Blog Archives
පිටස්තරයා – 21
පසුදා උදෑසනම විශ්ව අවදි වුනේ හිතේ ලොකු සතුටක් සිතේ දරාගෙන…. මාස එකහමාරකට පමණ පසු ආයෙම පර්යේෂණාගාරය වෙත යන්න ලැබීම ගැන සතුටක් වගේම ඒ කාළය තුළ කිසිදු වැඩක් නොකර සිය පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන්ම මහන්සි වීම නිසා තරමක ඒකාකාරී බවක් විශ්වගේ සිත තුළ තිබුණා. එකම වෙනස වූයේ සිය මාමාත් නැන්දාත් තමා වෙනුවෙන් සියළු කටයුතු ඉටු කරදීම පමණයි. තව නොබෝ දිනකින්ම ඔවුනුත් නැවත ශ්‍රී ලංකාව බලා යන නිසා නැවතත් තමා තනි වන බව සිතුනත් දැන් ඔහුගේ තනියට මොලී නිතරම ලඟ ගැවසෙන නිසා එවැනි තනිකමක් නොදැනේවි යැයි විශ්වගේ යටිහිත පවසන අයුරක් ඔහුට හිතුනා…
මාමාගේත් නැන්දාගේත් දෙපා නැමඳ විශ්ව නාවික පර්යේෂණ ආයතනය බලා යාමට ඊයේ තමාට ලැබුණ අළුත්ම වාහනයේ නැඟුන විශ්වට තරමක සැහැල්ලුවක් දැනුනා…
Welcome Back ! යනුවෙන් සඳහන් කළ බැනර් එකක් සිය පර්යේෂණාගාරයේ එල්ලා තිබෙනු විශ්ව දුර තියාම දුටුවා… ඔහුගේ මුහුණේ සිනාවක් ඇඳුනේ ඉබේටම… තමා තවමත් නාවික පර්යේෂණායතනයේ ඒ කුඩා පවුලේ සාමාජිකයෙකු බව ඔහුට මතක් වුනා…
සුපුරුදු පරිදි තම මේසයට යන විට කාර්යාලයේ වෙනදා මේ වෙලාවට නොඑන අය මෙන්ම සිය ප්‍රධානීන් දෙදෙනා වන නීල් ෆියු සහ ඩෙනිස් ලිපර්ඩ් දෙදෙනාත් පැමිණ සිටියා….
Welcome Back son,. ! ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් විශ්ව ඉදිරියට පැමිණ වැළඳ ගත්තෙ කවදාවත් නැති විදියේ හෘදයාංගම බවකින්..
ඒ සමගම වගේ මොලී කාර්යාලයට පැමිණියේ කේක් ගෙඩියක් ද රැගෙන…
ආ….. එච්චරයි අඩුවකට තිබුණෙ…..
ඔන්න මම විශ්ව නිසාම නිර්මාංශ කේක් ගෙඩියක් හදාගෙන ආවා…..
හැමදෙනාම විශ්ව නැවතත් සේවයට පැමිණීම ගැන සුභ පැතුවා….. කේක් බෙදාගෙන තේ පානයෙන් අනතුරුව වැඩ පටන් ගන්න යන අතරේ නීල් සහ ඩෙනිස් දෙදෙනාම විශ්වත් මොලීවත් නීල්ගේ කාර්යාලයට කැඳවූවා…
දැන් ඉතිං විශ්වට ආයෙම පුරුදු පරිදි වැඩ පටන් ගන්න පුළුවන් නේද ? නීල් විශ්ව දෙස බලාගෙන ඇසුවෙ පිළිතුරක් බලාපොරොත්තුවෙන්ම නොවෙයි.
ඔව් නීල්, දැන් මට 100% ක් හොඳයි… ආයෙම අතපසු වුන වැඩත් එක්කම කරන්න පුළුවන් වේවි…
ඒක හොඳයි.. මොකද අපේ අළුත් පර්යේෂණය අත ගගා ඉන්න පුළුවන් එකක් නොවෙයි.. මේක වැදගත් වෙන්නෙ අපට පමණක් නොවෙයි මුළු ලෝකයටම… ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් නැවත වතාවක් විශ්වගේත් මොලීගේත් පර්යේෂණය පිළිබඳ විස්තර රාශියක් කියාගෙන ගියේ සමහර කරුණු විශ්වට අමතක වී ඇතැයි සිතා විය හැකියි. නමුත් ඒ සියල්ල විශ්වට හොඳින් මතක තිබුණා.
දැන් ඩෙනිස් කියන්නෙ අපට මේ පර්යේෂණය සඳහා ඒ ඒ ස්ථානවලට යන්න වෙනවා කියන එකද ?
ඔව්…. සමහරවිට අපට මේ පර්යේෂණයේ ක්ෂෙත්ර පරීක්ෂණ සඳහා අදාල ස්ථානයටම යන්න සිදු වේවි. ඒකට අපට අදාල බලධාරීන්ගෙන් අවසර ගන්න වෙනවා. ඒ නිසාම අපට අපේ ආයතනය සමඟ ඇති ඔබේ සම්බන්ධතාවය බිඳ දමා වෙනත් ආයතනයකට සම්බන්ධ කරන්න සිදු වෙනවා. නාවික පර්යේෂණ ආයතනය මගින් වෙනත් රටක මෙවැනි පර්යේෂණයක් සිදු කරනවා කියන්නේ ඒ රටවල සැකය කෙළින්ම අප දෙස යොමු වෙන එකයි. නමුත් විශ්ව විද්‍යාලයක පර්යේෂණයක් විදියට මෙය සිදු කෙරුණොත් ඒ සැකය අප වෙත යොමු වෙන්නෙ නැහැ. අපි ඔබ දෙදෙනා යවන්නේ විශ්ව විද්‍යාලයක සිසුන් දෙදෙනකු විදියට.. අදාල ලියකියවලි සියල්ල අපි සූදානම් කරන්නම්.
ළඟදිම යන්න ඕන වෙයිද ? මොලී ඇසුවෙ ඒ සියල්ල අවසන..
නැහැ නැහැ… අපි දැනට සෑහෙන කාළයක් මෙහේම පර්යේෂණය සිදු කරගෙන යන්න පුළුවනි… නමුත් හරියටම ගුරුත්ව ක්ෂෙත්රවල අගයයන් නිර්ණය කරන්න නම් අපට ඒ ස්ථානයටම යන්න වෙනවා.
කමක් නෑ.. මමත් මගේ ආචාර්ය උපාධි පර්යේෂණයට ඒ වගේ තැන් වලට ගිහින් තිබෙන නිසා ඒ ගැන ලොකු ප්‍රශ්නයක් මට නම් නැහැ… පොඩ්ඩක් අමාරු ඒ ඒ පරිසරයට අනුගත වන එක… හරියටම මාස ගණනාවක කෑම්පින් ට්‍රිප් එකක් ගියා වගේ. එච්චරයි… වැඩියත්ම හොඳ දේ තමයි ඒ ඒ රටවල සංස්කෘතීන්ට බැඳෙන එක… සමහරු අපි දිහා බලන්නෙ සැකයෙන්.. ඒ සැකය දුරු කරගන්න හොඳම විදිය තමයි ඒ ප්‍රදේශවල මිනිස්සු එක්ක සහයෝගයෙන් කටයුතු කිරීම.. අන්තිමට අපට ඒ මිනිස්සු බොහොම ආදරයෙන් සලකන්න ගන්නවා….
හරි එහෙනම්.. අපි ඉක්මනින්ම වැඩ පටන් ගනිමු… අපි දන්නවා විශ්ව අනතුරට පත්වෙලා සිටි කාළෙ මොලී මේ පර්යේෂණයට අදාල ගණනය කිරීම් බොහොමයක් නිම කළ බව.. ඒ වගේම විශ්වත් අදාල පර්යේෂණ පත්‍රිකා කියවලා නිසි අවබෝධයක් ලැබූ බව.. ඒ නිසා මේ පර්යේෂණය තවදුරටත් පහු කරන එකේ තේරුමක් නැහැ… ආචාර්ය ලිපර්ඩ් සිය තට්ටය අතගාමින් පැවසුවා..
වෙන මොනවත් ප්‍රශ්න තියෙනවද ? අවසන නීල් ඇසුවේ සාකච්ඡාව නිමා කරන අටියෙන්…
නැහැ… මටනම් නැහැ… මොලීට නම් ප්‍රශ්න තියෙනවද දන්නෙ නෑ..
නැහැ… මටත් කිසි ප්‍රශ්නයක් නැහැ…
එහෙනම් අපි සතියකින් ආයෙම හමුවෙමු.
සිය මාමාත් නැන්දාත් වොෂිංටන් රීගන් ගුවන් තොටුපලට හැරලූ විශ්වට දැනුනේ කවදාවත් නොදැනුන තනිකමක්. කුඩා කාළයේ තනිවම ජීවිතය ගත වූවාට වඩා සමීප බැඳීම් කිහිපයක්ම මෑතකදී ඇති වූ බව ඔහුට සිතුනේ තනිවම රිය පදවාගෙන නවාතැන වෙත පැමිණෙන ගමනේදී. සෙනසුරාදා දිනයක් නිසාත්, කරන්නට සුවිශේෂී යමක් නොතිබුණ නිසාත්, ඔහු සිය වාහනය වොෂිංටන් බෞද්ධ විහාරයට හැරවූයේ අත්ථදස්සි හිමියන් බැහැ දැක සිත සන්සුන් කර ගැනීමට සිතාගෙන.
ආ… කොහොමද ඉලංදාරියා ? කවදාවත් නොතිබූ සමීපබවකින් ස්වාමීන් වහන්සේ විශ්ව ඇමතූවිට ඔහු ඇත්තටම පුදුම වුනා.
දැන් නම් සියයට සියයක්ම හොඳයි ස්වාමීන් වහන්ස….
මට විශ්ව එක්ක කතා කරන්න ගොඩක් දේවල් තිබුණා. නමුත් පහුගිය දවස්වල විශ්ව බොහොම කාර්යබහුලව සිටි නිසා මම කතා කරන්නවත් ගියේ නැහැ. ඔයා මෙතැනට අද ආපු එක බොහොම හොඳ දෙයක්. අද පන්සලේ භාවනා වැඩසටහනත් නැති නිසා අපට නිදහසේ කතා කරන්නට පුළුවනි. අපි යමු භාවනා කුටිය පැත්තට…
අත්ථදස්සි හිමියන් එසේ පවසද්දී විශ්වට දැනුනෙ කුතුහලය පිරි සැහැල්ලුවක්, විශ්වටත් අවශ්‍ය වෙලා තිබුණේ ස්වාමීන් වහන්සේ සමග තමන්ගේ සිතේ පිරී තිබූ බොහෝ දේ පවසා එය හිස් කරගන්නට…
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මට නම් අර කෙල්ල අල්ලන්නෙ නෑ … සුමනසේකර මහත්මිය සිය සැමියාට රහසින් පැවසුවේ කණස්සල්ලෙන්…
නීලා…. සුදුපුතා කියන්නෙ බොහොම දැනුම් තේරුම් තියෙන බුද්ධිමත් ළමයෙක්, එයා කවදාවත් මෝඩ තීරණයක් ගන්නෙ නෑ…
කවදත් බොහොම සන්සුන්ව කරුණු කාරණා සොයා බලා කතා කරන සුමනසේකර මහතා සිය බිරියට පැවසුවා…
ඒක මම දන්නවා.. ඒ වුනත් කෙල්ලො ඉස්සරහා තාපසයෙක්ගෙ වුනත් සිල් බිඳෙන බව අමතක කරන්න එපා…
ඔව් ඉතිං… මම ඔයාට අහු නොවෙන්න මගෙත් සසර ගමන කොච්චර කෙටි වෙන්න ඉඩ තිබුණද ?……
අනේ යන්න…. කවුද මාව හොයාගෙන අපේ ගෙදර ආවෙ. ? … සුමනසේකර මහත්මිය තරමක නුරුස්සන බැල්මක් හෙළුවෙ සිය සැමියා තරහ ගැස්වීමට….
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
දැන් කොහොමද විශ්වගෙ සෞඛ්‍ය තත්ත්වය ? හිමියන් කතාවට මුල පිරුවා…
ශාරීරිකව නම් සියයට සියයක්ම සනීප ගතියක් දැනෙනවා. නමුත් තවමත් සුපුරුදු පරිදි ව්‍යායාම කරන්න බැරි නිසා තරමක අපහසුවක් දැනෙනවා. ලබන සතියේ ඉඳලා ආයෙම ව්‍යායාම කරන්න පටන් ගන්න ඕන. මානසිකව නම් තරමක් ව්‍යාකූලයි..
මට තේරෙනවා… විශ්ව ඉන්නෙ දොලොවක් අතර තනි වෙලා… එහෙම නේද ?
නැහැ ස්වාමීන් වහන්ස… දෙලොවක් අතර නෙවෙයි… ඒත් ව්යාකූළයි….
දරුවෝ… මට හිත් කියවන්න බැරි වුනාට අංග ලක්ෂණ සහ හැසිරීම් රටා හොඳට වැටහෙනවා. ඔයාට කවදාවත් නැතිව හිත ව්‍යාකූල වෙලා තියෙන්නේ ඔය ස්ත්‍රී පරාණ දෙක නිසා…. මට තේරෙනවා…
හරි එහෙමයි කියමුකෝ… ඒත් ස්වාමීන් වහන්ස, මට හරියට භාවනාවක් කරන්නවත් හිත එකඟ කරගන්න අමාරුයිනෙ… ඉස්සර කිසිම අවස්ථාවක එහෙම වුනේ නෑ,..
අමතක කරන්න එපා විශ්ව, ඔයාගෙ හිත දවස් ගාණක් වෙනම ලෝකයක සැරි සරලා, පාලනයකින් තොරව ඉබාගාතේ ඇවිදලා ආයෙම ශරීරයට ආපු හිතක්, ඒකෙදි ඔයා දන්නා සහ නොදන්නා බොහෝ දෙනෙකුගේ හිත් එක්ක දැනුවත්ව හෝ නොදැනුවත්ව ගණුදෙනු රාශියක් කරලයි නැවත ආවෙ… කාටවත් නොකීවත්, මම ඒ බව හොඳින්ම දැක්කා, ඔබට පියවි සිහිය නැති අවස්ථාවෙ ඔබ බොහෝ දෙනෙක් එක්ක ගණුදෙනු කළා… ඒ හැම දෙයක්ම යන්ත්‍රවල සටහන් නොවුනත්, මට හොඳින්ම දැනුනා… ඔයාට තිබුණ එකම වාසිය ඔයාගෙ හිත ඔයාගෙ ශරීරය දමා නොගිය එකයි. එහෙම ගියා නම් අද ඔයා ජීවතුන් අතර නැහැ.. හිත එලියට ආපු හැම වෙලාවකම ආපහු යවන්න ඔයා දන්න කීප දෙනෙක්ම ඔයාගෙ වටේ හිටියා… අමතක කරන්න එපා….
විශ්ව සිය මුව අයාගෙන බලා සිටියේ අත්ථදස්සි හිමියෝ කවදාකවත් බොරුවක් වංචාවක් කරන කෙනෙක් හෝ නිශ්ඵල යමක් නොපවසන කෙනෙකු නිසාමයි. නමුත් හිමියන්ගේ මුහුණේ පවා එවන් කිසිදු හැඟීමක් තිබුණේ නැහැ… ඒ නිසාම විශ්ව විමසුම් සහගත බැල්මකින් හිමියන් දෙස බලා සිටියා…
ඔව් විශ්ව… අපට නොපෙනෙන, අපි නොදන්නා මානයන් ලෝකයේ හැම තැනම තියෙනවා. අපට පේන සහ ඇසෙන පරාසයට වඩා වෙනස් බොහෝ පරාසයන්වල ජීවය තිබෙන්නට පුළුවනි. අපි දෙවියන් බඹුන් සහ භූතයන් කියලා කියන්නේ මෙන්න මේ අපේ පරාසයන්ගේ සීමාවන්ට එහා ගිය වස්තූන් වන්නට පුළුවනි. නමුත්, ඒ කතාවට නොවෙයි අද ඔබ පැමිණියේ…
එහෙමයි ස්වාමීන් වහන්ස…. මට යම් සැකයක් තිබෙනවා මගේ අවට සිටින අය මට ඇත්ත සඟවනවා කියලා. මේ හැඟීම මට හැමදාම දැනෙන අනාරක්ෂිත බව නිසා දැනුන දෙයක්ද, එහෙමත් නැතිනම් අනතුරෙන් සිහිය එනවිට සිතේ තිබූ හිස්බව නිසා දැනුන දෙයක්ද කියලා කියන්න මම දන්නෙ නෑ,. නමුත් මට කවදාවත් නැති විදියට හිතේ අවිශ්වාසයක් ගොඩ නැඟිලා තිබෙනවා.
කොහනේද ඒ අවිශ්වාසය දැනෙන්නෙ ? විශ්ව හිතනවද කවුරු හරි ඔබව මුලාවක දාන්න, එහෙමත් නැතිනම් අමාරුවක දාන්න කටයුතු කරනවා කියලා ?
එහෙමයි ස්වාමින් වහන්ස… මට හිතෙනවා මගේ මේ අනතුරත් කවුරුහරි ඕනෑකමින්ම කළ එකක් කියලා. කවදාවත් නැති විදයට මගේ ශරීරයට වද දුන්නා. දැනටමත් ඇඟ ඇතුලේ යකඩ කූරු, වෙනත් දෑ බොහොමයක් ඇතුල් කරලා. කවදාවත් ආගන්තුක දෙයක් ඇඟට ඇතුලත් කරගත්තෙ නැති මට ඒක බොහොම වදයක්. ඒ විතරක් නෙවෙයි.. මගේ ජීවත්වීමේ රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වුනා. ඇත්තෙන්ම මගේ ඇඟ දැන් අපිරිසිදුයි… ඒක මට යථා තත්ත්වයට ගේන්න ඕන. නැතිනම් මම බොහොම දුර්වල වෙනවා.
විශ්ව තමන්ගේ සිතේ පවතින ව්‍යාකූලබව ස්වාමීන් වහන්සේට කියා පෑවා…
අත්ථදස්සි හිමියෝ ඒ සියල්ල අසා සිටියේ සක්මන් කරමින්. අවසානයේ පොත් රාක්කයකින් රැගෙන ආවෙ බොහොම පුරාණ පුස්ථකයක්…
මේ පොත ගැන විශ්වට අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ… මේ පොතෙන් තමයි සූර්යබණ්ඩාර මහත්මයා විශ්වගෙ ජීවිතය ගොඩදාන්න අවශ්‍ය බෙහෙත හොයා ගත්තෙ…
මේක විශ්වට කියවන්න අමාරු වෙන්නෙ නෑ… ඒ විතරක් නෙවෙයි, මම තව බෙහෙත් වට්ටෝරුවක් ලියලා දෙන්නම්, හොයා ගන්න අමාරු වෙන එකක් නෑ.. මේ ලෝකෙ මිනිස්සු නොදන්න බොහොමයක් දේවල් පරිසරයටයි ජලයටයි කරන්න පුළුවනි. ඒ වගේම විශ්ව හිත එකඟ කරගන්න වෙනවා. ශරීරය නැවත පාලනයට ගන්න. හිතයි ශරීරයයි එක විදියට පාලනයට නතුකරගන්නෙ නැතිව ඔබ හිතන තැනට ලංවෙන්න අමාරුයි.
ආගන්තුක ද්‍රව්‍ය ශරීරයට ඇතුළු වුනා කියලා ලතැවෙන්න එපා. ඒවා කොහොම වුනත් භෞතිකව ශරීරය ඇතුලෙ තියෙනවා මිසක්, රසායනිකව ඔබේ ශරිරය එක්ක ක්‍රියා කරන්නෙ නැහැ. ඒ නිසා ඒවා ඔයාගෙ පැවැත්මට බාධාවක් වෙන එකක් නැහැ කියලා හිතාගන්න.
අත්ථදස්සි හිමියෝ විශ්වට තවත් බොහෝ දෑ පැවසුවා… විශ්ව සාවධානව අසා සිටියා මිසක් වෙනත් කිසිවක් කියන්න ගියේ නැහැ…..
නමුත්, බොහොමයක් දේ ගැන විමසිලිමත් වෙන්න. පිටතින් පෙනෙන දේ ඇතුලත නැතිවෙන්න පුළුවනි, කිසිම දෙයක් සියයට සියයක් විශ්වාස කරන්න එපා. අවසානයේ අත්ථදස්සි හිමියෝ වදාරා සිටියා….
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
දැන් මොකද කරන්නෙ ? මිනිහා ජෙනී එක්ක එකට වැඩ කරන නිසාම අපට වාසිය වැඩියි, නමුත්, අපිව අවිශ්වාස කරයිද ?
ජේසන් එසේ ඇසුවේ සති අන්තයේ සිය සගයින් දෙදෙනා සමගින් මධුවිතක් තොලගාන අතරේ. තවමත් ඔවුන් තිදෙනාම සොයන, ජෙනරාල් වෙලිංටන් සහ අද්මිරාල් බවර් සැක කරන විශ්වගේ සුවිශේෂීතාවය කුමක්දැයි සොයා ගන්නට තිදෙනාම සමත් වී නැහැ. මේ නිසා ඔවුන් දන්නා සියළුම උපක්‍රම මේ සඳහා යොදවන්න ඔවුන් ක්‍රියා කළා… ඔත්තු බලන ඉලෙක්ට්‍රොණික උපාංග සවි කිරීම, සමීපතමයෙකු යෙදවීම ආදී සියල්ල ඔවුන් උපයෝගී කර ගත්තත්, තවමත්, කිසිම සුවිශේෂී දෙයක් සොයාගැනීමට ඔවුන් අසමත් වුනා…
මාත් එක්ක වැඩ කරන එක හරි, නමුත් එයා අපිව විශ්වාස කළත්, මම හිතන්නෙ නැහැ එයා අපි හිතන තරම් වැදගත් කෙනෙක් කියලා. අපි කොච්චර මේ වගේ මෙහෙයුම් කරලා තියෙනවද ? මට නම් ඒ එකකවත් තිබුණ හැඟීමෙන් සියයට දහයක්වත් වැදගත්කමක් දැනෙන්නෙ නැහැ මේ ගැන.
සමහරවිට ඔයාට එයා ගැන හැඟීමක් ඇති නිසා වෙන්න බැරිද ? මයික් ඇසුවේ කුතුහලයෙන්..
මටයි කියලා එහෙමත්ම හැඟීමක් නෑ… ඔයාල දෙන්නා මගේ ගැන නොදන්නවා නෙවෙයිනෙ…
සමහරවිට මේක බොහොම හෙමින් යන මෙහෙයුමක් නිසා වෙන්න පුළුවන්. වෙන ඒවයෙ තියෙන ඉක්මන්බව මේකෙ නැහැ… ඒ මදිවට මට පර්යේෂණ කරන්නත් වෙලා…
කෝකටත් මම කතා කරලා බලන්නම්. සමහරවිට ඉරිදා දවසේ එළියට යන්න යොදා ගන්න බැරි වෙන එකක් නැහැ….
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
පිටස්තරයා – 20
ඉන් පසුව එළැඹුන සතිය පුරාවටම විශ්ව සිය පාදය සවිමත් කර ගැනීමේ ව්‍යායාම් වල නිරත වුනා…. ක්‍රම ක්‍රමයෙන් මානසික ඒකාග්‍රතාවය තීවෘ කර ගැනීමටත් සිය සිරුරේ පරිපූර්ණතාවය කරා ලඟා කර ගැනීමටත් ඔහු වෙහෙසුනා….. කිහිප වතාවක් මොලී පැමිණ ඔහුගේ සැපදුක් සොයා බැලුවත්, විශේෂ යමක් සිදු වූයේ නැහැ… සති කිහිපයක්ම ඇමරිකාවේ ගත කළ සුමනසේකර යුවල නැවතත් ශ්‍රී ලංකාව බලා යා යුතු බවට සිතා බැලුවා… විශ්වගේ පාදයත් සෑහෙන තරමක සුවයක් ලබා ඇති නිසාත්, ඔහුට බොහෝ දේ තනිවම කරගත හැකිව තිබූ නිසාත්, ඔවුන් දැන් ලංකාව බලා යා යුතු යැයි සැම දෙනාටම දැනුනා….. ඒ අතර දිනක මොලී පැමිණියේ තවත් අළුත්ම ආරංචියක් රැගෙන….
විශ්වගෙ කාර් එකට මොකද කරන්නෙ ? මොලී ඇසුවෙ යමක් හිතේ තබාගෙන
මට රක්ෂණ ආයතනයෙන් කතා කරලා කිවුවා කාර් එක ආයෙම හදන්න බෑ කියලා..
ඔයාට අළුත් කාර් එකක් ලැබෙන්නයි යන්නෙ..
ඒක නම් හොඳයි. කොහොමද ඒක ඔයා දන්නෙ ?
මම නීල් එක්ක කතා කළා…. නීල් මගෙන් විස්තර ඇහුවා… මම පොලීසියට කතා කරලා ඒ අයගෙන් විස්තර අරගෙන නීල් එක්ක කතා කරලා රක්ෂණ සමාගමට කතා කළා… කාර් එක නැවත ගොඩ ගන්න බැරි අන්දමට විනාශ වෙලා ඉවරයි. ඒ නිසාම නීල් රක්ෂණ සමාගමට කතා කරලා බැලුවා අළුතින් කාර් එකක් ගන්න පුළුවන් වේවිද කියලා. ඒ අය කිසි ප්‍රශ්නයක් නැතිව කාර් එකක් දෙන්න සූදානම්… ඔයාට තියෙන්නෙ මාත් එක්ක ගිහින් ලිය කියවිලි සහතික කරලා කාර් එක ගේන එක විතරයි…. මට ඔයා කැමති දවසක් කියන්න… මම ඔයාව එක්කරගෙන යන්නම්..
බොහොම ස්තූතියි මොලී… මම හිත හිතා හිටියෙ කාර් එකට මොනවා කරන්නද කියලා…. කොහොමද අළුතෙන් කාර් එකක් ගන්න පුළුවන් වෙන්නෙ ? මගේ කාර් එක ටිකක් පරණයි නෙ….
ඔයා දන්නවනෙ විශ්ව, නීල්ට තියෙන සම්බන්ධතා…. හැරත්, ඔයා වැඩ කරන්නෙ නාවික පර්යේෂණ ආයතනයෙ කියන එක අමතක කරන්න එපා…. ඔයා ගැන ඒ අය සෑහෙන බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ.
මොලී, ලොකු මාමලා තව දවස් දෙකකින් ආපහු ලංකාවට යන්නයි හදන්නෙ…. ඊට ඉස්සරවෙලා අපි ආයෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගිහින් මගේ ප්‍රගතිය බලාගෙන එන්න ඕන… මටත් දැන් මෙහෙම ගෙදරටම වෙලා ඉඳලා ඇති වෙලා තියෙන්නෙ… ඔයාට පුළුවන්ද හෙට හවසට මාව එහේට එක්කරගෙන යන්න ? පුළුවන් නම් ලොකු උදව්වක්. විශ්ව බොහොම සෙමෙන් ඇසුවේ ඔහුට කාගෙන්වත් උදවු ඉල්ලලා පුරුද්දක් නැති නිසා.
අයියෝ ඕක මොකද්ද විශ්ව ? ඔයාට ඕක උදව්වක් නෙවෙයි… මම දැන්මම නීල් ට පණිවුඩයක් යවන්නම් නිවාඩු ඉල්ලලා… අපි හෙට පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගිහින් ඒකත් කරගෙන කාර් එකේ වැඩෙත් බලාගෙනම එමු…. එතකොට ඉතිං වැඩ දෙකම එක දවසකින් ඉවර කරගන්න පුළුවන් නෙ…. අපි හෙට යනකොට මේ දෙන්නත් අපි එක්ක එනවද ? මොලී ඇසුවෙ පසෙක රූපවාහිනිය නරඹමින් සිටි සුමනසේකර යුවල පෙන්වමින්…
ඔව්… ඒ දෙන්නට ගීතිකා හමු වෙලා ස්තුති කරන්න ඕනලු… ලංකාවෙ උදවිය නෙ… කොහොමත් අපේ අය එහෙම තමයි.. සුළු උදව්වක් කළත් ඒ අයට කෘතගුණ සලකන්න අමතක කරන්නෙ නැහැ…
පුනරුත්ථාපනය වන අතරතුරේම මොලී ගෙනැවිත් තිබූ පර්යේෂණ පත්‍රිකා සියල්ලම හොඳින් අධ්‍යයනය කළ විශ්ව සිය පර්යේෂණය පිළිබඳ හොඳ දැනුමක් මෙන්ම සැලසුම් රාශියක් සකසා තිබුණා. එය මොලීට නොකිවුවත්, ඇගේ සිතැඟි දැනගැනීමේ අටියෙන් විශ්ව පර්යේෂණාගාරය පිළිබඳ ප්‍රශ්න කළා.
ඉතිං… කොහොමද පර්යේෂණාගාරය ? මම දැන් මාසයක්ම ගියේ නැති නිසා ආයෙම ඔක්කෝම අළුතෙන් පටන් ගන්න වෙයි වගේ….
නැහැ නැහැ…. කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ…. හැමෝම කතා කරන්නෙ නම් විශ්වට සිදුවුන දේ ගැන. කට්ටිය ඔයාව බලන්න එන්න ඕන කියලා සැලසුම් කළත්, ඔයාට සනීප වෙන්න ඉඩ දෙන්න ඕන නිසාම එයාලව එන එක මම වැඩිය උනන්දු කළේ නැහැ. කොහොමත් තව ටික දවසකින් ඔයා වැඩට යන නිසා ඒ අයට එච්චරම අවශ්‍යතාවයක් නැති ගානයි. මම මේ දවස්වල සැලසුම් කරන්නෙ අපි දෙන්නට භාර දීපු පර්යේෂණය ගැන…. ගොඩක් වෙලාවට ත්‍රිමාණ පරිඝණක වැඩසටහන් විශ්ලේෂණය කරන එක තමයි කරන්නෙ… ඒ ගැන මට නම් සෑහෙන ඉගෙන ගන්න තියෙනවා… ඔයා මම එවපු පර්යේෂණ පත්‍රිකා ටික බැලුවද ?
ඔව්… මේ දවස්වල ඉතිං කළේ ඒකම තමයි… මට අළුත් අදහස් ටිකකුත් ආවා… අපි ආයෙම පර්යේෂණාගාරයට ගියාම ඕවා කතා කරමු.. දැන් පර්යේෂණාගාරයෙ කට්ටිය කොහොමද ?
ඔක්කොම හොඳින් ඉන්නවා…. මෙගන් නම් මාත් එක්ක එච්චර හොඳ හිතක් නැහැ… මම දන්නෙ නැහැ ඒ ඇයි කියලා… නමුත් මම ඔයාට සමීප වෙලා ඉන්නවට එයා වැඩිය කැමති නැති බව තමයි කට්ටිය කියන්නෙ……
ගෑණු ළමයි කොහොමත් ඉරිසියයි නෙ… නේද ? විශ්ව තරමක් උස් හඬින් සිනාසෙමින් පැවසුවා…….
මෙගන් ටිකක් කොහොමත් අමුතුයි නෙ…….. එයා හිතන් ඉන්නෙ ලෝකෙ එයා වටේ කැරකෙනවා කියලනෙ…. ඉතිං හැම දේම මූලිකත්වයයි, හැමෝගෙමඅවධානයයි එයාට නැති වුනාම තරහ යනවා…..
ඔන්න ඕක තමයි මොලී මම ගෑණු ළමයි ගැන වැඩි අවධානයක් තිබුනෙ නැත්තෙ…. මට ඔය ප්‍රශ්න විසඳනවට වඩා දැනට ලබන මානසික නිදහස රත්තරං වටිනවා…. බැඳීම් අඩු කරගන්න තරමට මනස සන්සුන්….
එහෙම කියලා බැහැනෙ… අපි සමාජයක එකිනෙකාට බැඳිලයි ඉන්නෙ… ඔයාට පුළුවන්ද තනියම ජීවිතය ගෙනියන්න ? බැහැනෙ… දැන් මේ වෙලාවෙ වුනත් ඔයාට කී දෙනෙක්ගෙ උදව් ඕනද ? මම නැති වුනත් මේ මාමා, නැන්දා දෙන්නා, ඔයාගෙ යාළුවො.. ඒ ඔක්කොම ඔයාගෙ ජීවිතයට බැඳිලා තියෙන්නෙ.. ඔයාට ඒ බැඳුම් නැති කරගන්න නම් කවුරුවත් නැති පලාතක තනියම ජීවත් වෙන්න වෙනවා වනචාරියෙක් වගේ… මම හිතන විදියට මිනිස්සු විතරක් නොවෙයි, සතුන්, ගහකොළ පවා හැම දේකටම බැඳිලයි ඉන්නෙ.. ඒ නිසා තමයි මේ පද්ධතිය සමබරව තියෙන්නෙ.. මේ සම්බන්ධතා නැති වුන දවසට මේ සියල්ල බිඳ වැටෙනවා.. මම දන්නවා ඔයා මීට වඩා මේ කාරණා ගැන දන්න බව… නමුත් මට හිතා ගන්න බැහැ ඇයි ඔයා එහෙම කිවුවෙ කියලා…. හැමදාම තනිවෙලා ජීවත් වෙලා බැහැ විශ්ව…. ජීවිතේ ඉස්සරහට ගෙනියන්න ඕනා… එතැනදි බැඳීම් ඇතිවෙනවා – නැතිවෙනවා.. මට ඔයාට මේ ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕන නැති බවත් මම දන්නවා……
විශ්ව කිසිත් නොකියා අසා සිටියා පමණි.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
රිචර්ඩ්,…… මට නම් තේරෙන හැටියට මේ අපි දුවන්නෙ කිසිම තේරුමක් නැති දෙයක් පස්සෙ…. ජෙනරාල් වෙලිංටන් සිය මිතුරා සමඟ දුරකථන සංවාදය අරඹමින් පැවසුවේ එතරම් සතුටකින් නොවෙයි.
මම හිතන්නෙත් අපි මේ වෙනුවෙන් වැය කරන සල්ලියි කාලයයි වෙනත් දේකට යොදවන්න පුළුවන්. කොහොම වුනත් තව ටික කාළයක් බලමු… මිනිහා තව සතියකින් විතර වැඩට ඒවි. ඒ අතරේ අපෙන් කෙරෙන්න ඕන වැඩ ටික කරමු…
ඔව්. මම දැනටමත් ඒක අර දෙන්නට භාර දීලයි තියෙන්නෙ… ඒ දෙන්නා ඉතිරි වැඩ ටික බලා ගනීවි… තව සති දෙක තුනක් ඇතුලත අපි මේ ගැන තීරණයක් ගන්න ඕන…
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
කොහොමද දැන් කකුල ? කියපු විදියටම ව්‍යායාම් කළා කියලා හිතනවා….. පසුදින සිය ප්‍රගතිය සළකා බැලීමට පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගිය විගස ගීතිකා සිනාසෙමින් ම කතා බහ ආරම්භ කළා.
කකුල නම් දැන් සෑහෙන්න හොඳයි… ඇත්තටම මට දැනගන්න ඕන මට කවදද වැඩට යන්න පුළුවන් වෙන්නෙ කියන එක තමයි….
හරි අපි බලමු කකුල කොහොමද කියලා… දැන් ඔයාට ලොකු පරීක්ෂණ කිහිපයකට මුහුණ දෙන්න වෙනවා… මම හිතන්නෙ ඔයාට ඒක අමාරු වෙන එකක් නැහැ කියලයි…. දැන් ගිහින් ඇඳුම් මාරු කරගෙන එන්න… ඊට පස්සෙ අපි බලමු කොච්චර කාලෙකින් ඔයාට වැඩට යන්න පුළුවන් වෙයිද කියලා…. ගීතිකා නැවතත් පැවසුවා..
ඉතිං මේ දෙන්නා ලඟදිම ලංකාවට යනවද ? විශ්ව ඇඳුම් මාරුකර ගැනීමට ගිය අතරේ සුමනසේකර යුවල වෙත හැරුණු ගීතිකා විමසුවා.
ඔව් ඩොක්ට.. අපි මේ කියලා යන්නත් එක්කයි ආවෙ.. ඩොක්ට අපේ පුතාට කරපු උදව් නම් කවදාවත් අමතක වෙන්නෙ නැහැ…
අයියෝ සුළු දෙයක් මිසිස් සුමනසේකර, මේ අපි කරන්නෙ රාජකාරිය.. මම මේ ලංකාවෙ කෙනෙකුට මෙහේදි ප්‍රතිකාර කළ පළවෙනි අවස්ථාව.. සාමාන්‍යයෙන් ලංකාවෙ අය ඇමරිකානු හමුදාවෙ සේවය කරනවා අඩුයි නෙ. කොහොමත් විශ්ව කියන්නෙ බොහොම අවබෝධයෙන් වැඩ කරන කෙනෙක්, ඒ වගේම ඉක්මනින්ම සුව වුනා… සමහරවිට ලබන සතියෙ ඉඳලාම වැඩටත් යන්න පුළුවන් වේවි. ඇවිදින හැටියට නම් කිසිම වෙනසක් පේන්න නැහැ.. බොහොම හොඳට ව්‍යායාම කරලා තියෙනවා වගේ…
ඔව් එයා සෑහෙන මහන්සි වුනා ඉක්මනින්ම හොඳ කරගන්න… මොලීත් ඇවිත් නිතර නිතර ඇවිදින්න එක්කන් ගියානෙ….
ආ… ඒක නම් බොහොම හොඳයි… ඇඟට වගේම හිතටත් සහනයක් දැනෙනවා නම් තමයි ඉක්මනටම ලෙඩ හොඳ වෙන්නෙ…. නේද මොලී.. ? ගීතිකා මොලීගෙන් ඇසුවේ මෙතෙක් වෙලා නිහඬවම සවන් දීගෙන සිටි මොලීවත් සාකච්ඡාවට සම්බන්ධ කර ගන්නා අරමුණින්…
ඔව් ගීතිකා, මම බොහෝ වෙලාවට විශ්ව එක්ක ඇවිදින්න ගියා… කිසිම වෙලාවක මැසිවිල්ලක් නැතිව හොඳට ව්‍යායාම් කළා… මමත් හිතන්නෙ අද හොඳ ප්‍රගතියක් තියෙන්න ඕන කියලයි.
මම නම් හිතන්නෙ මට හෙට මැරතන් එකක් දුවන්නත් පුළුවන් වේවි කියලයි….. විශ්ව එසේ කියාගෙන ඔවුන් සිටින තැනට පැමිණියා..
හරි එහෙනම් ඔයාලා ඔතැන ඉන්න, මම විශ්ව එක්ක ගිහින් මොකද වෙලා තියෙන්නෙ කියලා බලාගෙන එන්නම්… එසේ කියා ගීතිකා විශ්වද සමගින් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතුලට ගියා.
විශ්ව මොකද දැන් හිතෙන්නෙ ? ගීතිකා විශ්වගේ මුහුණට එබී බලමින් ඇසුවෙ පුනරුත්ථාපනයෙන් පසු ඔහුගෙ සිතිවිලි කෙසේ වෙනස් වෙලාදැයි දැන ගැනීමේ අටියෙන්
හොඳයි, ඒත් මගේ ක්‍රියාකාරීත්වය සියයට සියයක්ම ආපසු ලැබිලා නැහැ. මම හිතන්නේ ඊලඟ සති කිහිපය තුළ මට හොඳ ප්‍රගතියක් ලබා ගන්න පුළුවන් වේවි කියලා. මම අද සවස ඉඳලා නැවතත් එළිමහන් ව්‍යායාම පටන් ගන්නයි ඉන්නෙ… මම අහන්න හිටියේ ගීතිකාගෙන් ඒක දැන්මම පටන් ගත්තට කමක් නැද්ද කියලා ?
කමක් නෑ විශ්ව. නමුත් කකුලට එකපාරටම වැඩිය බර දෙන්න එපා. තවමත් හරිහැටි සුව වෙලා නැහැනෙ. හයියෙන් ඇවිද්දට කමක් නෑ… තවම දුවන්න කරන්න යන්න එපා. මොනවා වුනත් දාලා තියෙන ටයිටේනියම් කොටස් අපේ ඇඟත් එක්ක පෑහෙන්නෙ නෑනෙ… ඒකට සෑහෙන කලක් යනවා.
කොහොමත් ඔයාට සති දෙකකට වතාවක් මෙහාට එන්න වෙනවා පුනරුත්ථාපනයේ ප්‍රගතිය බලන්න. මම ඔයාට ව්‍යායාම කාලසටහනක් දෙනවා. ඒකට අනුව කළා නම් අතුරු ආබාධ ඇති වෙන්නෙත් නෑ,..
යමු… ඉතිරි පරීක්ෂණ ටික ඉවර කරන්න…
පිටස්තරයා – 19
දින දෙකක ඇවෑමෙන් විශ්ව ආපසු යන වෙලාව පැමිණුනි. ගීතිකා යුහුසුළුව විශ්වගේ සියළුම ඕනෑ එපාකම් සොයා බලනු මොලී හොඳින්ම දුටුවාය. කිසියම් ඊර්ෂ්‍යාවක් සිතට දැනුනත් එය නොපෙන්වා සිය අරමුණ කරා යාම පුරුදු පුහුණු කළ ඇය කිසිදු වෙනසක් නොදක්වා සිනාසෙමින් සිටියාය. ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට ඇය ද විශ්වගේ කටයුතු වලට නොමසුරුව සහයෝගය දුන්නාය. සුමනසේකර යුවලද ඉතාම උනන්දුවෙන් සිය ඥාති පුත්‍රයා නැවතත් ඔහුගේ නවාතැනට ගෙන යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කළෝය.
ඉතිං…. තව සති දෙකකින් මේ පැත්තෙ ඇවිත් යන්න වෙයි….
තව සති දෙකක් යනකොට මට නම් ආයෙම මැරතන් එකක් දුවන්න පුළුවන් වෙයි….
ඒ වුනාට සුදු පුතාට මේ ලැබුණ සත්කාර ගෙදර ලැබෙන එකක් නෑ නේද මහත්තයා…. සුමනසේකර මැතිණිය තම සැමියා දෙස බලා විමසුවාය….
එහෙමම කියන්න බෑනෙ.. අපි දෙන්නත් ගෙදරම ඉන්න එකේ…..
ඒත් ඉතිං අපි කවදා හරි ආපහු යන්න ඕනනෙ… අපි ගියාම කවුද සුදු පුතාව බලා ගන්නෙ ?
සිංහලෙන් කෙරෙන මේ සාකච්ඡාව දෙස මොලී බලා සිටියේ කිසිවක් තේරුම් ගත නොහැකි බැල්මකිනි. ඇගේ අපහසුව තේරුම් ගත් ගීතිකා මොලීට කිසිවක් පැහැදිළි කර දුන්නාය.
ඔව්… මටත් නිතර නිතර ඇවිත් බලන්න පුළුවන්… අපේ පර්යේෂණාගාරය තියෙන්නෙත් එතැන ඉඳලා වැඩි දුරකින් නෙවෙයිනෙ….
අවශ්‍ය ලියකියවිලි සහ බෙහෙත්, ආම්පන්න සියල්ල සකසා අවසන සියළුම දෙනා මොලී ගේ රථයට නැඟුනේ විශ්වගේ නවාතැන බලා යාමටය. පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් සේවය ලබාලෙන සුව වී නිවෙස් බලා යන රෝගීන් අනන්තව දැක තිබුණත් ගීතිකාට තරමක දුකක් දැනුනේ තම රටේ තම භාෂාව කතා කරන තමන්ට බෙහෙවින් සමීප වූ කෙනෙකු තමාගෙන් ඈත් වී යනවාක් මෙන් හැඟීමක් දැණුන නිසා වන්නට ඇත. ගත වූ කාළය තුළදී ඒ තරමටම ඇය විශ්ව හා කුළුපගව සිටියාය.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොලීට අද වැඩ නැද්ද ? විශ්ව මොලීගෙන් ඇසුවේ රථය පණගන්වා මහා මාර්ගයට අවතීර්ණ වෙද්දීම ය.
මම අද නිවාඩුවක් දැම්මා…. මම නීල්ට කිවුවා අද ඔයා නිවසට යන දවස කියලා… නීල් මට අවසර දුන්නා අද ඔයා වෙනුවෙන් කැප කරන්න…. දැන් කොහොමත් අළුත් පර්යේෂණයේ වැඩ කටයුතු පටන් ගන්නකල් මට තරමක් විවේකීයි… ගණනය කිරීම් වුනත් සැලසුම් කළාට පස්සෙ කොම්පියුටරයෙ ඉබේම වැඩ කෙරෙනව නෙ…
ඉතිං කොහොමද පර්යේෂණය ?
ඔයාට දෙන්න කියලා නීල් මට පර්යේෂණ ලිපි ගොඩක් එකතු කරලා දුන්නා…
ඒක හොඳයි මටත් වැඩක් නැති එකේ ඒවා කියවලා හොඳ අදහස් ටිකක් ගන්න පුළුවනි. මම ඔයා ගෙනැත් දුන් ලිපි ටිකත් කියෙව්වා… තව සති දෙකකින් අපට ආයෙම වැඩ පටන් ගන්න පුළුවන් වේවි…
ඒ අතරතුර ඔවුහු විශ්වගේ නවාතැන වෙත ළඟා වී තිබුණි.
විශ්ව සහ පිරිස ගවනර්ස් කෝනර් නිවාස සංකීර්ණයේ හත්වන තට්ටුවට සෝපානයෙන් යනවිට තම නිවස ඉදිරිපිට දැක පුරුදු දෙදෙනෙකු සිටිනු ඔහු දුටුවේය. කවදා හෝ දැක පුරුදු බව දැණුනත් කොහේ දී දැයි විශ්වට නිනවුවක් වුනේ නැහැ. කෙසේ වුවත් මොලී ඔවුන් දෙදෙනා දෙස බලා මඳ සිනාවක් පානු විශ්ව දුටුවා. කෙසේ වුවත් අසල්වැසියෝ එකිනෙකා වෙත සිනහා පෑම සාමාන්‍ය දෙයක් නිසා විශ්ව ඒ පිළිබඳ වැඩි අවධානයක් පෑවේ නැහැ.
නිවසට පැමිණි විශ්වට කිසියම් සැහැල්ලුවක් දැණුනේ එය තමාට හුරුපුරුදු තැනක් වූ නිසා. රෝහල මෙන්ම පුනරුත්ථාපන මධ්‍යස්ථානය ද තමන්ට නුහුරු තැන් වූ නිසා ඒ තැන් කිසිවක තමන්ගේ නිදහස් බව නොතිබූ නිසා…. ඔහු සෙමෙන් ගොස් සෝපාවේ වාඩි වී අවට බලන්න වුනා…..
මොනවද මේ පැල ජාතිය ? මල් පැලද නැතිනම් එළවළු පැල ද ? මොලී විශ්වගෙන් ඇසුවේ විශ්වගේ නවාතැනේ බැල්කනිය දෙස නෙත් යොමාගෙන…
ආ… ඕකට කියන්නෙ Milk Thistle කියලා… මේක බොහොම හොඳ ඖෂධීය ගුණයක් තියෙන පැලෑටියක්. ඇඟේ තියෙන විෂ ඔක්කෝම ඉවත් කරනවා. විශ්ව කිසි ගණනකට නොගෙන පැවසුවා.
මේක මේ රටේ තියෙනවද ? මම නම් කවදාවත් දැකලා නැහැ..
මේක මට යාළුවෙකුගෙන් ලැබුණ ඇට කිහිපයකින් පැළ කරගත් ගස්…. හරි අමාරුයි වගා කරගන්න… මේ රටේ වැවෙන දෙයක් නෙවෙයි…..
ඉතිං… ඔයාට ඇයි විෂ ඉවත් කරගන්න ඕන ඇඟේ ? විශේෂ විෂක් කියලා දෙයක් ඇතුළු වෙන්නෙ නෑ නෙ ?
මොලී…. මොලී…. ඔයා දන්නෙ නැති කොච්චර දේවල් වෙනවද ලෝකෙ…. මම මේක පාවිච්චි කරන්නෙ සෑහෙන කාලෙක ඉඳලා… විශේෂ විෂක් ඇඟට ආවෙ නැතත්, අපේ ඇඟේ ක්‍රියාකාරීත්වය හොඳින් සිදු වෙන්න වගේම නීරෝගි බව පවත්වාගෙන යන්නත් මේ වගේ පොඩි පොඩි දේවල් උපකාරී වෙනවා..
ආ පුතා… මම තේ එකක් හදාගෙන ආවා…. සුමනසේකර මහත්මිය ඔවුන් දෙදෙනා අතරට පැමිණීම නිසා සිදු වූ කතා බහට නැවතුම් තිතක් තබන්නට මොලීට සිදු වුනා…
කාලෙකින් හොඳ තේ එකක් බිව්වෙ… ඉස්පිරිතාලෙ හොඳ තේ එකක්වත් නැහැනෙ..
ඒ සංවාදය එසේ සිදු වන අතරේ ඊට නුදුරු නිවසක ඒ සියල්ල පටිගත වන බව එතැන සිටි බොහෝ දෙනෙකු දැන සිටියේ නැහැ.
තේ පානයෙන් අනතුරුව මොලී ආපසු යාමට සූදානම් වුනා….
මට අද හරිම සංතෝෂයි විශ්ව… ඔයා නැවතත් පරණ පුරුදු තත්ත්වයට ටික ටික පැමිණීම ගැන මට හරිම සංතෝෂයි… මම බලාගෙන ඉන්නෙ ආයෙම ඔයා කවදද පර්යේෂණාගාරයට එන්නෙ කියලා…
මටත් දැන් නම් හරිම අමාරුයි පර්යේෂණාගාරයට යන්නෙ නැතුව ඉන්න… කොහොම වුනත් මට කරන්න තියෙන ව්‍යායාම ටික කරලා ඉක්මනටම කකුල හොඳ කරගන්න ඕන… සති දෙකකින් ආයෙම ඉස්පිරිතාලෙට ගියාම දැනගන්න පුළුවනි මට වැඩට යන්න පුළුවන්ද කියලා… මේ දෙන්නටත් වැඩි කල් මගේ වැඩ කර කර ඉන්න බැහැනෙ… තව ටික දවසකින් යන්න ඕන නෙ.. ඒ නිසා ඉක්මනින්ම මට හොඳ වෙන්න ඕන..
බය වෙන්න එපා විශ්ව…. ඔයාගෙ අමාරුම කාළය ගෙවුනා… ඔයාට සිහිය එන්නෙ නැතිව තියෙනකොට මම විඳපු දුක දන්නෙ මම විතරයි… මම හිටියෙ හරිම බයකින්…. ඒත්….. ඒත් දැන් නම් මම ඉන්නෙ බොහොම සතුටින්…. මොලී පැවසුවෙ බොහොම ආදරෙන් බව විශ්වටත්, ඒ සංවාදය අසා සිටි සුමනසේකර මහතාටත් නොදැනුනා නෙවෙයි….
එහෙනම්, මම ගිහින් එන්නම්…… සුභ රාත්‍රියක් හැම දෙනාටම….
සුභ රාත්‍රියක් මොලී,… පරිස්සමින් ගිහින් එන්න… කට්ටිය ඔක්කෝම මතක් කළා කියන්න…..
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සුදු පුතා, මම මේ පුතාගෙන් අහන්නමයි හිටියෙ…..
මොලී එතැනින් පිට වී සුළු වෙලාවකින් සුමනසේකර මහතා සිය බැරෑරුම් කටහඬ අවදි කළා… විශ්ව කියවන්න ගත් පර්යේෂණ ලිපිය පසෙකින් තබා සිය මාමාට සවන් යොමු කළා…
මොනවා ගැනද ලොකු මාමා ?
මොලී ගැන…. පුතා ගැන ඒ දරුවා සෑහෙන්න කරදර වෙනවා…. මට පේනවා ඒ දරුවගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා පුතා ගැන….
මටත් ඒක පේනවා ලොකු මාමා…. නමුත්….
මොකද නමුත් කිවුවෙ ? පුතාගෙත් අකැමැත්තක් මට නම් පේන්න නැහැ…..
සුමනසේකර මහත්මියත් කතාවට හවුල් වුනේ තවත් තේ කෝප්පයක් පානය කරන ගමන්….
නමුත් කිවුවෙ මේකයි… මට තවමත් මොලී ගැන එහෙම හැඟීමක් නැහැ… එයා මට තවමත් යාළුවෙක් විතරයි… නමුත් මටත් දැනෙනවා ඒක යාළුකමට වඩා ලඟ බැඳීමක් කියලා… නමුත් ඊට වඩා දෙයක් නැහැ..
සුදු පුතාට වෙනත් යමක් තියෙනවද කියන්න ? අර දොස්තර නෝනත් සෑහෙන්න යාළු වුනා නේද ? එයා නම් ලංකාවෙ කෙනෙක්…
ඇය සිය සිතැඟි නොවලහා පැවසුවා…
මම දන්නවා ලොකු නැන්දා එන්නෙ ඔතැනට කියලා…. මම එයා එක්ක ගොඩක් යාළු වුනා තමයි… නමුත් එයාගෙ කතාව බොහොම වෙනස් කතාවක්…. මම හිතන්නෙ නැහැ එයා ආයෙම කිසිම බැඳීමක් ඇතිකර ගනී කියලා…..
ඒ මොකද ?
එයා බඳින්න එන්ගේජ් වෙලා හිටපු ඇමරිකානු යුධ හමුදාවෙ හිටපු එයාගෙ පෙම්වතා ඉරාකයෙදි මිය ගිහින්…. එදා ඉඳලා එයා ජීවිතේම කැප කරන්නෙ යුද්ධයෙන් තුවාල වෙලා අසරණ වුන සොල්දාදුවොන්ගෙ ජීවිත නැවත හරිගස්සන්න…. එයාගෙ මුළු ජීවිත කතාවම මට දවසක් කිවුවා… මම කවදාවත් හිතන්නෙ නැහැ එයා එයාගෙ හිත වෙනස් කරගනී කියලා… මම දන්නවා මම කොච්චර තනි වෙලා හිටියද කියලා… එයාටත් එයාගෙ කියලා කවුරුවත් නැහැ…. එයා ඇමරිකන් ජාතිකයෙක් එක්ක විවාහ වෙන්න යනවා කියලා එයාගෙ පවුලෙන් එයාව අයින් කරලා…. මට කිවුවෙ එහෙමයි…. කොහොම වුනත් මට ඒ ගැන බලාපොරොත්තුවකුත් නැහැ… කොටින්ම මට තවත් බැඳීමක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ… ඒක බොහොම කරදර වැඩක්නෙ….
පුතා…. මම දන්නවා ඔයා එන්න හදන්නෙ කොතැනටද කියලා… නමුත්, හැමදාම ඔහොම ඉන්න බැහැනෙ… ඔයාට කියලා යන කලදවසක් තියෙන්න ඕන… ඒ විතරක් නෙවෙයි.. ඔයාගෙ පරම්පරාගත දේපල ඉඩකඩම් වලට යන කලදවසක් තියෙන්නත් ඕන… අපියි කියලා හැමදාම ජීවත් වෙන්නෙත් නැහැ… ඔයාගෙ ජීවිතයට මේ වුන කරදරේ ගැන හිතනකොට අපට හරිම බයයි… කවුද දන්නෙ ඔයාට මොනවගේ දේවල් වේද කියලා ඉස්සරහට… මට තවමත් සැකයි මස්සිනාට වුන දේ ගැන… දැන් මේක… කවුද දන්නෙ මේවා පස්සෙ කවුරුම හරි ඉන්නවද කියලා ….. සුමනසේකර මහතා තමන්ගෙ හිතේ හංගාගෙන හිටි බොහෝ දේ පවසලා හිත සැහැල්ලු කර ගත්තා….
මාමා දන්නවනෙ…. මට ඕවයෙ බැඳීමක් නැහැ කියලා…. මම කියන්නෙ නම් කවදා හරි ඕවා පන්සලකට හරි නැතිබැරි කෙනෙකුට හරි දෙන්න කියලා….. ඕවා එකතු කර ගන්න තරමට ප්‍රශ්න වැඩියි….
මට තේරෙනවා පුතා… ඒ වුනාට ඒවා එහෙමම කරන්න බැහැනෙ.. ඔයා තවමත් හොඳ අනාගතයක් තියෙන දරුවෙක්… දැන් එපා වුනාට පස්සෙ ඕන වෙන වෙලාවල් තියෙනවා… අපි ඉන්න කල් ඕවා අපට බලා කියාගන්න පුළුවන්… ඒ ඔක්කොම නිරවුල්ව පුතාගෙ නමට තියෙන ඉඩම්…. ආගම දහමට නැඹුරු වෙන එක එකදෙයක්.. නමුත් තමන්ට හිමි දේවල අයිතිය ඒ විදියට තියා ගන්න ඕන… ඒක තන්හාව නෙවෙයි.. තමන්ගෙ අයිතියක්….
ඕන එකක් ලොකු මාමා… තවම මම නම් ඔය ප්‍රශ්න දෙක ගැනම පැහැදිලි තීරණයක් අරගෙන නැහැ….
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
අන්න එනවා…. ගිහින් අල්ලගන්න….. පරිඝණක තිරයෙන් දෑස් මෑත් නොකරම ජේසන් සිය සගයාට පැවසුවා….
ඉන්න මම කෙටි පණිවුඩයක් යවන්නම්….
කෙටි පණිවුඩ යවලා වැඩක් නෑ… ගිහින් අල්ලගෙනම එනවා…. ඔය විදියට ගියොත් මේ වැඩේ කරගන්න බැරි වෙනවා….
හරි…..
ඇය ඒ ගොඩනැඟිල්ලේ සිට තට්ටු දෙකක් බැස්සා පමණි…. පිටුපසින් දුව ආ එෆ් බී අයි ඒජන්ත මාක් පිස්ට්නර් ඇය අසළටම ගොස් කතා කළාය…..
ජෙනී…. අපට පොඩ්ඩක් කතා කරන්න ඕන……..
මොනවා ගැනද ? ඇගේ හඬේ තිබුණෙ නොරිස්සුමක්….
අර හාදයා ගැන….
මොනවා කතා කරන්නද ? ඔයාලා දකින්න ඇතිනෙ ගෙදර සිද්ධ වෙච්ච දේවල් ඔක්කොම…..
දැක්කා තමයි… දැක්ක නිසා තමයි කතා කරන්න ඕන… අපිට තේරෙන්නෙ නැහැ මොකද්ද මෙතන සිද්ධ වෙන්නෙ කියලා….
මොනවා සිද්ධ වෙන්නද ? දැන් එයා පුනරුත්ථාපනය වෙනවා… තව සති දෙකකින් හොඳටම හොඳ වේවි… තවමත් මොකද්ද වෙන්නෙ කියලා මටවත් තෝරා බේරා ගන්න බැහැ… කලබල වුනොත් අපට ගොඩක් දේවල් නැති වෙයි…. අපි හෙමින් තමයි මේ වගේ ඉලක්කයකට ලං වෙන්න ඕන… දැනට මම හොයා ගත් තොරතුරු වලට අනුව නම් මෙයා අනතුරුදායක පුද්ගලයෙක් නෙවෙයි.. නමුත් මෙයාගෙන් ලැබෙන තොරුතුරු වෙනත් දේ වලට යොදා ගන්න පුළුවන් වේවි… ආරක්ෂාව අතින් නම් මෙයා පූස් පැටියෙක් වගේ….
ඇත්තද ? අපි දැක්කා හොර පූසිගෙ මූණෙ තිබුණ බැල්ම….. මොනවා කළත් කමක් නෑ… අපේ මූලික අරමුණ අමතක කරන්න එපා….
ඒ ගැන බය වෙන්න එපා…. මම ජෙනරාල්ටත් කතා කළා ඒ ගැන……
ඔයා කොහොමද ජෙනරාල්ට ලං වුනේ ? කවදද ?
ඒවා වැඩක් නෑ…. මට ජෙනරාල් දවසක් හම්බ වුනා… ඒ වෙලාවෙ තමයි මම කිවුවෙ මගේ අරමුණ වෙනස් වෙලා නැහැ කියලා.. ඔයා දැනගන්න ඕන… ඔයාට වඩා මේ සම්බන්ධයෙන් මට ලොකු පුහුණුවක් තියෙන බව……
හරි හරි…. ඔයාට හොඳට කට්ටිය අන්දන්න පුළුවන් නෙ…. අපි නොදන්නවයෑ ඔයාගෙ හැටි…..
පිටස්තරයා 18
නැහැ නැහැ ගීතිකා… එහෙම ප්‍රශ්නයක් නැහැ…… මම වරදවා වටහා ගන්නෙ නැහැ….
මට කවදාවත් ආදරයක උවමනාවක් වුනේ නැහැ… මට මිතුරියෝ නම් ඕනතරම් හිටියා…. නමුත් ඒ කාත් එක්කවත් ආදරයෙන් වෙලෙන්න උවමනාවක් වුනේ නැහැ මට… ඒ වගේම මට පෞද්ගලිකත්වයක් තිබුණා ආරක්ෂා කර ගන්න… මගේ පියා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රබල චරිතයක් වුනා.. ඒ නිසාම මගේ පෞද්ගලිකත්වයට සීමා පැණවුනා… මගේ දෙමාපියෝ දෙන්නම බුද්ධාගමට බොහොම ලැදි උදවිය.. ඒ අය හැකි සෑම විටම බණ දහම් හැදෑරුවා… මම භාවනාවට පුරුදු වුනේ අවුරුදු 14 දි.. මගේ අම්මා තමයි මට ඒ දේ පුරුදු කළේ… ඒ නිසාම මම අධ්‍යාපනය අතින් පවා සෑහෙන ඉදිරියට ආවා.. මම ගොඩක් ක්‍රීඩා කළ කෙනෙක්.. ඒ සිත එකඟ කර ගැනීම මගේ අධ්‍යාත්මික වගේම පෞරුෂත්ව සංවර්ධනයටත් බොහෝ සේ බලපෑවා.. මගේ දෙමාපියෝ මිය ගියාට පස්සෙ මම ගොඩක් තනි වුනා… ඒ තනිය මකා ගන්න මම ලං වුනේ පොත්පත් වලට… මම ඒ කාලෙ සෑහෙන පොත්පත් කියෙවුවා… අම්මලා මිය ගියාට පස්සේ මට හමුවුනා භාවනායෝගී ස්වාමීන් වහන්සේ නමක්…. ඇමරිකාවෙ ඒ වගේ සිද්ධියක් බොහොම විරළ වුනත් මට කැලිෆෝනියා බෞද්ධ විහාරයෙදි යෝගාවචර රාහුල හාමුදුරුවො හමු වුනා… රාහුල හාමුදුරුවෝ ගැන නොදන්න බෞද්ධයෙක් ඇමරිකාවෙ නැහැනෙ…. එතැනදි මම විදර්ශනා භාවනාවට යොමු වුනා… අන්න ඒ නිසා මට ඇත්තෙන්ම ප්‍රේම සම්බන්ධතාවය කියන අවශ්‍යතාවය ඇති වුනේ නැහැ…. ඒ නිසාම මට මගේ අධ්‍යාපන කටයුතු බොහොම හොඳින් කර ගන්න ලැබුණා… ඒකයි මම අධ්‍යාපනය පැත්තෙන් පසුකාලීනව බොහෝ ඉදිරියට ආවෙ… විශ්ව සිය දීර්ඝ ඉතිහාසයෙන් බිඳක් ගීතිකා වෙත විවර කර දුන්නා…
මම පුදුම වෙන්නෙ නැහැ විශ්ව…. මට සුමනසේකර මහත්මයා කිවුවා ඔයා මොන වගේ පුද්ගලයෙක්ද කියලා… මම දැන් දන්නවා ඇයි ඔයා මේ තරම් ඉක්මනට පුනරුත්ථාපනය වෙන්නෙ කියලා… වෙන මිනිස්සු මාස තුන හතරක් ගන්නවා සුළු අනතුරකින් මනස ප්‍රකෘති තත්ත්වයට ගෙන එන්න.. නමුත් ඔයා සතියක් දෙකක් ඇතුලත ඒ තත්ත්වයට ලඟා වුනා… මම හිතනවා ඔයාගෙ මානසික ඒකාග්‍රතාවය ඒකට බලපාන්න ඇති කියලා… ඔයා මානසිකව දැන් නිදහස්… ඒ කියන්නෙ සාමාන්‍ය පුද්ගලයෙක්.. ඔයාට පුළුවන් ඔයාගෙ ශාරීරික පුනරුත්ථාපනයත් ඉක්මන් කරගන්න… වැඩිපුර මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. නමුත් ඔයාගෙ කකුල ඉක්මනින්ම සනීප වේවි… ඔයා හොඳ ප්‍රගතියක් පෙන්නුම් කරනවා.. මට බොහොම සංතෝෂයි…
ඔයා කොහොමද වෝල්ටර් රීඩ් එකට ආවෙ ? සාමාන්‍යයෙන් මෙතැන බොහොම ආරක්ෂිත තැනක්.. විශ්ව පෙරළා ගීතිකාගෙන් ඇසුවේ ඇගේ සුහදතාවය පිළිබඳ පැහැදීමකින්….
ඒක දිග කතාවක්…. ඔයාට වැඩක් වේවිද ඒක… ?
කියන්න බෑනෙ…. කැමැත්තක් තියෙනවා නම් කියන්න…. මම අහගෙන ඉන්නම්… මටයි කියලාත් දැන් ඉතිං වැඩක් නෑනෙ…..
මම සාමාන්‍යයෙන් මේ කතාව කාටවත් කියන්නෙ නැහැ… නමුත් ඔයාව විශ්වාස කරනවා… මේක කිවුවයි කියලා කාටවත් වැඩක් වෙන්නෙ නැහැ කොහොමටත්… ඇය දිගු සුසුමක් හෙළුවා…
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොලී ඇය එනතෙක් බලාසිටි අමුත්තා සිටි මේසයේ ඉතිරිව ඇති පුටුවේ අසුන් ගත්තාය. සෙනෙටර්ස් ක්ලබ් ආපනශාලාව කෙතරම් කාර්යබහුල වුවත් එතැන සිටි පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වය උදෙසාම මේස සකසා තිබුණේ එකිනෙකට ඈතිනි. ඒ එකිනෙකාගේ කතාබහ අනෙක් මේසවල සිටින පුද්ගලයින්ට නෑසෙන ලෙස සිය සේවාදායකයින් ආරක්ෂා කර ගැනීමේ උපාය මාර්ගයක් ලෙසින්. මෙතැන සිදු වූ කතා බහ අතර ලෝක ඉතිහාසය වෙනස් කළ තීරණ පවා තිබූ බව දන්නේ ආපනශාලාවේ මේස සහ පුටු පමණි. මොනිකා ලෙවින්ස්කි තමා ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් සමඟ පැවැත්වූ අසාමාන්‍ය සම්බන්ධතාවය පෝලා ජෝන්ස් හට හෙළි කළේ මේ අවන්හලේ එක්තරා ස්ථානයකදීය. එය ජනාධිපති බිල් ක්ලින්ටන්ට ලිංගික අපචාර සම්බන්ධයෙන් දෝෂාභියෝගයක් ගෙන ඒමට තරම් ප්‍රබල විය. මේ එක් උදාහරණයක් පමණි.
ඇයි අන්කල් ? මොකක් හරි ප්‍රශ්නයක්ද ?
සිය අසුනේ හරිබරි ගැසී වාඩි වී ඉදිරිපස අසුනේ වූ සිය මාමණ්ඩිය දෙස සෘජුවම බලාගෙන මොලී සෙමෙන් ඇසුවාය. ඔහු සිය ඥාතියෙකු බව දන්නේ වොෂිංටනයේ ඉතාම ස්වල්ප දෙනෙකු පමණි. එසේම ඔහුටද, ඇය ඉතාම විශ්වාසවන්ත සේවිකාවක වූවා.. මේ නිසාම තමන්ගේ සම්බන්ධය පිටතට නොපෙන්වන්න දෙදෙනාම වගබලාගත්තා පමණක් නොව, සාමාන්‍ය වෘත්තීයමය අවස්ථාවලදී ඔහු මොලීටත් සැලකුවේ කිසිදු විශේෂත්වයක් නොපෙන්වා. මේ නිසාම ක්ෂෙත්රයේ කිසිම කෙනෙක් මේ ඥාතීත්වය හෝ සම්බන්ධය දැන සිටියේ නැහැ. දන්න ටික දෙනාත් ඒ රහස හොඳින්ම රැකගෙන සිටියා.
කොහොමද ජෙනී ? වැඩ කටයුතු හොඳින් කෙරෙනවද ?
ඔව්… දැන් අළුත් පර්යේෂණයත් පටන් ගන්නයි යන්නෙ.. විශ්ව සනීප වෙලා ආපු හැටියෙ අපි දෙන්නා එකතු වෙලා ඉක්මනින්ම ඒක පටන් ගන්නයි යන්නෙ..
මොකද විශ්ව මේ දවස්වල කරන්නෙ ?
විශ්ව දැන් ඉන්නෙ පුනරුත්ථාපන ඒකකයෙ. මේ දවස්වල එයා බිඳුන කකුළ පුනරුත්ථාපනය කරන්නයි මහන්සි වෙන්නෙ.. මානසිකව නම් යථා තත්ත්වයට ඇවිත්, මට නම් හිතාගන්න අමාරුයි එයා මෙච්චර ඉක්මනින් මෙහෙම පුනරුත්ථාපනය වුන එක… සාමාන්‍ය සොල්දාදුවෙක් නැතිනම් නාවික සීල් භටයෙක් වත් මේ තරම් ඉක්මනට මානසිකව පුනරුත්ථාපනය වෙන්නෙ නැහැ.. හැරත් එයා සතියක්ම සිහිය නැතිව ඉඳලා මෙහෙම ඉක්මනට සනීප වුන එක ගැන මටත් පුදුමයි. අංකල් දන්නවනේ අච්චර දරදඬු ක්ෂෙත්ර ඒජන්තයො කොච්චර කල් ගන්නවද කියලා පුනරුත්ථාපනය වෙන්න…
වේටර්වරිය ආහාර ඇනවුම භාරගැනීමට පැමිණිහෙයින් සිය කතාව නතර කළ මොලී සැන්ඩ්විච් එකක් සහ දෙහි යුෂ වීදුරුවක් ඇනවුම් කළාය…. ඉන් අනතුරුව ඔහු සිය ගැඹුරු කටහඬ අවදි කළේය.
මට තේරෙනවා ජෙනී.. ඒකම තමයි මම අද ඔයාව හමුවෙන්න තීරණය කළේ. ඔයා මේ ගැන දරන ආකල්පය මොකද්ද ? අපි මේ මනුස්සයා පස්සෙ මේ තරම් දුවන එකේ තේරුමක් තියෙනවද ? අපි මේ වැය කරන්නෙ රටේ සල්ලි, කාළය… ඔයා හිතනවද මේ දෙයින් අපි කිසියම් ප්‍රයෝජනයක් තියෙනවා කියලා
මම පෞද්ගලිකව නම් හිතන්නෙ නැහැ අපට විශ්වගෙන් ලොකු තොරතුරක් ලබාගන්න පුළුවන් වේවි කියලා. මේ දවස් කීපයට මම නිරීක්ෂණය කළ දෙයක් තමයි විශ්වගෙ පසුබිම බොහොම සාමාන්‍ය පසුබිමක්, එයාගෙ පවුලෙ සහ ඥාතීන් සියල්ල බොහොම සාමකාමී අය.. ඒ නිසා ප්රචණ්ඩත්වයක් ගැන නම් කිසිම සාධකයක් නැහැ. බොහොම ආගමානුකූලයි. විශ්ව භාවනාවටත් යොමු වෙලා කියලයි එයාගෙ මාමා කිවුවෙ…. නමුත් වෘත්තීයමය වශයෙන් ගත්තොත් විශ්වට බොහොම ශක්තිමත් පෞරුෂත්වයක්, මතකයක්, බුද්ධියක් තියෙනවා. ඉතින් ඔයාට පුළුවනි විශ්ව වෙනත් වැදගත් කාර්යයකට යොදා ගන්න.. නමුත් මම හිතන්නෙ නැහැ විශ්ව තමන්ගෙ ප්‍රතිපත්තිවලට පටහැණි තීරණයක් ගනීවි කියලා… එයා හරිම හොඳ කෙනෙක්….. නමුත් මම දන්නවා හොඳයි කියලා පිටින් පෙන්නගෙන ඉන්න සමහරු අන්තිම මෘගයො වගේ ක්‍රියා කරන අවස්ථා…
මට කියන්න තියෙන්නෙ මම විශ්වට පෞද්ගලිකවත් කැමතියි කියලා….. මම කැමති නැහැ එයාට මේ නිසා කරදරයක් වෙනවා නම්…
ජෙනී…. මේ ඔයාමද කතා කරන්නෙ ? සිය ඥාති දියණියගෙන් මෙවන් ප්‍රකාශයක් බලාපොරොත්තු නොවූ නිසා, අතිශයින් හැඟීම් පාලනය කරන්නකු සේ සුපතල ඔහුගේ දෑස් විශාල වූයේ ඔහුටත් නොදැනුවත්වමය…
මොලී කිසිවක් නොකියූවාය……………..
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඉතින් මම ඒ සියල්ල අමතක කරලා වෝල්ටර් රීඩ් එකට ආවෙ අවම වශයෙන් එයා වෙනුවෙන් වෙන්න ඕන දෙයක් තිබෙනවා නම් එයාගෙ සහෝදර සොල්දාදුවොන්ටවත් වෙදකම් කරලා ඒ අය නැවතත් මේ ලෝකයට ගේන්න….ගීතිකා දිගු සුසුමක් හෙලා සිය කතාව නිම කරද්දී ඇගේ නෙතඟින් ඇයටත් නොදැනීම කඳුලක් මතු වී තිබුණා…
ඔයාගෙයි මගෙයි අතීතෙ ලොකු වෙනසක් නෑ ගීතිකා.. විශ්ව සෙමෙන් පැවසූවේ තම දෙමාපියන් සහ ආදරණීය නැඟණිය නැවතත් සිහි වූ නිසාමයි…
ඒ දුක්බර සාකච්ඡාව නිමා වුනේ ගීතිකාගේ පේජරයට ලැබුණ කෙටි පණිවුඩයත් සමඟ..
අන්න නෑදෑයො ඇවිත් ලෙඩාව බලන්න… අපි යමු…….
ගීතිකා විශ්ව ද සමඟින් අමුත්තන් රැඳී සිටින ශාලාව වෙත පැමිණෙන විට සුමනසේකර යුවල සිනාසෙමින් ඒ දෙස බලා සිටියා…
ගොඩක් වෙලාද ඇවිත් ? විශ්ව ලොකු නැන්දාගෙන් ඇසුවේ සිනාසෙමින්…
ටිකක් වෙලා… අපි හිතුවා ඔයාට බාධා නොකරන්න…. ඇවිදින තරමට කකුලට හොඳයි නෙ….
ගීතිකා ඔවුන්ගෙන් සමුගෙන ගොස් නැවත පැමිණියේ තරමක සුභ ආරංචියක් ද රැගෙන….
මේ ප්‍රගතියෙ හැටියට විශ්වට තව දින තුනකින් විතර ගෙදර යන්න පුළුවන් කියලා ප්‍රධානියා කිවුවා… ඇය සිනාසෙමින් පැවසූවා…
හතර දෙනාගෙම මුහුණේ ඇඳුනේ සැනසුමක සිනා රැල්ලක්…..
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
පසුවදා මොලී පැමිණියේ තවත් ආරංචියක් රැගෙන… ඒ විශ්වත් ඇයත් එකතු ව සිදු කරන්නට නියමිත පර්යේෂණයට අවශ්‍ය අරමුදල් අදාල ආයතනයෙන් ලැබීමට නියමිත ආරංචිය. ඒ නිසා විශ්වගේ සිතේ නැවතත් තම පර්යේෂණය පිළිබඳ මතකයන් මෝදුලන්න පටන් ගත්තා…
මොලී… ඔයාට පුළුවන්ද මට අර පර්යේෂණ පත්‍රිකා ටික එවන්න ? එතකොට මට මෙතැන ඉන්න වෙලාවෙ ඒ ටික කියවලා නැවත මගේ මතකය අළුත් කරගන්න පුළුවනි.
ඉන්න, මට දැන්මම දෙන්න පුළුවනි… මොලී සිය අයි පෑඩ් එක ගෙන එහි වූ ලිපිගොණුවක් විවෘත කර විශ්වට පෙන්වූවාය… මම මේ ටික ඔයාට දැන්මම එවන්නම්, ඔයාට නිදහසේ කියවන්න පුළුවනි.. එතකොට අළුත් අදහස් ඇති වෙන්නත් බැරි නැහැ…
ඒ සමඟම පැමිණි හෙදියක් විශ්වගේ රුධිර සාම්පලයක් ලබා ගැනීමට අවශ්‍ය බව දැන්වූවාය…. මොලී ඇයට ඉඩ දී මඳක් පසුපසට විය….
ඇයි මේ තරම් මගෙන් රුධිර සාම්පල් ගන්නෙ ? දැනට හතරක්ම ගත්තා නේද ? මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ?
නැහැ නැහැ… අපි මේ රුධිර සාම්පල් ගන්නෙ ඔබේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන්න… ඔබට ලබා දුන් බෙහෙත්වල අතුරු ප්‍රතිපල තිබෙනවද කියලා දැනගන්න අපි මේ රෝහලේ ඉන්න සෑම රෝගියෙකුගේම රුධිර සාම්පල් අරගන්නවා.. මේකත් එක්තරා ආකාරයක පර්යේෂණයක්…
ඔව් විශ්ව… මේ වගේ රජයෙන් පාලනය වෙන රෝහලක ඉන්නව නං මේ වගේ පර්යේෂණ වලට දායක වෙන්න සිදු වෙනවා. සාමාන්‍යයෙන් හමුදා නිලධාරීන්ට සහ සොල්දාදුවන්ට නම් මේ පරීක්ෂණ සාමාන්‍ය දේවල්… අපි රජයට සහ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට දත්ත යවන්නෙ මේ ලබා ගන්න සාම්පල් වලින්. ඒ වගේම අපට පුළුවනි කිසියම් බෙහෙතකට රෝගියෙකු දක්වන අහිතකර ප්‍රතිචාරයක් තිබෙනවා නම් ඒ බෙහෙත වහාම නවත්වලා වෙනත් බෙහෙතක් ලබා දෙන්න… මේ ක්රමයේ වාසි බොහොමයක් තිබෙනවා. නමුත් පෞද්ගලික රෝහල්වල මේ දේ කරන්න බැහැ… ගීතිකා ද එතැනට පැමිණ සිටි නිසා හෙදියගේ විස්තරයට තම දැනුමද එක් කළා.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ඔන්න අහුවුනා වැඩේ…. ජේසන්ගේ මුව රැඳී තිබුණේ ජයග්‍රහණයක් මුසු සිනා රැල්ලකි…
මොන වැඩේද ?
ලේ සාම්පල් වල වෙනස අහු වුනා…..
මේ තියෙන්නෙ සම්මුඛ පරීක්ෂණය දවසෙ ගත්ත ලේ සාම්පලය….. කිසිම ආගන්තුක ද්‍රව්‍යයක් නෑ… හරිද ?
හරි…
මේ තියෙන්නෙ අනතුර වුන දවසෙම ගනිපු සාම්පලය….. වැඩි වෙනසක් නෑනෙ….
කෝ බලන්න……….. මයික් විමසිල්ලෙන් බැලුවා…….
මේ තියෙන්නෙ අනතුරෙන් දවස් තුනකට පස්සෙ ගනිපු සාම්පලේ…… මෙන්න මෙතැනයි වෙනස තියෙන්නෙ…. ඔන්න දැන් සාම්පලේ තත්ත්වය සාමාන්‍ය ගණනට පත් වෙනවා……..
මේ තියෙන්නෙ අනිත් සාම්පල්…. දැන් පේනවනෙ…. මේ හැම එකක්ම ටික ටික සාමාන්‍ය ගණනට හැම අගයක්ම එනවා… මෙන්න මෙතැනයි ප්රශ්නය තියෙන්නෙ…. කොහොමද මෙයා මෙච්චර ලේ පිරිසිදුව තියා ගන්නෙ කියන එක…..
විශේෂයෙන් බෙහෙතක් ගන්නවා නම්, ඒක ලේ සාම්පල් එකේ පෙන්වන්න ඕන නේද ? මයික් ඇසුවෙ ජේසන්ගෙ නොනවතින කියැවිල්ලට තිතක් තබමින්….
ඔව්… නමුත් එහෙම දෙයක් පෙන්වන්නෙත් නෑ… එක්කෝ මෙයා අර පාවිච්චි කරන තෙල් සාම්පලයෙ හරි නැතිනම් අර Milk Thistle පැලෑටියෙන් ලබා ගන්න දෙයක් හරි, එහෙමත් නැතිනම් මේ දෙකෙන්ම ලැබෙන ගුණයක් මත තමයි මේ මෙයා ලේ පිරිසිදුව තියා ගන්නෙ…
ඉතිං ඒක නීති විරෝධී නැහැනෙ….. ඒ නිසා අපට මුකුත් කරන්න බැහැ නේද ?
ඇත්ත… නමුත් මේක හොඳ සොයාගැනීමක් වෙන්න පුළුවන්…. බලන්න පිළිකා රෝගීන් කොච්චර කීමොතෙරපි (Chemotherapy) නිසා දුක් විඳිනවද ? ඒ මිනිස්සුන්ගෙ ලේ පිරිසිදු කරගන්න මෙන්න මේ වගේ ක්‍රමයක් හොයා ගන්න පුළුවන් නම්, කොච්චර සෙතක් වෙන්න පුළුවන්ද ?
එහෙනම් අපි එයාගෙන් කෙළින්ම ඇහුව නං මේ ගැන අහගන්න තිබුණනෙ… මෙච්චර වටේ යන්නෙ නැතුව ?
කෙළින්ම අහන්න ? එතකොට එයා දන්නවනෙ අපි හොරෙන් එයා ගැන හොයලා බැලුවා කියලා ! මොළයක් නැද්ද ?
පිටස්තරයා 17
විශ්වට දැන් සෑහෙන සනීපයි… බොහොම උනන්දුවෙන් ව්‍යායාම කරනවා… ඉක්මනටම ගෙදර යන්න ඕන වෙලා වගේ…. විශ්ව බැලීමට පැමිණි සුමනසේකර යුවලට වෛද්‍ය ගීතිකා ගුණසේකර සිනාමුසු මුහුණින් පැවසුවාය…
ඩොක්ටගෙ අත්ගුණේ තමයි…. අපේ පුතා හොඳට බලාගත්ත නිසාම එයාට ඉක්මනින්ම සනීප වුනා… තව කොච්චර කාළයක් විතර යයිද සම්පූර්ණයෙන්ම සනීප වෙන්න ?
දැන් නම් සියයට අනූවක්ම හොඳයි… අනතුර සිදු වුනාට පස්සේ අපි හිතපු තරම් විශ්වගේ මනස කැළඹිලා නැහැ.. මානසිකත්වය නම් ඉක්මනටම යථා තත්ත්වයට පැමිණියා… නමුත් කකුලේ අස්ථියක් බිඳී ඇති නිසා තමයි මෙච්චර කාළයක් ගත වෙන්නෙ පුනරුත්ථාපනයට… අපි විශ්වට තවම පාදයට සම්පූර්ණ බර දරන්න දෙන්නෙ නැහැ.. මොකද කියනවා නම් කකුලෙ අස්ථි සවි වෙන්න තව ටික කලක් ගතවෙන නිසා… අපි තව සතියකින් පමණ තමයි විශ්වගෙ අළුත් වෛද්‍ය වාර්තා ලබා ගන්නෙ.. ඒ අනුව තමයි කියන්න වෙන්නෙ මොකද්ද තත්ත්වය කියලා….
ඉතිං ඩොක්ට, විශ්වට තනියම වැඩ කර ගන්න තව කොච්චර විතර කාළයක් යාවිද ? සුමනසේකර මහත්මියගෙ කුතුහලය වැඩි කමටම දැඩිව ප්‍රශ්න කෙරුණා.
කලබල වෙන්න දෙයක් නැහැ.. විශ්වට තව සතියක් වගේ යනකොට කිහිළිකරු ආධාරයෙන් තනිවම ඇවිදින්න පුළුවන් වේවි. කොහොමත් ඔබ දෙදෙනාත් විශ්වගේ මිතුරියත් ඉන්නවනේ විශ්වගේ වැඩ කටයුතු බලා ගන්න….
ඒ වුනත් ඩොක්ට ඒ ළමයටත් වැඩ නෙ… කොහොමත් එයා ආවයි කියලා මම හිතන්නෙ නැහැ විශ්වගේ වැඩකටයුතු එයා අතින් කෙරේවි කියලා.. ඒ ළමයා විශ්වගේ වැඩපොලේ යාළුවෙක් විතරනෙ..
වෛද්‍යවරියගේ මුවඟ ඇඳුන සිනාරැල්ලේ අරුත කුමක්දැයි වටහා ගැනීමට තරම් අවධානයක් සුමනසේකර මහත්මියට නොතිබුණත්, සුමනසේකර මහතා යමක් අවබෝධ කරගත්තාක් මෙන් හිස සලා මඳ සිනාවක් පෑවේය.
ඩොක්ට ඇමරිකාවට ඇවිත් ගොඩක් කල්ද ? අවසන සුමනසේකර මහතා වෛද්‍ය ගීතිකාගේ පෞද්ගලික තොරතුරු දැනගැනීමේ අටියෙන් විමසුවේය.
ඔව්.. දැනට අවුරුදු නවයක් පමණ වෙනවා. මම මුලින්ම ආවෙ ආචාර්ය උපාධිය කරන්නයි. නමුත් මුලින් කරන්න හිටි අංශය වෙනස් කරලා වොල්ටර් රීඩ් එකට බැඳුනා භෞත චිකිත්සක පර්යේෂණ කරන්න, සහ වෛද්‍ය සේවාව කරන්න.. මේ වගේ රෝහලක එවැනි පර්යේෂණ කරන එක තරමක් ලේසියි… අපට ඉගෙන ගන්න පුළුවන් වෙනවා වගේම මේ රටටත් බොහොම ලොකු සේවයක් වෙනවා… ඒ නිසා මම මේකට කැමතියි..
ඒ වුනාට මෙතැන වැඩිපුර යන්නෙ සොල්දාදුවො නේද ?
ඔව්.. යුද්ධයෙන් අතපය කැඩිලා එන සොල්දාදුවෝ ඔක්කොම වගේ ප්‍රතිකාර ලබන්නේ මෙතැන.. ඒ අයගේ අවශ්‍යතා විවිධයි. ඒ නිසා ඒ අයගෙ විවධාකාර ගැටළු වලට අපේ පර්යේෂණ හරහා පිළිතුරු සොයන එක සහ ඒ සියල්ල වාර්තා කරන එක තමයි මගේ පර්යේෂණය.. ඒ නිසා අනාගතයේ ඇතිවන ගැටළු වලට අළුතෙන් පර්යේෂණ කරන්න අවශ්‍ය වෙන්නෙ නැහැ.. එක් එක් ගැටළුවට වෙන වෙනම විසඳුම් සියල්ලම අපි ලේඛණගත කරලයි තියෙන්නෙ… වෙන එකක් තියා නියපොත්තක් ගැලවුනත්, ඒකටත් වෙනම සැකසුන විසඳුමක් තිබෙනවා. ඒ තරම් මේ ස්ථානය ක්‍රමාණුකූලයි. ඒ නිසාම තමයි විශ්වගේ පුනරුත්ථාපනය මේ තරම් ඉක්මන් වුනේ..
මට තියෙන ප්රශ්නය ඇයි විශ්ව වගේ කෙනෙක් මෙතැන ප්‍රතිකාර ගන්නෙ ? එයා හමුදාවට සම්බන්ධ කෙනෙක් නෙවෙයි නේද ? වෛද්‍ය ගීතිකා ඇසුවෙ තමන්ටත් මේ සිදුවීම තේරුම් ගන්න බැරි නිසා.
අපිත් හරියටම දන්නෙ නැහැ ඩොක්ට.. එයා වැඩ කරන ආයතනය නම් හමුදාවට සම්බන්ධයි ලු… ඒ නිසා වෙන්න ඇති.. ඩොක්ට විශ්ව එක්ක පෞද්ගලික තොරතුරු කතා කරන්නෙ නැද්ද ?
නැහැ…. මම මේ සතියෙම කළේ විශ්වගේ මනස යථා තත්ත්වයට ගෙන එන එකයි.. මේ වෙනතෙක් මම අවම වශයෙන් පවුලෙ තොරතුරුවත් ඇහුවෙ නැහැ. ඒක මානසික සමබරතාවයට බාධාවක්.. දැන් විශ්ව සෑහෙන දුරට මානසිකව ශක්තිමත්… අපි මේ සතියෙ කරන අභ්‍යාස අනුව මම ඒ පැත්තට යොමු වෙනවා.. ඒ වගේම එයාට වාහන පදවන්න බයක් තිබෙනවාද කියන එකත් දැනගන්න වෙනවා.. මොකද කියනවා නම් එයාට සිහිය නැති වුනේ වාහනයක් පදවමින් සිටින අවස්ථාවෙ නිසා, ආයෙම වාහනයක් පදවන්න ගියොත් එයාට තිගැස්මක් වගේ එන්න පුළුවනි. ඒ නිසා අපි ඒ පැත්තෙනුත් මානසිකව පුනරුත්ථාපනය කරන්න වෙනවා.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
අපට හොඳ වෙලාවට මේ එපාට්මන්ට් එක ළඟම එකක් ලැබුණෙ. එෆ් බී අයි ඒජන්ත ජේසන් සිය සගයා වූ මයික්ට පැවසුවේ සතුටිනි.
ඔව්. එතකොට අපට වෑන් අස්සෙ කර වෙන්න ඕන නැහැ.. ඔක්කොම උපකරණ ටික මේ ගෙදරම හයි කරලා අල්ලපු ගෙදර සිද්ධ වෙන දේවල් බලා ගන්න බැරියෑ. අපේ නිවාස ප්‍රශ්නෙත් ඒත් එක්කම විසඳෙනවා..
ඒ වුනාට කොච්චර කාලෙකටද දන්නෙ නැහැනෙ… එක්කෝ මිනිහව අල්ලගන්න වෙනවා… නැතිනම් අතාරින්න වෙනවා.. මේ දෙකෙන් එකක් සිද්ධ වෙන්න වැඩි කාළයක් යන්නෙ නැහැ…
අපට දැන් කරන්න තියෙන්නෙ ඔක්කොම උපකරණ ටික හයි කරලා මිනිහා ගෙදර එන්න ඉස්සරවෙලා ඒ ඔක්කෝම ටෙස්ට් කරන එකයි… එතකොට මිනිහා ගෙදර ආවම ඔක්කෝම ටික පටිගත කරගන්න පුළුවනි.
ගවනර්ස් කෝනර් නිවාස සංකීර්ණයේ හත්වන තට්ටුවේ වෙන් කරගත් නිවාස ඒකකය වෙත සිය බඩුභාණ්ඩ සහ විදුලි උපකරණ රැගෙන යන අතර ජේසන් සහ මයික් දෙදෙනා කතා කළේ තමන්ගේ ඉලක්කය පිළිබඳ රහස් විමර්ෂණය කවදා නිම වේද යන්නය.. තවමත් කෙළවරක් නොපෙනෙන මේ විමර්ෂණය එක්කෝ සඵල කටයුත්තක්ද, නැතහොත් නිශ්ඵල කටයුත්තක්ද යන්න කිසිවෙකු දැන සිටියේ නැත. තමන් සැලසුම් කළ අනතුර අනපේක්ෂිත ලෙස සැමගේම සැලසුම් වෙනස් කළ නිසා තමන්ට නැවතත් වැරැද්දක් සිදු කිරීමේ අවකාශයක් නොමැති බව දෙදෙනාම දැන සිටියහ. කෙතරම් පුරුදු පුහුණු වී සිටියත් සැලසුමක සරළ වෙනසක් ජීවිතයක ඉරණම වෙනස් කළ අයුරු දෙදෙනාටම තමන්ගේ කාර්යයේ අවදානම නැවත නැවතත් සිතා බැලීමට මතක් කර දුනි. ඒ නිසාම සිය කාර්යයන් සහ සැලසුම් දෙතුන් වතාවක් නොව ඊටත් වඩා වැඩි වාර ගණනක් නැවත නැවතත් සැලසුම් කර ක්‍රියාවට නැංවීමට දෙදෙනාම කතා කර ගත්හ.
ඒ අනුව මුලින්ම ගවනර්ස් කෝනර් නිවාස සංකීර්ණයේ වූ විශ්වගේ නිවසට යාබද නිවස වෙන්කරවා ගැනීමට ඔවුහු කටයුතු කළහ. ඒ නිසාම විශ්වගේ නිවසේ සවි කළ ඉතා සූක්ෂම කැමරා සහ මයික්‍රෆෝන වලින් ලැබෙන සංඥා කිසිදු බාධාවකින් තොරව පටිගත කිරීමේ හැකියාව ඔවුනට ලැබේ. විශ්ව නිවසේ නැති නිසාම සහ විශ්වගේ නිවසේ දැනට වාසය කරන්නේ විශ්වගේ මාමා සහ නැන්දා වන සුමනසේකර යුවල නිසා සිය පටිගත කිරීමේ කටයුතුවල විශ්වාසනීය භාවය මැන ගැනීමටද එය උපයෝගී වන බව දෙදෙනාම දැනහුන්හ.. මේ නිසා ඉක්මනින්ම නිවසට පැමිණ සිය උපකරණ සවි කර ඒවායේ ක්‍රියාකාරීත්වය සහතික කර ගැනීම දෙදෙනාගේම අභිප්‍රාය වී තිබිණ..
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සෙනෙටර්ස් ක්ලබ් ආපනශාලාව අමුත්තන්ගෙන් පිරී පැවතුනි.. සෑම අවස්ථාවකම එය ඉහල පැලැන්තියේ අමුත්තන්, සෙනෙට් සභිකයින්, ආණ්ඩුකාරවරුන්, ආදී දේශපාලනඥයින්ද, ඒ අයට සම්බන්ධ ඉහළ තනතුරු දරන නිලධාරීන් මෙන්ම ඇමරිකානු රහස් ඔත්තු සේවයේ නිලධාරීන්, දේශපාලනිකයින්ගේ ආරක්ෂක භටයින්, ඔත්තුකරුවන්, ආදී විවිධාකාර පුද්ගලයින්ගේ හමුවීම් සිදු කෙරෙන ස්ථානයක් බවට සෙනෙටර්ස් ක්ලබ් ප්‍රසිද්ධව පැවතියා පමණක් නොව ඒ නිසාම එහි ආරක්ෂාවද ඉතා තදින් පැවතිණ… සාමාන්‍ය මිනිසෙකුට මේ ස්ථානයට යා හැක්කේ එක්කෝ උසස් පුද්ගලයෙක් ගේ ආරාධනාවක් හෝ එවැනි පුද්ගලයෙක් කැටුව පමණි. ආරක්ෂක අංශයේම පිරිසක් විසින් පවත්වාගෙන යන මෙය නිරන්තරයෙන් ඇමරිකාවේ ඔත්තුසේවා හා සම්බන්ධව පවතින ස්ථානයකි.
ආපන ශාලාවේ රථගාලට සිය රථය ඇතුළු කරන විටම කිසියම් පුද්ගලයෙක් පැමිණ සිය රථය නතර කරන ලෙස මොලීට සන් කළාය.
රථය නතර කර එයින් බැසගත් මොලී සිය හැඳුනුම්පත ඔහු වෙත දිගු කළාය… මොලී වෙත මඳ සිනහවක් පෑ ඔහු සිය නවීනතම ජංගම පරිඝණකයේ විවරයක් හරහා එය වරක් ඇදගෙන ගොස් කිසියම් අංක කිහිපයක් ඇතුලත් කළේය…
ඔබ එනතුරු ඔහු මඟ බලාගෙනයි ඉන්නෙ… ඉක්මනටම යන්න….
සිය ඥාතියා නොදන්නා ආරක්ෂක අංශයේ කෙනෙකු වේදැයි කල්පනා කරමින්ම මොලී සිය අත්බෑගයෙන් ගත් කුඩා කණ්නාඩියෙන් බලා සියල්ල නිසි ලෙස පවතින බව සහතික කරගෙන සෙනෙටර්ස් ක්ලබ් අවන්හලේ දොර හැරගෙන එයට ඇතුළු වූවාය….
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
දැන් කොහොමද කකුල ? වෛද්‍ය ගීතිකා ගුණසේකර විශ්ව සමඟ රෝහල් උද්‍යානයේ සෙමෙන් ඇවිදින අතරතුර ඇසුවාය….. රෝහල් උද්‍යානයේ විවිදාකාර ආබාධවලට ලක් වූ සොල්දාදුවන් සිය පුනරුත්ථාපන වෛද්‍යවරු සහ උපස්ථායකයන් සමඟින් ව්‍යායාම කිරීම මෙහි සුලභ දසුනකි.
දැන් නම් සෑහෙන හොඳයි…. ගොඩක්ම බර දෙනකොට පොඩ්ඩක් රිදෙනවා… ඒ හැරෙන්න වෙන අමාරුවක් නැහැ… කොහොමත් මම ෆුට්බෝල් ගහන්න යන්නෙ නෑනෙ… ඒ නිසා මේ ගාණට බේරුණා ඇති..
ඇත්තටම විශ්වට මොකද හිතෙන්නෙ අනතුර ගැන… ? දැන් ඉතින් බය එහෙම අඩු වෙලා නෙ තියෙන්නෙ… කියන්න පුළුවන් නම් කියන්න……..
කියන්න බැරි කමක් නෑ ඩොක්ට…. මට එහෙම ප්‍රශ්නයක් නෑ… නමුත්, මට හිතා ගන්න බැහැ අනතුර වුනේ කොහොමද කියලා….. මොකද කියනවා නම් මම ගේට්ටුවෙන් පාරට කාර් එක දාලා ටික වෙලාවක් යනකොට තමයි මේ ලොකු ට්‍රක් එක මගේ පස්සෙන් එන්න ගත්තෙ…. මම ඒකට ඉඩ දුන්නත්, එයා නෙවෙයි මාව පසු කරලා ගියේ…. ඒ පුද්ගලයා කවුද කියලා බලන්න මම පිටුපස බලන කණ්නාඩියෙන් බලද්දිම තමයි එකපාරට ඒකේ වේගය වැඩි වුනේ… මම එතකොටම අනිත් ලේන් එකට කාර් එක දානකොටම තමයි මගේ පැත්තෙන් ඇවිත් වාහනේ හැප්පුනේ… හැප්පුන වේගයට ඒ ට්‍රක් එක පෙරළුනා… ඒත් එක්කම ඉදිරිපස වායු බැග් එක පුපුරලා විවෘත වුනා… ඒ කම්පනයට තමයි මගේ සිහිය නැති වුනේ…
ඔයා දවස් ගණනාවක් සිහිය නැතිව හිටියා… හැමෝටම හරිම පුදුමයි ඔයා අද මේ තත්ත්වයෙන් ඉන්න එක ගැන… බොහෝ දෙනා බලාපොරොත්තු වුනේ නැහැ මෙච්චර ඉක්මනින් සිහිය ඒවි කියලා…. මම හිතන්නෙ අද අපට ගොඩක් දේවල් කතා කරන්න හොඳ දවසක්….
ඇය පසෙක වූ බංකුවක වාඩි වෙන අතරම විශ්වට ද ඉඳගන්නා මෙන් සන් කළාය…..
කොහොමද දැන් පපුව ?
මගේ පපුව ඉතිං කවදත් හොඳයි නෙ …. විශ්ව සිනාසෙමින් පැවසුවේය….
කාලෙකින් මම ඔයාගෙ මේ වෙනස දැක්කෙ….. ඒක බොහොම හොඳ ප්‍රවණතාවයක්…. විශ්වගෙ මාමයි නැන්දයි බොහොම වද වෙනවා විශ්ව ගැන….. ඒ දෙන්නා ලංකාවෙ ඉඳලම මෙහේ ආවෙ ඔයා වෙනුවෙන්මයි…
ඔව් ඩොක්ට….. මම ඒ ගැන හොඳටම දන්නවා…..
මට ඩොක්ට කියන්න ඕන නෑ … ගීතිකා කියන්න… මේක ඇමරිකාව…..
හොඳයි ගීතිකා… අම්මයි තාත්තයි නැතිවුන දා ඉඳලා මට අම්මයි තාත්තයි වුනේ ලොකු මාමයි ලොකු නැන්දයි… ඒ දෙන්නට ළමයි නැති නිසා මං ගැන වද වෙනවා හැම තිස්සෙම..
අම්මයි තාත්තයි නැතිවුනේ කොහොමද ?
මගේ තාත්තා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම උපදේශකවරයෙක් වෙලා හිටියෙ…. රාජකාරියෙ යෙදිලා නිවාඩුවක් අවසාන කරලා එන කොට ලෙබනනයෙදි වෙච්ච අනතුරකින් අම්මයි තාත්තයි නංගියි තුන්දෙනාම මියගියා… දැන් ඒක සිදු වෙලා සෑහෙන කලක්…. ඉස්සර නම් මට ඒ කම්පනය තදින්ම දැනුනා…. දැන් නම් තනිවම ජීවත් වෙන්න පුරුදු වෙලා එච්චරම දුකක් නෑ…..
මට තේරෙනවා… මට අම්මයි තාත්තයි දෙන්නමත් ලංකාවෙ ඉඳලා මේ තනියම මෙහාට වෙලා ඉන්නකොට දැනෙන තනිකම…. ඔයාට ඒක කොහොම දැනෙනවද කියලා මට හිතා ගන්න පුළුවන්…. ඉතිං මොලී ඉන්නවනේ ඔයාගෙ තනියට….
මොලී මගේ මිතුරියක් විතරයි… අපි අතරෙ ඊට වඩා සම්බන්ධයක් නෑ…. මොලී හම්බවෙලා මාසයක්වත් නැහැ…
ඒ වුනාට ඔයා දැඩි සත්කාර ඒකකයෙ ඉන්න දවස් හැම එකකම මොලී ඔයාව බලන්න ආවා කියලා ඩොක්ට මට කිවුවා… සිහිය ආපු වෙලාවෙ ඉක්මනටම ආවෙ එයා… සාමාන්‍ය මිතුරියක් නම් එහෙම විශේෂත්වයක් දක්වන්නෙ නැහැ නේද ?
ඔව්… මටත් තේරෙනවා මොලී මට කිසියම් විශේෂතාවයක් දක්වනවා කියලා…. නමුත් මට තවම එහෙම ලොකු විශේෂත්වයක් දැනෙන්නෙ නැහැ… මම දන්නෙ නැහැ ඒ මම ගැහැණු ළමයෙක් සමීපව ආශ්‍රය කළේ නැති නිසාද කියලා…
නැහැ… ඒ නිසා නෙවෙයි… මානසිකව තවම ඔයා සූදානම් නැහැ ඒ තත්ත්වයට එන්න…. මම හිතන්නෙ ඔයා තනිව හැදුන නිසා ඔයාගෙ මනස තවම තනිකමින් ඉවත් වෙන්න කැමැත්තක් නැහැ… නැතිනම් ඔයා කැමති නැහැ සම්බන්ධතාවයක් නිසා ඔයාගෙ පෞද්ගලිකත්වයට හානි පැමිණෙනවට… ඔයාට පෙම්වතියක් ඉඳලම නැද්ද කවදාවත් ? මම මේ අහන්නෙ මානසික වෛද්‍යවරියකගෙ කෝණයෙන්… වරදවා වටහා ගන්න එපා…
පිටස්තරයා 16
මේ වාර්තාව නම් සෑහෙන සංකීර්ණයි…..
ඒ මොකද එහෙම කියන්නෙ…. ඔයාම නෙ කිවුවෙ මේ වාර්තාව පැහැදිලි කරලා දෙන එක සුළු දෙයක් කියලා.
මම කිවුවා තමයි… ඒ වුනාට මේක හිතුවට වඩා සංකීර්ණයි… මේකෙ සංඝඨක කිහිපයක් මම වෙන් කරලා හඳුනා ගත්තා… නමුත්, මේකෙ සමහර වෙලාවට එකම සංඝඨකය විවිධ ප්‍රමාණ වලින් එක් එක් තෙල් වර්ගයේ තිබෙන්න පුළුවන්. මේ නිසා එක් එක් තෙල් වර්ගයට ආවේණික සංඝඨක වලින් තෙල් වර්ගය හඳුනා ගන්නවා විනා ඒවායේ ප්‍රතිශතයෙන් නම් කොහොමටවත් හඳුනාගන්න බැහැ.. උදාහරණයක් වශයෙන් පයිනීන් කියන සංඝඨකය අඩංගු වෙන්නෙ ටර්පන්ටයින් කියන තෙල් වර්ගයෙ.. ඒ නිසා අපට පුළුවනි මේ මිශ්‍රණයේ ටර්පන්ටයින් තිබෙන බව සහතික කරන්න.. සින්ජිබරීන් තියෙන්නෙ ඉඟුරු වල.. ඒ නිසා ඉඟුරුත් මේ මිශ්‍රණයේ අන්තර්ගතයි. එපමණක් නොවෙයි මස්ටර්ඩ් (අබ) පවා මේ මිශ්‍රණයේ තියෙනවා… මම කිසිම අවස්ථාවක දැකලා නැහැ මේ වගේ සංකීර්ණ මිශ්‍රණයක්.
සයන්ටිස්ට් රාහුල් ගුප්තා… ඔබ කියන්නෙ ඔබටත් මේ මිශ්‍රණයේ තියෙන සංඝඨක වෙන් වෙන්ව හඳුනා ගන්න බැහැ කියලද ?
ඔව්…. මට සමහරක් සංඝඨක හඳුනාගත්තත් සියල්ල හඳුනාගන්න අමාරුයි.. නමුත්, මේ සොයා ගත් දේ වලින් මට නිගමනය කරන්න පුළුවන් මේ මිශ්‍රණය යොදාගෙන තිබෙන්නෙ කිසියම් පිරිසිදුකාරකයක් විදියට බව.
ඒ වගේම ඔබ ගෙන ආපු පැලය අපි පරීක්ෂාවට ලක් කළා… ඒ පැළය කුඩා කාළයේ කුමක්ද කියා හඳුනාගන්න අමාරු වුනත්, එය Sylibum වර්ගයක් වන Milk Thistle නම් පැලෑටිය බවට හඳුනාගත්තා. එය සාමාන්‍යයෙන් ඇමරිකානු මහාද්වීපයේ වැඩෙන පැලෑටියක් නොවෙයි. නමුත් එය ඇට මගින් පැල කරගන්න පුළුවනි. එය වැඩෙන්නෙ මධ්‍යධරණී ප්‍රදේශ, උතුරු අප්‍රිකාවෙ සහ මැදපෙරදිග ප්‍රදේශ ආශ්‍රිතව. මේ පැලෑටිය අධික ඖෂධීය වටිනාකමක් තිබෙන පැලෑටියක්.
මොකද්ද ඒකෙ ඖෂධීය වටිනාකම ?
මේක විෂ හරණ පැලෑටියක් විදියට පුරාණ කාළයේ සිටම භාවිතා කරලා තිබෙනවා. මේ පැලෑටියේ ඇති සිලිමරින් කියන සංයෝගයේ ගුණ පිළිබඳ ඉතා දිගු කාළයක සිට පර්යේෂණ කෙරිලා තිබෙනවා. ඒ අනුව අක්මාවේ සිදුවන රුධිර පිරිපහදුවේදී ශරීරයේ ඇති සියළුම විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමේ හැකියාවක් ඇති බව සොයාගෙන තිබෙනවා. විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය සහ ඖෂධ වැනි දේ වල ඇති අහිතකර රසායනික ද්‍රව්‍ය නිස්සාරණය කර ශරීරයෙන් ඉවත් කිරීම මගින් අක්මාවේ කාර්යක්ෂමතාවය වැඩි කරනවා. අක්මාව නිරෝගීව තබා ගන්නවා. මේ නිසා රුධිරය ඉතාමත් පිරිසිදු තත්ත්වයක පවත්වාගෙන යාමට මේ පැලෑටිය භාවිතයට ගන්න කෙනෙකුට හැකි වෙනවා. මේ සංසිද්ධිය අද ඊයෙ සොයාගත් දෙයක් නොවෙයි. ඈත අතීතයේ රෝම සහ ග්‍රීක ජාතිකයන් පවා මේ පැලෑටිය සහ ඇට විෂහරණය හඳහා යොදාගෙන ඇති බව සඳහන්… ඒ නිසා මම හිතන්නෙත් මේ පුද්ගලයා තමන්ගෙ ශරීරයේ ඇති විෂද්‍රව්‍ය හෝ රසායනික ද්‍රව්‍ය ඉවත් කරගන්න මේ පැලෑටියෙ නිස්සාරකයක් හෝ ඇටවලින් ලබා ගත් කුඩක් භාවිතා කරන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම පෙරදිග වෛද්‍ය විද්‍යාවෙදි සමහර වෙලාවට පිළිකා ප්‍රතිකාර සඳහාත් මේ පැලෑටිය යොදා ගන්නවා කියලා වාර්තා වෙනවා. රාහුල් ගුප්තා විසින් එෆ්බීඅයි ඒජන්තවරු දෙදෙනාට එම පැලෑටිය පිළිබඳ දිගු විස්තරයක් ගෙන හැර පෑවේය.
ආ…. ඒක තමයි මෙයාගෙ රුධිර පරීක්ෂාවෙදි කිසිම දෙයක් අපට අහු වුනේ නැත්තෙ… රුධිර වාර්තාවෙ අඩංගු වෙන්නෙ බොහොම පිරිසිදු රුධිරය ඇති පුද්ගලයෙක් කියලයි.. සියල්ල අවසන ජේසන් කටහඬ අවදි කළේය.
සමහරවිට මෙයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා ඒ බව සඟවන්න මේක පාවිච්චි කළා වෙන්න බැරිද ? ඒ මයික්…
එහෙම වෙන්නත් පුළුවන්. නමුත් දැන් ආයෙම රුධිර පරීක්ෂාවක් නොකෙරෙන නිසා ඇයි දැනුත් ඒවා පාවිච්චි කරන්නෙ ? රාහුල්ගෙ තර්කයත් වැදගත්…
අපට මේ දේ දැනගන්න කරන්න පුළුවන් එකම දෙයයි. මෙයාගෙ අනතුර වුන වෙලාවෙ ලබාගත් රුධිර සාම්පලය විශ්ලේෂණය කරලා බැලුවොත් මෙයා මත්ද්‍රව්‍ය භාවිතා කරනවද කියලා හොයා ගන්න පුළුවනි. අපි ඔහුගෙ නිවස පරීක්ෂා කළ වෙලාවෙ නම් අපට කිසිම මත්ද්‍රව්‍යයක් හෝ සිරින්ජයක්වත් හමු වුනේ නැහැ… ඒ නිසා මත්ද්‍රව්‍ය ගන්නවාද කියන සැකය ඒ තරම් තහවුරු වෙන්නෙ නැහැ.
කෝකටත් අපි වෛද්‍ය වාර්තාව අරගෙනම බලමු….. සයන්ටිස්ට් රාහුල් ගුප්තා…. බොහොම ස්තූතියි ඔබේ විශේෂඥතාවය මේ කාර්යයට ලබා දුන්නාට…. අපේ වාර්තාවෙ ඔබ ගැන විශේෂ සඳහනක් කරනවාමයි මේ සිද්ධියට උපකාර කළාට….
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සතියක් ගත වෙද්දී විශ්ව කෙමෙන් කෙමෙන් සුවය ලබන්නට විය. හදිසි සත්කාර ඒකකයෙන් ඉවතට ගනු ලැබූ විශ්වට ආදර සත්කාර ද නොඅඩුව ලැබුණි… සිය මාමණ්ඩිය සහ ලොකු නැන්දාගෙන් මෙන්ම මොලී ද නිතිපතා පැමිණ විශ්වගේ සැප දුක් සොයා බැලීම නිසා විශ්ව ඉක්මනින්ම සුවය ලැබුවේය…. විශ්වට සිහිය ආ පසු පිරිත් සජ්ඣායනය කිරීම නතර වුවත්, අත්ථදස්සි හිමියෝ ද විටින් විට රෝහලට පැමිණ විශ්ව හා බොහෝ දේ සාකච්ඡා කරනු පෙණුනි. මේ අතර විශ්වගේ පාදය යථා තත්ත්වයට ගෙන ඒම පිණිස කායික ප්‍රතිකාර ක්‍රම අවශ්‍ය බවට සහ මානසික ප්‍රතිකාර අවශ්‍ය බවට වෛද්‍යවරුන් විසින් නියම කිරීම නිසා විශ්ව හමුදා රෝහලේ පුනරුත්ථාපන අංශය වෙත මාරු කර යැවීමට ද සූදානමක් තිබුණි.
මොලී… ඔයා විශ්වගෙ පෙම්වතියද ? දිනක් මොලී සමඟ කතා බහේ නියැලී හුන් සුමනසේකර මහතා එක්වරම මොලීගෙන් විමසීය.
නැහැ… ඇයි එහෙම ඇහුවෙ ?
නැහැ… මම නිකමටයි ඇහුවෙ… මෙච්චර කාලයක් විශ්ව අසනීප වෙලා ඉඳිත්දි දිගටම විශ්ව බලන්න, එයාගෙ ගැන හැම නිතරම හොයා බලන්න වැඩියෙන්ම ආවෙ ඔයා විතරයි… මෙච්චර කාලයකට විශ්වට ගෑණු ළමයෙක් කියලා ලංවෙලා හරි හිටියෙ ඔයා විතරයි… ඒකයි මම ඇහුවෙ… වෙන කාරණයක් නිසා නොවෙයි… සුමනසේකර මහතා සන්සුන්ව උත්තර දුන්නේය…
මම විශ්වගෙ පෙම්වතිය නොවෙයි… නමුත් අනතුර සිදු වෙන්න පෙර සතියක පමණ වෙලේ ඉඳලා අපි දෙන්නා එකටමයි වැඩ කළේ.. ඒ නිසා ගොඩක් මිතුරු වුනා…
ඇත්තම කියනවා නමු නම් ඔයා විශ්ව බලන්න එනවට මගේ එච්චර කැමැත්තක් මුලින් තිබුණෙ නැහැ.. නමුත් මට තේරුම් ගියා ඔයා විශ්ව ගැන සෑහෙන වද වෙනවා කියලා… මොලී… විශ්ව කියන්නෙ අපට බොහොම සුවිශේෂ දරුවෙක්… විශ්ව අපි හැමෝටම සම්පතක්. විශ්වගෙ පවුලෙ අය අකාලයේ මිය ගියත්, විශ්වගෙ තාත්තා නිතරම මට කිවුවෙ ඒ අය නැති කාලෙක විශ්ව හොඳින් බලාගන්න කියලා… මට හිතෙන විදියට විශ්වගෙ තාත්තා දැනගෙන හිටියා එයාගෙ ජීවිතය කෙටියි කියලා… විශ්වට අවුරුදු 16 වෙනකොටම තමයි විශ්වගෙ තාත්තා විශ්වට එයාගෙ සේසතම ලියලා දුන්නෙ. නංගිටත් අයිතියක් තියලා. නමුත් ඒ හැමෝම විශ්ව දාලා ගියා… දැන් එයාට ඉන්නෙ අපි විතරයි. අපි විශ්ව අපේම දරුවෙක් වගේ බලාගන්නෙ ඒ නිසයි… මම බලාපොරොත්තු වෙනවා ඔයාගෙ හිතේ විශ්ව ගැන අදහසක් තිබෙනවා නම් ඒක ස්ථිර අදහසක් වේවි කියලා… මොකද විශ්ව කියන්නෙ මේ ලෝකෙ තනි වුන දරුවෙක්… අපි නැති කාලෙක විශ්වට කවුරුවත් නැහැ… අන්න ඒ නිසා අපි බොහොම කල්පනාකාරී වෙනවා විශ්වගෙ අනාගතය ගැන…
මම දන්නවා මිස්ටර් සුමනසේකර, විශ්ව කියන්නෙ වෙනත් අයට වඩා බොහොම වෙනස් විදියට හිතන කෙනෙක් කියලා මම දන්නවා.. ඒ වගේම හරිම හොඳ කෙනෙක්. මාත් සමඟ සතියකටත් වඩා එකට වැඩ කරද්දි මට තේරුණ දෙයක් තමයි එයා කිසිම අසංවර ගතියක් නැති බොහොම තැන්පත් කෙනෙක් කියන දේ… මම දන්නෙ නැහැ විශ්ව මට මොන විදියකට සළකනවද කියන එක… නමුත් මම කියන්න ඕන මම විශ්වට බොහොම කැමතියි.. අපි ගැන අපේ අනාගතය ඉදිරියේදී විසඳයි…
ඒ කතා බහ අවසන් වූයේ වාට්ටුව භාර වෛද්‍යවරයා තවත් වෛද්‍යවරියක් සමඟ සුමනසේකර මහතා සහ මොලී කතාකරමින් හුන් තැනට පැමිණීම නිසාවෙන්..
මිස්ටර් සුමනසේකර, මේ ඉන්නේ අපේ රෝහලේ පුනරුත්ථාපන අංශයේ වෛද්‍යවරියක්. ඔබත් විශ්වත් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති නිසා අපි තීරණය කළා ශ්‍රී ලාංකික සම්භවයක් ඇති වෛද්‍යවරයෙක්ම විශ්වගේ පුනරුත්ථාපන කටයුතු සඳහා යොදවන්න. ඒක මානසිකවත් විශ්වට සහ ඔබ සියළු දෙනාට පහසුවක් වෙන නිසාම.. ඊට අමතරව මේ ඉන්න වෛද්‍ය ගීතිකා ගුණසේකර මානසික වෛද්‍ය විද්‍යාවත් ප්‍රගුණ කළ අයෙක්, ඒ නිසා විශ්වගේ මානසික පුනරුත්ථාපනයත් කායික පුනරුත්ථාපනයත් යන දෙකම එකතැනින් සිදු කර ගන්න පුළුවනි. අපි හෙට විශ්වව පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගෙනයනවා… ඉන් පසුව නම් මේ වගේ නිතර ඔහුව බලන්න එන්න බැරි වේවි. මොකද දවස පුරාවටම තරමක දැඩි පුනරුත්ථාපනයක් කෙරෙන නිසා ඒ සියල්ල ක්රමාණුකූලව සිදු විය යුතුයි. දවසකට එක වතාවක් පමණක් ඥාතීන් බලන්න අවසර ලැබෙනවා. ඔහුගේ මානසික පුනරුත්ථාපනයට අදාල අභ්‍යාස කෙරෙන නිසා බාහිර මානසික හේතූන් අවම කරන්න අපි කටයුතු කර තිබෙනවා. ඒ නිසා ඔබලා පුනරුත්ථාපන වෛද්‍ය කාර්යමණ්ඩලය නියම කරන වෙලාවක් ඇතුලත පමණක් පැමිණිය යුතුයි.
හොඳමයි ඩොක්ට, කොහොමත් මට දවල් වෙලාවෙ නම් වැඩිය එන්න ලැබෙන්නෙ නැහැ… මට බොහෝ විට එන්න ලැබෙන්නෙ සේවය අවසානයේ සවස පහ පසු වුනාට පස්සෙයි… මොලී සිය කණස්සල්ල මුසු හැඟීම් වෛද්‍යවරයා වෙත හැරපෑවාය.
මට තේරෙනවා මොලී… නමුත්, මට මේ සැලසුම් වෙනස් කරන්න බැහැ.. මොකද මේ වෛද්‍යවරු ඒ ඒ රෝගියාට නිසි සැලසුම් සකස් කරලා තිබෙන නිසා… ඔබට පුළුවන් දවස් කිහිපයකට වතාවක් ඇවිත් විශ්ව බලලා යන්න..
ඔව් මොලී .. අපි එහෙම කරමු… අපිත් තව සති කිහිපයක් මෙහේ ඉන්න නිසා විශ්වගේ පුනරුත්ථාපන කටයුතු ඉක්මනින් කරගනිමු.. හොඳ වුනාට පස්සෙ අපි එයාව ගෙදර එක්කරගෙන ගිහින් ඉතිරිය බලමු… සුමනසේකර මහතා ද වෛද්‍යවරයාගේ අදහසට එකඟත්වය පළ කළේය…
මෙතෙක් වෙලා නිහඬව සිටි වෛද්‍ය ගුණසේකර මෙනෙවිය සිය කටහඬ අවදි කළාය……..
විශ්ව පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇතුලත් කර සතියක් ගත වූ නමුත් මොලීට විශ්ව බැලීමට යාමට හැකි වූයේ බදාදා දිනයකදී පමණි. පර්යේෂණාගාරයේ අධික රාජකාරි කන්දරාවත්, විශ්ව එකතුව හා ඇරඹීමට සැලසුම්කරගෙන තිබූ පර්යේෂණයේ මූලික කටයුතු තනිවම කරගෙන යාමට සිදු වීමත් නිසා මොලීට ඉහටත් උඩින් රාජකාරි පැවරී තිබිණ. විශ්ව ප්‍රකෘති තත්ත්වයට පැමිණීම නිසා පර්යේෂණාගාරයේ සියල්ලන්ම තරමක සතුටින් පසු වූහ. ආචාර්ය නීල් ෆියු මෙන්ම ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ් ද පැමිණ මොලීගෙන් විශ්ව ගැන තොරතුරු විමසීම නිසා මෙගන් පසු වූයේ තරමක අමනාපයෙනි.
මොකද මේ දවස්වල විශ්ව බලන්න කවුරුවත් ගියේ නැත්තෙ ? වෙනදා හැමදාම ගිය කට්ටියට යන්න එපා වෙලාද ? දහවල් කෑම වෙලාවේ කෑම කාමරයේදී මෙගන් උපහාසයට මෙන් ඇසුවාය.
මේ දවස්වල විශ්ව පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙ නවත්වලා ඉන්නෙ. එයාගෙ කකුල ශක්තිමත් කරන ව්‍යායාම ආදිය කරවනවා.. සමහරවිට තවත් සතියකින් විතර ගෙදර යන්න පුළුවන් වේවි. එයා ගෙදර එක්කගෙන ගියාම තමයි ඉතින් වැඩිපුර උදව් ඕන වෙන්නෙ.. දැන් නම් ඉතිං හැම දේටම උදවුවට කට්ටිය ඉන්න නිසා ප්‍රශ්නයක් නැහැ… මොලී සැමට ඇසෙන්නට පැවසුවාය.
ඒ සමඟම මොලීගේ දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබීමෙන් ඇය තරමක් චකිතයකට පත් විය.
මට පොඩ්ඩක් එළියට යන්න වෙලා තිබෙනවා… මම ගිහින් එන්නම්….
මොකද්ද හදිස්සිය…. බිල් එසේ ඇසුවේ ඔහුගේ පෞද්ගලික ක්‍රියාකලාපය කුමක් වුවත් අනුන්ට උදවු කිරීමට නිතරම සැදී පැහැදී සිටින නිසාය.
නැහැ බිල්.. ප්‍රශ්නයක් නෙවෙයි. මගේ මාමා කෙනක් වොෂිංටන් වලට ඇවිත්, මාව බලන්න ඕන කියලා එන්න කියලා තියෙන්නෙ… මම ඉක්මනට ගිහින් එන්නම්…
මොලී ඉක්මනින්ම සිය රථයට නැගී, නගරයේ අති සුඛෝපභෝගී ආපන ශාලාවක් වන සෙනෙටර්ස් ක්ලබ් බලා රිය ධාවනය කළාය.
පිටස්තරයා – 15
පසුදා සවස්වනතුරු මොලීට තිබුණේ කණස්සල්ල මුසු නොයිවසිල්ලකි….. තමා සිහිනෙකින්වත් නොපැතූ අභව්‍ය සිදුවීම් වැලක් තම දෑස් ඉදිරිපිට දිගහැරෙමින් පවතින බව පමණක් ඇයට හැඟී ගොස් තිබුණි. තම රැකියාවේ හැටියට බොහෝ පිරිමින් ආශ්‍රය කර තිබුණද, මීට වඩා හැඟුම්බර අවස්ථාවලට මුහුණ දී තිබුණද, මේ සිදුවීම් ගොන්න තම ජීවිතයේ ලැබූ අත්දැකීම් සියල්ලට වඩා වෙනස් බව ඇයට හැඟෙමින් පැවතුනි. සේවා ස්ථානයද කිසිම කෙනෙකු විහිළුවක්වත් නොකරන තත්ත්වයකට පත්ව තිබුණි. වෙනදා අන් අයට විහිළු කරන බිල් පවා තමන්ගේ පාඩුවේ සිය කටයුතු කරගෙන යනු දකින්ට ලැබුණි…
මේ අතර හදිසියේම සිය ප්‍රධානියාගෙන් මොලීට ලැබුණේ වහාම පැමිණ ඔහු හමුවන ලෙසයි…
සුවිශාල අනතුරක සේයාවක් ඇගේ සිතේ නලියන්නට විය….
ඇය විද්‍යාගාර ප්‍රධානී නීල් ෆියු හමුවන්නට ගියාය….
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
කොහොමද ? ගමන් මහන්සිය හොඳටම ඇති නේද ?
තානාපති කාර්යාලයේ නිලධාරී ගීතාංජන ලංකාතිලක මහතා විසින් වොෂිංටන් ඩලස් ගුවන්තොටුපලේ මගී පර්යන්තයේදී සුමනසේකර යුවල පිළිගනිමින් විමසුවේය…
මහන්සියි කියලා මොනවා කරන්නද මහත්මයා…. මේ ගමන එන්න එපායෑ…
මම ගීතාංජන ලංකාතිලක… අඳුන්වාදෙන්නත් බැරි වුනා..
බොහොම සන්තෝෂයි අඳුනා ගන්න ලැබීම ගැන…. මම විශ්වගෙ ලොකු මාමා… සුමනසේකර… මේ මගේ බිරිඳ නීලා…
ඔව්, පන්සලේ ලොකු හාමුදුරුවො මට ඔබ දෙපළ ගැනම හොඳ හැඳින්වීමක් කළා… අත්ථදස්සි හාමුදුරුවොත් සෑහෙන විස්තර මට කිවුවා.. මේ දවස් දෙක තුනම අත්ථදස්සි හාමුදුරුවො මට කතා කරලා කිවුවේ ඔබ දෙපළගෙ නවාතැන්, කෑම බීම කටයුතු සම්පාදනය කරන ආකාරය.. අපි දැන් යන්නෙ තානාපති කාර්යාලයේම සේවය කරන කෙනෙකුගෙ නිවසකට.. එහේ තමයි අපි ඔබ දෙපලට නවාතැන් පහසුකම් දෙන්න යොදාගෙන තිබෙන්නෙ.. එහි ඉන්නෙත් ඒ දෙපළ පමණයි.. ඒ නිසා වැඩි කරදරයක් නෑ.. ගමන් පහසුකම් සඳහා තානාපති කාර්යාලයෙන් වාහනයක් ලැබෙනවා රියැදුරෙක් සමඟම… විශ්වගෙ තාත්තා එක්සත් ජාතීන්ගෙ සංවිධානයේ සේවය කළ නිසා අපට මේ පිළිබඳ විශේෂ පහසුකම් ලැබී තිබෙනවා… ඒ වගේම ඔහු අපේ තානාපති කෙනෙකුව සිටි නිසා ඒ පහසුව තවත් වැඩියි… කිසිම දේකට බය වෙන්න එපා.. සියල්ල සූදානම්…
අනේ පුතා බොහොම ස්තූතියි මේ කරන උදවු වලට…. අපි කීයටවත් බලාපොරොත්තු වුනේ නැහැ මේ වගේ සත්කාරයක්… ලොකු හාමුදුරුවො කිවුවා අපට නවාතැන් පහසුකම් සකසලා තියෙන්නෙ කියලා… මම දැනං හිටියෙ එච්චරයි…
අපට විශ්ව බලන්න යන්න පුළුවන් කීයටද ?
ආ… ඒක ගැන කතා කරන්නයි මම හිටියෙ… අපි මේ බෑග් තියලා පොඩ්ඩක් පිළිවෙලක් වෙලා හවස හයට පමණ යමු රෝහලට…. ඔබ නැවතී ඉන්න අදහස් කරන යාපා මහත්මයාගෙ නිවසේ වැඩි දුරක් නැහැ… රෝහලට…
අනේ ලොකු දෙයක්… මට ඉක්මනින්ම සුදුපුතා බලාගන්න ඕන… නීලා සුමනසේකර මහත්මිය නෙතට නැඟුන කඳුලක් පිසදමමින් පැවසුවාය.
බය වෙන්න එපා මිසිස් සුමනසේකර… විශ්ව නවත්වලා තියෙන්නෙ ඇමරිකාවෙ තියෙන හොඳම හමුදා රෝහලක… මේකේ තියෙන්නෙ ලෝකයේ හොඳම පහසුකම්. ඒ වගේම මේ රෝහලට ඇමෙරිකාවේ තිබෙන අනෙක් ප්‍රධාන රෝහල් සියල්ලම සමඟ සබඳතා තිබෙනවා.. ඒ නිසා විශ්ව වෙනුවෙන් කරන්න පුළුවන් සියළුම දේ ඒ රෝහලෙන් කෙරෙනවා. එච්චරක් නෙවෙයි විශ්වගේ සේවා ස්ථානයෙනුත් මේ ගැන හොඳට හොයා බලනවා.. කිසිම දේකින් අඩුවක් වෙන්න ඉඩක් නෑ..
ඒ සංවාද අතරතුර ඔවුහු යාපා මහතාගේ නිවස කරා පැමිණ තිබුණි. ආගන්තුක සත්කාර වලින් සහ තේ පානයෙන් අනතුරුව නැවතත් මඟට පිලිපන්නේ විශ්ව බැලීම සඳහා රෝහලට යාමටය.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මේ මිනිස්සුන්ට හරියට වාහනයක්වත් හප්පන්න බැරි ද ? බලනවා අර මිනිහා දැන් ජීවත් වෙයිද මැරෙයිද කියලා කවුද දන්නෙ ? හොඳ වෙලාවට අපි මැදිහත් වෙලා මේක වැහුවා… කවුරුහරි දැනගත්තා නං අපි මේකට සම්බන්ධයි කියලා මොන වගේ තත්ත්වයක්ද ඇතිවෙන්නෙ ?
ඔවුන් තිදෙනාම කිසිදු වචනයක් නොදොඩා නිහඬව ජනරාල් වෙලිංටන් දෙස බලා සිටියා පමණි.
තමුසෙලාට කවදාවත් හරියට වැඩක් කරගන්න බැරි හැටි ? එක පාරක් තාප සංවේදක කැමරාවෙන් ගත්ත වීඩියෝ හරියට කර ගත්තෙ නෑ… දැන් ඒ මදිවට මේ මිනිහා හප්පලා ඒ මිනිහා ජීවිතයත් මරණයත් අතර සටනක.. කවුද දන්නෙ තමුසෙලා හයි කරපු කැමරා ටිකයි ශබ්ධ රෙකෝඩ් කරන උපකරණයි ටිකත් කාටහරි අහුවෙයිද කියලා… ඒක අන්තිමට හොයාගෙන ගිහින් ඒවා හයි කළේ එෆ් බී අයි එක කියලා දැනගත්තාම තවත් ලෙඩක්… ඇත්තෙන්ම තමුසෙලා මේ වැඩේට සුදුසුද ?
ජෙනරාල් වෙලිංටන්… අපි හිතුවෙ නැති විදියට තමයි වාහනේ හැප්පිලා තියෙන්නෙ…. අපි සැලසුම් කළේ පිටුපසින් හප්පලා පොඩි හානියක් කරලා ඔහුව නිරීක්ෂණය කරන්න… නමුත් හිතුවෙ නැති විදියට වාහනයෙ පැත්තක හැපිලා ඔහුගේ පෙනහැල්ල සිදුරු වෙලා තියෙනවා… මේ නිසා තමයි වැඩේ බරපතල වුනේ… ජෙනී අවසානයේ කටහඬ අවදි කළාය..
ජෙනී… මම ඔයාව මේ වැඩේට දැම්මෙ මීට වඩා සූක්ෂම විදියට එයාට ලංවෙලා තොරතුරු ලබා ගන්න… නමුත් මම බලාපොරොත්තු තියාගෙන හිටි ආකාරයට ඒක වුනේ නැහැ… ඔයාත් මාව අසතුටට පත් කරනවා… මේ දෙන්නට වැඩිය ඔයා සූක්ෂම වෙන්න ඕන… මට ආයෙම ඔය තුන්දෙනාට කතා කරන්න ඉඩ තියන්න එපා.. මට මෙයාව යථා තත්ත්වයට ආවට පස්සෙ ගන්න ඕන තොරතුරු ටික අරගෙන දෙන්න…. මේකට මමත් දැන් අතදාපු නිසා මේකෙ කෙළවරක් දකින්න ඕන…. මෙයා අපට වැදගත් වෙන්නෙ බොහොමයක් හේතු මත… දැන් යන්න පුළුවන්……..
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සුමනසේකර යුවල විශ්ව බැලීමට රෝහල් කාමරයට යන විටත් අත්ථදස්සි හිමියන් විසින් පිරිත් සජ්ඣායනය අරඹා තිබුණි. සුමනසේකර යුවල පැමිණි බව දුටු අත්ථදස්සි හිමියෝ පිරිත් සජ්ඣායනය මඳකට නතර කර සුමනසේකර මහතාට හිසින් සන් කළ සේක. සුමනසේකර මහතා ද අත්ථදස්සි හිමියන් අසළ සිටගෙන පිරිත් සජ්ඣායනය කරන්නට විය… සුමනසේකර මැතිණිය සෙමෙන් සෙමෙන් විශ්වගේ ඇඳ අසළට ගොස් ඔහු දෙස බලා සිටින්නට වූවාය…. ඈ සෙමෙන් විශ්වගේ අතක් පිරිමදින්නට විය…
සුපුරුදු පරිදි පිරිත් සජ්ඣායනය වන අවස්ථාවේ වෙනස් වන මොළයේ සංඥා සටහන අද දිනද වෙනස් වූ නමුත්, සුමනසේකර මහතාගේ පිරිත් සජ්ඣායනය ඇරඹෙත්ම නැවතත් ව්‍යාකූල වන්නට විය… වාට්ටුව භාර වෛද්‍යවරයා ද මේ සිදුවීම නිරීක්ෂණය කරමින් සිටියේය… සුමනසේකර මහත්මිය විශ්වගේ අත පිරිමදින විට සියල්ලන් පුදුමයට පත් කරමින් විශ්වගේ ඇඟිලි සෙමෙන් සෙමෙන් ඇගේ අත ග්‍රහණය කර ගන්නට විය.. පිරිත් කියමින් සිටි ස්වාමීන් වහන්සේගේ මුවඟ මඳහසක් නැඟෙන්නට විය.. සුමනසේකර මහතා දොහොත් මුදුන් දී පිරිත් සජ්ඣායනය කරමින් සිය සිත දැඩි ඒකාග්රතාවයකට ගෙන ආවේය….
අවසන, සියල්ල නිසල විය… විශ්වගේ මොළයෙන් ලැබෙන සංඥා නැවතත් සරළ වන්නට විය.. පෙර පැවති ව්‍යාකූලභාවය අඩුවෙමින් තිබිණ… පිරිත් සජ්ඣායනය අවසානයේ සුමනසේකර මහතා සෙමෙන් ගොස් විශ්වගේ හිසේ ඉලෙක්ට්‍රෝඩ සවිකර නොතිබූ නළල දෑස් පියාගෙන පිරිමදින්නට විය… විශ්වගේ මුවින් සුළු කෙඳිරියක් පිටවිය…. තවමත් ඔහු ග්‍රහණය කරගෙන තිබූ සුමනසේකර මහත්මියගේ අත අතහැරී නැත….. සැවොම බලාපොරොත්තු වූ ඒ මොහොත උදාවිය.. විශ්ව…….. කෙමෙන් දෑස් විවර කළේය….
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
සිය ප්‍රධානියාගෙන් ලැබූ අවවාද සහ ඉදිරි සැලසුම් පිළිබඳ කල්පනා කරමින් සිටි මොලී, සිය දුරකථනයට කෙටි පණිවුඩයක් ලැබුණ බවට ලැබුණ සංඥාවෙන් කල්පනා දැහැණින් බිඳුනාය. ඇය සිය දුරකථනයේ රහස් කේතය ඇතුලත් කර පණිවුඩය කියවා බැලුවාය…
සවස සිදු වූ කතාවේ තවත් පරිඡේදයක්දෝ යි සිතමින් මොලී කෙටි පණිවුඩය විවෘත කළාය…
විශ්වට සිහිය ඇවිත්…. දැන්ම යන්න….. සියල්ල සූදානම්…..
ඒ සිය ඉහළම ප්‍රධානියාගෙනි. ඉල්ලීම ඉවත හළ නොහැක. වහාම ඇඳ පැළඳගත් මොලී සිය රථයට නැඟී හමුදා රෝහල කරා ඉගිල්ලුනාය… වේලාව සවස හත පහු වූවා පමණි… 16වන මාවතේ ගමන් කළ ඇයට එතරම් මාර්ග තදබදයක් නොමැති වුවත් වේලාව ගතවන්නේ සෙමින් බව සිතුනි… ඇය සිය රථයේ වේගය වැඩි කර විස්කොන්සින් මාවතට හැරවීම සඳහා අතුරු මාවතකට හැරවූවා පමණි…. පිටුපසින් පැමිණි පොලිස් මාර්ග නිරීක්ෂණ රථයක සංඥා එළි දැගේ රථය එල්ල කරගෙන දැල්වෙන්නට විය…
ශිහ්… මේ වෙලාවෙම ?
ඇයට කළ හැකි කිසිත් නොහැක… ඇය සිදු කලේ වැරැද්දක් බව ඇයට හැඟුණි… මාර්ගයේ වේග සීමාවට වඩා පැයට සැතපුම් 15 කට වැඩියෙන් ඇය ධාවනය කර ඇති බව ඇයට දැනුනි… මීටත් වඩා හදිසි අවස්ථාවල මීට වඩා භයානක අවස්ථාවන්හි රථ ධාවනය කිරීමට පළපුරුද්දක් ඇති ඇයට මේ සිදුවීම අදහාගත නොහැකි විය.. කෙසේ වෙතත් කළ හැක්කක් නොමැත… සිය රථයට පිටුපසින් පොලිස් රථය නැවැත්වූ නිලධාරියා මොලීගේ රථයේ දොර අසල සිටගත්තේය. ඇය සිය රථයේ වීදුරුව පහත් කර තමා සතු වූ ඉහළම සේවා හැඳුනුම්පත නිලධාරියාට පෙන්වූවාය..
ඇයි මිස්… හදිසියක්ද ?
ඔව්.. ඉක්මනින්ම වෝල්ටර් රීඩ් හමුදා රෝහලට යන්න ඕන… ඒකයි මම මේ ඉක්මනින් යන්නෙ… දැන්ම ගියේ නැතිනම් මට අවශ්‍ය බොහෝ දේවල් නැති වෙන්න පුළුවන්….
මිස් දන්නවනේ වෙච්ච වැරැද්ද…. පොලිස් නිලධාරියා ඇය අතින් සිදු වූ වැරැද්ද පැහැදිළි කරදෙන්නට විය.. ඉන්පසු සිය රථයට ගොස් එම හැඳුනුම්පතේ වූ අංකය සිය පරිඝණකයට ඇතුලත් කර ඒ හැඳුනුම්පතේ වූ විස්තර සහතික කර ගත්තේය.
මහත්මයා… මට දැන් යන්න ඕන… ඔබ දන්නවා මම ඉන්න තත්ත්වය… මට ඉක්මනටම යන්න ඕන… නැතිනම් මට ප්‍රධානියාට දන්වන්න වේවි..
හරි මිස්… ඉක්මනට යන්න… නමුත් පරිස්සමින්….
අනෙක් වැරදිකරුවනට නීතිය අකුරටම ක්‍රියාත්මක කළත්, මේ තරුණියට සිය ගමනාන්තයට ඉක්මනින් ළඟාවීමට ඉඩ දිය යුතු බව පොලිස් නිලධාරියා වටහාගත්තේය.
බොහොම ස්තූතියි…..
ඇය නැවතත් සිය රථය පණගන්වාගෙන වෝල්ටර් රීඩ් හමුදා රෝහල වෙත ධාවනය කළාය… මේ අවස්ථාවේ හැටියට එසේ ඉක්මනින්ම පොලිස් නිලධාරියාගෙන් ගැලවී යාමට හැකිවීම ගැන ඇය බොහෝ සතුටු වූවාය. දැනටමත් පරක්කු වැඩිය… විශ්වගේ ඥාතීන් ද රෝහලට පැමිණ සිටිය හැකි බව ඇයට මතක් වූවාය…. රෝහල් ගේට්ටුව වෙත ලඟා වූ ඇය සිය සේවා හැඳුනුම්පත ආරක්ෂක අංශයට ලබා දුන්නාය.. ඒ දෙස දෙවරක් බැලූ හමුදා නිලධාරියා ගේට්ටුව විවර කර දුන්නේ වෙනදා නොමැති වෙනසක් මුහුණේ දරාගෙනය…. වෙනදා ශාන්ත දාන්තව රෝහලට පැමිණෙන මේ තරුණිය අද බොහෝ වෙනස්වී ඇත… කළබලයෙන් නමුත් කිසියම් අරමුණක් කරා යන බවක් ඔහුට පෙණුනි..
රෝහල් පරිශ්‍රයේ වාහනය නතර කළ ඇය විශ්වගේ කාමරය කරා ඇවිද්දා නොව දිවුවාය… ඇයට අවශ්‍ය වූයේ ඉක්මනින්ම විශ්ව බලා ගන්නටය.. විශ්වගේ මානසික තත්ත්වය කුමක්දැයි නිශ්චිතව දැන ගැනීමටය.. විශ්ව ඒ තරම්ම ඇයට වටී…. ඈ වටා සිටි සියල්ලන්ටම වටී… ඈ සිය සිතිවිලි එකලස් කර ගත්තාය… තමා මෙතෙක් කල් අන් අය වෙත පෑ ඒ මෘදු සිනාව, සුමුදු බව, අදත් පෙන්විය යුතු බව ඇයට සිහි වූවාය… ඇය වහා අසළ වූ කාන්තා වැසිකිලියකට ඇතුළු වී තමන්ගේ ස්වභාවය කුමනාකාර දැයි පිරික්සා බැලුවාය…
සියල්ල ඒ ලෙසම සිදු වේවි… ඈ තමාටම මුමුණා ගත්තාය.
ඇය සෙමින් සෙමින් විශ්ව සිටි කාමරය වෙත පියමැන්නාය….
මේ තරම් ඉක්මනට කොහොමද ඔයා මේක දැනගත්තෙ ? තානාපති කාර්යාලයේ ගීතාංජන ලංකාතිලක මහතා මොලී හැඳිනගෙන දුර සිටම විමසුවා.
මට කෙටි පණිවුඩයක් ලැබුණා මගේ ප්‍රධානියාගෙන්… මම හිතන්නෙ ප්‍රධාන වෛද්‍යවරයා ඔහුට දැනුම් දෙන්න ඇති.
විශ්වට දැන් පැයකට විතර ඉස්සර සිහිය ආවා.. තවමත් වෛද්‍යවරු පරීක්ෂා කරලා බලනවා කොහොමද කියලා… ඊට පස්සෙ ඔයාට පුළුවන් වේවි එයාව බලන්න…
අපි හැමෝම හුඟක් බලාපොරොත්තු වුන දෙයක්… අපි හැමෝටම සතුටුයි විශ්වට ඉක්මනින්ම සිහිය ආපු එක ගැන… අපේ හැම දෙනාම සෑහෙන කණගාටුවෙන් හිටියෙ….
මේ ඉන්නෙ විශ්වගෙ මාමයි නැන්දයි… ලංකාතිලක මහතා මොලීට සුමනසේකර යුවල හඳුන්වා දුන්නේය.
සන්තෝෂයි අඳුනා ගන්න ලැබීම ගැන…. මම මොලී… විශ්ව එක්ක එකට වැඩ කරන්නෙ….
නීලකාන්ති සුමනසේකර මහත්මිය මොලී දෙස විමසුම් සහගත බැල්මක් හෙළුවාය… මොලී ඇය හා සිනාසුනාය…
සුමනසේකර මහත්මිය ඈ හා සිනාසුනත්, සුමනසේකර මහතාගේ මුහුණේ කිසිදු හැඟීමක් නොවීය…..
අද හවස මම ආවා මෙගන් එක්ක… එතකොටත් විශ්වට සිහිය තිබුණෙ නැහැ… ඩොක්ට කිවුවා විශ්වගෙ ඥාතීන් ආවම කම්පන ප්‍රතිකාරය ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා කියලා.. විශ්වට සිහිය ආවෙ ඒකෙන් පස්සෙද ? ඇය අපහසුතාවය මඟහරවාගනිමින් විමසුවාය.
නැහැ නැහැ…. මම හිතන්නෙ නම් මේ දෙන්නා ආවා කියලා විශ්වට තේරිලා… මේ දෙන්නා ආපු ගමන් ඇස් ඇරියා… කවුරු හරි නෑ කෙනෙක් එනකල් ඉඳලා තියෙන්නෙ… ලංකාතිලක මහතා විහිළුවක් කර ඒ අවස්ථාව සැමට පහසු කිරීමට සරළ උත්සාහයක් ගත්තේය.
ඒක හරිම පුදුමයි නෙ… කිසිම බෙහෙතක් නැතිව ?
විශ්වට ලැබෙන්න ඕන හොඳම බෙහෙත ලැබුණා මොලී… එයාට හැමදාම ඒ බව දැනුනා… ඒක අදත් දැනෙන්න ඇති… සුමනසේකර මහත්මිය සෙමෙන් පැවසුවාය….
මමත් හිතන්නෙ එහෙමයි… පිරිත් සජ්ඣායනය වෙලාවෙ නම් වෙනසක් පෙන්වුවා… නමුත් සිහිය එන පාටක් තිබුණෙ නැහැ…. අපි හැමෝම දැනගෙන හිටියා පිරිත් වලින් විශ්වට ලොකු සෙතක් වෙනවා කියලා.. ඒත් කොයි තරම් දුරට ඒක වෙනවද කියලා කාටවත් නිනවුවක් තිබුණෙ නැහැ… මොනවා වුනත් සිහිය ආපු එක ලොකු දෙයක්… මොලී නැවතත් පැවසුවාය….
අපි බලමු… තව ගොඩක් පරීක්ෂණ කරන්න වෙයි…
ඒ කතාබහ මොහොතකට නතර වූයේ විශේෂඥ වෛද්‍යවරයා සුමනසේකර යුවලට කාමරය තුළට පැමිණෙන ලෙස කළ ඇරයුමත් සමඟිනි. ඔහුට අවශ්‍ය වූයේ විශ්ව දන්නා හඳුනන මුහුණු වෙත දක්වන ප්‍රතිකාරය අනුව දිගුකාලීන මතකයේ ප්‍රතිස්ථාපනය කෙතෙක් දුරට සිදු වී ඇත්දැයි යන්න ගුණාත්මකව සොයා ගැනීමය.
සුමනසේකර යුවල සෙමෙන් ගොස් විශ්වගේ ඇඳ දෙපස සිටියහ. ඔහුගේ දෑස් කඳුලින් තෙත් විය… මුවේ සිහින් සිනාවක් මතු කරන්නට තැත් කිරීමක් පෙණුනි. නීලකාන්ති සුමනසේකර මහත්මිය සතුටු කඳුලක් හෙළුවාය. වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් නැතත්, ඔහු තමා හඳුනාගත් බව ඇයට දැනුනි…
මමත් යන්නද ? මොලී නොයිවසිල්ලෙන් මෙන් විශේෂඥ වෛද්‍යවරයාගෙන් විමසුවාය…
යන්න… ගිහින් බලන්න එයාගෙ කෙටි කාලීන මතකය කොහොමද කියලා… වෛද්‍යවරයා ඇය දිරිමත් කළාය….
ඇඳ අසළට ගිය මොලී විශ්වගේ මුහුණට එබී බලා සිනාසුනාය…….
පිටස්තරයා – 14
සුමනසේකර මහත්මයා…. මෙන්න ඔබ දෙපලගෙම වීසා සහතික පත්… ඔබට හෙටම ඇමරිකාව බලා යන්න පුළුවනි.
අමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරී රොනල්ඩ් මැන්කැඩ් පෞද්ගලිකවම මැදිහත් වී සුමනසේකර යුවලගේ ඇමරිකානු වීසා සහතිකපත් සඳුදා දිනම ඔවුනට සකස් කර දුන්නේ විශ්වගේ සැපදුක් බලා ගැනීමේ අපේක්ෂාව ඉක්මනින්ම මල්පල ගැන්වීමටය. සෙනසුරාදා සාකච්ඡා කරගත් පරිදි ඔවුන් දෙපළ ඇමරිකාව බලා යාමට ගුවන් ටිකට්පත් එදිනම වෙන්කරවා ගැනීම නිසා සඳුදාම වීසා ලබා ගැනීමට සිදුවිය. මේ කර්තව්‍යය ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළින්ම ඇති නිසාත්, සුමනසේකර යුවල නොදන්නා බොහෝ කරුණු කාරණා රොනල්ඩ් මැන්කැඩ් සහ ඇමරිකානු තානාපති කාර්යාලයේ බුද්ධි නිලධාරීන් දන්නා නිසාත්, මේ කටයුත්ත ඉතා ඉක්මනින් කර දීමට තානාපති කාර්යාලය පසුබට වූයේ නැත. ඔවුන්ට අවශ්‍ය වූවේ තමන් අතින් සිදු වූ වැරැද්ද කෙසේ හෝ නිවැරදි කර ගැනීමටයි.. එසේ කටයුතු කිරීමේදී සාමාන්‍ය ක්‍රියා පටිපාටි වලින් බැහැරව ක්‍රියා කිරීමට අදාල පාර්ශවයේ ඕනෑම කෙනෙකු කටයුතු කරයි.
එදින සවසම සුමනසේකර දෙපල සිය ඥාතිපුතු බැලීම සඳහා පසුදින ඇමෙරිකාව බලා යාම සඳහා ලක ලෑස්ති වූහ. ඊට පෙර ඒ බව වොෂිංටන් බෞද්ධ විහාරයේ වැඩ වසන තමාට බොහෙවින් හිතවත් මඩකුඹුරේ අත්ථදස්සි හිමියන්ට දැන්වීම සඳහා සුමනසේකර මහතා දුරකථන ඇමතුමක් ලබා ගත්තේය.
හලෝ…. වොෂිංටන් බෞද්ධ විහාරය…….
ලොකු හාමුදුරුවනේ මේ මම… සුමනසේකර…..
ආ… සුමනසේකර මහත්මයා… කොහොමද ?…..
හොඳින් ඉන්නවා ලොකු හාමුදුරුවනේ…. අපි මේ හෙට එනවා කියලා දන්වන්නයි කතා කළේ…. අත්ථදස්සි හාමුදුරුවෝ පන්සලේ වැඩ ඉන්නවද ?
අත්ථදස්සි හාමුදුරුවො නම් දැන් භාවනා කරනවා… මම දන්වන්නම් සුමනසේකර මහත්මයා කතා කළා කියලා… ඊයෙ හවසත් අත්ථදස්සි හාමුදුරුවෝ රෝහලට ගිහින් පිරිත් කියලයි ආවෙ…. ඊයෙ නම් ඒ දරුවා අතක් හෙලෙවුවා කියලා උන් වහන්සෙ කිවුවා… අදත් පිරිත් කියන්න හවස වඩිනවා කියලා කිවුවා… තුන් වේලක් වත් පිරිත් කියන්න ඕන නෙ හරි හැටි ගුණයක් ලබන්න…
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
පසුදින උදෑසන සේවයට ගියද, සෑම දෙනාගේම කතාබහ වූයේ විශ්වට සිදු වූ අනතුර පිළිබඳවයි. ආචාර්ය ෆියු සහ ආචාර්ය ලිපර්ඩ් යන දෙදෙනාම සැම දෙනාගේම කාර්යාල කාමර වලට පැමිණ පෞද්ගලිකවම සිය සේවක කැළගේ මානසික තත්ත්වය පිළිබඳ සොයා බැලූහ. ඉතා තදින් බැඳුන වියමනක් මෙන් වූ මේ හත්දෙනාගේ මානසිකත්වය මේ අවස්ථාවේ ඉහළින් තබාගත යුතු බව කළමණාකාරීත්වයේ හසළ දැනුමක් ඇති මේ දෙදෙනාම හොඳින් දැන සිටියහ. ඒ නිසාම පෞද්ගලිකවම ඔවුන්ගේ මානසික තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වීමට දෙදෙනාම උනන්දු වූහ.
මොලී වැඩිපුර විශ්ව පිළිබඳ සැලකිළිමත්වීම ගැන මෙගන්ට තිබුණේ ඊර්ෂ්‍යාවක්ද යන්න බොහෝ දෙනා තුළ තිබූ ප්රශ්නයකි. එළිපිට නොපෙන්වුවත් මෙගන් නිතරම වාගේ මොලී සමඟ තිබුණේ නොරිස්සුමකි. විශේෂයෙන්ම සති අන්තයේ සිදු වූ කලබැගෑනියට තමාගෙන් කිසිම දායකත්වයක් නොවීම පිළිබඳ ඇය සැම දෙනා සමඟම අමනාපයකින් පසු වූවාය.. එය එළිපිට නොපෙන්වුවත් සිදු වූ කතාබහේදී මෙගන්ගෙන් නිකුත් වූ හඬින් එය සැමටම තේරුම් ගොස් තිබුණි. කෙසේ වෙතත් රසායනාගාරයේ සියල්ලන්ම සිටියේ දැඩි කණස්සලු ස්වභාවයකිනි… මොලී අන් සියල්ලන්ටම වඩා පසුතැවිල්ලකින් පසුවන ආකාරයක් පෙණුනි…
අවසන ඇය සිය ප්‍රධානියා වන ආචාර්ය නීල් ෆියුගේ කාමරය වෙත පිය මැන්නාය…..
නීල්…. ඇය දොරට තට්ටු කරන ගමන්ම ඔහු ඇමතුවාය..
ඔව් මොලී…. ඇයි ? මොකක් හරි ප්‍රශ්නයක්ද ?
ලොකු ප්‍රශ්නයක් නෙවෙයි…. මම අද හවස ටිකක් කලින් යන්න ඕන…. මම විශ්ව බලන්න යනවා…
මට තේරෙනවා…. මම මේ පුද්ගලික ප්‍රශ්නයක් අහනවා නෙවෙයි….. ඔයා මේ ටික දවසට විශ්වට ගොඩක් සමීප වුනා නේද ?
නැහැ කියන්න බැහැ නීල්… විශ්ව එක්ක සතියක කාළයක් වැඩ කරද්දි තේරෙනවා එයා බොහොම හොඳ ඒ වගේම බුද්ධිමත් කෙනෙක් කියලා… ඒ තරම්ම සමීපතාවයක් නැහැ… නමුත්……..
ඒක අසාමාන්‍ය නැහැ මොලී…. විශ්වට මෙහේ කවුරුත් නැහැ…. සමහරවිට ඔයා දන්නවා ඇති විශ්වගෙ පවුලෙ තොරතුරු… මගේ අකැමැත්තක් නැහැ ඔයාට පුළුවන් නම් විශ්ව මේ ඉන්න තත්ත්වයෙන් ගොඩ ගන්නවට… අපට විශ්ව යථා තත්ත්වයට ගන්න ඕන ඉක්මනටම… මේ පර්යේෂණයෙ බොහොම වැදගත් වැඩකොටසක් විශ්වගෙ අතින් කෙරෙන්න ඕන… මේ පර්යේෂණයට විශ්වගෙ දැනුම බොහොම වටිනවා…. මට මේ කොල්ලව කොහොම හරි ආපහු මේ ලැබ් එකට ගේන්න ඕන…. ප්‍රශ්නයක් නැහැ… විශ්ව ගොඩ එනකල් ටිකක් වේලසන යන්න.. මම දන්නවා ඒ කාළය අපතෙ යන්නෙ නැහැ කියලා… මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මට දන්වන්න… මම ඒක නිරාකරණය කරලා දෙන්නම්…
බොහොම ස්තූතියි නීල්…. බොහොම ස්තූතියි….
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මෙන්න වාර්තාව… උණු උණුවෙ ආවෙ…. තාම විශ්ලේෂණය කරන්න බැරි වුනා….
මොනවද තියෙන්නෙ ?
හිතා ගන්න බෑ… එක දෙයක් කියලා නෑ… අච්චාරුවක්….
අපට විශ්ලේෂණය කරන්න බැරි තරම් සංකීර්ණද ?
මට හිතෙන විදියට මේකට හොඳම කෙනා සයන්ටිස්ට් රාහුල් ගුප්තා….
රාහුල් ගුප්තා… අර පිස්සු හටන ?
ඔව්… මිනිහා කාබනික රසායනය කරපු කෙනෙක්නෙ… මේක ගෙනිහින් අහලා බලමු…. ඇහුවයි කියලා අපට පාඩුවක් නැහැනෙ…
යමු… කෝ මිනිහා දැන්….
දැනුත් ලැබ් එකේ ඇති…. මිනිහට ඉතිං ලැබ් එකෙන් තොර ලෝකයක් නෑනෙ……
ඔවුන් රාහුල් ගුප්තා සිටින රසායනාගාරයට යන විටත් රාහුල් සිටියේ පරීක්ෂණයක ප්‍රතිඵල විශ්ලේෂණය කරමිනි.
එෆ් බී අයි ආයතනයේ වැදගත්ම ඒකකයක් වන රසායානාගාරයට විවිධාකාර රසායන ද්‍රව්‍ය සහිත සාම්පල ලැබේ. මෙහි සිදු කෙරෙන පරීක්ෂණ මත සැකකරුවා වැරදිකරුවෙක්ද නිවැරදිකරුවෙක්ද යන්න තීරණය වන නිසාත්, ඒ තීරණය මතම ඔහුගේ ජීවිතය පිළිබඳ ඉරණම විසඳෙන නිසාත් බොහෝවිට එකම පරීක්ෂණය දෙතුන් වතාවක් සිදු කර නිරවද්‍යතාවය තහවුරු කරගනු ලබයි. එසේ වුවත් සමහර තාක්ෂණික නිලධාරීන් මූලික පරීක්ෂණ සිදු කරන්නේ එතරම් තැකීමකින් තොරවය. මේ නිසාම රසායනාගාරයේ ජ්‍යෙෂ්ඨ රසායනඥයින් ඉතා ඉහළ මට්ටමකින් යුතු දත්ත ලබා ගැනීම කෙරෙහි අවධානය යොමු කරති. සමහරවිට තමාම ඒ පරීක්ෂණය සිදුකර එහි නිරවද්‍යතාවය තහවුරු කර ගනු ලබයි. ඉන්දියානු ජාතික – දැනට ඇමරිකානු ජාතිකත්වය ලබා ඇති රාහුල් ගුප්තා කාබනික රසායන විශ්ලේෂණය පිළිබඳ විශාරදත්වයක් ලබා ඇති පුද්ගලයෙකි. ඔහුගේ පෞරුෂත්වය සමාජගත ආයතනයකට නොගැලපුනද ඔහු සතු විශේෂඥ දැනුම නිසාම දැඩි අවදානමක් ගැනීමෙන් පසුව එෆ් බී අයි ආයතනය රාහුල් ගුප්තාව සිය රසායනාගාරයේ විද්‍යාඥයෙකු ලෙස බඳවා ගත්තේය… වැඩි සමාජ ආශ්‍රයක් නොමැති ඔහු සිය රාජකාරිය දේවත්වයෙන් සළකනවා පමණක් නොව සිය විද්‍යාඥ තනතුර ද ඉතා ඉහළ තත්ත්වයක තබා ක්‍රියා කරයි.. එසේ නොවන්නට රාහුල් සාමාන්‍ය මිනිසෙකි.
හලෝ රාහුල් ගුප්තා….
යාළුවා…. නම්බු දීලා කතා කරන්න පුරුදු වෙනවා…. සයන්ටිස්ට් රාහුල් ගුප්තා…..
හරි හරි…. සයන්ටිස්ට් රාහුල් ගුප්තා… අපි මේ ආවෙ ඔයාගෙ විශේෂඥ දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න…… අපි දන්නවා ඔයා තමයි මේ විෂය හොඳටම දන්නෙ කියලා..
ආ… එහෙම එන්න… කියමු බලන්න මොකද්ද ප්‍රශ්නෙ කියලා…..
මෙන්න මේකයි ප්‍රශ්නෙ… අපට ලැබුණා තෙල් සාම්පලයක්… මේ තියෙන්නෙ ඒ සාම්පලයේ වර්ණලේඛ විශ්ලේෂණ සටහන (Gas Chromatogram )……… මේක අනුව කියන්න පුළුවන්ද මේ සාම්පලයෙ අඩංගු තෙල් වර්ගය මොකද්ද කියලා ?
දෙයියනේ… මේක තෙලක්ද නැත්නම් කොහෙන් හරි කානුවකින් හොයා ගත්ත ජරාවක්ද ?
ඒ මොකද එහෙම අහන්නෙ ?
මේක පිරිසිදු තෙලක් නෙවෙයි… මේකෙ තියෙන්නෙ ලොකු මිශ්‍රණයක්….
කොහොමද එහෙම කියන්නෙ ?
එහෙම කියන්නෙ මම හොඳට දන්න නිසා…. තනි තෙල් වර්ගයක මේ තරම් විශාල සංඝඨක මිශ්‍රණයක් දකින්න බැහැ… තිබුණත් මේ වගේ අනුපාත නැහැ… මම සගන්ධ තෙල් (essential oils) ගැන හොඳට දන්නවා… මේක අනිවාර්යයෙන්ම සංඝඨක දහයකට වැඩි මිශ්‍රණයක්…… මේ මිශ්‍රණය විශ්ලේෂණය කරන්න ඔහොම බෑ.. අයියෝ මට ගෙනැත් දුන්න නං ඉවරයි නෙ… කෝ සාම්පලය තියෙනවද ?
ඔව්… ලැබ් එකේ තියෙනවා…
මට ගෙනැත් දෙන්න සාම්පලේ… ඔය ලැබ් එකේ ඉන්න තාක්ෂණික නිලධාරියො දන්න ඉටිගෙඩියක් නෑ… උන් දන්නෙ ඔයාල දෙන සාම්පලේ ඔහේ ගහලා වාර්තාව දෙන්න විතරයි… මේ වගේ සාම්පලයකට වෙනම තත්ත්ව සකසන්න ඕන.. සමහර සංඝඨක ඉක්මනින් වාශ්පෂීලී වෙනවා.. තවත් සමහර ඒවා අඩු වාශ්පශීලීතාවයක් තියෙන්නෙ.. ඒ නිසා මේ පරීක්ෂණයෙ තත්ත්වයන් වෙනස් කරන්න ඕන… මට දවස් දෙකක් දෙන්න.. මම සම්පූර්ණ වාර්තාවම දෙන්නම්…
හරි.. මම සාම්පලය දැන්ම ගෙනත් දෙන්නම්… බොහොම ස්තූතියි සයන්ටිස්ට් රාහුල් ගුප්තා… ඔබ නම් අපේ ගැලවුම්කාරයෙක්….
කිසි දේකට බයවෙන්න එපා…. මොකද්ද නම කිවුවෙ ?
ආ… මම ජේසන්…
හරි… ජේසන්… කිසි දේකට බය වෙන්න එපා… මම දවස් දෙකකින් වැඩේ කරලා දෙන්නම්…. මොකද්ද මේ සාම්පලය…
අනේ සයන්ටිස්ට් රාහුල් ගුප්තා. ඒකනම් කියන්න බෑ… අතිශය රහසිගතයි…
හරි හරි…. මම දන්නවා…
හරි… එහෙනම්…. අපි යනවා… බොහොම ස්තූතියි..සයන්ටිස්ට් රාහුල් ගුප්තා…
හරි… මට සාම්පලය දැන්මම ගෙනැත් දෙන්නකෝ…
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
තවම සිහිය ආවෙ නැද්ද ඩොක්ට ? මොලී පැමිණි වහාම වාට්ටුව භාර වෛද්‍යවරයාගෙන් විමසුවේ ඉතා දුක්මුසුවය…..
තවම නැහැ මොලී….. අද හවසත් අර හාමුදුරුවො ඇවිත් පිරිත් කියලා ගියා…. ඒත් තවම කිසිම වෙනසක් නැහැ… එකම වෙනස පිරිත් කියන අවස්ථාවෙ විතරක් මොළයේ සංඥාවල සිදුවන වෙනස විතරයි. මේ නිසාම අපි තීරණය කළා අර මුලින් කිවුව විද්‍යුත් කම්පන ප්‍රතිකාරය හෙටින් පසුව කරන්න.
කෝකටත් අපි විශ්වගෙ භාරකාරයො එනකල් ඉඳිමු ඉදිරියේදි මොනවා කරනවද කියන දේ තීරණය කරන්න…. තානාපති කාර්යාලයෙන් දැනුම් දීමක් ලැබුණා ඒ අය හෙට ලංකාවෙන් පිටත් වෙනවා කියලා… ඒ කියන්නෙ හෙට හවස් වෙනකොට ඒ අය මෙහාට එන්න ඕන… එයාලා ආවට පසු අපි වාර්තා පැහැදිලි කරලා දීලා බදාදාට විශ්වගේ කම්පන ප්‍රතිකාරය කරන්න බලාපොරොත්තු වෙනවා.
ඩොක්ට කිවුව නේද අර මුලින් කළ පරීක්ෂණ වගයක් ගැන, ඒවයේ වාර්තා වලින් මොනවත් තීරණයක් ගන්න බැරිද ?
ආ… මතක් කළ එක හොඳයි… ඒ වාර්තා අපි හොඳින් සළකා බැලුවා… අපි මේ රෝහලේ විතරක් නොවෙයි. සියැට්ල් ග්‍රේස් රෝහලේ ස්නායු විශේෂඥ වෛද්‍ය ඩෙරික් ශෙපර්ඩ්ගෙනුත් අපි අදහස් ලබා ගත්තා… ඔහුට අනුව මේ තත්ත්වය එතරම් අසාමාන්‍යතාවයක් නොවෙයි, නමුත් දිගටම අපි නිරීක්ෂණය කරනවා.. අපි අද සවස ඔහුව සජීවීව සම්බන්ධ කරගත්තා පිරිත් කියන අවස්ථාවේදී… ඔහුත් දුටුවා මේ සංසිද්ධිය… ඒ නිසාම අපි තවදුරටත් පිරිත් සජ්ඣායනය කිරීමේ කටයුත්ත දිගටම කරන්න තීරණය කළා… හාමුදුරුවොන්ගෙනුත් අකැමැත්තක් නැහැ…
එතකොට විශ්වගේ අනිත් අවයව වල ක්රියාකාරීත්වයේ වෙනසක් නැද්ද ? මෙතෙක් වේලා නිහඬව සිටි මෙගන් වෛද්‍යවරයාගෙන් විමසුවාය..
විශ්ව බැලීමට හමුදා රෝහලට ඇතුළුවිය හැක්කේ සීමිත සහ අවසරලත් පුද්ගලයින් සංඛ්‍යාවකට පමණක් නිසා මෙන්ම විශ්ව බැලීමට ඇති කැමැත්ත නිසාත්, වෙනත් කළහැකි කිසිවක් නොතිබූ නිසාත්, මොලී සමඟ පැමිණීමට මෙගන්ට සිදුවිය.
නැහැ…. පෙනහැල්ලේ සිදු වුන තුවාලය නිසා කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයක ආධාරයෙන් තමයි හුස්ම ගන්නෙ… ඒ ඇරෙන්න කිසිම අවයවයක හෝ ඉන්ද්‍රියක වෙනසක් පෙන්වන්නෙ නැහැ… ඒක ඇත්තටම හොඳ දෙයක්… ඒ නිසා අපට ගොඩක් බලාපොරොත්තු තබා ගන්න පුළුවනි විශ්වට ඉක්මනින්ම සිහිය ඒවි කියලා.
අපට මොනවද වෙන කරන්න පුළුවන් ?
ඔයාලට නම් මෙතැන කරන්න කිසිම දෙයක් නැහැ… අපි මුලින්ම කරන්න ඕන විශ්ව ප්‍රකෘති තත්ත්වට ගන්න එකයි.. ඊට පස්සෙයි ඉතිරිය බලන්න වෙන්නෙ… අපට සමහරවිට විශ්වට මානසික ප්‍රතිකාර කරන්න වෙයි… එයා මෙතැනට වැටුනෙ ලොකු අනතුරකින් පස්සෙ.. ඒ නිසා පශ්චාත් කම්පන ආතතිය (Post Traumatic Stress Disorder) සඳහා ප්‍රතිකාර කරන්න වෙයි.. ඒක බලපාන්නෙ විශ්වගෙ මානසික තත්ත්වය අනුව.. එයා මානසිකව ශක්තිමත් පුද්ගලයෙක් නම් බොහොම ඉක්මනින් ප්‍රකෘති තත්ත්වයට පත් වේවි.. නැතිනම් ටික කලක් යාවි.. එයා ප්‍රකෘති තත්ත්වයට පත් වෙන්නෙ ටික කළක් සිහිනැතිව ඉඳලා නිසා එයාගෙ මතකය, මානසික මට්ටම ගැන පරීක්ෂණ කරන්න වේවි. එහෙම ප්‍රශ්නයක් තිබෙනවා නම් අපට ඒ පැත්තෙන් පුනරුත්ථාපනය කරන්න වේවි. ඉන් පස්සෙ අපි බලන්න ඕන එයාගෙ අවයව වල ක්‍රියාකාරීත්වය ගැන.. පාදයේ අස්ථියක් සම්පූර්ණයෙන්ම බිඳුන නිසා ඇවිදීම අපහසු වේවි.. පාදය යථා තත්ත්වයට ගෙන එන ව්‍යායාම්වල යෙදෙන්න වේවි… මේ වගේ සෑහෙන වැඩ කොටසක් තියෙනවා ඉදිරියට.. සමහරවිට සිහිය ඇවිත් මාස දෙකක් තුනක් යනකල් 100 % ක් ප්‍රකෘති තත්ත්වයට ගෙන එන්න අමාරු වේවි.. නමුත් බය වෙන්න එපා.. මීට වඩා දරුණු විදියට ආබාධවලට ලක් වෙලා ඉරාකයෙන් සහ ඇෆ්ගනිස්ථානයෙන් ආපු සොල්දාදුවො අපි හොඳ කරලා නැවත යුධබිමටත් යවලා තියෙනවා. ඒ නිසා හිත කලබල කර ගන්න එපා.. අපි පියවරෙන් පියවර ඉදිරියට යමු….
බොහොම ස්තූතියි ඩොක්ට….
ප්‍රශ්නයක් නැහැ….
එහෙනම්,… අපි ගිහින් එන්නම්………
හොඳයි… සුභ සන්ධ්‍යාවක්…..
පිටස්තරයා – 13
සත්තකින්ම….ඔබමයි කිවුවෙ අපි පිරිත් කියන්නට පෙර තිබුණ මොළයේ සංඥා සටහන් පිරිත් කියනවිට ක්රමාණුකූල වුනා කියලා.. එහෙනම් අපට පිළිගන්නට වෙනවා මේ පිරිත් සජ්ඣායනය නිසා තමයි මේ වෙනස සිදු වුනේ කියලා…
දැන් බලන්න ඒ සංඥා සටහන් පෙර පරිදිම ක්රමාණුකූලද නැතිනම් වෙනස් ද කියලා.. එයින්ම ඔබට තහවුරු කරගන්නට පුළුවන් මම කියන සංසිද්ධිය.
විශ්වගේ ඇඳ අසල සවි කර තිබූ මොළයේ සංඥා සටහන් යන්ත්‍රයේ සටහන් වූයේ පෙර පරිදිම අක්‍රමවත් සටහනකි… අත්ථදස්සි හිමියෝ නැවතත් වෛද්‍යවරුන් දෙදෙනා වෙත හැරුණි…
අපට මේක පර්යේෂණ කරන්න වෙලාවක් නොවෙයි… නමුත් ඔබට මේ ගැන වැඩිදුර දැනගැනීමට කැමති නම් පන්සලට එන්න… මම ඔබට සවිස්තරාත්මකව කියා දෙන්නම්… නමුත් අභිඥාන විද්‍යාව කියන්නෙ බොහෝ දෙනෙකු හිතන්නවත් පෙළඹෙන්නෙ නැති දෙයක්. බුදුන් වහන්සේගේ කාළයටත් පෙර විසූ විවිධ සෘෂිවරු මේ අභිඥාන විද්‍යාව බොහෝ සේ ප්‍රගුණ කරලා තිබුණා… මේ නිසාම ඔවුන්ට විවිධාකාර මාර්ගපල ලැබීමට පවා හැකියාව තිබූ බව විවිධ වේද ග්‍රන්ථවල සඳහන්.. අපේ මේ නවීන විද්‍යාව දියුණුයි කියා අපි උදම් ඇනුවට, ඇත්තෙන්ම ඒ කාළයේ තිබූ දැනුමට ලංවන්නට වත් අපට තවම හැකියාවක් නැහැ… ඒ කාලෙ මේ වගේ උපකරණ නොමැතිවයි ඒ සෘෂිවරු දැන් විද්‍යාවෙන් කියැවෙන සංකල්ප වසර දහස් ගණනකට පෙර ඉදිරිපත් කළේ…
වෛද්‍යවරු දෙදෙනා නිරුත්තරව අත්ථදස්සි හිමියන් වෙත අවධානය යොමු කරගෙන අසා සිටින්නට විය…
සමහරවිට මේ දරුවා කිසියම් අවස්ථාවක සිර වෙලා සිටිනවද කියලත් මට හිතෙනවා… ඒ වගේ අවස්ථාවල සිටින උදවියත් මේ වගේම බොහොම අවධියෙන්, නමුත් පියවි සිහියෙන් තොරව සිටිනවා… මනෝ වෛද්‍යවරයෙක් ලෙස ඔබ හොඳින්ම දන්නවා නේ මෝහනය වුන පුද්ගලයෝ ගැන… මට හිතෙන විදියට මේ දරුවත් ඒ මෝහනය වුන අවධියක සිටිනවද කියලා මට සැකයි… කොහොම වුනත් අපි තව සවස් කිහිපයකම මේ විදියට පිරිත් සජ්ඣායනය කරන්න එන්නම්. අපට වැදගත් වෙන්නේ මේ දරුවා නැවතත් යථා තත්ත්වයට ගෙන ඒම මිසක්, මොන ක්‍රමයෙන් යථා තත්ත්වයට ගෙන එනවද කියන එක නොවයි නෙ… ඒ නිසා අපි මේ අංශ දෙකෙන්ම ප්‍රතිකාර කරමුද කියන යෝජනාව ඔබතුමාට ගෙන එන්න කැමතියි…
කිසිම ප්‍රශ්නයක් නැහැ ස්වාමීන් වහන්ස… මමත් ඒකට එකඟයි… අපි නැවතත් මේ ප්‍රතිකාරය හෙට සවස කරමු… මම ඉඩකඩ සලස්වා දෙන්නම්…
බොහොම හොඳයි දොස්තර මහත්මයා… අපි ගොහින් එන්නම්… හෙට හමුවෙමු…
එතෙක් වේලා පසෙක අසුන්ගෙන මේ සියළු සංවාදවලට නිහඬව ඇහුම්කන් දුන් විහාරාධිපති මහරගම ධම්මසාර හිමියන් ඇතුළු සංඝයාවහන්සේලා සහ තානාපති කාර්යාලයේ නිලධාරී ගීතාංජන ලංකාතිලක මහතා විශ්වගේ කාමරයෙන් පිටව ගියහ.
ඒ අතරතුර මොලී හා සංවාදයේ යෙදුනු ලංකාතිලක මහතා විශ්වගේ බොහෝ තොරතුරු රැසක් මොලී හා හුවමාරු කරගත්තේය… ඒ අනුව විශ්වගේ ලොකු මාමා සහ නැන්දා ඉක්මනින්ම විශ්ව බැලීමට එන බව මොලී දැනගත්තාය….
නික්ම යාමට ප්‍රථම තවත් වතාවක් විශ්ව බැලීමට ඇය විශ්වගේ කාමරයට පියමැන්නාය….
ඇය පිටුපසින් කිසිවෙකු සිටින බව ඇයට වැටහුනි… පිටුපස නොහැරී ඉදිරිපස වූ වීදුරුවෙන් ඇගේ පිටුපස සිටින්නේ කවුදැයි තීක්ෂණව ඇය බැලුවාය…..
දැක හුරුපුරුදු තරුණයින් දෙදෙනකු තමා පිටුපස විශ්වගේ කාමරයට පැමිණ ඇතිබව ඇය දුටුවාය…
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොකද ජෙනී කිසි කතාවක් නැතුව………
මොනවා කතා කරන්නද ? බලනවා තමුසෙලා කරපු වැඩේ….. මේ මනුස්සයා ඉන්න තත්ත්වය. ! මොකද ලොක්කා කියන්නෙ ?
මොනවා කියන්නද ? දැන් ඉතිං කරන්න තියෙන්නෙ ඩැමේජ් කන්ට්‍රෝල් තමයි….. හොඳ වෙලාවට අපි පොලීසියට කතා කරලා අපේ මිනිහව නිදහස් කළා….මාධ්‍යවලට කිවුවෙ එතැනම මැරිලා කියලා. මොනවා වුනත් මිනිහා ඇවිත් තියෙන වේගෙ හොඳටම වැඩියි… අනිත් එක තමයි මෙයා ට්‍රක් එක එනවා දැකලා අනිත් ලේන් එකට කාර් එක අරගෙන… ඒ නිසා තමයි හරහට හැපිලා තියෙන්නෙ…. නැතිනම් වැඩිය හානියක් නැහැ…
දැන් කාර් එකට කොහොමද ?
කාර් එක ගන්න දෙයක් නැහැ… ඒක රක්ෂණ සමාගමට කියලා අළුතෙන් එකක් ගන්නයි වෙන්නෙ….. ඒත් කවුද හිතුවෙ මෙහෙම දෙයක් වෙයි කියලා… අපි ප්ලෑන් කළේ මෙච්චර ලොකු දෙයක් කරන්න නෙමෙයිනෙ…
මොනවා කළත් කමක් නෑ… මුලින්ම අපි බලන්න ඕන මෙයාව ගොඩ ගන්න… මේ වැඩේ හරි නොගියොත් අපි තුන්දෙනාම ගස්…. මම නම් කීයටවත් බලාපොරොත්තු වුනේ නැහැ මේ වගේ බරපතල දෙයක්… අපි මීට වඩා සූක්ෂම වෙන්න තිබුණා කියලා මට හිතෙනවා. මම යනවා… මට වැඩ ගොඩක් තියෙනවා.. කෝකටත් පරිස්සමින්… කරන දෙයක් කාටවත් ඇඟවෙන්නෙ නැතිවෙන්න කරන්න…. ඇය නොරිස්සුම් සහගත හැඟීමෙන්, එසේම කිසියම් දුකකින් ඔවුන් දෙදෙනාගෙන් වෙන්ව ගියාය.
………………………………………………………………………………………………………
එදින රාත්‍රියේ වොෂිංටන් බෞද්ධ විහාරයේ දුරකථනය නාද වෙන්නට විය…..
ලොකු හාමුදුරුවනේ…….. මේ මම සුමනසේකර කතා කරන්නෙ……..
ආ සුමනසේකර මහත්මයා….. අපි අද ගිහින් විශ්වට පිරිත් ටිකක් කියලයි ආවෙ…. අපි බලාපොරොත්තු වුනේ තුන් දවසක්ම පිරිත් කියන්නයි…
අනේ කොයිතරම් හොඳයිද ලොකු හාමුදුරුවනේ….. කොහොමද අපේ දරුවට ?
සුමනසේකර මහත්මයා කිසි දේකට බය වෙන්න ඕන නැහැ….. විශ්ව ඉන්නෙ ඇමරිකාවෙ හොඳම හමුදා රෝහල් වලින් එකක… එතැන හොඳම පහසුකම් තියෙන්නෙ… ඒ අය ඕනවටත් වඩා හොඳින් එයාව බලා ගන්නවා.. හැරත්, තානාපති කාර්යාලයෙනුත් ලොකු සැලකිල්ලක් තියෙනවා විශ්ව ගැන… සූර්යබණ්ඩාර මහත්මයා ඉතිං තානාපතිතුමාගෙ හොඳ යාළුවෙක් නෙ… ඒ නිසා ඒ පැත්තෙනුත් ලොකු උදව් තියෙනවා… කිසිම අඩුවක් වෙන්නෙ නැහැ…. බය වෙන්න එපා……. දැන් කවදද සුමනසේකර මහත්මයා මේ පැත්තෙ එන්නෙ ?
අපි හෙටම එන්නයි හිතන් ඉන්නෙ ලොකු හාමුදුරුවනේ…. ඒ ගැන කතා කරගන්න තමයි මේ කතා කළේ…
ආ.. බොහොම හොඳයි… බොහොම හොඳයි.. අපි මෙහෙන් කෙරෙන්න ඕන සියළුම දේ කරන්නම්… හෙට පැවැත්වෙන වස් පිංකමේදිත් අපි විශ්ව මතක් කරලා ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා…
අනේ බොහොම පිං ලොකු හාමුදුරුවනේ…..
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::;;
ආ….. මේ එන්නෙ………. අපි හිතුවෙ එන එකක් නැහැ කියලා…. කොහොමද විශ්වට දැන් ?
තවම සිහිය නැහැ…… හවස පන්සලේ හාමුදුරුවරු ඇවිත් පිරිත් කිවුවා…. එතකොට නම් පොඩි වෙනසක් තිබුණා… නමුත් ආයෙම පරණ තත්ත්වයටම පත් වුනා….
ඒ කොහොමද එහෙම වෙන්නෙ ?
මමත් කියන්න දන්නෙ නැහැ… ඩොක්ටර්ස්ලටත් ඒක ප්‍රශ්නයක් වුනා… මම දැක්කා ඒ දෙන්නම කවුදෝ හාමුදුරු කෙනෙක් එක්ක ගොඩක් වෙලා කතා කරනවා… මේක මම හිතන විදියට නම් බොහොම බරපතල තත්ත්වයක්… විශ්වට ලොකු අමාරුවකුත් නැහැ. මොළයේ සංඥා සියල්ල නිරෝගීයි… නමුත් සිහිය එන්නෙ නැහැ… කෝකටත් මම හෙටත් යනවා බලන්න….
අපිත් එන්නම් බලන්න යන්න… කොහොම වුනත් මිනිහා හරිම හොඳයි… කාටවත් කරදරයක් නැති තමන්ගෙ පාඩුවෙ ඉන්න කෙනෙක්.. දැන් එයත් අපේම කෙනෙක් නෙ….
මම හිතන්නෙ නැහැ හැමෝටම එයාව බලන්න යන්න පුළුවන් කියලා… කෝකටත් අද්මිරාල් බවර්ට කතා කරලා ඔයාලගෙ නමත් ලැයිස්තුවට ඇතුලත් කරන්න… ඒක හමුදා රෝහලක් නිසා ආරක්ෂාව තදයි….
ඇයි මෙච්චර ඉස්පිරිතාල තියෙත්දි එයාව දුර තියෙන හමුදා රෝහලටම ඇතුලත් කළේ ? එයා හමුදාවට අයිති කෙනෙක් නෙවෙයි නෙ..
මම හිතන්නෙ නම් ඒක අද්මිරාල්ට තියෙන සම්බන්ධය නිසා වෙන්න ඇති… මොකද, අනතුර වුන වෙලාවෙම තමයි අද්මිරාල්ට පණිවුඩය ගිහින් තියෙන්නෙ… ආරක්ෂක නිලධාරීන් තමයි මුලින්ම පණිවුඩය දීලා තියෙන්නෙ… අද්මිරාල් වෙන්න ඇති විශ්ව ව හමුදා රෝහලට ගෙනයන්න කියලා කියන්න ඇත්තෙ…
කොයි තරම් කාලයක් යයිද මිනිහට සිහිය එන්න ? පව්… ඇවිල්ලා සති දෙක-තුනයි ගියේ… ජීවිතේ පටන් ගත්තා විතරයි…
මටත් තියෙන දුක ඒකයි…. කොහොම වුනත් ඉක්මනට සිහිය ඒවි කියලා හිතනවා… අපි බලමු…තවම දවසක් වත් ගියේ නැහැනෙ…
කොහොමද ඔච්චර හානියක් වෙලා තියෙන්නෙ ? විශ්වගෙ කාර් එක ඉවරෙටම ඉවර වෙන්න ?
ආරංචියෙ හැටියට නම් බීමත් රියදුරෙක් ලොකු ට්‍රක් එකක් පදවගෙන ඇවිත් තමයි හැපිලා තියෙන්නෙ… ඒ රියැදුරා නම් එතැනම මිය ගිහින් කියලයි පොලීසියෙන් කිවුවෙ… හදිසි ආපදා සේවකයෝ එයාගෙ මළසිරුර අරගෙන ගිහින් තිබෙනවා.. මම දන්නෙත් එච්චරයි… අවසන මොලී පැවසුවාය…
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මම නම් හිතන්නෙ මේක පිරිත් නිසා සිදු වූවක් නෙවෙයි….
එහෙනම්…. ?
මම මේ ගැන සොයා බැලුවා… මේ රටාව තිබෙන්නේ මොළයේ ශංඛක කණ්ඩිකාවෙ අසාමාන්‍යතාවයක්…
නමුත්, ඇයි මේ අසාමාන්‍යතාවය පිරිත් කියන්නට පෙර තිබුණෙ නැත්තෙ ? ඇයි මේ අසාමාන්‍යතාවය පිරිත් කියලා අවසාන වුනාට පස්සෙ යථා තත්ත්වයට පත් වුනේ ? එහෙම අසාමාන්‍යතාවයක් තිබුණා නම් මුල ඉඳලම ඒ අසාමාන්‍යතාවය තිබෙන්න ඕන නේද ? පිරිත් කියන අවස්ථාවෙ හැරෙන්න මේ අසාමාන්‍යතාවය නැවතත් දකින්න තිබුණද ?
නැහැ… පිරිත් කියන අවස්ථාවෙ විතරයි මේ මොළයේ සංඥා මන්දගාමී වීම සිදු වුනේ… අනිත් කිසිම අවස්ථාවක මේ සංඥා මන්දාගාමී වුනේ නැහැ. ඇත්තෙන්ම සාමාන්‍ය නිරෝගී කෙනෙකුටත් වඩා වැඩියෙන් ඒ සංඥා ක්‍රියාත්මක වෙනවා.. මට පෙනෙන්නෙ නම් ඔහුගේ මොළය මේ අවස්ථාවෙදි අධිකව පණිවුඩ හුවමාරුවක යෙදෙනවා වගේ…
ශංඛක ඛණ්ඩිකාව මොළයේ ප්‍රධාන ඛණ්ඩිකාවන් හතරෙන් එකකි. ශංඛක කණ්ඩිකාව ප්‍රධාන වශයෙන් සංවේදන දැනීම, වාචික සංවේදන, භාෂාව සහ ශබ්ධ සංජානනය සහ මතකය සම්බන්ධ ක්‍රියා සඳහා ප්‍රධාන වේ. මධ්‍යම ශංඛක ඛණ්ඩිකාවේ පිහිටි ව්‍යුහයන් විසින් දීර්ඝකාලීන මතකය පිළිබඳ සංනිවේදනයන් සිදු කරනු ලබයි. විශේෂයෙන් මොළයේ මූලය, හයිපොතැලමස සහ අවට ව්‍යුහයන් විසින් මතකයන් ඇතිකිරීම, කරුණු තහවුරු කිරීම වැනි මතකය සම්බන්ධ කරුණු කාරණා රාශියක් පාලනය කරනු ලබයි. මේ නිසා සිහිසුන් වූ රෝගියෙකුගේ වූ ශංඛක ඛණ්ඩිකාවේ ක්‍රියාකාරීත්වය ඉතාම වැදගත් සාධකයක් ලෙස වෛද්‍යවරුන් විසින් සළකනු ලබයි.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
කොහොමද ඩොක්ට දැන් විශ්වට ?
මොලී පසුදින සවස විශ්වගේ සුවදුක් බැලීමට පැමිණි වහාම වාට්ටුව භාර වෛද්‍යවරයා හමු වීමට ගොස් විමසුවාය.
තවමත් සිහිය ඇවිල්ලා නම් නැහැ… නමුත් සියළුම අවයව දැන් නිසි පරිදි ක්‍රියාත්මකයි… ඒක හොඳ ලකුණක්… අපි හිතනවා ඉක්මනින්ම සිහිය එයි කියලා… මේ වගේ රෝගීන් අනන්තවත් ඉන්නවා මොලී… බය වෙන්න එපා…. සමහරු දවස් දෙක තුනකින් සිහිය එනවා… එහෙම නොවුනොත් අපි ස්නායුවලට පොඩි විද්‍යුත් කම්පනයක් දීලා බලනවා… මේකත් හරියට කෙටි පරිපථයක් (Short circuit) වගේ දෙයක් වෙන්න පුළුවනි. අපට බයක් නැත්තෙ මේ අනතුරේදී මොළයට කිසිම හානියක් නොවී පැවතුන නිසා… සමහරවිට අනතුර සිදු වන වෙලාවෙ ගැස්සීමෙදි බෙල්ල සහ මොළය අතර සුශුම්නාව ඇට්ලස් කශේරුකාව මගින් තෙරපීමකට ලක් වුනාද කියන සාධකයත් අපි සලකා බලනවා.. අද එයාව තවත් පරීක්ෂණයකට භාජනය කළා.. ඒකෙ ප්‍රතිඵල අද සවස වන විට ලැබෙයි.. ඒ අනුව අපි බලනවා එහෙම දෙයක් වෙලාද කියලා.
ඒ සංවාදය සිදුවන අතරතුර මඩකුඹුරේ අත්ථදස්සි හිමියෝ පිරිත් සජ්ඣායනය සඳහා වැඩම කළහ..
අත්ථදස්සි හිමියන්ට පිරිත් සජ්ඣායනය කිරීමට ඉඩ පහසුකම් සලසා දී මොලී කාමරයේ පසෙකට වූ අතර වෛද්‍යවරයා පිටව ගියේය.
පෙරදා සිදු වූ සුවිශේෂී සංසිද්ධිය මතක තිබූ නිසාම පිරිත් සජ්ඣායනයට පෙර සිටම විශ්වගේ මොළයේ සංඥා සටහන දෙස මොලී බලා සිටියාය… අත්ථදස්සි හිමියෝ පිරිත් සජ්ඣායනය පටන් ගෙන මඳ වේලාවකින් පෙර පරිදිම විශ්වගේ මොළයේ සංඥා සියල්ල ඉතා සුළු විචලනයන් සහිත රේඛා බවට පත් වන්නට විය… මොලීට සිය දෙනෙත් අදහාගත නොහැකි විය… දෙවරක් එකම සංසිද්ධිය එකම සේ සිදු වන්නේ නම් එය අහම්බයක් විය නොහැකි බව ඇයට වැටහුණි. අත්ථදස්සි හිමියන්ගේ මුවඟට මඳ සිනාවක් නැඟුනි… තමා ඊයේ දිනයේ අනුමාන කළ දෑ සත්‍ය බව හිමියන්ට වැටහුණි.
කෙමන් විශ්වගේ වම් අත සෙලවෙන්නට විය… මොලී වහා නැගිට විශ්ව දෙස යාමට සැරසුනත්, අත්ථදස්සි හිමියන් විසින් ඇයව නවත්වාලනු ලැබීය. උන් වහන්සේ දිගින් දිගටම පිරිත් සජ්ඣායනයේ නිරත වෙන්නට විය… විශ්ව සිය වමත සෙමෙන් සෙමෙන් උදරය දක්වාම ගෙන ආවේය…. මොලී මවිතයෙන් මෙන්ම සතුටින් ඒ දෙස බලා සිටියාය… ඇගේ සිතේ මෙන්ම මුහුණේද බලාපොරොත්තුවේ සේයාවක් ඇඳෙන්නට විය….
පිරිත් සජ්ඣායනය නිම වනතුරු වෙනත් සැළකිය යුතු කිසිවක් සිදු නොවීය…. ඒ සියල්ල අවසන අත්ථදස්සි හිමියෝ හුනස්නෙන් නැගී සිට විශ්වගේ හිස අතගා කාමරයෙන් ඉවතට වැඩි සේක… මොලීද එතුමන් පිටුපස කාමරයෙන් පිටතට පැමිණියාය….
එකෙණෙහිම වාට්ටුව භාර වෛද්‍යවරයා ද විශ්වගේ කාමරය වෙත පැමිණියේය…
කවුද මේ ලෙඩාගෙ අත තිබූ තැනින් වෙනස් කළේ. ? මේ වගේ කෙනකුගේ එහෙම වෙනසක් කරන එක අවදානම් වෙන්න පුළුවනි…
කලබල වෙන්න එපා දොස්තර මහත්මයා… විශ්වම තමයි අත සෙලවූවෙ… මම ඊයෙ කිවුවා වගේම පිරිතෙන් කිසියම් ගුණයක් මේ දරුවට ලැබෙනවා…
ඇත්ත ඩොක්ට…. හාමුදුරුවෝ පිරිත් කියද්දි තමයි විශ්ව අත අරගෙන උඩින් තියාගත්තෙ… මටත් හරිම පුදුමයි… කොහොමද මෙහෙම වුනේ කියලා….
පුදුම වෙන්න දෙයක් නැහැ දොස්තර මහත්මයා… අපි පිළිගන්න ඕන හැම දේම විද්යාවෙන්ම විසඳන්න බැරිබව… සමහරු හිතන් ඉන්නවා විද්‍යාවෙන් සියල්ල වෙනස් කරන්න පුළුවන් කියල, තවත් සමහරු හිතන් ඉන්නවා ආගමෙන් විතරක් හැම දේම කරන්න පුළුවන් කියලා… නමුත්, මේ දෙපාර්ශවයම අමතක කරපු දෙයක් තමයි බොහෝ ආගම්වල විද්‍යාත්මක සත්‍යය ගැබ් වෙලා තියෙන බවත්, විද්‍යාව ආගමට සම්බන්ධ බවත්… මෙන්න මේ දෙක එකට අත්වැල් බැඳගෙන නොයන තාක් කල් මිනිසාගේ ඉදිරි ගමනක් බලාපොරොත්තු වෙන්න බැහැ.. මිනිසාට ආගමත් විද්‍යාවත් යන දෙකම තිබිය යුතුයි… එපමණක් නෙවෙයි, මේ ලෝකයේ තිබෙන ආගම් සියල්ල කුමන ආකාරයකින් හෝ එකිනෙකට බැඳී පවතිනවා. ඉතින්, අපි තව දුරටත් වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම පිරිත් සජ්ඣායනයත් කරගෙන යමු… මම ඊයෙ කිවුවා වගේම, අපේ මූළික අරමුණ රෝගියාව ඉක්මනින්ම යථා තත්ත්වයට ගෙන ඒම.. අපි ඒ දේ කරන්න හැකි හැම දේම කරමු… මම නොකිවුවත් නැතත් ඔබ අදම ඔබේ ප්‍රධානීන්ව දැනුවත් කරයි මේ සිදුවීම ගැන…. ඔවුන්ට අවශ්‍ය නම් මගෙන් මේ පිළිබඳ ප්‍රකාශයක් හෝ තොරතුරු ලබා ගන්න කිසි විටෙක මැලි වෙන්න එපා මාව අමතන්න… මම මේ දරුවා වෙනුවෙන් කළ හැකි යමක් තියෙනවා නම් ඒ දේ කරනවා.. ඔබ නොදන්නවාට මේ දරුවා බොහොම වටිනා පුද්ගලයෙක්…
හොඳමයි ස්වාමීන් වහන්ස, අපට අවශ්‍ය වුනොත් අපි ඔබ වහන්සෙව සම්බන්ධ කර ගන්නම්… ඇත්තෙන්ම විශ්ව සුව කර ගන්න ඔබ වහන්සෙ පමණක් නොවෙයි නාවික පර්යේෂණ ආයතනයෙ ප්‍රධානියා ඇතුළු බොහොමයක් දෙනා හැකි සෑම උත්සාහයක්ම දරණවා. ඒ නිසාමයි විශ්ව මේ රෝහලට ඇතුලත් කළේ.. වෙනත් රෝගියෙකු නම් සාමාන්‍යයෙන් මෙතරම් පහසුකම් ඇති හමුදා රෝහලට ඇතුලත් කෙරෙන්නෙ නැහැ… වෛද්‍යවරයා කරුණු පැහැදිළි කළේය….
විශ්වට සිහිය එලැඹෙයිද ?
විශ්ව අසිහියෙන් සිටියත් සන්නිවේදනය කරන්නේ කා සමගින්ද ?
විශ්වට සිදු වූ අනතුර කවුරු විසින් කරන ලද්දක්ද ?
පිටස්තරයා – 12
මොකද විශ්වට වෙලා තියෙන්නෙ ? සුමනසේකර මහත්මිය නැවතත් නොයිවසිල්ලෙන් ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරියාගෙන් විමසුවාය..
නීලා… පොඩ්ඩක් ඉවසන්න… ඒ මනුස්සයට විස්තර කරන්න ඉඩ දීලා….
කවදත් නිවුනු ගති පැවතුම් ඇති සුමනසේකර මහතා කිසි දිනක කිසිදු හේතුවක් නිසා හෝ කළබල වන්නකු නොවේ…
මේකයි සුමනසේකර මහත්මයා.. අද විශ්ව රැකියා ස්ථානයෙන් පිටවෙන වෙලාවෙ බීමතින් රිය පදවාගෙන ආපු කෙනෙක් පදවපු ට්‍රක් එකක් විශ්වගේ වාහනයෙ හැපිලා… ඒ මනුස්සයා නම් එතැනම මිය ගිහින්.. නමුත් විශ්වට ඒ තරම් කරදරයක් නැහැ කියලයි ආරංචි… මේ වන විටත් ශල්‍යකර්මයකට භාජනය කරලයි තියෙන්නෙ.. විශ්වගේ කකුලේ දණහිස අසලින් බිඳිලා… පපුවේ අස්ථියක් බිඳීම නිසා තරමක අපහසුවක් තිබෙනවා… නමුත් අපේ හමුදා රෝහලේ විශේෂ නිරීක්ෂණය යටතෙයි ඔහු පසුවන්නෙ… ඒ නිසා බය වෙන්න තරම් දෙයක් නැහැ. විශ්වගෙ සේවා ස්ථානයෙ අද්මිරාල් බවර් තමයි මේ බව ඔබට දන්වන්න කිවුවෙ.. විශේෂයෙන් විශ්වගෙ පියා එක්සත් ජනපදයටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් සිදු කළ සේවය නිසාමත්, විශ්වගේ සේවා ස්ථානයේ සුවිශේෂී බව නිසාමත් තමයි අපි සාමාන්‍ය ක්‍රියා පටිපාටියෙන් බැහැරව ඔබට මේ දැනුම්දීම කරන්න නිවසටම පැමිණියෙ..
දැන් අපට විශ්ව ගැන කොහොමද තොරතුරු දැනගන්නෙ ? ඒ ළමයාගෙ ටෙලිෆෝන් එකවත් වැඩ කරන්නෙ නැහැ. අපට ඇමරිකාවෙ තියෙන එකම සම්බන්ධය වොෂිංටන් බෞද්ධ විහාරයෙ ස්වාමීන් වහන්සේලා පමණයි… නමුත් උන්වහන්සේලාට කරදර කරන්න අපට බැහැ…
බය වෙන්න එපා. අපි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා ඔබව සම්බන්ධ කරන්නම්… නමුත් අපි ආවෙ ඒ කාරණය දැනුම් දෙන්න පමණක්ම නොවෙයි.
එහෙනම්…. තවත් ප්‍රශ්නයක්ද ?
නැහැ නැහැ… විශ්වගෙ රැකියා ස්ථානයෙන් අපට දැන ගන්නට ලැබුණ විදියට විශ්ව තරමක අසාමාන්‍ය දක්ෂතා ඇති කෙනෙක්. ඔහුගෙ භාරකරු විදියට ඔබට කියන්න පුළුවන්ද මේ සුවිශේෂිතාවය ඔහුට ලැබුණ අන්දම….
මහත්මයා… මට බොහොම කණගාටුයි… දියුණු රටක පුද්ගලයෙක් වෙලත් ඔබ සිතන අන්දම ගැන… විශ්ව කියන්නෙ අසාමාන්‍ය දක්ෂතා ඇති කෙනෙක් තමයි… ඒ දරුවා භාෂා හයක් පැහැදිලිව නිවැරදිව කතා කරන පුද්ගලයෙක්.. ඒ දක්ෂතාවය ඔහුට ලැබිලා තිබෙන්නෙ දෙමාපියන් සමඟ රට රටවල වසර ගණනාවක් ගත කිරීම නිසා… අමතක කරන්න එපා ඔහුගෙ දෙමාපියනුත් උගත් බුද්ධිමත් දෙපළක්.. ජාන වලින් වුවත් මේ බුද්ධිමත් බව පරම්පරාවෙන් පරම්පරාවට සන්නිවේදනය වෙනවා. ඒ වගේම අළුතෙන් භාෂාවක් කෙනෙක් ඉගෙන ගන්නවා කියන්නේ ඒ පුද්ගලයාගේ මොළයේ තවත් අළුත් කොටසක් වර්ධනය වෙනවා. මේ නිසා විශ්වගේ බුද්ධිය භාෂා හයක් කතා කිරීමේදී ඉතා ඉහළ වර්ධනයක් පෙන්වනවා ඇති. ඒක කොහොමත් සාමාන්‍ය ජනගහනයෙන් සියයට පහත් දහයත් අතර පුද්ගලයින්ගේ දැකිය හැකි දෙයක්… විශ්ව අසාමාන්‍ය දරුවෙක් නොවෙයි. නමුත් ඔහුටම ආවේණික විවිධ පුරුදු ඔහුට තිබෙනවා… ඒත් ඒවා වුවත් අසාමාන්‍ය නැහැ.
සමාවෙන්න අහනවාට… ඔහු කිසියම් රෝගයක් සඳහා බෙහෙත් ගන්නවද ?
මම දන්න තරමට නම් නැහැ.. විශ්ව කියන්නෙ තමන්ගෙ ශාරීරික සෞඛ්‍යය පිළිබඳ හොඳට සැලකිළිමත් වන දරුවෙක්… විශ්ව නිර්මාංශික වුනේ අවුරුදු 16 දි පමණ.. එදා ඉඳලා කිරි එකක්වත් බොන්නෙ නැහැ… නිතර නිතර ව්‍යායාම් කරන නිරෝගී පුද්ගලයෙක්..
ඔහු කිසිම බෙහෙතක් පාවිච්චි කරන්නෙ නැද්ද ?
මම දන්න තරමට නම් ඔහු කිසිම බෙහෙතක් පාවිච්චි කරන්නෙ නැහැ… හෙම්බිරිස්සාවක් උණක් හැදුනත් ඉඟුරු වැනි සරළ බෙහෙතක් තමයි පාවිච්චි කරන්නෙ. ඇයි මෙහෙම ප්‍රශ්න කරන්නෙ ? විශ්ව ගැන මොනවාහරි විශේෂ දෙයක් ඔබලා අපට හංගනවද ?
නැහැ නැහැ… අපි සාමාන්‍යයෙන් අපේ රාජ්‍ය ආයතනවල සේවය කරන පුද්ගලයන්ගේ පෞද්ගලික පසුබිම් තොරතුරු ඉතා දැඩි ලෙස පරීක්ෂා කර බලනවා.. මොකද කියනවා නම් විශ්ව සේවය කරන්නෙ අතිශය වැදගත් ස්ථානයක… එවැනි පුද්ගලයින්ගේ පෞද්ගලික ජීවිතයත් අපට බොහොම වැදගත්… ඒ නිසයි අපි මේ පසුබිම් තොරතුරු සොයන්නෙ… අපි මේ හමුවීම යොදා ගන්න තිබුණෙ ලබන සතියෙ වුවත් අවාසනාවකට විශ්වගේ අනතුර පිළිබඳ දැනුම් දෙන්නත් අද සිදුවීම නිසා මේ අවස්ථාව ඒ තොරතුරු දැනගැනීමටත් අපට භාවිතා කරන්නට සිදු වුනා.. ඔබට විශ්ව ගැන සුවිශේෂී තොරතුරක් දැන ගැනීමට අවශ්‍ය නම් මෙන්න මේ අංකයට මට කෙළින්ම කතා කරන්න. මම ඔබට සියළු විස්තර සපයන්නම්… ඔබට ඇමරිකාවට දැන්ම යන්න අවශ්‍ය නම් අපි ඒ සඳහා පහසුකම් සපයන්නම්… ඔබට වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් තිබේ නම් අපි අවශ්‍ය වීසා සියල්ල සකසා දෙන්නම්…
සාමාන්‍ය මිනිසුන්ට ඔබ මේ වගේ සැලකිල්ලක් දක්වන්නෙ නැහැ නේද ? ඇයි මේ අපට මේ වගේ සුවිශේෂී සැලකිල්ලක් ?
අවිශ්වාස කරන්න එපා… විශ්වගේ සේවා ස්ථානයෙන් තමයි අපට මේ උපදෙස් ලැබුණේ… ඒ අයට විශ්ව සුවිශේෂී පුද්ගලයෙක්… ඒ වගේ අයට අපි විශේෂ සැලකිල්ලක් දක්වනවා…
හොඳයි.. බොහොම ස්තූතියි… අපට විශ්ව බලන්නට යන්න අවශ්‍යයි… අපි තීරණයක් ගත් වහාම ඔබට දැනුම් දෙන්නම්….
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොලී නැවතත් සෙනසුරාදා උදෑසනම රෝහලට පැමිණියාය.
තවමත් වෙනසක් නැද්ද ඩොක්ට ?
නැහැ මොලී.. තවම මොළයේ සංඥා ව්‍යාකූල තත්ත්වයක තිබෙන්නෙ…. මේ රටාවන් දිහා බැලුවාම පෙනෙන්නෙ ඔහු කිසිවක් සිතමින් සිටින ආකාරයක් හෝ යමෙකු සමඟ කතා කරන ආකාරයක්. ඒ සටහන් සියල්ල බොහොම සාමාන්‍යයි. නමුත් තවමත් ඔහු පියවි සිහියට නොපැමිණියේ ඇයිද කියලා කියන්න අපට බැහැ.
මේ අනතුර නිසා මොළයට හානියක් වෙලා නැහැ කියලා හොඳටම විශ්වාසද ?
නැහැ… බය වෙන්න එපා.. අපි ලබා ගත් ස්කෑන් ඡායාරූප අනුව නම් කිසිම හානියක් වෙලා නැහැ. අපි තව ටිකක් බලමු… කිසිම දේකට බය වෙන්න දෙයක් නැහැ. මේ රෝහල ලෝකයේ හොඳම හමුදා රෝහල් වලින් එකක්.
මම විශ්වගෙ කාමරයට යන්නද ?
කමක් නැහැ… ගිහින් බලන්න… දැන් ඔහු ස්ථාවර තත්ත්වයට පත්වෙලයි ඉන්නෙ…. දැනෙන වෙනසක් නැහැ… නමුත් පියවි සිහිය ට නොපැමිණීම පිළිබඳ අපි නිතරම පරීක්ෂාවෙන් ඉන්නෙ….
ස්තුතියි..
ඇය විශ්ව සිටි කාමරය වෙත පා නැඟුවාය…
සියල්ල වෙනස් වී ඇත… මේ තමා බලාපොරොත්තු වූවක් නොවේ… ඇය බලාපොරොත්තු වූයේ විශ්ව හා එක්ව සිය පර්යේෂණය සිදු කිරීමත් ඉන් එහාට යමක් සිදුවනු ඇතිනම් ඒ සඳහා ඉඩක් ලබා දීම විනා මෙසේ ව්‍යාකූල තත්ත්වයක් නොවේ. නමුත් සියල්ල සිදු වී හමාරය.. එන දේකට මුහුණ දෙනවා හැරෙන්නට කළ හැකි යමක් නොමැත..
ඈ පසෙක වූ පුටුවෙහි අසුන්ගෙන විශ්ව දෙස බලා සිටියාය…. විශ්වගේ සැබෑ වෙනසක් ඇය දකින්නට විය… වෙනදා තිබූ පැහැපත් පෙනුම ක්‍රමයෙන් වියැකී ගොස් ඇති සෙයක් පෙනුනි. ඒ අනතුර නිසා සිදු වී ඇති වෙනසක් ලෙස ඇයට දැනුනි. කෙතරම් තර්කානුකූල බුද්ධියක් හෝ අවස්ථාවට උචිත ලෙස හැඩ ගැසීමේ පුහුණුවක් ලබා තිබුණත් තමාට සමහර හැඟීම්බර අවස්ථාවලදී ඒ හැඟීම් දරා ගත නොහැකි බව මොලීට වැටහුණි. ඇය නියපොත්තක් සපමින් කල්පනාවට බර වූවාය.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
මොකද සුමනෙ අපි කරන්නෙ ? සුමනසේකර මහත්මිය ඇගේ සැමියාගෙන් ඇසුවාය.
මොනවා කරන්නද ? අපි සුදුපුතා බලන්න යන්න ලෑස්ති වෙමු.
මමත් හිතුවෙ ඒකම තමයි… කෝකටත් අපි ලොකු හාමුදුරුවොන්ට කතා කරලා පිරිත් ටිකක් කියෙවුවොත් නරකද ?
මමත් ඒ ගැන හිතුවා… අපි කෝකටත් කියලා ලොකු හාමුදුරුවන්ට කතා කරලා බලමු..
………………………………………………………………………………….
එදින දවසම මොලී ගත කළේ විශ්වගේ ඇඳ පාමුලය… සිය ප්‍රධානියාගෙන් විටින් විට පැමිණෙන දුරකථන ඇමතුම්වලට පිළිතුරු දීමටත්, සිය සගයින්ගෙන් ලැබෙන කෙටි පණිවුඩවලට පිළිතුරු දීමටත්, පුරුද්දක් ලෙස සැමතැනම ගෙනයන අයි පෑඩය භාවිතා කර පොතක් කියවීමටත් ඇය සිය කාළය ගත කළාය.
සවස් වරුවේත් විශ්ව අසලම සිටි ඇය පිටත්ව යාමට සූදානම් වෙද්දී, අගේ අවධානය බිඳුනේ විශ්ව සිටි කාමරය වෙත සන්සුන් ගමනින් පැමිණි වොෂිංටන් බෞද්ධ විහාරාධිපති මහරගම ධම්මසාර හිමියන් ප්රමුඛ සංඝයා වහන්සේලාගේ පැමිණීම නිසාවෙනි.
උන් වහන්සේලා සමඟම පැමිණියේ එම අංශය භාර වෛද්‍යවරයාත්, වොෂිංටනයේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙකු වූ ගීතාංජන ලංකාතිලක මැතිතුමාත්ය.
සුභ සවස්යාමයක් මහත්මිය.. මම ගීතාංජන ලංකාතිලක.. වොෂිංටනයේ තානාපති කාර්යාලයෙන්…
මම මොලී… මොලී රියෝර්ඩන්… විශ්වගෙ කාර්යාලයෙ විශ්ව එක්ක එකට වැඩ කරන්නෙ…
මොලී… අපි විශ්වට පිරිත් ටිකක් සජ්ඣායනය කරන්නයි යන්නෙ… සාමාන්‍යයෙන් මෙවැනි තත්ත්වයේ සිටින පුද්ගලයෙකුට අපේ ආගමේ හැටියට පිරිත් සජ්ඣායනය මගින් සෙතක් සැලසෙන බව අප පිළිගන්නවා.. විශ්වගේ භාරකරුවනුත් අපෙන් ඉල්ලා සිටියා විශ්වට පිරිත් සජ්ඣායනය කරවන හැටියට… ඒකයි මම මේ වොෂිංටන් විහාරයේ ස්වාමීන් වහන්සේලා කැටුව ආවෙ… ඔබට කැමති නම් මෙතැන රැඳී ඉන්න පුළුවන්….
උන් වහන්සේලා පිරිත් සජ්ඣායනය පටන් ගනිත්දී මොලී පසෙක රැඳී සිටියාය…..
පිරිත් සජ්ඣායනය සිදුවන අතරතුර මොහොතකින් සියල්ල වෙනස් වන්නට විය……………….
අක්‍රමවත්ව තිබූ විශ්වගේ මොළයේ සංඥා ක්‍රමයෙන් කිසියම් රටාවකට අනුකූලව සැකසෙන්නට විය… විශ්වගේ හෘද ස්පන්දන වේගය සහ රටාව ක්‍රමවත් වන්නට විය…. ක්‍රමයෙන් සියල්ල යථා තත්ත්වයට පත් විය….
පසෙක සිටි විශේෂඥ වෛද්‍ය වරයාටද සිදු වන්නේ කුමක්දැයි යන්න වටහා ගත නොහැකි විය… පිරිත් සජ්ඣායනය කරමින් සිටි ස්වාමීන් වහන්සේලා මේ කිසිවක් නොදැන සිය සජ්ඣායනය පවත්වමින් උන්හ… අංශභාර ප්‍රධාන වෛද්‍යවරයා විශ්වගේ කාමරයට දිව ආවේ විශේෂඥ වෛද්‍යවරයාගේ ඇමතුම තමා බලාපොරොත්තුවූවක් නොවන නිසාමය…
කොහොමද මෙහෙම දෙයක් වෙන්නෙ ? මෙච්චර වෙලාවක් කිසිම දෙයකට ප්‍රතිචාරයක් දක්වපු නැති කෙනෙක් මේ ආගමික වතාවත් වලට ප්‍රතිචාර දක්වන්නෙ ? ප්‍රධාන වෛද්‍යවරයා විශේෂඥ වෛද්‍යවරයාගෙන් රහසේ විමසීය….
පිරිත් සජ්ඣායනය කරමින් සිටි මඩකුඹුරේ අත්ථදස්සි හිමියෝ වෛද්‍යවරුන් දෙපළ දෙස නෙත් කොණින් හැරී බලා හිස සැළුවේ තමා ඒ ප්‍රශ්නයට නිසි පිළිතුර දන්නා නියාවෙනි… පිරිත් සජ්ඣායනය නිම වනතුරු විශවගේ මොළයෙන් ලැබෙන සංඥා නිරීක්ෂණයටත් ඒ පිළිබඳ සැළකිළිමත් වීමටත් වෛද්‍යවරු දෙපළ වග බලා ගත්තේ තමන් නොදන්නා යම් දෙයක් අත්ථදස්සි හිමියන්ගෙන් ලැබිය හැකි බව ඔවුන්ට දැණුනු නිසාවෙනි.
නිතිපතා භාවනා කටයුතුවල යෙදෙන, භාවනාව පිළිබඳ හසළ බුද්ධියක් ඇති අත්ථදස්සි හිමියෝ බුදු දහම පිළිබඳ පමණක් නොව අන් ආගම් පිළිබඳව මනා අවබෝධයක් තිබූ හිමිනමකි. භාවනාව පමණක් නොව වෙනත් විෂයයන් පිළිබඳවද ග්රන්ථ ගණනාවක් ලියා පළ කර ඇති උන් වහන්සේ බටහිර පවා භාවනාව පිළිබඳවත්, අභිඥාන විද්‍යාව (Noetic Science) නම් බටහිරට අළුත් වූ මිනිස් සන්තානයේ අවදි නොකළ කොටස් පිළිබඳ හැදෑරීම සහ මිනිස් චිත්ත ශක්තිය පිළිබඳ හදාරන පුද්ගලයින් අතරත් දැඩි ගෞරවයට පාත්‍ර වූ හිමිනමකි. තමා කවුරුන්දැයි කිසි විටෙකත් නොම වදාරන උන් වහන්සේ කවුදැයි යන්න එම විෂයෙහි නියැලෙන පුද්ගලයින් මෙන්ම බොහෝ මනෝ වෛද්‍යවරු, ස්නායු වෛද්‍යවරු දැන සිටියහ. ස්නායු පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් සහ මහාචාර්ය වරයෙකු වන මයිකල් ගෝල්ඩ්බර්ග් මහතා අත්ථදස්සි හිමියන් දුටු සැණින් හඳුනා ගත්තේය.
පිරිත් සජ්ඣායනය අවසානයේ අත්ථදස්සි හිමියන් වෙත ගිය වෛද්‍යවරු දෙදෙන තම නැණ පමණින් ගෞරවාචාර දක්වා සිටියහ.
ස්වාමීන් වහන්සේ වොෂිංටන්වල ඉන්නවා කියලා අපි දන්නෙ දැන්…
ඔව්… මම මේ දවස්වල වැඩ ඉන්නෙ වොෂිංටන් බෞද්ධ විහාරයේ…. මේ දිනවල තමයි බෞද්ධාගමානුකූලව වස් පින්කම් තිබෙන්නෙ.. ඒ නිසා මම මාස තුනක් එක දිගට වැඩ ඉන්නෙ වොෂිංටන් විහාරයේ… මට ඔබේ සාකච්ඡාව යන්තමින් ඇසුනා… මම ඒ ගැන කතා කරන්නයි සිටියෙ ඔබත් සමඟ…….. උන් වහන්සේ පවසා සිටියහ.
ඇත්තෙන්ම අපටත් ගැටළුවක් වුනේ ඒක තමයි… මොකද කියනවා නම් රෝගියාගේ මොළයේ සංඥා සියල්ල නිරෝගී වුවත් අසාමාන්‍ය ලෙස ක්‍රියාශීලියි. ඒ වගේම සිහිය නොමැතිව සිටින කෙනෙකුගෙන් මේ වගේ ක්‍රියාශීලී සහ නිරෝගී සංඥා ලැබෙනවා අප දුටු මුල්ම අවස්ථාව මේ… ඒ නිසාම මේ සිද්ධිය අපි දැඩිව විශ්ලේෂණය කරනවා…
මේ වගේ සිදුවීම් බොහොමයක් ආසියානු රටවල වාර්තා වෙලා තිබෙනවා… ඇත්තෙන්ම අභිඥාන විද්‍යාවෙත්, පෙරදිග ආගම්වලත් සොයාගෙන තිබෙන දෙයක් තමයි මිනිස් සිතුවිලි නින්දේදී පවා ක්‍රියාත්මකව තිබෙන බව… උදාහරණයක් විදියට අපි යමක් සිතමින් නින්දට ගියොත් ඒ දේ සිහිනෙන් පෙනෙන්නෙ මෙන්න මේ මානව විඥානය නින්දේදී ක්‍රියාශීලී වන නිසා. ඔබ දන්නවා ඇති සමහර විද්‍යාඥයින් ලොව මවිත කරවන නිර්මාණ සිදු කරලා තිබෙන්නෙ සිහිනෙන් දුටු දේ පදනම් කරගෙන… මේ සිදුවීමේ එතරම් විශේෂත්වයක් මම දකින්නෙ නැහැ. අනිත් කාරණය තමයි ඔබ දුටුව සංඥාවල ඇතිවූ වෙනස… පිරිත් හරියට ගණ පිහිටුවා සජ්ඣායනය කළොත් බොහොම හොඳ ප්‍රතිඵල ලබාදෙන දෙයක්. බුදුන් කාළයේ සිට රහතන් වහන්සේලා පිරිත් දේශනා කිරීමේදී නියම ගණ පිහිටවා සිදු කරලා තිබෙනවා. නමුත් දැන් සිදු වෙන්නෙ පිරිත් දමා ගැසීමක්. මේ නිසා නියම බලය ලැබෙනවා අඩුයි… මේ පිරිත්වලින් මුලින්ම සිදු වෙන්නෙ මිනිස් සිත ඒකාග්රතාවයකට ගෙන ඒම. ඉන්පසු ශබ්ධ රටා සහ ඒ ඒ සංඛ්‍යාත වලින් රෝගියාගේ හෝ අදාල පුද්ගලයාගේ වෙනස්වීම් සිදු වෙනවා. මේවා පරමාණුක අණුක තත්ත්වයක සිට සිතුවිලි වෙනස්වීම් දක්වා විශාල පරාසයක බල පැවැත්වෙනවා. මෙය සිදු වෙන්නෙ බුද්ධාගමේ පමණක් නොවෙයි. මේ සිදුවීම් වෙනස්ව සහ අඩු වැඩි වශයෙන් වෙනත් ආගම්වල යැදීම් හෝ ස්තෝත්ර ගායනා වලදීත් සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් පල්ලියක යාඥා කිරීමේදී බොහෝ දෙනා එක් සිතිවිල්ලක සිට ඒ ඒ යාඥාව සිදු කරනවා.. මෙන්න මේ අවස්ථාවේදී ඒ එක් එක් පුද්ගලයාගෙන් විහිදෙන ශක්තිය ඒකරාශී වීමක් සිදු වෙනවා… එවිට ලැබෙන ප්‍රතිඵලය තනි පුද්ගලයෙකුගේ යාඥාවට වඩා බලවත්….
රෝගියා මේ පිරිත් සජ්ඣායනයට ප්‍රතිචාර දැක්වුවා කියලද ඔබ වහන්සෙ හිතන්නෙ ?
මහාචාර්ය මයිකල් ගෝල්ඩ්බර්ග් විමතියෙන් මෙන් හිමියන්ගෙන් විමසූවා…
විශ්වට සිහිය ලැබෙයි ද ? නැතිනම් ඔහුගේ අවයව දන්දීමට සිදු වෙයිද ?