පිටස්තරයා 17


EP-17විශ්වට දැන් සෑහෙන සනීපයි… බොහොම උනන්දුවෙන් ව්‍යායාම කරනවා… ඉක්මනටම ගෙදර යන්න ඕන වෙලා වගේ…. විශ්ව බැලීමට පැමිණි සුමනසේකර යුවලට වෛද්‍ය ගීතිකා ගුණසේකර සිනාමුසු මුහුණින් පැවසුවාය…

ඩොක්ටගෙ අත්ගුණේ තමයි…. අපේ පුතා හොඳට බලාගත්ත නිසාම එයාට ඉක්මනින්ම සනීප වුනා… තව කොච්චර කාළයක් විතර යයිද සම්පූර්ණයෙන්ම සනීප වෙන්න ?

දැන් නම් සියයට අනූවක්ම හොඳයි… අනතුර සිදු වුනාට පස්සේ අපි හිතපු තරම් විශ්වගේ මනස කැළඹිලා නැහැ.. මානසිකත්‍වය නම් ඉක්මනටම යථා තත්ත්‍වයට පැමිණියා… නමුත් කකුලේ අස්ථියක් බිඳී ඇති නිසා තමයි මෙච්චර කාළයක් ගත වෙන්නෙ පුනරුත්ථාපනයට… අපි විශ්වට තවම පාදයට සම්පූර්ණ බර දරන්න දෙන්නෙ නැහැ.. මොකද කියනවා නම් කකුලෙ අස්ථි සවි වෙන්න තව ටික කලක් ගතවෙන නිසා… අපි තව සතියකින් පමණ තමයි විශ්වගෙ අළුත් වෛද්‍ය වාර්තා ලබා ගන්නෙ.. ඒ අනුව තමයි කියන්න වෙන්නෙ මොකද්ද තත්ත්‍වය කියලා….

ඉතිං ඩොක්ට, විශ්වට තනියම වැඩ කර ගන්න තව කොච්චර විතර කාළයක් යාවිද ? සුමනසේකර මහත්මියගෙ කුතුහලය වැඩි කමටම දැඩිව ප්‍රශ්න කෙරුණා.

කලබල වෙන්න දෙයක් නැහැ.. විශ්වට තව සතියක් වගේ යනකොට කිහිළිකරු ආධාරයෙන් තනිවම ඇවිදින්න පුළුවන් වේවි. කොහොමත් ඔබ දෙදෙනාත් විශ්වගේ මිතුරියත් ඉන්නවනේ විශ්වගේ වැඩ කටයුතු බලා ගන්න….

ඒ වුනත් ඩොක්ට ඒ ළමයටත් වැඩ නෙ… කොහොමත් එයා ආවයි කියලා මම හිතන්නෙ නැහැ විශ්වගේ වැඩකටයුතු එයා අතින් කෙරේවි කියලා.. ඒ ළමයා විශ්වගේ වැඩපොලේ යාළුවෙක් විතරනෙ..

වෛද්‍යවරියගේ මුවඟ ඇඳුන සිනාරැල්ලේ අරුත කුමක්දැයි වටහා ගැනීමට තරම් අවධානයක් සුමනසේකර මහත්මියට නොතිබුණත්, සුමනසේකර මහතා යමක් අවබෝධ කරගත්තාක් මෙන් හිස සලා මඳ සිනාවක් පෑවේය.

ඩොක්ට ඇමරිකාවට ඇවිත් ගොඩක් කල්ද ? අවසන සුමනසේකර මහතා වෛද්‍ය ගීතිකාගේ පෞද්ගලික තොරතුරු දැනගැනීමේ අටියෙන් විමසුවේය.

ඔව්.. දැනට අවුරුදු නවයක්  පමණ වෙනවා. මම මුලින්ම ආවෙ ආචාර්ය උපාධිය කරන්නයි. නමුත් මුලින් කරන්න හිටි අංශය වෙනස් කරලා  වොල්ටර් රීඩ් එකට බැඳුනා භෞත චිකිත්සක පර්යේෂණ කරන්න, සහ වෛද්‍ය සේවාව කරන්න.. මේ වගේ රෝහලක එවැනි පර්යේෂණ කරන එක තරමක් ලේසියි… අපට ඉගෙන ගන්න පුළුවන් වෙනවා වගේම මේ රටටත් බොහොම ලොකු සේවයක් වෙනවා… ඒ නිසා මම මේකට කැමතියි..

ඒ වුනාට මෙතැන වැඩිපුර යන්නෙ සොල්දාදුවො නේද ?

ඔව්.. යුද්ධයෙන් අතපය කැඩිලා එන සොල්දාදුවෝ ඔක්කොම වගේ ප්‍රතිකාර ලබන්නේ මෙතැන.. ඒ අයගේ අවශ්‍යතා විවිධයි. ඒ නිසා ඒ අයගෙ විවධාකාර ගැටළු වලට අපේ පර්යේෂණ හරහා පිළිතුරු සොයන එක සහ ඒ සියල්ල වාර්තා කරන එක තමයි මගේ පර්යේෂණය.. ඒ නිසා අනාගතයේ ඇතිවන ගැටළු වලට අළුතෙන් පර්යේෂණ කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ.. එක් එක් ගැටළුවට වෙන වෙනම විසඳුම් සියල්ලම අපි ලේඛණගත කරලයි තියෙන්නෙ… වෙන එකක් තියා නියපොත්තක් ගැලවුනත්, ඒකටත් වෙනම සැකසුන විසඳුමක් තිබෙනවා. ඒ තරම් මේ ස්ථානය ක්‍රමාණුකූලයි. ඒ නිසාම තමයි විශ්වගේ පුනරුත්ථාපනය මේ තරම් ඉක්මන් වුනේ..

මට තියෙන ප්‍රශ්නය ඇයි විශ්ව වගේ කෙනෙක් මෙතැන ප්‍රතිකාර ගන්නෙ ? එයා හමුදාවට සම්බන්ධ කෙනෙක් නෙවෙයි නේද ? වෛද්‍ය ගීතිකා ඇසුවෙ තමන්ටත් මේ සිදුවීම තේරුම් ගන්න බැරි නිසා.

අපිත් හරියටම දන්නෙ නැහැ ඩොක්ට.. එයා වැඩ කරන ආයතනය නම් හමුදාවට සම්බන්ධයි ලු… ඒ නිසා වෙන්න ඇති.. ඩොක්ට විශ්ව එක්ක පෞද්ගලික තොරතුරු කතා කරන්නෙ නැද්ද ?

නැහැ…. මම මේ සතියෙම කළේ විශ්වගේ මනස යථා තත්ත්‍වයට ගෙන එන එකයි.. මේ වෙනතෙක් මම අවම වශයෙන් පවුලෙ තොරතුරුවත් ඇහුවෙ නැහැ. ඒක මානසික සමබරතාවයට බාධාවක්.. දැන් විශ්ව සෑහෙන දුරට මානසිකව ශක්තිමත්… අපි මේ සතියෙ කරන අභ්‍යාස අනුව මම ඒ පැත්තට යොමු වෙනවා.. ඒ වගේම එයාට වාහන පදවන්න බයක් තිබෙනවාද කියන එකත් දැනගන්න වෙනවා.. මොකද කියනවා නම් එයාට සිහිය නැති වුනේ වාහනයක් පදවමින් සිටින අවස්ථාවෙ නිසා, ආයෙම වාහනයක් පදවන්න ගියොත් එයාට තිගැස්මක් වගේ එන්න පුළුවනි. ඒ නිසා අපි ඒ පැත්තෙනුත් මානසිකව පුනරුත්ථාපනය කරන්න වෙනවා.

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

අපට හොඳ වෙලාවට මේ එපාට්මන්ට් එක ළඟම එකක් ලැබුණෙ. එෆ් බී අයි ඒජන්ත ජේසන්  සිය සගයා වූ මයික්ට පැවසුවේ සතුටිනි.

ඔව්. එතකොට අපට වෑන් අස්සෙ කර වෙන්න ඕන නැහැ.. ඔක්කොම උපකරණ ටික මේ ගෙදරම හයි කරලා අල්ලපු ගෙදර සිද්ධ වෙන දේවල් බලා ගන්න බැරියෑ. අපේ නිවාස ප්‍රශ්නෙත් ඒත් එක්කම විසඳෙනවා..

ඒ වුනාට කොච්චර කාලෙකටද දන්නෙ නැහැනෙ… එක්කෝ මිනිහව අල්ලගන්න වෙනවා… නැතිනම් අතාරින්න වෙනවා.. මේ දෙකෙන් එකක් සිද්ධ වෙන්න වැඩි කාළයක් යන්නෙ නැහැ…

අපට දැන් කරන්න තියෙන්නෙ ඔක්කොම උපකරණ ටික හයි කරලා මිනිහා ගෙදර එන්න ඉස්සරවෙලා ඒ ඔක්කෝම ටෙස්ට් කරන එකයි… එතකොට මිනිහා ගෙදර ආවම ඔක්කෝම ටික පටිගත කරගන්න පුළුවනි.

ගවනර්ස් කෝනර් නිවාස සංකීර්ණයේ හත්වන තට්ටුවේ වෙන් කරගත් නිවාස ඒකකය වෙත සිය බඩුභාණ්ඩ සහ විදුලි උපකරණ රැගෙන යන අතර ජේසන් සහ මයික් දෙදෙනා කතා කළේ තමන්ගේ ඉලක්කය පිළිබඳ රහස් විමර්ෂණය කවදා නිම වේද යන්නය.. තවමත් කෙළවරක් නොපෙනෙන මේ විමර්ෂණය එක්කෝ සඵල කටයුත්තක්ද, නැතහොත් නිශ්ඵල කටයුත්තක්ද යන්න කිසිවෙකු දැන සිටියේ නැත. තමන් සැලසුම් කළ අනතුර අනපේක්‍ෂිත ලෙස සැමගේම සැලසුම් වෙනස් කළ නිසා තමන්ට නැවතත් වැරැද්දක් සිදු කිරීමේ අවකාශයක් නොමැති බව දෙදෙනාම දැන සිටියහ. කෙතරම් පුරුදු පුහුණු වී සිටියත් සැලසුමක සරළ වෙනසක් ජීවිතයක ඉරණම වෙනස් කළ අයුරු දෙදෙනාටම තමන්ගේ කාර්යයේ අවදානම නැවත නැවතත් සිතා බැලීමට මතක් කර දුනි. ඒ නිසාම සිය කාර්යයන් සහ සැලසුම් දෙතුන් වතාවක් නොව ඊටත් වඩා වැඩි වාර ගණනක් නැවත නැවතත් සැලසුම් කර ක්‍රියාවට නැංවීමට දෙදෙනාම කතා කර ගත්හ.

ඒ අනුව මුලින්ම ගවනර්ස් කෝනර් නිවාස සංකීර්ණයේ වූ විශ්වගේ නිවසට යාබද නිවස වෙන්කරවා ගැනීමට ඔවුහු කටයුතු කළහ. ඒ නිසාම විශ්වගේ නිවසේ සවි කළ ඉතා සූක්‍ෂම කැමරා සහ මයික්‍රෆෝන වලින් ලැබෙන සංඥා කිසිදු බාධාවකින් තොරව පටිගත කිරීමේ හැකියාව ඔවුනට ලැබේ. විශ්ව නිවසේ නැති නිසාම සහ විශ්වගේ නිවසේ දැනට වාසය කරන්නේ විශ්වගේ මාමා සහ නැන්දා වන සුමනසේකර යුවල නිසා සිය පටිගත කිරීමේ කටයුතුවල විශ්වාසනීය භාවය මැන ගැනීමටද එය උපයෝගී වන බව දෙදෙනාම දැනහුන්හ.. මේ නිසා ඉක්මනින්ම නිවසට පැමිණ සිය උපකරණ සවි කර ඒවායේ ක්‍රියාකාරීත්‍වය සහතික කර ගැනීම දෙදෙනාගේම අභිප්‍රාය වී තිබිණ..

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

සෙනෙටර්ස් ක්ලබ් ආපනශාලාව අමුත්තන්ගෙන් පිරී පැවතුනි.. සෑම අවස්ථාවකම එය ඉහල පැලැන්තියේ අමුත්තන්, සෙනෙට් සභිකයින්, ආණ්ඩුකාරවරුන්, ආදී දේශපාලනඥයින්ද, ඒ අයට සම්බන්ධ ඉහළ තනතුරු දරන නිලධාරීන් මෙන්ම ඇමරිකානු රහස් ඔත්තු සේවයේ නිලධාරීන්, දේශපාලනිකයින්ගේ ආරක්‍ෂක භටයින්, ඔත්තුකරුවන්, ආදී විවිධාකාර පුද්ගලයින්ගේ හමුවීම් සිදු කෙරෙන ස්ථානයක් බවට සෙනෙටර්ස් ක්ලබ් ප්‍රසිද්ධව පැවතියා පමණක් නොව ඒ නිසාම එහි ආරක්‍ෂාවද ඉතා තදින් පැවතිණ… සාමාන්‍ය මිනිසෙකුට මේ ස්ථානයට යා හැක්කේ එක්කෝ උසස් පුද්ගලයෙක් ගේ ආරාධනාවක් හෝ එවැනි පුද්ගලයෙක් කැටුව පමණි. ආරක්‍ෂක අංශයේම පිරිසක් විසින් පවත්වාගෙන යන මෙය නිරන්තරයෙන් ඇමරිකාවේ ඔත්තුසේවා හා සම්බන්ධව පවතින ස්ථානයකි.

ආපන ශාලාවේ රථගාලට සිය රථය ඇතුළු කරන විටම කිසියම් පුද්ගලයෙක් පැමිණ සිය රථය නතර කරන ලෙස මොලීට සන් කළාය.

රථය නතර කර එයින් බැසගත් මොලී සිය හැඳුනුම්පත ඔහු වෙත දිගු කළාය… මොලී වෙත මඳ සිනහවක් පෑ ඔහු සිය නවීනතම ජංගම පරිඝණකයේ විවරයක් හරහා එය වරක් ඇදගෙන ගොස් කිසියම් අංක කිහිපයක් ඇතුලත් කළේය…

ඔබ එනතුරු ඔහු මඟ බලාගෙනයි ඉන්නෙ… ඉක්මනටම යන්න….

සිය ඥාතියා නොදන්නා ආරක්‍ෂක අංශයේ කෙනෙකු වේදැයි කල්පනා කරමින්ම මොලී සිය අත්බෑගයෙන් ගත් කුඩා කණ්නාඩියෙන් බලා සියල්ල නිසි ලෙස පවතින බව සහතික කරගෙන සෙනෙටර්ස් ක්ලබ් අවන්හලේ දොර හැරගෙන එයට ඇතුළු වූවාය….

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

දැන් කොහොමද කකුල ? වෛද්‍ය ගීතිකා ගුණසේකර විශ්ව සමඟ රෝහල් උද්‍යානයේ සෙමෙන් ඇවිදින අතරතුර ඇසුවාය….. රෝහල් උද්‍යානයේ විවිදාකාර ආබාධවලට ලක් වූ සොල්දාදුවන් සිය පුනරුත්ථාපන වෛද්‍යවරු සහ උපස්ථායකයන් සමඟින් ව්‍යායාම කිරීම මෙහි සුලභ දසුනකි.

දැන් නම් සෑහෙන හොඳයි…. ගොඩක්ම බර දෙනකොට පොඩ්ඩක් රිදෙනවා… ඒ හැරෙන්න වෙන අමාරුවක් නැහැ… කොහොමත් මම ෆුට්බෝල් ගහන්න යන්නෙ නෑනෙ… ඒ නිසා මේ ගාණට බේරුණා ඇති..

ඇත්තටම විශ්වට මොකද හිතෙන්නෙ අනතුර ගැන… ? දැන් ඉතින් බය එහෙම අඩු වෙලා නෙ තියෙන්නෙ… කියන්න පුළුවන් නම් කියන්න……..

කියන්න බැරි කමක් නෑ ඩොක්ට…. මට එහෙම ප්‍රශ්නයක් නෑ… නමුත්, මට හිතා ගන්න බැහැ අනතුර වුනේ කොහොමද කියලා….. මොකද කියනවා නම් මම ගේට්ටුවෙන් පාරට කාර් එක දාලා ටික වෙලාවක් යනකොට තමයි මේ ලොකු ට්‍රක් එක මගේ පස්සෙන් එන්න ගත්තෙ…. මම ඒකට ඉඩ දුන්නත්, එයා නෙවෙයි මාව පසු කරලා ගියේ…. ඒ පුද්ගලයා කවුද කියලා බලන්න මම පිටුපස බලන කණ්නාඩියෙන් බලද්දිම තමයි එකපාරට ඒකේ වේගය වැඩි වුනේ… මම එතකොටම අනිත් ලේන් එකට කාර් එක දානකොටම තමයි මගේ පැත්තෙන් ඇවිත් වාහනේ හැප්පුනේ… හැප්පුන වේගයට ඒ ට්‍රක් එක පෙරළුනා… ඒත් එක්කම ඉදිරිපස වායු බැග් එක පුපුරලා විවෘත වුනා… ඒ කම්පනයට තමයි මගේ සිහිය නැති වුනේ…

ඔයා දවස් ගණනාවක් සිහිය නැතිව හිටියා… හැමෝටම හරිම පුදුමයි ඔයා අද මේ තත්ත්‍වයෙන් ඉන්න එක ගැන… බොහෝ දෙනා බලාපොරොත්තු වුනේ නැහැ මෙච්චර ඉක්මනින් සිහිය ඒවි කියලා…. මම හිතන්නෙ අද අපට ගොඩක් දේවල් කතා කරන්න හොඳ දවසක්….

ඇය පසෙක වූ බංකුවක වාඩි වෙන අතරම විශ්වට ද ඉඳගන්නා මෙන් සන් කළාය…..

කොහොමද දැන් පපුව ?

මගේ පපුව ඉතිං කවදත් හොඳයි නෙ …. විශ්ව සිනාසෙමින් පැවසුවේය….

කාලෙකින් මම ඔයාගෙ මේ වෙනස දැක්කෙ….. ඒක බොහොම හොඳ ප්‍රවණතාවයක්…. විශ්වගෙ මාමයි නැන්දයි බොහොම වද වෙනවා විශ්ව ගැන….. ඒ දෙන්නා ලංකාවෙ ඉඳලම මෙහේ ආවෙ ඔයා වෙනුවෙන්මයි…

ඔව් ඩොක්ට….. මම ඒ ගැන හොඳටම දන්නවා…..

මට ඩොක්ට කියන්න ඕන නෑ … ගීතිකා කියන්න… මේක ඇමරිකාව…..

හොඳයි ගීතිකා… අම්මයි තාත්තයි නැතිවුන දා ඉඳලා මට අම්මයි තාත්තයි වුනේ ලොකු මාමයි ලොකු නැන්දයි… ඒ දෙන්නට ළමයි නැති නිසා මං ගැන වද වෙනවා හැම තිස්සෙම..

අම්මයි තාත්තයි නැතිවුනේ කොහොමද ?

මගේ තාත්තා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම උපදේශකවරයෙක් වෙලා හිටියෙ…. රාජකාරියෙ යෙදිලා නිවාඩුවක් අවසාන කරලා එන කොට ලෙබනනයෙදි වෙච්ච අනතුරකින් අම්මයි තාත්තයි නංගියි තුන්දෙනාම මියගියා… දැන් ඒක සිදු වෙලා සෑහෙන කලක්…. ඉස්සර නම් මට ඒ කම්පනය තදින්ම දැනුනා…. දැන් නම් තනිවම ජීවත් වෙන්න පුරුදු වෙලා එච්චරම දුකක් නෑ…..

මට තේරෙනවා… මට අම්මයි තාත්තයි දෙන්නමත් ලංකාවෙ ඉඳලා මේ තනියම මෙහාට වෙලා ඉන්නකොට දැනෙන තනිකම…. ඔයාට ඒක කොහොම දැනෙනවද කියලා මට හිතා ගන්න පුළුවන්…. ඉතිං මොලී ඉන්නවනේ ඔයාගෙ තනියට….

මොලී මගේ මිතුරියක් විතරයි… අපි අතරෙ ඊට වඩා සම්බන්ධයක් නෑ…. මොලී හම්බවෙලා මාසයක්වත් නැහැ…

ඒ වුනාට ඔයා දැඩි සත්කාර ඒකකයෙ ඉන්න දවස් හැම එකකම මොලී ඔයාව බලන්න ආවා කියලා ඩොක්ට මට කිවුවා… සිහිය ආපු වෙලාවෙ ඉක්මනටම ආවෙ එයා… සාමාන්‍ය මිතුරියක් නම් එහෙම විශේෂත්‍වයක් දක්වන්නෙ නැහැ නේද ?

ඔව්… මටත් තේරෙනවා මොලී මට කිසියම් විශේෂතාවයක් දක්වනවා කියලා…. නමුත් මට තවම එහෙම ලොකු විශේෂත්‍වයක් දැනෙන්නෙ නැහැ… මම දන්නෙ නැහැ ඒ මම ගැහැණු ළමයෙක් සමීපව ආශ්‍රය කළේ නැති නිසාද කියලා…

නැහැ… ඒ නිසා නෙවෙයි… මානසිකව තවම ඔයා සූදානම් නැහැ ඒ තත්ත්‍වයට එන්න…. මම හිතන්නෙ ඔයා තනිව හැදුන නිසා ඔයාගෙ මනස තවම තනිකමින් ඉවත් වෙන්න කැමැත්තක් නැහැ… නැතිනම් ඔයා කැමති නැහැ සම්බන්ධතාවයක් නිසා ඔයාගෙ පෞද්ගලිකත්‍වයට හානි පැමිණෙනවට… ඔයාට පෙම්වතියක් ඉඳලම නැද්ද කවදාවත් ? මම මේ අහන්නෙ මානසික වෛද්‍යවරියකගෙ කෝණයෙන්… වරදවා වටහා ගන්න එපා…

 

Advertisements

තිරිහන් වන්න ක්‍රමයක් මෙන්න…


Be Young

උපන්දා සිට නවත්වන්න බැරි එකම දේ නම් වයසට යාමයි. ඒ වුනත්, විවිධාකාර පුද්ගලයන් වයසට යන වේගය එකිනෙකාට වෙනස්. සමහරුන් කෙතරම් වයසට ගියත් තරුණ පාටයි, තරුණ ජවයකින් වැඩ කරනවා. තවත් සමහරු වයසට වඩා මහළු පෙණුමයි. වැඩත් හිතන පතන ආකාරයත් බොහොම වයසක පුද්ගලයෙක් වගේ. තවත් සමහරු රූපලාවණ්‍ය ආලේපන මගින්, ප්ලාස්ටික් සැත්කම් මගින්, හෝ වෙනත් ඖෂධ මගින් තරුණ පෙනුම රැකගන්න මහා උත්සාහයක යෙදෙනවා. තවත් සමහරු ආහාර පාලනය මගින්, පෝෂ්‍යදායී ආහාර ගැනීම මගින් වයසට යාම පාලනය කිරීමට උත්සාහ කරනවා.

ඒ වගේම සත්ත්‍ව ලෝකයේ ආයු කාලයත් විවිධාකාරයි. ඉබ්බෙක් අවුරුදු 200 ක් පමණ ජීවත් වෙද්දි තවත් සතෙකුගේ ආයු කාළය දවස් දෙකක් පමණ වෙනවා. මේ හැම සතාම උපත – විපත අතරේ තමන්ගේ ජීවිතය ගැටගසා ගන්න තරඟයක යෙදෙනවා. බැක්ටීරියා සහ සරළ සත්ත්‍වයන් අමරණීයයි. සමහර ශාක අවුරුදු සියගණනක් හෙමින් හෙමින් වැඩෙනවා – ඒවා අමරණීයයි. තවත් සමහර ශාක කුඩා කාළයක් තුළ වැඩිලා ඊලඟ පරම්පරාවත් බිහි කරනවා, නැතිනම් මොටෙයියන් බිහිකර තමන්ගේ ජාන ඉදිරියට ගෙන යනවා.  මිනිසුන් බුද්ධියෙන් ඉහළ නිසාම මේ දේවල් පාලනය කරලා ස්වභාව ධර්මයේ නියමයන් වෙනස් කරන්න උත්සාහ කරනවා. මේ මොනවා වුනත් කවුරු මොනවා කළත්, නවත්වන්න බැරි එකම දේ වයසට යාමයි.

වසර බිලියන 3.7 කට පමණ පෙර ජීවය ඇති වූ කාළයේ ඒක සෛලික විභජනය මගින් බැක්ටීරියා, ප්‍රෝකැරියෝට ජීවීන් ආදිය සිය දරු පරම්පරාව බිහි කරද්දී ඔවුන් සරළවම අනන්ත කාළයක් ජීවත් වුනා – තවමත් ජීවත් වෙනවා. නමුත් සත්ත්‍වයා පරිණාමය වෙමින් පැමිණ වසර බිලියනයකට පමණ පෙර දිලීර වර්ගවල ලිංගික ප්‍රජනනය ඇරඹූ විට සහ වසර මිලියන 320 කට පමණ පෙර බීජ නිෂ්පාදනය ඇරඹුන විට සත්ත්‍වයාගේ අමරණීයත්‍වය අහිමි වුනා. මක් නිසාද යත්, තමන්ගේ ජාන ඊලඟ පරම්පරාවට ඒ ආකරයෙන්ම සම්ප්‍රේෂණය වීම අවශ්‍යතාවයක් නොවුන නිසා. කෙසේ වුවත් සරළ සෛලවල අමරණීයත්‍වය පිළිබඳ මතය තරමක් විවේචනයකට ලක් වූයේ ඊ කෝලයි සෛල බෙදීමේදී හඳුනාගතහැකි ලෙස වෙනත් සෛලවලට බෙදීම සිදු වීම නිසායි. මෙය මීට පෙර සරළ සත්ත්‍වයන්ගෙන්  නිරීක්‍ෂණය කර තිබුණේ නැහැ.

මහා භද්‍රකල්පය මුල කල්ප ලක්‍ෂයක් ආයුස තිබුණු මිනිසා, කකුසඳ බුදුන්ගේ සමයේ අවුරුදු 40000 ක් ජීවත් වුනාලු. ගෞතම බුද්ධ කාලයේ මිනිසකුගේ ආයු කාළය වසර 120 ක් යැයි පැවසෙනවා. විද්‍යාත්මක දත්තවලට අනුව නුදුරු අනාගතයේ වෛද්‍ය විද්‍යාවේ සහ තාක්‍ෂණයේ බල මහිමයේ මිනිසකුගේ උපරිම ආයු කාළය වසර 115 ක් බවට පත් කළ හැකියි. මේ වනවිට වාර්තා වූ වැඩිම ආයු කාළයක් විඳි පුද්ගලයා වන්නේ ප්‍රංශ ජාතික කාන්තාවක් වූ Jeanne Louise Calment. ඇය අවුරුදු 122 ක් සහ දින 164 ක් ජීවත්ව 1997 දී මියගියා.

මිනිසුන් වයසට යාම කාළයත් සමග සිදුවන භෞතික, මානසික සහ සමාජයීය වෙනස්කම් ලෙස සරළව හැඳින්විය හැකියි. ඉතා කඩිසර ළමා සහ තරුණ කාළයක් ඇති අපි, මැදිවිය එළැඹෙන විට අපේ ප්‍රතික්‍රියා කාළය සහ යම් ක්‍රියාකාරකමක් නිසා වැයවන ශක්තිය නැවත යථා තත්ත්‍වයට ගෙන ඒමට යන කාළය (Recovery Time) ක්‍රමයෙන් අඩු වෙනවා. මෙය අපේ ශරීරයේම ඇති සෛලවල සිදුවන වයසට යාම නිසා සිදුවන්නක්.  සාමාන්‍යයෙන් විද්‍යාගාර තත්ත්‍ව යටතේ මිනිස් සෛලයක් බෙදී යා හැක්කේ පනස් වතාවක් පමණයි. ඉන් පසු එම සෛලය මිය යනවා. ලොව පුරා දිනකට මිනිසුන් 150,000 ක් පමණ ස්වභාවිකව මිය යද්දී, එයින් 2/3 ක් පමණ මිය යන්නේ වයසට යාම නිසා.

විද්‍යාව කෙතරම් දියුණු වුනත්, වයසට යාම පිළිබඳ නිසි හේතුව මෙය යැයි කීමට තවමත් කිසිම කෙනෙකු සමත් වී නැහැ. දැනට පිළිගෙන ඇති මතයන් වන්නේ සෛල සහ DNA වලට සිදුවන හානි නිසා වයසට යාම සිදු වන බවයි. එහිදී සිදු වන්නේ විවිධ සාධක මත ජාන වැඩිපුර සක්‍රීය වීම හෝ අක්‍රිය වීම නිසා ඒවා සෛලවල සහ පටකවල ක්‍රියාකාරීත්‍වය අඩාල වීම සහ මානසික ක්‍රියාකාරීත්‍වය වෙනස් වීම නිසා වයසට යෑම සිදු වන බවයි.

සෛල සහ පටක වයසට යාම නිසා පිටතට දැනෙන ලක්‍ෂණ රාශියක් තිබෙනවා.

කුඩා කාළයේ දරුවන්ට කිලෝ හර්ට්ස් 20 ට වඩා තියුණු ශබ්ධ ඇසීම සාමාන්‍ය දෙයක්, නමුත් වැඩිහිටි වත්ම, මේ තියුණු ශ්‍රවණ ශක්තිය නොමැති වී යනවා. එසේම වයස විසි ගණන්වලදී ඥාණාත්මක ශක්තිය එසේත් නැතිනම් නව යමක් ඉක්මනින් ඉගෙන ගැනීමේ ශක්තිය හීන වනවා. මේ නිසා වයසට යත්ම අධ්‍යාපනයට යෙදිය යුතු ආයාසය වැඩි වනවා. එය සමාජයීය හෝ වෙනත් ප්‍රශ්න නිසා සිත එකඟ කර ගැනීමේ අපහසුතාවයන් නිසා පමණක් නොව, වයසට යාම නිසාත් සිදුවනවා. සමේ පිටත ස්ථර ආලෝකයට නිරාවරණය වැඩි වීම නිසා සම වසයට යාම ඉක්මන් වන්නේත් යෞවන විය ඉක්මවාගෙන යනවිටයි. ස්ත්‍රීන්ගේ දරුවන් බිහි කිරීමේ සඵලතාවය වයස 25න් පසු අඩුවන බව විද්‍යාත්මකව සොයාගෙන තිබෙනවා.  බොහෝ දෙනෙකුට වයස 35 වනවිටම හතලිස් ඇඳිරිය හැදෙන්නේ ඇසේ කාචයේ වූ α-crystallin ප්‍රමාණය අඩු වීම නිසා සිදුවන කාචය ඝණ වීම හේතුවෙන්. හොඳින් වැඩෙමින් පවතින හිසකෙස් ගැලවී යාමට පටන් ගන්නේත් සුදු වීමට පටන් ගන්නේත් වයසටයාම හේතුවෙන්. තට්ටය පෑදීම සියයට පණහක් පමණ පිරිමින්ටත්, සියයට විසිපහක් පමණ කාන්තාවන්ටත් දැකිය හැකි තත්ත්‍වයක්. එසේම හිසකෙස් සුදු වීමට පාරම්පරික සාධක සහ පාරිසරික සාධකද බලපානවා. කාන්තාවන්ගේ ආර්තවය නැවතීම වසර 45 ත් 55ත් අතරදී සිදු වන්නේ දරුවන් ලැබීමට සිරුර ඒ වනවිට අනුවර්තනය නොවීමේ හේතුවක් ලෙසින්, නමුත් සමහර කාන්තාවන්ට වසට 70 වනවිට වුවත් ආර්තවය සිදු විය හැකියි. වයස 60 පමණ වනවිට අස්ථි පද්ධතිය දුබල වෙමින් ආතරයිටිස් වැනි සංකූලතා ඇති වන්නට පටන් ගන්නවා. එසේම කාන්තාවන්ගේ අස්ථීන්ගේ කැල්සියම් ප්‍රමාණය අඩුවීම නිසා ඔවුන්ගේ අස්ථි කැඩීයාමට ඇති ප්‍රවණතාවයත් ඉතා වැඩියි. වසර 75 වනවිට සියයට පණහක් පමණ දෙනාට ඇසීමේ සහ කතා කිරීමේ දුර්වලතා ඇතිවීමට පටන් ගන්නේ පටක වයසට යාම නිසායි. එසේම කැටරැක්ට් වැනි පෙනීමේ දෝෂ නිසා අවුරුදු 80 පමණ වනවිට පෙනීම දුර්වල වන්නට පටන් ගන්නවා. තරුණ වයසේ කෙතරම් ශක්තිවන්තව සිටියත් අවුරුදු 85 පමණ වනවිට අපි බොහෝ දෙනාගේ චලන හැකියාවන් අඩු වන්නට පටන් ගන්නවා. ඒ වනවිට ජීවිත කාලය පුරාම ක්‍රියා කරමින් තිබූ හෘද පේශිවල ක්‍රියාකාරීත්‍වයද කෙමෙන් කෙමෙන් අඩු වන්නට පටන් ගන්නවා. මෙය හෘදයාබාධ වැනි තත්ත්‍වයනට හේතු වන නිසා බොහෝ දෙනා එක්කෝ මරණයට හෝ ඔත්පල භාවයට පත් වනවා. ශාරීරික වෙනස්කම් මෙසේ වුවත් වසර 65 පමණ වනවිට සිදුවන අමතකවීම්, ආදිය මෙන්ම තරහ යාම ආදී මානසික වෙනස්කම් පවා වයසට යාම නිසා සිදුවන බව සැලකිය හැකියි. මෙයට ඇල්ශයිමර්ස්, පාකින්සන්ස් සහ වෙනත් ස්නායුගත ආබාධ ලොකු දායකත්‍වයක් දක්වනවා.

වයසට යාම පාලනය කිරීමට මෙන්ම රෝග පාලනයටත් ලෝකය සුවිසාල මුදල් කන්දරාවක් වියදම් කරනවා. නමුත් වයසට යාම ඉක්මන් කරන සාධක ගණනාවක් දක්නට ලැබනෙවා. මේවා බොහෝ දුරට එක් එක් පුද්ගලයාගේ ජීවන චර්යාව හා බැඳී පැවතෙන දෙයක්. එයින් මූලිකම දෑ වන්නේ දුම්පානයයි. දුම්පානය නිසා කෙනෙකු දුම් නොබොන ඒ වයසේම කෙනෙකුට වඩා අතිශයින් වයසක පාටක් පෙන්නුම් කරනවා. සර්වසම නිවුන්නු යොදාගෙන කළ පරීක්‍ෂණයකදී දුම් නොබොන නිවුන් පුද්ගලයා දුම් බොන්නාට වඩා අවුරුදු පහක තරුණභාවයක් පෙන්නුම් කරන බව සනාථ වී තිබෙනවා. එසේම අධික මත්පැන් පානය නිසාද ශරීරයේ සෛල වයසට යාම ඉක්මන් කෙරෙනවා. කෙසේ වුවත් වයින් වැනි ප්‍රතිඔක්සිකාරක සංඝඨක අඩංගු මත්පැන් කිසියම් ප්‍රමාණයක් දිනපතා ශරීරගතවීම වයසට යාම පාලනය කරන බවත් සොයාගෙන තිබෙනවා. මෙයට අමතරව මානසික සතුට කෙනෙකුගේ පෙනුම වෙනස් කරන ප්‍රධාන සාධකයක්. තරහ නොගැනීම, නිතරම සතුටින් සිටීම, මානසික නිදහස ආදිය නිසා ශරීරයේ සිදුවන වෙනස්කම් පාලනය කළහැකියි. එයින් කෙනෙකුගේ මානසික වයෝවෘද්ධතාවය අඩුවන අතර එය ශරීරයටද බලපානවා. වයසට යාමට අකැමැති කෙනෙකු දිනපතා සුව නින්දක් ලබාගත යුතුමයි. නින්ද යනු අපේ දවසේ ගෙවී ගිය සෛල, මානසික විඩාව සුව කරන්නට ලබාදෙන විරාමයයි. මෙය නිසි ආකාරයට ලබා නොගතහොත් ඊලඟ දිනයේදී ක්‍රියාකාරීත්‍වයට සහ ජීවමය ක්‍රියාකාරකම්වලට බලපානවා. මේ නිසා හොඳ නින්දක් අත්‍යවශ්‍යමයි. ඒ හා සමානවම ඔබ ගන්නා ආහාර වේලත් වැදගත්. ඔබ මස් සහිත ආහාර වැඩිපුර ගන්නේ නම් ඔබේ ශරීරයේ මුක්ත ඛණ්ඩ නොහොත් නිදහස් ඉලෙක්ට්‍රෝණ සහිත සංයෝග තැනීමේ හැකියාව වැඩියි. මේ නිදහස් ඉලෙක්ට්‍රෝණ සහිත සංයෝග ඔබේ සෛලවල වූ විවිධ සංයෝග සහ සෛලීය ද්‍රව්‍ය සමඟ ප්‍රතික්‍රිියා කරනවා. එවිට ඒවා විකෘති වී සෛලවලට හානි පැමිණෙනවා පමණක් නොවෙයි පිළිකා වැනි දෑ සෑදීමටත් මූලික වනවා. මේ නිසා හැකිතාක් මෙම නිදහස් ඉලෙක්ට්‍රෝණ නසන ආහාර ගැනීම වැදගත්. එයට පෙර සඳහන් කළ රතු වයින් ඉතාමත් ගුණදායකයි. එමෙන්ම සීනි හෝ කාබෝහයිඩ්‍රේට භාවිතයත් අවම කිරීම වැදගත්. කාබෝහයිඩ්‍රේට සහ සීනි ශරීරය තුළ විඛණ්ඩනය වී අවසාන ඵලය වන්නේ ග්ලූකෝස් සහ ඒ හා ආශ්‍රිත සරළ සීනි වර්ගයි. මෙය වැඩවීම ශරීරයට හානිදායකයි. අවසාන ප්‍රතිඵලය වන්නේ දියවැඩියාවයි. දියවැඩියාව යනු නිහඬ මාරයෙක්. එය අධික රුධිර පීඩනය, වකුගඩු ආබාධ ආදිය වෙත නිරතුරුව අතවනනවා. මේ නිසා සීනි හා සීනි එකතු කරන ආහාර අවම කිරීම කාටත් ගුණදායකයි.  එසේම විවිධාකාර පැණිබීම වර්ග, සොසේජස් සහ මීට් බෝල්ස් වැනි සකසන ලද මස්වර්ග ආදිය බොහෝ ලෙඩරෝගවලට අතවනන සාධකයි. හැකිතරම් කෘත්‍රිම දෑ සහ රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාර අවම කිරීම දීර්ඝකාලීන දිවියකට අඩිතාලමයි.

අපි කවුරුත් ජීවත් වන්නේ සංකීර්ණ ලෝකයකයි. අපි හැම දෙනාම එකිනෙකාට කුමක් හෝ ආකාරයකින් බැඳී පවතිනවා. ලෝකයේ ලොකුම ධනපතියා සිට ලොකුම දුප්පතා හෝ අවාසනාවන්තයා තමන්ට ආවේණික ප්‍රශ්න ගොඩක් මැද ජීවත් වෙනවා. මේ ප්‍රශ්න බැරෑරුම්ව නොසිතා, ආතතිය අවම ආකාරයට ජීවිතය සකසා ගතහොත් මානසිකවද ඔබ සැහැල්ලුවට පත් වනවා. අපට ලැබෙන ප්‍රශ්න දෙවැදෑරුම් වෙනවා. ඒ තමන්ට පාලනය කළ හැකි දෑ සහ පාලනය කළ නොහැකි දෑ.. අපි බොහෝ දෙනා වද වෙන්නේ අපේ ප්‍රශ්නවලට වඩා අනුන්ගේ හෝ අනුන් විසින් අපට පැටවූ ප්‍රශ්න නිසා. පාලනය කළ හැකි දෑ පිළිබඳ සිත යොමුකර ඒවාට ප්‍රමුඛස්ථානය ලබා දී විසඳීමෙන් පසු පාලනය කළ නොහැකි දෑ වෙත සිත යොමු කිරීමෙන් මානසික පීඩනය අවම කළ හැකියි. සියදිවි නසාගැනීම් සියල්ලම වගේ සිදු වන්නේ මානසික සංකූලතා නිසා. මානසික ආතතිය නිසා ශරීරයේ සෛලවලට දැනෙන අපහසුතාවය ඉතා ඉහලයි. ඔබ ආතතියෙන් ඇතිවිට ශ්‍රාවය වන හෝමෝන ශරීරය වයසට යාම ඉක්මන් කරනවා. එය වලක්වාගැනීමට කළ හැකි හොඳම දේ ශරීරයට සතුට දනවන හෝමෝන ශ්‍රාවය කිරීමයි. එ් සඳහා ව්‍යායාම වලින් ලැබෙන උදව්ව අති මහත්. ව්‍යායාම කිරීම නිසා ශරීරයේ අනවශ්‍ය රසායනිකයන් දහඩිය හා මුසුව පිටතට පැමිණීමත්, හෝමෝන සංයුතියේ සමබරතාවය ඇතිවීමත්, මේද සහ අනවශ්‍ය කැලරි දහනය සිදුවීමත් සහ වෙනත් බොහෝ වාසි ලැබීමත් නිසා ශරීරය ප්‍රබෝධමත් වනවා. මෙය නිතැතින්ම ශරීරය තරුණ කිරීමක් වනවා. ව්‍යායාම කිරීමේදී එන්ඩෝෆින් නම් හෝමෝන ශ්‍රාවය වෙනවා. එසේම සතුටු හෝමෝන වන සෙරටොනින් ද සතුට දනවන හැඟීම් පහල කිරීමට දායක වනවා. මේ නිසා ව්‍යායාම කිරීමෙන් ඔබේ ශරීරය පමණක් නොවෙයි සිත ද සුවපත් වනවා.

මෙයට අමතරව බොහෝ දෙනෙකු සිය තරුණකම බලෙන් ලබා ගැනීමට විවිධ බටහිර ඖෂධ සහ ආලේපන ලබා ගන්නවා. මේ නිසා තාවකාලික තරුණබවක් ලැබුණත්, දීර්ඝකාලීනව ඔබ ඉක්මනින් වයසට යැවීමට මේ ඖෂධ හේතු වනවා. දීර්ඝකාලීනව හිරු එලියට නිරාවරණය වීමත් සම වයසට යාමට එක් හේතුවක්. ඝර්ම කලාපයේ වෙසෙන බොහෝ කාන්තාවන් අවුවේ යනවිට කුඩයක් හෝ තොප්පියක් භාවිතා කිරීම ඉතා වැදගත් වනවා. විලාසිතාවට අවුකණ්නාඩි පැළඳ සිටියත්, මුහුණට එයින් ආරක්‍ෂාවක් ලැබෙන්නේ නැහැ, එයින් ආරක්‍ෂා වන්නේ දෑස් පමණයි..

වයසට යාම නතර කළ නොහැක්කක් බව මෑතකදී සිදු කළ ගණනය කිරීම් වලින් පවා සනාථ වුනා. මේ සඳහා ශරීරයේ සෛල ඒකක වශයෙන් සහ සමූහ වශයෙන් ක්‍රියාකරන ආකාරය සළකා බැලුනා.  සෛල වයසට යාමේදී ඒ්වාට සිදුවිය හැක්කේ එක්කෝ ක්‍රියාකාරීත්‍වය අඩපණ වීම, සම්පූර්ණයෙන්ම ක්‍රියාකාරීත්‍වය නතර වීම හෝ නොනවත්වා අධික්‍රියාකාරී වී පිළිකා සෛල බවට පත් වීමයි. පසුගිය ඔක්තෝබර් 30 වනදා පළවූ වාර්තාවකට අනුව මිනිසුන් වයසට යාමේදී ඔවුන් මෙසේ පිළිකා සෛල නිපදවන බව සොයා ගෙන තිබෙනවා. එසේ වුවත්, ඒ සෛල පිළිකා ලක්‍ෂණ පෙන්වන්නේ නැහැ. මේ අනුව සිදුකළ ගණනයකදී සොයා ගත්තේ සෛල පවා “ශක්තිවන්තයා ජයගනී” යන ලක්‍ෂණය පෙන්වමින් දුර්වල සෛල බැහැර කෙරෙන බවයි. එසේ වුවත්, ඉතිරිවන සෛලද කෙමෙන් කෙමන් වයසට යන නිසා කිසිදු දිනෙක වයසට යාම නතර කළ නොහැකි බව නිගමනය කෙරුණා..

කෙසේ වුවත් වයසට යාම පාලනය කිරීම සමහර ආහාර මගින් කළ හැකියි. ලෝකයේ සෞඛ්‍යමත්ම ජාතිය ලෙස ඉතාලිය සහ විශේෂයෙන්ම මොනොකෝ කිරුළු දරා තිබෙනවා. ඔවුන්ගේ සුවිශේෂිත්‍වය වන්නේ මනා මානසික සමබරතාවය, හොඳින් ව්‍යායාම කිරීම,  පවුල් සම්බන්ධතා, අඩු ආතතිය සහ මධ්‍යදරණී පෙදෙස්වලට ආවේණික ආහාර රටාවයි. මෙහිදී ඉතා කුඩා ප්‍රමාණවලින් සමබර එළවලු සහ මාළු බහුල ආහාර වේල් ගැනීම විශේෂයි. දැන් ඉතාලියේ ඉපදෙන දරුවන් බොහෝ දෙනෙකු අවම වශයෙන් අවුරුදු 81 ක් ජීවත් වන බවයි ගණන් බලා ඇත්තේ. එහි දෙවනි ස්ථානය ලබා ඇත්තේ ලෝකයේ ප්‍රීතිමත්ම මිනිසුන් ජීවත්වන රට වන ස්විස්ටර්ලන්තයයි. ඔවුන්ගේද ආහාර රටාව සහ ඉහත කී සියළු හොඳ පුරුදු නිසා ජීවත්වන කාලය දිගු වනවා. ජපානය තෙවනි තැන ලබා ගන්නේද, ඉහත කී කරුණු කාරණා අඩු වැඩි වශයෙන් තබා ගනිමින්. එසේම ඔවුන් සිය ආහාරයට මාළු වර්ග සහ මුහුදු පැලෑටි එකතු කර ගන්නවා. ඔවුන් කළු තේ වෙනුවට ග්‍රීන් තේ බීමට රුසියන්. මේ නිසා ඔවුන්ගේ ශරීර තුළට නිතිපතා ප්‍රතිඔක්සිකාරක එකතු වනවා. මෙය දීර්ඝකාලීන ජීවිතයට උදවුවක්. අයිස්ලන්තය, සිංගප්පූරුව, ඕස්ට්‍රෙිලියාව, ස්පාඥ්ඥය, ස්වීඩනය, නෝර්වේ, නෙදර්ලන්තය, ආදී රටවල්  ද වඩාත්ම සෞඛ්‍යමත් මිනිසුන් ජීවත්වන රටවල් ලැයිස්තුවේ ඉහලින්ම සැලකෙනවා.

මේ සියළු ජාතීන්ගේ දිගු ජීවිත කාළයේ මූලික රහස වන්නේ නිසි ආහාර රටාව, ව්‍යායාම කිරීම, මානසික සමබරතාවය, පවුලේ අය සමග විනෝදවීම, අඩු ආතතිය, ආදී සරළව අනුගමනය කළ හැකි ජීවන රටාවේ වෙනසක් පමණයි. නමුත් අපේ රටේ මේ කිසිදු කරුණක් යහපත් ආකාරයකට නැති වීමම, මිනිසුන් බොහෝ ආත්මාර්ථකාමීවීම, නොනවතින තරඟයක නිරතවීම නිසා සිදුවන ආතතිය සහ මානසික අසංකූලතාවයන්, වස විශ සහිත ආහාර, අධික සීනි, පිටි, සහ මස් භාවිතය වැනි දෑ, අධික වාහන තදබදය සහ ඒ ආශ්‍රිත ආතතිය සහ අධික පරිසර දූෂණය, වායු දූෂණය, වැනි මිනිසා විසින්ම තනා ගත් පාරිසරික සාධක නිසා අපේ ජනතාව දිනෙන් දින සෞඛ්‍යය අතින් අගතියට යනවා විනා කිසිදු දිනෙක සෞඛ්‍යමත් ජාතියක් වන්නේ නැහැ. මේ නිසාම රජයට ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් වැය කිරීමට සිදුවන මුදල අතිමහත්, එමෙන්ම ජාතියක් රෝගී වනවිට ඒ රටෙහි ඵලදායීතාවය සහ සේවාවල කාර්යක්‍ෂමතාවය ඉතා දැඩි ලෙස පහලට යනවා. එවිට රටෙහි ආර්ථිකය දුර්වල වෙනවා.

සෞඛ්‍ය සම්පන්න රටකට කළ හැකි දෑ අති විශාලයි. ජාතීන් වශයෙන් ඇණකොටා ගනිමින් එකිනෙකා වඳ කිරීමට යත්න දරන කාලයේ සියළු දෙනා එක්ව රටක් වශයෙන් ජයගැනීමට උත්සාහ කිරීම සැමට උසස් දිවිපෙවෙතක් හිමිකරදීමට සමත් වේවි. රජයක් වශයෙන් අපට ලබා දිය හැක්කේ අඩු මිලට ඖෂධ සහ සෞඛ්‍ය සේවාවන් පමණයි. අන් සියල්ල අපි විසින් අපටම ලබාදිය යුතු සේවාවන්. නිවසේ කුඩා එළවලු පාත්තියකින් නෙලා ගන්නා සෞඛ්‍යාරක්‍ෂිතයි කියා තමන්ටම සහතික විය හැකි නැවුම් එළවලු සහිත ආහාර වේලක් ඔබේ සෞඛ්‍යය යහපත් කරවනු ඇති. නිවසේ කුණු කොම්පෝස්ට් කිරීමෙන් එයට අවශ්‍ය පෝෂණය ලබා ගත හැකියි. එවිට පරිසරයට කුණු එකතුවීමත් අවම වනවා. එම එලවලු පාත්තියේ ඔබේ කාලය ගත කිරීමෙන් මානසික සුවයක්, සුළු ව්‍යායාමයක් ලැබෙනු ඇති. ඔබේ පවුලේ අය එයට එකතු කර ගැනීමෙන්, පවුලේ එකට ගත කරන කාළය, මානසික බැඳීම ඇතිවනු ඇති… ආගමානුකූල වීම, භාවනාවට සිත යොමු කිරීම ආදිය නිසා ඇතිවන මානසික ප්‍රබලතාවයත් මිනිසා තිරිහන් කිරීමට සමත්.  මේ සියල්ල එකට එකතු වූ කල ඔබේ ජීවිතය තව දිනකින් හෝ දිගු වනු ඇති… තිරිහන් වීමේ සරළ රහස එයයි.

ඔබට දීර්ඝායුෂ !

පිටස්තරයා 16


EP-16

මේ වාර්තාව නම් සෑහෙන සංකීර්ණයි…..

ඒ මොකද එහෙම කියන්නෙ…. ඔයාම නෙ කිවුවෙ මේ වාර්තාව පැහැදිලි කරලා දෙන එක සුළු දෙයක් කියලා.

මම කිවුවා තමයි… ඒ වුනාට මේක හිතුවට වඩා සංකීර්ණයි… මේකෙ සංඝඨක කිහිපයක් මම වෙන් කරලා හඳුනා ගත්තා… නමුත්, මේකෙ සමහර වෙලාවට එකම සංඝඨකය විවිධ ප්‍රමාණ වලින් එක් එක් තෙල් වර්ගයේ තිබෙන්න පුළුවන්. මේ නිසා එක් එක් තෙල් වර්ගයට ආවේණික සංඝඨක වලින් තෙල් වර්ගය හඳුනා ගන්නවා විනා ඒවායේ ප්‍රතිශතයෙන් නම් කොහොමටවත් හඳුනාගන්න බැහැ.. උදාහරණයක් වශයෙන් පයිනීන් කියන සංඝඨකය අඩංගු වෙන්නෙ ටර්පන්ටයින් කියන තෙල් වර්ගයෙ.. ඒ නිසා අපට පුළුවනි මේ මිශ්‍රණයේ ටර්පන්ටයින් තිබෙන බව සහතික කරන්න.. සින්ජිබරීන් තියෙන්නෙ ඉඟුරු වල.. ඒ නිසා ඉඟුරුත් මේ මිශ්‍රණයේ අන්තර්ගතයි. එපමණක් නොවෙයි මස්ටර්ඩ් (අබ) පවා මේ මිශ්‍රණයේ තියෙනවා… මම කිසිම අවස්ථාවක දැකලා නැහැ මේ වගේ සංකීර්ණ මිශ්‍රණයක්.

සයන්ටිස්ට් රාහුල් ගුප්තා… ඔබ කියන්නෙ ඔබටත් මේ මිශ්‍රණයේ තියෙන සංඝඨක වෙන් වෙන්ව හඳුනා ගන්න බැහැ කියලද ?

ඔව්…. මට සමහරක් සංඝඨක හඳුනාගත්තත් සියල්ල හඳුනාගන්න අමාරුයි.. නමුත්, මේ සොයා ගත් දේ වලින් මට නිගමනය කරන්න පුළුවන් මේ මිශ්‍රණය යොදාගෙන තිබෙන්නෙ කිසියම් පිරිසිදුකාරකයක් විදියට බව.

ඒ වගේම ඔබ ගෙන ආපු පැලය අපි පරීක්‍ෂාවට ලක් කළා… ඒ පැළය කුඩා කාළයේ කුමක්ද කියා හඳුනාගන්න අමාරු වුනත්, එය Sylibum වර්ගයක් වන Milk Thistle නම් පැලෑටිය බවට හඳුනාගත්තා. එය සාමාන්‍යයෙන් ඇමරිකානු මහාද්වීපයේ වැඩෙන පැලෑටියක් නොවෙයි. නමුත් එය ඇට මගින් පැල කරගන්න පුළුවනි. එය වැඩෙන්නෙ මධ්‍යධරණී ප්‍රදේශ, උතුරු අප්‍රිකාවෙ සහ මැදපෙරදිග ප්‍රදේශ ආශ්‍රිතව. මේ පැලෑටිය අධික ඖෂධීය වටිනාකමක් තිබෙන පැලෑටියක්.

මොකද්ද ඒකෙ ඖෂධීය වටිනාකම ?

මේක විෂ හරණ පැලෑටියක් විදියට පුරාණ කාළයේ සිටම භාවිතා කරලා තිබෙනවා. මේ පැලෑටියේ ඇති සිලිමරින් කියන සංයෝගයේ ගුණ පිළිබඳ ඉතා දිගු කාළයක සිට පර්යේෂණ කෙරිලා තිබෙනවා. ඒ අනුව අක්මාවේ සිදුවන රුධිර පිරිපහදුවේදී ශරීරයේ ඇති සියළුම විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාවක් ඇති බව සොයාගෙන තිබෙනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සහ ඖෂධ වැනි දේ වල ඇති අහිතකර රසායනික ද්‍රව්‍ය නිස්සාරණය කර ශරීරයෙන් ඉවත් කිරීම මගින් අක්මාවේ කාර්යක්‍ෂමතාවය වැඩි කරනවා. අක්මාව නිරෝගීව තබා ගන්නවා. මේ නිසා රුධිරය ඉතාමත් පිරිසිදු තත්ත්‍වයක පවත්වාගෙන යාමට මේ පැලෑටිය භාවිතයට ගන්න කෙනෙකුට හැකි වෙනවා. මේ සංසිද්ධිය අද ඊයෙ සොයාගත්  දෙයක් නොවෙයි. ඈත අතීතයේ රෝම සහ ග්‍රීක ජාතිකයන් පවා මේ පැලෑටිය සහ ඇට විෂහරණය හඳහා යොදාගෙන ඇති බව සඳහන්… ඒ නිසා මම හිතන්නෙත් මේ පුද්ගලයා තමන්ගෙ ශරීරයේ ඇති විෂද්‍රව්‍ය හෝ රසායනික ද්‍රව්‍ය ඉවත් කරගන්න මේ පැලෑටියෙ නිස්සාරකයක් හෝ ඇටවලින් ලබා ගත් කුඩක් භාවිතා කරන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම පෙරදිග වෛද්‍ය විද්‍යාවෙදි සමහර වෙලාවට පිළිකා ප්‍රතිකාර සඳහාත් මේ පැලෑටිය යොදා ගන්නවා කියලා වාර්තා වෙනවා. රාහුල් ගුප්තා විසින් එෆ්බීඅයි ඒජන්තවරු දෙදෙනාට එම පැලෑටිය පිළිබඳ දිගු විස්තරයක් ගෙන හැර පෑවේය.

ආ…. ඒක තමයි මෙයාගෙ රුධිර පරීක්‍ෂාවෙදි කිසිම දෙයක් අපට අහු වුනේ නැත්තෙ… රුධිර වාර්තාවෙ අඩංගු වෙන්නෙ බොහොම පිරිසිදු රුධිරය ඇති පුද්ගලයෙක් කියලයි.. සියල්ල අවසන ජේසන් කටහඬ අවදි කළේය.

සමහරවිට මෙයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඒ බව සඟවන්න මේක පාවිච්චි කළා වෙන්න බැරිද ? ඒ මයික්…

එහෙම වෙන්නත් පුළුවන්. නමුත් දැන් ආයෙම රුධිර පරීක්‍ෂාවක් නොකෙරෙන නිසා ඇයි දැනුත් ඒවා පාවිච්චි කරන්නෙ ? රාහුල්ගෙ තර්කයත් වැදගත්…

අපට මේ දේ දැනගන්න කරන්න පුළුවන් එකම දෙයයි. මෙයාගෙ අනතුර වුන වෙලාවෙ ලබාගත් රුධිර සාම්පලය විශ්ලේෂණය කරලා බැලුවොත් මෙයා මත්ද්‍රව්‍ය භාවිතා කරනවද කියලා හොයා ගන්න පුළුවනි. අපි ඔහුගෙ නිවස පරීක්‍ෂා කළ වෙලාවෙ නම් අපට කිසිම මත්ද්‍රව්‍යයක් හෝ සිරින්ජයක්වත් හමු වුනේ නැහැ… ඒ නිසා මත්ද්‍රව්‍ය ගන්නවාද කියන සැකය ඒ තරම් තහවුරු වෙන්නෙ නැහැ.

කෝකටත් අපි වෛද්‍ය වාර්තාව අරගෙනම බලමු….. සයන්ටිස්ට් රාහුල් ගුප්තා…. බොහොම ස්තූතියි ඔබේ විශේෂඥතාවය මේ කාර්යයට ලබා දුන්නාට…. අපේ වාර්තාවෙ ඔබ ගැන විශේෂ සඳහනක් කරනවාමයි මේ සිද්ධියට උපකාර කළාට….

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

සතියක් ගත වෙද්දී විශ්ව කෙමෙන් කෙමෙන් සුවය ලබන්නට විය. හදිසි සත්කාර ඒකකයෙන් ඉවතට ගනු ලැබූ විශ්වට ආදර සත්කාර ද නොඅඩුව ලැබුණි… සිය මාමණ්ඩිය සහ ලොකු නැන්දාගෙන් මෙන්ම මොලී ද නිතිපතා පැමිණ විශ්වගේ සැප දුක් සොයා බැලීම නිසා විශ්ව ඉක්මනින්ම සුවය ලැබුවේය…. විශ්වට සිහිය ආ පසු පිරිත් සජ්ඣායනය කිරීම නතර වුවත්, අත්ථදස්සි හිමියෝ ද විටින් විට රෝහලට පැමිණ විශ්ව හා බොහෝ දේ සාකච්ඡා කරනු පෙණුනි. මේ අතර විශ්වගේ පාදය යථා තත්ත්‍වයට ගෙන ඒම පිණිස කායික ප්‍රතිකාර ක්‍රම අවශ්‍ය බවට සහ මානසික ප්‍රතිකාර අවශ්‍ය බවට වෛද්‍යවරුන් විසින් නියම කිරීම  නිසා විශ්ව හමුදා රෝහලේ පුනරුත්ථාපන අංශය වෙත මාරු කර යැවීමට ද සූදානමක් තිබුණි.

මොලී… ඔයා විශ්වගෙ පෙම්වතියද ? දිනක් මොලී සමඟ කතා බහේ නියැලී හුන් සුමනසේකර මහතා එක්වරම මොලීගෙන් විමසීය.

නැහැ… ඇයි එහෙම ඇහුවෙ ?

නැහැ… මම නිකමටයි ඇහුවෙ… මෙච්චර කාලයක් විශ්ව අසනීප වෙලා ඉඳිත්දි දිගටම විශ්ව බලන්න, එයාගෙ ගැන හැම නිතරම හොයා බලන්න වැඩියෙන්ම ආවෙ ඔයා විතරයි… මෙච්චර කාලයකට විශ්වට ගෑණු ළමයෙක් කියලා ලංවෙලා හරි හිටියෙ ඔයා විතරයි… ඒකයි මම ඇහුවෙ… වෙන කාරණයක් නිසා නොවෙයි… සුමනසේකර මහතා සන්සුන්ව උත්තර දුන්නේය…

මම විශ්වගෙ පෙම්වතිය නොවෙයි… නමුත් අනතුර සිදු වෙන්න පෙර  සතියක පමණ වෙලේ ඉඳලා අපි දෙන්නා එකටමයි වැඩ කළේ.. ඒ නිසා ගොඩක් මිතුරු වුනා…

ඇත්තම කියනවා නමු නම් ඔයා විශ්ව බලන්න එනවට මගේ එච්චර කැමැත්තක් මුලින් තිබුණෙ නැහැ.. නමුත් මට තේරුම් ගියා ඔයා විශ්ව ගැන සෑහෙන වද වෙනවා කියලා… මොලී… විශ්ව කියන්නෙ අපට බොහොම සුවිශේෂ දරුවෙක්… විශ්ව අපි හැමෝටම සම්පතක්. විශ්වගෙ පවුලෙ අය අකාලයේ මිය ගියත්, විශ්වගෙ තාත්තා නිතරම මට කිවුවෙ ඒ අය නැති කාලෙක විශ්ව හොඳින් බලාගන්න කියලා… මට හිතෙන විදියට විශ්වගෙ තාත්තා දැනගෙන හිටියා එයාගෙ ජීවිතය කෙටියි කියලා… විශ්වට අවුරුදු 16 වෙනකොටම තමයි විශ්වගෙ තාත්තා විශ්වට එයාගෙ සේසතම ලියලා දුන්නෙ. නංගිටත් අයිතියක් තියලා. නමුත් ඒ හැමෝම විශ්ව දාලා ගියා… දැන් එයාට ඉන්නෙ අපි විතරයි. අපි විශ්ව අපේම දරුවෙක් වගේ බලාගන්නෙ ඒ නිසයි… මම බලාපොරොත්තු වෙනවා ඔයාගෙ හිතේ විශ්ව ගැන අදහසක් තිබෙනවා නම් ඒක ස්ථිර අදහසක් වේවි කියලා… මොකද විශ්ව කියන්නෙ මේ ලෝකෙ තනි වුන දරුවෙක්… අපි නැති කාලෙක විශ්වට කවුරුවත් නැහැ… අන්න ඒ නිසා අපි බොහොම කල්පනාකාරී වෙනවා විශ්වගෙ අනාගතය ගැන…

මම දන්නවා මිස්ටර් සුමනසේකර, විශ්ව කියන්නෙ වෙනත් අයට වඩා බොහොම වෙනස් විදියට හිතන කෙනෙක් කියලා මම දන්නවා.. ඒ වගේම හරිම හොඳ කෙනෙක්. මාත් සමඟ සතියකටත් වඩා එකට වැඩ කරද්දි මට තේරුණ දෙයක් තමයි එයා කිසිම අසංවර ගතියක් නැති බොහොම තැන්පත් කෙනෙක් කියන දේ… මම දන්නෙ නැහැ විශ්ව මට මොන විදියකට සළකනවද කියන එක… නමුත් මම කියන්න ඕන මම විශ්වට බොහොම කැමතියි.. අපි ගැන අපේ අනාගතය  ඉදිරියේදී විසඳයි…

ඒ කතා බහ අවසන් වූයේ වාට්ටුව භාර වෛද්‍යවරයා තවත් වෛද්‍යවරියක් සමඟ සුමනසේකර මහතා සහ මොලී කතාකරමින් හුන් තැනට පැමිණීම නිසාවෙන්..

මිස්ටර් සුමනසේකර, මේ ඉන්නේ අපේ රෝහලේ පුනරුත්ථාපන අංශයේ වෛද්‍යවරියක්. ඔබත් විශ්වත්  ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නිසා අපි තීරණය කළා ශ්‍රී ලාංකික සම්භවයක් ඇති වෛද්‍යවරයෙක්ම විශ්වගේ පුනරුත්ථාපන කටයුතු සඳහා යොදවන්න. ඒක මානසිකවත් විශ්වට සහ ඔබ සියළු දෙනාට පහසුවක් වෙන නිසාම.. ඊට අමතරව මේ ඉන්න වෛද්‍ය ගීතිකා ගුණසේකර මානසික වෛද්‍ය විද්‍යාවත් ප්‍රගුණ කළ අයෙක්, ඒ නිසා විශ්වගේ මානසික පුනරුත්ථාපනයත් කායික පුනරුත්ථාපනයත් යන දෙකම එකතැනින් සිදු කර ගන්න පුළුවනි. අපි හෙට විශ්වව පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගෙනයනවා… ඉන් පසුව නම් මේ වගේ නිතර ඔහුව බලන්න එන්න බැරි වේවි. මොකද දවස පුරාවටම තරමක දැඩි පුනරුත්ථාපනයක් කෙරෙන නිසා ඒ සියල්ල ක්‍රමාණුකූලව සිදු විය යුතුයි. දවසකට එක වතාවක් පමණක් ඥාතීන් බලන්න අවසර ලැබෙනවා. ඔහුගේ මානසික පුනරුත්ථාපනයට අදාල අභ්‍යාස කෙරෙන නිසා බාහිර මානසික හේතූන් අවම කරන්න අපි කටයුතු කර තිබෙනවා. ඒ නිසා ඔබලා පුනරුත්ථාපන වෛද්‍ය කාර්යමණ්ඩලය නියම කරන වෙලාවක් ඇතුලත පමණක් පැමිණිය යුතුයි.

හොඳමයි ඩොක්ට, කොහොමත් මට දවල් වෙලාවෙ නම් වැඩිය එන්න ලැබෙන්නෙ නැහැ… මට බොහෝ විට එන්න ලැබෙන්නෙ සේවය අවසානයේ සවස පහ පසු වුනාට පස්සෙයි…  මොලී සිය කණස්සල්ල මුසු හැඟීම් වෛද්‍යවරයා වෙත හැරපෑවාය.

මට තේරෙනවා මොලී… නමුත්, මට මේ සැලසුම් වෙනස් කරන්න බැහැ.. මොකද මේ වෛද්‍යවරු ඒ ඒ රෝගියාට නිසි සැලසුම් සකස් කරලා තිබෙන නිසා… ඔබට පුළුවන් දවස් කිහිපයකට වතාවක් ඇවිත් විශ්ව බලලා යන්න..

ඔව් මොලී .. අපි එහෙම කරමු… අපිත් තව සති කිහිපයක් මෙහේ ඉන්න නිසා විශ්වගේ පුනරුත්ථාපන කටයුතු ඉක්මනින් කරගනිමු.. හොඳ වුනාට පස්සෙ අපි එයාව ගෙදර එක්කරගෙන ගිහින් ඉතිරිය බලමු… සුමනසේකර මහතා ද වෛද්‍යවරයාගේ අදහසට එකඟත්වය පළ කළේය…

මෙතෙක් වෙලා නිහඬව සිටි වෛද්‍ය ගුණසේකර මෙනෙවිය සිය කටහඬ අවදි කළාය……..

විශ්ව පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇතුලත් කර සතියක් ගත වූ නමුත් මොලීට විශ්ව බැලීමට යාමට හැකි වූයේ බදාදා දිනයකදී පමණි. පර්යේෂණාගාරයේ අධික රාජකාරි කන්දරාවත්, විශ්ව එකතුව හා ඇරඹීමට සැලසුම්කරගෙන තිබූ පර්යේෂණයේ මූලික කටයුතු තනිවම කරගෙන යාමට සිදු වීමත් නිසා මොලීට ඉහටත් උඩින් රාජකාරි පැවරී තිබිණ. විශ්ව ප්‍රකෘති තත්ත්‍වයට පැමිණීම නිසා පර්යේෂණාගාරයේ සියල්ලන්ම තරමක සතුටින් පසු වූහ. ආචාර්ය නීල් ෆියු මෙන්ම ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් ද පැමිණ මොලීගෙන් විශ්ව ගැන තොරතුරු විමසීම නිසා මෙගන් පසු වූයේ තරමක අමනාපයෙනි.

මොකද මේ දවස්වල විශ්ව බලන්න කවුරුවත් ගියේ නැත්තෙ ? වෙනදා හැමදාම ගිය කට්ටියට යන්න එපා වෙලාද ? දහවල් කෑම වෙලාවේ කෑම කාමරයේදී මෙගන් උපහාසයට මෙන් ඇසුවාය.

මේ දවස්වල විශ්ව පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙ නවත්වලා ඉන්නෙ. එයාගෙ කකුල ශක්තිමත් කරන ව්‍යායාම ආදිය කරවනවා.. සමහරවිට තවත් සතියකින් විතර ගෙදර යන්න පුළුවන් වේවි. එයා ගෙදර එක්කගෙන ගියාම තමයි ඉතින් වැඩිපුර උදව් ඕන වෙන්නෙ.. දැන් නම් ඉතිං හැම දේටම උදවුවට කට්ටිය ඉන්න නිසා ප්‍රශ්නයක් නැහැ… මොලී සැමට ඇසෙන්නට පැවසුවාය.

ඒ සමඟම මොලීගේ දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබීමෙන් ඇය තරමක් චකිතයකට පත් විය.

මට පොඩ්ඩක් එළියට යන්න වෙලා තිබෙනවා… මම ගිහින් එන්නම්….

මොකද්ද හදිස්සිය…. බිල් එසේ ඇසුවේ ඔහුගේ පෞද්ගලික ක්‍රියාකලාපය කුමක් වුවත් අනුන්ට උදවු කිරීමට නිතරම සැදී පැහැදී සිටින නිසාය.

නැහැ බිල්.. ප්‍රශ්නයක් නෙවෙයි. මගේ මාමා කෙනක් වොෂිංටන් වලට ඇවිත්, මාව බලන්න ඕන කියලා එන්න කියලා තියෙන්නෙ… මම ඉක්මනට ගිහින් එන්නම්…

මොලී ඉක්මනින්ම සිය රථයට නැගී, නගරයේ අති සුඛෝපභෝගී ආපන ශාලාවක් වන සෙනෙටර්ස් ක්ලබ් බලා රිය ධාවනය කළාය.

 

පිටස්තරයා – 15


EP-15

පසුදා සවස්වනතුරු මොලීට තිබුණේ කණස්සල්ල මුසු නොයිවසිල්ලකි….. තමා සිහිනෙකින්වත් නොපැතූ අභව්‍ය සිදුවීම් වැලක් තම දෑස් ඉදිරිපිට දිගහැරෙමින් පවතින බව පමණක් ඇයට හැඟී ගොස් තිබුණි. තම රැකියාවේ හැටියට බොහෝ පිරිමින් ආශ්‍රය කර තිබුණද, මීට වඩා හැඟුම්බර අවස්ථාවලට මුහුණ දී තිබුණද, මේ සිදුවීම් ගොන්න තම ජීවිතයේ ලැබූ අත්දැකීම් සියල්ලට වඩා වෙනස් බව ඇයට හැඟෙමින් පැවතුනි. සේවා ස්ථානයද කිසිම කෙනෙකු විහිළුවක්වත් නොකරන තත්ත්‍වයකට පත්ව තිබුණි.  වෙනදා අන් අයට විහිළු කරන බිල් පවා තමන්ගේ පාඩුවේ සිය කටයුතු කරගෙන යනු දකින්ට ලැබුණි…

මේ අතර හදිසියේම සිය ප්‍රධානියාගෙන් මොලීට ලැබුණේ වහාම පැමිණ ඔහු හමුවන ලෙසයි…

සුවිශාල අනතුරක සේයාවක් ඇගේ සිතේ නලියන්නට විය….

ඇය විද්‍යාගාර ප්‍රධානී නීල් ෆියු හමුවන්නට ගියාය….

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

කොහොමද ? ගමන් මහන්සිය හොඳටම ඇති නේද ?

තානාපති කාර්යාලයේ නිලධාරී ගීතාංජන ලංකාතිලක මහතා විසින්  වොෂිංටන් ඩලස් ගුවන්තොටුපලේ මගී පර්යන්තයේදී සුමනසේකර යුවල පිළිගනිමින් විමසුවේය…

මහන්සියි කියලා මොනවා කරන්නද මහත්මයා…. මේ ගමන එන්න එපායෑ…

මම ගීතාංජන ලංකාතිලක… අඳුන්වාදෙන්නත් බැරි වුනා..

බොහොම සන්තෝෂයි අඳුනා ගන්න ලැබීම ගැන…. මම විශ්වගෙ ලොකු මාමා… සුමනසේකර… මේ මගේ බිරිඳ නීලා…

ඔව්, පන්සලේ ලොකු හාමුදුරුවො මට ඔබ දෙපළ ගැනම හොඳ හැඳින්වීමක් කළා… අත්ථදස්සි හාමුදුරුවොත් සෑහෙන විස්තර මට කිවුවා.. මේ දවස් දෙක තුනම අත්ථදස්සි හාමුදුරුවො මට කතා කරලා කිවුවේ ඔබ දෙපළගෙ නවාතැන්, කෑම බීම කටයුතු සම්පාදනය කරන ආකාරය.. අපි දැන් යන්නෙ තානාපති කාර්යාලයේම සේවය කරන කෙනෙකුගෙ නිවසකට.. එහේ තමයි අපි ඔබ දෙපලට නවාතැන් පහසුකම් දෙන්න යොදාගෙන තිබෙන්නෙ.. එහි ඉන්නෙත් ඒ දෙපළ පමණයි.. ඒ නිසා වැඩි කරදරයක් නෑ.. ගමන් පහසුකම් සඳහා තානාපති කාර්යාලයෙන් වාහනයක් ලැබෙනවා රියැදුරෙක් සමඟම… විශ්වගෙ තාත්තා එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ සේවය කළ නිසා අපට මේ පිළිබඳ විශේෂ පහසුකම් ලැබී තිබෙනවා… ඒ වගේම ඔහු අපේ තානාපති කෙනෙකුව සිටි නිසා ඒ පහසුව තවත් වැඩියි… කිසිම දේකට බය වෙන්න එපා.. සියල්ල සූදානම්…

අනේ පුතා බොහොම ස්තූතියි මේ කරන උදවු වලට…. අපි කීයටවත් බලාපොරොත්තු වුනේ නැහැ මේ වගේ සත්කාරයක්… ලොකු හාමුදුරුවො කිවුවා අපට නවාතැන් පහසුකම් සකසලා තියෙන්නෙ කියලා… මම දැනං හිටියෙ එච්චරයි…

අපට විශ්ව බලන්න යන්න පුළුවන් කීයටද ?

ආ… ඒක ගැන කතා කරන්නයි මම හිටියෙ… අපි මේ බෑග් තියලා පොඩ්ඩක් පිළිවෙලක් වෙලා හවස හයට පමණ යමු රෝහලට…. ඔබ නැවතී ඉන්න අදහස් කරන යාපා මහත්මයාගෙ නිවසේ වැඩි දුරක් නැහැ… රෝහලට…

අනේ ලොකු දෙයක්… මට ඉක්මනින්ම සුදුපුතා බලාගන්න ඕන… නීලා සුමනසේකර මහත්මිය නෙතට නැඟුන කඳුලක් පිසදමමින් පැවසුවාය.

බය වෙන්න එපා මිසිස් සුමනසේකර… විශ්ව නවත්වලා තියෙන්නෙ ඇමරිකාවෙ තියෙන හොඳම හමුදා රෝහලක… මේකේ තියෙන්නෙ ලෝකයේ හොඳම පහසුකම්. ඒ වගේම මේ රෝහලට ඇමෙරිකාවේ තිබෙන අනෙක් ප්‍රධාන රෝහල් සියල්ලම සමඟ සබඳතා තිබෙනවා.. ඒ නිසා විශ්ව වෙනුවෙන් කරන්න පුළුවන් සියළුම දේ ඒ රෝහලෙන් කෙරෙනවා. එච්චරක් නෙවෙයි විශ්වගේ සේවා ස්ථානයෙනුත් මේ ගැන හොඳට හොයා බලනවා.. කිසිම දේකින් අඩුවක් වෙන්න ඉඩක් නෑ..

ඒ සංවාද අතරතුර ඔවුහු යාපා මහතාගේ නිවස කරා පැමිණ තිබුණි. ආගන්තුක සත්කාර වලින් සහ තේ පානයෙන් අනතුරුව නැවතත් මඟට පිලිපන්නේ විශ්ව බැලීම සඳහා රෝහලට යාමටය.

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

මේ මිනිස්සුන්ට හරියට වාහනයක්වත් හප්පන්න බැරි ද ? බලනවා අර මිනිහා දැන් ජීවත් වෙයිද මැරෙයිද කියලා කවුද දන්නෙ ? හොඳ වෙලාවට අපි මැදිහත් වෙලා මේක වැහුවා… කවුරුහරි දැනගත්තා නං අපි මේකට සම්බන්ධයි කියලා මොන වගේ තත්ත්‍වයක්ද ඇතිවෙන්නෙ ?

ඔවුන් තිදෙනාම කිසිදු වචනයක් නොදොඩා නිහඬව ජනරාල් වෙලිංටන් දෙස බලා සිටියා පමණි.

තමුසෙලාට කවදාවත් හරියට වැඩක් කරගන්න බැරි හැටි ? එක පාරක් තාප සංවේදක කැමරාවෙන් ගත්ත වීඩියෝ හරියට කර ගත්තෙ නෑ… දැන් ඒ මදිවට මේ මිනිහා හප්පලා ඒ මිනිහා ජීවිතයත් මරණයත් අතර සටනක.. කවුද දන්නෙ තමුසෙලා හයි කරපු කැමරා ටිකයි  ශබ්ධ රෙකෝඩ් කරන උපකරණයි ටිකත් කාටහරි අහුවෙයිද කියලා… ඒක අන්තිමට  හොයාගෙන ගිහින් ඒවා හයි කළේ එෆ් බී අයි එක කියලා දැනගත්තාම තවත් ලෙඩක්… ඇත්තෙන්ම තමුසෙලා මේ වැඩේට සුදුසුද ?

ජෙනරාල් වෙලිංටන්… අපි හිතුවෙ නැති විදියට තමයි වාහනේ හැප්පිලා තියෙන්නෙ…. අපි සැලසුම් කළේ පිටුපසින් හප්පලා පොඩි හානියක් කරලා ඔහුව නිරීක්‍ෂණය කරන්න… නමුත් හිතුවෙ නැති විදියට වාහනයෙ පැත්තක හැපිලා ඔහුගේ පෙනහැල්ල සිදුරු වෙලා තියෙනවා… මේ නිසා තමයි වැඩේ බරපතල වුනේ… ජෙනී අවසානයේ කටහඬ අවදි කළාය..

ජෙනී… මම ඔයාව මේ වැඩේට දැම්මෙ මීට වඩා සූක්‍ෂම විදියට එයාට ලංවෙලා තොරතුරු ලබා ගන්න… නමුත් මම බලාපොරොත්තු තියාගෙන හිටි ආකාරයට ඒක වුනේ නැහැ… ඔයාත් මාව අසතුටට පත් කරනවා… මේ දෙන්නට වැඩිය ඔයා සූක්‍ෂම වෙන්න ඕන… මට ආයෙම ඔය තුන්දෙනාට කතා කරන්න ඉඩ තියන්න එපා.. මට මෙයාව යථා තත්ත්‍වයට ආවට පස්සෙ ගන්න ඕන තොරතුරු ටික අරගෙන දෙන්න…. මේකට මමත් දැන් අතදාපු නිසා මේකෙ කෙළවරක් දකින්න ඕන…. මෙයා අපට වැදගත් වෙන්නෙ බොහොමයක් හේතු මත… දැන් යන්න පුළුවන්……..

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

සුමනසේකර යුවල විශ්ව බැලීමට රෝහල් කාමරයට යන විටත් අත්ථදස්සි හිමියන් විසින් පිරිත් සජ්ඣායනය අරඹා තිබුණි. සුමනසේකර යුවල පැමිණි බව දුටු අත්ථදස්සි හිමියෝ පිරිත් සජ්ඣායනය මඳකට නතර කර සුමනසේකර මහතාට හිසින් සන් කළ සේක. සුමනසේකර මහතා ද අත්ථදස්සි හිමියන් අසළ සිටගෙන පිරිත් සජ්ඣායනය කරන්නට විය… සුමනසේකර මැතිණිය සෙමෙන් සෙමෙන් විශ්වගේ ඇඳ අසළට ගොස් ඔහු දෙස බලා සිටින්නට වූවාය…. ඈ සෙමෙන් විශ්වගේ අතක් පිරිමදින්නට විය…

සුපුරුදු පරිදි පිරිත් සජ්ඣායනය වන අවස්ථාවේ වෙනස් වන මොළයේ සංඥා සටහන අද දිනද වෙනස් වූ නමුත්, සුමනසේකර මහතාගේ පිරිත් සජ්ඣායනය ඇරඹෙත්ම නැවතත් ව්‍යාකූල වන්නට විය… වාට්ටුව භාර වෛද්‍යවරයා ද මේ සිදුවීම නිරීක්‍ෂණය කරමින් සිටියේය… සුමනසේකර මහත්මිය විශ්වගේ අත පිරිමදින විට සියල්ලන් පුදුමයට පත් කරමින්  විශ්වගේ ඇඟිලි සෙමෙන් සෙමෙන් ඇගේ අත ග්‍රහණය කර ගන්නට විය.. පිරිත් කියමින් සිටි ස්වාමීන් වහන්සේගේ මුවඟ මඳහසක් නැඟෙන්නට විය.. සුමනසේකර මහතා දොහොත් මුදුන් දී පිරිත් සජ්ඣායනය කරමින් සිය සිත දැඩි ඒකාග්‍රතාවයකට ගෙන ආවේය….

අවසන, සියල්ල නිසල විය… විශ්වගේ මොළයෙන් ලැබෙන සංඥා නැවතත් සරළ වන්නට විය.. පෙර පැවති ව්‍යාකූලභාවය අඩුවෙමින් තිබිණ… පිරිත් සජ්ඣායනය අවසානයේ සුමනසේකර මහතා සෙමෙන් ගොස්  විශ්වගේ හිසේ ඉලෙක්ට්‍රෝඩ සවිකර නොතිබූ නළල දෑස් පියාගෙන පිරිමදින්නට විය… විශ්වගේ මුවින් සුළු කෙඳිරියක් පිටවිය…. තවමත් ඔහු ග්‍රහණය කරගෙන තිබූ සුමනසේකර මහත්මියගේ අත අතහැරී නැත….. සැවොම බලාපොරොත්තු වූ ඒ මොහොත උදාවිය.. විශ්ව…….. කෙමෙන් දෑස් විවර කළේය….

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

සිය ප්‍රධානියාගෙන් ලැබූ අවවාද සහ ඉදිරි සැලසුම් පිළිබඳ කල්පනා කරමින් සිටි මොලී, සිය දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණ බවට ලැබුණ සංඥාවෙන් කල්පනා දැහැණින් බිඳුනාය. ඇය සිය දුරකථනයේ රහස් කේතය ඇතුලත් කර පණිවුඩය කියවා බැලුවාය…

සවස සිදු වූ කතාවේ තවත් පරිඡේදයක්දෝ යි සිතමින් මොලී කෙටි පණිවුඩය විවෘත කළාය…

විශ්වට සිහිය ඇවිත්…. දැන්ම යන්න….. සියල්ල සූදානම්…..

ඒ සිය ඉහළම ප්‍රධානියාගෙනි. ඉල්ලීම ඉවත හළ නොහැක. වහාම ඇඳ පැළඳගත් මොලී සිය රථයට නැඟී හමුදා රෝහල කරා ඉගිල්ලුනාය… වේලාව සවස හත පහු වූවා පමණි… 16වන මාවතේ ගමන් කළ ඇයට එතරම් මාර්ග තදබදයක් නොමැති වුවත් වේලාව ගතවන්නේ සෙමින් බව සිතුනි… ඇය සිය රථයේ වේගය වැඩි කර විස්කොන්සින් මාවතට හැරවීම සඳහා අතුරු මාවතකට හැරවූවා පමණි…. පිටුපසින් පැමිණි පොලිස් මාර්ග නිරීක්‍ෂණ රථයක සංඥා එළි දැගේ රථය එල්ල කරගෙන දැල්වෙන්නට විය…

ශිහ්… මේ වෙලාවෙම ?

ඇයට කළ හැකි කිසිත් නොහැක… ඇය සිදු කලේ වැරැද්දක් බව ඇයට හැඟුණි… මාර්ගයේ වේග සීමාවට වඩා පැයට සැතපුම් 15 කට වැඩියෙන් ඇය ධාවනය කර ඇති බව ඇයට දැනුනි… මීටත් වඩා හදිසි අවස්ථාවල මීට වඩා භයානක අවස්ථාවන්හි රථ ධාවනය කිරීමට පළපුරුද්දක් ඇති ඇයට මේ සිදුවීම අදහාගත නොහැකි විය.. කෙසේ වෙතත් කළ හැක්කක් නොමැත… සිය රථයට පිටුපසින් පොලිස් රථය නැවැත්වූ නිලධාරියා මොලීගේ රථයේ දොර අසල සිටගත්තේය. ඇය සිය රථයේ වීදුරුව පහත් කර තමා සතු වූ ඉහළම සේවා හැඳුනුම්පත නිලධාරියාට පෙන්වූවාය..

ඇයි මිස්… හදිසියක්ද ?

ඔව්.. ඉක්මනින්ම වෝල්ටර් රීඩ් හමුදා රෝහලට යන්න ඕන… ඒකයි මම මේ ඉක්මනින් යන්නෙ… දැන්ම ගියේ නැතිනම් මට අවශ්‍ය බොහෝ දේවල් නැති වෙන්න පුළුවන්….

මිස් දන්නවනේ වෙච්ච වැරැද්ද…. පොලිස් නිලධාරියා ඇය අතින් සිදු වූ වැරැද්ද පැහැදිළි කරදෙන්නට  විය.. ඉන්පසු සිය රථයට ගොස් එම හැඳුනුම්පතේ වූ අංකය සිය පරිඝණකයට ඇතුලත් කර ඒ හැඳුනුම්පතේ වූ විස්තර සහතික කර ගත්තේය.

මහත්මයා… මට දැන් යන්න ඕන… ඔබ දන්නවා මම ඉන්න තත්ත්‍වය… මට ඉක්මනටම යන්න ඕන… නැතිනම් මට ප්‍රධානියාට දන්වන්න වේවි..

හරි මිස්…  ඉක්මනට යන්න…  නමුත් පරිස්සමින්….

අනෙක් වැරදිකරුවනට නීතිය අකුරටම ක්‍රියාත්මක කළත්, මේ තරුණියට සිය ගමනාන්තයට ඉක්මනින් ළඟාවීමට ඉඩ දිය යුතු බව පොලිස් නිලධාරියා වටහාගත්තේය.

බොහොම ස්තූතියි…..

ඇය නැවතත් සිය රථය පණගන්වාගෙන වෝල්ටර් රීඩ් හමුදා රෝහල වෙත ධාවනය කළාය… මේ අවස්ථාවේ හැටියට එසේ ඉක්මනින්ම පොලිස් නිලධාරියාගෙන් ගැලවී යාමට හැකිවීම ගැන ඇය බොහෝ සතුටු වූවාය. දැනටමත් පරක්කු වැඩිය… විශ්වගේ ඥාතීන් ද රෝහලට පැමිණ සිටිය හැකි බව ඇයට මතක් වූවාය…. රෝහල් ගේට්ටුව වෙත ලඟා වූ ඇය සිය සේවා හැඳුනුම්පත ආරක්‍ෂක අංශයට ලබා දුන්නාය.. ඒ දෙස දෙවරක් බැලූ හමුදා නිලධාරියා ගේට්ටුව විවර කර දුන්නේ වෙනදා නොමැති වෙනසක් මුහුණේ දරාගෙනය…. වෙනදා ශාන්ත දාන්තව රෝහලට පැමිණෙන මේ තරුණිය අද බොහෝ වෙනස්වී ඇත… කළබලයෙන් නමුත් කිසියම් අරමුණක් කරා යන බවක් ඔහුට පෙණුනි..

රෝහල් පරිශ්‍රයේ වාහනය නතර කළ ඇය විශ්වගේ කාමරය කරා ඇවිද්දා නොව දිවුවාය… ඇයට අවශ්‍ය වූයේ ඉක්මනින්ම විශ්ව බලා ගන්නටය.. විශ්වගේ මානසික තත්ත්‍වය කුමක්දැයි නිශ්චිතව දැන ගැනීමටය.. විශ්ව ඒ තරම්ම ඇයට වටී…. ඈ වටා සිටි සියල්ලන්ටම වටී… ඈ සිය සිතිවිලි එකලස් කර ගත්තාය… තමා මෙතෙක් කල් අන් අය වෙත පෑ ඒ මෘදු සිනාව, සුමුදු බව, අදත් පෙන්විය යුතු බව ඇයට සිහි වූවාය… ඇය වහා අසළ වූ කාන්තා වැසිකිලියකට ඇතුළු වී තමන්ගේ ස්වභාවය කුමනාකාර දැයි පිරික්සා බැලුවාය…

සියල්ල ඒ ලෙසම සිදු වේවි… ඈ තමාටම මුමුණා ගත්තාය.

ඇය සෙමින් සෙමින් විශ්ව සිටි කාමරය වෙත පියමැන්නාය….

මේ තරම් ඉක්මනට කොහොමද ඔයා මේක දැනගත්තෙ ? තානාපති කාර්යාලයේ ගීතාංජන ලංකාතිලක මහතා මොලී හැඳිනගෙන  දුර සිටම විමසුවා.

මට කෙටි පණිවුඩයක් ලැබුණා මගේ ප්‍රධානියාගෙන්… මම හිතන්නෙ ප්‍රධාන වෛද්‍යවරයා ඔහුට දැනුම් දෙන්න ඇති.

විශ්වට දැන් පැයකට විතර ඉස්සර සිහිය ආවා.. තවමත් වෛද්‍යවරු පරීක්‍ෂා කරලා බලනවා කොහොමද කියලා… ඊට පස්සෙ ඔයාට පුළුවන් වේවි එයාව බලන්න…

අපි හැමෝම හුඟක් බලාපොරොත්තු වුන දෙයක්… අපි හැමෝටම සතුටුයි විශ්වට ඉක්මනින්ම සිහිය ආපු එක ගැන… අපේ හැම දෙනාම සෑහෙන කණගාටුවෙන් හිටියෙ….

මේ ඉන්නෙ විශ්වගෙ මාමයි නැන්දයි… ලංකාතිලක මහතා මොලීට සුමනසේකර යුවල හඳුන්වා දුන්නේය.

සන්තෝෂයි අඳුනා ගන්න ලැබීම ගැන…. මම මොලී… විශ්ව එක්ක එකට වැඩ කරන්නෙ….

නීලකාන්ති සුමනසේකර මහත්මිය මොලී දෙස විමසුම් සහගත බැල්මක් හෙළුවාය… මොලී ඇය හා සිනාසුනාය…

සුමනසේකර මහත්මිය ඈ හා සිනාසුනත්, සුමනසේකර මහතාගේ මුහුණේ කිසිදු හැඟීමක් නොවීය…..

අද හවස මම ආවා මෙගන් එක්ක… එතකොටත් විශ්වට සිහිය තිබුණෙ නැහැ… ඩොක්ට කිවුවා විශ්වගෙ ඥාතීන් ආවම කම්පන ප්‍රතිකාරය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා.. විශ්වට සිහිය ආවෙ ඒකෙන් පස්සෙද ? ඇය අපහසුතාවය මඟහරවාගනිමින් විමසුවාය.

නැහැ නැහැ…. මම හිතන්නෙ  නම් මේ දෙන්නා ආවා කියලා විශ්වට තේරිලා… මේ දෙන්නා ආපු ගමන් ඇස් ඇරියා… කවුරු හරි නෑ කෙනෙක් එනකල් ඉඳලා තියෙන්නෙ… ලංකාතිලක මහතා විහිළුවක් කර ඒ අවස්ථාව සැමට පහසු කිරීමට සරළ උත්සාහයක් ගත්තේය.

ඒක හරිම පුදුමයි නෙ… කිසිම බෙහෙතක් නැතිව ?

විශ්වට ලැබෙන්න ඕන හොඳම බෙහෙත ලැබුණා මොලී… එයාට හැමදාම ඒ බව දැනුනා… ඒක අදත් දැනෙන්න ඇති… සුමනසේකර මහත්මිය සෙමෙන් පැවසුවාය….

මමත් හිතන්නෙ එහෙමයි… පිරිත් සජ්ඣායනය වෙලාවෙ නම් වෙනසක් පෙන්වුවා… නමුත් සිහිය එන පාටක් තිබුණෙ නැහැ…. අපි හැමෝම දැනගෙන හිටියා පිරිත් වලින් විශ්වට ලොකු සෙතක් වෙනවා කියලා.. ඒත් කොයි තරම් දුරට ඒක වෙනවද කියලා කාටවත් නිනවුවක් තිබුණෙ නැහැ… මොනවා වුනත් සිහිය ආපු එක ලොකු දෙයක්… මොලී නැවතත් පැවසුවාය….

අපි බලමු… තව ගොඩක් පරීක්‍ෂණ කරන්න වෙයි…

ඒ කතාබහ මොහොතකට නතර වූයේ විශේෂඥ වෛද්‍යවරයා සුමනසේකර යුවලට කාමරය තුළට පැමිණෙන ලෙස කළ ඇරයුමත් සමඟිනි. ඔහුට අවශ්‍ය වූයේ විශ්ව දන්නා හඳුනන මුහුණු වෙත දක්වන ප්‍රතිකාරය අනුව දිගුකාලීන මතකයේ ප්‍රතිස්ථාපනය කෙතෙක් දුරට සිදු වී ඇත්දැයි යන්න ගුණාත්මකව සොයා ගැනීමය.

සුමනසේකර යුවල සෙමෙන් ගොස් විශ්වගේ ඇඳ දෙපස සිටියහ. ඔහුගේ දෑස් කඳුලින් තෙත් විය… මුවේ සිහින් සිනාවක් මතු කරන්නට තැත් කිරීමක් පෙණුනි. නීලකාන්ති සුමනසේකර මහත්මිය සතුටු කඳුලක් හෙළුවාය. වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් නැතත්, ඔහු තමා හඳුනාගත් බව ඇයට දැනුනි…

මමත් යන්නද ? මොලී නොයිවසිල්ලෙන් මෙන් විශේෂඥ වෛද්‍යවරයාගෙන් විමසුවාය…

යන්න… ගිහින් බලන්න එයාගෙ කෙටි කාලීන මතකය කොහොමද කියලා… වෛද්‍යවරයා ඇය දිරිමත් කළාය….

ඇඳ අසළට ගිය මොලී විශ්වගේ මුහුණට එබී බලා සිනාසුනාය…….

 

පිටස්තරයා – 14


EP-14

සුමනසේකර මහත්මයා…. මෙන්න ඔබ දෙපලගෙම වීසා සහතික පත්… ඔබට හෙටම ඇමරිකාව බලා යන්න පුළුවනි.

අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරී රොනල්ඩ් මැන්කැඩ් පෞද්ගලිකවම මැදිහත් වී සුමනසේකර යුවලගේ ඇමරිකානු වීසා සහතිකපත් සඳුදා දිනම ඔවුනට සකස් කර දුන්නේ විශ්වගේ සැපදුක් බලා ගැනීමේ අපේක්‍ෂාව ඉක්මනින්ම මල්පල ගැන්වීමටය. සෙනසුරාදා සාකච්ඡා කරගත් පරිදි ඔවුන් දෙපළ ඇමරිකාව බලා යාමට ගුවන් ටිකට්පත් එදිනම වෙන්කරවා ගැනීම නිසා සඳුදාම වීසා ලබා ගැනීමට සිදුවිය. මේ කර්තව්‍යය ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම ඇති නිසාත්, සුමනසේකර යුවල නොදන්නා බොහෝ කරුණු කාරණා රොනල්ඩ් මැන්කැඩ් සහ ඇමරිකානු තානාපති කාර්යාලයේ බුද්ධි නිලධාරීන් දන්නා නිසාත්, මේ කටයුත්ත ඉතා ඉක්මනින් කර දීමට තානාපති කාර්යාලය පසුබට වූයේ නැත. ඔවුන්ට අවශ්‍ය වූවේ තමන් අතින් සිදු වූ වැරැද්ද කෙසේ හෝ නිවැරදි කර ගැනීමටයි.. එසේ කටයුතු කිරීමේදී සාමාන්‍ය ක්‍රියා පටිපාටි වලින් බැහැරව ක්‍රියා කිරීමට අදාල පාර්ශවයේ ඕනෑම කෙනෙකු කටයුතු කරයි.

එදින සවසම සුමනසේකර දෙපල සිය ඥාතිපුතු බැලීම සඳහා පසුදින ඇමෙරිකාව බලා යාම සඳහා ලක ලෑස්ති වූහ. ඊට පෙර ඒ බව වොෂිංටන් බෞද්ධ විහාරයේ වැඩ වසන තමාට බොහෙවින් හිතවත් මඩකුඹුරේ අත්ථදස්සි හිමියන්ට දැන්වීම සඳහා සුමනසේකර මහතා දුරකථන ඇමතුමක් ලබා ගත්තේය.

හලෝ…. වොෂිංටන් බෞද්ධ විහාරය…….

ලොකු හාමුදුරුවනේ මේ මම… සුමනසේකර…..

ආ… සුමනසේකර මහත්මයා… කොහොමද ?…..

හොඳින් ඉන්නවා ලොකු හාමුදුරුවනේ…. අපි මේ හෙට එනවා කියලා දන්වන්නයි කතා කළේ…. අත්ථදස්සි හාමුදුරුවෝ පන්සලේ වැඩ ඉන්නවද ?

අත්ථදස්සි හාමුදුරුවො නම් දැන් භාවනා කරනවා… මම දන්වන්නම් සුමනසේකර මහත්මයා කතා කළා කියලා… ඊයෙ හවසත් අත්ථදස්සි හාමුදුරුවෝ රෝහලට ගිහින් පිරිත් කියලයි ආවෙ…. ඊයෙ නම් ඒ දරුවා අතක් හෙලෙවුවා කියලා උන් වහන්සෙ කිවුවා… අදත් පිරිත් කියන්න හවස වඩිනවා කියලා කිවුවා… තුන් වේලක් වත් පිරිත් කියන්න ඕන නෙ හරි හැටි ගුණයක් ලබන්න…

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

පසුදින උදෑසන සේවයට ගියද, සෑම දෙනාගේම කතාබහ වූයේ විශ්වට සිදු වූ අනතුර පිළිබඳවයි. ආචාර්ය ෆියු සහ ආචාර්ය ලිපර්ඩ් යන දෙදෙනාම සැම දෙනාගේම කාර්යාල කාමර වලට පැමිණ පෞද්ගලිකවම සිය සේවක කැළගේ මානසික තත්ත්‍වය පිළිබඳ සොයා බැලූහ. ඉතා තදින් බැඳුන වියමනක් මෙන් වූ මේ හත්දෙනාගේ මානසිකත්‍වය මේ අවස්ථාවේ ඉහළින් තබාගත යුතු බව කළමණාකාරීත්‍වයේ  හසළ දැනුමක් ඇති මේ දෙදෙනාම හොඳින් දැන සිටියහ. ඒ නිසාම පෞද්ගලිකවම ඔවුන්ගේ මානසික තත්ත්‍වය පිළිබඳ සැලකිලිමත් වීමට දෙදෙනාම උනන්දු වූහ.

මොලී වැඩිපුර විශ්ව පිළිබඳ සැලකිළිමත්වීම ගැන මෙගන්ට තිබුණේ ඊර්ෂ්‍යාවක්ද යන්න බොහෝ දෙනා තුළ තිබූ ප්‍රශ්නයකි. එළිපිට නොපෙන්වුවත් මෙගන් නිතරම වාගේ මොලී සමඟ තිබුණේ නොරිස්සුමකි. විශේෂයෙන්ම සති අන්තයේ සිදු වූ කලබැගෑනියට තමාගෙන් කිසිම දායකත්‍වයක් නොවීම පිළිබඳ ඇය සැම දෙනා සමඟම අමනාපයකින් පසු වූවාය.. එය එළිපිට නොපෙන්වුවත් සිදු වූ කතාබහේදී මෙගන්ගෙන් නිකුත් වූ හඬින් එය සැමටම තේරුම් ගොස් තිබුණි. කෙසේ වෙතත් රසායනාගාරයේ සියල්ලන්ම සිටියේ දැඩි කණස්සලු ස්වභාවයකිනි… මොලී අන් සියල්ලන්ටම වඩා පසුතැවිල්ලකින් පසුවන ආකාරයක් පෙණුනි…

අවසන ඇය සිය ප්‍රධානියා වන ආචාර්ය නීල් ෆියුගේ කාමරය වෙත පිය මැන්නාය…..

නීල්…. ඇය දොරට තට්ටු කරන ගමන්ම ඔහු ඇමතුවාය..

ඔව් මොලී…. ඇයි ? මොකක් හරි ප්‍රශ්නයක්ද ?

ලොකු ප්‍රශ්නයක් නෙවෙයි…. මම අද හවස ටිකක් කලින් යන්න ඕන…. මම විශ්ව බලන්න යනවා…

මට තේරෙනවා…. මම මේ පුද්ගලික ප්‍රශ්නයක් අහනවා නෙවෙයි….. ඔයා මේ ටික දවසට විශ්වට ගොඩක් සමීප වුනා නේද ?

නැහැ කියන්න බැහැ නීල්… විශ්ව එක්ක සතියක කාළයක් වැඩ කරද්දි තේරෙනවා එයා බොහොම හොඳ ඒ වගේම බුද්ධිමත් කෙනෙක් කියලා… ඒ තරම්ම සමීපතාවයක් නැහැ… නමුත්……..

ඒක අසාමාන්‍ය නැහැ මොලී…. විශ්වට මෙහේ කවුරුත් නැහැ…. සමහරවිට ඔයා දන්නවා ඇති විශ්වගෙ පවුලෙ තොරතුරු… මගේ අකැමැත්තක් නැහැ ඔයාට පුළුවන් නම් විශ්ව මේ ඉන්න තත්ත්‍වයෙන් ගොඩ ගන්නවට… අපට විශ්ව යථා තත්ත්‍වයට ගන්න ඕන ඉක්මනටම… මේ පර්යේෂණයෙ බොහොම වැදගත් වැඩකොටසක් විශ්වගෙ අතින් කෙරෙන්න ඕන… මේ පර්යේෂණයට විශ්වගෙ දැනුම  බොහොම වටිනවා…. මට මේ කොල්ලව කොහොම හරි ආපහු මේ ලැබ් එකට ගේන්න ඕන…. ප්‍රශ්නයක් නැහැ… විශ්ව ගොඩ එනකල් ටිකක් වේලසන යන්න.. මම දන්නවා ඒ කාළය අපතෙ යන්නෙ නැහැ කියලා…  මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මට දන්වන්න… මම ඒක නිරාකරණය කරලා දෙන්නම්…

බොහොම ස්තූතියි නීල්…. බොහොම ස්තූතියි….

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

මෙන්න වාර්තාව… උණු උණුවෙ ආවෙ…. තාම විශ්ලේෂණය කරන්න බැරි වුනා….

මොනවද තියෙන්නෙ ?

හිතා ගන්න බෑ… එක දෙයක් කියලා නෑ… අච්චාරුවක්….

අපට විශ්ලේෂණය කරන්න බැරි තරම් සංකීර්ණද ?

මට හිතෙන විදියට මේකට හොඳම කෙනා සයන්ටිස්ට් රාහුල් ගුප්තා….

රාහුල් ගුප්තා… අර පිස්සු හටන ?

ඔව්… මිනිහා කාබනික රසායනය කරපු කෙනෙක්නෙ… මේක  ගෙනිහින් අහලා බලමු…. ඇහුවයි කියලා අපට පාඩුවක් නැහැනෙ…

යමු… කෝ මිනිහා දැන්….

දැනුත් ලැබ් එකේ ඇති…. මිනිහට ඉතිං ලැබ් එකෙන් තොර ලෝකයක් නෑනෙ……

ඔවුන් රාහුල් ගුප්තා සිටින රසායනාගාරයට යන විටත් රාහුල් සිටියේ පරීක්‍ෂණයක ප්‍රතිඵල විශ්ලේෂණය කරමිනි.

එෆ් බී අයි ආයතනයේ වැදගත්ම ඒකකයක් වන රසායානාගාරයට විවිධාකාර රසායන ද්‍රව්‍ය සහිත සාම්පල ලැබේ. මෙහි සිදු කෙරෙන පරීක්‍ෂණ මත සැකකරුවා වැරදිකරුවෙක්ද නිවැරදිකරුවෙක්ද යන්න තීරණය වන නිසාත්, ඒ තීරණය මතම ඔහුගේ ජීවිතය පිළිබඳ ඉරණම විසඳෙන නිසාත් බොහෝවිට එකම පරීක්‍ෂණය දෙතුන් වතාවක් සිදු කර නිරවද්‍යතාවය තහවුරු කරගනු ලබයි. එසේ වුවත් සමහර තාක්‍ෂණික නිලධාරීන් මූලික පරීක්‍ෂණ සිදු කරන්නේ එතරම් තැකීමකින් තොරවය. මේ නිසාම රසායනාගාරයේ ‍ජ්‍යෙෂ්ඨ රසායනඥයින් ඉතා ඉහළ මට්ටමකින් යුතු දත්ත ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරති. සමහරවිට තමාම ඒ පරීක්‍ෂණය සිදුකර එහි නිරවද්‍යතාවය තහවුරු කර ගනු ලබයි. ඉන්දියානු ජාතික – දැනට ඇමරිකානු ජාතිකත්‍වය ලබා ඇති රාහුල් ගුප්තා කාබනික රසායන විශ්ලේෂණය පිළිබඳ විශාරදත්‍වයක් ලබා ඇති පුද්ගලයෙකි. ඔහුගේ පෞරුෂත්‍වය සමාජගත ආයතනයකට නොගැලපුනද ඔහු සතු විශේෂඥ දැනුම නිසාම දැඩි අවදානමක් ගැනීමෙන් පසුව එෆ් බී අයි ආයතනය රාහුල් ගුප්තාව සිය රසායනාගාරයේ විද්‍යාඥයෙකු ලෙස  බඳවා ගත්තේය… වැඩි සමාජ ආශ්‍රයක් නොමැති ඔහු සිය රාජකාරිය දේවත්‍වයෙන් සළකනවා පමණක් නොව සිය විද්‍යාඥ තනතුර ද ඉතා ඉහළ තත්ත්‍වයක තබා ක්‍රියා කරයි.. එසේ නොවන්නට රාහුල් සාමාන්‍ය මිනිසෙකි.

හලෝ රාහුල් ගුප්තා….

යාළුවා…. නම්බු දීලා කතා කරන්න පුරුදු වෙනවා…. සයන්ටිස්ට් රාහුල් ගුප්තා…..

හරි හරි…. සයන්ටිස්ට් රාහුල් ගුප්තා… අපි මේ ආවෙ ඔයාගෙ විශේෂඥ දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න…… අපි දන්නවා ඔයා තමයි මේ විෂය හොඳටම දන්නෙ කියලා..

ආ… එහෙම එන්න… කියමු බලන්න මොකද්ද ප්‍රශ්නෙ කියලා…..

මෙන්න මේකයි ප්‍රශ්නෙ… අපට ලැබුණා තෙල් සාම්පලයක්… මේ තියෙන්නෙ ඒ සාම්පලයේ වර්ණලේඛ විශ්ලේෂණ සටහන (Gas Chromatogram )……… මේක අනුව කියන්න පුළුවන්ද මේ සාම්පලයෙ අඩංගු තෙල් වර්ගය මොකද්ද කියලා ?

 

දෙයියනේ… මේක තෙලක්ද නැත්නම් කොහෙන් හරි කානුවකින් හොයා ගත්ත ජරාවක්ද ?

ඒ මොකද එහෙම අහන්නෙ ?

මේක පිරිසිදු තෙලක් නෙවෙයි… මේකෙ තියෙන්නෙ ලොකු මිශ්‍රණයක්….

කොහොමද එහෙම කියන්නෙ ?

එහෙම කියන්නෙ මම හොඳට දන්න නිසා…. තනි තෙල් වර්ගයක මේ තරම් විශාල සංඝඨක මිශ්‍රණයක් දකින්න බැහැ… තිබුණත් මේ වගේ අනුපාත නැහැ… මම සගන්ධ තෙල් (essential oils) ගැන හොඳට දන්නවා… මේක අනිවාර්යයෙන්ම සංඝඨක දහයකට වැඩි මිශ්‍රණයක්…… මේ මිශ්‍රණය විශ්ලේෂණය කරන්න ඔහොම බෑ..   අයියෝ  මට ගෙනැත් දුන්න නං ඉවරයි නෙ… කෝ සාම්පලය තියෙනවද ?

ඔව්… ලැබ් එකේ තියෙනවා…

මට ගෙනැත් දෙන්න සාම්පලේ… ඔය ලැබ් එකේ ඉන්න තාක්‍ෂණික නිලධාරියො දන්න ඉටිගෙඩියක් නෑ… උන් දන්නෙ ඔයාල දෙන සාම්පලේ ඔහේ ගහලා වාර්තාව දෙන්න විතරයි… මේ වගේ සාම්පලයකට වෙනම තත්ත්‍ව සකසන්න ඕන.. සමහර සංඝඨක ඉක්මනින් වාශ්පෂීලී වෙනවා.. තවත් සමහර ඒවා අඩු වාශ්පශීලීතාවයක් තියෙන්නෙ.. ඒ නිසා මේ පරීක්‍ෂණයෙ තත්ත්‍වයන් වෙනස් කරන්න ඕන… මට දවස් දෙකක් දෙන්න.. මම සම්පූර්ණ වාර්තාවම දෙන්නම්…

හරි.. මම සාම්පලය දැන්ම ගෙනත් දෙන්නම්… බොහොම ස්තූතියි සයන්ටිස්ට් රාහුල් ගුප්තා… ඔබ නම් අපේ ගැලවුම්කාරයෙක්….

කිසි දේකට බයවෙන්න එපා…. මොකද්ද නම කිවුවෙ ?

ආ… මම ජේසන්…

හරි… ජේසන්… කිසි දේකට බය වෙන්න එපා… මම දවස් දෙකකින් වැඩේ කරලා දෙන්නම්…. මොකද්ද මේ සාම්පලය…

අනේ සයන්ටිස්ට් රාහුල් ගුප්තා. ඒකනම් කියන්න බෑ… අතිශය රහසිගතයි…

හරි හරි…. මම දන්නවා…

හරි… එහෙනම්…. අපි යනවා… බොහොම ස්තූතියි..සයන්ටිස්ට් රාහුල් ගුප්තා…

හරි… මට සාම්පලය දැන්මම ගෙනැත් දෙන්නකෝ…

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

තවම සිහිය ආවෙ නැද්ද ඩොක්ට ? මොලී පැමිණි වහාම වාට්ටුව භාර වෛද්‍යවරයාගෙන් විමසුවේ ඉතා දුක්මුසුවය…..

තවම නැහැ මොලී….. අද හවසත් අර හාමුදුරුවො ඇවිත් පිරිත් කියලා ගියා…. ඒත් තවම කිසිම වෙනසක් නැහැ… එකම වෙනස පිරිත් කියන අවස්ථාවෙ විතරක් මොළයේ සංඥාවල සිදුවන වෙනස විතරයි. මේ නිසාම අපි තීරණය කළා අර මුලින් කිවුව විද්‍යුත් කම්පන ප්‍රතිකාරය හෙටින් පසුව කරන්න.

කෝකටත් අපි විශ්වගෙ භාරකාරයො එනකල් ඉඳිමු ඉදිරියේදි මොනවා කරනවද කියන දේ තීරණය කරන්න…. තානාපති කාර්යාලයෙන් දැනුම් දීමක් ලැබුණා ඒ අය හෙට ලංකාවෙන් පිටත් වෙනවා කියලා… ඒ කියන්නෙ හෙට හවස් වෙනකොට ඒ අය මෙහාට එන්න ඕන… එයාලා ආවට පසු අපි වාර්තා පැහැදිලි කරලා දීලා බදාදාට විශ්වගේ කම්පන ප්‍රතිකාරය කරන්න බලාපොරොත්තු වෙනවා.

ඩොක්ට කිවුව නේද අර මුලින් කළ පරීක්‍ෂණ වගයක් ගැන, ඒවයේ වාර්තා වලින් මොනවත් තීරණයක් ගන්න බැරිද ?

ආ… මතක් කළ එක හොඳයි… ඒ වාර්තා අපි හොඳින් සළකා බැලුවා… අපි මේ රෝහලේ විතරක් නොවෙයි. සියැට්ල් ග්‍රේස් රෝහලේ ස්නායු  විශේෂඥ වෛද්‍ය ඩෙරික් ශෙපර්ඩ්ගෙනුත් අපි අදහස් ලබා ගත්තා… ඔහුට අනුව මේ තත්ත්‍වය එතරම් අසාමාන්‍යතාවයක් නොවෙයි, නමුත් දිගටම අපි නිරීක්‍ෂණය කරනවා.. අපි අද සවස ඔහුව සජීවීව සම්බන්ධ කරගත්තා පිරිත් කියන අවස්ථාවේදී… ඔහුත් දුටුවා මේ සංසිද්ධිය… ඒ නිසාම අපි තවදුරටත් පිරිත් සජ්ඣායනය කිරීමේ කටයුත්ත දිගටම කරන්න තීරණය කළා… හාමුදුරුවොන්ගෙනුත් අකැමැත්තක් නැහැ…

 

එතකොට විශ්වගේ අනිත් අවයව වල ක්‍රියාකාරීත්‍වයේ වෙනසක් නැද්ද ? මෙතෙක් වේලා නිහඬව සිටි මෙගන් වෛද්‍යවරයාගෙන් විමසුවාය..

විශ්ව බැලීමට හමුදා රෝහලට ඇතුළුවිය හැක්කේ සීමිත සහ අවසරලත් පුද්ගලයින් සංඛ්‍යාවකට පමණක් නිසා මෙන්ම විශ්ව බැලීමට ඇති කැමැත්ත නිසාත්, වෙනත් කළහැකි කිසිවක් නොතිබූ නිසාත්, මොලී සමඟ පැමිණීමට මෙගන්ට සිදුවිය.

නැහැ…. පෙනහැල්ලේ සිදු වුන තුවාලය නිසා කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක ආධාරයෙන් තමයි හුස්ම ගන්නෙ… ඒ ඇරෙන්න කිසිම අවයවයක හෝ ඉන්ද්‍රියක වෙනසක් පෙන්වන්නෙ නැහැ… ඒක ඇත්තටම හොඳ දෙයක්… ඒ නිසා අපට ගොඩක් බලාපොරොත්තු තබා ගන්න පුළුවනි විශ්වට ඉක්මනින්ම සිහිය ඒවි කියලා.

අපට මොනවද වෙන කරන්න පුළුවන් ?

ඔයාලට නම් මෙතැන කරන්න කිසිම දෙයක් නැහැ… අපි මුලින්ම කරන්න ඕන විශ්ව ප්‍රකෘති තත්ත්‍වට ගන්න එකයි.. ඊට පස්සෙයි ඉතිරිය බලන්න වෙන්නෙ… අපට සමහරවිට විශ්වට මානසික ප්‍රතිකාර කරන්න වෙයි… එයා මෙතැනට වැටුනෙ ලොකු අනතුරකින් පස්සෙ.. ඒ නිසා පශ්චාත් කම්පන ආතතිය (Post Traumatic Stress Disorder) සඳහා ප්‍රතිකාර කරන්න වෙයි.. ඒක බලපාන්නෙ විශ්වගෙ මානසික තත්ත්‍වය අනුව.. එයා මානසිකව ශක්තිමත් පුද්ගලයෙක් නම් බොහොම ඉක්මනින් ප්‍රකෘති තත්ත්‍වයට පත් වේවි.. නැතිනම් ටික කලක් යාවි.. එයා ප්‍රකෘති තත්ත්‍වයට පත් වෙන්නෙ ටික කළක් සිහිනැතිව ඉඳලා නිසා එයාගෙ මතකය, මානසික මට්ටම ගැන පරීක්‍ෂණ කරන්න වේවි. එහෙම ප්‍රශ්නයක් තිබෙනවා නම් අපට ඒ පැත්තෙන් පුනරුත්ථාපනය කරන්න වේවි. ඉන් පස්සෙ අපි බලන්න ඕන එයාගෙ අවයව වල ක්‍රියාකාරීත්‍වය ගැන.. පාදයේ අස්ථියක් සම්පූර්ණයෙන්ම බිඳුන නිසා ඇවිදීම අපහසු වේවි.. පාදය යථා තත්ත්‍වයට ගෙන එන ව්‍යායාම්වල යෙදෙන්න වේවි… මේ වගේ සෑහෙන වැඩ කොටසක් තියෙනවා ඉදිරියට.. සමහරවිට සිහිය ඇවිත්  මාස දෙකක් තුනක් යනකල් 100 % ක් ප්‍රකෘති තත්ත්‍වයට ගෙන එන්න අමාරු වේවි.. නමුත් බය වෙන්න එපා.. මීට වඩා දරුණු විදියට ආබාධවලට ලක් වෙලා ඉරාකයෙන් සහ ඇෆ්ගනිස්ථානයෙන් ආපු සොල්දාදුවො අපි හොඳ කරලා නැවත යුධබිමටත් යවලා තියෙනවා. ඒ නිසා හිත කලබල කර ගන්න එපා.. අපි පියවරෙන් පියවර ඉදිරියට යමු….

බොහොම ස්තූතියි ඩොක්ට….

ප්‍රශ්නයක් නැහැ….

එහෙනම්,… අපි ගිහින් එන්නම්………

හොඳයි… සුභ සන්ධ්‍යාවක්…..

 

ඇස්බැස්ටස් දෙස ඇස් ඇරලා බලන්න


Asbastos

රජය විසින් මෑතකදී ඇස්බැස්ටෝස්  තහනම් කරන්නට යෙදුනා. මේ නිසා එය පාවිච්චි කරන මහජනතාව වගේම ඇස්බැස්ටෝස්  ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කරන සහ වෙලඳාම් කරන අයට මහත් අපහසුතාවයකට මුහුණ පාන්නට සිදු වෙනවා. කෙසේ වුවත් මේ තහනමට සමගාමීව වෙනත් ආදේශකයක් නිර්ණය වී නැහැ. ඇත්තෙන්ම ඇස්බැස්ටෝස්  අනතුරුදායකද ? එසේ අනතුරුදායකනම් එය සිදු වන්නේ කෙසේද ? අපට එය වලක්වා ගන්නට නොහැකිද ?

ඇස්බැස්ටෝස්  යන නම මූලිකව පැමිණුනේ ගිණිනොගන්නා යන සමාන පදයක් වූ ග්‍රීක වදනක් ආශ්‍රයෙන්. මෙය අවුරුදු 4500 කට එහා කාළයේ සිට පැවතුනක්. රෝමන්වරු ධනවත් මියගිය පුද්ගලයින් ඔතා ඔවුන් ගිණි තැබීමට ඇස්බැස්ටොස් වලින් සැකසූ රෙදි පාවිච්චි කළ බවට තොරතුරු තිබෙනවා. එසේ සිදු කරන්නේ මියගිය අයගේ අළු, දැව අළු හෝ වෙනත් දෑ සමග මුසු වීම වලකාලීමට බව ඉතිහාසයේ සඳහන්. රෝමයේ පළමු අධිරාජ්‍යයා වන Charlemagne (800–814) විසින් ඇස්බැස්ටෝස් රෙදිවලින් සැකසූ මේස රෙද්දක් භාවිතා කළ බව සඳහන්, ධනවත් පර්සියානුවන් එවැනි රෙදි ගින්නට දමා පිරිසිදු කර සිය අමුත්තන් පුදුම කළ බව ඉපැරණි වාර්තා සාක්‍ෂි දරනවා. නැගෙනහිර ෆින්ලන්තයේ Juorjävi නම් විල ආශ්‍රිතව සොයාගත් පෞරාණික භාණ්ඩ වලින් පෙනීගොස් ඇත්තේ ඔවුන් සිය වලං වැනි දෑ ශක්තිමත් කිරීමට ඇස්බැස්ටෝස් කෙඳි භාවිතා කර ඇති බවයි. පසුව මාර්කෝ පෝලෝ පවා ඇස්බැස්ටෝස් වල ඇති සුවිශේෂී ගුණ හඳුනාගෙන එවැනි රෙදි සැකසූ බව ඉතිහාසයේ සඳහන් වනවා. කෙසේ වුවත් ඇස්බැස්ටෝස් මහා පරිමාණව කැණීම් ආරම්භ වූයේ 19 වන ශතවර්ෂයේදී යි. මේවා සුවිශේෂ භෞතික ගුණවලින් සමන්විත ලවණ විශේෂයක්. ඒවා අතර ශබ්ධ අවශෝෂණය, ඉහළ ආතතියකට ඔරොත්තු දීමේ හැකියාව, මිලෙන් අඩු වීම සහ ගින්නට, තාපයට, සහ විදුලියට දක්වන ප්‍රතිරෝධීතාවය වැනි දෑ ප්‍රබලව සැලෙකෙනවා. මේ නිසාම ඒවා උදුන් වලට භාවිතා කරන වයර් ආවරණය කිරීමට සහ ගොඩනැගිලි පරිවාරණයට භාවිතා කරනවා. ඇස්බැස්ටෝස්  ගින්නට හෝ තාපයට ඔරොත්තු දෙන සේ සකසන විට ඒවා සිමෙන්ති සමග මිශ්‍ර කිරීම හෝ රෙදි-නැතහොත් පැදුරු වැනි දෑ විවීම සිදු කරනවා. මෙවැනි වාසිදායක ගතිගුණ නිසා ඇස්බැස්ටෝස්  බහුලව භාවිතා වුවත් 20 වන සියවසේදී එහි ඇති සෞඛ්‍යමය හානිදායක තත්ත්‍වයන් නිසා ලොව පුරා ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයේ සහ ගිණි ආරක්‍ෂණ ද්‍රව්‍ය සැකසීමේදී භාවිතයෙන් ඉවත් කළා.

ඇස්බැස්ටෝස්  තන්තු දීර්ඝකාලීන ආශ්වාසය නිසා පෙනහළු පිළිකා,Mesothelioma නම් පෙනහළු පටක ආශ්‍රිත පිළිකාවන් සහ ඇස්බැස්ටෝසිස් නම් නියුමෝනියා තත්ත්‍වය ඇති වීමට පුළුවනි. මේ සියල්ල මාරාන්තිකයි. ඇස්බැස්ටෝස්  පිළිබඳ මේ තත්ත්‍වයන් කරලියට ආවේ 1920-30 ගණන්වල වුනත්, 1980-90 පමණ වන තෙක් විශේෂ නීතිමය පද්ධතියක් සැකසුනේ නැහැ. නමුත් ඒ වනවිට ලොව බොහෝ රටවල් ඇස්බැස්ටෝස්  සිය ඉදිකිරීම් කටයුතු වලින් ඈත් කිරීමට පටන් ගත්තා. ඒ අනුව බොහොමයක් රටවල් ඇස්බැස්ටෝස්  තහනම් කිරීමට කටයුතු කළේ මේ කාළයේදීයි. ඇස්බැස්ටෝස්  ආශ්‍රිත රෝග කෙතරම් දරුණු වුවත්, ලෝකයේ බොහෝ දෙනා, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල තවමත් ඇස්බැස්ටෝස්  බහුලව භාවිතා වනවා.

ඇස්බැස්ටෝස්  යනුවෙන් පොදුවේ හඳුන්වන්නේ ස්වභාවිකව පවතින සිලිකේට් ඛණිජ වර්ග හයක එකතුවකටයි. මේවා අයත් වන්නේ Serpentine නම් ඇම්ෆිබෝල් (Amphibole) ඛණිජ සමූහයටයි. එසේම මේ ඛණිජ වර්ග හයම මානව පිළිකා කාරක ද්‍රව්‍ය ලෙස හඳුනාගෙන තිබෙනව‍ා. මේ බොහොමයක් ඛණිජ ඇලුමිනියම්, සිලිකන්, මැග්නීසියම්, සෝඩියම්, කැල්සියම් සහ යකඩ යන මූලද්‍රව්‍ය වල  ඔක්සයිඩ වලින් සමන්විතයි. මේ විවිධ මූලද්‍රව්‍යවල විවිධාකාර සැකසීම් නිසා සහ ඒවායේ සාන්‍ද්‍රණය අනුව ඒ ඒ ඛණිජ විවිධ වර්ණය ගන්නවා.

ඇස්බැස්ටෝස්  වලට නම ලැබී ඇත්තේ ලවණ වල ඇති තන්තුමය ස්ඵටිකමය ස්වභාවය නිසායි. මෙම ස්ඵටික සාමාන්‍යයෙන් ඉතාම තියුණු තන්තු ස්වභාවයක් ගනු ලබනවා. මේ තන්තු එහි විෂ්කම්භය මෙන් 20 ගුණයක දිගකින් යුක්තයි. මෙම තන්තු පියවි ඇසට දැකගතහැකි වුවත්, ඒවා ඇත්තෙන්ම ඊටත් වඩා කුඩා ක්‍ෂුද්‍ර තන්තු මිලියන ගණනකින් සමන්විතයි. මේ සියුම් ක්‍ෂුද්‍ර තන්තු සමහරවිට ඝර්ෂණයකදී, කැපීමකදී, පීරිගෑමක දී වැනි අවස්ථාවක පරිසරයට මුදා හැරෙන්නට පුළුවනි. මේ ඇස්බැස්ටෝස් වල ඇති ස්ඵටිකවල වර්ණය අනුව ඇස්බැස්ටෝස් නිල්, දුඹුරු, සුදු, සහ කොළ ඇස්බැස්ටෝස් ලෙස නම් කෙරෙනවා.

ඇස්බැස්ටෝස් විෂවීම බොහෝ දෙනා සිතන පරිදි ක්‍ෂණිකව සිදු වන්නක් නොවෙයි. ඕනෑම රසායන ද්‍රව්‍යයක්, හෝ විෂක් ශරීර ගතවීම දෙආකාරයකින් සිදු වනවා. ඉතා කුඩා ප්‍රමාණයක් දීර්ඝ කාළයක් තිස්සේ ශරීර ගතවීම නිදන්ගත (Chronic) තත්ත්‍වයක් ලෙසින් හඳුන්වන්නට පුළුවනි. මෙවිට ශරීරයේ රෝග ලක්‍ෂණ පෙන්වීමට සමහරවිට අවුරුදු 10 ක් හෝ 20කටත් වැඩි ගණනක් ගත වන්නට පුළුවනි. මෙයට හොඳම උදාහරණය වන්නේ රජරට වකුගඩු රෝගයයි. ආසනික්, කැඩ්මියම්, ග්ලයිෆොසේට් හෝ වෙනත් කිසියම් හෝ කරුණක් නිසා ශරීරයේ එකතු වන ද්‍රව්‍යයක බලපෑමෙන් දීර්ඝ කාලීනව සිදුවන බලපෑමක් නිසා වකුගඩු රෝගී තත්ත්‍වය ඇති වීමයි. අනෙක් ක්‍රමය වන්නේ ඉතා ඉහළ සාන්‍ද්‍රණයකින් යුතු රසායන ද්‍රව්‍යයක් ඉතා කෙටි කාළයක් තුළ ශරීරගත වීම නිසා සිදුවන ක්‍ෂණික මරණය හෝ අනතුරුදායක තත්ත්‍වයක් (Acute). මේ ක්‍රම දෙක අතරින් ඇස්බැස්ටෝස් විෂවීම සිදු වන්නේ දීර්ඝකාලීනවයි. එය සමහරවිට අවුරුදු 10 ක් හෝ 40 ක් වන්නට පුළුවනි. මෙම තත්ත්‍වය ඇස්බැස්ටෝසිස් (Asbestosis) යනුවෙන් හඳුන්වනවා. මෙහිදී සිදු වන්නේ ඇස්බැස්ටෝස් කෙඳි දීර්ඝකාලීන ආශ්වාසය නිසා පෙනහළුවල පටකවලට සිදුවන හානියයි. මෙසේ හානි වන පටක පසුකාලීනව පිළිකා තත්ත්‍වයන් දක්වා දුරදිග යා හැකියි.

මෙම කාරණයේ දෙපැත්තක් තිබෙනවා. ඇස්බැස්ටෝස් තහඩු හෝ වෙනත් දෑ වලින් ඇස්බැස්ටෝස් කෙඳි ගැලවී නොයන තාක්, ඇස්බැස්ටෝස් කිසිවෙකුගේ සෞඛ්‍යයට තර්ජනයක් වන්නේ නැහැ. ඇස්බැස්ටෝස් ශරීරයට හානිදායක වන්නේ විශේෂයෙන්ම ඒ හා සම්බන්ධව වැඩ කරන පෙදරේරුවන්ට වැනි පුද්ගලයන්ට සහ එවැනි කටයුතු කරන අවස්ථාවේ ඒ අවට සිටින පුද්ගලයන්ටයි. සමහරවිට ඇස්බැස්ටෝස් තහඩු තරමක් ඝණ තීන්ත ආවරණයකින් වසා තැබුවහොත් මේ ක්‍ෂුද්‍ර තන්තු පරිසරයට එක් වීමේ හැකියාවක් නැහැ. මේ නිසා ඇත්තෙන්ම හොඳින් තීන්ත පිරියම් කළ ඇස්බැස්ටෝස් තහඩු සෙවිළි කළ වහලයක් යට සිටින පුද්ගලයෙකුගේ සෞඛ්‍යමය අවදානම ඉතා පහළ තත්ත්‍වයකයි පවතින්නේ. ඒ ගැන බිය විය යුතු නැති බව ඉතා වගකීමෙන් සඳහන් කළ හැකියි.

නමුත් කෙනෙකු ඇස්බැස්ටෝස් ආශ්‍රිතව කැපීම්, ඉදිකිරීම් ආදිය සිදු කරන්නේ නම්, ඒ පුද්ගලයාට සහ ඒ අවට සිටින්නවුන්ට මේ ඇස්බැස්ටෝස් ක්‍ෂුද්‍ර කෙඳි ආඝ්‍රාණය වීමේ හැකියාව ඉහළයි. විශේෂයෙන්ම මේ කෙඳි පියවි ඇසට නොපෙනෙන නිසා සහ වායුගෝලයේ ඉතා විශාල පරාසයක පැතිර යා හැකි නිසා මේ අවදානම අධිකයි. මෙන්න මේ නිසා බොහෝ රටවල් දැන් ඇස්බැස්ටෝස් තහනමකට ලක් කර තිබෙනවා. එසේම ඇස්බැස්ටෝස් ආශ්‍රිත ද්‍රව්‍ය වලින් තැනූ ගොඩනැගිලි පවා වසා දමා තිබෙනවා. ජර්මනියේ ලුඩ්විග්ෂ්හාෆන් නගරයේ වූ BASF ආයතනයේ සුවිසල් ගොඩනැඟිල්ල දැලකින් වසා දමා ඇත්තේ එහි ඇති ඇස්බැස්ටෝස් ප්‍රමාණය අධික වීම නිසා. එය කඩා බිඳ දැමුවහොත් මුළු නගරයම ඇස්බැස්ටෝස් දුමාරයෙන් දූෂිත වන නිසා ඉතා කුඩා සිදුරු ඇති දැලකින් එම ගොඩනැගිල්ල වසා දමා තිබෙනවා.

රටවල් බොහොමයක් ඇස්බැස්ටෝස් තහනම් කළත් 2009 වසරේ දත්තයන්ට අනුව ලෝකයේ ඇස්බැස්ටෝස් නිශ්පාදනයෙන් 9% ක් සිදු කර ඇත්තේ කැනඩාවයි. නමුත් 2011 වනවිට කැනඩාව සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය නවතා දැමුවා. 2015 වනවිට ලොව පුරා ඇස්බැස්ටෝස් ටොන් මිලියන දෙකක නිෂ්පාදනයක් සිදු වූයේ 55% ක්ම රුසියාවෙන්, 20% ක් චීනයෙන්, 15.6% ක් බ්‍රසීලයෙන් සහ 10.8% ක ප්‍රමාණයක් කසකස්ථානයේ නිපැයුම් ආශ්‍රයෙන්. ඇස්බැස්ටෝස් කාර්මික කටයුතු සඳහා කැණීම ආරම්භ වූයේ කැනඩාවේ 1878 වර්ෂයේදී, එසේම එය කෙතරම් වර්ධනය වූවාද කිව හොත් 1895 වනවිට එය සම්පූර්ණයෙන්ම යාන්ත්‍රිකව සිදු කෙරුණා. 19 වන සියවස වනවටම ඇස්බැස්ටෝස් ඉතා පුළුල් පරාසයක භාණ්ඩ නිපදවීම කෙරෙහි යොදා ගත්තා. ගින්නට ඔරොත්තු දෙන තීන්ත වර්ග, කොන්ක්‍රීට්, ගඩොල්, උදුන් සඳහා යොදා ගන්නා පයිප්ප සහ ගඩොල්, ගින්නට-තාපයට-සහ අම්ලවලට ප්‍රතිරෝධයක් දක්වන අමතර කොටස්, පයිප්ප සහ සිවිලිං පරිවාරක ලෙස, බිමට, වහලට, එලිමහන් ගෘහභාණ්ඩ, බ්‍රේක් පෑඩ් ආදී නොයෙකුත් දේ සඳහා ඇස්බැස්ටෝස් යොදා ගැනුනා. වසර ගණනාවකට පෙර එක්සත් රාජධානියේ ඇස්බැස්ටෝස් තහනම් කර තිබුණත්, 2011 වනවිටත් එහි නිවෙස් වලින් 50% ක ප්‍රමාණයක ඇස්බැස්ටෝස් වලින් සැකසූ උපාංග ඇතුලත්ව තිබුණා. ජපානයේ ඇස්බැස්ටෝස් භාවිතා වූයේ වෙනස් අන්දමකටයි. ඇස්බැස්ටෝස් වල වූ අමුද්‍රව්‍ය භාවිතයෙන් ඔවුන් වී වගාවට අවශ්‍ය ඇමෝනියම් සල්ෆේට් නිෂ්පාදනයට යොදා ගත්තා. මෙයට අමතරව බලශක්තිය සකසුරුවමින් පාවිච්චි කිරීමට සීලිං, බිත්ති සහ බිමට තාප පරිවාරකයක් ලෙසින් ඇස්බැස්ටෝස් යොදා ගත්තා.

1899 තරම් ඈත කාලයකදී වෛද්‍ය මොන්ටේගු මරේ විසින් ඇස්බැස්ටෝස් වල වූ විවිධ සෞඛ්‍යමය ගැටළු අවබෝධ කර ගත්තා. ඇස්බැස්ටෝස් නිසා සිදු වූ පළමු මරණය 1906 දී වාර්තා වූවා. 1900 මුල්භාගයේදී ඇස්බැස්ටෝස් කැණීම් සිදු වූ ප්‍රදේශ වල මිනිසුන් විශාල  වශයෙන් විවිධ පෙනහළු ආබාධ වලින් පෙළිම සහ මියයාම සිදු වීම නිරීක්‍ෂණය කළ වෛද්‍ය මරේ විසින් එසේ මියගිය අයගේ පෙනහළු විශ්ලේෂණය කිරීමේදී පෙනී ගියේ ඔවුන්ගේ පෙනහළු ඉතා විශාල වශයෙන් තුවාල වී සහ විනාශ වී ගොස් ඇති බව සහ ඇස්බැස්ටෝස් තැන්පත්ව තිබූ බවයි. ඒ අනුව එක්සත් රාජධානියෙහි අන්තරායකාරී කාර්මික රසායනද්‍රව්‍ය ගොන්නට  ඇස්බැස්ටෝස් 1902 දී එකතු වූවා. එයට සමගාමීව 1906 දී ප්‍රංශයත්, 1908 දී ඉතාලියත් ඇස්බැස්ටෝස් එම ලැයිස්තුවට ඇතුලත් කළා.

ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් දෙවන ලෝක යුද්ධය කාලයේදී නැව් නිෂ්පාදන කර්මාන්තයේ යෙදුනු කාර්මිකයන් ලක්‍ෂයක් පමණ මියගොස් තිබුණේ ඇස්බැස්ටෝස් නිසා. එසේ වුවත් ඇමරිකාව අන් රටවල් මෙන් ඇස්බැස්ටෝස් තහනම් කරන්නට කටයුතු යෙදුවේ නැහැ. එය 1970 දශකය දක්වාම කිසිදු බාධාවකින් තොරව පාවිච්චි කෙරුණා. එසේම එහි සෞඛ්‍යමය හානිය 1930 කාලයේ සිටම දැන සිටියත්, සාමාන්‍ය ජනතාවගෙන් එය ඒ කාලයේ සිටම වසන් කරගෙන සිටි බවට පසුව සොයාගෙන තිබුණා. 2001  සැප්තැම්ර් 11 වන දින සිදු වූ ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ප්‍රහාරය නිසා එහි කුළුණු දෙක සම්පූර්ණයෙන්ම බිඳ වැටුනා. එහි වූ දූවිලි සහ දුමාරයේ ඉතා විශාල වශයෙන් ඇස්බැස්ටෝස් අඩංගුව තිබීම නිසා බොහෝ සෞඛ්‍ය ගැටළු පැන නැගුනා.

කාර්මිකව භාවිතා වූ  ටැල්ක් පවුඩර් සැකසුනේ ට්‍රෙමොලයිට් නම්  ඛණිජය මගින් සෑදුන ඇස්බැස්ටෝස් නිධි ආශ්‍රිතවම තිබූ ටැල්ක් නිධි අනුසාරයෙන්. මේ නිසා ඒවා ඇස්බැස්ටෝස් මගින් දූෂිතව තිබුණා. මේ නිසාම දැන් ශරීරයේ ගල්වන ටැල්ක් සහ කාර්මිකව භාවිතා වන ටැල්ක් පවුඩර් ඉතා වෙනස් ප්‍රභව වලින් ලබා ගැනීමට කටයුතු යොදා තිබෙනවා.

ඇස්බැස්ටෝස් ඇත්තෙන්ම හානි දායක වන්නේ එහි ආශ්වාස කෙරෙන සාන්‍ද්‍රණය මත සහ ආශ්වාස කෙරෙන කාළය මතයි. කෙනෙකු ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදන හෝ ගොඩනැගිලි කර්මාන්තයේ දිගු කාළයක් නියැලී සිටියේ නම්, අනිවාර්යයෙන්ම පෙනහළු පරීක්‍ෂා කර ගැනීම වැදගත්. හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇතිනම්, එයින් අදහස් වන්නේ පෙනහළු, ශ්වාස නාල, ප්ලූරාව වැනි දෑ ඇස්බැස්ටෝස් නිසා යම් තුවාලවීමකට ලක් වී ඇති බව විය හැකියි. මෙය ඇස්බැස්ටෝස් සෙවිලි කළ වහලයක් යට සිටින කෙනෙකුට ඒ තරම් බලපාන්නේ නැති වන්නට පුළුවන්. මක් නිසාද යත්, වහලයෙන් සියුම් තන්තු වායුගෝලයට මුදා හැරීම අවම වන නිසා සහ එම තන්තු වායුගෝලයට එකතු වීමේදී ඒවායේ සාන්‍ද්‍රණය ඉතා අවම වීම නිසා. මේ නිසා පෙනහළුවලට ඇතුළුවන තන්තු ප්‍රමාණය නොගිනිය හැකි තරම්.

මේ කරුණු නිසාම ඇස්බැස්ටෝස් වලට ආදේශකයන් සෙවීමට පර්යේෂකයන් පෙළඹුනා. ඒ අනුව ඒ සොයා ගන්නා සියළුම ද්‍රව්‍ය මානව පිළිකා කාරක නොවිය යුතු බවට නීතියක් පැන නැංවූයේ නව සොයා ගැනීම් සමහරවිට පැරණි දේටත් වඩා හානිදායක විය හැකිව තිබූ නිසා. ඒ අනුව 1978 දී වෙනස් ආකාරයක රටාවකින් බැඳී පවතින, Zetex නමින් හැඳින්වූ  වීදුරු තන්තු වර්ගයක් සොයා ගැනුනේ Bal Dixit විසින්. එය ඇස්බැස්ටෝස් වලට වඩා සැහැල්ලු වූ අතර ඒ තරම්ම ඝර්ෂණයට ඔරොත්තු දෙන, ඇස්බැස්ටෝස් මෙන්ම භාවිතා කළ හැකි ද්‍රව්‍යයක් වූවා.

ඇස්බැස්ටෝස් බොහෝ භෞතික ගතිගුණ ගොන්නකින් සමන්විත වුවත් එහි වූ සෞඛ්‍යමය ගැටළු නිසා එහි වෙනස් ගුණ ආදේශක ද්‍රව්‍ය වලින් පිරිමසා ගැනීමට මිනිසුන් පෙළඹුනා ඇස්බැස්ටෝස් වල වූ ගින්නට ඔරොත්තු දෙන ගතිය ලබා ගන්නට සමත් ද්‍රව්‍යයක් වන PolyBenzImidazole නැතහොත්  PBI තන්තු නිෂ්පාදනය වූයේ තාප සහ ගින්දර පරිවාරක ද්‍රව්‍ය ලෙස භාවිතා කිරීමට. එය ද්‍රවාංකය 760 °C (1,400 °F) වන ගිනි නොගන්නා ද්‍රව්‍යයක් නිසා ගොඩනැඟිලි පරිවාරණයට භාවිතා කළා.

ඇස්බැස්ටෝස් භාවිතයෙන් ඉවත් කිරීමත් සෞඛ්‍යාරක්‍ෂිතව කළ යුතුවූ නිසා බොහෝ විට ඒවා වගුරුබිම් පිරවීම වැනි දෑ සඳහා යොදා ගත්තා. සෙන්ටිග්‍රේඩ් 1000 – 1250 වැනි උෂ්ණත්‍වයකට රත් කළ පසු ඇස්බැස්ටෝස් සෞඛ්‍යාරක්‍ෂිත සිලිකේට් වීදුරු බවට පත් වන නිසා මයික්‍රොවේව් භාවිතයෙන් එසේ ඇස්බැස්ටෝස් සිලිකේට් වීදුරු සහ විවිධ වීදුරු භාණ්ඩ බවට පරිවර්තනය කිරීම ද සිදු වූවා.

ලංකාවේ ද පමා වී හෝ ඇස්බැස්ටෝස් තහනම සිදු කිරීම විශේෂයෙන්ම ඇස්බැස්ටෝස් ආශ්‍රිතව ගොඩනැගිලි කර්මාන්තයේ යෙදෙන කාර්මිකයන්ට සහ පෙදරේරුවන්ට සිදු කළ සාධාරණයක්. ලංකාවේ කර්මාන්ත ආරක්‍ෂණ කටයුතු ඉතා ලිහිල්ව සිදු කෙරෙන නිසා මේ කර්මාන්තයේ යෙදෙන්නන් මුඛ ආවරණ හෝ පැළඳ සේවය කරන්නේ නැහැ. මෙය ඉතා භයානක තත්ත්‍වයක්. ඇස්බැස්ටෝස් නොවුනත්, වෙනත් දූවිලි වර්ග පෙනහළු කරා යාම වලක්වන්නට බැහැ. මේ නිසා ගොඩනැඟිලි කර්මාන්තයේ යෙදෙන්නන් වෙත ආරක්‍ෂණ ක්‍රියා පිළිවෙලක් සැකසීම ඉතා යෝග්‍ය වන අතර එය කොළවලට සීමා නොවී සත්‍ය වශයෙන්ම ක්‍රියාවේ යෙදවිය යුතුයි. දැනට ඇස්බැස්ටෝස් සෙවිළි කළ ගොඩනැඟිලිවල ජීවත් වන උදවිය ඒ තරම් දැඩි අනාරක්‍ෂිත බවකට පත් වී නැති වුවත්, වහලවල් හෝ සිවිලිං ඉවත් කිරීමේදී හැකිතාක් දුරට ඒ අවටින් ඉවත් වී නාස් ආවරණය කරගෙන සිටීමෙන්, ඇස්බැස්ටෝස් ආඝ්‍රාණය වීම වලක්වා ගන්නට පුළුවනි. එසේම, ඒ පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකරගතයුතු නැහැ. මක්නිසාද යත්, අප කොතරම් අවාසනාවන්තද යත්, ඇස්බැස්ටෝස් වලට වඩා භයානක රසායන ද්‍රව්‍ය සහ රසායනික සමඟ අප බොහෝ දෙනා සාමාන්‍ය ජීවිතයේදී ගැටුනත්, අපි ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති නිසා එය හානිදායකදැයි කියා හෝ නොදන්නා නිසා… මේ නිසා අප භාවිතා කරන මොනයම් හෝ රසායන ද්‍රව්‍යයක්, ඖෂධ වර්ගයක්, හෝ ආලේපනයක රසායනික සංයුතිය සහ එහි අහිතකර ආචරණ සොයා බැලීම ඔබේ සෞඛ්‍යයට ඉතාමත් වැදගත්.

නුදුරු දිනෙක ලොව හොල්ලන කෘත්‍රිම බුද්ධිය – Artificial Intelligence


AI

මිනිසා තරම් බුද්ධිමත් සත්ත්‍ව කොට්ඨාසයක් තවමත් මිහිපිට සොයා නොගත්තත්, සමහර මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් දෙස බැලීමේදී මේ මිනිසාගේ හිස තුළ මොළයක් ඇත්දැයි සිතෙන තරමට මන්ද බුද්ධික සිදුවීම් ද සිදු වෙනවා. විශේෂයෙන් දිනපතා ප්‍රවෘත්ති විකාශනයන්හි වැඩි ඉඩක් ගන්නා දේශපාලන කණ්ඩායම්, එතැනට යද්දී මොළය ගෙදර තබාගොස් ඇති දැයි නොසිතෙනවා ද නොවේ. ලංකාවේ දුක්ඛිත තත්ත්‍වය එසේ වුවත්, පසුගිය සතියේ ලොව පුරා දියුණුව පතන පුද්ගලයන්ගේ දෑස් හැරීමට එක් සිදුවීමක් සමත් වුනා. එනම් සවුදි අරාබිය, ලෝකයේ ප්‍රථම වරට කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ ඇමතිවරයෙකු පත් කිරීමයි. මේ පත්කිරීම සවුදි අරාබියේ 2030 දැක්ම හා සමගාමීව කරන ලද්දක්. ලෝකය කෙසේ ඉදිරියට ගියත්, අපට තවමත් බුද්ධියේ මූලික අඩිතාලම වන අධ්‍යාපනය හරිහැටි සකසා ගන්නට නොහැකිව සිටින නිසා, තවත් අවුරුදු 50 ක් ගියත් මේ පිළිබඳ අනතුරුදායක තත්ත්‍වයක අප නොසිටින බව නොබියව පුරෝකථනය කළ හැකියි.

මිනිසා සහ සතුන්ගේ සාමාන්‍ය බුද්ධිය හැරුණුකොටගෙන, යන්ත්‍ර මගින් සිදු කරන බුද්ධිමත් හැසිරීම කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence) ලෙස සරළවම විස්තර කළ හැකියි. කෙසේ වුවත් කෘත්‍රිම බුද්ධිය මේ යැයි යනුවෙන් පැහැදිලිවම අර්ථකථනයක් දීමට නොහැක්කේ මෙය විවිධ මට්ටම්වලින් ක්‍රියාත්මක වන නිසා. උදාහරණයක් ලෙස ගත්විට සාමාන්‍ය පරිඝණකයක ක්‍රියාකාරීත්‍වය එම පරිඝණකයට දත්ත කැවීමෙන් පසුව සිදු කරන ක්‍රියාදාම වලින් සමන්විතයි. එය භාවිතයෙන් අළුතෙන් යමක් කරවා ගැනීමට අවශ්‍ය නම්, එයට නැවත මෘදුකාංගයක් ඇතුලත් කළ යුතුමයි. එසේ නොකළහොත් නවතාවයකින් යමක් සිදු කිරීමට පරිඝණකයට නොහැකියි. නමුත් එම පරිඝණකයම ඔබේ දත්ත සැපයීමේ හෝ වෙනත් අන්තර් සම්බන්ධතාවයක් භාවිතයෙන් නව ප්‍රවණතාවයක් ඇතිකර ගනී නම්, එය කෘත්‍රිම බුද්ධිය හා සබැඳි ක්‍රියාදාමයක්. ඔබේ උදෑසන අවදිවීම සෑමවිටම උදෑසන හයට සිදුවේ නම්, පරිඝණකය එය බලාපොරොත්තුවෙන් උදෑසන හය වනවිට සිය මෙහෙයුම් පද්ධතිය බාහිර දත්ත කැවීමකින් තොරව ස්වයංක්‍රීයව ක්‍රිියාත්මක වී ඔබ වෙනුවෙන් සැදී පැහැදී සිටී නම්, ඔබ දෙනු ලබන විධානයන්ට තාර්කිකව ස්වයංක්‍රීයව ප්‍රතිචාර ලබා දේ නම්, එම පද්ධතිය කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ක්‍රියා කරන පද්ධතියක් ලෙස හඳුන්වන්නට පුළුවනි.

කෘත්‍රිම බුද්ධිය පිළිබඳ මූලිකම උත්සාහය යෙදෙන්නේ ක්‍රිස්තු පූර්ව 1300 තරම් ඈතකදී Ramon Llull විසින් ගණනයන් සිදු කිරීමට මිනිස් මොළයට අමතරව කිසියම් යන්ත්‍රයක් නිපදවීමට දරන උත්සාහයත් සමගයි. ඇබකසයේ භාවිතයත් ඊට සමගාමීවම සිදු වුනා. Gottfried Leibniz විසින් ඉලක්කම් ගණනයට වඩා වෙනස් වූ සංසිද්ධි ගණනය කළ හැකි කැල්කියුලේටරයේ මූලික අවස්ථාවක් නිපදවීම සහ Wilhelm Schickard විසින් 1623 දී එය යතාර්ථයක් බවට පත්කිරීම වැනි දෑ එහි ආරම්භක උත්සාහයන් ලෙසින් හඳුන්වන්නට පුළුවනි.

කෘත්‍රිම බුද්ධිය මුලින්ම එළි දැක්වෙන්නේ 1956 දී වුවත්, එහි මූලික අඩිතාලම වැටෙන්නේ 0 සහ 1 අනුසාරයෙන් විවිධාකාර ගණනය කිරීම් සිදු කළ හැකිය යන Alan Turing ගේ ගණිතමය සිද්ධාන්තයත් සමගයි. සංඛ්‍යාංක (Digital) පරිඝණකවලට ඕනෑම විධිමත් තර්කනයක් කළ හැකිය යන Church–Turing Thesis යන සංකල්පය සහ ස්නායු ශල්‍ය විද්‍යාව, සතුන් හා යන්ත්‍ර අතර පණිවුඩ හුවමාරු අධ්‍යයන විද්‍යාව (Cybernetics) ආශ්‍රිත තවත් සොයාගැනීම් නිසා ඉලෙක්ට්‍රොණික මොළයක් නිපදවිය හැකි බවට විද්‍යාඥයින් අතර විශ්වාසයක් පැන නැංගා. ඒ අනුව කෘත්‍රිම බුද්ධිය පිළිබඳව මූලිකවම හඳුනාගත හැකි සැලැස්ම Warren Sturgis McCulloch සහ Walter Pitt විසින් 1943 විසින් එලිදැක්වූවා.

කෙසේ වුවත්, කෘත්‍රිම බුද්ධිය නම් විෂයය සැලසුම් සහගතව අධ්‍යාපනික ක්‍ෂෙත්‍රයක් ලෙස මුලින්ම හඳුනා ගැනෙන්නේ 1956 වසරේදී ඩාර්ට්මවුත් විශ්ව විද්‍යාලයේදී තිබූ වැඩමුළුවකදීයි. එයට සහභාගී වූ කානගී මෙලන් විශ්ව විද්‍යාලයේ Allen Newell සහ Herbert Simon, මැසචුසෙට්ස් තාක්‍ෂණික සරසවියේ John McCarthy සහ, Marvin Minsky මෙන්ම අයි බී එම් ආයතනයේ  Arthur Samuel  යන අය වර්තමාන කෘත්‍රිම බුද්ධිය යන සංකල්පයේ නිර්මාතෘ වරුන් ලෙස හඳුන්වනවා. එම වැඩමුළුවේදී ඔවුන්ගේ සිසුන් මිනිස් බුද්ධිය පරදවන චෙස් ක්‍රීඩා සහ වෙනත් තාර්කිකව  ක්‍රීඩා කරන පරිඝණක වැඩසටහන් නිෂ්පාදනය කිරීම මෙහි මූලාරම්භය ලෙස සනිටුහන් කළ හැකියි. 1960 ගණන්වලදී මේ පිළිබඳ ආයෝජන අයිතිය ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුව භාරයේ තබාගෙන ලොව පුරා විවිධාකාර පර්යේෂණායතන පිහිටවූවා.

එදායින් පසුව මෙම විෂයය ක්‍ෂෙත්‍රය විවිධාකාර රැලි කිහිපයක් පසුකරමින් අද පවතින ඉතා මතභේදකාරී සහ දියුණ තත්ත්‍වයට පත්ව තිබෙනවා. කෘත්‍රිම බුද්ධිය පර්යේෂණවල සාම්ප්‍රදායික උප ක්‍ෂෙත්‍ර බොහොමයක්. තාර්කික බුද්ධිය, සැලසුම්, ඉගෙනීම, ස්වභාවිකව භාෂාවන් භාවිතය, ස්වයං අවබෝධය සහ විවිධ වස්තූන් චලනය සහ භාවිතය වැනි ක්‍ෂෙත්‍ර ඒ අතරින් ප්‍රධානයි. මෙහි දීර්ඝකාලීන බලාපොරොත්තු වන්නේ සංඛ්‍යානමය දත්ත සැකසීම සහ භාවිතය, ස්වයංක්‍රීය ගණනය කිරීම් පිළිබඳ බුද්ධිමත් තීරණ ගැනීම් වැනි උප ක්‍ෂෙත්‍රයි. මේ හා සමගාමීව දැන් කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් බොහෝ දෑ සිදු කර අවසන්. උදාහරණ වශයෙන් ගණිතමය ගණනය කිරීම් සහ ඒවා ප්‍රශස්ත මට්ටමට ගෙන ඒම, විද්‍යාත්මක ගණනයන්, මානසික විද්‍යාත්මක උපකල්පනය කිරීම්, භාෂා භාවිතය, දර්ශනය, ස්නායු ශල්‍ය විද්‍යාව, කෘත්‍රිම මානසික විද්‍යාව වැනි දෑ ඉදිරියෙන්ම තිබෙනවා.

1970 දශකයේදී මන්දගාමී ස්වරූපයක් ගත් කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ පර්යේෂණ නැවතත් පණ ලබා පැමිණියේ 1980 ගණන්වලදී තැනූ Expert Systems නම් පරිඝණකයේ නිමැවුමත් සමගයි. 1985 වනවිටත් කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ ව්‍යාපාර වටිනාකම ඩොලර් බිලියනය ඉක්මවා ගොස් තිබුණේ එහි ඇති වැදගත්කම ලොවට පසක් කරමින්.  මේ වනවිටම ජපානයේ සිදුවෙමින් පැවතුන පස්වන පරම්පරාවේ පරිඝණක ව්‍යාපෘතිය නිසා ඇමරිකානු සහ බ්‍රිතාත්‍ය රාජ්‍ය තුළ නව තරඟයක් ඇති වූවා. කෙසේ වුවත් ලොව පළමු තනි පුද්ගලයෙකුට භාවිතා කළ හැකි පරිඝණකය වූ  Lisp Machine හි අසාර්ථකත්‍වයත් සමගම නැවතත් කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ පර්යේෂණ පසුගාමීත්‍වයකට පත් වූවා.

නැවත 1990 ගණන්වල, සිදු වූ පුනරුදය මේ දක්වාම නොනැසී පැවතීම කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ පර්යේෂණ ලැබූ ලොකුම ජයග්‍රහණයයි. මෙහි ප්‍රධානතම සාර්ථකත්‍වය වන්නේ පරිඝණකවල බලය සහ වේගය ඉතා ඉක්මනින්ම දියුණු වීම සහ දත්ත සැකසීම සහ භාවිතයේ දියුණුව සුවිශාල වශයෙන් වැඩි වීමයි. ඒ අනුව 1997 වසරේදී කෘත්‍රිම බුද්ධිය තනා සැකසූ Deep Blue නම් පරිඝණකය 1997 වසරේ මැයි 11 වන දින ප්‍රථම වරට එවකට ලෝක චෙස් ශුරයා වූ Garry Kasparov පරාජය කිරීම මගින් සිය අද්විතීයභාවය සනිටුහන් කරනු ලැබුවා.

2010 වනවිට විශාල ප්‍රමාණයක් දත්ත ප්‍රයෝජනයට ගැනීම සහ පරිඝණකවල සුපිරි ක්‍රියාකාරීත්‍වය නිසා කෘත්‍රිම බුද්ධිය භාවිතයේ විශාල පරිණාමයක් සටහන් වූවා. ඇමරිකාවේ ප්‍රසිද්ධ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් වන Jeopardy නම් වැඩසටහනේ ශූරයින් වන , Brad Rutter සහ Ken Jennings දෙදෙනා ප්‍රදර්ශන තරඟයකදී IBM සමාගම විසින් නිපදවූ Watson නම් කෘත්‍රිම බුද්ධිය සහිත පරිඝණකය මගින් ඉතා ඉහළ ලකුණු වෙනසකින් පරාජය වූයේ කෘත්‍රිම බුද්ධියේ පරිණාමය සනිටුහන් කරමින්., මෙයට අමතරව විවිධාකාර සංකීර්ණ පරිඝණක ක්‍රීඩා සහ වෙනත් අවස්ථාවලදී මානව බුද්ධිය අභිබවමින් කෘත්‍රිම බුද්ධිය ගවු ගණනක් ඉදිරියෙන් සිටින බවට බොහෝ අවස්ථාවල තහවුරු වී ඇත්තේ ඒ සම්බන්ධයෙන් සිදු කළ තරඟ ගණනාවකදී පැහැදිලිවම මානව බුද්ධිය පරාජය වීම නිසායි.

ක්‍රීඩා සහ වෙනත් තරඟ අංශවලින් එසේ වුවත්, ප්‍රායෝගික භාවිතාවේදීත් කෘත්‍රිම බුද්ධිය ඉතා ඉදිරියෙන් සිටිනවා. එසේම Microsoft සමාගම මගින් මෑතකදී එලිදැක්වුණ Skype මගින් භාෂාවන් පරිවර්තනය කිරීමේ හැකියාව සහ Facebook හි අන්ධ පුද්ගලයින්ට පින්තූර විස්තර කිරීමේ හැකියාව ආදිය කෘත්‍රිම බුද්ධියේ වැදගත් සන්ධිස්ථානයන් වූවා.

අන් සෑම කටයුත්තක් මෙන්ම කෘත්‍රිම බුද්ධිය සම්බන්ධවත් කිසියම් අභිප්‍රායන් තිබෙනවා. එහි මූලිකම අභිප්‍රාය වන්නේ පරිඝණක සහ යන්ත්‍රවලට බුද්ධිමත් ආකාරයෙන් ස්වයංක්‍රීයව කටයුතු කිරීමට තාක්‍ෂණික ඉඩ පහසුකම් සැලසීමයි. ඒ අනුව මේ වැඩසටහන උප කොටස් ගණනාවකට බෙදා තිබෙනවා.

හේතු දැක්වීම සහ ප්‍රශ්න විසඳීම – Reasoning, problem solving

ස්වභාවික බුද්ධියේදී සිදු වන්නේ ප්‍රශ්නයක් පියවරෙන් පියවර විසඳීමයි. කෘත්‍රිම බුද්ධිය එලිදැක්වුන කාලයේ පර්යේෂකයන් සිදු කළේද ප්‍රශ්න විසඳීම පියවරෙන් පියවර සිදු කරන ආකාරයේ හෝ තාර්කික ඉවත්කිරීම් අනුසාරයෙන් ප්‍රශ්න විසඳන ඇලොගරිදම් එලිදැක්වීමයි. නමුත් 1980-90 ගණන්වලදී එය වැඩිදියුණු වී අසම්පූර්ණ තොරතුරු මත පවා පදනම් වී ප්‍රශ්න විසඳීමේ ක්‍රමයක් එලිදැක්වූවා. මෙය බොහෝ විට අහඹුතාවය සහ ආර්ථිකමය ප්‍රශ්න විසඳීමට විශාල පිටිවහලක් වූවා.

බුද්ධිය නියෝජනය –  Knowledge Representation

බුද්ධිය නියෝජනය සහ බුද්ධි ඉංජිනේරු ශිල්පය කෘත්‍රිම බුද්ධිය පිළිබඳ පර්යේෂණවල කේන්‍ද්‍රය වනවා. මෙහිදී සිදු කෙරෙන බොහෝ විසඳුම් සඳහා ලෝකය පිළිබඳ ප්‍රාමාණික දැනුමක් අවශ්‍ය වනවා. ඒ අතර වස්තූන්, ඒවායේ ගුණ, ප්‍රභේද සහ එම වස්තූන් අතර වූ අන්තර් සම්බන්ධතා, විවිධ අවස්ථා, තත්ත්‍වයන් සහ කාලය, හේතුව සහ ඵලය, දැනුම පිළිබඳ වෙනත් අය දන්නා දේ ආදිය ප්‍රධානයි. තවත් කොටසක් වන අර්ථශාස්ත්‍රයේදී යෙදෙන තාර්කික මූලධර්ම, පුද්ගලයන් සහ චරිත, ගතිගුණ සහ නියෝජිත භාෂාවන් භාවිතා වනවා. උදාහරණයක් ලෙස වීඩියෝ හෝ චිත්‍රපටවල ස්වයංක්‍රීයව උපසිරැසි සැකසෙන ක්‍රමවේදය සකසා ඇත්තේ මෙම ක්‍රමය උපයෝගී කරගෙනයි.

සැලසුම් – Planning

සාමාන්‍යයෙන් සැලසුම් සකස් කරන්නන් සිදු කරන්නේ අනාගතය පිළිබඳ යම් දැකීමක් ඇතිව කටයුතු කිරීමයි. එහිදී අදාල සම්පත් භාවිතා කර එම අවස්ථාවට වඩාත්ම උචිත සැලසුම ඉදිරිපත් කෙරෙනවා. මෙහිදී තනි පුද්ගලයෙකු සේ ක්‍රියා කිරීම සහ සමූහයක් ලෙස තීරණ ගැනීම යන අංශ දෙකෙන්ම සැලසුම් කිරීම සළකා බැලෙනවා.

ඉගෙනීම – Learning

කෘත්‍රිම බුද්ධියේ මූලිකම සිද්ධාන්තයක් වන්නේ යාන්ත්‍රික ඉගෙනීමයි. එහිදී පවතින ක්‍රමය මෙන්ම අත්දැකීම් ද පාදක කරගනිමින් කෘත්‍රිම බුද්ධිය තීරණ ගනු ලබනවා. කෘත්‍රිම බුද්ධිය සහිත රොබෝවරු කටයුතු කරන්නේ මේ ආකාරයටයි. මුලින්ම රොබෝවරුන්ට යම් බුද්ධිමය තොරතුරු කැවීමක් සිදු කළ පසු ඒවා ඒ සිද්ධාන්ත සහ අත්දැකීම් උපයෝගී කරගෙන ස්වයං ඉගෙනුමක නිරත වනවා. ඉන්පසු බුද්ධිය මෙහෙයවමින් සිය කාර්යයන් සිදු කරනවා.

ස්වභාවිකව භාෂා සැකසුම –  Natural Language Processing

මෙමගින් මානව භාෂාවන් කියවීම, හඳුනාගැනීම සහ තේරුම්ගැනීමේ හැකියාව යන්ත්‍රවලට ලබාදීම සිදු කරනවා. මේ අනුව එය ලිඛිත භාෂා හඳුනාගැනීම සෘජුවම භාවිතා කරන අතර එය මූලිකවම සිදු කරන්නේ අර්ථශාස්ත්‍රමය ක්‍රම භාවිතයෙන් වෙන් කරගැනීමයි. ඒ මගින් තොරතුරු නිරාවරණය, ලිඛිත වගන්තීන් සොයාගැනීම, ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම සහ පරිවර්තනය සිදු වනවා.

අවබෝධය – Perception

යාන්ත්‍රිකමය අවබෝධය යනු, කැමරා, මයික්‍රෆෝන, ආදී විවිධාකාර සංවේදක හරහා ලැබෙන සංනිවේදනයන් සකසා අදාල තොරතුරු නිර්ණය කිරීමයි. එයට හොඳම උදාහරණ වන්නේ මුහුණු හඳුනාගැනීමේ ක්‍රමවේදය, භාෂා විලාශයන් හඳුනා ගැනීම, සහ වස්තූන් හඳුනාගැනීමේ ක්‍රමවේද වනවා.

 

රොබෝවිද්‍යාව –  Robotics

කෘත්‍රිම බුද්ධියේ ආශ්චර්යය පිළිබඳ වඩාත්ම ප්‍රචලිත උදාහරණය වන්නේ රොබෝ විද්‍යාවයි. මෙහිදී භාණ්ඩ හැසිරවීම සහ ස්ථාන, සිතියම් ආදිය භාවිතයෙන් සිදු කරන යාත්‍රණය, ආදී චලනාත්මක උපයෝගීතා සිදුවනවා.

සමාජයීය බුද්ධිය – Social Intelligence

මෙහිදී මිනිස් සිතිවිලි හඳුනාගැනීම, තේරුම් ගැනීම, සහ සැකසීම මූලික වශයෙන්ම සිදු කෙරෙනවා. මෙය පරිඝණක විද්‍යාව, මානසික වෛද්‍ය විද්‍යාව සහ බුද්ධිමය දැනුම් ක්‍ෂෙත්‍රවල අන්තර්ස බඳතාවයකින් සැකසුනු ක්‍ෂෙත්‍රයක්. මෙය වඩාත් වැදගත් වන්නේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම් සහ ඔවුන්ගේ අභිප්‍රායන් උපකල්පනය කිරීමේ හැකියාව ලබාගෙන වඩා හොඳ අනාවැකි කීමට හැකිවීමයි. මේ නිසා මානව – යන්ත්‍ර අන්තර් සබඳතාවයන් ඉතාම සුමටව සිදුකිරීමේ හැකියාව ලැබෙනවා. එනම් සමහරවිට හැඟීම් හඳුනාගැනීම සහ හැඟීම් පළකිරීම දක්වාම දියුණු වන්නට පුළුවන්. එය කෘත්‍රිම බුද්ධිය නව මානයකට ගෙන යාමට සමත් වනවා.

නිර්මාණශීලීත්‍වය – Creativity

නිර්මාණශීලීත්‍වය තවමත් මිනිසුන් සතු වූ දෙයක් වූවත්, ක්‍රම ක්‍රමයෙන් යන්ත්‍ර මගින් මානව හැඟීම් හඳුනාගැනීම වැඩි වනවිට නිර්මාණශීලීත්‍වය වුවත් කෘත්‍රිම බුද්ධිය හරහා සිදු වන්නට පුළුවනි. ඒ අනුව නව නිර්මාණ සැකසීම, ඇඟළුම් ක්‍ෂෙත්‍රය වැනි අංශවල නව සැලසුම්, වර්ණ සංයෝජන සැකසීම වැනි දෑ පරිඝණක මගින් සිදු වන්නට පුළුවනි.

සාමාන්‍ය බුද්ධිය – General Intelligence

බොහෝ පර්යේෂකයන් විශ්වාස කරන පරිදි අනාගතයේදී කෘත්‍රිම බුද්ධිය, ඉහත කී අංශ සියල්ලේම එකතුවකින් මානව බුද්ධිය අභිබවා කටයුතු කරනු ඇති. තවත සමහරු කල්පනා කරන්නේ මනුෂ්‍යාරෝපිත ලක්‍ෂණ වන කෘත්‍රිම විඥානය එසේත් නැතිනම් කෘත්‍රිම මොළයක් පවා තැනීම මේ මගින් සිදු විය හැකි බවයි. කෙසේ වුවත් භාෂාවන් සැකසීම, හේතු දැක්වීම, දැනුම සහ සමාජයීය බුද්ධිය වන කරුණු සියල්ලම එකතුව ගත් කළ තවමත් කෘත්‍රිම බුද්ධිය මානව බුද්ධිය අභිබවා යාමට සමත් වී නොමැති නිසා අප ආරක්‍ෂා සහිතව සිටිය හැකියි.

දැන් දැන් බොහෝ පරිඝණක සහ යාන්ත්‍රික උපයෝගීතා වලදී කෘත්‍රිම බුද්ධිය භාවිතා වනවා. සුළු වශයෙන් අප භාවිතා කරන ජංගම දුරකථන වලත්, මහා පරිමාණව Google, Facebook, Amazon, වැනි වෙබ් අඩවිවලත් භාවිතා වන කෘත්‍රිම බුද්ධිය Tesla කාර් රථයේ ඉතාමත් ප්‍රබලව භාවිත වන්නේ අනාගත ලෝකයේ තත්ත්‍වය කියාපාමින්. කාර් රථයේ මාර්ග විස්තර සහ එය අත් දකින බාධක, මාර්ගයේ ස්වභාවය වැනි සියළුම දත්ත එක් Cloud Server එකකට එකතු වන මේ පද්ධතිය එයට සම්බන්ධ අනෙකුත් සියළුම Tesla කාර් සමග එය ස්වයංක්‍රීයවම බෙදා හදා ගන්නවා. එමගින් කිසිදු දිනෙක නොගිය මාවතක වුවත්, පෙර දිනක ගමන් කළාක් මෙන් පහසුවෙන් සහ නිවැරදිව ගමන් කිරීමේ හැකියාව අපට ලැබෙනවා.

කෘත්‍රිම බුද්ධිය දැන් දැන් බොහෝ අංශවල භාවිතයට ගැනෙනවා. කර්මාන්ත ශාලා, මානව සබඳතා සම්බන්ධ සංවිධාන, අන්තර්ජාල වෙළඳාම, වීඩියෝ ක්‍රීඩා, අන්තර්ජාල සේවා, බැංකු කටයුතු, ආරක්‍ෂාව සම්බන්ධ කටයුතු, අන්තර්ජාල වෙලඳ දැන්වීම් සහ අප වෙත කරනු ලබන යෝජනා, ප්‍රවෘත්ති සැකසීම, සුපිරි උපාංග, ජංගම දුරකථන, ආදී නොයෙකුත් අංශවලින් අප නොදැනුවත්වම අපට කෘත්‍රිම බුද්ධිය මගින් සේවා සැපයෙනවා. මේ නිසා අපට දැන් කෘත්‍රිම බුද්ධිය නැතිවම බැහැ. කෘත්‍රිම බුද්ධිය අතිශය ප්‍රයෝජනවත් සේම, අතිශය භයානක වන්නත් පුළුවන්. බටහිර චිත්‍රපටයක් වූ iRobot චිත්‍රපටයේ දැක්වෙන පරිදිම, කෘත්‍රිම බුද්ධියක් සහිත රොබෝ වරයෙකුට තවත් රොබෝ හමුදාවක් තැනීම අපහසු කටයුත්තක් නොවන්නට පුළුවනි. මේ නිසාම කෘත්‍රිම බුද්ධිය පාලනය කිරීමේ අවශ්‍යතාවය ඉලොන් මස්ක් විසින් මෑතකදී ප්‍රකාශ කළේ Facebook මගින් සිදු කළ කෘත්‍රිම බුද්ධිමය සැකසීමක භාෂාව එමගින්ම වෙනස් කරගෙන, පරිඝණක අතර අන්තර් සම්බන්ධතාවයක් සකසා ගැනීම පරිඝණක විද්‍යාඥයන්ගේ අතට හසුවීම නිසා. මේ අනුව කෘත්‍රිම බුද්ධිය අපේ ඇස්වලට වැලි ගසා තනිවම ක්‍රියා කරන්නට පුළුවනි. වාසනාවකට දැන් ඒ තත්ත්‍වය හඳුනාගෙන එවැනි ස්වයං භාෂා නිර්මාණය කිරීමේ හැකියාව නවතාලූවත්, අනාගතයේ ඊටත් වඩා සූක්‍ෂමව ඔවුන් අපව මුලා නොකරනු ඇතැයි සිතිය හැක්කේ කාටද ?

 

පිටස්තරයා – 13


EP-13 - 02.jpg

සත්තකින්ම….ඔබමයි කිවුවෙ අපි පිරිත් කියන්නට පෙර තිබුණ මොළයේ සංඥා සටහන් පිරිත් කියනවිට ක්‍රමාණුකූල වුනා කියලා.. එහෙනම් අපට පිළිගන්නට වෙනවා මේ පිරිත් සජ්ඣායනය නිසා තමයි මේ වෙනස සිදු වුනේ කියලා…

දැන් බලන්න ඒ සංඥා සටහන් පෙර පරිදිම ක්‍රමාණුකූලද නැතිනම් වෙනස් ද කියලා.. එයින්ම ඔබට තහවුරු කරගන්නට පුළුවන් මම කියන සංසිද්ධිය.

විශ්වගේ ඇඳ අසල සවි කර තිබූ මොළයේ සංඥා සටහන් යන්ත්‍රයේ සටහන් වූයේ පෙර පරිදිම අක්‍රමවත් සටහනකි… අත්ථදස්සි හිමියෝ නැවතත් වෛද්‍යවරුන් දෙදෙනා වෙත හැරුණි…

අපට මේක පර්යේෂණ කරන්න වෙලාවක් නොවෙයි… නමුත් ඔබට මේ ගැන වැඩිදුර දැනගැනීමට කැමති නම් පන්සලට එන්න… මම ඔබට සවිස්තරාත්මකව කියා දෙන්නම්… නමුත්  අභිඥාන විද්‍යාව කියන්නෙ බොහෝ දෙනෙකු හිතන්නවත් පෙළඹෙන්නෙ නැති දෙයක්. බුදුන් වහන්සේගේ කාළයටත් පෙර විසූ විවිධ  සෘෂිවරු මේ අභිඥාන විද්‍යාව බොහෝ සේ ප්‍රගුණ කරලා තිබුණා… මේ නිසාම ඔවුන්ට විවිධාකාර මාර්ගපල ලැබීමට පවා හැකියාව තිබූ බව විවිධ වේද ග්‍රන්ථවල සඳහන්.. අපේ මේ නවීන විද්‍යාව දියුණුයි කියා අපි උදම් ඇනුවට, ඇත්තෙන්ම ඒ කාළයේ තිබූ දැනුමට ලංවන්නට වත් අපට තවම හැකියාවක් නැහැ… ඒ කාලෙ මේ වගේ උපකරණ නොමැතිවයි ඒ සෘෂිවරු දැන් විද්‍යාවෙන් කියැවෙන සංකල්ප වසර දහස් ගණනකට පෙර ඉදිරිපත් කළේ…

වෛද්‍යවරු දෙදෙනා නිරුත්තරව අත්ථදස්සි හිමියන් වෙත අවධානය යොමු කරගෙන අසා සිටින්නට විය…

සමහරවිට මේ දරුවා කිසියම් අවස්ථාවක සිර වෙලා සිටිනවද කියලත් මට හිතෙනවා… ඒ වගේ අවස්ථාවල සිටින උදවියත් මේ වගේම බොහොම අවධියෙන්, නමුත් පියවි සිහියෙන් තොරව සිටිනවා… මනෝ වෛද්‍යවරයෙක් ලෙස ඔබ හොඳින්ම දන්නවා නේ මෝහනය වුන පුද්ගලයෝ ගැන… මට හිතෙන විදියට මේ දරුවත් ඒ මෝහනය වුන අවධියක සිටිනවද කියලා මට සැකයි… කොහොම වුනත් අපි තව සවස් කිහිපයකම මේ විදියට පිරිත් සජ්ඣායනය කරන්න එන්නම්. අපට වැදගත් වෙන්නේ මේ දරුවා නැවතත් යථා තත්ත්‍වයට ගෙන ඒම මිසක්, මොන ක්‍රමයෙන් යථා තත්ත්‍වයට ගෙන එනවද කියන එක නොවයි නෙ… ඒ නිසා අපි මේ අංශ දෙකෙන්ම ප්‍රතිකාර කරමුද කියන යෝජනාව ඔබතුමාට ගෙන එන්න කැමතියි…

කිසිම ප්‍රශ්නයක් නැහැ ස්වාමීන් වහන්ස… මමත් ඒකට එකඟයි… අපි නැවතත් මේ ප්‍රතිකාරය හෙට සවස කරමු… මම ඉඩකඩ සලස්වා දෙන්නම්…

බොහොම හොඳයි දොස්තර මහත්මයා… අපි ගොහින් එන්නම්… හෙට හමුවෙමු…

එතෙක් වේලා පසෙක අසුන්ගෙන මේ සියළු සංවාදවලට නිහඬව ඇහුම්කන් දුන් විහාරාධිපති මහරගම ධම්මසාර හිමියන් ඇතුළු සංඝයාවහන්සේලා සහ තානාපති කාර්යාලයේ නිලධාරී ගීතාංජන ලංකාතිලක මහතා විශ්වගේ කාමරයෙන් පිටව ගියහ.

ඒ අතරතුර මොලී හා සංවාදයේ යෙදුනු ලංකාතිලක මහතා විශ්වගේ බොහෝ තොරතුරු රැසක් මොලී හා හුවමාරු කරගත්තේය… ඒ අනුව විශ්වගේ ලොකු මාමා සහ නැන්දා ඉක්මනින්ම විශ්ව බැලීමට එන බව මොලී දැනගත්තාය….

නික්ම යාමට ප්‍රථම තවත් වතාවක් විශ්ව බැලීමට ඇය විශ්වගේ කාමරයට පියමැන්නාය….

ඇය  පිටුපසින් කිසිවෙකු සිටින බව ඇයට වැටහුනි… පිටුපස නොහැරී ඉදිරිපස වූ වීදුරුවෙන් ඇගේ පිටුපස සිටින්නේ කවුදැයි තීක්‍ෂණව ඇය බැලුවාය…..

දැක හුරුපුරුදු තරුණයින් දෙදෙනකු තමා පිටුපස විශ්වගේ කාමරයට පැමිණ ඇතිබව ඇය දුටුවාය…

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

මොකද  ජෙනී කිසි කතාවක් නැතුව………

මොනවා කතා කරන්නද ? බලනවා තමුසෙලා කරපු වැඩේ….. මේ මනුස්සයා ඉන්න තත්ත්‍වය. ! මොකද ලොක්කා කියන්නෙ ?

මොනවා කියන්නද ? දැන් ඉතිං කරන්න තියෙන්නෙ ඩැමේජ් කන්ට්‍රෝල් තමයි….. හොඳ වෙලාවට අපි පොලීසියට කතා කරලා අපේ මිනිහව නිදහස් කළා….මාධ්‍යවලට කිවුවෙ එතැනම මැරිලා කියලා. මොනවා වුනත් මිනිහා ඇවිත් තියෙන වේගෙ හොඳටම වැඩියි… අනිත් එක තමයි මෙයා ට්‍රක් එක එනවා දැකලා අනිත් ලේන් එකට කාර් එක අරගෙන… ඒ නිසා තමයි හරහට හැපිලා තියෙන්නෙ…. නැතිනම් වැඩිය හානියක් නැහැ…

දැන් කාර් එකට කොහොමද ?

කාර් එක ගන්න දෙයක් නැහැ… ඒක රක්‍ෂණ සමාගමට කියලා අළුතෙන් එකක් ගන්නයි වෙන්නෙ….. ඒත් කවුද හිතුවෙ මෙහෙම දෙයක් වෙයි කියලා… අපි ප්ලෑන් කළේ මෙච්චර ලොකු දෙයක් කරන්න නෙමෙයිනෙ…

මොනවා කළත් කමක් නෑ… මුලින්ම අපි බලන්න ඕන මෙයාව ගොඩ ගන්න… මේ වැඩේ හරි නොගියොත් අපි තුන්දෙනාම ගස්…. මම නම් කීයටවත් බලාපොරොත්තු වුනේ නැහැ මේ වගේ බරපතල දෙයක්… අපි මීට වඩා සූක්‍ෂම වෙන්න තිබුණා කියලා මට හිතෙනවා. මම යනවා… මට වැඩ ගොඩක් තියෙනවා.. කෝකටත් පරිස්සමින්… කරන දෙයක් කාටවත් ඇඟවෙන්නෙ නැතිවෙන්න කරන්න….  ඇය නොරිස්සුම් සහගත හැඟීමෙන්, එසේම කිසියම් දුකකින් ඔවුන් දෙදෙනාගෙන් වෙන්ව ගියාය.

………………………………………………………………………………………………………

එදින රාත්‍රියේ වොෂිංටන් බෞද්ධ විහාරයේ දුරකථනය නාද වෙන්නට විය…..

ලොකු හාමුදුරුවනේ…….. මේ මම සුමනසේකර කතා කරන්නෙ……..

ආ  සුමනසේකර මහත්මයා….. අපි අද ගිහින් විශ්වට පිරිත් ටිකක් කියලයි ආවෙ…. අපි බලාපොරොත්තු වුනේ තුන් දවසක්ම පිරිත් කියන්නයි…

අනේ කොයිතරම් හොඳයිද ලොකු හාමුදුරුවනේ….. කොහොමද අපේ දරුවට ?

සුමනසේකර මහත්මයා කිසි දේකට බය වෙන්න ඕන නැහැ….. විශ්ව ඉන්නෙ ඇමරිකාවෙ හොඳම හමුදා රෝහල් වලින් එකක… එතැන හොඳම පහසුකම් තියෙන්නෙ… ඒ අය ඕනවටත් වඩා හොඳින් එයාව බලා ගන්නවා.. හැරත්, තානාපති කාර්යාලයෙනුත් ලොකු සැලකිල්ලක් තියෙනවා විශ්ව ගැන… සූර්යබණ්ඩාර මහත්මයා ඉතිං තානාපතිතුමාගෙ හොඳ යාළුවෙක් නෙ… ඒ නිසා ඒ පැත්තෙනුත් ලොකු උදව් තියෙනවා… කිසිම අඩුවක් වෙන්නෙ නැහැ…. බය වෙන්න එපා……. දැන් කවදද  සුමනසේකර මහත්මයා මේ පැත්තෙ එන්නෙ ?

අපි හෙටම එන්නයි හිතන් ඉන්නෙ ලොකු හාමුදුරුවනේ…. ඒ ගැන කතා කරගන්න තමයි මේ කතා කළේ…

ආ.. බොහොම හොඳයි… බොහොම හොඳයි.. අපි මෙහෙන් කෙරෙන්න ඕන සියළුම දේ කරන්නම්… හෙට පැවැත්වෙන වස් පිංකමේදිත් අපි විශ්ව මතක් කරලා ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා…

අනේ බොහොම පිං ලොකු හාමුදුරුවනේ…..

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::;;

ආ….. මේ එන්නෙ………. අපි හිතුවෙ එන එකක් නැහැ කියලා…. කොහොමද විශ්වට දැන් ?

තවම සිහිය නැහැ…… හවස පන්සලේ හාමුදුරුවරු ඇවිත් පිරිත් කිවුවා…. එතකොට නම් පොඩි වෙනසක් තිබුණා… නමුත් ආයෙම පරණ තත්ත්‍වයටම පත් වුනා….

ඒ කොහොමද එහෙම වෙන්නෙ ?

මමත් කියන්න දන්නෙ නැහැ… ඩොක්ටර්ස්ලටත් ඒක ප්‍රශ්නයක් වුනා… මම දැක්කා ඒ දෙන්නම කවුදෝ හාමුදුරු කෙනෙක් එක්ක ගොඩක් වෙලා කතා කරනවා… මේක මම හිතන විදියට නම් බොහොම බරපතල තත්ත්‍වයක්… විශ්වට ලොකු අමාරුවකුත් නැහැ. මොළයේ සංඥා සියල්ල නිරෝගීයි… නමුත් සිහිය එන්නෙ නැහැ… කෝකටත් මම හෙටත් යනවා බලන්න….

අපිත් එන්නම් බලන්න යන්න… කොහොම වුනත් මිනිහා හරිම හොඳයි… කාටවත් කරදරයක් නැති තමන්ගෙ පාඩුවෙ ඉන්න කෙනෙක්.. දැන් එයත් අපේම කෙනෙක් නෙ….

මම හිතන්නෙ නැහැ හැමෝටම එයාව බලන්න යන්න පුළුවන් කියලා… කෝකටත් අද්මිරාල් බවර්ට කතා කරලා ඔයාලගෙ නමත් ලැයිස්තුවට ඇතුලත් කරන්න… ඒක හමුදා රෝහලක් නිසා ආරක්‍ෂාව තදයි….

ඇයි මෙච්චර ඉස්පිරිතාල තියෙත්දි එයාව දුර තියෙන හමුදා රෝහලටම ඇතුලත් කළේ ? එයා හමුදාවට අයිති කෙනෙක් නෙවෙයි නෙ..

මම හිතන්නෙ නම් ඒක අද්මිරාල්ට තියෙන සම්බන්ධය නිසා වෙන්න ඇති… මොකද, අනතුර වුන වෙලාවෙම තමයි අද්මිරාල්ට පණිවුඩය ගිහින් තියෙන්නෙ… ආරක්‍ෂක නිලධාරීන් තමයි මුලින්ම පණිවුඩය දීලා තියෙන්නෙ… අද්මිරාල් වෙන්න ඇති විශ්ව ව හමුදා රෝහලට ගෙනයන්න කියලා කියන්න ඇත්තෙ…

කොයි තරම් කාලයක් යයිද මිනිහට සිහිය එන්න ? පව්… ඇවිල්ලා සති දෙක-තුනයි ගියේ… ජීවිතේ පටන් ගත්තා විතරයි…

මටත් තියෙන දුක ඒකයි…. කොහොම වුනත් ඉක්මනට සිහිය ඒවි කියලා හිතනවා… අපි බලමු…තවම දවසක් වත් ගියේ නැහැනෙ…

කොහොමද ඔච්චර හානියක් වෙලා තියෙන්නෙ ? විශ්වගෙ කාර් එක ඉවරෙටම ඉවර වෙන්න ?

ආරංචියෙ හැටියට නම් බීමත් රියදුරෙක් ලොකු ට්‍රක් එකක් පදවගෙන ඇවිත් තමයි හැපිලා තියෙන්නෙ… ඒ රියැදුරා නම් එතැනම මිය ගිහින් කියලයි පොලීසියෙන් කිවුවෙ… හදිසි ආපදා සේවකයෝ එයාගෙ මළසිරුර අරගෙන ගිහින් තිබෙනවා.. මම දන්නෙත් එච්චරයි… අවසන මොලී පැවසුවාය…

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

මම නම් හිතන්නෙ මේක පිරිත් නිසා සිදු වූවක් නෙවෙයි….

එහෙනම්…. ?

මම මේ ගැන සොයා බැලුවා… මේ රටාව තිබෙන්නේ මොළයේ ශංඛක කණ්ඩිකාවෙ අසාමාන්‍යතාවයක්…

නමුත්, ඇයි මේ අසාමාන්‍යතාවය පිරිත් කියන්නට පෙර තිබුණෙ නැත්තෙ ? ඇයි මේ අසාමාන්‍යතාවය පිරිත් කියලා අවසාන වුනාට පස්සෙ යථා තත්ත්‍වයට පත් වුනේ ? එහෙම අසාමාන්‍යතාවයක් තිබුණා නම් මුල ඉඳලම ඒ අසාමාන්‍යතාවය තිබෙන්න ඕන නේද ? පිරිත් කියන අවස්ථාවෙ හැරෙන්න මේ අසාමාන්‍යතාවය නැවතත් දකින්න තිබුණද ?

නැහැ… පිරිත් කියන අවස්ථාවෙ විතරයි මේ මොළයේ සංඥා මන්දගාමී වීම සිදු වුනේ… අනිත් කිසිම අවස්ථාවක මේ සංඥා මන්දාගාමී වුනේ නැහැ. ඇත්තෙන්ම සාමාන්‍ය නිරෝගී කෙනෙකුටත් වඩා වැඩියෙන් ඒ සංඥා ක්‍රියාත්මක වෙනවා.. මට පෙනෙන්නෙ නම් ඔහුගේ මොළය මේ අවස්ථාවෙදි අධිකව පණිවුඩ හුවමාරුවක යෙදෙනවා වගේ…

ශංඛක ඛණ්ඩිකාව මොළයේ ප්‍රධාන ඛණ්ඩිකාවන් හතරෙන් එකකි. ශංඛක කණ්ඩිකාව ප්‍රධාන වශයෙන් සංවේදන දැනීම, වාචික සංවේදන, භාෂාව සහ ශබ්ධ සංජානනය සහ මතකය සම්බන්ධ ක්‍රියා සඳහා ප්‍රධාන වේ. මධ්‍යම ශංඛක ඛණ්ඩිකාවේ පිහිටි ව්‍යුහයන් විසින් දීර්ඝකාලීන මතකය පිළිබඳ සංනිවේදනයන් සිදු කරනු ලබයි.  විශේෂයෙන්  මොළයේ මූලය, හයිපොතැලමස සහ අවට ව්‍යුහයන් විසින් මතකයන් ඇතිකිරීම, කරුණු තහවුරු කිරීම වැනි මතකය සම්බන්ධ කරුණු කාරණා රාශියක් පාලනය කරනු ලබයි. මේ නිසා සිහිසුන්  වූ  රෝගියෙකුගේ  වූ ශංඛක ඛණ්ඩිකාවේ ක්‍රියාකාරීත්‍වය  ඉතාම වැදගත් සාධකයක් ලෙස වෛද්‍යවරුන් විසින් සළකනු ලබයි.

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

කොහොමද ඩොක්ට දැන් විශ්වට ?

මොලී පසුදින සවස විශ්වගේ සුවදුක් බැලීමට පැමිණි වහාම වාට්ටුව භාර වෛද්‍යවරයා හමු වීමට ගොස් විමසුවාය.

තවමත් සිහිය ඇවිල්ලා නම් නැහැ… නමුත් සියළුම අවයව දැන් නිසි පරිදි ක්‍රියාත්මකයි… ඒක හොඳ ලකුණක්… අපි හිතනවා ඉක්මනින්ම සිහිය එයි කියලා… මේ වගේ රෝගීන් අනන්තවත් ඉන්නවා මොලී… බය වෙන්න එපා…. සමහරු දවස් දෙක තුනකින් සිහිය එනවා… එහෙම නොවුනොත් අපි ස්නායුවලට පොඩි විද්‍යුත් කම්පනයක් දීලා බලනවා… මේකත් හරියට කෙටි පරිපථයක් (Short circuit) වගේ දෙයක් වෙන්න පුළුවනි. අපට බයක් නැත්තෙ මේ අනතුරේදී මොළයට කිසිම හානියක් නොවී පැවතුන නිසා… සමහරවිට අනතුර සිදු වන වෙලාවෙ ගැස්සීමෙදි බෙල්ල සහ මොළය අතර සුශුම්නාව ඇට්ලස් කශේරුකාව මගින් තෙරපීමකට ලක් වුනාද කියන සාධකයත් අපි සලකා බලනවා.. අද එයාව තවත් පරීක්‍ෂණයකට භාජනය කළා.. ඒකෙ ප්‍රතිඵල අද සවස වන විට ලැබෙයි.. ඒ අනුව අපි බලනවා එහෙම දෙයක් වෙලාද කියලා.

ඒ සංවාදය සිදුවන අතරතුර මඩකුඹුරේ අත්ථදස්සි හිමියෝ පිරිත් සජ්ඣායනය සඳහා වැඩම කළහ..

අත්ථදස්සි හිමියන්ට පිරිත් සජ්ඣායනය කිරීමට ඉඩ පහසුකම් සලසා දී මොලී කාමරයේ පසෙකට වූ අතර වෛද්‍යවරයා පිටව ගියේය.

පෙරදා සිදු වූ සුවිශේෂී සංසිද්ධිය මතක තිබූ නිසාම පිරිත් සජ්ඣායනයට පෙර සිටම විශ්වගේ මොළයේ සංඥා සටහන දෙස මොලී බලා සිටියාය… අත්ථදස්සි හිමියෝ පිරිත් සජ්ඣායනය පටන් ගෙන මඳ වේලාවකින් පෙර පරිදිම විශ්වගේ මොළයේ සංඥා සියල්ල ඉතා සුළු විචලනයන් සහිත රේඛා බවට පත් වන්නට විය… මොලීට සිය දෙනෙත් අදහාගත නොහැකි විය… දෙවරක් එකම සංසිද්ධිය එකම සේ සිදු වන්නේ නම් එය අහම්බයක් විය නොහැකි බව ඇයට වැටහුණි. අත්ථදස්සි හිමියන්ගේ මුවඟට මඳ සිනාවක් නැඟුනි… තමා ඊයේ දිනයේ අනුමාන කළ දෑ සත්‍ය බව හිමියන්ට වැටහුණි.

කෙමන් විශ්වගේ වම් අත සෙලවෙන්නට විය… මොලී වහා නැගිට විශ්ව දෙස යාමට සැරසුනත්, අත්ථදස්සි හිමියන් විසින් ඇයව නවත්වාලනු ලැබීය. උන් වහන්සේ දිගින් දිගටම පිරිත් සජ්ඣායනයේ නිරත වෙන්නට විය… විශ්ව සිය වමත සෙමෙන් සෙමෙන් උදරය දක්වාම ගෙන ආවේය…. මොලී මවිතයෙන් මෙන්ම සතුටින් ඒ දෙස බලා සිටියාය… ඇගේ සිතේ මෙන්ම මුහුණේද බලාපොරොත්තුවේ සේයාවක් ඇඳෙන්නට විය….

පිරිත් සජ්ඣායනය නිම වනතුරු වෙනත් සැළකිය යුතු කිසිවක් සිදු නොවීය….  ඒ සියල්ල අවසන අත්ථදස්සි හිමියෝ හුනස්නෙන් නැගී සිට විශ්වගේ හිස අතගා කාමරයෙන් ඉවතට වැඩි සේක… මොලීද එතුමන් පිටුපස කාමරයෙන් පිටතට පැමිණියාය….

එකෙණෙහිම වාට්ටුව භාර වෛද්‍යවරයා ද විශ්වගේ කාමරය වෙත පැමිණියේය…

කවුද මේ ලෙඩාගෙ අත තිබූ තැනින් වෙනස් කළේ. ? මේ වගේ කෙනකුගේ එහෙම වෙනසක් කරන එක අවදානම් වෙන්න පුළුවනි…

කලබල වෙන්න එපා දොස්තර මහත්මයා… විශ්වම තමයි අත සෙලවූවෙ… මම ඊයෙ කිවුවා වගේම පිරිතෙන් කිසියම් ගුණයක් මේ දරුවට ලැබෙනවා…

ඇත්ත ඩොක්ට…. හාමුදුරුවෝ පිරිත් කියද්දි තමයි විශ්ව අත අරගෙන උඩින් තියාගත්තෙ… මටත් හරිම පුදුමයි… කොහොමද මෙහෙම වුනේ කියලා….

පුදුම වෙන්න දෙයක් නැහැ දොස්තර මහත්මයා… අපි පිළිගන්න ඕන හැම දේම විද්‍යාවෙන්ම විසඳන්න බැරිබව… සමහරු හිතන් ඉන්නවා විද්‍යාවෙන් සියල්ල වෙනස් කරන්න පුළුවන් කියල, තවත් සමහරු හිතන් ඉන්නවා ආගමෙන් විතරක් හැම දේම කරන්න පුළුවන් කියලා… නමුත්, මේ දෙපාර්ශවයම අමතක කරපු දෙයක් තමයි බොහෝ ආගම්වල විද්‍යාත්මක සත්‍යය ගැබ් වෙලා තියෙන බවත්, විද්‍යාව ආගමට සම්බන්ධ බවත්…  මෙන්න මේ දෙක එකට අත්වැල් බැඳගෙන නොයන තාක් කල් මිනිසාගේ ඉදිරි ගමනක් බලාපොරොත්තු වෙන්න බැහැ.. මිනිසාට ආගමත් විද්‍යාවත් යන දෙකම තිබිය යුතුයි… එපමණක් නෙවෙයි, මේ ලෝකයේ තිබෙන ආගම් සියල්ල කුමන ආකාරයකින් හෝ එකිනෙකට බැඳී පවතිනවා. ඉතින්, අපි තව දුරටත් වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම පිරිත් සජ්ඣායනයත් කරගෙන යමු… මම ඊයෙ කිවුවා වගේම, අපේ මූළික අරමුණ රෝගියාව ඉක්මනින්ම යථා තත්ත්‍වයට ගෙන ඒම.. අපි ඒ දේ කරන්න හැකි හැම දේම කරමු… මම නොකිවුවත් නැතත් ඔබ අදම ඔබේ ප්‍රධානීන්ව දැනුවත් කරයි මේ සිදුවීම ගැන…. ඔවුන්ට අවශ්‍ය නම් මගෙන් මේ පිළිබඳ ප්‍රකාශයක් හෝ තොරතුරු ලබා ගන්න කිසි විටෙක මැලි වෙන්න එපා මාව අමතන්න… මම මේ දරුවා වෙනුවෙන් කළ හැකි යමක් තියෙනවා නම් ඒ දේ කරනවා.. ඔබ නොදන්නවාට මේ දරුවා බොහොම වටිනා පුද්ගලයෙක්…

හොඳමයි ස්වාමීන් වහන්ස, අපට අවශ්‍ය වුනොත් අපි ඔබ වහන්සෙව සම්බන්ධ කර ගන්නම්… ඇත්තෙන්ම විශ්ව සුව කර ගන්න ඔබ වහන්සෙ පමණක් නොවෙයි නාවික පර්යේෂණ ආයතනයෙ ප්‍රධානියා ඇතුළු බොහොමයක් දෙනා හැකි සෑම උත්සාහයක්ම දරණවා. ඒ නිසාමයි විශ්ව මේ රෝහලට ඇතුලත් කළේ.. වෙනත් රෝගියෙකු නම් සාමාන්‍යයෙන් මෙතරම් පහසුකම් ඇති හමුදා රෝහලට ඇතුලත් කෙරෙන්නෙ නැහැ… වෛද්‍යවරයා කරුණු පැහැදිළි කළේය….

 

විශ්වට සිහිය එලැඹෙයිද ?

විශ්ව අසිහියෙන් සිටියත් සන්නිවේදනය කරන්නේ කා සමගින්ද ?

විශ්වට සිදු වූ අනතුර කවුරු විසින් කරන ලද්දක්ද ?

 

පණ දාගෙන Touch කලාට Touch Screen වැඩකරන්නෙ කොහොමද කියලා දැනගෙන හිටියෙ නෑ නේද ?


Touch Screen

ඈත අතීතයේ මෙන්ම අද පවා බොහොමයක් පරිඝණක වලට දත්ත එකතු කිරීම සහ එම උපාංග භාවිතයට ගැනීමට පරිඝණක මවුසය, යතුරු පුවරුව, මයික්‍රෆෝනය ආදී අමතර කොටස් නැතුවම බැහැ. ඒ අතරට නවතම නිපැයුමක් ලෙස ස්පර්ශ සංවේදී තිර භාවිතයට පැමිණ ඇත්තේ ස්මාට් ජංගම දුරකථන සහ සමහර පරිඝණකවල මානව – යන්ත්‍ර අන්තර් සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමේ මෙවලමක් ලෙසින්.

අද ලෝකයේ පාවිච්චි වන බිලියන 8.4 ක් වන අන්තර්ජාලයට සම්බන්ධ උපාංග වලින් බොහොමයක්ම දෑ ස්පර්ශක සංවේදී තිර වලින් සමන්විතයි. ලොව රටවල් 88 ක ගණනයෙන් ජනගහනයෙන් සියයට 44 ක් ස්මාට් ජංගම දුරකථන භාවිතා වන බවයි සංඛ්‍යාත්මක දත්ත වලින් පැවසෙන්නේ. මෙය 2022 වනවිට සියයට 58 ක් දක්වා වැඩි වන්නට පුළුවනි. අපේ කුඩා දරුවන් පවා දැන් වැඩිහිටියන්ටත් වඩා ඉක්මනින් ස්පර්ශක සංවේදක උපාංගවලට අනුගත වෙනවා. ජංගම දුරකථනවලින් ඔබ්බට ගොස්, ටැබ්, රූපවාහිනී, ශීතකරණ, ව්‍යායාම උපකරණ, ස්වයං සේවා ස්ථාන, බැංකු,  සහ වාහනවල නියාමක පුවරු ආදී බොහොමයක් දෑ පවා දැන් ස්පර්ශක සංවේදක තිරවලින් සමන්විතයි. මේ නිසා ඉදිරියේදී ලොව බොහෝ උපාංග අනිවාර්යයෙන්ම ස්පර්ශක සංවේදී තිරවලින් යුක්ත වීම වලකා ලන්න බැහැ. 2020 වනවිට අන්තර්ජාලයට සම්බන්ධ උපාංග සංඛ්‍යාව බිලියන 20 ක් දක්වා වැඩිවිය හැකි බවයි සැලකෙන්නේ. අපි හැමදාම හැම වෙලේම පාවිච්චි කළත්,මේ ස්පර්ශ සංවේදක පෘෂ්ඨවල ක්‍රියාකාරීත්‍වය කොහොමද කියලා බොහෝ දෙනෙක් නොදන්නවා වන්නට පුළුවනි.

ස්මාට් දුරකථන භාවිතාවේදී ඉදිරියෙන්ම සිටින්නේ උතුරු ඇමරිකාව සහ බටහිර යුරෝපයයි. නැගී එන වෙළඳපොළවලින් මධ්‍යම සහ ලතින් ඇමරිකාව මෙම උපාංග හඳුන්වාදීමේ වේගය අතින් ඉදිරියෙන්ම සිටිනවා. ආසියාව ඊට පිටුපසින් සිටින අතර අප්‍රිකානු කලාපට ඉතා සෙමින් වර්ධනය වීමක් දක්වනවා.

ලෝකයේ ඇති සමහර දෑ වලට එක් පුද්ගලයෙක් පමණක් දායක වී නැහැ. අප  නොදන්නවා වූවත්, මෝටර් රථ, ගුවන්යානා, පරිඝණක, ආදී දෑවල සොයා ගැනීම සහ ප්‍රගමනය බොහෝ දෙනාගේ දායකත්‍වයෙන් සිදු වූවක්, ස්පර්ශ සංවේදක තිරයටත් එක් මූලික නිමැවුම්කරුවකු නැහැ. එසේ නමුත්, එය විකාශනය වූ ආකාරය නම් බොහොම රසවත්.

ස්පර්ශ සංවේදක තිරවල සොයා ගැනීම 1950 දී පමණ සොයා ගත් තුඩෙහි ආලෝක සංවේදී කොටසක් ද, වලිගය පරිඝණකයට සම්බන්ධ ආලෝකය භාවිතයෙන් ලියැවෙන පෑනක් දක්වා අතීතයට දිව යනවා.මෙය පරිඝණක ග්‍රැෆික් තාක්‍ෂණය සඳහා සැකසුන  Project Whirlwind නම් ව්‍යාපෘතියට සම්බන්ධකයි. මෙය වර්තමාන ස්පර්ශ සංවේදී තිර මෙන් ක්‍රියාත්මක නොවුනේ සියළුම ක්‍රියාවලි පෑන තුළ වූ පරිපථ මගින් පාලනය වූ නිසයි. නමුත් මේ පෑනෙන් සාමාන්‍ය පරිඝණක තිර, ස්පර්ශ සංවේද තිර මෙන් භාවිතා කළ හැකි වූවා.

ස්පර්ශ සංවේදක තිර පිළිබඳ මුල්ම අදහස ඉදිරිපත් කර ඇත්තේ එංගලන්තයේ රාජකීය රේඩාර් ආයතනයේ (Royal Radar Establishment ) E.A. Johnson විසින් 1965 දී ප්‍රකාශ කරන ලද කෙටි ලිපියකින්. එසේ වුවත්, 1960 දශකය සහ 70 දශකයේ මුල් කාලයේදී පරිඝණක විද්‍යාඥයින් විසින් මිනිසා සහ පරිඝණකය අතර වූ පරතරය අඩු කිරීම වෙනුවෙන් කළ පරීක්‍ෂණ වලදී නව සොයාගැනීම් බොහොමයක් සිදු වූවා. ඒ අතර මවුසය සොයාගත් Douglas Engelbart, පරිඝණක ග්‍රැෆික් සහ virtual reality (අතථ්‍ය යතාර්ථය) සොයා ගත් Ivan Sutherland, සහ Graphical User Interface (GUI) සොයාගැනීමට දායක වූ ඔහුගේ සගයා වන Alan Kay කළ පර්යේෂණ වැදගත් සංධිස්ථානයක් සටහන් කළා.

වර්තමාන ස්පර්ශ සංවේදී තිරයකට ආසන්නයෙන් ක්‍රියාත්මක වන උපකරණයක් තැනීමට Elographics, Inc. නම් ආයතනයේ George S. Hurst සහ William C. Colwell සමත් වූ අතර ඔවුන් එය “Discriminating Contact Sensor,” නමින් නම් කර, 1975 ඔක්තෝබර් 07 වන දින පේටන්ට් බලපත්‍රයක් ලබා ගත්තා. එහි විශේෂත්‍වය වූයේ විද්‍යුත් පරිවාරක ස්ථරයකින් වෙන් කළ සන්නායක තිර දෙකක් පෑනකින් තද කිරීමේදී නැවත සන්නායකතාවය ඇතිකිරීමෙන් මෙම සංවේදීතාවය ලබා ගැනීමයි. එය සාමාන්‍යයෙන් පෑනකින් ලියනවාක් වැනි කර්තව්‍යයකින් සංවේදනය ලබා ගත්තත්, දැන් භාවිතා වන ස්පර්ශ සංවේදන තිර මෙන්  භාවිතා කරන්නාගේ ඇඟිලිවලට සංවේදනය ලබා දුන්නේ නැහැ.

බොහෝ දෙනා සිතා සිටින්නේ ස්පර්ශ ස්වේදී තිරයේ ආගමනය Steve Jobs ගේ ඇපල් ස්මාට් ජංගම දුරකථනයේ එළිදැක්වීමත් සමග සිදු වූවක් ලෙසින්. නමුත්, එම තාක්‍ෂණය මෙයට වසර 20 කටත් එපිට පැතිර යන එකක්. එයින් ප්‍රධානම වනුයේ 1987 දී එලි දැක්වුන Linus Write-Top නම් වූ Newton නමින් වානිජ්‍යව නම් කළ විශාල තිරයක් ඇති ටැබ්ලට් පරිඝණකයයි.  ඊට අවුරුදු පහකට පසු, ඇපල් සමාගම විසින් සිය ප්‍රථම ස්පර්ශ සංවේදක උපකරණය ජපානයේ Sharp සමාගම සහ එක්ව එළිදක්වනු ලැබුවා. එයද Newton උපකරණය මෙන්ම පෑනක් භාවිතයෙන් ලියැවෙන තිරයකින් සමන්විත වුවත්, මේ අවස්ථාවේදී එහි තිරය ඉතා දියුණු කර, සියළුම ඉලෙක්ට්‍රොණික සංනිවේදනයන් තිරය මගින් සිදු කිරීමට වැඩිදියුණු කර තිබුණා. මෙය ඉතා රළු ලෙස ස්පර්ශ සටහන් ග්‍රහණය කර ගනු ලැබුවත්, එය කිසිම විටෙක වෙළඳ පොළේ සාර්ථක වූයේ නැහැ. 1990 දශකයේ මැද භාගයේ වෙළඳපොළට එළිදැක්වූ පෞද්ගලික සංඛ්‍යාක සහකාර උපාංග නොහොත් PDA (personal digital assistants) මෙවැනි පෑනක ආධාරයෙන් තිරය මත සටහන් කළ හැකි සංවේදක තිර වලින් සමන්විත වූවා. මේ නිසාම සංවේදක තිර සහිත උපාංග භාවිතා කරන සියළුම දෙනා, ඉහත කී නිර්මාණකරුවන්ට කෘතවේදී විය යුතුමයි.

ස්පර්ශ සංවේදී තිරයක ක්‍රියාකාරීත්‍වය පරිඝණක යතුරු පුවරුවක ක්‍රියාකාරීත්‍වයට මූලිකවම සමාන කළ හැකියි. එනම් එහි වූ සෑම අකුරකටම ඉලෙක්ට්‍රොණික යතුරක් වෙන්ව තිබෙනවා. ඒවා යතුරු පුවරුව පතුලේ වූ පරිපථයකට සමගාමීව සකස් කර තිබෙනවා. එම පරිපථය සහ යතුරු ප්ලාස්ටික් ස්ථර තුනකින් වෙන්ව පවතිනවා. දෙපස වූ විද්‍යුත් සන්නායක ලෝහ පරිපථ සහිත ස්ථර දෙක මැද පරිවාරක ස්ථරයකින් වෙන්ව තබා ගෙන තිබෙනවා. එම යතුර පතුලේ සංවේදක සහිත කුඩා තිතක් යොදා තිබෙනවා. මෙම යතුර තද කිරීමේදී එහි වූ පරිපථය සම්පූර්ණ වීමෙන් අකුර සඳහන් වීම සිදු වනවා. එසේම මෙම පරිපථයෙන් නිකුත් වන විද්‍යුත් ප්‍රමාණයේ වෙනස පරිඝණකය හඳුනාගැනීම මගින් ඔබ සටහන් කරන විවිධ අකුරු පරිඝණකය විසින් හඳුනා ගැනීම වීම සිදු වනවා. ස්පර්ශ සංවේදී තිරවල ද සිදු විය යුත්තේ මෙම ක්‍රියාවලියයි. එසේ වූ මුත්, තිරය තුළ පරිපථ, ස්විච ආදිය සැකසිය නොහැකි නිසා, වෙනත් ආකාරයට එය සිදු කළ යුතුයි.

කාලයාගේ ඇවෑමෙන් මෙම ස්පර්ශ සංවේදී තිර ඉතා දියුණු තත්ත්‍වයට පත් වී තිබෙනවා. සමහර ඒවා එක් ස්පර්ශයකට (Single Point Touch)පමණක් සංවේදී වන අතර දියුණු තිර බහු ස්පර්ශ සංවේදනයට (Multi Point Touch) ප්‍රතිචාර දක්වනවා. කෙසේ වුවත් මේ තාක්‍ෂණය ප්‍රධාන වශයෙන් ක්‍රම කිහිපයකින් සමන්විතයි.

ප්‍රතිරෝධක ස්පර්ශ සංවේදී තිර Resistive Touch Screens

දැනට වෙළඳපොලේ බහුලවම දක්නට ඇත්තේ මෙම කාණ්ඩයයි. මේවා ක්‍රියා කරන්නේ ද ඉහත කී යතුරු පුවරු ක්‍රියාත්මක වන ආකාරයටමයි. එහි උඩින්ම ඇති නම්‍යශීලී සන්නායක පොලිඑස්ටර් ස්ථරය පහලින්ම ඇති සන්නායක වීදුරු ස්ථරයකින් වෙන්වී ඇත්තේ පරිවාරක ස්ථරයකින්. ඔබ තිරය තද කරන විට පොලිඑස්ටර් ස්ථරය වීදුරු ස්ථරයේ ස්පර්ශ වීම නිසා පරිපථය සම්පූර්ණ වනවා. මෙය යතුරු පුවරුවේ යතුරු තද කරනවා හා සමානයි. තිරය තුළ වූ චිපයක් මගින් ස්පර්ශ කළ ස්ථානය හඳුනා ගැනීම මගින් අදාල කාර්යය සම්පූර්ණ වනවා.

 

ධාරිත්‍රක ස්පර්ශ සංවේදී තිර Capacitive Touch Screens

මෙම තිර නිපදවා ඇත්තේ වීදුරු ස්ථර කිහිපයක් උපයෝගී කරගෙනයි. අභ්‍යන්තර ස්ථරය මෙන්ම පිටත ස්ථරයද විද්‍යුත් සන්නායකතාවය ඇති කරනවා. මේ නිසා මුළු තිරයම විශාල ධාරිත්‍රකයක් ලෙසින් ක්‍රියා කරනවා. ඔබ ඇඟිල්ල තිරය අසළට රැගෙන ආ විට ඔබ තිරය මතුපිට වූ විද්‍යුත් ක්‍ෂෙත්‍රයේ වෙනසක් ඇති කරනවා. මේ නිසා එය සංවේදනය වෙනවා. මෙහිදී තිරය මතුපිට වූ ක්‍ෂෙත්‍රය මගින් විද්‍යුත් ආරොපණ භාවිතා කරන පුද්ගලයාගේ සිරුරට පැමිණිය යුතුයි. මේ නිසයි එම තිර අත්වැසුම් හෝ ස්ටයිලස් ආකාරයේ පෑන් සඳහා සංවේදී වන්නේ නැත්තේ. ඒ ස්ටයිලස් පෑන් සහ අත්වැසුම් ප්ලාස්ටික් වලින් හෝ පොලිමර් වර්ග වලින් නිපදවා තිබීම නිසා ඒවා තිරය මතුපිට විද්‍යුත් ක්‍ෂෙත්‍රය වෙනස් වීමකට භාජනය නොකරන නිසායි.මේ ආකාරයේ තිර බහු ස්පර්ශ සඳහා සංවේදී වනවා. මේවා ප්‍රතිරෝධක සංවේදී තිර වලට වඩා මිලෙන් වැඩියි.

අධෝරක්ත ස්පර්ශ සංවේදී තිර Infrared Touch Screens

අධෝරක්ත කැමරා සහ සොරුන් ඇල්ලීමේ නවතම සංවේදී උපකරණ මෙන් මෙම සංවේදී තිර ද ඒවායේ ප්‍රතිවිරුද්ධ ස්ථරවල ඉතා කුඩා LED සහ ප්‍රකාශ සංවේදී Photo Cell වලින් සමන්විතයි. මෙම තිරයේ ඇති LED බල්බ තිරය මතුපිටට අධෝරක්ත කිරණ එල්ල කරනවා.  ඔබ ස්පර්ශ සංවේදී තිරය ස්පර්ශ කළ වහාම එම කිරණවලට බාධා ඇතිවනවා තිරය තුළ ඇති මයික්‍රෝ චිපය විසින් ඔබ ස්පර්ශ කළ ස්ථානය ගණනය කිරීම මගින් සංවේදනය සම්පූර්ණ කරනවා. Sony Reader ebooks හි භාවිතා වන්නේ මේ තාක්‍ෂණයයි. ඔබ විසින් අධෝරක්ත කිරණ වලට බාධාවක් සිදු කරන නිසා, ඔබ ඇඟිල්ලකින් ස්පර්ශ කළත්, ස්ටයිලස් ආකාරයේ පෑනකින් ස්පර්ශ කළත්, මේ සංවේදී තිර එක ලෙස ප්‍රතිචාර දක්වනවා.

පෘෂ්ඨික ධ්වනික තරංග (Surface Acoustic Wave)

මෙම තාක්‍ෂණය විසින් ග්‍රහණය කරනු ලබන්නේ ආලෝකය හෝ ස්පර්ශය නොව, ශබ්ධයයි. මෙම තිර මගින් මිනිස් කණට ග්‍රහණය නොවන ආකාරයේ අධි සංඛ්‍යාත ශබ්ධ තරංග නිකුත් කිරීම සහ ග්‍රහණය කරනු ලබනවා. ඔබ මෙම තිරය ස්පර්ශ කිරීමේදී එම තරංගවලට බාධා පමුණුවමින් එම ශබ්ධ තරංග අවශෝෂණක කිරීමක් සිදු කරනවා.  තිරය තුළ වූ මයික්‍රෝ චිපය මගින් ඔබ තිරය ස්පර්ශ කළ ස්ථානය හඳුනාගෙන පරිපථය සම්පූර්ණ කරනු ලබනවා.

ප්‍රත්‍යාසන්න ක්‍ෂෙත්‍ර මූර්තනය (Near Field Imaging)

ඔබ පැරණි රේඩියෝවක් අසළ එහාමෙහා යනවිට රේඩියෝ තරංගවලට බාධා එල්ලවී කිසියම් ශබ්ධයක් නිකුත්වනු අත් දැක ඇති. එය සිදු වන්නේ ඔබේ ශරීරයේ ඇති විද්‍යුත් චුම්භක ක්‍ෂෙත්‍රය මගින් ගුවන් විදුලි තරංගවලට බාධා ඇතිවීමයි. ඔබ ගුවන් විදුලි යන්ත්‍රයට ආසන්න වත්ම, ඔබ ඇතිකරන ආචරණය වැඩි බව ඔබට දැනෙනු ඇති. මේ ආකාරයේ තිර ක්‍රියාත්මක වන්නේද මෙම සංසිද්ධිය අනුසාරයෙන්. ඔබ තිරයට ලංවත්ම, වීදුරු තිරය මතුපිට ඇති විද්‍යුත් ක්‍ෂෙත්‍රය වෙනස් කරනු ලබනවා. ඔබ එය ස්පර්ශ කරත්ම, එය හඳුනා ගන්නවා. මෙය අනෙත් තාක්‍ෂණයන්ට වඩා රළු පැවැත්මට ඔරොත්තු දෙන තාක්‍ෂණයක් නිසා දැඩි පරිසර තත්ත්‍වයන්ට භාජනය වන උපකරණවලට මෙම තාක්‍ෂණය භාවිතා කරනවා. බොහොමයක් යුධ උපකරණ වල භාවිතා වන්නේ මෙම තාක්‍ෂණයයි. වෙනත් තිර මෙන් නොවෙයි, මේ තිර පෑන්, ඇඟිලි මෙන්ම අත්වැසුම් දමාගෙන හෝ පාවිච්චි කිරීමට පුළුවන්.

දැන් දැන් ස්පර්ශ සංවේදක තිර භාවිතයට නොගන්නා තැනක් සොයා ගැනීමට අපහසුයි. වෙළඳසැල්, දුම්රිය හෝ බස් ටිකට් ගන්නා ස්ථාන, කර්මාන්ත ශාලා, යුධ බිම ආදී විශාල පරාසයක විවිධාකාර භාවිතාවන් සඳහා ස්පර්ශ සංවේදක තිර භාවිතා කරනවා. එයට තිරය තිබීමම ප්‍රමාණවත් නිසා අමතර උපකරණ කිසිවක් අනවශ්‍යයි. එසේම තිරය මතුපිට සියළුම විස්තර දිස්වීම නිසා භාවිතා කරන්නාට ඉතාම සරළව, ඉක්මනින් සහ සෘජුව තොරතුරු ඇතුලත් කිරීම හෝ ලබා ගැනීමට සිදු කළ හැකියි.

අප බොහෝ දෙනා භාවිතා කරන ස්මාට් ජංගම දුරකථන අපට අවශ්‍ය සෑම විස්තරයක්ම ඒ මත දැක්වීම කරනවා පමණක් නොවෙයි, අවශ්‍ය අවස්ථාවක යතුරු පුවරු, පින්තූර, ආදී සියල්ල අන්තර් සම්බන්ධතා සහිතව අපට භාවිතා කිරීමේ පහසුව ලබා දී තිබෙනවා. ඉතින් අදින් පසුව ස්මාට් ජංගම දුරකථනයක් හෝ ස්පර්ශ සංවේදී තිරයක් සහිත උපකරණයක් භාවිතා කරනවිට එහි තාක්‍ෂණය කුමක්දැයි යන්න ගැන තරමක් සැළකිලිමත් වන්න…

 

 

 

 

 

පිටස්තරයා – 12


EP-12

මොකද විශ්වට වෙලා තියෙන්නෙ ? සුමනසේකර මහත්මිය නැවතත් නොයිවසිල්ලෙන් ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරියාගෙන් විමසුවාය..

නීලා… පොඩ්ඩක් ඉවසන්න… ඒ මනුස්සයට විස්තර කරන්න ඉඩ දීලා….

කවදත් නිවුනු ගති පැවතුම් ඇති සුමනසේකර මහතා කිසි දිනක කිසිදු හේතුවක් නිසා හෝ කළබල වන්නකු නොවේ…

මේකයි සුමනසේකර මහත්මයා.. අද විශ්ව රැකියා ස්ථානයෙන් පිටවෙන වෙලාවෙ බීමතින් රිය පදවාගෙන ආපු කෙනෙක් පදවපු ට්‍රක් එකක් විශ්වගේ වාහනයෙ හැපිලා… ඒ මනුස්සයා නම් එතැනම මිය ගිහින්.. නමුත් විශ්වට ඒ තරම් කරදරයක් නැහැ කියලයි ආරංචි… මේ වන විටත් ශල්‍යකර්මයකට භාජනය කරලයි තියෙන්නෙ.. විශ්වගේ කකුලේ දණහිස අසලින් බිඳිලා… පපුවේ අස්ථියක් බිඳීම නිසා තරමක අපහසුවක් තිබෙනවා… නමුත් අපේ හමුදා රෝහලේ විශේෂ නිරීක්‍ෂණය යටතෙයි ඔහු පසුවන්නෙ… ඒ නිසා බය වෙන්න තරම් දෙයක් නැහැ. විශ්වගෙ සේවා ස්ථානයෙ අද්මිරාල් බවර් තමයි මේ බව ඔබට දන්වන්න කිවුවෙ.. විශේෂයෙන් විශ්වගෙ පියා එක්සත් ජනපදයටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් සිදු කළ සේවය නිසාමත්, විශ්වගේ  සේවා ස්ථානයේ සුවිශේෂී බව නිසාමත් තමයි අපි සාමාන්‍ය ක්‍රියා පටිපාටියෙන් බැහැරව ඔබට මේ දැනුම්දීම කරන්න නිවසටම පැමිණියෙ..

දැන් අපට විශ්ව ගැන කොහොමද තොරතුරු දැනගන්නෙ ? ඒ ළමයාගෙ ටෙලිෆෝන් එකවත් වැඩ කරන්නෙ නැහැ. අපට ඇමරිකාවෙ තියෙන එකම සම්බන්ධය වොෂිංටන් බෞද්ධ විහාරයෙ ස්වාමීන් වහන්සේලා පමණයි… නමුත් උන්වහන්සේලාට කරදර කරන්න අපට බැහැ…

බය වෙන්න එපා. අපි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඔබව සම්බන්ධ කරන්නම්… නමුත් අපි ආවෙ ඒ කාරණය දැනුම් දෙන්න පමණක්ම නොවෙයි.

එහෙනම්…. තවත් ප්‍රශ්නයක්ද ?

නැහැ නැහැ… විශ්වගෙ රැකියා ස්ථානයෙන් අපට දැන ගන්නට ලැබුණ විදියට විශ්ව තරමක අසාමාන්‍ය දක්‍ෂතා ඇති කෙනෙක්. ඔහුගෙ භාරකරු විදියට ඔබට කියන්න පුළුවන්ද මේ සුවිශේෂිතාවය ඔහුට ලැබුණ අන්දම….

මහත්මයා… මට බොහොම කණගාටුයි… දියුණු රටක පුද්ගලයෙක් වෙලත් ඔබ සිතන අන්දම ගැන… විශ්ව කියන්නෙ අසාමාන්‍ය දක්‍ෂතා ඇති කෙනෙක් තමයි… ඒ දරුවා භාෂා හයක් පැහැදිලිව නිවැරදිව කතා කරන පුද්ගලයෙක්.. ඒ දක්‍ෂතාවය ඔහුට ලැබිලා තිබෙන්නෙ දෙමාපියන් සමඟ රට රටවල වසර ගණනාවක් ගත කිරීම නිසා… අමතක කරන්න එපා ඔහුගෙ දෙමාපියනුත් උගත් බුද්ධිමත් දෙපළක්.. ජාන වලින් වුවත් මේ බුද්ධිමත් බව පරම්පරාවෙන් පරම්පරාවට සන්නිවේදනය වෙනවා. ඒ වගේම අළුතෙන් භාෂාවක් කෙනෙක් ඉගෙන ගන්නවා කියන්නේ ඒ පුද්ගලයාගේ මොළයේ තවත් අළුත් කොටසක් වර්ධනය වෙනවා. මේ නිසා විශ්වගේ බුද්ධිය භාෂා හයක් කතා කිරීමේදී ඉතා ඉහළ වර්ධනයක් පෙන්වනවා ඇති. ඒක කොහොමත් සාමාන්‍ය ජනගහනයෙන් සියයට පහත් දහයත් අතර පුද්ගලයින්ගේ දැකිය හැකි දෙයක්… විශ්ව අසාමාන්‍ය දරුවෙක් නොවෙයි. නමුත් ඔහුටම ආවේණික විවිධ පුරුදු ඔහුට තිබෙනවා… ඒත් ඒවා වුවත් අසාමාන්‍ය නැහැ.

සමාවෙන්න අහනවාට… ඔහු කිසියම් රෝගයක් සඳහා බෙහෙත් ගන්නවද ?

මම දන්න තරමට නම් නැහැ.. විශ්ව කියන්නෙ තමන්ගෙ ශාරීරික සෞඛ්‍යය පිළිබඳ හොඳට සැලකිළිමත් වන දරුවෙක්… විශ්ව නිර්මාංශික වුනේ අවුරුදු 16 දි පමණ.. එදා ඉඳලා කිරි එකක්වත් බොන්නෙ නැහැ… නිතර නිතර ව්‍යායාම් කරන නිරෝගී පුද්ගලයෙක්..

ඔහු කිසිම බෙහෙතක් පාවිච්චි කරන්නෙ නැද්ද ?

මම දන්න තරමට නම් ඔහු කිසිම බෙහෙතක් පාවිච්චි කරන්නෙ නැහැ… හෙම්බිරිස්සාවක් උණක් හැදුනත් ඉඟුරු වැනි සරළ බෙහෙතක් තමයි පාවිච්චි කරන්නෙ. ඇයි මෙහෙම ප්‍රශ්න කරන්නෙ ? විශ්ව ගැන මොනවාහරි විශේෂ දෙයක් ඔබලා අපට හංගනවද ?

නැහැ නැහැ… අපි සාමාන්‍යයෙන් අපේ රාජ්‍ය ආයතනවල සේවය කරන පුද්ගලයන්ගේ පෞද්ගලික පසුබිම් තොරතුරු ඉතා දැඩි ලෙස පරීක්‍ෂා කර බලනවා.. මොකද කියනවා නම් විශ්ව සේවය කරන්නෙ අතිශය වැදගත් ස්ථානයක… එවැනි පුද්ගලයින්ගේ පෞද්ගලික ජීවිතයත් අපට බොහොම වැදගත්… ඒ නිසයි අපි මේ පසුබිම් තොරතුරු සොයන්නෙ… අපි මේ හමුවීම යොදා ගන්න තිබුණෙ ලබන සතියෙ වුවත් අවාසනාවකට විශ්වගේ අනතුර පිළිබඳ දැනුම් දෙන්නත් අද සිදුවීම නිසා මේ අවස්ථාව ඒ තොරතුරු දැනගැනීමටත් අපට භාවිතා කරන්නට සිදු වුනා.. ඔබට විශ්ව ගැන සුවිශේෂී තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් මෙන්න මේ අංකයට මට කෙළින්ම කතා කරන්න. මම ඔබට සියළු විස්තර සපයන්නම්… ඔබට ඇමරිකාවට දැන්ම යන්න අවශ්‍ය නම් අපි ඒ සඳහා පහසුකම් සපයන්නම්… ඔබට වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් තිබේ නම් අපි අවශ්‍ය වීසා සියල්ල සකසා දෙන්නම්…

සාමාන්‍ය මිනිසුන්ට ඔබ මේ වගේ සැලකිල්ලක් දක්වන්නෙ නැහැ නේද ? ඇයි මේ අපට මේ වගේ සුවිශේෂී සැලකිල්ලක් ?

අවිශ්වාස කරන්න එපා… විශ්වගේ සේවා ස්ථානයෙන් තමයි අපට මේ උපදෙස් ලැබුණේ… ඒ අයට විශ්ව සුවිශේෂී පුද්ගලයෙක්… ඒ වගේ අයට අපි විශේෂ සැලකිල්ලක් දක්වනවා…

හොඳයි.. බොහොම ස්තූතියි… අපට විශ්ව බලන්නට යන්න අවශ්‍යයි… අපි තීරණයක් ගත් වහාම ඔබට දැනුම් දෙන්නම්….

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

මොලී නැවතත් සෙනසුරාදා උදෑසනම රෝහලට පැමිණියාය.

තවමත් වෙනසක් නැද්ද ඩොක්ට ?

නැහැ මොලී.. තවම මොළයේ සංඥා ව්‍යාකූල තත්ත්‍වයක තිබෙන්නෙ…. මේ රටාවන් දිහා බැලුවාම පෙනෙන්නෙ ඔහු කිසිවක් සිතමින් සිටින ආකාරයක් හෝ යමෙකු සමඟ කතා කරන ආකාරයක්. ඒ සටහන් සියල්ල බොහොම සාමාන්‍යයි. නමුත් තවමත් ඔහු පියවි සිහියට නොපැමිණියේ ඇයිද කියලා කියන්න අපට බැහැ.

මේ අනතුර නිසා මොළයට හානියක් වෙලා නැහැ කියලා  හොඳටම විශ්වාසද ?

නැහැ… බය වෙන්න එපා.. අපි ලබා ගත් ස්කෑන් ඡායාරූප අනුව නම් කිසිම හානියක් වෙලා නැහැ.  අපි තව ටිකක් බලමු… කිසිම දේකට බය වෙන්න දෙයක් නැහැ. මේ රෝහල ලෝකයේ හොඳම හමුදා රෝහල් වලින් එකක්.

මම විශ්වගෙ කාමරයට යන්නද ?

කමක් නැහැ… ගිහින් බලන්න… දැන් ඔහු ස්ථාවර තත්ත්‍වයට පත්වෙලයි ඉන්නෙ…. දැනෙන වෙනසක් නැහැ… නමුත් පියවි සිහිය ට නොපැමිණීම පිළිබඳ අපි නිතරම පරීක්‍ෂාවෙන් ඉන්නෙ….

ස්තුතියි..

ඇය විශ්ව සිටි කාමරය වෙත පා නැඟුවාය…

සියල්ල වෙනස් වී ඇත… මේ තමා බලාපොරොත්තු වූවක් නොවේ… ඇය බලාපොරොත්තු වූයේ විශ්ව හා එක්ව සිය පර්යේෂණය සිදු කිරීමත් ඉන් එහාට යමක් සිදුවනු ඇතිනම් ඒ සඳහා ඉඩක් ලබා දීම විනා මෙසේ ව්‍යාකූල තත්ත්‍වයක් නොවේ. නමුත් සියල්ල සිදු වී හමාරය.. එන දේකට මුහුණ දෙනවා හැරෙන්නට කළ හැකි යමක් නොමැත..

ඈ පසෙක වූ පුටුවෙහි අසුන්ගෙන විශ්ව දෙස බලා සිටියාය…. විශ්වගේ සැබෑ වෙනසක් ඇය දකින්නට විය… වෙනදා තිබූ පැහැපත් පෙනුම ක්‍රමයෙන් වියැකී ගොස් ඇති සෙයක් පෙනුනි. ඒ අනතුර නිසා සිදු වී ඇති වෙනසක් ලෙස ඇයට දැනුනි. කෙතරම් තර්කානුකූල බුද්ධියක් හෝ අවස්ථාවට උචිත ලෙස හැඩ ගැසීමේ පුහුණුවක් ලබා තිබුණත් තමාට සමහර හැඟීම්බර අවස්ථාවලදී ඒ හැඟීම් දරා ගත නොහැකි බව මොලීට වැටහුණි. ඇය නියපොත්තක් සපමින් කල්පනාවට බර වූවාය.

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

මොකද සුමනෙ අපි කරන්නෙ ? සුමනසේකර මහත්මිය ඇගේ සැමියාගෙන් ඇසුවාය.

මොනවා කරන්නද ? අපි සුදුපුතා බලන්න යන්න ලෑස්ති වෙමු.

මමත් හිතුවෙ ඒකම තමයි… කෝකටත් අපි ලොකු හාමුදුරුවොන්ට කතා කරලා පිරිත් ටිකක් කියෙවුවොත් නරකද ?

මමත් ඒ ගැන හිතුවා… අපි කෝකටත් කියලා ලොකු හාමුදුරුවන්ට කතා කරලා බලමු..

………………………………………………………………………………….

එදින දවසම මොලී ගත කළේ විශ්වගේ ඇඳ පාමුලය… සිය ප්‍රධානියාගෙන් විටින් විට පැමිණෙන දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීමටත්, සිය සගයින්ගෙන් ලැබෙන කෙටි පණිවුඩවලට පිළිතුරු දීමටත්, පුරුද්දක් ලෙස සැමතැනම ගෙනයන අයි පෑඩය භාවිතා කර පොතක් කියවීමටත් ඇය සිය කාළය ගත කළාය.

සවස් වරුවේත් විශ්ව අසලම සිටි ඇය පිටත්ව යාමට සූදානම් වෙද්දී, අගේ අවධානය බිඳුනේ විශ්ව සිටි කාමරය වෙත සන්සුන් ගමනින් පැමිණි වොෂිංටන් බෞද්ධ විහාරාධිපති මහරගම ධම්මසාර හිමියන් ප්‍රමුඛ සංඝයා වහන්සේලාගේ පැමිණීම නිසාවෙනි.

උන් වහන්සේලා සමඟම පැමිණියේ එම අංශය භාර වෛද්‍යවරයාත්, වොෂිංටනයේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙකු වූ ගීතාංජන ලංකාතිලක මැතිතුමාත්ය.

සුභ සවස්යාමයක් මහත්මිය.. මම ගීතාංජන ලංකාතිලක.. වොෂිංටනයේ තානාපති කාර්යාලයෙන්…

මම මොලී… මොලී රියෝර්ඩන්… විශ්වගෙ කාර්යාලයෙ විශ්ව එක්ක එකට වැඩ කරන්නෙ…

මොලී… අපි විශ්වට පිරිත් ටිකක් සජ්ඣායනය කරන්නයි යන්නෙ… සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්‍වයේ සිටින පුද්ගලයෙකුට අපේ ආගමේ හැටියට පිරිත් සජ්ඣායනය මගින් සෙතක් සැලසෙන බව අප පිළිගන්නවා.. විශ්වගේ භාරකරුවනුත් අපෙන් ඉල්ලා සිටියා විශ්වට පිරිත් සජ්ඣායනය කරවන හැටියට… ඒකයි මම මේ වොෂිංටන් විහාරයේ ස්වාමීන් වහන්සේලා කැටුව ආවෙ… ඔබට කැමති නම් මෙතැන රැඳී ඉන්න පුළුවන්….

උන් වහන්සේලා පිරිත් සජ්ඣායනය පටන් ගනිත්දී මොලී පසෙක රැඳී සිටියාය…..

පිරිත් සජ්ඣායනය සිදුවන අතරතුර මොහොතකින් සියල්ල වෙනස් වන්නට විය……………….

අක්‍රමවත්ව තිබූ විශ්වගේ මොළයේ සංඥා ක්‍රමයෙන් කිසියම් රටාවකට අනුකූලව සැකසෙන්නට විය… විශ්වගේ හෘද ස්පන්දන වේගය සහ රටාව ක්‍රමවත් වන්නට විය…. ක්‍රමයෙන් සියල්ල යථා තත්ත්‍වයට පත් විය….

 

පසෙක සිටි විශේෂඥ වෛද්‍ය වරයාටද සිදු වන්නේ කුමක්දැයි යන්න වටහා ගත නොහැකි විය… පිරිත් සජ්ඣායනය කරමින් සිටි ස්වාමීන් වහන්සේලා මේ කිසිවක් නොදැන සිය සජ්ඣායනය පවත්වමින් උන්හ… අංශභාර ප්‍රධාන වෛද්‍යවරයා විශ්වගේ කාමරයට දිව ආවේ විශේෂඥ වෛද්‍යවරයාගේ ඇමතුම තමා බලාපොරොත්තුවූවක් නොවන නිසාමය…

කොහොමද මෙහෙම  දෙයක් වෙන්නෙ ? මෙච්චර වෙලාවක් කිසිම දෙයකට ප්‍රතිචාරයක් දක්වපු නැති කෙනෙක් මේ ආගමික වතාවත් වලට ප්‍රතිචාර දක්වන්නෙ ? ප්‍රධාන වෛද්‍යවරයා විශේෂඥ වෛද්‍යවරයාගෙන් රහසේ විමසීය….

පිරිත් සජ්ඣායනය කරමින් සිටි මඩකුඹුරේ අත්ථදස්සි හිමියෝ වෛද්‍යවරුන් දෙපළ දෙස නෙත් කොණින් හැරී බලා හිස සැළුවේ තමා ඒ ප්‍රශ්නයට නිසි පිළිතුර දන්නා නියාවෙනි… පිරිත් සජ්ඣායනය නිම වනතුරු විශවගේ මොළයෙන් ලැබෙන සංඥා නිරීක්‍ෂණයටත් ඒ පිළිබඳ සැළකිළිමත් වීමටත් වෛද්‍යවරු දෙපළ වග බලා ගත්තේ තමන් නොදන්නා යම් දෙයක් අත්ථදස්සි හිමියන්ගෙන් ලැබිය හැකි බව ඔවුන්ට දැණුනු නිසාවෙනි.

නිතිපතා භාවනා කටයුතුවල යෙදෙන, භාවනාව පිළිබඳ හසළ බුද්ධියක් ඇති අත්ථදස්සි හිමියෝ බුදු දහම පිළිබඳ පමණක් නොව අන් ආගම් පිළිබඳව මනා අවබෝධයක් තිබූ හිමිනමකි. භාවනාව පමණක් නොව වෙනත් විෂයයන් පිළිබඳවද ග්‍රන්ථ ගණනාවක් ලියා පළ කර ඇති උන් වහන්සේ බටහිර පවා භාවනාව පිළිබඳවත්, අභිඥාන විද්‍යාව (Noetic Science) නම් බටහිරට අළුත් වූ මිනිස් සන්තානයේ අවදි නොකළ කොටස් පිළිබඳ හැදෑරීම සහ මිනිස් චිත්ත ශක්තිය පිළිබඳ හදාරන පුද්ගලයින් අතරත් දැඩි ගෞරවයට පාත්‍ර වූ හිමිනමකි.  තමා කවුරුන්දැයි කිසි විටෙකත් නොම වදාරන උන් වහන්සේ කවුදැයි යන්න එම විෂයෙහි නියැලෙන පුද්ගලයින් මෙන්ම බොහෝ මනෝ වෛද්‍යවරු, ස්නායු වෛද්‍යවරු දැන සිටියහ. ස්නායු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් සහ මහාචාර්ය වරයෙකු වන මයිකල් ගෝල්ඩ්බර්ග් මහතා අත්ථදස්සි හිමියන් දුටු සැණින් හඳුනා ගත්තේය.

පිරිත් සජ්ඣායනය අවසානයේ අත්ථදස්සි හිමියන් වෙත ගිය වෛද්‍යවරු දෙදෙන තම නැණ පමණින් ගෞරවාචාර දක්වා සිටියහ.

ස්වාමීන් වහන්සේ වොෂිංටන්වල ඉන්නවා කියලා අපි දන්නෙ දැන්…

ඔව්… මම මේ දවස්වල වැඩ ඉන්නෙ වොෂිංටන් බෞද්ධ විහාරයේ…. මේ දිනවල තමයි බෞද්ධාගමානුකූලව වස් පින්කම් තිබෙන්නෙ.. ඒ නිසා මම මාස තුනක් එක දිගට වැඩ ඉන්නෙ වොෂිංටන් විහාරයේ… මට ඔබේ සාකච්ඡාව යන්තමින් ඇසුනා… මම ඒ ගැන කතා කරන්නයි සිටියෙ ඔබත් සමඟ…….. උන් වහන්සේ පවසා සිටියහ.

ඇත්තෙන්ම අපටත් ගැටළුවක් වුනේ ඒක තමයි… මොකද කියනවා නම් රෝගියාගේ මොළයේ සංඥා සියල්ල නිරෝගී වුවත් අසාමාන්‍ය ලෙස ක්‍රියාශීලියි. ඒ වගේම සිහිය නොමැතිව සිටින කෙනෙකුගෙන් මේ වගේ ක්‍රියාශීලී සහ නිරෝගී සංඥා ලැබෙනවා අප දුටු මුල්ම අවස්ථාව මේ… ඒ නිසාම මේ සිද්ධිය අපි දැඩිව විශ්ලේෂණය කරනවා…

මේ වගේ සිදුවීම් බොහොමයක් ආසියානු රටවල වාර්තා වෙලා තිබෙනවා… ඇත්තෙන්ම අභිඥාන විද්‍යාවෙත්, පෙරදිග ආගම්වලත් සොයාගෙන තිබෙන  දෙයක් තමයි මිනිස් සිතුවිලි නින්දේදී පවා ක්‍රියාත්මකව තිබෙන බව… උදාහරණයක් විදියට අපි යමක් සිතමින් නින්දට ගියොත් ඒ දේ සිහිනෙන් පෙනෙන්නෙ මෙන්න මේ මානව විඥානය නින්දේදී ක්‍රියාශීලී වන නිසා. ඔබ දන්නවා ඇති සමහර විද්‍යාඥයින් ලොව මවිත කරවන නිර්මාණ සිදු කරලා තිබෙන්නෙ සිහිනෙන් දුටු දේ පදනම් කරගෙන… මේ සිදුවීමේ එතරම් විශේෂත්‍වයක් මම දකින්නෙ නැහැ. අනිත් කාරණය තමයි ඔබ දුටුව සංඥාවල ඇතිවූ වෙනස… පිරිත් හරියට ගණ පිහිටුවා සජ්ඣායනය කළොත් බොහොම හොඳ ප්‍රතිඵල ලබාදෙන  දෙයක්. බුදුන් කාළයේ සිට රහතන් වහන්සේලා පිරිත් දේශනා කිරීමේදී නියම ගණ පිහිටවා සිදු කරලා තිබෙනවා. නමුත් දැන් සිදු වෙන්නෙ පිරිත් දමා ගැසීමක්. මේ නිසා නියම බලය ලැබෙනවා අඩුයි… මේ පිරිත්වලින් මුලින්ම සිදු වෙන්නෙ මිනිස් සිත ඒකාග්‍රතාවයකට ගෙන ඒම. ඉන්පසු ශබ්ධ රටා සහ ඒ ඒ සංඛ්‍යාත වලින් රෝගියාගේ හෝ අදාල පුද්ගලයාගේ වෙනස්වීම් සිදු වෙනවා. මේවා පරමාණුක අණුක තත්ත්‍වයක සිට සිතුවිලි වෙනස්වීම් දක්වා විශාල පරාසයක බල පැවැත්වෙනවා. මෙය සිදු වෙන්නෙ බුද්ධාගමේ පමණක් නොවෙයි. මේ සිදුවීම් වෙනස්ව සහ අඩු වැඩි වශයෙන් වෙනත් ආගම්වල යැදීම් හෝ ස්තෝත්‍ර ගායනා වලදීත් සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් පල්ලියක යාඥා කිරීමේදී බොහෝ දෙනා එක් සිතිවිල්ලක සිට ඒ ඒ යාඥාව සිදු කරනවා.. මෙන්න මේ අවස්ථාවේදී ඒ එක් එක් පුද්ගලයාගෙන් විහිදෙන ශක්තිය ඒකරාශී වීමක් සිදු වෙනවා… එවිට ලැබෙන ප්‍රතිඵලය තනි පුද්ගලයෙකුගේ යාඥාවට වඩා බලවත්….

රෝගියා මේ පිරිත් සජ්ඣායනයට ප්‍රතිචාර දැක්වුවා කියලද ඔබ වහන්සෙ හිතන්නෙ ?

මහාචාර්ය මයිකල් ගෝල්ඩ්බර්ග් විමතියෙන් මෙන් හිමියන්ගෙන් විමසූවා…

 

විශ්වට සිහිය ලැබෙයි ද ? නැතිනම් ඔහුගේ අවයව දන්දීමට සිදු වෙයිද ?

 

%d bloggers like this: