Blog Archives

2012 ඔක්තෝබර් 19 : ඇමතිවරු බදු ගහන්නෙ මෙන්න මෙහෙමයි……. මාරයි ඈ…..


බදු ගැසීම හරිම ආතල් දෙයකි. ගසන්නට ගසන්නට ආතල් ඒ….. බදු ගැසීමෙන් ලැබෙන ප්‍රතිඵල දුටුවිට ආතල් දෙගුණ තෙගුණ වේ… බදු ගසා ඉවර වෙන විට බදු ගසන්නාට ඇතිවන ප්‍රීතිය කියා නිම කළ නොහැක… බදු ගහන විට බද්ද වදින්නේ මල්ලිලාට වුනත් ඒ බද්ද ගහනකොට ආතල් එක වැඩි අයියලාටය.. ඒ නිසා අයියලා බදු හොය හොයා ගසති. ඒ බදු ගැසිල්ලේ හැටිය. හැබැයි බදු ගසද්දී හොඳ බදු තෝරා බේරා ගෙන ගැසුවේ නැතොත් අනාතය.. පසු කළෙක ලෙඩ දෙනවාය…

බදු නන්වැදෑරුම් වේ.. හොඳ බදු, කැත බදු, කිසිම කමකට නැති බදු, ගති බදු ආදී බදු වර්ග ගණනාවකි. හොඳ බදුකාරයෝ තෝරා බේරා ගති බදු ගසති.. එවිට නම් මල්ලිලාට වැලේ වැල් නැති වේ.. සමහර විට සෑහෙන කාළයකට නැගිටින්න බැරි වෙන්න බද්ද වදී… සමහර  බදු කාරයෝ ඕන බද්දයි එපා බද්දයි හැම එකම ගසති… එවිට නම් ටික කළකින් දන්නේම නැතුව ශේප් එකේ බද්ද අයින් කර දානවා ය… අපේ කට්ටිය මාර බදු කාරයෝය.. සමහර ඇමතිලා නම් බදු ගහන්නේ නැත.. ඒ අයට බදු ගහන්න උවමනාවක් නැත.. ඒ අය බොහොම හොඳ ඇමතිලා වෙති.   විශේෂයෙන් තරුණ ඇමතිවරු හෙන බදුකාරයෝ යැයි කතාවක් පවතී.. වෙළඳ ඇමති තුමා ලොකු බද්දක් ගසන්නට ගොස් අකුලා ගන්නට වූ හැටි හැමෝටම මතකය.. ඒක ටීවී එකෙත් පෙන්නුවේය… කළකට ඉහත අපේ උසස් අධ්‍යාපන ඇමති තුමා ක්‍රීඩා ඇමති වෙලා හිටි කාළයේ කැත බද්දක් ගහන්න ගිහින් ඇණ ගත්ත හැටි ද මතකය.. සමහර බදු ගැහුවාට පසු තැන තැන චාටර් ද වෙති… ඒ නිසා බද්දක් ගැසීමේදී හරිහැටි අලගිය වැලගිය මුලගිය තැන් හොයා බලා අතීත වර්තමාන අනාගත තුන්කල් බලා බද්ද ගැසිය යුතුය.. නැතිනම් අනාතය..

අපේ ඇමති මණ්ඩලයේ ඉස්ස සුප්‍රසිද්ධම බදු කාරයා වන්නේ ඇ.නිමල් සිරිපාල මහතාය… ඒ මහතා මහ චාටර් බදු කාරයෙක් බව බොහෝ දෙනා දනිති… සෞඛ්‍ය ඇමතිව ඉන්නා කාළයේදී දොස්තර බදු ගහන්න ගිහින් හොඳ පාඩමක් ඉගෙන ගත් හැටි ද මතකය.. ඉතින් මේ මහතා දැන් ගහන්න යන බද්දත් ඒ වගේම චාටර් බද්දකි.. ඒ බොන වතුර ටිකට ගහන්න යන බද්දය… මේ බද්ද නං එසේ මෙසේ බද්දක් නොවේ.. මොකද කියනවා නම් මේ රටේ සෑහෙන ප්‍රමාණයක් මේ බද්ද ගැන ඇහැ ගහගෙන සිටින නිසාය… සමහර විට මෙය ජනාධිපතිතුමා හොඳ මිනිහා කිරීමට ගහන්න හදන බද්දක් විය හැක… මේ බද්ද ගහන්න පාර්ලිමේන්තුවට ගෙන ආ විගස ජනාධිපති තුමා එය කැන්සල් කරනවාය.. එවිට ඇ.නිමල් සිරිපාල මහතා චොර වී ජනාධිපති තුමා පොර වේ.. කොහොමද ටිකිරි මොළේ.. ?

කොහොම වුනත් වතුරට බද්දක් ගහන එක නම් මහම පවුකාර වැඩකි. එහෙම බද්දක් ගහනවා නම් වැස්ස ඇති විට එකතු වන වතුර ටික මැන ඒ සඳහා නැවත ගෙවීමක් කළ යුතුය. නැතිනම් එය අසාධාරණය. වැරදිලාවත් ගඟකින් නාන, වතුර බොන කෙනෙකුට මේ බද්ද ගහන්නේ කොහොමදැයි සළකා බැලිය යුතුය… මේ බද්ද නිසා නැවතත් එළවලු මිල, හාල් මිළ වැඩි වේ.. එවිට ඇ.නිමල් සිරිපාල මහතා ගහන බදු වල ආතල් එක එන්නේ මහජනතාවටය. හැබැයි ගමකට වැරදිලාවත් ගිය විට මේ බද්ද ගහන්න උදවු දුන් කිසිම ඇමතියෙකුට වතුර පොදක් වත් බොන්න වෙන්නේ නැත. ඒ නිසා වැරදිලාවත් ඔවුන් ගමකට යන්නේ ද නැත.

මේ බද්ද ගැසීමේ ප්‍රධාන පරමාර්ථය අනාගත පරපුර වෙනුවෙන් ජලය ඉතිරි කිරීමට ජනතාව සූදානම් කිරීම බව පැවසේ. ජලය යනු ඛණිජ තෙල් මෙන් ඉක්මනින් ක්‍ෂය වන සම්පතක් නොවේ. ජල චක්‍රය සෑම විටම ක්‍රියාත්මක වේ. ඒ නිසා ජලය පුනර්ජජනය වන සම්පතකි. කළ යුත්තේ ජල බද්දක් ගැසීම නොව ජල පෝෂක ප්‍රදේශ ආරක්‍ෂා කිරීම වේ. මෙවැනි මුග්ධ තීරණ දෙන දේශපාලනඥයින් සහ උන්ට උල්පන්දම් දෙන මැටි මෝල් නිලධාරීන් ජලය පොවා ගඟකට දැමිය යුතුය.. නමුත් බංකොලොත් ආණ්ඩුවකට මෙයට වඩා කළ හැකි දෙයක් නොමැත. මා දැනට ජීවත් වන ජර්මනියේද නොයෙක් ආකාරයේ බදු අය කෙරේ. නමුත් ජර්මන් රජය  මනා කළමණාකරණයකින් යුක්තව කටයුතු කරන නිසා ඒ බදු වල ප්‍රතිලාභ ජනතාවට හොඳින් පෙනේ.. මේ නිසා ඔවුහු කිසිදු මැසිවිල්ලක් නොමැතිව අදාල බදු ගෙවති. එයට අමතරව මේ බොහෝ බදු සිය වේතනයෙන්ම අයවෙන ආකාරයට සකස් කර තිබේ. රජය විසින් කිසිවෙකුගෙන් තමන් ගෙවිය යුතු ප්‍රමාණයට වඩා වැඩිපුර බදු අයකරගෙන ඇතිනම් වසර අවසානයේදී බදු ලේඛණගත කිරීමේදී ඔවුනට සැලකිය යුතු මුදලක් ගිණුමට බැර වේ.. මේ නිසා බොහෝ දෙනා නිසි පරිදි බදු ගෙවීම සිදු කරති.

රටක් ලෙස අප ඉදිරියට යනවිට සිදු කළ යුත්තේ වඩා කාර්යක්‍ෂමව සහ ඵලදායීව ජනතාවගේ බදු මුදල් පරිහරණය කිරීමයි. උදාහරණයක් වශයෙන් මාස තුනක් පැවති මහාචාර්ය වර්ජනය සතියෙන් විසඳුවේ නම් රටට ඇතිවන ඵලදායීතාවය ගැන ඔබටම සිතාගත හැක. විශ්ව විද්‍යාල සිසුන් මාස තුනක් නිවෙස් වලට වී සිටීමෙන් සිදු වන අපරාධය – විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ට මාස තුනක් වර්ජනය කිරීම වෙනුවෙන් ලැබෙන වේතනය – ඔවුන් වැඩිපුර වැඩ කළ යුතු බවට අණ පණත් ගෙනාවත් එය සිදු නොවන බව ඉර-හඳ සේ විශ්වාසය. මේ එක උදාහරණයක් පමණි. සමහර රජයේ ආයතනවල සිදු වන අක්‍රමිකතා- මුදල් නාස්තිය – දූෂණය – වංචා ආදිය පාලනය කළ හොත් අපට ඇති බදු ප්‍රමාණයෙන් ආණ්ඩුව ගෙන යා හැක. විභාග දෙපාර්තමේන්තුව තුන් වරක් Z අගයයන් සකස් කරනවා වෙනුවට  කාර්යක්‍ෂමව, බුද්ධිය පාවිච්චියෙන් එක වරකින් එය කළා නම් ඉතිරි වන මුදල කෙතරම් ද ? මේවා සුළු උදාහරණ පමණි.. ඔබ සැමට තම තමන්ගේ අත්දැකීම් අනුව තවත් දේ මතක් විය හැක.

ඉතින් මේ ලිං බද්දෙන් රජය නොනැවතී තවත් බදු අය කර ගැනීමට හැකි බව ඔවුනට මතක් කර දිය යුතුය. මේ ලිං බද්ද අනාගත පරපුර වෙනුවෙන් ගසන බද්දක් නම් මේ බදු නිසා ද අනාගත පරපුර ආරක්‍ෂා කර ගත හැක….

  • ඇඳ බද්ද – හැමදාම රෑට ජනතාව නිදා ගන්න යන නිසා ඇඳට නගින වාරයක් පාසා ගණන් කෙරෙන කවුන්ටරයක් ඇඳේ සවි කළ හැක. ඇඳන් හදන්නේ දැවයෙනි… ඒ දැව කැපීමෙන් අනාගතයට ගස් ඉතිරි නොවන නිසා ඇඳ බද්දක් ගැසිය යුතුය… ඇඳේ බදු ගැසීම – ඒක වෙනම කතාවකි… : ඒ අනුව ඇඳ බද්දෙන් මාර ගානක් හොයා ගත හැක.
  • ශ්වසන බද්ද – ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිටවේ. මේ නිසා අනාගත පරපුරට අවශ්‍යවන ඔක්සිජන් නැති විය හැක…
  • කකුස්සි බද්ද – සතියකට එක පාරක් හෝ ඒ පැත්තටත් යන නිසා (2500 කින් කෑ විට සිදු වන්නේ එයයි) අවම වශයෙන් කකුස්සි බද්දෙන් හොඳ ගණන් සොයා ගත හැක.
  • පඩ බද්ද – අධෝ වාතය පිටවීමේදී මීතේන් වායුව පිටවේ. මීතේන් හරිතාගාර ආචරණය ඇති කරන වායුවකි. මේ නිසා අනාගත පරපුරට විය හැකි හානි වලින් ඔවුන් වලක්වා ගැනීමට පඩ බද්දක් අය කළ යුතුය. මෙය ගණන් කිරීමට රැකියා විරහිත උපාධිධාරීන් පත් කිරීමෙන් රැකියා ප්‍රශ්නය ද විසඳා ගත හැක
  • බලු බද්ද – අතීතයේ සුද්දා ද බල්ලන්ට බදු ගැසූ නිසා සුද්දා බදු ගැසූ ලෙස බලු බද්ද ද ගැසිය හැක.
  • බේ බද්ද –  මෙය වැඩිපුරම බලපාන්නේ බේබද්දන් ටය.. දැනටමත් අම්බානට ගසන නිසා බේබද්දන්ට නම් බේ-බද්ද ගැන ගානක් නැත.
  • සද්ද බද්ද – ශබ්ධ දූෂණය තර්ජනයක් නිසාම සද්ද දානවිට බද්දක් ගැසීම කළ යුතුය. නමුත් බදු ගසන විට සද්ද පිටවන නිසා ඒ බද්ද ගැන තව දුරටත් සළකා බැලිය යුතුය.
  • වෙබ් බද්ද – දාන්න ගිහින් අකුල ගත්ත බද්දක්….

මේ ආකාරයට විවිධාකාර ලෙස බදු ගැසිය හැක… අතීතයේ රජවරු සෑහෙන බදු ගැසූ බව ලේඛණවල තිබූ බව සීයා කියා තිබුණි. ඉතින් අතීතයේ රජවරුන්ට බදු ගැසීමට හොඳ නම් අද රජවරු බදු ගැහුවාම මොකද ?

දන්නවනං තවත් බදු ගැන අනිත් අයටත් දැන ගැනීම පිණිසම කොටලා දාන්නකො.

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

ඇල්කෙමියාගේ දිනපොත දැන් Blogger.com එකෙත් තියෙනවා.

Advertisements
%d bloggers like this: