Blog Archives

2012 මාර්තු 23: ජිනීවා කෙළියෙන් උගතහැකි පාඩම්… සහ ෆේස්බුක් දේශප්‍රේමය……


පසුගිය සති දෙක පුරාවට සකල සිරින් පිරි සිරි ලංකාවේ හැම දෙනාම දන්නා අඳුනන නගරයක් වූයේ ජිනීවා නගරයයි. තියෙන්නේ කොහේද කියා නොදනිතත්, ජිනීවා කියා එකක් තිබෙන බවත්, එහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයක් පැවැත්වෙන බවත්, කොළඹ හතේ මැටිල්ඩා මෙන්ම මහවිලච්චියේ බබුන් සීයා ද දැනගත්තේ අපේ කට්ටිය දිවා රෑ වෙහෙස වී ඒ පිළිබඳ දැනුවත් කළ නිසාවෙනි. රජයේ මෙන්ම විපක්‍ෂයේද දෛවඥයන් පැවසූ සියළුම අනාවැකි පසක් කරමින් ලංකාවේ ආණ්ඩුව ජිනීවාහිදී පරාජයට පත් වූයේ ඊයේ බංගලිදේශය පකිස්ථානයට පරාජය වූවාට වඩා එක ලකුණකිනි. (24-23) (සමහරු නම් කියන්නේ ඡන්දය දීමෙන් වැලකී සිටිනවා යනු අපට කැමති වුනත් ඇමරිකාවට බය නිසා පැත්තක් නොගෙන සිටීම කියාය – ඒ නිසා ඒ ඡන්ද ගොඩත් අපිටම දමා ගෙන හිත හදාගන්නවා – හරියට ලංකාවෙ ඡන්ද කරනවා වගේමයි) ඒ කොහොම වුනත් දැන් ඡන්දය පරාදය… ඒ අනුව ලංකාවේ ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය කියන දේ පිළිගන්න වෙනවාය. ගොසිප් ලංකා වෙබ් අඩවියට අනුව නම් ලංකාවේ ආණ්ඩුවට මොකුත් වෙන්නේ නැති බව ජනාධිපතිතුමාම කියා ඇත… ඒ නිසා අහක යන බල්ලෝ ඇමරිකාවට බිරුවේ අපරාදේ යැයි දැන් සිතේ.

සමහරු හිටු කියා අපට ඡන්දය දුන් අයට ස්තුති කරමින් ෆේස් බුක් එකේ දේශප්‍රේමය පතුරති. තවත් සමහරු ඊමේල් මාර්ගයෙන් අනේ මේකත් බෙදා ගන්න යැයි ආයාචනය කරති…  තවත්සමහරු විවිධාකරයෙන් තමන්ගේ දේශප්‍රේමය අන්තර්ජාලයේ පතුරවති. ඒ කෙසේ වුනත් කිසි කෙනෙකු මේ ප්‍රශ්නයේ ඇතුලාන්තය හරි හැටි විග්‍රහ කරනවා දැයි මට සැකය…

තිස් වසරක යුද්ධයක් සහ ලෝකයේ භයානකම ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කිරීම අප වැනි පුංචි රටකට අපහසු වුවද, රටේ නායකත්‍වය වෙනත් රටවල සහයෝගය ඇතිව හෝ නැතිව (විවිධ අවස්ථාවල විවිධ කණ්ඩායම් විවිධ දේ කියන නිසා මේ පිළිබඳ පැහැදිලි නිගමනයකට ඒමට නොහැක – එසේ නමුත් පිටරටවල සහය නොලැබුණා යැයි කීමට අපහසුය) සහ පිටරටවලින් එන දැඩි පීඩනය සමනය කරගනිමින් යුද්ධය අවසාන කිරීම මේ රටේ භාග්‍යයක් මෙන්ම ඒ සඳහා උර දුන් ජනාධිපති තුමාගේ සිට සාමාන්‍ය සෙබලා දක්වා  වූ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ විවිධ නිලධාරීනට රටක් වශයෙන් ප්‍රණාමය සහ භක්තිය පිරිනැමුවෙමු. කවුරු කෙසේ කීවත් ඒ යුද්ධයට දේශපාලනමය වශයෙන් ජනාධිපතිතුමා, ජනාධිපති ලේකම් තුමා, බැසිල් රාජපක්‍ෂ මැතිතුමා සහ විදේශ ඇමතිතුමා ආදී ස්වල්පයක් දෙනා ද, සම්බන්ධීකරණයෙන් සහ උපායමාර්ගික වශයෙන් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ද, නායකත්‍වයෙන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මැතිතුමා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු සෙසු නිලයන් නොවන්නට එය එක් පුද්ගලයෙක් විසින් කරනලද කර්තව්‍යයක් නොවන බව බොහෝ දෙනා හිත යටින් දනිතත්, දැන් දැන් තමන්ගේ දේශපාලන කුහකකම් එළියට පැමිණීම නිසා එකළ මේ සියල්ලන්ටම සහයෝගය දුන් අය පවා පැති බෙදී තමන්ගේ අයව පමණක් වර්ණනා කරනු දැකිය හැක. එය අතිශය කණගාටුදායක තත්ත්‍වයකි.

යුද්ධයක් යනු මල්වට්ටි රැගෙන පන්සල් යන අන්දමේ සාමකාමී ක්‍රියාදාමයක් නොවන බව පොඩි එකෙකුට වුවද වටහා ගැනීම අපහසු නොවේ. වසර 30 ක් පුරා පැතිරුණ මේ යුද්ධයේදී අගතියට පත් පාර්ශව ගණනාවකි. රටේ අනාගතය භාරගත හැකිව තිබූ ප්‍රධාන දේශපාලනඥයන් සියල්ලම පාහේ මියගියේ මේ යුද්ධයට බිලි වීමෙනි. යුද්ධයට කිසි අයුරකින් සම්බන්ධයක් නොතිබූ අහිංසක ජනතාව  බුරුතු පිටින් මියගියේද මේ යුද්ධයේ ආනිසංසයෙනි. ළමා ළපටින්, කාන්තාවන් හෝ ආබාධිත යැයි කිසිදු වෙනසක් නැතිව සියළුම දෙනා මොහොතකින් මරු කරා රැගෙන ගියේ මේ යුද්ධයෙනි. මිනිසාගේ හැඟීම් දවා අළු කර, ලාංකිකයා හැඟීම් නොමැති පිරිසක් බවට පත් කළේද මේ යුද්ධයයි. මේ යුද්ධය නිසා අගතියට පත් වූයේ සිංහලයන් පමණක් නොවේ. ද්‍රවිඩයන් සහ මුසල්මානුවන් පවා මේ යුද්ධයෙන් ගැලවුනේ නැති. මේ සියල්ලම යුද්ධයට කෙළින්ම සම්බන්ධයක් නැති අය වුනත්, කෙළින්ම සම්බන්ධ වූ සොල්දාදුවන් සහ නිලධාරීන් සියල්ලම අකාලයේ දිවි පිදුවේ, ආබාධිත වූයේ මේ යුද්ධයට සාපකරමිනි. තමන්ගේ උපදින්නට සිටින දරුවා නොදැක මියගිය පියවරුන්, විවාහයෙන් දින කීපයකට පසු මියගිස සැමියන්, විවාහයට දින කීපයනට පෙර මියගිය පෙම්වතුන් නිසා අසරණ වූ පවුල් සාප කරන්නේ ද මේ යුද්ධයටය.

මේ යුද්ධය බොහෝ දෙනෙකුට සාපයක් වුවද, එය නිධානයක් වූයේ එය වවාගෙන කෑ ආයුධ වෙළඳුන්, යුධ සැපයුම් කළ වෙලෙන්දන් සහ අත යටින් බොහෝ දේ ලබා ගත් දේශපාලනඥයින් ස්වල්පදෙනෙකුට සහ වැඩි වශයෙන්ම යුද්ධය විකුණාගෙන කෑ රාජ්‍ය නොවන සංවිධාන ගොන්නකටය. එවැනි ජඩයන් නොවන්නට මේ යුද්ධයේ අවසානය බොහෝ කාලයකට පෙර දකින්නට තිබුණ බව මට හැඟේ. යුද්ධයක් ඇති විට ත්‍රස්තවාදීන් පමණක් තෝරා බේරා ඝාතනය කිරීම කල හැක්කක් නොවේ. කවුරු කෙසේ කීවත්, මානුෂික මෙහෙයුමක් නොව සීල ව්‍යාපාරයක් කියා නම් කෙරුවත්, යුද්ධයකදී සාමාන්‍ය වැසියන් ඝාතනය වීම, සමහර විට යුධ අපරාධ සිදු වීම වැලැක්විය හැක්කක් නොවේ. පෘත:ජන මිනිසුන් වන සොල්දාදුවන් මෙන්ම ත්‍රස්තවාදීන්ද බොහෝ විට සටන් කරන්නේ තමන්ගේ යුද්ධයක් නොවේ. ත්‍රිවිධ හමුදාවට බැඳුන පසු සහ ඒ මානසික්‍වය මත දේශානුරාගය ඇවිලී රට වෙනුවෙන් දිවිපිදුවද, බොහෝ සොල්දාදුවන් සාමාන්‍ය නිලයනට බැඳීමේ මූලික පරමාර්ථය ස්ථිර ආදායමක් ලබා ගැනීම නොවන්නේ යැයි කිසිවෙකුට තර්ක කළ නොහැක. අට පාස් තරුණයන්ට ඇඟළුම් කම්හලක රැකියාව කරනවාට වඩා ගරුත්‍වයක් ඇතිව හමුදාවේ සේවය කිරීම සහ ඒ මගින් ලැබෙන වෙනත් දීමනා, ආදිය බොහෝ විට මේ තත්ත්‍වයට හේතු විය හැක. මේ කරුණ හෙළි කිරීම නිසා සමහරවිට දේශප්‍රේමීන් මා මරා කන්නට තැත් තළත් සත්‍යය මෙයයි. මේ යුද්ධය අවශ්‍ය වූයේ දේශපාලනඥයන්ට සහ ත්‍රස්තවාදී නායකයන්ට විනා සාමාන්‍ය අසරණ සිංහල හෝ ද්‍රවිඩයන්ට මේ යුද්ධය අවශ්‍ය වූවා යැයි කෙනෙකුට සාධාරණ තර්කයක් ගෙන ඒමට නොහැක. යුද්ධය වවාගෙන කෑවේ දේශපාලනයයි. වරෙක දිගුදුර මෙහෙයුම් බලකායෙන් ඉලක්ක කර තිබූ කොටින්ගේ දෙවනියාව සිටි කරුණා විනාශ කිරීමේ අනුමැතිය ලබා දීමට එකළ සිටි ජනපතිනිය මැලි වූයේ යැයි රාවයක් පැවතුනි. කොටින්ට ආයුධ සහ සිමෙන්ති  දුන් ප්‍රේමදාස මහතා කොටින් අතින්ම ඝාතනය වූයේද ඒ වවාගෙන කෑමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

කෙසේ වුවත් යුද්ධය අවසන් විය. ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සහ විශේෂයෙන්ම නෝර්වේ හි දේශපාලනඥයන් කොටි රෑන බේරාගැනීමට වලි කෑවේ නිකම් නොවේ. කොටින්ගේ ප්‍රචාරක ජාලය ලොව අස්සක් මුල්ලක් නෑර ක්‍රියාත්මක වීමත්, අල්ලාගත යුතු ලොකු අතු සියල්ල කොටින් විසින් අල්ලාගෙන නතු කර ගැනීමත් නිසාය. ඇමරිකාවට ඉන්දීය සාගර කලාපයේ බලතුලනය පිළිබඳ තිබූ දෙගිඩියාව නිසාද මේ ප්‍රශ්නයට අත දැමීමට හේතුවක් විය. කෙසේ වුනත් අපි ගොඩබිම යුද්ධයෙන් දිනුවද, ප්‍රචාරක යුද්ධයෙන් නම් සිටියේ බොහෝ පිටුපසිනි. මේ නිසාම ජීවත්ව සිටි කොටියාට වඩා  මියගිය කොටියා බලවත් විය. රට සංවර්ධනය කිරීම ප්‍රධාන අරමුණ වුවත් මහින්ද රාජපක්‍ෂ රජය තමන්ට බෙදා ගැනීම සහ සියල්ල දේශපාලනීකරණය කරගැනීම නිසා තානාපති ජාලයද තම හෙංචයියනට භාර දීමෙන් වගකිවයුතු සහ සුදුසුකම් ඇති දක්‍ෂ පුද්ගලයින් ඒ ඒ තනතුරු වලට පත් කිරීමට අපොහොසත් වීම නිසා විදේශීය ප්‍රචාරණ ජාලයේ අඩපණ වීමක් ඇතිවූ බව පෙණුනි. මේ තත්ත්‍වය තවත් වර්ධනය වෙමින් රජයේ ඉහළ තනතුරු පවා සුදුසුකම් නොමැති හෙංචයියන්ටම ලැබීමෙන් රටම අවුල් ජාලයක් වී ඇති සෙයක් පෙනේ.

රටේ බොහොමයක් අපරාධ කෙරෙන්නේ දේශපාලන‍ඥයින් අතිනි. ප්‍රාදේශීය දේශපානඥයන් 40 කට වැඩි සංඛ්‍යාවක් මත් ද්‍රව්‍ය ප්‍රවාහණය කරන බව දැනගන්නට ලැබී ඇත.. වැටත් නියරත් ගොයම් කන විට ජනතාවට වැට සහ නියර කඩා දැමීම හැර වෙනත් විකල්පයක් නොමැත. ඒ මදිවාට රටේ වැදගත් යැයි කියාගන්නා ඇමතිවරු මී හරක් කතා කියමින් ජනතාවට විහිළු සපයති. එකෙක් ඇමරිකානු භාණ්ඩ වර්ජනය කිරීමට කතා කරන අතර රටේ අධ්‍යාපනය භාරව සිටින (මොළයක් ඇතැයි සිතා සිටි ) ඇමතිවරයා රටේ ජනතාවට (තුන් දෙනෙකු සිටින පවුලකට) රුපියල් 7500 කින් මසකට ජීවත් විය හැකි බවට බූරු කතාවක් ද කියා තිබේ. එකම පක්‍ෂයේ දෙදෙනෙකු වෙඩිතියාගෙන කෙනෙක් මියගියේත් අනෙකා මන්දබුද්ධික ආබාධිතයෙක් වුනේත් මේ ඇස් පියාගෙන සිටීමේ ප්‍රතිපත්තියේම ප්‍රතිඵලයකිනි. ගාල්ලේ මන්ද බුද්ධිකයෙක් පලාතේ සමුපකාරයකවත් ඡන්දයක් නිදහසේ තැබීමට ඉඩ ලබා දී නැත. කැළණියේ දුටුගැමුණු  රජතුමාට දූෂණ චෝදනා තිබුණත් එතුමා ද යහතින් වැජඹෙති. අසරණ සරණ ගුණවර්ධන මහතා ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබා ගන්නා බවට චෝදනා එල්ල වී ඇත. කවදාවත් නැතිව දියවඩන නිලමේ තුමාට ද චෝදනා එල්ල වී ඇත.  දූෂණ චෝදනා ලැබූ මහනුවර දේශපාලනඥයෙකු ජනාධිපති සමාවෙන් නිදහස ලැබූයේ මේ රටේ ය. රටේ එළවළු මිල අස්ප ගණන් වුනත් කිලෝ දාස් ගණනින් එළවළු ඉවත දමන්නේ ගොවියන්ට එළවළු විකුණාගත නොහැකි නිසාය.. රටම නුහුලන ද්විත්ව ඝාතනයකට ඇමතිවරයෙකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ද හවුල්ය. තංගල්ලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු දේශපාලන මහත්වරු විදේශීය සංචාරකයෙකු පරලොව යවා ඔහුගේ පෙම්වතිය කන්‍යාවියක් කළේ ද මේ ජඩ දේශපානයේම ඓශ්චර්යයෙනි. තවත් ප්‍රාදේශීය දේශපාලනඥයෙක් අවුරුදු 19 ක දැරියක් රැයක් පුරා දූෂණය කර ඇත. රටේ මුදුන් මල්කඩ වූ මහනුවර දෙවනත් කරමින් ලෝකයේ සමහර රටවල තහනම් කරන ලද වීදි රේස් තරඟ පවත්වන්නේ රාජ්‍ය අනුග්‍රහය මතය.  තවත් බොහෝ දේ ඇත…. කියුවාට වැඩක් නැත…

මේ සියල්ලෙන් පිළිබිඹු වන්නේ රට වැටී ඇති අගාධයයි. සංස්කෘතිකව මෙන්ම අධ්‍යාත්මිකව ද අපි අගාධයකට යමින් පවතී. ලක්‍ෂ පහක් හා රන් කඩුවක් ලබා ගැණීමට තමන් හා බොහෝ සේ කුළුපගව සිටි හාමුදුරුවන් දෙනමක් ඝාතනය කළේ දේවාලයක බස්නායක නිලමේ කෙනෙකි… ඒ අපි වැටී ඇති අඝාධයේ පතුල නොවේ… ඉදිරියේ දී මීට වඩා පොළව නුහුලන අපරාධ අසන්නට ලැබෙනවා ඇත. අපි ඒ බලාගෙන කරකියාගත හැකි කිසිවක් නැතිව සිටිමු.  ඒ සියල්ලම මැද පාලකයන් මර නින්දේ ය… ඔවුනට තමන්ගේ මඩිය තර කරගන්නවා හැරෙන්නට සිතන්නට දෙයක් නැත.  මේ සත්‍යයයි… අපි මොනවා ලියුවත් මේ අයට ඒවා පෙනෙන්නේ නැත. අපේ හිතේ දුකට මෙසේ ලියනවා ඇරෙන්න වෙනත් කරන්නට දෙයක් නැත. විපක්‍ෂය කුලල් කා ගැනීම හැරෙන්නට වෙනකක් කරන්නේ ද නැත. උන්ට තමන්ගේ පක්‍ෂයේ නායකත්‍වයට  පොරකනවා හැරෙන්නට රටට මොන මලදානයක් වුවත් කමක් නැත.

බොහෝ දෙනාට මේ ක්‍රමය එපා වී තිබුණත් එයට විරුද්ධව යන්නට සුදුසු ව්‍යාපාරයකට නායකත්‍වයක් දෙන්නට කෙනෙකු නැත. එසේ නායකත්‍වයක් දෙන්නට කෙනෙකු සිටී නම් ඒ වටා ඒකරාශී වන්නට බොහෝ දෙනා එකතු වනු ඇති. ඒ බටහිරයන්ට අවශ්‍ය පරිදි රටට වෙනසක් අවශ්‍ය නිසා නොව පවතින රජයේ අත්තනෝමතික බව ඉවසා ගැනීමට නොහැකි නිසාය. රටට බොහෝ දේ කළ හැකි නමුත්, අනවශ්‍ය සංවර්ධන ව්‍යාපෘති සහ දූෂණය වංචාව ඉහවහා යාම නිසා සාමාන්‍ය ජනයාට ලැබිය යුතු ප්‍රතිලාභ නොලැබීම නිසා බොහෝ දෙනා සිටිනුයේ පවතින රජය කෙරෙහි පැහැදීමකින් නොවේ…

ඒ අතර අපේ තරුණ පරපුර ෆේස්බුක් දේශප්‍රේමය වපුරමින් සිටිති. ෆේස් බුක් හි පින්තූරයක් පළ කිරීමෙන් හෝ එයට සහය දැක්වීමෙන් යමක තීරණයක් වෙනස් කළ හැකි නම් අද ජනාධිපති වන්නේ සරත් ෆොන්සේකා මහතාය… ඒ මහතා ෆේස්බුක් ජනාධිපති වුවත් ඇත්ත තරඟයෙන් දිනුවේ මහින්ද රාජපක්‍ෂ මහතාය.. සත්‍යය එයයි.

කළ යුත්තේ ෆේස් බුක් දේශපාලනය නොව රජය හරි මාර්ගයට ගැනීමයි. අප රට ස්වභාවික සම්පතින් අනූනය. මානව සම්පතින් ගත් කළ ලෝකය මවිත කරවන නිර්මාණ කිරීමේ ශක්තිය ඇති බුද්ධියක් ඇති මිනිසුන් පිරිසක් ඇති රටකි. කළ යුත්තේ මේ සම්පත් හරිහැටි කළමණාකරණය කරගෙන රටේ සංවර්ධනය සඳහා දායක කර ගැනීමයි. රටේ සාධාරණත්‍වයක්, දේශපාලන ඇඟිලි ගැසීම් නැතිව නිදහසේ රැකියාවක් කරගෙන යාමට ඇති තත්ත්‍වයක් ඇති වන්නේ නම් නැවතත් අප රටට පැමිණ ලංකාව වෙනුවෙන් සේවය කිරීමට කැමති උගත් බුද්ධිමත් පිරිසක් පිටරටවල සිටිති. වෙනත් රටවල් විද්‍යාව තාක්‍ෂණය ආදී අනාගත ආයෝජන සඳහා වැඩි වැඩියෙන් මුදල් වැය කරද්දි අපේ කට්ටිය රට වටේ කුළුණු සවි කරමින් ලෝකෙට ලොක්කා වන්නට වලි කති. දූෂිත සහ අවස්ථාවාදී  මුග්ධ දේශපාලනඥයින් ඉවත් කර, රටට වැඩදායී උගත්, බුද්ධිමත් සහ සුදුසුකම් සහිත කණ්ඩායමක් පත්කරගෙන රටේ ඉදිරි ගමන සාර්ථක කරගැනීමට නායකත්‍වයට බල කිරීමක් කළ හැකි ෆේස්බුක් ව්‍යායාමයක් අරඹන මෙන් මේ සියළු “ෆේස්පුක්” දේශප්‍රේමීන්ගෙන් ඉල්ලා සිටිමි… සැබෑ දේශප්‍රේමය එයයි….

%d bloggers like this: