Blog Archives

ඇස්බැස්ටස් දෙස ඇස් ඇරලා බලන්න


Asbastos

රජය විසින් මෑතකදී ඇස්බැස්ටෝස්  තහනම් කරන්නට යෙදුනා. මේ නිසා එය පාවිච්චි කරන මහජනතාව වගේම ඇස්බැස්ටෝස්  ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කරන සහ වෙලඳාම් කරන අයට මහත් අපහසුතාවයකට මුහුණ පාන්නට සිදු වෙනවා. කෙසේ වුවත් මේ තහනමට සමගාමීව වෙනත් ආදේශකයක් නිර්ණය වී නැහැ. ඇත්තෙන්ම ඇස්බැස්ටෝස්  අනතුරුදායකද ? එසේ අනතුරුදායකනම් එය සිදු වන්නේ කෙසේද ? අපට එය වලක්වා ගන්නට නොහැකිද ?

ඇස්බැස්ටෝස්  යන නම මූලිකව පැමිණුනේ ගිණිනොගන්නා යන සමාන පදයක් වූ ග්‍රීක වදනක් ආශ්‍රයෙන්. මෙය අවුරුදු 4500 කට එහා කාළයේ සිට පැවතුනක්. රෝමන්වරු ධනවත් මියගිය පුද්ගලයින් ඔතා ඔවුන් ගිණි තැබීමට ඇස්බැස්ටොස් වලින් සැකසූ රෙදි පාවිච්චි කළ බවට තොරතුරු තිබෙනවා. එසේ සිදු කරන්නේ මියගිය අයගේ අළු, දැව අළු හෝ වෙනත් දෑ සමග මුසු වීම වලකාලීමට බව ඉතිහාසයේ සඳහන්. රෝමයේ පළමු අධිරාජ්‍යයා වන Charlemagne (800–814) විසින් ඇස්බැස්ටෝස් රෙදිවලින් සැකසූ මේස රෙද්දක් භාවිතා කළ බව සඳහන්, ධනවත් පර්සියානුවන් එවැනි රෙදි ගින්නට දමා පිරිසිදු කර සිය අමුත්තන් පුදුම කළ බව ඉපැරණි වාර්තා සාක්‍ෂි දරනවා. නැගෙනහිර ෆින්ලන්තයේ Juorjävi නම් විල ආශ්‍රිතව සොයාගත් පෞරාණික භාණ්ඩ වලින් පෙනීගොස් ඇත්තේ ඔවුන් සිය වලං වැනි දෑ ශක්තිමත් කිරීමට ඇස්බැස්ටෝස් කෙඳි භාවිතා කර ඇති බවයි. පසුව මාර්කෝ පෝලෝ පවා ඇස්බැස්ටෝස් වල ඇති සුවිශේෂී ගුණ හඳුනාගෙන එවැනි රෙදි සැකසූ බව ඉතිහාසයේ සඳහන් වනවා. කෙසේ වුවත් ඇස්බැස්ටෝස් මහා පරිමාණව කැණීම් ආරම්භ වූයේ 19 වන ශතවර්ෂයේදී යි. මේවා සුවිශේෂ භෞතික ගුණවලින් සමන්විත ලවණ විශේෂයක්. ඒවා අතර ශබ්ධ අවශෝෂණය, ඉහළ ආතතියකට ඔරොත්තු දීමේ හැකියාව, මිලෙන් අඩු වීම සහ ගින්නට, තාපයට, සහ විදුලියට දක්වන ප්‍රතිරෝධීතාවය වැනි දෑ ප්‍රබලව සැලෙකෙනවා. මේ නිසාම ඒවා උදුන් වලට භාවිතා කරන වයර් ආවරණය කිරීමට සහ ගොඩනැගිලි පරිවාරණයට භාවිතා කරනවා. ඇස්බැස්ටෝස්  ගින්නට හෝ තාපයට ඔරොත්තු දෙන සේ සකසන විට ඒවා සිමෙන්ති සමග මිශ්‍ර කිරීම හෝ රෙදි-නැතහොත් පැදුරු වැනි දෑ විවීම සිදු කරනවා. මෙවැනි වාසිදායක ගතිගුණ නිසා ඇස්බැස්ටෝස්  බහුලව භාවිතා වුවත් 20 වන සියවසේදී එහි ඇති සෞඛ්‍යමය හානිදායක තත්ත්‍වයන් නිසා ලොව පුරා ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයේ සහ ගිණි ආරක්‍ෂණ ද්‍රව්‍ය සැකසීමේදී භාවිතයෙන් ඉවත් කළා.

ඇස්බැස්ටෝස්  තන්තු දීර්ඝකාලීන ආශ්වාසය නිසා පෙනහළු පිළිකා,Mesothelioma නම් පෙනහළු පටක ආශ්‍රිත පිළිකාවන් සහ ඇස්බැස්ටෝසිස් නම් නියුමෝනියා තත්ත්‍වය ඇති වීමට පුළුවනි. මේ සියල්ල මාරාන්තිකයි. ඇස්බැස්ටෝස්  පිළිබඳ මේ තත්ත්‍වයන් කරලියට ආවේ 1920-30 ගණන්වල වුනත්, 1980-90 පමණ වන තෙක් විශේෂ නීතිමය පද්ධතියක් සැකසුනේ නැහැ. නමුත් ඒ වනවිට ලොව බොහෝ රටවල් ඇස්බැස්ටෝස්  සිය ඉදිකිරීම් කටයුතු වලින් ඈත් කිරීමට පටන් ගත්තා. ඒ අනුව බොහොමයක් රටවල් ඇස්බැස්ටෝස්  තහනම් කිරීමට කටයුතු කළේ මේ කාළයේදීයි. ඇස්බැස්ටෝස්  ආශ්‍රිත රෝග කෙතරම් දරුණු වුවත්, ලෝකයේ බොහෝ දෙනා, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල තවමත් ඇස්බැස්ටෝස්  බහුලව භාවිතා වනවා.

ඇස්බැස්ටෝස්  යනුවෙන් පොදුවේ හඳුන්වන්නේ ස්වභාවිකව පවතින සිලිකේට් ඛණිජ වර්ග හයක එකතුවකටයි. මේවා අයත් වන්නේ Serpentine නම් ඇම්ෆිබෝල් (Amphibole) ඛණිජ සමූහයටයි. එසේම මේ ඛණිජ වර්ග හයම මානව පිළිකා කාරක ද්‍රව්‍ය ලෙස හඳුනාගෙන තිබෙනව‍ා. මේ බොහොමයක් ඛණිජ ඇලුමිනියම්, සිලිකන්, මැග්නීසියම්, සෝඩියම්, කැල්සියම් සහ යකඩ යන මූලද්‍රව්‍ය වල  ඔක්සයිඩ වලින් සමන්විතයි. මේ විවිධ මූලද්‍රව්‍යවල විවිධාකාර සැකසීම් නිසා සහ ඒවායේ සාන්‍ද්‍රණය අනුව ඒ ඒ ඛණිජ විවිධ වර්ණය ගන්නවා.

ඇස්බැස්ටෝස්  වලට නම ලැබී ඇත්තේ ලවණ වල ඇති තන්තුමය ස්ඵටිකමය ස්වභාවය නිසායි. මෙම ස්ඵටික සාමාන්‍යයෙන් ඉතාම තියුණු තන්තු ස්වභාවයක් ගනු ලබනවා. මේ තන්තු එහි විෂ්කම්භය මෙන් 20 ගුණයක දිගකින් යුක්තයි. මෙම තන්තු පියවි ඇසට දැකගතහැකි වුවත්, ඒවා ඇත්තෙන්ම ඊටත් වඩා කුඩා ක්‍ෂුද්‍ර තන්තු මිලියන ගණනකින් සමන්විතයි. මේ සියුම් ක්‍ෂුද්‍ර තන්තු සමහරවිට ඝර්ෂණයකදී, කැපීමකදී, පීරිගෑමක දී වැනි අවස්ථාවක පරිසරයට මුදා හැරෙන්නට පුළුවනි. මේ ඇස්බැස්ටෝස් වල ඇති ස්ඵටිකවල වර්ණය අනුව ඇස්බැස්ටෝස් නිල්, දුඹුරු, සුදු, සහ කොළ ඇස්බැස්ටෝස් ලෙස නම් කෙරෙනවා.

ඇස්බැස්ටෝස් විෂවීම බොහෝ දෙනා සිතන පරිදි ක්‍ෂණිකව සිදු වන්නක් නොවෙයි. ඕනෑම රසායන ද්‍රව්‍යයක්, හෝ විෂක් ශරීර ගතවීම දෙආකාරයකින් සිදු වනවා. ඉතා කුඩා ප්‍රමාණයක් දීර්ඝ කාළයක් තිස්සේ ශරීර ගතවීම නිදන්ගත (Chronic) තත්ත්‍වයක් ලෙසින් හඳුන්වන්නට පුළුවනි. මෙවිට ශරීරයේ රෝග ලක්‍ෂණ පෙන්වීමට සමහරවිට අවුරුදු 10 ක් හෝ 20කටත් වැඩි ගණනක් ගත වන්නට පුළුවනි. මෙයට හොඳම උදාහරණය වන්නේ රජරට වකුගඩු රෝගයයි. ආසනික්, කැඩ්මියම්, ග්ලයිෆොසේට් හෝ වෙනත් කිසියම් හෝ කරුණක් නිසා ශරීරයේ එකතු වන ද්‍රව්‍යයක බලපෑමෙන් දීර්ඝ කාලීනව සිදුවන බලපෑමක් නිසා වකුගඩු රෝගී තත්ත්‍වය ඇති වීමයි. අනෙක් ක්‍රමය වන්නේ ඉතා ඉහළ සාන්‍ද්‍රණයකින් යුතු රසායන ද්‍රව්‍යයක් ඉතා කෙටි කාළයක් තුළ ශරීරගත වීම නිසා සිදුවන ක්‍ෂණික මරණය හෝ අනතුරුදායක තත්ත්‍වයක් (Acute). මේ ක්‍රම දෙක අතරින් ඇස්බැස්ටෝස් විෂවීම සිදු වන්නේ දීර්ඝකාලීනවයි. එය සමහරවිට අවුරුදු 10 ක් හෝ 40 ක් වන්නට පුළුවනි. මෙම තත්ත්‍වය ඇස්බැස්ටෝසිස් (Asbestosis) යනුවෙන් හඳුන්වනවා. මෙහිදී සිදු වන්නේ ඇස්බැස්ටෝස් කෙඳි දීර්ඝකාලීන ආශ්වාසය නිසා පෙනහළුවල පටකවලට සිදුවන හානියයි. මෙසේ හානි වන පටක පසුකාලීනව පිළිකා තත්ත්‍වයන් දක්වා දුරදිග යා හැකියි.

මෙම කාරණයේ දෙපැත්තක් තිබෙනවා. ඇස්බැස්ටෝස් තහඩු හෝ වෙනත් දෑ වලින් ඇස්බැස්ටෝස් කෙඳි ගැලවී නොයන තාක්, ඇස්බැස්ටෝස් කිසිවෙකුගේ සෞඛ්‍යයට තර්ජනයක් වන්නේ නැහැ. ඇස්බැස්ටෝස් ශරීරයට හානිදායක වන්නේ විශේෂයෙන්ම ඒ හා සම්බන්ධව වැඩ කරන පෙදරේරුවන්ට වැනි පුද්ගලයන්ට සහ එවැනි කටයුතු කරන අවස්ථාවේ ඒ අවට සිටින පුද්ගලයන්ටයි. සමහරවිට ඇස්බැස්ටෝස් තහඩු තරමක් ඝණ තීන්ත ආවරණයකින් වසා තැබුවහොත් මේ ක්‍ෂුද්‍ර තන්තු පරිසරයට එක් වීමේ හැකියාවක් නැහැ. මේ නිසා ඇත්තෙන්ම හොඳින් තීන්ත පිරියම් කළ ඇස්බැස්ටෝස් තහඩු සෙවිළි කළ වහලයක් යට සිටින පුද්ගලයෙකුගේ සෞඛ්‍යමය අවදානම ඉතා පහළ තත්ත්‍වයකයි පවතින්නේ. ඒ ගැන බිය විය යුතු නැති බව ඉතා වගකීමෙන් සඳහන් කළ හැකියි.

නමුත් කෙනෙකු ඇස්බැස්ටෝස් ආශ්‍රිතව කැපීම්, ඉදිකිරීම් ආදිය සිදු කරන්නේ නම්, ඒ පුද්ගලයාට සහ ඒ අවට සිටින්නවුන්ට මේ ඇස්බැස්ටෝස් ක්‍ෂුද්‍ර කෙඳි ආඝ්‍රාණය වීමේ හැකියාව ඉහළයි. විශේෂයෙන්ම මේ කෙඳි පියවි ඇසට නොපෙනෙන නිසා සහ වායුගෝලයේ ඉතා විශාල පරාසයක පැතිර යා හැකි නිසා මේ අවදානම අධිකයි. මෙන්න මේ නිසා බොහෝ රටවල් දැන් ඇස්බැස්ටෝස් තහනමකට ලක් කර තිබෙනවා. එසේම ඇස්බැස්ටෝස් ආශ්‍රිත ද්‍රව්‍ය වලින් තැනූ ගොඩනැගිලි පවා වසා දමා තිබෙනවා. ජර්මනියේ ලුඩ්විග්ෂ්හාෆන් නගරයේ වූ BASF ආයතනයේ සුවිසල් ගොඩනැඟිල්ල දැලකින් වසා දමා ඇත්තේ එහි ඇති ඇස්බැස්ටෝස් ප්‍රමාණය අධික වීම නිසා. එය කඩා බිඳ දැමුවහොත් මුළු නගරයම ඇස්බැස්ටෝස් දුමාරයෙන් දූෂිත වන නිසා ඉතා කුඩා සිදුරු ඇති දැලකින් එම ගොඩනැගිල්ල වසා දමා තිබෙනවා.

රටවල් බොහොමයක් ඇස්බැස්ටෝස් තහනම් කළත් 2009 වසරේ දත්තයන්ට අනුව ලෝකයේ ඇස්බැස්ටෝස් නිශ්පාදනයෙන් 9% ක් සිදු කර ඇත්තේ කැනඩාවයි. නමුත් 2011 වනවිට කැනඩාව සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය නවතා දැමුවා. 2015 වනවිට ලොව පුරා ඇස්බැස්ටෝස් ටොන් මිලියන දෙකක නිෂ්පාදනයක් සිදු වූයේ 55% ක්ම රුසියාවෙන්, 20% ක් චීනයෙන්, 15.6% ක් බ්‍රසීලයෙන් සහ 10.8% ක ප්‍රමාණයක් කසකස්ථානයේ නිපැයුම් ආශ්‍රයෙන්. ඇස්බැස්ටෝස් කාර්මික කටයුතු සඳහා කැණීම ආරම්භ වූයේ කැනඩාවේ 1878 වර්ෂයේදී, එසේම එය කෙතරම් වර්ධනය වූවාද කිව හොත් 1895 වනවිට එය සම්පූර්ණයෙන්ම යාන්ත්‍රිකව සිදු කෙරුණා. 19 වන සියවස වනවටම ඇස්බැස්ටෝස් ඉතා පුළුල් පරාසයක භාණ්ඩ නිපදවීම කෙරෙහි යොදා ගත්තා. ගින්නට ඔරොත්තු දෙන තීන්ත වර්ග, කොන්ක්‍රීට්, ගඩොල්, උදුන් සඳහා යොදා ගන්නා පයිප්ප සහ ගඩොල්, ගින්නට-තාපයට-සහ අම්ලවලට ප්‍රතිරෝධයක් දක්වන අමතර කොටස්, පයිප්ප සහ සිවිලිං පරිවාරක ලෙස, බිමට, වහලට, එලිමහන් ගෘහභාණ්ඩ, බ්‍රේක් පෑඩ් ආදී නොයෙකුත් දේ සඳහා ඇස්බැස්ටෝස් යොදා ගැනුනා. වසර ගණනාවකට පෙර එක්සත් රාජධානියේ ඇස්බැස්ටෝස් තහනම් කර තිබුණත්, 2011 වනවිටත් එහි නිවෙස් වලින් 50% ක ප්‍රමාණයක ඇස්බැස්ටෝස් වලින් සැකසූ උපාංග ඇතුලත්ව තිබුණා. ජපානයේ ඇස්බැස්ටෝස් භාවිතා වූයේ වෙනස් අන්දමකටයි. ඇස්බැස්ටෝස් වල වූ අමුද්‍රව්‍ය භාවිතයෙන් ඔවුන් වී වගාවට අවශ්‍ය ඇමෝනියම් සල්ෆේට් නිෂ්පාදනයට යොදා ගත්තා. මෙයට අමතරව බලශක්තිය සකසුරුවමින් පාවිච්චි කිරීමට සීලිං, බිත්ති සහ බිමට තාප පරිවාරකයක් ලෙසින් ඇස්බැස්ටෝස් යොදා ගත්තා.

1899 තරම් ඈත කාලයකදී වෛද්‍ය මොන්ටේගු මරේ විසින් ඇස්බැස්ටෝස් වල වූ විවිධ සෞඛ්‍යමය ගැටළු අවබෝධ කර ගත්තා. ඇස්බැස්ටෝස් නිසා සිදු වූ පළමු මරණය 1906 දී වාර්තා වූවා. 1900 මුල්භාගයේදී ඇස්බැස්ටෝස් කැණීම් සිදු වූ ප්‍රදේශ වල මිනිසුන් විශාල  වශයෙන් විවිධ පෙනහළු ආබාධ වලින් පෙළිම සහ මියයාම සිදු වීම නිරීක්‍ෂණය කළ වෛද්‍ය මරේ විසින් එසේ මියගිය අයගේ පෙනහළු විශ්ලේෂණය කිරීමේදී පෙනී ගියේ ඔවුන්ගේ පෙනහළු ඉතා විශාල වශයෙන් තුවාල වී සහ විනාශ වී ගොස් ඇති බව සහ ඇස්බැස්ටෝස් තැන්පත්ව තිබූ බවයි. ඒ අනුව එක්සත් රාජධානියෙහි අන්තරායකාරී කාර්මික රසායනද්‍රව්‍ය ගොන්නට  ඇස්බැස්ටෝස් 1902 දී එකතු වූවා. එයට සමගාමීව 1906 දී ප්‍රංශයත්, 1908 දී ඉතාලියත් ඇස්බැස්ටෝස් එම ලැයිස්තුවට ඇතුලත් කළා.

ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් දෙවන ලෝක යුද්ධය කාලයේදී නැව් නිෂ්පාදන කර්මාන්තයේ යෙදුනු කාර්මිකයන් ලක්‍ෂයක් පමණ මියගොස් තිබුණේ ඇස්බැස්ටෝස් නිසා. එසේ වුවත් ඇමරිකාව අන් රටවල් මෙන් ඇස්බැස්ටෝස් තහනම් කරන්නට කටයුතු යෙදුවේ නැහැ. එය 1970 දශකය දක්වාම කිසිදු බාධාවකින් තොරව පාවිච්චි කෙරුණා. එසේම එහි සෞඛ්‍යමය හානිය 1930 කාලයේ සිටම දැන සිටියත්, සාමාන්‍ය ජනතාවගෙන් එය ඒ කාලයේ සිටම වසන් කරගෙන සිටි බවට පසුව සොයාගෙන තිබුණා. 2001  සැප්තැම්ර් 11 වන දින සිදු වූ ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ප්‍රහාරය නිසා එහි කුළුණු දෙක සම්පූර්ණයෙන්ම බිඳ වැටුනා. එහි වූ දූවිලි සහ දුමාරයේ ඉතා විශාල වශයෙන් ඇස්බැස්ටෝස් අඩංගුව තිබීම නිසා බොහෝ සෞඛ්‍ය ගැටළු පැන නැගුනා.

කාර්මිකව භාවිතා වූ  ටැල්ක් පවුඩර් සැකසුනේ ට්‍රෙමොලයිට් නම්  ඛණිජය මගින් සෑදුන ඇස්බැස්ටෝස් නිධි ආශ්‍රිතවම තිබූ ටැල්ක් නිධි අනුසාරයෙන්. මේ නිසා ඒවා ඇස්බැස්ටෝස් මගින් දූෂිතව තිබුණා. මේ නිසාම දැන් ශරීරයේ ගල්වන ටැල්ක් සහ කාර්මිකව භාවිතා වන ටැල්ක් පවුඩර් ඉතා වෙනස් ප්‍රභව වලින් ලබා ගැනීමට කටයුතු යොදා තිබෙනවා.

ඇස්බැස්ටෝස් ඇත්තෙන්ම හානි දායක වන්නේ එහි ආශ්වාස කෙරෙන සාන්‍ද්‍රණය මත සහ ආශ්වාස කෙරෙන කාළය මතයි. කෙනෙකු ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදන හෝ ගොඩනැගිලි කර්මාන්තයේ දිගු කාළයක් නියැලී සිටියේ නම්, අනිවාර්යයෙන්ම පෙනහළු පරීක්‍ෂා කර ගැනීම වැදගත්. හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇතිනම්, එයින් අදහස් වන්නේ පෙනහළු, ශ්වාස නාල, ප්ලූරාව වැනි දෑ ඇස්බැස්ටෝස් නිසා යම් තුවාලවීමකට ලක් වී ඇති බව විය හැකියි. මෙය ඇස්බැස්ටෝස් සෙවිලි කළ වහලයක් යට සිටින කෙනෙකුට ඒ තරම් බලපාන්නේ නැති වන්නට පුළුවන්. මක් නිසාද යත්, වහලයෙන් සියුම් තන්තු වායුගෝලයට මුදා හැරීම අවම වන නිසා සහ එම තන්තු වායුගෝලයට එකතු වීමේදී ඒවායේ සාන්‍ද්‍රණය ඉතා අවම වීම නිසා. මේ නිසා පෙනහළුවලට ඇතුළුවන තන්තු ප්‍රමාණය නොගිනිය හැකි තරම්.

මේ කරුණු නිසාම ඇස්බැස්ටෝස් වලට ආදේශකයන් සෙවීමට පර්යේෂකයන් පෙළඹුනා. ඒ අනුව ඒ සොයා ගන්නා සියළුම ද්‍රව්‍ය මානව පිළිකා කාරක නොවිය යුතු බවට නීතියක් පැන නැංවූයේ නව සොයා ගැනීම් සමහරවිට පැරණි දේටත් වඩා හානිදායක විය හැකිව තිබූ නිසා. ඒ අනුව 1978 දී වෙනස් ආකාරයක රටාවකින් බැඳී පවතින, Zetex නමින් හැඳින්වූ  වීදුරු තන්තු වර්ගයක් සොයා ගැනුනේ Bal Dixit විසින්. එය ඇස්බැස්ටෝස් වලට වඩා සැහැල්ලු වූ අතර ඒ තරම්ම ඝර්ෂණයට ඔරොත්තු දෙන, ඇස්බැස්ටෝස් මෙන්ම භාවිතා කළ හැකි ද්‍රව්‍යයක් වූවා.

ඇස්බැස්ටෝස් බොහෝ භෞතික ගතිගුණ ගොන්නකින් සමන්විත වුවත් එහි වූ සෞඛ්‍යමය ගැටළු නිසා එහි වෙනස් ගුණ ආදේශක ද්‍රව්‍ය වලින් පිරිමසා ගැනීමට මිනිසුන් පෙළඹුනා ඇස්බැස්ටෝස් වල වූ ගින්නට ඔරොත්තු දෙන ගතිය ලබා ගන්නට සමත් ද්‍රව්‍යයක් වන PolyBenzImidazole නැතහොත්  PBI තන්තු නිෂ්පාදනය වූයේ තාප සහ ගින්දර පරිවාරක ද්‍රව්‍ය ලෙස භාවිතා කිරීමට. එය ද්‍රවාංකය 760 °C (1,400 °F) වන ගිනි නොගන්නා ද්‍රව්‍යයක් නිසා ගොඩනැඟිලි පරිවාරණයට භාවිතා කළා.

ඇස්බැස්ටෝස් භාවිතයෙන් ඉවත් කිරීමත් සෞඛ්‍යාරක්‍ෂිතව කළ යුතුවූ නිසා බොහෝ විට ඒවා වගුරුබිම් පිරවීම වැනි දෑ සඳහා යොදා ගත්තා. සෙන්ටිග්‍රේඩ් 1000 – 1250 වැනි උෂ්ණත්‍වයකට රත් කළ පසු ඇස්බැස්ටෝස් සෞඛ්‍යාරක්‍ෂිත සිලිකේට් වීදුරු බවට පත් වන නිසා මයික්‍රොවේව් භාවිතයෙන් එසේ ඇස්බැස්ටෝස් සිලිකේට් වීදුරු සහ විවිධ වීදුරු භාණ්ඩ බවට පරිවර්තනය කිරීම ද සිදු වූවා.

ලංකාවේ ද පමා වී හෝ ඇස්බැස්ටෝස් තහනම සිදු කිරීම විශේෂයෙන්ම ඇස්බැස්ටෝස් ආශ්‍රිතව ගොඩනැගිලි කර්මාන්තයේ යෙදෙන කාර්මිකයන්ට සහ පෙදරේරුවන්ට සිදු කළ සාධාරණයක්. ලංකාවේ කර්මාන්ත ආරක්‍ෂණ කටයුතු ඉතා ලිහිල්ව සිදු කෙරෙන නිසා මේ කර්මාන්තයේ යෙදෙන්නන් මුඛ ආවරණ හෝ පැළඳ සේවය කරන්නේ නැහැ. මෙය ඉතා භයානක තත්ත්‍වයක්. ඇස්බැස්ටෝස් නොවුනත්, වෙනත් දූවිලි වර්ග පෙනහළු කරා යාම වලක්වන්නට බැහැ. මේ නිසා ගොඩනැඟිලි කර්මාන්තයේ යෙදෙන්නන් වෙත ආරක්‍ෂණ ක්‍රියා පිළිවෙලක් සැකසීම ඉතා යෝග්‍ය වන අතර එය කොළවලට සීමා නොවී සත්‍ය වශයෙන්ම ක්‍රියාවේ යෙදවිය යුතුයි. දැනට ඇස්බැස්ටෝස් සෙවිළි කළ ගොඩනැඟිලිවල ජීවත් වන උදවිය ඒ තරම් දැඩි අනාරක්‍ෂිත බවකට පත් වී නැති වුවත්, වහලවල් හෝ සිවිලිං ඉවත් කිරීමේදී හැකිතාක් දුරට ඒ අවටින් ඉවත් වී නාස් ආවරණය කරගෙන සිටීමෙන්, ඇස්බැස්ටෝස් ආඝ්‍රාණය වීම වලක්වා ගන්නට පුළුවනි. එසේම, ඒ පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකරගතයුතු නැහැ. මක්නිසාද යත්, අප කොතරම් අවාසනාවන්තද යත්, ඇස්බැස්ටෝස් වලට වඩා භයානක රසායන ද්‍රව්‍ය සහ රසායනික සමඟ අප බොහෝ දෙනා සාමාන්‍ය ජීවිතයේදී ගැටුනත්, අපි ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති නිසා එය හානිදායකදැයි කියා හෝ නොදන්නා නිසා… මේ නිසා අප භාවිතා කරන මොනයම් හෝ රසායන ද්‍රව්‍යයක්, ඖෂධ වර්ගයක්, හෝ ආලේපනයක රසායනික සංයුතිය සහ එහි අහිතකර ආචරණ සොයා බැලීම ඔබේ සෞඛ්‍යයට ඉතාමත් වැදගත්.

Advertisements

පණ දාගෙන Touch කලාට Touch Screen වැඩකරන්නෙ කොහොමද කියලා දැනගෙන හිටියෙ නෑ නේද ?


Touch Screen

ඈත අතීතයේ මෙන්ම අද පවා බොහොමයක් පරිඝණක වලට දත්ත එකතු කිරීම සහ එම උපාංග භාවිතයට ගැනීමට පරිඝණක මවුසය, යතුරු පුවරුව, මයික්‍රෆෝනය ආදී අමතර කොටස් නැතුවම බැහැ. ඒ අතරට නවතම නිපැයුමක් ලෙස ස්පර්ශ සංවේදී තිර භාවිතයට පැමිණ ඇත්තේ ස්මාට් ජංගම දුරකථන සහ සමහර පරිඝණකවල මානව – යන්ත්‍ර අන්තර් සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමේ මෙවලමක් ලෙසින්.

අද ලෝකයේ පාවිච්චි වන බිලියන 8.4 ක් වන අන්තර්ජාලයට සම්බන්ධ උපාංග වලින් බොහොමයක්ම දෑ ස්පර්ශක සංවේදී තිර වලින් සමන්විතයි. ලොව රටවල් 88 ක ගණනයෙන් ජනගහනයෙන් සියයට 44 ක් ස්මාට් ජංගම දුරකථන භාවිතා වන බවයි සංඛ්‍යාත්මක දත්ත වලින් පැවසෙන්නේ. මෙය 2022 වනවිට සියයට 58 ක් දක්වා වැඩි වන්නට පුළුවනි. අපේ කුඩා දරුවන් පවා දැන් වැඩිහිටියන්ටත් වඩා ඉක්මනින් ස්පර්ශක සංවේදක උපාංගවලට අනුගත වෙනවා. ජංගම දුරකථනවලින් ඔබ්බට ගොස්, ටැබ්, රූපවාහිනී, ශීතකරණ, ව්‍යායාම උපකරණ, ස්වයං සේවා ස්ථාන, බැංකු,  සහ වාහනවල නියාමක පුවරු ආදී බොහොමයක් දෑ පවා දැන් ස්පර්ශක සංවේදක තිරවලින් සමන්විතයි. මේ නිසා ඉදිරියේදී ලොව බොහෝ උපාංග අනිවාර්යයෙන්ම ස්පර්ශක සංවේදී තිරවලින් යුක්ත වීම වලකා ලන්න බැහැ. 2020 වනවිට අන්තර්ජාලයට සම්බන්ධ උපාංග සංඛ්‍යාව බිලියන 20 ක් දක්වා වැඩිවිය හැකි බවයි සැලකෙන්නේ. අපි හැමදාම හැම වෙලේම පාවිච්චි කළත්,මේ ස්පර්ශ සංවේදක පෘෂ්ඨවල ක්‍රියාකාරීත්‍වය කොහොමද කියලා බොහෝ දෙනෙක් නොදන්නවා වන්නට පුළුවනි.

ස්මාට් දුරකථන භාවිතාවේදී ඉදිරියෙන්ම සිටින්නේ උතුරු ඇමරිකාව සහ බටහිර යුරෝපයයි. නැගී එන වෙළඳපොළවලින් මධ්‍යම සහ ලතින් ඇමරිකාව මෙම උපාංග හඳුන්වාදීමේ වේගය අතින් ඉදිරියෙන්ම සිටිනවා. ආසියාව ඊට පිටුපසින් සිටින අතර අප්‍රිකානු කලාපට ඉතා සෙමින් වර්ධනය වීමක් දක්වනවා.

ලෝකයේ ඇති සමහර දෑ වලට එක් පුද්ගලයෙක් පමණක් දායක වී නැහැ. අප  නොදන්නවා වූවත්, මෝටර් රථ, ගුවන්යානා, පරිඝණක, ආදී දෑවල සොයා ගැනීම සහ ප්‍රගමනය බොහෝ දෙනාගේ දායකත්‍වයෙන් සිදු වූවක්, ස්පර්ශ සංවේදක තිරයටත් එක් මූලික නිමැවුම්කරුවකු නැහැ. එසේ නමුත්, එය විකාශනය වූ ආකාරය නම් බොහොම රසවත්.

ස්පර්ශ සංවේදක තිරවල සොයා ගැනීම 1950 දී පමණ සොයා ගත් තුඩෙහි ආලෝක සංවේදී කොටසක් ද, වලිගය පරිඝණකයට සම්බන්ධ ආලෝකය භාවිතයෙන් ලියැවෙන පෑනක් දක්වා අතීතයට දිව යනවා.මෙය පරිඝණක ග්‍රැෆික් තාක්‍ෂණය සඳහා සැකසුන  Project Whirlwind නම් ව්‍යාපෘතියට සම්බන්ධකයි. මෙය වර්තමාන ස්පර්ශ සංවේදී තිර මෙන් ක්‍රියාත්මක නොවුනේ සියළුම ක්‍රියාවලි පෑන තුළ වූ පරිපථ මගින් පාලනය වූ නිසයි. නමුත් මේ පෑනෙන් සාමාන්‍ය පරිඝණක තිර, ස්පර්ශ සංවේද තිර මෙන් භාවිතා කළ හැකි වූවා.

ස්පර්ශ සංවේදක තිර පිළිබඳ මුල්ම අදහස ඉදිරිපත් කර ඇත්තේ එංගලන්තයේ රාජකීය රේඩාර් ආයතනයේ (Royal Radar Establishment ) E.A. Johnson විසින් 1965 දී ප්‍රකාශ කරන ලද කෙටි ලිපියකින්. එසේ වුවත්, 1960 දශකය සහ 70 දශකයේ මුල් කාලයේදී පරිඝණක විද්‍යාඥයින් විසින් මිනිසා සහ පරිඝණකය අතර වූ පරතරය අඩු කිරීම වෙනුවෙන් කළ පරීක්‍ෂණ වලදී නව සොයාගැනීම් බොහොමයක් සිදු වූවා. ඒ අතර මවුසය සොයාගත් Douglas Engelbart, පරිඝණක ග්‍රැෆික් සහ virtual reality (අතථ්‍ය යතාර්ථය) සොයා ගත් Ivan Sutherland, සහ Graphical User Interface (GUI) සොයාගැනීමට දායක වූ ඔහුගේ සගයා වන Alan Kay කළ පර්යේෂණ වැදගත් සංධිස්ථානයක් සටහන් කළා.

වර්තමාන ස්පර්ශ සංවේදී තිරයකට ආසන්නයෙන් ක්‍රියාත්මක වන උපකරණයක් තැනීමට Elographics, Inc. නම් ආයතනයේ George S. Hurst සහ William C. Colwell සමත් වූ අතර ඔවුන් එය “Discriminating Contact Sensor,” නමින් නම් කර, 1975 ඔක්තෝබර් 07 වන දින පේටන්ට් බලපත්‍රයක් ලබා ගත්තා. එහි විශේෂත්‍වය වූයේ විද්‍යුත් පරිවාරක ස්ථරයකින් වෙන් කළ සන්නායක තිර දෙකක් පෑනකින් තද කිරීමේදී නැවත සන්නායකතාවය ඇතිකිරීමෙන් මෙම සංවේදීතාවය ලබා ගැනීමයි. එය සාමාන්‍යයෙන් පෑනකින් ලියනවාක් වැනි කර්තව්‍යයකින් සංවේදනය ලබා ගත්තත්, දැන් භාවිතා වන ස්පර්ශ සංවේදන තිර මෙන්  භාවිතා කරන්නාගේ ඇඟිලිවලට සංවේදනය ලබා දුන්නේ නැහැ.

බොහෝ දෙනා සිතා සිටින්නේ ස්පර්ශ ස්වේදී තිරයේ ආගමනය Steve Jobs ගේ ඇපල් ස්මාට් ජංගම දුරකථනයේ එළිදැක්වීමත් සමග සිදු වූවක් ලෙසින්. නමුත්, එම තාක්‍ෂණය මෙයට වසර 20 කටත් එපිට පැතිර යන එකක්. එයින් ප්‍රධානම වනුයේ 1987 දී එලි දැක්වුන Linus Write-Top නම් වූ Newton නමින් වානිජ්‍යව නම් කළ විශාල තිරයක් ඇති ටැබ්ලට් පරිඝණකයයි.  ඊට අවුරුදු පහකට පසු, ඇපල් සමාගම විසින් සිය ප්‍රථම ස්පර්ශ සංවේදක උපකරණය ජපානයේ Sharp සමාගම සහ එක්ව එළිදක්වනු ලැබුවා. එයද Newton උපකරණය මෙන්ම පෑනක් භාවිතයෙන් ලියැවෙන තිරයකින් සමන්විත වුවත්, මේ අවස්ථාවේදී එහි තිරය ඉතා දියුණු කර, සියළුම ඉලෙක්ට්‍රොණික සංනිවේදනයන් තිරය මගින් සිදු කිරීමට වැඩිදියුණු කර තිබුණා. මෙය ඉතා රළු ලෙස ස්පර්ශ සටහන් ග්‍රහණය කර ගනු ලැබුවත්, එය කිසිම විටෙක වෙළඳ පොළේ සාර්ථක වූයේ නැහැ. 1990 දශකයේ මැද භාගයේ වෙළඳපොළට එළිදැක්වූ පෞද්ගලික සංඛ්‍යාක සහකාර උපාංග නොහොත් PDA (personal digital assistants) මෙවැනි පෑනක ආධාරයෙන් තිරය මත සටහන් කළ හැකි සංවේදක තිර වලින් සමන්විත වූවා. මේ නිසාම සංවේදක තිර සහිත උපාංග භාවිතා කරන සියළුම දෙනා, ඉහත කී නිර්මාණකරුවන්ට කෘතවේදී විය යුතුමයි.

ස්පර්ශ සංවේදී තිරයක ක්‍රියාකාරීත්‍වය පරිඝණක යතුරු පුවරුවක ක්‍රියාකාරීත්‍වයට මූලිකවම සමාන කළ හැකියි. එනම් එහි වූ සෑම අකුරකටම ඉලෙක්ට්‍රොණික යතුරක් වෙන්ව තිබෙනවා. ඒවා යතුරු පුවරුව පතුලේ වූ පරිපථයකට සමගාමීව සකස් කර තිබෙනවා. එම පරිපථය සහ යතුරු ප්ලාස්ටික් ස්ථර තුනකින් වෙන්ව පවතිනවා. දෙපස වූ විද්‍යුත් සන්නායක ලෝහ පරිපථ සහිත ස්ථර දෙක මැද පරිවාරක ස්ථරයකින් වෙන්ව තබා ගෙන තිබෙනවා. එම යතුර පතුලේ සංවේදක සහිත කුඩා තිතක් යොදා තිබෙනවා. මෙම යතුර තද කිරීමේදී එහි වූ පරිපථය සම්පූර්ණ වීමෙන් අකුර සඳහන් වීම සිදු වනවා. එසේම මෙම පරිපථයෙන් නිකුත් වන විද්‍යුත් ප්‍රමාණයේ වෙනස පරිඝණකය හඳුනාගැනීම මගින් ඔබ සටහන් කරන විවිධ අකුරු පරිඝණකය විසින් හඳුනා ගැනීම වීම සිදු වනවා. ස්පර්ශ සංවේදී තිරවල ද සිදු විය යුත්තේ මෙම ක්‍රියාවලියයි. එසේ වූ මුත්, තිරය තුළ පරිපථ, ස්විච ආදිය සැකසිය නොහැකි නිසා, වෙනත් ආකාරයට එය සිදු කළ යුතුයි.

කාලයාගේ ඇවෑමෙන් මෙම ස්පර්ශ සංවේදී තිර ඉතා දියුණු තත්ත්‍වයට පත් වී තිබෙනවා. සමහර ඒවා එක් ස්පර්ශයකට (Single Point Touch)පමණක් සංවේදී වන අතර දියුණු තිර බහු ස්පර්ශ සංවේදනයට (Multi Point Touch) ප්‍රතිචාර දක්වනවා. කෙසේ වුවත් මේ තාක්‍ෂණය ප්‍රධාන වශයෙන් ක්‍රම කිහිපයකින් සමන්විතයි.

ප්‍රතිරෝධක ස්පර්ශ සංවේදී තිර Resistive Touch Screens

දැනට වෙළඳපොලේ බහුලවම දක්නට ඇත්තේ මෙම කාණ්ඩයයි. මේවා ක්‍රියා කරන්නේ ද ඉහත කී යතුරු පුවරු ක්‍රියාත්මක වන ආකාරයටමයි. එහි උඩින්ම ඇති නම්‍යශීලී සන්නායක පොලිඑස්ටර් ස්ථරය පහලින්ම ඇති සන්නායක වීදුරු ස්ථරයකින් වෙන්වී ඇත්තේ පරිවාරක ස්ථරයකින්. ඔබ තිරය තද කරන විට පොලිඑස්ටර් ස්ථරය වීදුරු ස්ථරයේ ස්පර්ශ වීම නිසා පරිපථය සම්පූර්ණ වනවා. මෙය යතුරු පුවරුවේ යතුරු තද කරනවා හා සමානයි. තිරය තුළ වූ චිපයක් මගින් ස්පර්ශ කළ ස්ථානය හඳුනා ගැනීම මගින් අදාල කාර්යය සම්පූර්ණ වනවා.

 

ධාරිත්‍රක ස්පර්ශ සංවේදී තිර Capacitive Touch Screens

මෙම තිර නිපදවා ඇත්තේ වීදුරු ස්ථර කිහිපයක් උපයෝගී කරගෙනයි. අභ්‍යන්තර ස්ථරය මෙන්ම පිටත ස්ථරයද විද්‍යුත් සන්නායකතාවය ඇති කරනවා. මේ නිසා මුළු තිරයම විශාල ධාරිත්‍රකයක් ලෙසින් ක්‍රියා කරනවා. ඔබ ඇඟිල්ල තිරය අසළට රැගෙන ආ විට ඔබ තිරය මතුපිට වූ විද්‍යුත් ක්‍ෂෙත්‍රයේ වෙනසක් ඇති කරනවා. මේ නිසා එය සංවේදනය වෙනවා. මෙහිදී තිරය මතුපිට වූ ක්‍ෂෙත්‍රය මගින් විද්‍යුත් ආරොපණ භාවිතා කරන පුද්ගලයාගේ සිරුරට පැමිණිය යුතුයි. මේ නිසයි එම තිර අත්වැසුම් හෝ ස්ටයිලස් ආකාරයේ පෑන් සඳහා සංවේදී වන්නේ නැත්තේ. ඒ ස්ටයිලස් පෑන් සහ අත්වැසුම් ප්ලාස්ටික් වලින් හෝ පොලිමර් වර්ග වලින් නිපදවා තිබීම නිසා ඒවා තිරය මතුපිට විද්‍යුත් ක්‍ෂෙත්‍රය වෙනස් වීමකට භාජනය නොකරන නිසායි.මේ ආකාරයේ තිර බහු ස්පර්ශ සඳහා සංවේදී වනවා. මේවා ප්‍රතිරෝධක සංවේදී තිර වලට වඩා මිලෙන් වැඩියි.

අධෝරක්ත ස්පර්ශ සංවේදී තිර Infrared Touch Screens

අධෝරක්ත කැමරා සහ සොරුන් ඇල්ලීමේ නවතම සංවේදී උපකරණ මෙන් මෙම සංවේදී තිර ද ඒවායේ ප්‍රතිවිරුද්ධ ස්ථරවල ඉතා කුඩා LED සහ ප්‍රකාශ සංවේදී Photo Cell වලින් සමන්විතයි. මෙම තිරයේ ඇති LED බල්බ තිරය මතුපිටට අධෝරක්ත කිරණ එල්ල කරනවා.  ඔබ ස්පර්ශ සංවේදී තිරය ස්පර්ශ කළ වහාම එම කිරණවලට බාධා ඇතිවනවා තිරය තුළ ඇති මයික්‍රෝ චිපය විසින් ඔබ ස්පර්ශ කළ ස්ථානය ගණනය කිරීම මගින් සංවේදනය සම්පූර්ණ කරනවා. Sony Reader ebooks හි භාවිතා වන්නේ මේ තාක්‍ෂණයයි. ඔබ විසින් අධෝරක්ත කිරණ වලට බාධාවක් සිදු කරන නිසා, ඔබ ඇඟිල්ලකින් ස්පර්ශ කළත්, ස්ටයිලස් ආකාරයේ පෑනකින් ස්පර්ශ කළත්, මේ සංවේදී තිර එක ලෙස ප්‍රතිචාර දක්වනවා.

පෘෂ්ඨික ධ්වනික තරංග (Surface Acoustic Wave)

මෙම තාක්‍ෂණය විසින් ග්‍රහණය කරනු ලබන්නේ ආලෝකය හෝ ස්පර්ශය නොව, ශබ්ධයයි. මෙම තිර මගින් මිනිස් කණට ග්‍රහණය නොවන ආකාරයේ අධි සංඛ්‍යාත ශබ්ධ තරංග නිකුත් කිරීම සහ ග්‍රහණය කරනු ලබනවා. ඔබ මෙම තිරය ස්පර්ශ කිරීමේදී එම තරංගවලට බාධා පමුණුවමින් එම ශබ්ධ තරංග අවශෝෂණක කිරීමක් සිදු කරනවා.  තිරය තුළ වූ මයික්‍රෝ චිපය මගින් ඔබ තිරය ස්පර්ශ කළ ස්ථානය හඳුනාගෙන පරිපථය සම්පූර්ණ කරනු ලබනවා.

ප්‍රත්‍යාසන්න ක්‍ෂෙත්‍ර මූර්තනය (Near Field Imaging)

ඔබ පැරණි රේඩියෝවක් අසළ එහාමෙහා යනවිට රේඩියෝ තරංගවලට බාධා එල්ලවී කිසියම් ශබ්ධයක් නිකුත්වනු අත් දැක ඇති. එය සිදු වන්නේ ඔබේ ශරීරයේ ඇති විද්‍යුත් චුම්භක ක්‍ෂෙත්‍රය මගින් ගුවන් විදුලි තරංගවලට බාධා ඇතිවීමයි. ඔබ ගුවන් විදුලි යන්ත්‍රයට ආසන්න වත්ම, ඔබ ඇතිකරන ආචරණය වැඩි බව ඔබට දැනෙනු ඇති. මේ ආකාරයේ තිර ක්‍රියාත්මක වන්නේද මෙම සංසිද්ධිය අනුසාරයෙන්. ඔබ තිරයට ලංවත්ම, වීදුරු තිරය මතුපිට ඇති විද්‍යුත් ක්‍ෂෙත්‍රය වෙනස් කරනු ලබනවා. ඔබ එය ස්පර්ශ කරත්ම, එය හඳුනා ගන්නවා. මෙය අනෙත් තාක්‍ෂණයන්ට වඩා රළු පැවැත්මට ඔරොත්තු දෙන තාක්‍ෂණයක් නිසා දැඩි පරිසර තත්ත්‍වයන්ට භාජනය වන උපකරණවලට මෙම තාක්‍ෂණය භාවිතා කරනවා. බොහොමයක් යුධ උපකරණ වල භාවිතා වන්නේ මෙම තාක්‍ෂණයයි. වෙනත් තිර මෙන් නොවෙයි, මේ තිර පෑන්, ඇඟිලි මෙන්ම අත්වැසුම් දමාගෙන හෝ පාවිච්චි කිරීමට පුළුවන්.

දැන් දැන් ස්පර්ශ සංවේදක තිර භාවිතයට නොගන්නා තැනක් සොයා ගැනීමට අපහසුයි. වෙළඳසැල්, දුම්රිය හෝ බස් ටිකට් ගන්නා ස්ථාන, කර්මාන්ත ශාලා, යුධ බිම ආදී විශාල පරාසයක විවිධාකාර භාවිතාවන් සඳහා ස්පර්ශ සංවේදක තිර භාවිතා කරනවා. එයට තිරය තිබීමම ප්‍රමාණවත් නිසා අමතර උපකරණ කිසිවක් අනවශ්‍යයි. එසේම තිරය මතුපිට සියළුම විස්තර දිස්වීම නිසා භාවිතා කරන්නාට ඉතාම සරළව, ඉක්මනින් සහ සෘජුව තොරතුරු ඇතුලත් කිරීම හෝ ලබා ගැනීමට සිදු කළ හැකියි.

අප බොහෝ දෙනා භාවිතා කරන ස්මාට් ජංගම දුරකථන අපට අවශ්‍ය සෑම විස්තරයක්ම ඒ මත දැක්වීම කරනවා පමණක් නොවෙයි, අවශ්‍ය අවස්ථාවක යතුරු පුවරු, පින්තූර, ආදී සියල්ල අන්තර් සම්බන්ධතා සහිතව අපට භාවිතා කිරීමේ පහසුව ලබා දී තිබෙනවා. ඉතින් අදින් පසුව ස්මාට් ජංගම දුරකථනයක් හෝ ස්පර්ශ සංවේදී තිරයක් සහිත උපකරණයක් භාවිතා කරනවිට එහි තාක්‍ෂණය කුමක්දැයි යන්න ගැන තරමක් සැළකිලිමත් වන්න…

 

 

 

 

 

පිටස්තරයා – 02


2nd Episode PNG

 

එක්කෝ මේ පුද්ගලයා නුසුදුස්සෙක් විදියට අයින් කරන්න ඕන… නැතිනම් මේ ගැන වැඩිදුර පර්යේෂණ කරන්න පුළුවනි. මොකද අපට මෙයාගෙ රුධිරය ආශ්‍රයෙන්ම පර්යේෂණ කරලා අපේ කිමිදුම් භටයන්ගේ රුධිරගත හීමෝග්ලොබීන් ප්‍රමාණය වැඩි කිරීම ගැන හොයන්න පුළුවන්… දැනටමත් අපි ඒ කරුණ සම්බන්ධයෙන් පර්යේෂණයක් අරඹලයි තියෙන්නෙ..

ඔබට පිස්සුද ඩෙනිස් ?! අද්මිරාල් වරයා ගුගුලේය…

අපි කොහොමද මනුස්සයො මෙයාව නුසුදුස්සෙක් කියලා ඉවත් කරන්නෙ ? මෙයාගෙ සුදුසුකම් අනිත් දෙන්නාට වඩා වැඩියි… අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම දේ ඔහු පර්යේෂණ ඉදිරිපත් කිරීමෙන් අසමත් වේවි කියන එක පමණයි. නමුත් මේ වගේ පුද්ගලයෙක් එයින් අසමත් වේවිද ? මොනවා වුනත් පරිඝණක වැඩසටහන් වලට බොරු කරන්න බැහැ.. ඒ වගේම අපි බැඳිලා ඉන්නවා මේ හැම තීරණයකටම හේතු දක්වන්න… ඔබ හිතන්නේ මේ වගේ එක දෙයක් නිසා ඔහුව අයින් කළා කියන ළදරු  පිළිතුර ඉහළ පාලනාධිකාරිය භාර ගනී කියලද ? මේක මගේ රස්සාවත් ගහලා යන වැඩක්…. අපි මීට වඩා බුද්ධිමත්ව හිතන්න ඕන ඩෙනිස්.. අපි මීට වඩා සූක්‍ෂම වෙන්න ඕන…… මම බලාපොරොත්තු වුනේ නැහැ ඔබෙන් මේ වගේ උත්තරයක්… දෙයියන්ගෙ නාමෙට ඔයා  මෙතන පර්යේෂණ ප්‍රධානියා.. තත්ත්‍වයට ගැලපෙන්න බුද්ධියෙන් කතාකරනවා… !

සියල්ලෝම අද්මිරාල් වරයාගේ ගිගිරීමට තුෂ්නිම්භූත විය…

අද්මිරාල් රිචර්ඩ් බවර්

Admiral PNG

සාමාන්‍යයෙන් ඉතාම නම්‍යශීලී සුහද පුද්ගලයෙක් වන අද්මිරාල් රිචඩ් බවර් ඉහළ සමාජයේ සියළුම දෙනාගේ ගෞරවය දිනා සිටි ඉතා වැදගත් නිලධාරියෙකි. කිසිවිටෙක සිය නිවුණු බව බිඳ නොගන්නා පුද්ගලයෙක් ලෙස ප්‍රකටය…,

2008 අගෝස්තු 7 සහ 8 දෙදින තුළ ජෝර්ජියාව (ජෝර් ජියාව) විසින් දකුණු ඔටිස්සාව අත්පත් කර ගැනීමේ අරමුණින් ඒ වෙත දරුණු හමුදා ප්‍රහාරයක් දියත් කළේය… ඒ සඳහා ජෝර්ජියාව ඉදිරිපත් කළ නිදහසට කරුණු වූයේ සිය සාම සාධක හමුදාවන්ට සහ මහජනයාට රුසියාව විසින් එවනු ලබන සාම සාධක නොවන හමුදාවන් විසින් දියත් කරන ප්‍රහාරයන්ගෙන් ඔවුන් ගලවා ගැනීම උදෙසා කරන ප්‍රහාරයක් බවයි. මෙහිදී ඔටිස්සා හමුදා සමඟ එක්වූ රුසියානු සාම සාධක භටයින්ට ජෝර්ජියා හමුදාවන්ගෙන් දැඩි හානි සිදු විය. ජෝර්ජියානු භටයින් විසින් ට්ක්‍ෂින්වාලි ප්‍රදේශය ඉතා සුළු කාළයකින් අත්පත් කරගන් ලැබීය. මේ සඳහා රුසියාව ප්‍රතිචාර දැක්වුයේ ප්‍රති ප්‍රහාරයන්ට සිය 58 වන හමුදා ඛණ්ඩය එක් කිරීමෙන් සහ විශ්වාසනීය සහ සැපයුම් ඉලක්කයන්ට ගුවන් ප්‍රහාරයට එල්ල කිරීමෙනි. මේ කෙටි යුද්ධය දින පහේ යුද්ධය ලෙස ප්‍රසිද්ධියට පත් විය. රුසියාවට අනුව මේ ප්‍රති ප්‍රහාර මානුෂීය මෙහෙයුමට අත්‍යවශ්‍ය බව සාධාරණීකරණය විය. මේ දිනවලම නේටෝවට සහාය දක්වන මවුන්ට් විට්නි ඇමෙරිකානු යුධනැව කළු මුහුදේ සිට මේ යුධයෙන් අවතැන් වූවන් සඳහා සහනාධාර ගෙන යාමට “සහතිකවම ආධාර බෙදාහරින” (Operation Assured Delivery) නම් වූ යුධ මෙහෙයුම ක්‍රියාත්මක කළේය. ජෝර්ජියාවට ආධාර සැපයීම අපහසු කාර්යයක් වුවත් අද්මිරාල් රිචඩ් බවර් සිය දක්‍ෂතාවය සහ අත්දැකීම් මනාව ඔප්පු කරමින් පෝටි වරායට ආධාර ගෙන ආ පළමු නේටෝ නැව ගෙන එමින් සාර්ථකව මෙහෙයුම අවසන් කළේය. මේ නිසාම සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු සිය අත්දැකීම් තවදුරටත් සිය රටට ලබාගනු වස් ජනාධිපතිවරයා විසින් ඔහු නාවික හමුදා පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා ලෙස පත් කරනු ලැබීය… ඔහු 2009 සිට මේ දක්වාම ඒ ධුරය හොබවමින් සිය ආයතනයෙන් සිදු කෙරෙන සේවය වඩාත් කාර්යක්‍ෂම සහ ඵලදායී ලෙස මාතෘභූමියට ලබා දෙමින් සිටී.

දැන් තුන්දෙනාම හොඳින් විවේක ගන්න….. විනාඩි 15 කට පසු අපි ඔබව නැවත අමතන්නම්…….

එක් එක් කාමරයේ වූ කුඩා ස්පීකරයෙන් අපේක්‍ෂකයින් තිදෙනාටම විධානයක් ලැබුණා. ඒ කාගෙ කඩහඬද, කොහේ සිට විධානය දෙනවාදැයි යන්න කිසි කෙනෙකු දැන සිටියේ නැහැ. නමුත් තමන්ගේ සියළුම චර්යාවන් පිළිබඳ කිසිවෙකු හෝ ඉතාම පරීක්‍ෂාවෙන් සිටින බව තිදෙනාටම අවබෝධ වී තිබුණා. ඒ නිසා තමන්ට කිසිම අවාසියක් වන අන්දමේ කටයුත්තක නොයෙදීමට මේ තිදෙනාම දැනගෙන සිටියා.. පසෙකින් නොකැඩූ වතුර බෝතලයක් සහ බිස්කට් පිඟානක් තිබුණා. New Research Frontiers නම් නවතම පර්යේෂණවල ප්‍රතිඵල පිළිබඳ වගතුග දැක්වෙන සඟරාවද ඔවුන්ගේ පරිහරණයට මේසය මත තබා තිබුණා. මේ සියල්ල සම්මුඛ පරීක්‍ෂණයට අදාල අංග වුනා.. තම අපේක්‍ෂකයින් කාළය කා දමනවාද, නැතිනම් ඒ සුළු වෙලාවත් කිසියම් ප්‍රයෝජනවත්  වැඩක යෙදෙනවාද යන්න නිගමනය කිරීමට මේ සියල්ල තබා තිබුණා.

ඉතා ඉහළ බුද්ධියක් ඇති තිදෙනාම සිය අනාගත රැකියාව උගසට තැබීමට සූදානම් වුනේ නැහැ. තමන් පැමිණි කාරණයත්, ඒ සඳහා මුහුණ දිය යුත්තේ කෙසේදැයි යන්නත් මනාව දැනගෙන සිටි තිදෙනාම  බිස්කට් එකක් බැගින් රැගෙන ජලය බෝතලය පානය කරන අතරේ පසෙක වූ සඟරාවේ පිටු පෙරළුවා.

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

බීප් බීප්……… බීප් බීප්……… …බීප් බීප්………

හලෝ….. ජනරාල් වෙලිංටන්ගෙ කාර්යාලය… මම මෙගන් වොලික්….. කෙසේද මම ඔබට උදවු කරන්නෙ ?

හලෝ… මම අද්මිරාල් බවර්…. නාවික හමුදා පර්යේෂණ ආයතනයෙන්… මට ඔබේ ප්‍රධානියාට කතා කරන්න පුළුවන් ද ?

පුළුවන් අද්මිරාල් තුමනි… ඉන්න මම සම්බන්ධ කරන්නම්…

ජනරාල් චාල්ස් වෙලිංටන්

Velinton PNG

ජනරාල් චාල්ස් වෙලිංටන් පසුගිය වසරේ විශ්‍රාම යන තුරුම පසුගිය වසර අටක් පුරාම සේවය කළේ යුධහමුදා බුද්ධි බලකායේ ප්‍රධානියා හැටියටය. විශේෂයෙන් ඇෆ්ගනිස්ථානයේ බුද්ධි බලකාය භාරව සිටි ඔහු එහි සිටි එෆ් බී අයි, සී අයි ඒ මෙන්ම වෙනත් රහසිගත අංශ ගණනාවක්ම අධීක්‍ෂණය කළ ඉතා දක්‍ෂ එහෙත් දරුණු පුද්ගලයෙකි. දැඩි මතධාරියෙකු වූ හෙතෙම රටේ ආරක්‍ෂාව පළමුකොට සැලකූ නිලධාරියෙකි. කිසිදු අතපසුවීමකට ඉඩ නොතබන ඔහු අකාර්යක්‍ෂමතාවය ඉදිරියේ නයෙකු මෙන් කිපෙන පුද්ගලයෙකි. තවමත් අවිවාහක ඔහුගේ ජීවිතය වූයේ ජාතික ආරක්‍ෂක ඒජන්සියයි. උදෑසන හය වන විට කාර්යාලයට පැමිණෙන ඔහු පිටව යන්නේ රාත්‍රී හතද පසු වූවාට පසුවයි. රාජකාරි කටයුත්තක් හැරුණුකොට සිය ජීවිතයම කාර්යාලයේ ගෙවන ඔහුට අභියෝග කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවන්නේ ඔහුට ඇති සූක්‍ෂම බුද්ධියත්, අනතුරක් කල් තබා දැන හැඳින ගැනීමේ “ඉව” ත් ඇති නිසාය… රටේ වූ සියළුම අන්තර්ජාල වැඩසටහන්, ඊ මේල්, ඇතුළු බොහෝ පරිඝණක දත්ත හුවමාරුවීම් ජාතික ආරක්‍ෂක ඒජන්සියේ දැවැන්ත පෙරණය හරහා යන නිසාම ඔහුට ඒ ඉව ලැබී ඇත. බුද්ධි අංශ නිලධාරීන් අතර Blood Hound යන නාමයෙන් හැඳින්වෙන ඔහු අමෙරිකානු ආරක්‍ෂක කවුන්සිලයේ ඉතා වැදගත් පුද්ගලයෙකි.

හලෝ ජනරාල්……..

කොහොමද මිත්‍රයා…… මොකක්ද මගෙන් අද කෙරෙන්න ඕන….. ජනරාල් වරයා ඍජුවම ඇසීය….

මට යමක් දැනගන්න අවශ්‍යයි…. ඒ කිසියම් පුද්ගලයෙක් ගැන…..

ඔබ දන්නවා මම CIA එකවත් FBI එකවත් නොවන වග, තරහ වෙන්න එපා… ඒවගේ දේවල්වලට තමයි ඒ අය ඉන්නෙ….. ජනරාල්ගේ ස්වරය දැඩි විය…..

නැහැ නැහැ… මම ඔබේ කාළය කා දමනවා නොවෙයි… එෆ් බී අයි එක ලබා දුන් දත්ත පිළිබඳ මට සෑහීමකට පත් වන්නට බැරි නිසායි මම ඔබව ඇමතුවෙ….

කවුද ? ත්‍රස්තවාදී නායකයෙක්ද ? ඔබ දන්නවානේ……… ඒ ගැන නම් මට කිසිදු විස්තරයක් දෙන්න බැහැ…

නැහැ චාලි… මට දැනගන්න අවශ්‍ය මගේ පර්යේෂණායතනයට ආපු අපේක්‍ෂකයෙක් ගැන….

මොනවා… FBI එකට තනි මිනිහෙක් ගැන විස්තර හොයා ගන්න බැරිද ? ඕකෙ ඉන්නෙ මැට්ටොද ?

චාලි… මේ මිනිස්සු උපරිම ශක්තිය යොදලයි ඉන්නෙ… දැන් මට කරන්න තියෙන එකම දේ ඔහුගෙ ගෙදරට කවුරුහරි යවන්න විතරයි… නමුත් තවමත් ඔහු අපේක්‍ෂකයෙක් විතරයි… ඒ නිසා මම කැමති නැහැ ආණ්ඩුවෙ සම්පත් ඒ වගේ දෙයකට යොදවන්න… ඒත් මේ පුද්ගලයාගේ බොහෝ දේවල් හරිම අසාමාන්‍යයි….. ඒ නිසාමයි මම හොයන්න තීරණය කළේ… මේ පරීක්‍ෂණයෙන් ඔහු නොතේරුණත් අපට මෙයාව වෙනත් මොනවාහරි දේකට ප්‍රයෝජනවත් වේවි. මට ඒක ඉවෙන් මෙන් දැනෙනවා… ඒ නිසා මට මේ උදවුව කරලා දෙන්න… මට මෙයාගෙ විස්තර සියල්ල ලබා ගන්න ඔබට වඩා වෙනත් කෙනෙක් නැහැ.. මම දන්නවා ඔබේ පරිඝණක වැඩසටහන් මළ මිනිස්සු උපද්දවලා තිබෙන බව…. මට මේ උදවුව කරලා දෙන්න… සමහරවිට ඔබටත් එය වැදගත් වේවි…

හොඳයි කියමු බලන්න….

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

නාවික පර්යේෂණ ආයතනයේ පරිඝණක ඉංජිනේරු ඇලෙක්ස් රොබින්සන් අපේක්‍ෂකයින් තිදෙනාගේම වීඩියෝ පට පරිඝණක තුනකට කවා අවසන් විය… මිනිත්තු කිහිපයකින් ප්‍රතිඵල ලැබෙනු ඇත… සම්මුඛ පරීක්‍ෂණ වලදී ඒ ඒ අපේක්‍ෂකයාගේ ගති ස්වභාවය සහ පරීක්‍ෂණ මණ්ඩලයේ සිටින පුද්ගලයින්ගේ මානසිකත්‍වය අනුව එකම දක්‍ෂකම් ඇති විවිධ අපේක්‍ෂකයින්ට ලැබෙන ලකුණු ප්‍රමාණ වෙනස් බව පර්යේෂණ වලින් ඔප්පු වී ඇත. මේ නිසා සම්මුඛ පරීක්‍ෂණ වල සිදු විය හැකි මානව අසමතුලිතතාවයන් මඟහැරවීම සඳහා රජයේ අතිශය වැදගත් ආයතනවලට බඳවා ගැනීමේදී දක්‍ෂයා නිර්ණය කිරීම පරිඝණක වැඩසටහනකට පවරා ඇත. මෙහිදී අපේක්‍ෂකයාගේ පෞරුෂය, වාග් මාලාව, ඉදිරිපත් කිරීමේ විලාශය, ආත්ම විශ්වාසය, වැරදි, තීරණ ගැනීමේ හැකියාව, මුහුණේ ඉරියව් යන ප්‍රධාන ලක්‍ෂණ නිර්ණය කිරීම අතිශය සංකීර්ණ පරිඝණක වැඩසටහනක් මගින් තීරණය කෙරේ.

ඒ අතර අද්මිරාල් රිචඩ් බවර්, නැන්සි පෙපර්,  ඩෙනිස් ලිපර්ඩ්, සහ  නීල් ෆියු යන සිවු දෙනා තම අපේක්‍ෂකයින් තිදෙනා පිළිබඳ සිය හැඟීම් විවෘතව කතා කිරීමේ අවස්ථාව කරා එළඹ ඇත.

මම නම් කියන්නේ ඇන්ඩ්‍රියාගෙ මිත්‍රශීලී බව හොඳයි… පර්යේෂණායතනයක් වුනාම කණ්ඩායම් හැඟීම තිබිය යුතුයි… කණ්ඩායමක් ලෙස ක්‍රියා කරලයි තීරණ ගන්නත් ප්‍රතිඵල ගන්නත් ඕන… මැතිව් තරමක් පොතට බර ගීක් කෙනෙක්… බලන්න ප්‍රියමනාප වුනාට මට පේන්නෙ එහෙමයි.  අනිත් එක්කෙනා.. විශ්ව… මට එයාගෙ මුහුණෙ කිසිම හැඟීමක් පේන්නෙ නැහැ… අයදුම් පත්‍රයේ මොන සුදුසුකම තිබුණත් ඒ මුහුණ නම් තනිකර හැඟීම් විරහිතයි… මට එයාව කියවන්න බැහැ..  සැමවිටම අන් අයට පෙර කතා කරන  නැන්සි පෙපර් ගේ විග්‍රහය වුනේ එලෙසයි…

නීල්…. මොකද කියන්නෙ….

විෂය කරුණු පැත්තෙන් නම් විශ්ව ගොඩක් ඉදිරියෙන් ඉන්නවා… ඔහුගෙ ගුරුත්ව ක්‍ෂෙත්‍ර පිළිබඳ තර්කය මට තවමත් පැහැදිලි නැහැ… ඒක ඒ තරම් සංකීර්ණයි.. ඒ නිසා ඔහු මේ පර්යේෂණායතනයට සුදුසුම කෙනා.. නමුත් නැන්සි කිවුවා වගේ මුහුණෙ  කිසිම හැඟීමක් නැති පුද්ගලයෙක් කොහොමද අපේ කණ්ඩායමට බඳව ගන්නෙ ? ඇන්ඩ්‍රියා මිත්‍රශීලී තමයි.. නමුත් ඒ මිත්‍රශීලී භාවයම ඇයට හරහට හිටින්න පුළුවන්… මේක අතිශය රහස්‍ය පර්යේෂණයක්.. මේ රහස් ගන්න රුසියාවත් චීනයත් ඇහැ ගහගෙනයි ඉන්නෙ.. තවත් කවුරු මේ ගැන බලාගෙන ඉන්නවද දන්නෙ දෙයියො තමයි. සමාවෙන්න නැන්සි… මම ඔබ ගැන දන්නවා… නමුත් කාන්තාවන් කියන්නේ රහස් සංවිධාන වල ඉතා දුර්වල අංශයක්…

එහෙම කියන්නෙ කොහොමද නීල්…එයා  දැනටමත් NSA එකේ ඒජන්ත වරියක්… ඔබ හිතනවාද ජෙනරාල් වෙලිංටන් ආවට ගියාට මිනිස්සු ගන්නවා කියලා එයා ලඟට ?

ඇත්ත… නමුත් එතැන සිදු වන දේවලුයි මෙතැන සිදුවන දේයි තනිකරම වෙනස්… ඇන්ඩ්‍රියාට NSA එකේ ලොකු රහසක් නැහැ රකින්න… නමුත් මෙතැන එහෙම නෙවෙයි…. අපි බලමු කෝකටත්… අපිට වඩා ගොඩක් නිවැරදිව තීරණ ගන්න කෙනෙක් ඔවුන් පරීක්‍ෂා කරනවා නෙ.

මැතිව්… මම හිතන්නෙ මැතිව් මෙතැනට අදාල වෙන්නෙ ක්වොන්ටම් යාන්ත්‍රවිද්‍යාව ගුරුත්වාකර්ෂණයට ඈඳා කළ පරීක්‍ෂණය නිසා… නමුත් ඔහුගේ සමහර තර්ක මට පිළිගැනීමට අපහසුයි… එහෙම වුනා කියලා ඔහු අසමත් වෙන්නෙ නැහැ… ඔහුට බොහොම නිදහස් සිතුවිලි තිබෙනවා. මට හිතෙන විදියට ඔහු අපට හොඳ සම්පතක් වේවි…

අවසන කතා කළේ ආචාර්ය ලිපර්ඩ් : මම හිතන්නෙත් විශ්ව අපට හොඳ පර්යේෂකයෙක් වේවි… ඔහුගේ හැඟීම් රහිත මුහුණ නොවෙයි අපට වැදගත් වෙන්නෙ… අපට වැදගත් වෙන්නෙ මෙතැන පර්යේෂණ වලට සුදුසුම පුද්ගලයා කවුද කියන එක… දැනුම අතින් පරිපූර්ණ කවුද – ඔහුගේ හෝ ඇයගේ දැනුම මෙතැනට ලබා ගන්නෙ කොහොමද කියන එක… කොහොමත් අපට විද්‍යාඥයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ සේල්ස් රෙප් කෙනෙකුගෙ මිත්‍රශීලීභාවය…. නමුත් අපට හසුරවාගන්න පුළුවන්  කෙනෙක් නම්, අපට කරදරයක් නැති කෙනෙක් නම් මට  ප්‍රශ්නයක් නැහැ…

ඇන්ඩ්‍රියාගෙ මිත්‍රශීලීභාවය වගේම ඇයගේ සුදුසුකම් මට මෙතැනදි ප්‍රශ්නයක්… ඇය සුදුසු NSA එකට… ජනරාල් වෙලිංටන්ගෙ පෞද්ගලික යොමු කිරීමක් වුනත් අපට සුදුසුම කෙනා තමයි අපට තෝරගන්න වෙන්නෙ.

මැතිව්ගෙ දැනුම මට ප්‍රශ්නයක් නැහැ… ඔහුගෙ ක්වොන්ටම් විද්‍යාත්මක දැනීම, ඔහු ඒවා විෂයානුබද්ධ කළ ආකාරය හරිම අපූරුයි… මම තෝරා ගන්නවනම් තෝර ගන්නෙ විශ්ව හරි මැතිව් හරි… අපි තවම කිසිම කෙනෙක් මුහුණට මුහුණ ලා කතා කළේ නැහැනෙ… අපි බලමු අපේ හරස් ප්‍රශ්න වලට ඔවුන් කොහොම උත්තර දෙයිද කියලා.

මේ දෙදෙනාම පර්යේෂණ අංශයට තෝරා ගනීවිද ?

මැතිව්ගෙ සම්බන්ධකම් විශ්වගෙ දක්‍ෂතා අභිබවා යාවිද ?

ඔවුන්ට පැවරෙන රාජකාරි මොනවද ?

ලබන සතියේ කොටසින්

 

 

%d bloggers like this: