Blog Archives

ස්වභාවික වරණය මිනිස් සමාජයට බලපෑම හෙවත් මාලකට ගහලා ඕයි…


පරිසරය – සොබාදහම මහා පුදුමාකාර දෙයකි. අවශ්‍ය සියල්ලම එතැන ඇති අතර – අනවශ්‍ය සියල්ලත් එතැනම ඇත. සියල්ල සමබරව හෝ එක් පැත්තකට තරමක් බරව පවතී, කාළයකදී බරවන පැත්ත තවත් කාලයකදී සැහැල්ලු වී අනෙක් පැත්තට බර වේ. ඕනෑම දෙයක සාමාන්‍ය ස්වභාවය මෙයයි. කෑළයක මුවෝ වැඩි වන්නේ විලෝපිකයින් අඩු වන විටය. කැළයක කොටියෙකු දෙන්නෙකු සිටින විට ඉබේම මුව ජනගහනය පාලනය වේ. ඇමරිකාවේ කැළෑවල කොටි නැත. එම නිසා සෑම වසරකම දඩයම් කාලයේදී අදාල ප්‍රාන්තයේ මුව ගහණය පිලිබඳ ඇගයීමක් කර, එක් දඩයක්කරුවෙකුට දඩයම් කරගත හැකි මුවන් ගණන දක්වනු ලැබේ. අදාල මුවන් සංඛ්‍යාව දඩයම් කරගන්නා ඔවුහු, නීතියට ගරුකරමින් සහ ස්වභාදහමට ගරු කරමින් සිය කටයුත්ත නිමා කරති. ඒ විනය සහ සදාචාරයයි.

මේ ආකාරයෙන් ස්වභාවික පාලනයකට යටත් නොවන අවස්ථාවක කෘත්‍රිම පාලනයක් මගින් සොබා දහමේ සමබරතාවය තුලනය කරනු ලබයි.

මිනිස් ජනගහනය ද කිසියම් ආකාරයකට මේ අයුරින් පාලනය වුවත්, නවීන ලෝකයේ වූ පහසුකම්, රෝහල් සහ වෛද්‍ය පහසුකම්වල ඇති දියුණුව සහ ස්වභාවික විපත්වලින් සිදුවිය හැකි හානිය කල්තියා දැන ගැනීමට හැකිවීම වැනි දෑ නිසා මිනිසුන්ගේ ආයුකාලය දීර්ඝ වීම සහ මරණ අනුපාතිකය අවම වී ඇත. නමුත්, ඒ හා සමානව උපත් අනුපාතිකය අඩු නොවීම නිසා සෑම තත්පර 13 කට වතාවක්ම ලෝකයේ ජනගහනය එකකින් වැඩිවන බව සොයාගෙන ඇත.

මේ සමතුලිත තත්ත්‍වය තුළ අප සමාජයේ විවිධාකාර මිනිසුන් දැකිය හැකිය. උගතුන්, බුද්ධිමතුන්, මෙන්ම නූගත් මුග්ධ-අවිචාරවත් මිනිසුන් අනන්තවත් දැකිය හැකිය. උගතුන්ගෙන් අනූන – විනයගරුක පිරිසක් සහිත සර්ව සම්පූර්ණ සමාජයක් අපට කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකිය : බලාපොරොත්තු නොවිය යුතුය. නූගතුන් වැඩිවත්ම උගතුන්ගේ අගය ද වැඩි වේ. නූගතුන් වැඩිවත්ම උගතුන්ගේ අවශ්‍යතාවය ද වැඩි වේ. සමහර සමාජයන් උගතුන් වැඩි අතර තවත් සමහර සමාජයන්ගේ නූගතුන් වැඩි වේ. මේ උගත් – නූගත් සහ විනයගරුක – අවිචාරවත් මිනිසුන්ගේ  අනුපාතය අනුව සමාජයේ ප්‍රගමනය තීරණය වේ. සුදනන් සහ දුදනන් අතර සම්බන්ධතාවය ද මේ හා සමාන වේ.

පසුගිය වසර 30 කට ආසන්න කාළයක අප කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අත්වින්දේ යුද්ධයයි. කොටින්ම කියතොත් අප සියළුම දෙනා අඩු වැඩි වශයෙන් සිටියේ යුධ මානසිකත්‍වයකයි. දෙනෝ දාහක් ඉදිරිපිට ජනාධිපති උපදේශක කෙනෙක් සහ අධීක්‍ෂක මන්ත්‍රී කෙනෙකු වෙඩිතබා ගත්තේ (ද කියා මට නම් මතක නැත) ද, ප්‍රාදේශීය සභා සභාපති කෙනෙකු සුද්දියෙක් විසින් දූෂණය වුනේද, හිටපු ප්‍රාදේශීය සභා අතකොට සභාපති කෙනෙකු දෙනෝදාහක් ඉදිරිපිට වතු අධිකාරීවරයෙකුගෙන් මැරුම් කෑවේද, පලාබබා කෙනෙකු ගුරුවරියක් ඉදිරිපිට දණ ගැසුවේද සහ වෙනත් අනන්තවත් උදාහරණ ඇත්තේ ද මේ පශ්චාත් යුධ මානසිකත්‍වය අඩු වැඩි වශයෙන් අප තුළ ඇතිවීම නිසායි. මේ කරුණු කාරණා යුද්ධය ඇති කාළයේ ද සිදු වුවද, යුධමය ප්‍රවෘත්තිවලට වැඩිපුර අවධානයක් යොමු වීම නිසාම, මේ කරුණු යටපත්ව ගොස් තිබෙන්නට ඇති බව මගේ හැඟීමයි. කෙසේ වුවත්, යුද්ධය නිමාවීමත් සමඟම මේ කරුණු දැන් දැන් ඉස්මතු වීමට පටන්ගෙන තිබෙනවා.

අප මොන දහම අනුගමනය කළත් සොබා දහමේ ඇත්තේ සමබරතාවය පිළිබඳ නීතියයි. එනම් ධන-ඍණ නීතියයි. සෑම ක්‍රියාවකටම සමාන හෝ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇතැයි නිවුටන් සොයා ගන්නට පෙර එය සොයා ගත්තේ පැරණි ඍෂීවරුන් විසිනි, ඒ සොබාදහම නිරීක්‍ෂණය කිරීමෙනි. ද්විත්වභාවය නොහොත් Duality යන්නෙන් හඳුන්වන්නේ එයයි. කෙසේ වුවත්, හොඳ සහ නරක අඩු වැඩි වශයෙන් සමාජයේ තිබිය යුතුය. විභාගයක සමතුන් තීරණය වන්නේ අසමතුන් ඇති විට පමණයි. ප්‍රගමනය වන සමාජයක උගතා – දක්‍ෂයා ඉදිරියට යා යුතුය. සමාජයේ යහ පැවැත්ම තීරණය වන්නේ හොඳ වැඩි වූ විටය. නරක වැඩි වූ විට සිදු වන දේ දැන් දැන් අපට අප රටේදීත්, වෙනත් රටවලදීත් හොඳින්ම පෙනෙන්නට ඇත. සතුන්ට සිතිය නොහැකි නිසාම – උන් ස්වභාවික වරණය මගින් පාළනය වේ. බලවතා විසින් දුබලයා සිය ග්‍රහණයට නතු කරගැනීම – ආහාරයට ගැනීම සිදු වේ. එසේම – බලවතුන් වැඩි වන්නට වැඩි වන්නට උන් උන් අතර සිදුවන සටනින් ඒ අවස්ථාවේ වඩාත්ම බලවතා ජය ගනී.

කෙසේ වුවත් බොහෝ විට මිනිසා බුද්ධිමත් (යැයි කියන) නිසාම, මේ ස්වභාවික වරණය  කිසියම් ආකාරයකට මැඬපැවැත්වී ඇත. නූතන සමාජයේද බලවත් විසින් දුබලයා පාගා දැමීම සිදු වුවත්, නීතිය – යම් තාක් දුරට හෝ ක්‍රියාත්මක වන විට දුබලයාට යම් සහනයක් ලබා ගැනීමේ හැකියාවක් ඇත. මෙය සභ්‍ය සමාජයක ලක්‍ෂණයයි. කෙසේ වුවත් බලවතාට නීතිය එක ආකාරයකිනුත් දුබලයාට තවත් ආකාරයකිනුත් ක්‍රියාත්මක වීම අද දැකිය හැකි ලක්‍ෂණයක් වීම නීතියේ ආධිපත්‍යයට එල්ලවන ප්‍රධාන අභියෝගයයි. එය ද අප හොඳින්ම අත්දැක්කෙමු.

නමුත්, කවදා හෝ මේ තත්ත්‍වය වෙනස් විය යුතුය – වෙනස් වීමට ඉඩ ඇත. ලෝකයේ බොහෝ බලවත් රාජ්‍යයන් බිඳ වැටුනේ නොසිතූ ආකාරයටය. එක්කෝ සිවිල් යුද්ධයකින්, එක්කෝ කුමන්ත්‍රණයකින්, නැතහොත් නායක කාරකාදීන්ගේ ස්වභාවික/අස්වාභාවික මරණයන්ගෙන්, පිටරට ආක්‍රමණයන්ගෙන්, ස්වභාවික විපතකින්, ආදී මෙකී නොකී කිසියම් ආකාරයකින් මේ ආධිපත්‍යයන් බිඳ වැටිය හැක. සමතුලිතව- සමබරව පවතින තාක්කල් එම පද්ධතියේ ශක්තිය අවමව පවතී. අවම ශක්තියක පවතින පද්ධතියක් ස්ථායීතාවයෙන් වැඩි වේ. අසමතුලිතතාවය කෘත්‍රිමව පාලනය කළ හැකි සීමාවක් තිබේ. ඒ පද්ධතියට දරාගත හැකි ශක්තිය ඉක්මවා යනතෙක් පමණි.

ගොරකා ගසට හෙණ ගසා ඇත. එය පැණි වරකා ගසක් නොවීම නිසා බොහෝ දෙනෙකු ඇත්තෙන්ම හිත යටින් සතුටු වන බව පෙනේ. එය ලියා රඟ දැක්වූ නාටකයක්දැයි අප තවමත් නොදනිමු. මේවායේ යටි අරුත් එළියට වන්නේ බොහෝ කළකට පසුව නිසා මේ සිදුවීම සිදු වූයේ ඇයිදැයි තවමත් අවසාන නිගමනයකට පැමිණීම මෝඩකමකි. නමුත් මෙයින් සමාජයට වැදගත් පණිවුඩයක් දී තිබේ.

ස්වභාවික වරණයේ විලෝමය

ස්වභාවික වරණයේ විලෝමය

මේ පණිවුඩය භයානකය. අපට නොව – ඉහළ වැජඹෙන්නන්ටය.

%d bloggers like this: