Category Archives: ඇල්කෙමියාගේ දිනපොත

පිටස්තරයා 06


Chapter 6

ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් මහතාණෙනි,

ඔබ විසින් පිරිණමා ඇති අමෙරිකානු නාවික පර්යේෂණ ආයතනයේ පර්යේෂණ විද්‍යාඥ තනතුර භාර ගැනීමේ යෝජනාව මම ඉතා ගෞරවයෙන් මෙන්ම සතුටින් භාර ගනිමි. ඒ අනුව ඔබ ආයතනයේ කොන්දේසි වලට එකඟව මගේ සේවය නාවික පර්යේෂණ ආයතනයටත් අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුවටත් ලබා දීමට මම එක සිතින් කැමැත්ත දක්වන බව මෙයින් දැනුම් දෙමි. මේ සම්බන්ධයෙන් ඔබතුමාට තවදුරටත්  දැනගැනීමට අවශ්‍ය කරුණක් වේ නම් කරුණාකර මා සම්බන්ධ කරගන්නා මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

ගෞරවයෙන්,

විශ්ව සමාධි සූර්යබණ්ඩාර.

දින දෙකක් පුරා සිය දෛනික කටයුතු මෙන්ම සති දෙකකින් පසු ගත කරන්නට යන නව ජීවිතයේ වැඩ කටයුතු වෙනුවෙන් විශ්ව වෙහෙසෙන අතර තවත් කණ්ඩායමක් ද ඔහුගේ කටයුතු සහ දුරකථන මෙන්ම අනෙකුත් සම්බන්ධතා පිළිබඳ වෙනදාටත් වඩා විමර්ෂණශීලීව කටයුතු කරන බව විශ්ව නොදැන සිටියා නොවේ.

………………………………………………………………………………………………………………………………………………………..

සතියක ඇවෑමෙන් විශ්ව පැලෝ ඇල්ටෝ (Palo Alto)  නගරයට සමු දී වොෂිංටනය බලා සැතපුම් 3000 ක ගමන තනිවම ඇරඹීය…… මේ නගරයේ ඔහුට අත් හැර යා නොහැකි කිසිවක් නොවීය… තමන් සියළු බැඳීම් වලින් නිදහස් බව තේරුණේ අද ඊයේ නොවන බව විශ්ව දැන සිටියේය… 2006 වසරේ සිටම විශ්ව සිය කටයුතු කර ගත්තේ තනිවමය. සිය දෙමාපියන් සහ සොයුරිය තමා හැරදා ගිය දින පටන් ඔහුගේ ජීවිතය තනිව ගෙවූ එකක් විය. මිතුරු මිතුරියන් කොපමණ ඔහු වටා සිටියද, ඔහුගේ පිහිටට සිටින්නේ ඔහු සහ සැතපුම් දස දහස් ගණනක් ඈත ලංකාවේ වෙසෙන විශ්වගේ ලොකු මාමා සහ ලොකු නැන්දා පමණි. ඔහුට තිබූ එකම බැඳීම එපමණකි.

විශ්වගේ මවගේ ලොකු අයියා වූ සුමනසේකර මහතා විශ්‍රාමලත් විදුහල්පතිවරයෙකි. විශ්‍රාම ගැනීමෙන් පසු සිය නිවසේ කටයුතු, සමාජසේවා කටයුතු මෙන්ම සිය අධ්‍යාත්මික ජීවිතයද පිළිවෙලකට ගොඩ නඟාගෙන, සියල්ලන්ටම යහමඟ පෙන්වමින් ආදර්ශමත් ජීවිතයක් ගතකළ පුද්ගලයෙකි. නිතර බණ භාවනා කරන ඔහු සහ සුමනසේකර මැතිණිය අධ්‍යාත්මිකව අනෙක් පුද්ගලයන්ට වඩා සහ සමහර භික්‍ෂූන් වහන්සේලාට පවා බොහෝ ඉදිරියෙන් සිටි යුවලක් විය. විශ්ව පිළිබඳ නිතර සොයාබැලූ ඒ දෙපළ නිබඳවම විශ්ව හට අවවාද අනුශාසනා දෙමින් සිය පවුලේ ඉතිරිව ඇති එකම අනාගත පුරුක යහපත් පුරවැසියෙකු මෙන්ම සාර්ථක පුරුවැසියෙකු ද කිරීමට වෙහෙස මහන්සි වූ දෙපළකි. ආගමිකව එක් ආගමකට කොටු නොවූ මේ දෙපළ නොයෙක් ආගම් පිළිබඳ විවෘත මනසකින් හදාරමින් ඒ ලද දැනුම් සම්භාරය අන් සියල්ලන් සමඟම බෙදා හදා ගනිමින් ජීවත් වූ දෙපළකි. සුමනසේකර මහතා සතු වූ ධර්ම ඥාණය කෙටි කාලීන ඥාණයක් නොවීය.. ඉපැරණි වේද ග්‍රන්ථ පවා පරිශීලනය කරන සුමනසේකර මහතා හමු වී බුද්ධාගමේ විවිධාකාර ගැඹුරු මාතෘකා පිළිබඳ සාකච්ඡා කිරීමට පැමිණෙන ඒ අවට වැඩ සිටින ධර්මධර භික්‍ෂූන් වහන්සේලා ම  එයට සාක්‍ෂි සපයති.

තමන්ගේ ලොකු මාමා ලෙස පමණක් නොව සිය ජීවිතය යහමඟ ගෙනයාමට මඟ පෙන්වන මේ යුවල පිළිබඳ විශ්වගේ සිත තුළ ජනිත වූයේ ද සිය දෙමාපියන්ට පමණකම ගෞරවයකි – ආදරයකි. සතියකට වරක් නොවරදවාම ඔවුන්ගේ දුකසැප බැලීමත්, සිය විස්තර නොවලහා ඔවුන්ට දැන්වීමත් විශ්වගේ ජීවිතයේ අංගයක් වූයේ, තනිකම සිය ජීවිතය වෙලාගත් දා පටන් ය… ඒ එකුදු මිනිත්තුවක් හෝ අපතේ නොගිය බව විශ්වට හොඳටම සහතිකය…. ඒ විශ්වාසය සැමදා පවතිනු ඇති බව ඔහු හොඳින්ම දැන සිටියේය….

 

ඔබේ නම ?

විශ්ව සමාධි සූර්යබණ්ඩාර.

තනතුර ?

පර්යේෂණ විද්‍යාඥ – ප්‍රතිගුරුත්වාකර්ෂණ රසායනාගාරය.

මිනිත්තුවක් ඉන්න.

පළමු ගේට්ටුවේ සිටි ආරක්‍ෂක භටයා විශ්වගේ රියදුරු බලපත ගෙන ඉලෙක්ට්‍රොණික පුවරුවක් හරහා ගෙන ගියේය….

මේ කැමරාව දිහා බලන්න….

සැණෙකින් විශ්වගේ රූපය රැගත් තාවකාලික හැඳුනුම්පතක් පරිඝණකයෙන් සැකසුනි. එය පැලඳගත් විශ්වට මානව සම්පත් කළමණාකරණ ඒකකය වෙත යාම සඳහා සවිස්තරාත්මක රූපසටහනක් සහිත සිතියමක් ලැබුණි.

කිසිම අවස්ථාවක මාර්ගයෙන් බැහැර වෙන්න එපා. එහෙම වුනොත් ඒ ඔබ මේ ආයතනයේ ගත කරන අවසාන මිනිත්තු කිහිපය වෙන්න පුළුවන්. ආරක්‍ෂක භටයාගේ උපදෙස් සමඟම විශ්ව උදෑසන නවය වන විට තමන් යා යුතුව තිබූ පළමුවන ස්ථානය වූ මානව සම්පත් කළමණාකරණ ඒකකය වෙත පා නැඟුවේය. ඒ මඟ අතරතුර සෑම තැනම ඔහු දුටුවේ නවීන අවිගත් ආරක්‍ෂක භටයින් ඉතා පරීක්‍ෂාවෙන් ඔබ මොබ ගමන් කරන ආකාරයයි. නැවතත් මානව සම්පත් කළමණාකරණ ඒකකයට ඇතුළු වන විට ද විශ්වට සියළු විස්තර ලබා දීමට සිදු විය.

විශ්ව පැමිණෙන තෙක් එතැන බලා සිටියේ සිය කටයුතු පෙළගැස්වීම සඳහා ආයතනයෙන් පත් කර තිබූ ස්ටෙෆනී ෆිලිප්ස් මෙනවියයි. සුදු ජාතික තරුණියක් වූ ඇය ඉතා ප්‍රියමනාප ලෙස හැඳ පැළඳ සිටියාය. මානව සම්පත් කළමණාකරණ ඒකකය තුළ සෑම සැප පහසුකමක්ම තිබුණි. උදෑසන ආහාර වේලක් වුවද කැමති ආකාරයට පිළියෙල කරගත හැකිවන අන්දමට අවශ්‍ය දෑ සකසා තිබුණි. තේ – කෝපි හෝ දොඩම් යුෂ පානයන් ද, බිත්තර – බේකන් වැනි ආහාර මෙන්ම නිර්මාංශ ආහාර වර්ගද අවශ්‍ය ලෙස තෝරාගත හැකි ලෙස තිබුණි.

සුභ උදෑසනක්… මම ස්ටෙෆනී ෆිලිප්ස්. ඔබේ දවස කොහොමද ?

සුභ උදෑසනක් මම විශ්ව සූර්යබණ්ඩාර, මම සුවෙන් – ස්තූතියි ස්ටෙෆනි.. ඔබට කොහොමද ?

හොඳයි. ස්තූතියි..

මම තමයි අද දවසෙ ඔබේ කටයුතු භාරව ඉන්නෙ… ඔබ කැමති උදෑසන ආහාරය අරගෙන කතා කරන්නද ? නැතිනම් අපි පසුව යමක් කරමුද ?

ස්තූතියි. මම උදෑසන ආහාරය අරගෙනයි ආවෙ. මම පසුව යමක් ගන්නම්.

හොඳයි, එහෙනම් අපි ඔබව නාවික පර්යේෂණ ආයතනයට අනුයුක්ත කිරීමේ කටයුතු පටන් ගනිමු. මුලින්ම මට ඔබ‍ගේ සියළු සහතික වල මුල් පිටපත් අවශ්‍ය වෙනවා. අපි මේ සියල්ල අපේ මානව සම්පත් ඒකකයෙ තබා ගන්නවා, නමුත් ඔබට අවශ්‍ය ඕනෑම අවස්ථාවක මේවා ආපසු ලබා ගත හැකියි. ඔබ මේ ආයතනයෙන් අස්වන දිනයේදී  මේ සියල්ල ඔබට ආපසු ලැබෙනවා.

ඊලඟට අපට අවශ්‍ය ඔබේ හදිසි අවස්ථා දැනුම් දීමේ විස්තර, මේ විස්තර ලබා ගන්නෙ හදිසියකදි දැනුම් දීමට.

ඇත්තෙන්ම මා ගැන දැනුම් දෙන්න කවුරුවත් මේ රටේ නම් නැහැ. මගේ සියළුම නෑදෑයන් ඉන්නෙ ශ්‍රී ලංකාවෙ. ඒ විස්තර නම් දෙන්න පුළුවනි.

අඩුම ගානෙ විශ්වාසවන්ත යාළුවෙක්වත් නැද්ද ?

නැහැ… මගේ දෙමාපියන් මිය ගියාට පස්සෙ මා හැදුනෙ වැඩුනෙ තනිවම… ඔබගේ අවශ්‍යතාවයට මේ අංක සහ ලිපිනය තබා ගන්න. විශ්ව සිය ලොකුමාමා සහ ලොකු නැන්දාගේ නම්ගම් කොළයක සටහන්කර ඇයට ලබා දුන්නේය.

ඈ මේ තරම් කඩවසම් කොල්ලෙකුට කෙල්ලෙක්වත් නැද්ද  ?   සිතමින් ඔහු ඒ තොරතුරු ලියන අතරතුර ඔහු දෙස මඳ වේලාවක් බලා සිටියාය.

ඊලඟට මෙන්න මේ කොන්ත්‍රාත්තුවට අත්සන් කරන්න…

මේ තියෙන්නෙ ඔබ මේ ආයතනයෙ රැකියාව භාර ගන්නවා කියා.

මේ ලිපියෙ තියෙන්නෙ ආයතනයේ දත්තවල රහස්‍ය භාවය සුරකින බවට අත්සන් කරන ලිපිය.

ඊලඟට මේ තියෙන්නෙ ඔබේ අයිතිවාසිකම් සහ යුතුකම් පිළිබඳ දැනුවත් කිරීමේ ලිපිය…

මේ සියල්ලට අත්සන් කළාම, ඒ ලිපි වල පිටපත් මම ඔබට ලබා දෙන්නම්.. ඊට පස්සෙ අපි ආයතනය වටා රවුමක් යා යුතුයි. එතැනදි ඔබට නිත්‍ය හැඳුනුම්පතක් ලබා ගැනීම, ඔබේ ඩී එන් ඒ සාම්පල සහ ජෛවී හැඳුනුම්පත් සාම්පල ලබා දීමත් සිදු වෙනවා.

ඇය සියල්ල ඉතාම පැහැදිලිව නිරවුල්ව විශ්වට කියා දුන්නා. සියල්ල එක පාරින්ම මතක තබාගත හැකි විශ්වට ඒ කිසිවක් අනුගමනය කිරීම අපහසු වූයේ නැහැ.

සියල්ල අවසන විශ්ව ඇයත් සමඟ ආයතනය වටා ගොස් ආයතනයේ වටපිටාව සහ අවශ්‍ය ස්ථාන හඳුනා ගැනීමට යාමට නැගී සිටියා.

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

තවමත් හිතනවද කොහොමද මේ සිදුවීම වුනේ කියලා ?

තමා රූපගත කළ අධෝරක්ත කැමරා දර්ශනය දෙස බලා සිටි ඒජන්තවරයාගෙන්  අනෙකා විමසීය…

මට තවම හිතාගන්න බැරි විනාඩි කිහිපයක් ඇතුලත මිනිහෙක්ගේ ශරීර උෂ්ණත්‍වය මේ තරම් වෙනසකට භාජනය වෙන්න පුළුවන් ද කියලා.  මෙයා නාන කාමරයෙන් එළියට එනවිට ශරීර උෂ්ණත්‍වය ෆැරන්හයිට් 103 ක් සටහන් වුනා.. නමුත් නින්දට වැටිලා විනාඩි කිහිපයක් ඇතුලත එය 80 කට බහින්නෙ කොහොමද ? ඒ විතරක් නොවෙයි එච්චර බැහැලා මෙයා ජීවත් වෙලා ඉන්නෙ කොහොමද ? මේවා හිතන්න ඕන ප්‍රශ්න නොවෙයිද  මාක් ?

එෆ් බී අයි ඒජන්ත ජේසන් බ්‍රවුන් අනෙකාගෙන් ප්‍රශ්න කළේ දැඩි කණස්සල්ලෙනි. සම්මුඛ පරීක්‍ෂණය අවසානයේ මේ සුවිශේෂ පුද්ගලයාගේ හැසිරීම් රටාව අධ්‍යයනය කිරීමට ජාතික ආරක්‍ෂක ඒජන්සියේ ප්‍රධානි ජෙනරාල් වෙලිංටන්ගේ විශේෂ ඉල්ලීම පරිදි යෙදවූ එෆ් බී අයි ඒජන්තවරු දෙදෙනා තමන් පටිගත කළ අධෝරක්ත කැමරා දර්ශන විශ්ලේෂණය කරමින් සිටියහ. ජාතික ආරක්‍ෂක ඒජන්සිය එෆ් බී අයි ආයතනය හඳුන්වන්නේ අසමත් ළදරුවන්ගේ ආයතනය (Failed Babies’ Institute) ලෙසිනි. ඒ බොහෝ අවස්ථාවල ඔවුන්ගේ පරීක්‍ෂණවල අවසාන නිගමනය ලබා ගැනීම සඳහා ජාතික ආරක්‍ෂක ඒජන්සියේ සහාය ලබා ගැනීම නිසාය. ඇමරිකා එක්සත් ජනපදය  ඇතුලත සැලසුම් කෙරෙන බොහෝ නීති විරෝධී කටයුතු මෙන්ම ත්‍රස්ත ප්‍රහාර සැලසුම් ද නිතිපතා හසු වන්නේ ජාතික ආරක්‍ෂක ඒජන්සියේ දැලටය. එෆ් බී අයි ආයතනය සිය විමර්ශන කටයුතු නිම කරන විට අදාල පුද්ගලයින් දැලට හසුකරගෙන කිසිවෙකුටත් නොදන්වා අතුරුදහන් කිරීමටත්, ග්වොන්ටනාබේ සිර කඳවුරේ අඳුරු කුටි තුල ප්‍රශ්න කිරීමට සහ නිසි ක්‍රියාමාර්ග ගැනීම ජාතික ආරක්‍ෂක ඒජන්සියේ සහ සී අයි ඒ ආයතනයේ ඒජන්තවරුන් විසින් සිදු කර හමාරය. දැන් දැන් බොහෝ විට එෆ් බී අයි ආයතනය සිදු කරන්නේ වංචා විමර්ශනය සහ ළමා අපචාර සිදු කරන්නන්, දරුණු මිනීමරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සොයා යාම වැනි දෙකයි පණහේ වැඩ බව ජනරාල් වෙලිංටන් දිනක් එළි පිටම ධවල මන්දිරයේ පැවති සාදයකදී පවසා තිබුණි. මේ නිසා එෆ් බී අයි ආයතනය විසින් ජාතික ආරක්‍ෂක ඒජන්සිය මඟින් දෙනු ලබන කොන්ත්‍රාත්තු ඉටු කිරීම අවම ප්‍රමුඛත්‍වයක් දී තිබූ කටයුත්තක් විය. කෙසේ වුවත් මේ සුවිශේෂි කටයුත්ත ජාතික ආරක්‍ෂාවට වැදගත් වන්නක් යැයි ජනරාල් වෙලිංටන් විසින්ම පවසා තිබූ නිසා එෆ් බී අයි ඒජන්තවරු නොපැකිලව මේ සඳහා ඉදිරිපත් වූහ….. නමුත් දැන් ඔවුනට ඇති ප්‍රශ්නය වන්නේ සිය දත්ත තේරුම් ගැනීම සහ සිය පාරිභෝගිකයා වන ජෙනරාල් වෙලිංටන්ට ඉදිරිපත් කිරීමයි. උකුසු ඇස් ඇති, හිවලෙකු මෙන් කපටි, තීක්‍ෂණ බුද්ධියක් ඇති ජෙනරාල් වෙලිංටන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු සූදානම් කරගෙන නොගිය හොත්, නැවතත් එෆ් බී අයි ඒකකය අසමත් ළදරුවන්ගේ ආයතනයක් බවට ජෙනරාල් සහතික කරන බව ඒජන්ත මාක් පිස්ට්නර් සහ ජේසන් බ්‍රවුන් යන දෙදෙනාම දැන සිටියහ… ඔවුන් කෙතරම් දක්‍ෂ ඒජන්තවරු වුවද, මේ සංසිද්ධිය පැහැදිලි කිරීමට ඔවුන් දන්නා විද්‍යාව හෝ වෙන යම් දැනුමකට නොහැකි විය…

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

ඔබ හිතන්නෙ මේ සංසිද්ධිය මොන වගේ දෙයක් වෙන්න පුළුවන් කියලද ? මහාචාර්ය තුමනි….

මම දන්න ජීව රසායන විද්‍යාව  අනුව නම් මෙය අසාමාන්‍ය වෙනස්වීමක්… සාමාන්‍යයෙන් ෆැරන්හයිට් අංශක 103 ක ශරීර උෂ්ණත්‍වයක් ඇති කෙනෙක් නිරෝගීව සිටින්න බැහැ.. එය සාමාන්‍ය උණ ගතියටත් වඩා වැඩි උෂ්ණත්‍වයක්, නමුත්…. මේ දර්ශනය විශලේෂණය කිරීමේදී ඔබට පෙනෙන්න නැතුව ඇති මේ උෂ්ණත්‍ව වෙනස සිදු වන්නෙ ශරීර පෘෂ්ඨයේ පමණයි… ඒ කියන්නෙ සම මතුපිට සහ සමට යටින් විශාල උෂ්ණත්‍ව වෙනසක් සිදු වෙනවා. මේ බලන්න මේ දර්ශනයෙ ඔබට පැහැදිලිව පෙනෙනවා ඇඟ අභ්‍යන්තරය සාමාන්‍ය ශරීර උෂ්ණත්‍වයටයි තිබෙන්නෙ… නමුත් ශරීර උෂ්ණත්‍වය පහළ යාමේදි සිදු වන්නෙ මුළු ශරීරයෙම උෂ්ණත්‍වය පහළ යාම… සමහරවිට මේ පුද්ගලයා නාන කාමරයේදී අධික උණු ජලය ස්නානය කරන්න ඇති… ඔබ දන්නවා සාමාන්‍ය උණු ජල කරාමයක උෂ්ණත්‍වය අංශක 110 ත් 120 ත් අතර තිබෙන බව… ඒ නිසා මේ සංසිද්ධිය පැහැදිලි කරන්න පුළුවන් එකම ආකාරය මට තේරෙන විදියට නම් අධික උණු ජලය ස්නානය කිරීම නිසා ශරීරයේ සම ආසන්නයේ අධික උෂ්ණත්‍ව වැඩි වීමක් සිදු වෙලා තිබෙනවා. ඒ වගේම ටික වේලාවකින් ශරීර උෂ්ණත්‍වය සමතුලිත වීමේදී නැවතත් පහළට ගොස් සාමාන්‍ය උෂ්ණත්‍වයට පත් වන්නට ඇති… ඔබ කරපු එක වැරැද්දක් නම් මේ පටිගත කිරීම ශරීර උෂ්ණත්‍වය පහළ ගොස් ඇති අවස්ථාවේදී නතර කිරීමයි…. ඔබ දිගටම පටිගත කළා නම් සමහරවිට ශරීර උෂ්ණත්‍වය නැවතත් සාමාන්‍ය තත්ත්‍වයට පත්වනු ඔබට දැකබලා ගන්නට තිබුණා….

මේක අසාමාන්‍ය තත්ත්‍වයක් නොවෙයි….. සමහර මිනිසුන්ට අසාමාන්‍ය උෂ්ණත්‍ව දරාගැනීමේ හැකියාව තිබෙනවා වගේම සමහරු අධික උෂ්ණ ශරීර ඇති අය.. ඔබ අහලා ඇති ස්වයං දහනයට පත් වෙච්ච මිනිස්සු ගැන… කිසිම බාහිර දහන සාධකයක් නොමැතිව ඉබේම ශරීරය ගිනි අරගෙන අළුගොඩක් පමණක් ඉතිරි කරලා මිය යන මිනිස්සු ගැන…. ඒ මිනිස්සු ඉන්නේ එක් අන්තයක… මම කියන්නෙ නැහැ මේ පුද්ගලයා එහෙම කෙනෙක් වෙන්න පුළුවන් කියලා.. නමුත් මේ පුද්ගලයාටත් ඒ වගේ අසාමාන්‍ය උෂ්ණත්‍වයන් දරාගෙන ඉන්න පුළුවන් කෙනෙක්… මේ ගැන කියන්න පුළුවන් මෙච්චරයි…

එෆ් බී අයි ආයතනයට සම්පත් දායකයින් ලෙසින් විවිධාකාර ක්‍ෂෙත්‍රවල විශිෂ්ඨයින් අනුයුක්ත කර ගැනීම සාමාන්‍යයෙන් සිදු වන්නකි. අතිශය රහස්‍ය කටයුත්තක් වන මෙයට දේශපාලනය, විද්‍යාව, කලාව, ඉංජිනේරු ක්‍ෂෙත්‍රය වැනි විවිධාකාර අංශවල මහාචාර්යවරු දායක කර ගනිති. එෆ් බී අයි ඒජන්තවරුන්  ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මානව ව්‍යුහ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජෝසප් මන්සන් වෙත පැමිණියේද සිය පටිගත කිරීමේදී සිදු වූ අසාමාන්‍ය සංසිද්ධිය නිරාකරණය කර ගැනීම සඳහා ය…

තමන්ට ලැබුණ පිළිතුරෙන් සෑහීමකට පත් වූ ඒජන්තයින් දෙදෙනා නැවත සිය කාර්යාලයට පැමිණියේ හිසෙහි වූ බර සම්පූර්ණයෙන්ම නිදහස් කරගෙනයි……

 

Advertisements

අනාගතයේ ලෝකපාලන දෙවිවරු තුන්දෙනා…..


World Leaders Front

මිනිසුන් වන අපි බොහොම වෙනස් සත්තු කොට්ඨාසයක්. මොළයක් දියුණු නමුත් ඒ මොළයෙන් සිතන ප්‍රමාණය බොහොම අල්පයි. සමහර මිනිසුන්ගේ සිතීමේ පරාසය සතුන්ටත් වඩා පහත්. සමහරුන්ට සිතන්න හැකියාවක් තිබුණත්, වැල යන අතට මැස්ස ගහලා ජීවත් වෙලා ඔහේ මිය යනවා, ඔවුන්ටත් ලෝකයටත් දෙකටම වැඩක් නැතිව. ගල් යුගයේ මිනිසාට මේ සිතීමේ ඥාණය, තාර්කික හැකියාව, සන්නිවේදනය වැනි දෑ නොතිබුණ නිසාම සහ ලොව අළුතෙන් සිදුවන සෑම දෙයක්ම වෙනස් අත්දැකීමක් නිසා ඔවුන් ඒවාට බිය වුනා. ගින්දරට, ජලයට, සුළඟට, හිරු, සඳු ආදියට මෙන්ම ලෙඩ රෝගවලටද ඔවුන් බය වුනා.. මේ නිසාම ඒ තේරුම්ගත නොහැකිදෑ දේවත්වයෙන් පිදුවා.

ඒ ගල් යුගය පසු කර ආපු අපි විවිධාකාර ජාතීන් විදියට විවිධ වේගයන්ගෙන් දියුණු වුනා. සුද්දා සතුන් පසුපස දඩයමේ යන කාලෙයේ තිබූ ශ්‍රී ලාංකික ශිෂ්ඨාචාරය අත්‍යන්තයෙන්ම දියුණුයි. අඩි 660 ක් උස සීගිරිය පර්වතයට ජලය ගෙන යාමේ යාන්ත්‍රණය, අනුරාධපුයේ සුවිසල් ස්ථූප සහ යෝධ ඇල වැනි අතීත නිර්මාණයන් එයට මනාව සාධක සපයනවා. එසේ තිබූ ශිෂ්ඨාචාරයක් දැන් අන් සියළු රටවලට වඩා පසුපසින් සිඟමන් යදිමින් ගමන් කරන තත්ත්‍වයට පත් වීම අතිශයින්ම කණගාටුදායකයි.

විද්‍යාව, තාක්‍ෂණය දිනෙන් දින වේගයෙන් ඉදිරියට ගමන් කරන යුගයක අපි පසුගාමීව ගමන් කරන්නේ එක අංශයකින් පමණක් නොවෙයි. සෑම අතින්ම. වෙනකක් තබා නැවතත් අපි බොහෝ දේ දෙවියන් හට පවරා අත පිසදා ගන්නා මිනිසුන් කොට්ඨාසයක් බවට පත් වී හමාරයි. කිසියම් හෝ දවසක ඔබ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්‍ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ විභාගය හෝ උසස්පෙළ විභාගය ආසන්නයේ සති අන්තයක ප්‍රධාන පෙලේ බෞද්ධ සිද්ධස්ථානයකට ගියහොත් අපේ මවුවරු, පියවරු, සහ දරුවන්, සිය හැකියාවන් පැත්තකට දමා විභාග සමත්කර දීමේ අයිතිය දෙවිවරුන්ට පවරන අයුරු ඔබට දැක ගැනීමට පුළුවන් වෙිවි. මේ බොහෝ සිද්ධස්ථාන පවත්වාගෙන යන්නේත් දෙවිවරු මාකට් කරමින්, එතැන පිවිතුරු බුදු දහම නැහැ. තවත් සමහර අවස්ථාවදී තක්කඩි, සිය ගණදෙවි, ෆෙංෂුයි, සරස්වතී බන්ධන විකුණන අයුරු ඔබට දැක ගැනීමට පුළුවනි. තවත් සමහර දේශපාලනඥයන්, ජීවම් කළ පෑන් පවා බෙදනු ඔබට දකින්නට පුළුවන් වේවි… මාධ්‍ය නාලිකා පවා මේ මිත්‍යාව පතුරවමින් සිය මාධ්‍ය නාලිකාව ප්‍රචලිත කරනු ඔබට දැනේවි… ඒ අපේ ලාංකිකයන් සිය ජීවිත, නොදකින තිස්තුන්කෝටියක් දෙවියන්ට භාරකර ඇති ආකාරයයි. ඒ අතරම මදක් හිතන්න හිතවතුනි.. ඔබට මේ පිහිට වන කතරගම දෙවියන්ගේ භාරකරුවන් මේ දිනවල දේවාලය තුළම දෙවියන් බෙදා ගැනීමට අරගල කරන බව සහ දෙවියන්ටවත් ඔවුන් නැවැත්වීමට නොහැකි බව.. දෙවියන් සිටී නම් මෙය වෙනස් ස්වරූපයක් ගනු ලබනවා නොවේද ?

අපි එසේ අරගල කරන අතරතුර ලෝකය ඊට වඩා ගවු ගණනක් ඉදිරියට ගොස් අවසන්… අපි ඉතා සරළ දෑ විසඳාගත නොහැකිව වර්ජන ගර්ජන කරමින් කාලය කා දමන අවධියක, ලෝකය බොහෝ දුර ගොස් අවසන්. මේ ගමනේ පෙරගමන් කරුවන් බොහොමයක් සිටියා. විවිධ කාලවල විවිධාකාර පුද්ගලයින් ලෝකය වෙනස් කළා. අශ්ව කරත්තවලින් කළ ගමන නිමා කරන්නට කාල් බෙන්ස් සමත් වුනා. 1907 දී බෙලිජියානු ජාතික ඇමරිකානුවකු වූ ලියෝ හෙන්ඩ්‍රික් බීකලන්ඩ්  (Leo Hendrik Baekeland) බේක්ලයිට් සොයා ගැනීමත් සමඟම ලෝකය වෙනතකට පෙරළුනා.. රිචර්ඩ් ස්මෝලී විසින් බකිබෝලය නම් කාබන් නැනෝබෝලය සොයාගැනීමත් සමගම ලෝකය නැනෝතාක්‍ෂණය වෙත නැඹුරු වුනා, ඒමගින් සිදු කෙරෙන සිතා ගැනීමට පවා නොහැකි නවෝත්පාදන අනන්තයි. මේ සියල්ල ලොව වෙත දායාද වුනේ තමන්ට ලැබෙන දේට වඩා තමන්ගෙන් ලොවට ලැබිය යුතු දෑ වලට ප්‍රමුඛත්‍වය දී ලොවට සේවය කළ නිසයි. අවාසනාවකට ලෝකය එසේ වුවත්, ලංකාවේ අපි තවමත් දූපත් මානසිකත්‍වෙයන් ඔබ්බට ගොස් නැති නිසා, අපි තවමත් එකතැන… නැතිනම් පිටුපසට ගමන් කරමින් සිටිනවා.

මෙසේ ලෝකය වෙනස් වන අතරතුර කලින් කලට සුවිශේෂී පුද්ගලයින් හෝ සමාගම් විසින් පවතින ක්‍රමය කඩාකප්පල් කර දමා (disrupt) නව සමතුලිතතාවයකට ලෝකය ගෙන යනවා. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සොයා ගත් බිල් ගේට්ස් තවමත් ලොව ධනවත්ම පුද්ගලයා වූයේ එසේමයි. ඒ වගේම ඔහුගේ සොයාගැනීම ලෝකය වෙනස් කළා. ඔහුගේ තරඟකරුවා ඇපල් පරිඝණකය නිර්මාණය කළ ස්ටීව් ජොබ්ස් පරිඝණකය පැත්තෙන් නොවූවත්, ජංගම දුරකථනයේ විප්ලවීය පෙරලියක් ඇති කළේ ඒ හා සමානවම. තවමත් ඇපල් ජංගම දුරකථනයක් හෝ පරිඝණකයක් භාවිතා කරන කෙනෙක් වෙනත් දුරකථනයකට හෝ පරිඝණකයකට මාරු නොවන හේතුවම, ඔහුගේ නිර්මාණයේ ප්‍රබල බව කියා පානවා. මේ අතරට නවතම චරිත වරින් වර පැමිණියත්, ලෝකයටම දැනෙන අන්දමේ ප්‍රබල බලපෑමක් කරන්නට සමත්ව ඇත්තේ තුන්දෙනෙකු පමණයි.

ව්ලැමිඩිර් පුටින් සිය දේශපාලන බල පරාක්‍රමය විහිදුවමින් ලෝකයම සිය අණසකට යටත් කරන්නට මෙන් කටයුතු කරන අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සමතුලිතතාවය කඩා කප්පල් කරමින් වලං කඩයට කඩා වැදුනු කේප්ප වස්සකු සේ සිතූ සිතූ දෑ කරමින් සියල්ල කණපිට හැරවීමේ උත්සාහයක නිරත වෙමින් සිටිනවා. ඒ සියල්ල අතර උතුරු කොරියාවේ කිම් ජොං අන් කිසිවෙක් නොසිතන ප්‍රතිචාරයක් ලබා දීමට ද හැකියාවක් තිබෙනවා. කෙසේ වුවත් මේ සියළුම බලපුළුවන්කාරයින් අභිබවමින් සිය ව්‍යාපාරික බලපරාක්‍රමය පතුරවන තිදෙනෙකු අනාගත ලෝකය පාලනය කිරීමේ නිහඬ ආක්‍රමණයක යෙදී සිටින බව බොහෝ දෙනා දන්නේ නැහැ.

ඒ තිදෙනා සියතින්ම බිහිකළ සමාගම්වල තාක්‍ෂණික සහ ව්‍යාපාරික පද්ධතිවල ඇති ප්‍රබලතාවය නිසාම ලොව ඉතා ඉහලින් වැජඹෙන්නට පටන් අරගෙන තිබෙනවා. ඒ අතරම ඒ ව්‍යාපාර නිසාම වෙනත් ව්‍යාපාරවල ස්ථාවරත්‍වය වෙත ද ප්‍රහාර එල්ල වීමට පටන් අරගෙන තිබෙනවා. මේ තත්ත්‍වය මෙසේ පැවතුනහොත් ඔවුන් සිය ව්‍යාපාරික බලපරාක්‍රමය නිසාම ලෝකයේ බොහෝ ක්‍රියාවලීන් තම අණසකට යටත් කර ගැනීමට හැකි වනු ඇති. දැනටම දේශපාලන ලෝකය පවා ඔවුන්ගේ සමාගම් නිසා සසළ වන්නට පටන්ගෙන තිබෙනවා

mark-zuckerberg-headshot

2004 පෙබරවාරි මාසයේදී සරසවි සිසුවකුව සිටියදී මාක් සකර්බර්ග් ෆේස්බුක් අඩවිය එලිදක්වන විට එය මේ තරම් ප්‍රබල සමාජ පරිවර්තනයක් කළාවි යැයි ඔහු වත් සිතන්නට නැතිව ඇති. නමුත් ඉතා ඉක්මනින්ම ෆේස්බුක් සමාජ ජාලය විශ්ව විද්‍යාල සිසුන් අතර සහ තරුණ පරපුර අතර ප්‍රචලිත වූයේ තමන්ගේ තොරතුරු බෙදාහදා ගැනීමට මෙන්ම අනුන්ගේ ඕපාදූප ද නිරායාසයෙන්ම දැනගැනීමේ හැකියාව ඔවුන්ට ලැබෙන නිසයි. බටහිර රටවල ෆේස්බුක් අඩවිය තම තොරතුරු බෙදාහදා ගැනීමට සහ තමන්ගේ තත්ත්‍වය සමාජ ජාලය හමුවේ පාරම්බෑමට යොදා ගත්තත්, අපටම අනන්‍ය වූ නව්‍යකරණ සංස්කෘතියක් ඇති ලාංකිකයා යොදා ගන්නේ බොහෝ වෙනස් දෑ වලට. කෙසේ වෙතත් ලෝකයේ වර්තමාන ජනගහනය වන බිලියන 7.5  ක් වනවිට දැන් ෆේස්බුක් අඩවිය මාසිකව භාවිතා කරන සාමාජිකයන් ගණන බිලියන 2.01 ඉක්මවා යාමෙන්ම එය කෙතරම් ප්‍රබල මාධ්‍යයක්දැයි ඔබටම සිතාගත හැකියි.

JeffBezos

1994 ජුලි මස 5 වන දින ඇමරිකාවේ වොෂිංටන් ප්‍රාන්තයේ සියැටල්හි ජෙෆ් බෙසොස් විසින් ඇරඹූ ඇමසෝන් (Amazon) සමාගම මූලිකවම සිදු කළේ අන්තර්ජාලය හරහා පොත් විකිණීමයි. එය ඉලෙක්ට්‍රොණික වානිජ්‍ය සමාගමක් (e-commerce company) ලෙස මුලින් ඇරඹුනේ කිසිදු පොතක් හෝ භාණ්ඩයක් සිය සන්තකයේ නැතත්, ඒවා විකුණන සමාගමක් ලෙසින්. පසුව විවිධාංගීකරණය මගින් සිය බල පරාක්‍රමය විහිදූ ඇමසෝන් සමාගම 2015 වනවිට ඇමරිකාවේ සිල්ලර වෙළඳාමෙහි බලකණුවක් වූ වෝල්මාට් සමාගම පසු කරමින් වෙළඳපොලේ වටිනාම සමාගම බවට පත් වූවා. එය දැනට වැඩිම වෙළඳපොල කොටස් හිමි සමාගම වන අතර මෑතකදී අයිතිකරගත් Whole Foods සමාගමත් සමග ඔවුන් දැන් දැන් සිල්ලර බඩු වෙළඳාමටත් අත ගසා තිබෙනවා. මේ නිසා එම අංශයේ ප්‍රමුඛයින් වූ ටාගට්, වෝල්මාට්, සෑම්ස් ක්ලබ්, සහ කොස්ට්කෝ යන සමාගම්වල වෙලඳපොල ඒකාධිකාරය පවා සෙලවී තිබෙනවා.

Elon-musk

වසර 2003 දි කැලිෆෝනියාවේ පාලෝ ඇල්ටෝ හිදී ආරම්භ වූ ටෙස්ලා මෝටර්ස් සමාගම ප්‍රචලිතව ඇත්තේ විදුලි මෝටර් රථ, සූර්ය කෝෂ, සහ විද්‍යුතය ගබඩා කිරීමේ ලිතියම් අයන බැටරි නිෂ්පාදකයකු ලෙසින්. කෙසේ වුවත් එය මහජනතාවගේ අවධානය ආකර්ෂණය කරගනු ලැබූවේ 2008 වසරේ නිපදවූ Roadster නම් වූ ප්‍රථම විද්‍යුත් මෝටර් රථය එලිදැක්වීමත් සමගයි. ටෙස්ලා සමාගමේ නිර්මාතෘ ඉලොන් මස්ක් දැන් දැන් ලොව පුරා කතා බහ කෙරෙන චරිතයක් බවට පත් වී ඇත්තේ ටෙස්ලා මෝටර් රථය නිසාම පමණක් නොවෙයි. ඔහු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශක තනතුරක සිට  ඉන් ඉවත් වීමට තීරණය කිරීම, නගරාන්තර ගමනාගමනය කාර්යක්‍ෂම කිරීමට යෝජනා කළ හයිපර්ලූප් දුම්රිය, නිවාසවල සූර්ය බලශක්තිය වඩාත් කාර්යක්‍ෂමව නිපදවිය හැකි සූර්ය උළුකැට හඳුන්වාදීම වැනි මතක හිටින අන්දමේ වැඩකටයුතු බොහොමයක් සිදු කර පෙන්වීම නිසාමය. කිසිදිනෙක විද්‍යුත් මෝටර් රථයක් සාර්ථක නොවන්නේ යැයි සුවිසල් මෝටර් රථ සමාගම් පාරම් බෑ යුගයක ඔහු තැනූ ටෙස්ලා මෝටර් රථ, බලයෙන් පෙනුමෙන් මෙන්ම ක්‍රියාකාරීත්‍වෙයන්ද අනෙක් මෝටර් රථ අභිබවා යන්නේ අඩු මිලට විකිණීමත් සමගයි. මේ නිසා ටෙස්ලා මෝටර් රථයක හිමිකරුවකු වීමට බොහෝ දෙනා සිහින මවනවා.

මේ තුන්දෙනාගේ බලපරාක්‍රමය ලොව වටා විහිදීම එක්තරා ආකාරයක තර්ජනයක්. ඇමසෝන් සමාගමේ ක්‍රියාකාරීත්‍වය නිසා දැන් දැනි සුවිසල් රෙදිපිළි සමාගම් වන සියර්ස්, ඩිලර්ඩ්ස්, වැනි සමාගම්වල බොහොමයක් වෙළඳසැල් වසා දැමීමට සිදු වුනා. ටෙස්ලා සමාගමෙන් ඉදිකෙරෙන සුවිසල් මෝටර් රථ කර්මාන්තශාලාව නිසා සමහරවිට ඇමරිකානු මෝටර් රථ සමාගම්වලටත් ඒ ඉරණමම අත්වන්නට පුළුවනි. ෆේස්බුක් සමාජ ජාලය මගින් අත්පත් කරගෙන යන විවිධාකාර පරිඝණක සමාගම් සහ අන්තර්ජාල සමාගම් නිසා ඔවුන්ගේ ද බල පරාක්‍රමය දළුලා වැඩෙනවා. මේ සමාගම් තුන දැනටමත් විවිධ අයුරින් ලෝක ජනගහනයේ නව ප්‍රවණතා ඇති කර හමාරයි. නුදුරු අනාගතයේ මේ සමාගම් වලින් ඉදිරිපත් කෙරෙන නව නිර්මාණ නිසා ලෝකය කෙසේ වෙනස් වේදැයි විස්තර කෙරෙන ලිපි පෙළක් සමගින් ඉදිරි සතිවල හමුවෙමු.

කෑව ගමන් තිබහ හැදෙන, ශරීරයට ඕනම නැති MSG


MSG-Front

හදිස්සියට නොවුනත් පහසුවට අපේ බොහෝ ගෘහණියන් පාර අයිනෙ තිබෙන කඩයකින් හෝ වෙනත් පිළිගත් ආහාර වෙළඳසැලකින් පවුලටම සරිලන ආහාර වේලක් ගෙදර ගෙන යන්න මැලි වන්නෙ නැහැ. තමන්ට පැය ගණනාවක් කුස්සියේ ගත කරලා පිසින ආහාරයට වඩා කීයක් හෝ වැඩිපුර දීලා ගන්න නොදන්නා කෙනෙකු විසින් නොදන්නා ද්‍රව්‍ය දමා සකසන මේ ආහාරය කෙරෙහි විශ්වාසය නැවත තබා ඇති බවයි පෙනෙන්නේ. මෙයට අපේ අම්මලාගේ කාර්යබහුල බව ප්‍රධාන වශයෙන්ම බලපානවා. රැකියාවේ නියැලිලා ඉන්න ඔවුන් හවසට ගෙදර එන්නේ හෙම්බත් වෙලා. ඒ අතරේ කෑම උයන එක කියන්නේ බොහොම වෙහෙසකර කටයුත්තක්. මේ නිසාම සතියකට වේල් දෙකක්වත් මිලදී ගත් ආහාර වේලකින් කුස පුරවා ගන්නට සිදු වෙන්න පුළුවන්. නමුත් මේ ආහාර ඇත්තෙන්ම සෞඛ්‍යාරක්‍ෂිතද ? ඒ ආහාරවලට යොදන දෑ මොනවද ? අපි බොහෝ දෙනෙක් නොදන්නා දෙයක්.

අපේ දරුවන් පවා නිවසේ සකසන ආහාරවලට වඩා පිටින් ගෙනෙන ආහාරවලට දක්වන්නේ මහත් ගිජුකමක්. සමහරවිට නිවසේ සකසන ආහාරවල රසය අඩු වන්නට පුළුවන්, නමුත් එය විශ්වාසදායකයි. පිටතින් ගෙනෙන ආහාරවල රසය වැඩි කිරීමට විවිධාකාර දෑ එකතු කරනවා. විවිධ වෙළඳ නාම වලින් හැඳින්වෙන මේ දෑ සමහරවිට දීර්ඝකාලීනව ශරීරගතවීම ශරීරයට අහිතකර වන්නට පුළුවනි. ඔබ සමහරවිට මෙවැනි වෙළඳසැලකින් ආහාර ගත් විට තරමක වැඩි පිපාසාවක් දැනෙන්නට පුළුවනි. එයින් ඔබට දක්වන්නේ ඔබ MSG නැතහොත් මොනො සෝඩියම් ග්ලූටමේට් කයන රසායනයේ ගොදුරක් බවට පත් වූ බවයි..

Mono Sodium Glutamate කියන්නෙ ග්ලූටමික් අම්ලය කියන අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ලයේ සෝඩියම් ලවණය. මෙය ඇත්තෙන්ම ඇමරිකානු  ආහාර සහ ඖෂධ අධිකාරිය මගින් ආරක්‍ෂාකාරී දෙයක් ලෙස සඳහන් කර තිබුණත්, බොහෝ දෙනා සැකමුසු බැල්මෙන් තමයි මේ ගැන බලන්නෙ. නමුත් මෙය අනෙක් ආහාර සමඟ හොඳින් මුසු වන නිසාත්, ඇමයිනෝ අම්ලයක් මිස වෙනත් හානිකර රසායන ද්‍රව්‍යයක් නොවන නිසාත්, අනෙක් ආහාරවල රසය හොඳින් ඉස්මත් කරන නිසාත් බොහෝ වෙලාවට රසකාරකයක් ලෙසින් යොදා ගැනෙනවා. මෙය MSG ලෙසින්ම යොදා නොගැනුනත්, Aji-No-Moto, Ac’cent, සහ Vestin යන වෙළඳ නාම වලින් ලොව පුරා බෙදාහැරෙනවා.

මෙය ශතවර්ශයකට වඩා ඉතිහාසයක් ඇති රසායනිකයක්. 1908 දී ජපානයේ ටෝකියෝ ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ කිකුනේ ඉකෙඩා (Kikune Ikeda) විසින් මුහුදු පැලෑටියකින් නිස්සාරණය කරගෙන වෙන් කර ගත් ග්ලූටමික් අම්ලය එහි වූ සුවිශේෂ රසය නිසාම “Umami” උමාමි  ලෙසින් නම් කෙරුණා. ජපාන ආහාර වන katsuobushi සහ kombu යන ආහාරවල ඇති පැණිරස-ලුණු රස-ඇඹුල් රස-සහ තිත්ත රස වන රස වලින් වෙනස් වූ සුවිශේෂ රසයක් මේ සංයෝගයෙන් ඔහු නිරීක්‍ෂණය කළා. මේ ග්ලූටමික් අම්ලයේ අයනීකරණය වූ සංයෝගයේ වූ රස අධ්‍යයනය කිරීමට ඔහු කැල්සියම්, පොටෑසියම්, ඇමෝනියම්, සහ මැග්නීසියම් ආදී විවිධ අයන සමඟ සංයෝජනය වූ ග්ලූටමේට් සංයෝග යොදා ගත්තා. එහිදී ඔහු නිරීක්‍ෂණය කළේ ඒ සියල්ල ලෝහමය රසක් – මලකඩ රසක් ගෙන දෙන බවයි. ඒ අතර වූ සෝඩියම් ග්ලූටමේට් මේ සියල්ලටම වඩා වෙනස් ලෙස මනා රසයක් සහ හොඳ ද්‍රාව්‍යතාවයක් ලබා දෙන බවට ඔහු දුටුවා. එසේම මෙය ඉතා පහසුවෙන් ස්ඵටික ලෙස වෙන් කරගන්නත් ඔහු සමත් වූවා. ඔහු මෙම සංයෝගය මොනොසෝඩියම් ග්ලූටමේට් MSG ලෙසින් නම් කර ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා. ඉන්පසු සුසුකි සහෝදරයන් විසින් මෙය අජි-නෝ-මොටෝ ලෙසින් වෙළඳපළට ඉදිරිපත් කළා.

MSG ස්වභාවිකවම තක්කාලි, චීස් ආදී ආහාරවල තිබෙනවා. නමුත් බොහොම අඩු ප්‍රමාණවලින්.   ඇත්තෙන්ම පිරිසිදු MSG විසින් හොඳ රසයක් ලබා දෙන්නෙ නැහැ. එය එයට නිසි සුවඳකාරකයත් සමඟ එකතුකළොත් පමණයි නිසි රස ලැබෙන්නෙ.. නියම ප්‍රමාණය එකතු කළහොත් MSG වලට හැකියි අනෙකුත් රසකාරක වල ඇති රසයන් උළුප්පා ගන්නට. එය බොහෝ විට බොහෝ ආහාර සමඟ හොඳින් මුසු වෙනවා. ඒ කියන්නෙ ඒ ආහාර වල රසයන් හොඳින් ඉස්මතු කරනවා. නමුත් එය එසේ සිදු කරන්නේ නියමිත ලෙස නියමිත ප්‍රමාණයෙන් භාවිතා කළහොත් පමණයි.. වැඩිපුර භාවිතා කළා කියා වැඩිපුර රසයක් ඉස්මතු වෙන්නෙ නැහැ. එසේම මේ MSG වල ඇති සුවිශේෂී ලක්‍ෂණය නම් නියුක්ලියෝටයිඩ සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කර ආහාර වලට අවශ්‍ය ලුණු වැනි දේ වල ප්‍රමාණය අඩු කිරීම සිදු කරනවා. මේ නිසා සමහර වෙලාවට MSG දමා ආහාරය රසවත් කිරීම නිසා ලුණු අඩුවෙන් ආහාරයට ගත යුතු, ආහාර පාලනය කරන පුද්ගලයින්ට අවශ්‍ය රස එලෙසම තබා ගනිමින් ආහාර සැකසීමට හැකි වෙනවා. සමහර අවස්ථාවල භාවිතා කරන ලුණු ප්‍රමාණය 30% ක් අඩු කරගන්නට MSG භාවිතා කිරීමෙන් හැකි වෙනවා ලු. ලුණු වල ඇති 39% ක් වන සෝඩියම් ප්‍රතිශතය වෙනුවට MSG  වල ඇත්තේ 12% ක සෝඩියම් ප්‍රතිශතයක්.

බොහෝ සැකසූ ආහාරවලට MSG ඇතුලත්කර ඇති බව සත්‍යයක්. ඔබ ඒ ආහාරවල ලේබල් පරීක්‍ෂාවෙන් කියවා බැලුවහොත් එය එක්කෝ Mono Sodium Glutamate ලෙසින් හෝ

අජි-නෝ-මොටෝ අනතුරුදායකද ?

MSG ලොව පුරාම අවුරුදු 100 කට අධික කාළයක් රසකාරකයක් ලෙස භාවිතා වෙමින් පවතිනවා. මේ කාළය තුළ මෙහි ආරක්‍ෂාකාරී බව, භාවිතයේ වාසි-අවාසි, කෙතරම් පාවිච්චි කළ යුතුද ආදී දේ ගැන ඉතා ගැඹුරු ලෙසින් පර්යේෂණ සිදු වී තිබෙනවා. ඒ අනුව ආහාර පිළිබඳ ආරක්‍ෂණ ඒජන්සි විසින් MSG ආහාරයට ගත හැකි රස ඉස්මතු කරන්නක් ලෙසින් වර්ග කර තිබෙනවා. ග්ලූටමික් අම්ලය ස්වභාවයේ පවත්නා ඇමයිනෝ අම්ලයක් නිසාමත්, එය ශරීරය මගින් ජීර්ණයේදී විඛණ්ඩනය කරන නිසාත් ඇත්තෙන්ම ශරීරයට අහිතකර නැති බවයි පැවසෙන්නෙ.  “MSG symptom complex” කියන රෝග තත්ත්‍වය නැතිනම්  “Chinese Restaurant Syndrome” කියන රෝග තත්ත්‍වය මුලින්ම වාර්තා වුනේ Robert Ho Man Kwok  විසින් ඇමරිකාවේ චීන අවන්හලක ආහාර වැලඳුවාට පස් ඇති වූ රෝගී තත්ත්‍වයක් නිසා. ඔහු මෙයට හේතු වශයෙන් දක්වා තිබුණේ ආහාර පිසීමේදී යොදා ගන්නා වයින් සහ සෝඩියම් ප්‍රමාණය අතර සිදු වූ අසමතුලිතතාවයක් හෝ ප්‍රතික්‍රියාවක් නිසා මේ තත්ත්‍වය ඇතිවිය හැකි වූ බවයි. වයින් සහ සෝඩියම් ප්‍රමාණය අතර සම්බන්ධය කිසිමදාක අධ්‍යයනය නොවුනත්,  එදා සිට  MSG මේ රෝග තත්ත්‍වයන්ට කිසියම් ආකාරයක වරදකාරයෙක් වුනා.  MSG විෂ වීමට නම් එකවර සාමාන්‍යයෙන් 15 – 18 g/kg ප්‍රමාණයක් ශරීරගත විය යුතුයි. එනම් ඔබේ බර කිලෝග්‍රෑම් 60 ක් නම් ඔබ එකවර MSG ග්‍රෑම් 900 ක් ආහාරයට ගත යුතුයි. (මේ පර්යේෂණය සිදු කර ඇත්තේ මීයන්ට- මිනිසුන්ගේ මේ අගය පස් ගුණයක් වැඩි බව සඳහන්)  මේ නිසා 1995 දී පර්යේෂණාත්මක ජීව විද්‍යාව පිළිබඳ එක්සත් ඇමරිකානු සංගමය විසින් කරන ලද පර්යේෂණ වලට පසුව  රසකාරකයක් ලෙසින් අවශ්‍ය ප්‍රමාණයට භාවිතා කළ හොත් යෙදෙන MSG ප්‍රමාණය කිසිම විටෙක මිනිසුන්ට විෂ වීමට හේතුවක් නැති බවයි සඳහන් කරන්නෙ.

MSG නිසා ඇතිවන රෝගී තත්ත්‍වයන් පිළිබඳ පැහැදිළිතාවයක් නොමැත්තේ ඒ වාර්තා වී ඇති තත්ත්‍වයන්හි එකඟතාවයක් කිසිවිටෙකත් නොමැති නිසායි. එසේම ඒ වාර්තා වලින් කිසි විටෙක ග්ලූටමේට් නිසා ඇතිවන දීර්ඝකාලීන රෝගී තත්ත්‍වයක් වත් වාර්තා වී නැහැ.  එසේම පාරිභෝගිකයන් රාශියක් යොදාගෙන කරනලද පර්යේෂණ වලින් පවා එසේ දැනෙන රෝගී තත්ත්‍වයක් වාර්තා කිරීමට අසමත් වී තිබෙනවා. මොළයේ ස්නායු සන්නිවේදනය සඳහාත් මතකය සහ ඉගෙනීම සම්බන්ධව ග්ලූටමේට් වල ඇති දායකත්‍වය නිසාත් ස්නායු විශේෂඥයින් මේ පිළිබඳ පර්යේෂණ කළත් කිසිදු අහිතකර ප්‍රතිඵලයක් දැක්වී නැහැ. නමුත් MSG අහිතකරතාවයන් ඇති බවට බොහෝ අවස්ථාවල වාර්තා වෙනවා. එසේම රජරට ගොවියන් සිය වල්පැල නාශක ඉසිනයන්ට MSG පැකට්ටුවක් කවලම් කරන්නේ එහි ප්‍රබලතාවය කිහිපගුණයකින් වැඩිකර ගැනීමට. එසේනම් සත්‍ය වශයෙන්ම එහි කිසියම් ප්‍රතික්‍රියාවක් ඇති බව අනුමාන කළ හැකියි.

MSG ආහාරවලට එකතුකර ඇති බව පාරිභෝගිකයන්ට දැන්විය යුතු බවට ආහාර නියාමන අධිකාරියෙන් නීති පණවා තිබෙනවා. මේ නිසාම සමහර ආහාර ලේබල්වල MSG නමිනුත්, තවත් සමහර ලේබල් රසය වැඩිකර දෙන්නක් (Flavor Enhancer) ලෙසිනුත් දක්වා තිබෙනවා. සමහර ආහාර ලේබල් 621 අංකයෙන් එය දක්වා තිබෙනවා.

කෙසේ වුවත් සමාජයේ සිටින හැම දෙනාගෙම පරිවෘත්තීය එක හා සමාන නැහැ. මේ නිසා සමහර අයට MSG නිසා අපහසුතා ඇතිවෙන්න පුළුවන්. ඒ අපහසුතා අතර හිසරදය, වමනය, මුහුණ අත්පා ආදියෙහි හිරිවැටීම හෝ හැඟීම් දැනීමක් නොමැති වීම වැනි රෝග ලක්‍ෂණ ඇතිවන්නට පුළුවන්. කෙසේ වුවත් අධිකලෙස ශරීරගත වුනත් MSG එකවරම විෂවන රසායනිකයක් නොවෙයි.  නමුත් විවිධාකාර ආකාරයෙන් ඒ සංකූලතා දැක්වෙන්න පුළුවනි. මෙහි අනතුරුදායක භාවය වැඩිපර නොපෙනෙන්නේ එහි රෝග ලක්‍ෂණ දැඩිව පිටතට නොපෙනෙන නිසායි. ඒ වුනත් බොහෝවිට සමාජයේ කියවෙන අන්දමේ ඇට දිරන කතාවක් හෝ විසල් රෝග තත්ත්‍වයන් MSG නිසා ඇති වන්නෙ නැති බව කියන්න පුළුවනි. ඒ හා සම්බන්ධ සාක්‍ෂි කොහෙන්වත් හමු වී නැහැ. නමුත්, සාමාන්‍ය ලුණු මෙන් නොවෙයි MSG අධික මාත්‍රාවක් ආහාරයට එකතු කළත් එය සරළව සොයාගැනීමේ ක්‍රමයක් නැති නිසා ආහාරයට MSG කොපමණ එකතු වී ඇතිදැයි කියන්නට කිසිම කෙනෙකුට සරළව බැහැ. ලුණු එකතු වීමේදී එහි ඇති අධික ලුණු රසය නිසා හඳුනා ගන්නට පුළුවනි. මේ නිසා ඔබේ ආහාරයේ MSG කොපමණ ප්‍රමාණයක් අන්තර්ගතදැයි සායා ගැනීමට නොහැකියි.  ග්ලූටමේට් කියන්නේ ශරීරයට අත්‍යවශ්‍ය නොවන දෙයක්, නමුත් යම් ප්‍රමාණයක් ශරීරයේම නිපදවෙනවා…ඒ නිසා විශේෂයෙන් වෙනම ගන්න අවශ්‍යතාවයක් නැහැ… අනවශ්‍ය දෑ ඇඟට අවශ්‍යම නැහැ…

බොහෝ චීන අවන්හල් සහ වෙනත් ආහාර විකිණීමේ ස්ථානවල මේ MSG අඩංගු රසකාරක භාවිතා වනවා, ඒ ඔවුන්ගේ ආහාරවල රස වැඩි කරන්නට බව අමතක කරන්න එපා… ඒ කෑම නිවසේ හදන කෑම වලට වඩා රස වැඩි එක හේතුවක් වන්නෙ ඒකයි… ඔබ එම රසයට ඇබ්බැහි වෙනවා, ඔබේ දරුවන් එයට ඇබ්බැහි වනවා. මේ නිසාම ඔබ වැඩි වැඩියෙන් ඒ ආහාර ලබා ගැනීමට පෙළඹෙනවා. මේ නිසා ඔබේ ශරීරයට සිදුවන දීර්ඝකාලීන හානිය වැඩියි. එසේම ඔබ වැඩි වැඩියෙන් මෙවැනි දෑ සහ තෙල් අධික, ආහාර ලබා ගැනීමේදී නිතැතින්ම දියවැඩියාව, අධික රුධිර පීඩනය, වෙනත් හෘද රෝග වැනි දෑ වලට නිතැතින්ම ගොදුරු වනවා. ඔබට පිටතින් බලා කවදාවත් ආහාරවලට MSG දමා ඇතිදැයි සොයාගත හැකි වන්නේ නැහැ. එය ආහාර ගත් පසුව ඔබට දැනෙන අසාමාන්‍ය තිබහ මගින් වැනි පසු කාලීන ප්‍රතික්‍රියාවක් මගින්ම පමණයි දැනගත හැක්කේ. නමුත් එවිට ඔභ ප්‍රමාද වැඩියි.

ඔබට විමසන්නට පුළුවනි, ඔබේ ආහාරය ලබාදෙන වෙලඳසැළ, හෝ පුද්ගලයාගෙන් ඔබට ලබාදෙන ආහාරයට MSG එකතු කර ඇත්දැයි කියා. ඔබට ඇණවුම් කරන්නට පුළුවන් MSG එකතු නොකර ආහාර ලබා දෙන ලෙසට, ඒ සියල්ල එසේ සිදු වෙද්දී ඔවුන් තව තවත් MSG එකතු කරන්නේ නම්, ඔබට තීරණය කරන්න පුළුවනි තව දුරටත් එතැනින් ඔබ ආහාර ලබා ගන්නේදැයි…

රිවිර සබැඳිය මෙතැනින්.

http://www.rivira.lk/online/2017/08/26/123879

 

 

අපි නොදන්න ඇප් : ක්‍ෂණිකව පින්තූර එකතු කරන ටෙලිග්‍රෑම් එක – Instagram


Instagramසමහරවිට ඔබට සමාජ මාධ්‍ය කරදරයක් හෝ කාළය කා දමන කටයුත්තක් වන්නට පුළුවනි. නමුත් ඔබට ඔබේ ලබැඳියන් සමඟ ඔබේ ජීවිතයේ විවිධ අවස්ථාවල මතකයන් හුවමාරු කර ගැනීමට හෝ ඔබටම කියා මිතුරු මිතුරියන් සමූහයක් ඇති කර ගැනීමට අවශ්‍ය නම්, සමාජ මාධ්‍ය ජාලයකට සම්බන්ධ වීමට අත්‍යවශ්‍ය නැහැ. මේ අඩුව සපුරා ලන්නට ඔබේ දුරකථනයේ බාගත කරගත හැකි  ඉතා පරණ ඇප් එකක් වනුයේ Instagram ඇප් එකයි.

මෙය කෙතරම් ප්‍රචලිත වී ඇත්ද යත්, සමහරවිට Instagram සාමාජිකත්‍වය නැතිනම්, ඔබ ජනප්‍රිය සමාජයෙන් කොන් වන තරමට එය ප්‍රබලයි.

Instagram මුලින්ම සැකසුනේ 2010 පමණ ඈත කාලයක ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ වලදීයි. Kevin Systrom සහ Mike Krieger දෙදෙන් විසින් ජංගම ඡායාරූපකරණය පිළිබඳ මෘදුකාංග ව්‍යාපෘතියක් සිදු කරන අවස්ථාවකයි මෙය සොයාගෙන තිබෙන්නේ. එය Foursquare නම් ඇප් එකට බොහෝ සමානකමක් දක්වපු නිසා ඔවුන් ඡායාරූප බෙදා ගැනීම පිළිබඳ මූලික අවධානය යොමු කර ඒ වෙනුවෙන් මේ ඇප් එක වෙනස් කර තිබෙනවා. මෙය Instant Camera සහ Telegram යන වචනවල එකතුවෙන් සැදුනක්.

Kevin Systrom විසින් 2010 ජුලි 16 වනදා මෙක්සිකෝ වලදී ගනු ලැබූ බල්ලෙකුගේ පින්තූරයකින් පළමු Instagram පෝස්ට් එක පළ වීමත් සමගම එය ඇරඹුනා. පසුව එම වසරේම ඔක්තෝබර් 06 වනදා එය ඇපල් පද්ධතියේ ඇප් එකක් ලෙස මුදාහැරුණා. 2012 දී එය ඇන්ඩ්‍රොයිඩ් පද්ධතියට මුදා හැරීමත් සමගම එක දිනකදී මිලියනයක් භාගත කිරීම් සිදුවූ බව සඳහන්.

Instagram මගින් ඔබට ජංගම දුරකථනයෙන් ලබා ගන්නා ඡායාරූප හෝ කෙටි වීඩියෝ ඔබේ නමින් පළ කිරීමට පුළුවනි. මෙය වෙනත් සමාජ ජාලා ගිණුම් සමග සම්බන්ධ වීමෙන් ඔබට එය සබැඳි කර ගත හැකියි. එසේම ලබා ගන්නා පින්තූරවල ගෝලීය ස්ථාන සළකුණු කිරීම (Geotagging) මගින් එම ස්ථානය නිසි ලෙස හඳුනා ගැනීමේ පහසුව ද සකසා තිබෙනවා. එසේම ලබා ගන්නා පින්තූර විවිධාකාර පෙරණයන් (Filter) හරහා සැකසීම මගින් පින්තූරවල කලාත්මක භාවය වැඩි කර ගැනීමට හැකියි. මෙවැනි පෙරණයන් 33 ක් Instagram විසින් සකසා ඇත්තේ ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයකට ඔබේ පින්තූර වෙනස් කිරීම කළ හැකි වන ආකාරයටයි. Instagram  බොහෝ විට සිය සාමාජිකයන් පින්තූර පළකිරීමේදී ඒවායේ සුවිශේෂී භාවය ඉස්මතු කරන ලෙස පළකිරීමට උනන්දු කරනවා. එය මෘදුකාංගය හරහාම ඇති කර තිබෙන නිසා සාමාජිකයන්ට සුවිශේෂි වෙහෙසක් දැරිය යුතු වන්නේ නැහැ.

මුලින්ම ඡායාරූප බෙදා ගැනීමේ ඇප් එකක් වූ මෙය වීඩියෝ ඇතුලත් කළේ 2013 දී. එය තත්පර 15 කට සීමා කෙරුණා. ෆේස් බුක් සමග තරඟයේදී ඉදිරියෙන් සිටීමට 2016 දී එම සීමාව තත්පර 60 ක් දක්වා වැඩි කළ අතර 2017 පෙබරවාරි මාසයේදී වීඩියෝ එකකට වඩා වැඩි ප්‍රමාණයක් පළ කිරීමේ හැකියාව සාමාජිකයන්ට ලබා දෙනු ලැබුවා. ඒ අනුව එක් පෝස්ට් එකකින් වීඩියෝ කිහිපයක් පළ කළ හැකි අතර එය විනාඩි 10 ක් තරම් දිගු කාළයකට වැඩි කිරීම සිදු වුවා.

Instagram බොහෝ දෙනා අතර ප්‍රචලිත ඇප් එකක්. 2010 වසරේ නිකුත්වත් සමගම එය මාස කිහිපයකින් සාමාජිකයින් මිලියනය ඉක්මවූවා. ඉතාමත් ඉක්මනින් ජනප්‍රිය වූ එය 2011 ජුනි වන විට මිලියන 5 ඉක්මවූවා. 2017 අප්‍රේල් මාසය වන විට සාමාජිකයින් මිලියන 700 ඉක්මවීමෙන්ම එහි ජනප්‍රියතාවය කෙතරම්දැයි සිතා ගත හැකියි. එය සනාථ කරමින් Instagram විවිධ සම්මාන ද දිනාගෙන තිබෙනවා. 2011 දෙසැම්බර් මස ඇපල් සමාගම මගින් වසරේ ඇප් එක ලෙසින් නම් කළේ Instagram. එමෙන්ම 2015 දී Mashable විසින් ලොව හොඳම iPhone ඇප් 100 අතරින් ප්‍රථම ස්ථානයට නම් කළේද මෙම ඇප් එකයි. එය ලොව පවතින ප්‍රබලම සමාජ මාධ්‍යයක් ලෙසින් හදුන්වා දී තිබෙනවා.

බොහෝ දෙනා Instagram සිය ප්‍රසිද්ධිය ප්‍රචලිත කිරීමට සහ සිය තොරතුරු තම රසිකයන්ට ලබාදීමට භාවිතා කරනවා. Instagram ලොව අංක එකේ වැජඹෙන්නේ රසිකයන් මිලියන 103 ක් ඇති සෙලීනා ගෝමස්, දෙවන ස්ථානය ලබා ඇත්තේ රසිකයන් මිලියන 94.1 කගේ පහස ලබන ටේලර් ස්විෆ්ට්. ෙමහි ප්‍රධාන ස්ථාන පහම කාන්තාවන් සතු කරෙගන අැති අතර, වැඩිම රසිකයන් අැති පිරිමියා වන්ෙන් පාපන්දු ක්‍රීඩක ෙරානාල්ෙඩා්.

ඉතින්, ඔබත් තවම Instagram සාමාජිකත‍වය ලබා නැතිද ? සමහරවිට ඔබ සමාජයෙන් කොන් වේවි………….

පිටස්තරයා – 05


Chapter 5 main

තමා නැවතී සිටි ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්‍රවුන් ප්ලාසා හෝටලයට ගිය විශ්වට සැහැල්ලුවක් දැණුනි. තමා ජීවිතයේ ඉතා වැදගත් කඩ ඉමක් පසු කළා සේ හැඟුණි. හැකි තරම් හොඳින් සිය සම්මුඛ පරීක්‍ෂණයට මුහුණ දුන් බව ඔහු දනී… දුක් වෙන්නට හේතුවක් නැත…. සියල්ල හොඳින් සිදු වේවි….

අතරමඟ හෝටලයකින් මිලදී ගත් තමා කැමති පරිදි සකසා ගත් සලාදය සෙමෙන් අනුභව කරන අතරේ අද දවසේ සිදු වූ සිදුවීම් එකිනෙක ඔහු මෙනෙහි කරන්නට විය.. ඔවුන් නොඇසූ එකම ප්‍රශ්නය ගැන නැවත නැවතත් ඔහුට මතක් විය… තමා ඉතාමත් වැදගත් වචනයක් ඔවුන් ඉදිරිපිට දමාගැසුවත් ඔවුන් එය අල්ලා නොගත් හැටි ඔහු මෙනෙහි කරන්නට විය… මිනිස්සු කොයි තරම් දේවල් මඟහරිනවද ?. සෑම දේම සිතූ ආකාරයෙන්ම සිද්ධ වුනා…..

ඔහු නාන කාමරයට වැද සිය ඇඳුම් එකිනෙක උණා දමා වතුර මල යට සිටගත්තේය… සිය සිරුර පිරිසිදු කිරීම ඇරඹිය යුතුය…. සිය සිරුරට උණුසුම් ජලය වැටෙන විට අමුතුම ප්‍රබෝධයක් ඔහුට දැණුනි… විනාඩි කිහිපයක් උණුසුම් ජල දහරාව යටට සිටි ඔහු සිය සිරුර  පිරිසිදු කිරීමේ සුවිශේෂ ද්‍රාවණය සිරුර පුරා ආලේප කළේය… උණුසුම් ජලයෙන් විවර වූ සිය සිරුරේ  සම මතුපිට වූ සිදුරු ඒ ද්‍රාවණය සිරුරට ඇදගන්නා බව හැමදාම මෙන් අදද ඔහුට දැණුනි…. නැවතත් වතුරමල යටට ගිය ඔහු අතිශය සීතල ජලයෙන් සිය සිරුර නැහැවෙන්නට ඉඩ හැරීය… සිය සිරුර පිරිසිදු කරන ද්‍රාවණය සිරුරට කිඳා බස්සවමින් විවෘත ව තිබූ සියළු සිදුරු ක්‍ෂණයකින් වැසී යනු ඔහුට දැණුනි…. නාන කාමරයෙන් ඉවතට ආ ඔහුට සිය සිරුර ගිණියම් වනු දැණුනි…. වසර දහහතරක් පුරා සෑම දිනකම දැනෙන ඒ උණුසුම දැන් ඔහුට හොඳින් පුරුදුය…..

තමා ළදරුවකු සේ පිරිසිදු බව ඔහුට දැණුනි….

හෙට තමා නැවත යා යුතුය….. ඔහු දිගු නින්දකට සූදානම් ව ඇඳට පැන්නේය……

…………………………………………………………………………………………………………………………………………

ඒක මහ අසාමාන්‍ය උෂ්ණත්‍වයක්……. සාමාන්‍යයෙන් කෙනෙක්ගෙන් දැකිය නොහැකි අන්දමේ තාපයක් පිටවුනේ…..

කොච්චරක්ද ?

ෆැරන්හයිට් 103 ක් දැක්වුවා කැමරාවෙ… මිනිහට උණ ගැණිලද දන්නෙ නෑ අද වෙච්ච වැඩ වලට…..

103 ක් කියන්නෙ සෑහෙන්න වැඩියිනෙ…. කමක් නැහැ… අපි බලමු මිනිහා මොකද කරන්නෙ කියලා….. දිගටම පටිගත කරන්න…. ඉහළින් ලැබුන අණ ඒකනෙ…

ඉන්පසු ඔහුගේ තාප සංඥාව තද රතු පැහැයෙන් අසාමාන්‍ය නිල් පැහැයකට කෙමෙන් හැරෙනු, ඈත ගොඩනැගිල්ලක සිට අධෝරක්ත කැමරාවක ආධාරයෙන් පටිගත කරමින් සිටි FBI නිලධාරියාගේ කැමරාවේ සටහන් විය…..

මැරුණද ?

කෝ බලන්න ? කිසි හැල හොල්මනක් නැහැ….. උෂ්ණත්‍වයත් අසාමාන්‍ය ලෙස අඩු වුනා….

නමුත් මැරුණත් මෙච්චර ඉක්මනට සීතල වෙන්න බැහැ නේද ?

ඔව්… ඒක හරිම අසාමාන්‍යයි…

කමක් නෑ… ආපු වැඩ ටික කර ගත්තා නෙ… දැන් යමු.. වැඩි වැඩ කරන්න ගියොත් අපටමයි කරදරේ….

සිදු වූ සිදුවීමෙන් වික්‍ෂිප්ත වූ FBI නිලධාරීන් දෙදෙනා සිය කාර්යය සපුරාගෙන යන්නට විය.

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

බොහොම ස්තූතියි ඔබ සැමටම අදම මේ කටයුත්ත අවසන් කරන්න එකඟ වීම ගැන.. අද්මිරාල් බවර් සිය සගයින් තිදෙනාට ස්තුති කරමින් හමුව ඇරඹීය.

මට අවශ්‍ය සියළුම දත්ත ලැබී තිබෙන්නෙ… මේක අපට ඉක්මනට අවසාන කරන්න පුළුවනි.

මුලින්ම අපි පළමු අපේක්‍ෂකයා ගනිමු.

පෞරුෂත්‍වය 70 % යි: ඉදිරිපත් කිරීම 89 % යි: දැනුම 90% යි: ……………………………………

නමුත්  විෂය පරාසය තරමක් පටුයි….  ඒක අපිත් දුටුවා සම්මුඛ පරීක්‍ෂණයෙදි…….

පසුබිම් විස්තර කිසි ප්‍රශ්නයක් නැහැ….. සාමාන්‍යයි…

නමුත් ඔහුට ඇති සම්බන්ධතා සමහරවිට ඉදිරියේදී අපට ගැටළුවක් වේද කියන ප්‍රශ්නය මට තිබෙනවා…. ඒ හැරෙන්න මට කිසි ප්‍රශ්නයක් නැහැ…..

අද්මිරාල් බවර් සිය සගයින් තිදෙනාට තවත් විස්තර රාශියක් ඉදිරිපත් කරමින් පළමු අපේක්‍ෂකයාගේ සුදුසුකම් සවිස්තරාත්මකව ඉදිරිපත් කර…………………. නමුත් අපි අනිත් දෙදෙනා ගැනත් බලන්න ඕන….

දෙවන අපේක්‍ෂකයාගෙ පෞරුෂත්‍වය 76 % යි: ඉදිරිපත් කිරීම 84 % යි: දැනුම 80% යි: ……………………………………

මම නම් ඒ ගැන පුදුම වෙන්නෙ නැහැ….. කොහොමද අනිත් එක්කෙනා… කාළය කා දමන්නට අකමැතිවාක් මෙන් නැන්සි ඉක්මන් කළාය…

නමුත් අනිත් එක්කෙනා තමයි ප්‍රශ්නෙ…..

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

ගුවන් යානය තුළට ගොඩ වූ විශ්ව සුපුරුදු පරිදි දෙනෙත් පියා ගත්තේය…. කුඩා කළ සිටම ඔහු ගුවන් ගමන් අප්‍රිය කළ පුද්ගලයෙකි. සිය පියාගේ රැකියාවත් සමඟ රටින් රටට මාරු වීම සිය ජීවිතයේ අප්‍රසන්න අත්දැකීමකි… සෑම වසරකට වරක් හෝ දෙවසරකට සැරයක් කොහේ හෝ රටකට යාමට සිදුවිය…. ගුවන් තොටුපලවල් සහ ගුවන් ගමන් ඔහුට ඒ තරමටම අප්‍රිය වූවේ ඒ නිසාවෙනි…. සිය පියා පරණ පුරුදු නීතීඥ රැකියාව කරගෙන ලංකාවේ සිටියා නම් තවමත් ඔහු ජීවතුන් අතර සිටිනු ඇතැයි විශ්ව අනන්තවත් කල්පනා කළේය. තමාටත් තම සොයුරියටත් හොඳ අනාගතයක් සලසනු පිණිස සිය පියාට ලැබුණ තානාපති තනතුර මෙවන් ඉරණමක් අත් කර දේ යැයි විශ්ව සිහිනෙකිනුදු නොසිතුවේය. අවසන තමා මෙලොව ඉතිරි කර සියල්ලන් තමාගෙන් සමුගත් අයුරු විශ්වට කිසි විටක අමතක කළ නොහැකි විය.

ඒ 2006 මැයි 15 වන දින සිය පවුල අවසාන වරට දකින දිනය යැයි විශ්වට කිසිදිනෙක නොසිතින. 2006 මැදපෙරදිග ඇති වන උණුසුම් තත්ත්‍වය සමනය කිරීම වස් එක්සත් ජාතීන්ගේ සාම තානාපති සෙනරත් සූර්යබණ්ඩාර මහතා ලෙබනනයේ සාම තානාපති වශයෙන් පත් කර යවනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට නීතිමය උපදෙස් ලබා දෙනු පිණිසත් ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලන් සහ රජය අතර සාකච්ඡා සඳහා පහසුකම් සළසන්නෙකුත් ලෙසිනි. සිය පියා තත්ත්‍වය සමනය වූ පසුව තම  මවත්, සොහොයුරියත් ගෙන්වා ගත්තේ ඒ තරම් අන්තරායක් ප්‍රදේශයේ නොදුටු නිසාය. නැගණියට ලොව පුරා සංචාරය කිරීමේ ආශාව නිසාමත් ඇගේ පාසැල් නිවාඩුව ඇරඹීම නිසාත් ඇයත් මවත් දෙදෙනාම පියා වෙත ගියේ  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල නිවාස වල සති කිහිපයක් කල් ගත කර ආපසු එනු පිණිසය. සුප්‍රසිද්ධ ගෝලාන් කඳුකර පෙදෙස් බලා නැවත එන ගමනේදී සිදු වූ අනපේක්‍ෂිත ප්‍රහාරයකින්   ඔවුන් සියළුම දෙනා මිය යාම ඔහුට කිසිසේත් දරාගත නොහැක්කක් විය.  එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද දැරිය නොහැකි පාඩුවක් වූවා පමණක් නොව එය මහා අපහසුවකට ද ලක් කළේය. ඉන් පසුව කිසිදු පහසුකම් සලසන්නෙකු විසින් පවුලේ සාමාජිකයින් අර්බුධ පවතින රටට රැගෙන නොයා යුතු බවටද නව නීතියක් පැණවින. තමාද ඒ ගමනට සහභාගී වූයේ නම් තමන්ට මෙසේ තනිවන්නට සිදු නොවන බව ඔහු සෑම විටම කල්පනා කළේය

විශ්ව නාවික පර්යේෂණ ආයතනයේ සම්මුඛ පරීක්‍ෂණයට ගොස් දින කිහිපයක් ගත විය………..

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

උදෑසන අවදි වූ වහාම ඊමේල් කිසිවක් ලැබී ඇත්දැයි පරීක්‍ෂා කිරීම රැකියාවක් සඳහා සම්මුඛ පරීක්‍ෂණයකට ගිය කාගේත් සිරිතකි. එපමණක් නොව වෘත්තියක නියැලෙන කාගේ වුවත් සිරිතකි.

මේ…. එයින් දෙදෙනකු ලැබූ ලිපියයි….

“හිතවත් ……………………………….,

පසුගිය දිනෙක ඔබ පැමිණ අප හා කළ සම්මුඛ පරීක්‍ෂණයේදී දැක්වූ ඔබේ දක්‍ෂතා අනුව ඔබ විසින් අප බලාපොරොත්තු වූ සීමාවන් ඉක්මවා යාමට අසමත් වූ බව කණගාටුවෙන් ප්‍රකාශ කර සිටිමු. ඒ අනුව ඔබ ඒ පරීක්‍ෂණයෙන් අසමත් වී ඇති බැවින් අප ආයතනයේ ඔබ අයැදුම් කළ රැකියාවට ඔබ බඳවා නොගන්නා බව කණගාටුවෙන් දැනුම් දීමට කැමැත්තෙමු. ඔබේ අනාගත කටයුතු සාර්ථක වේවායි පතමු.

ස්තූතියි.

ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ්

ප්‍රධාන පර්යේෂක,

නාවික පර්යේෂණ ආයතනය”

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

නාවික පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ තනතුර

හිතවත්  ආචාර්ය විශ්ව සමාධි සූර්යබණ්ඩාර වෙත,

පසුගිය දිනෙක ඔබ පැමිණ අප හා කළ සම්මුඛ පරීක්‍ෂණයේදී දැක්වූ ඔබේ දක්‍ෂතා අනුව, ඔබ විසින් අප බලාපොරොත්තු වූ සීමාවන් ඉක්මවා යාමට සමත් වූ බැවින් අප ආයතනයේ ආධුනික විද්‍යාඥ තනතුර සඳහා ඔබව බඳවා ගන්නා බව සතුටින් දැනුම් දීමට කැමැත්තෙමි. ඔබ මේ රැකියාව භාර ගන්නේද නැතිද යන්න දින තුනක් ඇතුලත මා හට ඊ මේල් පණිවුඩයකින් දන්වන්නට සලස්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.  ඔබේ පිළිතුර බලාපොරොත්තුවෙන් සිටිමි.

ස්තූතියි.

ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ්

ප්‍රධාන පර්යේෂක,

නාවික පර්යේෂණ ආයතනය

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

ඊ මේල් පණිවුඩය කියවූ විශ්ව සතුටින් දෑත් ඉහළට ඔසවා ජයග්‍රහණය පළ කරන ආකාරයක් දැක්වීය… මේ තමා බලාපොරොත්තු වූ ඉලක්කයයි. මේ රැකියාව භාර ගන්නවාද නැද්ද යන්නෙහි කිසිදු අඩමානයක් තමන්ට නැති බව ඔහු දනී… නමුත්, මේ ලිපියට වහාම පිළිතුරක් දීම තමන්ට මේ රැකියාව හැර වෙනකක් නැති බවක් දිස් වන බව පෙන්වන්නක් මෙන් ඔහුට හැඟුණි. සාමාන්‍යයෙන් දින තුනක් කල් දෙන්නේ දැනට රැකියාවක් කරන්නේ නම් රැකියාව කරන ස්ථානයට දැන්වීමට සහ එයින් අවසර ලබා ගැනීමටට, වෙනත් රැකියා අවස්ථා ලැබී ඇත්නම් ඒ පිළිබඳ සිතීමට සහ ඒ ඒ ස්ථාන සමඟ සාකච්ඡා කර තීරණයකට එළැඹීමට යන කාරණා සඳහා ය.

විශ්ව වහාම හාවඩ් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට යැවීම සඳහා ඊ මේල් ලිපියකට  අකුරු අමුණන්නට  විය.

……………………………………………………………………………………………………………………………………………………….

පසුගිය අවුරුදු හයක් තමා තනිවම ගෙවූ ජීවිතයේ අරමුණ කරා තමා පැමිණ ඇති බව විශ්ව ට පසක් විය. තමා අවුරුදු තිහක් ගෙවූ ජීවිතය, සිය දෙමාපියන් තමා වෙත තබා තිබූ බලාපොරොත්තු, සිය ගුරුදේවයා තමන්ගෙන් බලාපොරොත්තු වන දේ ඉටු කිරීම කරා තමන් ලං වන බව ඔහුට තේරුම් යමින් තිබුණි.

දවසම ඔහු ගත කළේ අදාල කටයුතු සැලසුම් කිරීම සඳහාය… ලිපියට අනුව සති දෙකකින් වොෂිංටනය වෙත  යා යුතුය. සති දෙකකින් වසන්නට නිවසක් සොයා ගැනීම තරමක ප්‍රශ්නයක් විය හැකිය. තමා සිටින තැන අඩුව පිරවීමට වෙනකෙකු සොයා ගතයුතුය. නැතහොත් දෙමසක කුලිය නිකරුණේ ගෙවිය යුතුය.. කළයුතු දෑ බොහෝය…. බලාපොරොත්තු බොහොමයකි….

බොහෝ දෑ අවසන් කර, බොහෝ වෙහෙස වී නවාතැනට පැමිණි විශ්ව සුදුරුදු පරිදි ස්නානය කර පිරිසිදු විය. වෙනත් හැමදාකම සෙනසුරාදාට ගන්නා දුරකථන ඇමතුම අද බ්‍රහස්පතින්දාවක ලබා ගැනීම පිළිබඳ ඇය පුදුම වනු ඇත.. නමුත් ඇයට මෙය දැන්විය යුතුමය… බොහෝ කළක සිට දෙමාපියන් නැති ඔහුට දෙමාපියන් වූයේ ඒ දෙපළ ය. සුමනසේකර මහත්මිය අවේලාවේ නාදවන දුරකථනය ගැන කුතුහලයෙන් යුතුව ගොස් රිසීවරය එසවූවාය.

හලෝ……

ලොකු නැන්දේ….

හලෝ සමාධි පුතා…. මොකද අප්පේ මේ අවේලාවෙ ?

මම හිතුවා ඔහොම අහයි කියලා… ආරංචියක් කියන්නයි කතා කළේ….

අපිත් මේ මඟ බලාගෙන හිටියෙ සුභ ආරංචිය අහන්න…. ගිය වැඩේ හරි ගියා නේද ?

ඔවු නැන්දෙ…. අද තමයි ආරංචිය ආවෙ… නැන්දට තමයි ඉස්සෙල්ලම පණිවුඩේ කිවුවෙ…. වෙන කවුද ඉතින් මට ඉන්නෙ මේක කියන්න නැන්දයි මාමයි ඇරෙන්න ? තව සති දෙකකින් වැඩ බාර ගන්න තියෙනවා… දැන් ඉතින් ඒවට ලෑස්ති වෙනවා… මේ ඔක්කොම ආපහු දීලා යන්න ඕන නෙ… අළුතෙන් Apartment එකක් ගන්නත් ඕන… ඒවා බලන්නත් තියෙනවා. කෝ ලොකු මාමා ?

මාමා නම් මේ වෙලාවෙ එළවළු පාත්තියෙ… මම පණිවුඩේ කියන්නම්….. මාමා කිවුවා ඔයාට ගිය වැඩේ හරි යන්න ඕන කියලා…

නැන්දයි මාමයි සනීපෙන් ඉන්නවනේ…

ඔව් පුතා… අපට කිසි කරදරයක් නෑ… අපි පුරුදු විදියට සැනසීමෙන් ජීවත් වෙනවා…. පුතාගෙ බෙහෙත් කොහොමද ?

ප්‍රශ්නයක් නෑ නැන්දෙ… මට චීන කඩයක් හම්බ වුනා… ඒකෙ තියෙනවා මට ඕන කරන ඔක්කොම දේවල්…  වොෂිංටන් ගියාම ඒ පලාතෙන් හොඳ කඩයක් හොයා ගන්න ඕන… කඩේ අයිතිකාරයා දන්නවා ඇති හොඳ තැන්… හොඳයි එහෙනම්… ලොකු නැන්දේ…. මම පස්සෙ කතා කරන්නම්…

හොඳයි පුතා… තෙරුවන් සරණයි…

තෙරුවන් සරණයි දෙන්නටම…

……………………………………………………………………………………………………………………………………………………….

බෙහෙත් ?

ඔව්… බෙහෙත්… Medicine…. එෆ් බී අයි ඒජන්තවරුන් දෙදෙනාට ඒ දුරකථන වාර්තාව පරිවර්තනය  කර දුන් පරිවර්තකයා පැහැදිළි කළේය….

ඒ වුනත් මෙයාගෙ රුධිර වාර්තාවෙ කිසිම බෙහෙතක් ගැන වාර්තා වුනේ නැහැනෙ….

අන්න එතැන තමයි ප්‍රශ්නෙ…. මෙයා කිසියම් රෝගයකට බෙහෙතක් ගන්නවා… අන්න ඒ බෙහෙත නිසා ලේ වල වෙනසක් සිදු වෙනවා ඇති… ඒකම නිසා තමයි ලේවල හිමෝග්ලොබීන් ප්‍රමාණය වැඩි වෙන්න ඇත්තෙ… නමුත් ඒ බෙහෙත බටහිර බෙහෙතක් නොවෙයි… එයා කිවුවෙ චීන කඩේකින් ගන්නවා කියලා…. සමහර විට චීන බෙහෙතක් වෙන්න පුළුවනි….

ඒත්… බෙහෙතක් ගන්නවා නම් ඒ බව රුධිර වාර්තාවෙ සඳහන් විය යුතුව තිබුණා නේද ?

සමහර වෙලාවට පෙරදිග බෙහෙත් ගනිද්දි එහෙම ආගන්තුක රසායනික ද්‍රව්‍ය ඇඟට ඇතුල් වන්නෙ නැහැ.. සියල්ලම ශාකවල ඇති රසායන ද්‍රව්‍ය… මේ නිසා පරීක්‍ෂණ වලදි අහු නොවන්න පුළුවනි….

ඔව්… ඒක තමයි… කෝකටත් අපි මේ ගැන අදාල තැන් වලට දැනුම් දිය යුතුයි…. දැන්ම මේ සංවාදයේ පරිවර්තනයක් ආචාර්ය ලිපර්ඩ්ට, අද්මිරාල් බවර්ට වගේම වෛද්‍ය රසායනාගාරයේ ආචාර්ය ෆිලිප් කවුෆර්ටත් යවන්න…. මේ ගැන ඒ අය දැනගත යුතුයි..

විශ්වගේ නවාතැනට සැතපුම් තුන් දහසකට එහා තවත් කිහිප දෙනෙක් ඒ දුරකථන සංවාදයට සවන් දෙමින් සිටි බව මේ දෙදෙනාම නොදැන සිටි කරුණක් විය…

:::::::::::::

නිතිපතා බෙහෙත් ගැනීමට විශ්වට තිබෙන රෝගය කුමක්ද ?

මේ තනි පුද්ගලයෙකු වෙනුවෙන් FBI ආයතනයේ සම්පත් යොදා කරන විපරම කුමක්ද ?

අළුත් අළුත් දෑ බෙදාගන්න – Pinterest එකේ පින් කරන්න.


 

pinterest Main

අපේ ජංගම දුරකථන දැන් ඇමතුම් ලබා ගන්න සීමා වෙලා නැහැ. ඇත්තෙන්ම වෙලඳපොලේ ජංගම දුරකථන වෙළඳ දැන්වීම් සළකා බැලුවොත් ඒවායෙහි දුරකථන ඇමතුම් තත්ත්‍වය හෝ ඇමතුම් පිළිබඳ කිසිම විස්තරයක් සඳහන් වන්නේවත් නැහැ. එක්කෝ කැමරාවෙහි ඇති ප්‍රබලතාවය නැතිනම් ජංගම දුරකථනයේ අභ්‍යන්තර දත්ත ගබඩාවෙහි ප්‍රමාණය, තිරයෙහි තීවෘතාවය හෝ වර්ණ සංකලණය ආදී විවිධාකාර උපයෝගීතා පිළිබඳව තමයි වැඩිපුරම අවධානය යොමු කරන්නේ. මේ නිසාම ජංගම දුරකථනයේ මූලික අවශ්‍යතාවය වන ඇමතුම් ලබාගැනීම අමතකම වෙලා ගිහින්.

ජංගම දුරකථනවල පරිණාමයත් සමගම එවා ස්මාට් ජංගම දුරකථන බවට පරිවර්තනය වූ විට එකතු වූ අළුත්ම උපාංග වන්නේ විවිධාකාර ඇප් වර්ගයි. මේවා අතර ඇපල්  සහ ඇන්ඩ්‍රොයිඩ් වල මෙහෙයුම් පද්ධති සමගම එනවා වගේම විවිධාකාර සමාගම් සහ පුද්ගලයන් විසින් සකසා විකුණන ඇප් වර්ගද තිබෙනවා. එකම කටයුත්ත සඳහා විවිධාකාර ඇප් වර්ග තිබෙන අතරේ, තමන්ට හරියටම හරියන ඇප් එක කුමක්දැයි තෝරාගැනීමත් අපහසු කටයුත්තක් වෙලා තිබෙනවා.

අපි අළුතෙන් යමක් කිරීමට උත්සාහ කරනවිට ඒ දේම, හෝ ඊට සමාන දෙයක් වෙනත් කෙනෙකු කර ඇත්දැයි බැලීම සාමාන්‍යෙයන් සිදු කරන කාර්යයක්. එසේ නොකළහොත් අපි බොහෝවිට කාළය කා දැමීමක් හෝ අනවශ්‍ය ලෙස මහන්සිවීමක් කරනවා. මෙවැනි විවිධාකාර ව්‍යාපෘති සිදු කරන සහ කළ අයගේ එකතුවක් තමයි Pinterest මගින් එළිදැක්වෙන්නෙ. මේ ඇප් එක ජංගම දුරකථන මෙන්ම අන්තර්ජාලය හරහා ද ලබා ගත හැකියි. වෙනත් බොහෝ ඇප් මෙන්ම මෙයටද ඔබ සාමාජිකත්‍වය ලබා ගත යුතුයි. එය එක්කෝ gmail නැතහොත් ෆේස්බුක් හරහා ලබාගත හැකියි. මෙහි විවිධාකාර වර්ගීකරණයන් තිබෙනවා. කලාව, විද්‍යාව හා තාක්‍ෂණය, නිවාස සැලසුම්, විවාහ උත්සව සඳහා නිර්මාණ අදහස්, තනිව කළ හැකි ව්‍යාපෘති ආදී අවශ්‍ය ඕනෑම ප්‍රවර්ගයකින් ඔබට අදහස් ලබා ගත හැකියි.

මෙහි වඩාත්ම විශේෂිත වන්නේ නවීන විලාසිතා උපයෝගී කරගෙන එකතු වන සැලසුම් සහ විද්‍යාත්මක අදහස් බෙදා හදාගැනීමේ නිර්මාණයි. දැන් දැන් මේ ඇප් එක වෙළඳ ව්‍යාපාර සඳහා පවා භාවිතා කරනවා. උදාහරණයක් ලෙස ඔබ යමක් නිෂ්පාදනය කර විකිණීමක් කරන කෙනෙක් නම්, ඔබේ නිෂ්පාදනවල පින්තූර සහ විස්තර Pinterest වෙත එකතු කළ හැකියි. එවිට එය පරිශීලනය කරන කෙනෙකුට ඉතාම ඉක්මනින් ඒ විස්තර ලබාගෙන ඔබේ ව්‍යාපාරය වෙතින් විමසීමක් කළ හැකියි. ඔබ මෝස්තර නිර්මාණ ශිල්පියෙකු නම්, ඔබේ නිර්මාණ ඒ වෙතට එක් කිරීමෙන් ඔබ සතුව ඇති නිර්මාණ වලට වැඩි වටිනාකමක් මෙන්ම ඔබටම කියා ප්‍රේක්‍ෂක සමූහයක් ගොඩනගාගත හැකියි. 2012 වනවිට මෙය ෆේස්බුක් සහ ට්විටර් පවා අභිබවා ව්‍යාපාර ප්‍රචලිත කිරීමට යොදාගෙන තිබුණා. මෙහි ඇති වාසිය නම් පාරිභෝගිකයාට දැනෙන ආකාරයට නිර්මාණාත්මකව තොරතුරු ලබා දීමට ඇති හැකියාවයි.

Pinterest ප්‍රධාන විධායක නිලධාරී බෙන් සිල්බර්මන් පවසන ආකාරයට එය අදහස් නාමාවලියක් (Idea Catalogue). ඇත්තෙන්ම එය බොහෝ දෙනෙකුගේ දායකත්‍වෙයන් තැනුන පුස්තකාලයක් වගේ. ඔබට අවශ්‍ය බොහෝ දේවල් එයින් සොයා ගන්නට පුළුවනි. මෙය ඇපල් සහ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති දෙකේම භාවිතා කළ හැකි ඇප් එකක්. භාවිතා කරන්නන්ට මෙහි තොරතුරු ගබඩා කිරීම, බෙදා ගැනීම, තමන්ට අවශ්‍ය තොරතුරු බාගත කිරීම සහ සළකුණු කර තබා ගැනීම කළ හැකියි. මෙය බිත්තියක සැකසූ ලෑල්ලක ඇණ හෝ කටු ගසා යමක් රඳවනවා හා සමාන නිසා එම සළකුණු කිරීමට Pin කරනවා යැයි පවසනවා.

ෆේස්බුක් සහ ට්විටර් අඩවි මෙන්ම මෙහි සාමාජිකයන්ගේ දත්ත වෙනත් වෙළඳ ආයතනවලට ලබා දීමට මෙය කටයුතු කරන නිසා ඔබේ පෞද්ගලික තොරතුරු සුරක්‍ෂිත නැහැ. නමුත් මේ තොරතුරු ඔබ දැනටමත් ඉහත වෙබ් අඩවි වෙත ලබා දී ඇත්නම් ඒ ගැන ඔබ පසුතැවිලි විය යුතු නැහැ. අනෙකුත් වෙබ් අඩවි මෙන්ම ඔබ සොයන තොරතුරු අනුව ඔබට විවිධාකාර ඉඟි ලබා දෙන්න Pinterest කටයුතු යොදා තිබෙනවා. උදාහරණයක් ලෙස ඔබ විද්‍යාව හා තාක්‍ෂණය සම්බන්ධ දෑ වැඩි වැඩියෙන් සොයන්නෙක් නම්, ඔබේ ඊමේල් ලිපිනය වෙත එවැනි ඉඟි ලැබෙන්නට පටන් ගනීවි. එය එක් අතකට උදව්වක් මෙන්ම තවත් අතකට කරදරයක්, මක් නිසාද යත්, එවැනි ඉඟි හරහා ඔබ Pinterest හි ගත කරන කාලය වැඩි වන නිසා නොදැනීම ඔබ ඒ වෙතට ඇබ්බැහි වෙනවා.

වෙනත් අන්තර්ජාල සේවා මෙන්ම මෙහිද සත්‍ය තොරතුරු සහ අසත්‍ය තොරතුරු යන දෙවර්ගයම ඇතුලත්. මේ නිසා නිසි තොරතුර ලබාගෙන ඔබේ අවශ්‍යතාවය ඉටු කර ගැනීමයි වඩා වැදගත්. විශේෂයෙන්ම තනිව සිදු කරන ව්‍යාපෘතිවලට මෙමගින් සෑහෙන උදව්වක් ලබෙනවා. එමගින් ලබා ගන්නා විවිධ තොරතුරු උපයෝගී කරගෙන ඔබටම අනන්‍ය යම් කළ හැකියි. මෙය ඉතා සරළ ඔබටම ඉගෙන ගත හැකි ඇප් එකක්, විවිධාකාර උපයෝගීතා බොහොමයි… ඇබ්බැහි වුනොත් දැනුම ලැබෙනවාට වඩා අමතරව සිදු වන එකම දේ ඔබේ දුරකථනයේ ඩේටා වැඩිපුර වැයවීමයි.

 

පැටලුනොත් ජාලේ සිදුවෙන ජංජාලේ


Internet security

සමහර වෙලාවට සුපිරි වෙලඳසැලකදී  ඔබට මෙහෙම දෙබසක් ඇහෙන්නට ඇති…

මිස් අපේ සාමාජිකයෙක්ද  ?

ඔව්

ටෙලිෆෝන් නම්බර් එක ?

001 234 5678

ඔබ සුපරීක්‍ෂාකාරී සහ අවස්ථාවාදී නම්, ඒ අංකය ඔබ මතකයේ තබාගනු ඇති…

ඔබට ඈ හා සබඳතාවයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය නම්, දුරකථන අංකය මගින් ඇයගේ නම සහ වෙනත් විස්තර සොයා ගතහැකි වනු ඇත. සමහරවිට ෆේස්බුක් ගිණුම පවා සොයාගතහැකි වනු ඇති..

ඉතිරිය අතීතයට හෝ අනාගතයට එකතුවනු ඇත…

###########

ලෝකය එකම විශ්ව ගම්මානයක් කියලා කියන්නෙ නිකම්ම නෙවෙයි. ලෝකයේ එහා කොණක සිටින කෙනෙකුට අන්තර් ජාලය හරහා ඔබ හා සම්බන්ධ වෙන්නට යන්නේ තත්පර හයක් වැනි කෙටි කාළයක්. ඔබ විසින් හෝ වෙනත් කෙනෙකු විසින් කවදා හෝ රහසිගතව හෝ පටිගතකළ විඩියෝ දර්ශනයක් සමාජගත වීම නිසා ඔබට සමාජයටත් මුහුණ දෙන්නට බැරි තත්ත්‍වයක් ඇති වන්නට පුළුවනි. අපේ රටේ බොහොම ප්‍රසිද්ධ චරිත වගේම ලෝකෙයේ ප්‍රසිද්ධ චරිත පවා මේ අපහසුතාවයට ලක් වුණ අවස්ථා එමටයි. සමහරුන්ට රැකියාව අහිමි වුනා, තවත් සමහරුන්ගේ පවුල් ජීවිත පවා අවසන් වුනා. අපේ දත්ත ඒ තරම් ම අවදානම්.. ඔබගේ දත්ත වෙනත් අයගේ අතට පත්වෙන අවදානම ඉතා ඉහළයි.

මේ නිසාම, අනවශ්‍ය පුද්ගලයින් ඔබේ දත්ත අනවශ්‍ය ආකාරයට යොදා ගැනීම නිසා බොහෝ දෙනා අමාරුවේ වැටෙනවා. නමුත් මේ සිද්ධීන් ජනමාධ්‍යයන් මගින් ප්‍රසිද්ධියට පත් වන්නේ, එක්කෝ කෙනෙකු සියදිවි නසා ගැනීම, ඝාතනයට ලක්වීමක්, කප්පම් සිද්ධියක්, හෝ වෙනයම් අනතුරකට පත්වීම වැනි කරුණක් නිසාම වන්නට පුළුවන්. ඒ බොහොමත්ම අල්ප ගණනක්. සෙසු සියළුම සිදුවීම් ජලයේ පාවෙන අයිස් කන්දක ජලයෙන් යට ව පවතින විශාල කොටස වගේ නොපෙනී නොදැනී තිබෙන්නට පුළුවනි. නමුත්, මෙය අපි නොසිතන භයානක උවදුරක්. මේ දත්ත වැරදියට භාවිතා කිරීම නිසා සහ ඔබේ දත්ත අයිතීන් ගැන ඔබ නිසි ලෙස දැනුවත් නොවීම නිසා, ඔබ නොදැනුවත්වම සමහරවිට ඔබේ නම වුනත් අපරාධයකට ගෑවී තිබෙන්නට පුළුවනි, එසේත් නැතිනම් වෙනත් වැරදි ක්‍රියාවක කොටස් කරුවෙකු වන්නට පුළුවනි. මේ නිසා ඔබේ දත්ත තිබෙන්නේ කොතැනකද? ඒවා පාවිච්චි වන්නේ කෙසේද කියලා දැන සිටීම සහ එය පාලනය කිරීම ඔබ සතු යුතුකමක් වගේම අතිවිශාල වගකීමක් ද වෙනවා. පිටරටවල නම් මේ දත්ත පාවිච්චි කරලා සිදුකරන අපරාධ බොහොමයි. වාසනාවකට ලංකාව ඒ තරම් දියුණු වෙලා නැති නිසා තවමත් අපේ අනාරක්‍ෂිත දත්ත – තරමකට ආරක්‍ෂිතයි.

ඔබේ දත්ත ගබඩා වෙලා තියෙන්නේ කොහේද ?

මේ ලිපිය අන්තර්ජාලයෙන් කියවන ඔබ බොහෝ දුරට ඔබේම පුද්ගලික පරිඝණකයක සහ ස්මාට් ජංගම දුරකථනයක අයිතිකරුවකු විය හැකියි. ඔබ පුද්ගලික දුරකථනයක අයිතිකරුවකු වනවිට ඔබේ විස්තර සියල්ල දුරකථන සේවා සපයන්නන් වෙත ලැබෙනවා. එසේම ඔබේ අංකය ඔබේ මිතුරන් සියළුම දෙනා තම දුරකථනවල ගබඩා කරගන්නවා. ඔබ දුරකථනයෙන් අන්තර්ජාලයට පිවිසෙන විටම, ඔබ ඔබේ නම සහ තරමක පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට එක් කර හමාරයි. ඉන්පසු ඔබ පිවිසෙන්නේ ඊමේල් වෙත, එහිදී බොහෝවිට ඔබ Gmail, Yahoo, Outlook, වැනි සමාගම්වලින් ඔබේ ඊමේල් ලිපිනය ලබා ගන්නවා. එහිදී ඔබ ඔබේ නම, වයස, ලිපිනය, මවගේ නම, ආදී බොහෝ තොරතුරු ඒ වෙත එක් කරනවා. මේ දත්ත බොහෝදුරට ආරක්‍ෂා සහිත වුවත්, එය සේප්පුවක දමා වසා ඇති යැයි කිසිවෙකුට සහතික වන්නට බැහැ. මෙහිදී ඔබ වෙනුවෙන් අන්තර්ජාලයේ යම් ඉඩක් වෙන් වන අතර අය ඔබගේ අනන්‍යතාවය වෙනවා. ලොව කොතැන සිට ඔබ ඊමේල් භාගත කළත්, එය අන්තර්ජාලයේ සටහන් වෙනවා. ඔබ සතුව Facebook, LinkedIn, Twitter, YouTube හෝ වෙනත් සමාජ ජාල භාවිත ඇතිනම්, ඒ සියළුම විස්තර අන්තර්ජාලයේ රැඳී පවතිනවා. මේ සියල්ල දැන් එකිනෙකට සම්බන්ධයි. ඔබේ නම Google හි සටහන් කර සොයා බැලුවහොත් ඔබ ගැන කෙතරම් විස්තර ඇතිදැයි ඔබම පුදුමයට පත් වේවි. ඔබ මේ කිසිවක නැතත්, ඔබේ මිතුරු මිතුරියන්ගේ අන්තර්ජාල ක්‍රියාකාරීත්‍වය නිසා, ඔබේ පින්තූරත් අන්තර්ජාලයේ දක්නට ලැබෙනවා ඇති. මෙය භයානක වන්නේ ඔබටත් වඩා ඔබේ දරුවන්ට, සමහරවිට අප නොසිතා අපේ දරුවන්ගේ යම් යම් අවස්ථාවල පින්තූර අපේම Facebook ගිණුමේ පළකරනවා. මේවා අපි එතරම් දුරදිග නොසිතා සිදු කළත්, සමහර පුද්ගලයින් මේ පින්තූර අවස්ථාවාදීව වැරදි අයුරින් යොදා ගත හැකියි. දැන් අවශ්‍ය ඕනෑම ඔළුවකට අවශ්‍ය ඕනෑම ඇඟක් බද්ධ කිරීමේ ෆොටෝශොප් ශල්‍යකර්ම කිරීම ඉතාම පහසුයි. එසේම, මේ කටයුතු නිසා ඔබේ පවුලේ සියළුම තොරතුරු ප්‍රසිද්ධියේ මුදාහැරෙනවා. මේ නිසා අනවශ්‍ය ලෙස සමාජයට නිරාවරණය වනවා. උදාහරණයක් ලෙස ඔබ පිටරටක සවාරියක් යන බව Facebook ගිණුමේ සඳහන් කළායැයි සිතන්න. උජාරුවට, බොහෝ දෙනා ගුවන්ගතවන අවස්ථාවේදීම තමන් ගුවන්ගතවන බව ගිණුමේ සඳහන් කරනවා. ඔබ පවුල පිටින්ම යනවා නම්, එය ප්‍රසිද්ධ වීමට එතරම් කාළයක් ගත වන්නේ නැහැ. ඔබේ Facebook ගිණුම Public කර ඇතිනම් ඔබ නොදැනුවත්වම ඒය ප්‍රසිද්ධ කර අවසන්. ඔබේ මිතුරකු නොවූවත්, වෙනත් කෙනෙකු මාර්ගයෙන් හෝ හොඳින් සැලසුම් කරන ශූර සොරෙකුට මේ තොරතුරු සුවිසල් සම්පතක් වෙනවා. ඔබ සවාරිය ගොස් එන අතරතුරේ නිවසේ ඇති සියල්ලම අහිමි වන්නට මේ එක Facebook පෝස්ට් එක ඇති.

සමහර වෙලාවට අපි නොදැනුවත්වම අපේ දුරකථන අංකය ප්‍රසිද්ධියට පත් වෙනවා. මෙය ඉතා බරපතල කාරණයක්. දැන් බොහෝ දෙනා පුද්ගලයින් හඳුනාගැනීමේ ඇප් එකක් භාවිතා කරනවා. ඔබ විසින් එය භාවිතා නොකළත්, භාවිතා කරන කෙනෙකු ඔබේ නම එහි ගබඩා කර ඇතිනම්, මුළු ලොව පුරාම එමගින් එය බෙදා හැරෙනවා. උදාහරණයක් ලෙස සුපිරි වෙලඳසැල්වල සාමාජිකත්‍ව විස්තරය ඔබේ දුරකථන අංකය විමසා ඒ අනුව සාමාජිකත්‍වය ස්ථිර කරන අවස්ථාවක සමහරවිට අසළ සිටින කෙනෙකු ඔබේ දුරකථන අංකය සටහන් කරගන්නට පුළුවනි. එවැනි අවස්ථාවක ඔබේ දුරකථන අංකය මගින් ඔබේ නම සොයාගෙන එමගින් Facebook වැනි සමාජ ජාලයක ඇති ඔබේ විස්තර සොයා ගැනීමට ගත වන්නේ විනාඩි ගණනක කාළයක්.  මේ නිසා ප්‍රසිද්ධ ස්ථානවලදී ඔබේ දුරකථන අංකය පැවසීමෙන් වැලකී සිටීම ඉතා ගුණදායකයි. දුරකථන අංකය වෙනුවට අදාල සුපිරි වෙළඳසැලට අදාල සාමාජිකත්‍ව කාඩ් එක ඔවුනට ලබා දෙන්න. සමහරවිට බැංකු වැනි ආයතනවලින් ඔබේ පෞද්ගලික තොරතුරු දුරකථනයෙන් විමසන අවස්ථා ඇති. එවිට ඔහු/ඇය කතා කරන්නේ අදාල බැංකුවෙන්මද කියා සහතික කර නොගෙන ඔබේ බැංකු විස්තර හෝ වෙනත් පෞද්ගලික විස්තරයක් ඒ පුද්ගලයාට ලබා දීමෙන් වලකින්න.

අනෙක් කරුණ වන්නේ ඔබ බැංකු කටයුතු සඳහා අන්තර්ජාල පහසුකම් භාවිතා කරනවා නම්, ඔබ ඒ වෙබ් අඩවි වලට ඇතුලත් වීම සඳහා මුරපද පාවිච්චි කරන්නේ නම්, ඒවා පහසුවෙන් සොයාගත නොහැකි මුරපද විය යුතුයි, සමහරු සිය දරුවන්ගේ නම්, උපන්දින වැනි දෑ මුරපද සඳහා භාවිතා කරනවා. මේවා ඉතා පහසුවෙන් සොයාගතහැකි මුරපද වෙනවා.  මේ නිසාම දැන් දැන් බොහෝ බැංකු සිය පාරිභෝගිකයන් මුරපද සැකසීමේදීම විවිධ අංක, සළකුණු, සහ අකුරුවලින් සමන්විත සංකීර්ණ මුරපද සැකසීමට පොළඹවා තිබෙනවා. තවත් සමහරු සිය බැංකු කාඩ්පතේම කොණක එහි මුරපදය ලියා තබන්නේ මතක් කර ගැනීම පහසුවට. නමුත් ඔබේ මුදල් පසුම්බිය සොරා ගන්නා කෙනෙකුට පහසුවෙන්ම ඔබේ කාඩ්පතින් මුදල් ලබාගන්නට  ඔබ මඟ සලසා දී තිබෙනවා. බැංකු කටයුතුවල සුරක්‍ෂිතභාවය ආරක්‍ෂා කරගැනීමට කළහැකි උපක්‍රමයක් වන්නේ ඔබේ සෑම බැංකු ගණුදෙනුවක්ම කෙටි පණිවුඩයකින් ඔබට දැනුම්දෙන ක්‍රමය ස්ථාපිත කිරීමයි. එවිට ඔබේ බැංකු කාඩ්පතින් හෝ වෙනයම් ක්‍රමයකින් හෝ බැංකු ගණුදෙනුවක් වූ විට එය ඔබ වෙත ක්‍ෂණිකවම දැනුම් දෙනු ලබනවා. එය ඔබෙන් සිදු නොවූවක් නම් වහාම බැංකුවට දැනුම් දී එය නීතියේ රැහැණට හසුකරගැනීමට හෝ නිවැරදි කිරීමට පුළුවනි. තවත් සමහරු පොදු පරිඝණක වලින් මේ බැංකු ගිණුම් ආදී සංවේදී තොරතුරු වෙත පිවිසෙනවා. සමහරවිට ඒ කටයුත්ත අවසන සිය මුරපද මකාදැමීම සිදු කරන්නේ නැහැ. මේ නිසා වෙනත් කෙනෙකුට ඔබේ ගිණුමට ඇතුළු විය හැකියි. එනිසා, පොදු පරිඝණක පාවිච්චියේදී පාවිච්චි කළ වෙබ් පිටු පරිඝණකයේ අතීත මතකයන්ගෙන් (Browsing History) මකා දැමීමට නිතරම මතක තබා ගන්න.

ඔබේ දුරකථනය ඔබ දත්ත සියල්ලම පාහේ ගබඩා කරගන්නා තැනක්. දැන් දැන් දුරකථනය මුදල් පසුම්බියටත් වඩා ආරක්‍ෂාකාරීව තබාගතයුත්තක් බවට පත් වී හමාරයි. ඔබේ දුරකථනයේ ඔබේ පවුලේ සියල්ලන්ගේම දුරකථන අංක, Facebook ගිණුම, ඡායාරූප, වීඩියෝ, පෞද්ගලික සහ රාජකාරීමය E-mail ගිණුම්, බැංකු ගිණුම් තොරතුරු, වෙනත් සමාජ ජාල අඩවිවල තොරතුරු, ලබාගත් සහ ලැබූ ඇමතුම්, කෙටි පණිවුඩ, වෙනත් චැට් භාවිත ආදී සියල්ලම තැන්පත් වී තිබෙනවා. මෙය වෙනත් කෙනෙකු අතට පත් වුවහොත් සිදුවිය හැකි විනාශය ගිණිය නොහැකියි. මේ නිසා ඔබ මුලින්ම දුරකථනය දැඩිව පරෙස්සම් කරගත යුතුයි. වැරදී හෝ වෙනකෙකු අතට තොරතුරු යාම වැලැක්වීමට හැකි උපරිම ආරක්‍ෂක උපක්‍රම අනුගමනය කළ යුතුයි. ඇඟිලි සළකුණු, ප්‍රධාන මුරපදය සහ විවිධ ඇප් සඳහාත් දැන් වෙන වෙනම මුරපද සැකසිය හැකියි. මෙය සමහරවිට වදයක් වුවත්, ඇත්තෙන්ම ආරක්‍ෂාකාරී වන නිසා සමහරවිට ඔබේ දුරකථනය සොරකම් කළත්, සොරාට සියල්ලම මකා දමා දුරකථනය පමණක් හිමිකරගැනීමට සිදු වන නිසා ඔබේ දත්ත සුරක්‍ෂිත වනවා. එසේම දුරකථනයේ IMEI අංකය ලඟ තබා ගැනීමෙන් දුරකථනය පසුව හො සොයා ගැනීමට හැකි වෙනවා. ඔබ සතු දුරකථනයේ *#06# ටයිප් කිරීමෙන් ඒ දුරකථනයට අදාල IMEI අංකය සොයාගත හැකි වෙනවා

එසේම ඔබ අමතකව හෝ නොසැලකිල්ලෙන් දමා යන සමහර කඩදාසි, ක්‍රෙඩිට් කාඩ් බිල්, රෝහල් බිල් ආදියෙන් ඔබේ තොරතුරු අනවශ්‍ය පුද්ගලයින් වෙත යන ප්‍රවණතාවය අධිකයි. ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගන්නා විට බොහෝ දෙනා රිසිට්පත ලබාගෙන එය කියවා එතැනම වූ කුණුකූඩයට දමනවා. එහි එතරම් දත්ත නැතත්, එම රිසිට්පත මුද්‍රණය අනවශ්‍ය කාර්යයක්. එය ඇත්තෙන්ම පරිසරයටත් කරන හානියක්. හැකිතරම් මුද්‍රිත දෑ, කඩදාසි භාවිතයෙන් ඉවත්වීම ඉතා සුදුසුයි.

ආයතන පවා සිය දත්ත සුරක්‍ෂිතතාවයට කටයුතු යෙදිය යුතුයි. පෞද්ගලික ආයතනවල පරිඝණක අංශයන් ඇත්තෙන්ම මේ වෙනුවෙන් සෑහෙන වෙහස මහන්සියක් දරනවා.   මේ නිසා පෞද්ගලික ආයතනවල නම් බොහෝ දුරට දත්ත ආරක්‍ෂිතයි. එසේම ලංකාවේ පරිඝණක හැකර්වරුන්ට මේ ආයතනවල පද්ධතීන්ට ඇතුළුවීම ඉතා පහසු නිසා ඔවුන් ඊට වඩා උසස් ඉලක්ක කරා යනවා. නමුත් රාජ්‍ය අංශයේ දත්ත නම් ආරක්‍ෂිත නොමැති බව කණගාටුවෙන් වුවත් සඳහන් කරන්නට වෙනවා. සමහරවිට වෙබ් අඩවි පවා ඉතාම අනාරක්‍ෂිත තත්ත්‍වයේයි පසු වන්නේ. වසර ගණනාවකට පෙර වෙබ් පිටුව සැකසීමේදී ඇතුලත් කළ මුරපද, තවමත් මේ දක්වා වෙනස් කර නැහැ.

ශ්‍රී ලංකාවේ ජනතාවට ඉලෙක්ට්‍රොණික හැඳුනුම්පතක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ වුවත්, මා දන්නා පරිදි එය මේ දක්වා ක්‍රියාවට නැංවී නැහැ. ඉන්දියාවේ නම් මේ හැඳුනුම්පත ක්‍රියාවට නංවා තිබෙනවා. මේ අනුව එය හිමි පුද්ගලයා සතු සියළුම විස්තර මේ හැඳුනුම්පතට සම්බන්ධව පවතිනවා. ඒ නිසා ඔහු නමින් වෙනත් පුද්ගලයින්ට දුරකථන සම්බන්ධතා, බැංකු ගිණුම් ආදිය විවෘත කිරීමට නොහැකියි. එසේම ඒ පුද්ගලයාගේ රෝහල් විස්තර පවුලේ විස්තර සියල්ල පරිඝණක කර ඇති නිසා අදාල කාර්යයන්දී කඩදාසි භාවිතය, එකම තොරතුර නැවත නැවතත් ස්ථිර කරගැනීම වැනි අනවශ්‍ය කාලය කා දමන ක්‍රියා සියල්ල ඉවත් කර තිබෙනවා. මේ නිසා ආයතනවලදී පවා කාර්යක්‍ෂමතාවය ඉතා ඉහලින් පවතිනවා. ලංකාවේත් මේ ඉලෙක්ට්‍රොණික හැඳුනුම්පත් ක්‍රමය ක්‍රියාවට නැංවිය හැකිනම්, බැංකුවල පෝලිම් වල සිටීම, රෝහල්වල අනවශ්‍ය තදබදය, රාජ්‍ය ආයතනයකදී සිදුවන අනවශ්‍ය ප්‍රමාදවීම් ආදී සියල්ලම අහෝසි වනවා.

විශේෂයෙන්ම දරුවන් පරිඝණක භාවිත කරන අවධියට පත්වන විට දෙමාපියන් සැළකිලිමත් විය යුතුමයි. දරුවන්ට පරිඝණයක භාර දෙන විට එයට ලැබෙන දත්ත පෙරණයක් හරහා ලබා දෙන Content Filter, වැනි අවශ්‍ය දත්ත පමණක් ලබා දෙන පරිඝණක ක්‍රමලේඛ (Program) දැන් ලබා ගන්නට පුළුවනි. එසේම පරිඝණකයේ ද එම සැකසුම් නිසි ලෙස සකසන්නට පුළුවනි. මේ නිසා දරුවා භාවිත කරන වෙබ් පිටු සීමා කිරීමට හැකියි. අනවශ්‍ය වෙබ් පිටුවලට යාමට නොහැකියි. දරුවාගේ පරිඝණකයේ මොනිටරය (ලැප් ටොප් එකක් නම් තිරය) ඔබට පෙ‍ෙණන අයුරින් තබා ගන්නට උපෙදස් දෙන්න. හදිසි පරීක්‍ෂා සිදු කර, ඔවුන් භාවිතා කරන වෙබ්පිටු මොනවාදැයි ඉඳහිට බැලීමෙන් නරකක් වන්නේ නැහැ. දරුවන්ට අන්තර්ජාලයෙන් චැට් කිරීම හෝ ස්කයිප් වැනි භාවිත අවම කරන්න. ඔබේ දරුවා අන්තර්ජාලය හරහා කතා කරන පුද්ගලයා කවුදැයි කිසිවෙක් නොදන්නවා වන්නට පුළුවනි. සමහරවිට නමගිය අපරාධකරුවකු වන්නට පුළුවනි. අන්තර්ජාලය යනු අනන්‍යතාවයක් නොමැති සමාජයක්, මේ නිසා ඔවුන්ව පරෙස්සම් කර ගත යුතුමයි.

ලෝකය තාක්‍ෂණයත් සමඟ සීඝ්‍ර ගමනක් යමින් සිටින මේ අවධියේ අපත් ඊට අනුගත විය යුතුමයි. නැතහොත් අපට ඉදිරි ගමනක් නැහැ. සුළු දේටත් වර්ජන කරමින් සිටින අපට ඇත්තෙන්ම ලෝකයෙන් කොන් වන්නටයි සිදු වන්නේ. එසේම තාක්‍ෂණය සමඟ ඉදිරියට යාමේදී තාක්‍ෂණය නිසාම අපට සිදුවිය හැකි අනවශ්‍ය අනතුරු දෙසටත් අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ සමඟම ඊට අදාල ආරක්‍ෂණ පිළිවත් ද අනුගමනය කරමින් තමන්ගේ දත්ත සුරක්‍ෂිතව තබා ගැනීම වැදගත් වෙනවා.

ඔබේ දුරකථනය නිසි ආරක්‍ෂිත ක්‍රියා මාර්ග භාවිතා කර සුරක්‍ෂිතව තබා ගන්න

ඔබේ අන්තර්ජාල බැංකු ගිණුම්, ඊ මේල්, ෆේස්බුක්, වැනි දෑවල මුරපද ඉතා සංකීර්ණව සකසා ගන්න – ඒ මුරපද කාලීනව වෙනස් කරන්න

ඔබේ සංවේදී පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධියේ පැවසීම හැකිතාක් අඩු කරන්න, එසේ නොකරම බැරි අවස්ථාවක අවට සිටින්නවුන්ට එම තොරතුරු නොලැබෙන බවට සහතික කරගන්න.

ඔබේ බිල්පත්, රෝහල් බිල් සහ වෙනත් තොරතුරු, පෞද්ගලික විස්තර ලියා ඇති කඩදාසි නිසි ක්‍රමවේදයකට ඉරා විනාශ කරන්න.

ඔබේ ෆේස්බුක් පිටුවට උපරිම ආරක්‍ෂාවක් යොදන්න, ඔබේ පිටුව දැකිය හැක්කේ මිතුරු කවයේ සිටින අයට පමණක් සහ මිතුරු ආරාධනා එවීමට හැකි වන්නේ ඔබේ මිතුරන්ගේ මිතුරන් පමණක් වන සේ ආරක්‍ෂාව තර කරන්න. ඔබේ දරුවන්ගේ පින්තූර, පවුලේ පෞද්ගලික තොරතුරු ෆේස්බුක් වැනි සමාජ මාධ්‍යවල පළකිරීමේදී ඉතාමත්ම සැළකිලිමත් වන්න. ඔබේ දරුවන් පරිඝණක භාවිතා කරනවිට ඔවුන් පිළිබඳ පරීක්‍ෂාකාරී වන්න, ඔබ ඔවුන්ගේ පරිඝණක ක්‍රියාකාරකම් පිළිබඳ අවදියෙන් සිටින බවට ඔවුන්ට හඟවන්න, එවිට ඔවුන් නිසි පාලනයක් ඇතිකර ගනීවි. එසේම දරුවන්ගේ පරිඝණකවලට වෙබ් දත්ත පෙරණයක් ඇතුලත් කරන්න. ලංකාවේ වැඩිපුරම සෙවුම් කර කප් ගසා ඇති වචන පෙරණයට ඇතුලත් කර ඒවා දරුවන්ට ලබාගත නොහැකි ආකාරයට ඔවුන්ගේ පරිඝණක සකස් කර දෙන්න.

අනවශ්‍ය පුද්ගලයින් සමග ක්‍ෂණික සයිබර් සබඳතා ගොඩනගා ගැනීමෙන් වලකින්න. සමාජය කෙරෙහි කිසියම් සුපරීක්‍ෂාකාරී හැඟීමකින් කටයුතු කරන්න.

පරිඝණක භාවිතයේදී තම තොරතුරු පිළිබඳ සැලකිලිමත් වන්න. නිවසේ වයිෆයි රවුටරයේ මුරපදය සංකීර්ණව සකසා ගන්න. සාමාන්‍ය හැකර්වරයෙකුට වුවත්, එයට ඇතුළු වී ඔබේ දත්ත සියල්ල සොරාගත හැකියි.

දුරකථනයට Truecaller වැනි ඇප් එකක් දමා ගැනීමෙන් ඔබ නොදන්නා දුරකථන අංකයකින් එන ඇමතුමක් වුවත් හඳුනාගැනීම කළ හැකියි. එසේම එමගින් ඔබේ තොරතුරු ද අන්තර්ජාලයට මුදාහැරෙන බව අමතක කරන්න එපා.

මේ සියළුම උපක්‍රම කළත්, ඔබ සාමාන්‍ය බුද්ධියකින් කටයුතු නොකරන්නේ නම්, ඔබ අන්තර්ජාල අනතුරුවලට භාජනය විය හැකියි. මේ නිසා සමාජය සහ තාක්‍ෂණය පිළිබඳ සාමාන්‍ය දැනුමක් සහිතව, ආරක්‍ෂාවෙන් ක්‍රියා කරන්න. ලෝකය වෙනස්වන වේගයට අනුව ඔබට ඉදිරියේදී ජාලගතවීමෙන් මිදිය නොහැකියි. ඔබ කැමති වුවත් නැතත්, ඔබේ සියළුම තොරතුරු අන්තර්ජාලයේ ගබඩා වෙනවා. ඒවා නිසි පරිදි ආරක්‍ෂාකර ගැනීම සහ කළමණාකරණය කර ගැනීම ඔබගේ වගකීමක්.

ජාලය නිසිපරිදි පාවිච්චි කර ජීවිතය ජංජාලයක් බවට පත්වන කරුණු වලින් ඈත් වන්න..

රිවිර ලිපිය

http://www.rivira.lk/online/2017/08/19/122902

 

 

 

පිටස්තරයා – 04


Episode 4 mainවිශ්ව සමාධි සූර්යබණ්ඩාර….

ඔව්…

වයස  අවුරුදු 30 යි…

හරි….

ඇයි ඔබ හාවඩ් වැනි විශ්ව විද්‍යාලයක තනතුරක් ලැබී තිබියදීත් මේ වගේ තැනකට එන්න බලන්නෙ… ඔබට හාවඩ් විශ්ව විද්‍යාලය කියන්නෙ මීට වඩා යමක් කරන්න පුළුවන් තැනක්.. ඒ වගේම බොහෝ ප්‍රසිද්ධියක් ලබන්න පුළුවන් තැනක්….මහාචාර්ය ලිපර්ඩ් සම්මුඛ පරීක්‍ෂණය ආරම්භ කරමින්ම විශ්වගෙන් ඇසුවේය.

මේ මගේ කැමැත්ත තිබෙන පැත්ත.. හාවඩ් විශ්ව විද්‍යාලයට ගියත් මට මගේ පර්යේෂණ වලට මෙතැන වගේ සම්පත් සහ උපකරණ ආදිය සොයා ගන්න අමාරු වෙයි… බලන්න ඔයාලා ලඟ තිබෙන අවම ඝර්ෂණය සහිත ප්‍රති ගුරුත්ව මේසය…. ඔයා හිතනවද මේ වගේ උපකරණයක් මට හාවඩ් විශ්ව විද්‍යාලයෙන් හොයා ගන්න ලැබෙයි කියලා…

මහාචාර්ය ලිපර්ඩ සහ නීල් ෆියු මුහුණට මුහුණ බලා ගත් අතරම නැන්සි සිය කටහඬ අවදි කළාය…

ඔයාගෙ ජීව දත්ත සටහනේ සඳහන් වෙනවා ඔයා බොහෝ ක්‍රීඩා කළ පුද්ගලයෙක් බව.. ඔයා කොහොමද බර්ක්ලි වගේ විශ්ව විද්‍යාලයක ඇති වැඩ කන්දරාවත් එක්ක මෙතරම් හොඳට විභාග සමත් වුනේ…

“බර්ක්ලි විශ්ව විද්‍යාලය වගේ තැනක මලල ක්‍රීඩාවට තැන දෙන අය හරිම අඩුයි. ඒ වගේම මම කුඩා කාළයෙ ඉඳලම වෙලාව හොඳින් කළමණාකරණය කරගෙන හිටපු කෙනෙක්, ඒ නිසාම මට අධ්‍යාපනයට කියලා විශේෂයෙන් අමතර කාළයක් යොදවන්න අවශ්‍ය වුනේ නැහැ.”

“අපි දන්නවා ඔයාට ඉතා හොඳ මතක ශක්තියක්, යමක් එකවරක් බැලූ විට මතක තබා ගැනීමේ හැකියාවක් (Photographic Memory) තිබෙන බව… අපට කියන්න පුළුවන්ද ඔයා ඒ හැකියාව ලබා ගත්තෙ කොහොමද කියලා…”

ඔහුගේ මුහුණේ සිනා රැල්ලක් දුටු පළමු අවස්ථාව එය විය…..

“ඔයා සෑහෙන්න ඇමරිකානු රූපවාහිනී වැඩසටහන් බලනවා වගෙයි…”

විශ්ව තරමක් උපහාසයෙන් පැවසීය….

“ඇමරිකානු රූපවාහිනී වැඩසටහන්වල කියැවෙන Photographic Memory කියන ප්‍රස්තූතය ඇත්තෙන්ම සත්‍යයක් නොවෙයි නැන්සි මහත්මිය.. ඔයා දන්නවා ඇති CIA නිලධාරිනියක් විදියට ඔබේ ආයතනයේවත් Photographic Memory ඇති අය නැති බව.. නමුත් මට හොඳ මතකයක් තිබෙනවා. එය Photographic Memory එකක් නොවෙයි.. මගේ අවධානය එකතැනකට යොමු කළ විට ඒ දේවල් හොඳින් මතක තබා ගැනීමේ ශක්තියක් තිබෙනවා. එය මනස පුහුණු කිරීමෙන් කළ හැකි දෙයක්…”

“ඔයා කොහොමද හිතන්නෙ මම CIA ආයතනයෙ කියලා….”

“නැන්සි මහත්මිය, ඔයාගෙ හැසිරීමෙන් අහන ප්‍රශ්නවලින් මට අනුමාන කරන්න පුළුවන් ඔයා එවැනි ආයතනයකින් පැමිණි අයෙක් බව, ඔබේ ලඟ ඇති ප්‍රශ්නවල ක්‍ෂෙත්‍ර දැනුමක් නැහැ. ඔයා මෙතැනට ඇවිත් තිබෙන්නේ පුද්ගල චර්යාවන් නිරීක්‍ෂණයට.”

නැන්සි පෙපර්ගේ දෑස් විශ්මයෙන් ඇළලෙනු එතැන සිටි බොහෝ දෙනාට දැනුනි…

“හොඳයි විශ්ව…. ඔයා ස්ටැන්ෆර්ඩ් සරසවියේ ආචාර්ය උපාධියට හැදෑරුවෙ ප්‍රති ගුරුත්ව ක්‍ෂෙත්‍ර පිළිබඳව… නමුත් බොහෝ ශිෂ්‍යයෝ ආචාර්ය උපාධියට හදාරන්නෙ මෙයට වඩා වෙනස් විෂයයන්, ඇයි මේ වගේ වෙනස් විෂයයක් තෝර ගත්තෙ ?”

“පෘථිවි පෘෂ්ඨයේ ගුරුත්වාකර්ෂණය කිසිවිටෙක එක හා සමානව පැතිරිලා නැහැ. සමහර ස්ථානවල වැඩි ගුරුත්වයකුත්, තවත් සමහර ස්ථානවල අඩු ගුරුත්වයකුත් පවතිනවා. උදාහරණයක් වශයෙන් බහමාස් දූපත් අසළ, ඉන්දියාවේ හිමාලය කඳුවැටියේ   පරිවාර කඳු සහ ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට දකුණින් රූමස්සල නම් ප්‍රදේශයේ පවතින්නේ බොහොම අඩු ගුරුත්ව ක්‍ෂෙත්‍රයන්. ඒ වගේම   අන්දීස් කඳු, පැසිෆික් සහ අත්ලාන්තික් සාගරයේ සමහර පෙදෙස්වල ගුරුත්‍ව ක්‍ෂෙත්‍රය බොහොම වැඩියි. මෙන්න මේ විසංකූලතා සහ තවත් ඓතිහාසික සාධක මත මම ගුරුත්‍ව ක්‍ෂෙත්‍ර පිළිබඳ හැදෑරීම තෝරා ගත්තා..”

“නමුත්, ඔයා ගුරුත්‍වය පිළිබඳ දරන ආකල්පය බොහොම වෙනස් දෙයක්….”

“ඔව්… මම ගුරුත්‍වය පිළිබඳ හිතන්නෙ එය වස්තූන් දෙකක් අතර වූ සම්බන්ධතාවයක් විදියට. සරළ උදාහරණයක් ගත්තොත් යම් කෙනෙක් තවත් කෙනෙක් වෙතට දරන ආකර්ෂණය හෝ විකර්ෂණය ඒ දෙදෙනාගේ ජීව රසායනය  අනුව වෙනස් වෙනවා ; එහෙමත් නැතිනම් අණු හෝ පරමාණු දෙකක් අතර බැඳීම ඒවායේ ආරෝපණ අනුව සහ වෙනත් සාධක මත වෙනස් වෙනවා. මේ බැඳීම් වගේම විශාල වස්තූන්වල ආකර්ෂණය විකර්ෂණයත් මෙන්න මේ කුඩා අණුක-පරමාණුක සම්බන්ධතා අනුව ගණනය කරන්න පුළුවනි. නමුත් බොහෝ දෙනා සිතාගෙන ඉන්නේ ගුරුත්‍වය බලපාන්නෙ විශාල වස්තූන්ට පමණක් බව, අපි පොළව අතගාලා වැලිකැටයක් ගත්තොත් එයටත් කිසියම් ගුරුත්‍වයක් තිබෙනවා.”

“ඔයාලා දන්නවානෙ ගුරුත්‍වය ගණනය කරන සරළම සමීකරණය.”

g = GM/r2

මෙහිදී ඔයාලට පේනවා ඇති  r  අගය ගුරුත්‍වයට ලොකු බලපෑමක් කරන බව. දැන් ඔබ වැලිකැටයක් වැනි කුඩා දෙයක්  සළකා බැලුවහොත්, අන්න ඒකටත් කිසියම් අරයක් තිබෙනවා. M  කියන්නෙ එහි ස්කන්ධය, G  ගුරුත්වාකර්ෂණ නියතය… මෙන්න මෙතැනදියි බොහෝ දෙනාට වරදින්නෙ.. ඒ වගේම නොසළකන්නෙ අපට මෙන්න මේ කුඩා වස්තූන්වල ගුරුත්‍වාකර්ෂණ නියතය හදාරන්න අපහසුයි පෘථිවි ගුරුත්‍වය බලපාන නිසා. නමුත්, අපට හැකි නම් පෘථිවි ගුරුත්‍වය නොසලකා හරින්න නැතිනම් ශුන්‍ය කරන්න, අන්න ඒ අවස්ථාවෙදි අපට පුළුවනි එක් එක් වස්තූන්ගෙන් අනෙක් දේ වලට ඇති ආකර්ෂණය – විකර්ෂණය ගණනය කරන්න. මගේ පර්යේෂණය වුනේ මෙන්න මේ ගුරුත්‍වය නොසලකා හැරිවිට සිදුවන අන්තර් සම්බන්ධතා පිළිබඳ අධ්‍යයනය. ඉතින්, ඔයාලට දැන් තේරෙනවා මම ඇයි හාවඩ් විශ්ව විද්‍යාලයට වඩා මෙතැනට කැමැත්තක් දක්වන්නෙ කියලා.

ඒ පිළිතුරෙන් සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ සිටි සිවු දෙනා පමණක් නොව සත්‍යය නිර්ණය කරන පොලිග්‍රාෆ් යන්ත්‍රය ක්‍රියාකරවන තාක්‍ෂණික නිලධාරියා ද සෑහීමකට පත්වනු විශ්වට දැණුනි.

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: Piece of Cake !

මැතිව් නාවික පර්යේෂණ ආයතනයෙන් පිටත්වන පිටවන විටම තමන්ට කියා ගත්තේය…….

33 වන මට්ටමේ මේසන්වරු ලෝකයේ සිටින්නේ අතලොස්සකි. රහස්‍යව පැවති අති බලවත් සමාජයක් වූ Free Masons නම් සමාජයට අයත් බලවත් පුද්ගලයින්ගේ ලැයිස්තුව එසේ මෙසේ එකක් නොවේ. ජෝර්ජ් වොෂිංටන්, බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්, ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්, එළිසබෙත් රැජිනගේ ස්වාමියා වන එඩින්බරෝ ආදිපාද ෆිලිප් කුමරු, වින්ස්ටන් චර්චිල් වැනි ලොව පාලනය කිරීමට සම්බන්ධ බලවතුන් ද, සුප්‍රකට කතා රචක සර් ආතර් කොනන් ඩොයිල්, ගලිවරය ලියූ ජොනතන් ස්විෆ්ට් වැනි ලේඛකයින්, ගගනගාමී එඩ්වින් ඕල්ඩ්‍රින් වැන්නවුන් මෙන්ම හිල්ටන් හෝටල් සමූහයේ නිර්මාතෘ චාර්ල්ස් හිල්ටන්, වෙන්ඩීස් අවන්හල් සමූහයේ නිර්මාතෘ  ඩේව් තෝමස් වැනි ව්‍යාපාරික දැවැන්තයන් ද, ඉන්දියාවේ ආගමික ගුරු ස්වාමි විවේකානන්ද  ඇතුළු ලෝ වටා වූ බොහෝ බලවත් පුද්ගලයින් රැසක් සාමාජිකත්‍වය දරන ඉතා බලවත් සමාජයක් වන මෙහි සාමාජිකත්‍වය ලබා ගැනීමට ද අතිශය අපහසු කරුණකි. එසේ ලබා ගන්නා සාමාජිකත්‍වය වරින් වර සිදු කෙරෙන සමත්කිරීම් සහ පරීක්‍ෂණවලින් පසුව මට්ටමින් මට්ටම ඉහළට ගොස් අවසන උසස්ම මට්ටම වන 33 වන මට්ටමට උසස් කරනු ලැබේ. එය අතිශය උසස් ස්ථානයකි. ලොව පුරාම 33 වන මට්ටමේ මේසන්වරු සිටින්නේ අතලොස්සකි. ඒ අතරට බලවත් රාජ්‍ය නායකයින් බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන් සහ සොලමන් පරම්පරාව මෙන් පාරම්පරික මේසන්වරු ද අයත් වෙති.

සිය පියාගේ සම්බන්ධතා මෙන්ම ආණ්ඩුව තුළ වූ මේසන්වරුන්ගේ බලපරාක්‍රමය මත මේ රැකියාව තමන්ට ලැබෙන බව දැන් ඔහුට ඉර හඳ සේ විශ්වාසය. තමා තරමක් උඩඟු බවක් පෙන්වුවත් එයින් තමාගේ නායකත්‍ව ගුණාංගයන් ඉහළට ඔසවා තැබෙන බව ඔහු කල්පනා කළේය. කවුරු සම්මුඛ පරීක්‍ෂණයට පැමිණියත්, තමන්ට මේ අවස්ථාව ලැබෙන බව ඔහුට තේරුම් ගොස් තිබුණි.

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: ඇලෙක්ස් සිය වාර්තාව සම්මන්ත්‍රණ කාමරයේ සිටි සිවු දෙනා වෙත ගෙන ගොස් පසෙක වූ සුවිශාල තිරය මත දිස්වන්නට සැලැස්වීය. තම ආයතනයේ ඇති පර්යේෂණ විද්‍යාඥ තනතුර සඳහා ඉදිරිපත් වූ අපේක්‍ෂකයින්ගෙන් අවසන් අදියරට පැමිණි තිදෙනාගේ පර්යේෂණ ඉදිරිපත් කිරීම්වල පරිඝණක විශ්ලේෂණයන් වෙන වෙනම සසඳා තිබුණි. ඒ අනුව පැහැදිලිවම පිළිතුරක් ලැබී තිබූ නමුත් පරීක්‍ෂණ මණ්ඩලයේ සිටි සිවුදෙනාම එකසේ එයට කැමති වූයේ නැත….

පරිඝණක වැඩසටහන හරි වෙන්න පුළුවන්… නමුත් අපට තියෙනවා නේද කිසියම් හැඟීමක්…Gut Feeling එකක්… එතකොට ඒකට කිසිම තැනක් නැද්ද මෙතැන ? නැන්සි නැවතත් සිය විරෝධතාවය පළ කළා….

නැන්සි… ඔබ දන්නවා අපි මෙතැන ගන්න හැම තීරණයක්ම තර්කානුකූලව ගත යුතුයි කියලා… හැඟීම් කියන්නෙ මිනිස්සුන්ගෙ බොහොම දුර්වල තැනක්… අපට වඩා ඔබ ඒක දන්නවා… නමුත් අපි යට වෙන්න හොඳ නැහැ සමාජ සම්බන්ධතා වලට…..

නමුත්, අපි මේ වාර්තාව මත පමණක් තීරණය ගන්න බැහැ නේද ? FBI එකේ පසුබිම් වාර්තාව එනකල් කවුරු වුනත් ඉන්නෙ එකම තැනක… ඒක අනුව නෙ අපි අවසාන තීරණය ගන්නෙ…

ඇත්ත.. නමුත් මෙයා තමයි අපට දැනට හොඳටම සුදුසු… අපි දැක්කා එයාගෙ ඉදිරිපත් කිරීම, කියන්න තරම් වැරැද්දක් ඇත්තෙම නැහැ.. තරමක් මුරණ්ඩු ගතියක් පෙන්වුවත් බුද්ධිමත්, මම හිතන්නෙ අපි පරිඝණක වැඩසටහන අනුව යා යුතුයි…

බලමු… තවත් වාර්තා එන්න තිබෙනවා නෙ…. එහෙනම් අපි ආයෙම කවදද හමු වෙන්නෙ.. මට මේක ඉක්මනටම අවසන් කරලා මේ  පර්යේෂණය ඉක්මන් කරන්න ඕන…. කල් දාන්න බැහැ..

සියළුම දෙනා සිය ජංගම දුරකථන වලින් සිය කාලසටහන් පරීක්‍ෂා කරන්නට වූහ….

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

හලෝ……… මට පුළුවන්ද දකුණු ආසියානු බුද්ධි බලකායේ මේජර් බෙන්ජමින් වයිට් ට කතා කරන්න… මම ජෙනරාල් වෙලිංටන්… NSA එකෙන්……

CIA මූලස්ථානයේ දුරකථන යතුරු පුවරුව ක්‍රියාකරවන මෙලිසා කොවැක්ස් සිය පරිඝණකයට ජෙනරාල් වෙලිංටන්ගේ නම ඇතුලත් කළාය.

ජෙනරාල් වෙලිංටන් මහත්මයා, කරුණාකර ඔබේ රහස් අංකය  ඇතුලත් කරන්න….

ජෙනරාල් වෙලිංටන් සිය දුරකථනයෙන් ඉලක්කම් කිහිපයක් ඔබා සිය අනන්‍යතාවය සහතික කළේය….

ස්තුතියි… ඉන්න මම සම්බන්ධ කරන්නම්…

අතිශය ආරක්‍ෂාකාරී මධ්‍යස්ථාන වල ඉහළ නිළධාරීන්ට පිටතින් කිසිවකු ඇමතීමේදී පිලිගැනීමේ නිලධාරිනිය හරහා යනවිට අදාල පුද්ගලයා රහස්‍ය භාවයෙන් නිදහස් කරන ලද ඉහළ නිලධාරියෙකු නම් ඔහුගේ/ඇයගේ පෞද්ගලික රහස් අංකයක් පරිඝණයකට ඇතුව කිරීම මගින් අදාල පුද්ගලයාට කෙලින්ම සම්බන්ධ විය හැකි වේ. එසේ නොවන කෙනෙකුගේ දුරකථන ඇමතුම බොහෝ විට පහළ නිලයක තාක්‍ෂණික නිලධාරියෙකු හරහා අදාල පුද්ගලයා වෙත යැවෙන්නේ උසස් නිලධාරීන්ගේ අනන්‍යතාවයත් ආරක්‍ෂාවත් සහතික කිරීම පිණිසයි.

මේජර් වයිට් කතාකරනවා….

මේජර්…. මම ජෙනරාල් වෙලිංටන්… NSA ප්‍රධානි…

ඔව් සර් මොකක්ද මගෙන් කෙරෙන්න ඕන….

මට ඔබෙන් තොරතුරු කිහිපයක් දැන ගන්න අවශ්‍යයි.. ඔබ නේද දකුණු ආසියානු කළාපයට අදාල බුද්ධි අංශය භාරව ඉන්නෙ. ?

ඔව් සර්…

මට එවන්න පුළුවන්ද 2006 ජුනි මස 06 වනදා ලෙබනනයේදි මියගිය එක්සත් ජාතීන්ගෙ සාම සාධක නිලධාරී සෙනරත් සූර්ය බණ්ඩාර සහ ඔහුගෙ පවුල පිළිබඳ වාර්තාව… මට ඒ සිදුවීම ගැන පසුබිම් වාර්තාවක් ගන්න අවශ්‍යයි…

හොඳමයි ජෙනරාල් තුමනි… මම විනාඩි කිහිපයකින් එය ඔබේ ආරක්‍ෂිත විද්‍යුත් තැපැල් ලිපිනයට ලැබෙන්න සලස්වන්නම්.

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥයෙකු වූ සෙනරත් සූර්යබණ්ඩාර රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු විය. ඉතා සාධාරණ සහ නීතිගරුක පුද්ගලයෙකු වූ ඔහු බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙකි. ඔහුගේ නීතිමය දැනීමත් ක්‍ෂෙත්‍රයේ විශේෂඥතාවයත් නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක හමුදාවන්ට උපදේශකත්‍වය සලසන නීති උපදේශක වරයෙකු ලෙස පත් කළ ඔහු, රටවල් කිහිපයක සේවය කළ පුද්ගලයෙකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා ගෞරවයට පාත්‍ර වූ ඔහු 2006 වසරේ ලෙබනන් යුද්ධය ඇරඹීමට දින 6 කට පෙර සිදු වූ අනතුරකින් සිය පවුලේ සාමාජිකයින් සමඟ ඝාතනය වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක් වූ තවත් කළු පැල්ලමක් විය. එය වැඩිදුර හෙළි නොවී යටපත් කිරීමට බලධාරීන් සමත් වුවත් ජෙනරාල් වෙලිංටන් එය දැන් හාරා අවුස්සන්නේ කුමකටදැයි බෙන්ජමින් ට සිතා ගන්නට නොහැකි විය…..

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

අද දිනයේ සිදු වූ සියල්ල සිය පියාට පැවසිය යුතු බව මැතිව්ට වැටහුණි. තමාට වෙන්කර තිබූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්‍රවුන් ප්ලාසා හෝටලයට ගොස් සියළු බර බිමින් තැබූ හෙතෙම සිය ජංගම දුරකථනයෙන් පියාගේ කාර්යාල සහායිකාව ඇමතීය.

එල්… මම මැට්…

කියන්න මැට්….

තාත්තා ඉන්නවද කාමරේ….

ඔව් ඉන්න මම සම්බන්ධ කරන්නම්…..

පිය පුතු දෙපළ සම්බන්ධ කළ එලේනා දුරකථනය රඳවනයේ තැබුවාය.. මහාචාර්ය සොලමන්ගේ  සහායිකාව වන එලේනාට  මැතිව් නුහුරු පුද්ගලයෙකු නොවේ…. නමුත් අද  ඔහුගේ කඩහඬ වෙනස් බව ඇයට දැණුනි…. සමහරවිට ඔහු දිගු ගමනක් ගොස් ඇති නිසා අපහසුතාවයට පත්ව සිටිනවා විය යුතුය….

ස්ටැන්ෆර්ඩ් එක දාලා මැට් මොකට වොෂිංටන් යන්න හදනවද මන්දා ? ඇය තමාටම කියාගත්තාය…..

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

ජනරාල් වෙලිංටන් නීතීඥ සෙනරත් සූර්යබණ්ඩාරගේ අතීථය හාරා අවුස්සා සොයා ගන්නේ කුමක්ද ?

FBI ආයතනය විශ්ව ගැන සොයාගත් තොරතුරු නිසා ඔහුට කුමන ඉරණමක් අත්වේද ?

සිය පියාගේ බලපරාක්‍රමය නිසා මැට් රැකියාව ලබා ගනීද ?

ලබන සතියට…

 

ක්‍ෂණික ආහාර ගිල්වීමෙන් මාරක වන දාරක ස්නේහය…. රිවිර අගෝස්තු 12


child obeisityරටක  අනාගතය එහි තරුණ පරපුර සහ ළමා පරපුරයි. නිරෝගී ළමා-තරුණ පරම්පරාවක් නොමැති රටක අනාගතය අඳුරුයි. බොහෝ දියුණු වූ සහ දියුණු වෙමින් පවතින රටවල දූරදර්ශී නායකයින් අන් සියල්ලට වඩා මේ පරම්පරාවේ සුගතිය වෙනුවෙන් තැනක් දෙන්නේ එය අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් නිසා. නිරෝගී පරපුරක් ඇති රටක සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය වෙනුවෙන් වියදම් කළ යුතු මුදල අඩු යි. දැනට ගණන් බලා ඇති පරිදි ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍යය සඳහා යන වියදමෙන් 21% ක් වැය වන්නේ ස්ථුලතාවය වෙනුවෙන් කෙරෙන ප්‍රතිකාර සහ ප්‍රචාරණයන් වෙනුවෙන්. දීර්ඝකාලීන ක්‍රියාමාර්ග ගැනීමෙන් අනාගතයේ වැඩිවන සෞඛ්‍යමය ප්‍රශ්න සහ ඖෂධ-උපකරණ-සේවා යන වියදම් අඩු කිරීමට හෝ පාලනය කිරීමට අනාගත රජයයන්ට හැකි වන නිසා රටක් ලෙස ඔවුන් අනාගතය වෙනුවෙන් ආයෝජනය කරනවා. විශේෂයෙන් දරුවන් රෝග වලට භාජනය වීමට ඉඩකඩ වැඩි වන විට ඔවුන් තරුණ පරපුර බවට පත්වන කල්හි ඔවුන්ගේ සෞඛ්‍යයේ පිරිහීමක් දක්නට ලැබෙනවා. මෙය රටක ඵලදායීතාවයට සහ කාර්යක්‍ෂමතාවයට දැඩි පහරක් එල්ල කරනවා. මේ වෙනස දියුණු රටවල් සහ දියුණුව කරා  ගමන් කරන රටවල දැකිය හැකි පොදු ලක්‍ෂණයක්.

පසුගිය වසරක පළවූ දත්ත අනුව ලංකාවේද පාසැල් වයසේ ගැහැණු ළමුන් 37% ක් සහ පිරිමි ළමුන් 17% ක් ළමා ස්ථුලතාවයෙනේ පෙළෙන බව සොයාගෙන තිබෙනවා. මේ තත්ත්‍වය දිගින් දිගටම පැවතුනහොත් තව වසර දහයකින් ශ්‍රම බලකායට එකතු වන්නේ රෝගීන් පිරිසක්. ඒ වගේම ගණන් බලා ඇති පරිදි වසර 2020 වන විට ලංකාවේ ජනගහනයෙන් සියයට පණහක් දියවැඩියා රෝගීන් වනවා. ඒ කියන්නෙ තව වසර තුනක් වන විට දෙදෙනෙකුගෙන් එක් අයෙක් දියවැඩියා රෝගියෙක්. එවිට ඔබේ ජීවිත කාලය කෙතරම් කෙටි වෙනවාදැයි සළකා බලන්න. දියවැඩියාව නිසා වකුගඩු රෝග, හෘද රෝග වැනි රෝග නිතැතින්ම අපේ ශරීරයට ඇතුළු වනවා. ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය තවමත් මේ තත්ත්‍වය පාලනයට සමත් වී නැහැ. අවාසනාවට ඔබට ඉතිරිව ඇත්තේ එක විසඳුමයි. ඒ දැන දැනම මරණය කරා ගමන් කිරීමයි. එවිට ඔබේ දරුවන් හැදී වැඩෙනවා බලන්න, ඔවුන්ගේ සාර්ථකත්‍වය දකින්න, ඔවුන්ට නිසි මඟ පෙන්වන්න ඔබ ඉතිරි වන්නේ නැහැ. ළමා ස්ථුලතාවය ලංකාවේ තවමත් හරිහැටි අවධානය නොවූ ප්‍රශ්නයක්. සෞඛ්‍යමය පැත්තෙන් මෙය යම්තරමකින් හෝ සළකා බැලුවත්, කාර්යක්‍ෂමතාවය හෝ ඵලදායීතාවය අතින් මේ පුරෝකථන සිදු කර නැති බවයි පෙනෙන්නේ.

තමාගේ දරුවා දෙමාපිය යුවලකට ඇති මහඟුම සම්පතයි. පිළිසිඳගත් දා සිට මවක් සිය දරුවා වෙනුවෙන් කරන කැපවීම මේ ලොව සියළු කැපවීම් අභිබවා යනවා. පියෙකු සිය ජීවිත කාළය පුරාම වෙහෙසෙන්නේ සිය දරුවන් සමාජයේ තමන්ට වඩා ඉහළ තැනක වැජඹවීමටයි. මේ දෙමාපිය යුවලකගේ ලේ සම් මස් ඇටමිඳුලු පුරා දිවෙන දාරක ස්නේහයයි. උපන්දා සිට තම දරුවා වෙනුවෙන් නිඳිවැරීම, දුක්විඳීම මවකගේ ඉරණම හා බැඳී පවතිනවා. ඒ වෙනුවෙන් ඇයට අමතර දීමනා හෝ විශේෂ ත්‍යාග ලැබෙන්නේ නැතිවා වගේම ඇය එය බලාපොරොත්තු වන්නේත් නැහැ ..ඇයට ලැබෙන්නේ දරුවන් හොඳින් හැදෙනු වැඩෙනු බලා – සමාජයේ හොඳින් වැජඹෙනු බලා ලබන සතුට පමණයි. සමහර මව්වරුන් මේ අච්චුවෙන් ඉවතට පැන දරුවන්ට වඩා තම සුවය සැනසුම පතා ආත්මාර්ථකාමී වුවත්, 95% කට වඩා මව්වරුන් පියවරුන් සිය දරුවන් වෙනුවෙන් ජීවිතය කැප කරනවා.

දරුවා පෝෂණය කිරීම මවකගේ පියෙකුගේ මූලික කටයුත්තයි. ඒ වෙනුවෙන් තම හැකි පමණන් පෝෂ්‍යදායී ආහාර ගෙන දීම කොයි මවත්-පියාත් කරන මූලික දෙයක්. මේ කටයුත්තේදී තම නැණ පමණින් සහ තම ආර්ථික මට්ටම අනුව උපරිමය කිරීමට ඔවුහු කටයුතු කරනවා. ගමේ වෙසෙන දෙමාපියන් නිතිපතා තම හැකි පමණන් දරුවන් පෝෂණය කළත්, ඉඳහිට හෝ කුකුළුමස් කැබැල්ලක්, චොකලට් පෙත්තක් ආදිය ගෙනවිත් දීමට තමන්ට හැකිනම් පසුබට වන්නේ නැහැ. නාගරික මධ්‍යම සහ උසස් මධ්‍යම පාන්තික පවුල්වල තත්ත්‍වය මෙයට තරමක් වෙනස්. ඔවුහු බොහෝ දුරට වාහනයක් පාවිච්චි කරන, තරමක පෝෂ්‍යදායී ආහාර වේලක රස බලන, කුකුළු මස් – හැම් බේකන් හෝ බටර් මාගරින් ආදියේ රසකැවිළි ආදියේ පහස වඩා වැඩියෙන් ලබන කාණ්ඩයක්. එසේම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන් අමතර පන්තිවලට, අමතර ක්‍රියාකාරකම් වලට ගෙනයන, ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් වැඩි ආයෝජනයක් කරන කාණ්ඩයක්. ඔවුන්ගේ කාලසටහන කාර්ය බහුලයි. බොහෝවිට මවත් පියාත් දෙදෙනාම රැකියා කරන උදවිය. මේ නිසාම සමහරවිට දෛනික ආහාර වේල ගැන ලැබෙන්නේ අඩු අවධානයක්. දවස පුරා වෙහෙස වී දරුවන් කැටුව නිවසට පැමිණෙන මව සහ පියා කිහිප දෙනෙකුට කෑම ඉවීමේ භාරදූර කටයුත්ත වෙනුවට වඩා පහසු වූ ආහාර වේලක් මඟින් ගෙන ඒම හෝ නිවසටම ගෙන්වා ගැනීම යන කටයුත්තට යොමු වෙනවා. බොහෝ විට ආප්ප, ඉඳිආප්ප, කොත්තු, ආදී පිසූ ආහාර වේලක් අසළ වූ කෑම කඩයකින් සැපයෙනවා විය හැකියි. මේ ආහාර වේල් බොහෝ දුරට එතරම් සෞඛ්‍යාරක්‍ෂිත නොවිය හැකිය. අධිකව තෙල් සහ රසකාරක දැමූ මේ ආහාර කොහොම සකසනවාදැයි දන්නේ දෙයියෝ සහ සකසන කෙනා පමණයි. බොහෝ විට මේ ආහාරවල එළවලු නරක් වීමට ආසන්න ඉවත දමන එළවලු විය හැකියි. ආහාර ව්‍යාපාරය ලාභ ලබන්නේ එහෙමයි. එසේම ආහාර රස කිරීමට MSG අඩංගු රසකාරක එකතු නොකරන ආහාර සපයන්නෙක් සොයා ගැනීම බොහොම දුර්ලභයි. මේ තෙල්, රසකාරක සියල්ල ස්ථුලතාවයට පාර පෙන්වන බව සොයාගෙන ඇත. දරුවන්ට ඇති අසීමිත ආදරය නිසාම, දරුවන් වඩා කැමති බටහිර ක්‍ෂණික ආහාර සමාගම්වල ශාඛාවලට යාමට හෝ ඒවායින් ආහාර රැගෙන ඒමට දෙමාපියෝ කටයුතු කරනවා. එසේම විවිධ කෝලා වර්ග- පැණි බීම වර්ග ආදියද ලබා දීමට ඔවුන් කටයුතු කරනවා.

මෙයට අමතරව බොහෝ දරුවනට පාසලේ සහ අමතර පංතිවල ක්‍රියාකාරකම් අධිකයි. අද පවතින තරඟය නිසාම ඔවුන් අමතර පන්ති එකක් හෝ කිහිපයකට සහභාගී වී නිවසට පැමිණෙන්නේ බොහෝ වෙහෙස වෙලා සහ ප්‍රමාදවෙලා. ඔවුනට එළියකට පහළියකට බැස ක්‍රීඩාවක් කිරීමේ අවස්ථාව ඉතාම අඩුයි. බොහෝ විට සති අන්තය ද පෞද්ගලික පන්ති, සංගීත පන්ති, චෙස් පන්ති, ආදී පන්ති කරා යාමට සිදු වෙනවා. මේ නිසා දරුවන්ට ඇඟ වෙහෙසා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නැති තරම්. සමහර දෙමාපියෝ තම දරුවන් කරාටේ හෝ පිහිණුම් සඳහා රැගෙන යනවා. දැඩිව කය වෙහෙසා කරන ක්‍රීඩා කරන්නේ බොහොම අල්ප සංඛ්‍යාවක්. කෙසේ වුවත් වසර විස්සකට පමණ පෙර රට පැවති තත්ත්‍වයෙන් අප බොහෝ දුරට අපගමනය වී ඇති බව නම් පෙනෙන්නට ඇති කරුණක්.

දශක තුනකට පෙර කාලයේ පාසැල් ගොස් පැමිණෙන අප අමතර පන්ති ගියත් අවම වශයෙන් සතියකට දින දෙකක් හෝ කිසියම් ම ක්‍රීඩාවක යෙදුනා. පන්තියේ යහළුවන් හෝ වට පිට මිතුරන් කිහිප දෙනෙකු එකතුකරගෙන හෝ ක්‍රිකට් ගැසීම හෝ කළා. ඇති තරම් දිවුවා, බයිසිකල් පැදීම එල්ලේ ගැසීම වැනි යමක් අනිවාර්යයෙන් සිදු වුනා. තරමක් වැඩුන පසු වොලිබෝල් වැනි ලොකු මිනිසුන්ගේ ක්‍රීඩාවලට ද සහභාගී වුනා. කුඩා දරුවන් එසේ ක්‍රීඩා කරනවා දැන් දකින්නත් නැති තරම්. වොලිබෝල් දැන් දුර්ලභ තත්තවයකයි පසු වෙන්නෙ. දැන් දුවන්නේ මහල්ලන්, වැඩිහිටියන්: ඒ ඔවුන්ගේ ජීවිතය තවත් දවසක් දිගු කරගන්න….. ඒ වගේම දැන් සියළුම දෙනා හැල්මේ දුවනවා – ව්‍යායාමයට නොවෙයි ජීවිතය ගැට ගසා ගැනීමේ තරඟයට.. මේ දශක තුනක් තුළ ලාංකීය ජීවිතයේ සිදු වූ වෙනසයි.

ස්ථුලතාවය සමාජයේ සියළුම වයස් ස්ථර වලට බලපානවා. මා දන්නා මගේ වයස මට්ටමේ සහ වසර කිහිපයක් වැඩිමහළු කිහිප දෙනෙකුම හදිසි හෘදයාබාධ වලින් අප හැර ගොසින්. මගේම වයසේ මිතුරන් අධික රුධිර පීඩනයෙන් පීඩා විඳිනවා. සමහරුන්ට දියවැඩියාව. බොහෝ දෙනෙක්ගේ උදරය ඉදිරියට නෙරාවිත් ඇත්තේ… ඒ කිසිවෙකු මා දන්නා ආකාරයට සිය ශරීර සෞඛ්‍යය පිළිබඳ වැඩිදුර අවධානයක් ඇත්තෝ නොවෙයි. පෙර පැවති කඩවසම් බව තවමත් පවත්වාගෙන යන කිහිප දෙනා නම් තවමත් පෙර පරිදිම ක්‍රීඩාවේ නියැලෙනවා. ඒ බොහොමත්ම අල්ප දෙනෙක්..

මේ දෙමාපියන්ගේ දරුවන් ද දුවන්නේ තරඟය ජය ගන්නයි.. ඔවුනට සිය සෞඛ්‍යය ගැන මතක් වන්නේ එක්කෝ රෝගයක් වැළඳුන විට හෝ වෙනත් කාරණයකට වෛද්‍යවරයෙකු වෙත ගියවිට වෛද්‍යවරයා මතක් කළහොත් පමණයි. එවිට ඔවුහු පමා වූවා වැඩි විය හැකියි. මේ තිත්ත ඇත්තයි. ලංකාවේ බොහෝ දෙනා සිතන්නේ දරුවන් තරමක් මහතට සිටීම ඒ දරුවා සනීපෙන් සිටින බවට බාහිර මිම්මක් ලෙසයි. එසේ වුවද දැන් දැන් ආහාර වලට එක් කරන හෝමෝන සහ විවිධ රසකාරක නිසා දරුවන්ගේ ශරීර තුළ විවිධාකාර අසාමාන්‍ය වෙනස්කම් සිදු වේ. පෙර කළ අවුරුදු 13-15 අතර වැඩිවිය පැමිණෙන ගැහැණු දරුවන් දැන් අවුරුදු 9-10 වන විට වැඩිවිය පැමිණෙන්නේ මේ හෝමෝන අනවශ්‍ය ලෙස දරුවන්ගේ සිරුරු තුළට ඇතුළු වීම නිසාය. පිරිමි දරුවන් මෙන් නොව බොහෝ විට ගැහැණු දරුවන්ට වැඩිපුර ඇඟ වෙහෙසා ක්‍රීඩාවක් කිරීමට අවකාශයක් ලැබෙන්නේත් නැහැ. සමාජයීය මෙන්ම සංස්කෘතික බාධා තවමත් අප වෙලාගෙන සිටීම මෙයට හේතුවයි.. මේ නිසා සහ ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියා නිසාම ඔවුන්ගේ සිරුරු තුළ මේදය තැන්පත් වීම වැඩිපුර සිදු වෙනවා. මේ නිසා ගැහැණු දරුවන් ස්ථුලතාවයට පත් වීම වැඩිපුර සිදු වනවා. එසේම මෙය පසුකාලීනව ඔවුන්ගේ ජීවිත මෙන්ම ආත්ම විශ්වාසයට ද බලපානවා. මේ නිසාම තරුණ වයසට පැමිණෙත්දී ඔවුන් ආහාර පාලනයට නතු වනවා. මේ නිසා තරුණ කාළයේදී අවශ්‍ය පෝෂණය නොලැබී යනවා. කෙට්ටු වීමට නොකා සිටීමෙන් සිදු වන්නේ පසුකාලීනව ගැස්ට්‍රයිටීස්, දියවැඩියාව වැනි වෙනත් රෝග වැලඳීම කෙරෙහි එය බලපානවා..

මෙය චක්‍රයක්. මේ චක්‍රය බිඳ හෙළිය හැක්කේ දරුවන්ට නිසි පෝෂණය නිසි ආකාරයට කුඩා කාළයේදීම ලබා දීමෙන් පමණයි. ආහාර පාලනය – සමබල ආහාර ලබා දීම. ආහාර ලබා දීමේදී සෞඛ්‍යාරක්‍ෂිත බව පිළිබඳ සැලකිලිමත් වීම යන කාරණා සාක්‍ෂාත් කර ගතහොත් තම දරුවන් අනාගතයේදී රෝගීන් වීමෙන් වලක්වා ගත හැකියි. සත්තකින්ම මෙහි වගකීම ඇත්තේ දෙමාපියන් හා ගුරුවරුන් වෙතයි. ඒ තමන් දැනුවත් වීමෙන් හා අනුන් දැනුවත් කිරීමෙනි. දරුවන්ට ඇඟ සොලවා ක්‍රීඩා කිරීමට අවකාශ ලබා දීමෙන් ඔවුන්ගේ රුධිර සංසරණය ක්‍රමවත් වී මානසිකවද ප්‍රබෝධමත් වනවා. මානසිකව ප්‍රබෝධමත් දරුවා අධ්‍යාපනයේ ඉහළට යනවා. සමබරව සිතනවා….

කියවන ඔබ මෙයින් 10% ක් හෝ අනුගමනය නොකරනවා නම් එහි ඇති අරුතක් නැහැ.. බටහිර රටවල ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇත්තේ ළමා ස්ථුලතාවයයි. බොහෝ දරුවන් සිය වයසට වඩා බරින් වැඩියි. බොහෝ දරුවන් විවිධාකාර රෝගවලින් පෙළෙනවා. දැනුවත් දෙමාපියෝ සිය දරුවන් සමබර ලෙස හදා වඩා ගන්නවා. බොහෝවිට ඔවුන් ආහාර පාලනය – එළිමහන් ක්‍රීඩා කෙරෙහි දරුවන් යොමු කිරීම මෙන්ම පවුලේ ක්‍රියාකාරකම් මගින් දරුවන් නිරෝගී කිරීමට වගබලා ගන්නවා.  ඒ සමාජයෙන් 10 % ත් 20 ත් අතර කොටසක් පමණයි. ඉතිරිය රැල්ලට හසු වී ගසාගෙන ගොස් – පසුව පසුතැවිලි වනවා.

දැන් ලංකාවේ දරුවන් බොහොමයක් පරිඝණක ක්‍රීඩා, ජංගම දුරකථන භාවිතය වෙත නැඹුරුව පවතිනවා. දෙමාපියන් පවා පහසුව තකා ඔවුන්ට දුරකථනය හෝ ටැබ් එකක් ලබා දී ක්‍රීඩා කරන්නට ඉඩ සලසා තිබෙනවා. මේනිසා දරුවන් කය වෙහෙසා කරන ක්‍රීඩාවකට යොමු වනවා හරිම අඩුයි. එයින් වැරදි දෙකක් වනවා. පළමුවැන්න වන්නේ ඔවුන් ඒ සඳහා ඇබ්බැහි වීමයි. එමගින් දරුවාගේ මානසික ශක්තිය, තර්ක කිරීමේ හැකියාව, නිර්මාණශීලීත්‍වය වැනි දෑ අහිමි වන බව සොයාගෙන තිබෙනවා. දෙවැන්න දරුවා කය වෙහෙසා කරන ක්‍රීඩාවලට සහ කණ්ඩායම් ක්‍රීඩාවලට යොමු නොවීම නිසා දරුවාගේ කායික ශක්තිය හීන වීම, ස්ථුලතාවය වැඩි වීම, කණ්ඩායම් හැඟීමක් නොමැති වීම, කායිකව ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීමේ හැකියාව නොමැති වීම නිසා අනතුරුවලට ලක්වීම වැනි අහිතකර දෑ සිදු වන්නට ඇති හැකියාවයි.

ළමා ස්ථුලතාවය නිසා දරුවන්ට වැළඳිය හැකි  ෙරා්ග රාශියක් තිෙබනවා. ෙම් අතරින් දියවැඩියාව, අධික රුධිර පීඩනය, ස්නායුගත අාබාධ, අාහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ අාබාධ, කායික අාබාධ, අස්ථි දුර්වලතා ප්‍රධානයි. ෙමයින් වඩාත්ම සංෙව්දී වන්ෙන් මානසිකව දරුවා අපහසුතාවයට පත්වීම නිසා සිදුවන අාත්ම විශ්වාසය බිඳවැටීම වැනි නැවත පිළිසකර කිරීමට අපහසු තත්ත‍වයන් අැති වනවා.

අවශ්‍යතාවය ඇතිනම් වෙනස් වන්නට පුළුවන්. සමහර එළවළු වර්ග තම වත්තේම වගා කරගත හැකියි. තමන් වගා කරන ගමන්ම තම දරුවන්ටත් එක් එළවළු පාත්තියක් වගා කිරීමේ වගකීම පැවරිය හැකියි. එයින් ඔවුන් ඇඟ වෙහෙසා යමක් කිරීම- වගකීමක් දැරීම- ඉන් ප්‍රතිඵල ලැබීම වැනි බොහෝ දේ ඉගෙන ගන්නවා. එපමණක් නොවෙයි, එය ඔබේ ආර්ථිකයට සහයක් මෙන්ම, පවුලේ සියල්ලන් එකට එකතු වී යමක් කිරීම නිසා පවුලේ සමගිය පවා ඉහළ යාමට සාධකයක්. එමෙන්ම ඔභ වගා කරන දෑවලට ඔබ අනවශ්‍ය රසායන ද්‍රව්‍ය එකතු නොකරන නිසා පවුලේ උදවියගේ සෞඛ්‍යාරක්‍ෂිත බව ද ඉහළ යනවා. කඩෙන් ගෙන එන පළතුරු බීම වෙනුවට පළතුරු ගෙඩියක් දෙකක් බ්ලෙන්ඩරයට දමා අවම සීනි ප්‍රමාණයක් දමා තමන් විසින්ම පළතුරු බීමක් සාදා ගත හැකියි. එය තම දුවට පැවරීමෙන් ඒ වගකීම සහ දැනුවත් භාවය තවත් පරපුරකට සන්නිවේදනය වෙනවා ඇති. මෙසේ තම චර්යාවන් වෙනස් කර ගැනීම මගින් තමන්ගේත් පවුලේත් සුභසාධනය සළසා ගත හැකියි. ක‍ෂණික අාහාර අඩු කිරීම, පැණි බීම, ෙසා්ඩා වර්ග පානය නැවැත්වීම, දුවනගිරි ෙහා්ටල්වලින් අාහාර ගැනීම නැවැත්වීම සහ නිසි ව්‍යායාම ලබා දීම මගින් දරුවන්ෙග් ෙමම ස්ථුලතාවය අඩු කළ හැකියි. ආණ්ඩුවෙන් හෝ පාසැලෙන් ඒ දේ කෙරෙනවාට වඩා ස්වයං පාලනයෙන් – ස්වයං වාරණයෙන් සහ අවබෝධයෙන් යමක් කරා යාම සතුටක් දනවනවා. අදම ඔබ පවුලේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කර තමන්ගේ පවුලේ චර්යාවන් වෙනස් විය යුත්තේ කෙසේද කියා බලා වෙනස් වුවහොත් 2020 වන විට රටේ ජනගහනයෙන් 50% වන දියවැඩියා රෝගීන්ගේ කොටසට නොවැටී සිටීමට ඔබටත් හැකි වේවි. නැතහොත් 2020 වනතෙක් කීදෙනෙක් ජීවත්ව සිටී දැයි බලා ඔබටම සුසුම් ලෑ හැකියි….

ඔබේ පවුල රැක ගැනීමේ – ඔබ ආරක්‍ෂාවීමේ තීරණය ඔබ සතුයි… අපට හැක්කේ එය කියාදීම පමණයි.

ඉතින් සිතන්න…. අදම ක්‍රියාකරන්න…. සමාජයක් වෙනස් කළ හැක්කේ තනි තනිව ඔබ වෙනස් වීමෙන් පමණයි. ලිප්ටන් වටරවුමේ බෝඩ් එල්ලාගෙන පාර වසාගෙන කෑ ගැහුවට සමාජය වෙනස් කරන්න බෑ කියන දේ ඔප්පු වෙලා හමාරයි. ඔබ වෙනස් වී අවට සිටින්නවුන් එක එකා වෙනස් කරන්න… එවිට සමාජය හොඳ අතට වෙනස් වේවි.

http://www.rivira.lk/online/2017/08/12/121972

 

පිටස්තරයා – 03


Chapter 3 main

ඔබ ඇන්ඩ්‍රියා ජීන් සමර්ස්…

ඔව්…

වයස තිස් දෙකයි.

ඔව්….

විවාහකද ?

නැහැ….

ඇයි ඔබ බර්ක්ලි විශ්ව විද්‍යාලයේම පශ්චාත් උපාධි පර්යේෂණයට යොමු වුනේ. ? ඔබ වැනි කෙනෙකුට ආචාර්ය උපාධියෙන් පසු වෙනත් ඕනම තැනකට යන්න පුළුවන් කම තිබුණා නෙ.

ඇත්තෙන්ම මගේ පර්යේෂණයේ තවත් වැදගත් අංගයක් නිම වෙලා තිබුණෙ නැහැ මම ආචාර්ය උපාධිය නිම කරන විට. ඒ නිසා මම උපාධියෙන් පසුවත් එතැනම සේවය කළා.

එය ඔබේ වෘත්තීය ජීවිතයට දැඩි පහරක් බව ඔබ දැන සිටියෙ නැද්ද ?

මම එය දැන සිටියා.. නමුත් ඔබ සිතනවද අපරාධකරුවන්ගේ මුහුණෙ හැඟීම් අනුව ඔවුන් ඉදිරියේදී යමක් කරයිද කියලා සොයන්න පුළුවන් පරිඝණක වැඩ සටහනක් හදපු මා වගේ කෙනෙක්ගේ වෘත්තීය ජීවිතය මේ වගේ සුළු දේකින් අවසාන වෙයි කියලා ? ඇය පෙරළා ප්‍රශ්න කළාය.

මෙයා නම් බොහොම තියුණු තර්ක බුද්ධියක් ඇති කෙනෙක්…. නැන්සි එසේ සිතමින් සිය කඩදාසි ගොන්නේ යමක් සටහන් කර ගත්තාය.

ඔබේ විශේෂඥතාවය තිබෙන්නේ පරිඝණක වැඩසටහන් පිළිබඳව…. නමුත් මෙතැන සිදු වන්නේ තනිකරම ඉංජිනේරු අංශයේ, අණුක සහ පරමාණුක මට්ටමේ ගණනය කිරීම් සහ පරිඝණක වැඩසටහන් ලිවීම සහ අත්හදා බැලීම… ඔබ හිතනවාද මෙතැන ඔබට සුදුසුම තැන කියලා. ? මෙතෙක් වෙලා නිහඬව සිටි ආචාර්ය ලිපර්ඩ් ඒ ප්‍රශ්නය යොමු කළේ  ඇගේ නෙත් දෙස කෙළින්ම බලාගෙන….

ඇත්තෙන්ම මම හිතනවා  මම මෙතැනට සුදුසුයි කියලා.. මා ප්‍රසිද්ධ වෙලා තිබෙන්නේ මගේ පරිඝණක වැඩසටහනට වුවත් මගේ  විශේෂඥතාවය තිබෙන්නේ රොබෝටික්ස්… රොබෝවරුන් තැනීම… ඔබ දන්නවා රොබෝවරු තැනීම කියන්නෙ කෙතරම් අපහසු කටයුත්තක්ද කියා… පරිඝණක වැඩසටහන් පමණක් නොවෙයි ඔවුන් සජීවීකරණය සඳහා අපට ඉංජිනේරු විද්‍යාවේ බොහෝ දේ කරන්න සිදු වෙනවා. යාන්ත්‍රික විද්‍යාව, ද්‍රව්‍ය හැසිරීම සහ ඒවායේ ගුණ, නැනෝතාක්‍ෂණය, ජීව විද්‍යාව, මානව ව්‍යුහ විද්‍යාව ආදී සියළු අංශවල එකතුවක් මේ විෂයය. ඒ වගේම ගුරුත්‍වය පිළිබඳ මනා දැනීමක් නොමැතිව රොබෝවරයෙකුට ජීවය දෙන්න අපහසුයි…

ඇගේ ඇස්වල කළු ඉංගිරියාවන් විශාලවනු ලිපර්ඩ් ට හොඳින්ම පෙණුනි… ඇයට පිටුපසින් සිටි තාක්‍ෂණික නිලධාරියාගේ දකුණතේ මහපටැඟිල්ල පහළට යොමුවනු සියළුම දෙනා හොඳින් දුටුවෝය…

තවත් ප්‍රශ්න කිහිපයකට අනතුරුව…………..

හොඳයි…. අපි ඔබට දන්වන්නම් අපේ තීරණය තව දින දෙකකින්… ඒ අතරතුර ඔබ සැළකිළිමත් විය යුතුයි ඔබ අද උදෑසන අත්සන් කළ ලිපිය පිළිබඳව… එය කඩ කළහොත් මේ රැකියාවත්, දැනට ඔබ කරන රැකියාවත් අහිමි වෙන්න පුළුවන්. සුභ දවසක්…

ස්තූතියි… මට මේ අවස්ථාව ලබා දීම ගැන ඔබ හැමටම ස්තූති වෙනවා..

සී අයි ඒ ආයතනය, එෆ් බී අයි ආයතනය, ජාතික ආරක්‍ෂක ඒජන්සිය නාවික පර්යේෂණ ආයතනය, පෙන්ටගනය වැනි ස්ථානවල අවසාන සම්මුඛ පරීක්‍ෂණය පැවැත්වෙත්නේ දැඩි ආතතියක් ගෙන දෙන තත්ත්‍වයන් මධ්‍යයේ දී ය.  එය යන්ත්‍රාණුසාරයෙන් සිදු කරන්නේ එම කාර්යය මානව සබඳතාවයකින් තොරව අදාල ප්‍රතිඵල ඉහළ නිරවද්‍යතාවයකින් තබා ගත යුතු නිසාය. මේ සඳහා භාවිතා කරන යන්ත්‍රය Polygraph යන්ත්‍රය යනුවෙන් හඳුන්වයි. එයින් අදාල පුද්ගලයා පවසන්නේ සත්‍යයක්ද නැද්ද යන්න එවේලේම පෙන්වා දෙයි. පළමුව අපේක්‍ෂකයාගේ සිරුරෙහි පපුව වටා වයරයක් ඇද එය ඉලෙක්ට්‍රෝඩයකට සම්බන්ධ යන්ත්‍රයකට සවි කරන අතර ඇඟිලිතුඩු, බෙල්ලේ, සහ හිසේ ඇසට ඉහළින් වූ මර්මස්ථානයේ කුඩා ඉලෙක්ට්‍රෝඩ සවි කර ඒවා ද අදාල යන්ත්‍රයට සවි කෙරේ. මෙය කිසිවෙකු බොරු කියන්නේදැයි සොයා ගැනීමේ මූලිකම පරීක්‍ෂණයයි. බොරුවක් කියනවිට කළු ඉංගිරියාවෙහි ප්‍රමාණය වෙනස් වුවත්, පළපුරුදු බොරුකාරයෙකුට එය නොවෙනස්ව පවත්වා ගැනීම ද අපහසු නොවේ. නමුත් බොරුවක් දැන දැනම කියනවිට වෙනස්වන හෘද ස්පන්දන වේගය, මොළයේ ස්නායු තන්තු අතර ඇතිවන විද්‍යුත් අසමතුලිතතාවයන් සහ මොළයට රුධිරය ගමන් කිරීමේ විශමතාවයන් නිසා ශරීරයේ ඇතිවන ඉතා සූක්‍ෂම විද්‍යුත් ආරෝපණ වෙනසත්, ශරීරය මතුපිට වෙනස්වන ආරෝපණ වෙනසත්, ශරීරයේ ඔක්සිජන් ප්‍රමාණයෙහි වෙනසත් ගණන් බැලූ විට ඒ පුද්ගලයා කියන්නේ බොරුවක්ද ඇත්තක්ද යන්න සොයා ගැනීම ඉතා පහසු කාර්යයක් වී ඇත. මුලින්ම අපේක්‍ෂකයා විසින් නිසැකවම ඇත්ත පිළිතුරු ලබාදෙන ප්‍රශ්න යොමු කිරීම මගින් යන්ත්‍රයේ නිරවද්‍යතාවය සහතික කර ගනී. ඉන්පසු සිය ඉලක්ක ප්‍රශ්න යොමු කිරීම මගින් අදාල කරුණ වෙත ඒ පුද්ගලයා කොටු කරගෙන අවශ්‍ය දේ දැනගත හැකිය. කෙසේ වුවත් මෙම යන්ත්‍රය සාමාන්‍යයෙන් පොලිස් ස්ථානවල සහ අපරාධ පරීක්‍ෂණවල භාවිතා වන ඔව්/නැහැ පිළිතුරු ලබාදෙන පොලිග්‍රාෆ් යන්ත්‍රයකට වඩා දියුණු යන්ත්‍රයකි. මේ නිසා තම අපේක්‍ෂකයාගේ දීර්ඝ පිළිතුරක ඇති නිරවද්‍යතාවය සහ අවංකභාවය ඉතා කදිමට නිර්ණය කිරීමට අදාල බලධාරින්ට හැකි වේ.

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

මේක වෙන්න පුළුවන් කොහොමද ?

ජනරාල් වෙලිංටන් තමාට ලැබුණු වාර්තාව තෙවන වරටත් කියවා අවසානයේ සිය තට්ට හිස අතගාමින් කල්පනා කළේය….. කවදාවත් කිසිම කෙනෙකුගෙ පසුබිම් වාර්තාවක් මේ තරම් පිරිසිදුව නොලැබුණ බව තමාට විශ්වාසය… අවම වශයෙන් රටේ ජනාධිපතිවරුන්ගේ පවා සොයාගත හැකි පැහැදිළි වැරදි තිබියදී අවම වශයෙන් මාර්ගනීති කඩ කිරීමක් වත් සිය දත්ත සටහනේ නොමැති මේ තරුණයා ගැන Blood Hound නොහොත් ජනරාල් වෙලිංටන්ට හට ගත්තේ මහත් සැකයකි.. වහාම සිය සහායිකාවට ඇමතූ ඔහු සිය කණ්ඩායමේ සිටින දක්‍ෂතම දත්ත හාරන්නන් දෙදෙනා සිය කාර්යාලයට එවන්නැයි අණ කළේය.

බිල්….. මයික්….. මට කියන්න පුළුවන් ද කෙනෙක්ගෙ පසුබිම් දත්ත සටහනක් මේ තරම් පිරිසිදු වෙන්න පුළුවන් කොහොමද කියලා. කාළය නාස්ති කිරීමට අකමැති ජනරාල් වෙලිංටන් කෙළින්ම සිය අවශ්‍යතාවය ඔවුන් හමුවේ ගෙනහැර දැක්වීය.

මේක වෙන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නෙ. එක්කෝ මේ පුද්ගලයා ඇත්තෙන්ම පිරිසිදු පසුබිමක් තිබෙන පුද්ගලයෙක් වෙන්න ඕන. නැතිනම් ඉතිහාසය සම්පූර්ණයෙන්ම මකා දමලා අළුත්ම අනන්‍යතාවයක් ලබා ගන්න ඕන… නමුත් මේ වාර්තා පිළිබඳ බැලුවාම දෙවැන්න අපට බැහැර කරන්න සිදු වෙනවා. මේ බලන්න ඔහු එක්සත් ජනපදයට ඇවිත් තිබෙන්නෙ වයස 13 දි. එතැන් පටන් සියළුම වාර්තා මෙතැන තිබෙනවා… ඒ විතරක් නොවෙයි වීඩියෝ දර්ශනත් සමඟ අනන්‍යතාවය සඟවපු පුද්ගලයෙක් කවදාවත් මෙහෙම ප්‍රසිද්ධියේ හැසිරෙන්නෙ නැහැ. ඒ වගේම අපට පැහැදිලිවම පේනවා මොහු දක්‍ෂ පුද්ගලයෙක් කියලා… ඔහුගෙ ක්‍රීඩා විලාශයෙන්ම පේනවා ඒ බව.. එපමණක් නොවෙයි අපි ඔහුගෙ දෙමාපියන්ගෙ අතීතයත් හාරා අවුස්සා බැලුවා… ඒවයින් වත් පෙනෙන්නෙ නැහැ ඔහු කිසිම වැරැද්දක් කර ඇති බව.. ඔවුන් සියළුම දෙනා බොහොම නීතිගරුකව සිටි පවුලක්.. ඒ වගේම ඔහුගෙ පියා ….

මම දන්නවා…. මම විතරක් නොවෙයි මුළු ලෝකයම දන්නවා.

එහෙනම් ඔබ කියන්නෙ දැන් මේ තරුණයා පිරිසිදු අතීතයක් ඇති කෙනෙක් කියලා ?

ඔව්…. ජනරාල් තුමනි….

මෙයාට පෙම්වතියක් ඉන්නවද ? ඉඳලා තියෙනවද ?

දන්න ආකාරයට නම් කිසිම සම්බන්ධතාවයක් තිබිලා නැහැ… නමුත් යාළුවො නම් බොහොමයක් ඉන්නවා… Facebook එකේ පමණක් යාළුවො 666 ක් සිටිනවා… දැනට අවුරුදු ගණනක ඉඳලම මේ සංඛ්‍යාව වෙනස් වෙලා නැහැ.. එක්කෝ කවුරුහරි එකතු වෙන්නට පෙර කිසිවෙකු ලැයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා. ඔහු අංක 666  දැඩි ලෙස අනුගමනය කරන කෙනෙක්…

666 යක්‍ෂයාගේ අංකය….. ඔය තියෙන්නෙ පොටක් පෑදිලා…

දැන්මම සොයන්න 666 ට මෙයාගෙ ඇති වෙනත් සම්බන්ධතා මොනවද කියලා…. සමහරවිට මෙයා යක්‍ෂයාගේ කල්ලියේ කෙනෙක් වෙන්න ඇති… මේ වගේ සාන්ත දාන්ත අය තමයි අපට ලොකු කරදරයක් වෙන්නෙ… දැන්මම දෙන්නා ගිහින් මට පැයක් ඇතුලත මේ සම්බන්ධය හොයලා ගෙනැත් දෙන්න ඕන…. ඒ වගේම පුළුවන්  නම් මෙයාගෙ ගමන් බිමන් ගැන සැටලයිට් දර්ශන, මාර්ග කැමරා දර්ශන තියෙන ඒවා අරගෙන එන්න… මුහුණ හඳුනා ගැනීමේ (Face Recognition) වැඩසටහනකින් මෙයාගෙ තියෙන සියළුම ෆොටෝ, වීඩියෝ ආදිය සොයා ගන්න…. මෙයා සමහර විට අපට අහු නොවෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්…. ඒ වගේම Facebook එකේ දාපු ප්‍රතිචාර තියෙනවා නම් සහ ඒකෙ විවිධ කණ්ඩායමවලට ඇතුලත් වෙලා තියෙනවා නම් ඒ හැම එකකම විස්තර මට ඕන… මේක ඉහළම වැදගත්කමක් ඇති (High Priority) වැඩක් විදියට මතක තියාගන්න…

හොඳමයි ජෙනරාල් තුමනි..

 

666 : යක්‍ෂයාගේ අංකය (Devil’s number/Number of the Beast)

අංක ගණන් කිරීමේදී පළමු අංක 36 හි එකතුව 666 කි. (1+2+3+4+……….+34+35+36 = 666) මේ නිසා ත්‍රිකෝණාකාර අංකයක් ලෙස සළකනු ලැබේ.  666 දක්වා වූ ප්‍රථමක සංඛ්‍යා ගණන 121 කි. 121 හි මූලය 11 කි. 0-36 දක්වා ඇති ප්‍රථමක සංඛ්‍යා ගණන ද 11 කි. එසේම 666 අධි අංකයකි. (abundant number) – එනම් අංක න්‍යායට අනුව කිසියම් අංකයක් බෙදෙන අංක සංඛ්‍යාවෙහි එකතුව එම අංකයට වඩා වැඩි නම් එය අධි අංකයක් යැයි සළකනු ලැබේ. පළමු අධි අංකය 12 ය (1,2,3,4,6 යන සංඛ්‍යාවලින් 12 බෙදේ – එහි එකතුව 16කි). එසේම 666 පුනරාවර්තී  අංකයකි(11,22,444, 666). රෝම ඉලක්කම්වල 666 යනු 1000ට අඩු අවස්ථාවකදී සියළුම අංක සළකුණු දැකිය හැකි එකම අංකයයි, DCLXVI, (D=500, C=100, L=50, X=10, V=5, I=1). යුදෙව් ආගමට අනුව ලෝකය මැවීම සහ පරිපූර්ණ කිරීමට අදාල අංකය 6 වේ (දින 6 කින් ලෝකය මැවීමත් 6 දිශාවකට පරිපූර්ණ කිරීමත් ඇතුළුව)

ක්‍රිස්තියානි ආගමේ නව තෙස්තමේන්තුවේ 13 වන පරිච්ඡේදයේ අංක 666 ට වැරදි චිත්‍රයක් මවාපෑම නිසාම බොහෝ බටහිර ජාතීන් අතර 666 සාතන්ගේ අංකය ලෙසින් වැරදි වැටහීමක් ඇති කරගෙන තිබේ. එසේම අනාගමිකවාදීන් (Anarchists) ද අංක 666 ට විවිධාකාර අර්ථකතන දීමත් එංගලන්තයේ ආතර් රජු අනාගමිකවාදියෙකු විසින් ඝාතනය කිරිම යන කරුණු නිසාත්, මාධ්‍ය මගින් සහ විවිධ කල්ලි මගින් 666 සිය පෞද්ගලික අවශ්‍යතාවයන් අනුව අපරණය කිරීමත් යන කරුණු නිසා අංක 666 යක්‍ෂයාගේ අංකය ලෙස බටහිර ජාතීන් අතර ප්‍රසිද්ධ ය… ජෙනරාල් වෙලිංටන් බුද්ධි අංශය භාර ඉහළ නිලධාරියෙකු වුවත් සිය බුද්ධිය අභිබවා සිය ආගමත් විශ්වාසයත් ඉදිරියට පැනීම නිසා ඔහුද එය යක්‍ෂයාගේ අංකය ලෙස පිළිගැනීම විමතියට කරුණක් නොවේ.

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

මොනවද මේ මනුස්සයා කරන්නෙ…. ?

වීඩියෝ පටය දෙස බලා සිටි සියළුම දෙනාට වූ පැණය වූයේ එයයි….

ඔහු දෑස් පියාගෙන නින්දකට පත්වී ඇත්තාක් මෙන් නිසොල්මන් වී සිටී…… තමන් පැමිණ සිටින්නේ අමෙරිකා එක්සත් ජනපදයේ මිලියන තුන්සිය තිහක ජනතාවගෙන් කිහිප දෙනෙකුට පමණක් හිමිවන අවස්ථාවක් ලබා ගැනීමට බව අමතක වී ඇතිවාක් සේ ඔහු නිද්‍රාවට වැටී ඇත.

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

මැතිව්…. ඇයි ඔබ ස්ටැන්ෆර්ඩ් වැනි කීර්තිමත් විශ්ව විද්‍යාලයක මහාචාර්ය තනතුරක් අතහැරලා මේ වගේ තැනක රැකියාවක් බලාපොරොත්තු වෙන්නෙ ?

ඔහුගේ මුහුණේ සිනාරැල්ලක් ඇඳුනි…

ඔබ දන්නවා මහාචාර්ය තනතුරක වගකීමකට වඩා මට මේ වගේ තැනක විශාල කාර්ය භාරයක් කරන්න පුළුවන් බව…. හැරත්, මට ඒ මහාචාර්ය තනතුර ලැබුණෙ මගේ සුදුසුකම් වලටම වඩා මගේ පවුල් පසුබිමට…. මගේ පියාගෙ සුදුසුකම් නිසා මමත් ඔහු වගේම විශ්ව විද්‍යාලයට කීර්තියක් අත්කරදේවි කියා ඔවුන් හිතන්න ඇති.

ඔබ හිතනවද ඔබේ පියාගෙ තනතුරු සහ සම්බන්ධතා මේ ස්ථානයේ සේවයට බාධාවක් වේවි කියා..

නැහැ… මගේ පියා ඉන්නෙ කැලිෆෝනියාවෙ.. ඒ වගේම ඔහුගෙ විෂය ක්‍ෂෙත්‍රය මෙයට කිසිම අදාලතාවයක් නැහැ… ඔහු රසායන විද්‍යාව පිළිබඳ විශේෂඥයෙක්…. ඒ වගේම ඔහුගෙ තනතුරු මෙයට අදාල වෙන්නෙ කොහොමද කියලා මට තේරෙන්නෙ නැහැ… නමුත් ඔහුගේ සම්බන්ධතා මගේ මහාචාර්ය පදවියට නම් බලපාන්න ඉඩ තිබෙනවා.

මැතිව්… ඔබ දන්නවා ඔහු තිස්තුන්වන මට්ටමේ මේසන්වරයෙක් (33rd Degree Free Mason) බව…

මම විතරක් නොවෙයි… මේ මුළු ලෝකයම දන්නවා…. ඔහු එය හංගන කෙනෙක් නොවෙයි… ඔබ නොදන්නවාට සොලමන් පරම්පරාවම මේසන් වරුන්… අමතක කරන්න එපා අපේ පරම්පරාව පැවත එන්නෙ සොලමන් රාජ පරම්පරාවෙන් කියලා….

මැතිව් පෙරළා පිළිතුරු දුන්නේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ අන්දමටය….

ඒත්, මට හිතාගන්න බැරි ඇයි ඔබලා මේ මගේ අතිශය පෞද්ගලික කාරණා මෙතැනට ඇදලා ගන්නෙ කියලා.. මම මෙතැනට ආවෙ ඒ සම්බන්ධකම් නිසා නොවෙයි.. මගේ සුදුසුකම් අනුව… ඔබ හිතනවා නම් මම මෙතැනට නුසුදුසුයි කියලා ඔබට තිබුණා අපි හැමෝගෙම කාළය නාස්ති නොකර මෙය මුලදිම නවත්වන්න..

ඉහළම සුදුසුකම් ඇති, කේවල් කළ නොහැකි ලෙස අදාල තනතුරට සුදුසු අපේක්‍ෂකයින් සමහරවිට සිය පෞරුෂත්‍වය විදහාලනු වස් සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලය ඉදිරිපිට පාරම් බෑවත්, මැතිව් සොලමන් එසේ මෙසේ පුද්ගලයෙකු නොවන බව ඔහුව පරීක්‍ෂණයට භාජනය කරන සිවු දෙනාම හොඳින්ම දැන සිටි කරුණකි. මැතිව් සොලමන්ගේ පියා කැලිෆෝනියාවේ ස්ටැන්ෆර්ඩ් සරසවියේ රසායන විද්‍යා අංශයේ මහාචාර්ය එඩ්වඩ් සොලමන් වේ. සොලමන් පරම්පරාව පැවත එන්නේ ක්‍රිස්තු පූර්ව 970-931 දක්වා ජෙරුසෙලමේ රජකම් කළ සොලමන් රාජ පරම්පරාවෙන් යැයි විශ්වාසයක් පවතී. ජෙරුසලමේ පළමු පල්ලිය තැනුවේ සොලමන් රජතුමා විසින්ම ඇඳි සැලසුමකට අනුව යැයි පුරාවෘතවල සඳහන්වේ. කළෙක ඉතා රහසිගත සමාජයක් වූ නමුත් දැන් දැන් ප්‍රසිද්ධියේම හැසිරෙන Free Mason වරුන් හා සොලමන් පරම්පරාව  අතර වූ සම්බන්ධය සමහරු බැහැර කරතත්, සොලමන් පරම්පරාව සිය  මුතුන්මිත්තන්ගේ රාජකීය තේජස මෙන්ම රාජකීය රුධිරය පිළිබඳ තවමත් ආඩම්බර වෙමින්  එය රැකගනිමින් ඉදිරියට ගමන් කරති.

මැතිව්… මතක තියාගන්න ඔබ ඇවිත් තිබෙන්නේ සම්මුඛ පරීක්‍ෂණයකට මිසක් පුවත්පත් සාකච්ඡාවකට නොවෙයි…. අද්මිරාල් රිචඩ් බවර්ගේ කටහඬ දැඩි විය….

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

666……………. මේක මෙයාගෙ ජීවිතයට බොහොම සමීප අංකයක් වෙලා තියෙන්නෙ ඇයි කියලා දැනුයි තේරෙන්නෙ… මටත් අමතක වුන හැටි…ඒත්… මෙච්චර සංයමයක් තියෙන කෙනෙක් ඇයි මේ වගේ සිදුවීමකදි මෙච්චර හැඟීම්බර වෙන්නෙ ? මිනිහා රාජකාරියෙදිත් මේ වගේ වුනොත් අපට මෙයා සුදුස්සෙක් වෙයිද ?

සිය පරිඝණක මොනිටරය දෙස බලාගෙන ජෙනරාල් වෙලිංටන් තනිවම කල්පනා කරන්නට පටන් ගත්තේය…