Blog Archives

2012 ඔක්තෝබර් 07 : අන්න හරි නෝනා… අඹරලා බැරි නං වෙඩි තියලා හරි මරන්න… අතාරින්න එපා ………එහෙම තමයි ඉන්න ඕන….


ඉස්කෝලෙ යන කාලෙ කුමක් හෝ අලුගුත්තේරු වැඩක් කාට හරි කළ පසු ලොකු අයියා කෙනෙක් හෝ ප්‍රිෆෙක්ට් අයියා කෙනෙක් මෙහෙම ඇහැවුවොත්, “ඇයි මල්ලි… කැසිල්ලද ? “

 දුවන්න පුළුවන් දුරක ඉන්නවා නම් “කහනවා තමයි…. ඇයි කහන්නද ?” කියලා දුවන පුරුද්දක් අපට තිබුණේය.. ඒ අපේ කැසිල්ලටය… පොඩි වුන් වෙච්චි අපි කසනවා කියන්නේ එක් ආකාරයකට පණු අමාරුව වගේ එක තැනක ඉන්න බැරි ලෙඩකටය…. එක්කෝ අනුන්ගේ මොකක් හරි මගුලකට අත දමා එය විනාස කර දැමීම, කරමින් හිටි කාර්යය අතරමග දමා වෙනත් දේකට දිවීම වැනි දෙයකදී ත් වැඩිහිටියෝ “මූට පුදුම කැසිල්ලක්නෙ තියෙන්නේ” යනුවෙන් බැණ අඬගසති.

කැසීම විවිධාකාරය….

කැසීම විවිධාකාරය.. පොඩි එවුන් එසේ කිසිදු හේතුවක් නැතිවම කැසීම තිබුණත් ලොකු අයට කැසීම තිබුණොත් ලෙඩ ගොඩකි. නව යොවුන් වයසේ ඇතිවන කැසීම භයානකය… එයට අවනත වුවහොත් සමහර විට ජීවිතයම කස කසා ඉන්නට සිදු වේ. වැඩිහිටි පිරිමින්ට ඇති කැසීම සහ ගැහැණුන්ට ඇති කැසීම  දෙවැදෑරුම් වේ. ඒවා ගැන කතා නොකරන තරමට හොඳය… රෝගයක් ලෙස ගත් කළ දෙගොල්ලොන්ටම  ඇති කැසීම සමේ විවිධාකාර සංකූලතා ඇති වීම නිසාය… කැසීමට හේතු සිය ගණනක් සොයා ගත හැකිය. ආසන්නම හේතු ලෙස

  • වියළි සම (Eczema)
  • අසාත්මිකතා (Allergies)
  • සතුන් විදීම (Insect Bites)
  • කිණිතුල්ලන් උකුණන් වැනි කුඩා සතුන් ගමන් කිරීම, විදීම ආදිය..
  • විවිධාකාර ශාක බූවා ඇඟ තැවරීම (Plant Allergies – කහඹිලියා – Poison ivy)
  • දිලීර ආසාදන (Fungal infections)
  • දීර්ඝ කාලීන අක්මා රෝග (Chronic liver diseases)
  • හෝමෝන වෙනස් වීම් (Hormonal Changes)

හැඳින්විය හැකිය.

මේ විවිධාකාර කැසීම් සමඟ සමේ විවිධ ලක්‍ෂණ දැකිය හැක

  • සමේ රතු පැහැති පැල්ලම්
  • පලු දැමීම
  • සම පැලීම
  • තුවාල වීම

හේතුවක් දැනගෙන කැසීම තරමක් සුභ දායක අතර හේතුවක් නොමැති කැසීමක් පටන් ගත හොත් දිනක් හෝ දින දෙකක් ඇතුලත අත් බෙහෙත් වලින් පසු වෛද්‍යවරයෙකු හමුවීම යෝග්‍ය ය. කැසීම නැවැත්විය නොහැක… කසන්නට ගත් විට ඇඟ හම යනතුරු, ලේ ගලන තුරු පණ දාගෙන කසන්නට සිතේ… ඒ කැසීමේ හැටිය… කසන්නට කසන්නට සම ද ප්‍රතිචාර දක්වයි…. කළ යුතු හොඳම දේ එම චක්‍රය බිඳ දමා නොකසා සිටීමය… එය කිරීමට තරමක් අපහසුය.. එක්කෝ කැසීම පරෙස්සමින් කළ යුතුය… නැතහොත් නියපොතු වහාම කපා දමා කැසිය යුතුය… නැතිනම් වන්නේ කැසිල්ලට පසු තුවාල කර ගැනීමටය…

කැසිල්ල විද්‍යාත්මකව විස්තර කළ හැක්කේ මෙසේය..

යම් කිසි ආසාත්මිකතාවයක් හෝ වෙනයම් දෙයක් ඔබේ සම වෙත පැමිණි විට එය මුලින් ඔබට කිසිවක් නොපෙන්වයි. නමුත් ඔබ කැසීමට පටන් ගත් විට එහි වූ ස්නායු තන්තු මගින් මොළයේ මස්තිශ්ක වල්කය (cerebral cortex) වෙත පණිවුඩ යවයි එය රිදීමක් ඇති කරනවාක් වැනි පණිවුඩයක් ගෙන යයි. එය කැසීමක් ලෙස අපට දැනේ. කැසීමක් දැනුන වහාම අප කරන්නේ එතැන කැසීමයි. ඒ මොළයෙන් අපට ලබා දෙන – ආගන්තුක ද්‍රව්‍යයක් ඉවත් කිරීමේ – හැඟීම මතය. කිසියම් ආගන්තුක ද්‍රව්‍යයක් අප සම මතට වැටුන විට අප මුලින්ම කරන්නේ එය පිසදා ඉවත් කිරීමයි. මෙයද එයට සමාන වේ.

බොහෝ විට කැසීම ගෙදරදීම පාලනය කර ගත හැක.. ඒ සඳහා හේතුව අඳුනාගත යුතුය.. සම වියලීම නිසා ඇතිවන කැසීම සමට ක්‍රීම් ආලේපනයෙන් වලකා ගත හැකිය… පලු දැමීම බොහෝ දුරට ආසාත්මිකතාවයන් හා බැඳී පවතී.. ඒ සඳහා කළ යුතු හොඳම දේ ප්‍රතිහිස්ටැමීන් (Antihistamine)  ඖෂධ ලබා දීමයි (Piriton, Benadryl, Zirtec ඉන් සමහරකි). එසේ නැතහොත් පොල් වතුර හෝ තැඹීලි වතුර පානය කිරීම ද ආහාර ආසාත්මිකතාවයන් සුව කරයි. කිණිතුල්ලන්, උකුණන් වැනි කුඩා සතුන් එක්කෝ ඉවත් කර හෝ උන් නැසීමට බෙහෙත් දමා පාලනක කළ හැක.. කහඹිලියා සහ Poison Ivy වැනි ආසාත්මිකතා දෙන ශාක සඳහා විවිධාකාර බෙහෙත් ඇත. කහඹිලියා ආසාත්මිකතාවය ගෙන එන්නේ සියුම් කෙඳි (බූවා) සමේ ඇනීම නිසාය.. Poison Ivy වලින් ආසාත්මිකතාවය ගෙන එන්නේ පත්‍රයේ ඇති රසායන ද්‍රව්‍යයක් සමේ තැවරීම නිසාය.. මේ දෙකට ප්‍රතිකර්ම දෙවැදෑරුම් ය… කහඹිලියා බූවා පොල්තෙල් ගා පිහි තළයකින් සූරා ඉවත් කළ හැකි වුවත්, Poison Ivy ඉවත් කළ යුත්තේ සිසිල් ජලයෙන් සෝදා හැරීමෙනි. උණු ජලයෙන් සේදුවහොත් සමේ ඇති ශ්වේද ග්‍රන්ථි විවරයන් විවෘත වී සම තුළින් ඒ රසායන ද්‍රව්‍යයන්  ශරීර ගත විය හැකි නිසා සිසිල් ජලයෙන් සෝදා පිරිසිදු කළ යුතුය. එසේව ඒ ඉස්ම තැවරුණ ඇඳුම් ද වහා සෝදා දැමිය යුතුය. අක්මා රෝග සහ වකුගඩු රෝග ඇතුළු තරමක් දීර්ඝ කාලීන රෝගාබාධ මෙන්ම හෝමෝන වෙනස්කම් නිසා ඇතිවන සමේ කැසීම වෛද්‍ය උපදෙස් අනුව සුව කර ගත යුතුය.

ඉතින් මේ කැසිල්ල බෙහෙත් මගින් හොඳ කර ගත්තත් සමහරුන්ට ඇති කැසිල්ල නම් හොඳ වෙන්නේ හොඳ හෝටලයකින් කෑවාට පසුවය… ඒ අයට බෙහෙත් දෙන්න වෙනම දොස්තරලා සිටී…. කැසීමට සම්බන්ධ කතා දෙකකුත් මතක් වේ….

පළමු කතාව…….

දවසක් අත් දෙකම අහිමි මනුස්සයෙක් නගරයේ පාරක ඉතා මනරම් නැටුමක් නටමින් ගමන් කළා. මේ දුටු ධනාත්මක චින්තනය පිලිබඳ මහාචාර්ය වරයෙකු ඒ මනුස්සයා පැත්තකට කතා කර ගත්තා…

මහාචාර්ය තුමා : මට ඔබ ගැන හරිම සන්තෝසයි… ඔබ පුදුමාකාර විදියට ජීවිතය විඳිනවා… ඔබේ අත් දෙකම නැති වුනත් බොහොම විනෝදෙන් පාරෙ නට නටා යනවා… කියන්න ඔබ කොහොමද මේ ආකාරයට සිතන්න පුරුදු වුනේ ?

අත් අහිමි මනුස්සයා : සර් මේ බණ කතා කරනවා.. මට මේ පිට කහගන්න විදියක් නැතුව ඉන්නෙ…

දෙවැන්න……

ඉතා හොඳින් උජාරුවට කොටට සායක් ඇඳගත් තරුණියක් එක්තරා බස් රථයක අසුන්ගෙන යනවා… එතැනම මඳ පමණට සූර් වූ පුද්ගලයෙක් මේ තරුණිය දෙසත් ඉඳ හිට බැලුම් හෙළමින් එතැනම සිටගෙන සිටී… 

හදිසියේම බසයේ සිටි මැස්සෙක් මේ තරුණියගේ දෙපා අතරින් ඇඳුම ඇතුලට රිංගුවා… (මම දන්නෙ කොහොමද ?). බසයේ නිසා ඇයට කිසිත් කරගන්න නොහැකිව සිය දෙපා අඹරවමින් මැස්සා ඉවත් කිරීමට උත්සාහ කළා…. එකෙණෙහිම ඇයට තරමක් සද්දෙන් අධෝවාතයක් (අර පඩයක් කියන්නෙ…. අන්න එයින් එකක්) පිටවුනා…. ඒ දෙස බලා සිටි අර බීමත් මනුස්සයා…

අන්න හරි නෝනා… අඹරලා බැරි නං වෙඩි තියලා මරන්න… අතාරින්න එපා ………එහෙම තමයි ඉන්න ඕන….

ඉතිං හැමෝටම තම තමන්ගෙ කැසිල්ලට හේතුවක් තියෙනවා… හේතුව නොදැන කැසිල්ල ගැන පූර්ව නිගමන වලට එන්න එපා… කවුද දන්නෙ… ?

හදිසියෙම මේ කැසිල්ල ගැන ලියන්න හිතුනෙ මටත් පොඩි කැසිල්ලක් ආවා.. හේතුවක් හිතා ගන්න බැරි වුනත් එය කිසියම් ආහාර ආසාත්මිකතාවයක් බව දැනුනා… ඉක්මනින් ම ප්‍රතිආසාත්මිකතා බෙහෙතක් අරගෙන සුව කර ගත්තත්,… අර නොනවතින කැසිල්ල ගැන තියෙන අවධානය වෙනස් කරගන්න අවශ්‍ය නිසා කැසිල්ල ගැන ම ලියලා ඔබගේ දැන ගැනීම පිණිස පළ කරන්න හිතුනා….

ඉතිං දැන් නම් කැසිල්ල පහව ගිහින්….

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මේ කතාවම Blogger.com එකේ ඇල්කෙමියාගේ දිනපොතේ පළ කරන්නෙ  ඒකේ සාමාජිකයන්ගෙ හිතසුව පිණිස….

%d bloggers like this: