Blog Archives

සියක් ආයු ලැබ… මගෙත් ආයු විඳ….. මටත් වඩා කල්… ඔබ ජීවත් වේවා… !


දියවැඩියාවට ඉංගිරිසියෙන් කියන්නෙ Silent  Killer කියලා. වෙනත් කිසිම කාරණයක් නිසා නොවෙයි… ඒ දියවැඩියාව වැළඳෙන්නෙත්, පැතිරෙන්නෙත්, කෙනෙකුගේ ජීවිතය බිලි ගන්නෙත්, හැමෝටම හොරෙන් නිසා… සමහරු තරුණ කාළයේ – මැදි වයසේදී පාලනයක් නැතිව ආහාර – සහ ආහාර නොවන දෑ ගැනීම නිසා දියවැඩියාව වැළඳෙනවා. තවත් සමහරුන්ට පවුල් පසුබිම – ජානමය හේතු කාරණා, තවත් සමහර අයට මේ දෙකම නිසා… නමුත් මේ රෝගය වැළඳුනාට පසුව නැවත ආපසු යනවා බොරු… එසේ ගියත්, ඒ මුල්ම අවස්ථාවෙදි විය යුතුයි. ඒ වුනත් එදා ඉඳලාම ආහාර පාලනයෙන් හෝ මේ රෝගය වැළඳීම නවත්වාගන්න වෙනවා. මේ නිසායි අපි බොහෝ දුරට බොහෝ දෙනාට කියන්නෙ දැන්ම ඉඳලාම ආහාර පාලනය, නිසි ලෙස ව්‍යායාම කිරීම ආදිය සිදු කිරීම මගින් දියවැඩියාව වැලඳීම වලක්වාගන්න කියා. දැනට සිදු කර ඇති සමීක්‍ෂණ ඇසුරින් කියවෙන්නෙ 2020 වනවිට ලාංකීය ජනගහනයෙන් 50% – 65% අතර ප්‍රමාණයක් දියවැඩියාවෙන් පෙළෙන්නට හැකි බව.ඒ කියන්නෙ ජනගහනයෙන් (මිලියන 22 කින්) හරි අඩක්. හාමුදුරුවරුන්ට නම් දැන්මම ආහාර වට්ටෝරුවක් නියම කරලා. නමුත් සාමාන්‍ය ජනතාවට එහෙම නියම කළාට කයිද ? එපමණක් නම් මදෑ… දරුවනුත් මේ තත්ත්‍වයට පත් වෙනවා

ලෝකෙ වටේ කරක් ගහපු මම නැවත ලංකාවට එන්න හේතු වුනෙත් දියවැඩියාව. මට වැළඳීම නිසා නොවෙයි.. මගේ මවට දියවැඩියා තත්ත්‍වය උත්සන්න වීම නිසා. හැමදාම කතා කරද්දි බෙහෙත් ගත්තද ? කෑම හරියට කෑවද කියලා ඇහුවත්, හැමදාම ඔව් කියපු ඇය, කියපු දේ කරලා නැති බව දැනගන්නකොට දියවැඩියා තත්ත්‍වය සෑහෙන ඔඩු දුවලා අවසානයි. මේ නිසාම ඇය තවත් කළක් ජීවත් කරගන්න අවශ්‍ය නිසාම බටහිර වූ දෑ සහ අනාගතය පසෙක ලා නැවත ලංකාවට අප පැමිණියේ අප්‍රේල් මස මුලදී.. දැන් ඇය තරමක් ඔත්පල ව සිටියත්, දරුවන් තුන්දෙනාම ඇගේ ළඟ සිටින නිසා ඇයට සතුටුයි. කොපමණ පෙරැත්ත කළත් සතියකට වඩා කොළඹ නම් ඉන්න ආස නෑ… ඒ දෙන්නගෙම හැටි එහෙමයි.

අපි තුන්දෙනාගෙම සාර්ථකත්‍වය පිටුපස මහා පහන් ටැඹක් වෙලා ඉන්නෙ අම්මයි තාත්තයි. තාත්තා ඉස්කෝලෙ එක්කයි පොළව එක්කයි හැප්පෙද්දි අම්මා හැප්පුනේ අපි එක්ක… අපට ඉදිරිය උදා කරන්න.. අපි කරන කිසිම දෙයකින් අම්මා සෑහීමකට පත් නොවුනෙ අපට ඊට වඩා ඉදිරියට යන්න පුළුවන් බව අම්මා දැන හිටි නිසා… අම්මා ජීවත් වෙද්දි මට ආචාර්ය උපාධිය ලබා ගැනීමට හැකි වීම මගේ ජීවිතයේ ලොකුම සතුටක්…

කොහොම වුනත් දියවැඩියාවේ භයානක කමත්, නිසි ලෙස බෙහෙත් ලබා නොගැනීමත් යන දෙකෙහිම සම්මිශ්‍රණයක් නිසා දැන් ඇය බොහොම අබලන්. මාසෙකට සැරයක්වත් කරාපිටියෙ රෝහලේ 17 වෙනි වාට්ටුවට නොගියොත් වාට්ටුවෙ මිසීලත් බලනවලු මොකද කියලා.. ඇයට ඒ තරම් රෝහල පුරුදු වෙලා.

අම්මා වෘත්තීය ආයුර්වේද වෛද්‍යවරියක් නොවුනත්, පාරම්පරිකව හිමි වුන ඖෂධ වට්ටෝරුවක් අනුව ඇය සෙංගමාල රෝගීන් දාහක් පමණ ජීවත් කරවලා තිබෙනවා. සමහරු හොඳ කරන්න අමාරුයි කියා රෝහලින් නිවසට පිටත් කරපු මිනිස්සු… ඒ පිනෙන්ම අම්මා තව දිගු කළක් ජීවත් වෙනවා. ඒත් ඇගේ සෞඛ්‍ය තත්ත්‍වය නම් ඉතින් තරමක් ඉහළ පහල යනවා. සමහර දවසකට බොහොම හොඳයි.. තාත්තා නිරන්තරයෙන්ම ඇය සමඟ සිටින නිසා ඇයට ඒ තරම් අපහසුවක් නැහැ.. දරුවන් වශයෙන් අපි තුන්දෙනාම කළ හැකි සෑම දේම කළත්, නෑයින්ට නම් ඒකත් ප්‍රශ්නයක්. සමහරු දරුවො සළකන්නෙ නෑ නේද කියා මේ ලෙඩ වෙලා ඉන්න මනුස්සයගෙන් අහනවලු… තාත්තා මාව වැලැක්වුවේ නැතිනම් ඥාති සබඳතාවයන් එතැනින්ම නවතන්නයි මම නම් සූදානම් වුනේ.. වේයොන්ගෙන් බේරුණත් නෑයොන්ගෙන් නම් බේරෙන්න අමාරුයි. තවත් සමහරු කියනවා නංගිට කරන රැකියාව නවත්වලා ඇය බලාගන්න යන්නලු.. අපේ නංගිට අම්මගෙ කකුලක්වත් හොළවන්න පුළුවන් නම් පුළුවනි..  මේ නිසාම අපි අම්මාගෙ තනියට සහ ගෙදර වැඩකටයුතු බලාගන්න අපේම ඥාති අක්කා කෙනෙක් සහායට ගත්තා. දැන් නම් තත්ත්‍වය සතුටුදායකයි. හැම සති අන්තයේම ඇය බලන්න යන නිසා ඇයටත් සිතට සනීපයි.

ඉතිං මමත් දැන් බොහොම කාර්ය බහුලයි. අළුත් රැකියාවත් සමඟ ගෙදර ඉන්න ඇති වෙලාවත් සීමිතයි. වගකීම් වැඩි වෙනවිට ඉටු කළ යුතු කරුණා කාරණා, බැලිය යුතු වපසරිය ආදියත් වැඩි වෙනවා. මේ නිසාම බ්ලොග් එකට ඇති අවධානයත් අඩු වෙලා. කාලෙකට පස්සෙ අද තමයි යමක් කුරුටු ගාන්නවත් වෙලාවක් ඉතිරි වුනේ.

බ්ලොගය අතරමං කරලවත්, අතෑරලා වත් නෑ.. කෙටුම්පත් කළ ලිපි ගණනාවක් තිබෙනවා… ඉඩ ඇති විදියට සම්පූර්ණ කර පළ කරන්නම්… ඉඳලා හිටලා ඇවිත් යන්න..

බස් රේඩියෝවෙ කළ සංවාදය තවම වැඩකටයුතු අවසාන වෙලා නැති හැඩයි… වැඩ අවසාන වුන පසු බ්ලොගයේ පළ කරන්නම්.. කට්ටියට අහන්න…

මේ ඉන්නෙ ආච්චියි සීයයි කතරගම ගිහින්… මුණුබුරා එක්ක….

_MG_8088

ඉතිං… ගිහින් එන්නම්…

සියක් ආයු ලැබ… මගෙත් ආයු විඳ….. මටත් වඩා කල්… ඔබ ජීවත් වේවා… !

2012 දෙසැම්බර් 17 : ලොකු හාමුදුරුවෝ දියවැඩියා….


නිධාන කතාව:

අළුත මහණ වුන පුංචි හාමුදුරුනම පන්සලේදි වුනත් තවමත් කතා කරන්නෙ ගෙදර කතා කරනවා වගේ…

පොඩිනම… මෙහාට ආවනං…. ලොකු හාමුදුරුවො පොඩිනමට කතා කරනවා….

එනවෝ……. කියාගෙන කාර් එකකුත් පැදගෙන පොඩිනම දුවගෙන වඩිනවා…

පොඩිනම, දැන් ඉතිං පොඩිනම ගෙදර කතා කරනවා වගේ පන්සලේ කතා කරලා බැහැ… එනවෝ කියලා දුවන්න බැහැ පන්සලේ…

කනවාට කියන්නෙ වළඳනවා කියලා… එනවා- යනවා කියනවට කියන්නෙ වඩිනවා කියලා…කියනවට කියන්නෙ වදාරනවා කියලා… ඒ නිසා ඒ වගෙ යෙදුම් පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕන… හොඳද ?

එහෙමයි ලොකු හාමුදුරුවනේ……

මෙහෙම ටික දවසක් ගතවෙද්දි, පොඩිනම කුඹුරක් මැද්දෙන් යද්දි බල්ලෙක් එළවගෙන ඇවිත් පොඩිනම හපා කන්න… ඉතිං පොඩි නමත් බුදු මෑණියනේ කියාගෙන කුඹුරේ වැටි වැටි පන්සලට දුවගෙන ඇවිත්… ඉහිං කණින් දාඩිය දාගෙන සිවුර පුරා මඩ ගාගෙන දුවගෙන ආපු පොඩිනමගෙන් ලොකු හාමුදුරුවො ඇහුවෙ මොකද්ද මේ සංගදිය කියලා..

ලොකු හාමුදුරුවනේ මම කුඹුරේ නියර දිගේ පන්සලට වැඩගෙන එනකොට බල්ලෙක් ආවනෙ මාව වළඳන්න…. මම වැඩ්ඩා වැඩිල්ලක්… වැඩ්ඩ පාරට සිවුර වෙලේ වැටුනා….

හාමුදුරුවොන්ට සිනා පහළ වුනත් පොඩි නමට කිසිවක් කියලා නැත්තෙ හැම යාමක්ම ඒමක්ම වැඩිල්ලක් නොවන නිසා වෙන්න ඇති…

ඒ වගේම මේ ලොකු හාමුදුරුවො දවසක් ස්නානය කරමින් සිටින වෙලාවක පන්සලට දායක මහතෙක් ඇවිත් පොඩිනමගෙන් විමසුවලු ලොකු හාමුදුරුවො කොහිදැයි කියා…

ලොකු හාමුදුරුවො දියවැඩියා කිවුවලු… ඉතිං දායක මහත්තයා කිවුවලු… අනේ පොඩි හාමුදුරුවනේ මම හිතුවෙ ලොකු හාමුදුරුවො උඩවැඩියා කියල….

ඉතිං මේ සරළ කතාව කාටවත් හිත් රිදවීමක් නොවෙයි කියලා මම හිතනවා… කොහොමත් ආගම වපුරගෙන වවාගෙන කන අයට නම් සමහරවිට මේක ලොකු කතාවක් වෙයි…

නමුත් මේ කතාව මට මතක් වුනේ ලංකාවෙ දායකයින්ට හාමුදුරුවන්ට දානය දෙන එකට ආචාරධර්ම පද්ධතියක් පණවන්න යන එක ගැන කියැවිච්ච මෙන්න මේ පුවත දැකලා...

අපි කවුරුත් බොහොම කැමතියි දන් දෙන්න… දන් දීම කොයි තරම් හොඳ දෙයක්ද ? නමුත් මේ දන් දීම ගැන අපි බලන්නෙ මොන විදියටද ? තමන් කැමති ඉස්තරම්ම කෑම ජාති උපරිමෙන්ම හදලා කටට රහට හාමුදුරුවන් වහන්සේලාට පිදීම තමයි අපි හැමෝම බලන්නෙ… ඉස්සර නම් දාන වලට කුකුළු මසුත් අනිවාර්යයෙන්ම තිබුණත්, දැන් දැන් මස් මාළු දාන වේල් වලින් ඈත් වෙලා තිබෙනවා. අපේ ශ්‍රද්ධාව වැඩිකම නිසා බොහෝ විට අමාරුවෙ වැටෙන්නේ පන්සල්වල වැඩ සිටින ස්වාමීන්වහන්සේලා. මොකද කියනවා නම් අපි පූජ කරන දානය බොහෝ විට අමාරුවෙන් හෝ වළඳන ඒ ස්වාමීන් වහන්සේලාට ඒ දානයෙන් ලැබෙන අධි කැලරි පෝෂණය දිරවගන්න බැරි වීම නිසා. බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයින්ට පිණ්ඩපාතයේ වැඩීමට නියම කළේ නිකම්ම නොවෙයි. ඇවිදීමෙන් ශරීරයට සිදුවන සෙත, පිණ්ඩපාතය මගින් ලැබෙන ඕනෑම දෙයක් ශ්‍රද්ධාවෙන් යුතුව වැළඳීම, ආදී බොහෝ දේ නිසයි (මේ පිළිබඳ දන්නා කියන කෙනෙකු දැනුවත් කරනවා නම් අගෙයි). කොහොම වුනත් දැන් කාළයේ පිණ්ඩපාතයේ යාමක් කෙසේ වුවත් ස්වාමීන් වහන්සේලා සක්මන් කිරීමක් හෝ සිදු වනවා දැයි දන්නෙ නැහැ… මේ නිසාම බොහෝ ස්වාමීන් වහන්සේලා විවිධාකාර රෝගවලින් පීඩා විඳිනවා.

අධික තෙල්, ලුණු, සහ මේදය ඇති ආහාර වැළඳීම මගින් කොලෙස්ටරෝල් වැඩි වීම නිසා හෘද රෝගත්, සීනි අධික ආහාර වැළඳීම නිසා දියවැඩියාව වැළඳීමත් මෙයින් ප්‍රධානයි. මේ නිසාම දැන් දැන් බොහෝ ස්වාමීන් වහන්සේලා අල්පේච්ඡ දාන වේලක් පිරිනමන මෙන් සිය දායක දායිකාවන්ගෙන් ඉල්ලා සිටිනවා. නමුත් ශ්‍රද්ධාව වැඩිකම නිසාම අපේ උපාසකම්මලා මහා පරිමාණ දාන වේල් සපයනවා. මෙය දෙපැත්ත කැපෙන පිහියක්, තම දායක දායිකාවන් නිසාම ඒ ඒ දානය යන්තමින් හෝ වැළඳීමට ඒ ස්වාමීන් වහන්සේලාට සිදු වෙනවා. දායක දායිකාවන් මේ ගැන එතරම් තැකීමක් කරන්නෙත් නැහැ..  නමුත් මේකට තිත තැබීමට කාළය පැමිණිලා.

ස්වාමීන්වහන්සේලා එතරම් ව්‍යායාමයක් නොලබන පිරිසක්. මේ නිසාම අධික කැලරි සහිත ආහාර මෙන්ම අධික සීනි හෝ ලුණු සහිත ආහාර වැළඳීම එතරම් ගුණදායක නැහැ.. මේ නිසා එවැනි දානයන් පිරිණැමීමෙන් වලකින ලෙස සිය දායක දායිකාවන් දැනුවත් කිරීම කළ යුතු මෙන්ම, තම පන්සලේ ස්වාමීන් වහන්සේලාගේ සෞඛ්‍යය පිළිබඳ සැළකිලිමත් වී උන් වහන්සේලාට පෝෂ්‍යදායක සරළ දානය වේලක් පිරිනැමීමත් දායක දායිකාවන්ගෙ වගකීමක්…

ඉතින්.. මේක අදාල වෙන්නෙ ස්වාමීන් වහන්සේලාට විතරද ? නැහැ… අපේ බොහොමයක් දෙනා හරිහැටි ව්‍යායාමයක් ලබන පිරිසක් නෙවෙයි.. ස්වාමීන්වහන්සේලාට අදාල මේ කාරණේ ගැන තමන් වහන්සේලාත් සළකා බැලුවොත් ගිහි උන්දලාටත් වටිනවා…

බුදුන් වහන්සේ “ආරෝග්‍යා පරමා ලාභා” කියලා වදාරලා තියෙන්නෙත් ඒකයි…

පෞද්ගලික රෝහල්වලත් “ආරෝග්‍යා පරමා ලාභා” කියලා ගහලා තියෙන්නෙ… මිනිස්සු ලෙඩ නොවී ඉන්න බව දන්න නිසා… ඒකත් තමන්ට පරම ලාභයක්….

ඉතිං අපි හැමොම ආහාර පාලනය කරන්න කාළය හරි… හරිමත් නෙවෙයි… දැනුත් පරක්කුයි…. අපි බොහොමයක් කන්නෙ ජරාව.. පසුගිය දවස්වල ලංකාවෙ ටික කළක් හිටපු නිසා මම දුටු දෙයක් තමයි, බොහෝ දෙනෙක් කන්නෙ ජරාව… මස් මාළු ගැන කතා කරලා වැඩක් නෑ… කුළුබඩු වලටත් වර්ණක දානවා. පරිප්පු වලට, කැකුළු බත් වලට රතුපාට දානවා. හැම දේටම බාල දේ කවලම් කරනවා. මේ සියල්ල විෂ…  ලංකාවෙ වස විස නැති පෝෂ්‍යදායක ආහාර වේලක් කන්න නම්, ගමේ ගෙදරක තමන් විසින්ම වවා ගත් එළවලු වලින් සකසා ගත් ආහාර වේලක් ගත යුතුයි. ඒවයෙත් තිබෙන්නෙ රසායනික පොහොර… කාබනික පොහොර පාවිච්චි කරලා, වස විස ඉහලා නැති ආහාර වේලක රස බලන්න ලංකාවෙ තැනක් තියෙනවද ?

දන්න කෙනෙක් ඉන්නව නං කියන්න…