Blog Archives

ස්වභාවික වරණය මිනිස් සමාජයට බලපෑම හෙවත් මාලකට ගහලා ඕයි…


පරිසරය – සොබාදහම මහා පුදුමාකාර දෙයකි. අවශ්‍ය සියල්ලම එතැන ඇති අතර – අනවශ්‍ය සියල්ලත් එතැනම ඇත. සියල්ල සමබරව හෝ එක් පැත්තකට තරමක් බරව පවතී, කාළයකදී බරවන පැත්ත තවත් කාලයකදී සැහැල්ලු වී අනෙක් පැත්තට බර වේ. ඕනෑම දෙයක සාමාන්‍ය ස්වභාවය මෙයයි. කෑළයක මුවෝ වැඩි වන්නේ විලෝපිකයින් අඩු වන විටය. කැළයක කොටියෙකු දෙන්නෙකු සිටින විට ඉබේම මුව ජනගහනය පාලනය වේ. ඇමරිකාවේ කැළෑවල කොටි නැත. එම නිසා සෑම වසරකම දඩයම් කාලයේදී අදාල ප්‍රාන්තයේ මුව ගහණය පිලිබඳ ඇගයීමක් කර, එක් දඩයක්කරුවෙකුට දඩයම් කරගත හැකි මුවන් ගණන දක්වනු ලැබේ. අදාල මුවන් සංඛ්‍යාව දඩයම් කරගන්නා ඔවුහු, නීතියට ගරුකරමින් සහ ස්වභාදහමට ගරු කරමින් සිය කටයුත්ත නිමා කරති. ඒ විනය සහ සදාචාරයයි.

මේ ආකාරයෙන් ස්වභාවික පාලනයකට යටත් නොවන අවස්ථාවක කෘත්‍රිම පාලනයක් මගින් සොබා දහමේ සමබරතාවය තුලනය කරනු ලබයි.

මිනිස් ජනගහනය ද කිසියම් ආකාරයකට මේ අයුරින් පාලනය වුවත්, නවීන ලෝකයේ වූ පහසුකම්, රෝහල් සහ වෛද්‍ය පහසුකම්වල ඇති දියුණුව සහ ස්වභාවික විපත්වලින් සිදුවිය හැකි හානිය කල්තියා දැන ගැනීමට හැකිවීම වැනි දෑ නිසා මිනිසුන්ගේ ආයුකාලය දීර්ඝ වීම සහ මරණ අනුපාතිකය අවම වී ඇත. නමුත්, ඒ හා සමානව උපත් අනුපාතිකය අඩු නොවීම නිසා සෑම තත්පර 13 කට වතාවක්ම ලෝකයේ ජනගහනය එකකින් වැඩිවන බව සොයාගෙන ඇත.

මේ සමතුලිත තත්ත්‍වය තුළ අප සමාජයේ විවිධාකාර මිනිසුන් දැකිය හැකිය. උගතුන්, බුද්ධිමතුන්, මෙන්ම නූගත් මුග්ධ-අවිචාරවත් මිනිසුන් අනන්තවත් දැකිය හැකිය. උගතුන්ගෙන් අනූන – විනයගරුක පිරිසක් සහිත සර්ව සම්පූර්ණ සමාජයක් අපට කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකිය : බලාපොරොත්තු නොවිය යුතුය. නූගතුන් වැඩිවත්ම උගතුන්ගේ අගය ද වැඩි වේ. නූගතුන් වැඩිවත්ම උගතුන්ගේ අවශ්‍යතාවය ද වැඩි වේ. සමහර සමාජයන් උගතුන් වැඩි අතර තවත් සමහර සමාජයන්ගේ නූගතුන් වැඩි වේ. මේ උගත් – නූගත් සහ විනයගරුක – අවිචාරවත් මිනිසුන්ගේ  අනුපාතය අනුව සමාජයේ ප්‍රගමනය තීරණය වේ. සුදනන් සහ දුදනන් අතර සම්බන්ධතාවය ද මේ හා සමාන වේ.

පසුගිය වසර 30 කට ආසන්න කාළයක අප කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අත්වින්දේ යුද්ධයයි. කොටින්ම කියතොත් අප සියළුම දෙනා අඩු වැඩි වශයෙන් සිටියේ යුධ මානසිකත්‍වයකයි. දෙනෝ දාහක් ඉදිරිපිට ජනාධිපති උපදේශක කෙනෙක් සහ අධීක්‍ෂක මන්ත්‍රී කෙනෙකු වෙඩිතබා ගත්තේ (ද කියා මට නම් මතක නැත) ද, ප්‍රාදේශීය සභා සභාපති කෙනෙකු සුද්දියෙක් විසින් දූෂණය වුනේද, හිටපු ප්‍රාදේශීය සභා අතකොට සභාපති කෙනෙකු දෙනෝදාහක් ඉදිරිපිට වතු අධිකාරීවරයෙකුගෙන් මැරුම් කෑවේද, පලාබබා කෙනෙකු ගුරුවරියක් ඉදිරිපිට දණ ගැසුවේද සහ වෙනත් අනන්තවත් උදාහරණ ඇත්තේ ද මේ පශ්චාත් යුධ මානසිකත්‍වය අඩු වැඩි වශයෙන් අප තුළ ඇතිවීම නිසායි. මේ කරුණු කාරණා යුද්ධය ඇති කාළයේ ද සිදු වුවද, යුධමය ප්‍රවෘත්තිවලට වැඩිපුර අවධානයක් යොමු වීම නිසාම, මේ කරුණු යටපත්ව ගොස් තිබෙන්නට ඇති බව මගේ හැඟීමයි. කෙසේ වුවත්, යුද්ධය නිමාවීමත් සමඟම මේ කරුණු දැන් දැන් ඉස්මතු වීමට පටන්ගෙන තිබෙනවා.

අප මොන දහම අනුගමනය කළත් සොබා දහමේ ඇත්තේ සමබරතාවය පිළිබඳ නීතියයි. එනම් ධන-ඍණ නීතියයි. සෑම ක්‍රියාවකටම සමාන හෝ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇතැයි නිවුටන් සොයා ගන්නට පෙර එය සොයා ගත්තේ පැරණි ඍෂීවරුන් විසිනි, ඒ සොබාදහම නිරීක්‍ෂණය කිරීමෙනි. ද්විත්වභාවය නොහොත් Duality යන්නෙන් හඳුන්වන්නේ එයයි. කෙසේ වුවත්, හොඳ සහ නරක අඩු වැඩි වශයෙන් සමාජයේ තිබිය යුතුය. විභාගයක සමතුන් තීරණය වන්නේ අසමතුන් ඇති විට පමණයි. ප්‍රගමනය වන සමාජයක උගතා – දක්‍ෂයා ඉදිරියට යා යුතුය. සමාජයේ යහ පැවැත්ම තීරණය වන්නේ හොඳ වැඩි වූ විටය. නරක වැඩි වූ විට සිදු වන දේ දැන් දැන් අපට අප රටේදීත්, වෙනත් රටවලදීත් හොඳින්ම පෙනෙන්නට ඇත. සතුන්ට සිතිය නොහැකි නිසාම – උන් ස්වභාවික වරණය මගින් පාළනය වේ. බලවතා විසින් දුබලයා සිය ග්‍රහණයට නතු කරගැනීම – ආහාරයට ගැනීම සිදු වේ. එසේම – බලවතුන් වැඩි වන්නට වැඩි වන්නට උන් උන් අතර සිදුවන සටනින් ඒ අවස්ථාවේ වඩාත්ම බලවතා ජය ගනී.

කෙසේ වුවත් බොහෝ විට මිනිසා බුද්ධිමත් (යැයි කියන) නිසාම, මේ ස්වභාවික වරණය  කිසියම් ආකාරයකට මැඬපැවැත්වී ඇත. නූතන සමාජයේද බලවත් විසින් දුබලයා පාගා දැමීම සිදු වුවත්, නීතිය – යම් තාක් දුරට හෝ ක්‍රියාත්මක වන විට දුබලයාට යම් සහනයක් ලබා ගැනීමේ හැකියාවක් ඇත. මෙය සභ්‍ය සමාජයක ලක්‍ෂණයයි. කෙසේ වුවත් බලවතාට නීතිය එක ආකාරයකිනුත් දුබලයාට තවත් ආකාරයකිනුත් ක්‍රියාත්මක වීම අද දැකිය හැකි ලක්‍ෂණයක් වීම නීතියේ ආධිපත්‍යයට එල්ලවන ප්‍රධාන අභියෝගයයි. එය ද අප හොඳින්ම අත්දැක්කෙමු.

නමුත්, කවදා හෝ මේ තත්ත්‍වය වෙනස් විය යුතුය – වෙනස් වීමට ඉඩ ඇත. ලෝකයේ බොහෝ බලවත් රාජ්‍යයන් බිඳ වැටුනේ නොසිතූ ආකාරයටය. එක්කෝ සිවිල් යුද්ධයකින්, එක්කෝ කුමන්ත්‍රණයකින්, නැතහොත් නායක කාරකාදීන්ගේ ස්වභාවික/අස්වාභාවික මරණයන්ගෙන්, පිටරට ආක්‍රමණයන්ගෙන්, ස්වභාවික විපතකින්, ආදී මෙකී නොකී කිසියම් ආකාරයකින් මේ ආධිපත්‍යයන් බිඳ වැටිය හැක. සමතුලිතව- සමබරව පවතින තාක්කල් එම පද්ධතියේ ශක්තිය අවමව පවතී. අවම ශක්තියක පවතින පද්ධතියක් ස්ථායීතාවයෙන් වැඩි වේ. අසමතුලිතතාවය කෘත්‍රිමව පාලනය කළ හැකි සීමාවක් තිබේ. ඒ පද්ධතියට දරාගත හැකි ශක්තිය ඉක්මවා යනතෙක් පමණි.

ගොරකා ගසට හෙණ ගසා ඇත. එය පැණි වරකා ගසක් නොවීම නිසා බොහෝ දෙනෙකු ඇත්තෙන්ම හිත යටින් සතුටු වන බව පෙනේ. එය ලියා රඟ දැක්වූ නාටකයක්දැයි අප තවමත් නොදනිමු. මේවායේ යටි අරුත් එළියට වන්නේ බොහෝ කළකට පසුව නිසා මේ සිදුවීම සිදු වූයේ ඇයිදැයි තවමත් අවසාන නිගමනයකට පැමිණීම මෝඩකමකි. නමුත් මෙයින් සමාජයට වැදගත් පණිවුඩයක් දී තිබේ.

ස්වභාවික වරණයේ විලෝමය

ස්වභාවික වරණයේ විලෝමය

මේ පණිවුඩය භයානකය. අපට නොව – ඉහළ වැජඹෙන්නන්ටය.

2012 සැප්තැම්බර් 19 : ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමාට නිවන් සුව පතමු………


ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමා.

අපේ රටේ ප්‍රසිද්ධම පුද්ගලයා කවුද ඇහුවොත් කතා දෙකක් නැතිව කියන්න පුළුවන් ප්‍රසිද්ධම පුද්ගලයා ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමා කියලා. ඒ මැතිතුමා ප්‍රසිද්ධ වෙන්න හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි ඒ මැතිතුමා යකෙකුටවත් බය නැති වීම… අඩු ගානෙ ජනාධිපතිතුමාටවත් බය නෑනෙ මේ මනුස්සයා… ඉතිං කවර කතාද ? කාලි අම්මටවත් බය නෑනෙ… අර මුන්නේෂ්වරම් දේවාලෙ කාලි අම්මට පූජ කරන්න තිබුණ එළුවො ටික නෙ ඒ මැතිතුමා බය නැතිව ගිහින් බේරගෙන ආවෙ… ඒකෙන්ම තේරෙනවා ඒ මැතිතුමා යකෙකුටවත් බය නැති බව…

දෙවනි කාරණේ තමයි ඒ මැතිතුමාගෙ කලා රිට… වැරදුනා… කලා කුසලතාවය. බලන්න…. සිංදු කියන්නද, සිංදු වර්ණනා කරන්නද, නැටුම් අගය කරන්නද, කුක්කු අගය කරන්නද, ආදී වශයෙන් විවිධාකාර කලා කුසලතාවයන්ගෙන් අගතැන්පත් මේ මැතිතුමා සත්තකින්ම මුළු ඇමති මණ්ඩලයටම ආදර්ශයක්… තමන් කරන දේ කෙසේ වෙතත් වෙනත් දේ ගැන බොහොම කුසලතාවයක් තිබීම…

තෙවැන්න තමයි ඒ මැතිතුමාගෙ නිර්ලෝභී දාන පාරමිතාව… දවස ගානේ රුපියල් පනස් දාහක් ගානෙ පන්සල් වලට පූජ කරන්න කාටද පුළුවන්… මම හිතන්නෙ අනේපිඬු සිටුතුමා හිටියත් කරන්න බැරි දෙයක් තමයි ඒක…. ඒ නිසා ඒ උත්තමයා ඒ පැත්තෙනුත් ප්‍රසිද්ධ වෙනවා.

අනිත් කාරණේ තමයි රට පුරා අච්චර මිනී මරණ භයානකම ඩෙංගු මදුරුවා ඒ මැතිතුමා ඉස්සරහ දණ ගහපු එක… අපි හැමෝම බය ඩෙංගු මදුරුවා වගේ අසමජ්ජාති නරුමයෙක් අර බුදු හාමුදුරුවන්ගෙ ඉදිරියෙ දණ ගහපු නාලාගිරි හස්තියා දණ ගහනවා වගේ දණ ගැස්සෙවුවා කියන්නෙ ආයෙ සුළු පටු දෙයක්ද ?

පස්වැන්න… කසාද බඳින දවසෙ ඇරෙන්න මොන මිනිහද තමන්ගෙ කැමැත්තෙන් බැඳගන්නෙ… අර කාණු සුද්ද කළේ නැති සමෘද්ධි නියාමකයෙකුගෙ හිත, මර්වින් සිල්වා මැතිතුමාගෙ අසාමාන්‍ය අධිමානසික බලය යොදාගෙන තමන් විසින්ම ගහේ බැඳෙන්න සලස්වන එක වගේ ප්‍රාතිහාර්යයක් පාන්න අඩුම ගානෙ අච්චර සෝවාන් වෙලා ඉන්න පිටිදූවෙ සිරිධම්ම හාමුදුරුවන්ටවත් පුළුවන්ද ? වඳුරඹ මෛත්‍රී බුදුහාමුදුරුවන්ට වත් පුළුවන් ද ? බෑනෙ…

තව ඉවර නෑ ලිස්ට් එක…

ඊලඟට රට වටේ සෙල්ලම් දාන සිරසට කැළණියෙ පස් පාගන්න නොදී තමන්ගෙ මාධ්‍ය ආවරණය කරන්න ආපු වෙලේදිම අර මයික් එක බිම දාලා පාගපු වික්‍රමය… බලන්න… සිරස වගේ සංවිධානයක් එක්ක හැප්පෙන්න එතුමට තියෙන ගට… ඒ විතරක්ද ? ඒ ගට ඇවිත් තියෙන්නෙ තමන්ගෙ දුටු ගැමුණු පරම්පරාවෙන් කියලා අතීතය දක්නා නුවණ භාවිතා කරලා සොයා ගත්ත අපූරුව…

එහෙම හොයා ගත්තා විතරක් නම් මදෑ… ඒ පිළිබඳ තැනුන ඓතිහාසික නිර්මාණයෙ එම චරිතයටම එතුමා පත්වෙච්චි එක… මම නම හිතන්නෙ දෛවෝපගත සිද්ධියක් කියලයි….

ඒ විතරක් නෙවෙයි.. එතුමා අලි රෑණක් මැදට වන් සිංහයෙක් වගේ රූපවාහිනී සංස්ථාව ඇතුලට තනියම ගිහින් ඒකෙ හිටපු දාහක් පමණ දෙනාට විරුද්ධව තනියම යුද්ධ ප්‍රකාශ කරලා එක ලේ බිඳක් හලා නොගෙන ආපු අපූරුව… මතක් වෙන්නෙ දුටු ගැමුණු රජතුමා විජිතපුර බලකොටුව ආක්‍රමණය කළා වගේ..

බුද්ධිය අතිනුත් ඒ මැතිතුමා කිසිවෙකුට දෙවැනි නැහැ.. දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඇති එතුමාගේ හසළ දැණුමට ගෞරව කරනු වස් එතුමට ලැබුණ ආචාර්ය උපාධිය මේ රටේ එවැන්නෙකුට ලැබුණ පළමු උපාධිය… අපේ රටට ඒ වගේ බුද්ධිමතුන් වාසනා කරන්න ඕන…

ඉතින් මේ මැතිතුමාගෙ ගුණ කඳ අනන්තයි… අප්‍රමාණයි…. ඒ ගුණ කඳට තවත් මැණිකක් අද එකතු වෙලා කියලා පත්තරේක තිබුණාම මගෙ හිත වාවන්නෙ නැතුව ගියා…

ඒ තමයි ඒ මැතිතුමා මේ ආත්මයේ කළ දෑ සම්පූර්ණ කරගෙන දැන් ලබන ආත්මය වෙනුවෙන් කටයුතු කරනවා කියලා… මෙන්න බොරු නම් පත්තරේ විස්තරේ මෙතැනින් බලන්න

He also mentioned that he is getting ready for the comforts of the afterlife and that he has already completed the requirements to go there and that when he or his son cracks the skull of another person, it will not interfere with his progress.

ඇත්තෙන්ම මේ මැති තුමාගේ ප්‍රාර්ථනා ඉක්මනින්ම ඉටු වෙන්න කියලා මට සිතුනා.. ඇයි මේ ගුණ කඳ අපිව දාලා යන්න හදන්නෙ ? මම හිතන්නෙ එතුමා මේ බව දැනගෙනම තමයි රුවන්වැලි සෑයෙ හුණු පිරියම කෙරෙව්වෙත්…. අර මඛාදේව රජතුමා නර කෙසක් දැකලා වනගත වුනා වගේ මම හිතන්නෙ මර්වින් සිල්වා මැති තුමත් කවද හරි වනගත වේවි..

ඉතින් බලන්න….. මේ වගේ  පරාර්ථකාමීව, උපේක්‍ෂා සහගතව සිතන කෙනෙක් දැකලා තියෙනවාද ? ඒ වගේ ප්‍රාර්ථනා කරන කෙනෙකු වෙනුවෙන් අපිත හැමෝම එකතු වෙලා එතුමා ඉක්මනින්ම ඒ තමන් පතන තැනට යන්න කියලා ප්‍රාර්ථනා කළොත් නරකද ? අර පිරිත්, යාඥා, යාග හෝම, වැනි බොහෝ දෙනෙක් එකට එකතු වෙලා ප්‍රාර්ථනා කරන දේවල් වල චිත්ත බලවේගයන් එකට එකතු වෙලා ශක්තියක් විදියට ක්‍රියා කරලා ඒ ප්‍රාර්ථනා හරි යනවා කියලා කතාවක් තියෙන්නෙ….

අන්න ඒ වගේ අපි ඔක්කොම එකතු වෙලා ඒ මැතිතුමාගෙ ප්‍රාර්ථනාව හරි යන්න කියලා පතමු…. මම හිතන්නෙ අපට ගොඩක් කට්ටිය එකතු වෙයි….. මුළු රටේම ජනතාවගෙ පැතුම එතුමගෙ ප්‍රාර්ථනාව ඉක්මනින් සඵල වෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක කියලයි මට තේරෙන්නෙ….

ඉතින්… එතුමාට ඉක්මනින්ම නිවන් සැප ලැබේවා ! කියලා අපි පතමු…..

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

ඉතිං දැන් අපේ දේශද්‍රෝහියො මට බනියි ඒ මහත්තයා මරන් කන්න හදනවා කියලා….. මම කියපු කතාවක් නෙවෙයි මේක… ඒ මහත්මයා මයි ලබන ආත්මෙට වැඩ කරනවා කියලා පත්තරේට කියලා තියෙන්නෙ.. මාව අල්ලගන්න එපා …. ඔය පත්තරේට ලියපු පත්තරකාරයව අල්ලගන්න….

හොඳේ……………………………… ඇහුනයි…………………………

%d bloggers like this: