Blog Archives

2011 අප්‍රේල් 23 : අනේ අද ඔහු ජීවත්ව සිටියා නම්……


දිනය 1993 අප්‍රේල් 23 වෙනිදා… වෙලාව සවස 6.30 ට පමණ ඇති… එදා සවස නවලෝක රෝහලේ නවත්තලා හිටපු සුදු අක්කව බලලා ආපසු එනවිටයි ඔහු කිරුලපණ සීබල් මාවත ඉදිරිපිට ඇති ක්‍රීඩාංගණයේ තිබූ රැලියක කතා කරනවා දැක්කේ…. ඒ ඔහු කතා කළ අන්තිම වචන කීපය වෙයි කියලා කව්ද හිතුවේ ? ඒත් සිදු නොවිය යුතුව තිබූ ඒ අවාසනාවන්ත දේ සිද්ධ වුනා.. ජීවිත තර්ජන තියෙද්දිත් වෙඩි නොවදින කබායක් තියෙද්දිත්, එය ඇඟලාගන්න සිත් නොදුන්නේ ජාතියේ අවාසනාවට වෙන්න ඇති… කෙසේ වුවත් ඔහු අප අතරින් වියෝ වෙලා වසර 18 ක් ගතවෙලා…

ඔහු ජීවත්ව සිටියා නම් අනිවාර්යයෙන් 1993 බස්නාහිර පලාත් සභාවේ මහ ඇමති වන්නෙත්, අනතුරුව ලංකාවේ ජනාධිපති වන්නෙත් ඔහුයි… එසේ වූවා නම් ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය වෙනස් මඟක් ගන්නට ඉඩ තිබුණා… උගත් සහ බුද්ධිමත් දේශපාලනඥයෙකු වූ ඔහුට ජනතා ගෞරවය හිමි වූයේ නිතැතින්ම… ගෞරවය සොයා නොගිය මිනිසෙකු වූ ඔහු, සෑම විටම සාමාන්‍ය මිනිසෙකු වුනා.. ආරක්‍ෂක ඇමතිව සිටි කාළයේ පවා පරිවාර සේනාව හෝ සුවිශාල ආරක්‍ෂක බල ඇණියක් සහිතව ගමන් නොගිය සරළ නිහතමානී මනුෂ්‍යයෙක්…. දැන් සිටින මොට්ට, උඩඟු වාචාල දේශපාලුවන්ට ඔහුගේ චරිතාපදානයෙන් ලබාගතහැකි අත්දැකීම් අති මහත්.
දේශනයක් පවත්වත්දී භාෂා හැසිරවීම, නිසි සංයමය, උචිතබව වැනි සුවිශේෂ ලක්‍ෂණ විහිදූ නිසාම ඔහුගේ දේශන අසා සිටීමට පවා රුචියි… එපමණක් නොව එතුමාගේ පතල බුද්ධිය සහ ඒ උගත්කමින් උඩඟු නොවීම යන ලක්‍ෂණ නිසාම ඔහු සැබෑ නායකයෙක් වුනා… අධ්‍යාපන ඇමතිව සිටි කාළයේ ඔහුගේ සංකල්පයක් වූ අඩු ආදායම් ලාභි සරසවි ශිෂ්‍යයන්ට ලබා දෙන මහපොළ ශිෂ්‍යත්‍ව ක්‍රමයේ නිර්මාතෘ වූ එතුමා අධ්‍යාපනයේ වටිනාකම මනාව දැන හැඳිනගත්තෙක්. වෙළඳ ඇමති සහ ආරක්‍ෂක ඇමති යන තනතුරු හෙබවූ එතුමා ජනාධිපති ප්‍රේමදාසගේ පාලනයට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන එමින් පවතින එජාප පාලනයට එරෙහිව ප්‍රජාතත්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ පිහිටෙව්වේ ගාමිණී දිසානායක සහ ජී එම් ප්‍රේමචන්ද්‍ර යන පතල දේශපාලනඥයන් දෙදෙනා සමගිනුයි.

ඔහු මරා දැම්මේ ප්‍රභාකරන්ද, ප්‍රේමදාසද, රන්ජන් විජේරත්නද, සිරිසේන කුරේද යන්න කවුරු කිවුවත් තවමත් ප්‍රශ්නයක්… ඒ කෙසේ වෙතත් අකාලයේ එතුමාගේ ජීවිතය කෙටි වුනේ ජාතියේම අවාසනාවට (සහ චන්ද්‍රිකාගේ, මහින්දගේ සහ රනිල්ගේ වාසනාවත්) වෙන්න ඇති…

කිසිවක් කියන්න අවශ්‍ය නැහැ… ඔහු මා ගෞරව කළ දේශපාලනඥයින් දෙදෙනාගෙන් (අනෙක් දේශපාලනඥයාත් දැන් ජීවතුන් අතර නැහැ, සමහරවිට ඔබට අනුමාන කරන්නට පුළුවන් වේවි) එක් අයෙක්.. නම ලලිත් විලියම් සමරසේකර ඇතුලත්මුදලි… දන්න අය දන්නවා… එතුමාගේ බිරිඳ ශ්‍රීමනීත් අකාලයේ මියගියේ පිළිකාවකින්………

2011 අප්‍රේල් 22 : තව පොඩ්ඩෙන් මැරෙනව ඕයි…. හොඳ වෙලාවට හුස්ම ගත්තෙ නැත්තෙ…..


අද නම් ඕනකමින්ම ටිකක් දවල් වෙලයි රසායනාගාරයට ගියේ… ඊයෙ රසායනාගාරයට පය නොගහපු ලොක්ක අද උදෙන්ම ඇවිල්ලා… ඉතින් ලොක්කා උදෙන් ආව කියලා අපි මොනව කරන්නද ? මම යන වෙලාවට තමයි මම වැඩට යන්නේ… අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ ඉන්න එකේ එක හොඳක් තියෙන්නේ අපි වැඩ කරන වෙලාව හරිම නම්‍යශීලීයි. ඒ වුනාට නිවාඩු නම් ටිකක් අඩුයි… විශේෂයෙන් රසායනාගාරයක ඉන්නව නම් සමහරවිට රෑ මැදත් යන්න වෙන වෙලාවල් තියෙනවා.

අදට නියමිත වැඩටික කරගෙන යන අතරේ ලොක්කා ඇවිත් තවත් වැඩක් පංගාර්තු කළා… මීට ටික දවසකට පෙර රසායනාගාරයට වෙනත් රසායනාගාරයකින් ගෙනාපු සංයෝගයක පිරිසිදු බව පරීක්‍ෂා කරන්න කියලා.. සංයෝගයේ නම එතිල් ඇක්‍රිලේට්… මෙය දැඩි දුර්ගන්ධයකින් යුත් තරමක් විෂ සහිත සංයෝගයක්.

එතිල් ඇක්‍රිලේට්

නමුත් මෙහි දුර්ගන්ධය නිසාම විෂ සහිත ප්‍රමාණයක් ආඝ්‍රාණය වීමේ අවදානම අඩුයි.. කෙසේ හෝ මේ සංයෝගය දමා තිබූ බෝතලය විවෘත කරනවිටම එහි දුර්ගන්ධය රසායනාගාරය පුරාම පැතිරුණා.. මගේ නහයත් කඩාගෙන යන තරමට දුර්ගන්ධය වැදුනා.. ඒ වහාම හුස්ම ගැනීම පසෙක ලා මමත් රසායනාගාරයේ වැඩ කරමින් සිටි අනෙක් සිසුවාත් හනැක රසායනාගාරයෙන් එළියට ගියා.. පසුව දුගඳ පහව ගිය පසු අපි නැවත පැමිණ ජනේලයක් විවෘත කර පිරිසිදු වාතය රසායනාගාරය තුළට ලබාගෙන යන්තම් නොමැරී ජීවත් වෙන්නට ඉඩ සලසා ගත්තා…

ඇත්තෙන්ම මම කළේ තරමක මෝඩ වැඩක්.. අපි මුලින්ම නොදන්නා සංයෝගයක් හැසිරවීමේදී ඒ සංයෝගයට අදාල MSDS (Material Safety Data Sheet) නම් ලියවිල්ල නියමිත පරිදි හදාරා ඒ ඒ සංයෝගයේ ගුණ පරීක්‍ෂා කර නිසි පියවර ගත යුතුයි.. අපේ නොසැලකිල්ලත්, අධිතක්සේරුවත් නිසාම ඒ ගැන වැඩි සැලකීමක් නැතිව හැසිරවූවා.. මේ වැරැද්ද අප බොහෝ දෙනෙකු කරනවා. බොහෝ සේවා ස්ථානවල ඇති පළමුව ආරක්‍ෂාව යන පාඨය අප අවතක්සේරු කරනවා. කර්මාන්තශාලාවල නම් මේ නීතිය තදින්ම ක්‍රියාත්මක වෙන නිසා බොහෝ දෙනා එය පිළිපැදීමට දැඩිව බැඳී තිබෙනවා. නමුත් විශ්ව විද්‍යාල පර්යේෂණාගාරවල මේ තත්ත්‍වය ටිකක් ලිහිල්. ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්‍ෂිකාවක් පසුගිය දෙසැම්බර් 29 වෙනිදා මියගියේ මෙවැනි අනතුරක් නිසා. ඇය ටර්ෂරි බියුටයිල් ලිතියම් (t-BuLi) නම් අධික ගිණිගන්නාසුළු රසායන ද්‍රව්‍යය සිරින්ජයක් මාර්ගයෙන් බෝතලයෙන් පිටතට ගැනීමේදී සිරින්ජය ගැලවීගොස් එයට ගිණි ඇවිලීම නිසා සිය ඇඳුමට ගිණි ඇවිලී තෙවැනි මාත්‍රයේ පිළිස්සුම් තුවාල (Third degree burns) ලබා මියගියා. ඉන්පසු බොහෝ විශ්ව විද්‍යාලවල සිසුන්ගේ ආරක්‍ෂාව කෙරෙහි දැඩි සැලකිල්ලක් දැක්වීමට විශ්ව විද්‍යාල සම්මුතියකට පැමිණ තිබෙනවා. එසේම ටෙක්සාස් විශ්ව විද්‍යාලයක සිසුවෙක් පර්ක්ලෝරේට් අඩංගු සංයෝගයක් වංගෙඩියක් වැනි උපකරණයක දමා ඇඹරීමට ගොස් එය පුපුරා ඇඟිලි තුනක් කැඩි ගොස්, එක් කනක ඇසීමද නැතිව ගොස් තිබෙන්නේ ද ඔහුගේම නොසැලකිල්ලෙන්…

පළමුව ආරක්‍ෂාව

මා පාවිච්චි කළ සංයෝගය එවැනි පිපිරුම් හෝ ගිණිගන්නාසුළු නොවීම නිසාම මම ඒ ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වුවත්, එවැනි ගිණිගන්නාසුළු හෝ පිපිරුම් සහගත ද්‍රව්‍ය නම් අප පාවිච්චි කරන්නේ බොහොම ගෞරවාන්විතව.. අප නොදැනුවත්වම කරන මේ අතපසුවීම් නිසා අප ජීවිත කාලයක්ම විඳවන දේ වන්නට පුළුවනි. මීට දශක කිහිපයකට පෙර රසායන ද්‍රව්‍ය භාවිතයේදී එතරමි දැඩි ආරක්‍ෂිත උපක්‍රම නොතිබුණ නිසාම බොහෝ රසායනඥයන් පිළිකා වැනි අවාසනාවන්ත තත්ත්‍ව නිසා අකාලයේ මිය ගිය අවස්ථා එමටයි… දැන් දැන් බොහෝ රසායනාගාර, කර්මාන්තශාලා ආදියෙහි සේවක ආරක්‍ෂාවට මූලික තැන දෙන නිසා සේවකයා හොඳින් ආරක්‍ෂා වෙනවා… මේ තත්ත්‍වය සේවක සේව්‍ය දෙපක්‍ෂයටම වාසිදායකයි. සේවකයා ආරක්‍ෂා වන අතර සේවා ස්ථානයේ ඵලදායීතාවයටද හැනි පැමිණිම අඩු වෙනවා…

ඉතින් ඔබත් සේවා ස්ථානයේ පණවා ඇති ආරක්‍ෂාව සම්බන්ධ නීති නොදැක්කාසේ නොසිට ඒවා නිසි පරිදි පිළිපැදීමෙන් තමනුත් අනෙක් අයත් නිසි ලෙස ආරක්‍ෂා කරගෙන වැඩ කරගන්න.. මම වගේ මෝඩ වෙන්නේ නැතිව…

2011 අප්‍රේල් 21 : විනාඩි පහලොවක් ඉහළ පහළ ගියාම දැනෙන සනීපෙ…..


අදත් සුපුරුදු පරිදි වැඩ… ලොක්කා අදත් නෑ… හැම බ්‍රහස්පතින්දාම එක එක පාසල්වලට යනවා විවිධ වැඩසටහන්වලට…. රසායනාගාරයේ අනිත් එවුන්ටත් බරටම වැඩ. සමහරු පාඩම් වැඩ, තවත් සමහරු තමන් උගන්වන පන්තිවල විභාග වැඩ ආදිය… ඊයෙ සොයාගත් අළුත් තොරතුරු ආශ්‍රයෙන් අළුත් ප්‍රතික්‍රියා කිහිපයක් පටන්ගන්න කියලා අළුතෙන් ආපු ශිෂ්‍යාවකට පවරලා දවල් ගියා Gym එකට වොලිබෝල් ගහන්න… අර හයේ හතරේ කට්ටියත් එක්ක…. අදත් සුපුරුදු පරිදි දාඩිය දාගත්තා…
වොලිබෝල් තරඟවට දෙකක් ක්‍රීඩා කරලා ගියා අර බර උස්සන, ඇඟ හදාගන්න උපකරණ තියෙන කොටසට… ඉතින් ඔන්න බරටම වැඩ.. සාමාන්‍යයෙන් කරන ව්‍යායාම ටිකක් කරලා, බඩටත් ටිකක් වද දීලා, අර ඉහළ පහල යන බයිසිකලේ වගේ මැසිමෙ විනාඩි 15 ක් පැදලා එළියට එනකොට ඇඟට හරිම සනීපයි… ඒකයි කිව්වේ විනාඩි 15 ක් ඉහළ පහල ගියා කියලා… වෙනත් දෙයක් හිතාගත්ත නම් මට කරන්න දෙයක් නෑ…

මේ දවස්වල ටික ටික රත් වෙන නිසා හැමෝම වගේ දුවනවා ව්‍යායාම් කරනවා එක විදියයි. මම වගේ පඟර නැට්ටො නම් ව්‍යායාම් කරන්නේ ඇඟ පොඩ්ඩක් හදාගැනීමේ පරම පවිත්‍ර ඒකමතික චේතනාවෙන් වුනාට බොහොමයක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි බර වැඩි වීම… යන්තම් පොඩ්ඩක් කාපු ගමන් කිලෝ ගාණක් දානවා ඇඟට… ඉතින් අපට හූල්ලනවා.. නැතිනම් පණ දාගෙන දුවනවා, ව්‍යායාම කරනවා… බොහෝ දෙනා අවුරුදු 30 වගේ වයසට ගියාම ඒ අයගේ පරිවෘත්තීය ක්‍රියා (ඒ කියන්නේ Metabolism එක) අඩු වෙනවා. මේ නිසා ඒ අයගේ ශරීරයේ ක්‍රියාකාරකම් වෙනස් වෙලා සමට යටින් මේදය තැන්පත් වීම, රුධිරවාහිනීවල කොලෙස්ටරෝල් තැන්පත්වීම, රුධිරගත සීනි සාන්‍ද්‍රණය වෙනස් වීම වගේ අහිතකර ක්‍රියා ඇති වෙනවා. මේ නිසාම සමහරු අධික ස්ථුලතාවයට පත් වෙනවා. කාන්තා පක්‍ෂයේ මේ ගතිය වැඩි නිසාම ඒ ගොල්ලන් වඩාත් සැලකිළිමත් විය යුතුයි.

වසයට යනකොට වෙන වැඩේ

බොහො දෙනා විවාහ වුනාට පස්සේ මහත් වෙනවා. නෝනා උයන කෑම රහ වැටිලා හෝ මහත්තයා වැඩ කරලා දෙන නිසා කම්මැලි වෙලා.. අනේ අපි දිහා දැන් කවුරු බලන්නද කියලා හිතන අයත් ඉන්නවා.. ඒ වගේම සමහරු 30 පැන්නාම ටික ටික කම්මැලි වෙනවා… ඉස්සර දුව පැන ඇවිදපු අය ටික ටික හෙමින් වැඩ කරනවා. සමහරු කාර්යාලයේ වාඩිවෙලාම වැඩකරන නිසා ශරීරය හොර වෙනවා… දරුවන් ලැබූ පසු කාන්තාවන්ට වැඩ අධික වීම, ඩිංගක් හෝ ව්‍යායාම කළොත් අනෙක් අය මොනවත් කියයිද යන විචිකිච්ඡාව ආදී නොයෙකුත් සමාජයීය සංස්කෘතික බාධක නිසාත් ලාංකීය කාන්තාව සිය සිසිවන වුවන රිය සක වන් පුළුලුකුල ඇතිව කොකා කෝලා බෝතලේ වගේ තියෙන Figure එක බැරල් එකක් වගේ වෙනවා දන්නෙම නැතිව. මේ නිසාම බොහෝ දෙනෙකු අකාලයේ නාකි වෙනවා විතරක් නොවෙයි ලෙඩ දුක් වලටත් භාජනය වෙනවා.

ටයර් - ඉංගිරිසියෙන් කියන්නේ Love handle කියලා.. මේ ලෝකේ ලවක් නෑ මේවයේ

බටහිර රටවල නම් කොපමණ වයසට ගියත් සෞඛ්‍ය සම්පන්නව සිටීමේ වටිනකම වටහාගත් අය කුමක් හෝ ව්‍යායාමයක් කර සිරුර මනාව පවත්වා ගන්නවා. ඒ වගේම කෙට්ටු අයටත් ව්‍යායාම අවශ්‍යයි… මහත අය විතරක් නොවෙයි… ඒ අයගෙත් ශරීරය වියපත් වෙනවා, නිසි ආකාරව වැඩ කරන්නේ නැති වෙනවා ව්‍යායාම් නොකළොත්… ඒ වගේමයි ව්‍යායාම නිසා රුධිර සංසරණය සහ අනිකුත් පද්ධතින් මනාව ක්‍රියාකරන්න පටන් ගන්නවා. සෙම ගතිය නැති වෙනවා, නිරෝගී වෙනවා.. ගැහැණු අය නම් ලස්සන වෙනවා…ව්‍යායාම කරන්න Gym එකකටම යන්න ඕන නැහැ.. ගෙදර සාලෙත් ව්‍යායාම කරනවා නම් කරන්න අවශ්‍ය කෙනාට කරන්න පුළුවනි. ගම්වල මිනිස්සු නම් තමන්ගේ එදිනෙදා වැඩකටයුතු කෙරෙනවිටම ඔවුනට අවශ්‍ය දවසේ ව්‍යායාම් ට්ක කෙරිලා ඉවරයි..මිනිසුන්ගේ උදරයේ ප්‍රමාණය විශාල වන තරමට ඔවුනට හෘද රෝග වැනි දරුණු රෝගාබාධ වැළඳීමේ අවදානමත් වැඩි බව සොයාගෙන තිබෙනවා…

තමන් සහ තමන්ගේ සැමියා හෝ බිරිඳ තඩි බඩක් එක්ක ලෙඩ ගොඩක් කරගහගෙන ඉන්නවාද ? එහෙමත් නැතිනම් හොඳ කඩවසම්ව, පිළිවෙලකට ලස්සනට දිගු කළක් ජීවත් වෙනවාද කියන එක තීරණය කරන්න ඒ අයටම භාර දීලා අදට සමුගන්නවා….

2011 අප්‍රේල් 20 : අහගෙන ඉන්න.. අවධානයෙන් ඉන්න.. ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවනි….ගෙදර උන්දැගෙන් බැණුම් අහන්නෙත් නැතුව ඉන්න පුළුවනි…


හයිඩ්‍රජන් ඉන්ධනයක් වශයෙන් යොදාගන්න කරන පර්යේෂණ සහ කාබන් ඩයොක්සයිඩ් භාවිතා කර සරළ අණු තැනීමට කරන පර්යේෂණ පිළිබඳ පිළිගත් මහචාර්ය වරයෙක් විසින් කරන ලද හොඳ දේශනයක් තිබුණා අද…. මේ වගේ බොහෝ දේශන සාමාන්‍යයෙන් විශ්ව විද්‍යාලයේ සංවිධානය කෙරෙනවා. විශේෂයෙන්ම රසායන විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සංවිධානය කෙරෙනවා. මේ බොහෝ දේශන වලට සිසුන්, පර්යේෂකයන් සහ මහචාර්යවරු සහභාගි වෙනවා. ඒ අතරේ අපට වැදගත් පර්යේෂණ කරුණුත් සෑහෙන්න ඔවුන්ගේ දේශන වලදී අපට දැනගන්නට ලැබෙනවා. සමහර දේශන නම් කිසිම වැදගත්කමක් නැහැ… ඒ වෙලාවට හොඳ නින්දක් දාන්න හොඳයි ඒ දේශන…
නමුත් අද තිබුණ දේශනය නම් හැම අකුරක්ම වැදගත්.. ඒ මොකද කියනව නම් ඒ පර්යේෂණයට මූලික වෙලා තිබුණෙත් අපි පර්යේෂණ කරන දේම තමයි… නමුත් ඔවුන් පර්යේෂණ කරන්නේ වෙනත් වෙනත් සංයෝග භාවිතයෙන්. මේ නිසාම හැම දෙනාම බොහොම උනන්දුවෙන් අවධානය යොමු කරගෙන සිටියා.. කොහොම වුනත් මේ පර්යේෂණ දෙකේම සිද්ධාන්ත එක සමානයි…ඒ අතරෙ තමයි වැදගත්ම දේ අසන්නට ලැබුණෙ…

මෙතෙක් කල් අපේ පර්යේෂණයෙ අවධානය වෙලා තිබුණ එක්තරා සංයෝගයක ක්‍රියාකාරී තත්ත්‍වය අප හිතනවාට වඩා වෙනස් එකක් වගෙයි පෙනෙන්නේ… ඉතින් මට අළුත් පාරක් අහු වුනා වගෙයි යන්නට….. පර්යේෂණ වල සාර්ථකත්‍වය රඳාපවතින්නේ කොපමණක් වැඩ කෙරෙනවාද යන්න මත පමණක් නොවෙයි, අපි සොයාගන්න දේවල් පාවිච්චි කෙරනේනනේ කොහොමද කියන දේ වඩාත් වැදගත් වෙනවා. මූලික පර්යේෂණ වලට වඩා දැන් දැන් වැදගත් වන්නේ භාවිතයනුයි… එවම් මූලික පර්යේෂණ ඇසුරින් සොයාගන්නා දේවල් භාවිතා කර මහා පරිමාණ දේ කිරීමේ හැකියාවයි…

ඇත්තටම සාමාන්‍ය ජීවිතයේදීත් අපි හරියට ඇහුම්කන් දෙනවා නම් ප්‍රශ්න අඩුයි… මටත් මේ ප්‍රශ්නේ බොහොම බරපතලව තියෙනවා.. ඇල්කෙමිච්චිගෙන් හැමදාම බැණුම් අහන්නේ එයා කියන දේ ගැන අවධානයෙන් නොසිටීම නිසා… අඩුම ගණනේ දවසට දෙතුන් පාරක් බැණුම් අහනවා… කොච්චර හැදෙන්න උත්සාහ කළත් අර හැම පිරිමියාටම ඇති ගතිය ඇවිත් අවධානය නොයෙදෙනවා.. ඉතින් කණ පුරා බැණුම් අහනවා…

ඉතින් අපි හැමෝම ගෙදර උන්දැගෙන් බැණුම් නාහන පිරිමි වෙන්න උත්සාහ කරමු… එහෙම කිවුවට මම දන්නවා අපට ඒක කරන්න අමාරු බව..

2011 අප්‍රේල් 19: කොට ගවුම් ඇඳගත්තු සුදු කෙල්ලො එක්ක හිත එකලාසයක් කරගෙන වැඩ කරන්න බෑ අප්පා….


හිත හීලෑ නෑ….
හරිම මුරණ්ඩුයි තැන තැන ඇවිදිනවා……
හිතෙන හිතෙන තැන නවතිනවා…..

මොනව කරන්නද…. කොහොම හරි හිත එකලාසයක් කරගෙන වැඩ ටික කරගන්නත් ඕන…. දැන් දැන් පරිසරය ටික ටික රත් වෙනවා… ඒ රත් වීමට විශ්ව විද්‍යාලයේ කෙල්ලන්ගේ ඇඳුම්වල දිග ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා… කවුද කියන්නේ Global warming හොඳ නෑ කියලා…. ?

ලංකාවෙ නම් ගෑණු පරාණ වලට කොට ඇඳුම් අකැපයි නෙ… ඒවා ඇඳගෙන යනකොට පිරිමින්ගේ විලිසංගෙ නැති වෙනවනේ… එතකොට ජනගහන වර්ධනය වැඩි වෙනවලු… අපරාධ වැඩි වෙනවලු… එහෙම තමයි ලංකාවෙ සංස්කෘතික බක පණ්ඩිතයොන්ගෙ තර්කය… උන් දන්නෙ නෑ ලංකාව කියන්නේ ඝර්ම කලාපීය රටක් කියලා.. උන් හිතාන ඉන්නේ ලංකාව තියෙන්නේ ග්‍රීන්ලන්තෙ හරියෙ කියලා.. ඒ වගේමයි අර පාරවල් අයිනේ තියෙන දැන්වීම් පුවරුවලත් පොඩ්ඩක් හරි ඇඟ පේන්න පින්තූරයක් තිබුණොත් ඒකත් ගලවන්න කියලා නීතියක් ගෙනාවෙ…

එක අතකට ඒක හොඳයි කියලා හිතෙන්නෙත් අපේ සමහර උන්දලා බස්වල කරන අමන වැඩ දිහා බැලුවාමයි.. ඇවිද ගන්න පණ නැති නාකි උන්දලා මේ අවුරුදු 16 කෙල්ලො ලඟ මයිකල් ජැක්සන් ලා වෙනවා… හැබැයි මෙහෙම දේකුත් වෙනවා. අර නිතර දකින කුකුලගේ කරමලේ වගේ වෙන රටවල නම් මේවා දැකලා දැකලාම කොට ගවුමක් ඇඳන් ගියා කියලා, එහෙමත් නැත්නම් නාන ඇඳුමක් ඇඳපු ගෑණු රුවක් තියෙන බිල්බෝඩ් එකක් පාරෙ අයිනෙ තිබුණා කියලා මිනිස්සුන්ට ගානක් නෑ.. නමුත් මේවා ලංකාවේ තහනම් කරන්න කරන්න මිනිස්සුන්ට ඒව බලන්න තියෙන ආසාව වැඩි වෙනවා… සංචාරක ව්‍යාපාරෙත් වැඩි දියුණු වෙන එකේ සංස්කෘතික තහංචි පනවන්න බෑ රටකට.. එහෙම වුනාම සංචාරකයො තමන්ට නිදහස ඇති වෙන තැන් සොයාගෙන යාවි.. අච්චර මුස්ලිම් රටක් වෙච්ච මාල දිවයින වත් මේ වගේ තහංචි දාලා නැතුව ඇති….
නීති වල දෙපැත්තක් තියෙනවා සමහර වෙලාවට නීති නැතිව සමහර දේවල් පාලනය කරන්න අමාරුයි වගේම, නීති තද වුනාමත් රටක් පාලනය කරන්න බැරි වෙනවා…

ලංකාවෙ නිරුවත, ලිංගිකත්‍වය කියන වචනත් කුණුහරුප විදියටයි ගණන් ගැනෙන්නේ.. කිසිම මාධ්‍යයක මේවා විවෘතව කතා කෙරෙන්නේ නෑ.. සමහර විට බොහෝ පවුල් කඩාකප්පල් වන මානව සබඳතා පිළිබඳව වත් ලාංකීය මාධ්‍ය නාලිකාවල ගැඹුරින් කතා කෙරෙනවා මම නම් දැකලා නැහැ.. දෙමාපිය-දූදරු සබඳතා පවා බොහෝ දුරස්… සමහර විට අම්මාවරුන්ගේ දිනය- පියවරුන්ගේ දිනය මහ ඉහලින් සැමරුවත්, ඉන් පසුව ඒ සපඳතා පිළිබඳ කාටවත් මතකයක්වත් නැහැ….

ඒ මදිවට මත්පැන් පානය කෙරෙනවිට,සිපගැනීමේ දර්ශනයක් ඇති විට රූපවාහිනියේ කොටු දමනවා… මේ වැනි විකාර වැඩ වෙනුවට රූපවාහිනී වැඩසටහන් නියමිත ප්‍රමිතියකට ලක් කර, වයස්කාණ්ඩ අනුව නැරඹිය හැකි සීමාවන් පැණවූවා නම් කොච්චර අගේද ? පිට රටවල නම් PG13, PG 15, R, MA,

වැනි කාණ්ඩ වලට වැඩසටහන් බෙදා වෙන්කර තිබෙනවා… ඒ වගේම කිසියම් වැඩසටහනක දරුවන්ට නැරඹිමට නුසුදුසු ප්‍රචණ්ඩත්‍වය, නග්න දර්ශන, වාග් සංග්‍රාම වැනි දේ ඇත්නම් ඒ වැඩසටහනට පෙර සහ අතරවාරයේ ඒ බව දන්වනවා.. මේ නිසා දෙමාපියන්ට පුළුවනි තම දරුවන් ඒ වැඩසටහන් නැරඹීම සීමා කරන්නට…. ලංකාවේ වෙන්නේ මේක නොවෙයි.. දරුවන්, දෙමාපියන් සියල්ල එකතු වෙලා රූපවාහිනියේ පෙන්වන සියළුම දහජරාව නරඹනවා.. මේකෙන් වෙන්නේ ළමා මනස දූෂ්‍ය වන එකයි… ඉන්පසු කිසිම වාරණයක් දැමීමෙන් පලක් නැහැ…

මේ දේවල් අපේ නිසි බලධාරීන් තේරුම් අරන් නිසි පරිදි වැඩසටහන් වර්ගීකරණයකට ලක් කරනවා නම් අනාගත පරපුර නීති නොදමා නිසි මගට ගගන්නට පුළුවන් වේවි…

ඒ වගේ ලස්සන දවසක් එනකල් අපි බලා ඉමු….

2011 අප්‍රේල් 16,17,18 : අළුත් අවුරුද්දෙන් පසු එළැඹෙන අළුත් අවුරුද්ද…..


සමාවෙන්න… පසුගිය දවස් දෙකේම දිනපොත ලියන්න බැරි වීම ගැන… සෙනසුරාදා ඩෙලවෙයාර් ප්‍රාන්තයේ අවුරුදු උත්සවය නිම වෙනකොට රෑ 2.00 යි… සවස 4.30 ට අපේ ප්‍රධාන අමුත්තො දෙන්නා අරුණි ශපිරෝ මහත්මියයි ඩේවිඩ් ශපිරෝ මහත්මයයි ඇවිත් අවුරුදු උත්සවය ආරම්භ කළා… සූ ගාලා 10 දෙනෙක් ආවා පැටවු එක්ක, ඔක්කොම 16ක්… ඉතින් සුපුරුදු පරිදි කච බචේ එක්ක පටන් ගත්ත අවුරුදු උත්සවය අවසන් වුනේ උදේ දෙකට.. රෑ 10.00 ට විතර පටන් ගත්ත මහා කැරම් තරඟාවලිය නිම වුනෙත් ඒ වෙලාවෙ.. ආපු අය මගේ දිනපොතේ ගුණාගුණත් කියන්න අමතක කළේ නැහැ….දොස්තර මාමාත් කතාකළා… රසායන ද්‍රව්‍ය විෂ වීම පිළිබඳ පුංචි තොරතුරු පත්‍රිකාවක් හදන එක ගැන කතා කරගන්න… ඒක නම් කොහොමහරි කරන්න ඕන…

ආරාධිත අමුත්තො දෙන්න නම් වේලසනින් ගියා දුර යන්න තියෙන නිසා… ඒ අය හමු වෙච්චි එක නම් ලොකු දෙයක්… අපට බැරි වුනේ උතුරු ඇමරිකාවේ ඩෙලවෙයාර් ප්‍රාන්තයේ බ්ලොග් කරුවන්ගේ සැසිවාරයක් පවත්වන්න විතරයි… සභාපතිනියි ලේකම් තුමයි දෙන්නම එකතැන හිටියනේ…

උදේ පාන්දර ඇල්කෙමිච්චිගේ පොල්කිචි නාදයෙන් ඇහැ ඇරුණේ පන්සල් යන්න තියෙන නිසා.. තුනට විතර නිදාගෙන හතට ඇහැ ඇරෙනකොට දන්නවනේ තියෙන සනීපෙ… මොනව කරන්නද… පවුල රැකගන්න එපායෑ… නිදිමතේ ඔළුවත් කැක්කුමේම වොෂිංටන් බෞද්ධ විහාරයේ අවුරුදු වැඩසටහනට සහභාගි වෙන්න ගියා… එතැන පොඩි පැටවුන්ට දෙමවුපියන් සහ ගුරුවරුන්ට බුලත් දීලා වඳින්න සූදානම් කරලාත් තිබුණා.. වැඩේ නම් බොහොම අගය කළ යුතුයි… හොඳින් කෙරුණා… ඉන්පසු අගනුවර පොඩි රවුමක් යන්න හිතාගෙන හිටියත් තිබුණ අමාරුව නිසාම නෑදෑ ගෙදරකට ගිහින් දවස ගෙවලා සවස ගෙදර ආවා… එනකොටත් අර හිසේ කැක්කුම හොඳ වෙලා තිබුණෙ නැති නිසාම දිනපොත ලියන එක පැත්තක තියලා නිදාගත්තා..

ගිය සතියේ අපේ ලොක්කට පොඩි වාසියක් වෙලා… එයාට පර්යේෂණ කරගෙන යන්නට සුළු මුදලක් ලැබිලා රජයේ ආයතනයකින්… මේ නිසා ඒ පුවත විශ්ව විද්‍යාලයේ පුවත් අංශයෙන් ප්‍රසිද්ධ කිරීමට පින්තූර ගන්න පොටෝ නෝනා කෙනෙක් රසායනාගාරයට ආවා.. අනේ ඉතිං ලොක්කව ලෑස්ති කරලා මට අදාල වැඩ කොටස් නිම කරලා ඒ ගොල්ලන්ට පොටෝ ගන්න දීලා යන්න හදනකොට පොටෝ නෝනා ලොක්කගෙන් ඇහුවා මේ මම පොටෝ එකට දාන්න කැමතිද කියලා..( මගේ ලස්සන දැකලද කොහෙද…) ලොක්කත් ඉතිං හා කියපු නිසා Accidental Photo Shoot එකකටත් ඉන්න වුනා උදේ පාන්දර… පොටෝ නම් විසිපන්දාහක් විතර ගැහැවුවා……. පින්තූරෙ වෙබ් සයිට් එකේ වැටුනොත් ඔයාලටත් දන්වන්නම්.. නැත්නම් ඉතින් අමතක කරලා දාන්නම්..

අද දවසත් ඉතින් සුපුරුදු පරිදි වැඩ… සවස ඉස්සෙල්ලා වැඩකළ රසායනාගාරයේ මහචාර්ය වරයාගේ උපන් දින සාදයට සහභාගි වුනා… ලොකු කේක් කෑල්ලක් හම්බ වුනා… කන්න බැරුව ඒක කෑවෙ තුන්පාරකට… ආයෙම දිනපොත ලියන මෝඩ් එකට වැටුනේ දැන්…නවම් නම් අහලා තිබුණා තවම ලිස්සන ගහ උඩද කියලා… ඔන්න බැස්සා…. කියන්න දේවල් ගොඩක් තිබුණත්, ඒවා වෙන වෙනම කියන එක හොඳයි…

ඉතින්, අළුත් අවුරුද්ද අළුතෙන් පටන් ගනිමු….. දැන් දැන් ටික ටික රත් වෙන නිසාම සති අන්තයන් බොහෝ කාර්ය බහුල වේවි.. ඒ නිසාම සති අන්තයේ දින දෙක එක දිනයකට එකතු කරලා ලියන්න තීරණය කළා… අපියි කියලා බ්ලොග් ලිය ලිය ඉඳලාම හරියන්නේ නැහැනේ…..

2011 අප්‍රේල් 14 : මෙන්න මෙහෙමයි අපි අළුත් අවුරුද්ද සැමරුවේ……


ලංකාවෙ අය අවුරුද්ද සමරනවිට අපි හොඳටම නිදි… ඊයෙ රෑ ගෙදර අස්-පස් කරලා තුන්දෙනාම හොඳටම මහන්සි පිට නිදාගත්තා… උදේම ඇල්කෙමිච්චි නැගිටලා තාත්තවයි පුතාවයි ඇහැ ඇරෙව්වා… ඇල්කෙමිච්චි නා-කියා ගන්නකල් මම කළේ කැකුළු හාල් ටිකක් සෝදලා ලිපේ තියන එකයි… ඊට පස්සේ මමත් දෙයියනේ කියලා පිරිසිදු වෙන්න ගියා… අවුරුද්ද දවසෙවත් ගඳ ගහන්නෙ නැතිව ඉන්න එපායෑ….

අවුරුද්දට ගෙනාපු අළුත් ඇඳුමකුත් ඇඳගෙන එනකොට කෑම මේසය හරියාගෙන එනවා… මේසෙ උඩ තිබුණ කිරිබත් පිඟාන කිරිබත් හැඩේට කපලා පිළිවෙලකට හදන අතරේ ඇල්කෙමිච්චි පැටියව ලෑස්ති කළා.
පහන් පත්තු කරලා බුදු හාමුදුරුවන්ට කිරිබත් කැවිලි පූජා කරලා තුන්දෙනා එක්ක මේසයට වාඩි වෙලා ආහාර වැළඳීම කළා… පැටියට එයාගේ ආසම දේ වන සෙල්ලම් කාර් එකක් තෑගි දුන්නේ අම්මා… ඒක එසේ මෙසේ එකක් නෙවෙයි 2010 Ford Mustang GT එකක්… පස්සේ පින්තූර දාන්නම්… තවම ඒවා කැමරාවේ… ඊට පස්සේ අපි දෙන්නාගෙම ගෙවල් වලට කතා කරලා අවුරුද්දට සුබ පැතුවා…..

නැකතට වැඩ අල්ලන එක නැකතක් බලාගෙන නොකළත්, පැටියයි අම්මයි නම් පොත් දෙකක් කියෙවුවා.. මමත් අළුතෙන් රසායන විද්‍යා සඟරාවකට ලියන්න බලාපොරොත්තු වන අපේ පර්යේෂණ ලිපියක් ලියන්න පේලියක් ආරම්භ කළා…

අද දවසේ වැඩ ගොඩක් රසායනාගාරයෙත් කරගත්තා… ප්‍රතික්‍රියා තුනක්ම කළා… දවාලේ පැයක් වොලිබෝල් ගහන්නත් ගියා… ඒකට නේ වොලිබෝල් කියන්නේ… අද හිටියේ ඔක්කොම වොලිබෝල් පුළුවන් අය…. හයේ හතරේ උස අය වගේම දෙකේ දෙකේ කොට එක්කෙනෙකුත් හිටයා.. දන්නවනේ කවුද කියලා….එක කණ්ඩායමක හිටියේ පස් දෙනයි. ඒ වුනාට බෝලයක් බිම වැටෙන්න විනාඩි පහක් විතර යනවා… එක්කෙනෙකුට එක්කෙනෙක් දෙවනි නෑ… කොහොම හරි ලකුණු 15 තරඟ දෙකක් යන්න පැයක් ගත වුනා… හොඳට දාඩිය දාගත්තා.. ආයෙම හවස ඇවිත් තවත් වැඩ ගොඩක් කරගත්තා…. ඒ වගේම තවත් ස්ඵටික ව්‍යුහයකුත් ලබා ගත්තා…. ඉතින් අළුත් අවුරුද්දේ පළමු දවස සාර්ථකයි.

ලොක්කත් අද ආවෙ නෑ.. එයාටත් දහසක් වැඩ… දැන් මේ ගෙදර යන්න ලෑස්ති වෙලා තමයි දිනපොත ලියන්නේ.. ඇල්කෙමියාගේ රසායනාගාරයටත් අළුතෙන් ලිපියක් ලියලයි තියෙන්නේ… නමුත් මේ දවස්වල මගේ පාඨක ජනතාව අවුරුදු සමරන නිසා ඒක දැම්මේ නෑ… කට්ටියට බලන්න අතපසු වෙන නිසා….

ඉරිදා දිහාට ඒක දාන්නම්… රසායනාගාරෙට අළුතින් ඇඳුමක් අන්දවන්නත් සූදානමක් තියෙනවා.. පුළුවන් වුනොත් ඒකත් කරන්න ඕන…. දැන් ඉතින් ගෙදර යන්න ඕන… පස්සේ හමුවෙමු…

ඒක නෙවෙයි… ඔයගොල්ලන්ගේ අවුරුදු කොහොමද ?

2011 අප්‍රේල් 12 : මුල හරි නොගියොත් අග සොරි වෙනවාමයි…..


අදත් සුපුරුදු පරිදි වැඩ… සිංහල අළුත් අවුරුද්ද කියලා සුද්දා අපට නිවාඩු දෙන එකක් යෑ… ලොක්ක නං අදත් ආවෙ නෑ ඔන්න Science fair එකක් විනිශ්චය කරන්න යන්න ඕන කියලා ගියා.. මට තමයි වැඩ වැඩි වුනේ. පොඩි එවුන්ට පරීක්‍ෂණ කරන්න රසායන ද්‍රව්‍ය නැතිලු… ඉතින් පැයෙන් පැයට ගබඩා කාමරයට ගිහින් බලනවා ඇනවුම් කරපු රසායන ද්‍රව්‍ය ඇවිත්ද කියලා. ඒකට තවත් හේතුවක් තිබුණා කියලයි අපේ රසායනාගාරයේ ඉන්න කොල්ලො ටික මට විහිළු කරන්නේ. ඒ තමයි දෙපාර්තමේන්තුවේ ගබඩා කාමරයේ වැඩට ඉන්න වයසක උන්දෑ වෙනුවට ටිකක් ඇහැට කණට පේන කෙල්ලක් ඇවිත් ඉන්නවා ඉදිරි සති තුනට… ඉතිං මම ඒ කෙල්ලව බලන්න යනවා කියලා තමයි කට්ටිය කියන්නේ.. බොරුත් නෑ බැලුවාම… තියෙන වලත්තකම……

මෙන්න මේ වගේ රූප තමයි ස්ඵටික ව්‍යුහයක් කියන්නේ

මේ දවස්වල අළුතෙන් සංයෝග හදන එක නැවැත්වුවා. හදපු සංයෝග නිසි පරිදි හඳුනාගැනීමේ පරීක්‍ෂණ වලට භාජනය කරලා ඒ සියල්ල නිසි ලෙස තහවුරු කරන කල් අළුතෙන් වෙනත් සංයෝග හදන්නේ නෑ කියලා මම හිතාගත්තා. ඒ නිසා නැවත නැවතත් මුලින් හදපු සංයෝග හදලා ඒවා සෑදීමේ ක්‍රියා පටිපාටියේ නිරවද්‍යතාවය තහවුරු කරන්න පටන් ගත්තා. ඒ අතරම අළුතෙන් තනා තිබූ සංයෝග කිහිපයක ස්ඵටික ව්‍යුහ රූප ගැනිමටත් යොමු කළා. මේ අතරවාරයේ අපේ රසායනාගාරයේ ඉන්න ස්ඵටික ව්‍යුහ රූප ගැනීමට පුහුණු කරපු කොලුවා වැඩේ පොඩ්ඩක් අනාගෙන.. මුලින්ම එක්ස් කිරණ විවර්තකය මගින් දෙන දත්ත වලින් නිසි පරිදි අදාල ඒකක කෝෂය (unit cell) තෝරාගත යුතුයි. මෙය වැරදියට තෝරා ගතහොත් සම්පූර්ණ ව්‍යුහයේම වෙනසක් ඇති වෙනවා. ඉතින් මේ කොල්ලා මුලින් වැරදි ඒකක කෝෂයක් තෝරගෙන වැඩේ හරියට කරගන්න බැරුව දඟලලා දඟලලා බැරිම තැන එක්ස් කිරණ විවර්තකය භාරව ඉන්න නිලධාරියා එක්ක එකතු වෙලා කොහොම හරි අන්තිමට ස්ඵටික රූප ව්‍යුහය නිවැරදි පරිදි සකසලා ගෙනත් දුන්නා… ඉතින් මට හිතුනේ ඇත්තෙන්ම සෑම දෙයකම මුල හරි නොගියොත් වැඩේ බකල් නේද කියන එකයි.

හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියන්නෙත් මේ අවනඩුවටම තමයි නේ… නිවසක වුනත් අත්තිවාරම සවිමත්ව, නිසි පරිදි එක මට්ටමකට දැම්මේ නැතිනම්, එක්කෝ නිවස ඇදයි, නැත්නම් කඩා වැටෙනවා. දරුවෙක් වුනත් කුඩා කාළයේ නිසි පරිදි ආචාරශීලීව, යහගුණ උගන්වා හැදුවේ නැත්නම් පසු කාළයක ඔවුන් යහමග ගන්නවා බොරු. සතෙක් වුනත් එහෙමයි. හරියට පුහුණු කළේ නැත්තං බල්ලෙක් වුනත් හතරවටේ ජරා කරනවා, සපත්තු කනවා, එක විකාරයයි. කළමණාකරණ විද්‍යාවේ Total Quality (පූර්ණ තත්ත්‍වය) කියන්නෙත් මෙන්න මේ සංසිද්ධියට තමයි. උදාහරණයක් විදියට මේ Total Quality කියන එක 100% ක්ම තිබිය යුතු ස්ථානයක් තමයි ගුවන් තොටුපල. වැරදිලා වත් ගුවන් යානා පරීක්‍ෂා කරන තාක්‍ෂණික නිලධාරියා නිසි පරිදි ගුවන් යානය පරීක්‍ෂා කළේ නැතුව කඩා වැටුනොත් වෙන්නේ මහ විනාශයක්. මේ වගේ බොහෝ සේවා ස්ථානවල මේ පූර්ණ තත්ත්‍ව කටයුතු කෙරෙනවා.

ඉතින් මේ ලබන අළුත් අවුරුද්දේ කරන්න හිතන් ඉන්න යමක් හරි විදියට මුල ඉඳලම කරන්න හිතට ගන්න. හරියට යමක් පටන් ගත්තාම හරියට කරගෙන යන්නත් ලේසියි. කරන්න ඉස්සර පොඩි සැලසුමක් ඇති කරගන්න. ඒ වගේම එක සැලසුමක් වැරදුනොත් කරන්න බලාපොරොත්තු වන දෙවන සැලසුම (Plan B) ගැනත් සිහියේ තබාගෙන වැඩ කරන්න…

සුභ අළුත් අවුරුද්දක්.

2011 අප්‍රේල් 11: සිංහල අළුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද ?


අළුත් අවුරුද්ද කිට්ටු වෙනවා නොදැනිම…. බොහොමයක් දෙනා පලාපල බලන්නත් යොමු වෙනවා…. මේ ඇල්කෙමියා දීර්ඝකාලීනව කරන ලද පර්යේෂණයක් අනුව ග්‍රහ පිහිටීම් අනුව ගනන් බලා කියන පලාපල විස්තරයයි….මේ ග්‍රහ පලාපල අර සුමනදාස උන්නැහේ ලංකාව ලෝක කුසලානෙ දිනනවා කිවුවා වගේ සත්තයි…

෴෴෴෴෴

ස්වස්ථි සිද්ධම්

෴෴෴෴෴


මේස ලග්නය

මේස ලග්නය

මේස ලග්නාධිපතින්ට ලබන අවුරුද්ද මිශ්‍ර ඵල ගෙන දේ. මේස මිලදි ගන්න අයට පාඩුත්, මේස විකුණන අයට ලාභත් ගෙන දෙන මේ අවුරුද්ද සමස්ථයක් වශයෙන් ගත් කල මේස හදන අයට තරමක් කරදරකාරී වාතාවරණයක් ලබා දේ. විශේෂයෙන් මේස සැදීමට ගන්නා අමුද්‍රව්‍ය හිඟ වීම නිසා බොහෝ මේස ලග්න කරුවනට අපල උපද්‍රව උදාවේ. මේ නිසා ප්‍රදේශයේ රජයේ දේශපාලුවෙකුට පඬුරක් ගැට ගසා, ඔහුගේ මාර්ගයෙන් හොරෙන් කපා ගත් ලී භාවිතා කර මේස සෑදීමෙන් ඒ අපල උපද්‍රව දුරු කරගත හැක. 

වෘෂභ ලග්නය.

වෘෂභ ලග්නය

වෘෂභ ලග්නාධිපතීන්ටද මේ වසර මිශ්‍ර ඵල ලබා දේ. පුරුෂ පක්‍ෂයේ වෘෂභ ලග්නාධිපතීන්ට තරමක් අපල වන අතර වැඩිපුර වැඩ කිරීමට සිදු වේ. කාන්තා පක්‍ෂයේ වෘෂභ ලග්නාධිපතීන්ට වැඩිපුර දරුවන් ලැබෙන වසරකි, එසේම ඔවුනට කිරියෙන් ඉතිරෙන වසරකි. මහළු වෘෂභ ලග්නාධිපතීන්ට මාරක අපල ලබා දෙන කාළයක් බැවින් පරිස්සම් වීම යහපති. නගරයේ වෙසෙන වෘෂභ ලග්නාධිපති කාන්තා පක්‍ෂයට වැඩි වැඩියෙන් වාසි ලැබෙන අතර ලෙඩ රෝග වැළඳීමේ අවදානමද වැඩිය. මේ නිසා කරන දෙයක් ආරක්‍ෂා සහිතව කිරීම යහපති. 

මිථුන ලග්නය.

මිථුන ලග්නය

මිථුන ලග්නාධිපතීන්ට මේ වසර යහපත් වසරකි. ඔවුනට වැඩි වැඩියෙන් සිය වැඩෙහි යෙදිය හැකි අතර තරමක් අපල නැතුවා ද නොවේ. අයථා අන්දමේ වැඩෙහි යෙදන්නන් සහ අනිසි ලෙස වැඩ කරන්නන් පරෙස්සම් විය යුත්තේ අදාල ස්ථානවලට පොලීසියෙන් පැනිය හැකි බැවිනි. එවිට පොලීසියට අල්ලසක් දීමට මුදල් අත තබා ගැනීම යහපති. මිථුන ලග්නාධිපතීන් ආරක්‍ෂාකාරීව වැඩෙහි නොයෙදුනහොත් දරුඵල මහත් රාශියක් ලැබෙන වසරකි.

කටක ලග්නය.

කටක ලග්නය

කටක ලග්නාධිපතීන්ට මෙය තරමක් අයහපත් කාළයකි. සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු වීම නිසා කටක ලග්නාධිපතීන් ව්‍යාපාරිකයන්ගේ අවධානයට ලක්වීමෙන් ජීවිත හානි ඇතිවිය හැකිය. විශේෂයෙන් සංචාරක කලාප ආශ්‍රිතව ජීවත් වන කටක ලග්නාධිපතීන් රට තුළ වාසය කිරීමට යාම යහපති. කෙළින් ගමන් කිරීමට පුරුදු වූ කටක ලග්නාධිපතීන්ට සංචාරක ව්‍යාපාරය මගින් ලාභ ලැබීමක් ද කරගත හැක. පාර්ලිමේන්තුවේ සිටින කටක ලග්නාධිපතීන් සිහියේ තබාගත යුත්තක් වන්නේ නිසි ලෙස කට පරිස්සම් කරගැනීමයි…

සිංහ ලග්නය

සිංහ ලග්නය

සිංහ ලග්නාධිපතීන්ගේ එළැඹෙන වසර තරමක් මිශ්‍රඵල ලබා දේ, IPL තරඟාවලියට සහභාගී වන සිංහ ලග්නාධිපතීන් පැරදුනත් දිනුවෝ වෙති. සෙසු සිංහ ලග්නාධිපතීන් ඊලඟ සංචාරය එනතෙක් බලා සිටිය යුතු වේ. සත්තු වත්තේ සිටින සිංහ ලග්නාධිපතීන්ට ආහාර හිඟයකට මුහුණ පාන්නට සිදු වේ. ඒ නිසා දැන්ම තණකොළ කෑමට පුරුදු වීම යහපති.

කන්‍යා ලග්නය.

කන්‍යා ලග්නය

පවතින තත්ත්‍වය යටතේ කන්‍යා ලග්නාධිපතීන්ට ඉතාමත් අපල බව ඉඳුරාම පැවසිය හැක. මිථුන ලග්නාධිපතීන් හා බන්ධනය වන කන්‍යා ලග්නාධිපතීන් නිතැතින්ම මිථුන ලග්නාධිපතීන් බවට හැරෙන නිසා කන්‍යා ලග්නාධිපතීන්ගේ ප්‍රමාණයේ අඩුවක් දැකිය හැක. ඉතිරිව ඇති කන්‍යා ලග්නාධිපතීන් එක්කෝ ඇහැට කනට පේන කන්‍යා ලග්නාධිපතීන් නොවීම හෝ කිසිවෙකු සමග බන්ධනය වීමට හැකියාවක් නැති කන්‍යා ලග්නාධිපතීන් වීම ඔවුන්ගේ පැවතීමට කරුණක් විය හැක.

තුලා ලග්නය.

තුලා ලග්නය

තුලා ලග්නාධිපතීන්ට මේ වසර අධික ලාභ ලබා දෙන වසරකි. විශේෂයෙන්ම දේශපාලුවන් හා සම්බන්ධිත තුලා ලග්නාධිපතීනට අවැසි ඕනෑම දෙයක් කර ජීවත් වීමේ හැකියාව ලැබෙන වසරකි. එසේ නොවන තුලා ලග්නාධිපතීනට කප්පම් ගෙවීම නිසා ධන හානි සිදුවන වසරකි. මේ නිසා ප්‍රදේශයේ අදාල දේශපාලුවාට තුටු පඬුරු පූජා කිරීම මගින් දේව උදහසට ලක් වීම වලක්වා ගත හැකිය. ඉඳ හිට පනින කිරුම් මිනුම් දෙපාර්ගතමේන්තුවේ නිල මැස්සන්ට දීමට මත්පැන් බෝතලයක් සහිත පූජා වට්ටියක් නිතර ලඟ තබා ගැනීම යහපති.

වෘශ්චික ලග්නය.

වෘශ්චික ලග්නය

වැඩි වැඩියෙන් කෘෂිරසායන ද්‍රව්‍ය භාවිතා වන නිසා වෘශ්චික ලග්නාධිපතියන් වඳ වීමේ තර්ජනයකට මුහුණ පාන වසරකි. දැනට තමන් සිටින වාසස්ථානයේම සිටීමෙන් හෝ හැකි පමණ මිනිස් වාසයෙන් තොර වූ ප්‍රදේශවල විසීමෙන් මේ අපල උපද්‍රව දුරු කරගත හැක. එසේම මනුෂ්‍යයන්ට අනතුරු කිරීමෙන් මාරක අපල ලැබේ.

ධනු ලග්නය.

ධනු ලග්නය

මේ වසරේදී ඔලිම්පික් උළෙලක් නැති නිසා ධනු ලග්නාධිපතීන්ට මේ වසර කිසිදු වෙනසක් නැති වසරකි. දේශපාලුවන්ට සමීප ධනු ලග්නාධිපතීන්ට ඡන්ද කාලයේ මෙන් වැඩිපුර වැඩ කිරීමට සිදු නොවේ. කප්පම් ගැනීම තරහකරුවන් පැහැරගෙන යාම වැනි සුළු වැඩ කිහිපයක් හැරුන විට බරපතල වැඩ කිරීමට සිදු නොවේ. නමුත් ප්‍රතිවිරුද්ධ ධනු ලග්නාධිපතීන් සෑමවිටම උච්ච ස්ථානයේ පසුවන නිසා සියළු ධනු ලග්නාධිපතීන්ට පොදුවේ මාරක අපල ගෙන දෙන වසරකි

මකර ලග්නය.

මකර ලග්නය

මකර ලග්නාධිපතීන්ට ගිය වසරේ මෙන්ම වාසි ලැබුනද එය තමන්ට තබාගත නොහැකි වසරකි. බොහොමයක් රාජ්‍ය අංශයේ මුදල් මකර ලග්නාධිපතීන්ගේ මුඛයට යෑම ඊට හේතුවයි. එසේ වුවද මකර ලග්නාධිපතීන්ට මූල්‍යමය වශයෙන් වාසි නොලැබෙන වසරක් වනුයේ එසේ මකර ලග්නාධිපතීන්ගේ මුඛයට යන රාජ්‍ය මුදල් නැවත එසේ යැවූ පුද්ගලයාම අත් කරගන්නා බැවිනි.

කුම්භ ලග්නය

කුම්භ ලග්නය

සෑම වසරක මෙන්ම කුම්භ ලග්නාධිපතීන්ට මේ වසර ද යහපත් වේ. විශේෂයෙන් රාජ්‍ය අංශයේ සේවය කරන කුම්භ ලග්නාධිපතීන්ට වැඩි වැඩියෙන් නිදාගැනීමේ අවස්ථාව හිමි වන අතර ඒ හා සමාන මුදල් ගරා ගැනීමට ද හැකියාව ඇති වේ. දේශපාලුවෙකුගේ හෙංචයියෙක් වන කුම්භ ලග්නාධිපතීන්ට වැඩි වැඩියෙන් මූල්‍ය වාසි හිමිවන අතර ඔවුනට අසීමිත බලයක් හිමි වන වසරකි. විශේෂයෙන් මැතිවරණයක් ඇති විට ඔවුන්ගේ අගය දෙගුණ තෙගුණ වන බැවින් දිනන පැත්තට හෝයියා දමාගෙන සිටීම මැනවි.

මීන ලග්නය.

මීන ලග්නය

මීන ලග්නාධිපතීන්ට මේ වසර දැඩි අපල ලබා දෙන වසරකි. විශේෂයෙන් දැල් වලට අසු වීම. වැරදි ඇම කෑම වැනි මාරක අපල ලබා දෙන වසරක් වන අතර ජීවිත හානි අධිකවේ. එසේ වුවද මීන ලග්නාධිපතීන්ගේ අගය ඉතාමත් ඉහළ යන වසරකි. අන් කිසිකෙනෙකුටත් වඩා මීන ලග්නාධිපතීන් කප්පම් කරුවන්ගේ අවධානයට සහ ඇගයීමට ලක්වන බැවින් ඔවුනට ඉතා විශාල මාධ්‍ය ප්‍රසිද්ධියක් ලැබෙන වසරකි. මීන ලග්නාධිපතීන්ගේ අගය වැඩි වූයේ කෙසේ දැයි රටම සොයා ගන්නා වසරක් වන අතර රජයේ ක්‍රියාකලාපය අනුව මීන ලග්නාධිපතීන්ගේ අගය අඩු හෝ වැඩි විය හැකි වසරකි.

මේ පලාපල අනුව කටයුතු කිරීමෙන් ඔබගේ ඉදිරි අවුරුද්ද සාර්ථක කරගත හැකිය…..

2011 අප්‍රේල් 09 : නිතරම අළුත් වන්න…. හැම දෙයින්ම…..


අද උදේ නැගිටිනකොට කොහේදෝ නැති උගුරේ අමාරුවක් ඇවිල්ලා… පැටියාගෙන් වෙන්න ඕන බෝ වෙලා තියෙන්නේ.. කොහොම වුනත් ඇල්කෙමිච්චි හදලා දීපු කොත්තමල්ලි-ඉඟුරු-සුදුළූණු-කුරුඳු මිශ්‍රණයක් බීලා වැඩට ගියා. සවස් වනවිට තරමක් මහන්සිත් වුන නිසාම බෙහෙත් පෙත්තක් බීලා ඇඟේ අමාරුව අඩු කර ගත්තා… දැන් දැන් පරිසරය රත් වන නිසා ඇඟට ඒ වෙනස සමහර විට ඔරොත්තු දෙන්නේ නැහැ.. ඒ වගේම මේ කාලෙට ටිකක් මේ උණ හෙම්බිරිස්සාව ගතිය පැතිරිලා යනවා හැමෝම අතරේ.. සමහරු නම් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගන්නවා… ස්වභාවික ප්‍රතිශක්තිකරණය ගැන විශ්වාසය තබන අපි ඒ එන්නත් ලබාගන්නේ නැහැ… ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගන්න පුද්ගලයෝ කරන්නේ තමන්ගේ සිරුර තුළ ඇතිවන ස්වභාවික ප්‍රතිශක්තිකරණයට නිවාඩු ලබා දීලා එන්නත් වලට රෝග සමග සටන් කිරීමේ අයිතිය ලබා දෙනවා… මේ නිසා ස්වභාවික ප්‍රතිශක්තිකරණය දුර්වල වෙලා එන්නත් නැති අවස්ථාවක රෝග ලක්‍ෂණ උත්සන්න වෙනවා.. මේ නිසාම අපි නම් කෘත්‍රිම ප්‍රතිශක්තිකරණය ගැන විශ්වාසය තබන්නේ නැහැ.

අද අපේ රසායනාගාරය පිරිසිදු කරන දවස (Spring Cleaning) උදේ 9.00 වෙනකොට ඔක්කෝම රසායනාගාරයට ඇවිත් හිටියා. ලොක්කා හැමෝටම උදේ කෑමට බේගල් ගෙනත් තිබුණා… හැමෝම බේගල් ඇදබාලා එකිනෙකාට පැවරිලා තිබුණ පිරිසිදු කිරීම් කලා…

මට පැවරිලා තිබුණේ මගේ වැඩ කරන ස්ථානය පිරිසිදු කරගන්න සහ අපි පොදුවේ පාවිච්චි කරන Glove Box එක පිරිසිදු කරන්නයි. මගේ Hood එක (සිංහලෙන් කියනව නම් දුම් කූඩුව) තරමක් පිරිසිදුවටයි තියාගෙන ඉන්නේ… හැමදාම කරන පරීක්‍ෂණ වලට පස්සේ අදාල භාජන සෝදලා තබන නිසා වැඩිපුර අපිරිසිදු වන්නේ නැහැ… නමුත් සමහරවිට වැඩ වැඩි වුනාම සමහර දේවල් අතපසු වෙනවා…
ඉතින් අද අපි සියළු දෙනාම එකතු වෙලා රසායනාගාරය පිළිවෙලක් කළා…. දවල් කෑමට ලොක්කා පිට්සා ගෙනැවිත් තිබුණා.. අපේ පොඩි එවුන් නම් කන්න දන්නෙම නෑ… පිට්සා ටික කොහේ ගියාද දන්නේ නෑ ටික වෙලාවකින්… නැවතත් කට්ටියම එකතු වෙලා රසායනාගාරයේ අඩුපාඩු පිළිසකර කරලා නිම කළා…

ඉඳලා හිටලා තමන් වැඩකරන තැන පිරිසිදු කරලා නවතාවයක් දෙන එක කාටත් හොඳ දෙයක්.. එවිට එතැන වැඩ කරන්න ප්‍රියමනාප බවක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් තමන් වැඩ කරන තැන නිතර පිරිසිදුව තබා ගත යුතු වුනත්, වැඩ කිරීමේදී නිතැතින්ම එතැන අපිරිසිදු/අපිළිවෙල වෙනවා… මේ නිසා සැරෙන් සැරේ මෙසේ පිරිසිදු කිරීමෙන් තමන් ඒකාකාරි බවෙන් මිදීමක් වනවා නගේම නැවතත් අළුත් වීමක් හැඟෙනවා…
ගෙයක් වුනත් එහෙමයි… හැමදාම පුටු මේස තියන තැන් වෙනුවට, අළුත් අළුත් ස්ථානවල පුටු මේස තැබීමෙන් ඔබටම ඒ ඒ ස්ථානවල ඇති වෙනස වටහාගන්නට පුළුවනි.. මෙය ඔබ අවට පරිසරයටම විතරක් නොවෙයි, තමන්ගේ සිතුම් පැතුම්, අරමුණු, හැසිරීම්, ආදියටත් ඇතුළු කරගත්තාම ඔබ හැමදාම අළුත් පුද්ගලයෙක් වේවි… එවිට හැමෝම ඔබට කැමති වේවි…

ඉතින්….. නිතරම අළුත් වන්න… එවිට ඔබටම පෙනේවි වෙනස……. අත්හදා බලන්න….