Blog Archives

ජීවිතය ගැටගහගන්න – රට හැර යන්න වෙයිද ?


Environmental effects

දැන් දැන් අපේ පරිසරය අපට දැනෙන පරිදිම සෑහෙන වෙනස් වෙලා. ඉස්සර තිබූ වැසි රටාව නොවෙයි දැන් තියෙන්නෙ… වහින්න ගියාම එක පාරටම අහස කඩා වැටිලා වගේ නොනවත්වා වැහැලා ගංවතුර ගලනවා. නාය යනවා. පායන්න ගත්තාම ඉන්න බැරිවෙන්න පායනවා. මේක ලංකාවට පමණක් නොවෙයි, ලෝකයටම බලපාන අයුරුක් තමයි පෙනෙන්නේ. ලෝකයේම කාලගුණ රටා වෙනසක් පසුගිය දශකය ඇතුලත සිදු වෙලා. ඇමරිකාවේ කුණාටු දසවසරකට පෙර තිබූ ප්‍රමාණයට වඩා දරුණු වෙලා. කුණාටු වලින් සිදුවන හානිය අධිකයි. කොපමණ දියුණු රටක් වුවත් ඇමරිකාවටවත් එය දරා ගන්න අපහසුයි. රටේ එක පැත්තක් නියඟයෙන් පීඩා විඳිනවා. ලංකාවෙත් එක පැත්තකට නියඟය, අනෙක් පැත්තට ගංවතුර.. මෙහෙම වුනේ සොබාදම් කොමලිය, රකුසියක් බවට අපිම පත් කළ නිසාද ? දේශපාලනික පසුබිම කුමක් වුවත්, අපේ රටේ කැලෑ ඉතා සීඝ්‍රයෙන් කපමින් ජනතාව පදිංචි වනවා. විල්පත්තුව ඉතාම නුදුරු අනාගතයේදී කාන්තාරයක් බවට පත් වීම වලක්වන්න පුළුවන් එය කපලා ජනතාව පදිංචි කරන අයටම පමණයි. අවාසනාවන්ත කරුණක්, නමුත් එයයි සත්‍යය.

මේ සියල්ල සිදු වෙද්දී අපේ සහ ආසියානු රටවල ජනගහනය ඉතා ඉක්මනින් ඉහළ යමින් පවතිනවා. ලොව ජනගනයෙන් පහෙන් එකක් ජීවත් වන්නේ මේ කලාපයේ. එසේම අනාගතයේදී ඉතා දැඩි කාළගුණ බලපෑම් නිසා ජීවත්වීමට නොහැකිව යන්නෙත් මේ කලාපයේ මිනිසුන්ටමයි. තව වසර පණහක් ඇතුලත, ලංකාව ඇතුළු රටවල් කිහිපයක ජීවත්වීම අපහසු වන බව මැසචුසෙට්ස් තාක්‍ෂණික විශ්ව විද්‍යාලයීය සමීක්‍ෂණයකින් සොයාගෙන තිබෙනවා.

අද දින වනවිට පෘථිවියේ ජනගහණය බිලියන 7.573 ක් ඉක්මවා ගොසින්. මේ අතරින් ආසියානු කලාපයේ ජනගහනය බිලියන 4.5 ඉක්මවමින් පවතී. මේ වැඩිවන ජනගහනයට අවශ්‍ය ඉඩකඩ, ආහාර සහ බලශක්තිය උදෙසා අප ජීවත්වන ලෝකයේ බොහෝ දේ විනාශ කරන්නට ආත්මාර්ථකාමී සහ බල ලෝභී මිනිසා කටයුතු කරමින් සිටිනවා. ඔවුන් සියල්ලටම අවශ්‍යව ඇත්තේ තමන්ගේ බලය පැතිරවීම සහ තමන්ගේ ජනතාවගේ (හෝ කල්ලියේ) පැවැත්ම පමණයි. ස්වල්ප දෙනෙකු අනාගත ලෝකය ගැන සිතා කටයුතු කළත්, අවිචාරවත් බොහෝ දෙනා අනාගතයේ මෙලොව ජීවත් වන්නේ අපේ දරුවන් බව නොසිතා කටයුතු කරනවා.

අපේ ලෝකය මේ වනවිට බරපතල අනතුරු කිහිපයකට මුහුණ පා තිබෙනවා. පළමු වැන්න වැඩිවන ජනගහනයට අවශ්‍ය ඉඩකඩ සහ ආහාර සැපයීම උදෙසා වන වනාන්තර විනාශය. දෙවැන්න ෆොසිල ඉන්ධන දහනය නිසා වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු වීම. තුන්වැන්න ඕසෝන් වියන තුනී වීම නිසා පෘථිවියට ඇතුළුවන අහිතකර කිරණ වර්ග. මේ කරුණු වලින් කිසිවක් කිසිකෙනෙකුට සිතූ පරිදි නැවැත්විය හැක්කක් නොවයි. මෙය රටක් – ජාතියක් – සහ ආගමක් ඉලක්ක කරගෙන ඇතිවන බලපෑමක් ද නොවේ. මෙය බලපානුයේ සමස්ත ලෝකයාටමත් කිසිවක් නොදන්නා සත්ත්‍වයන්ටත් ය. මෙය සිදු වන්නේ කොහොමද ?

කාර්මික විප්ලවයෙන් පසු ගත වූ සෑම වසරකම වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය එන්න එන්නම වැඩි වූවා. දැනට පවත්නා වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වායුගෝල ඒකක මිලියනයකට කාබන් ඩයොක්සයිඩ් ඒකක 407 ක් (407.25 ppm) පමණ වනවා. කාර්මික විප්ලවයට පෙර වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් මට්ටම වූයේ 280 ppm ක්. මෙම අගය පසුගිය වසර 100 වැනි කාළයක් තුළ සීඝ්‍රයෙන් වැඩි වුනේ ජනගහන වර්ධනය සහ කාර්මීකරණය – නාගරීකරණය සහ තාක්‍ෂණික දියුණුව සමග සමපාත වෙමින්. 2015 වසරේදී පමණක් කාබන් ඩයොක්සයිඩ් මෙට්‍රික් ටොන් බිලියන 36.8 ක් මිනිසා විසින් පරිසරයට මුදාහැර තිබෙනවා. මෙය මානව ඉතිහාසයේ වැඩිම එකතු කිරීමයි.

දැනට ලෝකයේ බලශක්ති අවශ්‍යතාවය ටෙරා වොට් 16 ක්  (16 TW) පමණ වෙනවා. මෙය තවත් වසර 40 කදී ටෙරා වොට් 50-60 දක්වා ඉහළ යා හැකි බවයි ඇස්තමේන්තු පවසන්නේ.  තෙල් සමාගම් කුමක් කිවුවත්, තවත් වසර 200 කට සෑහෙන්න ෆොසිල ඉන්ධනත්, තවත් වසර 500 කට සෑහෙන්න ජීව වායුව (Methane) සහ තවත් වසර 2000 කට සෑහෙන්න ගල් අඟුරු සංචිත ලොව පුරා විසිරී තිබෙනවා. මේ නිසා අපට කිසිම විටෙක බලශක්ති අර්බුධයකට මුහුණ පාන්න වෙන්නෙ නැහැ. නමුත්, දැනට පවත්නා ආකාරයටම ඉන්ධන දහනය සිදු වුවහොත් වසර 2100 වනවිට ලෝකයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය 885 ppm දක්වා ඉහළ යා හැකි බවට ගණන් බලා තිබෙනවා. මේ වැඩි වීම සෑම වසරකටම 1.55 ppm වැඩි වීමක් ලෙසත් ඉදිරියේදී මීටත් වඩා සීඝ්‍රවත් වැඩි වෙනවා. මෙසේ කාබන් ඩයොක්සයිඩ් පුමාණය ඉහළ යාම නිසා ඇතිවන ප්‍රධානම ප්‍රතිවිපාකය වන්නේ ගෝලීය උණුසුම ඉහළ යාමයි. මක් නිසාද යත් හරිතාගාර ආචරණයට වැඩිම බලපෑම ඇති වායුව වන්නේ කාබන් ඩයොක්සයිඩ් වන නිසා.

මෙසේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාම නිසා ගෝලීය උණුසුම වැඩි වනවා. එසේ වැඩිවීමේ මූලික ප්‍රතිඵලය වන්නේ ධ්‍රැවීය අයිස් දිය වී යාමයි. එසේ දියවන අයිස් සාගර වලට එකතු වීමෙන් මුහුදු මට්ටම ඉහළ යනවා. ලෝක ජනගහනයෙන් විශාල ප්‍රතිශතයක් තවමත් ජීවත් වන්නේ වෙරළ ආසන්න නගරවල. මෙසේ වැඩිවන ජලමට්ටම නිසා ඔවුනට වෙරළබඩ අතහැර උස් බිම් කරා ඇදෙන්නට වෙනවා. එවිට සිදු වන්නේ උස්බිම් එළි පෙහළි වීම සහ වන විනාශයයි. වායුගෝලයේ ඇති ගිගා ටොන් 800 ක් වූ කාබන් අඩංගු සංයෝග වලින් ගිගා ටොන් 120 ක්ම ප්‍රතිචක්‍රීකරණය වන්නේ වනාන්තර මගින්. වනාන්තර සහ කෘෂි භෝග මගින් ප්‍රභාසංසලේෂණයේදී වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කරනු ලබනවා. උත්තරාර්ධගෝලය වැඩිපුරම ගොඩබිම් ප්‍රමාණයකට උරුමකම් කියන නිසාම, උත්තරාර්ධගෝලයේ ශීත ඍතුව කාළයේදී  (ශීත ඍතුවේදී ශාකවල කොළ හැලීම නිසා) සාමාන්‍යයෙන් වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යන්නේ මේ නිසායි.

 

මේ නිසා වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යනවා මෙන්ම පරිසරයේ උණුසුමත් වැඩි වෙනවා. වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වන නිසා මුහුදේ කාබන් ඩයොක්සයිඩ් දියවීමත් වැඩි වෙනවා. එවිට සිදු වන්නේ මුහුදු ජලයේ ආම්ලිකතාවය වැඩි වීමයි. දැනට මුහුදු ජලය තරමක් භාෂ්මිකයි. pH අගයය වන්නේ 8.07 ක්. මේ අගය ආම්ලික පැත්තට බර වූ විට බාහිර කවච ඇති සමුද්‍ර ජීවීන්ගේ කවච ඉක්මනින් දෘඪ නොවීම නිසා ඔවුන්ගේ වැඩීම විකෘති වනවා. එනම් සමුද්‍ර ආහාර දාමය විකෘති වනවා. මේ නිසා ආහාර දාමයේ ඉහළ පුරුක් වැඩි වැඩියෙන් අනතුරුදායක තත්ත්‍වයකට පත් වෙනවා. ඒ වගේම මේ සමුද්‍ර ජීවීන් වඳවී යාම සිදු වනවා. මෙහි වඩාත් අනතුරුදායක තතත්ත්‍වය ඇතිවන්නේ කොරල් පරවලටයි. දැනටමත් වඳ වී යමන් පවතින කොරල් පර පරිසරයට හරිම සංවේදීයි. පරිසරයේ සුළු වෙනස්වීමක් පවා ඔවුන්ට තදින් දැනෙනවා. ගෝලීය උෂ්ණත්‍වය ඉහළ යාමේදී ජලයේ උෂ්ණත්‍වයත් නිතැතින්ම ඉහළ යාමකට ලක් වනවා. මෙය ඔවුනට දරාගත නොහැකි නිසා නව කොරල් පර තැනීම අඩාල වීම සහ දැනටමත් ඇති කොරල්පර මිය යාම සිදු වනවා. සමුද්‍ර ආහාර දාමයේ පහළ පුරුක් රාශියක් යැපෙන්නේ මේ කොරල්පර ආශ්‍රිතවයි. මෙය බිඳ වැටීම නිසා සමුද්‍ර ආහාරදාමය බිඳ වැටීමක් සිදු වෙනවා. එයින් සම්පූර්ණ ජෛවගෝලීය සමතුලිතතාවය බිඳවැටෙනවා.

 

මෙසේ වැඩිවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සමග ඉහළ යන පරිසර උෂ්ණත්‍වය නිසා ඇතිවන අතුරු විපාක වන්නේ ගෝලීය කාලගුණ රටාව වෙනස් වීමයි. සීත දියවැල් සහ උණුසුම් දියවැල් අතර ඇතිවන හරඹය නිසා හට ගැනෙන කුණාටු (Hurricane) වල බලය උෂ්ණත්‍වය වැඩි වන විට අධික වනවා. එනම් කුණාටු දරුණු වනවා. ඒ වගේම ගෝලීය උණුසුම වැඩි වනවිට වායුගෝලය ප්‍රසාරණය වෙනවා. ඒ ප්‍රසාරණය වීමේ අතුරු ඵලය වන්නේ වැඩිපුර වලාකුළු ඇතිවීම  – අසාමාන්‍ය වැසි රටා. දැනටමත් ඔබ අත්විඳින්නේ ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵල. අසාමාන්‍ය වර්ෂාපතනයන්, මෝසම් සුලං සහ සංවහන වැසි රටා වෙනස් වීම ඒ සිදුවීම් වල ප්‍රතිඵලයක්. මේ නිසා සිදු වන භව භෝග හානිය, සහ ගංවතුර ආදී ස්වාභාවික විපත්, ඒවායෙන් බේරීම, සහන සැලසීමට ආදියට වැයවන මුදල් ආදී සියල්ලම මේ දාමයේ පුරුක්.   ඒ පාරිසරික පැත්ත.

සෞඛ්‍යමය පැත්ත මෙයට වඩා දරුණු විය හැකියි. වැඩිවන වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයත් සමග වැඩි වන වෙනත් අංශූන්, විෂ වායූන් නිසා වායුගෝලය පිරී යවනවා. මිනිසුන්ගේ ආසාත්මිකතාවයන් සහ පෙනහළු ආබාධ, පිළිකා ආදිය වැඩි වනවා.නව මදුරු විශේෂ ඇතිවනවා. මේ නිසා හටගන්නා රෝග බොහොමයක් අළුත්.

අප කොතරම් උත්සාහ කළත් මේ වැඩිවන වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය නැවත අඩු කිරීමට කිසිවෙකුට හැකියාවක් නැහැ. මෑතකදී පළවූ ප්‍රවෘත්තියක් වූයේ අප දැන් කෙතරම් ගස් සිටවූවත්, වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය නැවත ආපසු හැරවිය නොහැකි මට්ටමට වැඩි වී ඇති බවයි. අපි ඉතා විශාල වශයෙන්  අපගේ ප්‍රවාහන අවශ්‍යතා ෆොසිල ඉන්ධන මත යැපීම සිදු කරනවා. බලශක්ති නිශ්පාදනය සම්පූර්ණයෙන්ම කාබන් විමෝචනය නොකරන බලශක්ති ප්‍රභව අනුසාරයෙන් සිදු කළත් ප්‍රවාහන අවශ්‍යතාවයන් අතින් ගත් කළ අප සිටින්නේ තවමත් නැවත සකස් කළ නොහැකි (irrecoverable) තත්ත්‍වයකයි. කළ හැකි එකම දේ වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් භාවිතා කර ඉන්ධන නිපදවීමයි. නමුත් මෙය තවමත් පවතින්නේ පර්යේෂණ මට්ටමේ. මෙය උපයෝගී කරගෙන ඉන්ධන තැනීමට අවම වශයෙන් තවත් අවුරුදු 10 ක් වත් ගත වේවි. නමුත් මේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වීමේ තත්ත්‍වය පාලනය කිරීමට තනි පුද්ගලයින් වශයෙන් අපට කළ හැකි දෑ බොහොමයි… රටක් ලෙසින් හෝ රජයෙන් කී පලියට හෝ රජයෙන් යමක් කරනවාට වඩා තමන් විසින්ම අවබෝධ කරගෙන තනි තනියෙන් හරි දෑ කිරීමෙන් මේ ව්‍යසනය තරමක් හෝ දුරට වලක්වා ගැනීමට පුළුවන්.

මේ පිළිබඳ ජනතාව හරියාකාරව දැනුවත් නොවීම සහ දැනුවත් නොකිරීම අභාග්‍යයක්. බලශක්තිය, විශේෂයෙන් විදුලි බලය ගබඩා කර තබාගෙන පාවිච්චි කිරීමට නොහැකි ශක්තියක්. බැටරි ආධාරයෙන් තරමක් දිගුකලක් ගබඩා කරතබා ගත හැකි වුනත් අඛණ්ඩ සහ ප්‍රබල විදුලි බල ප්‍රමාණයක් මුදාහැරීමට අපොහොසත් වීම නිසා දැනට නිපදවා ඇති ඉතාම කාර්යක්‍ෂම බැටරි වුවත් ඒ සඳහා හොඳ විකල්පයක් නොවෙයි. මේ නිසාම විදුලි බලය නිපදවන්නේ බොහෝ දුරට ඉල්ලුමට සරිලන සැපයුමක් ලෙසින්. විවිධ විදුලි බලශක්ති නිෂ්පාදන ක්‍රම අප සතුව තිබෙනවා. මින් සමහරක් පරිසරයට හිතකාමී වන හරිත බලශක්ති වන අතර සමහරක් පරිසරයට හරිතාගාර වායු මුදා හරිනවා. ජල විදුලි බලය, සූර්ය කෝෂ, සුලං බලයෙන් විදුලිය නිපදවන ටර්බයින, උදම් බලයෙන් විදුලිය නිපදවීම වැනි දෑ මෙසේ හරිත බලශක්ති ප්‍රභව ලෙස ගණන් ගැනෙන්නේ ඒවායින් බලශක්තිය නිපදවීමේදී වායු ගෝලයට හරිතාගාර වායු නිකුත් නොවන නිසා. ගල් අඟුරු බලාගාර, ඩීසල් බලාගාර ආදී ඉන්ධන දහනයෙන් විදුලි බලය නිපදවන බලාගාර පරිසරයට සිදු කරන්නේ හානියක්. න්‍යෂ්ඨික බලාගාරවලින් විදුලි බලය නිපදවීමේදී පරිසරයට හරිතාගාර වායු නිකුත් වූයේ නැතිවුනත්, අධික පුනරාවර්තන පිරිවැය, සෑම රටකටම එය සිදු කිරීමට නොහැකි නිසාත්, වැරැද්දක් සිදු වුව හොත් අනතුරුදායකබව උපරිම නිසාත් එය ඒ තරම්ම සාර්ථක ක්‍රමයක් ලෙස තවමත් සලකන්නේ නැහැ. නමුත් න්‍යෂ්ඨික බලාගාරයක් තරම් දිගු කාලීනව වාසි ගෙන දෙන විදුලි ජනන ක්‍රමයක් තවමත් සොයාගෙන නැහැ. කෙසේ හෝ වේවා මේ නිපදවන විදුලි බලය නිසි ආකාරව කළමණාකරණය නොකර පාවිච්චි කිරීමෙන් සිදු වන්නේ වැඩි වැඩියෙන් විදුලිය නිපදවීමට සිදු වීමයි. මෙය රටකට අධික වියදම් යන කාරණයක් මෙන්ම එයට උපයෝගී කර ගන්නා  ක්‍රමය අනුව පරිසරයට ඇති බලපෑම ද වෙනස් වෙනවා.

තනි පුද්ගලයෙක් හෝ පවුලක් වශයෙන් අපට බලශක්තිය කළමණාකරණය කර ගැනීම නිසා පවුලේ ආර්ථිකයට මෙන්ම රටේ ආර්ථිකයට ද සැලකිය යුතු දායකත්‍වයක් ලබා දිය හැකියි.

  • අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම
  • අනවශ්‍ය විදුලි උපකරණ විසන්ධි කර තැබීම
    • උපකරණය ක්‍රියා විරහිත කර ඇති වුනත් පේනුගත කර ඇතිවිට යම් විදුලි බලයක් විද්‍යුත් උපකරණ විසින් පරිභෝජනය කරන බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්.
  • ටංස්ටන් හෝ CFL විදුලි පහන් වලට වඩා අඩු විදුලි බලයක් උපයෝගී කරගන්නා LED විදුලි පහන් පරිභෝජනය. මෙය තවමත් තරමක් මිල අධිකයි, නමුත් ඉදිරියේදී එය මිල අඩුවනු ඇති.
  • සමහර විදුලි උපකරණ භාවිතයේදී මානව කාර්යක්‍ෂමතාවය වැඩි කර ගැනීම
    • උදාහරණයක් ලෙස නිවසේ ඇඳුම් මැදීමේදී සතියේ එක දිනයක පමණක් නිවැසියන් සියල්ලන්ගේම ඇඳුම් මැදීමෙන් දිනපතා විදුලි ඉස්ත්‍රික්කය රත් කිරීමට වැයවන විදුලිබලය ඉතිරිකර ගැනීම කළ හැකිය.
    • දවසේ දෙතුන් වතාවක් ජලය උණු කරනවා වෙනුවට එක් වතාවක් ජලය උණුකර උණුවතුර පලාස්කුවකට දමා තැබීම කළ හැකිය.
  • Energy Star සහතිකය ලබා ඇති අඩු විදුලි බල ප්‍රමාණයක් උපයෝගී කරගන්නා විදුලි උපකරණ භාවිතය
  • කාර්යාලවල සේවය අවසානයේ විදුලිපහන් සහ පරිඝණක ක්‍රියා විරහිත කර තැබීම – හැකි නම් විදුලියෙන් විසන්ධි කර තැබීම
  • වායු සමන යන්ත්‍ර වෙනුවට විදුලි පංකා භාවිතය.
  • පරිසර හිතකාමී නිවාස සහ ගොඩනැගිලි තැනීම

රජයක වශයෙන් පරිසර දූෂණය අධික ගල් අඟුරු බලාගාර සහ ඩීසල් බලාගාර වෙනුවට පහත දෑ කෙරෙහි අවධානය යොමු කිරීම වටී

  • හරිත බලශක්ති ප්‍රභව කරා යොමු වීම.
    • සූර්යකෝෂය සහ Smart Meter ක්‍රමයට නිවසේ විදුලි බල අවශ්‍යතාවය සපුරා ගැනීම මගින් නිවසේ විදුලිබලය අඩුවෙන් පරිභෝජනය කෙරෙන දිවා කාළයේ නිපදවෙන වැඩිපුර විදුලි ප්‍රමාණය මධ්‍යම පද්ධතියට එකතු කළ හැක. මේ නිසා තම නිවසේ විදුලි බිල අඩු කර ගැනීමට ද මඟක් පෑදේ – මෙය ලංකාව වැනි රටවල නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ දුබලතා පවතින නිසා තවමත් සාර්ථක ක්‍රමයක් නොවේ.
    • රට වටකර හමන සුලඟේ ආධාරයෙන් විදුලි බලය නිපදවීමට සුලං ටර්බයින සවි කිරීම මගින් දුරස්ථ ප්‍රදේශවල විදුලිබල අවශ්‍යතාවය යම් තරමකට පිරිමැසිය හැක.
  • ජනතාව නිති පතා දැනුවත් කිරීම, සහ ඔවුනට සහන දීම.
    • සමහර රටවල කෙරෙන වැදගත්ම කාර්යයක් නම් නිතිපතා ජනතාව විදුලිබල පරිභෝජනය සහ කළමණාකරණය පිළිබඳ දැනුවත් කිරිමයි
    • එසේම විදුලිබිල අඩු කරන පාරිභෝගිකයනට විදුලි බිල තුළින්ම යම් යම් සහන දීමෙන් ඔවුන් විදුලිබල කළමණාකරණයට පෙළඹෙනු ඇති.
  • ප්‍රතිචක්‍රීකරණයට ජනතාව යොමු කිරීම
    • අළුත් අමුද්‍රව්‍ය යොදා යමක් තනනවාට වඩා ප්‍රතිචක්‍රීකරණය කරන ලද අමුද්‍රව්‍ය යොදා තැනීමේදී වැයවන ශක්තිය 50% කින් පමණ අඩුය. අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම ද අවම වේ.

අනාගතයේදී බොහෝ දේ සිදු වනු ඇති. අනාගත බලශක්ති පරිභෝජනය සුභදායී කිරීමට නම් අපට සුසුමාදර්ශීය වෙනසක් (Paradigm Shift) අත්‍යවශ්‍ය වනවා. කාර්මික විප්ලවය සමයේ ඛණිජ තෙල් සොයා ගැනීම එවැනි සුසමාදර්ශීය වෙනසක් වුවත් දැන් දැන් එයම අපගේ විනාශයට හේතු වෙමින් පවතිනවා. රට රටවල් එකිනෙකාට විරුද්ධව මරා ගන්නේද  පාරිසරික හානි සිදු වීම නොසලකා ඛණිජතෙල් හෑරීම සිදු කරන්නේද, බලය ඇත්තවුන් තෙල් සම්පත වෙනුවෙන් දුබලයන් පාගා දමන්නේද මේ ඛණිජ තෙල් බලාධිකාරයේ සහ බල තන්හාවේ ප්‍රතිඵලයන් නිසාවෙන්..

සූර්ය බලශක්තිය නිෂ්පාදනයේ කාර්යක්‍ෂමතාවය වැඩි කිරීම, කාබන් විමෝචනය නොවන බලශක්ති ප්‍රභව සොයා ගැනීමට දිරි දීම, න්‍යෂ්ඨික බලය ආරක්‍ෂාකාරී ලෙස සහ අඩු වියදමින් ලබා දීම වැනි දෑ ලෝකයක් වශයෙන් එකතු වී කළ හැකි දෑ බොහොමයි. ඇමරිකා එක්සත් ජනපදයේ Harvard සරසවි මහාචාර්ය ඩැනියෙල් නොසෙරා ට අනුව විදුලිබල ප්‍රශ්නය විසඳිය හැක්කේ පෞද්ගලික බල අවශ්‍යතාවය තම තමන් විසින්ම නිපදවා ගැනීම (Personalized Energy) මඟිනි. ඔහුගේ විද්‍යාඥ කණ්ඩායම සහ ඔහු විසින්ම ආරම්භ කළ Sun Catalytix සමාගමේ නිෂ්පාදනයක් වන කෘත්‍රීම පත්‍රය (Artificial Leaf) මගින් හිරු එළිය ආධාරයෙන් ජලය විද්‍යුත් විඛණ්ඩනයකට ලක් කර හයිඩ්‍රජන් නිපදවීම මේ සුසමාදර්ශීය වෙනස ඇතිකිරීමට උත්සාහ කළ අවස්ථාවක්. එසේ වීමුත් විවිධ දේශපාලන සහ ආර්ථික කරුණු කාරණා නිසා මෙවන් මානුෂික ක්‍රියාදාමයක් සාර්ථකව ඉදිරියට යාවි දැයි යන සැකය බොහෝ දෙනා තුළ මතු වී තිබෙනවා. සමහරු පවසන පරිදි විද්‍යුත් කාරය (Electric Car) විනාශ කර දැමුවේ ද තෙල් ආර්ථිකයට වදින මරු පහර හේතුවෙන්. එය සත්‍ය හෝ අසත්‍ය වේවා වත්මන් ආත්මාර්ථකාමී පාලන රටා තුළ ලෝකයේ බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීමට අවශ්‍ය බලශක්ති ප්‍රභවයක් සෙවීම කවුරු කළද, එයට පහර ගැසීමට බහුජාතික තෙල් සමාගම් සැදී පැහැදී සිටිනවා. කෙසේ වුවත් මේ සියල්ල පරදවා විද්‍යුත් කාරය එලි දැක්වීමට ඉලොන් මස්ක් සමත්වීමත් සමගම අද ලෝකයේ ප්‍රවාහන සහ බලශක්ති ක්‍ෂෙත්‍රය නව මාවතකට ගමන් කරනු ඇති.

මේ සියල්ල ආසියාතික අපට බලපාන්නේ කෙසේද, අප රට හැර යායුත්තේ මන්ද කියා ඔබ දැන් කල්පනා කරනු ඇති. ඇත්තෙන්ම ආසියාතික කලාපයේ උෂ්ණත්‍වය දිනෙන් දින ඉහළ යාමත්, ආර්ද්‍රතාවය ඉහළ යාමත් නිසා එය මිනිසාට දරාගත නොහැකි තත්ත්‍වයට ඉදිරියේදී පත් වනු ඇති. මෙම කලාපයේ බොහෝ දෙනා කෘෂිකාර්මික දිවිපෙවෙතක් තවමත් ගතකරන නිසා ඔවුන් දවසේ වැඩි ප්‍රමාණයක් ගත කරන්නේ එළිමහනේ. උෂ්ණත්‍වය සෙල්සියස් 35 සහ ඉහළ ආර්ද්‍රතාවය යන එකතුව මිනිසාට ඉතාමත් අපහසුතාවයන් ඇතිකරන සබඳතාවයක්. දැන් දැන් ආසියනු කලාපයේ මෙම තත්ත්‍වය දකින්නට පුළුවන්.

ඒකක පුද්ගලයින් වශයෙන් අපට කළ හැක්කේ අප භාවිතා කරන බලශක්තිය කළමණාකරණය කිරීම. ප්‍රතිචක්‍රීකරණය ඇතුළුව වෙනත් සරළ දෑ පමණි. රටක් ලෙස ජාතියක් ලෙස යමක් කිරීම පාලකයන් සතුයි… ඒ සඳහා නාස්තිය දූෂණය අවම කිරීම මෙන්ම පරිසර හිතකාමී අඩු වියදම් බලශක්ති නිශ්පාදනය කෙරෙහි රටක් වශයෙන් යොමු වීම සිදු කළ යුතුයි….මෙය තේරුම් නොගෙන මිහිකත දිනයට ගස් ලක්‍ෂ ගණන් සිටවූවාට හෝ පැය බාගයක් ලයිට් නිවාගෙන හිටියාට පළක් නැහැ.

දවසට පැය හතරක් පමණ හිරු එළිය වැටෙන දියුණු රටවල් වන ජර්මනිය සහ ප්‍රංශය දැන් සිය බලශක්ති පරිභෝජනයෙන් සියයට 60 ක් පමණ සපුරා ගන්නේ සූර්ය බලශක්තියෙන්. නමුත් දිනකට පැය 8 ක් හිරු එළිය වැටෙන අපි තවමත් ගල් අඟුරු බලාගාරවල පිහිට පැතීම විහිළුවට සහ කණගාටුවට කරුණක්. නව අයවැය යෝජනාවල ස්වභාවික බලශක්තිය සම්බන්ධ සහනයන්, සහ ඒවාට ප්‍රමුඛත්‍වය ලබා දෙන යෝජනාවන් තිබේ නම්, අවම වශයෙන්  අපේ බලධරයින් හිස තුළ ඇති මොළය යම් තරමකට හෝ පාවිච්චි කරනවා යැයි ඉදිරිය ගැන සිතා හෝ සැනසීමට පුළුවනි. එසේත් නැතිනම් සිදු වන්නේ බෝට්ටුවක නැගී හෝ පිටරටකට යාමට පමණයි.

මිහිකත හෝරාවට පසුවදනක්………..


ලොව පුරා නොයෙක් දින වෙන් කර තිබේ.. අවුරුද්ද පුරාම ලව් කරන ප්‍රේමවන්තයන්ට තවත් ලව් කරන්නට වැලන්ටයින් දිනයක් මෙන්ම අවුරුද්ද පුරාවට මාතෘත්වය සහ පීතෘත්වය වෙනුවෙන් ලේ කඳුළු දාඩිය හෙලන දෙමාපියන් වෙනුවෙන් මව්වරුන්ගේ සහ පියවරුන්ගේ දිනයක් ද වෙන්කර තිබේ. මේ සියළු දිනවල විවිධාකාර අර්ථයන් ඇත. ප්‍රේමවන්තයින්ගේ දිනය සම්පූර්ණයෙන්ම වාණිජකරණය වුවත්, මව්වරුන්ගේ සහ පියවරුන්ගේ දිනය වෙන් කර ඇත්තේ බටහිර රටවල දෙමාපියන්ගෙන් ඈත්ව වෙසෙන දරුවන්ට දෙමාපියන් සිටින බව මතක් කිරීමටත්, අවම වශයෙන් ඔවුන් වෙනුවෙන් යමක් කළ හැකි එක දිනයක් හෝ වෙන් කර තැබීම වෙනුවෙන් යැයි මට සිතේ. නමුත් අවාසනාව වන්නේ වසර පුරාවටම – ජීවිතය පුරාවටම අපව ආදරයෙන් රැකබලාගත් දෙමාපියන්ට දින දෙකක් පමණක් වෙන් කර තැබීමයි. ඔවුන්ට නිති රැකවරණය, ආදරය දැක්විය යුතු වුවත්, අවාසනාවට වර්තමාන ජීවන රටාව නිසා ඔවුන් පැත්තකට දමා තබා ඇති ඔවුන් වෙනුවෙන් දිනක් හෝ වෙන් කර මතක් කිරීමත් එක් අතකට අගය කළ යුතු කටයුත්තකි. ඒ දෙමාපියන් වෙනුවෙන් දින වෙන් කිරීමයි.

උපන්දා සිට සියල්ල දුන් දෙමාපියන්ට එසේ සලකන අපි, ජීවත්වන තුරාවට කිසිදු ප්‍රති උපකාරයක් නොපතා අපට සේවය කරන මිහිකත ට ලබා දෙන්නේ පැයක් පමණි. ඒ මිහිකත හෝරාවයි. මිහිකත දිනයක්ද ඇත. ඒකෙත් වැඩි වෙනසක් නැත. මිහිකත හෝරාව වෙනුවෙන් පැයක් ලයිට් නිවන අපි ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් වෙනුවෙන් පැය හතරක් පහක් ඒ ඉතිරි කළ විදුලිය විනාශ කර දමමු. ඒ අපේ හැටි ය.

පරිසරය යනු වටිනා සම්පතකැයි තවත් අමුතුවෙන් කීමට අපට අවශ්‍යතාවයක් නැත. අප සියළුම දෙනා පරිසරය හා බැඳී පවතී. අප ජීවත් වන්නේ පරිසරය නිසාවෙනි. අප හුස්ම ගන්නේ පරිසරයෙන් ලැබෙන ඔක්සිජන් සහිත වාතයයි. අප ආහාරයට ගන්නේ පරිසරයෙන් නිපදවෙන ආහාර යි. අප බීමට ගන්නේ – පිරිසිදු වීමට භාවිතා කරන්නේ පරිසරයෙන් ලැබෙන පිරිසිදු ජලයයි. කොටින්ම – අපට දෙමාපිය – නෑදෑයන් කිසිවකු නැතිව වුවත් ජීවත් විය හැක්කේ පරිසරය යහපත්ව පවතින නිසායි. පරිසරය අයහපත් නම්, කෙතරම් මුදල් හදල් තිබුණත් සුවදායක ජීවිතයක් ගත කළ හැකිද ?

අප සංවර්ධනයේ නාමයෙන් පරිසරය විනාශ කරමින් සිටිමු. මෙයට දශක කිහිපයකට පෙර රටේ වර්ග ප්‍රමාණයෙන් 40% ක්ව තිබූ වනාන්තර ප්‍රමාණය 20%ක් දක්වා අඩු වී ඇති බව වාර්තාවක සඳහන්ව තිබුණි.  අපි වනාන්තර එළි පෙහෙළි කරමින් ගොවි බිම්, ගුවන් තොටුපලවල්, පාරවල්, කෙසෙල් වතු, ආදිය සකසන රටකි. මේ අපි පරිසරයට ආදරය කරන අන්දමයි. කාබන් පියසටහන් (Carbon Footprint) අඩුකරනවා යැයි පවසමින් තව තවත් ගල් අඟුරු බලාගාර පිහිටුවන අපි ආසියාවේ ආශ්චර්යය වීමට මඟ බලා සිටිමු. දැන්වත් අපට නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු කාළය පැමිණ ඇත.

අපට පරිසර ප්‍රතිපත්ති රාශියක් ඇත. නමුත් අපි තවමත් පරිසරය විනාශ කරමින් සිටිමු. රටක් වශයෙන් මෙන්ම පෞද්ගලිකව ද අපි පරිසරය විනාශ කරමින් සිටිමු. විදුලිබිල වැඩි වීම ගැන රජයට මැසිවිලි නඟන අපි ඒකීයව විදුලි පරිභෝජනය අවම කරන ආකාරය නොසළකා හරිමින් සිටිමු. දීර්ඝ කාලීනව වාසි ලබා දෙන සූර්යබලශක්තිය, සුලං බලය වැනි විදුලි ජනන ක්‍රම වෙනුවට ගල්අඟුරු බලාගාරයන් වෙනුවෙන් (අපේද නොවන) අනාගත පරපුර බිල්ලට දෙමින් සිටිමු… මේ ද අපමය.

වෙනත් රටවල් විදුලි බලය පිරිමැසීම, කාබන්  පියසටහන් අවම කිරීම, කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අවම කරන වැඩසටහන් ක්‍රියාත්මක කරද්දී අප එහි විලෝමය ක්‍රියාත්මක කරමින් සිටිමු. නමුත් අපි පාරම් බාන්නේ ඒකක කාබන් පියසටහන් අවම කිරීම පිළිබඳවයි.

වසර 2014 අවසාන වනවිට හෝ 2013 අවසාන වනවිට වායු ගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්‍ද්‍රණය වායුගෝලීය කොටස් මිලියනයකට කාබන් ඩයොක්සයිඩ් කොටස් 400 ( 400 ppm) දක්වා ලඟාවනු ඇත. වසර 800,000 කට පසුව මෙය පෘථිවියේ මේ තාක් කල් වැඩිම කාබන් ඩයොක්සයිඩ් සාන්‍ද්‍රණය මෙය වීම  කාර්මික විප්ලවයේ ආදීනව හොඳින්ම කියා පා ඇත. මානව ක්‍රියාකාරකම් ගෝලීය උණුසුම කෙරෙහි බලපාන්නේ නැතැයි කවුරු කියා සිටියත්, වසර 800,000 කට පෙර නොවූ කාබන් ඩයොක්සයිඩ් සාන්‍ද්‍රණයක් වසර 150 ක් තුළදී වැඩි වූයේ කෙසේදැයි යන ප්‍රශ්නයට කිසිවෙකු පිළිතුරු සපයන්නේ ද නැත.

මෙසේ වැඩි වන කාබන් ඩයොක්සයිඩ් මෙන්ම ඉදිරියේදී වැඩිවන මෙතේන් සාන්‍ද්‍රණ නිසා මිහිතලය උණුසුම් වීම වැඩි වේ. එවිට සිදුවන ධ්‍රැවීය අයිස් දියවීම හරහා ඇතිවන අනිසි කාලගුණ විපර්යාස සහ ස්වභාවික විපත් අධික වීම මගින් මිනිසා පරිසරයට කරන ලද හානිය මිනිසාටම දැනෙනු ඇත. මිහිකත සුරැකීමට වසර පුරා කටයුතු කරනු විනා පැයක් වෙන් කිරීමෙන්ම මිනිසා පරිසරයට දක්වන ආදරය පෙන්නුම් කෙරේ.

අපට කළ හැකි දෑ බොහොමයකි.

  1. නාස්තිය අවම කිරීම මගින් භාවිතා වන ශක්ති ප්‍රමාණය අවම කිරීම. මේ නිසා නිපදවෙන ශක්ති ප්‍රමාණය අවම වන අතර සිදුවන හානිය ද අවමය.
  2. නැවත භාවිතය මගින් යම් යම් දෑ අළුතින්ම නිෂ්පාදනය කිරීමට වැයවන ශක්තිය අඩු වේ.
  3. ප්‍රතිචක්‍රීකරණය නිසා ද ඉහත කී සෙත ම සිදු වේ.
  4. ආදේශනය – පරිසරයට අහිතකර දෑ වෙනුවට පරිසර හිතකාමී නිෂ්පාදන කෙරෙහි යොමු වීම.
  5. දැනුවත් කිරීම – රජය මගින්, මාධ්‍ය මගින් මහජනයා නිතර දැනුවත් කිරීම.
  6. අවම පරිභෝජනයට – නාස්තිය මැඩලීමට කුඩා කල සිට දරුවන් පුරුදු කිරීම මගින් පරම්පරාවෙන් පරම්පරාවට එම පුරුදු නොකඩවා රැක ගැනීමට උනන්දු කිරීම.
  7. අවවාදයට වඩා ආදර්ශමත්ව කටයුතු කිරීම – රජය සහ ආණ්ඩුව මගින් පරිසර හිතකාමී සංවර්ධන සහ ගොඩනැඟීම් ක්‍රියාදාමයන් සඳහා යොමු වීම.
  8. කෙටි කාලීන වාසි සඳහා නොව දිගු කාලීන වාසි සඳහා සැලසුම් සකස් කිරීම.
  9. පර්යේෂණ සහ සංවර්ධනය (R&D) සඳහා වැඩි උනන්දුවක් මගින් අනාගත සැලසුම් සකස් කර ඒ අනුව කටයුතු කිරීම.

මෙවැනි දෑ නිසා කුඩා රටක් වන අපට මිහිතලය වෙනුවෙන් කළ හැකි දෑ උපරිමයෙන් කළ හැක. අප සුවිශාලව කර්මාන්තකරණයෙහි යෙදෙන රටක් නොවේ. දැන් දැන් ඇතිවන කර්මාන්තවලට පරිසර හිතකාමී සම්මාන – සහ බදුසහන ආදීය ලබා දීම මගින් පරිසරය සුරැකීමේ කාර්යයට ඔවුන් දායක කරගත හැකිය.

අනාගතය වෙනුවෙන් අප පරිසරයත් ලෝකයත් සුරැකිය යුතුය… අප සැලසුම් සකස් කළ යුත්තේ තවත් වසර 20 කටය… අදට නොවේ.

පරිසරය සුරැකීමට දිනයක්, පැයක් උවමනා නැත. එය සෑම කෙනාගේම යුතුකමකි…

2011 ජනවාරි 11 : 11111 ; පරිසරයට ගෞරව කරන්න……


අද හරි අපූරු දවසක්, 1-11-11 නැත්නම් 11-1-11 මොන විදියට ගත්තත් 1 ඉලක්කම් 5ක් ඇති දවසක්.. මේ වගේ දවස් එන්නේ බොහොම කලාතුරකින්.

ඉතින් වැඩ ඇරිලා එනකොට හොඳටම හිම වැටෙනවා. පාරක් පේන්නත් නෑ… පුරුදු විදියට වාහනේ පදවගෙන හෙමින් හෙමින් ගෙදරට ආවා. ඒ වෙනකොට හිම පතනය හොඳටම වැඩි වෙලා. පසුගිය අවුරුදු කිහිපය තුල කාලගුණයේ ලොකු වෙනසක් පෙනුනා. දැඩි හිම කුණාටු කිහිපයක්, අධික වර්ෂාව, දැඩි වියළි කාලයක් ආදී වශයෙන් හැම දේම අඩු වැඩි වශයෙන් ඇඟට දැනෙන්න ලැබුනා.

ඒ අතරේම ලංකාවේ වාසය කරන අපේ දෙමව්පියන්ටත් දුරකථනයෙන් කතා කළා. ඔවුන්ගේ ප්‍රශ්නය වුනෙත් ඇයි මේතරම් සීතල කියලා. දන්නා හැටියට නම් සයිබීරියාව පැත්තේ ඉඳලා එන සීත සුලං නිසා තමයි මේ  අසාමාන්‍ය සීතල. ලංකාවේ පවා කාලගුණය හොඳටම වෙනස් වෙලා. වෙනදා වැහි නැති කාලෙට අසාමාන්‍ය ලෙස වහිනවා. වැස්ස අවශ්‍ය කාළයට පායනවා. කාලෙකදි රස්නය දරාගන්න බැහැ. තවත් කාලෙකදි සීතලයි. මේ සියල්ලම කෘෂිකර්මාන්තයටත් බලපානවා. භෝගවල පළදාව අඩුයි, මිලගණන් වැඩියි… මේ සියල්ල එකම සිදුවීම් දාමයක පුරුක් වෙලා…..

ඇයි මේ.. සරළවම කියනවා නම් මිහිතලය උණුසුම් වීමේ අහිතකර ප්‍රතිඵල තමයි මේ. වසර 1800 ගණන් වල කාර්මික විප්ලවයට පෙර තිබුණ වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්‍ද්‍රණය වූ වායුගෝලයේ කොටස් මිලියනයකට කාබන් ඩයොක්සයිඩ් 290 (290 ppm) දැන් 390 ක් දක්වා වැඩි වෙලා. මේ අයුරින්ම මිනිසා කටයුතු කරගෙන ගියොත් වසර 2050 වන විට එම අගය 550 – 750 අතර අගයයක් ගන්නා බව විද්‍යාඥයින් ගණන් බලා තිබෙනවා. මෙය ඉතා අහිතකර තත්ත්‍වයක්. ඉදිරියේදී තවත් අහිතකර කාලගුණ විපර්යාස බලාපොරොත්තු වෙන්න පුළුවනි.

මෙය නවතාලීමට පුළුවන්කමක් නැහැ. ජනගහන වර්ධනයත් සමඟ මිනිසා පරිභෝජනය කරන ශක්ති ප්‍රමාණය ඉහළ යනවා. ඒ අනුව මිනිසුන් නිකුත් කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය නිතැතින්ම ඉහළ යනවා. නමුත් මෙය අඩුකරගත හැකියි. පරිභෝජනය කරන බලශක්ති ප්‍රමාණය අඩු කිරීම, ප්‍රතිචක්‍රීකරණය, අරපිරිමැස්ම, පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතය මේ ආකාරවලින් කිහිපයක්. ජගත් පරිසර දිනයේදී හෝ වෙනත් දිනයක ගස් මිලියන ගාණක් හිටෙව්වාට පරිසරය සුරැකෙන්නේ නැහැ. කුඩා අවධියේ පටන් දරුවන්ට පරිසරය සුරකින ක්‍රම සහ එහි වැදගත්කම පුනපුනා ඉගැන්විය යුතුයි. එසේම පරිසරයට ආදරය කරනවාට වඩා පරිසරයට ගෞරව කරන්න දරුවාට පුරුදුකළ යුතුයි. දරුවා පරිසරය සමඟ බැඳීමක් ඇති කළ යුතුයි… එසේම ඔබත් පරිසරයට ගෞරව කළ යුතුයි. ඔබ ආදර්ශමත්ව කටයුතු කිරීමෙන් අනාගත පරපුර යහමඟට ගත හැකියි. ඔබ ගුරුවරයෙක් නම් ඒ කටයුත්ත මහා පරිමාණයෙන්ම කළ හැකියි… පරිසරයට ආදරය කරන විට පරිසරයද පෙරළා ආදරය දක්වනු ඇති

පරිසරයට ගෞරව කරන්න… පරිසරය එවිට ඔබට ද ගෞරවයෙන් සලකාවි….

අද ඉඳලාවත් හිතන්න… ඔබ විනාශ කරනවා ඇත්තේ ඔබේ දරුවාගේ අනාගතයයි…..

%d bloggers like this: