Blog Archives

කෑව ගමන් තිබහ හැදෙන, ශරීරයට ඕනම නැති MSG


MSG-Front

හදිස්සියට නොවුනත් පහසුවට අපේ බොහෝ ගෘහණියන් පාර අයිනෙ තිබෙන කඩයකින් හෝ වෙනත් පිළිගත් ආහාර වෙළඳසැලකින් පවුලටම සරිලන ආහාර වේලක් ගෙදර ගෙන යන්න මැලි වන්නෙ නැහැ. තමන්ට පැය ගණනාවක් කුස්සියේ ගත කරලා පිසින ආහාරයට වඩා කීයක් හෝ වැඩිපුර දීලා ගන්න නොදන්නා කෙනෙකු විසින් නොදන්නා ද්‍රව්‍ය දමා සකසන මේ ආහාරය කෙරෙහි විශ්වාසය නැවත තබා ඇති බවයි පෙනෙන්නේ. මෙයට අපේ අම්මලාගේ කාර්යබහුල බව ප්‍රධාන වශයෙන්ම බලපානවා. රැකියාවේ නියැලිලා ඉන්න ඔවුන් හවසට ගෙදර එන්නේ හෙම්බත් වෙලා. ඒ අතරේ කෑම උයන එක කියන්නේ බොහොම වෙහෙසකර කටයුත්තක්. මේ නිසාම සතියකට වේල් දෙකක්වත් මිලදී ගත් ආහාර වේලකින් කුස පුරවා ගන්නට සිදු වෙන්න පුළුවන්. නමුත් මේ ආහාර ඇත්තෙන්ම සෞඛ්‍යාරක්‍ෂිතද ? ඒ ආහාරවලට යොදන දෑ මොනවද ? අපි බොහෝ දෙනෙක් නොදන්නා දෙයක්.

අපේ දරුවන් පවා නිවසේ සකසන ආහාරවලට වඩා පිටින් ගෙනෙන ආහාරවලට දක්වන්නේ මහත් ගිජුකමක්. සමහරවිට නිවසේ සකසන ආහාරවල රසය අඩු වන්නට පුළුවන්, නමුත් එය විශ්වාසදායකයි. පිටතින් ගෙනෙන ආහාරවල රසය වැඩි කිරීමට විවිධාකාර දෑ එකතු කරනවා. විවිධ වෙළඳ නාම වලින් හැඳින්වෙන මේ දෑ සමහරවිට දීර්ඝකාලීනව ශරීරගතවීම ශරීරයට අහිතකර වන්නට පුළුවනි. ඔබ සමහරවිට මෙවැනි වෙළඳසැලකින් ආහාර ගත් විට තරමක වැඩි පිපාසාවක් දැනෙන්නට පුළුවනි. එයින් ඔබට දක්වන්නේ ඔබ MSG නැතහොත් මොනො සෝඩියම් ග්ලූටමේට් කයන රසායනයේ ගොදුරක් බවට පත් වූ බවයි..

Mono Sodium Glutamate කියන්නෙ ග්ලූටමික් අම්ලය කියන අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ලයේ සෝඩියම් ලවණය. මෙය ඇත්තෙන්ම ඇමරිකානු  ආහාර සහ ඖෂධ අධිකාරිය මගින් ආරක්‍ෂාකාරී දෙයක් ලෙස සඳහන් කර තිබුණත්, බොහෝ දෙනා සැකමුසු බැල්මෙන් තමයි මේ ගැන බලන්නෙ. නමුත් මෙය අනෙක් ආහාර සමඟ හොඳින් මුසු වන නිසාත්, ඇමයිනෝ අම්ලයක් මිස වෙනත් හානිකර රසායන ද්‍රව්‍යයක් නොවන නිසාත්, අනෙක් ආහාරවල රසය හොඳින් ඉස්මත් කරන නිසාත් බොහෝ වෙලාවට රසකාරකයක් ලෙසින් යොදා ගැනෙනවා. මෙය MSG ලෙසින්ම යොදා නොගැනුනත්, Aji-No-Moto, Ac’cent, සහ Vestin යන වෙළඳ නාම වලින් ලොව පුරා බෙදාහැරෙනවා.

මෙය ශතවර්ශයකට වඩා ඉතිහාසයක් ඇති රසායනිකයක්. 1908 දී ජපානයේ ටෝකියෝ ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ කිකුනේ ඉකෙඩා (Kikune Ikeda) විසින් මුහුදු පැලෑටියකින් නිස්සාරණය කරගෙන වෙන් කර ගත් ග්ලූටමික් අම්ලය එහි වූ සුවිශේෂ රසය නිසාම “Umami” උමාමි  ලෙසින් නම් කෙරුණා. ජපාන ආහාර වන katsuobushi සහ kombu යන ආහාරවල ඇති පැණිරස-ලුණු රස-ඇඹුල් රස-සහ තිත්ත රස වන රස වලින් වෙනස් වූ සුවිශේෂ රසයක් මේ සංයෝගයෙන් ඔහු නිරීක්‍ෂණය කළා. මේ ග්ලූටමික් අම්ලයේ අයනීකරණය වූ සංයෝගයේ වූ රස අධ්‍යයනය කිරීමට ඔහු කැල්සියම්, පොටෑසියම්, ඇමෝනියම්, සහ මැග්නීසියම් ආදී විවිධ අයන සමඟ සංයෝජනය වූ ග්ලූටමේට් සංයෝග යොදා ගත්තා. එහිදී ඔහු නිරීක්‍ෂණය කළේ ඒ සියල්ල ලෝහමය රසක් – මලකඩ රසක් ගෙන දෙන බවයි. ඒ අතර වූ සෝඩියම් ග්ලූටමේට් මේ සියල්ලටම වඩා වෙනස් ලෙස මනා රසයක් සහ හොඳ ද්‍රාව්‍යතාවයක් ලබා දෙන බවට ඔහු දුටුවා. එසේම මෙය ඉතා පහසුවෙන් ස්ඵටික ලෙස වෙන් කරගන්නත් ඔහු සමත් වූවා. ඔහු මෙම සංයෝගය මොනොසෝඩියම් ග්ලූටමේට් MSG ලෙසින් නම් කර ඒ සඳහා පේටන්ට් බලපත්‍රය ලබා ගත්තා. ඉන්පසු සුසුකි සහෝදරයන් විසින් මෙය අජි-නෝ-මොටෝ ලෙසින් වෙළඳපළට ඉදිරිපත් කළා.

MSG ස්වභාවිකවම තක්කාලි, චීස් ආදී ආහාරවල තිබෙනවා. නමුත් බොහොම අඩු ප්‍රමාණවලින්.   ඇත්තෙන්ම පිරිසිදු MSG විසින් හොඳ රසයක් ලබා දෙන්නෙ නැහැ. එය එයට නිසි සුවඳකාරකයත් සමඟ එකතුකළොත් පමණයි නිසි රස ලැබෙන්නෙ.. නියම ප්‍රමාණය එකතු කළහොත් MSG වලට හැකියි අනෙකුත් රසකාරක වල ඇති රසයන් උළුප්පා ගන්නට. එය බොහෝ විට බොහෝ ආහාර සමඟ හොඳින් මුසු වෙනවා. ඒ කියන්නෙ ඒ ආහාර වල රසයන් හොඳින් ඉස්මතු කරනවා. නමුත් එය එසේ සිදු කරන්නේ නියමිත ලෙස නියමිත ප්‍රමාණයෙන් භාවිතා කළහොත් පමණයි.. වැඩිපුර භාවිතා කළා කියා වැඩිපුර රසයක් ඉස්මතු වෙන්නෙ නැහැ. එසේම මේ MSG වල ඇති සුවිශේෂී ලක්‍ෂණය නම් නියුක්ලියෝටයිඩ සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කර ආහාර වලට අවශ්‍ය ලුණු වැනි දේ වල ප්‍රමාණය අඩු කිරීම සිදු කරනවා. මේ නිසා සමහර වෙලාවට MSG දමා ආහාරය රසවත් කිරීම නිසා ලුණු අඩුවෙන් ආහාරයට ගත යුතු, ආහාර පාලනය කරන පුද්ගලයින්ට අවශ්‍ය රස එලෙසම තබා ගනිමින් ආහාර සැකසීමට හැකි වෙනවා. සමහර අවස්ථාවල භාවිතා කරන ලුණු ප්‍රමාණය 30% ක් අඩු කරගන්නට MSG භාවිතා කිරීමෙන් හැකි වෙනවා ලු. ලුණු වල ඇති 39% ක් වන සෝඩියම් ප්‍රතිශතය වෙනුවට MSG  වල ඇත්තේ 12% ක සෝඩියම් ප්‍රතිශතයක්.

බොහෝ සැකසූ ආහාරවලට MSG ඇතුලත්කර ඇති බව සත්‍යයක්. ඔබ ඒ ආහාරවල ලේබල් පරීක්‍ෂාවෙන් කියවා බැලුවහොත් එය එක්කෝ Mono Sodium Glutamate ලෙසින් හෝ

අජි-නෝ-මොටෝ අනතුරුදායකද ?

MSG ලොව පුරාම අවුරුදු 100 කට අධික කාළයක් රසකාරකයක් ලෙස භාවිතා වෙමින් පවතිනවා. මේ කාළය තුළ මෙහි ආරක්‍ෂාකාරී බව, භාවිතයේ වාසි-අවාසි, කෙතරම් පාවිච්චි කළ යුතුද ආදී දේ ගැන ඉතා ගැඹුරු ලෙසින් පර්යේෂණ සිදු වී තිබෙනවා. ඒ අනුව ආහාර පිළිබඳ ආරක්‍ෂණ ඒජන්සි විසින් MSG ආහාරයට ගත හැකි රස ඉස්මතු කරන්නක් ලෙසින් වර්ග කර තිබෙනවා. ග්ලූටමික් අම්ලය ස්වභාවයේ පවත්නා ඇමයිනෝ අම්ලයක් නිසාමත්, එය ශරීරය මගින් ජීර්ණයේදී විඛණ්ඩනය කරන නිසාත් ඇත්තෙන්ම ශරීරයට අහිතකර නැති බවයි පැවසෙන්නෙ.  “MSG symptom complex” කියන රෝග තත්ත්‍වය නැතිනම්  “Chinese Restaurant Syndrome” කියන රෝග තත්ත්‍වය මුලින්ම වාර්තා වුනේ Robert Ho Man Kwok  විසින් ඇමරිකාවේ චීන අවන්හලක ආහාර වැලඳුවාට පස් ඇති වූ රෝගී තත්ත්‍වයක් නිසා. ඔහු මෙයට හේතු වශයෙන් දක්වා තිබුණේ ආහාර පිසීමේදී යොදා ගන්නා වයින් සහ සෝඩියම් ප්‍රමාණය අතර සිදු වූ අසමතුලිතතාවයක් හෝ ප්‍රතික්‍රියාවක් නිසා මේ තත්ත්‍වය ඇතිවිය හැකි වූ බවයි. වයින් සහ සෝඩියම් ප්‍රමාණය අතර සම්බන්ධය කිසිමදාක අධ්‍යයනය නොවුනත්,  එදා සිට  MSG මේ රෝග තත්ත්‍වයන්ට කිසියම් ආකාරයක වරදකාරයෙක් වුනා.  MSG විෂ වීමට නම් එකවර සාමාන්‍යයෙන් 15 – 18 g/kg ප්‍රමාණයක් ශරීරගත විය යුතුයි. එනම් ඔබේ බර කිලෝග්‍රෑම් 60 ක් නම් ඔබ එකවර MSG ග්‍රෑම් 900 ක් ආහාරයට ගත යුතුයි. (මේ පර්යේෂණය සිදු කර ඇත්තේ මීයන්ට- මිනිසුන්ගේ මේ අගය පස් ගුණයක් වැඩි බව සඳහන්)  මේ නිසා 1995 දී පර්යේෂණාත්මක ජීව විද්‍යාව පිළිබඳ එක්සත් ඇමරිකානු සංගමය විසින් කරන ලද පර්යේෂණ වලට පසුව  රසකාරකයක් ලෙසින් අවශ්‍ය ප්‍රමාණයට භාවිතා කළ හොත් යෙදෙන MSG ප්‍රමාණය කිසිම විටෙක මිනිසුන්ට විෂ වීමට හේතුවක් නැති බවයි සඳහන් කරන්නෙ.

MSG නිසා ඇතිවන රෝගී තත්ත්‍වයන් පිළිබඳ පැහැදිළිතාවයක් නොමැත්තේ ඒ වාර්තා වී ඇති තත්ත්‍වයන්හි එකඟතාවයක් කිසිවිටෙකත් නොමැති නිසායි. එසේම ඒ වාර්තා වලින් කිසි විටෙක ග්ලූටමේට් නිසා ඇතිවන දීර්ඝකාලීන රෝගී තත්ත්‍වයක් වත් වාර්තා වී නැහැ.  එසේම පාරිභෝගිකයන් රාශියක් යොදාගෙන කරනලද පර්යේෂණ වලින් පවා එසේ දැනෙන රෝගී තත්ත්‍වයක් වාර්තා කිරීමට අසමත් වී තිබෙනවා. මොළයේ ස්නායු සන්නිවේදනය සඳහාත් මතකය සහ ඉගෙනීම සම්බන්ධව ග්ලූටමේට් වල ඇති දායකත්‍වය නිසාත් ස්නායු විශේෂඥයින් මේ පිළිබඳ පර්යේෂණ කළත් කිසිදු අහිතකර ප්‍රතිඵලයක් දැක්වී නැහැ. නමුත් MSG අහිතකරතාවයන් ඇති බවට බොහෝ අවස්ථාවල වාර්තා වෙනවා. එසේම රජරට ගොවියන් සිය වල්පැල නාශක ඉසිනයන්ට MSG පැකට්ටුවක් කවලම් කරන්නේ එහි ප්‍රබලතාවය කිහිපගුණයකින් වැඩිකර ගැනීමට. එසේනම් සත්‍ය වශයෙන්ම එහි කිසියම් ප්‍රතික්‍රියාවක් ඇති බව අනුමාන කළ හැකියි.

MSG ආහාරවලට එකතුකර ඇති බව පාරිභෝගිකයන්ට දැන්විය යුතු බවට ආහාර නියාමන අධිකාරියෙන් නීති පණවා තිබෙනවා. මේ නිසාම සමහර ආහාර ලේබල්වල MSG නමිනුත්, තවත් සමහර ලේබල් රසය වැඩිකර දෙන්නක් (Flavor Enhancer) ලෙසිනුත් දක්වා තිබෙනවා. සමහර ආහාර ලේබල් 621 අංකයෙන් එය දක්වා තිබෙනවා.

කෙසේ වුවත් සමාජයේ සිටින හැම දෙනාගෙම පරිවෘත්තීය එක හා සමාන නැහැ. මේ නිසා සමහර අයට MSG නිසා අපහසුතා ඇතිවෙන්න පුළුවන්. ඒ අපහසුතා අතර හිසරදය, වමනය, මුහුණ අත්පා ආදියෙහි හිරිවැටීම හෝ හැඟීම් දැනීමක් නොමැති වීම වැනි රෝග ලක්‍ෂණ ඇතිවන්නට පුළුවන්. කෙසේ වුවත් අධිකලෙස ශරීරගත වුනත් MSG එකවරම විෂවන රසායනිකයක් නොවෙයි.  නමුත් විවිධාකාර ආකාරයෙන් ඒ සංකූලතා දැක්වෙන්න පුළුවනි. මෙහි අනතුරුදායක භාවය වැඩිපර නොපෙනෙන්නේ එහි රෝග ලක්‍ෂණ දැඩිව පිටතට නොපෙනෙන නිසායි. ඒ වුනත් බොහෝවිට සමාජයේ කියවෙන අන්දමේ ඇට දිරන කතාවක් හෝ විසල් රෝග තත්ත්‍වයන් MSG නිසා ඇති වන්නෙ නැති බව කියන්න පුළුවනි. ඒ හා සම්බන්ධ සාක්‍ෂි කොහෙන්වත් හමු වී නැහැ. නමුත්, සාමාන්‍ය ලුණු මෙන් නොවෙයි MSG අධික මාත්‍රාවක් ආහාරයට එකතු කළත් එය සරළව සොයාගැනීමේ ක්‍රමයක් නැති නිසා ආහාරයට MSG කොපමණ එකතු වී ඇතිදැයි කියන්නට කිසිම කෙනෙකුට සරළව බැහැ. ලුණු එකතු වීමේදී එහි ඇති අධික ලුණු රසය නිසා හඳුනා ගන්නට පුළුවනි. මේ නිසා ඔබේ ආහාරයේ MSG කොපමණ ප්‍රමාණයක් අන්තර්ගතදැයි සායා ගැනීමට නොහැකියි.  ග්ලූටමේට් කියන්නේ ශරීරයට අත්‍යවශ්‍ය නොවන දෙයක්, නමුත් යම් ප්‍රමාණයක් ශරීරයේම නිපදවෙනවා…ඒ නිසා විශේෂයෙන් වෙනම ගන්න අවශ්‍යතාවයක් නැහැ… අනවශ්‍ය දෑ ඇඟට අවශ්‍යම නැහැ…

බොහෝ චීන අවන්හල් සහ වෙනත් ආහාර විකිණීමේ ස්ථානවල මේ MSG අඩංගු රසකාරක භාවිතා වනවා, ඒ ඔවුන්ගේ ආහාරවල රස වැඩි කරන්නට බව අමතක කරන්න එපා… ඒ කෑම නිවසේ හදන කෑම වලට වඩා රස වැඩි එක හේතුවක් වන්නෙ ඒකයි… ඔබ එම රසයට ඇබ්බැහි වෙනවා, ඔබේ දරුවන් එයට ඇබ්බැහි වනවා. මේ නිසාම ඔබ වැඩි වැඩියෙන් ඒ ආහාර ලබා ගැනීමට පෙළඹෙනවා. මේ නිසා ඔබේ ශරීරයට සිදුවන දීර්ඝකාලීන හානිය වැඩියි. එසේම ඔබ වැඩි වැඩියෙන් මෙවැනි දෑ සහ තෙල් අධික, ආහාර ලබා ගැනීමේදී නිතැතින්ම දියවැඩියාව, අධික රුධිර පීඩනය, වෙනත් හෘද රෝග වැනි දෑ වලට නිතැතින්ම ගොදුරු වනවා. ඔබට පිටතින් බලා කවදාවත් ආහාරවලට MSG දමා ඇතිදැයි සොයාගත හැකි වන්නේ නැහැ. එය ආහාර ගත් පසුව ඔබට දැනෙන අසාමාන්‍ය තිබහ මගින් වැනි පසු කාලීන ප්‍රතික්‍රියාවක් මගින්ම පමණයි දැනගත හැක්කේ. නමුත් එවිට ඔභ ප්‍රමාද වැඩියි.

ඔබට විමසන්නට පුළුවනි, ඔබේ ආහාරය ලබාදෙන වෙලඳසැළ, හෝ පුද්ගලයාගෙන් ඔබට ලබාදෙන ආහාරයට MSG එකතු කර ඇත්දැයි කියා. ඔබට ඇණවුම් කරන්නට පුළුවන් MSG එකතු නොකර ආහාර ලබා දෙන ලෙසට, ඒ සියල්ල එසේ සිදු වෙද්දී ඔවුන් තව තවත් MSG එකතු කරන්නේ නම්, ඔබට තීරණය කරන්න පුළුවනි තව දුරටත් එතැනින් ඔබ ආහාර ලබා ගන්නේදැයි…

රිවිර සබැඳිය මෙතැනින්.

http://www.rivira.lk/online/2017/08/26/123879

 

 

Advertisements

ජීවිතය දිගයි – ඉක්මන් කොටයි……..අවධානයෙන් සිට අවදානම අඩු කරගමු…. මෙවර රිවිර ලිපිය


Road discipline.jpgමිනිස් ජීවිතයක් ලැබීම කණ කැස්බෑවකු විය සිදුරෙන් අහස බලනවාටත් වඩා දුර්ලභ බව බුදු දහමේ පවා සඳහන්. මිනිස් ජීවිතයක් කියන්නේ ඒ තරම් දුර්ලභ සිදුවීමක්. සරළව සලකා බලනවා නම් කණ කැස්බෑවකු විය සිදුරෙන් අහස බැලීමකට කාරණා කිහිපයක් සම්පූර්ණ විය යුතු වෙනවා. මූලිකවම කැස්බෑවා එක් ඇසක් අන්ධ විය යුතුයි, නගුලකින් කැඩී ගිය වියගසක් මුහුදේ පා විය යුතුයි. විය ගස මුහුදේ පාවන අවස්ථාවේ කැස්බෑවා මතුපිට පැමිණ උගේ පෙණෙන ඇස විය සිදුර හා සමපාත විය යුතුයි. සම්භාවිතාවය ආශ්‍රයෙන් සලකා බලන කල පවා මෙය ඉතාම දුර්ලභ අවස්ථාවක්.

ආගම පැත්තකින් තැබුවත්, විද්‍යානුකූලව ඔබ – ඔබම වීම ඉතා දුර්ලභ සම්භාවිතාවයකින් එකක්. ඔබේ ගති ලක්‍ෂණ සහ ඔබේ රූ ලක්‍ෂණ ඇති පුද්ගලයෙක් ඇති වීමට ඔබේ මව සහ පියාගේ නිසි සරු කළ එක්වීම අවශ්‍යයි. එසේ වුවත් ඔබ ජීවය ලැබීමට පැලෝපීය නාලය කරා පිහිණීමට සටන් කරන්නේ අවම වශයෙන් ඔබ වැනිම ඔබේ සහෝදර සහෝදරියන් මිලියන 40 ක් සමගයි. එසේ පිහිණන ඔබ පළමුවැනියා වුවත්- නොවුවත් ඩිම්බයේ බිත්තිය සිදුරු කිරීමට අවශ්‍ය ශක්තිය තිබිය යුතු වෙනවා. වෙනත් කෙනෙකු ඒ අවස්ථාව ලැබුවා නම් අද මේ පුවත කියවන ඔබ වන්නේ ඒ පුද්ගලයායි. ඒ අනුව ඔබ ජීවය ලබන්නට පමණක් කෙතරම් සටනක් දෙන්නට ඇතිද කියා ඔබම සිතන්න. එසේම ඒ ජීවය ලැබීම පිළිබඳව ඔබ ඔබ ගැනම ආඩම්බර වෙන්න. මිලියන හතලිහක් පරදවා ජයග්‍රහණය කිරීම පිළිබඳව.

එසේ ලබා ගත් ජීවිතය මේ දක්වාම පවත්වාගෙන යාමට කෙතරම් බාධා පැමිණෙන්නට ඇත්ද කියා සිතන්න. කෙසේ නමුත් ඔබ මේ දක්වා පැමිණ අවසන්, ඉන්පසු කෙසේ ගත කරන්නේද යන්න ඔබ සහ ඔබේ අවට සමාජය අනුව තීරණය වෙනවා. කෙසේ නමුත් අප සියළුම දෙනා හැකි තරම් දිගු ජීවිතයක් ගත කරන්නයි කැමති. නීරෝගී මනසක් ඇති, මනස අතිශය දියුණු නොකළ කිසිම පෘතඃජනයෙකු සිය ජීවිතය නිශ්චිත දිනක අවසන් කරනවා යැයි කියා සිතන්නේ නැහැ.  ඒ නිසාම අපි සියළුම දෙනා අනතුරු රහිතව සහ ලෙඩරෝග රහිතව ජීවිතය ගත කරන්නට කැමතියි. එසේම අප අවට සිටින්නවුන් පවා එසේ සිටිනවා දක්නට පතනවා.

නමුත් අපි ඉතා කෙටි, අනුවණ තීරණ ගන්නට ඉතා දක්‍ෂ කොට්ඨාසයක්. දැනට වාර්තා වන පරිදි දවසකට අවම වශයෙන් වාහන අනතුරු නිසා ජීවිත 5 ත් 10 අතර ප්‍රමාණයක් දිනපතා රටට අහිමි වෙනවා. මෙයින් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි සහ ත්‍රීරෝද රථ. මෙයට අමතරව වලක්වාගත හැකි ගෘහස්ථ අනතුරු නිසා කුඩා දරුවන්ගේ ජීවිත දෙක තුනක් දිනපතා අහිමි වෙනවා. මේ අනතුරු බොහොමයක් විශ්ලේෂණය කර බැලුවහොත් ඒවායේ පොදු සාධකය වන්නේ නොසැලකිලිමත්කමයි. වාහන අනතුරකදී නම් බොහෝවිට අධික වේගය සහ නොඉවසීම පොදුයි. ඊයේ යන්නට තිබූ ගමනක් අද යනවාක් මෙන් යාමේදී අනතුරු සිදුවීම බහුලයි. ගෙදර දොර අනතුරක් නම් බොහෝවිට අනතුර පිළිබඳ නොසැලකිලිමත් වීමක් පොදු සාධකය වනවා. වැඩබිමක සිදු වන අනතුරුවලදී එක්කෝ නිසි ආරක්‍ෂක උපකරණ පැළඳ නොසිටීම, ක්‍රියාවේ අනතුරුදායක බව නිසි ලෙස විශ්ලේෂණය නොකිරීම පෙන්නුම් කරනවා.

මහමඟ ගමන්කරනවිට අපට නිතර පෙනෙන දෙයක් නම් යතුරුපැදි කරුවන්ගේ නොසැලකිලිමත් භාවය. ඔවුන් නිතරම ගමන් කරන්නේ එක්කෝ මං තීරුවේ දකුණු පැත්තේ හෝ මැදින්. වෙනත් වාහනයක් සඳහා සමහරවිට ඉඩ ලැබෙන්නෙත් නැහැ. වම් පස මංතීරුව වාහනවලින් තොර වුවත් ඔවුන් ගමන් කරන්නේ දකුණු පසින්. මේ නිසා ඔවුන් අනතුරුවලට ලක්වන අවස්ථා බහුලයි. එසේම යතුරුපැදිකරුවන් තම හැකියාවන් පිළිබඳ අධිතක්සේරුවකින් ගමන් කරනවා. වාහන දෙකක් මාරුවන අතරතුර ඒ අතරින් ගමන් කිරීම, වංගු වලදී වාහන ඉස්සර කිරීම, වමෙන් ඉස්සර කිරීම ආදිය ඉතාමත් බහුල වැරදි. මේ නිසාම අහිමි වන ජීවිත ප්‍රමාණයත් ඒ හා සමානවම වැඩියි. යතුරුපැදි ධාවකයන්ගේ අධික වේගය නිාම යතුරුපැදිය පාලනයෙන් ගිලිහී අනතුරට පත්වන අවස්ථා එමටයි. රෝද දෙකක් යනු ස්ථායීව පවත්නා ව්‍යුහයක් නොවන නිසා පෙරළීමේ සම්භාවිතාවය වැඩියි. එසේම යතුරු පැදියක් ප්‍රධාන පාරකට දැමීමේදීත් ඔවුන් අනුගමනය කරන්නේ තමන්ට ප්‍රමුඛත්‍වය ලැබිය යුතු යැයි හැඟීමක්. මේ නිසාම සමහරවිට ප්‍රධාන පාරේ පැමිණෙන වාහනවල ගැටීමේ සම්භාවිතාවය අධිකයි. එසේම බොහෝ දෙනා සිය ජංගම දුරකථනය හෙල්මට් එක සහ මුහුණ අතර රඳවාගෙනයි ගමන් කරන්නේ. දුරකථන ඇමතුමක් ලැබුණ වහාම එමගින් කතා කරමින් තමයි පදවන්නේ. මේ නිසා බයිසිකලය පැදීමට ඇති අවධානය ඉතා දැඩි ලෙස අඩු වනවා. අනතුරු සිදු වීමේ සම්භාවිතාවය ඉතා අධිකයි.

සාමාන්‍යයෙන් මෝටර් රථයක් පැදවීමේදී දුරකථන භාවිතය නිසා අඩු වන අවධානය, එම පුද්ගලයා මත්පැන් පානය කර මෝටර් රථය පැදවීමේදී අඩුවන අවධානයට වඩා වැඩි බව සොයාගෙන තිබෙනවා. එනම් ඔබ දුරකථනයෙන් අමතමින් වාහන පදිනවා යනු බීමත්ව රිය පැදවීමටත් වඩා භයානක කාර්යයයක්.

බොහෝ දෙමාපියෝ තම දරුවන් මෝටර් බයිසිකල්වල නංවාගෙන යන අවස්ථා අනන්තයි. අපේ රටේ ආර්ථික සහ සමාජයීය තත්ත්‍වය අනුව එය වලකා ලන්නඩ බැහැ. නමුත් ඔවුන් එසේ ගෙනයන ආකාරය සමහරවිට බොහෝ අනතුරුදායක වන්නට පුළුවන්. තමන් හෙල්මට් පැලඳ සිටියත් දරුවාට පළඳවන්නේ කුඩා කැප් තොප්පියක්. අනතුරක් සිදු වුවහොත් දරුවාගේ හිසට සිදුවිය හැකි හානිය අධිකයි. දරුවා බොහෝ දුරට මවගේ උකුලේ ගමන් කරන්නේ සිටගෙනයි. කිසියම් හේතුවක් නිසා දරුවා අතහැරුණහොත් වැටීමට ඇති ඉඩකඩ බොහොමයි. ඒ වගේම සමහරවිට දරුවන් තනිවම පිටුපස නංවාගෙන යන අවස්ථා ද තිබෙනවා. එවිට පදවන්නාගෙන් දරුවාට ඇති අවධානයත් අඩු වෙනවා. දරුවාට නින්ද යාම වැනි දෑ සිදු වුවහොත් සිදු වන ජීවිත හානිය නැවතත් ලබාගත හැක්කක් නොවෙයි. මේ නිසා දරුවන් යතුරුපැදි වැනි නිරාවරිත වාහනවල රැගෙන යාමේදී නිරතුරුවම සිදු විය හැකි අනතුරු පිළිබඳ පෙර සීතීමක් අත්‍යවශ්‍යමයි.

දෙවනුවට වැඩිම අනතුරු සිදු වන්නේ ත්‍රීරෝදකරුවන් අතිනුයි. ඔවුන් ද යතුරුපැදිවලට දෙවනි නැහැ. සිය වාහනයේ වේගය පාලනය කර ගැනීමට අපොහොසත් වීම නිසා බොහෝ අනතුරු සිදු වනවා. ත්‍රීරෝද රථයේ නංවාගෙන යාමට නොහැකි තරමක මගීන් ප්‍රමාණයක් නංවාගෙන යාම, එසේ ගමන් කිරීම නිසා සිදුවන අනතුරු නිසා සිදුවන අධික මරණ සංඛ්‍යාව අපට නිතිපතා අසන්නට දකින්නට ලැබෙන දෙයක්. ත්‍රීරෝද රථ රියැදුරන් අතින් ඉහත කී යතුරුපැදි ධාවකයන් අතින් සිදුවන වැරදි සියල්ලම සිදුවනු දකින්නට පුළුවන්. එමෙන්ම, මාර්ග සංඥා පුවරු ආසන්නයේ මඟ අහුරාගෙන ඉදිරියෙන්ම සිටින්නේ ත්‍රීරෝද සහ යතුරුපැදි බව ඔබටම බලාගනු හැක. බොහෝවිට පිටරටවල නම් වාහන ධාවනය කෙරෙනුයේ අදාල මංතීරුවේ පමණයි. එසේම එය නීතියක් වන අතර නීති කඩකරන්නන්ට එවේලේම දඬුවම් ලැබෙනවා. අවාසනාවකට අපේ රටේ නීතිය විවිධාකාර ලෙස නැවී ඇති නිසා මාර්ග නීති පවා නිසි ලෙස ක්‍රියාවේ යෙදවෙන්නේ නැහැ. මේ නිසා බොහෝ දෙනා හිතාමතාම වැරදි කිරීමට පෙළඹී සිටිනවා. වැරැද්දක් හසු වූ විට පවා පගාවක් දී ගැලවීයාමට උත්සාහ කරනවා. මේ නිසා නීති පිළිපැදීම අඩු වී අනතුරු වැඩි වී තිබෙනවා. පසුගියදා පැනවූ රු: 25000 දඩය නිසාම කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු වාට්ටුවට ඇතුලත් කෙරෙන රෝගීන්ගේ සැලකිය යුතු අඩුවීමක් වාර්තා වී තිබුණා. එයින්ම පෙනෙනවා නිසි ලෙස මාර්ග නීති අනුගමනය කරනවා නම් මාර්ග අනතුරු අවම කරගත හැකි බව. 2016 වසරේදී ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු නිසා සිදු වූ මරණ 3003 කින් මරණ 1227 ක්ම යතුරුපැදි කරුවන්, ඊට පසු වැඩිම අගය වන 405 ත්‍රී රෝද රථ නිසාද තෙවනුව 357ක් ලොරි රථ නිසාද සිදු වී තිබෙනවා. මෙයට අමතරව මේ සෑම ක්‍රමයකින්ම බරපතල තුවාල ලැබී සංඛ්‍යාවද ඊට නෙදෙවෙනියි.

බස් සහ ට්‍රක් වැනි විශාල වාහන රියැදුරන් තමන්ගේ වාහන ධාවනය කරන්නේ මාර්ග නීති නොතකා නොසැලකිල්ලෙන්. මෑතකදී අප දුටු බස් අනතුරකදී රියැදුරා හිතාමතාම කාන්තාවක් යට කරනු අපට දැක ගැන්මට පුළුවන් වුනා. මෙවැනි වැරදි වලට දැඩි දඬුවම් ලබා දිය යුතු මෙන්ම ඒවා ප්‍රසිද්ධ කර අන් අය මෙවැනි වැරදි වලට පෙළඹීම නතර කළ යුතුමයි. ප්‍රභූ වාහන ගැන කතා කිරීම ඇත්තෙන්ම අනුවණ ක්‍රියාවක්, ඔවුන්ට ඇත්තේ වෙනම නීතියක්. නීතියක් ඇතිනම් එය සැමට එකසේ ක්‍රියාවේ යෙදවිය යුතුයි. වසර කිහිපයකට පෙර ඇමරිකාවේ නිව් ජර් සි ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා බීමතින් රිය පැදවීමට වරදකරු වී මාස හයක් රියැදුරු බලපත්‍රය තහනමකට ලක් වූවේ මේ සැමට එක නීතිය යටතේ. ශ්‍රී ලංකාවේ එසේ වූවා නම් අදාල පොලිස් නිලධාරියා අද සේවය කරනු ඇත්තේ දුෂ්කර ප්‍රදේශයක…

කෙසේ නමුත් කාර් සහ අනෙකුත් වාහන පදවන්නන් සාන්තුවරයන් නොවෙයි. මෑතකදී වාර්තා වුන මෝටර් රථයක දොරක් හරිනවිට යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ රිය අනතුරකදී වරද බොහෝ විට අපරීක්‍ෂාකාරීව දොර අරිනලද පුද්ගලයාගේ වන්නට පුළුවනි. අප නිතරම යම් අනතුරක් විය හැකිදැයි සිතා පෙර විපරමින් කටයුතු කළහොත් ඇත්තෙන්ම මෙයට වඩා අනතුරු ප්‍රමාණයක් අඩු කරගත හැකියි.

2015 වසරේ දත්ත වලට අනුව, මාර්ග අනතුරු නිසා සිදුවන ජීවිත හානි වැඩිපුරම වාර්තා වන්නේ ලිබියාවෙන් එය ජනගහනයෙන් ලක්‍ෂයකට 73.4 ක් ලෙසින්. වාසනාවකට අප ඒ ලැයිස්තුවේ ඉහළ නැහැ, නමුත් මේ අකාරයට ගියොත් ඒ වාර්තාවටත් අපට හිමිකම් කියන්න බැරි වෙන එකක් නැහැ.

බොහෝ වාහනවල දැන් දැන් බුදු පිළිම, කුරුස මෙන්ම ධර්මචක්‍ර වැනි ආගමික සංකේත තබාගෙන යනු අපට දකින්නට පුළුවන්. ඇත්තෙන්ම ඔබ කළ යුත්තේ ආගමික සංකේත නොව ඔබේ පවුලේ ඡායාරූපයක් රථයේ ඉදිරිපස ඔබට පෙනෙන අයුරින් සවිකිරීමයි. එයින් ඔබට නිතරම මතක් වේවි ඔබේ ඉක්මන නිසා තවත් කී දෙනෙක් අසරණ විය හැකිද කියා. මේ නිසා ඔබ ස්වයං විනයක් ඇතිව ධාවනය කරන්නට සමහරවිට පෙළඹේවි. හදිසි අනතුරකින් අහිමි වන කිසිම ජීවිතයක් අපට නැවත ලබා ගත නොහැකියි. සමහර විට මිය යන පුද්ගලයා ඔබ නොවුවත්, අසරණ පවුලක් නඩත්තු කරන එකම පුද්ගලයෙක් විය හැකියි. එවිට අසරණ වන ජීවිත සංඛ්‍යාව කොපමණ දැයි සිතා ගන්න. එසේ අසරණ වන පවුලක ඉරණම ඔබට භාරගත හැකිද ? සමහරවිට පවුලේ එකම දරුවා විය හැකියි. මිය යන දරුවකු වෙනුවෙන් ඔබේ දරුවෙකු එම පවුලකට ලබා දිය හැකිද ? ඔබ ඒ ඉරණමට ගොදුරු වුවහොත් ඔබේ දරුපවුලට කුමක් සිදු වේද ? ඔබේ දරුවකු එම ඉරණමට ගොදුරු වුවහොත් ඔබ කුමක් කරාවිද ? මේ සියල්ලටම හොඳම පිළිතුර වන්නේ වඩා ඉවසිලිවන්තව සහ ආචාරශීලීව රථ ධාවනය කිරීමයි.

අප රටේ රියැදුරන්ට නොමැති දෑ දෙකකි. එනම් ඉවසීම සහ රිය පැදවීමේ ආචාර ධර්ම පිලිපැදීම නොමැතිකමයි. නොඉවසිල්ල නිසා සිදු වන මාර්ග අනතුරු ප්‍රමාණය ගණන් කළ නොහැකියි. එසේම අනුන්ට පෙර තමන් යා යුතුය යන සිතිවිල්ල ඇති නිසා කුඩා ඉඩකින් හෝ තම වාහනය රිංගවාගෙන තමන්ගේ ගමන යාමට අපි උත්සුක වෙනවා. බොහෝ මංසන්ධිවල මාර්ග තදබදය ඇතිවීමට එකම හේතුව වන්නේ අනුන්ට ඉඩ නොදී තමන් ඉස්සර වීමේ න්‍යාය නිසායි. පිටරටවල ඇති සිවු මාර්ග නැවතුම් සංඥා (Four way Stop Sign) වලදී වාහන සියල්ල අදාල ඉර මත සම්පූර්ණයෙන් නවත්වා, ඉන්පසු ඉදිරියට යා යුතුයි. එසේ කිරීමේදී වාහන දෙකක් එකවර පැමිණිය හොත්, කෙනෙක් අනිකාට සංඥා කර අන්‍යොන්‍ය අවබෝධයෙන් වාහන ඉදිරියට ගමන් කරවනවා. මංසන්ධිය මැද වූ කොටුවේ හෝ අදාල ඉරෙන් ඉදිරිපිට, කිසිදු වාහනයක් නවත්වා නැහැ. මේ සංසිද්ධිය ලංකාවේ කොතැනකදී වත් දකින්නට නොහැකියි.

4 way stop sign.jpg

මෙසේ ඔබ හදිසියේ ඔබ සහ අනෙක් අය අනතුරේ හෙලා යන ගමනින් සමහරවිට ඔබට විනාඩි 10 ක් ඉතුරු කර ගත හැකි වේවි. නමුත් ඔබ ඒ විනාඩි 10 වෙනුවෙන් අනතුරක් කරා ගෙන යන ජීවිතවල වටිනාකම ඔබට තක්සේරු කළ හැකිද ? කිසි විටෙක විනාඩි 10 ක වාසියක් වෙනුවෙන් ජීවිතයක් පරදුවට තබන්න එපා.

මාර්ගයේ ගමන් කිරීමේදී පවා අප බොහෝ දෙනා ගමන් කරන්නේ ඉතා නොසැලකිල්ලෙන්. බොහෝ දෙනා එක්කෝ දුරකථනයෙන් කතා කරමින් හෝ දුරකථනයෙන් යමක් බලමින් ගමන් කරන අවස්ථා සහ ඒ නිසාම අනතුරට පත් වූ අවස්ථා බොහොමයි. එමෙන්ම බොහෝ අනතුරු සිදු වන්නේ දකුණෙන් ගමන් නොකිරීම නිසා. වමෙන් ගමන් කිරීමේදී වාහන පැමිණෙන්නේ අප පිටුපසින්. ඒ නිසා වාහනයක් තමා දෙසට එනු පෙනෙන්නේ නැහැ. නමුත් දකුණෙන් ගමන් කිරීමේදී අවම වශයෙන් සුළු හෝ ආරක්‍ෂාකාරී පියවරක් අනුගමනය කළ හැකියි. කහ ඉරනේ මාරු වීමේදීත් අප ඉක්මනින් මාරු වීම වඩා යෝග්‍යයි. බොහෝ දෙනා මාරු වන්නේ ඉතා හෙමින්. එසේම කුඩා දරුවන් සමඟ ඇවිදගෙන යාමෙදී නිතරම දරුවාගේ අතින් අප අල්ලාගෙන යනුවිනා දරුවාට අපේ අතින් අල්ලාගෙන යාමට ඉඩ නොදිය යුතුයි. මක්නිසාද යත්, ඔවුන්ට හදිසි අවස්ථාවකදී ඔබේ අත අත්හැරී යාමට ඇති අවස්ථාව ඉහළයි. කුඩා දරුවන්ගේ අතින් අල්ලාගෙන පාරේ ගමන් කිරීමේදී නිතරම ඔවුන් පාරෙන් ඈත්වන සේ එක් කරගෙන යා යුතුයි.

කුඩා දරුවන් බොහොමයක් ගෙදර දොරේදී අනතුරට පත්වන්නේ නොසැලකිල්ල නිසයි. කුඩා දරුවන් බොහෝ විචක්‍ෂණශීලීයි. ඒ නිසා සියළුම දේ පරීක්‍ෂාවට ලක් කරනවා. පිහි, කතුරු, වැනි තියුණු දෑ මෙන්ම විවිධාකාර රසායන ද්‍රව්‍ය පිළිබඳ ඔවුන්ගේ දැනුම අල්පයි. මේ නිසාම ඔවුන් ඒ ගැන පරීක්‍ෂාකාරී වනවා. එවිට සිදු විය හැකි අනතුරු වැඩියි. මේ නිසාම කුඩා දරුවන් ඇති නිවෙස්වල වැඩිහිටියන් නිරතුරුවම තම දරුවාට සිදු විය හැකි අනතුරු පිළිබඳ පරීක්‍ෂාවෙන් සිටිය යුතු වෙනවා. තියුණු ආයුධ, රසායන ද්‍රව්‍ය, බෙහෙත් වැනි දෑ දරුවාගේ දෑත මානයේ නොතැබිය යුතුයි. ඒවා වෙනම අසුරා සමහරවිට අගුළු දැමිය හැකි ස්ථානයක තිබිය යුතුයි. දරුවාට අනතුරක් විය හැකි මාළු පොකුණු හෝ වෙනත් ජල තටාක, ගලා යන දිය පහරවල් පිළිබඳ මනා අවධානයෙන් සිටිය යුතුමයි. දරුවාට යමක් ආහාරයට දීමේදී පවා ඔවුන්ට සිර වීමක් ඇතිවිය හැකි මාර්ග අසුරා තැබිය යුතුයි. රඹුටන්, මිදි වැනි ගෝලාකාර ආහාර දරුවාට සිරවිය හැකි අවස්ථා එමටයි. මේ නිසා ඒවා කුඩා කැබලිවලට කපා දිය යුතුයි. දරුවාගේ තරමට ආහාර වර්ග සැපයිය යුතුයි. සමහරවිට කුඩාම දරුවන්ට නුසුදුසු ආහාර දීම නිසා ඔවුන් අනතුරට පත්වන අවස්ථා එමටයි.  එසේම දරුවන් වාහන තුළට හෝ ඒවා යටට යාමට බොහෝ කැමැත්තක් දක්වනවා. කුඩා දරුවකු නිවසේ ඇතිනම්, සිය වාහනය පණ ගැන්වීමට පෙර දරුවා තමන්ට පෙනෙනතෙක් මානයක සිටී දැයි පරීක්‍ෂාවෙන් සිටීම වැදගත්. එසේම වාහනය ධාවනයට පෙර ඒ දරුවා සිටින්නේ කොතැනද, වැඩිහිටියෙකු දරුවාගේ ආරක්‍ෂාවට සිටීද යන කරුණු සළකා බැලීමෙන් ජීවිත කාළය පුරාම වේදනාවට පත්වන කරුණු කාරණා අවම කරගත හැකියි.

කුඩා දරුවන් බොහෝවිට අනතුරට ලක්වන තවත් අවස්ථාවක් වන්නේ විදුලිසැර වැදීම නිසා. ඔවුන් විදුලි පේනුවල සිදුරු තුළට ඇඟිලි දැමීම හෝ පේනුවලට විදුලි උපකරණ සවි කරන්නට උත්සාහ දරනවා. මේ නිසා විදුලිසැර වැදීමට භාජනය වනවා. මෙය වලක්වාගැනීමට එක්කෝ පේනු ආවරක හෝ විදුලි උපකරණ දරුවාගේ දෑත මානයෙන් ඉවත් කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුත්තක්. එසේම කුඩා දරුවන්ට පේනු සවි කිරීමට අනුබල නොදිය යුතුයි. අවම වශයෙන් අවුරුදු 12 ක් වත් වනතුරු ඔවුන් එම කටයුතු වලින් ඈත් කර තැබිය යුතුයි.

වැඩිහිටියන් පවා විද්‍යුත් පරිපථ හා කටයුතු කිරීමේදී ඒවා නිසි ලෙස විසන්ධි කළ යුතුයි. එසේම අවදානම් ස්ථානවල වැඩ කරනවිට ඒවා හරිහැටි පරීක්‍ෂා කර අවදානම් අවම කළ යුතුයි. යම් යම් උපකරණ භාවිතයේදී ඒවාට අදාල ආරක්‍ෂක උපකරණ පැළඳිය යුතුමයි. අත්වැසුම්, ඇස් ආවරණ ආදිය දැන් ඉතා අඩු මිලට වෙළඳපොලේ තිබෙන නිසා ඒවායින් යුගලයක් පාවිච්චි කිරීමෙන් බොහෝ අනතුරු වලක්වාගැනීමට පුළුවනි. ලොව වටා වසරකට වැඩබිම අනතුරු නිසා මිනිස් පැය මිලියන 3 කට අධික ප්‍රමාණයක් අපතේ යනවා. මේ අනතුරු බොහොමයක් අප නිසි අනතුරු විශ්ලේෂණයක් සිදු කර ඉන් පසුව අදාල කාර්යයට බටහොත් වලක්වාගත හැකි අනතුරු.

Mechanical work.JPG

කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වූ අපි බොහෝ රසායන ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මේවා නිසි ලෙස අසුරා තැබීම, දරුවන්ගෙන් ඈත් කර තැබීම මෙන්ම නිසි ලෙස ලේබල් කර තැබීම අත්‍යවශ්‍යයි. කිසි විටෙක එය නියමිත අසුරණයෙන් පිටතට ගෙන ගෙදර දොර පාවිචිචිවන බෝතල්වල අසුරා තබන්නට එපා. ඒවා නොදැනුවත්වම අන් දෑ සමග මිශ්‍ර වී වස ශරීරගත වන්නට පුළුවනි. එසේම එම කෘෂිරසායන ද්‍රව්‍ය භෝගවලට ඉසීමේදී නිසි ආරක්‍ෂක උපකරණ පැළඳ සිටීමෙන් අනියමාර්ථයෙන් වස ශරීරගත වීම වලක්වා ගන්නට පුළුවනි.

pesticide-ground-spraying.jpg

එසේම අපි බොහෝ දෙනා ජලාශ හෝ දිය ඇලි දුටු විට අනතුර නොතකා දියට පනින්නට උත්සුක වෙනවා. දැන් දැන් සිදු කරන ප්‍රචාරණ කටයුතු නිසා එවැනි අනතුරු අඩුවක් දක්නට ලැබුණත්, තවමත් වීරකම් කරන්නට ගොස් ජීවිත අහිමි කර ගන්නා අවස්ථා බොහොමයි. නොදන්නා ජලයට බැසීම අවදානම් බව නැවත නැවතත් මතක් කර දෙනවාට වඩා ඔබේ ජීවිතය ඔබට පමණක් නොව ඔබ වටා සිටින බොහෝ දෙනාට අයිති බව වටහා දීම වඩා වැදගත් වේවි. තරුණ වයසට අවදානම් ස්ථානවල සෙල්ෆි ගැසීමට ගොස් මිය යන ප්‍රමාණයත් දැන් දැන් ඉහළ යමින් පවතිනවා. මේ කාරණයත් අප හිතට ගත යුතුයි. සෙල්ෆියද ජීවිතයද වඩා වැදගත් වන්නේ කියා අපි සිතා බැලිය යුතුයි.

මීට අමතරව අප බොහෝ දෙනා සරළ ප්‍රථමාධාර ක්‍රම පිළිබඳ දැනුමක් ඇත්තවුන් නොවෙයි. මේ අඩුව නිසා සමහරවිට බේරාගත හැකිව තිබූ ජීවිත පවා අපට අහිමි වන අවස්ථා නැතුවා නොවෙයි. විශේෂයෙන්ම ජලයේ ගිලීමකදී කෘත්‍රිම ශ්වසනය (CPR) දීම මගින් අනතුරට පත් වූවන්ගේ දිවි බේරාගැනීම යම් තරමකට කළ හැකියි. මේ නිසාම එක්කෝ පවුල් සෞඛ්‍ය නිලධාරීවරයා හෝ අදාල ප්‍රදේශයේ වෛද්‍යවරයා මගින් කෘත්‍රීම ශ්වසනය ලබාදෙන අයුරු මහජනතාව දැනුවත් කිරීම මගින් ජීවිත බේරාගැනීම කළ හැකියි. අනතුරක් වූ විට එය වීඩියෝ කර ගොසිප් නාලිකාවලට ලබා දීමට උත්සුක වනවාට වඩා, තමන්ට හැකි අන්දමින් එම ජීවිතය බේරා ගැනීමට කටයුතු කරන්නට පුළුවන් නම් එය මහා පිනක්. එසේම මෙවැනි අනතුරු සහ අනතුරුවලට ලක්වන්නන් වීඩියෝගත කිරීම සහ ප්‍රදර්ශනය කිරීම රජය මගින් තහනම් කළ හැකි නම්, මෙවැනි කටයුතු නිතැතින්ම වලකිනවා.

මිනිස් ජීවිතයක් ලැබීම ඉතා දුර්ලභ අවස්ථාවක්. එය දිගු කාළයක් ගතකරනවාද – ඉක්මනින්ම කෙටි කර ගන්නවාද යන්න ඔබේ තේරීමක්.

මේ තියෙන්නේ රිවිර පත්තරේ පළවූ ලිපිය…

http://www.rivira.lk/online/2017/07/22/118521

 

 

ප්ලාස්ටික් බෝතලේ සැඟව එන බිස්ෆිනෝල් ඒ, Bisphenol A (BPA) ඇත්තටම මාරාන්තිකද ?


වාසනාවකට (හෝ අවාසනාවකට) සාමාන්‍ය ලාංකිකයා රසායන ද්‍රව්‍ය පිළිබඳ දක්වන අවධානය ඉතාම අල්පය. මූලික වශයෙන්ම සාමාන්‍ය ජනතාවට රසායන විද්‍යාව පිළිබඳ ඇති දැනුම අවම නිසා සහ මාධ්‍ය මඟින් වුවද රසායනික ද්‍රව්‍ය පිළිබඳව නිවැරදි ආකල්පයක් ජනතාව වෙත නිසි සංනිවේදනයක් නොවන නිසාම සාමාන්‍ය ජනතාවගේ අවබෝධය අවම මට්ටමක පවතී. මේ නිසාම කිසියම් පුද්ගලයෙකු රසායන ද්‍රව්‍යයක් පිළිබඳ යමක් කී පමණින් ජනතාව කළබල වීම හෝ වැරදි ආකල්ප ඇති කරගැනීම සිදු වේ. පසුගිය කාළයේ ආසනික් අඩංගු සහල් පිළිබඳ කළබලය, සහ නෝලිමිට් ආයතනයෙන් ලබාදෙනු ලබන ටොෆි වර්ගය පිළිබඳ ආන්දෝලනය මේ සඳහා හොඳම උදාහරණ වේ. දැන් දැන් විවිධ පලාත්වලට ඇද වැටෙන උල්කාපාත සහ විවිධ වර්ණ වැසි පිළිබඳ ඇති අනවබෝධය ද ලාංකිකයා විද්‍යාත්මකව කෙතරම් පසුපස සිටිනවාද යන්න පිළිබඳ මනා සාක්‍ෂි වේ.

බිස්ෆිනෝල් ඒ යනු කුමක්දැයි ලාංකික ගෘහණියකගෙන් විමසුවහොත් ඔවුහු ඒ පැනයම පෙරළා අපෙන් අසනු ඇත. බටහිර රටවල ගෘහණියෝ මේ පිළිබඳව තරමක හෝ අවබෝධයක් ලබා ඇත්තේ බටහිර මාධ්‍ය සහ අන්තර්ජාලයට පින්සිදු වන්නටය… එසේවතුදු, ඔවුන් ද විවිධ මාධ්‍ය මගින් ගෙනයන ප්‍රචාර අනුව සිය අදහස සකසා ගනිති. ඕනෑම කාරණයකට සිවු දිශාවකින් අවතීර්ණ විය හැකිය.

  1. ඒ කාරණයට එකඟ වීම
  2. ඒ කාරණයට විරුද්ධ වීම
  3. මධ්‍යස්ථව සිටීම හෝ
  4. කිසිදු අදහසක් නොමැති වීම

එසේ ගත් කළ බිස්ෆිනෝල් ඒ (මින් පසු BPA ලෙස හඳුන්වමු) ගත් කළ සමහරක් මව්වරු මාරාන්තික රසායන ද්‍රව්‍යයක් යැයි හඳුන්වා දෙන අතර රසායනද්‍රව්‍ය නිශ්පාදන සමාගමකින් අසන ලද කල්හි, එය එසේ නොවේ යැයි සඳහන් කිරීමට පුළුවන. BPA වලට විරුද්ධව ක්‍රියා කරන කල්ලියක මතය වන්නේ එය ඉතා අහිතකර වන බවයි. විද්‍යාඥයින්ගෙන් විමසුවහොත් ඔවුන් බොහෝ දෙනෙකුගේ අදහස වන්නේ ඒ පිළිබඳ පැහැදිලිව යමක් පැවසිය නොහැකි බවයි. මේ BPA පිළිබඳ ඇත්ත තත්ත්‍වයයි.

BPA සෞඛ්‍යයට අහිතකර නම් එය ලෝකයේ මෙතරම් භාවිතා වන්නේ ඇයි?. BPA මෙතරම් වැදගත් වන්නේ එය ඉතාමත් පහසුවෙන් නිපදවාගත හැකි මෙන්ම භාවිතයට ගත හැකි රසායන ද්‍රව්‍යයක් වන නිසායි. BPA නිපදවාගන්නේ ඉතාම ලාභදායී අමුද්‍රව්‍ය දෙකක් වන ඇසිටෝන් සහ ෆීනෝල් යන සංයෝග දෙක එකට දෙක අනුපාතයෙන් ආම්ලික මාධ්‍යයකදී ප්‍රතික්‍රියා කරවීම මඟිනි.

බිස්ෆිනෝල් ඒ සංස්ලේෂණය

බිස්ෆිනෝල් ඒ (BPA) සංස්ලේෂණය

මෙසේ ලබා ගන්නා BPA අවර්ණ, අවශ්‍ය පමණට තදගතියක් ලැබෙන, බහුකාබනේට සංයෝගයක් වන අතර එය එපොක්සි රෙසින තැනීමට වැදගත් වේ. මේ වනවිට BPA ලෝකයේ බහුලවම භාවිතාවන සංයෝග කිහිපයෙන් එකක් වන අතර එම කර්මාන්තය ඩොලර් බිලියන ගණනක ආදායම් උපදවන කර්මාන්තයක් බවට පත් වී හමාරය. මේ BPA වතුර බෝතල්, සංයුක්ත තැටි, ජංගම දුරකථන, වාහන කොටස්, වෛද්‍ය උපකරණ, ආදී මෙකී නොකී සියල්ල තැනෙන මූලික ඒකකය බවට පත් වී හමාරය. යුරෝපයේ පමණක් වසර 2007 දී BPA කර්මාන්තය යුරෝ බිලියන 37 ක් වටිනා සහ රැකියා 550,000 ක් ලබා දී ඇති ව්‍යාපාරයක් ව ඇත.

BPA මගින් පොලි කාබනේට් සංස්ලේෂණය

BPA වල ඇති වාසිය එය පාරදෘශ්‍ය වීම පමණක් නොවේ. එය අනෙක් ප්ලාස්ටික් ද්‍රව්‍ය වලට වඩා කල්පැවැත්ම, නොබිඳෙනසුළු වීම, සැහැල්ලු බව, තාපස්ථායීතාවය වැනි ගුණාංග නිසා අනෙක් ප්ලාස්ටික් බහු අවයවික වලට වඩා ඉදිරියෙන් සිටී. එසේම ආහාර කෑන්, බෝතල් සහ ජලනල ආදියෙහි ඇතුලත ස්ථරය ලෙස BPA විසුරවීම (Spraying) කිරීමට භාවිතා වේ. අනෙක් බහු අවයවික  (Polymers) මෙන් නොව BPA වල ඇති මේ සුපිරි ගුණාංග නිසා සිය තරඟකරුවන්ට වඩා ඉදිරියෙන් සිටින බව ඔබට හැඟෙනු ඇත… නමුත් BPA හි ඇති එක අවාසියක් මේ සුපිරිබවට හරහට සිටී. එනම් බහුඅවයවික ඒකක (Monomer) වලින් බහුඅවයවික තැනීමේදී ඉතා සුළු BPA ප්‍රමාණයක් මේ මහා අණු අතර පැතිර පවතී.  මේ නිදහස් BPA අණු පසුකාලීනව කෙමෙන් කෙමෙන් ඒ තුළින් රිංගා ගොස් නිදහස් වේ. විශේෂයෙන්ම අදාල භාණ්ඩය හෝ උපකරණය රත් වීමේදී මේ නිදහස් වීම වැඩි වේ. මේ BPA අන්තරාසර්ග පද්ධතියේ විසංකූලතා ඇති කරයි. මෙය BPA හි සුපිරිභාවයට එල්ල කරන මරු පහරකි.

සුපිරි පුද්ගලයින් පිටුපස කුමන්ත්‍රණ, මඩප්‍රචාර වැනි දෑ හඹා එනවාක් මෙන්ම BPA වටාද අපවාද, අවලාද කුමන්ත්‍රණ  ඇති පදම් සැරි සරයි. පෙර පැවසුවාක් මෙන්ම පක්‍ෂව මෙන්ම විපක්‍ෂව කරුණු දැක්වීම් නිරන්තරයෙන් සිදු වේ. පසුගිය වසර කිහිපය තුළ මේ මත දෙකම වෙනුවෙන් පර්යේෂණ පත්‍රිකා සෑහෙන සංඛ්‍යාවක් එළිදැක්වි තිබුණි. BPA විපක්‍ෂ කණ්ඩායමේ ප්‍රධාන තර්කය වන්නේ බිස්ෆිනෝල් ඒ මගින් ඇති කරන තත්ත්‍වය ඊස්ට්‍රජන් හෝමෝනය මගින් ඇති කරන ආචරණයට සමාන බවයි. ඊස්ට්‍රජන් (Estrogen) හෝමෝනය ගැහැණු ලිංගික හෝමෝන අතර ප්‍රධාන වන හෝමෝනයකි. එය ගැහැණු සහ පිරිමි සිරුරු වලට දක්වන ආචරණය එකිනෙකට වෙනස් වේ. 2003  සහ 2004 අතර  ඇමරිකානු රෝග නිවාරණ කේන්‍ද්‍රය මගින් පවත්වන ලද සමීක්‍ෂණයක ප්‍රතිඵල අනුව අවුරුදු 6 ට වඩා වැඩි ඇමරිකානු ජනගහනයෙන් 93% කගේ සිරුරු තුළ නිරීක්‍ෂණය කළ හැකි මට්ටමක BPA තත්ත්‍වයන් ඇතිබව සොයා ගෙන තිබුණි. එසේ නම් ඇමරිකානු ජනතාව BPA සහිත භාණ්ඩ සහ උපකරණ භාවිතයේදී  ඔවුන්ගේ සිරුරු තුළට BPA කාන්දු වී ඇති බව ඔප්පු වී ඇත.

BPA නොමැති බෝතල්

BPA නොමැති බෝතල්

එසේ නම් BPA තහනම් නොකරන්නේ ඇයි ? මේ සඳහා පක්‍ෂ කණ්ඩායම ද තම සටන අතහැර නොමැති බවක් පෙනෙයි…. ලොව පුරා ඇති පර්යේෂණ සංවිධාන තවමත් BPA දංගෙඩියට දක්කාගෙන යාමට ඉඩක් ලබා දී නොමැත. තවමත් BPA පිළිබඳ අනන්තවත් විවිධාකාර පර්යේෂණ සිදුකෙරෙමින් පවතින අතර දෙපාර්ශවයටම වාසි ලබාදෙන දත්ත මෙන්ම අවාසිදායක දත්ත ද විටින්විට පළවන නිසා තවමත් පැහැදිළි තීන්දුවක් දීමට කිසිවෙකු සමත් වී නොමැත. නමුත් සමහර රටවල් මේ සඳහා දැඩි නීති රීති පණවා ඇත. උදාහරණයක් ලෙස යුරෝපයේ සම්මත BPA අගයයන්  අනුව පුද්ගලයෙකුගේ බර කිලෝ ග්‍රෑම් 1 කට BPA මිලි ග්‍රෑම් 0.05ක් දක්වා උපරිමයකට ශරීරගත විය හැක. මේ අගය ගණනය කරන ලද්දේ 2006 දී යුරෝපීය ආහාර ආරක්‍ෂණ අධිකාරියේ ගණනය කිරීම් අනුවයි. මේ අනුව පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් දිනපතා වුවත් 0.05 mg/kg ප්‍රමාණයක් ශරීරගත වූවාට කම් නැත. මේ අගයයන් 2006 සිට 2012 දක්වාම වෙනස් නොවූවත් කුඩා දරුවන්ගේ කිරි බෝතල්වල BPA අගයයන් සංශෝධනයකට ලක් වී තිබෙනවා. මේ සඳහා මුලින්ම ක්‍රියා කරනු ලැබුවේ කැනඩාවයි. ඒ 2008 දී.  දරුවන්ගේ කිරිබෝතල් නිතර නිතර තැම්බීමකට ලක් කරන නිසා BPA නිදහස්වීමේ ප්‍රවණතාවය වැඩියි. ඒ නිසා දරුවන්ට සිදුවිය හැකි අතුරු ආබාධ වැඩිවීම නිසා මේ තීරණය ගෙන තිබෙනවා.

කුඩා දරුවන්ගේ බෝතල්, කෝප්ප ආදිය හැරෙන්නට අන් සෑම දේකම BPA භාවිතය පෙර පරිදිම සිදු වෙනවා. ප්‍රංශ රජය මගින් පැවැත්වුන පර්යේෂණයකට අනුව සතුන්ගේ ශරීර තුළ  BPA විෂ වීම් වාර්තා වී ඇති නිසා මිනිසුන් කෙරෙහි එය බලපැවැත්විය හැකි බවත්, තවත් පමා නොවිය යුතු බවත් ඔවුන් පවසා තිබෙනවා. බලාපොරොත්තු වූ පරිදිම මේ ප්‍රකාශය ප්ලාස්ටික් සහ පොලිමර් වර්ග නිශ්පාදකයින් ගේ නොමනාපයට හේතු වී තිබෙනවා.

ඔවුන් අවධානය ගෙන එන පාඨය (Catch Phrase) වන අඩු මාත්‍රාවකදී සිදුවන ආචරණය (Low dose effect) ගැන හේතු දක්වන විද්‍යාඥයින් පවසන්නේ සාමාන්‍යයෙන් හෝමෝන මගින් අන්තරාසර්ග පද්ධතියට බලපෑම් ඇති කරන්නේ අඩු මාත්‍රාවකදී නිසා BPA පර්යේෂණ ද සිදු කළ යුත්තේ එවැනි සාන්‍ද්‍රණයක දී බවයි. නමුත් දැනට කෙරෙන පර්යේෂණ සිදු වන්නේ දිනකට මිලිග්‍රෑම් කිහිපයක් බැගින් ශරීරගත කර, ඉන් සිදුවන බලපෑම්  පරීක්‍ෂා කිරීම නිසා එය මේ මොඩලයට පෑහෙන්නේ නැතිබවයි.  දැනට BPA නියාමනය කරන අධිකාරීන් අඩු මාත්‍රා ආචරණය ගැන තැකීමක් නැති නිසා නිසි ඇගයීමක් සිදු නොවන බවයි. කර්මාන්තකරුවන් පවසන්නේ තවමත් BPA නිසා සිදුවන ආචරණයන් හරිහැටි හඳුනාගෙන නැති නිසා එය තහනම් කිරීමේ තේරුමක් නොමැති බවයි.

සාමාන්‍යයෙන් මසකට ලොව පුරා BPA පිළිබඳ පර්යේෂණ පත්‍රිකා 30 ක් පමණ එළි දැක්වුවත්, BPA ලොව පුරා නියාමනය පිළිබඳ විවිධ අධිකාරිත්‍වයන් පවසන්නේ ඒ පිළිබඳ තවමත් නිසි නිගමනයකට පැමිණීමට තරම් දත්ත නොමැති බවයි. ශ්‍රී ලංකාවේ තත්ත්‍වය ගතහොත් අපේ පාරිභෝගික ආරක්‍ෂණ අධිකාරියේ මහත්වරු BPA යනු කුමක්දැයිවත් නොදන්නවා විය හැකිය. මක් නිසාද යත් ඔවුනට දැනට ලංකාවේ පවතින පාරිභෝගික ප්‍රශ්නවත් විසඳීමට වෙලාවක් නැති නිසාවෙනි. පළතුරුවලට මැලතියන් හෝ වෙනයම් ද්‍රව්‍ය ඉසීම, කුළුබඩු කුඩු වලට එකතු කරන විවිධ අපද්‍රව්‍ය, පරිප්පු – රතු හාල් වලට එකතු කරන රතු පැහැති ඩයි වර්ග ආදී මෙකී නොකී වෙළඳ උපක්‍රම හමුවේ අසරණ වන පාරිභෝගිකයා  දැනුවත් කිරීමට කිසිදු සංවිධානයක් හෝ මාධ්‍යයක් කටයුතු නොකිරීම කණගාටුවට කරුණකි. පුවත්පත්වලට මේ ලිපි ලිවුවද ඒවා පළ නොවන්නේ වෙළඳමහතුන් තරහ කර ගැනීමට පුවත්පත් කතුවරුන් අකමැති නිසා විය හැකිය…

මට එවන් බැඳීම් නොමැත. මම ඔබට මා දන්නා දේ සහ අන්තර්ජාලයේ ලියැවුන දේ සරළ සිංහලෙන් ලබා දෙමි. මා දන්නා රසායන විද්‍යාවට අනුව ස්වභාවික දේ සහ අත්‍යවශ්‍ය ඖෂධ හැරෙන්නට මොනයම් රසායන ද්‍රව්‍යය ශරීරයට ඇතුළු වුවත් එය ශරීරයට අහිතකරය.. BPA වේවා එසේත් නැතිනම්  MSG වේවා මේ සියල්ල කෘත්‍රිම රසායන ද්‍රව්‍ය වේ… මේවායින් ශරීරයට සිදුවන ආචරණ මොනවාද යන්න පර්යේෂණ වල කෙළ පැමිණි අයටද නිසි ලෙස නිගමනයකට පැමිණීමට නොහැක…. කෙසේ වුවත් ප්ලාස්ටික් භාණ්ඩ භාවිතය අඩු කිරීම පරිසරයටද හිතකාමීය..

ඒ නිසා ඒ රසායන ද්‍රව්‍ය ඔබේ ශරීරය තුළට කෙසේ පිළිගන්නේද යන්න තීරණය ඔබට භාරය….

%d bloggers like this: