Blog Archives

ජීවිතය ගැටගහගන්න – රට හැර යන්න වෙයිද ?


Environmental effects

දැන් දැන් අපේ පරිසරය අපට දැනෙන පරිදිම සෑහෙන වෙනස් වෙලා. ඉස්සර තිබූ වැසි රටාව නොවෙයි දැන් තියෙන්නෙ… වහින්න ගියාම එක පාරටම අහස කඩා වැටිලා වගේ නොනවත්වා වැහැලා ගංවතුර ගලනවා. නාය යනවා. පායන්න ගත්තාම ඉන්න බැරිවෙන්න පායනවා. මේක ලංකාවට පමණක් නොවෙයි, ලෝකයටම බලපාන අයුරුක් තමයි පෙනෙන්නේ. ලෝකයේම කාලගුණ රටා වෙනසක් පසුගිය දශකය ඇතුලත සිදු වෙලා. ඇමරිකාවේ කුණාටු දසවසරකට පෙර තිබූ ප්‍රමාණයට වඩා දරුණු වෙලා. කුණාටු වලින් සිදුවන හානිය අධිකයි. කොපමණ දියුණු රටක් වුවත් ඇමරිකාවටවත් එය දරා ගන්න අපහසුයි. රටේ එක පැත්තක් නියඟයෙන් පීඩා විඳිනවා. ලංකාවෙත් එක පැත්තකට නියඟය, අනෙක් පැත්තට ගංවතුර.. මෙහෙම වුනේ සොබාදම් කොමලිය, රකුසියක් බවට අපිම පත් කළ නිසාද ? දේශපාලනික පසුබිම කුමක් වුවත්, අපේ රටේ කැලෑ ඉතා සීඝ්‍රයෙන් කපමින් ජනතාව පදිංචි වනවා. විල්පත්තුව ඉතාම නුදුරු අනාගතයේදී කාන්තාරයක් බවට පත් වීම වලක්වන්න පුළුවන් එය කපලා ජනතාව පදිංචි කරන අයටම පමණයි. අවාසනාවන්ත කරුණක්, නමුත් එයයි සත්‍යය.

මේ සියල්ල සිදු වෙද්දී අපේ සහ ආසියානු රටවල ජනගහනය ඉතා ඉක්මනින් ඉහළ යමින් පවතිනවා. ලොව ජනගනයෙන් පහෙන් එකක් ජීවත් වන්නේ මේ කලාපයේ. එසේම අනාගතයේදී ඉතා දැඩි කාළගුණ බලපෑම් නිසා ජීවත්වීමට නොහැකිව යන්නෙත් මේ කලාපයේ මිනිසුන්ටමයි. තව වසර පණහක් ඇතුලත, ලංකාව ඇතුළු රටවල් කිහිපයක ජීවත්වීම අපහසු වන බව මැසචුසෙට්ස් තාක්‍ෂණික විශ්ව විද්‍යාලයීය සමීක්‍ෂණයකින් සොයාගෙන තිබෙනවා.

අද දින වනවිට පෘථිවියේ ජනගහණය බිලියන 7.573 ක් ඉක්මවා ගොසින්. මේ අතරින් ආසියානු කලාපයේ ජනගහනය බිලියන 4.5 ඉක්මවමින් පවතී. මේ වැඩිවන ජනගහනයට අවශ්‍ය ඉඩකඩ, ආහාර සහ බලශක්තිය උදෙසා අප ජීවත්වන ලෝකයේ බොහෝ දේ විනාශ කරන්නට ආත්මාර්ථකාමී සහ බල ලෝභී මිනිසා කටයුතු කරමින් සිටිනවා. ඔවුන් සියල්ලටම අවශ්‍යව ඇත්තේ තමන්ගේ බලය පැතිරවීම සහ තමන්ගේ ජනතාවගේ (හෝ කල්ලියේ) පැවැත්ම පමණයි. ස්වල්ප දෙනෙකු අනාගත ලෝකය ගැන සිතා කටයුතු කළත්, අවිචාරවත් බොහෝ දෙනා අනාගතයේ මෙලොව ජීවත් වන්නේ අපේ දරුවන් බව නොසිතා කටයුතු කරනවා.

අපේ ලෝකය මේ වනවිට බරපතල අනතුරු කිහිපයකට මුහුණ පා තිබෙනවා. පළමු වැන්න වැඩිවන ජනගහනයට අවශ්‍ය ඉඩකඩ සහ ආහාර සැපයීම උදෙසා වන වනාන්තර විනාශය. දෙවැන්න ෆොසිල ඉන්ධන දහනය නිසා වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් එකතු වීම. තුන්වැන්න ඕසෝන් වියන තුනී වීම නිසා පෘථිවියට ඇතුළුවන අහිතකර කිරණ වර්ග. මේ කරුණු වලින් කිසිවක් කිසිකෙනෙකුට සිතූ පරිදි නැවැත්විය හැක්කක් නොවයි. මෙය රටක් – ජාතියක් – සහ ආගමක් ඉලක්ක කරගෙන ඇතිවන බලපෑමක් ද නොවේ. මෙය බලපානුයේ සමස්ත ලෝකයාටමත් කිසිවක් නොදන්නා සත්ත්‍වයන්ටත් ය. මෙය සිදු වන්නේ කොහොමද ?

කාර්මික විප්ලවයෙන් පසු ගත වූ සෑම වසරකම වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය එන්න එන්නම වැඩි වූවා. දැනට පවත්නා වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වායුගෝල ඒකක මිලියනයකට කාබන් ඩයොක්සයිඩ් ඒකක 407 ක් (407.25 ppm) පමණ වනවා. කාර්මික විප්ලවයට පෙර වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් මට්ටම වූයේ 280 ppm ක්. මෙම අගය පසුගිය වසර 100 වැනි කාළයක් තුළ සීඝ්‍රයෙන් වැඩි වුනේ ජනගහන වර්ධනය සහ කාර්මීකරණය – නාගරීකරණය සහ තාක්‍ෂණික දියුණුව සමග සමපාත වෙමින්. 2015 වසරේදී පමණක් කාබන් ඩයොක්සයිඩ් මෙට්‍රික් ටොන් බිලියන 36.8 ක් මිනිසා විසින් පරිසරයට මුදාහැර තිබෙනවා. මෙය මානව ඉතිහාසයේ වැඩිම එකතු කිරීමයි.

දැනට ලෝකයේ බලශක්ති අවශ්‍යතාවය ටෙරා වොට් 16 ක්  (16 TW) පමණ වෙනවා. මෙය තවත් වසර 40 කදී ටෙරා වොට් 50-60 දක්වා ඉහළ යා හැකි බවයි ඇස්තමේන්තු පවසන්නේ.  තෙල් සමාගම් කුමක් කිවුවත්, තවත් වසර 200 කට සෑහෙන්න ෆොසිල ඉන්ධනත්, තවත් වසර 500 කට සෑහෙන්න ජීව වායුව (Methane) සහ තවත් වසර 2000 කට සෑහෙන්න ගල් අඟුරු සංචිත ලොව පුරා විසිරී තිබෙනවා. මේ නිසා අපට කිසිම විටෙක බලශක්ති අර්බුධයකට මුහුණ පාන්න වෙන්නෙ නැහැ. නමුත්, දැනට පවත්නා ආකාරයටම ඉන්ධන දහනය සිදු වුවහොත් වසර 2100 වනවිට ලෝකයේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය 885 ppm දක්වා ඉහළ යා හැකි බවට ගණන් බලා තිබෙනවා. මේ වැඩි වීම සෑම වසරකටම 1.55 ppm වැඩි වීමක් ලෙසත් ඉදිරියේදී මීටත් වඩා සීඝ්‍රවත් වැඩි වෙනවා. මෙසේ කාබන් ඩයොක්සයිඩ් පුමාණය ඉහළ යාම නිසා ඇතිවන ප්‍රධානම ප්‍රතිවිපාකය වන්නේ ගෝලීය උණුසුම ඉහළ යාමයි. මක් නිසාද යත් හරිතාගාර ආචරණයට වැඩිම බලපෑම ඇති වායුව වන්නේ කාබන් ඩයොක්සයිඩ් වන නිසා.

මෙසේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාම නිසා ගෝලීය උණුසුම වැඩි වනවා. එසේ වැඩිවීමේ මූලික ප්‍රතිඵලය වන්නේ ධ්‍රැවීය අයිස් දිය වී යාමයි. එසේ දියවන අයිස් සාගර වලට එකතු වීමෙන් මුහුදු මට්ටම ඉහළ යනවා. ලෝක ජනගහනයෙන් විශාල ප්‍රතිශතයක් තවමත් ජීවත් වන්නේ වෙරළ ආසන්න නගරවල. මෙසේ වැඩිවන ජලමට්ටම නිසා ඔවුනට වෙරළබඩ අතහැර උස් බිම් කරා ඇදෙන්නට වෙනවා. එවිට සිදු වන්නේ උස්බිම් එළි පෙහළි වීම සහ වන විනාශයයි. වායුගෝලයේ ඇති ගිගා ටොන් 800 ක් වූ කාබන් අඩංගු සංයෝග වලින් ගිගා ටොන් 120 ක්ම ප්‍රතිචක්‍රීකරණය වන්නේ වනාන්තර මගින්. වනාන්තර සහ කෘෂි භෝග මගින් ප්‍රභාසංසලේෂණයේදී වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් උරාගෙන ඔක්සිජන් පිට කරනු ලබනවා. උත්තරාර්ධගෝලය වැඩිපුරම ගොඩබිම් ප්‍රමාණයකට උරුමකම් කියන නිසාම, උත්තරාර්ධගෝලයේ ශීත ඍතුව කාළයේදී  (ශීත ඍතුවේදී ශාකවල කොළ හැලීම නිසා) සාමාන්‍යයෙන් වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යන්නේ මේ නිසායි.

 

මේ නිසා වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යනවා මෙන්ම පරිසරයේ උණුසුමත් වැඩි වෙනවා. වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වන නිසා මුහුදේ කාබන් ඩයොක්සයිඩ් දියවීමත් වැඩි වෙනවා. එවිට සිදු වන්නේ මුහුදු ජලයේ ආම්ලිකතාවය වැඩි වීමයි. දැනට මුහුදු ජලය තරමක් භාෂ්මිකයි. pH අගයය වන්නේ 8.07 ක්. මේ අගය ආම්ලික පැත්තට බර වූ විට බාහිර කවච ඇති සමුද්‍ර ජීවීන්ගේ කවච ඉක්මනින් දෘඪ නොවීම නිසා ඔවුන්ගේ වැඩීම විකෘති වනවා. එනම් සමුද්‍ර ආහාර දාමය විකෘති වනවා. මේ නිසා ආහාර දාමයේ ඉහළ පුරුක් වැඩි වැඩියෙන් අනතුරුදායක තත්ත්‍වයකට පත් වෙනවා. ඒ වගේම මේ සමුද්‍ර ජීවීන් වඳවී යාම සිදු වනවා. මෙහි වඩාත් අනතුරුදායක තතත්ත්‍වය ඇතිවන්නේ කොරල් පරවලටයි. දැනටමත් වඳ වී යමන් පවතින කොරල් පර පරිසරයට හරිම සංවේදීයි. පරිසරයේ සුළු වෙනස්වීමක් පවා ඔවුන්ට තදින් දැනෙනවා. ගෝලීය උෂ්ණත්‍වය ඉහළ යාමේදී ජලයේ උෂ්ණත්‍වයත් නිතැතින්ම ඉහළ යාමකට ලක් වනවා. මෙය ඔවුනට දරාගත නොහැකි නිසා නව කොරල් පර තැනීම අඩාල වීම සහ දැනටමත් ඇති කොරල්පර මිය යාම සිදු වනවා. සමුද්‍ර ආහාර දාමයේ පහළ පුරුක් රාශියක් යැපෙන්නේ මේ කොරල්පර ආශ්‍රිතවයි. මෙය බිඳ වැටීම නිසා සමුද්‍ර ආහාරදාමය බිඳ වැටීමක් සිදු වෙනවා. එයින් සම්පූර්ණ ජෛවගෝලීය සමතුලිතතාවය බිඳවැටෙනවා.

 

මෙසේ වැඩිවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය සමග ඉහළ යන පරිසර උෂ්ණත්‍වය නිසා ඇතිවන අතුරු විපාක වන්නේ ගෝලීය කාලගුණ රටාව වෙනස් වීමයි. සීත දියවැල් සහ උණුසුම් දියවැල් අතර ඇතිවන හරඹය නිසා හට ගැනෙන කුණාටු (Hurricane) වල බලය උෂ්ණත්‍වය වැඩි වන විට අධික වනවා. එනම් කුණාටු දරුණු වනවා. ඒ වගේම ගෝලීය උණුසුම වැඩි වනවිට වායුගෝලය ප්‍රසාරණය වෙනවා. ඒ ප්‍රසාරණය වීමේ අතුරු ඵලය වන්නේ වැඩිපුර වලාකුළු ඇතිවීම  – අසාමාන්‍ය වැසි රටා. දැනටමත් ඔබ අත්විඳින්නේ ඒ ක්‍රියාවලියේ ප්‍රතිඵල. අසාමාන්‍ය වර්ෂාපතනයන්, මෝසම් සුලං සහ සංවහන වැසි රටා වෙනස් වීම ඒ සිදුවීම් වල ප්‍රතිඵලයක්. මේ නිසා සිදු වන භව භෝග හානිය, සහ ගංවතුර ආදී ස්වාභාවික විපත්, ඒවායෙන් බේරීම, සහන සැලසීමට ආදියට වැයවන මුදල් ආදී සියල්ලම මේ දාමයේ පුරුක්.   ඒ පාරිසරික පැත්ත.

සෞඛ්‍යමය පැත්ත මෙයට වඩා දරුණු විය හැකියි. වැඩිවන වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයත් සමග වැඩි වන වෙනත් අංශූන්, විෂ වායූන් නිසා වායුගෝලය පිරී යවනවා. මිනිසුන්ගේ ආසාත්මිකතාවයන් සහ පෙනහළු ආබාධ, පිළිකා ආදිය වැඩි වනවා.නව මදුරු විශේෂ ඇතිවනවා. මේ නිසා හටගන්නා රෝග බොහොමයක් අළුත්.

අප කොතරම් උත්සාහ කළත් මේ වැඩිවන වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය නැවත අඩු කිරීමට කිසිවෙකුට හැකියාවක් නැහැ. මෑතකදී පළවූ ප්‍රවෘත්තියක් වූයේ අප දැන් කෙතරම් ගස් සිටවූවත්, වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය නැවත ආපසු හැරවිය නොහැකි මට්ටමට වැඩි වී ඇති බවයි. අපි ඉතා විශාල වශයෙන්  අපගේ ප්‍රවාහන අවශ්‍යතා ෆොසිල ඉන්ධන මත යැපීම සිදු කරනවා. බලශක්ති නිශ්පාදනය සම්පූර්ණයෙන්ම කාබන් විමෝචනය නොකරන බලශක්ති ප්‍රභව අනුසාරයෙන් සිදු කළත් ප්‍රවාහන අවශ්‍යතාවයන් අතින් ගත් කළ අප සිටින්නේ තවමත් නැවත සකස් කළ නොහැකි (irrecoverable) තත්ත්‍වයකයි. කළ හැකි එකම දේ වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් භාවිතා කර ඉන්ධන නිපදවීමයි. නමුත් මෙය තවමත් පවතින්නේ පර්යේෂණ මට්ටමේ. මෙය උපයෝගී කරගෙන ඉන්ධන තැනීමට අවම වශයෙන් තවත් අවුරුදු 10 ක් වත් ගත වේවි. නමුත් මේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වීමේ තත්ත්‍වය පාලනය කිරීමට තනි පුද්ගලයින් වශයෙන් අපට කළ හැකි දෑ බොහොමයි… රටක් ලෙසින් හෝ රජයෙන් කී පලියට හෝ රජයෙන් යමක් කරනවාට වඩා තමන් විසින්ම අවබෝධ කරගෙන තනි තනියෙන් හරි දෑ කිරීමෙන් මේ ව්‍යසනය තරමක් හෝ දුරට වලක්වා ගැනීමට පුළුවන්.

මේ පිළිබඳ ජනතාව හරියාකාරව දැනුවත් නොවීම සහ දැනුවත් නොකිරීම අභාග්‍යයක්. බලශක්තිය, විශේෂයෙන් විදුලි බලය ගබඩා කර තබාගෙන පාවිච්චි කිරීමට නොහැකි ශක්තියක්. බැටරි ආධාරයෙන් තරමක් දිගුකලක් ගබඩා කරතබා ගත හැකි වුනත් අඛණ්ඩ සහ ප්‍රබල විදුලි බල ප්‍රමාණයක් මුදාහැරීමට අපොහොසත් වීම නිසා දැනට නිපදවා ඇති ඉතාම කාර්යක්‍ෂම බැටරි වුවත් ඒ සඳහා හොඳ විකල්පයක් නොවෙයි. මේ නිසාම විදුලි බලය නිපදවන්නේ බොහෝ දුරට ඉල්ලුමට සරිලන සැපයුමක් ලෙසින්. විවිධ විදුලි බලශක්ති නිෂ්පාදන ක්‍රම අප සතුව තිබෙනවා. මින් සමහරක් පරිසරයට හිතකාමී වන හරිත බලශක්ති වන අතර සමහරක් පරිසරයට හරිතාගාර වායු මුදා හරිනවා. ජල විදුලි බලය, සූර්ය කෝෂ, සුලං බලයෙන් විදුලිය නිපදවන ටර්බයින, උදම් බලයෙන් විදුලිය නිපදවීම වැනි දෑ මෙසේ හරිත බලශක්ති ප්‍රභව ලෙස ගණන් ගැනෙන්නේ ඒවායින් බලශක්තිය නිපදවීමේදී වායු ගෝලයට හරිතාගාර වායු නිකුත් නොවන නිසා. ගල් අඟුරු බලාගාර, ඩීසල් බලාගාර ආදී ඉන්ධන දහනයෙන් විදුලි බලය නිපදවන බලාගාර පරිසරයට සිදු කරන්නේ හානියක්. න්‍යෂ්ඨික බලාගාරවලින් විදුලි බලය නිපදවීමේදී පරිසරයට හරිතාගාර වායු නිකුත් වූයේ නැතිවුනත්, අධික පුනරාවර්තන පිරිවැය, සෑම රටකටම එය සිදු කිරීමට නොහැකි නිසාත්, වැරැද්දක් සිදු වුව හොත් අනතුරුදායකබව උපරිම නිසාත් එය ඒ තරම්ම සාර්ථක ක්‍රමයක් ලෙස තවමත් සලකන්නේ නැහැ. නමුත් න්‍යෂ්ඨික බලාගාරයක් තරම් දිගු කාලීනව වාසි ගෙන දෙන විදුලි ජනන ක්‍රමයක් තවමත් සොයාගෙන නැහැ. කෙසේ හෝ වේවා මේ නිපදවන විදුලි බලය නිසි ආකාරව කළමණාකරණය නොකර පාවිච්චි කිරීමෙන් සිදු වන්නේ වැඩි වැඩියෙන් විදුලිය නිපදවීමට සිදු වීමයි. මෙය රටකට අධික වියදම් යන කාරණයක් මෙන්ම එයට උපයෝගී කර ගන්නා  ක්‍රමය අනුව පරිසරයට ඇති බලපෑම ද වෙනස් වෙනවා.

තනි පුද්ගලයෙක් හෝ පවුලක් වශයෙන් අපට බලශක්තිය කළමණාකරණය කර ගැනීම නිසා පවුලේ ආර්ථිකයට මෙන්ම රටේ ආර්ථිකයට ද සැලකිය යුතු දායකත්‍වයක් ලබා දිය හැකියි.

  • අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම
  • අනවශ්‍ය විදුලි උපකරණ විසන්ධි කර තැබීම
    • උපකරණය ක්‍රියා විරහිත කර ඇති වුනත් පේනුගත කර ඇතිවිට යම් විදුලි බලයක් විද්‍යුත් උපකරණ විසින් පරිභෝජනය කරන බව බොහෝ දෙනෙක් නොදන්නා කරුණක්.
  • ටංස්ටන් හෝ CFL විදුලි පහන් වලට වඩා අඩු විදුලි බලයක් උපයෝගී කරගන්නා LED විදුලි පහන් පරිභෝජනය. මෙය තවමත් තරමක් මිල අධිකයි, නමුත් ඉදිරියේදී එය මිල අඩුවනු ඇති.
  • සමහර විදුලි උපකරණ භාවිතයේදී මානව කාර්යක්‍ෂමතාවය වැඩි කර ගැනීම
    • උදාහරණයක් ලෙස නිවසේ ඇඳුම් මැදීමේදී සතියේ එක දිනයක පමණක් නිවැසියන් සියල්ලන්ගේම ඇඳුම් මැදීමෙන් දිනපතා විදුලි ඉස්ත්‍රික්කය රත් කිරීමට වැයවන විදුලිබලය ඉතිරිකර ගැනීම කළ හැකිය.
    • දවසේ දෙතුන් වතාවක් ජලය උණු කරනවා වෙනුවට එක් වතාවක් ජලය උණුකර උණුවතුර පලාස්කුවකට දමා තැබීම කළ හැකිය.
  • Energy Star සහතිකය ලබා ඇති අඩු විදුලි බල ප්‍රමාණයක් උපයෝගී කරගන්නා විදුලි උපකරණ භාවිතය
  • කාර්යාලවල සේවය අවසානයේ විදුලිපහන් සහ පරිඝණක ක්‍රියා විරහිත කර තැබීම – හැකි නම් විදුලියෙන් විසන්ධි කර තැබීම
  • වායු සමන යන්ත්‍ර වෙනුවට විදුලි පංකා භාවිතය.
  • පරිසර හිතකාමී නිවාස සහ ගොඩනැගිලි තැනීම

රජයක වශයෙන් පරිසර දූෂණය අධික ගල් අඟුරු බලාගාර සහ ඩීසල් බලාගාර වෙනුවට පහත දෑ කෙරෙහි අවධානය යොමු කිරීම වටී

  • හරිත බලශක්ති ප්‍රභව කරා යොමු වීම.
    • සූර්යකෝෂය සහ Smart Meter ක්‍රමයට නිවසේ විදුලි බල අවශ්‍යතාවය සපුරා ගැනීම මගින් නිවසේ විදුලිබලය අඩුවෙන් පරිභෝජනය කෙරෙන දිවා කාළයේ නිපදවෙන වැඩිපුර විදුලි ප්‍රමාණය මධ්‍යම පද්ධතියට එකතු කළ හැක. මේ නිසා තම නිවසේ විදුලි බිල අඩු කර ගැනීමට ද මඟක් පෑදේ – මෙය ලංකාව වැනි රටවල නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ දුබලතා පවතින නිසා තවමත් සාර්ථක ක්‍රමයක් නොවේ.
    • රට වටකර හමන සුලඟේ ආධාරයෙන් විදුලි බලය නිපදවීමට සුලං ටර්බයින සවි කිරීම මගින් දුරස්ථ ප්‍රදේශවල විදුලිබල අවශ්‍යතාවය යම් තරමකට පිරිමැසිය හැක.
  • ජනතාව නිති පතා දැනුවත් කිරීම, සහ ඔවුනට සහන දීම.
    • සමහර රටවල කෙරෙන වැදගත්ම කාර්යයක් නම් නිතිපතා ජනතාව විදුලිබල පරිභෝජනය සහ කළමණාකරණය පිළිබඳ දැනුවත් කිරිමයි
    • එසේම විදුලිබිල අඩු කරන පාරිභෝගිකයනට විදුලි බිල තුළින්ම යම් යම් සහන දීමෙන් ඔවුන් විදුලිබල කළමණාකරණයට පෙළඹෙනු ඇති.
  • ප්‍රතිචක්‍රීකරණයට ජනතාව යොමු කිරීම
    • අළුත් අමුද්‍රව්‍ය යොදා යමක් තනනවාට වඩා ප්‍රතිචක්‍රීකරණය කරන ලද අමුද්‍රව්‍ය යොදා තැනීමේදී වැයවන ශක්තිය 50% කින් පමණ අඩුය. අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම ද අවම වේ.

අනාගතයේදී බොහෝ දේ සිදු වනු ඇති. අනාගත බලශක්ති පරිභෝජනය සුභදායී කිරීමට නම් අපට සුසුමාදර්ශීය වෙනසක් (Paradigm Shift) අත්‍යවශ්‍ය වනවා. කාර්මික විප්ලවය සමයේ ඛණිජ තෙල් සොයා ගැනීම එවැනි සුසමාදර්ශීය වෙනසක් වුවත් දැන් දැන් එයම අපගේ විනාශයට හේතු වෙමින් පවතිනවා. රට රටවල් එකිනෙකාට විරුද්ධව මරා ගන්නේද  පාරිසරික හානි සිදු වීම නොසලකා ඛණිජතෙල් හෑරීම සිදු කරන්නේද, බලය ඇත්තවුන් තෙල් සම්පත වෙනුවෙන් දුබලයන් පාගා දමන්නේද මේ ඛණිජ තෙල් බලාධිකාරයේ සහ බල තන්හාවේ ප්‍රතිඵලයන් නිසාවෙන්..

සූර්ය බලශක්තිය නිෂ්පාදනයේ කාර්යක්‍ෂමතාවය වැඩි කිරීම, කාබන් විමෝචනය නොවන බලශක්ති ප්‍රභව සොයා ගැනීමට දිරි දීම, න්‍යෂ්ඨික බලය ආරක්‍ෂාකාරී ලෙස සහ අඩු වියදමින් ලබා දීම වැනි දෑ ලෝකයක් වශයෙන් එකතු වී කළ හැකි දෑ බොහොමයි. ඇමරිකා එක්සත් ජනපදයේ Harvard සරසවි මහාචාර්ය ඩැනියෙල් නොසෙරා ට අනුව විදුලිබල ප්‍රශ්නය විසඳිය හැක්කේ පෞද්ගලික බල අවශ්‍යතාවය තම තමන් විසින්ම නිපදවා ගැනීම (Personalized Energy) මඟිනි. ඔහුගේ විද්‍යාඥ කණ්ඩායම සහ ඔහු විසින්ම ආරම්භ කළ Sun Catalytix සමාගමේ නිෂ්පාදනයක් වන කෘත්‍රීම පත්‍රය (Artificial Leaf) මගින් හිරු එළිය ආධාරයෙන් ජලය විද්‍යුත් විඛණ්ඩනයකට ලක් කර හයිඩ්‍රජන් නිපදවීම මේ සුසමාදර්ශීය වෙනස ඇතිකිරීමට උත්සාහ කළ අවස්ථාවක්. එසේ වීමුත් විවිධ දේශපාලන සහ ආර්ථික කරුණු කාරණා නිසා මෙවන් මානුෂික ක්‍රියාදාමයක් සාර්ථකව ඉදිරියට යාවි දැයි යන සැකය බොහෝ දෙනා තුළ මතු වී තිබෙනවා. සමහරු පවසන පරිදි විද්‍යුත් කාරය (Electric Car) විනාශ කර දැමුවේ ද තෙල් ආර්ථිකයට වදින මරු පහර හේතුවෙන්. එය සත්‍ය හෝ අසත්‍ය වේවා වත්මන් ආත්මාර්ථකාමී පාලන රටා තුළ ලෝකයේ බලශක්ති අවශ්‍යතාවය සපුරා ගැනීමට අවශ්‍ය බලශක්ති ප්‍රභවයක් සෙවීම කවුරු කළද, එයට පහර ගැසීමට බහුජාතික තෙල් සමාගම් සැදී පැහැදී සිටිනවා. කෙසේ වුවත් මේ සියල්ල පරදවා විද්‍යුත් කාරය එලි දැක්වීමට ඉලොන් මස්ක් සමත්වීමත් සමගම අද ලෝකයේ ප්‍රවාහන සහ බලශක්ති ක්‍ෂෙත්‍රය නව මාවතකට ගමන් කරනු ඇති.

මේ සියල්ල ආසියාතික අපට බලපාන්නේ කෙසේද, අප රට හැර යායුත්තේ මන්ද කියා ඔබ දැන් කල්පනා කරනු ඇති. ඇත්තෙන්ම ආසියාතික කලාපයේ උෂ්ණත්‍වය දිනෙන් දින ඉහළ යාමත්, ආර්ද්‍රතාවය ඉහළ යාමත් නිසා එය මිනිසාට දරාගත නොහැකි තත්ත්‍වයට ඉදිරියේදී පත් වනු ඇති. මෙම කලාපයේ බොහෝ දෙනා කෘෂිකාර්මික දිවිපෙවෙතක් තවමත් ගතකරන නිසා ඔවුන් දවසේ වැඩි ප්‍රමාණයක් ගත කරන්නේ එළිමහනේ. උෂ්ණත්‍වය සෙල්සියස් 35 සහ ඉහළ ආර්ද්‍රතාවය යන එකතුව මිනිසාට ඉතාමත් අපහසුතාවයන් ඇතිකරන සබඳතාවයක්. දැන් දැන් ආසියනු කලාපයේ මෙම තත්ත්‍වය දකින්නට පුළුවන්.

ඒකක පුද්ගලයින් වශයෙන් අපට කළ හැක්කේ අප භාවිතා කරන බලශක්තිය කළමණාකරණය කිරීම. ප්‍රතිචක්‍රීකරණය ඇතුළුව වෙනත් සරළ දෑ පමණි. රටක් ලෙස ජාතියක් ලෙස යමක් කිරීම පාලකයන් සතුයි… ඒ සඳහා නාස්තිය දූෂණය අවම කිරීම මෙන්ම පරිසර හිතකාමී අඩු වියදම් බලශක්ති නිශ්පාදනය කෙරෙහි රටක් වශයෙන් යොමු වීම සිදු කළ යුතුයි….මෙය තේරුම් නොගෙන මිහිකත දිනයට ගස් ලක්‍ෂ ගණන් සිටවූවාට හෝ පැය බාගයක් ලයිට් නිවාගෙන හිටියාට පළක් නැහැ.

දවසට පැය හතරක් පමණ හිරු එළිය වැටෙන දියුණු රටවල් වන ජර්මනිය සහ ප්‍රංශය දැන් සිය බලශක්ති පරිභෝජනයෙන් සියයට 60 ක් පමණ සපුරා ගන්නේ සූර්ය බලශක්තියෙන්. නමුත් දිනකට පැය 8 ක් හිරු එළිය වැටෙන අපි තවමත් ගල් අඟුරු බලාගාරවල පිහිට පැතීම විහිළුවට සහ කණගාටුවට කරුණක්. නව අයවැය යෝජනාවල ස්වභාවික බලශක්තිය සම්බන්ධ සහනයන්, සහ ඒවාට ප්‍රමුඛත්‍වය ලබා දෙන යෝජනාවන් තිබේ නම්, අවම වශයෙන්  අපේ බලධරයින් හිස තුළ ඇති මොළය යම් තරමකට හෝ පාවිච්චි කරනවා යැයි ඉදිරිය ගැන සිතා හෝ සැනසීමට පුළුවනි. එසේත් නැතිනම් සිදු වන්නේ බෝට්ටුවක නැගී හෝ පිටරටකට යාමට පමණයි.

දැඩි සුළං නිසා ධීවරයින් මරුට, ධීවර ඇමති සහ පරිසර ඇමති ඉල්ලා අස්වනු !


හිටිහැටියේම නොවුනත්, පසුගිය දින කීපය තුළ දිවයිනට දරුණු කාළගුණ තත්ත්‍වයක් ඇති වූයේ ධිවර ප්‍රජාවට සාමාජිකයින් 17 කට අධික සංඛ්‍යාවක් අහිමි කරමින්. ධීවර ප්‍රජාව මේ තත්ත්‍වයට කෙළින්ම ඇඟිල්ල දිගු කරන්නෙ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට. ඒ කල් යලා බලා අනතුරු හැඟවීමේ නිවේදන නිකුත් නොකිරීම හේතුවෙන්. රූපවාහිනි පුවතක තිබූ පරිදි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවා තිබෙන්නේ දැඩි සුලං තත්ත්‍වය ආරම්භවෙලා පැය ගණනාවක් ගොස් දැඩි අනතුරු සිදු වූවාට පසු.. උදෑසන 3.00 ට අන්තර්ජාලයෙන්. මෙය ඇත්තටම ඇඟ බේරාගැනීමක් ලෙස මම දකිනවා. ලංකාවෙ වෙලාවෙන් උදෑසන තුනට අන්තර්ජාලයේ සැරිසරන්නෙ එක්කෝ නින්ද යන්නෙ නැති උදවිය, නැතිනම් රාත්‍රී සේවා මුරයන්හි යෙදෙන උදවිය. ධීවර ප්‍රජාවට අන්තර්ජාලයේ සැරිසරන්න වෙලාවක් වත් තිබුණත් හැකියාවක්වත් නැහැ. ඇමරිකාවේ කාලගුණ විද්‍යා අනාවැකි වලින් මේ බව දන්වා තිබුණත්, එය මෙතරම් දරුණු වේ යැයි සිතුවෙ නැති බව කාලගුණ විද්‍යා අධ්‍යක්‍ෂ තුමා පවසා තිබුණා.

දැන් මාස දෙකක් පමණ ලංකාවේ වෙසෙන මා දුටු ප්‍රධාන කරුණක් නම් අප බොහෝ දෙනෙක් අප කරන රැකියාවට සාධාරණයක් ඉෂ්ඨ නොකරන බව. මොනයම් හෝ ආකාරයකට යන්තම් තමන්ට කළ යුතු පමණ ඉටු කර එක්කෝ නිකං සිටීමට හෝ නිවෙස බලා යාමටයි බොහෝ දෙනෙකු ක්‍රියා කරන්නෙ. නමුත් තමන් රාජකාරිය කරන අවස්ථාවේ එයට 100% ක සාධාරණයක් ඉෂ්ඨ කරනවා නම්, අපේ රට බොහෝ දුර ගිහින්. බොහෝ දෙනෙක් නිතරම බලන්නේ මගෙන් කෙරන්න ඕන කුමක්ද යන්න නොවෙයි – මට ගන්න පුළුවන් කුමක්ද කියා. පසුගියදා පැවති පරිසර දින සම්මන්ත්‍රණයට සහභාගී වූ සිසු සිසුවියන් සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් ඊයේ පැවැත්වූ රැකියා අයැදුම්පත්‍ර සැකසීමට කියාදෙන වැඩමුළුවට සහභාගි වුනා. ඒ තමන්ගෙන් ලෝකයට සිදු වන්න තිබෙන දේට වඩා තමන්ට ගන්න තිබෙන දේ වැඩි නිසා… මෙයයි යතාර්ථය.

එසේම බොහෝ දෙනෙකු සුපරීක්‍ෂාකරීව කටයුතු කරන්නෙ නැහැ. උදාහරණයක් වශයෙන් ගතහොත් අවම වශයෙන් තමන් ලියන ලිපියක හෝ වාර්තාවක නිරවද්‍යතාවය (අක්‍ෂර වින්‍යාසය හෝ ව්‍යාකරණ) පවා බොහොම සැහැල්ලුවෙනුයි ගණන් ගන්නෙ. යමක් කිරීමේදී ඉදිරිය බලා සැලසුම් කරන්නෙත් නැහැ. ඒ වෙනුවට යමක් සිදු වුනාම පැලැස්තර විසඳුමක් යොදන එකයි කෙරෙන්නෙ.. රසායන විද්‍යා ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පවා දැන් දැන් පෙන්වා දුන් වැරදි පවා නැවත නැවත කරනු දකින්නට ලැබෙනවා. (ඒකට මගෙන් නම් සමාවක් නැහැ)  බොහෝ දෙනා තමන්ගෙ වගකීම  නිසි ආකාරව ඉෂ්ඨ කරන්නෙ නැත්තෙ ඇයි කියන දේ මට තේරුම් ගන්න බැහැ. නමුත් මේ ප්‍රජාවම තමන්ගෙ අයිතිවාසිකම් ලබා ගන්නට නම් නොපැකිලව පෙරට එනවා.

කොයි පැත්තද තෝරා ගන්නෙ ?

කොයි පැත්තද තෝරා ගන්නෙ ?

නමුත් මම මේ කියන්න යන්නෙ රාජකාරිමය යුතුකම් ඉෂ්ඨ කිරීම ගැනම නොවෙයි. ලෝකයට සිදු විය යුතු යුතුකම් ඉෂ්ඨ කිරීම පිළිබඳව. පසුගිය මාසය තුළ පමණක් ලෝක පරිසරය තුළ වැදගත් සිදුවීම් කිහිපයක් සිදු වුනා. වායූගෝලීය කොටස් මිලියනයකට කාබන් ඩයොක්සයිඩ් කොටස් 400 ක අගය සටහන් වුනේ මැයි මාසයේදී. එසේම ඔක්ලහෝමාවල පිට පිටම සිදු වූ කුණුටු තත්ත්‍වය නිසා සියයකට ආසන්න පිරිසක් ජීවිතයෙන් වන්දි ගෙවුවා. යුරෝපයේ ඇති වූ ගංවතුර තත්ත්‍වය නිසා බොහෝ දෙනෙකු අවතැන් වී මහා දේපල හානියක් සිදු වුනා. ලංකාවේද අසාමාන්‍යා ලෙස දැඩි සුළං තත්ත්‍වයක් ඇති වූවා. මේවා කළින් කළට අසන්නට ලැබුණත්, දැන් දැන් ඉතා සුළභ කාරණා බවට පත් වෙලා තිබෙනවා. යුද්ධ කාළයේ සිදු වූ ඝාතන නිසා අපේ මානුෂිකත්‍වය සහ මෘදු බව තරමක් යටපත් වී ඇති සේම, මේ ස්වාභාවික විපත් දැන් දැන් සුළභව අසන්නට ලැබීම නිසා ඒවාත් සාමාන්‍ය දේ බවට පත් වෙමින් පවතිනවා.

නමුත් මේ හැම ඵලයකටම හේතුවක් තිබෙන බව ඔබ අප සැම දෙනාම දන්නවා. අපට මව්වරුන් දෙදෙනෙකු සිටිනවා. වැදු මහ සහ මිහි මව. වැදු මව අප කරන හැම දේම උපේක්‍ෂාවෙන් ඉවසා සිටියත්, මිහිමවට දැරිය හැකි සීමාවක් තිබෙනවා. මා පසුගියදා ලෝක පරිසර දිනයේ දේශනයකදී පැවසුවේ අපේ ලෝකයේ ජනගහන වර්ධනය අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉක්මවා ගොස් ඇති බවයි. මෙයට ප්‍රධාන හේතු වන්නේ සෞඛ්‍ය පහසුකම් සහ නවීන තාක්‍ෂණය දියුණු වීම නිසා ස්වභාවිකව පාලනය වන මරණ අනුපාතිකය අප කෘත්‍රිමව පාලනය කර තිබෙනවා. මේ නිසා ස්වභාවික උපත් ප්‍රමාණය ස්වභාවික මරණ සංඛ්‍යාවට වඩා වැඩි වෙනවා. සෑම තත්පර 13 කට වරක්ම ලෝක ජනගහනය 1 කින් ඉහළ යනවා. මේ නිසා අප පසුගිය ශතවර්ෂයට වඩා වැඩියෙන් ස්වභාවික සම්පත් සහ විශේෂයෙන්ම ඛණිජ තෙල් භාවිතය වැඩි කර තිබෙනවා. ජලවාෂ්ප, මෙතේන්, නයිට්‍රස් ඔක්සයිඩ් වැනි වායූන්ගෙන් හරිතාගාර ආචරණයට බලපෑම් ඇති වුවත්, කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාම හරහා මිනිසා විසින් සිදුකරන හරිතාගාර ආචාණය (Anthropogenic Green House Effect) වැඩි වෙමින් පවතිනවා.

මේ නිසා සිදුවන අයහපත් ප්‍රතිඵල බොහෝයි. වායුගෝලීය උණුසුම වැඩිවීම නිසා වැඩිපුර ජලවාශ්ප ප්‍රමාණයක් වායුගෝලයට එකතු වීම සිදු වනවා. මේ නිසා ඉහළ වායුගෝලය ප්‍රසාරණය වෙනවා පමණක් නොවෙයි, පෘථිවියේ සමහර ප්‍රදේශ වලට අධික වැසි ලැබීමට පටන් ගන්නවා මෙහි අනෙක් පැත්ත වන්නේ වැසි නොලැබෙන පෙදෙස් කාන්තාරකරණයට ලක්වීමයි. ධ්‍රැවීය අයිස් දියවීම, කඳුකර අයිස් තට්ටු දියවීම හරහා මුහුදට එකතුවන ජලය ප්‍රමාණය ඉහළ ගොස් මුහුදු මට්ටම ඉහළට යනවා. ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් ජීවත් වෙන්නේ මුහුදුබඩ නගරවල. මේ නිසා මේ අයට ක්‍රම ක්‍රමයෙන් ඉහළ ගොඩබිම් කරා ඇදෙන්නට සිදු වෙනවා. එවිට අවශ්‍යවන ඉඩ සකසා ගැනීමට වනාන්තර එළි පෙහෙළි කිරීමට සිදු වෙනවා. එවිට සාමාන්‍යයෙන් වායුගෝලයෙන් උරා ගන්නා කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වත් උරා ගැනීමට අවශ්‍ය කාන්තාර ප්‍රමාණය නැති වෙනවා. මේ  ආකාරයට මේ විෂම චක්‍රය දිගින් දිගටම ක්‍රියාත්මක වනවා. අවසානයේ අප සියළුම දෙනා වඳවී යන්න පුළුවනි.

මේ තත්ත්‍වය නැති කරන්න අප හැම දෙනාටම දායක වන්න පුළුවනි. අප භාවිතා කරන සම්පත්, බලශක්ති ප්‍රමාණය අවම කිරීම මගින් නිශ්පාදනය අඩු කරන්නට පුළුවනි. නිෂ්පාදනය අඩු වනවිට ඒවාට භාවිතාවන බලශක්තියත්, සම්පත් ප්‍රමාණයත් ඉතිරි වෙනවා. චක්‍රය අඩාල වෙනවා.

නමුත් අප හැම දෙනාම බොහොම ආත්මාර්ථකාමීයි. පාර අයිනේ ඇති කුණුරොඩු ප්‍රමාණයෙන්ම එය කියා පානවා. අප කී දෙනෙකු පාරට අපද්‍රව්‍ය එකතු කරනවාද ? බස් ටිකට් එක වුනත් බස් එකෙන් බැස්ස ගමන්ම දමන්නේ පාරට, නැතහොත් කාණුවකට, ටොපියක් චොකලට් එකක් කෑවොත්, දිරා නොයන දවටනය වැටෙන්නෙත් මහපාරට… එමෙන්ම ඉවත ලන ප්ලාස්ටික් බෑගයක්, හෝ වෙනයම් අනවශ්‍ය දෙයක් එකතු වෙන්නෙත් පරිසරයටමයි. අපට මේ තත්ත්‍වය තනි තනියෙන් වෙනස් කරන්නට පුළුවනි. තමන් ගමනේ යෙදෙනවිට එකතුවන කුණු එක්කෝ කුණුබක්කියක් ඇති තැනක් එනතුරු හෝ නිවස කරා ගෙනයාමට එතරම් අපහසුවක් නැහැ. තමන්ට තමන් පාලනය කරගෙන එවැනි කුණු නිසි තැකට දමන්න පුළුවන් නම්, අවම වශයෙන් තරමක හෝ සහනයක් පරිසරයට දැනේවි.

අනුන්ට බැනලාවත්, අනුන් පිට වරද පටවලාවත් අපට දියුණු වෙන්න බැහැ. අප රැකෙන්න නම් අප දැන් දැන් ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. නැතිනම් ආසියාවේ ආශ්චර්යය මුහුදට හේදිලා යන දිනය තව දශක කීපයකට වඩා දුර නැති වෙන්න පුළුවනි. ඉතිං මේ ධීවරයින් මියගිය නිසා හෙට අනිද්දට ලිප්ටන් වට රවුමේ කීප දෙනෙක් එකතු වෙලා ධීවර ඇමතිටයි පරිසර ඇමතිටයි ඉල්ලා අස්වෙන්න කියලා විරෝධතාවයක් තියන්නත් බැරි නෑ…

අවවාදයට වඩා ආදර්ශය උතුම්.. අපි අපේ දරුවන්ට ආදර්ශයක් වෙමු.. එතකොට උන් අපේ පසුපස යමින් ඉගෙන ගනීවි…. ඒ වගේම සමාජයට තමන්ගෙන් වෙන්න තියෙන වගකීමත් ටික ටික හරි ඉටු කරන්න උත්සාහ ගනිමු…

ලෝක පරිසර දින සම්මන්ත්‍රණය…. කෝටි ගණන් වියදම් නොකළත්, යමක් කෙරුණ දවසක්….


ජුනි 05 වන දින ලෝක පරිසර දිනය වෙනුවෙන් ඉතාම කෙටි කලකින්, දින හතරක් තුළ සංවිධානය කළ  දේශන පහකින් යුතු සම්මන්ත්‍රණයක් සංවිධානය කළේ පරිසරය ගැන රසායන විද්‍යා ආයතනයේ සිසු සිසුවියන් දැනුවත් කිරීම මගේ යුතුකමක් ලෙස හැඟුන නිසායි. මේ පිළිබඳ අදහස රසායන විද්‍යා ආයතනයේ ප්‍රධානි මහාචාර්ය ජේ එන් ඕ ප්‍රනාන්දු මහතාට මම දැන්වුයේ සිකුරාදා පැවති ආචාර්යවරුන්ගේ හමුවේදී. ඒ මහතා එක පයින්ම කැමති වුනා. ඔයාම සංවිධානය කරන්න කියා ඒ බර මට පැටෙවුවත්, ඒක මම බොහොම ගෞරවයෙන් භාර ගත්තෙ එය සංවිධානය කරන එක ලෝකය වෙනුවෙන් කරන තවත් එක යුතුකමක් පමණක් නොවන බව මම දන්න නිසාමයි. පිටරට සිටිද්දි ඇල්කෙමියාගේ රසායනාගාරය බ්ලොග් අඩවියෙන් පරිසරය සුරැකීම මෙන්ම පරිසරයට හානි පැමිණවීමෙන් සිදුවිය හැකි අවැඩ පිළිබඳ අනන්ත කතා කළත් සක්‍රීයව යමක් කිරීමේ පහසුකම මට තිබුණෙ නැහැ. ඒ පිටරටක මම ජීවත් වුන නිසාම… වෙනත් රටවල ජීවත් වෙද්දි තමන්ට යමක් සංවිධානය කිරීම අපහසු බව මට තේරුණේ වරක් දෙවරක් නොවෙයි. නමුත් තමන්ගෙ මවු රටේදී තමන්ට අවශ්‍යතාවය තිබෙනවා නම් එය කිරීම ඉතාම පහසු බව මේකෙන්ම මට වැටහුනා.

ඉතින් රසායන විද්‍යා ආයතනයේ සිටි ආචාර්ය මහාචාර්යවරුන්ට මගේ අදහස දැනුම් දුන් වහාම ඔවුනුත් එයට දායක වන්න කැමැත්ත පළ කළේ එක පයින්ම. එපමණක් නොවෙයි එදින නිවාඩු ලබාගෙන සිටි මහාචාරය දසරත ගුණවර්ධන මහතා පවා පසුව තමන් දේශනයක් කිරීමට කැමැති බව ප්‍රකාශ කළා. ඒ නිසා මුලින් දේශන හතරක් ව තිබූ සම්මන්ත්‍රණය පසුව දේශන පහක් දක්වා දීර්ඝ වුනා.

මුලින් පත්‍රිකා මගින් රසායන විද්‍යා ආයතනයේ සිසු සිසුවියන්ට මේ බව දැනුම් දුන්නත්,  සිසුන්ට ඒ ගැන දැනගන්න තිබුණ කාළය මදි වුනාද මන්දා… බලාපොරොත්තු වුන තරම් සහභාගිත්‍වයක් ලැබුණෙ නැහැ.. නමුත් වෙනත් පන්තියක සිටි භක්ති ගීත පුහුණු වෙමින් හිටපු සිසු සිසුවියන් ටිකක් ඇදලා අරගෙන යන්තම් සෙනඟ සම්පූර්ණ කර ගත්තා…

නමුත් දේශන මාලාව යන අතරවාරයේ මට තේරුණා මේ දේශනවල වටිනාකම. මා පවා නොදත් බොහෝ දේවල් ඒ දේශනවලින් ඉගෙන ගත්තා.. මගේ දේශනය තිබුණෙ අන්තිමට.. කෙසේ වුවත් මේ දේශන මාලාව මට හිතුන පරිදි සාර්ථකයි..

මේ දේශන මාලාව ගැන පූර්ව ප්‍රචාරයක් ලබා දුන් ලේක්හවුස් ආයතනයේ නලීන් දිල්රුක්‍ෂ අයියාට ස්තුතිය පිරිනැමීම කළ යුතුමයි. ඒ වගේම දිනමිණ සහ ඩේලි නිවුස් ආයතන දෙකෙන් පැමිණි චින්තා රණසිංහ සහ ඉෂාරා මුදුගමුව මාධ්‍යවේදිනියන්  දෙදෙනාටත් මගේ ස්තුතිය පිරිණමනවා.

ඉදිරියේදීත් මෙවැනි දේශන සංවිධානය කිරීමට අපේ ආචාර්ය මණ්ඩලය එකඟ වුනා.. සමහරවිට අපි දුරස්ථ පාසැල් වලට ගොස් එදිනෙදා ජීවිත හැඩගස්වා ගැනීමට රසායන විද්‍යාවෙන් සිදුවන මෙහෙයයන්, පරිසරය සුරැකීම, ආහාර පුරුදු වැනි දෑ පිළිබඳ සම්මන්ත්‍රණ පවත්වන්න අපට පුළුවන් වේවි…

මේ තියෙන්නෙ දිනමිණේ තිබුණ විස්තරේ…

Dinamina Article

ලෝක පරිසර දිනය ජුනි 05 දා… සැමට කෙරෙන ආරාධනයයි….


අනාගතය වෙනුවෙන්

අනාගතය වෙනුවෙන්

අනාගත ලෝකය කෙසේ වේ දැයි තවමත් කිසිවෙකුට අනුමාන කළ නොහැක. නමුත් මේ යන ආකාරයට එය අනිවාර්යයෙන්ම අධිකව දූෂණය වූ පරිසරයක් ඇති, ජලය සහ පිරිසිදු වාතය සමහරවිට සුඛෝපභෝගී අවශ්‍යතා බවට පත් විය හැකි, සතුන් ගහකොළ විරළ වූ එකක් විය හැකි බව පමණක් සිතිය හැකිය.

ජුනි 05 වනදා ලෝක පරිසර දිනයයි. ඇල්කෙමියාගේ රසායනාගාරයෙන් පරිසරය සුරැකීමේ අවශ්‍යතාව පුන පුනා ප්‍රකාශ කෙරුණද, ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව යමක් කළ නොහැකිව තිබුණේ විදේශයන්හිදී සංවිධානය කළ හැකිව තිබූ දෑ අල්පයක් වී තිබීම නිසායි. නමුත් දැන් යමක් කළ හැකි තත්ත්‍වයක් ඇති නිසාම, රසායන විද්‍යා ආයතනයේදී ජුනි 05 වන දින සවස 2 සිට 4 දක්වා පැවැත්වෙන අනාගත ලෝකය වෙනුවෙන් පරිසරය සුරකිමු යන තේමාව ඔස්සේ ගෙන එනු ලබන දේශන මාලාවට කෙරෙන ආරාධනයයි මේ.

මේ දේශන මාලාවෙන් හි මාතෘකා වනුයේ..

  • පලිබෝධනාශකවල පාරිසරික ආචරණ
  • පරිසරය සහ කසළ කළමණාකරණය
  • පරිසරය සුරැකීමේ පාරම්පරික පසුබිම
  • කාබන් ඩයොක්සයිඩ් සතුරෙක්ද? මිතුරෙක්ද?

යන විෂයයන් වන අතර ඒ සියල්ල රසායන විද්‍යා ආයතනයේ කථිකාචාර්යවරුන් විසින් පවත්වනු ලබයි.

පරිසරය පිළිබඳ ඇල්මක් ඇති, යමක් ඉගෙන ගැනීමට කැමැත්ත ඇති අයට මේ දේශන මාලාවට සහභාගී වන මෙන් ආරාධනා කර සිටිමි.

දේශන මාලාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන අතර පැමිණෙන සැම සාදරයෙන් පිළිගනු ලැබේ…

ස්ථානය : ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනය 341/22 ඇඩමැන්ටේන් නිවස, කෝට්ටේ පාර වැලිකඩ රාජගිරිය.

        ( සරණ පාරේ ජාතික දියවැඩියා මධ්‍යස්ථානය අසළ පාරෙන් පැමිණිය හැකිය)

දිනය : 2013 ජුනි 05 දා

වෙලාව : සවස 2.00 සිට 4.00 දක්වා

සියල්ලෝම පැමිණෙත්වා…………………

%d bloggers like this: