්‍ෂ පහක් ඇතුළු වන අතර ඒවා තුළ මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් මිනිසුන් ගමන් කරනවා. මෙයින් වැඩිම වාහන ප්‍රමාණයක් (සියයට 87ක්) අයත් වන්නේ පෞද්ගලික ගමනාගමනයට, කාර්, යතුරුපැදි, සහ වෑන් මෙයින් ප්‍රධාන වනවා. නමුත් මේ පෞද්ගලික වාහනවල ගමන් කරන මිනිසුන් ප්‍රමාණය කොළඹට ඇතුළුවන සම්පූර්ණ ප්‍රමාණයෙන් සියයට 45 ක් පමණයි. සියයට හයක් පමණ වූ පොදු ප්‍රවාහන සේවයේ වාහනවල කොළඹට ඇතුළුවන ජනගහනයෙන් සියයට 51 ක ප්‍රමාණයක් ගමන් කරනවා. එසේ ගතහොත් කොළඹ රථවාහන තදබදයට වැඩිපුරම දායක වන්නේ පෞද්ගලික වාහනයි. මේ අතර මේ ලක්‍ෂ පහක වාහන අතර අඩුවැඩි වශයෙන් කාර් (170,000) , යතුරුපැදි (102,000), සහ ත්‍රීරෝද රථ (115,000) සම සමව අයිතිය බෙදා ගන්නවා. ඉතිරිය වෑන් රථ (60,000) විසින් අයිතිකරගෙන තිබෙනවා. මේ අතර කොළඹට භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන ද ඉතිරිය සපුරනවා. කොළඹට පැමිණෙන වාහන බොහොමයක්ම පෞද්ගලික වාහන වුවත්, මේවායේ එන්ජින්වල තත්ත්‍වය තරමක් සුභදායක තත්ත්‍වයක තිබෙන්නේ දුම් සහතිකය අත්‍යවශ්‍ය කරුණක් වීම නිසා. අඩුවැඩි වශයෙන් දුම් සහතිකයේ නියම තත්ත්‍වය පිළිබඳ සැක සංකා ඇතත්, එය නියමිත පරාමිතීන්ගෙන් විශාල අපගමනයක් නැති නිසා, පරිසර හානියට පෞද්ගලික කාර් රථවලින් සිදුවන හානිය අඩුයි. නමුත්, ප්‍රවාහන ක්‍ෂෙත්‍රයේ නියැලෙන ත්‍රීරෝද රථ සහ බස්රථ වලින් පිටවන අපද්‍රව්‍ය සහ ඩීසල් දහනයෙන් බලය උපදවාගන්නා භාණ්ඩ ප්‍රවාහන රථ, මේ වායු දූෂණයට කෙළින්ම වග කියනවා. මේවායින් දුමට අමතරව, වායු ගෝලයට එකතු වන අංශූන් ප්‍රමාණය කොපමණදැයි ගණන් බැලිය යුතු නැහැ. ඒකක වශයෙන් කෙතරම් අඩු වායු දූෂණයක් පෞද්ගලික කාර් රථයකින් සිදු වුවත්, කාර් රථ ලක්‍ෂ දෙකකට අධික ප්‍රමාණයකින් වායු ගෝලයට එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණය කෙතරම් වේ දැයි ගණන් බැලිය යුතුම නැහැ. එසේම මේ සියළුම වාහන, පැය ගණනක් රථවාහන තදබදයක හිරවී සිටියදී එකතුවන අහිතකර වායු ප්‍රමාණය කෙතරම්ද කියා කිසිවකු ගණන් බලා නැතුව ඇති. දැනට කොළඹ නගරය ඇතුළත වාහන ධාවන වේගය පැයට කිලෝමීටර 15ක් පමණ වෙනවා. එනම් බොහෝදුරට සෑම වාහනයක්ම පැයක් තුළ අඩුවැඩි වශයෙන් ගමන් කරන්නේ කිලෝමීටර 15ක තරම් දුරක්, අඩු ගියරයක මෙසේ ධාවනය වනවිට සිදුවන ඉන්ධන දහනය සහ එයින් පිටවන අපද්‍රව්‍ය ප්‍රමාණය ඉතා විශාලයි.
වායු දූෂණය දෙවැදෑරුම් වෙනවා. ඒ නිවාස හෝ ගොඩනැගිලි අභ්‍යන්තරයේ සහ එළිමහනේ ලෙසින්. එළිමහන් වායු දූෂණයට රථවාහන සහ කර්මාන්ත කෙළින්ම දායක වනවා. අභ්‍යන්තර වායු දූෂණයට බලපාන්නේ ගොඩනැගිලි අභ්‍යන්තර වායු නියාමන තත්ත්‍වයන්, ගොඩනැගිල්ල තුළ වූ මිනිසුන්, සහ වායු දහරා ගමන් ගන්නා මාර්ගයන් වනවා. නිවාස බොහොමයක් පිටත පරිසරයට නිරාවරණය වී ඇත්තේ ජනේල සහ වා කවුළු මගින්. මේ නිසා අභ්‍යන්තර වාතය සහ පිටත වාතය නිරන්තරයෙන්ම හුවමාරු වන නිසා එය විශාල වෙනසක් සිදු වන්නේ නැහැ. නමුත්, නිවස අභ්‍යන්තරයේ වූ වාතය නිරන්තරයෙන් පිටත වාතය හා හුවමාරු වන්නේ නැතිනම්, සහ එය වායුසමනයකින් සංසරණයක් සිදුවන්නේ නැතිනම්, අභ්‍යන්තර වාතයේ තත්ත්‍වය හානිදායක වන්නට පුළුවනි. නිවස ඇතුලත දල්වන පහන්, ඉටිපන්දම් මෙන්ම හඳුන්කූරු, මදුරුකොයිල් වැනි දුම් පිටකරන දෑ නිසා ද වාතයේ තත්ත්‍වය දූෂණය විය හැකියි. බොහෝදුරට හඳුන්කූරුවල ස්වල්ප වශයෙන් බහු-ඇරෝමැටික-හයිඩ්‍රොකාබන සහ බෙන්සීන් ව්‍යුත්පන්න අන්තර්ගතයි. මේවා පවතින්නේ සුළු වශයෙන් වුවත්, දීර්ඝකාලීන ආඝ්‍රාණය හරියටම දුම්වැටි ඉරීමකට හා සමාන විය හැකියි. දුම්වැටියක දුම පෙනහළුවලට ඇතුළු වන්නේ ෆිල්ටරයක් හරහා වුවත්, මදුරුකොයිල් සහ හඳුන්කූරු දුම පෙනහළුවලට යන්නේ නාසය හරහායි. මේ නිසා පෙරීමක් සිදු වන්නේ නැහැ. හඳුන්කූරුවලින් පිටවන දුමෙහි අන්තර්ගතය පිළිබඳ විශාල පර්යේෂණ ප්‍රමාණයක් සිදුවී නැති නිසා එයින් සිදුවන හානිය පිළිබඳ තවමත් ගණන් බලා නැහැ. මේ නිසා නිවසක් වායු සමනය කර නැතිනම්, එය නිසි ලෙස වායු සංසරණය වන ලෙස සැකසීම වැදගත්, බොහෝ ගෘහනිර්මාණශිල්පීන් මේ තත්ත්‍වය හොඳින් අවබෝධකරගෙන සිටින බව දැනීම සතුටට කරුණක්.
කොළඹ මේ තත්ත්‍වය වෙනස්, බොහෝ නිවාස සහ ගොඩනැගිලි වායුසමනය කර ඇති නිසා, ඇතුළත වාතයේ තත්ත්‍වය වාතය නියාමනය වන ආකාරය මත රඳා පවතිනවා. මේ නිසා මිනිසුන් බහුලව වෙසෙන ගොඩනැගිල්ලක, නිසා වායු සමනයක් අනිවාර්යයි. සමහරවිට විදුලිය ඉතිරිකිරීමට වායු සමන යන්ත්‍ර විටින් විට ක්‍රියාත්මක කළත්, ඉන් සිදු වන්නේ විදුලි හානියක් මෙන්ම සෞඛ්‍යමය හානියක්. එසේ විටින්විට ක්‍රියාත්මක කිරීම වෙනුවට උෂ්ණත්‍වය සෙල්සියස් අංශක 26 පමණ නිරන්තරයෙන් ක්‍රියාකරවීම බලශක්තිය අතින් මෙන්ම සෞඛ්‍යමය අතින්ද වාසිදායකයි.
අප කෙසේ කෙතරම් කතා කළත්, නගරයකට ඇතුළුවන වාහන ප්‍රමාණය සීමා කිරීමට එකවරම අපහසුයි. පසුගිය වසර කිහිපය තුළ කොළඹට ඇතුළුවන කාර් ප්‍රමාණය – යතුරුපැදි ප්‍රමාණය අභිබවා ගොස් තිබෙනවා. මේ නිසා කාර් රථ වලින් සිදුවන වායු දූෂණය, ඉන්ධන දහනය මෙන්ම, වාහන තදබදය ද ඉහළ ගොස් තිබෙනවා. මහනුවර නගරයේ වාහන තදබදය එහි පිහිටීම සමග එකතු වූ විට දැඩි අනතුරුදායක තත්ත්‍වයක් උදාකර තිබීම ඉතා අවාසනාවන්ත කරුණක්. මහනුවර නගරයේ පිහිටීම ඇත්තේ කඳු වලල්ලකින් මැදි වී බේසමක පතුල ආකාරයෙන්. මේ නිසා නගරයට නිසි වායු සංසරණයක් සිදු නොවනවා සේම, වාහන නිසා එකතුවන දුමාරය සහ වායූන් නගරය තුළ සහ ඉහළින් එකතැන රැඳෙන ස්වභාවයක් තිබෙනවා. එසේම මහනුවර පසුකර යන සෑම වාහනයක්ම නගරයට ඇතුළුවන නිසා මේ තත්ත්‍වය දරුණු වී තිබෙනවා. දළදා මාලිගාව අසලින් යන මාවත පිළිබඳ බොහෝ විවේචන සහ විවාද ඇතත්, මහනුවර නගරයේ වායු දූෂණයට සෘජුව බලපා ඇත්තේ එයම නොවෙයි. එම මාවත විවෘත කළත්, නගරයේ රථවාහන තදබදය අඩු වන්නේ නැත්තේ, නගර සැළසුමේදී නගරයේ මාර්ග අනාගත ජනගහන වැඩිවීමක් වෙනුවෙන් පුරෝකථනය කර නැතිව සැලසුම් කර ඇති නිසායි. කළ හැකි සහ කළ යුතු හොඳම දෑ වන්නේ, පිටපලාත්වලට යන වාහන, නගරයට ඇතුළු නොවී වෙනත් මගක් හරහා යාමට සැලසුම් කිරීමයි. මෙයින් නගරයට ඇතුළුවන වාහන ප්‍රමාණය අඩු වනවා. එසේම නගරය තුළ පෞද්ගලික වාහන සීමා කර, පොදු ප්‍රවාහන සේවය කාර්යක්‍ෂම කිරීම මෙන්ම, නගරයේ රථවාහන තදබදය උපරිම කරන ගුඩ්ශෙඩ් බස් නැවතුම්පළ එතැනින් ඉවත් කර වෙනත් තැනක ස්ථාපනය කිරීම මගින් මහනුවර වූ වායු දූෂණ තත්ත්‍වය තරමක් දුරට පාලනය කර ගැනීමට හැකියි. එසේ නොකළහොත්, මහනුවර නගරයේ ජනගහනයෙන් සියයට පනහකට වඩා පෙනහළු ආබාධවලින් යුත් පරපුරක් අනාගතයේදී බිහිවීම වලක්වාගත හැකි වන්නේ නැහැ. මේ අප අනතුරට හෙලන්නේ අපේ අනාගත පරපුර බව සිහියේ තබාගත යුතුමයි.
කොළඹ නගරයේ තත්ත්‍ව තරමක් වෙනස් වන්නේ එය මුහුදු සුළඟ හා නිරන්තරයෙන් සංසරණයට භාජනය වීම නිසායි. එසේ වුවත්, කොළඹ නගරයේ තත්ත්‍වය ද බරපතල අයුරින් අනතුරුදායක තත්ත්‍වයකට පත්ව ඇත්තේ නිසි නගර සැලසුමක් නොමැති නිසායි. බොහෝ ජනාකීර්ණ නගර සැලසුම් කිරීමේදී වායු සංසරණ රටාවන් සැලකිල්ලට ගෙන සැලසුම් සිදු කරනවා. මේ නිසා බොහෝ මංමාවත්, එක්තරා රටාවකට, වාතය ගලාගෙන යාමට හැකි පරිදි සැලසුම් කර තිබෙනවා. උදාහරණයක් ලෙස බම්බලපිටිය ප්‍රදේශය ගතහොත්, මුහුද පෙදෙසේ සිට සැලසුම් කර ඇති මාර්ග හරහා මුහුදු සුළං රට තුළට ගලාගෙන එනවා. මේ නිසා වායු දූෂණය අඩු වනවා. නමුත්, දැන් දැන් සැකසෙමින් පවතින මහා පරිමාණ සුවිසල් ගොඩනැගිලි ස්ථාපනය කර ඇති ස්ථාන නිසා මේ වාතය ගලා යාමට බාධා පැමිණිය හැකියි. මේ නිසා කොළඹ නගරය තුළත්, වාතය නිසි ලෙස සංසරණය නොවීම ඉදිරියේදී සිදුවිය හැකියි. මෙයට, කොළඹ නගරයට ඇතුළුවන වාහන වලින් පිටවන දුම සහ අංශූන් එකතු වූ විට, මිනිසුන්ට අනිවාර්යයෙන් මුව වැසුම් පැළඳීමට සිදුවනු නියතයි.
නවදිල්ලියේ මෑතක පැවැත්වූ ක්‍රිකට් තරඟයකදී, ශ්‍රී ලංකා කණ්ඩායමට මුවවැසුම් පැළඳීමට සිදු වූයේ තරඟය බේරා ගැනීමට මෙන්ම නවදිල්ලි වායු තත්ත්‍වය නරක අතට හැරී තිබූ නිසා. මේ තත්ත්‍වය චීනය, ඉන්දියාව, පකිස්ථානය සහ බංග්ලාදේශය යන රටවල දැකිය හැකි කරුණක්. මේ රටවල ප්‍රධාන නගරවලට ඇතුළුවන වාහන ප්‍රමාණය සහ අධික ජනගහනය මෙයට සෘජුව දායක වනවා. මේ නිසා ඒ නගර විටින්විට නගරයට ඇතුළුවන වාහන සීමා කරනවා. මෙය රථවාහන පාලනයට, තදබදය අවම කිරීමට මෙන්ම වාතයේ තත්ත්‍වය ඉහළ නැංවීමට දායක වනවා. කොළඹ නගරයේ වායු දූෂණයට සියයට 60ක දායකත්‍වයක් ලබා දෙන්නේ නගරයට ඇතුළුවන රථවාහන බවට ගණන් බලා තිබෙනවා. අවාසනාවට ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ මානසික මට්ටම පොදු යහපත තකා කටයුතු කිරීමට සැකසී නැති නිසා, මේ නීතිරීති පැනවීමට රජයට හැකියාවක් නැහැ. එසේම රජයද, දීර්ඝකාලීන යහපතට වඩා ගැලරියට වින්දනය සැපයීමට කටයුතු කරන නිසා එය ද සිදු වන්නේ නැහැ. මේ තත්ත්‍වය පාලනය කිරීමට අනිවාර්යයෙන්ම වාහන සීමා කළ යුතුමයි. එසේම පරිසර හිතකාමී පොදු ප්‍රවාහන සේවාවන් වැඩි කල යුතුයි.
මෙවර අයවැයෙන් යෝජනා වූ විදුලියෙන් ක්‍රියාකරන වාහන ගෙන්වීම ඉහළ නැංවීම, පොදු ප්‍රවාහනයට විදුලි වාහන යොදා ගැනීම සහ වසර 2040 වනවිට ඉන්ධනවලින් ධාවනය වන වාහන මාර්ගවලින් ඉවත් කිරීම වැනි ප්‍රායෝගික සහ පරිසර හිතකාමී යෝජනාවන් අගය කළ යුතුමයි. නමුත් අවාසනාවකට ලාංකීය ජනසමාජය විවිධ දේශපාලන හේතූන් නිසා එවැනි යෝජනාවන් විවේචනය කරමින්, එය නොකෙරෙන තැනට කටයුතු කරනවා විනා, එය ප්‍රායෝගිකව කළ හැක්කේ කෙසේදැයි සිතා බලනවා අඩුයි. මේ නිසා මේ කටයුතු අඩාල වනවා විනා, ක්‍රියාවට නැංවෙන්නේ නැහැ. සංවර්ධිත රටවල් මේ ඉලක්ක සඳහා යන ගමන වේගවත් කර තිබෙනවා. ජර්මනිය සහ ප්‍රංශය, සිය විදුලිබල නිශ්පාදනයෙන් සියයට 80 ක්ම පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගන්නවා. ඒ රටවලට ඉන්ධන ආනයනය බොහොම සුළු කටයුත්තක්. එසේම සූර්යාලෝකය සැපයෙන්නේ දිනකට පැය හතරක් හෝ පහක් වැනි සුළු කාළයක්. නමුත්, ඒ රටවල මහජනතාව මෙන්ම රජය ද එකා වන්ව කටයුතු කරන්නේ පොදු යහපත වෙනුවෙන්.
රටේ කර්මාන්තවලින් සහ තාප- ගල්අඟුරු බලාගාරවලින් පිටවන කාබන් ඩයොක්සයිඩ් සහ අංශුමය අපද්‍රව්‍ය නිසා ද වාතය දූෂණය වනවා. මේ නිසා මේ විමෝචනයන් නිසි ලෙස නියාමනය විය යුතුයි. වාසනාවකට බොහොමයක් කර්මාන්ත කොළඹ නගරයෙන් ඈත්ව පිහිටුවා තිබීම නිසා කොළඹ නගරයේ වායුව දූෂණය වීම අවමයි. එසේම ඒ කර්මාන්ත සහිත පෙදෙස් හොඳින් වාතාශ්‍රය ලබන නිසා, දූෂීත වායුව පරිසරයේ ඉහළට විසිරී යන නිසා මිනිසුන්ට ඇතිවන ආචරණය අඩුයි.
ලංකාවේ පැවති රජයන් මෙන්ම පවතින රජයන් ද මේ තත්ත්‍වය සමනයට කටයුතු යොදා තිබෙනවා. වසර 2000 දී වායු තත්ත්‍වය නියාමනය කිරීමට ජාතික ප්‍රතිපත්තියක් සැකසීම, 2002 දී වාහන ඉන්ධනවල ඊයම් භාවිතය නැවැත්වීම, 2003 දී සල්ෆර් අඩු ඩීසල් ජාතික පද්ධතියට එකතු කිරීම, පහර දෙකේ ත්‍රී රෝද රථ එන්ජිම් තහනම් කිරීම සහ 2008 වසරේ දියත් කළ වාහන ලියාපදිංචියේදී වායු විමෝචන සහතිකය අනිවාර්ය කිරීම වැනි ඉතා වැදගත් නීතිරීති ක්‍රියාත්මක කිරීම මගින් මෙම තත්ත්‍වය පාලනයට කටයුතු යොදා තිබෙනවා. නමුත් රජයට පමණක්ම මේ කටයුත්ත සිදු කිරීමට නොහැකියි. අප ද, මේ තත්ත්‍වය පාළනයට එක් විය යුතුයි. එකතුවන කැලි කසල වෙන් කිරීම අප සිදු කළත්, බොහෝ දෙනෙකු පොලිතීන් පිළිස්සීම තවමත් සිදු කරනවා. පොලිතීන් සහ ප්ලාස්ටික් පිළිස්සීමේදී ඒවා සැකසීමට යොදා ගන්නා කාබනික සංයෝග දහන ඵල වශයෙන් වාතයට මුදාහැරෙනවා. එසේම දහනය වීමේදී ඩයොක්සීන් නම් අතිශය විෂ සහිත සංයෝගය නිකුත් වනවා. මේ ඩයොක්සීන් විසින් හෘද රෝග, ඇදුම, පිළිකා, ආදිය සෘජුව ඇති කරන අතර අපේ ශරීරවල තැන්පත්වීමද සිදු වනවා. මෙසේ තැන්පත් වන ඩයොක්සීන් මවකගෙන් දරුවාට සම්ප්‍රේෂණය වන්නට පුළුවන්. මෙය හෝමෝන පද්ධතිය වෙනස් කරන නිසා දරුවන්ගේ ලිංගික භාවය සම්බන්ධව බලපෑම් කළ හැකියි. සමහර රටවල අන්තර්-ලිංගිකයන් (Transgender) ජනගහනය වර්ධනය වීමට මෙය එක් හේතුවක් ලෙස සොයාගෙන තිබෙනවා. ඔබේ දරුවන් ගැහැණු හෝ පිරිමි ලිංගික අනන්‍යතාවයක් නැති පිරිසක් කිරීමට බලාපොරොත්තුවක් තිබේනම්, ඔබ ඉදිරියටත් ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය පිළිස්සීම කළ හැකියි. නමුත්, නව නීති මගින් ප්ලාස්ටික් හෝ පොලිතීන් අපද්‍රව්‍ය පිළිස්සීම තහනම් කර ඇති බව සහ එය දඬුවම් ලැබිය හැකි වරදක් බව බොහෝ දෙනා නොදන්නා කරුණක්.
එසේම අප බොහෝ දෙනෙකු තම තමන්ගේ ආගමට ඇති අධික ශ්‍රද්ධාව නිසාම සහ ඉක්මනින් නිවන් යාමේ අභිප්‍රාය නිසා හැකි සෑම අවස්ථාවකම හැකි පමණින් අධිකව සුවඳකූරු සහ සුවඳ කුඩු පිළිස්සීම, නිවසේ මෙන්ම ආගමික ස්ථානවලද දැකිය හැකි පොදු කරුණක්. මේ නිසා නිවස සහ ආගමික ස්ථාන දුමින් පිරී ගියත්, අප බොහෝ ශ්‍රද්ධාවෙන් ඒ දුම ආඝ්‍රාණය කරන්නේ ඉක්මනින්ම නිවනට ලඟාවීමට ඇති ආසාවෙන්. එය ඉතා නිවැරදි කරුණක්. මේ දුම ආඝ්‍රාණයෙන් ඔබේ ජීවිතය තරමක් කෙටි කර ගත හැකියි. ජීවිතය කෙටි කර ගැනීම මගින් සසර කෙටි විය හැකියි. මේ දුමෙහි ද විවිධ කාබනික සංයෝග අන්තර්ගතයි.
විශ සහිත දුමාරයක්, ශරීරයට අහිතකර අංශු සහිත වායුවක් ආඝ්‍රාණය කිරීම නිසා ඇතිවන ආචරණ, වායුව හෝ දුමාරය ආඝ්‍රාණය කරන කාල සීමාව, එහි සාන්‍ද්‍රණය, සහ වෙනත් පාරිසරික සහ ජෛවීය සාධක බලපානවා. මේ නිසා එසේ දූෂිත වාතයට නිරාවරණය වීම හැකිතාක් අවම කිරීම සෞඛ්‍යයට හිතකරයි. දැනට ලංකාවේ කර්මාන්තවල නියැලෙන බොහෝ දෙනා එසේ ක්‍රියාකිරීමේදී ආරක්‍ෂක වත්පිළිවෙත් අනුගමනය කරන්නේ නැහැ. බොහෝවිට තීන්ත ආලේපනය, වඩුවැඩ, මේසන්වැඩ, වෙනත් රසායන කර්මාන්ත ආදියෙහි නියැලෙන ඔබ අනිවාර්යයෙන්ම මුව වැස්මක් පැළඳිය යුතුමයි. මේ සියළුම කර්මාන්තවලින් ඉතා කුඩා ඇහැට නොපෙනෙන අංශූන් නිකුත් වනවා. මේවා අප පෙනහළුවලට ගොස් එහි තැන්පත් වූ පසු, ඇදුම වැනි පෙනහළු රෝග, විවිධ ආසාත්මිකතාවයන් මෙන්ම අවසානයේ පිළිකාවලටද අතවැනීමක් වනවා. මේ නිසා නිරතුරුවම මුව වැස්මක් පැළඳීම මගින් මේ අවදානම අඩු කරගත හැකියි.
දැන් දැන් රථවාහන නියාමනයේ යෙදෙන පොලිස් නිලධාරීන් මුව වැසුම් පැළඳ සිටිනු දැකීම සතුටට කරුණක්. ලංකාවේ කර්මාන්තවල නියැලෙන්නන් හැරුණුකොටගෙන වායු දූෂණයට වැඩිපුරම ලක් වන්නේ රථවාහන නියාමනයේ යෙදෙන පොලිස් නිලධාරීන්. ඔවුන්ගේ සෞඛ්‍යය ආරක්‍ෂා කිරීමට මුව වැසුම් අනිවාර්ය කිරීම ඉතා යහපත් කරුණක්.
වායු දූෂණය නිසා අපේ සෞඛ්‍යය පිරිහෙනවා සේම අපි අපේ අනාගත පරම්පරාවට ඉතිරිකර යන ලෝකයද අපවිත්‍ර වනවා. මේ නිසා හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතය, පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ ඒවා පිළිස්සීමෙන් වැලකීම, පරිසරයට දූෂිත අංශු එකතු කරන කටයුතුවලින් ඈත්වීම ඔබටත්, අනාගතයටත් සිදුකරන සුවිසල් ආයෝජනයක්.
ඒ වගේමයි……හඳුන්කූරු වැඩියෙන් පත්තු කළාට ඉක්මනින් නිවන් යන්නෙ නෑ……
Posted on ජනවාරි 2, 2018, in ඇල්කෙමියාගේ දිනපොත and tagged ගෑණු වගේ පිරිමි, ද්විලිංගිකයෝ, පිරිමි වගේ ගෑණු, පෙනහළු ආබාධ, පෙනහළු පිළිකා, රසායනික දුමාර, ලිංගික විකෘති, ලිංගිකත්වය, ලිංගිකභාවය, වායු දූෂණය, සංක්‍රාන්ති ලිංගිකයෝ, Plastics, Polythene Pollution, SEX, transgenders. Bookmark the permalink. ප්‍රතිචාරයක් ලබාදෙන්න.
ප්‍රතිචාරයක් ලබාදෙන්න
Comments 0