Blog Archives

නිවසක ජලය ඒකකයක් රුපියල් 50,000 ක් වේද ?


ජීවත් වෙන්න නැතුවම බැරි, උපතේ සිට මරණය දක්වාත්, ඉන් පසුවත් උපයෝගී වෙන, මරණාසන්න කෙනෙකු වුනත් අවසාන මොහොතේ පවා ඉල්ලන, මදි වුනත් – වැඩි වුනත් කරදර දෙන, අපේ ශරීරයෙන් 60% කට වඩා අත්පත් කරගෙන සිටින, ලෝකයේ යුද්ධ පවා ඇති වුන, ඒ වගේම ලෝක ශිෂ්ඨාචාර පැවැත්මට සහ විනාශයට මුල් වුන, ලෝකයේ එකම බලවේගයක් තියෙනවා නම් ඒ ජලයයි.

වතුර නැතිනම් ජලය බොහෝ සංවේදී මාතෘකාවක් වූයේ අද ඊයේ නොවේ. පෘථිවියේ හෝ වෙනයම් තැනක, ජීවය ඇති වූ දින සිටම ජලය – ජීවය හා බැඳී පැවතුනා. මිනිසා මේ ලොව පහළ වූ දා පටන් මිනිස් ශිෂ්ඨාචාර සියල්ලම පාහේ ඇති වූයේ ජලය හෝ ජලමාර්ග සම්බන්ධිතවයි. ඉන්දු නිම්න, නයිල්, යුප්‍රටීස් – ටයිග්‍රීස්, සහ හොවැංහෝ යන ශිෂ්ඨාචාර සියල්ලම ඒ ඒ නදී ආශ්‍රිතව බිහි වීම ම මිනිසාගේ කටයුතුවලට ජලය කෙතරම් සමීප – නැතිවම බැරි දෙයක්දැයි පැවසීමට වෙනත් උදාහරණ අනවශ්‍යයි. ලොව බොහෝ යුද්ධ ඇති වූයේ ද ජලය ආශ්‍රිතවයි. බුදුන් සමයේදී ශාක්‍ය – කෝලිය සටන ඇති වූයේ කාවේරි නදියේ ජලය බෙදා ගැනීමටයි. යටගිය දවස බ්‍රහ්මදත්ත රජු රජකම් කරන සමයේ මියුළු නුවර වටලන බවට අනතුරු හැඟවීම් ඇති වූ අවස්ථාවේ මහෞෂධ පණ්ඩිතයින් කළේ දිගු උණ බට වලට මඩ සහ ජලය පුරවා දිගු දඬු සහිත නෙළුම් මල් වගා කරගෙන, මියුළු නුවර වැටළු හමුදාවනට පෙනෙන්නට එම නෙළුම් මලෙහි මැද කෑමට පවුර උඩ සිටින සොල්දාදුවනට අණ කිරීමයි. ඉන්  අදහස් කළේ මියුළු නුවරට ජලයෙන් අඩුවක් නොමැති බව පෙන්වීමටයි. එය එසේම වී යුද්ධය තාවකාලිකව කල්ගිය බවත් ජාතක කතාවල සඳහන්. මෑතකදී අවසන් වූ ඊලාම් යුද්ධයේ මූලබීජය වූයේද මාවිල් ආරු සොරොව්ව වසා දැමීම බව අප අමතක කළ යුතු නැහැ. මේ සියලෙන්ම අදහස් වන්නේ ජලය ජීවයට කෙතරම් වැදගත්ද, සමීපද යන්නයි..

රසායනිකව ගත් කළ, ජලය මහා අරුම පුදුම ද්‍රවයක්. එය සම්මත තත්ත්‍ව යටතේ සාමාන්‍ය පීඩනය සහ උෂ්ණත්‍වය යටතේ ද්‍රවයක් ලෙසින් පවතිනවා. මේ නිසාම ජීවය පවත්වාගෙන යාමට සහ ඇතිවීමට එය හේතුසාධක වී තිබෙනවා. එය ද්‍රවයක් ලෙසින් පවතින්නේ ජල අණු අතර වූ හයිඩ්‍රජන් බන්ධන හේතුවෙන්. මේ නිසා ජල අණු එකිනෙක බැඳී පවතිනවා. ජලයට ඇති සංසක්ත – ආසක්ත ගුණ නිසා ජල අණු එකිනෙක බැඳී පවතිනවා මෙන්ම ආසන්නම පෘෂ්ඨයටත් බැඳී පවතිනවා. මේ නිසාම ජලය බොහෝ දෑ අල්ලා ගන්නවා. ඒ නිසා ජලය පිරිසිදු කාරකයක් වශයෙන් භාවිතා කළ හැකිවාක් පමණක් නොවෙයි, මේ ගුණය නිසාම ජලය ඉක්මනින්ම අපවිත්‍රවීමත් සිදු වනවා. ජලයේ ඇති සුවිශේෂී ද්‍රාවක ලක්‍ෂණ නිසා බොහෝ දෑ ජලයේ දියවෙනවා. එසේම, ජලය ස්වභාවික අවස්ථාවේ ඝණ, ද්‍රව, වායු යන පදාර්ථයේ අවස්ථා තුනෙහිම දකින්නට ලැබෙන ද්‍රව්‍යයක්. අයිස්/හිම, ජලය, සහ ජල වාෂ්ප ලෙසින් මේ තුන් ආකාරයෙන්ම පරිසරයේ පවතිනවා. පිරිසිදු ජලය රසක්, ගඳ සුවඳක් නොමැති අවර්ණ ද්‍රවයක්. ජලයේ අවර්ණ බව රැඳී පවතින්නේ පිරිසිදු ජල අණු දෘෂ්‍ය ආලෝකය අවශෝෂණය කරගැනීම අඩු නිසා. ඇත්තෙන්ම ජලය ලා නිල් පැහැතියි, එය අපට සුළු ජල ප්‍රමාණයක් දෙස බැලුවිට පෙනෙන්නෙ නැහැ. නමුත් මුහුද දෙස බැලූ විට ඔබට මුහුද නිල් හෝ නිල් කොළ පැහැය දක්නට පුළුවනි. ජලය විසින් රතු, තැඹිලි, සහ කහ යන වර්ණ අවශෝෂණය කරගන්නවා. මේ නිසා ඊට ප්‍රතිවිරුද්ධ පාට වන කොළ සහ නිල් පැහැයන් ජලය විසින් පරාවර්තනය කරනවා. ඒ නිසයි මුහුද සහ අහස නිල් හෝ නිල්-කොළ පැහැයක් ගන්නේ.

ලෝකය ගත් කළ එයින් සියයට 75 ක් පමණ ප්‍රමාණයක් වසා ඇත්තේ ජලයෙන්. මෙය ලීටර වශයෙන් ගත් කළ 1,260,000,000,000,000,000,000 ක්.  නමුත් මේ ප්‍රමාණයෙන් සියයට 96.5 ක්ම මුහුදු හෝ ලවණ මිශ්‍ර ජලය නිසා භාවිතයට ගත හැකි ලවණ රහිත ජලය ඇත්තේ සියයට 2.5 ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක්. එයින් ද සියයට 1.7 ක්ම ධ්‍රැවීය පෙදෙස්,  ග්ලැසියර සහ අයිස් කඳු අත්පත් කරගෙන තිබෙනවා. ඒ අනුව අපට පානීය ජලය ලෙස ඇත්තේ සියයට දශම තුනක ජල ප්‍රමාණයක්. ලෝකය පුරාම පැතිර තිබිය යුතු මේ ජල ප්‍රමාණයෙන් බාගයක්ම බෙදී ගොස් ඇත්තේ රටවල් 6ක් අතර වන අතර ශ්‍රී ලංකාව එයින් එකක්. එපමණක් නොවෙයි අනාගතයේදී ජල හිඟයක් ඇතිවුවහොත් පිරිසිදු පානීය ජලය ඉතිරිව තිබෙන එකම රට හැටියට ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබෙනවා.  ඔබ නොදන්නවා වුනාට, ලංකාවේ තත්ත්‍වය මෙයයි. නමුත් අපි අපේ ජල මූලාශ්‍රවලට කොපමණ කසළ එකතු කරනවාද ?, අපි අනාගත ලෝකයටම ඇති සම්පතක් අපි අපේ පටු අරමුණු සහ නොසැලකිළිමත්කම නිසා මෙසේ විනාශ කරනවා.

ලෝකය එසේ වුවත්, කවදාවත් අපට ජලය නොමැතිව මිය යන්නට වන එකක් නැහැ. දැනට ගණන් බලා ඇති ක්‍රම අනුව ලෝකයේ ජලය තවත් අවුරුදු බිලියන 7.6 කට සෑහෙන්න තිබෙනවා. නමුත් මිනිසා ජීවත්විය හැකි කාළය වන්නේ තවත් අවුරුදු බිලියන 1.75 ක් පමණයි. ඒ වනවිට සූර්යයාගේ උෂ්ණත්‍වය අධික වී ලෝකය ජීවය පවත්වාගෙන යා නොහැකි තත්ත්‍වයට පත් වනවා. එසේම පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටා ඇති ස්ථානය ග්‍රහලෝකයක් මත ජලය රැඳීපැවතිය හැකි උචිතම ස්ථානයයි. පෘථිවියේ වූ ගුරුත්වාකර්ෂණ බලය නිසා ජලය සිය වලාකුළු ස්ථරයෙන් එපිටට වාෂ්ප නොවීම නිසා පෘථිවි වායුගෝලය තුළ ජලය රැඳී පවතිනවා. මෙසේ ජලය අප සතුව සමානව බෙදී රැඳී පවතින්නේ අප හැමෝම දන්නා ජල චක්‍රය නිසායි.  ජල චක්‍රය ප්‍රධාන වශයෙන් වාෂ්පීකරණය, වර්ෂාපතනය, සහ ගලායාම යන කොටස් තුනකින් යුක්තයි. ලෝකය පුරා සමුද්‍ර, විල්, වැව්, පොකුණු, වැනි ජල මූලාශ්‍රවලින් වසරකට ටෙරා ටොන් 47 ක ප්‍රමාණයක් ජලය වාෂ්ප වෙද්දී, ටෙරා ටොන් 72 ක් ගොඩබිමින් දායක වනවා. මෙසේ එකතුවන ජලය විවිධාකාරයෙන්, එනම්, වැස්ස, හිම පතනය ආකාරයෙන් ටෙරා ටොන් 119 ක් වසර පුරාම ලෝකය පුරා පතිත වනවා. එනම් සියයට සියයක්ම වාෂ්පීකරණය සහ වර්ෂාපතනය ලෙස චක්‍රීකරණය වනවා.

කාර්මීකරණයට පෙර ඕනෑම ජල මූලාශ්‍රයකින් ජලය පානයට ගත හැකි වුවත්, දැන් දැන් මිනිස් ක්‍රියාකාරකම් සහ කාර්මික අපද්‍රව්‍ය මුසු වීම නිසා ජලය ඒ ආකාරයෙන්ම පානයට හෝ වෙනයම් ක්‍රියාවලියක් සඳහා භාවිතයට ගැනීම අපහසුයි. මේ නිසා ජලය පිරිපහදුව අත්‍යවශ්‍ය වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පානීය ජලය පිළිබඳ පිරිවිතරයන් සකස් කර ලෝකයටම හඳුන්වා දුන්නත්, ඒ ඒ රටවල ප්‍රමිති කාර්යංශයන්හි නිර්දේශ අනුව මේ පිරිවිතරයන් වෙනස් වනවා. ඒ අනුව අප රටේද භාවිතා කරන ජලය සඳහා විවිධාකාර නිර්ණායක තිබෙනවා. මේ සියල්ල පාලනය වන්නේ ජාතික ජලසම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය මගින්. සාමාන්‍ය ජල පිරිපහදුවකදී පරාමිතීන් සියයකට වඩා වැඩි ප්‍රමාණයක් සඳහා ජලය පරීක්‍ෂා කෙරෙනවා. විශේෂයෙන්ම ජලයේ pH අගය, වර්ණය, ක්‍ෂුද්‍රජීව ඝණත්‍වය, රසය, ගන්ධය, ද්‍රාව්‍ය ක්ලෝරීන් ප්‍රමාණය, ද්‍රාව්‍ය ඝණද්‍රව්‍ය ප්‍රමාණය, විෂ ද්‍රව්‍ය අන්තර්ගතය සහ අටෝරාසියක් ලෝහමය අපද්‍රව්‍ය සඳහා මෙම පරීක්‍ෂණ සිදු කෙරෙනවා.  මෙසේ පිරිපහදුවන ජලය විවිධාකාර ස්ථානවලදී නැවත නැවතත් නිරන්තරවම පරීක්‍ෂණවලට භාජනය කරමින් ඔබ වෙත ලබාදීමට ඔවුන් කටයුතු කරනවා. මේ කර්තව්‍යය මෙසේ වුවත්, අප බොහෝ දෙනා මේ බීමට ගන්නා ජලය, බීමට අමතරව වෙනත් කටයුතුවලටද භාවිතා කරනවා. බීමට ගන්නා ජලයෙන් වාහන සේදීමට හෝ මල්පාත්ති නඩත්තුව අවශ්‍ය නොවුනත්,  අප බොහෝදෙනා පුරුදුව සිටින්නේ පහසුවෙන් ලැබෙන නිසා ඒ ජලය භාවිතා කිරීමටයි. ජලය ඝණ මීටරයක් පිරිපහදුව සඳහා ආසන්නව රුපියල් 50 ක් පමණ වැයවුවත්, අපට ජලය ලැබෙන්නේ ඝණ මීටරයක් රුපියල් 12 ක් වැනි සුළු මුදලකටයි. ඝණ මීටරයක් යනු ලීටර 1000 කි. මේ ප්‍රමාණය වෙළඳ සැළකින් මිලදී ගන්නවා නම් ලීටරයකට රුපියල් 50 ක් මිළ කලහොත්, එක් ජල ඒකකයක් සඳහා ඔබට වැයවන මුදල රුපියල් 50,000 කි. නමුත් අපට එය රුපියල් 12 කට වැනි සුළු මුදලකට ලැබෙන නිසා අපට එහි අගයක් දැනෙන්නේ නැතිවා ද ?

අපේ මූලික පානීය ජල ප්‍රභවය වන්නේ කැළණි ගංගාවයි. කිලෝමීටර 145 ක් දිග කැළණි ගඟට වර්ග කිලෝමීටර 2300 කට ආසන්න ජලාධාරක ප්‍රදේශයක් අයත් වන අතර එය ලංකාවේ වැඩියෙන්ම කාර්මීකරණයට ලක් වූ ගංගාධාරයද වෙනවා. කැළණි ගංගාධාරය අවට ඇති කර්මාන්තශාලා 10,000 ක් සෘජුවම හෝ පිරිපහදුවට ලක් කළ ජලය මුදා හරින්නේ කැළණි ගඟටයි.  බොහෝ දෙනා පහසුවට අවම පරාමිතීන්ට යටත්ව ජල පිරිපහදුව සිදු කර, හෝ වංචනිකව එසේවත් පිරිපහදුව නොකර ගඟට ජලය මුදා හරින්නේ සිය පෞද්ගලික හෝ ආයතනමය ආර්ථික වාසි තකාගෙනයි. නමුත් එසේ කිරීමෙන් දීර්ඝකාලීනව පරිසරයට මෙන්ම අනාගත පරපුරටද ඔබ කරන හානිය ඔබ ආර්ථිකව ගණන් බලන්නේ නැහැ. මෙය ඇත්තෙන්ම කණගාටුවට කරුණක්.

ජලය අපවිත්‍ර වන ක්‍රම ගණනාවක් තිබෙනවා. ගංගා ඇල දොල වැනි විවෘත ජලමාර්ගවල ස්නානය, ඒවාට කසළ බැහැර කිරීම, සමහර අවස්ථාවන්හිදී වැසිකිලි අපවහන නළ පවා ගංගාවලට හරවා තිබෙනවා. කර්මාන්තශාලා වලින් පිටකරන ජලය නිසි ලෙස පිරිපහදුවට ලක් නොකර මුදා හැරීම, සතුන්, වාහන ආදිය සේදීමට භාවිතා කරන ජලය නිසි පිරිපහදුවකින් තොරව ගංගාවලට මුදා හැරීම ආදී මිනිසාට සියයට සියයක් පාලනය කළ හැකි නමුත් අප විසින් හිතාමතාම නොසළකාහරින ක්‍රියාකාරකම් නිසා ජලය අපවිත්‍ර වනවා.

විවිධාකාර ප්‍රදේශවල ජලය විවිධාකාර සංයුතීන්ගෙන් පවතිනවා. මේ නිසාම විවිධ පලාත්වල ජලය විවිධ රස ගන්නවා. එසේම ගතිගුණත් වෙනස්. උතුරුමැද පලාතේ ජලයෙහි වැඩිපුර කැල්සියම් සහ ෆ්ලුවොරයිඩ් ආදී අයණ අඩංගු නිසා ඒ පලාත්වල ජනතාවගේ දත් සහ අස්ථිවල ව්‍යාකූලතා හටගෙන තිබෙනවා. තවත් පලාත්වල ජලයෙහි කැල්සියම් සාන්‍ද්‍රණය අධික නිසා ජලය කිවුල්, එසේත් නැතිනම්, කඨිණ ජලය ලෙස හඳුන්වනවා. මේ වගේම සමහර පෙදෙස්වල ජලයේ සුවිශේෂී ගුණද අඩංගු වන්නේ මේ විවිධ ලවණ දියවීම නිසා. මේ නිසා ඒවා පානය හෝ ස්නානය නිසා ලෙඩරෝග සුව වනවා කියා මතයන් ද තිබෙනවා. ඒ වගේම සමහර ප්‍රදේශවල ජලයේ මිනිස් සිරුරට හානිකර ලෝහවර්ග, ලවණ වර්ග අන්තර්ගතයි. රජරට වකුගඩු රෝගයට මූලික වූ ආසනික් කැඩ්මියම් වැනි ලෝහ සහ ග්ලයිෆොසේට් වැනි රසායන ද්‍රව්‍ය නිසා ඒ පලාත්වල ජනතාවට පානීය ජල ප්‍රශ්නයක් පැණ නැගී තිබෙනවා. මෙය ස්වභාවිකව ඇතිවූවක් නොවෙයි. මිනිසා විසින් අප්‍රමාණ ලෙස භාවිතා කළ පොහොර සහ කෘෂිරසායන ද්‍රව්‍ය නිසා ඇතිවූවක්.

අප බොහෝදෙනා සිතා සිටින්නේ ජලය අවශ්‍ය වන්නේ ස්නානය, පානය, සහ සේදීම වැනි අපට සෘජුව සම්බන්ධවන කටයුතු සඳහා පමණක් යන්න නමුත්, අප නොසිතන බොහෝ දෑ වෙනුවෙන් මේ ජලය අධිකව පාවිච්චි වනවා. උදාහරණයක් ලෙස ගතහොත් කපු ටී ශර්ට් එකක් නිපදවීමට ජලය ලීටර 2700 ක් වැයවන බව ගණන් බලා තිබෙනවා. කපු යනු පරිසර හිතකාමී නිෂ්පාදනයක් ලෙස හැඳින්වුවත්, එය නිෂ්පාදනය පිටුපස පරිසරයට ඉතාම අහිතකර විනාශකාරී ක්‍රියාවලියක් ඇති බව බොහෝ දෙනා නොදන්නා කරුණක්. තවත් උදාහරණයක් වන්නේ බිත්තරයක් නිෂ්පාදනයට ජලය ලීටර 450 ක් අවශ්‍ය වනවා. කිකිළියගේ ආහාර, ජලය සිට බිත්තරය ඔබේ නිවස වෙත ගෙන එන තෙක් වූ ක්‍රියාවලි සියල්ල මීට ඇතුලත්. සාමාජිකයන් හතර දෙනෙකුගෙන් යුත් සාමාන්‍ය පවුලකට අවශ්‍ය දිනක ආහාර සැපයුම සඳහා ජලය ලීටර 27000 ක් වැයවෙන බව ඇසුවොත් ඔබ අනිවාර්යයෙන්ම පුදුමයට පත්වනවා නොඅනුමානයි. මේ අනුව ලෝකයේ බොහෝ දෑ වලට අප නොදැනුවත්වම ජලය විශාල වශයෙන් භාවිතා වනවා.  බොහෝ දෙනා කාබන් පියසටහන ගැන කතා කරතත්, ජල පියසටහන ගැන කතා නොකරන්නේ එය තමාට බෙහෙවින් අවාසිදායක සහ පාලනය කළ නොහැකි තත්ත්‍වයක තිබෙන නිසා. නමුත් නුදුරු අනාගතයේදීම අපට ජල පියසටහන ගැන කතා කරන්න සිදුවන තත්ත්‍වයක් උදා වේවි.

ජල සංරක්‍ෂණය විවිධාකාරයි. ජල මූලාශ්‍රයක පෝෂක ප්‍රදේශයක් සංරක්‍ෂණය කිරීම මගින් දීර්ඝකාලීනව ජල සැපයුම සුරක්‍ෂිත කරගත හැකියි. ඒ නිසා පොළවෙහි ජල මූලාශ්‍ර සුරැකී, පිරිසිදු අඛණ්ඩ ජල සැපයුමක් ලබාගත හැකියි. මේ සඳහා උස් භූමි සහ ඒ ජල මූලාශ්‍රවල ජෛව පද්ධතිය ආරක්‍ෂා කළ යුතුයි. උස් භූමිවල පිහිටි වන ගහණය ආරක්‍ෂා කිරීම සහ එය නිසි ලෙස පෝෂණය වන ගස් සිටුවීම මගින් එය සිදු කළ හැකියි. දෙවැන්න වන්නේ ලැබෙන ජලය අපිරිසිදු වීම වැලැක්වීමයි. එය ද වනාන්තර මගින් සිදු වනවා. ක්‍රමාණුකූල ජල වහනය සිදු වීමේදී පස්, රොන්මඩ, හෝ අපද්‍රව්‍ය ජලයට එකතු වන්නේ නැහැ. මිනිස් ක්‍රියාකාරකම් නිසා ජලයට මේ දෑ එකතු වීමෙන් ජලය අපවිත්‍ර වනවා. ජලයට ස්වයංව පිරිසිදුවීමේ යාන්ත්‍රණයක් නැහැ. එසේම ගලා යන ජලයට බැහැර කෙරන අපද්‍රව්‍ය සියල්ල ජලයේ රැඳී පවතිනවා. ඔබ නොසිතා මෙන්ම දැනුවත්වම සිදු කරන සමහර දෑ නිසා සමහරවිට ඔබම පානය කරන ජලය අපිරිසිදු වනවා.

මෙසේ ලැබෙනෙ ජලය දැඩි පරිශ්‍රමයක් දරා ජල පිරිපහදුවේදී පිරිසිදු කර ඔබ වෙතට ලැබෙනවා. එය ලැබුන පසු ඔබ නිසි ලෙස පරිහරණය නොකර අපතේ යවනවා නම් එය ඇත්තෙන්ම අපරාධයක්. පානීය තත්ත්‍වයෙන් ලැබෙන ජලයෙන් පානය සහ ආහාර පිළියෙල කිරීම සඳහා අප යොදා ගන්නේ සියයට එකක කොටසක් පමණයි, ඉතිරි සියයට අනූ නවයම වැය වන්නේ එතරම් පිරිසිදු ජලය අවශ්‍ය නොවන වැසිකිළි, ස්නානය, සහ සේදීම් කටයුතු වෙනුවෙන්. මේ සමහර දෑ ඔබට අහසින් වැටෙන වැසි ජලයෙන් කරගතහැකි දේවල්. ලෝකයේ බොහෝ පෙදෙස් මෙන්ම, ලංකාවේද වියළි කලාපයේ ජනතාව වැසි ජලය එකතු කරගෙන අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා භාවිතා කරනවා. මෙය ඇත්තෙන්ම ජල සංරක්‍ෂණය වෙනුවෙන් සැමටම කළ හැකි දෙයක්. එසේම අපගේ නොසැළකිලිමත්කම නිසාම සමහරවිට නිවසේ හෝ සේවා ස්ථානයේ ජල කරාම නිසි ලෙස නඩත්තුවක් හෝ වැසීමක් සිදු කරන්නේ නැහැ. එසේ නොවසන ජලකරාමයකින් ජල බිඳු වෑහීම නිසා, දිනකට ජලය ලීටර 75ක් හෝ ඊට අධික ප්‍රමාණයක් – මසකට ලීටර 2250 ක් අපතේ යන්නට පුළුවනි.  මේ ජලය ප්‍රමාණය ඔබ සුපිරි වෙළඳසැලකින් මිලදී ගන්නේ නම්, රුපියල් 112,500 ක් වැය වන ජල ප්‍රමාණයක්. මඳකට සිතා බලන්න, ඔබේ නොසැළකිලිමත්කම ලෝකයට සිදු කරන හානිය කෙතරම්ද කියා.

අපට මෙසේ ජලය ඇතිතරම් තිබුණත්, ලෝකයේ බිලියන 7 කට අධික ජනතාවකගෙන් බිලියන දෙකක්ම ජල හිඟයට මුහුණ පා සිටිනවා. ඔවුන් සාමාන්‍යයෙන් ජලය ලබා ගැනීම සඳහා දිනකට පැය තුනකට අධික කාළයක් ඇවිදීම සිදු කරනවා. ඔබට ඉතාමත්ම අඩු මුදලකට හෝ නොමිලේ ලැබෙන මේ ජලය, ඉවක් බවක් නැතිව අපතේ යවන්නේ, ඔබ සමහරවිට මේ කරුණු නොදන්නා නිසා විය හැකියි. එසේ වුවත්, ඊශ්‍රායලය, සිංගප්පූරුව වැනි ජල මූලාශ්‍රයන් නොමැති රටවල්, මහා පරාක්‍රමබාහු රජතුමාගේ කියමන වන, “ අහසින් වැටෙන එක දිය බිඳක් හෝ උපරිම ප්‍රයෝජන නොගෙන මුහුදට නොයැවිය යුතුය” යන්න මනාව සනාථ කරමින්, ජල ප්‍රතිචක්‍රීකරණයේ හිණිපෙත්තටම නැගි රටවල් වනවා. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ තාක්‍ෂණිකව සැකසුන වගාබිම්, නිශ්පාදනය කරන්නේ ලෝකයේ උසස්ම සහ ගුණාත්මක බවින් වැඩිම එළවලු සහ පළතුරුයි. ඔවුන් සිය මළ අපද්‍රව්‍යවලින් පවා ජලය නිස්සාරණය කර ගන්නවා.

ලෝකයේ ජලයෙන් 96.5ක් ම භාවිතයට ගත නොහැකි නමුත්, දැන් දැන් බොහෝ රටවල් ලවණහරණය (Desalination) මගින් මුහුදු ජලය පිරිපහදු කර භාවිතා කරනවා. මෙය ඉතා මිල අධික ක්‍රියාවලියක් වුවත්, ජලය අත්‍යවශ්‍ය සාධකයක් වන නිසාම ඔවුන් එසේ සිදු කරනවා. ලෝකයේ අනාගතයේදී ජලය වෙනුවෙන් ඉතා දැඩි ඉල්ලුමක් පවතින අතර ෆිජී වැනි රාජ්‍ය ජලය අපනයනය කිරීමෙන් ඉතා අධික විදේශ විනිමය ප්‍රමාණයක් උපයනවා. මේ නිසාම එහි ජනතාවට පානීය ජල හිඟයක් ඇති බවද කියැවෙනවා.

ජලය වටිනා සම්පතක් බව අප කුඩා කාළයේ සිටම ඉගෙන ගත්තද, එහි නිසි වටිනාකම අපට තවමත් දැනී නැහැ. එය දැනෙනවිට, අපේ දේශපාලනඥයින් සහ ඔවුන්ගේ හෙංචයියන් විසින් විනාශ කළ සහ තවමත් කරමින් පවතින වනාන්තරවල වටිනාකම අපට දැනෙන්නට පටන් ගනීවි. නමුත් ඒ වන විට අපි බොහෝ ප්‍රමාදවී සිටීවි…. අප අපගේ ජීවිත කාළයන් නුදුරේදීම අවසන් කරනවිට, අපගේ දරුවන් සහ ඉදිරි පරම්පරාවන්, අපට ඔවුන් වෙනුවෙන් ලෝකය ඉතිරි නොකළාට දෙස් දෙවොල් තියාවි. ඒ අසන්නට අප නොසිටියත්, අපේ ආත්මයන්ට හෝ සැනසිල්ලක් ලබන්නට, ලෝකය වෙනුවෙන්, ඉදිරි පරම්පරාවන් වෙනුවෙන්, මේ පරිසරය නිසි ලෙස භාවිතා කරමු, ස්වභාවික සම්පත්, අනාගතයට ඉතිරි කරමු.

 

%d bloggers like this: