Blog Archives
ඇස්බැස්ටස් දෙස ඇස් ඇරලා බලන්න
රජය විසින් මෑතකදී ඇස්බැස්ටෝස් තහනම් කරන්නට යෙදුනා. මේ නිසා එය පාවිච්චි කරන මහජනතාව වගේම ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කරන සහ වෙලඳාම් කරන අයට මහත් අපහසුතාවයකට මුහුණ පාන්නට සිදු වෙනවා. කෙසේ වුවත් මේ තහනමට සමගාමීව වෙනත් ආදේශකයක් නිර්ණය වී නැහැ. ඇත්තෙන්ම ඇස්බැස්ටෝස් අනතුරුදායකද ? එසේ අනතුරුදායකනම් එය සිදු වන්නේ කෙසේද ? අපට එය වලක්වා ගන්නට නොහැකිද ?
ඇස්බැස්ටෝස් යන නම මූලිකව පැමිණුනේ ගිණිනොගන්නා යන සමාන පදයක් වූ ග්‍රීක වදනක් ආශ්‍රයෙන්. මෙය අවුරුදු 4500 කට එහා කාළයේ සිට පැවතුනක්. රෝමන්වරු ධනවත් මියගිය පුද්ගලයින් ඔතා ඔවුන් ගිණි තැබීමට ඇස්බැස්ටොස් වලින් සැකසූ රෙදි පාවිච්චි කළ බවට තොරතුරු තිබෙනවා. එසේ සිදු කරන්නේ මියගිය අයගේ අළු, දැව අළු හෝ වෙනත් දෑ සමග මුසු වීම වලකාලීමට බව ඉතිහාසයේ සඳහන්. රෝමයේ පළමු අධිරාජ්‍යයා වන Charlemagne (800–814) විසින් ඇස්බැස්ටෝස් රෙදිවලින් සැකසූ මේස රෙද්දක් භාවිතා කළ බව සඳහන්, ධනවත් පර්සියානුවන් එවැනි රෙදි ගින්නට දමා පිරිසිදු කර සිය අමුත්තන් පුදුම කළ බව ඉපැරණි වාර්තා සාක්‍ෂි දරනවා. නැගෙනහිර ෆින්ලන්තයේ Juorjävi නම් විල ආශ්‍රිතව සොයාගත් පෞරාණික භාණ්ඩ වලින් පෙනීගොස් ඇත්තේ ඔවුන් සිය වලං වැනි දෑ ශක්තිමත් කිරීමට ඇස්බැස්ටෝස් කෙඳි භාවිතා කර ඇති බවයි. පසුව මාර්කෝ පෝලෝ පවා ඇස්බැස්ටෝස් වල ඇති සුවිශේෂී ගුණ හඳුනාගෙන එවැනි රෙදි සැකසූ බව ඉතිහාසයේ සඳහන් වනවා. කෙසේ වුවත් ඇස්බැස්ටෝස් මහා පරිමාණව කැණීම් ආරම්භ වූයේ 19 වන ශතවර්ෂයේදී යි. මේවා සුවිශේෂ භෞතික ගුණවලින් සමන්විත ලවණ විශේෂයක්. ඒවා අතර ශබ්ධ අවශෝෂණය, ඉහළ ආතතියකට ඔරොත්තු දීමේ හැකියාව, මිලෙන් අඩු වීම සහ ගින්නට, තාපයට, සහ විදුලියට දක්වන ප්‍රතිරෝධීතාවය වැනි දෑ ප්‍රබලව සැලෙකෙනවා. මේ නිසාම ඒවා උදුන් වලට භාවිතා කරන වයර් ආවරණය කිරීමට සහ ගොඩනැගිලි පරිවාරණයට භාවිතා කරනවා. ඇස්බැස්ටෝස් ගින්නට හෝ තාපයට ඔරොත්තු දෙන සේ සකසන විට ඒවා සිමෙන්ති සමග මිශ්‍ර කිරීම හෝ රෙදි-නැතහොත් පැදුරු වැනි දෑ විවීම සිදු කරනවා. මෙවැනි වාසිදායක ගතිගුණ නිසා ඇස්බැස්ටෝස් බහුලව භාවිතා වුවත් 20 වන සියවසේදී එහි ඇති සෞඛ්‍යමය හානිදායක තත්ත්‍වයන් නිසා ලොව පුරා ඉදිකිරීම් ක්‍ෂෙත්‍රයේ සහ ගිණි ආරක්‍ෂණ ද්‍රව්‍ය සැකසීමේදී භාවිතයෙන් ඉවත් කළා.
ඇස්බැස්ටෝස් තන්තු දීර්ඝකාලීන ආශ්වාසය නිසා පෙනහළු පිළිකා,Mesothelioma නම් පෙනහළු පටක ආශ්‍රිත පිළිකාවන් සහ ඇස්බැස්ටෝසිස් නම් නියුමෝනියා තත්ත්‍වය ඇති වීමට පුළුවනි. මේ සියල්ල මාරාන්තිකයි. ඇස්බැස්ටෝස් පිළිබඳ මේ තත්ත්‍වයන් කරලියට ආවේ 1920-30 ගණන්වල වුනත්, 1980-90 පමණ වන තෙක් විශේෂ නීතිමය පද්ධතියක් සැකසුනේ නැහැ. නමුත් ඒ වනවිට ලොව බොහෝ රටවල් ඇස්බැස්ටෝස් සිය ඉදිකිරීම් කටයුතු වලින් ඈත් කිරීමට පටන් ගත්තා. ඒ අනුව බොහොමයක් රටවල් ඇස්බැස්ටෝස් තහනම් කිරීමට කටයුතු කළේ මේ කාළයේදීයි. ඇස්බැස්ටෝස් ආශ්‍රිත රෝග කෙතරම් දරුණු වුවත්, ලෝකයේ බොහෝ දෙනා, විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල තවමත් ඇස්බැස්ටෝස් බහුලව භාවිතා වනවා.
ඇස්බැස්ටෝස් යනුවෙන් පොදුවේ හඳුන්වන්නේ ස්වභාවිකව පවතින සිලිකේට් ඛණිජ වර්ග හයක එකතුවකටයි. මේවා අයත් වන්නේ Serpentine නම් ඇම්ෆිබෝල් (Amphibole) ඛණිජ සමූහයටයි. එසේම මේ ඛණිජ වර්ග හයම මානව පිළිකා කාරක ද්‍රව්‍ය ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ බොහොමයක් ඛණිජ ඇලුමිනියම්, සිලිකන්, මැග්නීසියම්, සෝඩියම්, කැල්සියම් සහ යකඩ යන මූලද්‍රව්‍ය වල ඔක්සයිඩ වලින් සමන්විතයි. මේ විවිධ මූලද්‍රව්‍යවල විවිධාකාර සැකසීම් නිසා සහ ඒවායේ සාන්‍ද්‍රණය අනුව ඒ ඒ ඛණිජ විවිධ වර්ණය ගන්නවා.
ඇස්බැස්ටෝස් වලට නම ලැබී ඇත්තේ ලවණ වල ඇති තන්තුමය ස්ඵටිකමය ස්වභාවය නිසායි. මෙම ස්ඵටික සාමාන්‍යයෙන් ඉතාම තියුණු තන්තු ස්වභාවයක් ගනු ලබනවා. මේ තන්තු එහි විෂ්කම්භය මෙන් 20 ගුණයක දිගකින් යුක්තයි. මෙම තන්තු පියවි ඇසට දැකගතහැකි වුවත්, ඒවා ඇත්තෙන්ම ඊටත් වඩා කුඩා ක්‍ෂුද්‍ර තන්තු මිලියන ගණනකින් සමන්විතයි. මේ සියුම් ක්‍ෂුද්‍ර තන්තු සමහරවිට ඝර්ෂණයකදී, කැපීමකදී, පීරිගෑමක දී වැනි අවස්ථාවක පරිසරයට මුදා හැරෙන්නට පුළුවනි. මේ ඇස්බැස්ටෝස් වල ඇති ස්ඵටිකවල වර්ණය අනුව ඇස්බැස්ටෝස් නිල්, දුඹුරු, සුදු, සහ කොළ ඇස්බැස්ටෝස් ලෙස නම් කෙරෙනවා.
ඇස්බැස්ටෝස් විෂවීම බොහෝ දෙනා සිතන පරිදි ක්‍ෂණිකව සිදු වන්නක් නොවෙයි. ඕනෑම රසායන ද්‍රව්‍යයක්, හෝ විෂක් ශරීර ගතවීම දෙආකාරයකින් සිදු වනවා. ඉතා කුඩා ප්‍රමාණයක් දීර්ඝ කාළයක් තිස්සේ ශරීර ගතවීම නිදන්ගත (Chronic) තත්ත්‍වයක් ලෙසින් හඳුන්වන්නට පුළුවනි. මෙවිට ශරීරයේ රෝග ලක්‍ෂණ පෙන්වීමට සමහරවිට අවුරුදු 10 ක් හෝ 20කටත් වැඩි ගණනක් ගත වන්නට පුළුවනි. මෙයට හොඳම උදාහරණය වන්නේ රජරට වකුගඩු රෝගයයි. ආසනික්, කැඩ්මියම්, ග්ලයිෆොසේට් හෝ වෙනත් කිසියම් හෝ කරුණක් නිසා ශරීරයේ එකතු වන ද්‍රව්‍යයක බලපෑමෙන් දීර්ඝ කාලීනව සිදුවන බලපෑමක් නිසා වකුගඩු රෝගී තත්ත්‍වය ඇති වීමයි. අනෙක් ක්‍රමය වන්නේ ඉතා ඉහළ සාන්‍ද්‍රණයකින් යුතු රසායන ද්‍රව්‍යයක් ඉතා කෙටි කාළයක් තුළ ශරීරගත වීම නිසා සිදුවන ක්‍ෂණික මරණය හෝ අනතුරුදායක තත්ත්‍වයක් (Acute). මේ ක්‍රම දෙක අතරින් ඇස්බැස්ටෝස් විෂවීම සිදු වන්නේ දීර්ඝකාලීනවයි. එය සමහරවිට අවුරුදු 10 ක් හෝ 40 ක් වන්නට පුළුවනි. මෙම තත්ත්‍වය ඇස්බැස්ටෝසිස් (Asbestosis) යනුවෙන් හඳුන්වනවා. මෙහිදී සිදු වන්නේ ඇස්බැස්ටෝස් කෙඳි දීර්ඝකාලීන ආශ්වාසය නිසා පෙනහළුවල පටකවලට සිදුවන හානියයි. මෙසේ හානි වන පටක පසුකාලීනව පිළිකා තත්ත්‍වයන් දක්වා දුරදිග යා හැකියි.
මෙම කාරණයේ දෙපැත්තක් තිබෙනවා. ඇස්බැස්ටෝස් තහඩු හෝ වෙනත් දෑ වලින් ඇස්බැස්ටෝස් කෙඳි ගැලවී නොයන තාක්, ඇස්බැස්ටෝස් කිසිවෙකුගේ සෞඛ්‍යයට තර්ජනයක් වන්නේ නැහැ. ඇස්බැස්ටෝස් ශරීරයට හානිදායක වන්නේ විශේෂයෙන්ම ඒ හා සම්බන්ධව වැඩ කරන පෙදරේරුවන්ට වැනි පුද්ගලයන්ට සහ එවැනි කටයුතු කරන අවස්ථාවේ ඒ අවට සිටින පුද්ගලයන්ටයි. සමහරවිට ඇස්බැස්ටෝස් තහඩු තරමක් ඝණ තීන්ත ආවරණයකින් වසා තැබුවහොත් මේ ක්‍ෂුද්‍ර තන්තු පරිසරයට එක් වීමේ හැකියාවක් නැහැ. මේ නිසා ඇත්තෙන්ම හොඳින් තීන්ත පිරියම් කළ ඇස්බැස්ටෝස් තහඩු සෙවිළි කළ වහලයක් යට සිටින පුද්ගලයෙකුගේ සෞඛ්‍යමය අවදානම ඉතා පහළ තත්ත්‍වයකයි පවතින්නේ. ඒ ගැන බිය විය යුතු නැති බව ඉතා වගකීමෙන් සඳහන් කළ හැකියි.
නමුත් කෙනෙකු ඇස්බැස්ටෝස් ආශ්‍රිතව කැපීම්, ඉදිකිරීම් ආදිය සිදු කරන්නේ නම්, ඒ පුද්ගලයාට සහ ඒ අවට සිටින්නවුන්ට මේ ඇස්බැස්ටෝස් ක්‍ෂුද්‍ර කෙඳි ආඝ්‍රාණය වීමේ හැකියාව ඉහළයි. විශේෂයෙන්ම මේ කෙඳි පියවි ඇසට නොපෙනෙන නිසා සහ වායුගෝලයේ ඉතා විශාල පරාසයක පැතිර යා හැකි නිසා මේ අවදානම අධිකයි. මෙන්න මේ නිසා බොහෝ රටවල් දැන් ඇස්බැස්ටෝස් තහනමකට ලක් කර තිබෙනවා. එසේම ඇස්බැස්ටෝස් ආශ්‍රිත ද්‍රව්‍ය වලින් තැනූ ගොඩනැගිලි පවා වසා දමා තිබෙනවා. ජර්මනියේ ලුඩ්විග්ෂ්හාෆන් නගරයේ වූ BASF ආයතනයේ සුවිසල් ගොඩනැඟිල්ල දැලකින් වසා දමා ඇත්තේ එහි ඇති ඇස්බැස්ටෝස් ප්‍රමාණය අධික වීම නිසා. එය කඩා බිඳ දැමුවහොත් මුළු නගරයම ඇස්බැස්ටෝස් දුමාරයෙන් දූෂිත වන නිසා ඉතා කුඩා සිදුරු ඇති දැලකින් එම ගොඩනැගිල්ල වසා දමා තිබෙනවා.
රටවල් බොහොමයක් ඇස්බැස්ටෝස් තහනම් කළත් 2009 වසරේ දත්තයන්ට අනුව ලෝකයේ ඇස්බැස්ටෝස් නිශ්පාදනයෙන් 9% ක් සිදු කර ඇත්තේ කැනඩාවයි. නමුත් 2011 වනවිට කැනඩාව සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය නවතා දැමුවා. 2015 වනවිට ලොව පුරා ඇස්බැස්ටෝස් ටොන් මිලියන දෙකක නිෂ්පාදනයක් සිදු වූයේ 55% ක්ම රුසියාවෙන්, 20% ක් චීනයෙන්, 15.6% ක් බ්‍රසීලයෙන් සහ 10.8% ක ප්‍රමාණයක් කසකස්ථානයේ නිපැයුම් ආශ්‍රයෙන්. ඇස්බැස්ටෝස් කාර්මික කටයුතු සඳහා කැණීම ආරම්භ වූයේ කැනඩාවේ 1878 වර්ෂයේදී, එසේම එය කෙතරම් වර්ධනය වූවාද කිව හොත් 1895 වනවිට එය සම්පූර්ණයෙන්ම යාන්ත්‍රිකව සිදු කෙරුණා. 19 වන සියවස වනවටම ඇස්බැස්ටෝස් ඉතා පුළුල් පරාසයක භාණ්ඩ නිපදවීම කෙරෙහි යොදා ගත්තා. ගින්නට ඔරොත්තු දෙන තීන්ත වර්ග, කොන්ක්‍රීට්, ගඩොල්, උදුන් සඳහා යොදා ගන්නා පයිප්ප සහ ගඩොල්, ගින්නට-තාපයට-සහ අම්ලවලට ප්‍රතිරෝධයක් දක්වන අමතර කොටස්, පයිප්ප සහ සිවිලිං පරිවාරක ලෙස, බිමට, වහලට, එලිමහන් ගෘහභාණ්ඩ, බ්‍රේක් පෑඩ් ආදී නොයෙකුත් දේ සඳහා ඇස්බැස්ටෝස් යොදා ගැනුනා. වසර ගණනාවකට පෙර එක්සත් රාජධානියේ ඇස්බැස්ටෝස් තහනම් කර තිබුණත්, 2011 වනවිටත් එහි නිවෙස් වලින් 50% ක ප්‍රමාණයක ඇස්බැස්ටෝස් වලින් සැකසූ උපාංග ඇතුලත්ව තිබුණා. ජපානයේ ඇස්බැස්ටෝස් භාවිතා වූයේ වෙනස් අන්දමකටයි. ඇස්බැස්ටෝස් වල වූ අමුද්‍රව්‍ය භාවිතයෙන් ඔවුන් වී වගාවට අවශ්‍ය ඇමෝනියම් සල්ෆේට් නිෂ්පාදනයට යොදා ගත්තා. මෙයට අමතරව බලශක්තිය සකසුරුවමින් පාවිච්චි කිරීමට සීලිං, බිත්ති සහ බිමට තාප පරිවාරකයක් ලෙසින් ඇස්බැස්ටෝස් යොදා ගත්තා.
1899 තරම් ඈත කාලයකදී වෛද්‍ය මොන්ටේගු මරේ විසින් ඇස්බැස්ටෝස් වල වූ විවිධ සෞඛ්‍යමය ගැටළු අවබෝධ කර ගත්තා. ඇස්බැස්ටෝස් නිසා සිදු වූ පළමු මරණය 1906 දී වාර්තා වූවා. 1900 මුල්භාගයේදී ඇස්බැස්ටෝස් කැණීම් සිදු වූ ප්‍රදේශ වල මිනිසුන් විශාල වශයෙන් විවිධ පෙනහළු ආබාධ වලින් පෙළිම සහ මියයාම සිදු වීම නිරීක්‍ෂණය කළ වෛද්‍ය මරේ විසින් එසේ මියගිය අයගේ පෙනහළු විශ්ලේෂණය කිරීමේදී පෙනී ගියේ ඔවුන්ගේ පෙනහළු ඉතා විශාල වශයෙන් තුවාල වී සහ විනාශ වී ගොස් ඇති බව සහ ඇස්බැස්ටෝස් තැන්පත්ව තිබූ බවයි. ඒ අනුව එක්සත් රාජධානියෙහි අන්තරායකාරී කාර්මික රසායනද්‍රව්‍ය ගොන්නට ඇස්බැස්ටෝස් 1902 දී එකතු වූවා. එයට සමගාමීව 1906 දී ප්‍රංශයත්, 1908 දී ඉතාලියත් ඇස්බැස්ටෝස් එම ලැයිස්තුවට ඇතුලත් කළා.
ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් දෙවන ලෝක යුද්ධය කාලයේදී නැව් නිෂ්පාදන කර්මාන්තයේ යෙදුනු කාර්මිකයන් ලක්‍ෂයක් පමණ මියගොස් තිබුණේ ඇස්බැස්ටෝස් නිසා. එසේ වුවත් ඇමරිකාව අන් රටවල් මෙන් ඇස්බැස්ටෝස් තහනම් කරන්නට කටයුතු යෙදුවේ නැහැ. එය 1970 දශකය දක්වාම කිසිදු බාධාවකින් තොරව පාවිච්චි කෙරුණා. එසේම එහි සෞඛ්‍යමය හානිය 1930 කාලයේ සිටම දැන සිටියත්, සාමාන්‍ය ජනතාවගෙන් එය ඒ කාලයේ සිටම වසන් කරගෙන සිටි බවට පසුව සොයාගෙන තිබුණා. 2001 සැප්තැම්ර් 11 වන දින සිදු වූ ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථාන ප්‍රහාරය නිසා එහි කුළුණු දෙක සම්පූර්ණයෙන්ම බිඳ වැටුනා. එහි වූ දූවිලි සහ දුමාරයේ ඉතා විශාල වශයෙන් ඇස්බැස්ටෝස් අඩංගුව තිබීම නිසා බොහෝ සෞඛ්‍ය ගැටළු පැන නැගුනා.
කාර්මිකව භාවිතා වූ ටැල්ක් පවුඩර් සැකසුනේ ට්‍රෙමොලයිට් නම් ඛණිජය මගින් සෑදුන ඇස්බැස්ටෝස් නිධි ආශ්‍රිතවම තිබූ ටැල්ක් නිධි අනුසාරයෙන්. මේ නිසා ඒවා ඇස්බැස්ටෝස් මගින් දූෂිතව තිබුණා. මේ නිසාම දැන් ශරීරයේ ගල්වන ටැල්ක් සහ කාර්මිකව භාවිතා වන ටැල්ක් පවුඩර් ඉතා වෙනස් ප්‍රභව වලින් ලබා ගැනීමට කටයුතු යොදා තිබෙනවා.
ඇස්බැස්ටෝස් ඇත්තෙන්ම හානි දායක වන්නේ එහි ආශ්වාස කෙරෙන සාන්‍ද්‍රණය මත සහ ආශ්වාස කෙරෙන කාළය මතයි. කෙනෙකු ඇස්බැස්ටෝස් ආශ්‍රිත නිෂ්පාදන හෝ ගොඩනැගිලි කර්මාන්තයේ දිගු කාළයක් නියැලී සිටියේ නම්, අනිවාර්යයෙන්ම පෙනහළු පරීක්‍ෂා කර ගැනීම වැදගත්. හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇතිනම්, එයින් අදහස් වන්නේ පෙනහළු, ශ්වාස නාල, ප්ලූරාව වැනි දෑ ඇස්බැස්ටෝස් නිසා යම් තුවාලවීමකට ලක් වී ඇති බව විය හැකියි. මෙය ඇස්බැස්ටෝස් සෙවිලි කළ වහලයක් යට සිටින කෙනෙකුට ඒ තරම් බලපාන්නේ නැති වන්නට පුළුවන්. මක් නිසාද යත්, වහලයෙන් සියුම් තන්තු වායුගෝලයට මුදා හැරීම අවම වන නිසා සහ එම තන්තු වායුගෝලයට එකතු වීමේදී ඒවායේ සාන්‍ද්‍රණය ඉතා අවම වීම නිසා. මේ නිසා පෙනහළුවලට ඇතුළුවන තන්තු ප්‍රමාණය නොගිනිය හැකි තරම්.
මේ කරුණු නිසාම ඇස්බැස්ටෝස් වලට ආදේශකයන් සෙවීමට පර්යේෂකයන් පෙළඹුනා. ඒ අනුව ඒ සොයා ගන්නා සියළුම ද්‍රව්‍ය මානව පිළිකා කාරක නොවිය යුතු බවට නීතියක් පැන නැංවූයේ නව සොයා ගැනීම් සමහරවිට පැරණි දේටත් වඩා හානිදායක විය හැකිව තිබූ නිසා. ඒ අනුව 1978 දී වෙනස් ආකාරයක රටාවකින් බැඳී පවතින, Zetex නමින් හැඳින්වූ වීදුරු තන්තු වර්ගයක් සොයා ගැනුනේ Bal Dixit විසින්. එය ඇස්බැස්ටෝස් වලට වඩා සැහැල්ලු වූ අතර ඒ තරම්ම ඝර්ෂණයට ඔරොත්තු දෙන, ඇස්බැස්ටෝස් මෙන්ම භාවිතා කළ හැකි ද්‍රව්‍යයක් වූවා.
ඇස්බැස්ටෝස් බොහෝ භෞතික ගතිගුණ ගොන්නකින් සමන්විත වුවත් එහි වූ සෞඛ්‍යමය ගැටළු නිසා එහි වෙනස් ගුණ ආදේශක ද්‍රව්‍ය වලින් පිරිමසා ගැනීමට මිනිසුන් පෙළඹුනා ඇස්බැස්ටෝස් වල වූ ගින්නට ඔරොත්තු දෙන ගතිය ලබා ගන්නට සමත් ද්‍රව්‍යයක් වන PolyBenzImidazole නැතහොත් PBI තන්තු නිෂ්පාදනය වූයේ තාප සහ ගින්දර පරිවාරක ද්‍රව්‍ය ලෙස භාවිතා කිරීමට. එය ද්‍රවාංකය 760 °C (1,400 °F) වන ගිනි නොගන්නා ද්‍රව්‍යයක් නිසා ගොඩනැඟිලි පරිවාරණයට භාවිතා කළා.
ඇස්බැස්ටෝස් භාවිතයෙන් ඉවත් කිරීමත් සෞඛ්‍යාරක්‍ෂිතව කළ යුතුවූ නිසා බොහෝ විට ඒවා වගුරුබිම් පිරවීම වැනි දෑ සඳහා යොදා ගත්තා. සෙන්ටිග්‍රේඩ් 1000 – 1250 වැනි උෂ්ණත්‍වයකට රත් කළ පසු ඇස්බැස්ටෝස් සෞඛ්‍යාරක්‍ෂිත සිලිකේට් වීදුරු බවට පත් වන නිසා මයික්‍රොවේව් භාවිතයෙන් එසේ ඇස්බැස්ටෝස් සිලිකේට් වීදුරු සහ විවිධ වීදුරු භාණ්ඩ බවට පරිවර්තනය කිරීම ද සිදු වූවා.
ලංකාවේ ද පමා වී හෝ ඇස්බැස්ටෝස් තහනම සිදු කිරීම විශේෂයෙන්ම ඇස්බැස්ටෝස් ආශ්‍රිතව ගොඩනැගිලි කර්මාන්තයේ යෙදෙන කාර්මිකයන්ට සහ පෙදරේරුවන්ට සිදු කළ සාධාරණයක්. ලංකාවේ කර්මාන්ත ආරක්‍ෂණ කටයුතු ඉතා ලිහිල්ව සිදු කෙරෙන නිසා මේ කර්මාන්තයේ යෙදෙන්නන් මුඛ ආවරණ හෝ පැළඳ සේවය කරන්නේ නැහැ. මෙය ඉතා භයානක තත්ත්‍වයක්. ඇස්බැස්ටෝස් නොවුනත්, වෙනත් දූවිලි වර්ග පෙනහළු කරා යාම වලක්වන්නට බැහැ. මේ නිසා ගොඩනැඟිලි කර්මාන්තයේ යෙදෙන්නන් වෙත ආරක්‍ෂණ ක්‍රියා පිළිවෙලක් සැකසීම ඉතා යෝග්‍ය වන අතර එය කොළවලට සීමා නොවී සත්‍ය වශයෙන්ම ක්‍රියාවේ යෙදවිය යුතුයි. දැනට ඇස්බැස්ටෝස් සෙවිළි කළ ගොඩනැඟිලිවල ජීවත් වන උදවිය ඒ තරම් දැඩි අනාරක්‍ෂිත බවකට පත් වී නැති වුවත්, වහලවල් හෝ සිවිලිං ඉවත් කිරීමේදී හැකිතාක් දුරට ඒ අවටින් ඉවත් වී නාස් ආවරණය කරගෙන සිටීමෙන්, ඇස්බැස්ටෝස් ආඝ්‍රාණය වීම වලක්වා ගන්නට පුළුවනි. එසේම, ඒ පිළිබඳ අනවශ්‍ය බියක් ඇතිකරගතයුතු නැහැ. මක්නිසාද යත්, අප කොතරම් අවාසනාවන්තද යත්, ඇස්බැස්ටෝස් වලට වඩා භයානක රසායන ද්‍රව්‍ය සහ රසායනික සමඟ අප බොහෝ දෙනා සාමාන්‍ය ජීවිතයේදී ගැටුනත්, අපි ඒ පිළිබඳ නිසි අවබෝධයක් නොමැති නිසා එය හානිදායකදැයි කියා හෝ නොදන්නා නිසා… මේ නිසා අප භාවිතා කරන මොනයම් හෝ රසායන ද්‍රව්‍යයක්, ඖෂධ වර්ගයක්, හෝ ආලේපනයක රසායනික සංයුතිය සහ එහි අහිතකර ආචරණ සොයා බැලීම ඔබේ සෞඛ්‍යයට ඉතාමත් වැදගත්.
පණ දාගෙන Touch කලාට Touch Screen වැඩකරන්නෙ කොහොමද කියලා දැනගෙන හිටියෙ නෑ නේද ?
ඈත අතීතයේ මෙන්ම අද පවා බොහොමයක් පරිඝණක වලට දත්ත එකතු කිරීම සහ එම උපාංග භාවිතයට ගැනීමට පරිඝණක මවුසය, යතුරු පුවරුව, මයික්‍රෆෝනය ආදී අමතර කොටස් නැතුවම බැහැ. ඒ අතරට නවතම නිපැයුමක් ලෙස ස්පර්ශ සංවේදී තිර භාවිතයට පැමිණ ඇත්තේ ස්මාට් ජංගම දුරකථන සහ සමහර පරිඝණකවල මානව – යන්ත්‍ර අන්තර් සම්බන්ධතාවය වැඩිදියුණු කිරීමේ මෙවලමක් ලෙසින්.
අද ලෝකයේ පාවිච්චි වන බිලියන 8.4 ක් වන අන්තර්ජාලයට සම්බන්ධ උපාංග වලින් බොහොමයක්ම දෑ ස්පර්ශක සංවේදී තිර වලින් සමන්විතයි. ලොව රටවල් 88 ක ගණනයෙන් ජනගහනයෙන් සියයට 44 ක් ස්මාට් ජංගම දුරකථන භාවිතා වන බවයි සංඛ්‍යාත්මක දත්ත වලින් පැවසෙන්නේ. මෙය 2022 වනවිට සියයට 58 ක් දක්වා වැඩි වන්නට පුළුවනි. අපේ කුඩා දරුවන් පවා දැන් වැඩිහිටියන්ටත් වඩා ඉක්මනින් ස්පර්ශක සංවේදක උපාංගවලට අනුගත වෙනවා. ජංගම දුරකථනවලින් ඔබ්බට ගොස්, ටැබ්, රූපවාහිනී, ශීතකරණ, ව්‍යායාම උපකරණ, ස්වයං සේවා ස්ථාන, බැංකු, සහ වාහනවල නියාමක පුවරු ආදී බොහොමයක් දෑ පවා දැන් ස්පර්ශක සංවේදක තිරවලින් සමන්විතයි. මේ නිසා ඉදිරියේදී ලොව බොහෝ උපාංග අනිවාර්යයෙන්ම ස්පර්ශක සංවේදී තිරවලින් යුක්ත වීම වලකා ලන්න බැහැ. 2020 වනවිට අන්තර්ජාලයට සම්බන්ධ උපාංග සංඛ්‍යාව බිලියන 20 ක් දක්වා වැඩිවිය හැකි බවයි සැලකෙන්නේ. අපි හැමදාම හැම වෙලේම පාවිච්චි කළත්,මේ ස්පර්ශ සංවේදක පෘෂ්ඨවල ක්‍රියාකාරීත්‍වය කොහොමද කියලා බොහෝ දෙනෙක් නොදන්නවා වන්නට පුළුවනි.
ස්මාට් දුරකථන භාවිතාවේදී ඉදිරියෙන්ම සිටින්නේ උතුරු ඇමරිකාව සහ බටහිර යුරෝපයයි. නැගී එන වෙළඳපොළවලින් මධ්‍යම සහ ලතින් ඇමරිකාව මෙම උපාංග හඳුන්වාදීමේ වේගය අතින් ඉදිරියෙන්ම සිටිනවා. ආසියාව ඊට පිටුපසින් සිටින අතර අප්‍රිකානු කලාපට ඉතා සෙමින් වර්ධනය වීමක් දක්වනවා.
ලෝකයේ ඇති සමහර දෑ වලට එක් පුද්ගලයෙක් පමණක් දායක වී නැහැ. අප නොදන්නවා වූවත්, මෝටර් රථ, ගුවන්යානා, පරිඝණක, ආදී දෑවල සොයා ගැනීම සහ ප්‍රගමනය බොහෝ දෙනාගේ දායකත්‍වයෙන් සිදු වූවක්, ස්පර්ශ සංවේදක තිරයටත් එක් මූලික නිමැවුම්කරුවකු නැහැ. එසේ නමුත්, එය විකාශනය වූ ආකාරය නම් බොහොම රසවත්.
ස්පර්ශ සංවේදක තිරවල සොයා ගැනීම 1950 දී පමණ සොයා ගත් තුඩෙහි ආලෝක සංවේදී කොටසක් ද, වලිගය පරිඝණකයට සම්බන්ධ ආලෝකය භාවිතයෙන් ලියැවෙන පෑනක් දක්වා අතීතයට දිව යනවා.මෙය පරිඝණක ග්‍රැෆික් තාක්‍ෂණය සඳහා සැකසුන Project Whirlwind නම් ව්‍යාපෘතියට සම්බන්ධකයි. මෙය වර්තමාන ස්පර්ශ සංවේදී තිර මෙන් ක්‍රියාත්මක නොවුනේ සියළුම ක්‍රියාවලි පෑන තුළ වූ පරිපථ මගින් පාලනය වූ නිසයි. නමුත් මේ පෑනෙන් සාමාන්‍ය පරිඝණක තිර, ස්පර්ශ සංවේද තිර මෙන් භාවිතා කළ හැකි වූවා.
ස්පර්ශ සංවේදක තිර පිළිබඳ මුල්ම අදහස ඉදිරිපත් කර ඇත්තේ එංගලන්තයේ රාජකීය රේඩාර් ආයතනයේ (Royal Radar Establishment ) E.A. Johnson විසින් 1965 දී ප්‍රකාශ කරන ලද කෙටි ලිපියකින්. එසේ වුවත්, 1960 දශකය සහ 70 දශකයේ මුල් කාලයේදී පරිඝණක විද්‍යාඥයින් විසින් මිනිසා සහ පරිඝණකය අතර වූ පරතරය අඩු කිරීම වෙනුවෙන් කළ පරීක්‍ෂණ වලදී නව සොයාගැනීම් බොහොමයක් සිදු වූවා. ඒ අතර මවුසය සොයාගත් Douglas Engelbart, පරිඝණක ග්‍රැෆික් සහ virtual reality (අතථ්‍ය යතාර්ථය) සොයා ගත් Ivan Sutherland, සහ Graphical User Interface (GUI) සොයාගැනීමට දායක වූ ඔහුගේ සගයා වන Alan Kay කළ පර්යේෂණ වැදගත් සංධිස්ථානයක් සටහන් කළා.
වර්තමාන ස්පර්ශ සංවේදී තිරයකට ආසන්නයෙන් ක්‍රියාත්මක වන උපකරණයක් තැනීමට Elographics, Inc. නම් ආයතනයේ George S. Hurst සහ William C. Colwell සමත් වූ අතර ඔවුන් එය “Discriminating Contact Sensor,” නමින් නම් කර, 1975 ඔක්තෝබර් 07 වන දින පේටන්ට් බලපත්‍රයක් ලබා ගත්තා. එහි විශේෂත්‍වය වූයේ විද්‍යුත් පරිවාරක ස්ථරයකින් වෙන් කළ සන්නායක තිර දෙකක් පෑනකින් තද කිරීමේදී නැවත සන්නායකතාවය ඇතිකිරීමෙන් මෙම සංවේදීතාවය ලබා ගැනීමයි. එය සාමාන්‍යයෙන් පෑනකින් ලියනවාක් වැනි කර්තව්‍යයකින් සංවේදනය ලබා ගත්තත්, දැන් භාවිතා වන ස්පර්ශ සංවේදන තිර මෙන් භාවිතා කරන්නාගේ ඇඟිලිවලට සංවේදනය ලබා දුන්නේ නැහැ.
බොහෝ දෙනා සිතා සිටින්නේ ස්පර්ශ ස්වේදී තිරයේ ආගමනය Steve Jobs ගේ ඇපල් ස්මාට් ජංගම දුරකථනයේ එළිදැක්වීමත් සමග සිදු වූවක් ලෙසින්. නමුත්, එම තාක්‍ෂණය මෙයට වසර 20 කටත් එපිට පැතිර යන එකක්. එයින් ප්‍රධානම වනුයේ 1987 දී එලි දැක්වුන Linus Write-Top නම් වූ Newton නමින් වානිජ්‍යව නම් කළ විශාල තිරයක් ඇති ටැබ්ලට් පරිඝණකයයි. ඊට අවුරුදු පහකට පසු, ඇපල් සමාගම විසින් සිය ප්‍රථම ස්පර්ශ සංවේදක උපකරණය ජපානයේ Sharp සමාගම සහ එක්ව එළිදක්වනු ලැබුවා. එයද Newton උපකරණය මෙන්ම පෑනක් භාවිතයෙන් ලියැවෙන තිරයකින් සමන්විත වුවත්, මේ අවස්ථාවේදී එහි තිරය ඉතා දියුණු කර, සියළුම ඉලෙක්ට්‍රොණික සංනිවේදනයන් තිරය මගින් සිදු කිරීමට වැඩිදියුණු කර තිබුණා. මෙය ඉතා රළු ලෙස ස්පර්ශ සටහන් ග්‍රහණය කර ගනු ලැබුවත්, එය කිසිම විටෙක වෙළඳ පොළේ සාර්ථක වූයේ නැහැ. 1990 දශකයේ මැද භාගයේ වෙළඳපොළට එළිදැක්වූ පෞද්ගලික සංඛ්‍යාක සහකාර උපාංග නොහොත් PDA (personal digital assistants) මෙවැනි පෑනක ආධාරයෙන් තිරය මත සටහන් කළ හැකි සංවේදක තිර වලින් සමන්විත වූවා. මේ නිසාම සංවේදක තිර සහිත උපාංග භාවිතා කරන සියළුම දෙනා, ඉහත කී නිර්මාණකරුවන්ට කෘතවේදී විය යුතුමයි.
ස්පර්ශ සංවේදී තිරයක ක්‍රියාකාරීත්‍වය පරිඝණක යතුරු පුවරුවක ක්‍රියාකාරීත්‍වයට මූලිකවම සමාන කළ හැකියි. එනම් එහි වූ සෑම අකුරකටම ඉලෙක්ට්‍රොණික යතුරක් වෙන්ව තිබෙනවා. ඒවා යතුරු පුවරුව පතුලේ වූ පරිපථයකට සමගාමීව සකස් කර තිබෙනවා. එම පරිපථය සහ යතුරු ප්ලාස්ටික් ස්ථර තුනකින් වෙන්ව පවතිනවා. දෙපස වූ විද්‍යුත් සන්නායක ලෝහ පරිපථ සහිත ස්ථර දෙක මැද පරිවාරක ස්ථරයකින් වෙන්ව තබා ගෙන තිබෙනවා. එම යතුර පතුලේ සංවේදක සහිත කුඩා තිතක් යොදා තිබෙනවා. මෙම යතුර තද කිරීමේදී එහි වූ පරිපථය සම්පූර්ණ වීමෙන් අකුර සඳහන් වීම සිදු වනවා. එසේම මෙම පරිපථයෙන් නිකුත් වන විද්‍යුත් ප්‍රමාණයේ වෙනස පරිඝණකය හඳුනාගැනීම මගින් ඔබ සටහන් කරන විවිධ අකුරු පරිඝණකය විසින් හඳුනා ගැනීම වීම සිදු වනවා. ස්පර්ශ සංවේදී තිරවල ද සිදු විය යුත්තේ මෙම ක්‍රියාවලියයි. එසේ වූ මුත්, තිරය තුළ පරිපථ, ස්විච ආදිය සැකසිය නොහැකි නිසා, වෙනත් ආකාරයට එය සිදු කළ යුතුයි.
කාලයාගේ ඇවෑමෙන් මෙම ස්පර්ශ සංවේදී තිර ඉතා දියුණු තත්ත්‍වයට පත් වී තිබෙනවා. සමහර ඒවා එක් ස්පර්ශයකට (Single Point Touch)පමණක් සංවේදී වන අතර දියුණු තිර බහු ස්පර්ශ සංවේදනයට (Multi Point Touch) ප්‍රතිචාර දක්වනවා. කෙසේ වුවත් මේ තාක්‍ෂණය ප්‍රධාන වශයෙන් ක්‍රම කිහිපයකින් සමන්විතයි.
ප්‍රතිරෝධක ස්පර්ශ සංවේදී තිර Resistive Touch Screens
දැනට වෙළඳපොලේ බහුලවම දක්නට ඇත්තේ මෙම කාණ්ඩයයි. මේවා ක්‍රියා කරන්නේ ද ඉහත කී යතුරු පුවරු ක්‍රියාත්මක වන ආකාරයටමයි. එහි උඩින්ම ඇති නම්‍යශීලී සන්නායක පොලිඑස්ටර් ස්ථරය පහලින්ම ඇති සන්නායක වීදුරු ස්ථරයකින් වෙන්වී ඇත්තේ පරිවාරක ස්ථරයකින්. ඔබ තිරය තද කරන විට පොලිඑස්ටර් ස්ථරය වීදුරු ස්ථරයේ ස්පර්ශ වීම නිසා පරිපථය සම්පූර්ණ වනවා. මෙය යතුරු පුවරුවේ යතුරු තද කරනවා හා සමානයි. තිරය තුළ වූ චිපයක් මගින් ස්පර්ශ කළ ස්ථානය හඳුනා ගැනීම මගින් අදාල කාර්යය සම්පූර්ණ වනවා.
ධාරිත්‍රක ස්පර්ශ සංවේදී තිර Capacitive Touch Screens
මෙම තිර නිපදවා ඇත්තේ වීදුරු ස්ථර කිහිපයක් උපයෝගී කරගෙනයි. අභ්‍යන්තර ස්ථරය මෙන්ම පිටත ස්ථරයද විද්‍යුත් සන්නායකතාවය ඇති කරනවා. මේ නිසා මුළු තිරයම විශාල ධාරිත්‍රකයක් ලෙසින් ක්‍රියා කරනවා. ඔබ ඇඟිල්ල තිරය අසළට රැගෙන ආ විට ඔබ තිරය මතුපිට වූ විද්‍යුත් ක්‍ෂෙත්‍රයේ වෙනසක් ඇති කරනවා. මේ නිසා එය සංවේදනය වෙනවා. මෙහිදී තිරය මතුපිට වූ ක්‍ෂෙත්‍රය මගින් විද්‍යුත් ආරොපණ භාවිතා කරන පුද්ගලයාගේ සිරුරට පැමිණිය යුතුයි. මේ නිසයි එම තිර අත්වැසුම් හෝ ස්ටයිලස් ආකාරයේ පෑන් සඳහා සංවේදී වන්නේ නැත්තේ. ඒ ස්ටයිලස් පෑන් සහ අත්වැසුම් ප්ලාස්ටික් වලින් හෝ පොලිමර් වර්ග වලින් නිපදවා තිබීම නිසා ඒවා තිරය මතුපිට විද්‍යුත් ක්‍ෂෙත්‍රය වෙනස් වීමකට භාජනය නොකරන නිසායි.මේ ආකාරයේ තිර බහු ස්පර්ශ සඳහා සංවේදී වනවා. මේවා ප්‍රතිරෝධක සංවේදී තිර වලට වඩා මිලෙන් වැඩියි.
අධෝරක්ත ස්පර්ශ සංවේදී තිර Infrared Touch Screens
අධෝරක්ත කැමරා සහ සොරුන් ඇල්ලීමේ නවතම සංවේදී උපකරණ මෙන් මෙම සංවේදී තිර ද ඒවායේ ප්‍රතිවිරුද්ධ ස්ථරවල ඉතා කුඩා LED සහ ප්‍රකාශ සංවේදී Photo Cell වලින් සමන්විතයි. මෙම තිරයේ ඇති LED බල්බ තිරය මතුපිටට අධෝරක්ත කිරණ එල්ල කරනවා. ඔබ ස්පර්ශ සංවේදී තිරය ස්පර්ශ කළ වහාම එම කිරණවලට බාධා ඇතිවනවා තිරය තුළ ඇති මයික්‍රෝ චිපය විසින් ඔබ ස්පර්ශ කළ ස්ථානය ගණනය කිරීම මගින් සංවේදනය සම්පූර්ණ කරනවා. Sony Reader ebooks හි භාවිතා වන්නේ මේ තාක්‍ෂණයයි. ඔබ විසින් අධෝරක්ත කිරණ වලට බාධාවක් සිදු කරන නිසා, ඔබ ඇඟිල්ලකින් ස්පර්ශ කළත්, ස්ටයිලස් ආකාරයේ පෑනකින් ස්පර්ශ කළත්, මේ සංවේදී තිර එක ලෙස ප්‍රතිචාර දක්වනවා.
පෘෂ්ඨික ධ්වනික තරංග (Surface Acoustic Wave)
මෙම තාක්‍ෂණය විසින් ග්‍රහණය කරනු ලබන්නේ ආලෝකය හෝ ස්පර්ශය නොව, ශබ්ධයයි. මෙම තිර මගින් මිනිස් කණට ග්‍රහණය නොවන ආකාරයේ අධි සංඛ්‍යාත ශබ්ධ තරංග නිකුත් කිරීම සහ ග්‍රහණය කරනු ලබනවා. ඔබ මෙම තිරය ස්පර්ශ කිරීමේදී එම තරංගවලට බාධා පමුණුවමින් එම ශබ්ධ තරංග අවශෝෂණක කිරීමක් සිදු කරනවා. තිරය තුළ වූ මයික්‍රෝ චිපය මගින් ඔබ තිරය ස්පර්ශ කළ ස්ථානය හඳුනාගෙන පරිපථය සම්පූර්ණ කරනු ලබනවා.
ප්‍රත්‍යාසන්න ක්‍ෂෙත්‍ර මූර්තනය (Near Field Imaging)
ඔබ පැරණි රේඩියෝවක් අසළ එහාමෙහා යනවිට රේඩියෝ තරංගවලට බාධා එල්ලවී කිසියම් ශබ්ධයක් නිකුත්වනු අත් දැක ඇති. එය සිදු වන්නේ ඔබේ ශරීරයේ ඇති විද්‍යුත් චුම්භක ක්‍ෂෙත්‍රය මගින් ගුවන් විදුලි තරංගවලට බාධා ඇතිවීමයි. ඔබ ගුවන් විදුලි යන්ත්‍රයට ආසන්න වත්ම, ඔබ ඇතිකරන ආචරණය වැඩි බව ඔබට දැනෙනු ඇති. මේ ආකාරයේ තිර ක්‍රියාත්මක වන්නේද මෙම සංසිද්ධිය අනුසාරයෙන්. ඔබ තිරයට ලංවත්ම, වීදුරු තිරය මතුපිට ඇති විද්‍යුත් ක්‍ෂෙත්‍රය වෙනස් කරනු ලබනවා. ඔබ එය ස්පර්ශ කරත්ම, එය හඳුනා ගන්නවා. මෙය අනෙත් තාක්‍ෂණයන්ට වඩා රළු පැවැත්මට ඔරොත්තු දෙන තාක්‍ෂණයක් නිසා දැඩි පරිසර තත්ත්‍වයන්ට භාජනය වන උපකරණවලට මෙම තාක්‍ෂණය භාවිතා කරනවා. බොහොමයක් යුධ උපකරණ වල භාවිතා වන්නේ මෙම තාක්‍ෂණයයි. වෙනත් තිර මෙන් නොවෙයි, මේ තිර පෑන්, ඇඟිලි මෙන්ම අත්වැසුම් දමාගෙන හෝ පාවිච්චි කිරීමට පුළුවන්.
දැන් දැන් ස්පර්ශ සංවේදක තිර භාවිතයට නොගන්නා තැනක් සොයා ගැනීමට අපහසුයි. වෙළඳසැල්, දුම්රිය හෝ බස් ටිකට් ගන්නා ස්ථාන, කර්මාන්ත ශාලා, යුධ බිම ආදී විශාල පරාසයක විවිධාකාර භාවිතාවන් සඳහා ස්පර්ශ සංවේදක තිර භාවිතා කරනවා. එයට තිරය තිබීමම ප්‍රමාණවත් නිසා අමතර උපකරණ කිසිවක් අනවශ්‍යයි. එසේම තිරය මතුපිට සියළුම විස්තර දිස්වීම නිසා භාවිතා කරන්නාට ඉතාම සරළව, ඉක්මනින් සහ සෘජුව තොරතුරු ඇතුලත් කිරීම හෝ ලබා ගැනීමට සිදු කළ හැකියි.
අප බොහෝ දෙනා භාවිතා කරන ස්මාට් ජංගම දුරකථන අපට අවශ්‍ය සෑම විස්තරයක්ම ඒ මත දැක්වීම කරනවා පමණක් නොවෙයි, අවශ්‍ය අවස්ථාවක යතුරු පුවරු, පින්තූර, ආදී සියල්ල අන්තර් සම්බන්ධතා සහිතව අපට භාවිතා කිරීමේ පහසුව ලබා දී තිබෙනවා. ඉතින් අදින් පසුව ස්මාට් ජංගම දුරකථනයක් හෝ ස්පර්ශ සංවේදී තිරයක් සහිත උපකරණයක් භාවිතා කරනවිට එහි තාක්‍ෂණය කුමක්දැයි යන්න ගැන තරමක් සැළකිලිමත් වන්න…
පිටස්තරයා – 04
විශ්ව සමාධි සූර්යබණ්ඩාර….
ඔව්…
වයස අවුරුදු 30 යි…
හරි….
ඇයි ඔබ හාවඩ් වැනි විශ්ව විද්‍යාලයක තනතුරක් ලැබී තිබියදීත් මේ වගේ තැනකට එන්න බලන්නෙ… ඔබට හාවඩ් විශ්ව විද්‍යාලය කියන්නෙ මීට වඩා යමක් කරන්න පුළුවන් තැනක්.. ඒ වගේම බොහෝ ප්‍රසිද්ධියක් ලබන්න පුළුවන් තැනක්….මහාචාර්ය ලිපර්ඩ් සම්මුඛ පරීක්‍ෂණය ආරම්භ කරමින්ම විශ්වගෙන් ඇසුවේය.
මේ මගේ කැමැත්ත තිබෙන පැත්ත.. හාවඩ් විශ්ව විද්‍යාලයට ගියත් මට මගේ පර්යේෂණ වලට මෙතැන වගේ සම්පත් සහ උපකරණ ආදිය සොයා ගන්න අමාරු වෙයි… බලන්න ඔයාලා ලඟ තිබෙන අවම ඝර්ෂණය සහිත ප්‍රති ගුරුත්ව මේසය…. ඔයා හිතනවද මේ වගේ උපකරණයක් මට හාවඩ් විශ්ව විද්‍යාලයෙන් හොයා ගන්න ලැබෙයි කියලා…
මහාචාර්ය ලිපර්ඩ සහ නීල් ෆියු මුහුණට මුහුණ බලා ගත් අතරම නැන්සි සිය කටහඬ අවදි කළාය…
ඔයාගෙ ජීව දත්ත සටහනේ සඳහන් වෙනවා ඔයා බොහෝ ක්‍රීඩා කළ පුද්ගලයෙක් බව.. ඔයා කොහොමද බර්ක්ලි වගේ විශ්ව විද්‍යාලයක ඇති වැඩ කන්දරාවත් එක්ක මෙතරම් හොඳට විභාග සමත් වුනේ…
“බර්ක්ලි විශ්ව විද්‍යාලය වගේ තැනක මලල ක්‍රීඩාවට තැන දෙන අය හරිම අඩුයි. ඒ වගේම මම කුඩා කාළයෙ ඉඳලම වෙලාව හොඳින් කළමණාකරණය කරගෙන හිටපු කෙනෙක්, ඒ නිසාම මට අධ්‍යාපනයට කියලා විශේෂයෙන් අමතර කාළයක් යොදවන්න අවශ්‍ය වුනේ නැහැ.”
“අපි දන්නවා ඔයාට ඉතා හොඳ මතක ශක්තියක්, යමක් එකවරක් බැලූ විට මතක තබා ගැනීමේ හැකියාවක් (Photographic Memory) තිබෙන බව… අපට කියන්න පුළුවන්ද ඔයා ඒ හැකියාව ලබා ගත්තෙ කොහොමද කියලා…”
ඔහුගේ මුහුණේ සිනා රැල්ලක් දුටු පළමු අවස්ථාව එය විය…..
“ඔයා සෑහෙන්න ඇමරිකානු රූපවාහිනී වැඩසටහන් බලනවා වගෙයි…”
විශ්ව තරමක් උපහාසයෙන් පැවසීය….
“ඇමරිකානු රූපවාහිනී වැඩසටහන්වල කියැවෙන Photographic Memory කියන ප්‍රස්තූතය ඇත්තෙන්ම සත්‍යයක් නොවෙයි නැන්සි මහත්මිය.. ඔයා දන්නවා ඇති CIA නිලධාරිනියක් විදියට ඔබේ ආයතනයේවත් Photographic Memory ඇති අය නැති බව.. නමුත් මට හොඳ මතකයක් තිබෙනවා. එය Photographic Memory එකක් නොවෙයි.. මගේ අවධානය එකතැනකට යොමු කළ විට ඒ දේවල් හොඳින් මතක තබා ගැනීමේ ශක්තියක් තිබෙනවා. එය මනස පුහුණු කිරීමෙන් කළ හැකි දෙයක්…”
“ඔයා කොහොමද හිතන්නෙ මම CIA ආයතනයෙ කියලා….”
“නැන්සි මහත්මිය, ඔයාගෙ හැසිරීමෙන් අහන ප්‍රශ්නවලින් මට අනුමාන කරන්න පුළුවන් ඔයා එවැනි ආයතනයකින් පැමිණි අයෙක් බව, ඔබේ ලඟ ඇති ප්‍රශ්නවල ක්‍ෂෙත්‍ර දැනුමක් නැහැ. ඔයා මෙතැනට ඇවිත් තිබෙන්නේ පුද්ගල චර්යාවන් නිරීක්‍ෂණයට.”
නැන්සි පෙපර්ගේ දෑස් විශ්මයෙන් ඇළලෙනු එතැන සිටි බොහෝ දෙනාට දැනුනි…
“හොඳයි විශ්ව…. ඔයා ස්ටැන්ෆර්ඩ් සරසවියේ ආචාර්ය උපාධියට හැදෑරුවෙ ප්‍රති ගුරුත්ව ක්‍ෂෙත්‍ර පිළිබඳව… නමුත් බොහෝ ශිෂ්‍යයෝ ආචාර්ය උපාධියට හදාරන්නෙ මෙයට වඩා වෙනස් විෂයයන්, ඇයි මේ වගේ වෙනස් විෂයයක් තෝර ගත්තෙ ?”
“පෘථිවි පෘෂ්ඨයේ ගුරුත්වාකර්ෂණය කිසිවිටෙක එක හා සමානව පැතිරිලා නැහැ. සමහර ස්ථානවල වැඩි ගුරුත්වයකුත්, තවත් සමහර ස්ථානවල අඩු ගුරුත්වයකුත් පවතිනවා. උදාහරණයක් වශයෙන් බහමාස් දූපත් අසළ, ඉන්දියාවේ හිමාලය කඳුවැටියේ පරිවාර කඳු සහ ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට දකුණින් රූමස්සල නම් ප්‍රදේශයේ පවතින්නේ බොහොම අඩු ගුරුත්ව ක්‍ෂෙත්‍රයන්. ඒ වගේම අන්දීස් කඳු, පැසිෆික් සහ අත්ලාන්තික් සාගරයේ සමහර පෙදෙස්වල ගුරුත්‍ව ක්‍ෂෙත්‍රය බොහොම වැඩියි. මෙන්න මේ විසංකූලතා සහ තවත් ඓතිහාසික සාධක මත මම ගුරුත්‍ව ක්‍ෂෙත්‍ර පිළිබඳ හැදෑරීම තෝරා ගත්තා..”
“නමුත්, ඔයා ගුරුත්‍වය පිළිබඳ දරන ආකල්පය බොහොම වෙනස් දෙයක්….”
“ඔව්… මම ගුරුත්‍වය පිළිබඳ හිතන්නෙ එය වස්තූන් දෙකක් අතර වූ සම්බන්ධතාවයක් විදියට. සරළ උදාහරණයක් ගත්තොත් යම් කෙනෙක් තවත් කෙනෙක් වෙතට දරන ආකර්ෂණය හෝ විකර්ෂණය ඒ දෙදෙනාගේ ජීව රසායනය අනුව වෙනස් වෙනවා ; එහෙමත් නැතිනම් අණු හෝ පරමාණු දෙකක් අතර බැඳීම ඒවායේ ආරෝපණ අනුව සහ වෙනත් සාධක මත වෙනස් වෙනවා. මේ බැඳීම් වගේම විශාල වස්තූන්වල ආකර්ෂණය විකර්ෂණයත් මෙන්න මේ කුඩා අණුක-පරමාණුක සම්බන්ධතා අනුව ගණනය කරන්න පුළුවනි. නමුත් බොහෝ දෙනා සිතාගෙන ඉන්නේ ගුරුත්‍වය බලපාන්නෙ විශාල වස්තූන්ට පමණක් බව, අපි පොළව අතගාලා වැලිකැටයක් ගත්තොත් එයටත් කිසියම් ගුරුත්‍වයක් තිබෙනවා.”
“ඔයාලා දන්නවානෙ ගුරුත්‍වය ගණනය කරන සරළම සමීකරණය.”
g = GM/r2
මෙහිදී ඔයාලට පේනවා ඇති r අගය ගුරුත්‍වයට ලොකු බලපෑමක් කරන බව. දැන් ඔබ වැලිකැටයක් වැනි කුඩා දෙයක් සළකා බැලුවහොත්, අන්න ඒකටත් කිසියම් අරයක් තිබෙනවා. M කියන්නෙ එහි ස්කන්ධය, G ගුරුත්වාකර්ෂණ නියතය… මෙන්න මෙතැනදියි බොහෝ දෙනාට වරදින්නෙ.. ඒ වගේම නොසළකන්නෙ අපට මෙන්න මේ කුඩා වස්තූන්වල ගුරුත්‍වාකර්ෂණ නියතය හදාරන්න අපහසුයි පෘථිවි ගුරුත්‍වය බලපාන නිසා. නමුත්, අපට හැකි නම් පෘථිවි ගුරුත්‍වය නොසලකා හරින්න නැතිනම් ශුන්‍ය කරන්න, අන්න ඒ අවස්ථාවෙදි අපට පුළුවනි එක් එක් වස්තූන්ගෙන් අනෙක් දේ වලට ඇති ආකර්ෂණය – විකර්ෂණය ගණනය කරන්න. මගේ පර්යේෂණය වුනේ මෙන්න මේ ගුරුත්‍වය නොසලකා හැරිවිට සිදුවන අන්තර් සම්බන්ධතා පිළිබඳ අධ්‍යයනය. ඉතින්, ඔයාලට දැන් තේරෙනවා මම ඇයි හාවඩ් විශ්ව විද්‍යාලයට වඩා මෙතැනට කැමැත්තක් දක්වන්නෙ කියලා.
ඒ පිළිතුරෙන් සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ සිටි සිවු දෙනා පමණක් නොව සත්‍යය නිර්ණය කරන පොලිග්‍රාෆ් යන්ත්‍රය ක්‍රියාකරවන තාක්‍ෂණික නිලධාරියා ද සෑහීමකට පත්වනු විශ්වට දැණුනි.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: Piece of Cake !
මැතිව් නාවික පර්යේෂණ ආයතනයෙන් පිටත්වන පිටවන විටම තමන්ට කියා ගත්තේය…….
33 වන මට්ටමේ මේසන්වරු ලෝකයේ සිටින්නේ අතලොස්සකි. රහස්‍යව පැවති අති බලවත් සමාජයක් වූ Free Masons නම් සමාජයට අයත් බලවත් පුද්ගලයින්ගේ ලැයිස්තුව එසේ මෙසේ එකක් නොවේ. ජෝර්ජ් වොෂිංටන්, බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්, ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්, එළිසබෙත් රැජිනගේ ස්වාමියා වන එඩින්බරෝ ආදිපාද ෆිලිප් කුමරු, වින්ස්ටන් චර්චිල් වැනි ලොව පාලනය කිරීමට සම්බන්ධ බලවතුන් ද, සුප්‍රකට කතා රචක සර් ආතර් කොනන් ඩොයිල්, ගලිවරය ලියූ ජොනතන් ස්විෆ්ට් වැනි ලේඛකයින්, ගගනගාමී එඩ්වින් ඕල්ඩ්‍රින් වැන්නවුන් මෙන්ම හිල්ටන් හෝටල් සමූහයේ නිර්මාතෘ චාර්ල්ස් හිල්ටන්, වෙන්ඩීස් අවන්හල් සමූහයේ නිර්මාතෘ ඩේව් තෝමස් වැනි ව්‍යාපාරික දැවැන්තයන් ද, ඉන්දියාවේ ආගමික ගුරු ස්වාමි විවේකානන්ද ඇතුළු ලෝ වටා වූ බොහෝ බලවත් පුද්ගලයින් රැසක් සාමාජිකත්‍වය දරන ඉතා බලවත් සමාජයක් වන මෙහි සාමාජිකත්‍වය ලබා ගැනීමට ද අතිශය අපහසු කරුණකි. එසේ ලබා ගන්නා සාමාජිකත්‍වය වරින් වර සිදු කෙරෙන සමත්කිරීම් සහ පරීක්‍ෂණවලින් පසුව මට්ටමින් මට්ටම ඉහළට ගොස් අවසන උසස්ම මට්ටම වන 33 වන මට්ටමට උසස් කරනු ලැබේ. එය අතිශය උසස් ස්ථානයකි. ලොව පුරාම 33 වන මට්ටමේ මේසන්වරු සිටින්නේ අතලොස්සකි. ඒ අතරට බලවත් රාජ්‍ය නායකයින් බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන් සහ සොලමන් පරම්පරාව මෙන් පාරම්පරික මේසන්වරු ද අයත් වෙති.
සිය පියාගේ සම්බන්ධතා මෙන්ම ආණ්ඩුව තුළ වූ මේසන්වරුන්ගේ බලපරාක්‍රමය මත මේ රැකියාව තමන්ට ලැබෙන බව දැන් ඔහුට ඉර හඳ සේ විශ්වාසය. තමා තරමක් උඩඟු බවක් පෙන්වුවත් එයින් තමාගේ නායකත්‍ව ගුණාංගයන් ඉහළට ඔසවා තැබෙන බව ඔහු කල්පනා කළේය. කවුරු සම්මුඛ පරීක්‍ෂණයට පැමිණියත්, තමන්ට මේ අවස්ථාව ලැබෙන බව ඔහුට තේරුම් ගොස් තිබුණි.
::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: ඇලෙක්ස් සිය වාර්තාව සම්මන්ත්‍රණ කාමරයේ සිටි සිවු දෙනා වෙත ගෙන ගොස් පසෙක වූ සුවිශාල තිරය මත දිස්වන්නට සැලැස්වීය. තම ආයතනයේ ඇති පර්යේෂණ විද්‍යාඥ තනතුර සඳහා ඉදිරිපත් වූ අපේක්‍ෂකයින්ගෙන් අවසන් අදියරට පැමිණි තිදෙනාගේ පර්යේෂණ ඉදිරිපත් කිරීම්වල පරිඝණක විශ්ලේෂණයන් වෙන වෙනම සසඳා තිබුණි. ඒ අනුව පැහැදිලිවම පිළිතුරක් ලැබී තිබූ නමුත් පරීක්‍ෂණ මණ්ඩලයේ සිටි සිවුදෙනාම එකසේ එයට කැමති වූයේ නැත….
පරිඝණක වැඩසටහන හරි වෙන්න පුළුවන්… නමුත් අපට තියෙනවා නේද කිසියම් හැඟීමක්…Gut Feeling එකක්… එතකොට ඒකට කිසිම තැනක් නැද්ද මෙතැන ? නැන්සි නැවතත් සිය විරෝධතාවය පළ කළා….
නැන්සි… ඔබ දන්නවා අපි මෙතැන ගන්න හැම තීරණයක්ම තර්කානුකූලව ගත යුතුයි කියලා… හැඟීම් කියන්නෙ මිනිස්සුන්ගෙ බොහොම දුර්වල තැනක්… අපට වඩා ඔබ ඒක දන්නවා… නමුත් අපි යට වෙන්න හොඳ නැහැ සමාජ සම්බන්ධතා වලට…..
නමුත්, අපි මේ වාර්තාව මත පමණක් තීරණය ගන්න බැහැ නේද ? FBI එකේ පසුබිම් වාර්තාව එනකල් කවුරු වුනත් ඉන්නෙ එකම තැනක… ඒක අනුව නෙ අපි අවසාන තීරණය ගන්නෙ…
ඇත්ත.. නමුත් මෙයා තමයි අපට දැනට හොඳටම සුදුසු… අපි දැක්කා එයාගෙ ඉදිරිපත් කිරීම, කියන්න තරම් වැරැද්දක් ඇත්තෙම නැහැ.. තරමක් මුරණ්ඩු ගතියක් පෙන්වුවත් බුද්ධිමත්, මම හිතන්නෙ අපි පරිඝණක වැඩසටහන අනුව යා යුතුයි…
බලමු… තවත් වාර්තා එන්න තිබෙනවා නෙ…. එහෙනම් අපි ආයෙම කවදද හමු වෙන්නෙ.. මට මේක ඉක්මනටම අවසන් කරලා මේ පර්යේෂණය ඉක්මන් කරන්න ඕන…. කල් දාන්න බැහැ..
සියළුම දෙනා සිය ජංගම දුරකථන වලින් සිය කාලසටහන් පරීක්‍ෂා කරන්නට වූහ….
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
හලෝ……… මට පුළුවන්ද දකුණු ආසියානු බුද්ධි බලකායේ මේජර් බෙන්ජමින් වයිට් ට කතා කරන්න… මම ජෙනරාල් වෙලිංටන්… NSA එකෙන්……
CIA මූලස්ථානයේ දුරකථන යතුරු පුවරුව ක්‍රියාකරවන මෙලිසා කොවැක්ස් සිය පරිඝණකයට ජෙනරාල් වෙලිංටන්ගේ නම ඇතුලත් කළාය.
ජෙනරාල් වෙලිංටන් මහත්මයා, කරුණාකර ඔබේ රහස් අංකය ඇතුලත් කරන්න….
ජෙනරාල් වෙලිංටන් සිය දුරකථනයෙන් ඉලක්කම් කිහිපයක් ඔබා සිය අනන්‍යතාවය සහතික කළේය….
ස්තුතියි… ඉන්න මම සම්බන්ධ කරන්නම්…
අතිශය ආරක්‍ෂාකාරී මධ්‍යස්ථාන වල ඉහළ නිළධාරීන්ට පිටතින් කිසිවකු ඇමතීමේදී පිලිගැනීමේ නිලධාරිනිය හරහා යනවිට අදාල පුද්ගලයා රහස්‍ය භාවයෙන් නිදහස් කරන ලද ඉහළ නිලධාරියෙකු නම් ඔහුගේ/ඇයගේ පෞද්ගලික රහස් අංකයක් පරිඝණයකට ඇතුව කිරීම මගින් අදාල පුද්ගලයාට කෙලින්ම සම්බන්ධ විය හැකි වේ. එසේ නොවන කෙනෙකුගේ දුරකථන ඇමතුම බොහෝ විට පහළ නිලයක තාක්‍ෂණික නිලධාරියෙකු හරහා අදාල පුද්ගලයා වෙත යැවෙන්නේ උසස් නිලධාරීන්ගේ අනන්‍යතාවයත් ආරක්‍ෂාවත් සහතික කිරීම පිණිසයි.
මේජර් වයිට් කතාකරනවා….
මේජර්…. මම ජෙනරාල් වෙලිංටන්… NSA ප්‍රධානි…
ඔව් සර් මොකක්ද මගෙන් කෙරෙන්න ඕන….
මට ඔබෙන් තොරතුරු කිහිපයක් දැන ගන්න අවශ්‍යයි.. ඔබ නේද දකුණු ආසියානු කළාපයට අදාල බුද්ධි අංශය භාරව ඉන්නෙ. ?
ඔව් සර්…
මට එවන්න පුළුවන්ද 2006 ජුනි මස 06 වනදා ලෙබනනයේදි මියගිය එක්සත් ජාතීන්ගෙ සාම සාධක නිලධාරී සෙනරත් සූර්ය බණ්ඩාර සහ ඔහුගෙ පවුල පිළිබඳ වාර්තාව… මට ඒ සිදුවීම ගැන පසුබිම් වාර්තාවක් ගන්න අවශ්‍යයි…
හොඳමයි ජෙනරාල් තුමනි… මම විනාඩි කිහිපයකින් එය ඔබේ ආරක්‍ෂිත විද්‍යුත් තැපැල් ලිපිනයට ලැබෙන්න සලස්වන්නම්.
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥයෙකු වූ සෙනරත් සූර්යබණ්ඩාර රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු විය. ඉතා සාධාරණ සහ නීතිගරුක පුද්ගලයෙකු වූ ඔහු බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙකි. ඔහුගේ නීතිමය දැනීමත් ක්‍ෂෙත්‍රයේ විශේෂඥතාවයත් නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක හමුදාවන්ට උපදේශකත්‍වය සලසන නීති උපදේශක වරයෙකු ලෙස පත් කළ ඔහු, රටවල් කිහිපයක සේවය කළ පුද්ගලයෙකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා ගෞරවයට පාත්‍ර වූ ඔහු 2006 වසරේ ලෙබනන් යුද්ධය ඇරඹීමට දින 6 කට පෙර සිදු වූ අනතුරකින් සිය පවුලේ සාමාජිකයින් සමඟ ඝාතනය වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක් වූ තවත් කළු පැල්ලමක් විය. එය වැඩිදුර හෙළි නොවී යටපත් කිරීමට බලධාරීන් සමත් වුවත් ජෙනරාල් වෙලිංටන් එය දැන් හාරා අවුස්සන්නේ කුමකටදැයි බෙන්ජමින් ට සිතා ගන්නට නොහැකි විය…..
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
අද දිනයේ සිදු වූ සියල්ල සිය පියාට පැවසිය යුතු බව මැතිව්ට වැටහුණි. තමාට වෙන්කර තිබූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්‍රවුන් ප්ලාසා හෝටලයට ගොස් සියළු බර බිමින් තැබූ හෙතෙම සිය ජංගම දුරකථනයෙන් පියාගේ කාර්යාල සහායිකාව ඇමතීය.
එල්… මම මැට්…
කියන්න මැට්….
තාත්තා ඉන්නවද කාමරේ….
ඔව් ඉන්න මම සම්බන්ධ කරන්නම්…..
පිය පුතු දෙපළ සම්බන්ධ කළ එලේනා දුරකථනය රඳවනයේ තැබුවාය.. මහාචාර්ය සොලමන්ගේ සහායිකාව වන එලේනාට මැතිව් නුහුරු පුද්ගලයෙකු නොවේ…. නමුත් අද ඔහුගේ කඩහඬ වෙනස් බව ඇයට දැණුනි…. සමහරවිට ඔහු දිගු ගමනක් ගොස් ඇති නිසා අපහසුතාවයට පත්ව සිටිනවා විය යුතුය….
ස්ටැන්ෆර්ඩ් එක දාලා මැට් මොකට වොෂිංටන් යන්න හදනවද මන්දා ? ඇය තමාටම කියාගත්තාය…..
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
ජනරාල් වෙලිංටන් නීතීඥ සෙනරත් සූර්යබණ්ඩාරගේ අතීථය හාරා අවුස්සා සොයා ගන්නේ කුමක්ද ?
FBI ආයතනය විශ්ව ගැන සොයාගත් තොරතුරු නිසා ඔහුට කුමන ඉරණමක් අත්වේද ?
සිය පියාගේ බලපරාක්‍රමය නිසා මැට් රැකියාව ලබා ගනීද ?
ලබන සතියට…
පිටස්තරයා – 02
එක්කෝ මේ පුද්ගලයා නුසුදුස්සෙක් විදියට අයින් කරන්න ඕන… නැතිනම් මේ ගැන වැඩිදුර පර්යේෂණ කරන්න පුළුවනි. මොකද අපට මෙයාගෙ රුධිරය ආශ්‍රයෙන්ම පර්යේෂණ කරලා අපේ කිමිදුම් භටයන්ගේ රුධිරගත හීමෝග්ලොබීන් ප්‍රමාණය වැඩි කිරීම ගැන හොයන්න පුළුවන්… දැනටමත් අපි ඒ කරුණ සම්බන්ධයෙන් පර්යේෂණයක් අරඹලයි තියෙන්නෙ..
ඔබට පිස්සුද ඩෙනිස් ?! අද්මිරාල් වරයා ගුගුලේය…
අපි කොහොමද මනුස්සයො මෙයාව නුසුදුස්සෙක් කියලා ඉවත් කරන්නෙ ? මෙයාගෙ සුදුසුකම් අනිත් දෙන්නාට වඩා වැඩියි… අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම දේ ඔහු පර්යේෂණ ඉදිරිපත් කිරීමෙන් අසමත් වේවි කියන එක පමණයි. නමුත් මේ වගේ පුද්ගලයෙක් එයින් අසමත් වේවිද ? මොනවා වුනත් පරිඝණක වැඩසටහන් වලට බොරු කරන්න බැහැ.. ඒ වගේම අපි බැඳිලා ඉන්නවා මේ හැම තීරණයකටම හේතු දක්වන්න… ඔබ හිතන්නේ මේ වගේ එක දෙයක් නිසා ඔහුව අයින් කළා කියන ළදරු පිළිතුර ඉහළ පාලනාධිකාරිය භාර ගනී කියලද ? මේක මගේ රස්සාවත් ගහලා යන වැඩක්…. අපි මීට වඩා බුද්ධිමත්ව හිතන්න ඕන ඩෙනිස්.. අපි මීට වඩා සූක්‍ෂම වෙන්න ඕන…… මම බලාපොරොත්තු වුනේ නැහැ ඔබෙන් මේ වගේ උත්තරයක්… දෙයියන්ගෙ නාමෙට ඔයා මෙතන පර්යේෂණ ප්‍රධානියා.. තත්ත්‍වයට ගැලපෙන්න බුද්ධියෙන් කතාකරනවා… !
සියල්ලෝම අද්මිරාල් වරයාගේ ගිගිරීමට තුෂ්නිම්භූත විය…
අද්මිරාල් රිචර්ඩ් බවර්
සාමාන්‍යයෙන් ඉතාම නම්‍යශීලී සුහද පුද්ගලයෙක් වන අද්මිරාල් රිචඩ් බවර් ඉහළ සමාජයේ සියළුම දෙනාගේ ගෞරවය දිනා සිටි ඉතා වැදගත් නිලධාරියෙකි. කිසිවිටෙක සිය නිවුණු බව බිඳ නොගන්නා පුද්ගලයෙක් ලෙස ප්‍රකටය…,
2008 අගෝස්තු 7 සහ 8 දෙදින තුළ ජෝර්ජියාව (ජෝර් ජියාව) විසින් දකුණු ඔටිස්සාව අත්පත් කර ගැනීමේ අරමුණින් ඒ වෙත දරුණු හමුදා ප්‍රහාරයක් දියත් කළේය… ඒ සඳහා ජෝර්ජියාව ඉදිරිපත් කළ නිදහසට කරුණු වූයේ සිය සාම සාධක හමුදාවන්ට සහ මහජනයාට රුසියාව විසින් එවනු ලබන සාම සාධක නොවන හමුදාවන් විසින් දියත් කරන ප්‍රහාරයන්ගෙන් ඔවුන් ගලවා ගැනීම උදෙසා කරන ප්‍රහාරයක් බවයි. මෙහිදී ඔටිස්සා හමුදා සමඟ එක්වූ රුසියානු සාම සාධක භටයින්ට ජෝර්ජියා හමුදාවන්ගෙන් දැඩි හානි සිදු විය. ජෝර්ජියානු භටයින් විසින් ට්ක්‍ෂින්වාලි ප්‍රදේශය ඉතා සුළු කාළයකින් අත්පත් කරගන් ලැබීය. මේ සඳහා රුසියාව ප්‍රතිචාර දැක්වුයේ ප්‍රති ප්‍රහාරයන්ට සිය 58 වන හමුදා ඛණ්ඩය එක් කිරීමෙන් සහ විශ්වාසනීය සහ සැපයුම් ඉලක්කයන්ට ගුවන් ප්‍රහාරයට එල්ල කිරීමෙනි. මේ කෙටි යුද්ධය දින පහේ යුද්ධය ලෙස ප්‍රසිද්ධියට පත් විය. රුසියාවට අනුව මේ ප්‍රති ප්‍රහාර මානුෂීය මෙහෙයුමට අත්‍යවශ්‍ය බව සාධාරණීකරණය විය. මේ දිනවලම නේටෝවට සහාය දක්වන මවුන්ට් විට්නි ඇමෙරිකානු යුධනැව කළු මුහුදේ සිට මේ යුධයෙන් අවතැන් වූවන් සඳහා සහනාධාර ගෙන යාමට “සහතිකවම ආධාර බෙදාහරින” (Operation Assured Delivery) නම් වූ යුධ මෙහෙයුම ක්‍රියාත්මක කළේය. ජෝර්ජියාවට ආධාර සැපයීම අපහසු කාර්යයක් වුවත් අද්මිරාල් රිචඩ් බවර් සිය දක්‍ෂතාවය සහ අත්දැකීම් මනාව ඔප්පු කරමින් පෝටි වරායට ආධාර ගෙන ආ පළමු නේටෝ නැව ගෙන එමින් සාර්ථකව මෙහෙයුම අවසන් කළේය. මේ නිසාම සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු සිය අත්දැකීම් තවදුරටත් සිය රටට ලබාගනු වස් ජනාධිපතිවරයා විසින් ඔහු නාවික හමුදා පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා ලෙස පත් කරනු ලැබීය… ඔහු 2009 සිට මේ දක්වාම ඒ ධුරය හොබවමින් සිය ආයතනයෙන් සිදු කෙරෙන සේවය වඩාත් කාර්යක්‍ෂම සහ ඵලදායී ලෙස මාතෘභූමියට ලබා දෙමින් සිටී.
දැන් තුන්දෙනාම හොඳින් විවේක ගන්න….. විනාඩි 15 කට පසු අපි ඔබව නැවත අමතන්නම්…….
එක් එක් කාමරයේ වූ කුඩා ස්පීකරයෙන් අපේක්‍ෂකයින් තිදෙනාටම විධානයක් ලැබුණා. ඒ කාගෙ කඩහඬද, කොහේ සිට විධානය දෙනවාදැයි යන්න කිසි කෙනෙකු දැන සිටියේ නැහැ. නමුත් තමන්ගේ සියළුම චර්යාවන් පිළිබඳ කිසිවෙකු හෝ ඉතාම පරීක්‍ෂාවෙන් සිටින බව තිදෙනාටම අවබෝධ වී තිබුණා. ඒ නිසා තමන්ට කිසිම අවාසියක් වන අන්දමේ කටයුත්තක නොයෙදීමට මේ තිදෙනාම දැනගෙන සිටියා.. පසෙකින් නොකැඩූ වතුර බෝතලයක් සහ බිස්කට් පිඟානක් තිබුණා. New Research Frontiers නම් නවතම පර්යේෂණවල ප්‍රතිඵල පිළිබඳ වගතුග දැක්වෙන සඟරාවද ඔවුන්ගේ පරිහරණයට මේසය මත තබා තිබුණා. මේ සියල්ල සම්මුඛ පරීක්‍ෂණයට අදාල අංග වුනා.. තම අපේක්‍ෂකයින් කාළය කා දමනවාද, නැතිනම් ඒ සුළු වෙලාවත් කිසියම් ප්‍රයෝජනවත් වැඩක යෙදෙනවාද යන්න නිගමනය කිරීමට මේ සියල්ල තබා තිබුණා.
ඉතා ඉහළ බුද්ධියක් ඇති තිදෙනාම සිය අනාගත රැකියාව උගසට තැබීමට සූදානම් වුනේ නැහැ. තමන් පැමිණි කාරණයත්, ඒ සඳහා මුහුණ දිය යුත්තේ කෙසේදැයි යන්නත් මනාව දැනගෙන සිටි තිදෙනාම බිස්කට් එකක් බැගින් රැගෙන ජලය බෝතලය පානය කරන අතරේ පසෙක වූ සඟරාවේ පිටු පෙරළුවා.
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
බීප් බීප්……… බීප් බීප්……… …බීප් බීප්………
හලෝ….. ජනරාල් වෙලිංටන්ගෙ කාර්යාලය… මම මෙගන් වොලික්….. කෙසේද මම ඔබට උදවු කරන්නෙ ?
හලෝ… මම අද්මිරාල් බවර්…. නාවික හමුදා පර්යේෂණ ආයතනයෙන්… මට ඔබේ ප්‍රධානියාට කතා කරන්න පුළුවන් ද ?
පුළුවන් අද්මිරාල් තුමනි… ඉන්න මම සම්බන්ධ කරන්නම්…
ජනරාල් චාල්ස් වෙලිංටන්
ජනරාල් චාල්ස් වෙලිංටන් පසුගිය වසරේ විශ්‍රාම යන තුරුම පසුගිය වසර අටක් පුරාම සේවය කළේ යුධහමුදා බුද්ධි බලකායේ ප්‍රධානියා හැටියටය. විශේෂයෙන් ඇෆ්ගනිස්ථානයේ බුද්ධි බලකාය භාරව සිටි ඔහු එහි සිටි එෆ් බී අයි, සී අයි ඒ මෙන්ම වෙනත් රහසිගත අංශ ගණනාවක්ම අධීක්‍ෂණය කළ ඉතා දක්‍ෂ එහෙත් දරුණු පුද්ගලයෙකි. දැඩි මතධාරියෙකු වූ හෙතෙම රටේ ආරක්‍ෂාව පළමුකොට සැලකූ නිලධාරියෙකි. කිසිදු අතපසුවීමකට ඉඩ නොතබන ඔහු අකාර්යක්‍ෂමතාවය ඉදිරියේ නයෙකු මෙන් කිපෙන පුද්ගලයෙකි. තවමත් අවිවාහක ඔහුගේ ජීවිතය වූයේ ජාතික ආරක්‍ෂක ඒජන්සියයි. උදෑසන හය වන විට කාර්යාලයට පැමිණෙන ඔහු පිටව යන්නේ රාත්‍රී හතද පසු වූවාට පසුවයි. රාජකාරි කටයුත්තක් හැරුණුකොට සිය ජීවිතයම කාර්යාලයේ ගෙවන ඔහුට අභියෝග කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවන්නේ ඔහුට ඇති සූක්‍ෂම බුද්ධියත්, අනතුරක් කල් තබා දැන හැඳින ගැනීමේ “ඉව” ත් ඇති නිසාය… රටේ වූ සියළුම අන්තර්ජාල වැඩසටහන්, ඊ මේල්, ඇතුළු බොහෝ පරිඝණක දත්ත හුවමාරුවීම් ජාතික ආරක්‍ෂක ඒජන්සියේ දැවැන්ත පෙරණය හරහා යන නිසාම ඔහුට ඒ ඉව ලැබී ඇත. බුද්ධි අංශ නිලධාරීන් අතර Blood Hound යන නාමයෙන් හැඳින්වෙන ඔහු අමෙරිකානු ආරක්‍ෂක කවුන්සිලයේ ඉතා වැදගත් පුද්ගලයෙකි.
හලෝ ජනරාල්……..
කොහොමද මිත්‍රයා…… මොකක්ද මගෙන් අද කෙරෙන්න ඕන….. ජනරාල් වරයා ඍජුවම ඇසීය….
මට යමක් දැනගන්න අවශ්‍යයි…. ඒ කිසියම් පුද්ගලයෙක් ගැන…..
ඔබ දන්නවා මම CIA එකවත් FBI එකවත් නොවන වග, තරහ වෙන්න එපා… ඒවගේ දේවල්වලට තමයි ඒ අය ඉන්නෙ….. ජනරාල්ගේ ස්වරය දැඩි විය…..
නැහැ නැහැ… මම ඔබේ කාළය කා දමනවා නොවෙයි… එෆ් බී අයි එක ලබා දුන් දත්ත පිළිබඳ මට සෑහීමකට පත් වන්නට බැරි නිසායි මම ඔබව ඇමතුවෙ….
කවුද ? ත්‍රස්තවාදී නායකයෙක්ද ? ඔබ දන්නවානේ……… ඒ ගැන නම් මට කිසිදු විස්තරයක් දෙන්න බැහැ…
නැහැ චාලි… මට දැනගන්න අවශ්‍ය මගේ පර්යේෂණායතනයට ආපු අපේක්‍ෂකයෙක් ගැන….
මොනවා… FBI එකට තනි මිනිහෙක් ගැන විස්තර හොයා ගන්න බැරිද ? ඕකෙ ඉන්නෙ මැට්ටොද ?
චාලි… මේ මිනිස්සු උපරිම ශක්තිය යොදලයි ඉන්නෙ… දැන් මට කරන්න තියෙන එකම දේ ඔහුගෙ ගෙදරට කවුරුහරි යවන්න විතරයි… නමුත් තවමත් ඔහු අපේක්‍ෂකයෙක් විතරයි… ඒ නිසා මම කැමති නැහැ ආණ්ඩුවෙ සම්පත් ඒ වගේ දෙයකට යොදවන්න… ඒත් මේ පුද්ගලයාගේ බොහෝ දේවල් හරිම අසාමාන්‍යයි….. ඒ නිසාමයි මම හොයන්න තීරණය කළේ… මේ පරීක්‍ෂණයෙන් ඔහු නොතේරුණත් අපට මෙයාව වෙනත් මොනවාහරි දේකට ප්‍රයෝජනවත් වේවි. මට ඒක ඉවෙන් මෙන් දැනෙනවා… ඒ නිසා මට මේ උදවුව කරලා දෙන්න… මට මෙයාගෙ විස්තර සියල්ල ලබා ගන්න ඔබට වඩා වෙනත් කෙනෙක් නැහැ.. මම දන්නවා ඔබේ පරිඝණක වැඩසටහන් මළ මිනිස්සු උපද්දවලා තිබෙන බව…. මට මේ උදවුව කරලා දෙන්න… සමහරවිට ඔබටත් එය වැදගත් වේවි…
හොඳයි කියමු බලන්න….
:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::
නාවික පර්යේෂණ ආයතනයේ පරිඝණක ඉංජිනේරු ඇලෙක්ස් රොබින්සන් අපේක්‍ෂකයින් තිදෙනාගේම වීඩියෝ පට පරිඝණක තුනකට කවා අවසන් විය… මිනිත්තු කිහිපයකින් ප්‍රතිඵල ලැබෙනු ඇත… සම්මුඛ පරීක්‍ෂණ වලදී ඒ ඒ අපේක්‍ෂකයාගේ ගති ස්වභාවය සහ පරීක්‍ෂණ මණ්ඩලයේ සිටින පුද්ගලයින්ගේ මානසිකත්‍වය අනුව එකම දක්‍ෂකම් ඇති විවිධ අපේක්‍ෂකයින්ට ලැබෙන ලකුණු ප්‍රමාණ වෙනස් බව පර්යේෂණ වලින් ඔප්පු වී ඇත. මේ නිසා සම්මුඛ පරීක්‍ෂණ වල සිදු විය හැකි මානව අසමතුලිතතාවයන් මඟහැරවීම සඳහා රජයේ අතිශය වැදගත් ආයතනවලට බඳවා ගැනීමේදී දක්‍ෂයා නිර්ණය කිරීම පරිඝණක වැඩසටහනකට පවරා ඇත. මෙහිදී අපේක්‍ෂකයාගේ පෞරුෂය, වාග් මාලාව, ඉදිරිපත් කිරීමේ විලාශය, ආත්ම විශ්වාසය, වැරදි, තීරණ ගැනීමේ හැකියාව, මුහුණේ ඉරියව් යන ප්‍රධාන ලක්‍ෂණ නිර්ණය කිරීම අතිශය සංකීර්ණ පරිඝණක වැඩසටහනක් මගින් තීරණය කෙරේ.
ඒ අතර අද්මිරාල් රිචඩ් බවර්, නැන්සි පෙපර්, ඩෙනිස් ලිපර්ඩ්, සහ නීල් ෆියු යන සිවු දෙනා තම අපේක්‍ෂකයින් තිදෙනා පිළිබඳ සිය හැඟීම් විවෘතව කතා කිරීමේ අවස්ථාව කරා එළඹ ඇත.
මම නම් කියන්නේ ඇන්ඩ්‍රියාගෙ මිත්‍රශීලී බව හොඳයි… පර්යේෂණායතනයක් වුනාම කණ්ඩායම් හැඟීම තිබිය යුතුයි… කණ්ඩායමක් ලෙස ක්‍රියා කරලයි තීරණ ගන්නත් ප්‍රතිඵල ගන්නත් ඕන… මැතිව් තරමක් පොතට බර ගීක් කෙනෙක්… බලන්න ප්‍රියමනාප වුනාට මට පේන්නෙ එහෙමයි. අනිත් එක්කෙනා.. විශ්ව… මට එයාගෙ මුහුණෙ කිසිම හැඟීමක් පේන්නෙ නැහැ… අයදුම් පත්‍රයේ මොන සුදුසුකම තිබුණත් ඒ මුහුණ නම් තනිකර හැඟීම් විරහිතයි… මට එයාව කියවන්න බැහැ.. සැමවිටම අන් අයට පෙර කතා කරන නැන්සි පෙපර් ගේ විග්‍රහය වුනේ එලෙසයි…
නීල්…. මොකද කියන්නෙ….
විෂය කරුණු පැත්තෙන් නම් විශ්ව ගොඩක් ඉදිරියෙන් ඉන්නවා… ඔහුගෙ ගුරුත්ව ක්‍ෂෙත්‍ර පිළිබඳ තර්කය මට තවමත් පැහැදිලි නැහැ… ඒක ඒ තරම් සංකීර්ණයි.. ඒ නිසා ඔහු මේ පර්යේෂණායතනයට සුදුසුම කෙනා.. නමුත් නැන්සි කිවුවා වගේ මුහුණෙ කිසිම හැඟීමක් නැති පුද්ගලයෙක් කොහොමද අපේ කණ්ඩායමට බඳව ගන්නෙ ? ඇන්ඩ්‍රියා මිත්‍රශීලී තමයි.. නමුත් ඒ මිත්‍රශීලී භාවයම ඇයට හරහට හිටින්න පුළුවන්… මේක අතිශය රහස්‍ය පර්යේෂණයක්.. මේ රහස් ගන්න රුසියාවත් චීනයත් ඇහැ ගහගෙනයි ඉන්නෙ.. තවත් කවුරු මේ ගැන බලාගෙන ඉන්නවද දන්නෙ දෙයියො තමයි. සමාවෙන්න නැන්සි… මම ඔබ ගැන දන්නවා… නමුත් කාන්තාවන් කියන්නේ රහස් සංවිධාන වල ඉතා දුර්වල අංශයක්…
එහෙම කියන්නෙ කොහොමද නීල්…එයා දැනටමත් NSA එකේ ඒජන්ත වරියක්… ඔබ හිතනවාද ජෙනරාල් වෙලිංටන් ආවට ගියාට මිනිස්සු ගන්නවා කියලා එයා ලඟට ?
ඇත්ත… නමුත් එතැන සිදු වන දේවලුයි මෙතැන සිදුවන දේයි තනිකරම වෙනස්… ඇන්ඩ්‍රියාට NSA එකේ ලොකු රහසක් නැහැ රකින්න… නමුත් මෙතැන එහෙම නෙවෙයි…. අපි බලමු කෝකටත්… අපිට වඩා ගොඩක් නිවැරදිව තීරණ ගන්න කෙනෙක් ඔවුන් පරීක්‍ෂා කරනවා නෙ.
මැතිව්… මම හිතන්නෙ මැතිව් මෙතැනට අදාල වෙන්නෙ ක්වොන්ටම් යාන්ත්‍රවිද්‍යාව ගුරුත්වාකර්ෂණයට ඈඳා කළ පරීක්‍ෂණය නිසා… නමුත් ඔහුගේ සමහර තර්ක මට පිළිගැනීමට අපහසුයි… එහෙම වුනා කියලා ඔහු අසමත් වෙන්නෙ නැහැ… ඔහුට බොහොම නිදහස් සිතුවිලි තිබෙනවා. මට හිතෙන විදියට ඔහු අපට හොඳ සම්පතක් වේවි…
අවසන කතා කළේ ආචාර්ය ලිපර්ඩ් : මම හිතන්නෙත් විශ්ව අපට හොඳ පර්යේෂකයෙක් වේවි… ඔහුගේ හැඟීම් රහිත මුහුණ නොවෙයි අපට වැදගත් වෙන්නෙ… අපට වැදගත් වෙන්නෙ මෙතැන පර්යේෂණ වලට සුදුසුම පුද්ගලයා කවුද කියන එක… දැනුම අතින් පරිපූර්ණ කවුද – ඔහුගේ හෝ ඇයගේ දැනුම මෙතැනට ලබා ගන්නෙ කොහොමද කියන එක… කොහොමත් අපට විද්‍යාඥයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ සේල්ස් රෙප් කෙනෙකුගෙ මිත්‍රශීලීභාවය…. නමුත් අපට හසුරවාගන්න පුළුවන් කෙනෙක් නම්, අපට කරදරයක් නැති කෙනෙක් නම් මට ප්‍රශ්නයක් නැහැ…
ඇන්ඩ්‍රියාගෙ මිත්‍රශීලීභාවය වගේම ඇයගේ සුදුසුකම් මට මෙතැනදි ප්‍රශ්නයක්… ඇය සුදුසු NSA එකට… ජනරාල් වෙලිංටන්ගෙ පෞද්ගලික යොමු කිරීමක් වුනත් අපට සුදුසුම කෙනා තමයි අපට තෝරගන්න වෙන්නෙ.
මැතිව්ගෙ දැනුම මට ප්‍රශ්නයක් නැහැ… ඔහුගෙ ක්වොන්ටම් විද්‍යාත්මක දැනීම, ඔහු ඒවා විෂයානුබද්ධ කළ ආකාරය හරිම අපූරුයි… මම තෝරා ගන්නවනම් තෝර ගන්නෙ විශ්ව හරි මැතිව් හරි… අපි තවම කිසිම කෙනෙක් මුහුණට මුහුණ ලා කතා කළේ නැහැනෙ… අපි බලමු අපේ හරස් ප්‍රශ්න වලට ඔවුන් කොහොම උත්තර දෙයිද කියලා.
මේ දෙදෙනාම පර්යේෂණ අංශයට තෝරා ගනීවිද ?
මැතිව්ගෙ සම්බන්ධකම් විශ්වගෙ දක්‍ෂතා අභිබවා යාවිද ?
ඔවුන්ට පැවරෙන රාජකාරි මොනවද ?
ලබන සතියේ කොටසින්
දියුණු වෙවී ආපස්සට යමු…. ජීවිතය ලස්සන වේවි…… මෙවර රිවිර ලිපිය
අපේ ගමේ ආච්චිගෙ ගෙදර අවුරුදු තිස්පහකට විතර ඉස්සර හරිම අපූරු තැනක්. ගෙදර එළදෙන්නු හත් අට දෙනෙක් හිටියා. උන්ට කාලෙන් කාලෙට වසුපැටවුන් ලැබෙන නිසා අපට කවදාවත් එලකිරි වලින් අඩුවක් වුනේ නැහැ. හරක් බැඳලා තිබුණේ වත්තේ තිබුණු පොල්ගස් වල. උන්ගේ ගොම පෝර සියල්ලම එකතු වුනේ එක මඩුවකට.. සීයා ඒකෙන් පෝර හදනවා… දැන් අපි ලොකුවට ඕගැනික් පෝර කියන්නෙ මෙන්න මේ ගොම පෝර එකතු කරලා ග්ලිරිසීඩියා කොළ, දහයියා අළු ආදිය මිශ්‍ර කරලා හදන පෝර වලට. වත්තේ පහල හොඳට වැඩුන කොහිල ගාලක් තිබුණා. ඒ කොහිල ගාලට යාබදව තිබුණේ පොල් ලෙලි වලක්. ගෙදර එකතු වෙන පොල් ලෙලි සියල්ලම වාගේ එකතු වෙන්නේ එතැනට… පොල් ලෙලි වලේම වියළුණු පොල් අතුත් පල් වෙනවා. දින දෙක තුනක් පල්වන පොල් අතු ලස්සනට වියෙන්නේ අපේ අම්මගේ, පුංචි අම්මලාගේ සහ ආච්චිගේ අත්වලින්… පසුකාලීනව මමත් පොල් අතු වියන්න පුරුදු වුනා…
සමහර දවස්වලට ආච්චි පොල් ලෙලි ගොඩ දානවා… පලාතෙ ඉන්න බෑ ගඳේ… නමුත් ටික වෙලාවකින් නහයට හුරු ගතියක් දැනෙනවා… පොල් ලෙලි එක්කම මඩ පුවක් ගෙඩිත් එලියට එනවා.. ඒවා දියට දාන්නෙ සීයා… සීයා ඒවා එකතු කරලා බුලත්විට කන්න වෙනම එකතු කරගන්නවා. පොල්ලෙලි වල ලඟම ඇති කොටයක් උඩ තබාගෙන පොල් ලෙලි තලන්න අපිත් උදවු වෙනවා… මුලින් අමාරු වුනත් සැරෙන් සැරේ වතුරෙ දාලා සෙමින් සෙමින් පොල් ලෙලි තලනකොට අවසානයේ ලස්සන සුදුපාට පොල් කෙඳි සහිත පොල් ලෙල්ලක් ඉතිරි වෙනවා. පොල් කෙඳි අතර ඇති කොහු බත් වෙනම ගොඩකට එකතු වෙන්නේ කිසිම දෙයක් අපතේ යවන්නෙ නැති සංකල්පය ඔස්සේ… ඒවා පසුව අර සීයාගේ කොම්පෝස්ට් ගොඩට එකතු වෙනවා.
පොල් කෙඳි පෑදුන පොල් ලෙල්ල වියලන්නේ එක්කෝ පැදුරක දාලා, නැතිනම් ලණුවක එල්ලලා… දවස් දෙක තුනක් වේලෙන පොල් කෙඳි ආච්චිගේ අතින් අපූරු කොස්සක් බවට පත් වන්නේ අපටත් නොදැනීම… තරමක් මහත මල්කෑර කෝට්ටක අගින් තැබෙන පොල් කෙඳි එකට බැඳෙන්නේ කොහු ලණුවකින්… එයත් තැනෙන්නේ අර කෙඳි වලින්මයි.. වියන්න බැරි පොල් අතුවල ඉරටු ගන්නට අපිත් සහභාගී වෙනවා. ඒ ඉරටු මිටි බැඳිලා මඩුවකට එකතු වෙනවා. ඒ ඉරටු මිටි ඉදල් බවට පත් වන්නේ කොසු නිපදවීමේ යාන්ත්‍රණය මගින්ම තමයි. ඉරටු හදලා ඉතිරිවන පොල් කොළ සහ පොල් නාරටි වියැලිලා කුස්සියේ පැත්තක එකතු වෙන්නෙ ඉවුම් පිහුම් වලට සහභාගි වෙන්න. ඒ අයට ගස් වලින් වැටෙන් කොලපු ආදියත් එකතු වෙනවා. සමහර කොලපු නම් අපූරු නිමැවුම් බවට පත් වන්නේ ඉස්කෝලෙ අත්වැඩ පීරියඩ් එකේදී.
ගොම පෝර ගොඩ සාරවත් වෙන්න ගෙදර ඇති කරන කිකිළියෝ කීප දෙනත් දායක වෙනවා. එයාල එක්ක බේර ගන්න බැරිම එලවලු පාත්ති ටික තමයි. කුඹුරේ එක කොණක් ගොඩ කරලා තැණුන එලවලු පාත්තියේ අයිතිකාරයා සීයා.. උදේ පාන්දර නැවුම් එළකිරි වීදුරුවක් බීලා කුඹුරට යන සීයා වැඩ අවසාන කරන්නේ එලවලු පාත්තියෙන්. එතැන නැති දෙයක් නෑ. මිරිස්, වම්බටු, බණ්ඩක්කා, කැකිරි, වට්ටක්කා, කරවිල, පතෝල, වැටකොලු ආදිය වගේම මුකුණුුවැන්න, සාරණ සහ නිවිති ඒ පාත්තියේ නිත්‍ය සාමාජිකයො… කුඹුර වටකර තිබෙන වේල්ල දිගට තියෙන්නේ කුරුඳු පඳුරු… අතරින් පතර කෙසෙල් පඳුරුත් නැතුවාම නොවෙයි… පතෝල වැටකොළු වගේ වැල් යවන්න ආධාර කරගන්නේ පාත්තිය වටා හිටවපු කිතුල් රීප්ප ආධාරකරගෙන ඇදුන ලණු සහ කෙසෙල් පිති තීරු ගසා හදාගත්ත පටි… වැඩීගෙන එන වැටකොළු, පතෝලා ආදිය පළතුරු මැස්සාගෙන් ආරක්‍ෂා වෙන්නේ පරණ පත්තර ආධාරයෙන් අපි හදලා දෙන කවර වලින්.. ඒ කවර වැල්වල ගැටගැසෙන්නෙ වියැළුණු කෙසෙල් පිති තීරු ආධාරයෙන්. පාත්තියට පෝර දැම්මට පස්සේ ඒවා තැන තැන විසුරවන්නේ කුකුළු හමුදාව.. ඒ අතරම ඔවුන් අතරින් පතර හැදෙන කුඩා තණකොළ ගසුත් ගලවන නිසා සීයා උන්ට මොනවත් කියන්නෙ නෑ… නමුත් එලවලු පැලයක් ගලවපු දවසට නම් සෑහෙන බැණුම් අහනවා…
පාත්තියේ පැත්තකින් මඤ්ඤොක්කා ගස් කීපයක්, බතල පාත්තියක්, ඉන්නල කන්දක් වගේම නිල් මානෙල් මල් හැදෙන පොඩි පොකුණකුත් තිබෙනවා. බතල කන්ද හාරන දවස අපේ ප්‍රියතම දවසක් කහ බතල දෙක තුනක් පස් එක්කම අමුවෙන්ම බඩට යන්නේ පෙරේතකම නිසාම නෙවෙයි, අනිත් අයට නොදී රස බලන්න තියෙන ආසාවට. බෝලවගේ මහත බතල ගෙඩියක් තිබුණාම ඒක පුංචි මම්මා වගේ කියන්නෙ ඇය පවුලෙම මහතට හිටිය කෙනා නිසා…. දැන් ඉන්න වල් ඌරො, ඉත්තෑවො ඉස්සර කාලෙ සීයගේ වගාවට කරදර කරන්න ආවෙ නෑ.. උන් කැලේට වෙලා උන්ගෙ වැඩක් බලාගෙන හිටියා… ඒ නිසාම අපට උන්ගෙ මස්වල රස බලන්න ලැබුණෙත් නෑ.. දැන් කාලෙ වගේ… පාත්තිය අයිනෙ තිබුණ පොකුණෙ නිතරම කිතුල් කඳක්, ගස්වල කඳන් කීපයක් පදම් වෙන එකත් සිදු වෙනවා. මානෙල් මල් කඩන්න පොකුණට නැඹුරු වෙලා වැටිලා වතුර පෙවුන දවස් මතක් වෙනකොට තවමත් ජීවත් වෙලා ඉන්න එක ගැනත් පුදුමයක් තිබෙනවා. ඒ පොකුණ කොනේ පන් ගස් හැදුන පන් විලක් තිබුණා. කාලෙන් කාලෙට ඒ පන් කොළ කපලා වේලලා, කුකුළු සායම් දාලා පාට කරපු පන්වලින් පැදුරු සහ පන් මලු වියන එකත් ආච්චිගේ විනෝදාංශයක්.
බොහොමයක් දෙනා නිදා ගත්තෙ පන් පැදුරු වල, සීයා නම් නිදා ගත්තෙ ලණු ඇඳේ.. ලණු ඇඳ උඩ දාපු පැදුර කියන්නෙ දැන් භාවිතා වන හැම මෙට්ටයක්ම පරදන දෙයක්. ඇඟේ හැඩයට වෙනස් වෙන ගතිය වගේම අංශක 360 න්ම වාතාශ්‍රය ලැබෙන, නිදා ගන්න අවස්ථාවෙත් ශරීරය සම්බාහනය වන අපූරු ක්‍රමයක්. මේ නිසාම මිනිසුන් නිරෝගීව උදේ අවදි වුනා කියන්න පුළුවන්. පන් මලු කියන්නේ ස්වභාවික ද්‍රව්‍ය වලින් සැකසූ මලු. මේවා කාලයක් පාවිච්චි වෙනවිට දිරන්න පටන් ගන්නවා ස්වභාවිකවම දිරන මේ මළු අවසන් වෙන්නේ වත්ත පහල කුණු ගොඩෙන්. නමුත් ඒවා පරිසරයට හානියක් නෑ.. පරිසරයෙන්ම ඉපදිලා පරිසරයෙන්ම අවසන් වෙනවා.
කුඹුරෙ වතුර බඳින කාලෙට අපට හරි ජොලි. ඒක තමයි අපේ පිහිණුම් තටාකෙ. දැන් වගේ කෘමිනාශක ගහන්නෙ නැති නිසා වතුර ඇත්තෙන්ම පිරිසිදුයි. අස්වැන්න නෙළුවට පස්සෙ කුඹුර තමයි අපේ පිට්ටනිය. කුඹුරේ ලොකු වලවල් හාරලා සුදු වැලි ගොඩ දාන්නෙ මේ කාලෙට. අඩි දෙක තුනක මඩ අයින් කළාට පස්සෙ මතු වෙන්නෙ සුදුම සුදු සුදු වැලි. ඒකට අපි හැමෝම උදවු වෙනවා. වැලි ගොඩ දාපු වලවල් වල වතුර පිරුණාම ඒකත් අපිටම තමයි. හැබැයි දැන් ළමයි වගේ ඒවයෙ පැනලා ගිලිලා මැරෙන්න නම් ගියේ නෑ අපි…
වත්තේ හැම තැනම තිබුණ පළතුරු ගස් නම් අවුරුදු තිහක් ගිහිල්ලත් තවම ඒ වගේම තිබෙනවා. මැංගුස් ගහ ඉස්සර වගේම පළදාව දුන්නත්, ඒක මහ ගහක්… ඉස්සර අත්තෙන් අත්තට නැගපු අපි දැන් මැංගුස් කඩන්නේ රිටක උදවුවෙන්.. වත්තේ තිබුණ මහා ඩොංගා ගස් දෙක නම් ලී බවට පත් වුනා… අගෝස්තු මාසෙ ගෙඩි හැදෙන ඩොංගා ගහට පොලු ගහලා කහපාට ඩොංගා කඩාගෙන කන එක මේ ලියන වෙලාවෙත් කටට කෙළ උණනවා. ඩොංගා ඇට ගිලුනාම පස්සෙන්දා ඒවා අයින් කරගන්න සෑහෙන වෙහෙස මහන්සියක් දරන්නත් වෙනවා. ඒකට උදවු වෙන්නේ වත්තේ හැදෙන පැපොල් ගහේ ගෙඩි… ඒ කාලේ කොච්චර පැපොල් කෑවද කියනවා නම් දැන් පැපොල් කන එක එපා වෙලා තියෙන්නෙ.
පොල් වගේම කිතුල් ගසුත් වත්තෙ තැනින් තැන තිබුණා… මලක් පීදීගෙන එන කාලෙට ගමේ ඉන්න කෙනෙක් ඇවිත් ගහ හැර ගහනවා. හැර ගහනවා කියන්නෙ ගහට සවිමත් පොලු තබා බඳිමින් ඉහලට යන්නට මගක් පාදා ගන්න එක… ඒකෙ තේරුම අපට පැණි සහ හකුරු ලැබෙනවා කියන එක තමයි. මල් කපන එක කලාවක්, එයටම වෙන් වූ පිහිය අපි කාටවත් අල්ලන්න ලැබෙන්නෙ නෑ… ඇල්ලුවොත් වෙන්නේ ඇඟිල්ලක් දෙකක් කැපෙන එක විතරයි… ඒ තරම් මුවහත්, මල පීදෙන කාලෙට නැවුම් මුට්ටියක් ඇතුලත පුච්චලා සකසා ගන්නවා.. සමහර විට මුට්ටි දෙකක් තිබෙනවා. එකක් පැණි සෑදීමට අවශ්‍ය තෙලිදිය ගන්න. ඒකට සුවිශේෂී ගස් ජාතියක පොතු දමා තෙලිදිය පැසවීම නවත්වා ගන්නවා. අනෙක් මුට්ටිය එල්ලන්නේ රා වලට අවශ්‍ය තෙලිදිය ලබා ගන්න. ඒවා අපට අකැපයි.
ලොකු හට්ටියකට හැමදාම එකතු වෙන තෙලිදිය ලිපේ පැසෙන්නෙ ආච්චිගෙ අධීක්‍ෂණයෙන්. දිනක් දෙකක් එසේ පැසෙන තෙලිදිය පිටතට එන්නේ කිතුල් පැණි ලෙසින්. ඒ කිතුල් පැණි එකතු වෙන්නේ තවත් මුට්ටියකට, සමහර වෙලාවට පැණි තව තවත් හිඳවලා හකුරුත් හැදෙනවා.
හකුරු පදම වෙනස් වුනාම හැදෙන්නේ ලාකඩ වගේ ජාතියක්.. ඒවා ගුණසිරි බුල්ටෝ වගේ…අයිතිය අපට.. එයින් ගුලියක් කටේ දාගෙන දවස පුරාම උඩ තල්ලෙයි යට තල්ලෙයි අලවගෙන කෙල පෙරාගෙන කන එකත් අපේ විනෝදාංශයක්… සමහර වෙලාවට පැණි මුල් හැදෙනවා. පුවක් ගසක කොලපොතක් පිරිසිදු කරලා හොඳින් පැසක් හදලා එයට පැණි දාලා ලිපට උඩින් ඇති අගුවේ එල්ලනවා. කොළපොත තුලින් තව තවත් ජලය වාෂ්ප වෙලා පැණි මුල ඇතුලෙ හැදෙන්නෙ වැලි හකුරු… ඒ වැලි හකුරු කියන්නේ සීනි ස්ඵටික. ඒවා මාර රහයි… කර කර ගාලා හැපෙන්නෙ… පැණිමුල් එල්ලන්නෙ කුස්සියේ දුමේ. දුම කියන්නෙ ලිපට උඩින් ලී ආධාරයෙන් සැකසුන ගබඩාව, කොස් ඇට, ගන්දෙල්, වියැළුණු බත්, කරවල, උම්බලකඩ ආදී ආහාර වගේම යම් ප්‍රමාණයකට දර ගොඩකුත් එතැන එකතු වෙන්නෙ වැහි කාලයට භාවිතා කරන්න. එතැන ගින්දර රස්නයට සියල්ලම හොඳින් වේලෙනවා. මේකත් ලිපෙන් හානි වන තාපය භාවිතා කරන එක ක්‍රමයක්.
වත්තෙ පැත්තක ඉඟුරු පාත්තියක් සහ කහ පාත්තියක්, ඒකට දාන්නෙ වී පොතු, පස බුරුල් වෙලා අල හොඳට බහින්න. හීං අරත්ත, ආඩතෝඩා, ඇත්තෝර, විසකුම්භ, වගේ බෙහෙත් ජාතිත් වත්තෙම පැත්තක තිබෙනවා. සීයගෙ ආදරණීයම වගාව තමයි බුලත් වැල්ටික. කවුරු ආවත් කඩන්න දෙන්නෙ නැතුව තමන්ම කඩලා දෙන්නේ, බුලත් වැල් වලට ලෙඩ බෝ වන නිසා. ඊට අමතරව ගම්මිරිස් වැල් කීපයක්, කරාබු ගහක් ආදිය වත්තේ කොතැනක හෝ තිබුණා. මේ නිසා ඇත්තෙන්ම ජීවන රටාව හරිම ස්වයංපෝෂිතයි. සියල්ලම තමන් විසින්ම සපයා ගනු ලැබුවා.
ගෙදර හැමෝම වැඩට උදව් වෙන නිසා හැම දෙනාම වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. දර අහුලන්න, පලා කඩන්න වගේම කුඹුරේ එළවලු පාත්තියේ වැඩ කරන්න හැමෝම යනවා. නාන ලිඳ සවස් තුන්සිය හැටපහ පුරාම උතුරලා යනවා.. ඒ අසල කණ්ඩියෙන් ඉපදිච්ච උල්පත්වලට තේ කොල තියලා පීලි හදන එක නාන්න ගියාම අපේ විනෝදාංශය. පණිට්ටුව ලිඳට ගහලා වතුර පණහක් නාන්නෙ සබන් ගාන්න… වතුර පණිට්ටු සීයක් කියන්නෙ සෑහෙන නෑමක්, ඒ වගේම ඇඳට හොඳ ව්‍යායාමයක්. මේ නිසා දැන් වගේ තඩි බඩවල් කාටවත් තිබුණෙ නෑ..ජිම් නොගියත්, හොඳට කට්ස් දාපු ඇඟවල් කීපයක්ම ගමේ තිබුණා.. කාන්තාවන් වුනත් බොහොම නිරෝගීව සිටියෙ…
උණක් හැදුනාම සීයා තෙල් මතුරනවා. ඒ මන්තර වල වැඩිහරියක් තිබුණෙ බුදුගුණ. කහ ඩිංගක් උරච්චි කරලා සුදු හඳුන් පොඩ්ඩක් දාපු තෙල් හරිම සුවඳයි. තෙල් මතුරලා ඉවරවෙනකොට ලෙඩත් හොඳයි. ඉඟුරු කොත්තමල්ලි වෙනිවැල් ගැට තම්බපු වතුර වේල් දෙකක් බීවාම ඕනම ලෙඩක් නිට්ටාවට සුවයි.
හවසට අපි ඔක්කොම රේඩියෝව ලඟට කිට්ටු වෙන්නෙ මුවන් පැලැස්ස අහන්න… සමහර දවස්වලට හන්දියේ ගෙදරත් අහනවා.. පරණ අයට මතක ඇති. වේවැලක් නැති පාසැලක් කතාව තමයි ලමා අපට වැදගත්, ඒකෙ හිටපු ජිල්ජෝනා සහ වැන්දබෝනා ගෙ චරිත මතක හිටින ඒවා..හවස් වෙනකොට සීයා පැට්‍රල්මැක්ස් එකට භූමිතෙල් දාලා හුලං ගහනවා. ඒ හුලංපාරත් එක්ක මැද තිබෙන රෙදි මැන්ටල් එක රිදී පාටින් බබලනවා. වැඩිය දැඟලුවොත් ඒක කැඩෙනවා… ඒ නිසාම එතැන අපට තහනම්. සාලෙ ඒක එල්ලුවාම මුළු ගෙදරම එලියයි. අනෙත් කාමරවලට චිමිනි ලාම්පු.
ඒ ජීවිතය පහසුකම් අඩු වුනත් සරළයි. මුළු ජීවිතයම බද්ධ වෙලා තිබුණෙ පරිසරයත් එක්ක… උදෑසන අවදි වූ වෙලේ පටන් මිනිස්සු ජීවත් වුනේ පරිසරයත් එක්ක.. ඒ වගේම රෑට නින්දට යනකොට උදේ තිබුණ පරිසරය ඒ වගේම තිබෙනවා. පරිසරයට අළුතෙන් යමක් එකතු වුනේ නැහැ. හැම නිශ්පාදනයක්ම, හැම කාර්යයක්ම පරිසරයට අනුබද්ධයි. කුණු කඳු ගොඩගැහුනෙ නෑ…පරිසරය විනාශ වුනේ නෑ.. ගමේ වගේම නගරයෙත් ඒ සුන්දරත්වය තිබුණා.
මේ ජීවිතය සංකීර්ණ වෙලා වෙනස් වෙන්න පටන් ගත්තේ ගමට විදුලි බලය, දුරකථන පහසුකම් එකතු වීමත් එක්ක. ගමේ පාරවලට තාර දැමුනා… මෙච්චර කාලයක් පස් එක්ක හැපිපිච්ච කකුල් වලට සෙරෙප්පු වැටිලා පොළවත් එක්ක තිබුණ සම්බන්ධය නැති වුනා.. ඒත් එක්කම රූපවාහිනිය ගමට ආවම, ඉස්සර රෑට ඔක්කොම එකතු වෙලා පිල උඩ හෝ වෙනත් තැනක තිබුණ සතුටු සාමීචිය රූපවාහිනියේ නළු නිළියෝ කියන කරන දේ බලන් ඉන්න තැනට පත් වුනා. මිනිස්සු ටික ටික එකිනෙකාගෙන් ඈත් වෙන්නත් ඇති… අපටත් අළුත් වීරයෝ ඇති වුනා… නයිට් රයිඩර් වගේ බයිසිකලේ උඩින් පන්නන්න ගිහින් තරු පෙණුන වාර අනන්තයි.. පරිසරයට අනුබද්ධ නිශ්පාදන වෙනුවට ප්ලාස්ටික් බෑග් ආවා. ඒවා නොදිරන නිසාම පරිසරයේ එකතු වුනා.. අවුරුදු විස්සකට එහා තිබූ සමහර අසුරන ද්‍රව්‍ය දැන් පවා කුණුගොඩක් ඇවිස්සුවොත් හොයා ගන්න පුළුවන්.
අළුත් ජීවන රටාව පහසුයි… හැම දෙයක්ම අතට පයට. වාහන හැම තැනම.. එක බයිසිකලයක් හෝ නැති ගෙයක් හොයා ගන්නවට වඩා ලේසියි නොමල ගෙයකින් අබ ඇට මිටක් හොයා ගන්න එක.. ගම පුරාම ඇවිදපු කකුල්වලට විරාමයක් ලැබුණා වගේම ඇඟටත් විවිධාකාර රෝග ගොඩ වුනා.. ඉස්සර දියවැඩියාව, හෘද රෝග, පිළිකා නොදැකපු අපේ ශරීර, ඒවා නැතිනම් පුදුමයක් වන තත්ත්‍වයට පත් වෙලා. මිනිස්සු කම්මැලි වෙලා.. ගෙදර වත්තේ කොච්චර ඉඩ තිබුණත්, වෙලාව කොච්චර තිබුණත් හැම එළවලුවක්ම කඩෙන් ගේන්න, එකතු වෙන හැම කුණුගොඩක්ම නගර සභාවට දෙන්න පුරුදු වෙලා.. අච්චර ලස්සනට තිබුණ ජීවිතේ.. හිතාගන්න බැරි තරමට වෙනස් වෙලා…
දියුණුව හොඳයි… අපි ඉදිරියට යා යුතුමයි… ඒ දියුණුවත් එක්ක අපි බොහෝ දෙයින් පස්සට ගිහින්… අධ්‍යාත්මිකව, මානසිකව, ශාරීරිකව, චර්යාත්මකව අපි ඉන්නේ ඉස්සර මිනිස්සුන්ට වඩා බොහොම පිටුපසින්…තවමත් අපි ප්‍රමාද නෑ.. පොඩ්ඩක් හිතලා වෙනස් වෙන්නයි ඕන.. වෙනස් වීම අමාරුයි. අපි අපේ රටාවෙන් බැහැරට යනවා කියන්නෙ බොහොම අමාරු දෙයක්. නමුත් ඒ වෙනස දවසෙන් දවස හුරු කර ගත්තොත් තව වසර කිහිපයකින් හෝ අපි අළුත් වේවි.
දියුණු වෙවී ආපස්සට යමු…. ජීවිතය ලස්සන වේවි…..