Blog Archives

අන්තර්ජාල වෙළඳපොලේ නිර්දය දඩයක්කාරයා.. – Amazon අධිපති ජෙෆ් බෙසෝස්.


Jeff Bezoz

අවුරුදු 25 කට පෙර ලංකාවේ විසූ කෙනෙකුට යමක් අවශ්‍ය නම් කළ යුතුව තිබුණේ අසළ වූ කඩයට ගොස් එය මිලදී ගැනීමයි. එය එතැන නොතිබුණි නම් සිදාදියට එසේත් නැතිනම් නගරයට ගොස් මිලදී ගත යුතුව තිබුණා. සමහරවිට තොරොම්බල් කරන්තයක් රැගෙන එන තම්බි නානාගෙන් වුවත් යමක් මිලදී ගත හැකිව තිබුණා. ඒ එකළ තිබූ සරළ වෙළඳ රටාවයි.

කෙමෙන් කෙමෙන් ලෝකය ඉදිරියට යද්දී, නගරයේ තිබූ භාණ්ඩ ගමට එද්දී සහ ආර්ථිකය කෙමෙන් විවෘත වෙද්දී, වෙළඳ රටාවත් වෙනස් වෙන්නට පටන් ගත්තා. සුදු යකඩ, ඇලුමිනියම් වලින් තැනූ භාණ්ඩ වෙනුවට ප්ලාස්ටික් ආදේශන එන්න පටන් ගත්තා. අසළ නගරයේ නැති දෙයක් කොළඹ ගොස් එන කෙනෙකු අතේ ගෙන්වා ගන්නට මිනිසුන් පුරුදු වුනා. ආර්ථිකය විවෘත වීමත් සමගම ගමේ ලන්දූ ඩුබායි යන්නට පටන් ගැනීමත් සමග “රටබඩු” රට තුළට ගලා ඒමට පටන් ගත්තා. ගැමි ආර්ථිකය වෙනස් වූයේ එහෙමයි.

ලෝකය වෙනස් වීමත් සමගම අන්තර්ජාලය මිනිසුන්ට සමීප වුනා. ලෝකයේ කොන් දෙකක සිටින දෙදෙනකු අන්තර්ජාලය හරහා එකිනෙකා අතර අදහස් හුවමාරු අතරතුර භාණ්ඩ හුවමාරුවත් සිදු කරන්නට වුනා. මේ සමඟම අන්තර්ජාල වෙළඳාම ඇරඹුණා. විවිධාකාර පුද්ගලයින් නොයෙක් නොයෙක් ආකාරයේ අන්තර්ජාල වෙළඳාම් ඇරඹුවත්, ඒවා එතරම් සාර්ථක වූයේ නැහැ.

Amazon අන්තර්ජාල වෙළඳාමට මුල්ගත තැබුණේ 1994 ජුලි 05 වන දින Amazon.com වෙබ් පිටුව ඇරඹීමත් සමගයි. එහි මුලින්ම අලෙවි වුනේ අන්තර්ජාලයේ වෙළඳාම් සිදු කරන පොත් සාප්පුවක් ලෙසින්. සමහරවිට අළුත්ම පොතක් හෝ කියවා නිමවූ පොතක් අන්තර්ජාලය හරහා මිලදී ගැනීම සහ විකිණීම මෙයින් සිදු වුනා. පසුව එය ඩීවීඩී, සීඩී තැටි, ගීත සහ වීඩියෝ බාගත කිරීම්, වීඩියෝ සහ ගීත අන්තර්ජාලය හරහා සජීවීව පෙන්වීම වැනි බොහෝ ඉලෙක්ට්‍රොණික දේ හා සබැඳි වෙළඳාම් සිදු වූවා. ඒ අතරම එය ඉලෙක්ට්‍රොණික භාණ්ඩ, ගෘහ උපකරණ, ඇඳුම් පැළඳුම්, ආභරණ වැනි දෑ විකිණීම සහ මිලදී ගැනීම යන අංශ සඳහා වර්ධනය වුනා.  මේ අතරම ඇමසොන් නිෂ්පාදන ආර්ථිකයටත් ඇතුළු වුනේ ඇමසොන් කින්ඩ්ල් නම් පොත් සහ පුවත්පත් කියවීමේ ටැබ්ලට් එක හඳුන්වා දෙමින්. එය පසුව ෆයර් ටැබ්ලට්, ෆයර් ටී වී සහ එකෝ නම් උපාංග කරා ද විහිදුනා. දැනට එය ලෝකයේ විශාලතම අන්තර්ජාලීය දත්ත ගබඩාව (Cloud infrastructure services) පවත්වාගෙන යාම මගින් සේවා සපයනවා.

අන් සියළුම ව්‍යාපාරික දැවැන්තයන් සේම Amazon නිර්මාතෘ ජෙෆ් බෙසොස් ද සිය ස්ථිර රැකියාවට සමු දුන්නේ තමන් බලාපොරොත්තු වූ ලෝකය එමගින් නිර්මාණය කර ගැනීමට නොහැකි වූ නිසා. 1994 දී සිය රැකියාව වූ ඇමරිකානු කොටස් වෙළඳපොල හා සම්බන්ධ D. E. Shaw & Co. නම් ව්‍යාපාරයේ එක්තරා අංශයක උප සභාපති තනතුරට සමුදුන් ඔහු එවකට නව ව්‍යවසායකයන්ගේ ක්‍ෂෙම භූමිය වූ වොෂිංටන් ප්‍රාන්තයේ සියැට්ල් නගරය වෙත සේන්දු වුනා. එහි සිට සිය සිහිනය වූ අන්තර්ජාල වෙළඳාම සිදු කරන වෙබ් පිටුව නිර්මාණය කළ අතර මුලින්ම 1994 ජුලි 05 වන දින Cadabra, Inc. නමින් සිය සමාගම ඇරඹුවා. පසුව එය Amazon.com, Inc. ලෙස වෙනස් කළා. ඒ අතරම ඔහු සිය වෙබ් පිටුව ස්ථාපිත කළේ  Relentless.com ලෙසින්, එහි තේරුම නිර්දය, නපුරු, හෝ ක්‍රෑර යන්නයි. එය ඉතා පවුකාර නමක් නිසා එය වෙනස් කරන්නැයි කියා කියූ මිතුරන්ගේ ඉල්ලීම පරිදි සිය වෙබ් පිටුව  Amazon.com ලෙස නම් කළා. නමුත් ඔහු සිය මූලික පරමාර්ථය වූ නිර්දය ලෙස අන්තර්ජාල වෙළඳාම සිදු කිරීම දැන් නම් හොඳින්ම කරගෙන යන නිසා ඔහු මුලින් තැබූ නම එයට දැන් හොඳින්ම ගැලපෙනවා.

ජෙෆ් බෙසොස් Amazon නම සොයා ගත්තේ සිය සමාගමට නමක් සොයමින් ශබ්ධකෝෂය පෙරළමින් සිටින අතරතුරේදීයි. ඔහුගේ අදහස් වූයේ එය Amazon ගඟ ලොව විශාලතම ගංගාව වනසේම සිය සමාගමද ලෝකයේ සුවිසල් සහ වෙනස් සමාගමක් බවට පත් කිරීමයි. ඒ අනුව ක්‍රියාකළ ඔහු සිය සිහිනය ඉතා ඉක්මනින්ම සැබෑ කරගෙන තිබෙනවා.

වෙනත් සෑම ව්‍යවසායකයෙක් මෙන්ම ජෙෆ් බෙසොස් ද සිය ව්‍යාපාරය පටන් ගන්නා විට බොහෝ දෑ පරිශීලනය කර දැනුම එක්රැස් කර ගත්තා. ඔහු කියවූ එක් වාර්තාවක් අනුව අන්තර්ජාල වෙළඳාම ඉදිරියේදී 2300% කින් වර්ධනය වන බව දුටු ඔහු පළමුව සිය වෙබ් පිටුවේ විකිණීමට භාණ්ඩ 20 ක් ලැයිස්තුගත කළා. එමෙන්ම එය බහුලව විකිණෙනවා යැයි සැලකූ භාණ්ඩ පහක් වන පරිඝණක ඩිස්ක්, පරිඝණක දෘඪාංග, පරිඝණක මෘදුකාංග, වීඩියෝ සහ පොත් විකිණීමට මුලින්ම සැලසුම් කළත්, ලොව පුරා පොත් පරිශීලනයට සහ සාහිත්‍යයට ඇති ඉල්ලුම සලකා බලා මුලින්ම ඉතාම අඩු මුදලකට අන්තර්ජාලය හරහා ලොව පුරා පොත් වෙළඳාම් කිරීමට මේ ආකාරයෙන් වොෂිංටන් ප්‍රාන්තයේ පිහිටි සිය නිවසේ ගරාජයේ සිට Amazon ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කළා. එය විකිණූ මුල්ම පොත වන්නේ Douglas Hofstadter විසින් රචිත Fluid Concepts and Creative Analogies: Computer Models of the Fundamental Mechanisms of Thought යන කෘතියයි.

මුලින්ම Amazon සමාගම පොත් විකිණීම ආරම්භ කළේ ජෝන් ඉන්ග්‍රම් (John Ingram) හා Keyur Patel සමග  Ingram Book සමාගම සතු පොත් තොග මිලට ගෙන සිල්ලර මිලට විකිණීමෙන්. මේ දෙදෙනා තවමත් Amazon හි කොටස් අයිතිකරුවන්. පළමු දෙමස තුළ පමණක් Amazon සමාගම ඇමරිකාවේ ප්‍රාන්ත 50ම සහ වෙනත් රටවල් 45 ක සිය පොත් විකිණීම සිදු කරනු ලැබූ අතර ඒ කාළයේදී සතියක් තුළ ඇමරිකානු ඩොලර් 20,000 බැගින් වර්ධනයක් පෙන්නුම් කළා. දර්ශීය භෞතිකව පවත්වාගෙන යන පොත් සාප්පු වලින් Amazon මොඩලය වෙනස් වූයේ පොත් සාප්පු වල ඇති පොත් වර්ග සීමා සහිත වීමත්, Amazon හි පොත් ප්‍රමාණය අසීමාන්තික වීමත් නිසා. එමෙන්ම Amazon සමාගම වෙනත් සමාගම් මෙන් නොව, භෞතිකව කිසිදු භාණ්ඩයක් සතුව නොතිබූ සමාගමක්. එය මූළික වශයෙන්ම සිදු කළේ විවිධාකාර වෙළඳුන් හෝ පුද්ගලයන් මාර්ගයෙන් සිය වෙළඳාම සිදු කිරීමයි. මේ නිසා ගබඩා කර ගැනීමක් අවශ්‍ය වුනේ නැහැ.

ඔහුගේ දැක්ම සුවිශේෂී වන්නේ 1995 වැනි කාළයකදීම සිය අනාගතය හොඳින් දැක සැලසුම් කිරීම නිසයි. සාමාන්‍යයෙන් වෙබ් පිටු ලයිස්තුගත කිරීමේදී අකරාදි පිළිවෙලට ගත්විට මුලින්ම දිස් වන්නේ A අකුරින් පටන් ගන්නා වෙබ් අඩවි වන අතර එය අන්තර්ජාලයේදී ඉතා වාසි සහගත වෙනව‍ා. ඔහුගේ දැක්ම පරිදි අන්තර්ජාල වෙළඳාමේදී සදාකල් පවතින, කිසිවෙකුට කොපි කළ නොහැකි වෙළඳ සන්නාමයක් ගොඩනැංවීම, භෞතිකව පවතින වෙළඳපොලකට සන්නාමයක් ගොඩනැංවීමට වඩා බලවත් වනවා. මක් නිසාද යත් හැමවිටම පාරිභෝගිකයන් අතරට මුලින්ම යන්නේ වෙළඳ සන්නාමය වීම නිසා. මේ නිසාම සිය සන්නාමය A අකුරින් පටන් ගැනීම ඔහු ඉතා ප්‍රබල ස්ථානයක තැබූ බවයි ඔහුගේ අදහස.

Amazon පෞද්ගලික සමාගමක් ලෙසින් වොෂිංටන් ප්‍රාන්තයේ ඇරඹුනත්, ඇමරිකාවේ බොහෝ සමාගම් මෙන්ම එයද ඩෙලවෙයාර් ප්‍රාන්තයේ නව ස්ථාපනයක් ඇරඹුවා. ඩෙලවෙයාර් ප්‍රාන්තය ඇමරිකානු සමාගම්වලට සුවිශේෂී වන්නේ එහි ඇති ආදායම්බදු සහන නිසායි. මේ නිසා බොහොමයක් සමාගම් සිය මූලස්ථාන ලිපිනයන් ඩෙලවෙයාර් ප්‍රාන්තයේ ස්ථාපිත කරනවා. ඒ සමගම Amazon සිය ව්‍යාපාරය ඇමරිකානු කොටස් වෙළඳපොළ වෙත හඳුන්වාදෙනු ලැබූවේ මූලික කොටසක් ඇමරිකානු ඩොලර් 18.00 ක අගයකටයි.

වෙනත් සෑම දියුණු වෙන ආයතනයකට වගේම Amazon ආයතනයටත් විවිධාකාර බාධා නොපැමිණියාම නොවෙයි. ඇමරිකාවේ ප්‍රබල පොත් සමාගමක් වන Barnes & Nobel සමාගම Amazon වෙත නඩුවක් පැවරූවේ ඔවුන් සිය වෙබ් පිටුවේ Amazon සමාගම ලෝකයේ විශාලතම පොත් සාප්පුව වශයෙන් හඳුන්වාගනු ලැබූ නිසා. එය සමථයකට පත් වූවත් Amazon සමාගම සිය ප්‍රචාරය ඒ ආකාරයෙන්ම ගෙනගියා. පසුව Walmart සමාගම විසින් Amazon වෙත නඩු පැවරූවේ සිය නිලධාරීන් බඳවාගෙන Amazon තම වෙළඳ රහස් භාවිතා කර දියුණු වන බවයි. එම නඩුවද උසාවියෙන් පිටත සමථයකට පත් වූ අතර ඉන් පසුව Amazon සමාගමට Walmart ආයතනයේ සේවය කළ අය බඳවා ගැනීම නතර කළා.

මුලින් Amazon ලාංඡනයේ නොතිබූ A අකුර සහ Z අකුර අතර වූ තැඹිලි පැහැති සිනහවක් පෙන්නුම් කරන ඊතලය එයට එකතු වූයේ 2000 වසරේ ජුනි 19 වන දිනයි. එයින් අදහස් වන්නේ සිය සමාගම ලෝකයේ පවතින ඕනෑම නිශ්පාදනයක් සතුටින් වෙළඳාම් කරන බවයි. මුලින්ම සැලසුම් කර තිබූ පරිදි Amazon සමාගම ස්ථාපනයෙන් වසර 4 ක් යනතුරු ලාභ ලැබීමට අදහස් කර තිබුණේ නැහැ. එසේම එය කොටස් ආයෝජකයන්ගේ කණස්සල්ලට හේතු වුණා. නමුත් ලෝක අන්තර්ජාල ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයත් සමග එය සමඟ තරඟ කළ බොහොමයක් අන්තර්ජාල සමාගම්වල අවසානය සනිටුහන් කිරීමට Amazon හි ක්‍රියාකලාපය හේතුවක් වුනා. ඒ අනුව Amazon සමාගම 2001 වසරේ හතරවන කාර්තුවේ ඇමරිකානු ඩොලර් මිලියන 5 ක ශුද්ධ ලාභයක් සටහන් කරමින් සිය ජයග්‍රහණයේ මාවතට පිවිසුනා.

මේ සමගම ජෙෆ් බෙසොස් ලොව පුරා කතාවන චරිතයක් බවට පත් වූයේ 1999 වසරේ Time සඟරාව විසින් ලෝකයේ අන්තර්ජාල වෙළඳාමෙහි සිදු කළ පරිවර්තනය උදෙනා වසරේ මිනිසා ලෙසින් නම් කිරීමත් සමගයි. 2011 වනවිට ඇමරිකාව තුළ පමණක් Amazon හි සේවක සංඛ්‍යාව 30,000 වූ අතර මේ වනවිට ලොව පුරා සේවකයින් 306, 800 ක් විවිධාකාර මට්ටම්වල සේවය කරනවා. සිය අන්තර්ජාල වෙළඳ මොඩලය වෙනස් කරමින් 2016 ඔක්තෝබර් මස තම වෙලඳසැල් ජාලය පුළුල් කරන්නට Amazon පියවර තැබුවා. ඒ අනුව Amazon Go වෙළඳසැල වොෂිංටන් ප්‍රාන්තයේ සියැට්ල් නගරයේ ස්ථාපිත කළේ ආහාර වෙළඳසැලක් ලෙසින්. මෙය නවීන තාක්‍ෂණයෙන් පිරිපුන් වෙළඳසැලක්. එය පාරිභෝගකයින් භාණ්ඩ තෝරාගන්නා විටම බිල ගණන් හැදෙන, භාණ්ඩ තෝරාගෙන අවසන් වූ පසුව සිය ක්‍රෙඩිට් කාඩ්පතින් ඉබේටම මුදල් ගෙවෙන ක්‍රමයක් ලෙස කෘත්‍රීම බුද්ධිය එක් කර සැකසු ක්‍රමයක් වුනා.

2014 දී සිය ආසියානු ආධිපත්‍යය ස්ථාපිත කරමින් ඇමරිකානු ඩොලර් බිලියන 2 ක ආයෝජනයක් සමග ඉන්දියාවේ සිය ව්‍යාපාරය ඇරඹු Amazon සමාගම මේ වනවිට එහි ආයෝජනය කර ඇති මුළු මුදල ඇමරිකානු ඩොලර් බිලියන හතක් පමණ වනවා. එයින්ම සිතාගත හැකියි Amazon සමාගම ආසියානු වෙළඳපොළ වෙත එල්ල කර ඇති අභියෝගයන්. Amazon නිෂ්පාදන සමහරක් ලංකාවේද ගත හැකි වුවත්, ලාංකීය අන්තර්ජාල වෙළඳාමේ ප්‍රමුඛතම සමාගම වන කප්රුක සමාගම  Amazon සමාගම සමග එක්ව ලංකාවේ බෙදාහැරීම් සියතට ගනු ලැබුවා. ඒ නිසා ලාංකික අපටත් Amazon නිෂ්පාදන කප්රුක හරහා ගෙන්වාගත හැකියි.

මේ වසරේ ජූනි මස Amazon සමාගම සිය ව්‍යාපාරික ජාලය පුළුල් කළේ ඇමරිකාවේ ප්‍රධාන ආහාර සමාගමක් වන Whole Foods සමාගම සියතට ගැනීමෙන්. මේ නිසා බොහෝ සුපිරි වෙළඳසැල් තබාගෙන තිබූ ඒකාධිකාරය බිඳවැටෙන අතර පාරිභෝගිකයන්ට අඩු මිලට එළවලු පළතුරු සහ වෙනත් ආහාර ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. මේ සිදුවීමත් සමගම ඇමරිකාවේ තිබෙන ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලවල කොටස්වල වටිනාකම පහළ වැටී කොටස් වෙළඳපොලෙහි කිසියම් දෙදරීමක් තාවකාලිකව ඇති වුනා.

කෙසේ නමුත් Amazon හි ව්‍යාපාරික ආධිපත්‍යය එතනින් නැවතුනේ නැහැ. මේ වනවිට Amazon සමාගම ඇඳුම් පැළඳුම් ව්‍යාපාරයට අතගසා අවසන්, මේ නිසාම ඇමරිකාවේ ප්‍රබල ඇඳුම් පැළඳුම් වෙළඳ සමාගම් වලට සිය වෙළඳසැල් වසා දැමීමට සිදුවීම Amazon සමාගමේ නිර්දය ව්‍යාපාර භාවිතාව ගැන කදිම උදාහරණයක්. එපමණක් නොවෙයි, Amazon සමාගම නව තාක්‍ෂණයත් සිය ව්‍යාපාරයට හොඳින් අනුගත කරගෙන තිබෙනවා. දැන් දැන් සිය භාණ්ඩ බෙදාහැරීම ඩ්‍රෝන තාක්‍ෂණය හරහා සිදු කිරීමට සහ ඒ වෙනුවෙන්ම ඩ්‍රෝන කුළුණු තැනීමටත් ඔවුන් සැලසුම් කර තිබෙනවා. ලෝකයේ වඩාත්ම කාර්යක්‍ෂම සහ තාක්‍ෂණයෙන් අනූන වූ ගබඩා සංකීර්ණය සතු කරගෙන තිබෙන්නේත් Amazon සමාගමයි. එය රොබෝ තාක්‍ෂණය සහ ස්වයංක්‍රීය තේරීම්, සැපයීම් වලින් සමන්විතයි.

මෑතකදී Amazon සමාගම සිය රෙදිපිළි සහ ඇඳුම් පැළඳුම් සේවාවට Amazon Prime Wardrobe නම් කොටස එකතු කලා. මෙහි සුවිශේෂීත්‍වය වන්නේ ඔබට ඇඳුම් අවශ්‍ය නම් දින හතක් තුළ එය සළකා බැලීම සඳහා පමණක් ම ඇණවුම් කළ හැකි වීමයි. ඔබ ඇණවුම් කළ ඇඳුම් වලින් තුනකට වඩා ඔබ මිලදී ගන්නේ නම් 10% ක වට්ටමක් ඔබට ලැබෙනවා. ඇඳුම් 5 කට වඩා ගන්නේ නම් 20% ක වට්ටමක් ලැබෙන අතර මිලදී නොගන්නා ඇඳුම් නැවත යැවීමත් ඉතා පහසු කර තිබෙනවා. මේ නිසා අනාගතයේදී ඇඳුම් විකිණීම සම්පූර්ණයෙන්ම අන්තර්ජාල වෙළඳාමක් වන්නට ඉඩ තිබෙනවා.

ඉදිරි වසර කිහිපය තුළ Amazon සමාගම ලෝකයේ බොහොමයක් ව්‍යාපාරවල මළගම සනිටුහන් කරනු ලබන්නේ නව පරපුර අන්තර්ජාල වෙළඳාම කෙරෙහි දක්වා ඇති විශ්වාසය නිසා. ඔවුන් ඉතාමත් කාර්යබහුල නිසා සහ අන්තර්ජාලයට තදින් ඇබ්බැහි වී ඇති නිසා සියළුම ගණුදෙනු සිදු වන්නේ අන්තර්ජාලය හරහායි. මේ නිසා සියළුම මිලදී ගැනීම් ද අන්තර්ජාලය හරහාම සිදු වනවා. එසේ සිදු වීමේදී මුලින්ම මතකයට එන නාමය වන්නේ Amazon නිසාම සහ එහි ඇති පාරිභෝගික පහසු බව නිසා කිසිදු පැකිළීමක් නොමැතිව ඔවුන් Amazon හරහා සිය මිලදී ගැනීම් විශ්වාසවන්තව සිදු කරනවා.

1964 ජනවාරි 12 වන දින නිවු මෙක්සිකෝ හි උපත ලැබූ ජෙෆරි ප්‍රෙස්ටන් බෙසොස් නිව්ජර්සි හි ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයෙන් උපාධිය සමත්ව ඇමරිකානු කොටස් වෙළඳපොලේ රැකියාවකින් සිය ජීවිතය ඇරඹූ පුද්ගලයෙක්. අද වනවිට ලෝකයේ ධනවත්ම පුද්ගලයන් ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසු වන ඔහුගේ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 90 ක්. මේ වසරේ ජුලි 27 වන දින කොටස් වෙළඳපොල විවෘත වනවිට ආදායම අතින් බිල් ගේට්ස් පරදවා ලෝකයේ ධනවත්ම මිනිසා බවට පත් වූ ඔහු Amazon කොටස් මිල ස්වල්පයකින් පහත වැටීමත් සමගම දෙවන ස්ථානයට පත් වූවා. නමුත් සිය ව්‍යාපාරික ඥාණය මෙහෙයවමින් ව්‍යාපාර ලෝකයේ වැජඹෙන ඔහු නොබෝ දිනකින්ම ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන බවට කිසිදු සැකයක් නැහැ.

ජෙෆ් බෙසොස් සතුව බොහෝ ව්‍යාපාර තිබෙනවා. එයින් වඩාත් වැදගත් වන්නේ Amazon ව්‍යාපාරයෙන් පිටස්තරව 2013 අගෝස්තු මස ඔහු විසින්  අත්පිට මුදලට ඇමරිකානු ඩොලර් මිලියන 250 කට  මිලදී ගනු ලැබූ   The Washington Post පුවත්පතයි.  එසේම ඔහු එයට සුවිසල් වෙනස්කම් කිහිපයක් හඳුන්වා දෙමින්, එම පුවත්පත සහ එයට අනුබද්ධ ප්‍රාදේශීය පුවත්පත් වන The Dallas Morning News, the Honolulu Star-Advertiser, සහ the Minneapolis Star-Tribune හි අන්තර්ජාල සංස්කරණවලට පණවා තිබූ මුදල් ගෙවා කියවීමේ ක්‍රමයත් අහෝසි කළා.

වෙනත් ව්‍යාපාරිකයන් මෙන්ම ජෙෆ් බෙසොස් ද සිය ප්‍රමුඛ ව්‍යාපාරයට අමතරව වෙනත් ව්‍යාපාර සඳහාද ආයෝජනය කර තිබෙනවා. ගූගල් හි පළමු කොටස් අයිතිකරුවන් කිහිප දෙනාගෙන් කෙනෙකු වන්නේ ජෙෆ් බෙසොස්. ගූගල් හි ඔහුගේ වටිනාකම පමණක් ඩොලර් බිලියන 3.1 ක්. එසේම විවිධ ආයතන 35 කට අධික සංඛ්‍යාවක ජෙෆ් බෙසොස් විසින් විවිධ මට්ටමේ ආයෝජන සිදු කර ඇති අතර Air BNB, UBER, Business Insider, වඩාත් ප්‍රසිද්ධ සමාගම් වනවා. මෙයට අමතරව ඔහු Unity Biotechnology නම් ජීවිත කාළය දිගු කිරීමේ පර්යේෂණ සිදු කරන රසායනාගාරයක් මත ආයෝජනය කර ඇත්තේ වයසට යාම පාලනය කර ජීවිත කාළය දිගු කර බොහෝ කළක් ජීවත් වීමේ කැමැත්තට දැයි සැක මතු වනවා.

කෙසේ වුවත්, අන්තර්ජාලය හරහා ලෝකයම එකම පවුලක් ව ඇති මේ කාලයේදී සහ අනාගතයේදී සියල්ල අන්තර්ජාලය හරහා සිදුවන විට ජෙෆ් බෙසොස් විසින් අරඹා හදා වඩා ගත් Amazon සමාගම ලෝකයේම වෙළඳාම පාලනය කරන බවට කිසිදු සැකයක් නැහැ. මේ වනවිටත් Nike වැනි සමාගම් Amazon සමග එකතු වී ඇත්තේ සිය වෙළඳපොල ආධිපත්‍යය තහවුරු කර ගැනීමට නම් ප්‍රබලයා සමග එකතු විය යුතු බව හොඳින්ම දන්නා නිසා. Amazon සමාගමේ ව්‍යාප්තිය ගැන වද වෙනවාට වඩා වෙනත් ප්‍රශ්න අපේ දේශපාලනඥයින් අපේ හිස මත දමා තිබෙන නිසා තවමත් ලඟ කඩයකින් හාල්, සීනි, තුනපහ මිලදී ගන්නා ශ්‍රී ලාංකිකයාට Amazon සමාගමේ ව්‍යාප්තිය දැනෙන්න තව අවුරුදු දහයක්වත් ගත වේවි.

 

අනාගතයේ ලෝකපාලන දෙවිවරු තුන්දෙනා…..


World Leaders Front

මිනිසුන් වන අපි බොහොම වෙනස් සත්තු කොට්ඨාසයක්. මොළයක් දියුණු නමුත් ඒ මොළයෙන් සිතන ප්‍රමාණය බොහොම අල්පයි. සමහර මිනිසුන්ගේ සිතීමේ පරාසය සතුන්ටත් වඩා පහත්. සමහරුන්ට සිතන්න හැකියාවක් තිබුණත්, වැල යන අතට මැස්ස ගහලා ජීවත් වෙලා ඔහේ මිය යනවා, ඔවුන්ටත් ලෝකයටත් දෙකටම වැඩක් නැතිව. ගල් යුගයේ මිනිසාට මේ සිතීමේ ඥාණය, තාර්කික හැකියාව, සන්නිවේදනය වැනි දෑ නොතිබුණ නිසාම සහ ලොව අළුතෙන් සිදුවන සෑම දෙයක්ම වෙනස් අත්දැකීමක් නිසා ඔවුන් ඒවාට බිය වුනා. ගින්දරට, ජලයට, සුළඟට, හිරු, සඳු ආදියට මෙන්ම ලෙඩ රෝගවලටද ඔවුන් බය වුනා.. මේ නිසාම ඒ තේරුම්ගත නොහැකිදෑ දේවත්වයෙන් පිදුවා.

ඒ ගල් යුගය පසු කර ආපු අපි විවිධාකාර ජාතීන් විදියට විවිධ වේගයන්ගෙන් දියුණු වුනා. සුද්දා සතුන් පසුපස දඩයමේ යන කාලෙයේ තිබූ ශ්‍රී ලාංකික ශිෂ්ඨාචාරය අත්‍යන්තයෙන්ම දියුණුයි. අඩි 660 ක් උස සීගිරිය පර්වතයට ජලය ගෙන යාමේ යාන්ත්‍රණය, අනුරාධපුයේ සුවිසල් ස්ථූප සහ යෝධ ඇල වැනි අතීත නිර්මාණයන් එයට මනාව සාධක සපයනවා. එසේ තිබූ ශිෂ්ඨාචාරයක් දැන් අන් සියළු රටවලට වඩා පසුපසින් සිඟමන් යදිමින් ගමන් කරන තත්ත්‍වයට පත් වීම අතිශයින්ම කණගාටුදායකයි.

විද්‍යාව, තාක්‍ෂණය දිනෙන් දින වේගයෙන් ඉදිරියට ගමන් කරන යුගයක අපි පසුගාමීව ගමන් කරන්නේ එක අංශයකින් පමණක් නොවෙයි. සෑම අතින්ම. වෙනකක් තබා නැවතත් අපි බොහෝ දේ දෙවියන් හට පවරා අත පිසදා ගන්නා මිනිසුන් කොට්ඨාසයක් බවට පත් වී හමාරයි. කිසියම් හෝ දවසක ඔබ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්‍ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ විභාගය හෝ උසස්පෙළ විභාගය ආසන්නයේ සති අන්තයක ප්‍රධාන පෙලේ බෞද්ධ සිද්ධස්ථානයකට ගියහොත් අපේ මවුවරු, පියවරු, සහ දරුවන්, සිය හැකියාවන් පැත්තකට දමා විභාග සමත්කර දීමේ අයිතිය දෙවිවරුන්ට පවරන අයුරු ඔබට දැක ගැනීමට පුළුවන් වෙිවි. මේ බොහෝ සිද්ධස්ථාන පවත්වාගෙන යන්නේත් දෙවිවරු මාකට් කරමින්, එතැන පිවිතුරු බුදු දහම නැහැ. තවත් සමහර අවස්ථාවදී තක්කඩි, සිය ගණදෙවි, ෆෙංෂුයි, සරස්වතී බන්ධන විකුණන අයුරු ඔබට දැක ගැනීමට පුළුවනි. තවත් සමහර දේශපාලනඥයන්, ජීවම් කළ පෑන් පවා බෙදනු ඔබට දකින්නට පුළුවන් වේවි… මාධ්‍ය නාලිකා පවා මේ මිත්‍යාව පතුරවමින් සිය මාධ්‍ය නාලිකාව ප්‍රචලිත කරනු ඔබට දැනේවි… ඒ අපේ ලාංකිකයන් සිය ජීවිත, නොදකින තිස්තුන්කෝටියක් දෙවියන්ට භාරකර ඇති ආකාරයයි. ඒ අතරම මදක් හිතන්න හිතවතුනි.. ඔබට මේ පිහිට වන කතරගම දෙවියන්ගේ භාරකරුවන් මේ දිනවල දේවාලය තුළම දෙවියන් බෙදා ගැනීමට අරගල කරන බව සහ දෙවියන්ටවත් ඔවුන් නැවැත්වීමට නොහැකි බව.. දෙවියන් සිටී නම් මෙය වෙනස් ස්වරූපයක් ගනු ලබනවා නොවේද ?

අපි එසේ අරගල කරන අතරතුර ලෝකය ඊට වඩා ගවු ගණනක් ඉදිරියට ගොස් අවසන්… අපි ඉතා සරළ දෑ විසඳාගත නොහැකිව වර්ජන ගර්ජන කරමින් කාලය කා දමන අවධියක, ලෝකය බොහෝ දුර ගොස් අවසන්. මේ ගමනේ පෙරගමන් කරුවන් බොහොමයක් සිටියා. විවිධ කාලවල විවිධාකාර පුද්ගලයින් ලෝකය වෙනස් කළා. අශ්ව කරත්තවලින් කළ ගමන නිමා කරන්නට කාල් බෙන්ස් සමත් වුනා. 1907 දී බෙලිජියානු ජාතික ඇමරිකානුවකු වූ ලියෝ හෙන්ඩ්‍රික් බීකලන්ඩ්  (Leo Hendrik Baekeland) බේක්ලයිට් සොයා ගැනීමත් සමඟම ලෝකය වෙනතකට පෙරළුනා.. රිචර්ඩ් ස්මෝලී විසින් බකිබෝලය නම් කාබන් නැනෝබෝලය සොයාගැනීමත් සමගම ලෝකය නැනෝතාක්‍ෂණය වෙත නැඹුරු වුනා, ඒමගින් සිදු කෙරෙන සිතා ගැනීමට පවා නොහැකි නවෝත්පාදන අනන්තයි. මේ සියල්ල ලොව වෙත දායාද වුනේ තමන්ට ලැබෙන දේට වඩා තමන්ගෙන් ලොවට ලැබිය යුතු දෑ වලට ප්‍රමුඛත්‍වය දී ලොවට සේවය කළ නිසයි. අවාසනාවකට ලෝකය එසේ වුවත්, ලංකාවේ අපි තවමත් දූපත් මානසිකත්‍වෙයන් ඔබ්බට ගොස් නැති නිසා, අපි තවමත් එකතැන… නැතිනම් පිටුපසට ගමන් කරමින් සිටිනවා.

මෙසේ ලෝකය වෙනස් වන අතරතුර කලින් කලට සුවිශේෂී පුද්ගලයින් හෝ සමාගම් විසින් පවතින ක්‍රමය කඩාකප්පල් කර දමා (disrupt) නව සමතුලිතතාවයකට ලෝකය ගෙන යනවා. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සොයා ගත් බිල් ගේට්ස් තවමත් ලොව ධනවත්ම පුද්ගලයා වූයේ එසේමයි. ඒ වගේම ඔහුගේ සොයාගැනීම ලෝකය වෙනස් කළා. ඔහුගේ තරඟකරුවා ඇපල් පරිඝණකය නිර්මාණය කළ ස්ටීව් ජොබ්ස් පරිඝණකය පැත්තෙන් නොවූවත්, ජංගම දුරකථනයේ විප්ලවීය පෙරලියක් ඇති කළේ ඒ හා සමානවම. තවමත් ඇපල් ජංගම දුරකථනයක් හෝ පරිඝණකයක් භාවිතා කරන කෙනෙක් වෙනත් දුරකථනයකට හෝ පරිඝණකයකට මාරු නොවන හේතුවම, ඔහුගේ නිර්මාණයේ ප්‍රබල බව කියා පානවා. මේ අතරට නවතම චරිත වරින් වර පැමිණියත්, ලෝකයටම දැනෙන අන්දමේ ප්‍රබල බලපෑමක් කරන්නට සමත්ව ඇත්තේ තුන්දෙනෙකු පමණයි.

ව්ලැමිඩිර් පුටින් සිය දේශපාලන බල පරාක්‍රමය විහිදුවමින් ලෝකයම සිය අණසකට යටත් කරන්නට මෙන් කටයුතු කරන අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සමතුලිතතාවය කඩා කප්පල් කරමින් වලං කඩයට කඩා වැදුනු කේප්ප වස්සකු සේ සිතූ සිතූ දෑ කරමින් සියල්ල කණපිට හැරවීමේ උත්සාහයක නිරත වෙමින් සිටිනවා. ඒ සියල්ල අතර උතුරු කොරියාවේ කිම් ජොං අන් කිසිවෙක් නොසිතන ප්‍රතිචාරයක් ලබා දීමට ද හැකියාවක් තිබෙනවා. කෙසේ වුවත් මේ සියළුම බලපුළුවන්කාරයින් අභිබවමින් සිය ව්‍යාපාරික බලපරාක්‍රමය පතුරවන තිදෙනෙකු අනාගත ලෝකය පාලනය කිරීමේ නිහඬ ආක්‍රමණයක යෙදී සිටින බව බොහෝ දෙනා දන්නේ නැහැ.

ඒ තිදෙනා සියතින්ම බිහිකළ සමාගම්වල තාක්‍ෂණික සහ ව්‍යාපාරික පද්ධතිවල ඇති ප්‍රබලතාවය නිසාම ලොව ඉතා ඉහලින් වැජඹෙන්නට පටන් අරගෙන තිබෙනවා. ඒ අතරම ඒ ව්‍යාපාර නිසාම වෙනත් ව්‍යාපාරවල ස්ථාවරත්‍වය වෙත ද ප්‍රහාර එල්ල වීමට පටන් අරගෙන තිබෙනවා. මේ තත්ත්‍වය මෙසේ පැවතුනහොත් ඔවුන් සිය ව්‍යාපාරික බලපරාක්‍රමය නිසාම ලෝකයේ බොහෝ ක්‍රියාවලීන් තම අණසකට යටත් කර ගැනීමට හැකි වනු ඇති. දැනටම දේශපාලන ලෝකය පවා ඔවුන්ගේ සමාගම් නිසා සසළ වන්නට පටන්ගෙන තිබෙනවා

mark-zuckerberg-headshot

2004 පෙබරවාරි මාසයේදී සරසවි සිසුවකුව සිටියදී මාක් සකර්බර්ග් ෆේස්බුක් අඩවිය එලිදක්වන විට එය මේ තරම් ප්‍රබල සමාජ පරිවර්තනයක් කළාවි යැයි ඔහු වත් සිතන්නට නැතිව ඇති. නමුත් ඉතා ඉක්මනින්ම ෆේස්බුක් සමාජ ජාලය විශ්ව විද්‍යාල සිසුන් අතර සහ තරුණ පරපුර අතර ප්‍රචලිත වූයේ තමන්ගේ තොරතුරු බෙදාහදා ගැනීමට මෙන්ම අනුන්ගේ ඕපාදූප ද නිරායාසයෙන්ම දැනගැනීමේ හැකියාව ඔවුන්ට ලැබෙන නිසයි. බටහිර රටවල ෆේස්බුක් අඩවිය තම තොරතුරු බෙදාහදා ගැනීමට සහ තමන්ගේ තත්ත්‍වය සමාජ ජාලය හමුවේ පාරම්බෑමට යොදා ගත්තත්, අපටම අනන්‍ය වූ නව්‍යකරණ සංස්කෘතියක් ඇති ලාංකිකයා යොදා ගන්නේ බොහෝ වෙනස් දෑ වලට. කෙසේ වෙතත් ලෝකයේ වර්තමාන ජනගහනය වන බිලියන 7.5  ක් වනවිට දැන් ෆේස්බුක් අඩවිය මාසිකව භාවිතා කරන සාමාජිකයන් ගණන බිලියන 2.01 ඉක්මවා යාමෙන්ම එය කෙතරම් ප්‍රබල මාධ්‍යයක්දැයි ඔබටම සිතාගත හැකියි.

JeffBezos

1994 ජුලි මස 5 වන දින ඇමරිකාවේ වොෂිංටන් ප්‍රාන්තයේ සියැටල්හි ජෙෆ් බෙසොස් විසින් ඇරඹූ ඇමසෝන් (Amazon) සමාගම මූලිකවම සිදු කළේ අන්තර්ජාලය හරහා පොත් විකිණීමයි. එය ඉලෙක්ට්‍රොණික වානිජ්‍ය සමාගමක් (e-commerce company) ලෙස මුලින් ඇරඹුනේ කිසිදු පොතක් හෝ භාණ්ඩයක් සිය සන්තකයේ නැතත්, ඒවා විකුණන සමාගමක් ලෙසින්. පසුව විවිධාංගීකරණය මගින් සිය බල පරාක්‍රමය විහිදූ ඇමසෝන් සමාගම 2015 වනවිට ඇමරිකාවේ සිල්ලර වෙළඳාමෙහි බලකණුවක් වූ වෝල්මාට් සමාගම පසු කරමින් වෙළඳපොලේ වටිනාම සමාගම බවට පත් වූවා. එය දැනට වැඩිම වෙළඳපොල කොටස් හිමි සමාගම වන අතර මෑතකදී අයිතිකරගත් Whole Foods සමාගමත් සමග ඔවුන් දැන් දැන් සිල්ලර බඩු වෙළඳාමටත් අත ගසා තිබෙනවා. මේ නිසා එම අංශයේ ප්‍රමුඛයින් වූ ටාගට්, වෝල්මාට්, සෑම්ස් ක්ලබ්, සහ කොස්ට්කෝ යන සමාගම්වල වෙලඳපොල ඒකාධිකාරය පවා සෙලවී තිබෙනවා.

Elon-musk

වසර 2003 දි කැලිෆෝනියාවේ පාලෝ ඇල්ටෝ හිදී ආරම්භ වූ ටෙස්ලා මෝටර්ස් සමාගම ප්‍රචලිතව ඇත්තේ විදුලි මෝටර් රථ, සූර්ය කෝෂ, සහ විද්‍යුතය ගබඩා කිරීමේ ලිතියම් අයන බැටරි නිෂ්පාදකයකු ලෙසින්. කෙසේ වුවත් එය මහජනතාවගේ අවධානය ආකර්ෂණය කරගනු ලැබූවේ 2008 වසරේ නිපදවූ Roadster නම් වූ ප්‍රථම විද්‍යුත් මෝටර් රථය එලිදැක්වීමත් සමගයි. ටෙස්ලා සමාගමේ නිර්මාතෘ ඉලොන් මස්ක් දැන් දැන් ලොව පුරා කතා බහ කෙරෙන චරිතයක් බවට පත් වී ඇත්තේ ටෙස්ලා මෝටර් රථය නිසාම පමණක් නොවෙයි. ඔහු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශක තනතුරක සිට  ඉන් ඉවත් වීමට තීරණය කිරීම, නගරාන්තර ගමනාගමනය කාර්යක්‍ෂම කිරීමට යෝජනා කළ හයිපර්ලූප් දුම්රිය, නිවාසවල සූර්ය බලශක්තිය වඩාත් කාර්යක්‍ෂමව නිපදවිය හැකි සූර්ය උළුකැට හඳුන්වාදීම වැනි මතක හිටින අන්දමේ වැඩකටයුතු බොහොමයක් සිදු කර පෙන්වීම නිසාමය. කිසිදිනෙක විද්‍යුත් මෝටර් රථයක් සාර්ථක නොවන්නේ යැයි සුවිසල් මෝටර් රථ සමාගම් පාරම් බෑ යුගයක ඔහු තැනූ ටෙස්ලා මෝටර් රථ, බලයෙන් පෙනුමෙන් මෙන්ම ක්‍රියාකාරීත්‍වෙයන්ද අනෙක් මෝටර් රථ අභිබවා යන්නේ අඩු මිලට විකිණීමත් සමගයි. මේ නිසා ටෙස්ලා මෝටර් රථයක හිමිකරුවකු වීමට බොහෝ දෙනා සිහින මවනවා.

මේ තුන්දෙනාගේ බලපරාක්‍රමය ලොව වටා විහිදීම එක්තරා ආකාරයක තර්ජනයක්. ඇමසෝන් සමාගමේ ක්‍රියාකාරීත්‍වය නිසා දැන් දැනි සුවිසල් රෙදිපිළි සමාගම් වන සියර්ස්, ඩිලර්ඩ්ස්, වැනි සමාගම්වල බොහොමයක් වෙළඳසැල් වසා දැමීමට සිදු වුනා. ටෙස්ලා සමාගමෙන් ඉදිකෙරෙන සුවිසල් මෝටර් රථ කර්මාන්තශාලාව නිසා සමහරවිට ඇමරිකානු මෝටර් රථ සමාගම්වලටත් ඒ ඉරණමම අත්වන්නට පුළුවනි. ෆේස්බුක් සමාජ ජාලය මගින් අත්පත් කරගෙන යන විවිධාකාර පරිඝණක සමාගම් සහ අන්තර්ජාල සමාගම් නිසා ඔවුන්ගේ ද බල පරාක්‍රමය දළුලා වැඩෙනවා. මේ සමාගම් තුන දැනටමත් විවිධ අයුරින් ලෝක ජනගහනයේ නව ප්‍රවණතා ඇති කර හමාරයි. නුදුරු අනාගතයේ මේ සමාගම් වලින් ඉදිරිපත් කෙරෙන නව නිර්මාණ නිසා ලෝකය කෙසේ වෙනස් වේදැයි විස්තර කෙරෙන ලිපි පෙළක් සමගින් ඉදිරි සතිවල හමුවෙමු.

%d bloggers like this: