Blog Archives
2013 පෙබරවාරි 10: මෙන්න තවත් ලෝක වාර්තාවක්…. හිතේ අමාරුවට නොලියා ඉන්න බැරි වූ කතාවක්……
ලංකාවේ ආණ්ඩුවේ ඇමති තනතුරු සංඛ්‍යාව ශතකය ඉක්මවූයේ මෑතකදීය… ඒ බූරුවන් කූට්ටමේ වෙනස් වූ කොළ අතර ඛණිජ තෙල් ඇමති ධුරයද විය. ඛණිජතෙල් නීතිගත සංස්ථාව එසේ නැතහොත් සිපෙට්කෝ ආයතනය සැමදාම පාඩු ලැබූ ආයතනයකි. එය පාඩු ලබනවා පමණක් නොව විදුලිබල මණ්ඩලය වැනි ආයතනවලටද පාඩු සිදු කරන බව හිටපු විදුලිබල ඇමති පාඨලී චම්පික රණවක පවසා තිබුණි.
මෙසේ පාඩු ලබන මේ ආයතනය පසුගිය වසරක සිදු කළ ඓතිහාසික හෙජින් ගණුදෙනුවද, මෑතකදී සිදු කළ බාල පෙට්‍රල් ගෙන්වීම නිසා සිදු වූ අලකලංචිය ද ලිහිසි තෙල් හුටපටයක් නිසා සිදු වූ පාඩුව ද ආදී ආසියානු වාර්තා රැසක් තබා ඇති ආයතනයකි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ නැතහොත් අඩුම ගණනේ ආසියාවේ ලොකුම ඒවා තබාගෙන වාර්තා තබන නිසා මෙවැනි වාර්තා ඇත්තෙන්ම ශ්‍රී ලාංකිකයනට අමුත්තක් නොවේ.
මේ අද දිවයින පුවත්පතේ වූ ලිපි දෙකකි. පළමුවැන්නෙන් කියැවෙන්නේ මූලදී රසායනාගාර තත්ත්ව පරීක්ෂණවලින් අසමත් වූ රුපියල් මිලියන 8000 ක් වටිනා ඛණිජතෙල් තොගයක් පසුව එක රැයින් රසායනාගාර පරීක්ෂණවලින් සමත් වූ බවය. මේ අනුව නැවතත් අපට සමහරවිට වාහනවලට වන්දි ලබා ගැනීමේ ස්වර්ණමය අවස්ථාව හිමි වෙනු ඇත.
දෙවන ප්‍රවෘත්තිය නම් ඛණිජතෙල් සංස්ථාවේ එක්තරා ලොක්කෙකු සිය මාසික වැටුප රුපියල් ලක්ෂ දෙකේ සිට හත දක්වා වැඩි කරගෙන ඇති බවත් ඔහුට රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයක් වටිනා වාහනයක් ද ආනයනය කරගෙන ඇති බවයි. එසේ වැඩි කර ගත්තේ අමතර කාර්යයක් හෝ අමතර වගකීමක් කිසිවෙකු දරන නිසාද ? නැතිනම් තමන්ට වැඩි කරගත හැකි වූ නිසා එසේ වැඩි කරගත්තාද ?
මේ එක දිනයක ඛණිජතෙල් සංස්ථාව තැබූ වාර්තාවකි… මේ දෙකටම ගෙවන්නේ අදාල නිලධාරීන් නොව මහජනතාවගේ මුදලිනි. එනම් පෙට්‍රල් හෝ ඩීසල් ලීටරයකට රුපියලක් හෝ දෙකක් වැනි ප්‍රමාණයක් මේ සඳහා වැයවනු ඇත.. මේ කාබාසිනියා කරන්නේ මහජන මුදල් වේ. සාමාන්‍යයෙන් සදාචාර සම්පන්න රටක පොදු දේපල අයථා ලෙස පරිහරණය කරන්නන් හට දඬුවම් ලැබෙන නමුත් ලංකාවේ ලැබෙන්නේ උසස්වීම් ය…
මේ, ඒ ආයතනයේ උසස් නිලධාරියෙකු දිවයිනට පැවසූ ප්‍රකාශයකි.
“බාල පෙට්‍රල් හා බාල ඩීසල් ගෙන්වීමද, ඒවා නිසි පරිදි පරීක්ෂා කිරීම ආදී කටයුතුවලට සුදුසු සහ පළපුරුදු නිලධාරීන් නොමැති නිසා මෙම අර්බුද පැනනැගී ඇතැයි ද 1994 වසරින් පසු දේශපාලන හිතවතුන්ට ඉහළ තනතුරු ලබාදීම මෙම ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව යෑයි ද හෙතෙම කියා සිටියේය.“
මේ අතර ඇමරිකාවේ එක්සෝන් මොබයිල් සමාගම 2012 වසරේ ඩොලර් බිලියන 44.3 ක වාර්තාගත ආදායමක් ලබා ගත් බවත් එය සමාගම් වැඩිම ලාභයට වඩා අඩුව ඇත්තේ මිලියන තුන්සියයකින් පමණක් බවත් මෙය ලෝකයේ තෙල් සමාගම් තැබූ ආදායම් වාර්තා අතර ඉහළම අගය ගන්නා බවත් වාර්තා වේ. මේ නිසි කළමණාකරණයෙන් නිසි සම්පත් පරිහරණයෙන් ලාභ ලබාගතහැකි එක් උදාහරණයක් පමණි. නමුත්, අප රටේ කිසිදු ආයතනයක නිසි සම්පත් කළමණාකරණයක් කවදා සිදු වේද ?
ජනාධිපතිතුමා කියන්නේ තමන්ගේ රට විවේචනය කිරීමෙන් වලකින ලෙසයි…. එසේනම් එතුමාගේ 2/3 බලතල සහ පූර්ණ විධායක ජනපති බලතල පාවිච්චි කර මේ අකටයුතුකම් නැවැත්විය යුතුය… එවිට රටේ සිදුවන යහපත් දෑ අගය කළ හැක… එතුමාගේ විධායක බලතල පාවිච්චි වන්නේ තම හෙංචයිනයට උසස්වීම් ලබාදෙන්නට පමණක් නම් අපට ආසියාවේ ආශ්චර්යය වීම ඉතාම ඉක්මනින් ඉටු කරගත හැක… සුදුස්සාට සුදුසු තැනක් ලැබෙන තුරු අපි හැමදාම වලේය… නැතහොත් ඉක්මනින්ම මහින්ද චින්තනය ඇහින්ද චින්තනයක් වනු නොඅනුමානය…
ඔබට සුභ අනාගතයක් !
මේ සින්දුවත් අහගෙනම යමු…
මේ කියන්නේ තරහ ගන්නට නොව රට ගැන ආදරයට තියෙන හිතේ අමාරුවටය….. මේවා කිවුවාය කියා ඔබතුමන්ලා ගන්නා තීරණ වෙනස් වේ යැයි ද සිතන්නට අමාරුය… එසේ වූවා නම් මේ රට මීට වඩා හොඳ තැනක තිබෙන බව ද උපකල්පනය කළ හැක.
2011 ජනවාරි 05 : ඔබ මොන විදියේ සේවකයෙක් ද ?…….
අදත් ගෙදර….. හෙට නම් කොහොම හරි යන්න ඕන…………..
ගෙදර ඉන්න අතරේ ටෙලිෆෝන් කෝල් කීපයක්ම ආවා රසායනාගාරයෙන්…. ලොක්කත් ලෙඩ වෙලා ගෙදර නැවතිලා.. (ඔන්න මගෙන් බෝ වෙලා නම් නෙවෙයි… එයාට බඩේ ලෙඩක්…) රසායනාගාරයේ ශීතකරණයක තිබූ ප්ලාස්ටික් භාජනයක මොනවාදෝ නොදන්නා ද්‍රවයක් එකතු වෙලාලු…. පොඩි එවුන් ටික පොඩ්ඩක් බය වෙලා. මොකද ඒ භාජනයේ අසුරලා තිබුණේ ටිකක් ගිණිගන්නාසුළු ග්‍රීනාඩ් ප්රතිකාරක.
රසායන විද්‍යාව කරන අයට මතක් වෙන්නත් නොදන්නා අයට දැනගන්නත් එක්කලා පොඩ්ඩක් විස්තර කරනවා.
ග්‍රීනාඩ් ප්රතිකාරක භාවිතා කරන්නේ එක්කෝ ඔක්සිහරණය කරන්න, එහෙමත් නැත්නම් ඇල්කයිල් කාණ්ඩයක් තවත් සංයෝගයකට එකතු කරන්න. මේවා අතිශයින්ම ගිණිගන්නා සුළුයි. 2009 දෙසැම්බර් 28 වෙනිදා කැලිෆෝනියා පොලිටෙක්නික් විශ්වවිද්‍යාලයේ ඉන්දියානු ශිෂ්‍යාවක් මියගියා. ඇය බියුටයිල් ලිතියම් නම් රසායන ද්‍රව්‍යය මිලි ලීටර 50 ක් වෙනත් රසායන සංයෝගයකට එක් කිරීමට යාමේදී එයට ගිණි ඇවිලී, ශරීරයටත් ගිණි ඇවිලී දැඩි පිළිස්සුම් තුවාල මැද්දේ අවාසනාවන්ත ලෙස මිය ගියා. ඒ අනතුරින් පසු, ග්‍රීනාඩ් ප්රතිකාරක හා ගනුදෙනු කරන සියළු දෙනා පෙරටත් වඩා ගෞරවාන්විතව තමයි ඒවාට සලකන්නේ.
මේ නිසාම අපේ පොඩි එවුන් ටිකත් බය වෙලා. ඒකෙ තිබිලා තියෙන්නෙත් බියුටයිල් ලිතියම් ම තමයි. ලොක්කට කතා කරාම ලොක්ක දුරකථනයට ඇවිත් නෑ. එකෙක් කියනවා තවම වැසිකිළියේ වෙන්න ඇති කියලා… (මුංට තියෙන්නේ මාරම කටවල් තමයි) ඉතින් මම කරන්න ඕන ක්‍රියාමාර්ගය විස්තර කරලා ඒ කටයුත්ත අහවර කරා. ඊට පස්සේ තමයි මට තේරුණේ අපේ රසායනාගාරයේ ඇති අඩුපාඩුව…. අපේ රසායනාගාරය පටන් අරන් මේ තාක්කල් කටයුතු කළේ පුද්ගල කේන්ද්‍රීයව. මම හෝ ලොක්කා හෝ තමයි බොහොමයක් දේ මෙහෙයවුවේ. මේ නිසා අපි දෙන්නාගෙන් කෙනෙක් නැති වුනා කියලා පාඩුවක් වුනේ නෑ. නමුත් දෙදෙනාම නැති වුනාම කාටවත් කිසිදෙයක් කරගන්න බැරුව යනවා…
අද හෙටම සෑම අංශයකටම සම්මත ක්‍රියා පටිපාටියක් (Standard Operating Procedure) ඇතිකළ යුතු බව මට තේරුණා…. එවිට පුද්ගල කේන්ද්‍රීය ආයතන, පද්ධති කේන්ද්‍රීය ආයතන බවට පත් වෙලා අදාල පුද්ගලයා නොමැති වුවත් වැඩකටයුතු සාමකාමිව කෙරෙනවා.
ලංකාවේ බොහොමයක් රජයේ ආයතන පුද්ගල කේන්ද්‍රීයයි. අදාල පුද්ගලයා ආවෙ නැත්නම් එතැන වැඩ ගොඩ ගැහෙනවා. එතැනින් එහාට කිසිදෙයක් වෙන්නේ නැහැ. “අද සර් නැහැ – හෙට එන්න” කියලා පාරිභෝගිකයා හරවලා යවන පිළිගැනීම් නිළධාරිනියෝ රාජ්‍ය ආයතනවල කීදෙනෙක් ඉන්නවාද ?
සමහර වෙලාවට වෘත්තීය සමිති නිසා වැඩ කරන්න කැමති කෙනොටත් කරන්න දෙන්නේ නැති වෙලාවල් තියෙනවා. තවත් සමහරු උපතින්ම කම්මැලියි. වැඩට ඇවිත් යන්තම් තමන්ට ඇති දේ කරලා දාලා, පුළුවන් තරම් නිකම් ඉඳලා පඩි ගන්න තමයි සමහරු කැමති. ඉදිරියට යන කෙනා නම්, තමන්ගේ වැඩ කොටස ඉක්මනින් නිම කරලා, වෙනත් දේත් ඉගෙන ගන්නවා. එවිට, අවශ්‍යතාවය පැමිණියාම – තමන්ව එතැනට ආදේශ කරවගන්න නිතැතින්ම පුළුවන්. සමහරවිට උසස්වීමකුත් ඉක්මනින්ම ලැබේවි….
ඉතින්, ඔබ මොන වගේ කෙනෙක් ද ? හිතලා බලන්න…. ඔබ අලස කාණ්ඩයට වැටෙනවා නම්, අද ඉඳලා අනෙක් කාණ්ඩයට වැටෙන්න හිතාගෙන වැඩ කරන්න… බලන්න වටේ පිටේ අය ඔබව පිළිගන්න අපූරුව…..බොහෝවිට මුදල් වලට වඩා මිනිස් සම්බන්ධතා වැදගත් වෙනවා…. මිනිසුන් හම්බ කරන්න… මුදල් ඉබේටම ලැබේවි……………..