Blog Archives

2013 ජනවාරි 28 : කට වරද්දා ගත්තොත් ?………………..


හොඳට නරකට දෙකට කටමය කියලා පැරැණ්නෝ කියලා තියෙන්නෙ අරුත් කිහිපයක් ඇතුවයි. කතා කිරීමේදී කට පාලනය කර නොගත්තොත් සිද්ධ වෙන්නෙ එක්කෝ දත් නැතුව බත් කන්න, නැතිනම් දතුත් එක්කම බත් ගිලින්න…… එහෙමත් නැතිනම් දැන් කාළයට අනුව ජීවිතයෙන්ම වන්දි ගෙවන්න…. ඒ එක පැත්තක්.. අනෙක් පැත්තෙන් අපි ගන්න ආහාර වර්ග පාලනය… දකින දකින දේ, අතර අහුවෙන අහුවෙන දේ කෑවොත් අපට මොකද වෙන්නෙ ?

කොහොම වුනත් දිවයින ඉරිදා පුවත්පතේ වූ මෙන්න මේ පුවත දැකීමෙන් මට මේ ලිපිය ලියන්න සිතුනා. ඇත්තෙන්ම පුදුමයට පත් වුනා. මේ ලිපිය ඉදිරියේ පළ වන ලිපි පෙළක ආරම්භය පමණයි… මේ ලිපි පෙළ පළවනතුරු මම බොහොම උනන්දුවෙන් බලා ඉන්නවා… මොකද කියනවා නම් මේ වගේ රැඩිකල් අදහසක හොඳ – නරක බලන්න වෙන්නෙ ඒ ලිපි පෙළම කියවලා අවසාන වුනාට පස්සෙයි… සමහරවිට හොඳ වෙන්න පුළුවන්… ඒත්……..

බුලිත ප්‍රදීප් කුමාර විසින් ලියූ මේ වටිනා ලිපියෙන් කියැවෙන මූලික කරුණු කිහිපයක් විග්‍රහ කිරීමට මම කැමතියි.

“එබඳු විශේෂඥ දැනුමක්‌ ඇති පෝෂණ වේදියෙක්‌ පසුගිය දිනක මා හා කතාබහ කළේය. මෙම ලිපිය ලියන්නට මා යොමුකළ ආසන්නම හේතුව වුණේ එයයි. ඒ සඳහා ඔහු හරි අපූරු කාරණා රැසක්‌ මා පුදුමයට පත්කරවමින් මා ඉදිරියේ තබනු ලැබුවේය. 

බිත්තරවල කොලස්‌ටරෝල් නෑ… බය නැතුව කන්න. අද ලාබෙටම ප්‍රෝටීන් ලබාගන්නා මග තිබෙන්නේ බිත්තර වල විතරයි… ඔහු කීවේය.

බිත්තරවල කොලෙස්ටරෝල් නැද්ද ? 

8ef4a9165db4ab55305e8978e599578fසාමාන්‍ය බිත්තරයක කොලෙස්ටරෝල් මිලි ග්‍රෑම් 186 ක් පමණ ඇති බවයි බටහිර ජීව රසායන විද්‍යාව අනුව  සොයාගෙන තිබෙන්නෙ… ඒ කහමදයෙයි… සුදු මදයේ කොලෙස්ටරෝල් නැහැ.. සාමාන්‍ය නිරෝගී මිනිසෙකුට දිනකට කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 300 ක් අඩංගු ආහාර අනුභවයට ගත හැකියි… නමුත් බිත්තර අධිකව ආහාරයට ගැනීම හෘද රෝගවලට අතවැනීමක් බව බටහිර විද්‍යාවේ මතයක්… ඒ එසේ වුවත් අනෙක් පැත්තෙන් බිත්තරවල මේ කියන කිසිම අගුණයක් නැති බවත් පැවසෙනවා. මේ ලිපිය බලන්න. එසේම ඇමරිකානු ආහාර හා ඖෂධ අධිකාරිය පවසන්නෙත් බිත්තරව නිසි පරිදි ආහාරයට ගැනීමෙන් කොලෙස්ටරෝල් වැඩි නොවන බවක්.. පෙරදිග විද්‍යාව මෙයට වඩා වෙනස්… ආහාර සමබලව ලබා ගැනීමෙන් සහ කොලෙස්ටරෝල් නසන ආහාර සමඟ කොලෙස්ටරෝල් ඇති ආහාර සමබර කිරීමෙන් බිත්තර වුවත් ආහාරයට ගත හැකියි. එසේම මේ කුමන ආහාරය ගත්තත් නිසි ව්‍යායාමයක හෝ ඇඟ වෙහෙසා කෙරෙන කටයුත්තක නිරත නොවන්නේ නම් අද කාළයේ දින චර්යාව අනුව රෝගවලට ගොදුරු වීමේ හැකියාව වැඩියි..

කුරක්‌කන් පිටි වලට වඩා හාල්පිටි හොඳයි….

කුරුට්‌ට නැත්නම් රතුසුදු කියා භේදයක්‌ නැහැ. මොන හාලත් අගුණයි.

මේ වාක්‍ය දෙකෙහි සම්බන්ධතාවය කුමක්ද ? පිටි වශයෙන් ගත් කළ හාල්පිටි කුරක්කන්පිටි ගුණ බවත්, කුරුට්ට නැතිනම් හාල්  අගුණ බවත් හෙතෙම පවසනවා.. මෑතක් වනතුරුම කුරක්කන්පිටිවල ඇති ගුණ පිළිබඳ බහුලව කතා කෙරුණා. දියවැඩියා රෝගීන් මෙන්ම හෘද රෝගීන්ටත් ආහාර සැකසීමේදී කුරක්කන් පිටි භාවිතා කරන ලෙස අනන්තවත් වෛද්‍ය උපදෙස් වලින් අසන්නට දකින්නට කියවන්නට ලැබුණා. හාල්වල කුරුට්ටේ අධික විටමින් ප්‍රමාණයක්, තන්තු ප්‍රමාණයක්, සහ පෝෂණගුණයක් අඩංගු බව සැම දෙනාම දන්නා කරුණක්. ඒ නිසාම තමයි කැකුළුහාල් ආහාරයට ගැනීම ප්‍රචලිත කරන්නෙ…  නමුත් හාල් අගුණ වෙලා පිටි ගුණවත් වෙන්නෙ කොහොමද කියා මම දැනගන්නත් කැමතියි.

කුකුළු මස්‌ ගැහැණු දරුවන්ට අගුණයි කියන්නේ මිත්‍යාවක්‌.

කුකුළුමස් නිසි පරිදි සැකසෙනවා නම් කිසිදු අගුණක් නැතුව ඇති. නමුත් දැන් කුකුළුමස් සඳහා කුකුළන් ඇති කිරීමේදී උන් ඇතිකරන්නේ දැඩි ලෙස ඇසිරුණ කූඩු තුළ කිසිදු වාතාශ්‍රයක්, කිසිදු චලනයක් නොමැතිව, එසේම ඔවුන් ඉක්මනින් විශාල වීම සඳහා අධික හෝමෝන ප්‍රමාණයක් සහිත ආහාර ලබා දෙනවා. මේ නිසාම ඔවුන් ඉතා ඉක්මනින් වැඩෙනවා. කුකුළුමස් සැකසීමේදී අධික උෂ්ණත්‍වයකදී මේ හෝමෝන සහ බෙහෙත් වර්ග විනාශ වී යා හැකි බවට මතයක් ඇතත්, එය කෙතරම් සත්‍යද කියන්න සොයා බැලිය යුතු වෙනවා. නමුත් දැන් දැන් අසන්නට දකින්නට ලැබෙන කරුණක් නම් දැනට වසර විස්සකට පෙර ගැහැණු දරුවකු වැඩිවිය පැමිණීමේ සාමාන්‍ය වයස වූ අවුරුදු 13-15 ත් අතර කාළය අවුරුදු 11-12 අතර කාළය දක්වා පහළ ගොස් ඇති බවයි. (මේ සඳහා පැහැදිලි දත්ත මා සතුව නැතත්, ලංකාවේ වෙසෙන මගේම ඥාතීන් සහ මිතුරු මිතුරියන්ගේ අත්දැකීම් ඇසුරෙන් මේ වයස ප්‍රමාණය ගණන් බැලූ බව සලකන්න)

කොහොම වෙතත් අධික කුකුළුමස් අනුභවය ශරීරයටත් පසුම්බියටත් අහිතකර බව නොකියාම බැහැ…

මේ ආහාර පිළිබඳ මගේ දැනීමෙන් ලියැවුන ලිපියක්… නමුත් මට වඩා මේ ගැන දන්න බොහෝ දෙනා මේ ලිපි කියවන බව මා දන්නවා.. මේ කරුණු සඳහා  පක්‍ෂව හෝ විපක්‍ෂව ඕනෑම කරුණක් ප්‍රතිචාර වශයෙන් දැක්වීමට ඔබට අයිතිය තිබෙනවා. එය ලිපියට අදාල නම් නොපමාව එය පළ කෙරෙනවා ඇති.

“බෝ නොවන රෝග වලට ජනතාව ගොදුරුවන්නේ ආහාරමය සාධක නිසාය යන කාරණය ඔහු බැහැර කළේය. ආහාරමය සාධකය බලපාන්නේ සියයට 25 ක්‌ 30 ක්‌ අතර පමණක්‌ බව කීවේය.”

කෙසේ වුවත් දුම්පානය පෙනහළු පිළිකාවලට හේතුවක් නොවන්නේ යැයි ප්‍රසිද්ධියේ පවසන්නට දුම්වැටි සමාගම්වලින් මුදල් ලබාගත් වෛද්‍යවරුන් බටහිර රටවලින් පවා වාර්තා වෙන කාළයේ මේ සුප්‍රසිද්ධ පෝෂණවේදියාගේ රැඩිකල් ප්‍රකාශ මොනවාද යන්න මා නම් හොඳින් ඇසගසාගෙන සිටිනවා. අවසාන වශයෙන් කියන්නට ඇත්තේ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය යන්න පමණයි. ඒ ලිපි සියල්ල පළ වූ පසු මේ ලිපියේ පසු විපරම ඔබට දැනගන්නට ලැබේවි… අපි බලමු ඒ විද්වතාගේ මතය කුමක්ද කියලා…

ඒත් ? ඊට පෙර… ඔබේ මතය කුමක්ද ?

Advertisements

2012 ඔක්තෝබර් 27 : ජීවිතය හරිම කටුකයි…… මේක ඇත්තමද ?


අවුරුදු 20ක්ම රසායන විද්‍යාව එක්ක හැප්පිච්ච මට ලෝකය පුරාම විවිධාකාර පුද්ගලයින් ඇසුරු කිරීමේ භාග්‍යය උදා වුන එක ඇත්තෙන්ම ලොකු අත්දැකීමක්. එක කාළයක් මම ලංකාවෙ සේවය කරන අතරෙ එතැනට ගෙන ආපු හිරකාරයන් සමඟ කතා කරන්නත් “භාග්‍යය” ලැබුවා. එහෙම කිවුවෙ ඒ මිනිස්සුන්ගෙ ජීවිත තුළට එබිලා බලන්න පුළුවන් තරමේ සංවාදයන් ඇති කර ගන්න පුළුවන්කම ලැබුණා. තවත් වෙලාවක සමාගම් අධ්‍යක්‍ෂක ලා, සමාගම් අයිතිකරුවන් වැනි ඉතාම ඉහළ තනතුරු දරන සමාජයේ සාර්ථක පුද්ගලයින් සමඟ ඇසුරු කරන්නත් ලැබුණා. එසේම අවුරුදු පහේ කුඩා දරුවන් මෙන්ම රසායන විද්‍යාවේ පරතෙරට ගිය මහාචාර්යවරුන්ගේ සමාගමය ලබන්නත් මට භාග්‍යය ලැබුණා. ඒ වගේම මේ අන්ත දෙක අතරේ ජීවත් වෙන බොහෝ දෙනා ඇසුරු කිරීමේ වාසනාව ලැබුණා. ඒ හැම කෙනෙක්ම එකිනෙකාගෙන් වෙනස්. ඒ නිසාම මගේ ජීවිතය අත්දැකීම් අතින් මට හරිම වැදගත්. නමුත් පරිපූර්ණ නැහැ… තවත් බොහෝ දේ ඉගෙනගන්න තිබෙනවා. මේ අතරෙ මට හමු වූ  ආචාර්ය උපාධිය හදාරන විශ්ව විද්‍යාල සිසු සිසුවියන් ගණන (දේශීය සහ විදේශීය ) අති විශාලයි. ඊට අමතරව නිතර නිතර මුහුණු පොතේ චැට් කරන, ඊ මේල් වලින් සම්බන්ධතා පවත්වාගෙන යන සිසු සිසුවියන් ගණනත් බොහොමයි. මේ සියළුම දෙනා වයස 20-30 අතර පරතරයෙ තරුණ තරුණියො… ඉඳලා හිටලා මම වගේ නාකි හම්පඩ වෙච්ච අයත් කතා කරනවා.

මේ කතා කරන සමහර කෙනෙක්ගෙ ජීවිතය බොහෝ වෙලාවට කටුක අත්දැකීම් වලින් පිරිච්ච ජීවිත, සමහරු ජීවත් වෙන්නෙ බොහොම අමාරුවෙන්. තවත් සමහරු තමන්ගෙ ජීවිතය ගෙන යා යුත්තෙ මොන දිශාවටද කියලා තීරණය කරගන්න බැරුව ඉන්න අය. බොහෝ විට මගෙන් උපදේශ බලාපොරොත්තුවෙන් මා වෙත පැමිණෙන්නෙ අවුරුදු 21-29 අතරෙ සිටින තරුණියන්… ඇයිද කියන්න මම දන්නෙ නෑ.. දැනගත්තත් ප්‍රසිද්ධියෙ කියන්නෙත් නෑ.. නමුත්, මේ සියළුම දෙනාගෙ සමානතාවය තමයි ඔවුන් නිතරම කියන්නෙ Life Really Sucks,.. !

ඉතින් මේක ඇත්තද ? ජීවිතය ගැන බොහෝ දාර්ශනිකයෝ බොහෝ ආගම් ශාස්තෘවරු, විවිධාකාර දේ පවසලා තිබෙනවා. අපිට අන්තර්ජාලයේ සැරිසැරුවොත් මේ වගේ කියමන් කෝටි ගණනක් හොයා ගන්න පුළුවන්.  ජීවිතය කියන්නෙ යුද්ධයකින් පටන් අරන් යුද්ධයකින් අවසන් වෙන දෙයක්… දරුවෙක් පිළිසිඳ ගන්නම දෙමාපියන් ලොකු යුද්ධයක් කරන්න ඕන.. සෑහෙන දාඩිය මහන්සියක් දාගෙන ලොකු  කැලරි ප්‍රමාණයක් දවන්න ඕන කාර්යයක්. සමහරුන්ට දරුවන් අවශ්‍ය වුනත් ඒක ඒ ආකාරයට සිදු වෙන්නෙ නැහැ. ඒ නිසාම සෑහෙන මුදල් ප්‍රමාණයක් වියදම් කරලා – වෛද්‍යවරු හමු වෙලා ලොකු සටනක් දීලා තමයි දරුවෙක් පිලිසිඳුවා ගන්න තත්ත්‍වයට පැමිණෙන්නෙ. (තවත් සමහරුන්ට නං පැදුර පෑගුණත් ඇති) ඒ යුද්ධෙන් පස්සෙ ශුක්‍රාණුවක් ඩිම්බයක් සමඟ සංසේචනය වීම තමයි ලෝකයේ ලොකුම තරඟය. ඔබ තරඟ කරලා තිබෙන්නෙ ඔබේ සහෝදර සහෝදරියන් කෝටි ගණනක් සමඟයි. එහෙම යුද්ධයකින් පස්සෙ තමයි ඔබ – ඔබ බවට පත් වෙන්නෙ. ඒ වගේම මාස නවයක් අඳුරු කුටීරයක් තුළ ඔබ ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන කාළයේ ඔබේ දෙමාපියෝ වෙනම යුද්ධයක් කරනවා ඔබව පෝෂණය කරවන්න – ජීවත් කරවන්න.. ඔබ ලෝකයට බිහි වෙන්නෙ යුද්ධයක් කරලා. ඔබේ මුහුණ චප්ප කරගෙන, ඔළුව බිත්තරයක් වගේ.. කැතම කැතයි. ඇඟ රැලි වැටිලා.. ඒ යුද්ධෙන් පස්සෙ ඔබේ ජීවිතය ගත කරන හැම තත්පරයකම ඔබටත් ඔබ අවට සිටින අයටත් ලොකු යුද්ධයක්. ඔබ මේ තරම් දුර ජීවත් වුන එකත් ලොකු ජයග්‍රහණයක්. ඉතින් මේ යුද්ධ සියල්ල අවසන ඔබ මේ ලෝකයෙන් සමුගෙන යාමත් යුද්ධයක්. සමහරවිට ඔබ යුද්ධයක් මධ්‍යයේම මියෙන්න පුළුවනි. නැතිනම් බොහොම සාමකාමීව මිය යාවි. ඒ කුමක් වුනත් ඔබේ සමුගැන්ම අනිත් අයට යුද්ධයක්. ඉතිං කවුද කියන්නෙ ජීවිතයම යුද්ධයක් නොවේය කියලා. ?

මේ යුද්ධයේ විවිධාකාර අවස්ථාවල විවිධාකාර අත්දැකීම් වලට අපට මුහුණ දෙන්න සිදු වෙනවා. සමහර දේවල් බොහොම වින්දනීයයි, ආදරණීයයි. නමුත් හැම දේම එහෙම නෑ.. සමහර දේවල් කටුකයි.. අන්තයටම කටුකයි.. අන්න ඒ වෙලාවට මිනිසුන් වශයෙන් අපේ වින්දනීය අත්දැකීම් සියල්ල යටපත් කරගෙන අපේ දුක්ඛදායක අත්දැකීම් එලීයට එනවා. එතකොට අපිට හිතෙනවා ජීවිතය හරිම කටුකයි කියලා. නමුත් ඔබ අර වින්දනීය අත්දැකීම් මොහොතකින් අමතක කරනවා. ඒ අපේ හැටි. මමත් එහෙමයි. කාට වුනත් කරපු හොඳ දේවල් – සිදු වුන හොඳ දේවල් මතක නෑ… නිතරම මතක් වෙන්නෙ වැරැද්දක්, සිදු නොවු දෙයක්… ඒක මිනිස් ස්වභාවය.

කෙනෙක්ගෙ ජීවිතය හැම තිස්සෙම කටුක වෙන්න පුළුවන්ද ? එහෙම වෙන්නෙ ඇයි (I don’t know why !) ?  ඒ පුද්ගලයා නිසි ලෙස හිතන්නෙ – ජීවිතය සැලසුම් කරන්නෙ නැති නිසාද ? එහෙමත් නැතිනම් තමන්ගෙ හැකියාවට වඩා අනවශ්‍ය බලාපොරොත්තු තබාගෙන (දොඩංගොඩ බදාගෙන) හැම දේම කරන්න යන නිසාද ? නැතිනම් වැරදි අවස්ථාවේ වැරදි තැන ඉන්න නිසාද ? මේ සියල්ලෙම එකතුවක්ද ?

සමහරු ජීවිතය හොඳින් සැලසුම් කරනවා.. තවත් සමහරු ආවේගශීලීව තීරණ ගන්නවා. උදාහරණයක් වශයෙන් කෙනෙක් උසස් පෙළ අසමත් නම් තවත් බලන්න දෙයක් නෑ මම රැකියාවක් කරනවා කියලා කුමක් හෝ රැකියාවකට යනවා. නමුත් ඔහුට තවත් වතාවන් දෙකක් ඉතිරිව තිබෙනවා තමන්ගෙ දෛවය උරගා බලන්න… සමහර විට ඔහු දෙවන වතාවෙ හොඳින් සමත් වෙන්නට ඉඩ තිබෙන්න පුළුවනි. ඒත් ඒ වැඩ කරන හැටියට… මගේ ජීවිතය බොහෝ අවස්ථාවලදි මම ගනිපු තීරණ නිසාම වෙනස් පැති වලට ගොස් තිබෙනවා. ඒ බොහොමයක් හොඳ පැති. මෝඩ වැඩ නං අනන්තවත් කරලා තිබෙනවා.. ඒ ගැන කතා නොකරන තරමට හොඳයි… හැබැයි ඔබට වැරදුනාම සහ ඔබ අවුල් වී ඇති වෙලාවක ඔබට උපදෙස් දෙන්න -ඔබට කතා කරන්න කෙනෙක් හෝ කණ්ඩායමක් ඉන්නවා නම් ඔබේ බර සැහැල්ලු වෙනවා. ඔබේ දෙමාපියො ඔබට යන්න පුළුවන් පළමු සහාය කණ්ඩායමයි (Support group) ඔවුන් සතු අත්දැකීම්, ජීවිතය පිළිබඳ දැනුම අති විශාලයි.. තවමත් මට ප්‍රශ්නයක් ආවම මම ඉස්සෙල්ලම කතා කරන්නෙ තාත්තට – ඊලඟට කමල් බාප්පට.. ඔවුන්ගෙන් මට හරියන විසඳුමක් අනිවාර්යයෙන්ම ලැබෙනවා.

මටත් සමහර දවසට වැඩ ඉවර වෙලා රෑ සීතලේ කිලෝ මීටර දෙකක් පයින් කන්දක් බඩ ගානකොට හිතෙනවා Life Sucks කියලා… නමුත් ඊලඟ මොහොතෙ  හිතෙන්නෙ, මට රැකියාවක් තියෙනවා, බාව බලාපොරොත්තුවෙන් ඉන්න ජීවිත දෙකක් තියෙනවා. දෙමාපියො, නෑදෑයො, මිත්‍රයො රාශියක් ඉන්නවා. මීටත් වඩා තවත් කුමක්ද ? මෙච්චරවත් නැති මිනිස්සු, මීට වඩා ප්‍රශ්න තියෙන කීදෙනෙක් ඇත්ද ? කියලා.. ඉතින් අපට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු කොච්චර ඇද්ද ?

ඉතිං ඔබ කොහොමද යමක් සැලසුම් කරන්නෙ ? ඔබ පළමු සැලසුම වැරදුනොත්, දෙවන සැලසුමක්, තෙවන සැලසුමක් (Plan B,C,D)  ඔබට තිබෙනවද ? ඔබට වැරදුනොත් ඔබට උපදෙස් ගන්න කවුරුවත් ඉන්නවද ? නැතිනම් ඔබ ඔබේ ප්‍රශ්න තියාගෙන විඳවනවද ?

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මේ කතාවම Blogger.com එකෙත් තියෙනවා. ඉංගිරිසියෙන් කියවන්න කැමති අයට Alchemist’s Laboratory

2011 ජනවාරි 12 : වසර 2020 දී ඔබ කොහේද ? ඔබම තීරණය කරන්න….


අද බදාදා: අද අන්තර් දෙපාර්තමේන්තු වොලිබෝල් තරඟාවලියේ තවත් තරඟයක් පැවැත්වෙන දිනය. ගිය සතියේ අසනිපව සිටි නිසා යන්න බැරි වුනා. අද ගියාමයි තේරුණේ වැඩේ.

Free Radicals නමින් හැඳින්වුන අපේ කණ්ඩායමට මහාචාර්යවරු තිදෙනෙක්, පර්යේශකයන් දෙදෙනෙක්, තාක්‍ෂණික නිලධාරීන් දෙදෙනෙක්, දෙපාර්තමේන්තුවේ ලේකම්වරියක්, සහ කාන්තා වොලිබෝල් කණ්ඩායමේ විශ්‍රාමලත් පුහුණුකාරිණිය (වයස අවු 67යි ) ඇතුලත්ව තිබුණා. අනෙක් කණ්ඩායම ඉංජිනේරු පීඨයේ කණ්ඩායම: බොහොම කඩිසර එහෙත් අපේ වගේම සංයුතියකින් සමන්විත වුන, කණ්ඩායමක්. වට තුනක තරඟයෙන් 2: 1 ලෙස අප ජයග්‍රහණය කළේ දැඩි තරඟයක් දීලා. සියළුම තරඟ වට ලකුණු 26 ඉක්මවා සම සමව ගොස් සියුම් ලෙස ජයග්‍රහණය කළ වටයන්. අවසානයේ සෑම දෙනාම සතුටින් අතට අත දී විසිර ගියා. කිසිදු තරහක් මරහක්, හොර කිරීමක්, නැතිව ඉතා හොඳට තරඟය පැවැත්වුනා.

ලංකාවේ පෞද්ගලික ආයතනවලත් මෙවැනි තරඟාවලි සම්පාදනය කෙරෙනවා. නමුත් රාජ්‍ය අංශයේ මෙසේ වනවා දැයි මම නම් දන්නේ නැහැ. එසේම රාජ්‍ය අංශයේ සේවකයන්ට ව්‍යායාම කිරීමේ පහසුකම් සලස්වනවා ද යන්නත් කොතැනකවත් සඳහන් වන්නේ නැහැ.  විශ්‍රාම ගිය වයස ඉක්මවා ගිය අයත් මෙසේ ක්‍රීඩා කිරීම නම් ලංකාවේ සිදුවන්නේම නැහැ.

දැන් ලංකාවේ මිනිසුන් බොහොමයක් ඇඟ හොර වෙච්චි උදවිය. ඇඟපත හොලවලා වැඩ කරන්න කම්මැලියි. ගෙදර ආ ගමන්ම රූපවාහානිය ඉස්සරහට වෙලා ඉඳලා නිදාගන්නවා….  ඒ නිසාම, හෘද රෝග, දියවැඩියාව, ආදී නොයෙකුත් රෝග අඩුවයසෙන්ම වැළඳෙනවා. සථුලතාවයත් එන්න එන්නම රට ආක්‍රමණය කරනවා. මෑතකදී මම දැක්කා ලංකාවේ පළමු බර අඩු කිරීමේ ශල්‍යකර්මය (Weight Loss surgery) සිදු කළා කියලා. ඇත්ත වශයෙන්ම දාගැබ්, වැව් බැඳපු මුතුන් මිත්තන් හිටිය අපේ රටට මෙය ලැජ්ජා වෙන්න ඕන කාරණයක්.  අපි මේ කොහේද යන්නේ ? වසර 2020 වන විට ලංකාවේ ජනගහනයෙන් 50% ක් දියවැඩියා රෝගීන් වන බවට ගණන් බලා තිබෙනවා. ඔබත් ඒ ගොන්නට වැටෙනවාද කියා සිතා බලන්න…

ඔබට තෝරා ගතහැකි මාර්ග තුනක් තිබෙනවා. එක්කෝ 2020 වන්නට පෙර මිය යා හැකියි. එසේත් නැතිනම් දැන්ම නිසි ලෙස ආහාර පාලනයකර, නිසි ලෙස ව්‍යායාම කර නිරෝගී 50% ට අයත් වෙන්නට පුළුවන්, එසේත් නැතිනම් ඔබේ මෙම ජීවන රටාවම ගෙනගොස් 2020 දී දියවැඩියාව, හෘදරෝග වැළඳුන 50% ට එක්වන්නට ඔබටත් පුළුවන්…..

තීරණය ඔබේ අතේ….

%d bloggers like this: