Blog Archives

2012 ජනවාරි 25: විදේශීය සරසවි සිසුවා ඉගෙන ගන්න කන කට්ට, ලාංකීය සරසවි සිසුවාගේ මානසිකත්‍වය, සහ ඇමතිවරුන්ගේ නොහැකියාව….


ශ්‍රී ලාංකික අධ්‍යාපන ක්‍ෂෙත්‍රයේ දැනට වැඩිපුරම කතා බහට ලක් වන මාතෘකා දෙක වනුයේ උසස් පෙළ ප්‍රතිඵල ගැටළුව සහ පෞද්ගලික විශ්ව විද්‍යාල පණත යන කරුණු දෙකයි. මේ දෙක අඩු වැඩි වශයෙන් කළින් කළට වැදගත්කම ඉහළ පහළ ගියත්, මේ දෙකම විවෘතව කතා කළ යුතු ප්‍රශ්න: නමුත් පවතින වාතාවරණය තුළ කවුරු මොන පැත්තට කතා කළත් ඔහු/ඇය නිතැතින්ම දේශප්‍රේමියෙක් හෝ දේශද්‍රෝහියෙක් බවට පත් වෙනවා. මේ ප්‍රශ්න පිළිබඳව බ්ලොග් අවකාශය තුළ බොහෝ දේවල් කතා වුනා.

කතන්දර කාරයා ලියපු ලිපියට මෙතැනින් යන්න

රත්ගමයා ලියපු ලිපියට මෙතැනින් යන්න

බ්ලොග් ගඩොල් ලිපියට මෙතැනින් යන්න

ඉතින් මේ කාරණය ගැන මට අමුතුවෙන් කතා කරන්න දෙයක් ඉතිරි වෙලා නැති තරම්. නමුත් මම අද කතා කරන්නේ ඒ කිසිවක් ගැන නොවෙයි. නමුත් ඒ දේට සම්බන්ධයි. ඇත්තෙන්ම කියනවා නම් පෞද්ගලික විශ්ව විද්‍යාල අපට අවශ්‍යයි කියන මතයේ තමයි මම සිටින්නේ. ඒ ගැන කිසිදු ගැටළුවක් නැහැ. ඒ මම පෞද්ගලික උපාධි ආයතනයකින් මූලික උපාධියක් ලැබූ නිසා පමණක් නොවෙයි, විවිධ විශ්ව විද්‍යාලවල උගන්වා, ඉගෙනගෙන ලැබූ අත්දැකීම් සියල්ල අනුසාරයෙන් තමයි මම ඒ ගැටළුව දිහා බලන්නේ. කෙටියෙන් කියනවා නම්, පෞද්ගලික විශ්ව විද්‍යාල පැවතීම නිසා රජයේ විශ්ව විද්‍යාලවලට ලොකු තරඟයක් ඇති වෙනවා. මේ නිසා සිසුන් නිකම් කාළය කා නොදමා, තමන්ගේ අනාගතය වෙනුවෙන් සටන් වැදීම උදෙසා ඔවුන් හොඳින් ඉගෙන ගන්න පෙළඹෙනවා. මේ සඳහා ඇති තරම් උදාහරණ තිබෙනවා. අපි ඒ ගැන පසුව කතා කරමු…

ඇමරිකානු පාසල් සිසුවා (පහසුව තකා සිසු-සිසුවියන් දෙපිරිසම සිසුවන් ලෙස හඳුන්වනවා) විශ්ව විද්‍යාලයට යාම වෙනුවෙන් පිළියෙල වෙන්නේ කුඩා කාළයේ සිටමයි. පවතින විශ්ව විද්‍යාල රටාවට අනුව පෞද්ගලික හෝ රජයේ විශ්ව විද්‍යාල දෙකොටසම මුදල් අය කරන බැවින් ඔවුන්ගේ මූලික පරමාර්ථය වන්නේ ඒ ඒ විශ්ව විද්‍යාල වල පාඨමාලා ගාස්තු අඩු කර ගැනීමට ශිෂ්‍යත්‍ව ලබා ගැණීම. මේ සඳහා ඔවුන් විවිධ විෂය බාහිර ක්‍රියාකාරකම්, විවිධ අධ්‍යාපනික වැඩසටහන්, ක්‍රීඩා, ආදී නොයෙකුත් දී වල නිරත වෙන්නේ කුඩා අවධියේ සිටමයි. බොහෝ සිසුන් පාසලේදී උසස් පෙළට සමාන පාඨමාලා (High School) තෝරා ගැනීමේදීත් ඔවුන්ගේ විශ්ව විද්‍යාල බලාපොරොත්තු වලට අනුවයි ඔවුන් ඒ විෂයයන් තෝරා ගන්නේ. ඒ සමඟම වාගේ උසස් පාසල් වල අවසාන වසරේ සමහර විෂයයන් සමහර විශ්ව විද්‍යාලවල සම්බන්ධීකරණයෙන් ග්‍රීෂ්ම නිවාඩු කාළවලදී (Summer Vacation) ඒ විශ්ව විද්‍යාලවල උගන්වනවා. මේ නිසා ඔවුන් තමන්ගේ විශ්ව විද්‍යාලවල පළමු වසරේ අවශ්‍යතාවයන්ගෙන් සමහරක් නිවාඩු කාල වලදීම සපුරා ගන්නවා. ඒ අතරවාරයේ ඔවුන් SAT නම් වූ විශ්ව විද්‍යාලවලට ඇතුලත්වීම සඳහා වූ විභාගයට පෙනී සිටිනවා. මේ විභාගය පවත්වන්නේ College Board නම් ආයතනය නිසා ඒ ලකුණු වල විශ්වාසනීයත්‍වය පිළිබඳ කිසිදු විශ්ව විද්‍යාලයකට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම අපේ රටේ වගේ ඒ ලකුණු වෙනස් කරන්න හෝ, විශේෂ තත්ත්‍ව මත විභාග වලට වාඩි වීම වැනි අකටයුතුකම් ද සිදු වන්නේ නැහැ. අවම වශයෙන් ජනාධිපති බුෂ්ගේ දියණියන්ටවත් මේ තත්ත්‍වය වෙනසක් නැහැ. මේ ලකුණු මට්ටම් මත තමයි සිසුන් විශ්ව විද්‍යාලවලට ඇතුලත් කර ගැනීම සිදු වන්නේ. නමුත් මේ ලකුණු පමණක්ම නොවෙයි, පාසලේ ලබා ගන්නා GPA ලකුණු මට්ටම, තමන් ඒ විශ්ව විද්‍යාලයට ඇතුලත් කරගත යුත්තේ ඇයිද, තමන්ගේ අනාගත අභිමතාර්ථ මොනවාද යන්න ඇතුලත් Personal Statement එක, සහ තමන්ගේ ගුරුවරුන්ගෙන් ලබා ගන්නා සහතික කරන ලද ලිපි (Reference Letters) ආදී සියල්ල සලකා බලායි මේ සිසුන් විශ්ව විද්‍යාලවලට ඇතුලත් කරගන්නේ.

සාමාන්‍යයෙන් මා සේවය කරන ඩෙලවෙයාර් විශ්ව විද්‍යාලයට පමණක් වසරකට අයදුම්පත්‍ර 20,000 ක් පමණ ලැබෙනවා. ඉන් ඇතුලත් කර ගන්නේ 3000 ක් පමණයි. මේ තත්ත්‍වය ඉහළ මට්ටමේ තියෙන විශ්ව විද්‍යාලවල මීටත් වඩා වැඩියි. ඇමරිකාවේ විශ්ව විද්‍යාල විවිධාකාර අන්දමින් වර්ග කර තිබෙනවා. ඒ පිළිබඳ මෙතැනින් බලන්න. මේ නිසා සිසුන්ටත් දෙමාපියන්ටත් තමන්ගේ දරුවා ඇතුලත් කරන්නට යන විශ්ව විද්‍යාලය සහ ඒවායේ තත්ත්‍වයන් පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගැනීමට පුළුවන්. එසේම මේ තත්ත්‍වයේ විශ්ව විද්‍යාලවලට ඇතුලත් වීමට නොහැකි බොහෝ දෙනා Community College නම් තාක්‍ෂණික ආයතනවලට ඇතුලත් වෙනවා. ඒ මුදල් නොමැතිකම හෝ නිසි අධ්‍යාපන සුදුසුකම් නොමැති වීම යන දෙකම හෝ ඉන් එකක් වන්නට පුළුවන්. නමුත් මේ ආයතන සමහරක් යම යම් සුවිශේෂ පාඨමාලා උගන්වන ආයතන නිසා ඒවායින් පිටවන අයටත් හොඳ රැකියා ලබා ගැනීමේ අවස්ථාව තිබෙනවා.

මේ සියල්ලම නිකම් ලැබෙන දේවල් නෙවෙයි. ශිෂ්‍යත්‍වයක් ලැබුණත් එයින් ලැබෙන මුදල් මදි වෙනවා වියදම් පියවා ගන්නට. මේ නිසා දෙමාපියන් දරුවා ඉපදුන දා සිට අරමුදලක් එකතු කරනවා විශ්ව විද්‍යාල අරමුදල (College Fund) නමින්. එයත් මදි වියදම් පියවා ගන්න, බොහෝ දෙනා විශ්ව විද්‍යාල මගින් අනුමත කරන ලද බැංකු මගින් ණය මුදල් ලබා ගන්නවා. වසර හතරක සාමාන්‍ය වියදම ඇමරිකානු ඩොලර් ලක්‍ෂය පනිනවා. ඒ අනුව විශ්ව විද්‍යාලයකින් පිටවන බොහෝ සිසුන් ඉන් පිටවන්නේ ණයකාරයන් ලෙසින්. මේ ණය ඔවුන් විසින් අවුරුදු 10 ක් හෝ 20 ක් ඇතුලත ගෙවා දැමීමේ බැඳුම්කරයකට යටත්වයි ඔවුන් ලබා ගන්නේ. මේ නිසා නොගෙවා සිටින්නට බැහැ. මේ මූල්‍යමය පැත්ත.

මීට අමතරව වියදම් සඳහා ආදායම් උපයා ගන්නට සිසුන් විවිධාකාර රැකියා කරනවා. සමහරු හෝටල්වල වේටර්කම්, ඉන්ධන පොළවල් වල රැකියා, මැක්ඩොනල්ඩ්ස්, බර්ගර් කිං වැනි ආහාර හලවල රැකියා, ආදිය කරනවා. තවත් සමහරු කුණු එකතුකර වෙන්කරන ස්ථාන, වැනි පහත් යැයි සැලකෙන ස්ථාන මෙන්ම වෛද්‍ය මධ්‍යස්ථාන, බැංකු වැනි උසස් ස්ථානවලත් රැකියා කරනවා. මේ සියල්ල කරන්නේ ඉතාමත් අඩු වේතනයකට, බොහෝ සිසුන් ආදායම් උපයන්නේ ඔවුන්ට ලැබෙන කොමිස් වලින්. මීට සතියකට පමණ පෙර එක්තරා කෙනෙක් බොහෝ දෙනෙකුගේ ඊ මේල් වලට එවා තිබූ ලංකා බැංකුවේ සේවය කරන අයගේ ශ්‍රම මංකොල්ලයක් ගැන සඳහන් ලිපියක් කියවීමේදී මට ඇත්තෙන්ම සිතුනේ මොවුන් කොයි තරම් ලිං මැඩි මානසිකත්‍වයක සිටිනවාද යන්න. මේ සියළු රැකියා මගින් මේ සිසුන් කරන්නේ ආදායම් උපයන එක පමණක් නොවෙයි, විශ්ව විද්‍යාලයෙන් පිටව ගිය දවසක රැකියාවක් සඳහා ඉල්ලුම් කිරීමේදී අදාල වන සුවිශාල අත්දැකීම් සහ පළපුරුදු සම්භාරයක් එකතු කරගන්නවා.මේ නිසා එය ඔවුන් පැකිළීමකින්, මැසිවිලි නැගීමකින් තොරව ඉටු කරනවා. එමෙන්ම කිසියම් වරදක් සිදු වුන හොත් සේවයෙන් පහ කිරීම නියත වන නිසා ඔවුන් ඒ සියල්ල කරන්නේ බොහෝ පරිස්සමින් සහ පාරිභෝගිකයා උපරින්ම සතුටු වන විදියට.

මේ සියල්ල ඔවුන් කරන්නේ සිය පන්ති කාලසටහනට අවහිරයක් නොවන විදියට, එක්කෝ රෑට, එසේත් නැතිනම් පන්ති නොමැති වෙලාවට… මේ නිසාම ඔවුන්ට විශ්ව විද්‍යාලයෙන් දෙන ගෙදර වැඩ කරන්නවෙලාවක් නැති තරම්.. එවිට ඔවුන් නිදි වරාගෙන පාඩම් වැඩ කරනවා.. මේ විශ්ව විද්‍යාලවල දෙන ගෙදර වැඩ සුළුපටු නැහැ. ඒ වගේම ඒ බොහොමයක් ගෙදරවැඩ වල ලකුණු අවසාන විභාගයේ ලකුණු වලට එකතු වෙනවා. කොපි කරලා අහු වුනොත් ගෙදර (මේ ලඟදිත් එක්කෙනෙක් ගෙදර යැව්වා අපේ දෙපාර්තමේන්තුවේ නම්) මේ නිසා ඉගෙන ගැනීමට ආසාවක් ඇති සියළුම දෙනා කෙසේ හෝ මේ සියල්ල සමබර කරගෙන ඉගෙන ගන්නවා. ඒ වගේම රෑ නිදි වරාගෙන වැඩ කරන නිසා සමහරු පන්ති දෙකක් අතරවාරයේ ඇති සුළු වෙලාවෙත් පොත් මල්ල හිසට තියාගෙන කොහේහරි බංකුවක හෝ ශාලා දෙකක් අතර ඇති කොරිඩෝරයක නිදා ගන්න එක බොහොම සුලභ දසුන්.. ඒ නිසා ඒ සිසුන්ට රැග් කරන්න, මල් කඩන්න වෙලා නැහැ…

ඒ වගේම මෙහේ නීති හරි තදයි, රැග් කිරීම (Hazing) නීති විරෝධි ක්‍රියාවක්. හැම විශ්ව විද්‍යාලයකම පොලීසියක් තියෙනවා. ලොකු විශ්ව විද්‍යාලවල නම් හැම තැනම කැමරා සවි කරලා 24/7 නිරීක්‍ෂණය වෙනවා. මේ නිසා කිසිදු නීති විරෝධි ක්‍රියාවක් සිදු වීමේ ඉඩකඩ අඩුයි..( අපේ අය පොලීසියත් එක්ක නයි වෛරයි නේ) ඒ වගේම පොලීසිය තමන්ගේ ගෞරවය රැක ගැණීමත්, පොලිසියට තමන්ගේ ගෞරවය දීමට සිසුනුත් වගබලා ගන්නවා. මේ නිසා ගැටුමක් නැහැ. ඒ වගේම පොලීසිය සමග ගැටුනොත් මෙහේ දඬුවම් සැරයි.. ඒ නිසා කවුරුවත් පොලීසියට ගහන්න යන්නෙ නෑ…..

ඒ වගේමයි මෙසේ අමාරුවෙන් ඉගෙන ගන්න සිසුන් ඉන් පිටව ගියාම ඔවුන්ට නිසි රැකියා ලබා ගන්න රජය උදවු කරනකල් බලන් ඉන්නෙ නැහැ. රජයෙන් උදවු කරන්නෙත් නැහැ. සියළුම දෙනා රැකියා සොයාගන්නේ තමන් විසින්මයි.. මේ නිසා අපට රැකියා දියවු කියලා ධවල මන්දිර වට රවුම ලඟ කවුරුවත් පිකටින් කරන්නෙත් නැහැ. බොහෝ විශ්ව විද්‍යාලවල වෘත්තීය සේවා කේන්‍ද්‍ර (Career Services Centers) පිහිටවලා තියෙන්නේ විශ්ව විද්‍යාලවලින් පිටවන සිසුන්ට රැකියා සොයා ගැනීමට මඟ පෙන්වීමට. මෙහිදී අයැදුම්පත්‍ර සැකසීම, ලිපි ලිවීම පමණක් නොවෙයි සම්මුඛ පරීක්‍ෂණ වලට මුහුණ දීමට පවා පුහුණු කරවනවා. ඒ සියල්ල කරවලයි සිසුවෙකු විශ්ව විද්‍යාලයෙන් පිටතට යවන්නේ. මේ නිසා මුදල් ගෙවා ඉගෙන ගන්න එකේ වටිනාකමට සරිලන දෙයක් ඔවුනට ලැබෙනවා. ඒ විතරක් නොවෙයි, සියළුම පාඨමාලා ප්‍රමිතිකරණය කරලා තියෙන්නේ, විභාග සියල්ල නිසි ලෙස කෙරෙන නිසා සල්ලි ගෙවුවත් නියමිත පරිදි දක්‍ෂතාවය අනුවයි සිසුන් සමත් වෙන්නේ.

මේ සියල්ල කළත් නාස්තිකාර පුත්‍රයින් නැතුවා නොවේ… ඔවුන් අකාලයේ ජීවිතය අගාධයට දමා ගන්නවා… දැන් දැන් විරැකියාව වැඩිනිසා ඉගෙන ගැණීමේ තරඟයත් උපරිමයි…. මේ නිසා ඔවුන් කොහොම හරි බලන්නේ කුමක් හෝ රැකියාවකට ගොස් පසුව හොඳ රැකියාවකට යන්නයි…. බොහෝ දෙනා රැකියාවක් ඇතුව හෝ පශ්චාත් උපාධියක් සඳහා විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීමේ හැකියාව සහිතවයි සාමාන්‍ය උපාධිය නිම කරන්නේ…

මෙන්න මේකයි ඇමරිකානු සිසුවාගේ සරසවි ජීවිතය….. මේක අපේ සරසවි සිසුවාගේ ජීවිතයට සැසඳීමේදී මා සිතන පරිදි ඔවුනට ක්‍රියාකාරකම් අඩුයි, ඇගැයීම්, ගෙදර වැඩ, ව්‍යාපෘති ආදිය දෙනවා මදි… ඒ වගේම විවිධ අධ්‍යාපනික ක්‍ෂෙත්‍රයන් අනුවත් මේ තත්ත්‍වය වෙනස් වෙනවා. විද්‍යා අංශ උපාධි අපේක්‍ෂකයෙකුට වඩා වැඩි නිදහසක් කලා අංශ උපාධි අපේක්‍ෂකයෙකුට තිබෙනවා.. මේ නිසා දේශපාලනය වැනි අමතර දේවලට නැඹුරු වීමේ ප්‍රවණතාවය වැඩියි..

මට හිතෙන විදියට නම් සිසුන් දේශපාලනය කළාට කමක් නැහැ, නමුත් ප්‍රමුඛත්‍වය දිය යුත්තේ අධ්‍යාපනයටයි. අවිවිශිබමයේ හිටපු කැඳවුම්කරු දන්න වෛද්‍යවරයෙක් වෙන්න ඇවිත් දැන් දේශපාලනය කරනවා. දන්ත වෛද්‍ය පීඨයට ඇතුලත් වෙන්න හිටපු කෙනෙක්ගේ අවස්ථාව අහුරලා ඔහුත් ජීවිතය වෙනත් පැත්තකට හරවා ගත්තා… මේ මනුස්සයා ඉඩ ඇහිරූ අර දන්ත වෛද්‍ය පීඨයට ඇතුලත් වෙන්න අවස්ථාව තිබූ ඊලඟ සිසුවාගේ සිසු අයිතිවාසිකම් වෙනුවෙන් කියන්න ඔහුට තියෙන්නෙ කුමක්ද ?

සමහර විට අපි මේ සිසු නායකයෝ පිටරට විශ්ව විද්‍යාලවල සංචාරයකට යවලා, ඔවුන්ගේ ඇස් ඇරෙව්වා නම් මෙයට වඩා හොඳ ප්‍රතිඵලයක් ගන්න තිබුණා… නමුත් ඔවුනට පමණක් දොස් කියා පළක් නැහැ, ඔවුන් උද්ඝෝෂණ කරන තත්ත්‍වයට ඇද දැමූ අවස්ථාවාදී දේශපාලනය වගේම, පවතින රජයේ අධ්‍යාපනික අමාත්‍යාංශයේ ඇති පරිපාලනමය දුර්වලතා ද මඟ හැරවාගත යුතු වෙනවා. ඇමතිවරු හැට හැටහමාරක් හැටියත්, ඔවුනට හරියට වැඩක් කරගන්න බැරිනම් කළ හැකි කෙනෙකුට පැවරිය යුතුයි. ඇමතිවරු අධ්‍යාපනඥයෝ නොවෙයි, ඔවුන් දන්නේ දේශපාලනය (ඒකත් හරියට දන්නෙ නෑ) මේ ඇමතිවරු පත් කරන්නේ ඔවුන්ගේ සුදුසුකම් බලා නොවෙයි, ජනාධිපති තුමාට ඔවුන් පාලනය කරගැනීමේ පහසුව බලා… ඒ නිසා වැඩක් දන්න කෙනෙක් එතැනට පත් වෙන්නෙ නෑ.. ඇමතිවරු කරන්නේ තමන්ගේ හෙංචයියෝ ඉහළ තැන් වලට පත්කර ගැනීම.. සියල්ල සිදු වන්නේ තම තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් මිස රටේ අභිවෘද්ධිය තකා නොවෙයි…

ඉතින් මෙහෙම රටක සිසුන් උද්ඝෝෂණය කරන එකත් අමුත්තක් නොවෙයි… ඔවුන්ට වැරැද්දක් කියන්නත් බැහැ.. නමුත් කරගන්න එකා හරියට කරගෙන තමන් ගොඩ යනවා කියන එකත් අමතක කරන්න බැහැ.

ආරක්‍ෂක ලේකම් තුමා කියලා තිබුණා ආණ්ඩුව පෙරලන්න ඕන නම් ඡන්ද පොලේදී ඒක කරන්න කියලා… හරි විදියට නම් දැන් විපක්‍ෂයට පුළුවන් උගත් බුද්ධිමත් ඡන්ද අපේක්‍ෂකයෝ ටිකක් හොයලා ඡන්දයට ඉදිරිපත් කරන්න… ඡන්ද දායකයොන්ට පුළුවන් පගා මරුවො, මිනීමරුවෝ, කසිප්පු- කුඩු මුදලාලිලා, මැරයෝ ඔක්කොම ඉවතට දාලා රට ඉදිරියට ගෙනයන්න පුළුවන් කට්ටියක් පත් කරගන්න..

නමුත් පක්‍ෂ දෙකෙන්ම පත් කරන්නේ පරණ සෙට් එකම තමයි… මොකද කියනවනම් ලංකාවෙ දේශපාලනය කරන්න අවශ්‍ය සුදුසුකම් ඒවා පමණයි… මොළයක් ඇති වැඩක් කරන්න පුළුවන් දේශපාලනඥයො හිටියෙ ඉස්සර….. දැන් ඔක්කොම කෝටි ගණන් වියදම් කරගෙන එන්නෙ රටට ඇති ආදරේකට නෙවෙයි….තමන්ටයි තමන්ගෙ පරම්පරාවටයි කරගන්න….. ඒක ඉතින් අපේ ලංකාවෙ මිනිස්සුන්ගෙ පව… !

අධ්‍යාපනය කියන්නේ රටක අනාගතය. ඒක අර පාරම් බාන දෙන්නට කියලා දෙන්න කෙනෙක් නැති එක ගැන දැක්කාම ලංකාවෙ ඉන්නෙ ඔක්කෝම අපෘෂ්ඨවංශීන් ද කියලත් හිතෙනවා…

යන ගමන් මේ සිංදුවත් අහගෙනම යන්න.. (සිංදුව විතරක් අහන්න ඕන නම් විනාඩි 2:00 ට යන්න) මේකෙ තියෙන්නෙ ඔක්කොම ඇත්ත නෙ…

%d bloggers like this: