Blog Archives

රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද ? : භෞතික රසායනය, ද්‍රව්‍යමය රසායනය සහ සිද්ධාන්ත රසායනය


භෞතික රසායනය – Physical Chemistry

භෞතික රසායනයෙන් කෙරෙන්නේ විවිධ භෞතික පද්ධතීන්, රසායනික පද්ධතීන්, රසායන විද්‍යාවේ මූලික හරයන්, සාධනයන්, නියම ආදියට අදාලව කෙරෙන හැදෑරීම් වේ. මේ බොහොමයක් ඍජුව සාමාන්‍ය ජීවිතයට සම්බන්ධ නොවුවත් වක්‍රාකාරයෙන් බොහෝ දෙනාට භෞතික රසායනය වැදගත් වෙනවා. භෞතික රසායනය යන යෙදුම මුලින්ම හඳුන්වා දුන්නේ පීටර්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ ඉගැන්වීම් කළ මිකායිල් ලොමනොසෙව් නම් රුසියානු විද්‍යාඥයා විසින්1752 දී. නමුත් නූතන භෞතික රසායනයට අඩිතාලම වැටුනේ 1860 ගණන්වල කෙරුණ තාපරසායනය (Chemical Thermodynamics), එන්තැල්පි සහ එන්ට්‍රොපි (Enthalpy & Entropy) ආදී විෂයයන් එක් වීමෙන්. භෞතික රසායනයේ දැවැන්තයන් ලෙස ගිබ්ස් (Josiah Willard Gibbs), වැන්‘ට් හොෆ් (Jacobus Henricus van’s Hoff), අර්හීනියස් (Svante August Arrhenius), ආදීන් මතක් වෙනවා. පශ්චාත් නූතන භෞතික රසායනය මේ මූලික සංකල්පවලින් බොහෝ දුරට අපගමනය වූ විශයයක්. එයට ක්වොන්ටම් රසායනය, ස්ථර හෝ යම් වස්තූන්වල මතුපිට පිළිබඳ හැදෑරෙන Surface Chemistry, සහ විවිධ පරමාණුක ගණනය කිරීම්, විවිධ උපකරණ ආශ්‍රයෙන් කෙරෙන පරීක්‍ෂණ ( IR, VU-Vis, Raman, EPR, Microwave, NMR – spectroscopies) ආදිය විද්‍යුත් රසායනය (Electrochemistry) ආලෝක රසායනය (Photochemistry) පදාර්ථයේ ඝණ අවස්ථා,(ලෝහ සහ අලෝහ පමණක් යොදා කෙරෙන ප්‍රතික්‍රියා) පිළිබඳ හැදෑරීම සහ නූතන තාරකා රසායනය (Astrophysics) ආදිය ඇතුලත් වෙනවා.

භෞතික රසායනය සාමාන්‍ය ජීවිතයේ දී වැදගත් වන ප්‍රධාන ස්ථානයක් වන්නේ නිවසක මුළුතැන්ගෙයයි. ලුණු පොල්කට්ටේ ලුණු කැට වෙනුවට ලුණු කුඩු පාවිච්චි කර ඉක්මනින් දිය කර ගැනීම, ඝණ වූ පොල්තෙල් රත් කර ද්‍රව කරගැනීම, ඉක්මනින් ගිණි දැල්වීමට කුඩා දර කැබලි පාවිච්චි කිරීම ආදී සරළ සංකල්ප අදාල වන්නේ මේ භෞතික රසායනයටයි. එසේම සබන් හෝ සෝදන කුඩු භාවිතාකර රෙදි සේදීමේදී කුණු අංශු ඉවත් කිරීමේ කාර්යය සිදු වන්නේ ඒ ඒ රසායන ද්‍රව්‍ය කුණු අංශු වටා “මිසෙල්ලාව“ නම් වූ ආකාරයට රොක් වී ඒ කුණු අංශු රෙදි වලින් ගලවා ගැනීම මඟින්. අප නොදැනුවත්වම භෞතික රසායනය මෙසේ අපේ ජීවිත වලට එකතු කරගන්නේ මෙහෙමයි.

ද්‍රව්‍යමය රසායනය – Materials Chemistry

මේ අංශය වැඩිපුරම අදාල වන්නේ ඉගැන්වීම් කටයුතු වලදීයි. සාමාන්‍ය ජීවිතයට එතරම් ප්‍රයෝජනවත් නොවුනත් ඒ ඒ පර්යේෂණ වලින් සොයාගන්නා දෑ අපට ප්‍රයෝජනවත් වන අවස්ථා එමටයි. දැන් දැන් භාවිතා වන පටක නිර්මාණය (Tissue Engineering) මෙම ද්‍රව්‍යමය රසායනයේ පර්යේෂණ වල ප්‍රතිඵලයක්. වාහනවල විවිධ කොටස් ගෙවී යාම හො ඒවා වැලැක්වීම, අභ්‍යවකාෂ ෂටලවල මතුපිට සහ අභ්‍යන්තර ද්‍රව්‍ය සකස් කිරීම වැනි භාරධූර කටයුතු මෙමඟින් කෙරෙනවා.  එසේම නැනෝ තාක්‍ෂණය වඩාත් නැඹුරු වන්නෙත් මේ අංශයටයි. මෙය ඉංජිනේරු විද්‍යාව පැත්තට බොහෝ නෑකම් කියන නිසා බොහොමයක් විශ්ව විද්‍යාලවල මේ අංශයේ ඉගැන්වීම කරන්නේ ඉංජිනේරු පීඨ වලයි.

සිද්ධාන්තමය රසායනය – Theoretical Chemistry

මේ අංශය නම් සාමාන්‍ය ජීවිතයට සම්බන්ධ වෙනවා බොහොම අඩුයි. නමින්ම පෙනෙනවා සේම මේ අංශයට නැඹුරු වෙලා ඉන්නේ සිද්ධානත පිළිබඳ ඇල්මක් දක්වන මොළය බොහෝ වෙහෙසා කටයුතු කරන සුවිශේෂී පිරිසක්… ඔබත් ගණනය කිරීම් වලට ඇල්මක්, දක්‍ෂතාවයක් දක්වනවා නම් මේ පිළබඳ හැදෑරීම කලාට කමක් නෑ.. දැන් දැන් රසායනික පර්යේෂණ වලට යන මුදල් සම්භාරය වැඩි නිසා, බොහොමයක් රසායනික ප්‍රතික්‍රියා පිළිබඳ හදාරන්නේ ගණනය කිරීම් මගින්. අදාල තත්ත්‍ව යටතේ සියළු දත්ත ලබා දී, රසායනාගාරයේ ප්‍රතික්‍රියාව සිදු කරන ආකාරය ලෙසින්ම ගණනය කිරීම් මගින් ඒ ඒ ප්‍රතික්‍රියාව සිදු වේද – නැද්ද යන්නත්, එසේ සිදු වනවා නම් එහි වූ යාන්ත්‍රණය කුමක්ද යන්නත් මෙවැනි ගණනය කිරීම් මගින් ලබා ගත හැකියි. ඒ නිසා අනවශ්‍ය ලෙස පර්යේෂණ සඳහා වැය වන මුදලත් කාළයත් ඉතිරි වෙනවා. විශේෂයෙන්ම ඖෂධ නිෂ්පාදන සමාගම් සහ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කරන සමාගම් සිද්ධාන්තමය රසායනයේ පිහිට පතන්නේ සිය වියදම් අවම කරගෙන ලාභ වැඩි කර ගැනීමේ අපේක්‍ෂාවෙන්. එය එසේ වුවත් මෙවැනි අංශ සඳහා රැකියා වෙළඳපොලේ ප්‍රමුඛතාවය නම් බොහොම අඩුයි… ඒ රසායනඥයින් දහ දෙනෙකුගෙන් සිදු වන සේවය එක් සුපිරි පරිඝණකයක් මඟින් කර ගත හැකි නිසා.

ඉතින් අප මේ ලිපි පෙළෙන් රසායන විද්‍යාවේ විවිධ මානයන් ගැන කතා කළා… ඔන්න ඔහොමයි රසායන විද්‍යාව අපේ ජීවිත වලට වැදගත් වෙන්නෙ….

 

Advertisements

රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද ? : කාබනික රසායන විද්‍යාව – Organic Chemistry


රසායන විද්‍යාවේ බොහෝදෙනා දන්න කොටස වන්නේ කාබනික රසායනයයි. කාබන් සංයෝග ලෝකයේ හැම අස්සක් මුල්ලක් නෑරම පැතිරී තිබීමත්, බොහෝ දෙනා කාබන් පිළිබඳ දන්නා නිසාත් මේ කාබනික රසායනය හැමදෙනාටම සමීප වන්නට ඇති. කාබනික රසායනය මේතරම් පැතිරී ඇත්තේ ඇයිදැයි කියන්න කාබන් පරමාණුවටම යන්න වෙනවා. කාබන් පරමාණුවේ දෙවන කවචයේ ඇත්තේ ඉලෙක්ට්‍රෝණ 4 ක් පමණයි (2s2, 2p2).  මේ ඉලෙක්ට්‍රෝණ හතර තවත් කාබන් පරමාණුවක් සමඟ හෝ නයිට්‍රජන්, ඔක්සිජන්, හැලජන, හෝ වෙනත් පරමාණුවක ඉලෙක්ට්‍රෝණ සමඟ සහ-සංයුජව බැඳෙන්න බොහොම කැමතියි. එපමණක් නොවෙයි සමහර ලෝහ සමඟත් බන්ධන තනන්න කාබන් බොහොම ලැදියි. ඒක හරියට අර සමාජයේ ඉන්න “කාගෙත් සුන්දරී“ වගේ…ඇය සමාජයේ හැමෝම සමඟ බන්ධන හදනවා වගේම ඇය හරි ප්‍රසිද්ධයි. ඉතින් මේ කාබන් සංයෝගත් ඒ වගේම හැමෝම අතරේ ජනප්‍රියයි.

කාබනික රසායනයේ සාරාංශය

කාබනික රසායනයේ සාරාංශය

කාබනික රසායනය ගැන කතා කරත්දි නිතැතින්ම කාබනික සංයෝග පිළිබඳ කතා කරන්න වෙනවා. කාබනික සංයෝග අතර ඉදිරියෙන්ම සිටින්නේ ඇල්කේන (CnH2n+2) වර්ගයි. ජීව වායුව නමින් හඳුන්වන මෙතේන් (CH4), ගෑස් සිලින්ඩර වල ඇති ප්‍රොපේන් (C3H8), ගුවන් යානා ඉන්ධන වන බියුටේන්(C4H10), කාබනික ද්‍රාවකයක් වන පෙන්ටේන්(C5H12), ආදී ලෙස මේ ඇල්කේන වර්ග කරන්න පුළුවන්. වාහන වලට යොදන පැට්‍රෝල්, ඩීසල්,  පාරට දමන තාර, මෙන්ම ඉටිපන්දම් තැනීමට යොදා ගන්නා පැරෆින් ඉටි ද මේ ඇල්කේන වලට අයත්. ඇල්කීන සාමාන්‍ය ජීවිතයේදී එතරම් භාවිතා නොවුනත් ඒවායින් තනන බහු අවයවික (Polymers) නම් බොහෝ තැන්වල ඕනවටත් වඩා භාවිතාවන්නේ පොලිතීන් (Poly-ethylene) නමින්. දැන් දැන් විවිධ ආකාරයේ පොලිතීන් වර්ග භාවිතා වන්නේ අධික තාපයට, හිරු රශ්මියට, විවිධ පාරිසරික සාධක වලට ඔරොත්තු දෙන ආකාරයට සැකසීමෙන්.

කාබනික සංයෝග කාබන් සහ හයිඩ්‍රජන් වලින්ම පමණක් සෑදුනක් නොවෙයි. ඔක්සිජන්, නයිට්‍රජන්, සල්ෆර්, පොස්ෆරස් වැනි විද්‍යුත් ඍණතාවයෙන් කාබන් වලට සමාන පරමාණු සහ සංයුජව බැඳී විවිධ සංයෝග තනනවා. ඒ අතර සමහරුන්ට නැතිවම බැරි මද්‍යසාර ප්‍රධාන තැනක් ගන්නවා. ඒ මද්‍යසාරවල අඩංගු එතනෝල් (CH3CH2OH) විසින් ඒ අයට පෙන්වන අපූරු ලෝකය නිසාවෙන්. ඒ වගේමයි මෙතනෝල් (CH3OH) පානය කරලා වේලසනින්ම පරලොව යන අයත් අප අතර සිටිනවා. විශේෂයෙන්ම නීති විරෝධී මද්‍යසාර නිෂ්පාදනයේදී මෙතනෝල් සහ එතනෝල් වෙන් කිරීමක් වෙන්නේ නැහැ. ඒ නිසා කසිප්පු මුදලාලි ගමේ බණ්ඩයියට පොලිතීන් උරයේ දාලා දෙන්නේ මේ කාබනික සංයෝග දෙකේ මිශ්‍රණයක්. ඒ ආනුභාවයෙන් පරලොව යන බණ්ඩයියාව එම්බාම් කරන්න අවමංගල්‍ය ශාලාවෙදි භාවිතා කරන්නේ ෆෝමලීන් නොහොත් ෆෝමැල්ඩිහයිඩ් (H2C=O). ඊට පස්සේ බණ්ඩයියගේ මරණයේ වැඩකටයුතු වලදි සුදුකොඩි දාන්නේ පොලිතීන් වලින්, ඒ වගේම සෑය ගිණිගන්න දර වලට මිශ්‍ර කරන්නේ පැට්‍රල්. මෙන්න මෙහෙමයි රසායන විද්‍යාව ගැන මෙලෝ හසරක් නොදන්න බණ්ඩයියාගේ ජීවිතයට රසායන විද්‍යාව වැදගත් වෙන්නේ.

ඒ විතරක් නොවෙයි. අපේ ශරීරයේ ඇති බොහොමයක් දෑ තැනී ඇත්තේ කාබනික සංයෝග වලින්. ප්‍රෝටීන, ලිපිඩ, රුධිරයේ අඩංගු හිමෝග්ලොබීන් වල ඇති සංයෝග ආදිය මින් ප්‍රධාන තැනක් ගන්නවා. එමෙන්ම ජීවයේ මූලික සංඝඨකය වන DNA අණුවේ සියළුම භෂ්ම වර්ග කාබනික සංයෝගයි. මේ නිසාම කාබනික රසායනය සහ කාබනික සංයෝග ජීවයේ උපත සහ ජීවය පවත්වාගැනීම කෙරෙහි දැඩි බලපෑමක් කෙරෙනවා. ඒවගේමයි, ජීවයේ විනාශයත් කවදා හරි වන්නේ කාබනික සංයෝග නිසාම තමයි. දැන් දැන් සීඝ්‍රයෙන් ඉහල යන කාබන් ඩයොක්සයිඩ් සාන්‍ද්‍රණය නිසා සිදුවන පාරිසරික විපර්යාස නිසාම ජීවය මෙලොවින් තුරන් වන්නට බැරි කමක් නැහැ. දැනට වැඩිවන වේගයෙන් කාබන් ඩයොක්සයිඩ් සාන්‍ද්‍රණය වැඩි වුවහොත් වසර 2050 වනවිට ලෝකයේ කාබන් ඩයොක්සයිඩ් සාන්‍ද්‍රණය දැනට ඇති මිලියනයකට කොටස් 390 සිට මිලියනයකට කොටස් 750 ක් (750 ppm) දක්වා වැඩි වන්නට පුළුවන්. මෙය සෞඛ්‍ය විද්‍යාත්මකව මිනිසාට එතරම් බලපෑමක් ඇති නොවුනත් ශාඛවල අධික වර්ධනයත් සමහර සතුන්ගේ (විශේෂයෙන්ම ඉකිරින් වැනි මුහුදු ජීවීන්ගේ) විකලාංග තත්ත්‍වයනුත් ඇති කිරීමට සමත්. ඒ වගේමයි මුහුදු මට්ටම ඉහල යාම සහ ධ්‍රැව අයිස් දියවීම, ඒ ප්‍රදේශ වල ජීවත්වන සතුන්ගේ වඳවීම ආදී එකිනෙකට බැඳුන බොහෝ අහිතකර දෑ සිදුවන්නට මේ වැඩිවන කාබන් ඩයොක්සයිඩ් වගකිව යුතුයි. මේවා සිදුකෙරෙන්නේ මිනිසුන් වන අපේම අතින්…. ඒකයි වඩාත්ම කණගාටුදායක දේ.

කාබනික සංයෝගවල සිදු වූ දැවැන්තම විප්ලවය සිදු වන්නේ නැනෝතාක්‍ෂණය ලොවට හඳුන්වාදීම හරහායි. කාබන් නැනෝ ටියුබ් (Carbon Nano Tube, CNT) යනු කාබන් වලින්ම පමණක් තැනුන නැනෝමීටර (10-9 m) ගණනක් තරම් කුඩා නල විශේෂයක්. මේවා තනන්නේ විශේෂිත පෝරණු වර්ගයක් තුළ කාබන් සංයෝග වාෂ්පීකරණයෙන් සහ තැන්පත් කිරීම (Chemical vapor deposition) මගින්. මේ CNT වර්ග විවිධ කටයුතු සඳහා යොදා ගන්නවා, එපමණක් නොවෙයි දැන් දැන් විවිධ ලෝහ වර්ගද මේ CNT වලට මුසු කිරීමෙන් විප්ලවීය සොයාගැනීම් නිතිපතා ලෝකයට එක් වෙනවා. ලංකාවත් මේ අංශයෙන් තරමක් දායක වී තිබෙනවා. Sri Lanka Institute of Nano Technology – SLINTEC  ආයතනයේ මෙම නැනෝතාක්‍ෂණික පර්යේෂණ සිදුකෙරෙන්නේ ලාංකීය සංවර්ධනයට හැකි පමණින් දායක වෙමින්. ඒ වගේමයි කාබන් වලින්ම තැනුන ඉතා මෘදු මිනිරන් සහ කාබන් වලින්ම තැනුන දියමන්තිත් කාබනික රසායනයේ විශ්මයජනක නිර්මාණ වලින් වැදගත් දෙකක්.

අප සියළුම දෙනා සෞඛ්‍ය සම්පන්නව සිටින්න උපකාරී වන විවිධාකාර ඖෂධ වර්ගද අයත් වන්නේ මේ කාබනික රසායන ද්‍රව්‍ය ගණයටයි. ඒ වගේම සමහරුන් ලෙඩ කරවන විවිධාකාර මත් ද්‍රව්‍යද මෙයටම අයත් වන්නේ ලෝකයේ සමබරතාවය මොනවට කියාපාමින්. ලෝකය සුවකරන දෑ මෙන්ම ලෝකය විනාශ කරන විවිධාකාර පුපුරණ ද්‍රව්‍යයනුත් තැනෙන්නේ කාබනික රසායනයේ බලමහිමයෙන්. ඉතා සුමට සිනිඳු පොලිතීන් කොළයක් මෙන්ම වානේ මෙන් සවිබල ඇති කාබන් තන්තු තැනෙන්නෙත් එකම කාබන් මූලද්‍රව්‍යය උපයෝගී කරගෙනයි.

කාබනික රසායනය ඉතාම පුළුල් පරාසයක පැතිරී ඇති විෂයයක්. ඒ නිසාම ඒ පිළිබඳව කෙරෙන පර්යේෂණත් විශාල ප්‍රමාණයක්. විවිධ අංශ රාශියක් ඇති මේ කාබනික රසායනය ඉතාම සරවත් සහ සාරවත් විෂයයක්. ඔන්න ඔහොමයි කාබනික රසායනය අපට වැදගත් වෙන්නෙ…

රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද ? අකාබනික රසායන විද්‍යාව – Inorganic Chemistry


රසායන විද්‍යාවේ තවත් ඉතාම වැදගත් අංගයක් වන්නේ අකාබනික රසායනයයි. රසායනික සංයෝග ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. කාබනික සංයෝග : කාබන් මූලද්‍රව්‍යය අඩංගු හයිඩ්‍රෝකාබන, ප්‍රෝටීන, යනාදිය සහ කාබන් නොවන සංයෝග අඩංගු අකාබනික සංයෝග වශයෙන්. මෙම අකාබනික සංයෝග යටතට වැටෙන්නේ ප්‍රධාන වශයෙන් ලෝහමය සංයෝග සහ ඒවායේ සංකීර්ණ අණුයි (Metals and Metal Complexes). මෙම සංකීර්ණ අණුක ව්‍යුහයන් ගේ සංකීර්ණ කොටස් සෑදී ඇත්තේත් කාබනික සංයෝග වලින්මයි. ඒත් ඒවා අකාබනික සංයෝග ගණයට වැටෙන්නේ රසායන විද්‍යාව තුළ ලෝහ වලට ලැබී ඇති අසීමිත පිළිගැණීම නිසායි. එසේම මෙම ක්‍ෂෙත්‍ර දෙකෙහි විශාල පරාසයක් පොදුව සැලකෙනවා, විශේෂයෙන්ම Organometallic Chemistry නම් උප ක්‍ෂෙත්‍රයේ සංයෝග තැනී ඇත්තේ ලෝහ පරමාණු කෙළින්ම කාබන් පරමාණුවලට බන්ධනය වීමෙන්.  උදාහරණයක් ලෙස ග්‍රීනාඩ් ප්‍රතිකාරක (Grignard Reagents) වන මෙතිල් මැග්නීසියම් හේලයිඩ්, මෙතිල් ලිතියම් වැනි සංයෝගවල කාබන්-ලෝහ බන්ධනයක් දක්නට ලැබෙනවා. මේ අකාබනික සංයෝග සහ අකාබනික රසායනය අප නොසිතන ආකාරයට අපේ සාමාන්‍ය ජීවිත වලට සම්බන්ධයි.

බොහොමයක් අකාබනික සංයෝග අයත් වන්නේ ලවණ වර්ග වලටයි. ඒවා ධනායන (Cation) සහ ඍණායන (Anion) වශ‍යෙන් පවතින අතර අයනික බන්ධන හරහා බැඳී සංයෝග තනනවා. ගෙදර දොරේ භාවිතා වන මේස ලුණු අප වැඩියෙන්ම භාවිතා කරන අකාබනික සංයෝගය වෙනවා. තුවාලවලට බඳින මැග්සල්ට් වල ඇත්තේ මැග්නීසියම් සල්ෆේට් (MgSO4) වගේම බඩ විරේක කරන්න වෙද මහත්තයා දෙන සවිඳ ලුණුවල අඩංගු වන්නෙත් මැග්නීසියම් සල්ෆේට් (MgSO4) ම තමයි. ජලය පවිත්‍ර කිරීමට යොදන ක්ලෝරීන් ද අයත් වන්නේ අකාබනික රසායන ද්‍රව්‍ය යටතටයි. ගෙදර යකඩ ගේට්ටුව, වාහනයේ කොටස් මලකඩ කන්නෙත් මේ අකාබනික රසායනයේ එන ඔක්සිකරණය නිසායි. ඒ වගේම ඒවා වලක්වගන්න තනන තීන්ත වර්ග සහ ගැල්වනයිස් කිරීම ද අයත් වන්නේ අකාබනික රසායනය  යටතටයි. මේ ක්‍ෂෙත්‍රය තවත් සංකීර්ණ වන්නේ මෙම ඔක්සිකාරක-ඔක්සිහාරක ගුණ මිනිසාට ප්‍රයෝජනවත් ලෙස යොදාගන්නා බැටරි ආදිය නිෂ්පාදන ක්‍රියාවලියේදීයි. දැන් දැන් ඉන්ධනවලින් දුවන වාහන වෙනුවට බැටරි වලින් දුවන විදුලි වාහන (Electric cars) සහ ඉන්ධන සහ විදුල්යෙන් ක්‍රියාකරන දෙමුහුන් කාර් (Hybrid cars) නිෂ්පාදනයේ මූලික අවධානය යොමුව ඇත්තේ ලාභදායී සහ විදුලිය හොඳින් ගබඩා කළ හැකි බැටරි වර්ග තැනීමේ ක්‍රියාවලියටයි. මේ අතර ලිතියම් අයන් බැටරි (Lithium ion batteries) පෙරමුණේ සිටිනවා. කවදා හෝ දවසක පුනර්ජනනය නොකර සැතපුම් දහසක් හෝ පන්සියයක් වාහනයක් ධාවනය කළ හැකි බැටරියක් සොයාගතහොත් එය අනාගත ලෝකයේ වැදගත් සන්ධිස්ථානයක් වනවාට කිසිම සැකයක් නැහැ.

ඒවගේමයි අකාබනික රසායනය කර්මාන්තවලදී නැතුවම බැහැ. ශ්‍රී ලංකාවේ අවාසනාවකට දෝ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය පවතින්නේ ඉතාම ළදරු අවධියක. බොහෝ සම්පත් තිබුණද ඒවා නිසි පරිදි ලාභදායී ලෙස ප්‍රයෝජනයට ගන්නේ නැහැ. පුල්මුඩේ ඛණිජ නිධිය සහ එප්පාවල ඇපටයිට් නිධියෙන් ලැබෙන සම්පත් වලින් ලංකාවේ විදේශ ණය ගෙවා දමන්න තරම් අගය එක්කළ නිෂ්පාදන (Value Added Products) නිපදවීමේ හැකියාව ඇතත්, ඉල්මනයිට් පිටරට පැටවීමෙන් අප ලබා ගන්නේ සොච්චමක් පමණයි. එසේම එප්පාවල පොස්පේට් නිධියේ  පොහොරවල ඇති ෆ්ලෝරීන් ඉවත් කර නිසි ලෙස ගස්වලට උරාගත හැකි පොහොරක් තැනීමට පර්යේෂණ කෙරෙනවාද යන්න සැක සහිතයි. එසේම රජරට වැසියන්ගේ ප්‍රධාන ප්‍රශ්නයක් වන පාණීය ජලයේ ෆ්ලෝරීන් අධික බව කෙළින්ම සම්බන්ධ වන එප්පාවල ඇපටයිටි නිධිය පිළිබඳ නිසි ලෙස ඇගයීමක් කෙරෙනවාද යන්නත් මා දන්දේ නැහැ. සිමෙන්ති නිෂ්පාදනය, යකඩ නිෂ්පාදනය ඇතුළු බොහෝ දේ නිපදවෙන්නේත් අකාබනික රසායනය උපයෝගී කරගෙනයි. කොටින්ම කියනවා නම් ලෝහ සහ ලෝහ භාණ්ඩ අපට ලැබී ඇත්තේ අකාබනික රසායනයේ උපකාරීත්‍වයෙන්.

අකාබනික රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට එක් වන තවත් අවස්ථා ඕනෑ තරම් තිබෙනවා. සබන් නොතිබුණ ආදිකාලයේ මිනිසුන් ගිණි ගොඩවලින් ගත් අළු භාවිතා කර ඇඳුම් සේදූ බව වාර්තා වෙලා තිබෙනවා. මෙසේ කර ඇත්තේ අළුවල ඇති පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් (KOH) මඟින් ඇඳුම් වල ඇති තෙල් කුණු ඉවත් කරන නිසා. දැන් සබන් වල බොහෝ දුරට ඇත්තේ මේද අම්ලවල සෝඩියම් ලවණ වර්ගයි. රෙදි සෝදන කුඩු, ෂැම්පූ වර්ග, ආදියත් අපට ලැබෙන්නේ කාබනික රසායනයත් අකාබනික රසායනයත් එක්ව කරන අපූරු ක්‍රියා නිසා තමයි.

අකාබනික රසායනය බහුල ලෙස යෙදෙන ක්‍ෂෙත්‍රයක් වන්නේ ඉන්ධන නිෂ්පාදනය සහ ඒ ආශ්‍රිතව නිපදවෙන රසායන ද්‍රව්‍ය කර්මාන්තයයි. මෝටර් රථ ඉන්ධන සියල්ලක්ම පාහේ කාබනික සංයෝග වුවත් ඒවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය උත්ප්‍රේරක (Catalysts) සියල්ලම අපට ලැබී ඇත්තේ අකාබනික රසායනායේ බල මහිමයෙන්. පොලිතීන් වර්ග නිපදවන ක්‍රියාවලිය මුළුමුනින්ම පාලනය කෙරෙන්නේ අකාබනික රසායනයෙන්. එපමණක් නොවෙයි බොහොමයක් පොලිමර් වර්ග සහ ප්ලාස්ටික් වර්ග තැනීමට අදාල උත්ප්‍රේරක සියල්ලම පාහේ අකාබනික රසායනික සංයෝගයි. මේ සඳහා බොහෝ දුරට යොදා ගැණෙන්නේ ප්ලැටිනම්, පැලේඩියම්, රුතීනියම්, රෝඩියම් වැනි අධික වටිනාකමක් ඇති ලෝහමය සංයෝගයි. එසේම ඔබ සමහරවිට දන්නවා ඇති ඇමෝනියා නිෂ්පාදනය සඳහා භාවිතා කරන හේබර් ක්‍රියාවලිය සඳහා භාවිතා වන්නේ යකඩ ලෝහය සහ ලෝහමය සංයෝග….

අපේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලි, පරිසරයේ විවිධාකාර ක්‍රියාවලි සිදු කෙරෙන ‍ප්‍රෝටීන සහ එන්සයිම සමහරක එම අදාල ක්‍රියාවලීන් සිදුවන ස්ථානයන්හි (Active sites)  අඩංගු වන්නේත් ලෝහමය සංයෝගයි. මෙන්න මේ එන්සයිම වල එම ක්‍රියාවලිය පාලනය වන්නට ලෝහමය සංයෝග අත්‍යවශ්‍යයි. මේ ක්‍රියාවලි පිළිබඳ අධ්‍යයනය සහ ඒ මඟින් කර්මාන්තවලට, සහ වෙනත් නිෂ්පාදන ක්‍රියාවලීන්ට එවැනි ප්‍රතික්‍රියා දායක කර ගැනීමට මේ හැදෑරීම් ඉතා වැදගත් වෙනවා. මෙවැනි හැදෑරීම් කරන්නෙත් අකාබනික රසායනඥයින්.

අකාබනික රසායනයේ පියා – ඇල්ෆ්‍රඩ් වර්නර්

අකාබනික රසායනයේ පියා වශයෙන් සැලකෙන්නේ ස්විස් විද්‍යාඥ ඇල්ෆ්‍රඩ් වර්නර්. ඔහු විසින් සංගත රසායනික සංයෝග (coordination complexes) සොයා ගැනීමත් සමඟ අකාබනික රසායනය සම්පූර්ණයෙන්ම වෙනස් මඟක් ගන්නට හේතු වුනා. මේ නිසා අකාබනික සංයෝගවල ව්‍යුහයන් මෙන්ම ඒවායේ ක්‍රියාකාරීත්‍වය ද සොයන්නට විද්‍යාඥයින් පෙළඹුනා.. එමෙන්ම ඒ මාර්ගයෙන් නොයෙක් නව නිපැයුම් සිදු වන්නට වුනා… දැන් දැන් විද්‍යාත්මක ශිල්පක්‍රම දියුණු වීමත් සමඟම අකාබනික රසායනයත් මිනිස් ජීවිතයට ප්‍රබල ලෙස දායක වන කාර්යයන් සිදු කරන්නට පටන් අරගෙන… මේ නිසාම අකාබනික රසායනයත් රසායන විද්‍යාවේ ඉතාම වැදගත් අංශයක් ලෙසින් වර්ධනය වෙනවා.

දැන් දැන් අකාබනික රසායනයෙන් කෙරෙන වැදගත්ම දෙයක් වන්නේ CO2 මඟින් වන පාරිසරික හානිය අවම කිරීමේ කටයුත්තට අදාල උත්ප්‍රේරක සොයා ගැනීම, විකල්ප බලශක්තීන් (හයිඩ්‍රජන් නිෂ්පාදනය සහ ගබඩා කිරීම, සූර්ය ශක්තිය වැඩිපුර ගබඩා කිරීමේ ක්‍රම සෙවීම) වැනි අනාගත ආයෝජනයි. අකාබනික රසායනය මෙසේ අඩු වැඩි වශයෙන් සාමාන්‍ය ජීවිතයටත් අපේ ජීවිත පවත්වා ගැනීමට අප නොදැනුවත්ව මත් වැදගත් වෙනවා. මේ අකාබනික රසායනයේ වැදගත්කමින් අංශුමාත්‍රයක් පමණයි. මා සේවය කළ BASF ආයතනයේ සිදුවන ක්‍රියාවලි බොහොමයක් අකාබනික රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රයෙන් සිදු කෙරෙන ක්‍රියාවලීන්. ඉතින් මේ මාර්ගයෙන් ඩොලර් බිලියන හැට හැත්තෑවක් වසරකදී උපයන්නට ඒ ආයතනය සමත් වීමෙන්ම එහි වටිනාකම කොපමණක්දැයි කියා ඔබටම හිතා ගන්න පුළුවන් නේද ?

  

රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද ?


රසායන විද්‍යාව සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ කෙසේද ? කියා බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් පැණ නැඟ ඇතිවාට කිසිම සැකයක් නැහැ. මේ ලිපිය පෙරදි මා විද්‍යාව.කොම් අඩවියට සැපයූ ලිපියක්. මේ ලිපිය පළ කිරීමට ආසන්නතම හේතුව මාරයාගේ හෝරාව ලියන මාරයා විසින් කරන ලද ඉල්ලීමක්. දෙයියො කියන දේ ඇහුවෙ නැතත් මාරයා කියපු දෙයක් නම් අහන්නෙ නැතිව ඉන්න බැහැ.. . ඒ නිසාම මේ ලිපිය නැවත පළ කරන්න හිතුවා…

රසායන විද්‍යාව වැදගත් වන අංශයන්.

රසායන විද්‍යාව වැදගත් වන අංශයන්.

රසායන විද්‍යාව යනු ලොව පවතින ද්‍රව්‍ය සහ ඒවා සබැඳි වෙනස්වීම් ලෙස සරළව දැක්විය හැකි වුවත්, කාළයාගේ ඇවෑමෙන් එයට එක්වන විවිධ සොයාගැනීම් සහ වෙනස් වීම් නිසා එම අර්ථකතනයෙන් බොහෝ ඈතට රසායන විද්‍යාව ගමන් කර ඇති බවක් පෙනේ. රසායන විද්‍යාවේ මූලිකම කාර්යය වන්නේ ද්‍රව්‍යයන්හි සංයුතිය, හැසිරීම, ස්වභාවය සහ ගුණාංග පිළිබඳව සහ ඒවා ප්‍රතික්‍රියාවලදී භාජනය වන වෙනස්කම් පිළිබඳව හැදෑරීමයි.  “Chemistry is the Central Science” යනුවෙන් ඉතා ප්‍රකට කියමනත් ඔබ අසා ඇති. එනම්, රසායන විද්‍යාව සියළු විද්‍යාවන්ගේ මූලික විද්‍යාව යන්නයි… ඔබ අවට බලන්න, ඒ අවට ඇති දෑ වලින් කීයක් ස්වභාවික ද්‍රව්‍ය වලින් සෑදී ඇත් ද? රසායනික ද්‍රව්‍ය වලින් නිම වූ කෘත්‍රිම දෑ වලින් සෑදී ඇත්ද ? කියා. සැබැවින්ම කෘත්‍රිම ද්‍රව්‍ය වලින් සෑදූ දෑ වලින් අප ජීවිතය පිරී පවතී. ස්වභාවයේ පවතින බොහෝ දෑ ද රසායනික ද්‍රව්‍ය ගණයට අයත් වේ. ළදරුවෙකු ඉපැදුන අවස්ථාවේ ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නතක සිට කෙනෙකු මියගිය පසු එම්බාම් කිරීමට යොදා ගන්නා ෆෝමලීන් එන්නත දක්වා අප පරිහරණය කරන බොහෝ දෑ රසායන විද්‍යාවේ බලමහිමයෙන් අප ලෝකයට ලැබුණ දේ බව සිතන්නේ කීයෙන් කී දෙනාද ? බොහොමයක් දෙනා රසායන විද්‍යාව දෙන බලන්නේ විවිධ රසායන ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නක් ලෙස විනා මෙයින් ගත හැකි සහ ලැබෙන ප්‍රයෝජන මොනවාද යන්න පිළිබඳව නොවේ. බොහෝ දෙනා නොසිතන, රසායන විද්‍යාවේ එදිනෙදා යෙදීම් පිළිබඳ විමසා බැලීම මේ ලිපියේ මූලික අරමුණයි.

රසායන විද්‍යව මූලිකව කොටස්  කිහිපයකට බෙදා වෙන්කළ හැකිය.

  1. විශ්ලේශණාත්මක රසායනය – Analytical Chemistry –  විවිධ උපකරණ සහ විවිධ රසායනික ක්‍රම භාවිතයෙන් කරන මිනුම්, සහ ඒ ආශ්‍රයෙන් කෙරෙන නිගමන.
  2. ජීව රසායන විද්‍යාව – Bio Chemistry –  ශරීරයේ විවිධ රසායන ක්‍රියා, එන්සයිම සහ ක්‍ෂුද්‍ර ජීවීන් ආශ්‍රිතව සිදු කෙරෙන රසායන ක්‍රියා පිළිබඳව සලකා බැලීම.
  3. අකාබනික රසායනය – Inorganic Chemistry –  ලෝහමය සංයෝග පිළිබඳ සලකා බැලීම.
  4. කාබනික රසායනය – Organic Chemistry – කාබන් මූලද්‍රව්‍යය සබැඳි සංයෝග පිළිබඳ සලකා බැලේ. මෙය ඉතා විශාල සංයෝග රාශියක් සහිත අංශයකි.
  5. භෞතික රසායනය – Physical Chemistry – රසායන ශක්තීන්, සහ රසායන විද්‍යාවේ මූලික සිද්ධාන්ත පිළිබඳව ගැඹුරින් හැදෑරෙන අංශය.
  6. ද්‍රව්‍යමය රසායනය – Materials Chemistry – ද්‍රව්‍ය පිළිබඳව හැදෑරීම කෙරෙන විශේෂයෙන්ම ඉගැන්වීම් සඳහා වැඩිපුර යෙදෙන අංශයකි. බොහෝ දුරට නැනෝ තාක්‍ෂණයද Nano Technology අයත් වන්නේ මේ අංශයටය.
  7. සිද්ධාන්තමය රසායනය –  Theoretical Chemistry –  මූලික සිද්ධාන්තමය පැහැදිලි කිරීම් මත සිදුකෙරෙන ගණනය කිරීම් ආශ්‍රිත රසායන විද්‍යාව.

මේවාට අමතරව වෙනත් බොහෝ උප විෂයයන් 40 ක් 50 ක් වැනි ප්‍රමාණයක් රසායන විද්‍යාවට අයත් වන අතර ඒවා බොහොමයක් ඉහත වර්ග යටතට ද දැක්විය හැකිය. අපි මේ ප්‍රධාන කාණ්ඩ වෙන වෙනම සරළව සළකා බලමු.

විශ්ලේශණාත්මක රසායනය – Analytical Chemistry

බොහෝ දෙනෙක් නොදන්නවාට, මෙය සාමාන්‍ය ජීවිතයට ඉතා සමීප විෂයයකි. එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය කටයුතුවලට මෙය යොදා නොගත්තද, ඔබ වෙනුවෙන් විශ්ලේෂණයන් සිදු කරන බොහෝ ආයතන සහ පුද්ගලයන් ඔබේ ජීවිතය යහපත්ව සහ සරළව පවත්වාගෙන යාමට උපකාරී කිරීමට විශ්ලේෂණාත්මක රසායනය භාවිතා කරගනී. විශ්ලේෂණාත්මක රසායනයේ දී මූලිකව කෙරෙනුයේ ස්වභාවික සහ කෘත්‍රිම ද්‍රව්‍යවල සංඝඨක වෙන් කිරීම, හඳුනාගැනීම, ගණනය කිරීම ආදී දෑයි. මෙය ඒ ඒ ද්‍රව්‍යයේ ගුණාංග හඳුනා ගැණීම (Qualitative) හෝ ඒවායේ සංඛ්‍යාත්මක ගණනය කිරීම (Quantitative) ලෙස ප්‍රධානව කොටස් දෙකකට බෙදේ.  මේ ක්‍රම දෙක උසස් නොහොත් ස්වාධීනව කෙරෙන විශ්ලේෂණයන් (Classical) හෝ උපකරණ ආශ්‍රිතව කෙරෙන විශ්ලේෂණයන් (Instrumental) ලෙස මූලිකව වර්ග කළ හැක. මෙම විෂයය බොහෝවිට සාමාන්‍ය ජීවිතයට වැදගත් වන්නේ යම් ද්‍රව්‍යයක් හෝ වස්තුවක ඇති සංඝඨක සොයාගැණීම, අපරාධයක් වූ විට ඒ හා සම්බන්ධ සාක්‍ෂි සම්පිණ්ඩනයට, රුධිර, ඩී එන් ඒ සාම්පල වැනි නොයෙකුත් පරීක්‍ෂා ආදී සේවා සම්බන්ධව වේ. සාමාන්‍ය රසායනඥයෙකුට වඩා විශ්ලේෂණාත්මක දැනුමක් මේ කාර්යයන්හි යෙදෙන පුද්ගලයෙකුට තිබිය යුතු වන අතර සියළුම ප්‍රතිඵල නියමිත පරිදි වලංගු කිරීම (Validate) කළ යුතුය. මේ සඳහා අවම වශයෙන් අදාල පරීක්‍ෂණය තෙවරක් වත් ඒකාකරව සිදුකර ලැබෙන ප්‍රතිඵල සංඛ්‍යාලේඛණාත්මකව  නිරවද්‍ය බවට (Statistical Accuracy) තහවුරු කළ යුතු වේ. උදාහරණයක් ලෙස, ඔබ පානය කරන ජලය, ජල පිරිපහදුවේ සිට ඔබ නිවස වෙතට පැමිණෙන විට කිහිප වරක් විශ්ලේෂණාත්මක රසායනඥයින්ගේ පරීක්‍ෂාවලට භාජනය වී ඒ ඒ පරීක්‍ෂණ වලින් සමත්ව පානයට සුදුසු යැයි සහතික කල යුතුය. මෙහි බැරෑරුම් කම ඔබට වැටහෙන්නේ නොමැති වුවත්, පානීය ජලය ක්‍ෂුද්‍ර ජීවීන් ප්‍රමාණය, බැර ලෝහ ප්‍රතිශතය, ඔක්සිජන් ප්‍රමාණය ආදී නොයෙකුත් පරාමිතීන් සඳහා නිබඳ පරීක්‍ෂාවන්ට ලක් කර ජල නල වලට මුදා හැරේ. මෙය බැලූ බැල්මට සරළ සේ පෙණුනද, යම් හෙයකින් එක් පරාමිතියක් හෝ වෙනස් වුවහොත් සිදුවන විනාශය සුළුපටු දැයි ඔබටම සිතා බැලිය හැක. අද ලංකාවේ හතු පිපෙන්නාක් සේ බිහිවී ඇති විවිධ රසායනාගාර සේවා මධ්‍යස්ථාන වල මේ කර්තව්‍යයන් හරිහැටි සිදු වනවා දැයි සිතීම අපහසුය… බොහෝ රසායනාගාරවල පිළිගත් සුදුසුකම් සපිරූ විශ්ලේශක රසායනඥයන් දක්නට නොමැත. ඒ වෙනුවට ඇත්තේ තාක්‍ෂණික නිලධාරීන්ය. ඔවුන් කෑලි ගාණට විශ්ලේෂණයන් කරනවා විනා නියමිත පරිදි  සංඛ්‍යාලේඛණාත්මකව ප්‍රතිඵලවල නිරවද්‍ය බව තහවුරු කරනවාද යන්න පාරිභෝගිකයන් ලෙස අප සැවොම හොඳින් සලකා බැලිය යුතු කාරණයක් වේ. එසේ නැතහොත් වකුගඩු ආබාධයක පරීක්‍ෂණයක් සඳහා රසායනාගාරයකට මුත්‍ර සාම්පලයක් දෙන පුරුෂයෙක් මව් පදවිය ලබන බවට තහවුරු වී ප්‍රතිඵල සටහන ලැබෙන්නට හැකියාවක් අපේ ලංකාවේ ඇතිවිය හැකිවීම පුදුමයට කරුණක් නොවිය හැක. එසේ වුවද, රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවේ විශ්ලේශකයන්, කාර්මික තාක්‍ෂණ ආයතනයේ විශ්ලේශකයන්, ජාතික ප්‍රමිති කාර්යාංශයේ විශ්ලේශකයන් සහ අන්තර්ජාතිකව පිළිගත් රසායනාගාර කිහිපයක කටයුතු පිළිගත හැකි අයුරින් උසස් ලෙස සහ ස්වාධීනව පවත්වාගෙන යන අයුරු පැසසිය යුතු කරුණක් බව ද නොකියාම බැරිය.

විශ්ලේෂණාත්මක රසායන විද්‍යාව වැදගත් වන අංශ බොහොමයකි: අපරාධ පරීක්‍ෂණය, පාරිසරික විද්‍යාව, කර්මාන්ත රසායනය, වෛද්‍ය විද්‍යාව ආදී දේ වලට මෙය ඉතා වැදගත් වේ. උසස් විශ්ව විද්‍යාලවල වෙනම අංශයක් අපරාධ ජීව රසායන විද්‍යාව (Forensic Chemistry) සම්බන්ධව පැවතීමෙන් එහි වැදගත්කම මනාව පැහැදිළි වේ. ශ්‍රී ලංකාවේ මෙම  විශ්ලේෂණාත්මක රසායනය භාවිතා වන්නේ ඉතාම අඩුවෙන් වුවත් දියුණු රටවල රජයේ හා පෞද්ගලික අංශයේ රසායනාගාරවල, කර්මාන්තශාලාවල, සහ විවිධ රාජ්‍ය ආයතනවල අවම වශයෙන් සහතිකලත් විශ්ලේශකයන් එක් අයෙක් හෝ සිටී. තාක්‍ෂණයේ දියුණුවත් සමඟම දැන් දැන් වැඩි වශයෙන් මේ විශ්ලේෂණ සඳහා උපකරණ භාවිතය වැඩි වීමට පටන් අරගෙන තිබේ. එය නිරවද්‍ය ප්‍රතිඵල ක්‍ෂණිකව ලබාගැනීමෙන් අදාල කාර්යය ඉක්මනින් කර ගැනීමට සහ කාළය ඉතිරි කරගැනීමට හැකියාව ලැබේ. උදාහරණයක් ලෙස රුධිරයේ සීනි සාන්‍ද්‍රණය පරීක්‍ෂා කිරීමට මීට දශක ගණනාවකට පෙර රුධිරය තරමක ප්‍රමාණයක් භාවිතාකර කළ පරීක්‍ෂණයට වඩා දැන් රුධිර බිඳුවක් විශ්ලේෂණ තීරුවක් මත තබා ඒ උපකරණයට ඇතුලත් කිරීමෙන් ක්‍ෂණිකව ප්‍රතිඵලය ලබා ගත හැක. එය වඩා නිරවද්‍ය වන අතර ස්වයංක්‍රීය ගණනය කිරීමක්, දත්ත ගබඩා කර ගෙන තබා සතිය හෝ මාසය අවසන සම්පූර්ණ වාර්තාවක් දෙන තරමට දියුණු කිරීමට නවීන තාක්‍ෂණය දියුණු වී තිබේ. මේ සියල්ල විශ්ලේෂණාත්මක විද්‍යාඥයින් දිවා රෑ නොබලා කරන පර්යේෂණ වල ප්‍රතිඵල වේ. මෙම විශ්ලේෂණාත්මක රසායන විද්‍යාව දැන් දැන් සීඝ්‍රයෙන් දියුණු වන අංශයක් බවට පත් වී තිබේ. වේගවත්ව දියුණු වන ලෝකයට කාළය යනු මුදල්ය… යම් විශ්ලේෂණයක් ක්‍ෂණිකව නිරවද්‍යව කරගැනීමට ක්‍රම සැකසීම විශ්ලේෂණාත්මක විද්‍යාඥයින්ගේ කාර්යභාරයයි. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවන මුත් මිනිස් සිත මෙහෙයවා කරන්නට බැරි දෙයක් නොමැත… පෘථිවිය මත සිට අඟහරු ලෝකයේ පස්වල ඇති ජලය සාන්‍ද්‍රණය මනින්නට පවා මිනිසාට හැකියාව ලැබී ඇත්තේ විශ්ලේෂණාත්මක රසායන විද්‍යාවේ බලමහිමය නිසාවෙනි…. එය ඒ තරම් ප්‍රබලය….

නමුත් මීටත් වඩා වැදගත් කාර්යභාරයන් රැසක් විශ්ලේෂණාත්මක රසායන විද්‍යාවේ ආධාරයෙන් සිදු කරවා ගත හැකිය.

2013 ජනවාරි 23: හතලිස් වසරක අතීතාවර්ජනය.


ජීවිතයකට අවුරුදු 40 ක් කියන්නෙ කොච්චර අත්දැකීම් සම්භාරයක් ලැබෙන කාලයක්ද ?

40years1973 ජනවාරි 23 වෙනිදා මම ඉපදුන වෙලේ අම්මට සිහිය තිබිලා නැහැ… මම ඉස්පිරිතාලෙ පැත්තකට දාලා දොස්තරල අම්මව බේර ගන්න කටයුතු කරලා.. ඒ කාලෙ තිබිච්ච ලොකුම ඉස්පිරිතාලයක් වෙච්ච කළුතර නාගොඩ ඉස්පිරිතාලෙට අම්මව යවද්දි මාව ගෙදර ගෙනැත් තියෙන්නෙ නෝන මම්මා. ඒ කියන්නෙ මගේ පුංචි අම්මා. ඒ මගේ දෙවැනි අම්මා.. අවසානයේ අම්මව ගොඩ ගන්න ඕන කරන ලේ වර්ගය නෑ කියලා කළුබෝවිල රෝහලේ පැත්තකට දාලා තියෙද්දි, ගමේ ටික දෙනෙක් ගිහින් ලේ දීලා කොහොම හරි සතියකට පස්සෙ අම්මව ගොඩ අරගෙන.. ගෙදර ගෙනාපු මාව කවුරුවත් බලාගෙන නැත්තෙ “ඕකට වඩා අපේ කෙල්ල අපට වටිනවා” කියලා හැමෝම අම්ම ගැන වද වෙචිචි නිසා ලු… මට පාන්තිරෙන් එළකිරි පොවලා හදාගෙන තියෙන්නෙ නෝන මම්මා.. කොහොම හරි අම්මට සනීප වෙලා සති දෙකකින් විතර ගෙදර එක්කන් ආවට පස්සෙ තමයි මම කළුද සුදුද කියලා අම්මා දැකලා තියෙන්නෙ..

ඊට පස්සෙ නම් මාමලා හය දෙනෙකුත් පුංචි අම්මලා තුන් දෙනෙකුත් ලොකු අම්මගෙත් මගේ අම්මයි තාත්තගෙත් ඒ වගේම ආච්චිගෙත් සීයගෙත් ආදරය සෙනෙහස මැද්දෙ මම ලොකු මහත් වුනා.. අර ඉස්සර මාව පැත්තකට දාපු මාමලා පුංචි අම්මලා, අපේ අම්මටයි තාත්තටයි බැණ බැණ මට අතක් පයක් උස්සන්න නොදී හදාගෙන තියෙනවා.. අවුරුදු හතරෙදිම ඉස්කෝලෙ ගියේ තාත්තගෙ අතේ එල්ලිලා. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ උදේ පාන්දර ආච්චි හදන ආප්පයක් කාලා ගෙදර වැස්සිගෙන් දොවන කිරි කෝප්පයක් බීලා ඉස්කෝලෙ යන්න වාසනාව තිබුණා.. හවසට සීයත් එක්ක හරක් අරන් එන්නත් එළවලු පාත්තිවල වැඩ කරන්නත් වාසනාව සහ නිදහස මට තිබුණා..  එක දවසක් මාත් එක්ක සෙල්ලම් කර කර හිටපු වසු පැටියෙක් මට ෆ්ලයිං කික් එකක් දීපු දවසෙ ගෙදර එකම කළබලයයි. ඇහැට පොඩ්ඩක් උඩින් වැදිච්ච කික් එකට මගේ ඇහැ ගැලවෙන්න ඇති කියලයි හැමෝම හිතලා තියෙන්නෙ… වාසනාවට ඇහැට අඟලක් විතර උඩින් තමයි කික් එක වැදිලා තියෙන්නෙ. තවමත් කැළල තියෙනවා. තව දවසක් පාරෙ ටයර් පද්දන්න ගිහින් කාර් එකක හැපෙන්න ගිය දවසෙ ඉඳලා ටයර් පැද්දීමත් තහනං වුනා… ටිකක් කර දඬු උස් මහත් වෙනකොට රැලේ බයිසිකලේ කිහිල්ලෙ ගහගෙන ෆ්‍රේම් එක අස්සෙන් කකුල දාලා පැදලා, යන්තම් බයිසිකල් පදින්නත් ඉගෙන ගත්තා… වැටිලා තුවාල වෙච්ච කැළැල් නම් අපමණයි.  මෝටර් බයිසිකල් නම් පෙන්නන්න බැහැ.. දවසක් මෝටර් සයිකලේ පියාඹාගෙන යද්දි වෑන් එකක හැප්පෙන්න ගිහින් බේරුණේ අනූ නවයෙන්.. හැබැයි දැන් ඒ ගැන හිතලා බලද්දි, එදා හැප්පුනා නං දැන් දෙන්න වෙන්නෙ විසි අවුරුදු දානෙ තමයි.. පොඩි වාසනාවක් තිබිලා තියෙනවා ජීවත් වෙන්න. (මේ කතාව කවුරුත් දන්නෙ නෑ.. දැන් නං ගෙදරින් ගුටි)

 ශිෂ්‍යත්වය පාස් වෙලා ගෙදර ආපු දවසෙ අම්මගෙ හිතේ තිබුණ සතුට මට තවමත් මතකයි… කොච්චර ලොකු වුනත් අම්මා මාව වඩාගෙන මූණ ඉම්ඹෙ අම්මා අවුරුදු තුනක් දිවා රෑ නොබලා මට උගන්වන්න වෙච්ච මහන්සියෙ ප්‍රතිඵල නිසි පරිදි ආපු නිසා… පහේ පන්තියෙන් පස්සෙ මහින්දෙට යන්න වුනාම තමයි ලොකුම කරදරේ තිබුණෙ. මහින්දෙට ගියාට හිත තිබුණෙම ගෙදර… මහින්දෙ ගාවම තිබුණ සුබසිංහ නිවසෙ මාව නැවැත්තුවේ දැන හැඳුනුම් කමකුත් තිබුණ නිසා. ඒ ගෙදර අම්මා මට තෙවැනි අම්මා වුනා.. මාව ගාල්ලෙ ඉගෙනුමට දාන්නත් සංඝාරාමෙට දාන්නත් මුල් වුනේ ඇය.. ඇය නිසා තමයි මම හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් ලැබුවෙ.. තවමත් ලංකාවට ගියොත් ඇත්නම් මම ඇය බලන්න යන්නෙ මට ඇය අම්මා කෙනෙක් වුන නිසාම නොවෙයි.. මගේ ජීවිතයෙ සාර්ථකත්‍වයට ඇයගෙන් වෙච්ච දායකත්‍වය අමතක කරන්න බැරි නිසා.  ඒ වගේම එහේ හිටපු අක්කලා අයියලාට මම පොඩි මල්ලි වුනා.. අයියලා මාව නරකට යා නොදී හොඳට ඇහැ ගහගෙන හිටියා.. එපමණක් නොවෙයි, මොකක් හරි අළුගුත්තේරු වැඩක් කරලා ආරංචි වුනොත් ඉතිං ගුටිත් ලැබුණා.. ඒ වගේම වටේ පිටේ හැමෝම මාවත් ඒ අයත් දන්න නිසා මගේ වැඩ ගැන නිතරම ඒ අයට ආරංචි වුනා.. ඒ නිසා බොහොම පරිස්සමින් තමයි වැඩ කළේ….එහෙම වුනත්, හැම සති අන්තෙම ගෙදර එන්නමයි හිත තිබුණෙ… ටික කලක් යනකොට ඉස්කෝලෙ වැඩ නිසා ගෙදර එන එක අඩු වුනා.. ඒත් මාසෙකට දවස් දෙකක් වත් එනවා මයි… ටික ටික ලොකු වෙද්දී අම්මලගෙ හිතේ තිබුණ ලොකුම බය සාමාන්‍ය පෙළ සමත් කරගැනීම.. සාමාන්‍ය පෙළ කාළයෙම තමයි 88-89 කලබල පටන් ගත්තෙ.. ඒ කාලෙ ටයර් සෑයක පිච්චුන කකුලක් දැක්කත් අම්මලා තාත්තලා බය වෙලා තිබුණ කාළයක් වුනා…

සාමාන්‍ය පෙළින් පස්සේ උසස් පෙළට විද්‍යා විෂයයන් කරන්න ඕන කියලා ජීව විද්‍යාව විෂය ධාරාව තෝර ගත්තෙ මමමයි… අම්මලා නම් කිවුවෙ කලා අංශයට යන්න කියලා… ලියන්න ටිකක් පුළුවන් කියලා දන්න නිසා වෙන්න ඇති… නමුත් මම විද්‍යාව තෝර ගත්තා.. තවත් හේතුවක් තිබුණ නිසාම… ඒ අවුරුදු දෙකේ වෙච්ච දේවල් ටිකක් කෙටි කරන්න වෙන්නෙ බොහෝ දෙනෙකුගෙ යහපතට… වැදගත්ම කාරණය වුනේ මාව මහින්දයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යනායක මණ්ඩලයට තේරීම… එයින් ලැබුණ අත්දැකීම් ප්‍රමාණය නම් කියලා නිම කරන්න බැහැ.. ඒ නිසාම තමයි මේ තරම් ඔලුව කෙළින් තියාගෙන කටයුතු කරන්න හයිය ලැබුණේ. ඉස්කෝලෙ වැඩ නිසාම උසස් පෙළ හරියට කර ගන්න බැරි වුනා… මම කොළඹට එද්දි, ඇය කරාපිටියෙ වෛද්‍ය විද්‍යාලයට ගියා.

ඒ ගමනෙදි තමයි මට මගේ ජීවිතයෙ වඩාත්ම වැදගත් පුද්ගලයා හඳුනගන්න ලැබුණෙ. ඒ වටුතන්ත්‍රීගේ දහම් පියුම් දෙව්රුවන් ද අල්විස් ගුරු පියාණෝ. එහෙම නැත්නම් හැමෝම දන්න දෙව්රුවන් සර්… ඒ උත්තමයා මගේ ජීවිතයෙ නිසි මාර්ගය පෙන්වුවා.. ඒ මඟපෙන්වීම නිසාම තමයි මම රසායන විද්‍යා ආයතනයට පියමැන්නෙ.. රසායන විද්‍යා ආයතනයෙදි මගේ ජීවිතයේ අනිත් කොටස හමු වුනා.. එදා ඉඳලා අපි දෙදෙනා අනාගතය වෙනුවෙන් වැඩ කළා. මම පළමු විභාගයේ  පළමුවැනියා වෙද්දි ඇය දෙවැනියා වුනා.. නමුත් ඇය මාව පරද්දලා අවසාන විභාගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තා විතරක් නොවෙයි රන් පදක්කමත් දිනා ගත්තා… මට දුකක් නෑ…. මට රන් පදක්කම් දෙකක්ම ලැබුණ නිසා…

අවුරුදු දෙකක් යුනිලීවර් ආයතනයෙ සේවය කළ මම ලංකාවට සමු දීලා ලුයිසියානාවට ආවෙ වැඩිදුර ඉගෙන ගන්න.. ඒ විශ්ව විද්‍යාලයෙදි ශාස්ත්‍රපති උපාධිය නිම කළ අපි දෙදෙනා ඩෙලවෙයාර් විශ්ව විද්‍යාලයට ඇතුළත් වුනේ ආචාර්ය උපාධිය හදාරන්න… ඒ අතරෙයි අපේ ලොකුම වස්තුව අපට ලැබුණෙ…. ඒ වස්තුවත් රැක බලා ගන්න අතරේ අපි දෙදෙනාම කොච්චර දුක් කම්කටොළු මධ්‍යයේ වුවත් ආචාර්ය උපාධිය නිම කළා..  අවුරුදු 6 ක් කටු කාලා… ඉන් අනතුරුව අවුරුදු දෙකක් ඩෙලවෙයාර් විශ්ව විද්‍යාලයේම බලශක්ති පර්යේෂණ අංශයේ කාබන් ඩයොක්සයිඩ් පර්යේෂණ පිළිබඳ කණ්ඩායමට නායකත්‍වය දෙන්නත් මට හැකි වුනා… ඒ ව්‍යාපෘතිය අවසාන වේගෙන යනකොටයි BASF ආයතනයේ උත්ප්‍රේරක පර්යේෂණ රසායනාගාරයේ විද්‍යාඥයෙකු වශයෙන් කටයුතු කිරීමේ කෙටි කාලීන කොන්ත්‍රාත්තුව මට ලැබෙන්නෙ…

ජර්මනියට පැමිණීමම එක්තරා යුද්ධයක් වුනා.. ඒ සියල්ලම ජය අරන් අපි ජර්මනියට ආවා… පර්යේෂණය අවුරුද්දක් වුනත්, එයත් ඉක්මනින් අවසාන වේගෙන යනවා… ඉන් පසු මගේ බලාපොරොත්තුව මොකද්ද ? ළඟදිම දැනගන්නට ලැබේවි….

මේ මගේ මුළු ජීවිත කතාවම පරිඡේද කිහිපයකින් ලියැවුන හැටි… මේ සියල්ලම නෙවෙයි..  මේ අවුරුදු 40 තුළ සමාජයේ පහළම ස්ථරය යැයි සැලකෙන අයගෙ සිට නොබෙල් ත්‍යාගලාභීන් සහ සමාගම් ප්‍රධානීන්  අතර වූ විවිධාකාර තලයන්හි චරිත අතර ගැවසෙන්නට හැකියාව ලැබුණා. ඒ අත්දැකීම් සියල්ලමත් මට බොහොම වටිනවා.. එපමණක්ම නොවෙයි.. විවිධාකාර පුද්ගලයින් මිතුරු මිතුරියන් ලෙස ඇසුරු කරන්නට ලැබුණා… ඒ අතරින් සමහරු අපෙන් ඈත් වෙලා.. සමහරු බොහොම සමීප වෙලා… ඒ ජීවිතයෙ හැටි…

ඉතිං මේ තාක් දුර මගේ ජීවිතය කරදරයක් නැතිව ගෙන එන්න මූලික වුන සහ තවමත් මගේ මඟ පෙන්නන්වන් වන මගේ අම්මටත්, තාත්තටත් මගේ ජීවිතයෙන්ම ණය ගැතියි… ඒ වගේම අම්මවයි තාත්තවයි බලාගෙන ඉන්න මගේ මල්ලිටත් මම වගේම ගතිගුණ ඇති යකෙකුටවත් බය නැති නංගිටත් ඒ ණයගැති භාවය එහෙමමයි. මගේ ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවුනෙ ඒ අයගෙන් ඈත්ව.. ඒ අය ලඟට යන්න කාළය හරි කියලයි හිතෙන්නෙ… මට දෙවැනි මවුපිය යුවලක් වුන  නෝන මම්මා සහ කමල් බාප්පා නොහිටින්න මම මේ තැන අද නැහැ… (කාගෙවත් නම් කියන්නෙ නැත්තෙ  ඒ අයගේ පෞද්ගලිකත්‍වය ගැන සිතලා ) ඒ බව අද මම කියන්නෙ බොහොම සතුටින් ඒ වගේම ගෞරව පූර්වකව. ඒ වගේම මගේ මාමලා – නැන්දලා පුංචි අම්මලා- බාප්පලා වගේම මගේ ඥාති සහෝදර සහෝදරියෝ මට බොහොම වටිනවා. විශේෂවෙන්ම මට  විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරන්න යොමු කළ  සුදු අක්කත්, මගේ හොඳම මිතුරිය වුන මැණිකෙත්, මගේම නංගි කෙනෙක් වගේ මට සැලකූ සුදු නංගිත් මගේ ජීවිතයට විශේෂයි.   මගේ ජීවිතයට අදටත් අවවාද අනුශාසනා දෙන දෙව්රුවන් සර්ට මම සදා ණය ගැතියි… සර් එදා මාව පිටත් කළ මාර්ගයෙ මම තවමත් නොනැවතී ගමන් කරනවා. ඒ වගේම රසායන විද්‍යා ආයතනයේ ඇදුරු මඬුල්ලත් මට අමතක කරන්න බැහැ. ඇල්කෙමිච්චිගේ මා පිය යුවලත් මල්ලිත් නංගිත් ඇතුළු ඒ අයගේ පවුල් මාව තමන්ගේම පුතෙක් සහෝදරයෙක් වගේ ආදරයෙන් සැළකීම මා ලැබූ භාග්‍යයක්.

මගේ ජීවිතයෙ පෞද්ගලිකත්‍වය සම්පූර්ණයෙන්ම නිරාවරණය වුනේ ඇල්කෙමියාගේ රසායනාගාරය සහ ඇල්කෙමියාගේ දිනපොත ඇරඹුවාට පසුව. ඒ ගැන මට කණගාටුවක් නැත්තෙ  ඊට වඩා  ඒ මඟින් බොහෝ දේවල් ලබා ගත්ත නිසා. මම හොඳ බ්ලොග් මිතුරන් රාශියක් ඇති කර ගත්තා.. මුහුණට මුහුණ හමු වෙලා කතා කරලා තියෙන්නෙ දෙදෙනෙකු පමණක් වුනත්, ඉදිරියේදී ඊට වඩා ගොඩක් අන්තර්ක්‍රියා ඇති වෙන බව විශ්වාසයි. ඒ වගේම ඔබෙන් ලැබෙන දිරි ගැන්වීම්, ප්‍රතිචාර සහ විවේචන සියල්ල මගේ ලිපි සහ  ඉදිරි ගමන හැඩ ගස්වා ගන්නට ලොකු පිටුවහලක්.. ඒ ගැන ඔබට බොහොම ස්තූතියි…. මගේ සේවය මීටත් වඩා විශාල වශයෙන් ලබා දෙන්න ඉදිරියේදී කටයුතු කරන බව පමණක් දැනට කිව යුතුයි… ඒ ගැන කිසිදු සැකයක් නැහැ… ඉදිරියේදී ඒ සැලසුම් එළි දක්වන්නම්.

ඉතින් මේ අවුරුදු හතලිහේ මම ලබපු ලොකුම දේවල් කිහිපයයි තියෙන්නෙ.. ඒ අතරින් මූලිකම වෙන්නෙ මගේ අම්මයි තාත්තයි මගේ ගැන තිබිච්ච බලාපොරොත්තු බොහොමයක් ඒ අයුරින්ම ඉටු කරලා දීලා ඒ දෙන්නගේ ලේ කඳුළු දාඩිය වලට සාධාරණයක් ඉෂ්ඨ කරලා දෙන්න පුළුවන් වීම….මට ඒ නිසා මම ගැන ආඩම්බරයි. ඒ අතරෙම බොහොම වෙහෙස මහන්සි වෙලා ලබා ගත්ත අධ්‍යාපනය සහ අත්දැකීම් නම් කියලා නිම කරන්න බැහැ. ඒ වගේම ජීවිතයට වටිනා කියන පුද්ගලයින් රාශියක් දැන හඳුනාගන්නටත් දිගටම සම්බන්ධකම් පවත්වන්නටත් ලැබුණා.. මගේ ජීවිතයෙ දුක සැප හැම දේම බෙදා ගන්න මගේ හොඳම මිතුරිය නිබඳවම මගේ ලඟ ඉන්න එක තරම් හයියක් මගේ ජීවිතේටම නැහැ..  ඉඳලා හිටලා මට කෑ ගැහුවත්, ගෙදර පිටසක්වලක් වගේ වෙලා පියාඹන පීරිසියක් දෙකක් ගෙදර පාවුනත්, ඒ සියල්ල මගේම යහපතට කියලා මට හිතෙනවා.. (එහෙම නැති වුනත් නෑ කියන්නයෑ ?)  ඒ වගේම  ඇය මට ලබා දුන්න මගේ ජීවිතයෙ වටිනාම වස්තුවත් මගේ ලඟ… ද්‍රව්‍යමය සහ මූල්‍යමය වස්තු වලට වඩා මට මේ සියල්ල හොඳටම ඇති.

ඉතිං…. තවත් වෙන මොනවද මට ඕන ?

2012 දෙසැම්බර් 25: දෙවසරක ප්‍රගතිය.


මේ ඇල්කෙමියාගේ දිනපොතේ හීලියම් සංවත්සරයයි.

මේ ඇල්කෙමියාගේ දිනපොතේ හීලියම් සංවත්සරයයි.

ඇල්කෙමියාගේ රසායනාගාරය පටන් ගත්තේ 2009 අප්‍රේල් 13 වනදාය. ඇල්කෙමියාගේ රසායනාගාරයේ පළ වූයේ වඩාත්ම රසායන විද්‍යාවට බර ලිපි වූ අතර, ඉඳහිට දේශපාලනික යමක් ද ලියැවුණි. අළුත් යමක් පාඨකයාට සැපයීමටත්, රසායන විද්‍යාවෙන් තරමක් ඈත් වූ ලිපි පාඨකයාට යොමු කිරීමටත්, වර්ඩ් ප්‍රෙස් වෙබ් අඩවියේ වූ දිනකට එක ලිපියක් ලිවිය හැකිද යන අභියෝගය භාර ගැනීමටත් අදාලව මගේ දෙවන බ්ලොග් අඩවිය වූ ඇල්කෙමියාගේ දිනපොත 2010 දෙසැම්බර් 25 වන දින ඇරඹීමි.

භාරගත් අභියෝගය ඒ අයුරින්ම ඉටු කිරීමට, මොන කටයුත්ත තිබුණත් දවසට ලිපියක් බැගින් ලිවීමට දිවා රෑ නොබලා කාළයක් කටයුතු කළෙමි. ඇල්කෙමිච්චිගෙන් බැණුම් අහගෙන රෑ පුරා අකුරු කර පළ කළ ඒ බොහොමයක් ලිපි එදිනෙදා දින සටහන වලට වඩා වෙනසක් නොගත්තත්, ඉන් යමක් ඔබ වෙත ගෙන ඒමට මම උත්සාහ කළෙමි. කෙමෙන් කෙමෙන් ඒ අභියෝගය ඉටු කිරීමට නොහැකි වෙද්දී, අවම වශයෙන් දින දෙකකට වරක්වත් ලිපියක් පළ කිරීමට උත්සාහ ගත්තෙමි. සමහර මාස වල අධික වැඩ කටයුතු නිසාත්, ගමනේම යෙදීම නිසාත්, මේ අභියෝගය ඉටු කිරීමට නොහැකි වුවත්, ප්‍රමාණාත්මක බවට වඩා ගුණාත්මක බව හොඳ නිසාම, ඇල්කෙමියාගේ දිනපොත තෝරාගත් මාතෘකා ඔස්සේ ලිපි පළ කරන්නට විය. බොහෝ ඒවා නීරස වුවත්, ලිංගිකත්‍වය සහ දේශපාලනය සබැඳි ලිපි වලට ලැබුණ ප්‍රතිචාර අතිමහත්ය. නමුත් මා දේශපාලන ලිපි රචකයෙකු නොවේ.

මගේ පෑණේ මුවාත ඇත්තේ විද්‍යාවට බර ලිපි ලියන්නටයි. එමෙන්ම ඔබට මගේ ලිපි කියැවීමෙන් යමක් ඉගෙන ගැනීමට හැකි නම් ඒ මගේ අභිප්‍රාය ඉටු වීමකි. කුඩා කළ සිටම විද්‍යා ප්‍රබන්ධ කියැවීමෙහි රුචිකත්‍වයක් තිබූ නිසාමත්, පසු කළෙක සිදු කිරීමට අදහස් කරගෙන සිටින කාර්යයකට මුට්ටිය දා බැලීමක් ලෙසත් “පිටස්තරයා” නම් විද්‍යා ප්‍රබන්ධය ද අකුරු කරන්නට විය. එහි පසුබිම් පර්යේෂණ සඳහා බොහෝ කාළයක් වැය වුවද, එයින් මාද ඉගෙන ගන්නා දේ බොහෝය. ඒ නිසාම ඉතා සතුටින් එය ලියමි. පසුගිය දින කීපය තුළ වූ කාර්ය බහුලත්‍වය නිසාම කොටස් 14 කින් නතර වී තිබුණද, ඉදිරියේදී නැවතත් එය දිගටම ලියාගෙන යාමට අදහස් කරමි. ඒ සඳහා මටත් වඩා දැන් උනන්දු වන්නේ මගේ ලොකුම රසිකාවිය වන ඇල්කෙමිච්චියයි.

ඔබ මෙහි පැමිණීමට සමානවම මට වටින්නේ ඔබ මේ සියල්ල ගැන සිතන ආකාරයයි. එය ඔබ සිතුවිලි තුල සිරවී තිබුණාට මට පරචිත්ත විජානන ඥාණය නොමැති නිසා දැන ගැනීමට හැකියාවක් නැත. මේ නිසාම මා Blogger.com අඩවියේ ද ඇල්කෙමියාගේ දිනපොත යාවත්කාලීන කරන්නේ සමහර බ්ලොගර් පාඨකයින්ට වර්ඩ්ප්‍රෙස් අඩවියේ ප්‍රතිචාර දැක්වීමේ අපහසුව වලකාලනු පිණිසය. නමුත්, මගේ ලිපි ඔබට රුචි නොමැති නිසාදෝ ඒ සඳහා නිසි ප්‍රතිචාර ලැබීමක් නැත. මා පෙර කලෙක කිවුවාක් මෙන් මා ලිපි ලියන්නේ සමාජයට යමක් ලබා දීමටය. මගේ කතාන්දර ශෛලිය රසවත් නැත. ඒ නිසාම මා කතාන්තර ලිවීම හෝ වෙනයම් දෑ ලිවීම පිළිබඳ අවධානයක් යොමු කර නැත. එසේ කිරීමට පෙළඹෙන්නේ ද නැත. ඒ සඳහා බොහෝ දක්‍ෂ බ්ලොග් කරුවන් සිටිති.

මගේ උත්සාහය විද්‍යාව  – විශේෂයෙන් රසායන විද්‍යාව ජනතාව අතරට ගෙන යාමටය. ඉදිරියේදී මේ බ්ලොග් අඩවිය තවත් පිම්මක් පණිනු ඇත. ඒ සඳහා අවශ්‍ය අඩිතාලම සැකසෙමින් පවතින අතර ලබන වසර අවසන් වනවිට එහි එකලාසයක් දැකිය හැකි යැයි සිතමි. මගේ බලාපොරොත්තු සඵල වුව හොත් එය සැමට දැනුම බෙදන මධ්‍යස්ථානයක් වනවා ඇත. නමුත් ඒ සඳහා වූ බාධක බොහෝය. ඒ ගැන පසුව කතා කරමු. අවුරුදු 13 ක් ජනතාවගේ මුදලින් ඉගෙන ගත් මා පසුගිය අවුරුදු 12ම ගත කළේ වැඩිදුර අධ්‍යාපනයත් රසායන විද්‍යා පර්යේෂණ විධික්‍රමත් අධ්‍යයනය කිරීමටය. දැන් මගේ අධ්‍යාපනය සම්පූර්ණ වී ඇත. දැන් ඇත්තේ මා ලබා ගත් දැනුම බෙදා හදා ගැනීමයි. ඒ සඳහා මා උපන් මා ණයගැති රට තරම් උචිත ස්ථානයක් තවත් සොයා ගත හැක. කළකිරීම් ඇති විය හැකි වුවත්, ඉදිරි වසර තුළ මගේ ආගමනය සිදු වේ යැයි බලාපොරොත්තු වෙමි. පසුගිය කාළයේ මා ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනයේ සිදු කළ ඉගැන්වීම් වලින් තහවුරු වූයේ මට විදේශයක සැප පහසු ජීවිතයක් ගත කරනවාට වඩා ශ්‍රී ලංකාව තුළ බොහෝ සිසු සිසුවියන්ගේ ජීවිත වලට නිසි මඟ පෙන්වීමක් කර ඔවුන්ගේ ජීවිත ද ආලෝකමත් කිරීමේ හැකියාවක් ඇති බවය.

යමෙකු තමා වෙනුවෙන් කරගන්නා දේ තමන්ගේ මරණයත් සමඟම විනාශ වී යයි; නමුත් යමෙකු අනුන් වෙනුවෙන් සහ ලෝකය වෙනුවෙන් කරන යමක් වේ නම් එය අමරණීයව පවතී. මට අමරණීයවීමේ අවශ්‍යතාවයක් නැති වුවත්, තවත් ජීවිතයක් ආලෝකමත් කිරීමේ සංතෝෂය මා සතු කරගත හැක. මේ තාක් කල් මා ආලෝකමත් කළ ජීවිත බොහොමයක් මටත් වඩා හොඳ ජීවිත ගතකරනු දැකීමම මා ප්‍රමෝදයට පත් කරවයි. මට අවශ්‍ය වන්නේ මගේ සේවය තවදුරටත් ඔවුනට ලබා දීමයි. ජයග්‍රහණයක් පතා නොවන මුත්, මගේ බ්ලොග් අඩවිය ද බස් රේඩියෝ බ්ලොග් තරඟාවලියට ඉදිරිපත් කළෙමි. එහි වූ විනිසුරු මඬුල්ල මගේ බ්ලොග් අඩවිය හොඳම රැඩිකල් බ්ලොග් අඩවිය සහ හොඳම පර්යේෂණාත්මක බ්ලොග් අඩවිය යන අංශ දෙකටම මා තෝරාගෙන තිබූ අතර හොඳම පර්යේෂණාත්මක බ්ලොග් අඩවියට හිමි සම්මානය දිනා ගන්නා ලදී… ඒ මගේ බ්ලොග් අඩවිය දිනා ගත් එකම සම්මානයයි. නමුත් එය මට බොහෝ වටී.. ඒ නිසාම තව තවත් පර්යේෂණාත්මක ලිපි ලිවීමේ ආශාව මට ඇති විය. මා මගේ මාර්ගය හඳුනා ගත්තේ එම සම්මානය තුළිනි.

මේ තාක් කල් මා එකතු කරගත් දෙයක් වේද, ඒ ඔබගේ හෘදයාංගම බවයි. ඔබේ දැනුම් පරාසය පුළුල් කරන අතරම මා ලොව වටා ගොස් එකතු කරගත් දැනුම ඔබ වෙත බෙදා හැරීමද මගේ අභිප්‍රායයි. මා මෙලොවට කළ යුතු සේවය කුමක්දැයි හඳුනා ගත්තේ ඇල්කෙමියාගේ දිනපොත සහ රසායනාගාරය තුළිනි.  මෙතෙක් කල් ඇල්කෙමියාගේ රසායනාගාරය සහ ඇල්කෙමියාගේ දිනපොත කියැවූ ලක්‍ෂයකට අධික පාඨක පිරිසට මගේ ප්‍රණාමය පුද කරමි. ඇල්කෙමියාගේ ලිපි කෙසේ සකස් විය යුතු දැයි මා දැන ගන්නේ ඔබේ ප්‍රතිචාර අනුවය. මෙතෙක් කල් මගේ ලිපිවල ගුණාගුණ වචනයකින් හෝ සටහන් කළ සියළුම දෙනාට මගේ විශේෂ ස්තූතිය හිමි වන අතර, තිරයෙන් පිටුපස සිට මගේ ලිපි සියල්ලේ ගුණදොස් නිර්දය ලෙස විවේචනය කරන ඇල්කෙමිච්චියට කිව නොහැකි තරම් ස්තුතියක් හිමි විය යුතුය (නැත්තං ඉඳලා හමාරය).

ඉදින්, තවදුරටත් කාළය මට ඉඩ ලබා දෙන ආකාරයට විවිධාකාර ලිපි හරහා මෙන්ම පිටස්තරයා විද්‍යා ප්‍රබන්ධයේ තවත් කොටස් හරහා ඔබ හමු වීමට අදහස් කරමි.

ස්තූතියි.

ඇල්කෙමියා.

2012 ඔක්තෝබර් 26 : මේ මමයි…. මගේ ජීවිතයයි…. මගේ ඉට්ටැයිල් එකයි….


කාලෙකට පස්සෙ මම මගේ ජීවිතයෙ කොටසක් ගැන දිනපොතේ ලියනවා….. දිනපොතක් වුනාම ඉඳලා හිටලාවත් තමන් ගැනත් ලියන්න එපා යෑ…. නැද්ද මං අහන්නෙ ? සමහර විට ඔබට මතක ඇති මම පසුගිය වතාවෙ ලංකාවට ගිය වෙලාවෙ අතින් සල්ලි දීලා හරක් බලපු කතාවක් කිවුවා.. ඒ කියන්නෙ මගේ උවමනාවටම මමම වියදම් කරගෙන ගිහින් කරපු සමාජ සත්කාරයක්…

මම නම් රසායන විද්‍යා ආයතනයේ වැඩමුළුවක් කළා ළමයි 25 දෙනෙකුට Presentation කරන හැටි කියලා දෙන්න.. ඒ 25 දෙනාගෙන් 10 දෙනෙක් තමන්ගේ පර්යේෂණ වලට අදාලව ඉදිරිපත් කිරීම් කළා… මට හිතෙනවා මම ඒ අයට යමක් ඉගැන්නුවා කියලා….. ඒ අයගෙ ප්‍රතිචාර වලින්ම… අවසාන දවසෙ ඒ අය අපි ඔක්කොගෙම පින්තූරයක් අරගෙන මට වතුර බොන කෝප්පයක් හදලා දුන්නා ඒ පින්තූරෙ තියෙන… කට්ටිය මතක් වෙන්න…
මම හිතනවා ඒ අය හොඳට තම තමන්ගේ presentation කරාවි කියලා….

ඉතිං ඔය සත්කාරයෙ ප්‍රතිඵල ආවෙ අදයි… එක අතකට මට බොහොම සතුටු දවසක්… වැපිරූ බීජ වල අස්වැන්න මේ වගේ ලැබෙන කොට ඕනම ගොවියෙකුට තවත් වගා කරන්න හිතෙන එක අහන්න දෙයක් නොවෙයි.

මම ලංකාවට නිවාඩුවට ගිය හැම වතාවකම රසායන විද්‍යා ආයතනයේ සිසුන් වෙනුවෙන් පර්යේෂණ පිළිබඳ සම්මන්ත්‍රණ පවත්වලා තිබෙනවා. ඒ වගේම පශ්චාත් උපාධි අධ්‍යාපනය ගැනත් දේශන පවත්වලා තිබෙනවා. ඒ නිසාම පශ්චාත් උපාධිය හදාරන්න යොමු වෙච්ච අයත් ඒ අතර ඉන්නවා. පෞද්ගලිකව මම උදවු කරපු කිහිප දෙනෙක්ම සාර්ථකව ආචාර්ය උපාධි අරගෙන මටත් වඩා හොඳ තැන්වල ඉන්නවා. ඒ අතරින් එක් තැනැත්තියක් නිවුයෝක් නුවර විශ්ව විද්‍යාලයක සහකාර මහාචාර්ය වරියක්, තවත් තැනැත්තියක් පර්යේෂණ ආයතනයක විද්‍යාඥ වරියක්, තවත් කෙනෙක් ටෙක්සාස් වල තෙල් සමාගමක රසායනඥයෙක්. තවත් කෙනෙක් ඕස්ට්‍රේලියාවෙ ආචාර් උපාධිය නිම කරනවා. තවත් කෙනෙක් කැනඩාවෙ ආචාර්ය උපාධිය නිම කරනවා. මේ මම ඍජුව දායක වෙච්ච ජීවිත. ඔබ දන්නා ජනප්‍රිය බ්ලොග් තරුවකටත් මම උදවු කරන්න උත්සාහ කළා… නමුත් ඔහු මම උදවු කළ තැනටත් වඩා හොඳ තැනකට ගියා… ඒ ගැන මම බොහොම සතුටුයි. මම යුනිලීවර් ආයතනයෙන් පිටවෙනකොට එතැන දොර ඇරලා දීපු දෙදෙනෙකු දැන් ඒ ආයතනයේ බොහොම ඉහළ තැන්වල.. මේ හැම දෙනාම ඉන්න තැන් මට වඩා ඉහළයි.. පහන් කන්ද පාමුල අඳුරු වුනාට පහන් කන්දට ප්‍රශ්නයක් නෑ..  ඔවුන් ඉහළට ගිහින් හොඳින් වැජඹෙනවා නම් ඒ ඇති. ඔවුනුත් අනුන්ට උදව් කරලා තවත් ජීවිත එළිය කරනවා නම් ඊටත් වඩා හොඳයි… ඒ මම හිතන හැටි.

ඉතින් මම මේ වතාවෙ ලංකාවට ගියේ දිගු නිවාඩුවකට. ඒ නිසාම රසායන විද්‍යා ආයතනයේ සිසුන්ට එක දවසකට වඩා වැය කරන්න මට හැකියාව තිබුණා. ඔවුන් වෙනුවෙන් මම මේ වතාවෙ සංවිධානය කළේ Presentation Methods කියන වැඩමුළුව. දිනකට පැය දෙක ගණනෙ දින පහක් එක දිගට තිබුණ මේ වැඩමුළුව සමහර දවස්වල පැය තුනක් හතරක් දක්වා විහිදුනා. අවසානයේ සිසුන් 8 දෙනෙකුගේ පර්යේෂණ පිළිබඳ ඉදිරිපත් කිරීම් එළියට ගන්නට මට හැකි වුනා පමණක් නොවෙයි ඔවුන් ඒ සඳහා පුහුණු කරවන්නටත් හැකියාව ලැබුණා. ඔවුන් සියළුම දෙනා ඒ තමන්ගේ පර්යේෂණ ඉදිරිපත් කර තිබුණේ අද.. ඉතින් ඒ අවස්ථාවෙ ගනිපු පින්තූරත් එක්ක ඔවුන් මාවත් අමතක කරලා නැහැ. එදා වැඩමුළුව අවසානයේ මාත් සමඟ ගනිපු පින්තූරයම අද මා නොමැතිව – නමුත් මගේ ඉඩ මාවෙනුවෙන්ම තබා ඔවුන් නැවත අරගෙන තිබුණා…

මේ තියෙන්නේ ඒ පින්තූර දෙක…

පෙර සහ පසු

ඉතින් මට සන්තෝෂ ඒ ගැන පමණක්ම නොවෙයි. ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් මට යමක් කරන්නට පුළුවන් වීම ගැන.. ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් කිසියම් දායකත්‍වයක් වෙන්නට පුළුවන් වීම ගැන. මගේ දැක්ම  මේ බ්ලොග් අඩවියේ ඉහළින්ම තිබෙනවා. මම හිතන අන්දමට දැනුම කිසිදාක බෙදා නොගත්තොත් ඒ දැනුමෙන් ඇති පලක් නැහැ. තමාත් සමඟම ඒ දැනුමත් මියෑදෙනවා. තමන් මියෙන්නට පෙර ඒ දැනුම ඊලඟ පරම්පරාව වෙත යැවීමක් කළේ නැතිනම් තමන් ඒ ජීවත් වූ කාළයෙන් වැඩක් වෙන්නෙ නැහැ. ඒ නිසාම තමයි කිසිදු ගුරු මුෂ්ඨියක් නොතබාගෙන මගේ දැනුම බෙදා හරින්න මම උත්සාහ කරන්නෙ…

මේ තියෙන්නෙ ඔවුන්ගෙන් කෙනෙක් මට එවූ ඊයක්

“Dear sir,
Finally its over………..in fact in a very good way. The research sessions went really well. we all did our best to make you proud. talking about myself, the lecturers at the audience said ”well done” including Prof. G.(Edited for privacy) and my supervisor was really happy as well, she said that we’ll be publishing my research soon. the panel asked some questions about commercializing my product and I managed to answer them well (I guess)……….Thanks a load sir, none of this would have been achieved without your guidance……!
with best regards,
H (Edited for privacy)”

ඒත් අපේ සමහර ඇත්තන් නම් හිතන්නෙ මම බොහොම අමාරුවෙන් ඉගෙන ගත් නිසා අනුන්ටත් ඒ අපහසුවම රැගෙන ඉගෙන ගත යුතුයි කියලා. හිතන්න, ඔවුන් ඔබ ඉගෙන ගත් දේම සෑහෙන කාළයක් බොහොම අමාරුවෙන් ඉගෙන ගනිද්දී ඔබ ඒ සියල්ල දැනගෙන පැත්තකට වෙලා ඉන්නවා. නමුත් ඔවුන්ට අළුත් දෙයක් ඉගෙන ගන්න තවත් කාළයක් වැය කරන්න වෙනවා. ඔබ ඔවුනට ඒ දේවල් කියා දුන්නා නම්, ඔවුන් බොහොම කෙටි කාළයකින් තවත් දේ ඉගෙන ගන්නවා නේද ? සමහරවිට ඒ ඉගෙන ගත් දේ ඉතා වැදගත් දෙයක් වන්නටත් පිළිවනි.

ඉතින් මට ඉඩ ලැබෙන හැම වෙලාවකම මගේ දැනුම බෙදා ගන්න උත්සාහ කරන්නෙ ඒකයි. මම ඔබව දැනුවත් කරන්න ලිපි ලියද්දි මම කොච්චර දැනුවත් වෙනවාද කියලා මටම පුදුමයි. සමහර ලිපි වෙනුවෙන් පසුබිමට තවත් ලිපි දහයක් පහලොවක් පමණ කියවන්නට මට අවස්ථාව ලැබෙනවා. ඒ හැම දෙයින්ම වෙන්නෙ මම තවත් දැනුවත් වීම. මම  බ්ලොග් ලියන්නන්ට  ගෞරව කරන්නෙ ඔවුන් තමන් සතු දැනුම තම සීමා මායිම් වලින් ඔබ්බට විහිදුවන්න කරන වෑයම වෙනුවෙන්. කතන්දරයක් හෝ වේවා, අත්දැකීමක් හෝ වේවා ඒ සියල්ලෙන් දැනුවත් වෙන්නෙ ඒ ලිපි බලන පාඨකයා. ඒ නිසාම මම බිලොග් ලියන ඔබ වෙනුවෙන් හිස නමා ආචාර කරනවා.

දැනුම බෙදන්න බෙදන්න ඔබ මිනිසුන් එකතු කරගන්නවා 

දැනුම බෙදන්න බෙදන්න ඔබ තරහකාරයින් අඩු කරගන්නවා. 

දැනුම බෙදන්න බෙදන්න ඔබ ඔබට ආදරය කරන අය වැඩි කරගන්නවා.

දැනුම බෙදන්න බෙදන්න ඔබ ඔබේ ජීවිතය අනිත් අයත් එක්ක බෙදා ගන්නවා.

ඒ නිසාම, කවදාක හෝ ඔබ මිය ගියාම ඔබත් එක්ක යන්න එන්නෙ ඔබ එකතු කරන සල්ලි නොවෙයි.. ඔබ වෙනුවෙන් ඔබට ආදරය කරපු මිනිසුන් හෙළන සුසුම්, ඔවුන්ගේ මතකයන්….

ඔබ අනුන්ට සේවයක් කරන්නට ඔබ දේශපාලනඥයෙක් හෝ සමාජ සේවකයෙක්ම වෙන්න අවශ්‍ය නැහැ. ඔබේ ඉඩ තිබෙන කාළයෙන් පොඩිත්තක් අනුන් වෙනුවෙන් වැය කරන්න… කොහොමත් දේශපාලනඥයො ඉන්නෙ අනුන්ට සේවය කරන්න නෙවෙයිනෙ. බලන්න ඔබ අවට බොහෝ දෙනෙකු ඇති ඔබේ සේවය අවශ්‍ය, සමහරු උදවු ඉල්ලන්න බයයි. තවත් සමහරු ලැජ්ජයි.  මේ වගේ සංස්කෘතික බැමි වලින් හැමදාම අපි බැඳිලා ඉන්නෙ… ඔබයි සේවයක් ලබා දෙන්න ඕන… සමහරවිට ඔබ හිතනවා ඇති ” ඇයි මම පැනලා දෙන්නෙ ?” කියලා… අපි ආත්මාර්ථකාමී වෙන්න වෙන්න සමාජයත් අපට ආත්මාර්ථකාමී වෙනවා.. ඔබ යමෙකුට උදවු කළොත්, එය පෙරළා ඔබට නොලැබෙන්න පුළුවනි, නමුත් අර උදවු ලබපු පුද්ගලයා වෙනත් කෙනෙකුට කරන උදවුවක් මාර්ගයෙන් ඔබට යමක් ලැබෙන්නට පුළුවනි.

එක්තරා පුද්ගලයෙකු දිනක් පාළු පාරක වාහනයෙන් යද්දි අතරමඟ වාහනයක් නවතාගෙන එය පරීක්‍ෂා කරමින් හිටපු පුද්ගලයෙක් දැක ඒ අසලින් නැවැත්වූවා. වාහනයෙන් බැස ගිය ඔහු දුටුවෙ ඒ වාහනය ක්‍රියා විරහිත වී ඇති බවයි. ඒ පුද්ගලයා ශල්‍ය වෛද්‍යවරයෙක් බවත් ඔහුට ඉක්මනින් රෝහළට යා යුතු බවත් අර පුද්ගලයාට දැන්වූවා. ඒ පුද්ගලයාත් නගරයට යන නිසාම ඒ වෛද්‍යවරයා රෝහල අසලින් දමාගෙන යාමට ඔහු එකඟ වුනා. රෝහල අසලින් වෛද්‍යවරයා ඇරලූ ඔහු නගරයට යනවිට ලැබුණ දුරකථන ඇමතුම ඒ තරම් සුබදායී එකක් නොවෙයි. ඒ ඔහුගේ පුතා රිය අනතුරකට ලක් වී රෝහල්ගත කර ඇතිබව.. වහාම ඔහු රෝහලට යනවිට ඔහුගේ පුතා ශල්‍යාගාරයට රැගෙන ගොස් තිබුණා. අවසානයේ ශල්‍යාගාරයේ දොර හැරගෙන ආවෙ අර මුලින් ඔහු උදවු කළ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා. ඔහු බොහොම අමාරුවෙන් අර පුද්ගලයාගේ පුතා බේරගෙන තිබුණා. අර මුලින් උදවු කළ පුද්ගලයා කිසි විටෙක හිතන්න නැතුව ඇති තමන් කළ සුළු උපකාරයට මේ ආකාරයෙන් ප්‍රතිඋපකාර ලැබෙයි කියලා… නමුත් ඒ දේවල් එහෙම වෙන්න පුළුවනි.

මේ කතාව ගෙතූ එකක් වෙන්න පුළුවන්.. නමුත්, මේ වගේ සත්‍ය සිදුවීම් අනන්තව ලෝකයේ සිදු වෙනවා.

ඉතින් ඔබම හිතන්න… ඔබ සල්ලි අරන් පරළොව යනවාද, නැතිනම් ඔබට ආදරය කරපු මිනිසුන්ගේ සුසුම් අරන් – මතකයන් අරන් පරළොව යනවාද කියා, …

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මේකම Blogger.com එකෙත් තියෙනවා.

2012 ඔක්තෝබර් 08 : ලිපි 300 ක්, ප්‍රතිචාර 2000 ක්, සමඟ ඉදිරියටත් ඔබ අතරට


ඇල්කෙමියාගේ රසායනාගාරය මුලින්ම ආරම්භ කළේ ඔබ අතරට සාමාන්‍යයෙන් නොඑන විද්‍යාත්මක පසුබිමක් ඇති පුවත්, ලිපි රැගෙන ඒමේ අභිලාශයෙන්.. ඉතින් නිතරම නොවුනත් එය ඒ විදියටම සිදු වුනා… ඒ වගේම ඇල්කෙමියාගේ දිනපොත පටන් ගත්තෙ එදිනෙදා දේ මෙන්ම කිසියම් දැනුමක් ඔබ කරා ගෙන එන්න… පසු කාලීනව වැඩ වැඩි වෙද්දි ඇල්කෙමියාගේ රසායනාගාරයට අවධානය ටික ටික අඩු වෙලා දිගටම දිනපොත ලියැවෙන්න ගත්තා… ඉතින් ඒ දිනපොතේ තුන්සිය වන ලිපිය ඊයෙ ලියැවුනා….

අවුරුදු එකහමාරක් පමණ වයසැති මේ දිනපොතෙන් ලිපි 300 ක් ලියැවුනා කිවුවාමත් පුදුමයි… ඒත් ඇත්තයි…

මේ ලිපි 300 න් 10% ක් පමණ වැදගත් ලිපි ලියැවුනත් සමහරක් නම් නිකම්ම නිකං දේශපාලන ප්‍රලාප…. ඒ ගැන සමාව අයැදිනවා…

ඉතින් ආයෙම හෙට දිනයෙත් මතු දිනවලත් දිගටම ලිපි ගෙන ඒවි.. ඉඳලා හිටලා දේශපාලන ප්‍රලාපයක් ලියැවුනත් වැඩි වැඩියෙන් අධ්‍යාපනික වටිනාකමක් ඇති දේ ගෙන එන්නත් බලාපොරොත්තු වෙනවා. සමහරවිට ඇල්කෙමියාගේ රසායනාගාරයේ තිබූ ලිපි නැවතත් මේ අඩවියේ පළවේවි දැනුම බෙදා ගැනීම උදෙසාම…

ඉතින් මෙතෙක් කළක් මා සමඟ හිටි ඔබ සැමටත්, මගේ ලිපි වලට ප්‍රතිචාර පළ කරමින් මා දිරිමත් කරවන මගේ මිතුරන්ටත්, මට හොඳම පර්යේෂණාත්මක සහ ගවේෂණාත්මක බ්ලොග් අඩවියට හිමි සම්මානය දුන් බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙලේ සංවිධායක මඬුල්ලටත් මගේ අවංක ආදර ස්තුතිය පිරිණමනවා…

හෙට ආයෙම හමුවෙමු…..

2012 මැයි 03: ඇල්කෙමියාගේ රසායනාගාරය දැන් වැඩ…. මෙන්න පළමු ලිපිය.


ඇල්කෙමියාගේ රසායනාගාරය නැවත විවෘත කරන බවට ඔබට දුන් පොරොන්දුව ඒ අයුරින්ම ඉටු කරමින් Population Boom and the Future of Energy Crisis. යන මාතෘකාවෙන් ලියැවුන ලිපිය ඇල්කෙමියාගේ රසායනාගාරයේ පළ වී ඇත.

වැඩිදුර විස්තර සඳහා  මෙතැනින් බලන්න.

ලිපිය දිගු වැඩි වන නිසා කෙටි ලිපි කිහිපයකට කඩා ලියන්නට අදහස් කළෙමි.

ඉදිරියේදී තවත් ලිපි ලියැවේවි.

2012 අප්‍රේල් 28 : ඇල්කෙමියාගේ රසායනාගාරය ආයෙමත් විවෘත කරන්නයි යන්නෙ…


ඇල්කෙමියට පොත් කියවන්නයි ලිපි ලියන්නයි තියෙනවා නම් වෙනත් මොකුත් ඕන නෑ.. කවුරු හරි කන්න ගෙනැත් දෙනවා නම්, සහ ජීවිතේ ගැට ගහගන්න සල්ලි හොයලා දෙනවා නම් ජීවිත කාලෙම ලිය ලිය ඉන්න පුළුවන්.  ලියන්නෙ නම් බොහෝ දුරට සිංහලෙන්.. නමුත්  ඇල්කෙමියාගේ රසායනාගාරය යනුවෙන් මුලින්ම මා පටන් ගත් බ්ලොග් අඩවිය ඇල්කෙමිච්චි ඇතුළු මගේ පාට පාට පාඨක පිරිසගේ ඉල්ලීම නිසා නැවතත් විවෘත කරන්නයි හිතාගෙන ඉන්නෙ. නමුත් මේ වතාවෙ නම් එය වෙනස් ආකාරයක් ගන්නවා.

සිංහලෙන් ලියන්න ඇල්කෙමියාගේ දිනපොත තිබෙන නිසා ඇල්කෙමියාගේ රසායනාගාරය ඉංගිරිසියෙන් ලියන්නයි හිතාගෙන ඉන්නෙ. වැඩ වශයෙන්ම මේ ලිපි රසායන විද්‍යාවට සහ පරිසරයට අදාලව ලියැවේවි.

ඉතිං තවමත් ඒ ගැන සිතාගෙන ලිපියකට කරුණු එකතු කරමින් පවතින නිසාත්, අතරමග හදිසියෙම ඇත්තම රසායනාගාරයේ ඉක්මනින් අවසන් කරන්න ඕන වැඩක් පංගාර්තු වුන නිසාත්, ඇල්කෙමියාගේ රසායනාගාරයේ නැවත විවෘත වීම  තරමක් කල් යාවි. නමුත් ළඟදිම යමක් ලියැවේවි… සිංහලෙන් ලියැවෙන දේවල් බොහොමයක් දිනපොතේ ලියැවේවි.

පස්සෙ හමුවෙමු….

%d bloggers like this: