Author Archives: Alchemist

ලෝකයේ පෙනහැල්ල සිදුරු වෙයි…. තවමත් අපි බලා සිටිමු.


Amazon FIres

අපි බොහෝ දෙනෙකු නිවාඩුවක් එනතුරු බලා සිටින්නේ කොහේ හෝ විනෝදගමනක් යාමටයි. ඒ විනෝද ගමන් යන බොහෝ දෙනෙකුම පාහේ සොයා යන්නේ එක්කෝ දිය ඇල්ලක්, වනාන්තරයක්, කඳුපන්තියක් හෝ එවැනි උස් බිමක්, මුහුදු වෙරලක් ආදී ස්වභාව සෞන්දර්යයෙන් අනූන පෙදෙසක් විනා, කොන්ක්‍රීට් පිරුණු නගරය නොවේ. ඒ අප සියළුම දෙනා තුළ ජීවත්වන සත්ත්‍වයාගේ අවදි වීමයි. කවුරු කෙසේ කීවත් අප තවමත් කැමැත්තක් දක්වන්නේ ස්වභාවික පරිසරය හා බද්ධව ජීවත් වීමටයි. ඉඩක් ඇති තැනක් හෝ අවම වශයෙන් නිවස තුළ හෝ ගසක් පැලයක් වවන්නේ අප පරිසරයට දක්වන ඇල්ම බැල්ම මෙපමණක් කළක් ගියත් නොවෙනස්ව පවතින නිසායි.

වනාන්තරයකට හෝ ගස් වැල් පිරි කුඩා වනරොදකට වුවත් පිවිසුන විට අපට දැනෙන්නේ සුවදායී හැඟීමක්. වනරොදෙහි වූ තෙතමනය, සෙවන, තුරුලතා අතර ජීවත්වන සතුන්ගේ කිචිබිචිය, වෙහෙස වූ මනස සුවපත් කරනවා. ඒ වගේම තුරුලතා පිරිමැද හමන පිරිසිදු වායුව, අපේ පෙනහළු පුරවනවිට, වාතයේ ඇතිවන ධන ආරෝපිත අංශු අප සිරුර සුවපත් කරනවා. මේ නිසායි අපි මෙවැනි ස්ථානයකට ගියවිට ඉතාමත් සුවදායී හැඟීමක් ඇතිවන්නේ. කුඩා වනරොදක අසිරිය එවැනි නම්, අප රට මෙන් අසූපස් ගුණයක් පමණ සුවිසල් වනාන්තරයක ඇති ගාම්භීරත්‍වය, ගුප්ත බව, මහේශාක්‍ය බව කෙසේ විස්තර කරම්ද ?

දකුණු ඇමරිකාවේ රාජ්‍යයන් නවයක් පුරා පැතිරෙන, වර්ග කිලෝමීටර 5,500,000 ක් පුරා පැතිරුණ ඇමසන් වනය ලොව ජෛව විවිධත්‍වයෙන් වැඩිම වනාන්තරය වේ. එයින් සියයට 60 ක්ම බ්‍රසීලයටයි අයත් වන අතර ලොවෙහි අන් සියළුම වනාන්තර එක්ව ගත් කළ පවා ඇමසන් වනයට වඩා කුඩා වීම ඇමසන් වනයේ මහේශාක්‍ය බව මැනවින් කියාපායි. මේ නිසාම ශාක විශේෂ 16000 කට අයත් ශාක බිලියන 390 කින් සමන්විත මේ වනාන්තරයේ වටිනාකම පිළිබඳ කිසිදු විවාදයක් අනවශ්‍යය. ලොව ජීවත් වන සත්ත්‍ව විශේෂවලින් සියයට 10 ක්, කුරුළු විශේෂවලින් සියයට 20 ක්, කෘමී විශේෂ මිලියන 2.5 ක්, ක්‍ෂීරපායි විශේෂ  සහ කුරුළු විශේෂ 2000 කට අධික සංඛ්‍යාවක් මෙන්ම ඇමසන් වනය වාසස්ථානය කරගෙන සිටින විවිධ ගෝත්‍ර දහස් ගණනක් ද මෙයින් ජීවය ලබනවා.

ඇමසන් නිවර්තන වැසි වනාන්තරය ලෝකයේ නිවර්තන කලාපීය වැසි වනාන්තර තීරුවේ ප්‍රධානතම වැසි වනාන්තරයයි. ලෝකයේ වායුගෝලීය සමතුලිතතාවය, පෘථිවියේ උෂ්ණත්‍වය යාමනය මෙන්ම ජීව විවිධත්‍වයට මූලිකවම බලපාන මෙය නිර්මාණය වී ඇත්තේ ඉයෝසීන යුගයේ  (වසර මිලියන 55-33.9 අතර කාළයේ) යැයි ගණන් බලා තිබෙනවා. මුලින් මෙය වනාන්තරයක් ලෙසින් පැවතුනත්, ලොවෙහි ඇතිවූ අධික ශීත කාලයෙන් පසුව ක්‍රමයෙන් සැවනා වනාන්තර ගති ලක්‍ෂණ ද මේ වෙත එකතු වුනා. ඩයිනෝසරයන් වඳවී යාමත් සමගම ඇමසන් වනාන්තරය විශාලව පැතිරුණු අතර දේශගුණ විපර්යාස සමග වනාන්තරයේ ශාක සංයුතිය ද වෙනස් වුනා.

ඇමසන් වනය වයෝවෘධ වනාන්තරයක් වන අතර එහි වර්ධනය සිදු වන්නේ ඉතා සෙමින්, එසේම දීර්ඝ කාලයක් පසින් පෝෂක ලබා ගැනීම නිසාත් එහි පසෙහි වූ සමහර පෝෂක වර්ග ක්‍ෂය වී යාමක් දකින්නට පුළුවන්. මේ නිසාම ලෝකයේ සමබරතාවය මනාවට ඔප්පු කරමින් ඇමසන් වනයට අවශ්‍ය පෝෂණයෙන් 56% ක්ම, විශේෂයෙන්ම වනාන්තරයෙන් ඉවත් වන පොස්ෆරස් 100% ක්ම ලබා දීමට සැතපුම් 2600 ක් නැගෙනහිරින් පිහිටි සහරා කාන්තාරය ඉදිරිපත් වී තිබෙනවා. සහරා කාන්තාරයේ වූ දූවිලි අංශු අහසට එක් වී සුලං ධාරා හරහා අත්ලාන්තික් සාගරය තරණය කර අවසානයේ ඇමසන් වනාන්තරයට පතිතවන බව සොයාගෙන තිබෙනවා. එය චන්ද්‍රිකා ඡායාරූප වලින් ගණනය කර ඇති පරිදි සෑම වසරකම දූවිලි ටොන් මිලියන 182 ක් මෙසේ හුවමාරු වන අතර ඉන් ටොන් මිලියන 28 ක් ඇමසන් වනාන්තරය පෝෂණය කරමින් ඒ වෙත පතිත වන අතර ඉතිරිය අත්ලාන්තික් සාගරය, කැරිබියන් දූපත් ඒ අවට මුහුද පෝෂණය කරනවා. ඒ බව රසායනික සහ ද්‍රව්‍යමය සංයුතිය මනිනු ලබන පරීක්‍ෂණවලින් පවා තහවුරු කරගෙන තිබෙනවා. ඒ අනුව ලෝකයේ සමබරතාවය එය විසින්ම ඇතිකරගෙන ඇත්තේ එසේයි.

මෙසේ වසර මිලියන ගණනාවක් ලෝකයේ සමබරතාවය රැකගනිමින් අනේකවිධ සත්ත්‍ව විශේෂවලට සෙවණ සහ ජීවය ලබාදෙමින් සෙත සලසන ඇමසන් වනය මිනිසාගේ ආත්මාර්ථකාමීත්‍වය නිසාම දිනෙන් දින ලෝකයෙන් සමුගනිමින් පවතිනවා. විශේෂයෙන්ම දැව සඳහා වනාන්තරය එළි කිරීම නිසා දැනටමත් ඇමසන් වනයෙන් සියයට 20 ක් අහිමිව ගොස් තිබෙනවා. වසරකට වර්ග සැතපුම් 20,000 ක් අහිමි වන ඇමසන් වනයෙන් කපා ඉවත් කරන මහා වෘක්‍ෂයන් සංඛ්‍යාව බිලියන 7 ක් පමණ වනවා.  එනම් ලෝක ජනගහනයට වඩා තරමක් කුඩා ප්‍රමාණයක්. මෙසේ වන විනාශය සිදු වන්නේ 1960 න් පසු ඇමසන් නිම්නයේ ඛණිජ තෙල් සොයාගැනීමත් සමගයි. ඉන්පසු ලොව විශාලතම ඛණිජ තෙල් ගවේශක සමාගම්, කෙමෙන් කෙමෙන් වනය තුළට පිවිසෙන්නට වුනා. 1991 සිට 2000 දක්වා කාළය තුළ පමණක් වන විනාශය වර්ග සැතපුම් ලක්‍ෂ හයකට ආසන්නයි. විශේෂයෙන්ම ගව පාලනයට ඉඩ සලසමින් කිරිපට්ටි හිමියන් වනය ගිණිතබමින් වනය තණ බිමක් බවට පරිවර්තනය කිරීමේ උත්සාහය නිසා  සහ සෝයා බෝංචි වගාව සිදුකිරීමට අවශ්‍ය භූමිය සකසා ගැනීමට ඇමසන් වනය විනාශ කරමින් සිටිනවා. ලෝකයේ දෙවන විශාලතම සෝයා බෝංචි නිෂ්පාදකයා වන්නේ බ්‍රසීලයයි. නමුත් මෑතකදී කළ පර්යේෂණයකට අනුව ඇමසන් විනාශය නිසා සෝයා වගාවට ස්වභාවිකව ලැබෙන වැස්ස අඩු වී තිබෙන අතර ඵලදාව වර්ධනය වීමක් සිදු වී නැහැ.

ඇමසන් වනයේ හෝ වෙනත් වනාන්තරයක ලැව්ගිණි ඇතිවීම ස්වභාවිකයි. නමුත් ඇමසන් වැනි නිවර්තන වැසි වනාන්තරයක මෙපමණ කාළයක් දැවෙන, විශාල වපසරියක් පුරා විහිදී පැතිරෙන ගින්නක් අස්වාභාවික බවයි පරිසර විශේෂඥයින්ගේ මතය. මේ ගින්න අද ඊයේ ඇතිවූවක් නොවෙයි. ඇමසන් වනයේ ගිණි ගැනීම් පටන් ගත්තේ 2019 වසරේ ජනවාරි මාසයේ පමණ, නමුත් එය නිසි පාලනයකට යොමු කිරීමේ දේශපාලනික අපොහොසත්භාවය සහ බ්‍රසීල ජනාධිපති Jair Bolsonaro ගේ පරිසර හිතකාමී නොවන ප්‍රතිපත්ති නිසා මේ ගින්න පාලනය කළ නොහැකි තත්ත්‍වයට පත් වී ඇති බව පරිසර විද්‍යාඥයින්ගේ මතයයි. මේ වනවිට බ්‍රසීලය තුළ විවිධ ප්‍රමාණයන්හි ලැව්ගිණි 80,000 ක් වෙන් වෙන්ව පැතිරෙමින් පවතිනවා. ඉන් අඩක්ම ඇමසන් වනයේ ඇතුලත සිදු වනවා. එය ගිය වසරට වඩා 83% ක වැඩිවීමක්.

ඇමසන් වනාන්තරයේ ඇති ශාක ප්‍රමාණය මගින් ලෝකයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයෙන් සියයට 20 ක් ලබා දෙන බවට මතයක් තිබෙනවා. එය සත්‍ය වශයෙන්ම ලොව ඇති කාබන් ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් ශක්තිය වශයෙන් තිර කිරීමක් සිදු වන අතර කාබන් සංචිතය යාමනයට සිදු කරන ඉමහත් පිටිවහලක්. මේ නිසයි ඇමසන් වනාන්තරය ලෝකයේ පෙනහළු ලෙසින් නම් දරා සිටින්නේ…නමුත්, මේ වනවිට මේ ඔක්සිජන් නිකුත් කිරීම නැවතී, වන දහනය නිසා පිටවන කාබන් ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් වායුගෝලයට නිරන්තරයෙන් එකතු වෙමින් පවතිනවා. ඇමසන් වනයේ පිහිටි ස්වභාවික සදාහරිත තෙත් ස්වභාවය නිසාම එය නිරායාසයෙන් ගිණි ගැනීමට ප්‍රතිරෝධයක් දක්වයි. නමුත් දැන් දැන් සැවනා තත්ත්‍වය වර්ධනය වීම නිසාත්, සෝයා වගාව සහ ගව පාලනය වෙනුවෙන් සිදු කරන ගිණිතැබීම් පාලනයකින් තොරව සිදුවීම නිසාත් මේ ගිණිගැනීම දැන් ව්‍යසන තත්ත්‍වයකට පත් වී ඇති බව පැහැදිලියි.

මෙසේ ඇමසන් වනය ගිණි ගැනීම දකුණු ඇමරිකාවට පමණක් බලපාන සංසිද්ධියක් විය හැකි බවට කිසිවකුට තර්ක කළ නොහැක්කේ, මුළු ලෝකයම එකම වායුගෝලයකින්, ජලගෝලයකින් ආවරණය වී ඇති නිසායි. එයින් වායුගෝලයට මුදාහැරෙන කාබන් ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් ඉහළ වායුගෝලයට මුසු වී දැන් දැන් වර්ෂාව මගින් පොළව මතුපිටට වැටෙමින් පවතින අතර, එය පහළ වායුගෝලයට ද එක් වී හමාරයි. චන්‍ද්‍රිකා ඡායාරූප මගින් සනාථ වන කාබන් දූවිලි වලාව මුළු බ්‍රසීලයත්, ආජන්ටිනාව සහ වෙනත් රටවල් කරා ද පැතිරෙමින් පවතිනවා. මෙය ලෝක වායුගෝලයට මුසුවන්නට සුවිසල් කාලයක් ගත වන්නේ නැහැ. මෙසේ පාලනයකින් තොරව ඇමසන් විනාශය සිදු වුවහොත් තවත් වසර විස්සකින් ඇමසන් වනාන්තරය අපට අහිමි වීමේ අවදානමක් ඇති බවට පරිසර විශේෂඥයින් අනාවැකි  පළකර තිබෙනවා.

මෙසේ පරිසරයට එකතුවන කාබන් ඩයොක්සයිඩ් සහ මොනොක්සයිඩ් ක්‍ෂණිකව ඉන් ඉවත් නොවන නිසා සමහරවිට සුළු ප්‍රමාණයක කාබන් ඩයොක්සයිඩ් සංයුතියේ ඉහළ යාමක් බලාපොරොත්තු විය හැකියි. එසේම මෙම ගින්න නිසා ඉහළ වායුගෝලයට යන කාබන් අංශු ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු මතට පතිත වීම නිසා එමගින් පරාවර්තනය වන ආලෝක ප්‍රමාණය අඩුවී අයිස් තට්ටු උණුසුම්වීම පවා සිදුවිය හැක. මේ නිසා ඇන්ටාක්ටිකාවේ අයිස් දියවීම ද සීඝ්‍රවීමේ අවදානමක් පවතී, දැනටමත් ලෝකයේ සමුද්‍ර ජලමට්ටම මිලිමීටර දශම ගණනකින් ඉහළට යමින් පවතින අතර, මේ දියවීම වේගවත් වුවහොත් නැවතිය නොහැකි චක්‍රයක් බවට මෙය පත්විය හැකියි. දැනටමත් බටහිර ඇන්ටාක්ටික් අයිස් තට්ටුව මානව ක්‍රියාකාරකම් නිසා දියවෙමින් පවතින බවට සාක්‍ෂි මගින් තහවුරු වී තිබෙනවා.

වැසි වනාන්තර ගිණිගැනීම ස්වභාවික මෙන්ම ඒවා නැවත වර්ධනය ද ස්වභාවික ය. සාමාන්‍යයෙන් වැඩුනු පැරණි වනාන්තරයක තිර කරන කාබන් ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් නව, වැඩෙමින් පවතින වනාන්තරයක තිර වනවා. ඒ ශාක වර්ධනයට අවශ්‍ය ශක්තිය, අමුද්‍රව්‍ය ඉක්මනින් තිර කිරීම නිසා. සමහරවිට මේ තත්ත්‍වය නිසා මේ වැඩි වූ කාබන් ප්‍රමාණය ඉක්මනින්ම වායුගෝලයෙන් අවශෝෂණය වී ඇමසන් වනාන්තරය නැවතත් කාබන් තිර කිරීමේ බැංකුවක් බවට පත් විය හැකියි. නමුත් වසරකට සිදුවන වන විනාශය යම් තරමකට හෝ නවතාලිය හැකි නම් මෙහි ආචරණ වැඩියෙන් ලබාගත හැකියි. කෙසේ නමුත්, අප සිදු කළ පරිසර විනාශයෙන් සහ දැනටමත් සිදු කරමින් පවතින විනාශයන් නිසා වනාන්තර ප්‍රමාණය අඩුවීම, කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යාම, ග්ලැසියර දියවීම, මුහුදු මට්ටම ඉහළ යාම, දැඩි ස්වභාවික විපත්, ආහාර හිඟයක්, ජල හිඟයක් ඇති වීම ආදිය විෂමාකාර චක්‍රයක් මෙන් අපටම බලපෑම් කරනු ඇත. පරිසරයට අනුවර්තනය විය හැකි වුවත්, මේ සිදුවන වෙනස්වීම් වලට අනුගත නොවිය හැකි සතුන් සදහටම පරිසරයෙන් තුරන් වී අන්තර්ජාලය බිත්තියක එල්ලී සිටින සතුන් පිරිසක් පමණක් වනු ඇත.

අපි… කුමක් කරමුද ?

Advertisements

ALCHEMIST ACADEMY


AWAIT FOR MORE INFORMATION…… !

Teaser 0

සුපිරි මිනිසුන් තැනීමේ චීන වෑයම සඵල වේද ?


සුපිරි මිනිසුන්

අප බොහෝ දෙනෙකු කුඩා කාළයේ කිසියම් කාළයක සුපිරි වීරයෙකු වීමට සිහින මවන්නට ඇති. ඈත අතීතයේ අපේ අම්මලා තාත්තලා, සීයලා ආච්චිලාට වීරයන් වූයේ සැබෑ ලොව ජීවත් වූ ගොංගාලේගොඩ බණ්ඩා, වීර පුරන් අප්පු, මද්දුම බණ්ඩාර, වැනි දේශප්‍රේමීන්ද – වලිසිංහ හරිස්චන්‍ද්‍ර, ශ්‍රීමත් අනගාරික ධර්මපාල, එස් මහින්ද හිමි වැනි දේශමාමක වීරයන්ද වූවත්, නව පරපුරට වීරයන් වන්නේ සුපර්මෑන්, බැට් මෑන්, අයන්මෑන්, ෆ්ලෑෂ්, බෙන් ටෙන් වැනි කල්පිත වීරවරයන් ය. තාක්‍ෂණය නිසා ඔවුන්ට ලැබෙන අතථ්‍ය පරිකල්පනය (Virtual Imagination) නිසා ඔවුන් සැබෑ ලෝකයෙන් ඔබ්බෙහි වූ අසාමාන්‍ය දෑ පිළිබඳ සිහින මැවීමට පුරුදු වී සිටිති. සිහින මැවීම සහ පරිකල්පනය දරුවන්ට ඔබින සහ අවශ්‍ය කරුණකි. එමගින් ඔවුන්ගේ මොළය වෙනත් මානයන් කරා ක්‍රියාකාරී වේ. මේ සිහින මවන දරුවන් අනාගතයේ ඇදහිය නොහැකි විශ්මයජනක සොයාගැනීම් සිදු කරනු ඇත. STEM අධ්‍යාපන ක්‍රියාකාරකම් වලින් කරන්නේද මේ සමෝධානිත ඉගැන්වීම් ක්‍රම මගින් දරුවන්ගේ පරිකල්පනය නව මානයකට ගෙන යාමයි. එසේ සිහින මැවූවන් විසින් වර්තමාන ලෝකයේ කරන සොයාගැනීම් ද විශ්මය දනවනසුළු නිර්මාණ වේ.

මේ අතර කෘත්‍රිම බුද්ධිය භාවිතා කරමින් සැකසුනු නවතම ස්වයංක්‍රීය රොබෝවරිය වන Sophia, ස්වයංව ධාවනය වන මෝටර් රථ, සත්ත්‍ව ක්ලෝනීකරණය, නැනෝතාක්‍ෂණික යෙදවුම් වැනි අනේකවිධ නිර්මාණ දිනපතා නව ලෝකයේ නව මානයන් ඇතිකරමින් මිනිසා තාක්‍ෂණිකව ඉදිරියට ගෙන යයි. මේ නිර්මාණ අතර මිනිසා අමරණීය කිරීම, HIV, ඇල්ශයිමර්, පිළිකාව වැනි රෝගවලට නිට්ටාවට බෙහෙතක් සොයා ගැනීම වැනි වෛද්‍ය විද්‍යාත්මකව මිනිස් ජීවිත වෙනස් කරවන පර්යේෂණවල ජයග්‍රහණයන් නිරන්තර අපට අසන්නට ලැබේ.. අවාසනාවකට ලංකාවේ අසන්නට ලැබෙන්නේ අතිශය ප්‍රාථමික කිසිදු ප්‍රගමනයකට දායක නොවන දේශපාලනික සහ සමාජයීය තොරතුරු පමණකි.

දැන් දැන් වෛද්‍ය විද්‍යාව, ජීව රසායනික විද්‍යාව වැනි අනෙක් අංශ වලින් මෙන්ම, ජීව ඉංජිනේරු විද්‍යා තාක්‍ෂණය අතරින් ද ඉදිරියට ගමන් කරමින් ලෝකයේ ඉතා දියුණු සහ නවීනතම නිර්මාණයන් කරමින් පවතී. 1996 දී බිහිකළ ලෝකයේ ප්‍රථම ක්ලෝණීකරණය කළ ක්‍ෂිරපායි සත්ත්‍වයා වූ ඩොලී නම් බැටළුවාගේ පටන් ජීව ඉංජිනේරු විද්‍යාව මේ වනවිට සෑහෙන දුරකට ගමන් කර ඇත. මිනිසා මානව ජිනෝමය වෙනස් කරන්නට පටන් ගත්තේ අද-ඊයේ නොවේ. මීට වසර දහස් ගණනකට පෙර, එඬේර යුගයේ පටන් මිනිසා විසින් තමන්ගේ සත්ත්‍ව රංචුවක වූ තෝරාගත් සතුන් මගින් සිදු කළ වරණාත්මක අභිජනනය (Selective Breeding) මගින් තමන්ට අවශ්‍ය, හොඳ තත්ත්‍වයේ හෝ නිරෝගී හොඳින් වැඩුනු, වඩා වැඩි කිරි, මස් ආදිය ලබා ගැනීමට කටයුතු කළා. මේ උපයොගීතාවය මගින් වසර දහස් ගණනක් තිස්සේ පරම්පරා ගණනාවක් ඔවුන් තමන්ට අවශ්‍ය අන්දමේ සතුන් සහ ශාක අභිජනනය කර ගත්තා. එයට නව නැම්මක් ඩොලී ජනිත කිරීම මගින් ලබා ගත්තත්, එහි ඇති සංකීර්ණත්‍වය නිසාම, අපේක්‍ෂා කළ අන්දමේ සාර්ථකත්‍වයක් ක්ලෝනීකරණය මගින් ලබා ගැනීමට මෑතක් වනතුරුම ජාන ඉංජිනේරු විද්‍යාව සමත් වූයේ නැහැ.  නමුත්, 1970 ගණන්වල සිට කරළියට පැමිණි ජාන වෙනස් කර ජීවීන්ගේ ගතිලක්‍ෂණ වෙනස් කිරීම (Genetic Modifications) මගින් ජාන සහසංයෝජනය කර රෝගවලට ප්‍රතිරෝධක බැක්ටීරියා නිපදවීම සිදු වීමත් සමග ජාන ඉංජිනේරු විද්‍යාව නව මාවතකට පිවිසියා.

1976 දී හර්බට් බෝයර් සහ රොබට් ස්වොන්සන් විසින් ලොව ප්‍රථම ජාන ඉංජිනේරු ආයතනය ලෙස ජෙනෙන්ටෙක් (Genentech) ආරම්භ කර, ඉන් වසරකට පසුව E.coli බැක්ටීරියා තුළ මිනිස් ප්‍රෝටීන් (Somatostatin) නිෂ්පාදනය කළා. ජෙනෙන්ටෙක් ජානමය වශයෙන් නිර්මාණය කළ මානව ඉන්සියුලින් නිෂ්පාදනය නිවේදනය කළේ 1978 දී. මෙය ජාන ඉංජිනේරු විද්‍යාවේ මෙන්ම වෛද්‍ය විද්‍යාවේද වැදගත් සංධිස්ථානයක් වුනා. 1974 දී රුඩොල්ෆ් ජේනිෂ්ච් විසින් ලොව ප්‍රථම ජාන වෙනස් කළ මීයෙකු “නිෂ්පාදනය” කළා.

සෑම ජීවියෙකුගේම පාහේ ජානමය තොරතුරු සම්ප්‍රේෂණය කරන්නාවු DNA සහ ජාන කොටස් කපා වෙනත් ජාන සමග බද්ධ කර තමන්ට අභිමත ලක්‍ෂණ ඇති ශාක සහ සතුන් ලබා ගැනීම දැන් ඉතා දියුණු සහ ජනප්‍රිය තාක්‍ෂණයක් බවට පත් වී තිබෙනවා.

මේ නිසා පලිබෝධකයන්ට ඔරොත්තු දෙන, වැඩි පෝෂණ ගුණයක් ඇති, විවිධ වර්ණවලින් යුත්, සහ විශාලත්‍වයෙන් වැඩි එළවලු – පළතුරු මෙන්ම සතුන් ද නිපදවා ගැනීමට අප සමත් වී තිබෙනවා. සතුන් සහ ශාක මෙසේ සකස් කළ හැකිනම්, මිනිසුන් ජානමය වශයෙන් වෙනස්කර ඔවුන්ගේ විවිධ දුබලතා මග හරවා ගැනීම සහ නව දක්‍ෂතා ඔප්නැංවීම කළ නොහැක්කක්ද යන්න සෑම ජාන විද්‍යාඥයෙකුගේම සිතෙහි ඇති වූ ප්‍රශ්නයක්. නමුත්, එය වඩා සංකීරණ වන්නේ මානව සදාචාරාත්මක ප්‍රශ්න රාශියක් සහ අප නොසිතන අන්දමේ ප්‍රතිඵල එයින් අත්විය හැකි නිසා.

සතුන්ගේ සහ මානව ජිනෝමය සිතියම්ගත කර තිබුණත්, ඒ ඒ ජාන තනිව ක්‍රියා කරන්නේද? නැතහොත් ජාන අන්තර් සම්බන්ධතා මගින් මානව සහ සත්ත්‍ව ක්‍රියාකාරකම්, ගති ලක්‍ෂණ පාලනය වෙන්නේද යන සංකීර්ණ ප්‍රශ්නයට තවමත් උත්තර ලැබී නැහැ.

CRISPR (Clustered Regularly Interspaced Short Palindromic Repeats) නමින් හැඳින්වෙන්නේ බැක්ටීරියා ප්‍රෝකැරියෝටික ජීවීන්ගේ ජීනෝමයන් තුළ පවතින එක්තරා DNA කොටසක්. මෙම කොටස් බැක්ටීරියාවන්ට ආසාදනය වූ වෛරස් වලින් කැඩී ගිය DNA කොටස් වලින් ව්‍යුත්පන්න වී ඇති අතර ඉන් පසුව ඇතිවන ආසාදනයන් මේ හා සමාන DNA වලින් හඳුනා ගැනීමට හා විනාශ කිරීමට භාවිතා වේ. මෙය බැක්ටීරියාවල ආරක්‍ෂණ උපක්‍රමයක්.

CAS9 (CRISPR-associated protein 9) යනු මේ CRISPR කොටස් හඳුනාගෙන ඒ කොටස් කපා ගන්නනට භාවිතා කරන එන්සයිමයක්. මේ තාක්‍ෂණ දෙක එකට එකතු කිරීම CRISPR-Cas9 ලෙසින් හඳුන්වනවා. මෙමගින් ජීවීන් තුළ ජාන සංස්කරණය කිරීම කළ හැකි වනවා. දැන් මෙය ජාන ඉංජිනේරු විද්‍යාවේ බහුලව භාවිතා වන උපක්‍රමයක්. මේ මගින් මානව සෛලවල සමහර ජාන ක්‍රියාත්මක කිරීමටත්, තවත් සමහර ජාන අක්‍රීය කිරීමටත් යොදා ගන්නවා. මේ මගින් සමහර සුව කළ නොහැකි ලෙඩරෝග පාලනය කිරීමට හැකිවන බව විද්‍යාඥයන් විශ්වාස කරනවා. දැනටමත්, ජාන වෙනස් කිරීම භාවිතයෙන් වැඩිපුර ජෛව ඉන්ධන ප්‍රමාණයක් ලබා දෙන බෝග වර්ග සැකසීම, රෝග සම්ප්‍රේෂණය කළ නොහැකි මදුරුවන් වැනි දෑ තනා අවසානයි. මෙය ඉදිරියේදී ඩෙංගු, මැලේරියා වැනි රෝග මර්ධනයට යොදාගත හැකි වනවා.

මේ පර්යේෂණ සාර්ථක කරගැනීම අතින් අන් රටවලට වඩා චීනය ඉදිරියෙන් සිටිනවා. දැනටමත් චීනය ක්ලෝනීකරණය මගින් බොහෝ ඉදිරියට ගොස් අවසන්. මෑතකදී සිදු වූ නවතම සොයාගැනීම වන්නේ එකළ බීජිං නුවර පොලීසියේ සේවය කළ මිනීමැරුම් අපරාධ අනාවරණය කර ගැනීමේ සුවිශේෂී දක්‍ෂතාවයක් තිබූ පොලිස් බල්ලන් අතර ශර්ලොක් හෝම්ස් නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වුනු  Huahuangma නම් බැල්ලගේ  ක්ලෝන මගින් එම දක්‍ෂතාවයම ඇති සර්ව සම පොලිස් බල්ලන් කණ්ඩායමක් තනාගැනීමයි. ඇගේ පළමු ක්ලෝනය වන Kunxun සිය පූර්වතමයා සමග 99.9% ක DNA සැසඳීමක් ඇති බවත්, දැනටමත් සම වයසේ අන් බල්ලන්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටින බවත් පරීක්‍ෂණ වලින් සනාථ කර තිබෙනවා. මෙමගින් වසර පහක් තුළ බල්ලකු පුහුණු කිරීමට වැයවන ඇමරිකානු ඩොලර් 66000 ක මුදල ඉතිරි කර ගැනීමටත් පොලිස් දෙපාර්තමේන්තුවට මෙවැනි බල්ලන් හමුදාවක්ම තනා ගැනීමටත් ඔවුන් අදහස් කරනවා.  බල්ලන්ට මෙසේ පර්යේෂණ කරද්දී ඔවුන් මානව පර්යේෂණයන් මගින් ද ඉතා ඉදිරියට ගොස් තිබෙනවා.

ඒ අතරම චීනය මෑතකදී කළ එක් හපන්කමක් වන්නේ මිනිසකු ක්ලෝනීකරණය කිරීමයි. මෙය කෙතරම් සදාචාරාත්මකදැයි ප්‍රශ්නයක් පැන නැඟුනත්, ඔවුන් කෘත්‍රිමව නිර්මාණය කළ දරුවන් (Designer Babies) තැනීමට දැන් දැන් කටයුතු කරමින් පවතිනවා. මෙහිදී ක්ලෝනීකරණයට අමතරව CRISPR-Cas9 භාවිතා කර ජාන තමන්ට අවශ්‍ය පරිදි සංස්කරණය කිරීමටත් ඔවුන් සිදු කරනවා. චීනයේ Southern University of Science and Technology in Shenzhen විශ්ව විද්‍යාලයේ He Jiankui නම් විද්‍යාඥයා විසින් කළල 22 ක සිදු කළ DNA වෙනස්කම් මගින් කළල දෙකක් සාර්ථකව වර්ධනය වන බවට පසුගිය වසරේ අනාවරණය කළා. මෙය සදාචාරාත්මකව විද්‍යා ක්‍ෂෙත්‍රයේ විශාල කම්පනයක් ඇති කළ අතර පසුව ඔහු සේවයෙන් පහ කිරීමටත් කටයුතු සිදු වුනා. එහිදී ඔහු උත්සාහ දරා ඇත්තේ HIV වෛරසයට සෛල වලට ඇතුළුවීමට උපයෝගී වන ප්‍රෝටීන සහිත මාර්ගය විවෘත කරන CCR5 නම් ජානය අක්‍රිය කිරීම මගින් HIV රෝගයට ඔරොත්තු දෙන දරුවකු නිෂ්පාදනය කිරීමයි.

මෙහිදී සිදු කර ඇත්තේ  පියාගේ ශුක්‍ර තරලයෙන් තනි ශුක්‍රාණුවක් වෙන්කරගෙන මවගේ ඩිම්බයකට කෘත්‍රිමව ඇතුළු කර, කෘත්‍රිම සිංචනයක් සිදු කිරීමයි. ඉන් පසුව CRISPR-Cas9 ජාන සංස්කරණය සිදු කර එයින් ඇතිවන කළලය දින තුනත් පහත් අතර එම ජාන සංස්කරණය වී ඇතිදැයි පරීක්‍ෂා කර ඇත. ජාන සංස්කරණය වූ කළල 16 කින් 11ක් තෝරාගෙන දෙක බැගින් මව්වරුන්ගේ ගර්භාෂ තුළ තැන්පත් කර ඇත.  ඉන් වර්ධනය වූ දරුවන් දෙදෙනකු වන Lulu සහ Nana උපත ලබා ඇත්තේ 2018 නොවැම්බර් 25 වන දිනයි..

මේ ආකාරයෙන්ම CCR5 ජානය අක්‍රීය කළ මීයන් HIV ආසාදන වලට ඔරොත්තු දෙන බවට සනාථ වී ඇති අතර ඊට වඩා පුදුමාකාර සොයාගැනීමක් ඉන් ලැබී තිබේ. එනම් ඒ මීයන් අන් මීයන්ට වඩා බුද්ධි මට්ටමින් ඉහළ බවයි. මේ සම්බන්ධයෙන් පර්යේෂණ කරන වෙනත් පර්යේෂකයින් ද මීට පෙර වෙනත් ජාන 140 ක් විවිධ අවස්ථාවල වෙනස් කරමින් මීයන්ගේ බුද්ධි මට්ටම ඉහළ දැමීමේ උත්සාහයන් දරා ඇති නමුත්, දැනෙන මට්ටමේ සාර්ථකත්‍වයක් ලබා ඇත්තේ CCR5 ජානය අක්‍රිය කිරීම නිසා බව දැන් සනාථ වී ඇත.

මේ නිසා HIV ආසාදන වැලකීමට අමතරව දැන් ඒ ජානය අක්‍රිය කිරීම නිසා ලැබෙන දරුවන් අසාමාන්‍ය බුද්ධි වර්ධනයකට හිමිකම් කීමටද හැකියාවක් ඇත. මේ දරුවන් තවමත් ඉතා කුඩා නිසා ඔවුන් අන් දරුවන් හා සැසඳීමට තවමත් කල්වේලා මද බවයි ඔවුන්ගේ හැඟීම. නමුත්, නුදුරු අනාගතයේදීම Lulu  සහ Nana අන් දරුවන්ට වඩා බුද්ධියෙන් වැඩි වේ දැයි සොයාගන්නට ලැබෙනු ඇති.

ඔවුන්ගේ වර්ධනයත් සමගම මේ ජාන අක්‍රීය කිරීම මගින් ඔවුනට වෙනත් අතුරු පළ ලැබී ඇතිදැයි ද යන්න සොයා ගන්නටද විද්‍යාඥයින්ට හැකි වනු ඇති. ඔවුන් HIV ආසාදනයන්ට ප්‍රතිරෝධී ද, වෙනත් රෝගකාරක වලට සංවේදීද යන්න සහ ශාරීරිකමය මානසිකමය වශයෙන් වෙනස් ද යන්න ද හඳුනාගැනීමට හැකි වනු ඇත.

මීට පෙර සුපිරි මිනිසකු නිර්මාණය කිරීමේ තරඟයේදී විද්‍යාඥයින්ගේ වෑයම වී ඇත්තේ වැඩුනු මිනිසුන්ගේ සිරුරු වලට නිර්මාණය කළ ලෝහමය අවයව සවි කර Bionic මිනිසකු නිර්මාණය කිරීමයි. එහිදී ඔහුගේ/ඇයගේ ශරීර ශක්තිය සහ දරාගැනීම වැනි බාහිර දැනෙන සහ පෙනෙන ගතිගුණ වෙනස් කළ හැකි අතර, නැවත නැවතත් ඒ අවයව හෝ ශරීර කොටස් ප්‍රතිස්ථාපනය කළ හැක. නමුත් එය බාහිරව ඒ පුද්ගලයා රොබෝවරයෙකු මෙන් දිස්වන අස්වාභාවික ගතියක් පෙන්නුම් කරයි. එසේම අභ්‍යන්තර අවයව ගතහොත් ඒවා කිසියම් මොහොතක ප්‍රතික්‍ෂේප වීමේ සම්භාවිතාවය ද වැඩිය. නමුත්, ජාන වෙනස් කිරීමෙන් තනනු ලබන සුපිරි මිනිසා, ස්වභාවික සහ කිසිවකුට පැහැදිලිව වෙන් කර හඳුනාගත නොහැකි කෙනෙකු වනු ඇත. එසේ වුවත්, ඒ පුද්ගලයාගේ මානසික ස්වභාවයන් ජාන වෙනස් කිරීම නිසා කෙසේ වෙනස් වේදැයි කිසිවකුට පුරෝකථනය කළ නොහැක.

කෙසේ නමුත්, ස්වභාවයෙන් පරිණාමය වූ මිනිසා ස්වභාවය විසින් සකසා ඇත්තේ එයට හොඳටම සරිලන ආකාරයටයි. මෙය වෙනස් කිරීමට යාමෙන්  ලෝකයේ ආගමික පදනමට මරු පහරක් වන අතරම, සදාචාරාත්මකව ද ප්‍රශ්නයක් වන්නේ ඔවුන් එම පර්යේෂණ ක්‍රම භාවිතයෙන් අධික ශක්තියක් ඇති, කිසිදු හැඟීමක් නැති රොබෝවරු මෙන් කාර්මික හමුදාවන්, යුධ මානසිකත්‍වයෙන් අනූන මිනිසුන්, කිසිදා නොදුටු ආකාරයේ සතුන් ආදිය “නිෂ්පාදනය” කිරීමට ඇති හැකියාව නිසායි. දැනටමත් විද්‍යාගාරවල විවිධ සතුන්ගේ මස් කොටස් පමණක් නිෂ්පාදනය කිරීම පර්යේෂණ මට්ටමින් සිදු කෙරෙනවා.

මේ පර්යේෂණ මෙතැනින් නොනැවතී සුපිරි බුද්ධියක් මෙන්ම සුපිරි ශාරීරික ශක්තීන් ඇති, අසාමාන්‍ය හැකියාවන් ඇති, X-Men ආකාරයේ මිනිසුන් සමූහයක් ඉදිරියේදී ඇති නොවන්නේ යැයි කිසිවෙකුට අනුමානයක් කළ නොහැක. එසේ නමුත් අපේ  රටේ මිනිසුන්ට දැනට  තිබෙන බුද්ධිය වත් පාලනයට සිහියක්, හැකියාවක් තවමත් නැති නිසා අප දැන්ම ඒ ගැන බිය විය යුතු නැත. නමුත්, හැඩරුව හැසිරීම, කාර්යක්‍ෂමතාවය එකසේ ඇති එකම විදියේ චීන මිනිසුන් සමූහයක් ගැන නම්… ලොවම ප්‍රවේශම්විය යුතු කාළය එළඹෙමින් පවතී.

නොපෙරුණු සඳ එළිය සමග එන මරණයේ පණිවුඩය…


Illicit Liquorමිනිසා දැන් භාවිත කරන බොහෝ දෑ සොයා ගත්තේ මානව ශිෂ්ඨාචාරයේ මූලික අවධියේදී මය. සතුන්ගෙන් හෝ පරිසර උවදුරුවලින් සම ආරක්‍ෂා කර ගන්නට කොළ අතු අඳින්නේද, ඉන් පසු සත්ත්‍ව සමින් කළ ඇඳුම්, රෙදි පිළි දක්වා විකාශය වූයේ ද මිනිස් අවශ්‍යතා පරිපූර්ණ කර ගැනීමට දැරූ වෙහෙස නිසා මය. මිනිසාගේ මූලික අවශ්‍යතා සම්පූර්ණ වූ පසු මානවයා අවතීර්ණ වූයේ ජීවිතය පහසු කරන දෑ සහ තමන්ගේ බලය-තේජවන්ත භාවය තහවුරු කිරීම ප්‍රදර්ශනය කිරීම ආදී දේ සපයා ගැනීමේ ක්‍රියාවලියටයි. ඒ නිසාම කාර්මික විප්ලවය හරහා විවිධ යන්ත්‍ර සූත්‍ර නිපදවීම, ඛණිජ තෙල් සොයා ගැනීම සහ භාවිතය, ඒ හරහා මෝටර් රථ, ගුවන් යානා, ආදිය නිපදවීම සහ බලය තහවුරු කර ගැනීමට අවි ආයුධ නිෂ්පාදනය සිදු විය. හතරවන කාර්මික විප්ලවය සහ තාක්‍ෂණය දියුණු වීම හරහා දැන් දැන් සිදු වන්නේ මානව සබඳතා වලින් තොරවම සිය කටයුතු සිදු කර ගැනීම, සියල්ල ඉතා ඉක්මනින් ඉටු කරමින් මානව කාර්යක්‍ෂමතාවය, ඵලදායීතාවය උපරිම කිරීම, අඩු පිරිවැයකින් වැඩි ලාභ ඉපයීමේ ක්‍රම සොයා ගැනීමයි.

මේ හා සමගාමීව මිනිසා විනෝදාස්වාදය සඳහා ද කළ නිපැයුම් කාලයෙන් කාලයට වෙනස් වූවා. වෙහෙස නිවා ගැනීමට ගසක කඳකට තට්ටු කරමින් තනුවක් මිමිණූ ආදි මිනිසා, සංගීත භාණ්ඩ විවිධාකාරයෙන් නිපදවා, එය සංධ්වනියක් බවට පත් කළා. ඉනුදු නොනැවතී දැන් ස්වයංක්‍රීයව සංගීතය නිර්මාණය කරන කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝ සංගීත අධ්‍යක්‍ෂකවරු පවා නිපදවී අවසන්.. සංගීතය හෝ වෙනයම් කලා නිර්මාණයක් විඳීම ද කාලයත් සමග වෙනස් වෙමින් පවතිනවා.

මානව ශිෂ්ඨාචාරය එසේ කෙතරම් ඉදිරියට ගියත්, සමහර ප්‍රාථමික දෑ ඒ ආකාරයෙන්ම විකාශය නොවී තිබීමත් අපූරුයි. මිනිස් හැඟීම් සහ ඒවාට දක්වන ප්‍රතිචාර තවමත් ප්‍රාථමිකයි. එදා වූ ඒ ගෝත්‍රික සමාජමය ගති ලක්‍ෂණ තවමත් ඕනෑම සමාජයක දැකිය හැකි අතර, රටෙහි වූ අධ්‍යාපනික සහ අධ්‍යාත්මික නැඹුරුව අනුව එම ගෝත්‍රික ගති ලක්‍ෂණ වෙනස් වනවා. සමීක්‍ෂණ අනුව රටක සාමකාමීත්‍වය ආගමික නැඹුරුවට ප්‍රතිලෝමව සමානුපාතික වීම මේ ගෝත්‍රික මානසිකත්‍වයේ අරුමය හොඳින් කියාපානවා. අධ්‍යාපනය කෙතරම් දියුණු වුනත්, රටක සාමූහික සිතුම් පැතුම් නැමියාව අනුව රටක දියුණුව රඳා පවතිනවා. අපේ රට ඊට හොඳම උදාහරණයක්.

මේ ගෝත්‍රික සමාජමය ගති ලක්‍ෂණ හා සමගාමීව තවත් වෙනස් නොවූ දෙයක් නම් මිනිසා සිය මනස තාවකාලිකව ලිහිල් කර ගැනීමේ සරළ ක්‍රමය වන මත්පැන් සහ මත්ද්‍රව්‍යවල විකාශයයි. සරළව කිවහොත් මත්පැන් යනු එතිල් මධ්‍යසාරය මිශ්‍ර වූ ජලයයි. නමුත්, කාලයාගේ ඇවීමෙන් මේ සරළ ද්‍රාවණය විවිධාකාර නවෝත්පාදන හරහා දියුණු වී විවිධාකාර වෙළඳ නාම, වටිනාකම් එකතු වෙමින් පරිණාමය වී තිබෙනවා.

එදා සතුන් පසුපස දඩයමේ ගිය මානවයා තිබහට ගසක වූ බෙනයකින් පානය කළ පළතුරු හෝ වෙනත් යමක් පැසුණ ජලයෙන් මත් වූ පසු, එම ආශ්වාදය නැවත නැවතත් ලබා ගැනීමට කළ උත්සාහයක ප්‍රතිඵලයක් වශයෙන් මත්පැන් සොයාගන්නට ඇති නමුත්, එය ක්‍රමාණුකූලව ආසවනය කර එහි වූ ඵලදායීතාවය වැඩි කිරීමේ මූලික කටයුත්ත සිදු වී ඇත්තේ ක්‍රිස්තුපූර්ව දෙවන ශතවර්ශයේ බැබිලෝනියාව සහ මෙසපොතේමියාව ආශ්‍රිතවයි. එසේ ඇරඹුණු මත්පැන් පෙරීම සහ භාවිතය දැන් දැන් රජයයන්ගේ අනුග්‍රහය ලබමින්, රටකට බදු ආදායම වශයෙන් අපමණ අගයක් එකතු කරමින් සුවිසල් ව්‍යාපාරයන් සේ බැබලෙන අතර, මිනිසා ද සිය වින්දනීය අවශ්‍යතා වෙනුවෙන් මඳපමණට හෝ බිම වැටෙනතුරු පානයට තමන්ට දැරිය හැකි ප්‍රමාණයේ විවිධාකාර මට්ටම්වල මත්පැන් වර්ග පානයට පුරුදු වී සිටිනවා.

නමුත්, සෑම රටකම සෑම සමාජයකම පවතින ක්‍රමයට අභියෝග කරන විවිධාකාර නව නිර්මාණකරුවන් නිසාම, තම තමන් විසින්ම මේ වින්දනීය අවශ්‍යතා සපුරා ගැනීමටත්, සරළ නිෂ්පාදන කටයුත්තකින් මහා පරිමාණව ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක් නිසාත්, නීති විරෝධීව මත්පැන් නිෂ්පාදනයට සහ වෙළඳාමට යොමු වී සිටින අතර, තත්ත්‍වයට වඩා මිල පිළිබඳ සැළකිලිමත්වන සමහරුන්, මේ නීති විරෝධී මත්පැන් භාවිතයට හුරු වී සිටිනවා. මේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේදී තත්ත්‍ව පරීක්‍ෂණයක් හෝ නිසි නිෂ්පාදන යාමනයක් සිදු නොවීම නිසා එයට විවිධාකාර දෑ එක් වන අතර, මත්පැන්වල ඇති එතනෝල් වලට අමතරව ද්‍රවණයේ ඇති මේ සමහර සංයෝග  මිනිසාට මාරාන්තික වනවා. මෑතකදී මීරිගම බාඳුරාගොඩ ප්‍රදේශයේ හය දෙනෙකුට මරු කැඳවූයේ මේ නීති විරෝධී මත්පැන් වල වූ මාරාන්තික බව නොසළකා නිෂ්පාදනය සහ භාවිතය නිසා.

අප රටේ පමණක් නොව, මුළු ලෝකය පුරාම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය වෙනවා. එය හුදෙක් ලාභ ලැබීමට සමහරු කළත්, තවත් සමහරු විනෝදාංශයක් ලෙස ද කරන අවස්ථා නැතුවා නොවේ. බොහෝ රටවල නිවසේදීම වයින් සහ බියර් වැනි ස්ප්‍රීතු නොවන නොපෙරන මත්පැන් වර්ග සකසා ගැනීමේ හැකියාම සිය රටවැසියන්ට ලබා දී තිබෙන අතර, ස්ප්‍රීතු නිෂ්පාදනය සඳහා සුවිශේෂී බලපත්‍ර අවශ්‍ය වන අතර, ඒ සඳහා අධිකව බදු ගෙවිය යුතුයි. නමුත්, සමහර පුද්ගලයින් මේ නිසා කැලෑ මධ්‍යයේ හෝ සුවිශේෂීව සැකසූ නිවෙස්වල රහසිගතව විවිධාකාර පරිමාණයෙන් මේ ස්ප්‍රීතු නිෂ්පාදනය කරන අතර ඒ සඳහා සමහරවිට දේශපාලනික, නීතිමය අනුග්‍රහය පවා ලැබෙමින් පවතිනවා. දැන් දැන් සියල්ලම දේශපාලනීකරණය වී ඇති නිසා සරළව කැළයක් මධ්‍යයේ කුඩා පරිමාණව නිෂ්පාදනය වන නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාර අභාවයට යමින් මහා පරිමාණ නිෂ්පාදනාගාර පැවැත්ම තහවුරු කර ගනිමින් පවතිනවා.

මේ නීති විරෝධී මත්පැන් වලට විවිධ රටවල විවිධාකාර නම් භාවිත කරන අතර, වඩාත් ප්‍රචලිත ඉංග්‍රීසි භාවිතය වන්නේ Moonshine නොහොත් “සඳඑළිය” යන්නයි. එය එසේ වන්නට ඇත්තේ අමෙරිකාවේ නීති විරෝධී මත්පැන් පෙරීම රාත්‍රී කාලයේදී සිදුවීමත්, එයින් නිෂ්පාදන වන අවර්ණ ස්ප්‍රීතු ඉතා පැහැදිලි ද්‍රාවණයක් වීමත් නිසා විය හැකියි.

නීත්‍යානුකූල මත්පැන් නිෂ්පාදනයකදී එය ක්‍රමාණුකූලව නිසි තත්ත්‍ව පරීක්‍ෂණවලට භාජනය කරමින් සහ ප්‍රශස්ත අමුද්‍රව්‍ය භාවිත කරමින් නිෂ්පාදනය කරනු ලබන්නේ එය භාවිත කරන්නන්ට මෙන්ම සිය වෙළඳ නාමය ද වෙළඳ පොලේ ඉහලින් තබා ගැනීමේ අභිප්‍රාය මතයි. මේ ස්ප්‍රීතු නිෂ්පාදනය වෙනම කලාවක් මෙන්ම වෙනම රසායන විද්‍යාවක් ද වනවා. භාවිතයට ගන්නා අමුද්‍රව්‍ය මත මෙන්ම ජලය ලබා ගන්නා ජල මූලාශ්‍ර මත ද මේ ස්ප්‍රීතු වල රසය, සුවඳ ආදිය වෙනස් වන නිසා නිෂ්පාදකයින් සිය පාරිභෝගික ප්‍රජාව වෙනුවෙන් ඒ සියල්ලම ශතවර්ශ ගණනාවක් තිස්සේ නොවෙනස්ව පවත්වාගෙන යනවා. ස්කොට්ලන්තයේ නිපදවන සමහර විස්කි වර්ගවලට ජලය ලබා ගන්නේ පීට් නිධියක් අසළින් ගලා යන දිය පහරකින්. මේ නිසා එම විස්කි වර්ගය  මස් පිලිස්සූ සුවඳකින් යුක්තයි, එසේ වුවත්, එය රසෙහි කිසිදු වෙනසක් නොමැතිව සකසා තිබෙනවා. මේ එක් උදාහරණයක් පමණයි.

 

බොහෝවිට ස්ප්‍රීතු වර්ග නිශ්පාදනය කරන්නේ පැසවන ලද ධාන්‍ය පැසවීමෙන් ලැබෙන මද්‍යසාර මුසු ජලය ආසවනය කිරීමෙන්. මේ ආසවනයෙන් ලැබෙන ඵලය වන්නේ සියයට අනූවට වැඩි ප්‍රතිශතයක් ඇති එතිල් මද්‍යසාරය සහ ඒ හා සමාන තාපාංකයක් ඇති ඇල්ඩිහයිඩ් වර්ග, කීටෝන සහ ද්‍රවණයේ මෙතිල් මද්‍යසාරය ඇතිනම් එය ද මේ හා එකතු වනවා. බොහෝ මත්පැන් වර්ගවල මෙතිල් මද්‍යසාරය ඉතාමත් කුඩා ප්‍රමාණ වලින් අඩංගු වනවා. මහා පරිමාණව නීත්‍යානුකූලව සිදු කරන නිෂ්පාදනයේදී මෙම එකතු වන මද්‍යසාර සුවිසල් ලී ලේගර තුළ බහා වසර ගණන් පදම් කරනවා. මේවා වැට් යනුවෙන් හඳුන්වන අතර මේ වැට් වර්ග විවිධ ලීවලින් සකසා තිබෙනවා. වැඩි වශයෙන්ම ඕක් නොහොත් දේවදාර ලීවලින් සකසන මේවා තුළ වසර ගණනක් මද්‍යසාර බහා තිබෙන විට එහි වූ අනවශ්‍ය සංයෝග මේ ලී වලට උරා ගන්නා අතර, දේවදාර ලීයේ වූ සුවඳකාරක සහ රසකාරක සංයෝග මේ මද්‍යසාරයට එකතු වනවා. නිසි වසර ගණන සම්පූර්ණ වූ පසු තවත් රසකාරක සහ සුවඳකාරක එකතු කර විවිධ වෙළඳ නාම වලින් පාරිභෝගිකයා වෙන ලැබෙන මේ මත්පැන් අධික මිල ගණන් වලට අලෙවි වන්නේ එහි වූ සුවිශේෂීත්‍වය වසර සිය ගණනක් නොවෙනස්ව පවත්වාගෙන යන නිසා.  එසේම ඒ ඒ මත්පැන් වර්ග වලට හුරු වූ පාරිභෝගිකයන් එහි වෙනස් කම්, සියල්ල සියුම්ව හඳුනාගෙන සිටින නිසා ඒ ඒ වෙළඳනාමයන්ට ඇති ඇල්ම නොවෙනස්ව පවතිනවා.

ලංකාවේ කෙසේ වෙතත්, ලෝකයේ බොහෝ රටවල මත්පැන් පානය කලාවක් සහ සංස්කෘතියක් වන අතර එය උත්සව අවස්ථාවක, මිතුරු මිතුරියන් හා සතුටු සාමීචියක යෙදීමේදී හෝ යමක් සැමරීමේදී භාවිත කරන අතර බොහෝ අවස්ථාවල සුළු ප්‍රමාණයකින් සෑහීමකට පත් වනවා. නමුත්, අවාසනාවකට ලංකාවේ මත්පැන් පානය කිරීමට කිසිදු හේතුවක් අනවශ්‍ය අතර, මරණයකදී, මගුලකදී, බණකදී, දානයකදී, මෙන්ම අවශ්‍ය ඕනෑම විටෙක මත්පැන් පානය කිරීමට අවශ්‍ය හේතුවක් හදා ගැනීමට ද ලාංකිකයා අති දක්‍ෂ වනවා. එපමණක් නොවෙයි සාදය අවසන බෝතලයේ පතුල දැකීමට අවශ්‍ය වන නිසා බොහෝ විට පදම වරදිනවා. මෙය ලාංකිකයා ලෝකයේ කුමන රටක ජීවත් වුවත්, එක සේ සිදුවන දෙයක්…..

 

ලංකාවේ සුළු පරිමාණව මත්පැන් පෙරන්නේ කැළයක වැනි විවෘත ස්ථානයක වන අතර මෙහි අමුද්‍රව්‍ය වන්නේ බොහෝ විට සීනි සහ යීස්ට් වේ. තොග මිලට ලබා ගන්නා ඉතාම බාල තත්ත්‍වයේ සීනි වන අතර පැසවිමට ලබා ගන්නේ කර්මාන්ත ශාලාවකින් ඉවත ලන බැරල් තුල යීස්ට් පදමට දමා දින කිහිපයක් පැසවීම කරන අතර මේ පැසවීම සිදුවන විට නිකුත් වෙන ගෝඩා සුවඳ/ගන්ධයට ඇදී එන කටුස්සන්, ලේනුන්, හූනන් ආදී මෙකි නොකී සියළුම සත්ත්‍වමය ප්‍රෝටීන ද මේ ගෝඩා බැරලයට එකතු වීම සිදු වේ.. මේ බැරල්වල සමහරවිට විවිධාකාර විෂ රසායන ද්‍රව්‍ය ගබඩා කර තිබිය හැකි අතර, ඒවා නිසි පිරිසිදු කිරීමකින් තොරව කසිප්පු නිෂ්පාදනයට යොදාගත් විට ඒ රසායන ද්‍රව්‍ය මද්‍යසාර හා මුසු වීම සිදු වේ. ඒ අතරම තත්ත්‍වය උසස් කර පදමට වැදීම සඳහා සමහරුන් යූරියා වැනි ද්‍රව්‍ය ද එකතු කරන බවට ද මත පවතී. ඒ අතර කුණුවන පළතුරු, වරකා, ආදී සීනි අඩංගු විය හැකි සෑම මල ජරාවක්ම මේ වෙතට එකතු කිරීමට කසිප්පු නිෂ්පාදකයා වග බලා ගන්නේ සිය ලාභය උපරිම කර ගැනීමට ය.

මෙසේ පැසෙන ගෝඩා බැරලය, රසායන විද්‍යාවේ මූලික උපක්‍රම භාවිත කරමින් බැරලයට සවි කළ තඹ බටයක් කොයිල් එකක් සේ සකසා, ජල මාර්ගයක් හරහා යැවීමෙන් ආසවනයට අවශ්‍ය යටිතල පහසුකම් සපයාගෙන අවසන එකතු වන මෙතිල්, එතිල් මද්‍යසාර, ඇසිටැල්ඩිහයිඩ්, ඇසිටෝන් වැනි මෙකී නොකී සියළුම දෑ භාජනයකට එකතු කර ගන්නා කසිප්පු රසායන‍ඥයා, සිය ලාභය අනුව ජලය මිශ්‍ර කර සිය පාරිභෝගිකයාට පොලිතීන් බෑග් එකකට සපයන්නේ එය ඉතාමත් ලාභදායී සහ පහසුම ක්‍රමය නිසාය.

මේ ක්‍රමයට ලබා ගන්නා මත්පැන් කිසිදු විටක පිරිසිදුකරණයකට හෝ පදම් වීමකට භාජනය නොකරන නිසා කිසිදු රසායනික සංයෝගයක් වෙන් නොවී සියල්ල පාරිභෝගිකයාට ලබා ගැනීම දෙපාර්ශවයටම සිදුවන වාසියකි. නමුත්, මෙහි භයානක අතුරු ප්‍රතිඵල වන්නේ එතිල් මද්‍යසාරය සමග මෙතිල් මද්‍යසාරය මිශ්‍රව පැවතීමයි. මේ මෙතිල් මද්‍යසාරය අතිශයෙන්ම භයානක වන්නේ එය අක්මාවේදී ෆෝමික් අම්ලය බවට පරිවර්තනය වී එය දෘශ්‍ය ස්නායුව කෙරෙහි දැඩි බලපෑම් ක්‍ෂණයකින් ඇති කරන නිසායි. මේ නිසා මෙතිල් මද්‍යසාරය විෂ වන බොහෝ දෙනාගේ මූළික රෝග ලක්‍ෂණයක් වන්නේ දෑස් නොපෙනී යාමයි. සාමාන්‍යයෙන් පිරිසිදු මෙතිල් මද්‍යසාරය මිලි ලීටර දහයක් ශරීරගත වුවහොත් ඕනෑම පුද්ගලයෙකු සදාකාලික අන්ධභාවයට පත්වීමට පුළුවන්. මිලිලීටර 15 ක් යනු කෙනෙකු මරණයට පත් කළ හැකි ප්‍රමාණයකි.

මෙතිල් මද්‍යසාරය වැරදී හෝ කෙනෙකුට පෙවුන හොත් කළ යුතු එකම දෙය වන්නේ එතිල් මද්‍යසාරය පෙවීමයි. නමුත් කිසියම් පුද්ගලයෙක් ඒ වනවිටත් මත්පැනින් මත් වී ඇතිනම්, එය එසේ කළ යුතු නැහැ. මද්‍යසාර නොගත් කෙනෙකුට මෙතිල් මද්‍යසාර විෂවීමක් සිදු වූයේ නම් සාමාන්‍යයෙන් වොඩ්කා වැනි ස්ප්‍රීතු මිලි ලීටර 50 ක් පමණ පෙවීමෙන්  එහි ආචරණ පාලනය කරගත හැකියි. එහිදී සිදු වන්නේ අපේ අක්මාවේ මද්‍යසාර කඩා බිඳ දමන ඇල්කොහොල් ඩිහයිඩ්‍රජනේස් නම් එන්සයිමය වෙත පැමිණෙන මෙතිල් මද්‍යසාර අණු වලකා, ඒ වෙනුවට එතිල් මද්‍යසාර අණු ආදේශ වීමයි. මේ නිසා මෙතිල් මද්‍යසාරය ෆෝමික් අම්ලය බවට පරිවර්තනය වීම වැලකී, වෙනත් ආකාරයකින් මෙතිල් මද්‍යසාරය බිඳ වැටෙනවා.

ඕනෑම කෙනෙකුට කළ හැකි හොඳම දෙය වන්නේ හැකි තරම් මත්පැනින් වැලකී සිටීමයි. එසේ කළ විට මුදලත්, තමන්ගේ සෞඛ්‍යයත් ඉතිරි වනවා පමණක් නොවෙයි අනවශ්‍ය කරදර වලට ද පැටලීමෙන් වැලකෙනවා. කෙනෙකුට මත්පැන් බීමට අත්‍යවශ්‍ය නම්, දන්නා තැනකින්, දන්නා වෙළඳ නාමයක් යටතේ ඇති යමක් පානය, නොදන්නා දෑ පානය කර සදාකාලික අන්ධභාවයට හෝ ක්‍ෂණික මරණය ලඟා ගර ගැනීමට වඩා යහපත් වනවා.

අපේ දරුවන්ට අවශ්‍ය STEM ද, STEAM ද, STREAM ද ?


STEM2

රටක ප්‍රගමනයට දායක වන්නේ ජනතාවයි. රටක ජනතාව බුද්ධිමත් වනවිට, උගත් වනවිට ප්‍රගමනයට දායක විය හැකි ගුණාත්මක භාවය වැඩිය. රටක නූගත් ජනතාවක් සිටිනවිට, දේශපාලනඥයාට ඔවුන් රවටා තම සිතැඟි පරිදි කටයුතු කිරීමේ හැකියාව වැඩිය. මේ නිසා කපටි – අවස්ථාවාදී දේශපාලනඥයින් කරනුයේ නූගත් ජනතාවක් බිහිකිරීමට අධ්‍යාපන අවස්ථා, හැකියාවන් අවම කර, ජනතාවට අවශ්‍ය මූලික සහ වෙනත් සිල්ලර අවශ්‍යතා වැඩි දියුණු කර, තාවකාලිකව ඔවුන් සතුටු කර ඡන්දය ලබා ගැනීමයි. එසේම රටක නායකයන්ගේ උගත් – නූගත් බව අනුව සහ රටට ඇති ආදරය අනුව රට වෙනුවෙන් කෙරෙන ප්‍රතිපත්ති වෙනස්වීම් අනුව රට ඉදිරියට හෝ පසුපසට යාම සිදු වේ.

සීඝ්‍ර ආර්ථික ප්‍රගමනයට දැඩිලෙස කැප වී සිටින, කොරියාව, වියට්නාමය, චීනය, වැනි රටවල් මෙන්ම, තාක්‍ෂණිකව දියුණු වූ බටහිර රටවල ද සිදු වන්නේ සිය අනාගතය භාර ගැනීමට සිටින ළමා පරපුර දැනුමින් උගත්කමින් සන්නද්ධ කිරීමයි. එවිට, දැන්ම නොවුවත්, අනාගතයේදී හෝ රට කෙමෙන් කෙමෙන් ප්‍රගමනය කරා ගමන් කරනු ඇත.

පසුගිය ලිපියේ සඳහන් කළ පරිදිම STEM යනු විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව හා ගණිතය ඒකාබද්ධ කරන අධ්‍යාපනික න්‍යායික විෂයයක්. මෙය එක් එක් විෂයය වෙන වෙනම ඉගැන්වීම වෙනුවට, ගුරුවරුන් විසින් එක් එක් ව්‍යාපෘතියට STEM හි සමහරක් හෝ සියළුම අංගයන් ඇතුළත් කිරීම සඳහා අරමුණු කරයි. ඒ නිසා එය පෙර සිදු වූ විෂය මූලික, විභාග මූලික අධ්‍යාපන රටාවකට වඩා, එක් එක් හෝ කණ්ඩායම් ව්‍යාපෘති හරහා සිදු වන, දැනුම මූලික සමාජයකට මඟපාදන  පුළුල් ප්‍රවේශයක් වනු ඇත.

මේ STEM ඉගැන්වීම, සාමාන්‍ය පාසැලක සාමාන්‍ය පන්ති කාමරයක් තුළදීම සිදු කළ හැකි අතර, අවශ්‍ය වන්නේ විෂයයන් සමෝධානිත කර, අවශ්‍ය පරිදි ඒ ඒ විෂයයන් අදාල කරගෙන දරුවන්ට ඉගැන්වීමයි. ඒ සමෝධානිත කිරීමට සෑම විටම STEM විෂයයන් හතරම එක් කර ගැනීමට අවශ්‍ය වන්නේ නැත. නමුත්, හැකි සෑම විටම ඒ ඒ විෂයයන්ගෙන් ලබා ගත හැකි දැනුම එයට එක් කිරීමෙන් දරුවාගේ නිර්මාණාත්මක භාවය, පරිකල්පන ශක්තිය සහ ව්‍යවසායකත්‍වය උපරිම තත්ත්‍වයට ගෙන ආ හැක. එසේම තවත් සමහර විටක සුවිශේෂී STEM පන්තිකාමර, පාසැල් ආදියද සැකසිය හැකිය. මෙහි විෂයය නිර්දේශයන් නවමු ආකාරයක් ගන්නා අතර ශිෂ්‍ය මූළික, දැනුම මූලික, සහ කුතුහලය මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයක් සකස් වේ. වඩාත්ම වැදගත් වන්නේ විෂයයන් උගන්වන ගුරුවරයාගේ නිර්මාණශීලීත්‍වය සහ නව්‍යකරණ හැකියාවයි. ගුරුවරයා සාම්ප්‍රදායිකව සිතන්නෙකු නම්, එතැන STEM පරිසරයක් නිර්මාණය නොවේ.

මේ විශේෂිත පාසල්හි STEM වැඩසටහනේ අරමුණු වෙනස් විය හැකි අතර, STEM හි සමස්ත අරමුණු කිහියක් වනුයේ STEM සාක්ෂරතාවය හා කණ්ඩායම් සහභාගීත්වය, විශේෂයෙන් තරුණ තරුණියන් හා ජාති, ආගම්, වර්ණ ආදී එකිනෙකට වෙනස් පසුබිමින් පැමිණෙන අයගේ කණ්ඩායම් හැඟීම ශක්තිමත් කිරීම, STEM දැනුම් බලකාය ශක්තිමත් කිරීම මගින් තාක්‍ෂණික සාක්‍ෂරතාවය ඉහළ නැංවීම සහ ඒ හරහා රට තුළ දැනුම් ආර්ථිකයක් ඇති කිරීමයි.

STEAM යනු කුමක්ද ?

STEAM යනු මේ සමෝධානිත විෂයයන් හතරට කලාව එකතු වීමයි. එහිදී දරුවා සමෝධානිත STEM විෂයයන් කලාත්මකව ඉදිරිපත් කිරීම, කලාත්මකව දැකීම සහ වෙනත් මාධ්‍යයකින් වෙනත් කෝණයකින් අධ්‍යයනය කිරීම සිදු කෙරේ.. උදාහරණයක් ලෙසින් රසායනිකව ස්ඵටික කරන ලද ලුණු, හෝ සූකිරි ලෙසින් අප දරුවන් හඳුන්වන ස්ඵටික කරන ලද සීනි ගත හැකිය. විද්‍යාත්මකව – විශේෂයෙන්ම රසායන විද්‍යාත්මකව න්‍යායික වශයෙන් ලුණු ස්ඵටික කරණය සරළව ඉගෙන ගන්නා දරුවා ගණිතමය භාවිතයෙන් ස්ඵටිකකරණයට අවශ්‍ය ලුණුවල බර ප්‍රමාණය, අවශ්‍ය ජලය ප්‍රමාණය ගණනය කරනු ලබයි. එය සිය තාක්‍ෂණික හැකියාවන් භාවිතා කර ස්ඵටිකකරණයට ලක් කරයි. එවිට අඩු වැඩි වශයෙන් ඔහු, විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතමය හැකියාවන් ප්‍රයෝජනයට ගනී.. මෙසේ ස්ඵටිකකරණය විවිධ මාධ්‍යවල, විවිධ කාලවල, විවිධ පරිසර තත්ත්‍ව යටතේ වෙනස් වීම, විවිධ අවස්ථාවන්හිදී විවිධ සංයෝගවල ස්ඵටික හැඩතල ආදිය ද ඔහු උගෙනී. මෙම හැඩතල සහ ස්ඵටික ආශ්‍රයෙන් විවිධ කලා නිර්මාණ සැකසීම, විවිධ වර්ණා ගැන්වූ ස්ඵටික කලාත්මකව යොදාගෙන නිර්මාණ කිරීම වැනි හැකියාවන් දරුවා තුළ ඇතිකිරීම සහ ඒවා ඔප්නැංවීම STEAM මගින් සිදු කෙරෙයි. සමහරවිට එම හැකියාවන් මගින් දරුවා අනාගත ව්‍යවසායකයෙකු වීම දක්වා ව්‍යාප්ත කළ හැකිවෙයි.

දරුවන් ස්වභාවයෙන්ම කුතුහලයෙන් පිරි සත්ත්‍ව කොට්ඨාසයකි. මේ නිසා දරුවාගේ කුතුහලය වර්ධනය, දරුවාගෙන් නිරතුරු නැගෙන ප්‍රශ්න වදයක් සේ නොසලකා දරුවා වෙනුවෙන් කැප වී දරුවා සමගම ඒවාට පිළිතුරු සෙවීම සහ දරුවා ඒ වෙත නැඹුරු කර ඔහු/ඇයගෙන්ම පිළිතුරු ලබා ගැනීම මගින් දරුවාගේ නිර්මාණාත්මක භාවය, පරිකල්පනය ආදිය දියුණු වේ.

STREAM යනු කුමක්ද ?

STEM, සහ STEAM විෂයයන්ට R වලින් හැඳින්වෙන විෂයයක් එකතු වීම සරළව STREAM ලෙසින් දැකිය හැකි වුවත්, විවිධ රටවල, විවිධ අර්ථකතන සහ විවිධ ප්‍රමුඛතා අනුව මේ R වලින් හැඳින්වෙන විෂයය පරාසය වෙනස් විය හැකිය. සමහර රටවල මේ R අර්ථ දක්වා ඇත්තේ READING, wRiting, නොහොත් කියවීම සහ ලිවීම වුවත්, සමහර තාක්‍ෂණිකව දියුණු රටවල් එය ROBOTICS  – රොබෝ තාක්‍ෂණය ලෙසින් අර්ථ දක්වා ඇත. කියවීම සහ ලිවීම අධ්‍යාපනයේ මූළික අංගයක් බවට තර්කනය කරන කෙනෙකුට එය නවමු විෂයය ක්‍ෂෙත්‍රයක් ලෙසින් නොපෙනුනත්, දැන් දැන් දරුවන්ගේ විචාර බුද්ධිය හීන වීම, ප්‍රකාශනයේ මැලිකම වැනි දෑ වලට පිළියමක් වශයෙන් මෙය එකතු කර ඇත. නමුත්, මේ සියල්ලම සමෝධානිතව ඉගැන්වෙන නිසා අවසානයේ STEM ද, STEAM ද, STREAM ද යන තර්ක යටපත් වී ඉගැන්වෙන දෑවල අන්තර්ගතය ඉස්මතු වේ.

එසේම Robotics තාක්‍ෂණයද, එකතු වීම ඉංජිනේරු විද්‍යාව සහ තාක්‍ෂණයේ තවත් පියවරක් ලෙස හැඳින්විය හැකියි. දැන් දැන් ඉංජිනේරු විද්‍යාවද සිය වෙන් වෙන් වූ විෂයය ක්‍ෂෙත්‍රවලට සීමා නොවී Mechatronics වැනි පුළුල් විෂයය පරාසයන්ට අනුගත වීමෙන් පෙනී යන්නේ අපට එක් එක් විෂයයන් වෙන් වෙන්ව ඉගෙනගෙන දිගු ගමනක් යා නොහැකි බවයි.

තාක්‍ෂණිකව ඉදිරියට යාම නිසා ආගම පසුපසට තල්ලු වූ සමහර බටහිර රටවල්  මෙන් නොව සමහර ආසියාතික  රටවල් මේ R – Religion නැතහොත් ආගම ලෙසින් ද අර්ථ දැක්වෙන අවස්ථා නැතුවාම නොවේ. සමහර අධ්‍යාපනඥයින් STEM අධ්‍යාපනයට ආගමෙහි ඇති සම්බන්ධය විවේචනය කරන නමුත්, අධ්‍යාත්මික සංවර්ධනය දරුවාට ලබාදීම, සදාචාරාත්මක හැදියාවන් ඔප් නැංවීම, නීතිය හා සාමයට අවනත වීම, අන්‍යයන්ගේ මත වලට ඇහුම්කන්දීම සහ ඉවසීම, ආදී විද්‍යාවෙන් සහ තාක්‍ෂණයෙන් ඉගැන්විය නොහැකි දේ ආගම සහ ප්‍රජාචාරය වැනි ක්‍ෂෙත්‍ර හරහා දරුවා වෙත සම්ප්‍රේෂණය කළ හැකිය.

මේ නිසා පෙර ඉගැන්වූ කිසිදු විෂය ක්‍ෂෙත්‍රයක කොටස් ඉවත් වීමක් සිදු නොකර මේ STEM විධි ක්‍රමයන් අධ්‍යාපනයට අනුගත කිරීම ක්‍රමානුකූලව සිදු කළ හැකිය.

සෑම දරුවකු තුළම අඩු වැඩි වශයෙන් කලාකරුවකු, විද්‍යාඥයෙකු සහ ඉංජිනේරුවරයෙකු ජීවත් වේ. ඒ දරුවාගේ සහජ හැකියාවන් හඳුනාගෙන ඒවා ඔප් නැංවීම මගින් සමාජයට ඔහු වැඩදායී වනවා පමණක් නොව, තමන්ට හුරු නොවන, රුචි නොවන විෂය ක්‍ෂෙත්‍රයකට බලෙන් ඔහු/ඇය එබ්බවීම මගින් දරුවාගේ නිර්මාණශීලීත්‍වය, පරිකල්පනය විනාශ වනවා පමණක් නොව ඒ දරුවාට සහ දරුවා හරහා ලෝකයට අනාගතයේ ලැබිය හැකි බොහෝ දේ අහිමි වීමක් ද සිදු වේ.

අද ලෝකය විභාග මූලික අධ්‍යාපන රටාව ක්‍රමයෙන් බැහැර කරමින්, දරුවන්ට නිදහසේ ළමා කාළය ගත කර ඔහු/ඇය තුළ ජීවත් වන නිර්මාපකයා, කලාකරුවා, ව්‍යවසායකයා ඉස්මතු කර ගැනීමේ වෑයමක නිරතව සිටී. අවාසනාවකට අප තවමත්, දරුවා පෙර පාසැලේ සිටම දැඩි විනය සහිත, රාමුවකට කොටු වූ සහ අතිශය තරඟකාරී විභාග මූලික අධ්‍යාපන රටාවකට හිර කරමින් දරුවන්ගේ ළමා කාළය සොරා ගනිමින් සිටිමු. දැන් දරුවන් ගතහොත් ඔවුන් අතරින් නිදහසේ සිතන දරුවන් සහ සිත නිදහස් දරුවන් සොයා ගැනීම ඉතා අපහසු කරුණක් වී තිබේ පාසැලට ගොස් පැමිණි වහාම, හෝ පාසැලෙන් කෙළින්ම විවිධාකාර අමතර පන්තිවලට යන දරුවා නිවසට පැමිණෙන්නේ ඇඳිරි වැටුනු පසුවයි. දරුවා පරිසරයේ සුන්දරත්‍වය, සතුන් ගහකොළ විචක්‍ෂණශීලීව දකින්නේ ඉතාමත් කලාතුරකිනි. සතුන්ගේ හැසිරීම, ගහකොළවල වෙනස්වීම් දරුවා දකින්නේ රූපවාහිනියෙන් හෝ පින්තූර පොත් මගින් පමණි. දරුවා දෙමාපියන් හා ගතකරන්නේ ද සීමා සහිත කාළයකි. ඊට වඩා කාළයක් දරුවා රූපවාහිනිය හෝ වීඩියෝ ක්‍රීඩා සමග ගත කරති. පෙර ලිපියක සඳහන් කළ පරිදිම පහ ශ්‍රේණිය ශිෂ්‍යත්‍ව විභාගය සමත් දරුවන් සෑම දහ දෙනෙකුගෙන්ම හය දෙනෙකු කිසියම් හෝ මානසික අසමතුලිතතාවයකින් පෙළෙන අතර ශිෂ්‍යත්‍වය සමත් දරුවන්ගෙන් සියයට අසූ පහක් පමණ උසස් පෙළ අසාර්ථක වීමේ ප්‍රවණතාවයක් ද දැකිය හැකි බවයි.

අපි, දරුවන්ට ළමා කාළය ළමයින් සේ ගත කිරීමට ඉඩ දෙමු. දරුවා නිදහසේ වැඩුනු පසු, සිය මනස නිසි ලෙස නිසි ක්‍රමයට හැදුන පසු, විෂයය කරුණු ග්‍රහණය කිරීම එතරම් අපහසු නොවනු ඇත. එය පර්යේෂණ වලින් පවා හොඳින්ම ඔප්පු වූ කරුණකි. ෆින්ලන්තය වැනි රටවල අධ්‍යාපන ක්‍රම සැකසී ඇත්තේ දරුවන් සහ ඔවුන්ගේ නිදහස මූළික ක්‍රමයකටයි.

කෙසේ වුවත් මේ සියල්ලම සැබෑවක් වීමට දරුවන්ට වඩා දෙමාපියන් වන අපගේ සහ ඔවුන්ට මග පෙන්වන ගුරුවරුන්ගේ ආකල්ප විප්ලවයක් සිදු විය යුතුමය. දරුවා දරුවකු සේ දැක, ඔවුන්ට නිසි මග පෙන්වීම, ඔවුන්ගේ නිදහස, නිර්මාණාත්මකභාවයන්, කලාත්මක භාවයන් නිසි ඇගයීමකට ලක් කර, ඒ මඟ ඔවුන් යැවීමෙන්, හැම දෙනාම දොස්තරවරු, ඉංජිනේරුවරු කරන්නට දත කනවාට වඩා සුවයක්, දරුවන්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට මෙන්ම, සිය තරුණ ශ්‍රම බලකාය නිසි ලෙස යොදා ගැනීම තුළින් රටේ සංවර්ධනයට ද උපකාරී වනවා ඇත.

නායකයින්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට, සමාජයේ සියල්ලන්ටම, තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර සහ තමන්ම තනා ගත් රාමු වලින් ඉවත්ව, රටක්  වශයෙන් සිතීමේ කාළය උදා වී ඇත. දරුවන් වෙනුවෙන් අප අද කරන මේ ආයෝජන ඵල දරන්නේ තව දශක කිහිපයකින් වියහැක.. නමුත්, එය අදම කළ යුතුව තිබේ… නැතහොත් ඉදිරි දශකයේ ද අප මැදපෙරදිගට ගෘහසේවිකාවන් සපයන, අපේ කාන්තාවන් ඇඟළුම් මසා පිටරටට විකුණන, ගණිකා මඩම් සහ සම්බාහන ආයතන තුළ ජීවිතය දියකර හරින තරුණියන් සහ පිරිමින් ත්‍රීරෝද රථ රියැදුරන් වන සමාජයක ජීවත් විය හැකිවනු ඇත.

ඔබේ දරුවාගේ අනාගතය පිළිබඳ තීරණය ඔබ සතුයි.

නව ලොව අභියෝග ජයගන්න අපේ දරුවන්ටත් STEM අධ්‍යාපනය.


STEM 1.jpg

මිනිසා මෙන්ම අනෙත් සතුන්ද උපතේ සිට මි ය යනතුරුම උගෙනිති.  සමහර පර්යේෂණ වලින් හෙළි වී ඇත්තේ මානවයා සිය මව් කුස තුළ සිටියදීම ඉගෙන ගන්නා බවයි. කෙසේ වුවත්, අප සැම දෙනා ජීවිතයේ සෑම අවස්ථාවකදීම කිසියම් හෝ දෙයක් අළුතෙන් ඉගෙන ගනිමින් සිටී. එය ක්‍රමාණුකූලව පවත්වාගෙන යන තක්සලාවකින්ද, එසේත් නැතහොත් ජීවන තක්සලාවෙන්ද යන්න අවස්ථානුකූල වේ.

වසර සිය ගණනකට පෙර පැවති ලෝකය හා සැසඳීමේදී නව ලොව දැනුම ඉතා ඉක්මනින් යාවත්කාලීන වේ. වසර 1900 දී පැවති දැනුම දෙගුණ වීමට වසර 25ක් පමණ ගත වුවත්, වසර 2019 දී ඇති දැනුම දෙගුණ වීමට ගත වන්නේ මාස 12ක් වැනි සුළු කාළයක් පමණි. මෙය අනාගතයේදී පැය 24 ක් දක්වා කෙටි වේ යැයි ගණන් බලා ඇත. එසේ නම්, මේ පුපුරා යන දැනුම ග්‍රහණය කර ගැනීමට, එය භාවිතාවට, ඒ දැනුම් ප්‍රවාහය හමුවේ ඉදිරියට යාමට හෝ අවම වශයෙන් නොනැසී පැවැත්මට, අප ඒ දැනුම් ප්‍රවාහයෙන් කිසියම් හෝ ප්‍රමාණයක් උකහා ගැනීමට හැකියාව තිබිය යුතුය. මේ දැනුම ලබා ගැනීමට අපට සාම්ප්‍රදායික ක්‍රම වූ පාඨශාලීය උගැන්වීම් මෙන්ම, නූතන අන්තර්ජාල අධ්‍යාපනය ද එක සේ වැදගත් වේ. ලෝකය කෙතරම් ඉදිරියට ගියත්, සමහර සාම්ප්‍රදායික ක්‍රම වලින් බැහැරට නොයන්නේ එහි ඇති වැදගත්කම සහ ක්‍රමාණුකූල බව නිසාය.

සාම්ප්‍රදායික ගුරු ගෝල දැනුම් සංසරණය වසර දහස් ගණනක් පැවත එන්නේ මානවයා සිය පරිණතභාවය පැමිණෙන තෙක් සිය දෙමාපියන්ගේ රැකවරණය ලැබීමේ පරිණාමීය තත්ත්‍වය නිසාය. මේ නිසා ස්වයං අධ්‍යාපනය තවමත් මානව පරිණාමයට එකතු වී නොමැත. මේ ගුරු ගෝල දැනුම් සංසරණය, නැතහොත් අධ්‍යාපනය ලොව පුරා අඩු වැඩි වශයෙන් විවිධාකාර ක්‍රම අත්හදා බලමින් සිය සිසු පරම්පරාව උපරිම ප්‍රශස්ත මට්ටමට ගෙන ඒමට බොහෝ රටවල් ක්‍රියා කරමින් සිටිති. උදාහරණයක් ලෙස ගතහොත්, ෆින්ලන්තය සිය දරුවන්ට බොහෝ ලිහිල් අධ්‍යාපන රටාවක් අනුගමනය කරමින් විභාගවලින් තොර වූ පාසැල් අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කරයි. ඒ ක්‍රමයෙන් ලැබෙන සුභදායී ප්‍රතිඵල අනුව ලොව හොඳම අධ්‍යාපන ක්‍රමය ලෙස ෆින්ලන්තය සළකනු ලබයි.

බොහෝ රටවල් අධ්‍යාපනය සළකනු ලබන්නේ තම රටෙහි අනාගත ආයෝජනයක් ලෙසිනි. එනම්, සිය ජනතාව දැනුමින් සන්නද්ධ කරවීම යනු, එම රට නිරායාසයෙන්ම ප්‍රගමනය කරා යන්නක් බව පාලකයන් වටහාගෙන ඇති බැවිනි. මූලික මිනිස් අයිතිවාසිකමක් වූ අධ්‍යාපනය, බොහෝ රටවල මූලික අයිතිවාසිකමට වඩා එහා ගොස් ඇති නමුත්, ලංකාවේ අවාසනාවකට හොඳ – ප්‍රශස්ත අධ්‍යාපනය නගරවලට සහ ජාත්‍යන්තර පාසැල්වලට සීමා වී ඇති සෙයක් පෙනේ.. ළමුන් 100 ට අඩු පාසැල් සහ දරුවනට හරිහැටි ඉන්නට තැනක් නොමැති පාසැල් සුවිශාල සංඛ්‍යාවක් ඇති අපේ රටේ, කිහිප දෙනෙකුගේ සුඛ විහරණයට කෝටි ගණන් වියදම් කිරීමට පාලකයෝ පසුබට නොවන බව පසුගිය සතියේ විදුලි සෝපාන ප්‍රවෘත්තියෙන් ඔබට පැහැදිලි වන්නට ඇති. කෙසේ වුවත්, ලංකාවේ ද අධ්‍යාපනය වෙනුවෙන් සැකසෙන නව ක්‍රමවේදයන් පැසසුමට ලක් කළ යුතුමය. ඒ ප්‍රවණතා තවදුරටත් සාර්ථකව ඉදිරියට ක්‍රියාවට නැංවිය යුතුමය.

අප රටේ අධ්‍යාපන ක්‍රමය මුළුමනින්ම පාහේ සකස් වී ඇත්තේ විභාග කේන්‍ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් ලෙසින්. අද ළදරු පාසැලට යන දරුවා සිය මනස ක්‍රීඩා මූලික අධ්‍යාපන රටාවකින් නිර්මාණශීලීත්‍වය වැඩිදියුණු කිරීම, පරිකල්පනය ඔප් නැංවීම වැනි අනාගත ආයෝජනයන්ට යොමු කරනවා වෙනුවට අවාසනාවකට සිදු කරනුයේ කුඩා කළ සිටම අකුරු ලිවීම සහ වචන හරඹයන්ට පුරුදු කිරීමයි. දැන් පෙර පාසැල් දරුවාට අකුරු තුනකින් සමන්විත වචන ලිවීමට හුරු කරවීම සාමාන්‍ය කටයුත්තක් වී ඇත. දියුණු රටවල, උදාහරණයක් ලෙස ජර්මනිය ගතහොත්, ඒ වයසේ කුඩා දරුවන් සියයට අනූවක්ම සිදු කරනුයේ පරිසරය ආශ්‍රිත ස්වභාවික ඉගැනීම්, භාශාව සහ ක්‍රීඩා වැනි දරුවන්ගේ ක්‍රියාශීලීත්‍වය, නිර්මාණාත්මකභාවය සහ පරිසරයට ආදරය කිරීමේ භාවිතාවන් ඉගැන්වීමයි. ඒ මගින් පසුකාලීනව දරුවා සිය විෂය කරුණු ඉක්මනින් සහ හොඳින් ග්‍රහණය කරගැනීම, තරුණ කාලයේදී හොඳින් අධ්‍යාපනයට නැඹුරුව, සාර්ථකව අධ්‍යාපන කටයුතුවල යෙදීම දැකගත හැකි වනවා.

අප දරුවන් දැන් දැන් පළමු වසරේ සිටම ටියුෂන් කරා රැගෙන යාම දෙමාපියන්ගේ පුරුද්දක් මෙන්ම විලාසිතාවක්ද වනවා. තමන්ට උගෙනීමට නොහැකි වූ ඉංග්‍රීසි, කථනය වැනි දෑ දරුවන්ට ලබා දීමේ පරම අභිලාශයෙන් දරුවන් මේ අමතර පන්ති වලට ගෙන ගියත්, තම පරිසරය අවට වූ ගහකොළ සතා සීපාවා හඳුනාගැනීමට පවා ඒ දරුවන්ට නොහැකි වී තිබෙනවා. මෙසේ වැඩෙන දරුවා පරිසරය නොදන්නවා පමණක් නොව පරිසරයට ඇති ලැදියාවද අඩු වී තිබෙනවා.

දරුවා දෙවන හෝ තෙවන පන්තියට පැමිණි වහාම දෙමාපියන්ගේ අභිප්‍රාය වන්නේ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්‍ව විභාගයට වාඩි කරවීමයි. දරුවා අඩු පහසුකම් සහිත පාසැලකට ඇතුළත් කර තිබුණි නම්, ජාතික පාසැලක ස්ථානයක් ලබා ගැනීමට ඒ කරන අහිංසක උත්සාහය පැසසිය යුතු වුවත්, ජනප්‍රිය පාසැල්වල සිටින දරුවන් ශිෂ්‍යත්‍ව විභාගයට දෙමාපියන් යොමු කරවන්නේ හුදෙක්ම දරුවා ශිෂ්‍යත්‍වය ඉහළින් සමත් වූ පසු දෙමාපියන්ගේ මාන්නය පෙන්වීමට  හැකියාව ලැබෙන නිසා විය හැකිය. කෙසේ වුවත්, මේ වසර කීපය තුළ දරුවා මානසිකව සහ ශාරීරිකව අනේකවිධ හිරිහැරයන්ට ලක් වී අවසානයේ දෙමාපියන්ගේ උවමනාවට ශිෂ්‍යත්‍වයට මුහුණ දේ… මෙසේ ශිෂ්‍යත්‍වයට වාඩිවන දරුවන්ගෙන් සියයට හැටක්, පසුකාලීනව කිසියම් හෝ මානසික අසමතුලිතතාවයකට ලක්වන බව දැන් සොයාගෙන ඇත. එසේම ශිෂ්‍යත්‍වය සමත්වන දරුවන්ගෙන් සියයට අසූ පහක් සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගවලට සාර්ථකව මුහුණ නොදෙන බව නවතම සමීක්‍ෂණ වලින් සනාථ වී ඇත.

මේ දරුවන් ලෝකයේ අන් දරුවන් හා සැසඳුවහොත්, විෂය කරුණු ධාරණය සහ නැවත ලිවීම අතින් ඉතා ඉදිරියෙන් සිටිනු ඇත. නමුත් නිර්මාණශීලීත්‍ව සහ පරිකල්පනය අතින් නම් ඔවුන් බොහෝ පසුපසින් සිටිනු ඇත. ඒ අපි අපේ දරුවන්ට විචක්‍ෂණ බුද්ධිය මෙහෙයවීමට පුහුණු කළ යුතු අවධියේ අනවශ්‍ය විභාග බර පටවමින් ඔවුන්ගේ මොළ කුරුවල් කිරීම නිසාය. මේ නිසාම දැන් දැන් දරුවන් අතර ආත්මාර්ථය වර්ධනය වීම දැකිය හැකිය. අප කුඩා කළ මිතුරන් හා බෙදා ගත් දැනුම, පොතපත, දැන් දරුවන් සිය මිතුරන් හරා බෙදා හදා ගන්නේ ඉතා කලාතුරකිනි. ඒ සඳහා දෙමාපිය අනුබලයද නොඅඩුව ලැබෙමින් පැවතීම කණගාටුවට කරුණකි. මෙසේ ඉගෙනීමටම ඇලී ගැලී සහ විවේක කාළයක් ඇතොත්, පරිඝණක, ජංගම දුරකථන සහ ඉලෙක්ට්‍රොණික උපකරණ වලට ඇබ්බැහි වන දරුවා, මානසිකව සහ ශාරීරිකව අසමතුලිත දරුවෙක් බවට පත්වීම ආයාසයෙන් නතර කළ හැක්කක් නොවේ.

මෙසේ වැඩිවියට පත්වන දරුවා ඉතිරි වසර හතර සාමාන්‍ය පෙළ විභාගයටත් ඉන්පසුව උසස් පෙළ කඩඉම සමත්ව විශ්ව විද්‍යාලයට යන යුද්ධයට සහභාගී වීමටත් යොමු වන නිසා සමහරවිට කිසිදු කණ්ඩායම් ක්‍රියාවලියක්, ක්‍රීඩාවක් පවා නොකරන තත්ත්‍වයකට පත් විය හැකිය. කෙසේ නමුත් මේ අවදානම හඳුනාගෙන දැන් දැන් පාසැල්වල දරුවන්ට අවම වශයෙන් එක් ක්‍රීඩාවක හෝ නියැලීම අනිවාර්ය කර තිබීම සුභවාදී ලක්‍ෂණයක් ලෙස දැකිය හැකිය.

එසේ වුවත්, අපේ විභාග කේන්‍ද්‍රීය අධ්‍යාපන ක්‍රමය, අප රට බලාපොරොත්තු වන නව ලෝකය වෙත ගෙනයාමට සමත් දරු පරපුරක් බිහි කරයිද ?

2015 වසරේදී රටවල් 193 ක ලෝක නායකයින් එකතුව ලෝකය අනාගතයට මුහුණ දෙන්නේ කෙසේද, එයට අප සකස් වි යුත්තේ කෙසේද යන ප්‍රශ්නය විසඳීම සඳහා ඉදිරි වසර 15 තුළ දී සපුරා ගැනීමේ අවශ්‍යතාව මත තිරසර සංවර්ධන ඉලක්ක (Sustainable Development Goals) නම් මූලික ඉලක්ක 17 ක් නම් කෙරුණා. ඒ අනුව දුප්පත්කම තුරන් කිරීම, ලෝක කුසගින්න තුරන් කිරීම, සැමට සුවය, සමාන අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය, ලිංගික සමානතාවයන්, පිරිසිදු ජලය සහ සනීපාරක්‍ෂාව, දැරිය හැකි සහ පිරිසිදු බලශක්තිය, තිරසර නගර සහ සමාජයක්, වගකීම් සහිත පරිභෝජනය සහ නිෂ්පාදනය, පරිසරය වෙනුවෙන් කැපවීම, ජලජ ජීවීන් සහ අනෙකුත් ජීවීන්ආරක්‍ෂා කිරීම,  නීතිය, සාමය සහ ඒ බලගැන්වීමේ ශක්තිමත් ක්‍රියාදාමයන්, සහ මේ ඉලක්ක සාමූහිකව සපුරා ගැනීම යන ඉලක්ක 17 සම්මත කර ගැනුනා.

මේ අනුව ලෝක අධ්‍යාපනයට ප්‍රධාන තැනක් ලබා දුන්නේ නව දැනුම, නව සංකල්පවලින් තොරව ලෝකයටම ප්‍රගමනයක් නොමැති බව පසක් වූ නිසා. විද්‍යාව සහ තාක්‍ෂණය මූලික වූ නව සොයාගැනීම්වලින් තොර අනාගතයක් නොමැති නිසාම, ලෝකය පුරාම විද්‍යා හා තාක්‍ෂණ පුනරුදයක් ඇතිවන්නේ වසර 1957 වැනි ඈත කාළයකදී. 1957 වසරේ  රුසියාව විසින් ස්පුට්නික් යානය අභ්‍යවකාශගත කිරීමත් සමගම අභ්‍යවකාශ තරණ යුද්ධයේ මූලිකත්‍වය රුසියාව ලබා ගැනීම නිසා ලජ්ජාවට පත් ඇමරිකානු ජනාධිපති අයිසන්හවර් විසින් 1958 දී NASA ආයතනය පිහිටවීමත්, ඒ සඳහා අවශ්‍ය විද්‍යාඥයින් නිපදවීමත් පෙරදැරි කරගෙන ඇමරිකාව පුරා විද්‍යා තාක්‍ෂණ පුනරුදයක් ඇතිවීමට පටන් ගත්තා. මේ නිසා විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය මූලික කරගත් අධ්‍යාපන රටාවක් ඇරඹීමට ඇමරිකාව කටයුතු කළා. මෙය STEM අධ්‍යාපනයෙහි මූලාරම්භයයි. ඉන් නොනැවතුනු ඇමරිකාව ජෝන් කෙනඩි පාලන සමයේදී තම ජාතිකයෙකු මුලින්ම සඳ මත පතිත කෙරවූවා.

STEM අධ්‍යාපනයෙහි මූලික අරමුණු වන්නේ Science, Technology, Engineering, සහ Mathematics ( විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව, සහ ගණිතය) යන විෂයයන් හතර සමෝධානිතව ඉගැන්වීමයි. මෙහිදී දරුවන්ට තාක්‍ෂණික ක්‍රියාකාරකම් තමන් විසින්ම තමන්ගේම සැලසුම්, සැකසුම්, ඉදිරිපත් කිරීම්, ආදිය මගින් දරුවන්ගේ පරිකල්පනය, නිර්මානශීලීත්‍වය, නවෝත්පාදන හැකියාවන් ඔප් නැංවීමත්, අනතුරුව දරුවා වැඩිහිටියෙකු වූ පසු ඒ අත්දැකීම් උපයෝගී කරගෙන සමාජයේ නව දර්ශනයක් සහිත පුද්ගලයින්, ව්‍යවසායකයින් බවට පත් කිරීමයි.

ඉදිරි දශක කිහිපය තුළ ලොව පුරාම නිෂ්පාදනය සහ කර්මාන්ත කෙරෙහි බලපාන රොබෝ තාක්‍ෂණය, කෘත්‍රිම බුද්ධිය වැනි නවීන විද්‍යාත්මක ප්‍රවණතා දියුණු වීම නිසා සාම්ප්‍රදායික රැකියාවන්වලට කිසියම් තර්ජනයක්  ඇතිවන බවත්, ඒ හරහා ඇතිවන නව රැකියා සඳහා අනිවාර්යයෙන්ම විද්‍යා, තාක්‍ෂණික අංශයන්හි දැනුම අනිවාර්ය වන බවත් පසක් වී ඇත. මේ අනුව නව ලොව ජය ගැනීම කෙසේ වෙතත්, අවම වශයෙන් නව ලෝකයේ නොනැසී සිටීමට නම් ඉදිරියේ අප දරුවන් STEM අධ්‍යාපනයෙන් සන්නද්ධ කළ යුතුමය. ඒ පිළිබඳ ඉදිරි ලිපි පෙළකින් සාකච්ඡා කරමු.

පිටස්තරයා – 21


EP-21

පසුදා උදෑසනම විශ්ව අවදි වුනේ හිතේ ලොකු සතුටක් සිතේ දරාගෙන…. මාස එකහමාරකට පමණ පසු ආයෙම පර්යේෂණාගාරය වෙත යන්න ලැබීම ගැන සතුටක් වගේම ඒ කාළය තුළ කිසිදු වැඩක් නොකර සිය පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන්ම මහන්සි වීම නිසා තරමක ඒකාකාරී බවක් විශ්වගේ සිත තුළ තිබුණා. එකම වෙනස වූයේ සිය මාමාත් නැන්දාත් තමා වෙනුවෙන් සියළු කටයුතු ඉටු කරදීම පමණයි. තව නොබෝ  දිනකින්ම ඔවුනුත් නැවත ශ්‍රී ලංකාව බලා යන නිසා නැවතත් තමා තනි වන බව සිතුනත් දැන් ඔහුගේ තනියට මොලී නිතරම ලඟ ගැවසෙන නිසා එවැනි තනිකමක් නොදැනේවි යැයි විශ්වගේ යටිහිත පවසන අයුරක් ඔහුට හිතුනා…

මාමාගේත් නැන්දාගේත් දෙපා නැමඳ විශ්ව නාවික පර්යේෂණ ආයතනය බලා යාමට ඊයේ තමාට ලැබුණ අළුත්ම වාහනයේ නැඟුන විශ්වට තරමක සැහැල්ලුවක් දැනුනා…

Welcome Back ! යනුවෙන් සඳහන් කළ බැනර් එකක් සිය පර්යේෂණාගාරයේ  එල්ලා තිබෙනු විශ්ව දුර තියාම දුටුවා… ඔහුගේ මුහුණේ සිනාවක් ඇඳුනේ ඉබේටම… තමා තවමත් නාවික පර්යේෂණායතනයේ ඒ කුඩා පවුලේ සාමාජිකයෙකු බව ඔහුට මතක් වුනා…

සුපුරුදු පරිදි තම මේසයට යන විට කාර්යාලයේ වෙනදා මේ වෙලාවට නොඑන අය මෙන්ම සිය ප්‍රධානීන් දෙදෙනා වන නීල් ෆියු සහ ඩෙනිස් ලිපර්ඩ් දෙදෙනාත් පැමිණ සිටියා….

Welcome Back son,. ! ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් විශ්ව ඉදිරියට පැමිණ වැළඳ ගත්තෙ කවදාවත් නැති විදියේ හෘදයාංගම බවකින්..

ඒ සමගම වගේ මොලී කාර්යාලයට පැමිණියේ කේක් ගෙඩියක් ද රැගෙන…

ආ….. එච්චරයි අඩුවකට තිබුණෙ…..

ඔන්න මම විශ්ව නිසාම නිර්මාංශ කේක් ගෙඩියක් හදාගෙන ආවා…..

හැමදෙනාම විශ්ව නැවතත් සේවයට පැමිණීම ගැන සුභ පැතුවා….. කේක් බෙදාගෙන තේ පානයෙන් අනතුරුව වැඩ පටන් ගන්න යන අතරේ නීල් සහ ඩෙනිස් දෙදෙනාම විශ්වත් මොලීවත් නීල්ගේ කාර්යාලයට කැඳවූවා…

දැන් ඉතිං විශ්වට ආයෙම පුරුදු පරිදි වැඩ පටන් ගන්න පුළුවන් නේද ? නීල් විශ්ව දෙස බලාගෙන ඇසුවෙ පිළිතුරක් බලාපොරොත්තුවෙන්ම නොවෙයි.

ඔව් නීල්, දැන් මට 100% ක් හොඳයි… ආයෙම අතපසු වුන වැඩත් එක්කම කරන්න පුළුවන් වේවි…

ඒක හොඳයි.. මොකද අපේ අළුත් පර්යේෂණය අත ගගා ඉන්න පුළුවන් එකක් නොවෙයි.. මේක වැදගත් වෙන්නෙ අපට පමණක් නොවෙයි මුළු ලෝකයටම… ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් නැවත වතාවක් විශ්වගේත් මොලීගේත් පර්යේෂණය පිළිබඳ විස්තර රාශියක් කියාගෙන ගියේ සමහර කරුණු විශ්වට අමතක වී ඇතැයි සිතා විය හැකියි. නමුත් ඒ සියල්ල විශ්වට හොඳින් මතක තිබුණා.

දැන් ඩෙනිස් කියන්නෙ අපට මේ පර්යේෂණය සඳහා ඒ ඒ ස්ථානවලට යන්න වෙනවා කියන එකද ?

ඔව්…. සමහරවිට අපට මේ පර්යේෂණයේ ක්‍ෂෙත්‍ර පරීක්‍ෂණ සඳහා අදාල ස්ථානයටම යන්න සිදු වේවි. ඒකට අපට අදාල බලධාරීන්ගෙන් අවසර ගන්න වෙනවා. ඒ නිසාම අපට අපේ ආයතනය සමඟ ඇති ඔබේ සම්බන්ධතාවය බිඳ දමා වෙනත් ආයතනයකට සම්බන්ධ කරන්න සිදු වෙනවා. නාවික පර්යේෂණ ආයතනය මගින් වෙනත් රටක මෙවැනි පර්යේෂණයක් සිදු කරනවා කියන්නේ ඒ රටවල සැකය කෙළින්ම අප දෙස යොමු වෙන එකයි. නමුත් විශ්ව විද්‍යාලයක පර්යේෂණයක් විදියට මෙය සිදු කෙරුණොත් ඒ සැකය අප වෙත යොමු වෙන්නෙ නැහැ. අපි ඔබ දෙදෙනා යවන්නේ විශ්ව විද්‍යාලයක සිසුන් දෙදෙනකු විදියට.. අදාල ලියකියවලි සියල්ල අපි සූදානම් කරන්නම්.

ළඟදිම යන්න ඕන වෙයිද ? මොලී ඇසුවෙ ඒ සියල්ල අවසන..

නැහැ නැහැ… අපි දැනට සෑහෙන කාළයක් මෙහේම පර්යේෂණය සිදු කරගෙන යන්න පුළුවනි… නමුත් හරියටම ගුරුත්‍ව ක්‍ෂෙත්‍රවල අගයයන් නිර්ණය කරන්න නම් අපට ඒ ස්ථානයටම යන්න වෙනවා.

කමක් නෑ.. මමත් මගේ ආචාර්ය උපාධි පර්යේෂණයට ඒ වගේ තැන් වලට ගිහින් තිබෙන නිසා ඒ ගැන ලොකු ප්‍රශ්නයක් මට නම් නැහැ… පොඩ්ඩක් අමාරු ඒ ඒ පරිසරයට අනුගත වන එක… හරියටම මාස ගණනාවක කෑම්පින් ට්‍රිප් එකක් ගියා වගේ. එච්චරයි… වැඩියත්ම හොඳ දේ තමයි ඒ ඒ රටවල සංස්කෘතීන්ට බැඳෙන එක… සමහරු අපි දිහා බලන්නෙ සැකයෙන්.. ඒ සැකය දුරු කරගන්න හොඳම විදිය තමයි ඒ ප්‍රදේශවල මිනිස්සු එක්ක සහයෝගයෙන් කටයුතු කිරීම.. අන්තිමට අපට ඒ මිනිස්සු බොහොම ආදරයෙන් සලකන්න ගන්නවා….

හරි එහෙනම්.. අපි ඉක්මනින්ම වැඩ පටන් ගනිමු… අපි දන්නවා විශ්ව අනතුරට පත්වෙලා සිටි කාළෙ මොලී මේ පර්යේෂණයට අදාල ගණනය කිරීම් බොහොමයක් නිම කළ බව.. ඒ වගේම විශ්වත් අදාල පර්යේෂණ පත්‍රිකා කියවලා නිසි අවබෝධයක් ලැබූ බව.. ඒ නිසා මේ පර්යේෂණය තවදුරටත් පහු කරන එකේ තේරුමක් නැහැ… ආචාර්ය ලිපර්ඩ් සිය තට්ටය අතගාමින් පැවසුවා..

වෙන මොනවත් ප්‍රශ්න තියෙනවද ? අවසන නීල් ඇසුවේ සාකච්ඡාව නිමා කරන අටියෙන්…

නැහැ… මටනම් නැහැ… මොලීට නම් ප්‍රශ්න තියෙනවද දන්නෙ නෑ..

නැහැ… මටත් කිසි ප්‍රශ්නයක් නැහැ…

එහෙනම් අපි සතියකින් ආයෙම හමුවෙමු.

 

සිය මාමාත් නැන්දාත් වොෂිංටන් රීගන් ගුවන් තොටුපලට හැරලූ විශ්වට දැනුනේ කවදාවත් නොදැනුන තනිකමක්. කුඩා කාළයේ තනිවම ජීවිතය ගත වූවාට වඩා සමීප බැඳීම් කිහිපයක්ම මෑතකදී ඇති වූ බව ඔහුට සිතුනේ තනිවම රිය පදවාගෙන නවාතැන වෙත පැමිණෙන ගමනේදී. සෙනසුරාදා දිනයක් නිසාත්, කරන්නට සුවිශේෂී යමක් නොතිබුණ නිසාත්, ඔහු සිය වාහනය වොෂිංටන් බෞද්ධ විහාරයට හැරවූයේ අත්ථදස්සි හිමියන් බැහැ දැක සිත සන්සුන් කර ගැනීමට සිතාගෙන.

ආ… කොහොමද ඉලංදාරියා ? කවදාවත් නොතිබූ සමීපබවකින් ස්වාමීන් වහන්සේ විශ්ව ඇමතූවිට ඔහු ඇත්තටම පුදුම වුනා.

දැන් නම් සියයට සියයක්ම හොඳයි ස්වාමීන් වහන්ස….

මට විශ්ව එක්ක කතා කරන්න ගොඩක් දේවල් තිබුණා. නමුත් පහුගිය දවස්වල විශ්ව බොහොම කාර්යබහුලව සිටි නිසා මම කතා කරන්නවත් ගියේ නැහැ. ඔයා මෙතැනට අද ආපු එක බොහොම හොඳ දෙයක්. අද පන්සලේ භාවනා වැඩසටහනත් නැති නිසා අපට නිදහසේ කතා කරන්නට පුළුවනි. අපි යමු භාවනා කුටිය පැත්තට…

අත්ථදස්සි හිමියන් එසේ පවසද්දී විශ්වට දැනුනෙ කුතුහලය පිරි සැහැල්ලුවක්, විශ්වටත් අවශ්‍ය වෙලා තිබුණේ ස්වාමීන් වහන්සේ සමග තමන්ගේ සිතේ පිරී තිබූ බොහෝ දේ පවසා එය හිස් කරගන්නට…

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

මට නම් අර කෙල්ල අල්ලන්නෙ නෑ … සුමනසේකර මහත්මිය සිය සැමියාට රහසින් පැවසුවේ කණස්සල්ලෙන්…

නීලා…. සුදුපුතා කියන්නෙ බොහොම දැනුම් තේරුම් තියෙන බුද්ධිමත් ළමයෙක්, එයා කවදාවත් මෝඩ තීරණයක් ගන්නෙ නෑ…

කවදත් බොහොම සන්සුන්ව කරුණු කාරණා සොයා බලා කතා කරන සුමනසේකර මහතා සිය බිරියට පැවසුවා…

ඒක මම දන්නවා.. ඒ වුනත් කෙල්ලො ඉස්සරහා තාපසයෙක්ගෙ වුනත් සිල් බිඳෙන බව අමතක කරන්න එපා…

ඔව් ඉතිං… මම ඔයාට අහු නොවෙන්න මගෙත් සසර ගමන කොච්චර කෙටි වෙන්න ඉඩ තිබුණද ?……

අනේ යන්න…. කවුද මාව හොයාගෙන අපේ ගෙදර ආවෙ. ? … සුමනසේකර මහත්මිය තරමක නුරුස්සන බැල්මක් හෙළුවෙ සිය සැමියා තරහ ගැස්වීමට….

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

දැන් කොහොමද විශ්වගෙ සෞඛ්‍ය තත්ත්‍වය ? හිමියන් කතාවට මුල පිරුවා…

ශාරීරිකව නම් සියයට සියයක්ම සනීප ගතියක් දැනෙනවා. නමුත් තවමත් සුපුරුදු පරිදි ව්‍යායාම කරන්න බැරි නිසා තරමක අපහසුවක් දැනෙනවා. ලබන සතියේ ඉඳලා ආයෙම ව්‍යායාම කරන්න පටන් ගන්න ඕන. මානසිකව නම් තරමක් ව්‍යාකූලයි..

මට තේරෙනවා… විශ්ව ඉන්නෙ දොලොවක් අතර තනි වෙලා… එහෙම නේද ?

නැහැ ස්වාමීන් වහන්ස… දෙලොවක් අතර නෙවෙයි… ඒත් ව්‍යාකූළයි….

දරුවෝ… මට හිත් කියවන්න බැරි වුනාට අංග ලක්‍ෂණ සහ හැසිරීම් රටා හොඳට වැටහෙනවා. ඔයාට කවදාවත් නැතිව හිත ව්‍යාකූල වෙලා තියෙන්නේ ඔය ස්ත්‍රී පරාණ දෙක නිසා…. මට තේරෙනවා…

හරි එහෙමයි කියමුකෝ… ඒත් ස්වාමීන් වහන්ස, මට හරියට භාවනාවක් කරන්නවත් හිත එකඟ කරගන්න අමාරුයිනෙ… ඉස්සර කිසිම අවස්ථාවක එහෙම වුනේ නෑ,..

අමතක කරන්න එපා විශ්ව, ඔයාගෙ හිත දවස් ගාණක් වෙනම ලෝකයක සැරි සරලා, පාලනයකින් තොරව ඉබාගාතේ ඇවිදලා ආයෙම ශරීරයට ආපු හිතක්, ඒකෙදි ඔයා දන්නා සහ නොදන්නා බොහෝ දෙනෙකුගේ හිත් එක්ක දැනුවත්ව හෝ නොදැනුවත්ව ගණුදෙනු රාශියක් කරලයි නැවත ආවෙ… කාටවත් නොකීවත්, මම ඒ බව හොඳින්ම දැක්කා,  ඔබට පියවි සිහිය නැති අවස්ථාවෙ ඔබ බොහෝ දෙනෙක් එක්ක ගණුදෙනු කළා… ඒ හැම දෙයක්ම යන්ත්‍රවල සටහන් නොවුනත්, මට හොඳින්ම දැනුනා… ඔයාට තිබුණ එකම වාසිය ඔයාගෙ හිත ඔයාගෙ ශරීරය දමා නොගිය එකයි. එහෙම ගියා නම් අද ඔයා ජීවතුන් අතර නැහැ.. හිත එලියට ආපු හැම වෙලාවකම ආපහු යවන්න ඔයා දන්න කීප දෙනෙක්ම ඔයාගෙ වටේ හිටියා… අමතක කරන්න එපා….

විශ්ව සිය මුව අයාගෙන බලා සිටියේ අත්ථදස්සි හිමියෝ කවදාකවත් බොරුවක් වංචාවක් කරන කෙනෙක් හෝ නිශ්ඵල යමක් නොපවසන කෙනෙකු නිසාමයි. නමුත් හිමියන්ගේ මුහුණේ පවා එවන් කිසිදු හැඟීමක් තිබුණේ නැහැ… ඒ නිසාම විශ්ව විමසුම් සහගත බැල්මකින් හිමියන් දෙස බලා සිටියා…

ඔව් විශ්ව… අපට නොපෙනෙන, අපි නොදන්නා මානයන් ලෝකයේ හැම තැනම තියෙනවා. අපට පේන සහ ඇසෙන පරාසයට වඩා වෙනස් බොහෝ පරාසයන්වල ජීවය තිබෙන්නට පුළුවනි.  අපි දෙවියන් බඹුන් සහ භූතයන් කියලා කියන්නේ මෙන්න මේ අපේ පරාසයන්ගේ සීමාවන්ට එහා ගිය වස්තූන් වන්නට පුළුවනි. නමුත්, ඒ කතාවට නොවෙයි අද ඔබ පැමිණියේ…

එහෙමයි ස්වාමීන් වහන්ස…. මට යම් සැකයක් තිබෙනවා මගේ අවට සිටින අය මට ඇත්ත සඟවනවා කියලා. මේ හැඟීම මට හැමදාම දැනෙන අනාරක්‍ෂිත බව නිසා දැනුන දෙයක්ද, එහෙමත් නැතිනම් අනතුරෙන් සිහිය එනවිට සිතේ තිබූ හිස්බව නිසා දැනුන දෙයක්ද කියලා කියන්න මම දන්නෙ නෑ,. නමුත් මට කවදාවත් නැති විදියට හිතේ අවිශ්වාසයක් ගොඩ නැඟිලා තිබෙනවා.

කොහනේද ඒ අවිශ්වාසය දැනෙන්නෙ ? විශ්ව හිතනවද  කවුරු හරි ඔබව මුලාවක දාන්න, එහෙමත් නැතිනම් අමාරුවක දාන්න කටයුතු කරනවා කියලා ?

එහෙමයි ස්වාමින් වහන්ස… මට හිතෙනවා මගේ මේ අනතුරත් කවුරුහරි ඕනෑකමින්ම කළ එකක් කියලා. කවදාවත් නැති විදයට මගේ ශරීරයට වද දුන්නා. දැනටමත් ඇඟ ඇතුලේ යකඩ කූරු, වෙනත් දෑ බොහොමයක් ඇතුල් කරලා. කවදාවත් ආගන්තුක දෙයක් ඇඟට ඇතුලත් කරගත්තෙ නැති මට ඒක බොහොම වදයක්. ඒ විතරක් නෙවෙයි.. මගේ ජීවත්වීමේ රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. ඇත්තෙන්ම මගේ ඇඟ දැන් අපිරිසිදුයි… ඒක මට යථා තත්ත්‍වයට ගේන්න ඕන. නැතිනම් මම බොහොම දුර්වල වෙනවා.

විශ්ව තමන්ගේ සිතේ පවතින ව්‍යාකූලබව ස්වාමීන් වහන්සේට කියා පෑවා…

අත්ථදස්සි හිමියෝ ඒ සියල්ල අසා සිටියේ සක්මන් කරමින්. අවසානයේ පොත් රාක්කයකින් රැගෙන ආවෙ බොහොම පුරාණ පුස්ථකයක්…

මේ පොත ගැන විශ්වට අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ… මේ පොතෙන් තමයි සූර්යබණ්ඩාර මහත්මයා විශ්වගෙ ජීවිතය ගොඩදාන්න අවශ්‍ය බෙහෙත හොයා ගත්තෙ…

මේක විශ්වට කියවන්න අමාරු වෙන්නෙ නෑ… ඒ විතරක් නෙවෙයි, මම තව බෙහෙත් වට්ටෝරුවක් ලියලා දෙන්නම්, හොයා ගන්න අමාරු වෙන එකක් නෑ.. මේ ලෝකෙ මිනිස්සු නොදන්න බොහොමයක් දේවල් පරිසරයටයි ජලයටයි කරන්න පුළුවනි. ඒ වගේම විශ්ව හිත එකඟ කරගන්න වෙනවා. ශරීරය නැවත පාලනයට ගන්න. හිතයි ශරීරයයි එක විදියට පාලනයට නතුකරගන්නෙ නැතිව ඔබ හිතන තැනට ලංවෙන්න අමාරුයි.

ආගන්තුක ද්‍රව්‍ය ශරීරයට ඇතුළු වුනා කියලා ලතැවෙන්න එපා. ඒවා කොහොම වුනත් භෞතිකව ශරීරය ඇතුලෙ තියෙනවා මිසක්, රසායනිකව ඔබේ ශරිරය එක්ක ක්‍රියා කරන්නෙ නැහැ. ඒ නිසා ඒවා ඔයාගෙ පැවැත්මට බාධාවක් වෙන එකක් නැහැ කියලා හිතාගන්න.

අත්ථදස්සි හිමියෝ විශ්වට තවත් බොහෝ දෑ පැවසුවා… විශ්ව සාවධානව අසා සිටියා මිසක් වෙනත් කිසිවක් කියන්න ගියේ නැහැ…..

නමුත්, බොහොමයක් දේ ගැන විමසිලිමත් වෙන්න. පිටතින් පෙනෙන දේ ඇතුලත නැතිවෙන්න පුළුවනි, කිසිම දෙයක් සියයට සියයක් විශ්වාස කරන්න එපා. අවසානයේ අත්ථදස්සි හිමියෝ වදාරා සිටියා….

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

දැන් මොකද කරන්නෙ ? මිනිහා ජෙනී එක්ක එකට වැඩ කරන නිසාම අපට වාසිය වැඩියි, නමුත්, අපිව අවිශ්වාස කරයිද ?

ජේසන්  එසේ ඇසුවේ සති අන්තයේ සිය සගයින් දෙදෙනා සමගින් මධුවිතක් තොලගාන අතරේ. තවමත් ඔවුන් තිදෙනාම සොයන, ජෙනරාල් වෙලිංටන් සහ අද්මිරාල් බවර්  සැක කරන විශ්වගේ සුවිශේෂීතාවය කුමක්දැයි සොයා ගන්නට තිදෙනාම සමත් වී නැහැ. මේ නිසා ඔවුන් දන්නා සියළුම උපක්‍රම මේ සඳහා යොදවන්න ඔවුන් ක්‍රියා කළා… ඔත්තු බලන ඉලෙක්ට්‍රොණික උපාංග සවි කිරීම, සමීපතමයෙකු යෙදවීම ආදී සියල්ල ඔවුන් උපයෝගී කර ගත්තත්, තවමත්, කිසිම සුවිශේෂී දෙයක් සොයාගැනීමට ඔවුන් අසමත් වුනා…

මාත් එක්ක වැඩ කරන එක හරි, නමුත් එයා අපිව විශ්වාස කළත්, මම හිතන්නෙ නැහැ එයා අපි හිතන තරම් වැදගත් කෙනෙක් කියලා. අපි කොච්චර මේ වගේ මෙහෙයුම් කරලා තියෙනවද ? මට නම් ඒ එකකවත් තිබුණ හැඟීමෙන් සියයට දහයක්වත් වැදගත්කමක් දැනෙන්නෙ නැහැ මේ ගැන.

සමහරවිට ඔයාට එයා ගැන හැඟීමක් ඇති නිසා වෙන්න බැරිද ? මයික් ඇසුවේ කුතුහලයෙන්..

මටයි කියලා එහෙමත්ම හැඟීමක් නෑ… ඔයාල දෙන්නා මගේ ගැන නොදන්නවා නෙවෙයිනෙ…

සමහරවිට මේක බොහොම හෙමින් යන මෙහෙයුමක් නිසා වෙන්න පුළුවන්. වෙන ඒවයෙ තියෙන ඉක්මන්බව මේකෙ නැහැ… ඒ මදිවට මට පර්යේෂණ කරන්නත් වෙලා…

කෝකටත් මම කතා කරලා බලන්නම්. සමහරවිට ඉරිදා දවසේ එළියට යන්න යොදා ගන්න බැරි වෙන එකක් නැහැ….

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

පිටස්තරයා – 20


EP-20

ඉන් පසුව එළැඹුන සතිය පුරාවටම විශ්ව සිය පාදය සවිමත් කර ගැනීමේ ව්‍යායාම් වල නිරත වුනා…. ක්‍රම ක්‍රමයෙන් මානසික ඒකාග්‍රතාවය තීවෘ කර ගැනීමටත් සිය සිරුරේ පරිපූර්ණතාවය කරා ලඟා කර ගැනීමටත් ඔහු වෙහෙසුනා….. කිහිප වතාවක් මොලී පැමිණ ඔහුගේ සැපදුක් සොයා බැලුවත්, විශේෂ යමක් සිදු වූයේ නැහැ… සති කිහිපයක්ම ඇමරිකාවේ ගත කළ සුමනසේකර යුවල නැවතත් ශ්‍රී ලංකාව බලා යා යුතු බවට සිතා බැලුවා… විශ්වගේ පාදයත් සෑහෙන තරමක සුවයක් ලබා ඇති නිසාත්, ඔහුට බොහෝ දේ තනිවම කරගත හැකිව තිබූ නිසාත්, ඔවුන් දැන් ලංකාව බලා යා යුතු යැයි  සැම දෙනාටම දැනුනා….. ඒ අතර දිනක මොලී පැමිණියේ තවත් අළුත්ම ආරංචියක් රැගෙන….

විශ්වගෙ කාර් එකට මොකද කරන්නෙ ? මොලී ඇසුවෙ යමක් හිතේ තබාගෙන

මට රක්‍ෂණ ආයතනයෙන් කතා කරලා කිවුවා කාර් එක ආයෙම හදන්න බෑ කියලා..

ඔයාට අළුත් කාර් එකක් ලැබෙන්නයි යන්නෙ..

ඒක නම් හොඳයි. කොහොමද ඒක ඔයා දන්නෙ ?

මම නීල් එක්ක කතා කළා…. නීල් මගෙන් විස්තර ඇහුවා… මම පොලීසියට කතා කරලා ඒ අයගෙන් විස්තර අරගෙන නීල් එක්ක කතා කරලා රක්‍ෂණ සමාගමට කතා කළා… කාර් එක නැවත ගොඩ ගන්න බැරි අන්දමට විනාශ වෙලා ඉවරයි. ඒ නිසාම නීල් රක්‍ෂණ සමාගමට කතා කරලා බැලුවා අළුතින් කාර් එකක් ගන්න පුළුවන් වේවිද කියලා. ඒ අය කිසි ප්‍රශ්නයක් නැතිව කාර් එකක් දෙන්න සූදානම්… ඔයාට තියෙන්නෙ මාත් එක්ක ගිහින් ලිය කියවිලි සහතික කරලා කාර් එක ගේන එක විතරයි…. මට ඔයා කැමති දවසක් කියන්න… මම ඔයාව එක්කරගෙන යන්නම්..

බොහොම ස්තූතියි මොලී… මම හිත හිතා හිටියෙ කාර් එකට මොනවා කරන්නද කියලා…. කොහොමද අළුතෙන් කාර් එකක් ගන්න පුළුවන් වෙන්නෙ ? මගේ කාර් එක ටිකක් පරණයි නෙ….

ඔයා දන්නවනෙ විශ්ව, නීල්ට තියෙන සම්බන්ධතා…. හැරත්, ඔයා වැඩ කරන්නෙ නාවික පර්යේෂණ ආයතනයෙ කියන එක අමතක කරන්න එපා…. ඔයා ගැන ඒ අය සෑහෙන බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ.

මොලී, ලොකු මාමලා තව දවස් දෙකකින් ආපහු ලංකාවට යන්නයි හදන්නෙ…. ඊට ඉස්සරවෙලා අපි ආයෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගිහින් මගේ ප්‍රගතිය බලාගෙන එන්න ඕන… මටත් දැන්  මෙහෙම ගෙදරටම වෙලා ඉඳලා ඇති වෙලා තියෙන්නෙ… ඔයාට පුළුවන්ද හෙට හවසට මාව එහේට එක්කරගෙන යන්න ? පුළුවන් නම් ලොකු උදව්වක්. විශ්ව බොහොම සෙමෙන් ඇසුවේ ඔහුට කාගෙන්වත් උදවු ඉල්ලලා පුරුද්දක් නැති නිසා.

අයියෝ ඕක මොකද්ද විශ්ව ? ඔයාට ඕක උදව්වක් නෙවෙයි… මම දැන්මම නීල් ට පණිවුඩයක් යවන්නම් නිවාඩු ඉල්ලලා… අපි හෙට පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගිහින් ඒකත් කරගෙන කාර් එකේ වැඩෙත් බලාගෙනම එමු…. එතකොට ඉතිං වැඩ දෙකම එක දවසකින් ඉවර කරගන්න පුළුවන් නෙ…. අපි හෙට යනකොට මේ දෙන්නත් අපි එක්ක එනවද ? මොලී ඇසුවෙ පසෙක රූපවාහිනිය නරඹමින් සිටි සුමනසේකර යුවල පෙන්වමින්…

ඔව්… ඒ දෙන්නට ගීතිකා හමු වෙලා ස්තුති කරන්න ඕනලු… ලංකාවෙ උදවිය නෙ… කොහොමත් අපේ අය එහෙම තමයි.. සුළු උදව්වක් කළත් ඒ අයට කෘතගුණ සලකන්න අමතක කරන්නෙ නැහැ…

පුනරුත්ථාපනය වන අතරතුරේම මොලී ගෙනැවිත් තිබූ පර්යේෂණ පත්‍රිකා සියල්ලම හොඳින් අධ්‍යයනය කළ විශ්ව සිය පර්යේෂණය පිළිබඳ හොඳ දැනුමක් මෙන්ම සැලසුම් රාශියක් සකසා තිබුණා. එය මොලීට නොකිවුවත්, ඇගේ සිතැඟි දැනගැනීමේ අටියෙන් විශ්ව පර්යේෂණාගාරය පිළිබඳ ප්‍රශ්න කළා.

ඉතිං… කොහොමද පර්යේෂණාගාරය ? මම දැන් මාසයක්ම ගියේ නැති නිසා ආයෙම ඔක්කෝම අළුතෙන් පටන් ගන්න වෙයි වගේ….

නැහැ නැහැ…. කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ…. හැමෝම කතා කරන්නෙ නම් විශ්වට සිදුවුන දේ ගැන. කට්ටිය ඔයාව බලන්න එන්න ඕන කියලා සැලසුම් කළත්, ඔයාට සනීප වෙන්න ඉඩ දෙන්න ඕන නිසාම එයාලව එන එක මම වැඩිය උනන්දු කළේ නැහැ. කොහොමත් තව ටික දවසකින් ඔයා වැඩට යන නිසා ඒ අයට එච්චරම අවශ්‍යතාවයක් නැති ගානයි. මම මේ දවස්වල සැලසුම් කරන්නෙ අපි දෙන්නට භාර දීපු පර්යේෂණය ගැන…. ගොඩක් වෙලාවට ත්‍රිමාණ පරිඝණක වැඩසටහන් විශ්ලේෂණය කරන එක තමයි කරන්නෙ… ඒ ගැන මට නම් සෑහෙන ඉගෙන ගන්න තියෙනවා… ඔයා මම එවපු පර්යේෂණ පත්‍රිකා ටික බැලුවද ?

ඔව්… මේ දවස්වල ඉතිං කළේ ඒකම තමයි… මට අළුත් අදහස් ටිකකුත් ආවා… අපි ආයෙම පර්යේෂණාගාරයට ගියාම ඕවා කතා කරමු.. දැන් පර්යේෂණාගාරයෙ කට්ටිය කොහොමද ?

ඔක්කොම හොඳින් ඉන්නවා…. මෙගන් නම් මාත් එක්ක එච්චර හොඳ හිතක් නැහැ… මම දන්නෙ නැහැ ඒ ඇයි කියලා… නමුත් මම ඔයාට සමීප වෙලා ඉන්නවට එයා වැඩිය කැමති නැති බව තමයි කට්ටිය කියන්නෙ……

ගෑණු ළමයි කොහොමත් ඉරිසියයි නෙ… නේද ? විශ්ව තරමක් උස් හඬින් සිනාසෙමින් පැවසුවා…….

මෙගන් ටිකක් කොහොමත් අමුතුයි නෙ…….. එයා හිතන් ඉන්නෙ ලෝකෙ එයා වටේ කැරකෙනවා කියලනෙ…. ඉතිං හැම දේම මූලිකත්‍වයයි, හැමෝගෙමඅවධානයයි එයාට නැති වුනාම තරහ යනවා…..

ඔන්න ඕක තමයි මොලී මම ගෑණු ළමයි ගැන වැඩි අවධානයක් තිබුනෙ නැත්තෙ…. මට ඔය ප්‍රශ්න විසඳනවට වඩා දැනට ලබන මානසික නිදහස රත්තරං වටිනවා…. බැඳීම් අඩු කරගන්න තරමට මනස සන්සුන්….

එහෙම කියලා බැහැනෙ… අපි සමාජයක එකිනෙකාට බැඳිලයි ඉන්නෙ… ඔයාට පුළුවන්ද තනියම ජීවිතය ගෙනියන්න ? බැහැනෙ… දැන් මේ වෙලාවෙ වුනත් ඔයාට කී දෙනෙක්ගෙ උදව් ඕනද ? මම නැති වුනත් මේ මාමා, නැන්දා දෙන්නා, ඔයාගෙ යාළුවො.. ඒ ඔක්කොම ඔයාගෙ ජීවිතයට බැඳිලා තියෙන්නෙ.. ඔයාට ඒ බැඳුම් නැති කරගන්න නම් කවුරුවත් නැති පලාතක තනියම ජීවත් වෙන්න වෙනවා වනචාරියෙක් වගේ… මම හිතන විදියට මිනිස්සු විතරක් නොවෙයි, සතුන්, ගහකොළ පවා හැම දේකටම බැඳිලයි ඉන්නෙ.. ඒ නිසා තමයි මේ පද්ධතිය සමබරව තියෙන්නෙ.. මේ සම්බන්ධතා නැති වුන දවසට මේ සියල්ල බිඳ වැටෙනවා.. මම දන්නවා ඔයා මීට වඩා මේ කාරණා ගැන දන්න බව… නමුත් මට හිතා ගන්න බැහැ ඇයි ඔයා එහෙම කිවුවෙ කියලා…. හැමදාම තනිවෙලා ජීවත් වෙලා බැහැ විශ්ව…. ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ඕනා… එතැනදි බැඳීම් ඇතිවෙනවා – නැතිවෙනවා.. මට ඔයාට මේ ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕන නැති බවත් මම දන්නවා……

විශ්ව කිසිත් නොකියා අසා සිටියා පමණි.

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

රිචර්ඩ්,…… මට නම් තේරෙන හැටියට මේ අපි දුවන්නෙ කිසිම තේරුමක් නැති දෙයක් පස්සෙ…. ජෙනරාල් වෙලිංටන් සිය මිතුරා සමඟ දුරකථන සංවාදය අරඹමින් පැවසුවේ එතරම් සතුටකින් නොවෙයි.

මම හිතන්නෙත් අපි මේ වෙනුවෙන් වැය කරන සල්ලියි කාලයයි වෙනත් දේකට යොදවන්න පුළුවන්. කොහොම වුනත් තව ටික කාළයක් බලමු… මිනිහා තව සතියකින් විතර වැඩට ඒවි. ඒ අතරේ අපෙන් කෙරෙන්න ඕන වැඩ ටික කරමු…

ඔව්. මම දැනටමත් ඒක අර දෙන්නට භාර දීලයි තියෙන්නෙ… ඒ දෙන්නා ඉතිරි වැඩ ටික බලා ගනීවි… තව සති දෙක තුනක් ඇතුලත අපි මේ ගැන තීරණයක් ගන්න ඕන…

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

කොහොමද දැන් කකුල ? කියපු විදියටම ව්‍යායාම් කළා කියලා හිතනවා….. පසුදින සිය ප්‍රගතිය සළකා බැලීමට පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගිය විගස ගීතිකා සිනාසෙමින් ම කතා බහ ආරම්භ කළා.

කකුල නම් දැන් සෑහෙන්න හොඳයි… ඇත්තටම මට දැනගන්න ඕන මට කවදද වැඩට යන්න පුළුවන් වෙන්නෙ කියන එක තමයි….

හරි අපි බලමු කකුල කොහොමද කියලා… දැන් ඔයාට ලොකු පරීක්‍ෂණ කිහිපයකට මුහුණ දෙන්න වෙනවා… මම හිතන්නෙ ඔයාට ඒක අමාරු වෙන එකක් නැහැ කියලයි…. දැන් ගිහින් ඇඳුම් මාරු කරගෙන එන්න… ඊට පස්සෙ අපි බලමු කොච්චර කාලෙකින් ඔයාට වැඩට යන්න පුළුවන් වෙයිද කියලා…. ගීතිකා නැවතත් පැවසුවා..

ඉතිං මේ දෙන්නා ලඟදිම ලංකාවට යනවද ? විශ්ව ඇඳුම් මාරුකර ගැනීමට  ගිය අතරේ සුමනසේකර යුවල වෙත හැරුණු ගීතිකා විමසුවා.

ඔව් ඩොක්ට.. අපි මේ කියලා යන්නත් එක්කයි ආවෙ.. ඩොක්ට අපේ පුතාට කරපු උදව් නම් කවදාවත් අමතක වෙන්නෙ නැහැ…

අයියෝ සුළු දෙයක් මිසිස් සුමනසේකර, මේ අපි කරන්නෙ රාජකාරිය.. මම මේ ලංකාවෙ කෙනෙකුට මෙහේදි ප්‍රතිකාර කළ පළවෙනි අවස්ථාව.. සාමාන්‍යයෙන් ලංකාවෙ අය ඇමරිකානු හමුදාවෙ සේවය කරනවා අඩුයි නෙ. කොහොමත් විශ්ව කියන්නෙ බොහොම අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්, ඒ වගේම ඉක්මනින්ම සුව වුනා… සමහරවිට ලබන සතියෙ ඉඳලාම වැඩටත් යන්න පුළුවන් වේවි. ඇවිදින හැටියට නම් කිසිම වෙනසක් පේන්න නැහැ.. බොහොම හොඳට ව්‍යායාම කරලා තියෙනවා වගේ…

ඔව් එයා සෑහෙන මහන්සි වුනා ඉක්මනින්ම හොඳ කරගන්න… මොලීත් ඇවිත් නිතර නිතර ඇවිදින්න එක්කන් ගියානෙ….

ආ… ඒක නම් බොහොම හොඳයි… ඇඟට වගේම හිතටත් සහනයක් දැනෙනවා නම් තමයි ඉක්මනටම ලෙඩ හොඳ වෙන්නෙ…. නේද මොලී.. ? ගීතිකා මොලීගෙන් ඇසුවේ මෙතෙක් වෙලා නිහඬවම සවන් දීගෙන සිටි මොලීවත් සාකච්ඡාවට සම්බන්ධ කර ගන්නා අරමුණින්…

ඔව් ගීතිකා, මම බොහෝ වෙලාවට විශ්ව එක්ක ඇවිදින්න ගියා… කිසිම වෙලාවක මැසිවිල්ලක් නැතිව හොඳට ව්‍යායාම් කළා… මමත් හිතන්නෙ අද හොඳ ප්‍රගතියක් තියෙන්න ඕන කියලයි.

මම නම් හිතන්නෙ මට හෙට මැරතන් එකක් දුවන්නත් පුළුවන් වේවි කියලයි….. විශ්ව එසේ කියාගෙන ඔවුන් සිටින තැනට පැමිණියා..

හරි එහෙනම් ඔයාලා ඔතැන ඉන්න, මම විශ්ව එක්ක ගිහින් මොකද වෙලා තියෙන්නෙ කියලා බලාගෙන එන්නම්… එසේ කියා ගීතිකා විශ්වද සමගින් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතුලට ගියා.

විශ්ව මොකද දැන් හිතෙන්නෙ ? ගීතිකා විශ්වගේ මුහුණට එබී බලමින් ඇසුවෙ පුනරුත්ථාපනයෙන් පසු ඔහුගෙ සිතිවිලි කෙසේ වෙනස් වෙලාදැයි දැන ගැනීමේ අටියෙන්

හොඳයි, ඒත් මගේ ක්‍රියාකාරීත්‍වය සියයට සියයක්ම ආපසු ලැබිලා නැහැ. මම හිතන්නේ ඊලඟ සති කිහිපය තුළ මට හොඳ ප්‍රගතියක් ලබා ගන්න පුළුවන් වේවි කියලා. මම අද සවස ඉඳලා නැවතත් එළිමහන් ව්‍යායාම පටන් ගන්නයි ඉන්නෙ… මම අහන්න හිටියේ ගීතිකාගෙන් ඒක දැන්මම පටන් ගත්තට කමක් නැද්ද කියලා ?

කමක් නෑ විශ්ව. නමුත් කකුලට එකපාරටම වැඩිය බර දෙන්න එපා. තවමත් හරිහැටි සුව වෙලා නැහැනෙ. හයියෙන් ඇවිද්දට කමක් නෑ… තවම දුවන්න කරන්න යන්න එපා. මොනවා වුනත් දාලා තියෙන ටයිටේනියම් කොටස් අපේ ඇඟත් එක්ක පෑහෙන්නෙ නෑනෙ… ඒකට සෑහෙන කලක් යනවා.

කොහොමත් ඔයාට සති දෙකකට වතාවක් මෙහාට එන්න වෙනවා පුනරුත්ථාපනයේ ප්‍රගතිය බලන්න. මම ඔයාට ව්‍යායාම කාලසටහනක් දෙනවා. ඒකට අනුව කළා නම් අතුරු ආබාධ ඇති වෙන්නෙත් නෑ,..

යමු… ඉතිරි පරීක්‍ෂණ ටික ඉවර කරන්න…

 

ප්ලාස්ටික් පොලිතින් පිළිස්සීමෙන් ඇතිවිය හැකි ලිංගික විකෘති


මිනිසාටත් සත්ත්‍වයාටත් පොදු එකම ලෝකයේ ජලය හැරුණුකොටගෙන යමෙකුට වැදගත් දෙයක් වේ නම්, ඒ හුස්ම ගන්නා වාතයයි. කිසිවෙකු කවදාවත් මේ ගැන උනන්දු නොවන්නේ වාතය ඉබේම සහ නොමිලේම පෙනහළු වෙත ගමන් කරන නිසායි. දියේ ගිළුණු කෙනෙකු හෝ කිසියම් කරුණක් නිසා හුස්ම හිරවුණු කෙනෙකු හැරෙන්නට වාතයේ අවශ්‍යතාවය කොපමණක්ද කියා අපට නොතේරෙන්නේ මේ නිසයි. මේ තාක් දුරට සුවිශාල වායු දූෂණයක් ලංකාවේ දක්නට නොලැබෙන නිසා සහ එය ජාතික ව්‍යසනයක් තරමට පැතිර ගොස් නොමැති නිසා අපේ අවධානය මේ වෙත යොමු වී නැහැ. නමුත්, පසුගිය දශකයට වඩා මේ දශකයේ පෙනහළු ආබාධ වැඩිවීම, පෙනහළු පිළිකා ප්‍රමාණය වැඩිවීම වැනි හේතු වලට සෘජුව හෝ වක්‍රාකාරව වාතයේ අපවිත්‍රබව බලපා ඇති බව අධ්‍යයනය කරගෙන යාමේදී පෙනෙන කරුණක්. කෙසේ වුවත්, මේ තර්ජනය තවමත් අප නොසළකා හැරීම ඉදිරි දශක කිහිපය තුළ රටේ ජනතාව රෝගීන් බවට පත්වීම, ශ්‍රම බලකායේ කාර්යක්‍ෂමතාවය පහළ යාම වැනි රටේ ප්‍රගමනයට කෙළින්ම බලපාන බව රටේ බලධාරීන්ට නොපෙනීම ජාතියේ අවාසනාවක් බව නොකියාම බැහැ.

වාසනාවකට අපේ රටේ වායු දූෂණය ඉන්දියාවේ නවදිල්ලි නුවර හෝ චීනයේ බෙයිජිං නුවර තරම්ම බරපතල නොවූවත්, දැන් දැන් මහනුවර නගරයේ හා ඒ අවට වැඩිවෙමින් පවතින ශ්වසන ආබාධ ආශ්‍රිත ළමා රෝග, මෙයට කදිම උදාහරණයක්. එසේම කොළඹ නගරයේ අහස සමහර උදෑසනවල දකින මීදුම් සහිත හෝ අපැහැදිලි ස්වභාවය මේ තත්ත්‍වය ඉදිරියේදී ඇතිවිය හැකි ව්‍යසනයක පුරෝකථනයක්.

අප නොදැනුවත්වම ශරීරය තුළට ගමන් කරන මේ වාතය, වෙනත් සංඝඨක කිහිපයකින් මූලිකවම සමන්විතයි. එය නයිට්‍රජන් වායුව 78.09% ක්ම අඩංගු වන අතර 20.95 % ක් අඩංගු වන්නේ ඔක්සිජන් වලින්, 0.93% ක් වූ ආගන් වායුව ඉතිරිය සපුරන අතර, අප පාසල් යන කාළයේ 0.03% තිබූ කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය දැන් 0.04% බවට පත් වී ඇත්තේ අපටත් හොරාම, අපේම නොසැළකිල්ල නිසා. ඉතිරිය වෙනස්වන ප්‍රතිශතයකින් යුතු ජලවාශ්ප වැනි දෑ වලින් සමන්විතයි. නයිට්‍රජන් වායුව අපට සෘජුවම අනවශ්‍ය වුවත්, එය නොමැතිනම් ජීවයක් පවතින්නට අවස්ථාවක් නැහැ. කෙළින්ම ගතහොත් ඇමයිනෝ අම්ල, ප්‍රෝටීන මෙන්ම DNA නිෂ්පාදනයට සෘජුවම සම්බන්ධවන නයිට්‍රජන් වායුව නොමැතිනම් ලෝකයම එකම ගිණි ගොඩක් විය හැකිබව බොහෝ දෙනෙකු අමතක කළ කරුණක්. නයිට්‍රජන්හි වූ අක්‍රීයතාවය නිසා සහ එය වායුගෝලයෙන් පහෙන් එකක්ම අයත් කරගෙන තිබෙන නිසා ඔක්සිජන් නිසා සිදුවන ස්වයංක්‍රීය දහනය පාලනය වනවා. සියයට සියයක් ඔක්සිජන් තිබුණේනම්, වායුගෝලය මෙතරම් ස්ථායී වන්නේ නැහැ.

දිනකට කොළඹ නගරය තුළට වාහන ලක්‍ෂ පහක් ඇතුළු වන අතර ඒවා තුළ මිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් මිනිසුන් ගමන් කරනවා. මෙයින් වැඩිම වාහන ප්‍රමාණයක් (සියයට 87ක්) අයත් වන්නේ පෞද්ගලික ගමනාගමනයට, කාර්, යතුරුපැදි, සහ වෑන් මෙයින් ප්‍රධාන වනවා. නමුත් මේ පෞද්ගලික වාහනවල ගමන් කරන මිනිසුන් ප්‍රමාණය කොළඹට ඇතුළුවන සම්පූර්ණ ප්‍රමාණයෙන් සියයට 45 ක් පමණයි. සියයට හයක් පමණ වූ පොදු ප්‍රවාහන සේවයේ වාහනවල කොළඹට ඇතුළුවන ජනගහනයෙන් සියයට 51 ක ප්‍රමාණයක් ගමන් කරනවා. එසේ ගතහොත් කොළඹ රථවාහන තදබදයට වැඩිපුරම දායක වන්නේ පෞද්ගලික වාහනයි. මේ අතර මේ ලක්‍ෂ පහක වාහන අතර අඩුවැඩි වශයෙන් කාර්  (170,000)  , යතුරුපැදි (102,000), සහ ත්‍රීරෝද රථ (115,000)  සම සමව අයිතිය බෙදා ගන්නවා. ඉතිරිය වෑන් රථ (60,000) විසින් අයිතිකරගෙන තිබෙනවා. මේ අතර කොළඹට භාණ්ඩ ප්‍රවාහනය කරන වාහන ද ඉතිරිය සපුරනවා. කොළඹට පැමිණෙන වාහන බොහොමයක්ම පෞද්ගලික වාහන වුවත්, මේවායේ එන්ජින්වල තත්ත්‍වය තරමක් සුභදායක තත්ත්‍වයක තිබෙන්නේ දුම් සහතිකය අත්‍යවශ්‍ය කරුණක් වීම නිසා. අඩුවැඩි වශයෙන් දුම් සහතිකයේ නියම තත්ත්‍වය පිළිබඳ සැක සංකා ඇතත්, එය නියමිත පරාමිතීන්ගෙන් විශාල අපගමනයක් නැති නිසා, පරිසර හානියට පෞද්ගලික කාර් රථවලින් සිදුවන හානිය අඩුයි. නමුත්, ප්‍රවාහන ක්‍ෂෙත්‍රයේ නියැලෙන ත්‍රීරෝද රථ සහ බස්රථ වලින් පිටවන අපද්‍රව්‍ය සහ ඩීසල් දහනයෙන් බලය උපදවාගන්නා භාණ්ඩ ප්‍රවාහන රථ, මේ වායු දූෂණයට කෙළින්ම වග කියනවා. මේවායින් දුමට අමතරව, වායු ගෝලයට එකතු වන අංශූන් ප්‍රමාණය කොපමණදැයි ගණන් බැලිය යුතු නැහැ. ඒකක වශයෙන් කෙතරම් අඩු වායු දූෂණයක් පෞද්ගලික කාර් රථයකින් සිදු වුවත්, කාර් රථ ලක්‍ෂ දෙකකට අධික ප්‍රමාණයකින් වායු ගෝලයට එකතුවන අපද්‍රව්‍ය ප්‍රමාණය කෙතරම් වේ දැයි ගණන් බැලිය යුතුම නැහැ. එසේම මේ සියළුම වාහන, පැය ගණනක් රථවාහන තදබදයක හිරවී සිටියදී එකතුවන අහිතකර වායු ප්‍රමාණය කෙතරම්ද කියා කිසිවකු ගණන් බලා නැතුව ඇති. දැනට කොළඹ නගරය ඇතුළත වාහන ධාවන වේගය පැයට කිලෝමීටර 15ක් පමණ වෙනවා. එනම් බොහෝදුරට සෑම වාහනයක්ම පැයක් තුළ අඩුවැඩි වශයෙන් ගමන් කරන්නේ කිලෝමීටර 15ක තරම් දුරක්, අඩු ගියරයක මෙසේ ධාවනය වනවිට සිදුවන ඉන්ධන දහනය සහ එයින් පිටවන අපද්‍රව්‍ය ප්‍රමාණය ඉතා විශාලයි.

වායු දූෂණය දෙවැදෑරුම් වෙනවා. ඒ නිවාස හෝ ගොඩනැගිලි අභ්‍යන්තරයේ සහ එළිමහනේ ලෙසින්. එළිමහන් වායු දූෂණයට රථවාහන සහ කර්මාන්ත කෙළින්ම දායක වනවා. අභ්‍යන්තර වායු දූෂණයට බලපාන්නේ ගොඩනැගිලි අභ්‍යන්තර වායු නියාමන තත්ත්‍වයන්, ගොඩනැගිල්ල තුළ වූ මිනිසුන්, සහ වායු දහරා ගමන් ගන්නා මාර්ගයන් වනවා. නිවාස බොහොමයක් පිටත පරිසරයට නිරාවරණය වී ඇත්තේ ජනේල සහ වා කවුළු මගින්. මේ නිසා අභ්‍යන්තර වාතය සහ පිටත වාතය නිරන්තරයෙන්ම හුවමාරු වන නිසා එය විශාල වෙනසක් සිදු වන්නේ නැහැ. නමුත්, නිවස අභ්‍යන්තරයේ වූ වාතය නිරන්තරයෙන් පිටත වාතය හා හුවමාරු වන්නේ නැතිනම්, සහ එය වායුසමනයකින් සංසරණයක් සිදුවන්නේ නැතිනම්, අභ්‍යන්තර වාතයේ තත්ත්‍වය හානිදායක වන්නට පුළුවනි. නිවස ඇතුලත දල්වන පහන්, ඉටිපන්දම් මෙන්ම හඳුන්කූරු, මදුරුකොයිල් වැනි දුම් පිටකරන දෑ නිසා ද වාතයේ තත්ත්‍වය දූෂණය විය හැකියි. බොහෝදුරට හඳුන්කූරුවල ස්වල්ප වශයෙන් බහු-ඇරෝමැටික-හයිඩ්‍රොකාබන සහ බෙන්සීන් ව්‍යුත්පන්න අන්තර්ගතයි. මේවා පවතින්නේ සුළු වශයෙන් වුවත්, දීර්ඝකාලීන ආඝ්‍රාණය හරියටම දුම්වැටි ඉරීමකට හා සමාන විය හැකියි. දුම්වැටියක දුම පෙනහළුවලට ඇතුළු වන්නේ ෆිල්ටරයක් හරහා වුවත්, මදුරුකොයිල් සහ හඳුන්කූරු දුම පෙනහළුවලට යන්නේ නාසය හරහායි. මේ නිසා පෙරීමක් සිදු වන්නේ නැහැ. හඳුන්කූරුවලින් පිටවන දුමෙහි අන්තර්ගතය පිළිබඳ විශාල පර්යේෂණ ප්‍රමාණයක් සිදුවී නැති නිසා එයින් සිදුවන හානිය පිළිබඳ තවමත් ගණන් බලා නැහැ. මේ නිසා නිවසක් වායු සමනය කර නැතිනම්, එය නිසි ලෙස වායු සංසරණය වන ලෙස සැකසීම වැදගත්, බොහෝ ගෘහනිර්මාණශිල්පීන් මේ තත්ත්‍වය හොඳින් අවබෝධකරගෙන සිටින බව දැනීම සතුටට කරුණක්.

 

කොළඹ මේ තත්ත්‍වය වෙනස්, බොහෝ නිවාස සහ ගොඩනැගිලි වායුසමනය කර ඇති නිසා, ඇතුළත වාතයේ තත්ත්‍වය වාතය නියාමනය වන ආකාරය මත රඳා පවතිනවා. මේ නිසා මිනිසුන් බහුලව වෙසෙන ගොඩනැගිල්ලක, නිසා වායු සමනයක් අනිවාර්යයි. සමහරවිට විදුලිය ඉතිරිකිරීමට වායු සමන යන්ත්‍ර විටින් විට ක්‍රියාත්මක කළත්, ඉන් සිදු වන්නේ විදුලි හානියක් මෙන්ම සෞඛ්‍යමය හානියක්. එසේ විටින්විට ක්‍රියාත්මක කිරීම වෙනුවට උෂ්ණත්‍වය සෙල්සියස් අංශක 26 පමණ නිරන්තරයෙන් ක්‍රියාකරවීම බලශක්තිය අතින් මෙන්ම සෞඛ්‍යමය අතින්ද වාසිදායකයි.

අප කෙසේ කෙතරම් කතා කළත්, නගරයකට ඇතුළුවන වාහන ප්‍රමාණය සීමා කිරීමට එකවරම අපහසුයි. පසුගිය වසර කිහිපය තුළ කොළඹට ඇතුළුවන කාර් ප්‍රමාණය – යතුරුපැදි ප්‍රමාණය අභිබවා ගොස් තිබෙනවා. මේ නිසා කාර් රථ වලින් සිදුවන වායු දූෂණය, ඉන්ධන දහනය මෙන්ම, වාහන තදබදය ද ඉහළ ගොස් තිබෙනවා. මහනුවර නගරයේ වාහන තදබදය එහි පිහිටීම සමග එකතු වූ විට දැඩි අනතුරුදායක තත්ත්‍වයක් උදාකර තිබීම ඉතා අවාසනාවන්ත කරුණක්. මහනුවර නගරයේ පිහිටීම ඇත්තේ කඳු වලල්ලකින් මැදි වී බේසමක පතුල ආකාරයෙන්. මේ නිසා නගරයට නිසි වායු සංසරණයක් සිදු නොවනවා සේම, වාහන නිසා එකතුවන දුමාරය සහ වායූන් නගරය තුළ සහ ඉහළින් එකතැන රැඳෙන ස්වභාවයක් තිබෙනවා. එසේම මහනුවර පසුකර යන සෑම වාහනයක්ම නගරයට ඇතුළුවන නිසා මේ තත්ත්‍වය දරුණු වී තිබෙනවා. දළදා මාලිගාව අසලින් යන මාවත පිළිබඳ බොහෝ විවේචන සහ විවාද ඇතත්, මහනුවර නගරයේ වායු දූෂණයට සෘජුව බලපා ඇත්තේ එයම නොවෙයි. එම මාවත විවෘත කළත්, නගරයේ රථවාහන තදබදය අඩු වන්නේ නැත්තේ, නගර සැළසුමේදී නගරයේ මාර්ග අනාගත ජනගහන වැඩිවීමක් වෙනුවෙන් පුරෝකථනය කර නැතිව සැලසුම් කර ඇති නිසායි. කළ හැකි සහ කළ යුතු හොඳම දෑ වන්නේ, පිටපලාත්වලට යන වාහන, නගරයට ඇතුළු නොවී වෙනත් මගක් හරහා යාමට සැලසුම් කිරීමයි. මෙයින් නගරයට ඇතුළුවන වාහන ප්‍රමාණය අඩු වනවා. එසේම නගරය තුළ පෞද්ගලික වාහන සීමා කර, පොදු ප්‍රවාහන සේවය කාර්යක්‍ෂම කිරීම මෙන්ම, නගරයේ රථවාහන තදබදය උපරිම කරන ගුඩ්ශෙඩ් බස් නැවතුම්පළ එතැනින් ඉවත් කර වෙනත් තැනක ස්ථාපනය කිරීම මගින් මහනුවර වූ වායු දූෂණ තත්ත්‍වය තරමක් දුරට පාලනය කර ගැනීමට හැකියි. එසේ නොකළහොත්, මහනුවර නගරයේ ජනගහනයෙන් සියයට පනහකට වඩා පෙනහළු ආබාධවලින් යුත් පරපුරක්  අනාගතයේදී බිහිවීම වලක්වාගත හැකි වන්නේ නැහැ. මේ අප අනතුරට හෙලන්නේ අපේ අනාගත පරපුර බව සිහියේ තබාගත යුතුමයි.

කොළඹ නගරයේ තත්ත්‍ව තරමක් වෙනස් වන්නේ එය මුහුදු සුළඟ හා නිරන්තරයෙන් සංසරණයට භාජනය වීම නිසායි. එසේ වුවත්, කොළඹ නගරයේ තත්ත්‍වය ද බරපතල අයුරින් අනතුරුදායක තත්ත්‍වයකට පත්ව ඇත්තේ නිසි නගර සැලසුමක් නොමැති නිසායි. බොහෝ ජනාකීර්ණ නගර සැලසුම් කිරීමේදී වායු සංසරණ රටාවන් සැලකිල්ලට ගෙන සැලසුම් සිදු කරනවා. මේ නිසා බොහෝ මංමාවත්, එක්තරා රටාවකට, වාතය ගලාගෙන යාමට හැකි පරිදි සැලසුම් කර තිබෙනවා. උදාහරණයක් ලෙස බම්බලපිටිය ප්‍රදේශය ගතහොත්, මුහුද පෙදෙසේ සිට සැලසුම් කර ඇති මාර්ග හරහා මුහුදු සුළං රට තුළට ගලාගෙන එනවා. මේ නිසා වායු දූෂණය අඩු වනවා. නමුත්, දැන් දැන් සැකසෙමින් පවතින මහා පරිමාණ සුවිසල් ගොඩනැගිලි ස්ථාපනය කර ඇති ස්ථාන නිසා මේ වාතය ගලා යාමට බාධා පැමිණිය හැකියි. මේ නිසා කොළඹ නගරය තුළත්, වාතය නිසි ලෙස සංසරණය නොවීම ඉදිරියේදී සිදුවිය හැකියි. මෙයට, කොළඹ නගරයට ඇතුළුවන වාහන වලින් පිටවන දුම සහ අංශූන් එකතු වූ විට, මිනිසුන්ට අනිවාර්යයෙන් මුව වැසුම් පැළඳීමට සිදුවනු නියතයි.

නවදිල්ලියේ මෑතක පැවැත්වූ ක්‍රිකට් තරඟයකදී, ශ්‍රී ලංකා කණ්ඩායමට මුවවැසුම් පැළඳීමට සිදු වූයේ තරඟය බේරා ගැනීමට මෙන්ම නවදිල්ලි වායු තත්ත්‍වය නරක අතට හැරී තිබූ නිසා. මේ තත්ත්‍වය චීනය, ඉන්දියාව, පකිස්ථානය සහ බංග්ලාදේශය  යන රටවල දැකිය හැකි කරුණක්. මේ රටවල ප්‍රධාන නගරවලට ඇතුළුවන වාහන ප්‍රමාණය සහ අධික ජනගහනය මෙයට සෘජුව දායක වනවා. මේ නිසා ඒ නගර විටින්විට නගරයට ඇතුළුවන වාහන සීමා කරනවා. මෙය රථවාහන පාලනයට, තදබදය අවම කිරීමට මෙන්ම වාතයේ තත්ත්‍වය ඉහළ නැංවීමට දායක වනවා. කොළඹ නගරයේ වායු දූෂණයට සියයට 60ක දායකත්‍වයක් ලබා දෙන්නේ නගරයට ඇතුළුවන රථවාහන බවට ගණන් බලා තිබෙනවා. අවාසනාවට ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ මානසික මට්ටම පොදු යහපත තකා කටයුතු කිරීමට සැකසී නැති නිසා, මේ නීතිරීති පැනවීමට රජයට හැකියාවක් නැහැ. එසේම රජයද, දීර්ඝකාලීන යහපතට වඩා ගැලරියට වින්දනය සැපයීමට කටයුතු කරන නිසා එය ද සිදු වන්නේ නැහැ. මේ තත්ත්‍වය පාලනය කිරීමට අනිවාර්යයෙන්ම වාහන සීමා කළ යුතුමයි. එසේම පරිසර හිතකාමී පොදු ප්‍රවාහන සේවාවන් වැඩි කල යුතුයි.

මෙවර අයවැයෙන් යෝජනා වූ විදුලියෙන් ක්‍රියාකරන වාහන ගෙන්වීම ඉහළ නැංවීම, පොදු ප්‍රවාහනයට විදුලි වාහන යොදා ගැනීම සහ වසර 2040 වනවිට ඉන්ධනවලින් ධාවනය වන වාහන මාර්ගවලින් ඉවත් කිරීම වැනි ප්‍රායෝගික සහ පරිසර හිතකාමී යෝජනාවන් අගය කළ යුතුමයි. නමුත් අවාසනාවකට ලාංකීය ජනසමාජය විවිධ දේශපාලන හේතූන් නිසා එවැනි යෝජනාවන් විවේචනය කරමින්, එය නොකෙරෙන තැනට කටයුතු කරනවා විනා, එය ප්‍රායෝගිකව කළ හැක්කේ කෙසේදැයි සිතා බලනවා අඩුයි. මේ නිසා මේ කටයුතු අඩාල වනවා විනා, ක්‍රියාවට නැංවෙන්නේ නැහැ. සංවර්ධිත රටවල් මේ ඉලක්ක සඳහා යන ගමන වේගවත් කර තිබෙනවා. ජර්මනිය සහ ප්‍රංශය, සිය විදුලිබල නිශ්පාදනයෙන් සියයට 80 ක්ම පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගන්නවා. ඒ රටවලට ඉන්ධන ආනයනය බොහොම සුළු කටයුත්තක්. එසේම සූර්යාලෝකය සැපයෙන්නේ දිනකට පැය හතරක් හෝ පහක් වැනි සුළු කාළයක්. නමුත්, ඒ රටවල මහජනතාව මෙන්ම රජය ද එකා වන්ව කටයුතු කරන්නේ පොදු යහපත වෙනුවෙන්.

රටේ කර්මාන්තවලින් සහ තාප- ගල්අඟුරු බලාගාරවලින් පිටවන කාබන් ඩයොක්සයිඩ් සහ අංශුමය අපද්‍රව්‍ය නිසා ද වාතය දූෂණය වනවා. මේ නිසා මේ විමෝචනයන් නිසි ලෙස නියාමනය විය යුතුයි. වාසනාවකට බොහොමයක් කර්මාන්ත කොළඹ නගරයෙන් ඈත්ව පිහිටුවා තිබීම නිසා කොළඹ නගරයේ වායුව දූෂණය වීම අවමයි. එසේම ඒ කර්මාන්ත සහිත පෙදෙස් හොඳින් වාතාශ්‍රය ලබන නිසා, දූෂීත වායුව පරිසරයේ ඉහළට විසිරී යන නිසා මිනිසුන්ට ඇතිවන ආචරණය අඩුයි.

ලංකාවේ පැවති රජයන් මෙන්ම පවතින රජයන් ද මේ තත්ත්‍වය සමනයට කටයුතු යොදා තිබෙනවා. වසර 2000 දී වායු තත්ත්‍වය නියාමනය කිරීමට ජාතික ප්‍රතිපත්තියක් සැකසීම, 2002 දී වාහන ඉන්ධනවල ඊයම් භාවිතය නැවැත්වීම, 2003 දී සල්ෆර් අඩු ඩීසල් ජාතික පද්ධතියට එකතු කිරීම, පහර දෙකේ ත්‍රී රෝද රථ එන්ජිම් තහනම් කිරීම සහ 2008 වසරේ දියත් කළ වාහන ලියාපදිංචියේදී වායු විමෝචන සහතිකය අනිවාර්ය කිරීම වැනි ඉතා වැදගත් නීතිරීති ක්‍රියාත්මක කිරීම මගින් මෙම තත්ත්‍වය පාලනයට කටයුතු යොදා තිබෙනවා. නමුත් රජයට පමණක්ම මේ කටයුත්ත සිදු කිරීමට නොහැකියි. අප ද, මේ තත්ත්‍වය පාළනයට එක් විය යුතුයි. එකතුවන කැලි කසල වෙන් කිරීම අප සිදු කළත්, බොහෝ දෙනෙකු පොලිතීන් පිළිස්සීම තවමත් සිදු කරනවා. පොලිතීන් සහ ප්ලාස්ටික් පිළිස්සීමේදී  ඒවා සැකසීමට යොදා ගන්නා කාබනික සංයෝග දහන ඵල වශයෙන් වාතයට මුදාහැරෙනවා. එසේම දහනය වීමේදී ඩයොක්සීන් නම් අතිශය විෂ සහිත සංයෝගය නිකුත් වනවා. මේ ඩයොක්සීන් විසින් හෘද රෝග, ඇදුම, පිළිකා, ආදිය සෘජුව ඇති කරන අතර අපේ ශරීරවල තැන්පත්වීමද සිදු වනවා. මෙසේ තැන්පත් වන ඩයොක්සීන් මවකගෙන් දරුවාට සම්ප්‍රේෂණය වන්නට පුළුවන්. මෙය හෝමෝන පද්ධතිය වෙනස් කරන නිසා දරුවන්ගේ ලිංගික භාවය සම්බන්ධව බලපෑම් කළ හැකියි. සමහර රටවල අන්තර්-ලිංගිකයන් (Transgender) ජනගහනය වර්ධනය වීමට මෙය එක් හේතුවක් ලෙස සොයාගෙන තිබෙනවා. ඔබේ දරුවන් ගැහැණු හෝ පිරිමි ලිංගික අනන්‍යතාවයක් නැති පිරිසක් කිරීමට බලාපොරොත්තුවක් තිබේනම්, ඔබ ඉදිරියටත් ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය පිළිස්සීම කළ හැකියි. නමුත්, නව නීති මගින් ප්ලාස්ටික් හෝ පොලිතීන් අපද්‍රව්‍ය පිළිස්සීම තහනම් කර ඇති බව සහ එය දඬුවම් ලැබිය හැකි වරදක් බව බොහෝ දෙනා නොදන්නා කරුණක්.

එසේම අප බොහෝ දෙනෙකු තම තමන්ගේ ආගමට ඇති අධික ශ්‍රද්ධාව නිසාම සහ ඉක්මනින් නිවන් යාමේ අභිප්‍රාය නිසා හැකි සෑම අවස්ථාවකම හැකි පමණින් අධිකව සුවඳකූරු සහ සුවඳ කුඩු පිළිස්සීම, නිවසේ මෙන්ම ආගමික ස්ථානවලද දැකිය හැකි පොදු කරුණක්. මේ නිසා නිවස සහ ආගමික ස්ථාන දුමින් පිරී ගියත්, අප බොහෝ ශ්‍රද්ධාවෙන් ඒ දුම ආඝ්‍රාණය කරන්නේ ඉක්මනින්ම නිවනට ලඟාවීමට ඇති ආසාවෙන්. එය ඉතා නිවැරදි කරුණක්. මේ දුම ආඝ්‍රාණයෙන් ඔබේ ජීවිතය තරමක් කෙටි කර ගත හැකියි. ජීවිතය කෙටි කර ගැනීම මගින් සසර කෙටි විය හැකියි. මේ දුමෙහි ද විවිධ කාබනික සංයෝග අන්තර්ගතයි.

විශ සහිත දුමාරයක්, ශරීරයට අහිතකර අංශු සහිත වායුවක් ආඝ්‍රාණය කිරීම නිසා ඇතිවන ආචරණ, වායුව හෝ දුමාරය ආඝ්‍රාණය කරන කාල සීමාව, එහි සාන්‍ද්‍රණය, සහ වෙනත් පාරිසරික සහ ජෛවීය සාධක බලපානවා. මේ නිසා එසේ දූෂිත වාතයට නිරාවරණය වීම හැකිතාක් අවම කිරීම  සෞඛ්‍යයට හිතකරයි. දැනට ලංකාවේ කර්මාන්තවල නියැලෙන බොහෝ දෙනා එසේ ක්‍රියාකිරීමේදී ආරක්‍ෂක වත්පිළිවෙත් අනුගමනය කරන්නේ නැහැ. බොහෝවිට තීන්ත ආලේපනය, වඩුවැඩ, මේසන්වැඩ, වෙනත් රසායන කර්මාන්ත ආදියෙහි නියැලෙන ඔබ අනිවාර්යයෙන්ම මුව වැස්මක් පැළඳිය යුතුමයි. මේ සියළුම කර්මාන්තවලින් ඉතා කුඩා ඇහැට නොපෙනෙන අංශූන් නිකුත් වනවා. මේවා අප පෙනහළුවලට ගොස් එහි තැන්පත් වූ පසු, ඇදුම වැනි පෙනහළු රෝග, විවිධ ආසාත්මිකතාවයන් මෙන්ම අවසානයේ පිළිකාවලටද අතවැනීමක් වනවා. මේ නිසා නිරතුරුවම මුව වැස්මක් පැළඳීම මගින් මේ අවදානම අඩු කරගත හැකියි.

දැන් දැන් රථවාහන නියාමනයේ යෙදෙන පොලිස් නිලධාරීන් මුව වැසුම් පැළඳ සිටිනු දැකීම සතුටට කරුණක්. ලංකාවේ කර්මාන්තවල නියැලෙන්නන් හැරුණුකොටගෙන වායු දූෂණයට වැඩිපුරම ලක් වන්නේ රථවාහන නියාමනයේ යෙදෙන පොලිස් නිලධාරීන්. ඔවුන්ගේ සෞඛ්‍යය ආරක්‍ෂා කිරීමට මුව වැසුම් අනිවාර්ය කිරීම ඉතා යහපත් කරුණක්.

වායු දූෂණය නිසා අපේ සෞඛ්‍යය පිරිහෙනවා සේම අපි අපේ අනාගත පරම්පරාවට ඉතිරිකර යන ලෝකයද අපවිත්‍ර වනවා. මේ නිසා හැකිතාක් දුරට පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතය, පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සහ ඒවා පිළිස්සීමෙන් වැලකීම, පරිසරයට දූෂිත අංශු එකතු කරන කටයුතුවලින් ඈත්වීම ඔබටත්, අනාගතයටත් සිදුකරන සුවිසල් ආයෝජනයක්.

ඒ වගේමයි……හඳුන්කූරු වැඩියෙන් පත්තු කළාට ඉක්මනින් නිවන් යන්නෙ නෑ……

 

ලෝක යුද්ධයකට අතවනන- කිම් ජොං අන් ගේ සෙල්ලම් බඩු – බැලිස්ටික් මිසයිල


ඈත අතීතයේ කඩු කිණිසි තෝමර හෙල්ල වලින් යුධ කළ අපි, දුර ඇති ඉලක්ක වනසා දැමීමට භාවිතා කළේ දුණු සහ ඊතල ආදී ආයුධයි. පුරාතන චීනුන් විසින් වෙඩි බෙහෙත් සොයා ගැනීමත්, ඒවා භාවිතය සතුරන් නැසීමට යොදා ගැනීමත් සමගම තුවක්කු වෙඩි උණ්ඩ භාවිතය ඇරඹුණා. මේ සමගම වැඩි දුරක් ගොස් වැඩි හානියක් කළ හැකි ආයුධ සහ උණ්ඩ නිපැයුමේ ප්‍රතිඵලයක් ලෙස කාලතුවක්කු සහ උණ්ඩ, විවිධාකාර බෝම්බ වර්ග ලෝකය වෙත එකතු වුනා. අප රටේ යුද්ධය පැවති කාලයේදී අප දැන සිටියේ බිම් බෝම්බ, ක්ලේමෝ බෝම්බ, අත් බෝම්බ, ආර්. පී. ජී. වුවත්, අවසාන භාගය වනවිට තාප සංවේදී මිසයිල, පේට්‍රියට් මිසයිල වැනි තාක්‍ෂණයෙන් උසස් අවි පිළිබඳ දැනුම ද, ශ්‍රී ලාංකික අපට ලැබුණේ යුද්ධයේ බලමහිමයෙන්. යුද්ධයෙන් පසු මේ අවි පිළිබඳ කුතුහලය සහ කතිකාව කෙමෙන් මැකී ගියත්,  මෑත කාලයේ උතුරු කොරියාවේ ක්‍රියාකලාපය නිසාම සහ ඇමරිකාවේ ප්‍රතිචාර නිසා දැන් දැන් මිසයිල පිළිබඳ නැවතත් කතාබහ කරන්නට පටන් ගෙන තිබෙනවා.

මිසයිල යනු ස්වයංක්‍රීයව ගමන් කරන, නිවැරදි ඉලක්කයකට පුපුරණ ද්‍රව්‍ය මුදා හැරිය හැකි ලෙස මඟපෙන්වීමේ යාන්ත්‍රණයක් ඇති අවියක් ලෙස සරළව හැඳින්විය හැකියි. මිසයිල සහ රොකට් යනු දෙවර්ගයක අවි වනවා. රොකට් මගින් නිවැරදි ඉලක්කයකට හානියක් කිරීම අපහසුයි. ඒ, රොකට් සඳහා මිසයිල මෙන්, ඉලෙක්ට්‍රොණික මගපෙන්වීමක් නොමැති නිසා. ඉලක්කය වෙත මඟපෙන්වන කොටස, අහසේ ගමන් කිරීමට උදව් වන ගුවන් පද්ධතිය, පුපුරණ ද්‍රව්‍ය, සහ මිසයිලයේ එන්ජිම යන ලෙස මිසයිලයක් ප්‍රධාන කොටස් හතරකින් සමන්විතයි.. එසේම මිසයිල නිකුත් කරන ස්ථානය අනුවත් වර්ග කෙරෙනවා. අහසේ සිට බිමට, බිම සිට තවත් බිමක් වෙතට යොමු කළ හැකි බැලිස්ටික්, කෘස්, යුධ ටැංකි හෝ වෙනත් වාහන නාශක මිසයිල මෙන්ම බිම සිට අහසට, නිකුත් කළ හැකි ප්‍රති බැලිස්ටික් මිසයිල, අහසේ සිට තවත් අහසේම ඇති වස්තූන් විනාශ කළ හැකි මිසයිල ලෙස වර්ග කළ හැකියි.

මිසයිල අහසේ ගමන් කරන්නේ එහි වූ රොකට් හෝ ජෙට් එන්ජිමේ සිදුවන දහනය භාවිතා කරගෙනයි. මේවා ඉතා දිගු දුරක් ගමන් කළ හැකි දිගු දුර මිසයිල ලෙසින් හඳුන්වනවා. මෑත යුධ ඉතිහාසයේදී මුලින්ම මිසයිල පාවිච්චි කළේ දෙවන ලෝක යුද්ධයෙන්දී ජර්මනියේ නාසි සොල්දාදුවන් විසින්. එහි වඩාත්ම ප්‍රචලිත වූ මිසයිල වර්ගය වන්නේ V-1 පියාඹන බෝම්බ සහ V-2 රොකට් යන ඉතාම සීමිත ප්‍රමාණයක් පමණක් නිපදවූ ස්වයංක්‍රීයව ගමන් කළ හැකි, මුලින් හඳුනාගත් ඉලක්කවලට පමණක් යොමු කළ හැකි ඉතාම සරළ මිසයිල පද්ධතීන් දෙකක් ලෙසිනුයි. මේවා සරළ රේඩියෝ තරංග මගින් නිරන්තරයෙන්ම එහි ගමන කෙනෙකු විසින් පාලනය කළ යුතු වූවා.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව මිසයිල තාක්‍ෂණය ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වුනා. ඒ නිසාම දැන් දැන් මිසයිල ඉතා දිගු දුරක් සහ ඉතාමත් නිවැරදි ඉලක්ක වෙත එල්ල කිරීමේ හැකියාව තිබෙනවා. මෙසේ ඉලක්කයට එල්ල කිරීමේදී එය බොහෝදුරට සිදු වන්නේ අධෝරක්ත කිරණ, ලේසර් කිරණ හෝ රේඩියෝ තරංග භාවිතා කර පාලනය කිරීමයි. මෙයට අමතරව දැන් GPS තාක්‍ෂණය භාවිතා කරමින් ඉතාමත්ම නිවැරදි ලෙස ඉලක්ක සපුරා ගැනීමටත් මිසයිල නිපදවා තිබෙනවා. මෙසේ විද්‍යුත් තරංග මගින් පාලනය කිරීම සමහරවිට ඉලක්කය සතුව ඇති සුවිශේෂී ගුණාංගයක් භාවිතා කරගෙන සිදු කරනවා. තාප සංවේදී මිසයිල (Heat Seeking Missiles) මගින් සිදු වන්නේ අදාල ඉලක්කයේ වූ තාපය නිකුත් කරන ඒකක වෙත ඇදී යාමට සැලැස්වීමයි. බොහෝ විට බිම සිට ඉහළට විදින (Surface to Air Missiles) SAM මිසයිල වලින් සිදු වන්නේ පියාසර කරන ගුවන් යානා විනාශ කිරීමයි. එහිදී ගුවන්යානයේ එන්ජිමේ සිදුවන තාප ජනනය උපයෝගී කර ගන්නවා. මේ මිසයිල Stinger මිසයිල නමින් ප්‍රචලිතයි. මේවා බොහෝ කුඩා අතර උරහිසේ තබා ක්‍රියාකරවිය හැකි සාමාන්‍ය රොකට් ලෝන්චරයක් ආධාරයෙන් ප්‍රහාර එල්ල කළ හැකියි. දැන් දැන් ගුවන්යානාවල ඇති මිසයිල ආරක්‍ෂණ ක්‍රම අනුව, මෙවැනි මිසයිලයක් එල්ල කළ පසු, එය දැනගැනීමේ යාන්ත්‍රණ තිබෙනවා. එසේ වූ විට අදාල මිසයිලය වෙනත් තාප ප්‍රභවයක් වෙත යොමු කිරීමෙන්, මිසයිලයේ මඟ වෙනස් කර පුපුරවා හරිනවා. මේ සඳහා අධිකව තාපය පිටකරන Flair නම් ක්‍රමය භාවිතා කරනවා. මේ සඳහා මැග්නීසියම් හෝ ඉතා අධික තාපයක් නිකුත් කරන වෙනත් ලෝහ මිශ්‍රණයක් භාවිතා කර එන්ජිමේ තාප නිකුතුවට වඩා අධික තාපයක් නිකුත් කරනවා. එවිට තාප සංවේදී මිසයිලය එය වෙත ඇදීගොස් පිපිරී යනවා. මේ ක්‍රමය යොදා ගත හැක්කේ තාප සංවේදී මිසයිලවලට පමණයි.

තවත් සමහර අවස්ථාවලදී රේඩාර් සහ රේඩියෝ තරංග සංවේදී මිසයිල භාවිතා වනවා. විශේෂයෙන්ම සතුරු රේඩාර් උපකරණ විනාශ කිරීමට ඒවා යොදා ගන්නවා. එවිට මිසයිලය මගින්ම අදාල ඉලක්කය සොයාගෙන ගොස් විනාශ කරනවා. ලේසර් මගින් ඉලක්ක සොයා ගන්නා මිසයිල බොහෝ විට ලේසර් කිරණ ධාරාවකින් අදාල ඉලක්කය වෙත යොමු කෙරෙනවා. උදාහරණයක් ලෙස ඉහළ අහසේ වූ ගුවන් යානාවකින් මිසයිලය මුදා හැරි පසු, භූමියේ සිටින කෙනෙකු විසින් අදාල ඉලක්කය වෙත යොමු කරන ලේසර් කිරණ ධාරාවකින් මිසයිලය අදාල ඉලක්කය සපුරා ගන්නවා. Sidewinder මිසයිල භාවිතා කරන්නේ එසේ ගුවන් යානාවක් මගින් සිදු කරන ප්‍රහාර වලදීයි. එය කෙටිදුර මිසයිලයක් වන අතර ප්‍රහාරක ගුවන්යානයේ නියමුවා විසින් අනෙක් ගුවන් යානය රේඩාර් කදම්භයකින් ඉලක්ක කරගත යුතු වෙනවා. මේ නිසා මෙම ප්‍රහාරය ඉතා අනතුරුදායක එකක් වන්නේ තමන්වද සතුරාට නිරාවරණය වන නිසා. මේ මිසයිල රේඩාර් තාක්‍ෂණයෙන් ඉලක්ක සොයා ගන්නා මිසයිල වර්ගයක් වනවා.

මිසයිලයේ ප්‍රධාන බඳ කොටස රොකට් තාක්‍ෂණයෙන් සමන්විත වන අතර එහි මුදුනේ ඇති උල් කොටස පුපුරණ ද්‍රව්‍යවලින් සැකසී තිබෙනවා. මේ පුපුරණ ද්‍රව්‍ය දෙආකාරයකින් සකස් කර තිබෙනවා. මිසයිලය පතිතවීමේදී සිදු කරන ප්‍රාථමික විනාශය මගින් මූලික අභිප්‍රාය ඉෂ්ඨ කරගන්නා අතර, ද්විතීය පිපිරුමකට අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය හෝ වෙනත් ද්‍රව්‍ය ද එම කොටසේ රඳවනවා. බොහෝ දුරට මෙම ද්විතීය පිපිරුම එක්කෝ න්‍යෂ්ඨික ද්‍රව්‍ය, ජීව විද්‍යාත්මක සාධක, රසායනික ද්‍රව්‍ය, හෝ විකිරණශීලී ද්‍රව්‍ය වලින් යුක්තයි. මේ නිසා පළමු පිපිරුමට පසුව අවශ්‍ය කරන දෙවන පිපිරුම නිසා දීර්ඝකාලීන හානි ගෙනදෙන ද්‍රව්‍ය පරිසරයට මුදාහැරෙනවා.

මෙසේ භාවිතා කරනු ලබන මිසයිල විවිධාකාරයි. අප බොහෝ දෙනෙකු අසා ඇති කෘස් මිසයිල ඒ අතරින් ප්‍රසිද්ධ මිසයිල වර්ගයක්. මේවා දෙවන ලෝක යුද්ධයේ භාවිතා කළ V-1 මිසයිල තාක්‍ෂණය යොදා සැදූවක්. මේවා දැන් බොහෝ විට භාවිතා වන්නේ ගොඩබිම සිදුවන ප්‍රහාර කටයුතු පිණිස පමණයි. නමුත් මේවායේ ඉලක්කය ඉතා නිවැරදිව සපුරා ගන්නවා. කෘස් මිසයිල කෙටිදුර සඳහා භාවිතා වනවා. ඇමරිකානු ටොමහෝක් මිසයිල සහ ඉන්දියාවේ සුපර් සොනික් තාක්‍ෂණයෙන් සැදි බ්‍රහ්මෝස් නම් ප්‍රති නාවික මිසයිලය කෘස් මිසයිල අතරින් ප්‍රසිද්ධ නිෂ්පාදන වෙනවා. නමුත් මේ මිසයිලවල කාර්යක්‍ෂමතාවය සහ අගය ඊට වඩා වැඩි අගයක් ඇති අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල (ICBM) නිසා අඩු වී තිබෙනවා.

බොහෝ ප්‍රසිද්ධ අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල (ICBM) යොමු කෙරෙන්නේ පොළවේ සිට වෙනත් ඉලක්ක වෙතයි. මේවා අභ්‍යවකාශය වෙත ගොස් ඉතා අධික වේගයකින් නැවතත් ඉලක්කය වෙත දැඩි ප්‍රහාරයක් එල්ල කරන ආකාරයේ මිසයිල වීම විශේෂත්‍වයක්. සමහරවිට මේ මිසයිල, අභ්‍යවකාශයේ වූ අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය රඳවා ඇති දුරටත් වඩා ඉහළට ගොස් නැවත පැමිණෙනවා.  මේ තාක් කල්, කිසිදු රටක් වෙනත් රටකට එරෙහිව යුධමය අවස්ථාවකදී හෝ වෙනත් අවස්ථාවක අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් යොමු කර නැහැ. නමුත් බොහෝ රටවල් ඒවා අත්හදා බලා තිබෙන්නේ තමන්ගේ යුධ ශක්තිය අනෙක් අයට ප්‍රදර්ශනය කිරීමේ අදහසින්.

අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල, එහි නමේ හැටියටම එක් මහාද්වීපයක සිට තවත් මහාද්වීපයක් වෙත ගමන් කිරීමේ හැකියාව සහිතයි. එය මුදා හළ පසු බොහෝ විට ගමන් කරන්නේ වක්‍රාකාර මාර්ගයකයි. එනම්, මුදා හැරීමේ කෝණය අනුව යන මාර්ගයක. උදාහරණයක් ලෙස ක්‍රිකට් පන්දුවක් ගතහොත්, පිටියෙන් පිටතට යන හයේ පහරක් ගැසීම සහ එකතැන ගැසූ උඩ පන්දුවක්  සළකා බැලිය හැකියි. නමුත්, බොහෝ දුරට කොරියාව මෙන්ම අනෙක් රටවල්ද, පර්යේෂණ සඳහා මිසයිල අත්හදා බැලීමේදී මේ කෝණය අංශක 90 ට ආසන්න අගයක පවත්වාගෙන යනවා. එසේ සිදු කරන්නේ එය වෙනත් රටකට පතිතවීම වැලැක්වීමටයි. උතුරු කොරියාව මෑතකදී ජපානයට ඉහලින් පියාසර කරවූ මිසයිලය මෙසේ කෝණය ගණනය කර යැවූ මිසයිලයක් වූ අතර එය සැතපුම් 620ක් ගමන් කර ජපානය අසළ මුහුදට කඩාවැටුනා. එය නිසි ලෙස ඉලක්කගත කළ හොත්, කිලෝමීටර 8000 ක් පමණ ගමන් කර, ඇමරිකාවට පවා ලඟා විය හැකිව තිබුණා.

අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල ප්‍රහාරයක් ප්‍රධාන කොටස් තුනකින් යුක්තයි. පළමුව එය ඉහළට නැංවීමේදී සිදු වන්නේ රොකට් මගින් අහසට යැවීමයි. මෙය විනාඩි දෙකක සිට පහක් දක්වා කාළයකදී සිදු වනවා. ඒ වනවිට මිසයිලය අභ්‍යවකාශය දක්වා ගොස් අවසානයි. මෙය සාමාන්‍ය රොකට්ටුවක් යැවීමට හා සමාන ක්‍රියාවලියක්. බොහෝවිට මේ රොකට්ටු සඳහා භාවිතා වන්නේ ද්‍රව ඉන්ධන වර්ගයි. ඒවා ඉතා කෙටි කාළයක් තුළ ඉහළ බලශක්ති ප්‍රමාණයක් ලබා දෙන නිසා භාවිතා වනවා. නමුත් තාක්‍ෂණය ඉහළ යනවිට ඝණ ඉන්ධන භාවිතාවට බොහෝ මිසයිල නිෂ්පාදකයන් යොමු වන්නේ ඒවා භාවිතයේදී ඇති පහසුව විෂ වායු නිකුත් නොකරන නිසා. දෙවන කොටසේදී අභ්‍යවකාශය තුළ ගමන් කරන රොකට්ටුව වායු ප්‍රතිරෝධයක් නැති නිසා පැයට සැතපුම් 15,000 ක පමණ වේගයෙන් ගමන් කරනවා. තෙවන කොටසේදී නැවත පෘථිවි වායුගෝලයට ඇතුළුවන මිසයිලය මිනිත්තු කිහිපයක් තුළදී සිය ඉලක්කය සපුරා ගන්නවා. අභ්‍යවකාශ යානා මෙන්ම, නිසි තාප පරිවාරක යොදා නැතිනම්, මිසයිල පවා නැවත වායුගෝලයට පැමිණීමේදී ගිණිගැනීමකට ලක් වනවා. මේ නිසා මේ සියල්ල සළකා බලා ඔවුන් මේ මිසයිල නිෂ්පාදනය කරනවා.

මෙසේ නිපදවෙන මිසයිල විනාශ කිරීමට ද වෙනම මිසයිල වර්ගයක් නිෂ්පාදනය වෙනවා. ඒ අප කවුරුත් දන්නා පේට්‍රියට් මිසයිලයි. (Patriot Missiles). මේවාද බැලිස්ටික් මිසයිල වර්ගයක් වන අතර ප්‍රමාණයෙන් මීටර 3 – 6 දක්වා දිගක් ගන්නවා. මෙහි වේගය ශබ්ධයේ වේගය මෙන් දෙතුන් ගුණයක්. මෙහි එකම ක්‍රියාකාරීත්‍වය වන්නේ කිසියම් උපායශීලීත්‍වයෙන් වැදගත් ස්ථානයක් වෙත එල්ල වන මිසයිල ප්‍රහාරයකදී, එම මිසයිලය විනාශ කිරීමයි. පේට්‍රියට් මිසයිල භාවිතා කරන්නේ රේඩාර් මගින් ඉලක්කය හඳුනාගැනීමේ ක්‍රමවේදයක්. මේ නිසා සෑමවිටම පේට්‍රියට් මිසයිල නිකුත් කෙරෙන්නේ භූමියේ සිටයි. සියයට සියයක් ස්වයංක්‍රීය වන මේ මිසයිල කිසියම් ස්ථානයක් වෙත එන සතුරු මිසයිලයක් මිනිස් ඇසකින් නිරීක්‍ෂණය කිරීමටත් පෙරම රේඩාර් සංඥා මගින් හඳුනාගෙන ස්වයංක්‍රීයව මුදාහැරෙනවා. මේ මිසයිල ස්ථාපනය කළ පසු සියල්ලම සිදු වන්නේ ස්වයංක්‍රීයවයි.

න්‍යෂ්ඨික යුද්ධයකට ඉතා පහසුවෙන් මග පාදන මේ අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිල අයත් රටවල් වලින්, ඇමරිකාව, රුසියාව, චීනය සහ ඉන්දියාව ප්‍රධානයි. මේ සියළුම රටවල් කෙතරම් අත්හදා බැලීම් සිදු කළත්, ඒ සියල්ල කරනුයේ පුපුරණ ද්‍රව්‍ය හෝ න්‍යෂ්ඨික ද්‍රව්‍ය සිය මිසයිලවලට ඇතුලත් නොකර, ඉතා ආරක්‍ෂා සහිතවයි. එසේම මේ කිසිදු පරීක්‍ෂණයක් වෙනත් රටක අභ්‍යන්තර ගුවන් කලාප රීතීන් උල්ලංඝණය කිරීමකින් තොරව පවත්වා තිබෙනවා.

නමුත් කොරියාවේ න්‍යෂ්ඨික වැඩපිළිවෙල මුළු ලෝකයේම කණස්සල්ලට ලක්ව තිබෙනවා. ඔවුන් සිදු කරන භූ අභ්‍යන්තර පිපිරවීම් නිසා රික්ටර් පරිමාණයේ ඒකක 7 ටත් වඩා වැඩි, තාවකාලික භූ කම්පන පවා ඇතිවී තිබෙනවා. එසේම, නිරන්තරයෙන්ම සිදුවන ඇමරිකානු – කොරියානු කෙණෙහිලිකම් නිසා, කිසිවකු අමනෝඥ තීරණයක් ගතහොත්, නැවත ලෝකය යුද්ධයක පැටලීමට බොහෝ ඉඩකඩ තිබෙනවා. එය න්‍යෂ්ඨික යුද්ධයක් බවට පත් වූවහොත් ලෝකයේ පැවැත්ම කෙතරම්දැයි යන්න බොහෝ දෙනෙකුට පිළිතුරු දිය නොහැකි ප්‍රශ්නයක්.

 

 

 

%d bloggers like this: