Blog Archives
ක්‍ෂණික ආහාර ගිල්වීමෙන් මාරක වන දාරක ස්නේහය…. රිවිර අගෝස්තු 12
රටක අනාගතය එහි තරුණ පරපුර සහ ළමා පරපුරයි. නිරෝගී ළමා-තරුණ පරම්පරාවක් නොමැති රටක අනාගතය අඳුරුයි. බොහෝ දියුණු වූ සහ දියුණු වෙමින් පවතින රටවල දූරදර්ශී නායකයින් අන් සියල්ලට වඩා මේ පරම්පරාවේ සුගතිය වෙනුවෙන් තැනක් දෙන්නේ එය අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් නිසා. නිරෝගී පරපුරක් ඇති රටක සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය වෙනුවෙන් වියදම් කළ යුතු මුදල අඩු යි. දැනට ගණන් බලා ඇති පරිදි ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍යය සඳහා යන වියදමෙන් 21% ක් වැය වන්නේ ස්ථුලතාවය වෙනුවෙන් කෙරෙන ප්‍රතිකාර සහ ප්‍රචාරණයන් වෙනුවෙන්. දීර්ඝකාලීන ක්‍රියාමාර්ග ගැනීමෙන් අනාගතයේ වැඩිවන සෞඛ්‍යමය ප්‍රශ්න සහ ඖෂධ-උපකරණ-සේවා යන වියදම් අඩු කිරීමට හෝ පාලනය කිරීමට අනාගත රජයයන්ට හැකි වන නිසා රටක් ලෙස ඔවුන් අනාගතය වෙනුවෙන් ආයෝජනය කරනවා. විශේෂයෙන් දරුවන් රෝග වලට භාජනය වීමට ඉඩකඩ වැඩි වන විට ඔවුන් තරුණ පරපුර බවට පත්වන කල්හි ඔවුන්ගේ සෞඛ්‍යයේ පිරිහීමක් දක්නට ලැබෙනවා. මෙය රටක ඵලදායීතාවයට සහ කාර්යක්‍ෂමතාවයට දැඩි පහරක් එල්ල කරනවා. මේ වෙනස දියුණු රටවල් සහ දියුණුව කරා ගමන් කරන රටවල දැකිය හැකි පොදු ලක්‍ෂණයක්.
පසුගිය වසරක පළවූ දත්ත අනුව ලංකාවේද පාසැල් වයසේ ගැහැණු ළමුන් 37% ක් සහ පිරිමි ළමුන් 17% ක් ළමා ස්ථුලතාවයෙනේ පෙළෙන බව සොයාගෙන තිබෙනවා. මේ තත්ත්‍වය දිගින් දිගටම පැවතුනහොත් තව වසර දහයකින් ශ්‍රම බලකායට එකතු වන්නේ රෝගීන් පිරිසක්. ඒ වගේම ගණන් බලා ඇති පරිදි වසර 2020 වන විට ලංකාවේ ජනගහනයෙන් සියයට පණහක් දියවැඩියා රෝගීන් වනවා. ඒ කියන්නෙ තව වසර තුනක් වන විට දෙදෙනෙකුගෙන් එක් අයෙක් දියවැඩියා රෝගියෙක්. එවිට ඔබේ ජීවිත කාලය කෙතරම් කෙටි වෙනවාදැයි සළකා බලන්න. දියවැඩියාව නිසා වකුගඩු රෝග, හෘද රෝග වැනි රෝග නිතැතින්ම අපේ ශරීරයට ඇතුළු වනවා. ලංකාවේ සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය තවමත් මේ තත්ත්‍වය පාලනයට සමත් වී නැහැ. අවාසනාවට ඔබට ඉතිරිව ඇත්තේ එක විසඳුමයි. ඒ දැන දැනම මරණය කරා ගමන් කිරීමයි. එවිට ඔබේ දරුවන් හැදී වැඩෙනවා බලන්න, ඔවුන්ගේ සාර්ථකත්‍වය දකින්න, ඔවුන්ට නිසි මඟ පෙන්වන්න ඔබ ඉතිරි වන්නේ නැහැ. ළමා ස්ථුලතාවය ලංකාවේ තවමත් හරිහැටි අවධානය නොවූ ප්‍රශ්නයක්. සෞඛ්‍යමය පැත්තෙන් මෙය යම්තරමකින් හෝ සළකා බැලුවත්, කාර්යක්‍ෂමතාවය හෝ ඵලදායීතාවය අතින් මේ පුරෝකථන සිදු කර නැති බවයි පෙනෙන්නේ.
තමාගේ දරුවා දෙමාපිය යුවලකට ඇති මහඟුම සම්පතයි. පිළිසිඳගත් දා සිට මවක් සිය දරුවා වෙනුවෙන් කරන කැපවීම මේ ලොව සියළු කැපවීම් අභිබවා යනවා. පියෙකු සිය ජීවිත කාළය පුරාම වෙහෙසෙන්නේ සිය දරුවන් සමාජයේ තමන්ට වඩා ඉහළ තැනක වැජඹවීමටයි. මේ දෙමාපිය යුවලකගේ ලේ සම් මස් ඇටමිඳුලු පුරා දිවෙන දාරක ස්නේහයයි. උපන්දා සිට තම දරුවා වෙනුවෙන් නිඳිවැරීම, දුක්විඳීම මවකගේ ඉරණම හා බැඳී පවතිනවා. ඒ වෙනුවෙන් ඇයට අමතර දීමනා හෝ විශේෂ ත්‍යාග ලැබෙන්නේ නැතිවා වගේම ඇය එය බලාපොරොත්තු වන්නේත් නැහැ ..ඇයට ලැබෙන්නේ දරුවන් හොඳින් හැදෙනු වැඩෙනු බලා – සමාජයේ හොඳින් වැජඹෙනු බලා ලබන සතුට පමණයි. සමහර මව්වරුන් මේ අච්චුවෙන් ඉවතට පැන දරුවන්ට වඩා තම සුවය සැනසුම පතා ආත්මාර්ථකාමී වුවත්, 95% කට වඩා මව්වරුන් පියවරුන් සිය දරුවන් වෙනුවෙන් ජීවිතය කැප කරනවා.
දරුවා පෝෂණය කිරීම මවකගේ පියෙකුගේ මූලික කටයුත්තයි. ඒ වෙනුවෙන් තම හැකි පමණන් පෝෂ්‍යදායී ආහාර ගෙන දීම කොයි මවත්-පියාත් කරන මූලික දෙයක්. මේ කටයුත්තේදී තම නැණ පමණින් සහ තම ආර්ථික මට්ටම අනුව උපරිමය කිරීමට ඔවුහු කටයුතු කරනවා. ගමේ වෙසෙන දෙමාපියන් නිතිපතා තම හැකි පමණන් දරුවන් පෝෂණය කළත්, ඉඳහිට හෝ කුකුළුමස් කැබැල්ලක්, චොකලට් පෙත්තක් ආදිය ගෙනවිත් දීමට තමන්ට හැකිනම් පසුබට වන්නේ නැහැ. නාගරික මධ්‍යම සහ උසස් මධ්‍යම පාන්තික පවුල්වල තත්ත්‍වය මෙයට තරමක් වෙනස්. ඔවුහු බොහෝ දුරට වාහනයක් පාවිච්චි කරන, තරමක පෝෂ්‍යදායී ආහාර වේලක රස බලන, කුකුළු මස් – හැම් බේකන් හෝ බටර් මාගරින් ආදියේ රසකැවිළි ආදියේ පහස වඩා වැඩියෙන් ලබන කාණ්ඩයක්. එසේම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන් අමතර පන්තිවලට, අමතර ක්‍රියාකාරකම් වලට ගෙනයන, ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් වැඩි ආයෝජනයක් කරන කාණ්ඩයක්. ඔවුන්ගේ කාලසටහන කාර්ය බහුලයි. බොහෝවිට මවත් පියාත් දෙදෙනාම රැකියා කරන උදවිය. මේ නිසාම සමහරවිට දෛනික ආහාර වේල ගැන ලැබෙන්නේ අඩු අවධානයක්. දවස පුරා වෙහෙස වී දරුවන් කැටුව නිවසට පැමිණෙන මව සහ පියා කිහිප දෙනෙකුට කෑම ඉවීමේ භාරදූර කටයුත්ත වෙනුවට වඩා පහසු වූ ආහාර වේලක් මඟින් ගෙන ඒම හෝ නිවසටම ගෙන්වා ගැනීම යන කටයුත්තට යොමු වෙනවා. බොහෝ විට ආප්ප, ඉඳිආප්ප, කොත්තු, ආදී පිසූ ආහාර වේලක් අසළ වූ කෑම කඩයකින් සැපයෙනවා විය හැකියි. මේ ආහාර වේල් බොහෝ දුරට එතරම් සෞඛ්‍යාරක්‍ෂිත නොවිය හැකිය. අධිකව තෙල් සහ රසකාරක දැමූ මේ ආහාර කොහොම සකසනවාදැයි දන්නේ දෙයියෝ සහ සකසන කෙනා පමණයි. බොහෝ විට මේ ආහාරවල එළවලු නරක් වීමට ආසන්න ඉවත දමන එළවලු විය හැකියි. ආහාර ව්‍යාපාරය ලාභ ලබන්නේ එහෙමයි. එසේම ආහාර රස කිරීමට MSG අඩංගු රසකාරක එකතු නොකරන ආහාර සපයන්නෙක් සොයා ගැනීම බොහොම දුර්ලභයි. මේ තෙල්, රසකාරක සියල්ල ස්ථුලතාවයට පාර පෙන්වන බව සොයාගෙන ඇත. දරුවන්ට ඇති අසීමිත ආදරය නිසාම, දරුවන් වඩා කැමති බටහිර ක්‍ෂණික ආහාර සමාගම්වල ශාඛාවලට යාමට හෝ ඒවායින් ආහාර රැගෙන ඒමට දෙමාපියෝ කටයුතු කරනවා. එසේම විවිධ කෝලා වර්ග- පැණි බීම වර්ග ආදියද ලබා දීමට ඔවුන් කටයුතු කරනවා.
මෙයට අමතරව බොහෝ දරුවනට පාසලේ සහ අමතර පංතිවල ක්‍රියාකාරකම් අධිකයි. අද පවතින තරඟය නිසාම ඔවුන් අමතර පන්ති එකක් හෝ කිහිපයකට සහභාගී වී නිවසට පැමිණෙන්නේ බොහෝ වෙහෙස වෙලා සහ ප්‍රමාදවෙලා. ඔවුනට එළියකට පහළියකට බැස ක්‍රීඩාවක් කිරීමේ අවස්ථාව ඉතාම අඩුයි. බොහෝ විට සති අන්තය ද පෞද්ගලික පන්ති, සංගීත පන්ති, චෙස් පන්ති, ආදී පන්ති කරා යාමට සිදු වෙනවා. මේ නිසා දරුවන්ට ඇඟ වෙහෙසා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නැති තරම්. සමහර දෙමාපියෝ තම දරුවන් කරාටේ හෝ පිහිණුම් සඳහා රැගෙන යනවා. දැඩිව කය වෙහෙසා කරන ක්‍රීඩා කරන්නේ බොහොම අල්ප සංඛ්‍යාවක්. කෙසේ වුවත් වසර විස්සකට පමණ පෙර රට පැවති තත්ත්‍වයෙන් අප බොහෝ දුරට අපගමනය වී ඇති බව නම් පෙනෙන්නට ඇති කරුණක්.
දශක තුනකට පෙර කාලයේ පාසැල් ගොස් පැමිණෙන අප අමතර පන්ති ගියත් අවම වශයෙන් සතියකට දින දෙකක් හෝ කිසියම් ම ක්‍රීඩාවක යෙදුනා. පන්තියේ යහළුවන් හෝ වට පිට මිතුරන් කිහිප දෙනෙකු එකතුකරගෙන හෝ ක්‍රිකට් ගැසීම හෝ කළා. ඇති තරම් දිවුවා, බයිසිකල් පැදීම එල්ලේ ගැසීම වැනි යමක් අනිවාර්යයෙන් සිදු වුනා. තරමක් වැඩුන පසු වොලිබෝල් වැනි ලොකු මිනිසුන්ගේ ක්‍රීඩාවලට ද සහභාගී වුනා. කුඩා දරුවන් එසේ ක්‍රීඩා කරනවා දැන් දකින්නත් නැති තරම්. වොලිබෝල් දැන් දුර්ලභ තත්තවයකයි පසු වෙන්නෙ. දැන් දුවන්නේ මහල්ලන්, වැඩිහිටියන්: ඒ ඔවුන්ගේ ජීවිතය තවත් දවසක් දිගු කරගන්න….. ඒ වගේම දැන් සියළුම දෙනා හැල්මේ දුවනවා – ව්‍යායාමයට නොවෙයි ජීවිතය ගැට ගසා ගැනීමේ තරඟයට.. මේ දශක තුනක් තුළ ලාංකීය ජීවිතයේ සිදු වූ වෙනසයි.
ස්ථුලතාවය සමාජයේ සියළුම වයස් ස්ථර වලට බලපානවා. මා දන්නා මගේ වයස මට්ටමේ සහ වසර කිහිපයක් වැඩිමහළු කිහිප දෙනෙකුම හදිසි හෘදයාබාධ වලින් අප හැර ගොසින්. මගේම වයසේ මිතුරන් අධික රුධිර පීඩනයෙන් පීඩා විඳිනවා. සමහරුන්ට දියවැඩියාව. බොහෝ දෙනෙක්ගේ උදරය ඉදිරියට නෙරාවිත් ඇත්තේ… ඒ කිසිවෙකු මා දන්නා ආකාරයට සිය ශරීර සෞඛ්‍යය පිළිබඳ වැඩිදුර අවධානයක් ඇත්තෝ නොවෙයි. පෙර පැවති කඩවසම් බව තවමත් පවත්වාගෙන යන කිහිප දෙනා නම් තවමත් පෙර පරිදිම ක්‍රීඩාවේ නියැලෙනවා. ඒ බොහොමත්ම අල්ප දෙනෙක්..
මේ දෙමාපියන්ගේ දරුවන් ද දුවන්නේ තරඟය ජය ගන්නයි.. ඔවුනට සිය සෞඛ්‍යය ගැන මතක් වන්නේ එක්කෝ රෝගයක් වැළඳුන විට හෝ වෙනත් කාරණයකට වෛද්‍යවරයෙකු වෙත ගියවිට වෛද්‍යවරයා මතක් කළහොත් පමණයි. එවිට ඔවුහු පමා වූවා වැඩි විය හැකියි. මේ තිත්ත ඇත්තයි. ලංකාවේ බොහෝ දෙනා සිතන්නේ දරුවන් තරමක් මහතට සිටීම ඒ දරුවා සනීපෙන් සිටින බවට බාහිර මිම්මක් ලෙසයි. එසේ වුවද දැන් දැන් ආහාර වලට එක් කරන හෝමෝන සහ විවිධ රසකාරක නිසා දරුවන්ගේ ශරීර තුළ විවිධාකාර අසාමාන්‍ය වෙනස්කම් සිදු වේ. පෙර කළ අවුරුදු 13-15 අතර වැඩිවිය පැමිණෙන ගැහැණු දරුවන් දැන් අවුරුදු 9-10 වන විට වැඩිවිය පැමිණෙන්නේ මේ හෝමෝන අනවශ්‍ය ලෙස දරුවන්ගේ සිරුරු තුළට ඇතුළු වීම නිසාය. පිරිමි දරුවන් මෙන් නොව බොහෝ විට ගැහැණු දරුවන්ට වැඩිපුර ඇඟ වෙහෙසා ක්‍රීඩාවක් කිරීමට අවකාශයක් ලැබෙන්නේත් නැහැ. සමාජයීය මෙන්ම සංස්කෘතික බාධා තවමත් අප වෙලාගෙන සිටීම මෙයට හේතුවයි.. මේ නිසා සහ ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියා නිසාම ඔවුන්ගේ සිරුරු තුළ මේදය තැන්පත් වීම වැඩිපුර සිදු වෙනවා. මේ නිසා ගැහැණු දරුවන් ස්ථුලතාවයට පත් වීම වැඩිපුර සිදු වනවා. එසේම මෙය පසුකාලීනව ඔවුන්ගේ ජීවිත මෙන්ම ආත්ම විශ්වාසයට ද බලපානවා. මේ නිසාම තරුණ වයසට පැමිණෙත්දී ඔවුන් ආහාර පාලනයට නතු වනවා. මේ නිසා තරුණ කාළයේදී අවශ්‍ය පෝෂණය නොලැබී යනවා. කෙට්ටු වීමට නොකා සිටීමෙන් සිදු වන්නේ පසුකාලීනව ගැස්ට්‍රයිටීස්, දියවැඩියාව වැනි වෙනත් රෝග වැලඳීම කෙරෙහි එය බලපානවා..
මෙය චක්‍රයක්. මේ චක්‍රය බිඳ හෙළිය හැක්කේ දරුවන්ට නිසි පෝෂණය නිසි ආකාරයට කුඩා කාළයේදීම ලබා දීමෙන් පමණයි. ආහාර පාලනය – සමබල ආහාර ලබා දීම. ආහාර ලබා දීමේදී සෞඛ්‍යාරක්‍ෂිත බව පිළිබඳ සැලකිලිමත් වීම යන කාරණා සාක්‍ෂාත් කර ගතහොත් තම දරුවන් අනාගතයේදී රෝගීන් වීමෙන් වලක්වා ගත හැකියි. සත්තකින්ම මෙහි වගකීම ඇත්තේ දෙමාපියන් හා ගුරුවරුන් වෙතයි. ඒ තමන් දැනුවත් වීමෙන් හා අනුන් දැනුවත් කිරීමෙනි. දරුවන්ට ඇඟ සොලවා ක්‍රීඩා කිරීමට අවකාශ ලබා දීමෙන් ඔවුන්ගේ රුධිර සංසරණය ක්‍රමවත් වී මානසිකවද ප්‍රබෝධමත් වනවා. මානසිකව ප්‍රබෝධමත් දරුවා අධ්‍යාපනයේ ඉහළට යනවා. සමබරව සිතනවා….
කියවන ඔබ මෙයින් 10% ක් හෝ අනුගමනය නොකරනවා නම් එහි ඇති අරුතක් නැහැ.. බටහිර රටවල ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇත්තේ ළමා ස්ථුලතාවයයි. බොහෝ දරුවන් සිය වයසට වඩා බරින් වැඩියි. බොහෝ දරුවන් විවිධාකාර රෝගවලින් පෙළෙනවා. දැනුවත් දෙමාපියෝ සිය දරුවන් සමබර ලෙස හදා වඩා ගන්නවා. බොහෝවිට ඔවුන් ආහාර පාලනය – එළිමහන් ක්‍රීඩා කෙරෙහි දරුවන් යොමු කිරීම මෙන්ම පවුලේ ක්‍රියාකාරකම් මගින් දරුවන් නිරෝගී කිරීමට වගබලා ගන්නවා. ඒ සමාජයෙන් 10 % ත් 20 ත් අතර කොටසක් පමණයි. ඉතිරිය රැල්ලට හසු වී ගසාගෙන ගොස් – පසුව පසුතැවිලි වනවා.
දැන් ලංකාවේ දරුවන් බොහොමයක් පරිඝණක ක්‍රීඩා, ජංගම දුරකථන භාවිතය වෙත නැඹුරුව පවතිනවා. දෙමාපියන් පවා පහසුව තකා ඔවුන්ට දුරකථනය හෝ ටැබ් එකක් ලබා දී ක්‍රීඩා කරන්නට ඉඩ සලසා තිබෙනවා. මේනිසා දරුවන් කය වෙහෙසා කරන ක්‍රීඩාවකට යොමු වනවා හරිම අඩුයි. එයින් වැරදි දෙකක් වනවා. පළමුවැන්න වන්නේ ඔවුන් ඒ සඳහා ඇබ්බැහි වීමයි. එමගින් දරුවාගේ මානසික ශක්තිය, තර්ක කිරීමේ හැකියාව, නිර්මාණශීලීත්‍වය වැනි දෑ අහිමි වන බව සොයාගෙන තිබෙනවා. දෙවැන්න දරුවා කය වෙහෙසා කරන ක්‍රීඩාවලට සහ කණ්ඩායම් ක්‍රීඩාවලට යොමු නොවීම නිසා දරුවාගේ කායික ශක්තිය හීන වීම, ස්ථුලතාවය වැඩි වීම, කණ්ඩායම් හැඟීමක් නොමැති වීම, කායිකව ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීමේ හැකියාව නොමැති වීම නිසා අනතුරුවලට ලක්වීම වැනි අහිතකර දෑ සිදු වන්නට ඇති හැකියාවයි.
ළමා ස්ථුලතාවය නිසා දරුවන්ට වැළඳිය හැකි ෙරා්ග රාශියක් තිෙබනවා. ෙම් අතරින් දියවැඩියාව, අධික රුධිර පීඩනය, ස්නායුගත අාබාධ, අාහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධ අාබාධ, කායික අාබාධ, අස්ථි දුර්වලතා ප්‍රධානයි. ෙමයින් වඩාත්ම සංෙව්දී වන්ෙන් මානසිකව දරුවා අපහසුතාවයට පත්වීම නිසා සිදුවන අාත්ම විශ්වාසය බිඳවැටීම වැනි නැවත පිළිසකර කිරීමට අපහසු තත්තවයන් අැති වනවා.
අවශ්‍යතාවය ඇතිනම් වෙනස් වන්නට පුළුවන්. සමහර එළවළු වර්ග තම වත්තේම වගා කරගත හැකියි. තමන් වගා කරන ගමන්ම තම දරුවන්ටත් එක් එළවළු පාත්තියක් වගා කිරීමේ වගකීම පැවරිය හැකියි. එයින් ඔවුන් ඇඟ වෙහෙසා යමක් කිරීම- වගකීමක් දැරීම- ඉන් ප්‍රතිඵල ලැබීම වැනි බොහෝ දේ ඉගෙන ගන්නවා. එපමණක් නොවෙයි, එය ඔබේ ආර්ථිකයට සහයක් මෙන්ම, පවුලේ සියල්ලන් එකට එකතු වී යමක් කිරීම නිසා පවුලේ සමගිය පවා ඉහළ යාමට සාධකයක්. එමෙන්ම ඔභ වගා කරන දෑවලට ඔබ අනවශ්‍ය රසායන ද්‍රව්‍ය එකතු නොකරන නිසා පවුලේ උදවියගේ සෞඛ්‍යාරක්‍ෂිත බව ද ඉහළ යනවා. කඩෙන් ගෙන එන පළතුරු බීම වෙනුවට පළතුරු ගෙඩියක් දෙකක් බ්ලෙන්ඩරයට දමා අවම සීනි ප්‍රමාණයක් දමා තමන් විසින්ම පළතුරු බීමක් සාදා ගත හැකියි. එය තම දුවට පැවරීමෙන් ඒ වගකීම සහ දැනුවත් භාවය තවත් පරපුරකට සන්නිවේදනය වෙනවා ඇති. මෙසේ තම චර්යාවන් වෙනස් කර ගැනීම මගින් තමන්ගේත් පවුලේත් සුභසාධනය සළසා ගත හැකියි. කෂණික අාහාර අඩු කිරීම, පැණි බීම, ෙසා්ඩා වර්ග පානය නැවැත්වීම, දුවනගිරි ෙහා්ටල්වලින් අාහාර ගැනීම නැවැත්වීම සහ නිසි ව්‍යායාම ලබා දීම මගින් දරුවන්ෙග් ෙමම ස්ථුලතාවය අඩු කළ හැකියි. ආණ්ඩුවෙන් හෝ පාසැලෙන් ඒ දේ කෙරෙනවාට වඩා ස්වයං පාලනයෙන් – ස්වයං වාරණයෙන් සහ අවබෝධයෙන් යමක් කරා යාම සතුටක් දනවනවා. අදම ඔබ පවුලේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කර තමන්ගේ පවුලේ චර්යාවන් වෙනස් විය යුත්තේ කෙසේද කියා බලා වෙනස් වුවහොත් 2020 වන විට රටේ ජනගහනයෙන් 50% වන දියවැඩියා රෝගීන්ගේ කොටසට නොවැටී සිටීමට ඔබටත් හැකි වේවි. නැතහොත් 2020 වනතෙක් කීදෙනෙක් ජීවත්ව සිටී දැයි බලා ඔබටම සුසුම් ලෑ හැකියි….
ඔබේ පවුල රැක ගැනීමේ – ඔබ ආරක්‍ෂාවීමේ තීරණය ඔබ සතුයි… අපට හැක්කේ එය කියාදීම පමණයි.
ඉතින් සිතන්න…. අදම ක්‍රියාකරන්න…. සමාජයක් වෙනස් කළ හැක්කේ තනි තනිව ඔබ වෙනස් වීමෙන් පමණයි. ලිප්ටන් වටරවුමේ බෝඩ් එල්ලාගෙන පාර වසාගෙන කෑ ගැහුවට සමාජය වෙනස් කරන්න බෑ කියන දේ ඔප්පු වෙලා හමාරයි. ඔබ වෙනස් වී අවට සිටින්නවුන් එක එකා වෙනස් කරන්න… එවිට සමාජය හොඳ අතට වෙනස් වේවි.
http://www.rivira.lk/online/2017/08/12/121972
2013 ජනවාරි 28 : කට වරද්දා ගත්තොත් ?………………..
හොඳට නරකට දෙකට කටමය කියලා පැරැණ්නෝ කියලා තියෙන්නෙ අරුත් කිහිපයක් ඇතුවයි. කතා කිරීමේදී කට පාලනය කර නොගත්තොත් සිද්ධ වෙන්නෙ එක්කෝ දත් නැතුව බත් කන්න, නැතිනම් දතුත් එක්කම බත් ගිලින්න…… එහෙමත් නැතිනම් දැන් කාළයට අනුව ජීවිතයෙන්ම වන්දි ගෙවන්න…. ඒ එක පැත්තක්.. අනෙක් පැත්තෙන් අපි ගන්න ආහාර වර්ග පාලනය… දකින දකින දේ, අතර අහුවෙන අහුවෙන දේ කෑවොත් අපට මොකද වෙන්නෙ ?
කොහොම වුනත් දිවයින ඉරිදා පුවත්පතේ වූ මෙන්න මේ පුවත දැකීමෙන් මට මේ ලිපිය ලියන්න සිතුනා. ඇත්තෙන්ම පුදුමයට පත් වුනා. මේ ලිපිය ඉදිරියේ පළ වන ලිපි පෙළක ආරම්භය පමණයි… මේ ලිපි පෙළ පළවනතුරු මම බොහොම උනන්දුවෙන් බලා ඉන්නවා… මොකද කියනවා නම් මේ වගේ රැඩිකල් අදහසක හොඳ – නරක බලන්න වෙන්නෙ ඒ ලිපි පෙළම කියවලා අවසාන වුනාට පස්සෙයි… සමහරවිට හොඳ වෙන්න පුළුවන්… ඒත්……..
බුලිත ප්‍රදීප් කුමාර විසින් ලියූ මේ වටිනා ලිපියෙන් කියැවෙන මූලික කරුණු කිහිපයක් විග්‍රහ කිරීමට මම කැමතියි.
“එබඳු විශේෂඥ දැනුමක් ඇති පෝෂණ වේදියෙක් පසුගිය දිනක මා හා කතාබහ කළේය. මෙම ලිපිය ලියන්නට මා යොමුකළ ආසන්නම හේතුව වුණේ එයයි. ඒ සඳහා ඔහු හරි අපූරු කාරණා රැසක් මා පුදුමයට පත්කරවමින් මා ඉදිරියේ තබනු ලැබුවේය.
බිත්තරවල කොලස්‌ටරෝල් නෑ… බය නැතුව කන්න. අද ලාබෙටම ප්‍රෝටීන් ලබාගන්නා මග තිබෙන්නේ බිත්තර වල විතරයි… ඔහු කීවේය.
බිත්තරවල කොලෙස්ටරෝල් නැද්ද ?
සාමාන්‍ය බිත්තරයක කොලෙස්ටරෝල් මිලි ග්‍රෑම් 186 ක් පමණ ඇති බවයි බටහිර ජීව රසායන විද්‍යාව අනුව සොයාගෙන තිබෙන්නෙ… ඒ කහමදයෙයි… සුදු මදයේ කොලෙස්ටරෝල් නැහැ.. සාමාන්‍ය නිරෝගී මිනිසෙකුට දිනකට කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 300 ක් අඩංගු ආහාර අනුභවයට ගත හැකියි… නමුත් බිත්තර අධිකව ආහාරයට ගැනීම හෘද රෝගවලට අතවැනීමක් බව බටහිර විද්‍යාවේ මතයක්… ඒ එසේ වුවත් අනෙක් පැත්තෙන් බිත්තරවල මේ කියන කිසිම අගුණයක් නැති බවත් පැවසෙනවා. මේ ලිපිය බලන්න. එසේම ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය පවසන්නෙත් බිත්තරව නිසි පරිදි ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් වැඩි නොවන බවක්.. පෙරදිග විද්‍යාව මෙයට වඩා වෙනස්… ආහාර සමබලව ලබා ගැනීමෙන් සහ කොලෙස්ටරෝල් නසන ආහාර සමඟ කොලෙස්ටරෝල් ඇති ආහාර සමබර කිරීමෙන් බිත්තර වුවත් ආහාරයට ගත හැකියි. එසේම මේ කුමන ආහාරය ගත්තත් නිසි ව්‍යායාමයක හෝ ඇඟ වෙහෙසා කෙරෙන කටයුත්තක නිරත නොවන්නේ නම් අද කාළයේ දින චර්යාව අනුව රෝගවලට ගොදුරු වීමේ හැකියාව වැඩියි..
කුරක්‌කන් පිටි වලට වඩා හාල්පිටි හොඳයි….
කුරුට්‌ට නැත්නම් රතුසුදු කියා භේදයක් නැහැ. මොන හාලත් අගුණයි.
මේ වාක්‍ය දෙකෙහි සම්බන්ධතාවය කුමක්ද ? පිටි වශයෙන් ගත් කළ හාල්පිටි කුරක්කන්පිටි ගුණ බවත්, කුරුට්ට නැතිනම් හාල් අගුණ බවත් හෙතෙම පවසනවා.. මෑතක් වනතුරුම කුරක්කන්පිටිවල ඇති ගුණ පිළිබඳ බහුලව කතා කෙරුණා. දියවැඩියා රෝගීන් මෙන්ම හෘද රෝගීන්ටත් ආහාර සැකසීමේදී කුරක්කන් පිටි භාවිතා කරන ලෙස අනන්තවත් වෛද්‍ය උපදෙස් වලින් අසන්නට දකින්නට කියවන්නට ලැබුණා. හාල්වල කුරුට්ටේ අධික විටමින් ප්‍රමාණයක්, තන්තු ප්‍රමාණයක්, සහ පෝෂණගුණයක් අඩංගු බව සැම දෙනාම දන්නා කරුණක්. ඒ නිසාම තමයි කැකුළුහාල් ආහාරයට ගැනීම ප්‍රචලිත කරන්නෙ… නමුත් හාල් අගුණ වෙලා පිටි ගුණවත් වෙන්නෙ කොහොමද කියා මම දැනගන්නත් කැමතියි.
කුකුළු මස් ගැහැණු දරුවන්ට අගුණයි කියන්නේ මිත්‍යාවක්.
කුකුළුමස් නිසි පරිදි සැකසෙනවා නම් කිසිදු අගුණක් නැතුව ඇති. නමුත් දැන් කුකුළුමස් සඳහා කුකුළන් ඇති කිරීමේදී උන් ඇතිකරන්නේ දැඩි ලෙස ඇසිරුණ කූඩු තුළ කිසිදු වාතාශ්‍රයක්, කිසිදු චලනයක් නොමැතිව, එසේම ඔවුන් ඉක්මනින් විශාල වීම සඳහා අධික හෝමෝන ප්‍රමාණයක් සහිත ආහාර ලබා දෙනවා. මේ නිසාම ඔවුන් ඉතා ඉක්මනින් වැඩෙනවා. කුකුළුමස් සැකසීමේදී අධික උෂ්ණත්‍වයකදී මේ හෝමෝන සහ බෙහෙත් වර්ග විනාශ වී යා හැකි බවට මතයක් ඇතත්, එය කෙතරම් සත්‍යද කියන්න සොයා බැලිය යුතු වෙනවා. නමුත් දැන් දැන් අසන්නට දකින්නට ලැබෙන කරුණක් නම් දැනට වසර විස්සකට පෙර ගැහැණු දරුවකු වැඩිවිය පැමිණීමේ සාමාන්‍ය වයස වූ අවුරුදු 13-15 ත් අතර කාළය අවුරුදු 11-12 අතර කාළය දක්වා පහළ ගොස් ඇති බවයි. (මේ සඳහා පැහැදිලි දත්ත මා සතුව නැතත්, ලංකාවේ වෙසෙන මගේම ඥාතීන් සහ මිතුරු මිතුරියන්ගේ අත්දැකීම් ඇසුරෙන් මේ වයස ප්‍රමාණය ගණන් බැලූ බව සලකන්න)
කොහොම වෙතත් අධික කුකුළුමස් අනුභවය ශරීරයටත් පසුම්බියටත් අහිතකර බව නොකියාම බැහැ…
මේ ආහාර පිළිබඳ මගේ දැනීමෙන් ලියැවුන ලිපියක්… නමුත් මට වඩා මේ ගැන දන්න බොහෝ දෙනා මේ ලිපි කියවන බව මා දන්නවා.. මේ කරුණු සඳහා පක්‍ෂව හෝ විපක්‍ෂව ඕනෑම කරුණක් ප්‍රතිචාර වශයෙන් දැක්වීමට ඔබට අයිතිය තිබෙනවා. එය ලිපියට අදාල නම් නොපමාව එය පළ කෙරෙනවා ඇති.
“බෝ නොවන රෝග වලට ජනතාව ගොදුරුවන්නේ ආහාරමය සාධක නිසාය යන කාරණය ඔහු බැහැර කළේය. ආහාරමය සාධකය බලපාන්නේ සියයට 25 ක් 30 ක් අතර පමණක් බව කීවේය.”
කෙසේ වුවත් දුම්පානය පෙනහළු පිළිකාවලට හේතුවක් නොවන්නේ යැයි ප්‍රසිද්ධියේ පවසන්නට දුම්වැටි සමාගම්වලින් මුදල් ලබාගත් වෛද්‍යවරුන් බටහිර රටවලින් පවා වාර්තා වෙන කාළයේ මේ සුප්‍රසිද්ධ පෝෂණවේදියාගේ රැඩිකල් ප්‍රකාශ මොනවාද යන්න මා නම් හොඳින් ඇසගසාගෙන සිටිනවා. අවසාන වශයෙන් කියන්නට ඇත්තේ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය යන්න පමණයි. ඒ ලිපි සියල්ල පළ වූ පසු මේ ලිපියේ පසු විපරම ඔබට දැනගන්නට ලැබේවි… අපි බලමු ඒ විද්වතාගේ මතය කුමක්ද කියලා…
ඒත් ? ඊට පෙර… ඔබේ මතය කුමක්ද ?
2012 දෙසැම්බර් 17 : ලොකු හාමුදුරුවෝ දියවැඩියා….
නිධාන කතාව:
අළුත මහණ වුන පුංචි හාමුදුරුනම පන්සලේදි වුනත් තවමත් කතා කරන්නෙ ගෙදර කතා කරනවා වගේ…
පොඩිනම… මෙහාට ආවනං…. ලොකු හාමුදුරුවො පොඩිනමට කතා කරනවා….
එනවෝ……. කියාගෙන කාර් එකකුත් පැදගෙන පොඩිනම දුවගෙන වඩිනවා…
පොඩිනම, දැන් ඉතිං පොඩිනම ගෙදර කතා කරනවා වගේ පන්සලේ කතා කරලා බැහැ… එනවෝ කියලා දුවන්න බැහැ පන්සලේ…
කනවාට කියන්නෙ වළඳනවා කියලා… එනවා- යනවා කියනවට කියන්නෙ වඩිනවා කියලා…කියනවට කියන්නෙ වදාරනවා කියලා… ඒ නිසා ඒ වගෙ යෙදුම් පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕන… හොඳද ?
එහෙමයි ලොකු හාමුදුරුවනේ……
මෙහෙම ටික දවසක් ගතවෙද්දි, පොඩිනම කුඹුරක් මැද්දෙන් යද්දි බල්ලෙක් එළවගෙන ඇවිත් පොඩිනම හපා කන්න… ඉතිං පොඩි නමත් බුදු මෑණියනේ කියාගෙන කුඹුරේ වැටි වැටි පන්සලට දුවගෙන ඇවිත්… ඉහිං කණින් දාඩිය දාගෙන සිවුර පුරා මඩ ගාගෙන දුවගෙන ආපු පොඩිනමගෙන් ලොකු හාමුදුරුවො ඇහුවෙ මොකද්ද මේ සංගදිය කියලා..
ලොකු හාමුදුරුවනේ මම කුඹුරේ නියර දිගේ පන්සලට වැඩගෙන එනකොට බල්ලෙක් ආවනෙ මාව වළඳන්න…. මම වැඩ්ඩා වැඩිල්ලක්… වැඩ්ඩ පාරට සිවුර වෙලේ වැටුනා….
හාමුදුරුවොන්ට සිනා පහළ වුනත් පොඩි නමට කිසිවක් කියලා නැත්තෙ හැම යාමක්ම ඒමක්ම වැඩිල්ලක් නොවන නිසා වෙන්න ඇති…
ඒ වගේම මේ ලොකු හාමුදුරුවො දවසක් ස්නානය කරමින් සිටින වෙලාවක පන්සලට දායක මහතෙක් ඇවිත් පොඩිනමගෙන් විමසුවලු ලොකු හාමුදුරුවො කොහිදැයි කියා…
ලොකු හාමුදුරුවො දියවැඩියා කිවුවලු… ඉතිං දායක මහත්තයා කිවුවලු… අනේ පොඩි හාමුදුරුවනේ මම හිතුවෙ ලොකු හාමුදුරුවො උඩවැඩියා කියල….
ඉතිං මේ සරළ කතාව කාටවත් හිත් රිදවීමක් නොවෙයි කියලා මම හිතනවා… කොහොමත් ආගම වපුරගෙන වවාගෙන කන අයට නම් සමහරවිට මේක ලොකු කතාවක් වෙයි…
නමුත් මේ කතාව මට මතක් වුනේ ලංකාවෙ දායකයින්ට හාමුදුරුවන්ට දානය දෙන එකට ආචාරධර්ම පද්ධතියක් පණවන්න යන එක ගැන කියැවිච්ච මෙන්න මේ පුවත දැකලා...
අපි කවුරුත් බොහොම කැමතියි දන් දෙන්න… දන් දීම කොයි තරම් හොඳ දෙයක්ද ? නමුත් මේ දන් දීම ගැන අපි බලන්නෙ මොන විදියටද ? තමන් කැමති ඉස්තරම්ම කෑම ජාති උපරිමෙන්ම හදලා කටට රහට හාමුදුරුවන් වහන්සේලාට පිදීම තමයි අපි හැමෝම බලන්නෙ… ඉස්සර නම් දාන වලට කුකුළු මසුත් අනිවාර්යයෙන්ම තිබුණත්, දැන් දැන් මස් මාළු දාන වේල් වලින් ඈත් වෙලා තිබෙනවා. අපේ ශ්‍රද්ධාව වැඩිකම නිසා බොහෝ විට අමාරුවෙ වැටෙන්නේ පන්සල්වල වැඩ සිටින ස්වාමීන්වහන්සේලා. මොකද කියනවා නම් අපි පූජ කරන දානය බොහෝ විට අමාරුවෙන් හෝ වළඳන ඒ ස්වාමීන් වහන්සේලාට ඒ දානයෙන් ලැබෙන අධි කැලරි පෝෂණය දිරවගන්න බැරි වීම නිසා. බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයින්ට පිණ්ඩපාතයේ වැඩීමට නියම කළේ නිකම්ම නොවෙයි. ඇවිදීමෙන් ශරීරයට සිදුවන සෙත, පිණ්ඩපාතය මගින් ලැබෙන ඕනෑම දෙයක් ශ්‍රද්ධාවෙන් යුතුව වැළඳීම, ආදී බොහෝ දේ නිසයි (මේ පිළිබඳ දන්නා කියන කෙනෙකු දැනුවත් කරනවා නම් අගෙයි). කොහොම වුනත් දැන් කාළයේ පිණ්ඩපාතයේ යාමක් කෙසේ වුවත් ස්වාමීන් වහන්සේලා සක්මන් කිරීමක් හෝ සිදු වනවා දැයි දන්නෙ නැහැ… මේ නිසාම බොහෝ ස්වාමීන් වහන්සේලා විවිධාකාර රෝගවලින් පීඩා විඳිනවා.
අධික තෙල්, ලුණු, සහ මේදය ඇති ආහාර වැළඳීම මගින් කොලෙස්ටරෝල් වැඩි වීම නිසා හෘද රෝගත්, සීනි අධික ආහාර වැළඳීම නිසා දියවැඩියාව වැළඳීමත් මෙයින් ප්‍රධානයි. මේ නිසාම දැන් දැන් බොහෝ ස්වාමීන් වහන්සේලා අල්පේච්ඡ දාන වේලක් පිරිනමන මෙන් සිය දායක දායිකාවන්ගෙන් ඉල්ලා සිටිනවා. නමුත් ශ්‍රද්ධාව වැඩිකම නිසාම අපේ උපාසකම්මලා මහා පරිමාණ දාන වේල් සපයනවා. මෙය දෙපැත්ත කැපෙන පිහියක්, තම දායක දායිකාවන් නිසාම ඒ ඒ දානය යන්තමින් හෝ වැළඳීමට ඒ ස්වාමීන් වහන්සේලාට සිදු වෙනවා. දායක දායිකාවන් මේ ගැන එතරම් තැකීමක් කරන්නෙත් නැහැ.. නමුත් මේකට තිත තැබීමට කාළය පැමිණිලා.
ස්වාමීන්වහන්සේලා එතරම් ව්‍යායාමයක් නොලබන පිරිසක්. මේ නිසාම අධික කැලරි සහිත ආහාර මෙන්ම අධික සීනි හෝ ලුණු සහිත ආහාර වැළඳීම එතරම් ගුණදායක නැහැ.. මේ නිසා එවැනි දානයන් පිරිණැමීමෙන් වලකින ලෙස සිය දායක දායිකාවන් දැනුවත් කිරීම කළ යුතු මෙන්ම, තම පන්සලේ ස්වාමීන් වහන්සේලාගේ සෞඛ්‍යය පිළිබඳ සැළකිලිමත් වී උන් වහන්සේලාට පෝෂ්‍යදායක සරළ දානය වේලක් පිරිනැමීමත් දායක දායිකාවන්ගෙ වගකීමක්…
ඉතින්.. මේක අදාල වෙන්නෙ ස්වාමීන් වහන්සේලාට විතරද ? නැහැ… අපේ බොහොමයක් දෙනා හරිහැටි ව්‍යායාමයක් ලබන පිරිසක් නෙවෙයි.. ස්වාමීන්වහන්සේලාට අදාල මේ කාරණේ ගැන තමන් වහන්සේලාත් සළකා බැලුවොත් ගිහි උන්දලාටත් වටිනවා…
බුදුන් වහන්සේ “ආරෝග්‍යා පරමා ලාභා” කියලා වදාරලා තියෙන්නෙත් ඒකයි…
පෞද්ගලික රෝහල්වලත් “ආරෝග්‍යා පරමා ලාභා” කියලා ගහලා තියෙන්නෙ… මිනිස්සු ලෙඩ නොවී ඉන්න බව දන්න නිසා… ඒකත් තමන්ට පරම ලාභයක්….
ඉතිං අපි හැමොම ආහාර පාලනය කරන්න කාළය හරි… හරිමත් නෙවෙයි… දැනුත් පරක්කුයි…. අපි බොහොමයක් කන්නෙ ජරාව.. පසුගිය දවස්වල ලංකාවෙ ටික කළක් හිටපු නිසා මම දුටු දෙයක් තමයි, බොහෝ දෙනෙක් කන්නෙ ජරාව… මස් මාළු ගැන කතා කරලා වැඩක් නෑ… කුළුබඩු වලටත් වර්ණක දානවා. පරිප්පු වලට, කැකුළු බත් වලට රතුපාට දානවා. හැම දේටම බාල දේ කවලම් කරනවා. මේ සියල්ල විෂ… ලංකාවෙ වස විස නැති පෝෂ්‍යදායක ආහාර වේලක් කන්න නම්, ගමේ ගෙදරක තමන් විසින්ම වවා ගත් එළවලු වලින් සකසා ගත් ආහාර වේලක් ගත යුතුයි. ඒවයෙත් තිබෙන්නෙ රසායනික පොහොර… කාබනික පොහොර පාවිච්චි කරලා, වස විස ඉහලා නැති ආහාර වේලක රස බලන්න ලංකාවෙ තැනක් තියෙනවද ?
දන්න කෙනෙක් ඉන්නව නං කියන්න…