Blog Archives

ලැම්බෝගිනි සහ සංචාරකයින් මත යැපෙන ආර්ථිකය යහපත් එකක් වීමට නම් හෙවත්…. Sigiriya You Rock !


පසුගිය සතියක පළවුන ලිපියක් ආශ්‍රයෙන් බොහෝ දෙනෙක් විවිධ මත පළ කරලා තිබුණා. ඒ අතරේ ඉස්සර විදුසරේ වීරයෝ වෙලා හිටපු නාලක ගුණවර්ධන, චානුක වත්තෙගම දෙපළත්, ආර්ථික විද්‍යාව ගැන බොහෝ මත පළ කරන අරුණි ශපිරෝ අක්කත් මූලිකව සිටියා… මේ අතරෙයි චම්පික රණවක මහතා බලය සහ බලය පොත එළි දක්වන්නෙ. මට ඒ පොත කියවන්නට නොහැකි වුනත්, ඒ පොතට ප්‍රතිචාරයක් ලෙස පළකළ චානුකගෙ ‘ලැම්බෝගිනි ආර්ථිකය’ සැබෑ ආර්ථිකයක් නොවන්නේ නම් ඒ ඇයි? – Is Lambogini economy not real? ලිපිය නම් කියවන්න අවස්ථාවක් ලැබුණෙ මට පියෙකු මෙන් සැලකූ මහාචාර්ය විලියම් රැම්බින් සමඟ ලංකාවේ සමහර වැදගත් ස්ථාන කිහිපයක සංචාරය කරන අතරතුරේ දීයි.

මම රසායන විද්‍යාඥයෙක් මිස ආර්ථික විද්‍යාඥයෙක් නෙවෙයි. නමුත් රසායන විද්‍යාව හෝ කර්මාන්ත ආශ්‍රයෙන් රටට යමක් සිදු විය යුතුය කියන ස්ථාවරයේ තදින්ම එල්බගත් මිනිහෙක් තමයි මම. මේ ලිපිය චානුකගෙ ලිපියට පිළිතුරක් නම් නොවෙයි. නමුත් අපි බොහෝ දෙනෙකු ඉන්න සංචාරක බුබුලේ ඇත්ත තත්ත්‍වය දැක්වෙන ලිපියක් වෙයි කියලයි මම හිතන්නෙ. මේ ලිපියට පාදක වෙන්නෙ මම පසුගියදා මගේ මහාචාර්යවරයා සමඟ ලංකාවේ ඓතිහාසික ස්ථාන නරඹන්නට ගිය ගමන….. සංචාරක ක්‍ෂෙත්‍රයේ ඇති අපමණක් අඩුපාඩු  පමණක් නොවෙයි ඒ අඩුපාඩු හදාගන්නත් මේ ලිපිය කාට හෝ උපකාරයක් වේවි යැයි මම විශ්වාස කරනවා… නැතිනම් රෑ නිදි මරාගෙන මේ ලිපිය ලියන්න මට අමාරුවක් නෑ…

අපි මුලින්ම ගියේ දඹුල්ලේ ලෙන් විහාර නරඹන්නට. දඹුලු ලෙන් විහාර කියන්නෙ ලෝකයාගෙම අවධානය දිනා ගනිපු, සංචාරක පොත්පත්වල හොඳින් විස්තර ලියැවුන තැනක්. සංචාරකයෝ බොහෝ දෙනෙක් මඟපෙන්වන්නන් සමඟ පැමිණියත්, තවත් සමහරුන් පැමිණෙන්නෙ එක්කෝ තනියම, එසේත් නැතිනම් දන්නා හඳුනන ශ්‍රී ලාංකිකයින් සමඟ. දඹුලු ලෙන් විහාරවලට ඇතුළු වීමේ විදෙස් සංචාරක ප්‍රවේශ පත්‍රයක්  රුපියල් 1500 ක්, නමුත් එතැන රුපියල් 1500 කට සරිලන්න සේවයක් ලැබුණ බවක් නම් පෙනෙන්න තිබුණෙ නැහැ. මුල්ම අඩුපාඩුව තමයි ප්‍රවේශපත්‍ර නිකුත් කරන ස්ථානය තිබෙන්නෙ ගොඩනැගිල්ලෙ පිටුපසට වීම… එය ඉදිරියක තිබුණා නම් එතැනින් ප්‍රවේශපත්‍ර ලබා ගන්න එන අයට කීප දෙනෙකුගෙන් අහන්න අවශ්‍ය වෙන්නෙ නෑ… දඹුල්ලෙ ගමන ගැන නම් ඒ තරම් කියන්න අඩුපාඩුවක් නැහැ.

නමුත් සීගිරියෙ සංචාරකයින්ට සිදු වුන අපහසුතා එමටයි… මුලින්ම ප්‍රවේශපත්‍ර ලබා ගන්න තියෙන්නෙ ඇතුළුවීමේ දොරටුවෙන් මීටර දෙසීයක් පමණ ඈතට – විරුද්ධ පසට වෙන්න… ඇයි මේ ඇතුළුවීමේ දොරටුව අසළම ප්‍රවේශපත්‍ර කවුළුවක් තනන්න අපහසු ? ඒ වගේමයි දේශීය සංචාරයකයින්ට වාහන ගාල් කරන්න තැනක් නැති ලු. එතැන හිටපු ආරක්‍ෂක නිලධාරියෙකු තමයි ඒ කතාව කිවුවෙ… විදේශීය සංචාරක ටිකට්පතක් රුපියල් 3000 ක් විතර වෙනවා.. ටිකට් නිකුත් කරන ස්ථානයේ අපූරු දැන්වීමක් අලවා තිබුණා.. එතැන සිටි සංචාරකයින් කිහිප දෙනෙකුම ඒ දැන්වීම කියවා බොහොම වික්‍ෂිප්ත භාවයට පත් වුනා.

949

මොන භාෂාවක්ද ? මොන විදියට කියලා තියෙනද කියලා හිතා ගන්න අමාරුයි. දහස් ගණනක් විදේශ සංචාරකයින් එන තැනක ලියපු දැන්වීක වගකීම් සහිත භාවය තමයි මේ.

ටිකට් පත් ගැනීම නිසා සීගිරියේ විදේශ සංචාරකයින් ගෙන එන වාහන ගාල් කිරීමේ ස්ථානයේ වාහනය නැවැත්වීමට පහසුකම ලැබුණා. නමුත් එතැන තියෙන්නෙ රථ ගාලක් නොවෙයි… එතැන විවිධ ස්ථානවල ගස් අස්සෙ ඉඩක් තියෙන තැනක වාහනය ගාල් කරනවා.. දැඩි තදබදයක් මැදින් සීගිරි බිතුසිතුවම් නරඹා සිංහ පාදය අසළටත් අපි තමන් කළා.

_MG_0378

මේ මහාචාර්ය විලියම් රැම්බින්

_MG_0342

උඩට යන්න පෝලිම

_MG_0351

සීගිරි සුකුමාලියෝ

_MG_0354

_MG_0362

ඉන්පසුව අපි ගියේ අනුරාධපුරයට… බලන්න දේ එමටයි… ජේතවන කෞතුකාගාරයේ ඇති දෑ විශ්මය ජනකයි… එතැන හිටපු අයගෙ වැඩ නම් අපිලිවෙලයි…. සංචාරයකින්  එතැන වූ රූපවාහිනියේ ජේතවනය පිළිබඳ වාරතා වැඩසටහන නරඹත්දී එතැන සේවයට හිටපු කිහිප දෙනෙක් මහ හයියෙන් කතාව… අන්තිමට එතැන හිටපු සංචාරකයෝ නැගිටලා ගියේ අප්‍රසාදය පළ කරමින්… සෙනඟ ගැවසෙන තැනක එසේ වාර්තා වැඩසටහන පෙන්වීමට ඉඩ වෙන් නොකර එය වෙනම කාමරයක සිදු කළා නම් එවැනි බාධා ඇති වන්නෙ නැහැ.

ලංකාවෙ සංචාරක කර්මාන්තය සහ සංචාරකයින්ට පහසුකම් සැලසීම අනිවාර්යයෙන්ම මීට වඩා කිහිප ගුණයකින් ගුණාත්මකව වැඩි දියුණු කළ යුතුයි. ඒ ඒ ස්ථානවල සේවය කරන්නවුන්ට මනා ඉංග්‍රීසි දැනුමක්, ආචාර ධර්ම ආදිය ඉගැන්විය යුතුයි. එවිටයි ආගන්තුක සත්කාරය සහ පාරිභෝගික සේවය පිළිබඳ සංචාරකයින්ගෙ සිත් තුළ යහපත් ආකල්පයක් ඇති වන්නෙ.

එසේ නැතිනම් අපි සංචාරකයෝ එනවා කියා උන් ඇවිත් වියදම් කරලා යනවා කියලා උඩ බලාගෙන සිටියොත් සංචාරකයින් නැවත පැමිණීම (Tourist Returns) අවම වෙන්න පටන් ගන්නවා.. වරක් පැමිණි කෙනෙකු නැවතත් එතැනට එන්නෙ හොඳ සැලකීමක් තිබුණොත් විතරයි.

නමුත් තුන්මුල්ල හන්දියේ ඇති ලක්සලේ නම් ඉතාම විශිෂ්ඨ සේවයක් සිදු කළා… එතැන හිටපු බොහෝ දෙනෙක් චතුරව ඉංග්‍රීසි කතා කළ හැකි තරුණ පිරිසක්, ඔවුන්ගේ පාරිභෝගික සේවාවත් අති විශිෂ්ඨයි… එවැනි තරුණ තරුණියන් සීගිරියේ, ජේතවන කෞතුකාගාරයේ වැනි ස්ථානවල සේවයට යොදන්න පුළුවන් නම් අපේ සංචාරක සේවාව මීට වඩා ගැම්මක් ඇති දෙයක් වෙනවා නොඅනුමානයි…

Advertisements
%d bloggers like this: