Blog Archives
2012 පෙබරවාරි 03: ඇත්තටම අපි නිදහස් ! අභිමානවත් 65 වන නිදහසට පෙරවදනක්……
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 65 වන නිදහස් දිනය අභිමානවත් අන්දමින් ත්‍රීකුණාමලයේදී සැමරීමට සියළු කටයුතු සූදානම් කර ඇත. ජනාධිපතිතුමා ආචාර පෙළපාලිය නිරීක්‍ෂණය කරනු ඇත, බාලිකාවියන් ජයමංගල ගාථා ගායනා කර දේවෝ වස්සතු කාලේන ද කියනු ඇත… ලංකාවේ අප සැවොම සියළු කටයුතු පසෙක දමා රූපවාහිනී ඉදිරිපිට දෑස් අයාගෙන මේ ආශ්චර්යය නරඹනු ඇත… නමුත්, ඒ සියල්ල අවසානයේ එක් පැණයක් පමණක් අප සිත් තුළ ඉතිරි කර අප සැවොම යළි පියවි ලෝකයට දමාගසනු ලබනු ඇත…
ඇත්තටම අප නිදහස් ද ?
වසර 1505 න් පසු ලක්දිව යටත් විජිතයක්ව පැවතුනි. මුලින්ම පෘතුගීසීන් ද, දෙවනුව ලන්දේසීන් ද, අවසන ඉංග්‍රීසීන්ද අප රට යටත් විජිතයක් කරගෙන පාලනය කළහ. ඒ සමයේ ඔවුන් අපෙන් ලබාගත් අනන්තවත් වස්තූන් වෙනුවට අපට මාර්ග පද්ධතියක්, පොතක ලියැවුන නීතිරීති පද්ධතියක්, දුම්රිය මාර්ග සහ විධිමත් ප්‍රවාහන පද්ධතියක්, සැලසුම් සහගත රාජ්‍ය ආයතන පද්ධතියක්, ආදී දෑ නොලැබුණාය කිවහොත් එය මහා කුහක කමකි. එසේම ඔවුන් අප රටෙන් පිටව යද්දී ඔවුන්ගේ සිතුම් පැතුම් අනුව ක්‍රියා කරන කළු සුද්දන් සමූහයක්ද ඇතිකර ගිය බව බොහෝ දෙනාගේ අදහසයි… 1947 දී ඉන්දියාව නිදහස ලබද්දී, ඉන්දියාවෙන් ඉවත් වූ සුද්දාට ලංකාව පාලනය කිරීමට අමතර උත්සාහයක් දැරිය යුතු විය. කලාපයේ ඉංග්‍රීසි ආධිපත්‍යය පතුරවා ගැනීම අත්‍යවශ්‍ය නොවුන නිසාත්, ඉන්දියාවෙන් තමන් අයින් වුන නිසාත්, කරදරයකින් තොරවම සුද්දා ලංකාවට ද නිදහස ලබා දුන්නේය. මේ නිසාම අපි කිසිදු අරගලයකින් තොරව නාම මාත්‍රික නිදහස ලබා ගතිමු. ඉන් අනතුරුවද 1972 වනතුරු අපට පූර්ණ නිදහසක් ලැබුණේ නැත… අවසන 1972 දී අප ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය බවට පත් වීමු.. ඒ අපේ නිදහසේ අතීතයයි.
ඉන් වසර 41 ක් ගිය තැන අප කොතැනද ? 1977 දී අප රටට හඳුන්වා දුන් පූර්ණ විවෘත ආර්ථිකයේ බලමහිමයෙන් අපට අවශ්‍ය සහ අනවශ්‍ය සියල්ල ලැබී ඇත.. ආර්ථිකය විවෘත වීමත් සමඟම ලෝකය අපටත්, අප ලෝකයටත් විවෘත වීමු. එතෙක් කල් අර්ධ ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයක් මත යැපුනු අප සියල්ලම පිටරටින් ආනයනය කරන්නට විය. හාල් ඇටයේ සිට රෝල්ස් රොයිස් රථය දක්වා වූ සියල්ල අපි පිටරටින් ආනයනය කරමු.. අප ආර්ථිකව පිටරටට ගැති වෙමු. චීනය, ඉන්දියාව, ඉරානය, සව්දි ආරාබියාව, වැනි ධනවත් බලවත් රටවලට අප ආර්ථිකව ණයගැති වෙමු… ඒ නිසාම අපි ආර්ථිකව දීන ජාතියකි. ඒ දීන බව නිසාම ඒඒ රටවල උවමනාවට අපේ ඇමති මණ්ඩලය වෙනස් කරන්නට තරම් අදීන ජාතියකි අප. දැන් ගණන් බලා ඇති අන්දමට සෑම ශ්‍රී ලාංකිකයෙකුම පිටරටවලට රුපියල් 300,000 ට අධික ප්‍රමාණයක් ණය ගැති ය. මේ ණය එන්න එන්න වැඩිවනවා මිසක් අඩු වීමක් නැත. ඒ අපේ රජය ණය ගනිමින් ආශ්චර්යය කරා ගමන් කරන නිසාවෙනි.
වෙනදා සහලින් පොලින් ස්වයංපෝෂිත වූ අප කේරලයෙන් පොල් ආනයනය කරන තත්ත්‍වයට පත් වී ඇත. මේ තාක් රට කළ ආණ්ඩු සිය මඩි තර කර ගැනීම පිණිසම කළ අදූරදර්ශී ක්‍රියා කලාපයන් නිසා පොල් ත්‍රිකෝණයෙන් වැඩි කොටසක් නිවාස සඳහා වෙන් වී ඇත. යුද්ධයෙන් පසු ජාතික ප්‍රවාහයට එක් වූ උතුරු නැගෙනහිර ගොවිපොළවලින් එන සහලින් රට ස්වයංපෝෂිත ව තිබිය යුතු නමුත්, නිසි කළමණාකරණය සහ දූරදර්ශී සැලසුම්කරණයේ අඩුවක් නිසා අපට තවමත් සහල් මිලෙහි කිසිදු සහනයක් දක්නට නැත… මේ උදාහරණ දෙක තුනක් පමණි. බොහෝ බඩු භාණ්ඩවල මිලෙන් පමණක් නොව අන්තර්ගතයෙන්ද අප නිදහස් නොමැත. පාරිභෝගිකයා ආහාරයට ගත යුතු දෑ නිර්ණය කරන්නේ වෙළඳ දැන්වීම් සමාගම් ය… ඒඅනුව අප සියළුම දෙනා අහවල් සොසේජස් වර්ගයත්, අහවල් බීම ජාතියත්, අහවල් සබන් ජාතියත් මිලදී ගනු ඇත. අපට තෝරාගැනීම් ඇත… නමුත්, ඒ සියල්ලේ තත්ත්‍වය එකමය… සියල්ලේම ඇත්තේ ජරාවය…
සෞඛ්‍යය අතින් අප ස්වාධින නැත. වෛද්‍යවරුන් අපට නියම කරන බෙහෙතේ ගුණාත්මක භාවය ඖෂධ වෙළඳ නියෝජිතයන් (Medical Representatives) වෛද්‍යවරයාට දෙනු ලබන සංතෝෂම අනුව තීරණය වේ. බෙහෙතේ පිරිසිදු භාවය බෙහෙත් ගෙන්වන පුද්ගලයන්ට අදාල සමාගමෙන් ලැබෙන කුට්ටිය මත තීරණය වේ. ඒ නිසාම අපට යල් පැනගිය බෙහෙත්, ගුණාත්මකභාවයෙන් අඩු බෙහෙත් මෙන්ම බෝනස් ලෙස වීදුරු කැබලි ඇති එන්නත් කුප්පි ද ලැබේ.. අනාගතයේ ඒ තුළ කැරපොත්තන් ද දැකිය හැකි වනු ඇත.
ආගමිකව සහ සංස්කෘතිකව අප සිටින්නේ නරා වලකය. වසර දහයකට පෙර නොතිබූ හලාල් සංස්කෘතියක් ආහාර පාන සඳහා පැමිණ ඇත. වෙනදා මිල දක්වන ලේබලය දෙස බලා බඩු ගත් පාරිභෝගිකයා අද බලන්නේ එය හලාල් ද නැත්ද යන්නයි. ආහාර නිපදවන සමාගම් 85% ක් දෙනාගේ තෝරාගැනීමේ නිදහස 15% කට අඩු පාරිභෝගික සංඛ්‍යාවක් නිසා අහිමි කර ඇත. සිය නිශ්පාදන හලාල් කළ යුතුම නම් කළ යුත්තේ හලාල් සහ හලාල් නොවන ලෙස අංශ දෙකකින් සිය නිශ්පාදන පාරිභෝගිකයා වෙත ලබා දීමයි. ආගමිකව අප බලෙන් ආගම් හැදෑරීමට පොළඹවා ඇත. පෙර පැවති ආගමික සහජීවනය වෙනුවට මුස්ලිමුන් බෞද්ධයන් කුපිත කිරීමත්, විවිධ බෞද්ධාගමික සංවිධාන මුස්ලිමුන්ට පහර දීම සහ ඔවුන්ගේ ව්‍යාපාරවලට එළිපිටම පහර දීම වැනි ගුජුප්සාජනක ක්‍රියා කෙරෙහි එළැඹී ඇත.. දෙපැත්තම නිවැරදි නැත.
දේශපාලනිකව කිසිවෙකු නිදහස් නොමැත. ඒ ගැන කතා කිරීමෙන් පළක් නැත. නීතිමය පැත්තෙන් අප කිසිවිටෙක නිදහස් නැත… මුදල් මත නිදහසත් සිරගෙයත් තීරණය වේ. ජනාධිපති තුමා නීතිය සැමට එක යැයි පාරම් බෑවත්, වරෙන්තුකරුවන් නිදැල්ලේ එතුමා සමඟම ඡායාරූප වලට පෙනී සිටීමෙන් එතුමාගේ නිදහසේ අර්ථකතනය ද ජනතාවට පෙනේ.. අපට අවශ්‍ය දේශපාලනඥයෙක් තෝරා ගැනීමේ නිදහස ද අපට අහිමි වී තිබේ. ඒ තමන් සතු මැර බලයේ ප්‍රමාණයෙන් ඡන්දයේ ඉරණම තීරණය කිරීමේ හැකියාව සැමට ඇති බැවිනි.
රූපවාහිනිය බැලීමේ නිදහස වෙලඳ දැන්වීම් වලින් උදුරාගෙන තිබේ. තිරයේ දැක්වෙන රූපරාමු අතරින් වෙලඳ දැන්වීම් බම්ප් වේ… ඒ දැක අපට පිස්සු බම්ප් වේ. වැඩසටහනක් විනාඩි පහක් එක දිගට නැරඹීමේ නිදහස වෙළඳ දැන්වීම් නිසා අහිමි වී තිබේ. නිදහසේ බස් රථයක යාමේ නිදහස ඩ්‍රයිවර් මහතා සහ කොන්දා විසින් උදුරාගෙන තිබේ. කාන්තාවක් නම් ඇය බස් රථයේ යාමේ නිදහස අවට සිටින ජැක් කාරයන් සහ අඟපසඟ මිරිකන්නන් ගෙන් බේරාගතයුතුව තිබේ. නිදහසේ ව්‍යාපාරයක් කරගෙන යාමේ නිදහස කප්පං කරුවන් විසින් උදුරාගෙන තිබේ.. එසේත් නැතිනම් යමක් නිදහසේ කරවා ගැනීම අල්ලස් කරුවන් විසින් උදුරාගෙන තිබේ.
අපට කිසියම් නිදහසක් තිබිය යුතුය.. එය වල්බූරු නිදහසක් නොව, නිදහස්ව සිතීමේ, නිදහස්ව කතා කිරීමේ, නිදහස්ව ජීවත් වීමේ නිදහසකි… සමහර රටවල් හා සසඳන විට අපට ඇති නිදහස ගැන අප සතුටු විය යුතුය… නමුත්… වැඩි දියුණු කළ හැකි දේ බොහෝය… පරිපූර්ණ පද්ධතියක වුවද වැඩිදියුණු කළ හැකි තැන් එමට ඇත. There is always room for improvement..
අන්තර්ජාලයේ යමක් කියවීමට ඇති නිදහස බ්ලොග් කරුවන් විසින් උදුරාගෙන තිබේ… උන් නිදහස අර්ථකතනය කරන විදියට අපටත් සිතන්නට පුරුදු කර තිබේ… ඇල්කෙමියා ද එවැනි නිදහස උදුරාගත් එකෙකි.. ඌ පිටරට සිට හිතන්නේ අපට නිදහසක් නෑ කියාය.. නමුත් අපට අවශ්‍ය වෙලාවට අවශ්‍ය යමක් කිරීමේ නිදහස අපේ රටේ ඇත.අවශ්‍ය නම් පයින්ද, බසයෙන්ද, ත්‍රී වීලයෙන්ද, නැතහොත් කැබ් එකකින්ද ගමන් යාමේ නිදහස අපට ඇත. අපට අවශ්‍ය මැක්ඩොනල්ඩ්ස් ද කේ එෆ් සී ද යන්න තීරණය කිරීමේ නිදහස අපට ඇත. සෞඛ්‍යය බල්ලාට ගියත් ඒවා කෑවෙ නැතිනම් ජීවත් වී කුමටද ? වෙනකක් තබා මිනිහෙක් මරා එහෙම කළ බවට මතකයක් නැති බව ප්‍රකාශ කිරීමෙන්ම දඬුවමින් නිදහස්වීමේ නිදහස අපට ඇත. අපට අවශ්‍ය ගීතයක් ඇසීමේ අපට අවශ්‍ය පොතක් කියවීමේ නිදහස අපට ඇත.. ගීතයේ ආකෘතිය පොතේ අන්තර්ගතය අපට අවශ්‍ය නැත. කොතරම් වැරදි කළත්, අල්ලස් ගත්තත්, ආණ්ඩුවට පාඩු කළත් අපේ නිදහසේ අපට අවශ්‍ය විදියට සියල්ල කරගෙන යාමේ නිදහස අපට ඇත. සමහරවිට උසස්වීමක් ද ලැබෙනු ඇත. අපට අවශ්‍ය එකා අවශ්‍ය තැනකට පත් කිරීමේ නිදහසත් අනවශ්‍ය එකා එක රැයකින් ඉවත් කිරීමේ නිදහසත් අපට ඇත. අපට අවශ්‍ය විදියට පරිසරය විනාශ කරමින් තැන තැන කුණු දැමීම, ජල පද්ධතිය විනාශ කිරීම ආදී සියල්ල කිරීමේ නිදහස අපට ඇත. මිනිස්සුන්ට අවශ්‍ය මෙගා ටෙලියක්ද නැතිනම් චංගුමීද පංචමීද ඉන්දියානු මෙගාවක්ද යන්න ඕනෑම තැනකින් තෝරාගත හැක… මේ ඇල්කෙමියාට පිස්සුය… ඌට Permanent Head Damage හැදිලාය..
ඇත්තටම අපි නිදහස්ය…..
ඇති හැකි සියල්ලන්ටම සුභ නිදහසක් වේවා !
2011 පෙබරවාරි 04 : ෴….අපි නිදහස් වෙමු….෴
නිදහස් දිනය උදා වෙනවා අද… ඒ කියන්නෙ අපි මහ රැජිනගෙ රටේ පාලනයෙන් නිදහස් වුන එක කියලයි ඉස්සර ඉස්කෝලෙදි නම් ඉගෙන ගත්තේ… පුංචි කාලෙ ඉස්කෝලෙදි ජාතික කොඩිය උස්සලා ජාතික ගීය කියපු අපි ටිකක් ලොකු වුනාම ප්‍රේමදාස මහත්තයටයි ජේ ආර් මහත්තයටයි පේන්න අපි ගාල්ලෙ ලොකු පෙරහැරක් ගියා නැටුම් නට නට… ඒ අපට ලැබුණ ඩොමීනියන් නිදහස සමරන්න…..
එහෙම ලැබුණ නිදහස අපි මහ ඉහළින් හැමදාම සැමරුවා…. ඉතින් අපි ඒ නිදහස ඇත්තටම විඳිනවද ? අපි ඒ නිදහස අපි ලබනවද ? අපි නිදහස ඇත්තෙන්ම නිසි විදියට පාවිච්චි කරනවා ද? අපි ඇත්තටම නිදහස ගැන කතා කළත් අපි කොච්චර එක එක දේවලට ගැති ද ?
අපි අපේ දේශපාලනඥයින්ට ගැතියි… එවුන් මොනවා කළත් සමහරු ගුණ ගායනා කරනවා… හොඳ දේ අගය කරන්නත්, වැරදි දේ විවේචනය කරන්නත් මැලියි.. එක්කෝ බයයි… අපට එවුන් හරි හැටි පාලනය කරන්න අවස්ථාවක් නෑ… ඔවුන්ව තෝරා ගැනීමට ලැබෙන අවස්ථාවත් අපි ගැති බව නිසාම අතපසු කරලා.. නොගැලපෙන කට්ටියක් අපව පාලනය කරන්න යවලා අද අපි හූල්ලනවා… ලබන පාරවත් නිදහස් වෙන්න බලන්න….
අපි අපේ ලොක්කන්ට ගැතියි… සමහරු බයටත්, සමහරු ලාභ ප්‍රයෝජන තකාගෙන ඒ ස්වාධීනත්‍වය නැති කරගන්නවා…. ඉන් පසු යටත් වෙලා ඉන්නයි වෙන්නෙ… තවත් වෙලාවකට ලොක්කා අපිව යටපත් කරගෙන ඉන්න නිසා අපි යටත් වෙලා ඉන්නවා.. මක් නිසාද යත් අපි සමහර විට අපේ දක්‍ෂතා හරි හැටි තක්සේරු කරගෙන නැතිව, අපේ වටිනාකම පෙන්වන්නෙ නැතිව ඉන්න නිසා… තමන්ගෙ වටිනාකම වැඩි කරගෙන, ඒ දක්‍ෂතා හරි හැටි ප්‍රයෝජනයට අරගෙන අදීනව ඉන්න පුළුවන් නම්…..
කලා කාරයො සමහරක් විවිධ දේ වලට ගැතියි… බොහොමයක් දීනයි.. ස්වාධින නැහැ. ලොක්කන්ගෙ පුරාජේරුව වයනවා අතොරක් නැතිව.. තවත් සමහරු මුදලට ගැති වෙලා ප්‍රශස්ත මට්ටමට වඩා බොහෝ පහත් නිර්මාණ කරනවා.. තමන්ගේ අදීන බව තියාගෙන ඉන්න කලාකාරයෝ ඉන්නෙත් බොහොම අතලොස්සයි…
ජනමාධ්‍ය ගැන ගත්තොත් කියලා වැඩක් නෑනෙ… කට්ටියක් ආණ්ඩුවෙ රෙදි හෝදනවා තවත් කට්ටියක් විපක්‍ෂයේ රෙදි හෝදනවා..
මේ ආකාරයෙන් සමාජයේ බොහෝ දෙනා විවිධාකාරව ගැතිකම් කරනවා.. ඔබ කියාවි තම තමන්ට සමාජයේ පැවැත්ම සඳහා මේ දේවල් කරන්න වෙලා තියෙනවා කියලා.. නමුත් අපි වැල යන පැත්තට මැස්ස ගැහැවුවොත් මැස්ස කැඩුන දාට මොකද කරන්නෙ කියලා හිතුවාද ?
සමහර විට අදීනව සිටීම අවාසි සහගත වෙන්න පුළුවන්… නමුත් තමන්ට සතුටු වෙන්න පුළුවනි තමන් අදීනව ජීවත් වුනා කියලා…
මට ස්වාධීනව හිතන්න පුරුදු කළේ මගේ පියා.. මම දැකපු අදීනම පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් කෙනෙක්… වැරැද්ද දුටු තැන නැගී සිටින, බය නැතිව කතා කරන ඔහු පාසැලේ විදුහල්පතිව සිටි කාළයේ ජනතා විමුක්ති පෙරමුණේ පෝස්ටර් ගහන්න ගිය කොල්ලො කිහිප දෙනෙකුට මුළු පාසලම ඉදිරිපිට දඬුවම් කළේ පෞද්ගලික තරහකින් නොවෙයි.. ඒළමයි අකාලයේ ටයර් මත දැවෙනවා නොදකින්න… එකළ ජනතා විමුක්ති පෙරමුණේ කටයුතු වලට විරුද්ධ වෙන අයට මරණය උරුම වෙද්දි ඔහු එසේ නැගී සිටියේ තමන් ගැන සිතා නෙවෙයි… අර ළමයින්ගේ ජීවිත ගැන සිතලා… සමාව ඉල්ලලා ගෙදර ඉදිරිපිට බැනර් එකක් දාන්න කියලා ලියුමක් ආවත්… මම උන් ඉස්සරහ දෙකට නැවෙන්න යන්නෙ නෑ කියන ස්ථාවරයේම සිටියේ ඥාතීන් සියළුම දෙනාගෙ ඉල්ලීමට පිටුපාමින්… ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ඥාතියෙක් වැඩේ ගොඩින් බේරගත්තත්, ඔහුත් තාත්තගෙන් බැණුම් ඇහුවා….
ඉතින් ඒ අදීන පියාගෙ පුතෙක් වෙන්න ලැබීම ගැන මට තියෙන්නේ ලොකු ආඩම්බරයක්. මම තවම ඔහු තරම් අදීන නැහැ.. මමත් තවමත් නොයෙක් දේ වලට ගැතියී……..
ඒ නිසාම නිදහස් දවසේ තබන මේ සටහන මගේ අදීන පියා වෙනුවෙන් පුද කරනවා… දීර්ඝායුෂ !
මේ ගිය අවුරුද්දේ නිදහස් දවසේ දිනපොතේ ලියූ සටහන… මොනවා වුනත් මම මගේ දිනපොතට ගැතියි…..