Blog Archives
2011 ජනවාරි 14 : සූර්ය දිව්‍ය රාජයා කෝප වූ තෛපොන්ගල් මංගල්‍යය…….!
ජනවාරි 14 සාමාන්‍යයෙන් ලංකාවෙ නම් නිවාඩු. මොකද තෛපොන්ගල් නිසා. තෛපොන්ගල් කියන්නේ දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාව අස්වනු නෙලා ගෙට ගෙන ආ පසු සූර්ය දෙවියන්ට පුදන මංගල්‍යයක් (Pongal) ලෙසයි… මෙය සාමාන්‍යයෙන් ජනවාරි (thai)මස 13 – 15 අතර දිනවල පැවතෙනවා.
මෙවර නම් නැගෙනහිර පලාතේ ජනතාවට තෛපොන්ගල් නොවෙයි, උන් හිටි තැන් පවා නැති වෙලා තියෙනවා: සූර්ය දිව්‍ය රාජයා කෝප වෙලා ද දන්නේ නෑ… අසාමාන්‍ය වර්ෂාපතනයත් එක්කම පැමිණි අධික සීතල බොහොමයක් දෙනාට දරාගන්න බැරි තත්ත්‍වයක තිබුනා… මෙසේ අකාලයේ වැසි වැහැලා මිනිසුන් කරදරයේ වැටෙන්නේ රටේ පවත්න අයහපත් පාලනය නිසා කියලයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා සහ ඔහුගෙන් කෑලි අහුලාගත් එක්සත් ජාතික පක්‍ෂයේ දයාසොරි ජයසේකර කියන්නේ… එසේ නම්, අධික හිමපතනය වූ නිසා අමෙරිකාවේ සහ යුරෝපයේ නායකයිනුත්, අධික වැසි වැටීම ගැන ඕස්ට්‍රේලියාවේ සහ බ්‍රසීලයේ නායකයිනුත් ඒ ව්‍යසනයන්ට වගකියන්න ඕනා…
ඇත්තටම සළකා බැලුවොත් මේ සියළුම ව්‍යසන වලට ලෝකයේ සියළුම දෙනා වගකිවයුතු වෙනවා. වසර දෙසීයක් පමණ කාලයක් තිස්සේ පරිසරයට කරපු හානියට පරිසරය මිනිසාට දඬුවම් ලබා දෙනවා. 2010 වසර තුළ පමණක්, ස්වභාවික ව්‍යසන නිසා මිනිසුන් 250,000 ක් දෙනා මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළා. මේ සියළුම මරණ සංඛ්‍යාව වළක්වා ගැනීම අපහසු විය හැකි වුවත්, සමහර දෑ වලක්වාගත හැකිව තිබෙන්න ඇති. එසේමයි, ලොව වැඩිවන ජනගහනය පාලනයට කිසියම් ක්‍රමයක් තිබිය යුතුයි.. මෙය ඒ ස්වභාවික වරණයේ ප්‍රතිඵල විය හැකියි.
මහා පිපිරුම (Big Bang) සිදු වූ දිනයේ සිට අද දක්වාම විශ්වය ප්‍රසාරණය වෙමින් පවතිනවා, එසේත් නැත්නම් විශ්වයේ අහඹුතාවය වැඩි වෙමින් පවතිනවා. පෘථිවිය සංවෘත පද්ධතියක් සේ ගත් කළ පවා, මෙම අහඹුතාවයේ වැඩි වීම අපට දැකගන්නට පුළුවන්, ජනගහනය වැඩි වෙනවා, බලශක්ති පරිභෝජනය වැඩි වෙනවා. මේ ආදීවශයෙන් ගත් කළ පද්ධතියේ අහඹුතාවය වැඩි වන විට පද්ධතිය සමතුලිත බව නැති වෙනවා. මේ සමතුලිත බව නැතිවීම තමයි ප්‍රතික්‍රියාවක් කියන්නේ. මේ අහඹුතාවයේ වැඩි වීම කවදා හෝ පෘථිවියට දරාගන්න බැරි තත්ත්‍වයකට පත් වෙනවා. එවිට මේ පද්ධතිය විනාශ වෙන්නට පුළුවන්. දැනටමත් ඒ විනාශයේ ලක්‍ෂණ පහළ වෙමින් පවතිනවා.
ඉතින් මේ පද්ධතිය විනාශය කරා යන ගමනේ වේගය අඩු කරන්න අපට පුළුවන්. ජනගහනය වැඩි වීම අපට පාලනය කරන්නට බැහැ, සත්ව සංහතියේ පරිණාමයට ඉදිරියටත් ඔවුන් පැනතිය යුතු නිසා සෑම සතෙක්ම පැටවුන් බිහි කරනවා.මෙය කිසිවෙකුටත් පිලනය කරන්නට බැහැ. නමුත් අපේ පරිසරයේ පවතින දෑ නැවත නැවත පරිභෝජනය හෙවත් ප්‍රතිචක්‍රීකරණය මගින් මේ විනාශය අඩු කරගන්නට අපට පුළුවන්. මේ පිළිබඳ වැඩි විස්තර සහිත ලිපියක් ඉදිරියේදි එළිදක්වන්නම්…
2011 ජනවාරි 02 : වාසනාව දොර ඇරලා බලනවා…..
“අනේ ඔයාලා හරිම වාසනාවන්තයි” කියලා ඊයේ පන්සලට ආපු කෙනෙක් – තවත් කෙනෙකුට කියනවා ඇහුනා…. මට ඒ වෙලාවෙ ආපු සිතිවිල්ල තමයි, වාසනාව කියන්නේ හරියටම මොකක්ද කියලා… නිතැතින්ම මතකයට ආවේ “වාසනාව යනු ඕනෑකමයි” යනුවෙන් ගාල්ල “ඉගෙනුම” පෞද්ගලික ඉගැන්වීම් ආයතනයේ බිත්තියක ලියා තිබූ වැකියයි.
වාසනාව යනු ඕනෑකමද ? වාසනාව විග්‍රහ කරන මේ අර්ථ දැක්වීමට අනුව,
Luck or fortuity is good or bad fortune in life caused by accident or chance, and attributed by some to reasons of faith or superstition, which happens beyond a person’s control.
වාසනාව හෝ අවාසනාව කියන්නේ අහඹුතාවයක්. යමෙකු, යමක් සිද්ධවන අවස්ථාවේ එතැන සිටීමේ අහඹුතාවය (right person in the right place at the right time) තමයි වාසනාවට/ අවාසනාවට හේතු වෙන්නේ….
උදාහරණයක් ලෙස කිසිවෙකු ලොතරැයියක් ජයග්‍රහණය කිරීමේ අවස්ථාව ගනිමු.ලොතරැයිය ජයග්‍රහණය කිරීම සඳහා එය මිලදී ගත යුතු අතර ඒ සඳහා සිතිවිල්ලක් පහළ විය යුතුයි. එසේ පහළවන සිතිවිල්ල මෙහෙයවා යම් ස්ථානයකට ගොස් ලොතරැයිය මිල දී ගත යුතුයි. මෙසේ මිලදී ගන්නා ලොතරැයිය දිනුම් අදින අවස්ථාවේ සියළු සම්භාවිතාවයන් එකිනෙකට පෙළගැසී ඒ අංක සියල්ල පැමිණිය යුතුයි. මෙය සාමාන්‍යයෙන් දුර්ලභ අවස්ථාවක්. ලොතරැයි ඇදෙන්නේ බොහොම කළාතුරකින්….
එසේමයි අනෙක් වාසනාවන්ත / අවාසනාවන්ත අවස්ථා: කෙනෙකු මරණයෙන් බේරීම, තවත් කෙනෙකු අනතුරකට පත්වීම, කෙනෙකු හමුවීම, ආදී මව්කුස පිළිසිඳ ගැනීමේ අවස්ථාවේ සිට මරණය දක්වා අපේ ජීවිතයේ සියළුම කරුණු මෙන්න මේ අහඹුතාවයේ ප්‍රතිඵලයන්….
මේ අහඹුතාවයන් මෙසේ පෙළ ගැසෙන්නේ ඇයි ? ඒ එක් එක් පුද්ගලයාගේ කර්ම ශක්තිය අනුවයි. මේ අහඹුතාවයන් වෙනස් කිරීමට කිසිදු අයෙකුට නොහැකියි. එසේ වෙනස් කිරීමට සිතීමත් කර්මය අනුව බලපවත්වන්නක් නොවේද ? මට සිතෙන විදියට අපේ ජීවිතයේ සෑම අවස්ථාවක්ම මේ කර්ම ශක්තිය මත බලපවත්වන අහඹුතාවයේ ප්‍රතිඵලයයන්.
ඔබට කොහොමද හිතෙන්නේ ඒ ගැන ?….. අපි සාකච්ඡා කරමු….