Blog Archives

පිටස්තරයා – 05


Chapter 5 main

තමා නැවතී සිටි ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්‍රවුන් ප්ලාසා හෝටලයට ගිය විශ්වට සැහැල්ලුවක් දැණුනි. තමා ජීවිතයේ ඉතා වැදගත් කඩ ඉමක් පසු කළා සේ හැඟුණි. හැකි තරම් හොඳින් සිය සම්මුඛ පරීක්‍ෂණයට මුහුණ දුන් බව ඔහු දනී… දුක් වෙන්නට හේතුවක් නැත…. සියල්ල හොඳින් සිදු වේවි….

අතරමඟ හෝටලයකින් මිලදී ගත් තමා කැමති පරිදි සකසා ගත් සලාදය සෙමෙන් අනුභව කරන අතරේ අද දවසේ සිදු වූ සිදුවීම් එකිනෙක ඔහු මෙනෙහි කරන්නට විය.. ඔවුන් නොඇසූ එකම ප්‍රශ්නය ගැන නැවත නැවතත් ඔහුට මතක් විය… තමා ඉතාමත් වැදගත් වචනයක් ඔවුන් ඉදිරිපිට දමාගැසුවත් ඔවුන් එය අල්ලා නොගත් හැටි ඔහු මෙනෙහි කරන්නට විය… මිනිස්සු කොයි තරම් දේවල් මඟහරිනවද ?. සෑම දේම සිතූ ආකාරයෙන්ම සිද්ධ වුනා…..

ඔහු නාන කාමරයට වැද සිය ඇඳුම් එකිනෙක උණා දමා වතුර මල යට සිටගත්තේය… සිය සිරුර පිරිසිදු කිරීම ඇරඹිය යුතුය…. සිය සිරුරට උණුසුම් ජලය වැටෙන විට අමුතුම ප්‍රබෝධයක් ඔහුට දැණුනි… විනාඩි කිහිපයක් උණුසුම් ජල දහරාව යටට සිටි ඔහු සිය සිරුර  පිරිසිදු කිරීමේ සුවිශේෂ ද්‍රාවණය සිරුර පුරා ආලේප කළේය… උණුසුම් ජලයෙන් විවර වූ සිය සිරුරේ  සම මතුපිට වූ සිදුරු ඒ ද්‍රාවණය සිරුරට ඇදගන්නා බව හැමදාම මෙන් අදද ඔහුට දැණුනි…. නැවතත් වතුරමල යටට ගිය ඔහු අතිශය සීතල ජලයෙන් සිය සිරුර නැහැවෙන්නට ඉඩ හැරීය… සිය සිරුර පිරිසිදු කරන ද්‍රාවණය සිරුරට කිඳා බස්සවමින් විවෘත ව තිබූ සියළු සිදුරු ක්‍ෂණයකින් වැසී යනු ඔහුට දැණුනි…. නාන කාමරයෙන් ඉවතට ආ ඔහුට සිය සිරුර ගිණියම් වනු දැණුනි…. වසර දහහතරක් පුරා සෑම දිනකම දැනෙන ඒ උණුසුම දැන් ඔහුට හොඳින් පුරුදුය…..

තමා ළදරුවකු සේ පිරිසිදු බව ඔහුට දැණුනි….

හෙට තමා නැවත යා යුතුය….. ඔහු දිගු නින්දකට සූදානම් ව ඇඳට පැන්නේය……

…………………………………………………………………………………………………………………………………………

ඒක මහ අසාමාන්‍ය උෂ්ණත්‍වයක්……. සාමාන්‍යයෙන් කෙනෙක්ගෙන් දැකිය නොහැකි අන්දමේ තාපයක් පිටවුනේ…..

කොච්චරක්ද ?

ෆැරන්හයිට් 103 ක් දැක්වුවා කැමරාවෙ… මිනිහට උණ ගැණිලද දන්නෙ නෑ අද වෙච්ච වැඩ වලට…..

103 ක් කියන්නෙ සෑහෙන්න වැඩියිනෙ…. කමක් නැහැ… අපි බලමු මිනිහා මොකද කරන්නෙ කියලා….. දිගටම පටිගත කරන්න…. ඉහළින් ලැබුන අණ ඒකනෙ…

ඉන්පසු ඔහුගේ තාප සංඥාව තද රතු පැහැයෙන් අසාමාන්‍ය නිල් පැහැයකට කෙමෙන් හැරෙනු, ඈත ගොඩනැගිල්ලක සිට අධෝරක්ත කැමරාවක ආධාරයෙන් පටිගත කරමින් සිටි FBI නිලධාරියාගේ කැමරාවේ සටහන් විය…..

මැරුණද ?

කෝ බලන්න ? කිසි හැල හොල්මනක් නැහැ….. උෂ්ණත්‍වයත් අසාමාන්‍ය ලෙස අඩු වුනා….

නමුත් මැරුණත් මෙච්චර ඉක්මනට සීතල වෙන්න බැහැ නේද ?

ඔව්… ඒක හරිම අසාමාන්‍යයි…

කමක් නෑ… ආපු වැඩ ටික කර ගත්තා නෙ… දැන් යමු.. වැඩි වැඩ කරන්න ගියොත් අපටමයි කරදරේ….

සිදු වූ සිදුවීමෙන් වික්‍ෂිප්ත වූ FBI නිලධාරීන් දෙදෙනා සිය කාර්යය සපුරාගෙන යන්නට විය.

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

බොහොම ස්තූතියි ඔබ සැමටම අදම මේ කටයුත්ත අවසන් කරන්න එකඟ වීම ගැන.. අද්මිරාල් බවර් සිය සගයින් තිදෙනාට ස්තුති කරමින් හමුව ඇරඹීය.

මට අවශ්‍ය සියළුම දත්ත ලැබී තිබෙන්නෙ… මේක අපට ඉක්මනට අවසාන කරන්න පුළුවනි.

මුලින්ම අපි පළමු අපේක්‍ෂකයා ගනිමු.

පෞරුෂත්‍වය 70 % යි: ඉදිරිපත් කිරීම 89 % යි: දැනුම 90% යි: ……………………………………

නමුත්  විෂය පරාසය තරමක් පටුයි….  ඒක අපිත් දුටුවා සම්මුඛ පරීක්‍ෂණයෙදි…….

පසුබිම් විස්තර කිසි ප්‍රශ්නයක් නැහැ….. සාමාන්‍යයි…

නමුත් ඔහුට ඇති සම්බන්ධතා සමහරවිට ඉදිරියේදී අපට ගැටළුවක් වේද කියන ප්‍රශ්නය මට තිබෙනවා…. ඒ හැරෙන්න මට කිසි ප්‍රශ්නයක් නැහැ…..

අද්මිරාල් බවර් සිය සගයින් තිදෙනාට තවත් විස්තර රාශියක් ඉදිරිපත් කරමින් පළමු අපේක්‍ෂකයාගේ සුදුසුකම් සවිස්තරාත්මකව ඉදිරිපත් කර…………………. නමුත් අපි අනිත් දෙදෙනා ගැනත් බලන්න ඕන….

දෙවන අපේක්‍ෂකයාගෙ පෞරුෂත්‍වය 76 % යි: ඉදිරිපත් කිරීම 84 % යි: දැනුම 80% යි: ……………………………………

මම නම් ඒ ගැන පුදුම වෙන්නෙ නැහැ….. කොහොමද අනිත් එක්කෙනා… කාළය කා දමන්නට අකමැතිවාක් මෙන් නැන්සි ඉක්මන් කළාය…

නමුත් අනිත් එක්කෙනා තමයි ප්‍රශ්නෙ…..

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

ගුවන් යානය තුළට ගොඩ වූ විශ්ව සුපුරුදු පරිදි දෙනෙත් පියා ගත්තේය…. කුඩා කළ සිටම ඔහු ගුවන් ගමන් අප්‍රිය කළ පුද්ගලයෙකි. සිය පියාගේ රැකියාවත් සමඟ රටින් රටට මාරු වීම සිය ජීවිතයේ අප්‍රසන්න අත්දැකීමකි… සෑම වසරකට වරක් හෝ දෙවසරකට සැරයක් කොහේ හෝ රටකට යාමට සිදුවිය…. ගුවන් තොටුපලවල් සහ ගුවන් ගමන් ඔහුට ඒ තරමටම අප්‍රිය වූවේ ඒ නිසාවෙනි…. සිය පියා පරණ පුරුදු නීතීඥ රැකියාව කරගෙන ලංකාවේ සිටියා නම් තවමත් ඔහු ජීවතුන් අතර සිටිනු ඇතැයි විශ්ව අනන්තවත් කල්පනා කළේය. තමාටත් තම සොයුරියටත් හොඳ අනාගතයක් සලසනු පිණිස සිය පියාට ලැබුණ තානාපති තනතුර මෙවන් ඉරණමක් අත් කර දේ යැයි විශ්ව සිහිනෙකිනුදු නොසිතුවේය. අවසන තමා මෙලොව ඉතිරි කර සියල්ලන් තමාගෙන් සමුගත් අයුරු විශ්වට කිසි විටක අමතක කළ නොහැකි විය.

ඒ 2006 මැයි 15 වන දින සිය පවුල අවසාන වරට දකින දිනය යැයි විශ්වට කිසිදිනෙක නොසිතින. 2006 මැදපෙරදිග ඇති වන උණුසුම් තත්ත්‍වය සමනය කිරීම වස් එක්සත් ජාතීන්ගේ සාම තානාපති සෙනරත් සූර්යබණ්ඩාර මහතා ලෙබනනයේ සාම තානාපති වශයෙන් පත් කර යවනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට නීතිමය උපදෙස් ලබා දෙනු පිණිසත් ලෙබනනයේ හිස්බුල්ලා ගරිල්ලන් සහ රජය අතර සාකච්ඡා සඳහා පහසුකම් සළසන්නෙකුත් ලෙසිනි. සිය පියා තත්ත්‍වය සමනය වූ පසුව තම  මවත්, සොහොයුරියත් ගෙන්වා ගත්තේ ඒ තරම් අන්තරායක් ප්‍රදේශයේ නොදුටු නිසාය. නැගණියට ලොව පුරා සංචාරය කිරීමේ ආශාව නිසාමත් ඇගේ පාසැල් නිවාඩුව ඇරඹීම නිසාත් ඇයත් මවත් දෙදෙනාම පියා වෙත ගියේ  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල නිවාස වල සති කිහිපයක් කල් ගත කර ආපසු එනු පිණිසය. සුප්‍රසිද්ධ ගෝලාන් කඳුකර පෙදෙස් බලා නැවත එන ගමනේදී සිදු වූ අනපේක්‍ෂිත ප්‍රහාරයකින්   ඔවුන් සියළුම දෙනා මිය යාම ඔහුට කිසිසේත් දරාගත නොහැක්කක් විය.  එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද දැරිය නොහැකි පාඩුවක් වූවා පමණක් නොව එය මහා අපහසුවකට ද ලක් කළේය. ඉන් පසුව කිසිදු පහසුකම් සලසන්නෙකු විසින් පවුලේ සාමාජිකයින් අර්බුධ පවතින රටට රැගෙන නොයා යුතු බවටද නව නීතියක් පැණවින. තමාද ඒ ගමනට සහභාගී වූයේ නම් තමන්ට මෙසේ තනිවන්නට සිදු නොවන බව ඔහු සෑම විටම කල්පනා කළේය

විශ්ව නාවික පර්යේෂණ ආයතනයේ සම්මුඛ පරීක්‍ෂණයට ගොස් දින කිහිපයක් ගත විය………..

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

උදෑසන අවදි වූ වහාම ඊමේල් කිසිවක් ලැබී ඇත්දැයි පරීක්‍ෂා කිරීම රැකියාවක් සඳහා සම්මුඛ පරීක්‍ෂණයකට ගිය කාගේත් සිරිතකි. එපමණක් නොව වෘත්තියක නියැලෙන කාගේ වුවත් සිරිතකි.

මේ…. එයින් දෙදෙනකු ලැබූ ලිපියයි….

“හිතවත් ……………………………….,

පසුගිය දිනෙක ඔබ පැමිණ අප හා කළ සම්මුඛ පරීක්‍ෂණයේදී දැක්වූ ඔබේ දක්‍ෂතා අනුව ඔබ විසින් අප බලාපොරොත්තු වූ සීමාවන් ඉක්මවා යාමට අසමත් වූ බව කණගාටුවෙන් ප්‍රකාශ කර සිටිමු. ඒ අනුව ඔබ ඒ පරීක්‍ෂණයෙන් අසමත් වී ඇති බැවින් අප ආයතනයේ ඔබ අයැදුම් කළ රැකියාවට ඔබ බඳවා නොගන්නා බව කණගාටුවෙන් දැනුම් දීමට කැමැත්තෙමු. ඔබේ අනාගත කටයුතු සාර්ථක වේවායි පතමු.

ස්තූතියි.

ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ්

ප්‍රධාන පර්යේෂක,

නාවික පර්යේෂණ ආයතනය”

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

නාවික පර්යේෂණ ආයතනයේ විද්‍යාඥ තනතුර

හිතවත්  ආචාර්ය විශ්ව සමාධි සූර්යබණ්ඩාර වෙත,

පසුගිය දිනෙක ඔබ පැමිණ අප හා කළ සම්මුඛ පරීක්‍ෂණයේදී දැක්වූ ඔබේ දක්‍ෂතා අනුව, ඔබ විසින් අප බලාපොරොත්තු වූ සීමාවන් ඉක්මවා යාමට සමත් වූ බැවින් අප ආයතනයේ ආධුනික විද්‍යාඥ තනතුර සඳහා ඔබව බඳවා ගන්නා බව සතුටින් දැනුම් දීමට කැමැත්තෙමි. ඔබ මේ රැකියාව භාර ගන්නේද නැතිද යන්න දින තුනක් ඇතුලත මා හට ඊ මේල් පණිවුඩයකින් දන්වන්නට සලස්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.  ඔබේ පිළිතුර බලාපොරොත්තුවෙන් සිටිමි.

ස්තූතියි.

ආචාර්ය ඩෙනිස් ලිපර්ඩ්

ප්‍රධාන පර්යේෂක,

නාවික පර්යේෂණ ආයතනය

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

ඊ මේල් පණිවුඩය කියවූ විශ්ව සතුටින් දෑත් ඉහළට ඔසවා ජයග්‍රහණය පළ කරන ආකාරයක් දැක්වීය… මේ තමා බලාපොරොත්තු වූ ඉලක්කයයි. මේ රැකියාව භාර ගන්නවාද නැද්ද යන්නෙහි කිසිදු අඩමානයක් තමන්ට නැති බව ඔහු දනී… නමුත්, මේ ලිපියට වහාම පිළිතුරක් දීම තමන්ට මේ රැකියාව හැර වෙනකක් නැති බවක් දිස් වන බව පෙන්වන්නක් මෙන් ඔහුට හැඟුණි. සාමාන්‍යයෙන් දින තුනක් කල් දෙන්නේ දැනට රැකියාවක් කරන්නේ නම් රැකියාව කරන ස්ථානයට දැන්වීමට සහ එයින් අවසර ලබා ගැනීමටට, වෙනත් රැකියා අවස්ථා ලැබී ඇත්නම් ඒ පිළිබඳ සිතීමට සහ ඒ ඒ ස්ථාන සමඟ සාකච්ඡා කර තීරණයකට එළැඹීමට යන කාරණා සඳහා ය.

විශ්ව වහාම හාවඩ් විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට යැවීම සඳහා ඊ මේල් ලිපියකට  අකුරු අමුණන්නට  විය.

……………………………………………………………………………………………………………………………………………………….

පසුගිය අවුරුදු හයක් තමා තනිවම ගෙවූ ජීවිතයේ අරමුණ කරා තමා පැමිණ ඇති බව විශ්ව ට පසක් විය. තමා අවුරුදු තිහක් ගෙවූ ජීවිතය, සිය දෙමාපියන් තමා වෙත තබා තිබූ බලාපොරොත්තු, සිය ගුරුදේවයා තමන්ගෙන් බලාපොරොත්තු වන දේ ඉටු කිරීම කරා තමන් ලං වන බව ඔහුට තේරුම් යමින් තිබුණි.

දවසම ඔහු ගත කළේ අදාල කටයුතු සැලසුම් කිරීම සඳහාය… ලිපියට අනුව සති දෙකකින් වොෂිංටනය වෙත  යා යුතුය. සති දෙකකින් වසන්නට නිවසක් සොයා ගැනීම තරමක ප්‍රශ්නයක් විය හැකිය. තමා සිටින තැන අඩුව පිරවීමට වෙනකෙකු සොයා ගතයුතුය. නැතහොත් දෙමසක කුලිය නිකරුණේ ගෙවිය යුතුය.. කළයුතු දෑ බොහෝය…. බලාපොරොත්තු බොහොමයකි….

බොහෝ දෑ අවසන් කර, බොහෝ වෙහෙස වී නවාතැනට පැමිණි විශ්ව සුදුරුදු පරිදි ස්නානය කර පිරිසිදු විය. වෙනත් හැමදාකම සෙනසුරාදාට ගන්නා දුරකථන ඇමතුම අද බ්‍රහස්පතින්දාවක ලබා ගැනීම පිළිබඳ ඇය පුදුම වනු ඇත.. නමුත් ඇයට මෙය දැන්විය යුතුමය… බොහෝ කළක සිට දෙමාපියන් නැති ඔහුට දෙමාපියන් වූයේ ඒ දෙපළ ය. සුමනසේකර මහත්මිය අවේලාවේ නාදවන දුරකථනය ගැන කුතුහලයෙන් යුතුව ගොස් රිසීවරය එසවූවාය.

හලෝ……

ලොකු නැන්දේ….

හලෝ සමාධි පුතා…. මොකද අප්පේ මේ අවේලාවෙ ?

මම හිතුවා ඔහොම අහයි කියලා… ආරංචියක් කියන්නයි කතා කළේ….

අපිත් මේ මඟ බලාගෙන හිටියෙ සුභ ආරංචිය අහන්න…. ගිය වැඩේ හරි ගියා නේද ?

ඔවු නැන්දෙ…. අද තමයි ආරංචිය ආවෙ… නැන්දට තමයි ඉස්සෙල්ලම පණිවුඩේ කිවුවෙ…. වෙන කවුද ඉතින් මට ඉන්නෙ මේක කියන්න නැන්දයි මාමයි ඇරෙන්න ? තව සති දෙකකින් වැඩ බාර ගන්න තියෙනවා… දැන් ඉතින් ඒවට ලෑස්ති වෙනවා… මේ ඔක්කොම ආපහු දීලා යන්න ඕන නෙ… අළුතෙන් Apartment එකක් ගන්නත් ඕන… ඒවා බලන්නත් තියෙනවා. කෝ ලොකු මාමා ?

මාමා නම් මේ වෙලාවෙ එළවළු පාත්තියෙ… මම පණිවුඩේ කියන්නම්….. මාමා කිවුවා ඔයාට ගිය වැඩේ හරි යන්න ඕන කියලා…

නැන්දයි මාමයි සනීපෙන් ඉන්නවනේ…

ඔව් පුතා… අපට කිසි කරදරයක් නෑ… අපි පුරුදු විදියට සැනසීමෙන් ජීවත් වෙනවා…. පුතාගෙ බෙහෙත් කොහොමද ?

ප්‍රශ්නයක් නෑ නැන්දෙ… මට චීන කඩයක් හම්බ වුනා… ඒකෙ තියෙනවා මට ඕන කරන ඔක්කොම දේවල්…  වොෂිංටන් ගියාම ඒ පලාතෙන් හොඳ කඩයක් හොයා ගන්න ඕන… කඩේ අයිතිකාරයා දන්නවා ඇති හොඳ තැන්… හොඳයි එහෙනම්… ලොකු නැන්දේ…. මම පස්සෙ කතා කරන්නම්…

හොඳයි පුතා… තෙරුවන් සරණයි…

තෙරුවන් සරණයි දෙන්නටම…

……………………………………………………………………………………………………………………………………………………….

බෙහෙත් ?

ඔව්… බෙහෙත්… Medicine…. එෆ් බී අයි ඒජන්තවරුන් දෙදෙනාට ඒ දුරකථන වාර්තාව පරිවර්තනය  කර දුන් පරිවර්තකයා පැහැදිළි කළේය….

ඒ වුනත් මෙයාගෙ රුධිර වාර්තාවෙ කිසිම බෙහෙතක් ගැන වාර්තා වුනේ නැහැනෙ….

අන්න එතැන තමයි ප්‍රශ්නෙ…. මෙයා කිසියම් රෝගයකට බෙහෙතක් ගන්නවා… අන්න ඒ බෙහෙත නිසා ලේ වල වෙනසක් සිදු වෙනවා ඇති… ඒකම නිසා තමයි ලේවල හිමෝග්ලොබීන් ප්‍රමාණය වැඩි වෙන්න ඇත්තෙ… නමුත් ඒ බෙහෙත බටහිර බෙහෙතක් නොවෙයි… එයා කිවුවෙ චීන කඩේකින් ගන්නවා කියලා…. සමහර විට චීන බෙහෙතක් වෙන්න පුළුවනි….

ඒත්… බෙහෙතක් ගන්නවා නම් ඒ බව රුධිර වාර්තාවෙ සඳහන් විය යුතුව තිබුණා නේද ?

සමහර වෙලාවට පෙරදිග බෙහෙත් ගනිද්දි එහෙම ආගන්තුක රසායනික ද්‍රව්‍ය ඇඟට ඇතුල් වන්නෙ නැහැ.. සියල්ලම ශාකවල ඇති රසායන ද්‍රව්‍ය… මේ නිසා පරීක්‍ෂණ වලදි අහු නොවන්න පුළුවනි….

ඔව්… ඒක තමයි… කෝකටත් අපි මේ ගැන අදාල තැන් වලට දැනුම් දිය යුතුයි…. දැන්ම මේ සංවාදයේ පරිවර්තනයක් ආචාර්ය ලිපර්ඩ්ට, අද්මිරාල් බවර්ට වගේම වෛද්‍ය රසායනාගාරයේ ආචාර්ය ෆිලිප් කවුෆර්ටත් යවන්න…. මේ ගැන ඒ අය දැනගත යුතුයි..

විශ්වගේ නවාතැනට සැතපුම් තුන් දහසකට එහා තවත් කිහිප දෙනෙක් ඒ දුරකථන සංවාදයට සවන් දෙමින් සිටි බව මේ දෙදෙනාම නොදැන සිටි කරුණක් විය…

:::::::::::::

නිතිපතා බෙහෙත් ගැනීමට විශ්වට තිබෙන රෝගය කුමක්ද ?

මේ තනි පුද්ගලයෙකු වෙනුවෙන් FBI ආයතනයේ සම්පත් යොදා කරන විපරම කුමක්ද ?

Advertisements

පිටස්තරයා – 02


2nd Episode PNG

 

එක්කෝ මේ පුද්ගලයා නුසුදුස්සෙක් විදියට අයින් කරන්න ඕන… නැතිනම් මේ ගැන වැඩිදුර පර්යේෂණ කරන්න පුළුවනි. මොකද අපට මෙයාගෙ රුධිරය ආශ්‍රයෙන්ම පර්යේෂණ කරලා අපේ කිමිදුම් භටයන්ගේ රුධිරගත හීමෝග්ලොබීන් ප්‍රමාණය වැඩි කිරීම ගැන හොයන්න පුළුවන්… දැනටමත් අපි ඒ කරුණ සම්බන්ධයෙන් පර්යේෂණයක් අරඹලයි තියෙන්නෙ..

ඔබට පිස්සුද ඩෙනිස් ?! අද්මිරාල් වරයා ගුගුලේය…

අපි කොහොමද මනුස්සයො මෙයාව නුසුදුස්සෙක් කියලා ඉවත් කරන්නෙ ? මෙයාගෙ සුදුසුකම් අනිත් දෙන්නාට වඩා වැඩියි… අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් එකම දේ ඔහු පර්යේෂණ ඉදිරිපත් කිරීමෙන් අසමත් වේවි කියන එක පමණයි. නමුත් මේ වගේ පුද්ගලයෙක් එයින් අසමත් වේවිද ? මොනවා වුනත් පරිඝණක වැඩසටහන් වලට බොරු කරන්න බැහැ.. ඒ වගේම අපි බැඳිලා ඉන්නවා මේ හැම තීරණයකටම හේතු දක්වන්න… ඔබ හිතන්නේ මේ වගේ එක දෙයක් නිසා ඔහුව අයින් කළා කියන ළදරු  පිළිතුර ඉහළ පාලනාධිකාරිය භාර ගනී කියලද ? මේක මගේ රස්සාවත් ගහලා යන වැඩක්…. අපි මීට වඩා බුද්ධිමත්ව හිතන්න ඕන ඩෙනිස්.. අපි මීට වඩා සූක්‍ෂම වෙන්න ඕන…… මම බලාපොරොත්තු වුනේ නැහැ ඔබෙන් මේ වගේ උත්තරයක්… දෙයියන්ගෙ නාමෙට ඔයා  මෙතන පර්යේෂණ ප්‍රධානියා.. තත්ත්‍වයට ගැලපෙන්න බුද්ධියෙන් කතාකරනවා… !

සියල්ලෝම අද්මිරාල් වරයාගේ ගිගිරීමට තුෂ්නිම්භූත විය…

අද්මිරාල් රිචර්ඩ් බවර්

Admiral PNG

සාමාන්‍යයෙන් ඉතාම නම්‍යශීලී සුහද පුද්ගලයෙක් වන අද්මිරාල් රිචඩ් බවර් ඉහළ සමාජයේ සියළුම දෙනාගේ ගෞරවය දිනා සිටි ඉතා වැදගත් නිලධාරියෙකි. කිසිවිටෙක සිය නිවුණු බව බිඳ නොගන්නා පුද්ගලයෙක් ලෙස ප්‍රකටය…,

2008 අගෝස්තු 7 සහ 8 දෙදින තුළ ජෝර්ජියාව (ජෝර් ජියාව) විසින් දකුණු ඔටිස්සාව අත්පත් කර ගැනීමේ අරමුණින් ඒ වෙත දරුණු හමුදා ප්‍රහාරයක් දියත් කළේය… ඒ සඳහා ජෝර්ජියාව ඉදිරිපත් කළ නිදහසට කරුණු වූයේ සිය සාම සාධක හමුදාවන්ට සහ මහජනයාට රුසියාව විසින් එවනු ලබන සාම සාධක නොවන හමුදාවන් විසින් දියත් කරන ප්‍රහාරයන්ගෙන් ඔවුන් ගලවා ගැනීම උදෙසා කරන ප්‍රහාරයක් බවයි. මෙහිදී ඔටිස්සා හමුදා සමඟ එක්වූ රුසියානු සාම සාධක භටයින්ට ජෝර්ජියා හමුදාවන්ගෙන් දැඩි හානි සිදු විය. ජෝර්ජියානු භටයින් විසින් ට්ක්‍ෂින්වාලි ප්‍රදේශය ඉතා සුළු කාළයකින් අත්පත් කරගන් ලැබීය. මේ සඳහා රුසියාව ප්‍රතිචාර දැක්වුයේ ප්‍රති ප්‍රහාරයන්ට සිය 58 වන හමුදා ඛණ්ඩය එක් කිරීමෙන් සහ විශ්වාසනීය සහ සැපයුම් ඉලක්කයන්ට ගුවන් ප්‍රහාරයට එල්ල කිරීමෙනි. මේ කෙටි යුද්ධය දින පහේ යුද්ධය ලෙස ප්‍රසිද්ධියට පත් විය. රුසියාවට අනුව මේ ප්‍රති ප්‍රහාර මානුෂීය මෙහෙයුමට අත්‍යවශ්‍ය බව සාධාරණීකරණය විය. මේ දිනවලම නේටෝවට සහාය දක්වන මවුන්ට් විට්නි ඇමෙරිකානු යුධනැව කළු මුහුදේ සිට මේ යුධයෙන් අවතැන් වූවන් සඳහා සහනාධාර ගෙන යාමට “සහතිකවම ආධාර බෙදාහරින” (Operation Assured Delivery) නම් වූ යුධ මෙහෙයුම ක්‍රියාත්මක කළේය. ජෝර්ජියාවට ආධාර සැපයීම අපහසු කාර්යයක් වුවත් අද්මිරාල් රිචඩ් බවර් සිය දක්‍ෂතාවය සහ අත්දැකීම් මනාව ඔප්පු කරමින් පෝටි වරායට ආධාර ගෙන ආ පළමු නේටෝ නැව ගෙන එමින් සාර්ථකව මෙහෙයුම අවසන් කළේය. මේ නිසාම සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු සිය අත්දැකීම් තවදුරටත් සිය රටට ලබාගනු වස් ජනාධිපතිවරයා විසින් ඔහු නාවික හමුදා පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා ලෙස පත් කරනු ලැබීය… ඔහු 2009 සිට මේ දක්වාම ඒ ධුරය හොබවමින් සිය ආයතනයෙන් සිදු කෙරෙන සේවය වඩාත් කාර්යක්‍ෂම සහ ඵලදායී ලෙස මාතෘභූමියට ලබා දෙමින් සිටී.

දැන් තුන්දෙනාම හොඳින් විවේක ගන්න….. විනාඩි 15 කට පසු අපි ඔබව නැවත අමතන්නම්…….

එක් එක් කාමරයේ වූ කුඩා ස්පීකරයෙන් අපේක්‍ෂකයින් තිදෙනාටම විධානයක් ලැබුණා. ඒ කාගෙ කඩහඬද, කොහේ සිට විධානය දෙනවාදැයි යන්න කිසි කෙනෙකු දැන සිටියේ නැහැ. නමුත් තමන්ගේ සියළුම චර්යාවන් පිළිබඳ කිසිවෙකු හෝ ඉතාම පරීක්‍ෂාවෙන් සිටින බව තිදෙනාටම අවබෝධ වී තිබුණා. ඒ නිසා තමන්ට කිසිම අවාසියක් වන අන්දමේ කටයුත්තක නොයෙදීමට මේ තිදෙනාම දැනගෙන සිටියා.. පසෙකින් නොකැඩූ වතුර බෝතලයක් සහ බිස්කට් පිඟානක් තිබුණා. New Research Frontiers නම් නවතම පර්යේෂණවල ප්‍රතිඵල පිළිබඳ වගතුග දැක්වෙන සඟරාවද ඔවුන්ගේ පරිහරණයට මේසය මත තබා තිබුණා. මේ සියල්ල සම්මුඛ පරීක්‍ෂණයට අදාල අංග වුනා.. තම අපේක්‍ෂකයින් කාළය කා දමනවාද, නැතිනම් ඒ සුළු වෙලාවත් කිසියම් ප්‍රයෝජනවත්  වැඩක යෙදෙනවාද යන්න නිගමනය කිරීමට මේ සියල්ල තබා තිබුණා.

ඉතා ඉහළ බුද්ධියක් ඇති තිදෙනාම සිය අනාගත රැකියාව උගසට තැබීමට සූදානම් වුනේ නැහැ. තමන් පැමිණි කාරණයත්, ඒ සඳහා මුහුණ දිය යුත්තේ කෙසේදැයි යන්නත් මනාව දැනගෙන සිටි තිදෙනාම  බිස්කට් එකක් බැගින් රැගෙන ජලය බෝතලය පානය කරන අතරේ පසෙක වූ සඟරාවේ පිටු පෙරළුවා.

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

බීප් බීප්……… බීප් බීප්……… …බීප් බීප්………

හලෝ….. ජනරාල් වෙලිංටන්ගෙ කාර්යාලය… මම මෙගන් වොලික්….. කෙසේද මම ඔබට උදවු කරන්නෙ ?

හලෝ… මම අද්මිරාල් බවර්…. නාවික හමුදා පර්යේෂණ ආයතනයෙන්… මට ඔබේ ප්‍රධානියාට කතා කරන්න පුළුවන් ද ?

පුළුවන් අද්මිරාල් තුමනි… ඉන්න මම සම්බන්ධ කරන්නම්…

ජනරාල් චාල්ස් වෙලිංටන්

Velinton PNG

ජනරාල් චාල්ස් වෙලිංටන් පසුගිය වසරේ විශ්‍රාම යන තුරුම පසුගිය වසර අටක් පුරාම සේවය කළේ යුධහමුදා බුද්ධි බලකායේ ප්‍රධානියා හැටියටය. විශේෂයෙන් ඇෆ්ගනිස්ථානයේ බුද්ධි බලකාය භාරව සිටි ඔහු එහි සිටි එෆ් බී අයි, සී අයි ඒ මෙන්ම වෙනත් රහසිගත අංශ ගණනාවක්ම අධීක්‍ෂණය කළ ඉතා දක්‍ෂ එහෙත් දරුණු පුද්ගලයෙකි. දැඩි මතධාරියෙකු වූ හෙතෙම රටේ ආරක්‍ෂාව පළමුකොට සැලකූ නිලධාරියෙකි. කිසිදු අතපසුවීමකට ඉඩ නොතබන ඔහු අකාර්යක්‍ෂමතාවය ඉදිරියේ නයෙකු මෙන් කිපෙන පුද්ගලයෙකි. තවමත් අවිවාහක ඔහුගේ ජීවිතය වූයේ ජාතික ආරක්‍ෂක ඒජන්සියයි. උදෑසන හය වන විට කාර්යාලයට පැමිණෙන ඔහු පිටව යන්නේ රාත්‍රී හතද පසු වූවාට පසුවයි. රාජකාරි කටයුත්තක් හැරුණුකොට සිය ජීවිතයම කාර්යාලයේ ගෙවන ඔහුට අභියෝග කිරීමට කිසිවෙකු ඉදිරිපත් නොවන්නේ ඔහුට ඇති සූක්‍ෂම බුද්ධියත්, අනතුරක් කල් තබා දැන හැඳින ගැනීමේ “ඉව” ත් ඇති නිසාය… රටේ වූ සියළුම අන්තර්ජාල වැඩසටහන්, ඊ මේල්, ඇතුළු බොහෝ පරිඝණක දත්ත හුවමාරුවීම් ජාතික ආරක්‍ෂක ඒජන්සියේ දැවැන්ත පෙරණය හරහා යන නිසාම ඔහුට ඒ ඉව ලැබී ඇත. බුද්ධි අංශ නිලධාරීන් අතර Blood Hound යන නාමයෙන් හැඳින්වෙන ඔහු අමෙරිකානු ආරක්‍ෂක කවුන්සිලයේ ඉතා වැදගත් පුද්ගලයෙකි.

හලෝ ජනරාල්……..

කොහොමද මිත්‍රයා…… මොකක්ද මගෙන් අද කෙරෙන්න ඕන….. ජනරාල් වරයා ඍජුවම ඇසීය….

මට යමක් දැනගන්න අවශ්‍යයි…. ඒ කිසියම් පුද්ගලයෙක් ගැන…..

ඔබ දන්නවා මම CIA එකවත් FBI එකවත් නොවන වග, තරහ වෙන්න එපා… ඒවගේ දේවල්වලට තමයි ඒ අය ඉන්නෙ….. ජනරාල්ගේ ස්වරය දැඩි විය…..

නැහැ නැහැ… මම ඔබේ කාළය කා දමනවා නොවෙයි… එෆ් බී අයි එක ලබා දුන් දත්ත පිළිබඳ මට සෑහීමකට පත් වන්නට බැරි නිසායි මම ඔබව ඇමතුවෙ….

කවුද ? ත්‍රස්තවාදී නායකයෙක්ද ? ඔබ දන්නවානේ……… ඒ ගැන නම් මට කිසිදු විස්තරයක් දෙන්න බැහැ…

නැහැ චාලි… මට දැනගන්න අවශ්‍ය මගේ පර්යේෂණායතනයට ආපු අපේක්‍ෂකයෙක් ගැන….

මොනවා… FBI එකට තනි මිනිහෙක් ගැන විස්තර හොයා ගන්න බැරිද ? ඕකෙ ඉන්නෙ මැට්ටොද ?

චාලි… මේ මිනිස්සු උපරිම ශක්තිය යොදලයි ඉන්නෙ… දැන් මට කරන්න තියෙන එකම දේ ඔහුගෙ ගෙදරට කවුරුහරි යවන්න විතරයි… නමුත් තවමත් ඔහු අපේක්‍ෂකයෙක් විතරයි… ඒ නිසා මම කැමති නැහැ ආණ්ඩුවෙ සම්පත් ඒ වගේ දෙයකට යොදවන්න… ඒත් මේ පුද්ගලයාගේ බොහෝ දේවල් හරිම අසාමාන්‍යයි….. ඒ නිසාමයි මම හොයන්න තීරණය කළේ… මේ පරීක්‍ෂණයෙන් ඔහු නොතේරුණත් අපට මෙයාව වෙනත් මොනවාහරි දේකට ප්‍රයෝජනවත් වේවි. මට ඒක ඉවෙන් මෙන් දැනෙනවා… ඒ නිසා මට මේ උදවුව කරලා දෙන්න… මට මෙයාගෙ විස්තර සියල්ල ලබා ගන්න ඔබට වඩා වෙනත් කෙනෙක් නැහැ.. මම දන්නවා ඔබේ පරිඝණක වැඩසටහන් මළ මිනිස්සු උපද්දවලා තිබෙන බව…. මට මේ උදවුව කරලා දෙන්න… සමහරවිට ඔබටත් එය වැදගත් වේවි…

හොඳයි කියමු බලන්න….

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

නාවික පර්යේෂණ ආයතනයේ පරිඝණක ඉංජිනේරු ඇලෙක්ස් රොබින්සන් අපේක්‍ෂකයින් තිදෙනාගේම වීඩියෝ පට පරිඝණක තුනකට කවා අවසන් විය… මිනිත්තු කිහිපයකින් ප්‍රතිඵල ලැබෙනු ඇත… සම්මුඛ පරීක්‍ෂණ වලදී ඒ ඒ අපේක්‍ෂකයාගේ ගති ස්වභාවය සහ පරීක්‍ෂණ මණ්ඩලයේ සිටින පුද්ගලයින්ගේ මානසිකත්‍වය අනුව එකම දක්‍ෂකම් ඇති විවිධ අපේක්‍ෂකයින්ට ලැබෙන ලකුණු ප්‍රමාණ වෙනස් බව පර්යේෂණ වලින් ඔප්පු වී ඇත. මේ නිසා සම්මුඛ පරීක්‍ෂණ වල සිදු විය හැකි මානව අසමතුලිතතාවයන් මඟහැරවීම සඳහා රජයේ අතිශය වැදගත් ආයතනවලට බඳවා ගැනීමේදී දක්‍ෂයා නිර්ණය කිරීම පරිඝණක වැඩසටහනකට පවරා ඇත. මෙහිදී අපේක්‍ෂකයාගේ පෞරුෂය, වාග් මාලාව, ඉදිරිපත් කිරීමේ විලාශය, ආත්ම විශ්වාසය, වැරදි, තීරණ ගැනීමේ හැකියාව, මුහුණේ ඉරියව් යන ප්‍රධාන ලක්‍ෂණ නිර්ණය කිරීම අතිශය සංකීර්ණ පරිඝණක වැඩසටහනක් මගින් තීරණය කෙරේ.

ඒ අතර අද්මිරාල් රිචඩ් බවර්, නැන්සි පෙපර්,  ඩෙනිස් ලිපර්ඩ්, සහ  නීල් ෆියු යන සිවු දෙනා තම අපේක්‍ෂකයින් තිදෙනා පිළිබඳ සිය හැඟීම් විවෘතව කතා කිරීමේ අවස්ථාව කරා එළඹ ඇත.

මම නම් කියන්නේ ඇන්ඩ්‍රියාගෙ මිත්‍රශීලී බව හොඳයි… පර්යේෂණායතනයක් වුනාම කණ්ඩායම් හැඟීම තිබිය යුතුයි… කණ්ඩායමක් ලෙස ක්‍රියා කරලයි තීරණ ගන්නත් ප්‍රතිඵල ගන්නත් ඕන… මැතිව් තරමක් පොතට බර ගීක් කෙනෙක්… බලන්න ප්‍රියමනාප වුනාට මට පේන්නෙ එහෙමයි.  අනිත් එක්කෙනා.. විශ්ව… මට එයාගෙ මුහුණෙ කිසිම හැඟීමක් පේන්නෙ නැහැ… අයදුම් පත්‍රයේ මොන සුදුසුකම තිබුණත් ඒ මුහුණ නම් තනිකර හැඟීම් විරහිතයි… මට එයාව කියවන්න බැහැ..  සැමවිටම අන් අයට පෙර කතා කරන  නැන්සි පෙපර් ගේ විග්‍රහය වුනේ එලෙසයි…

නීල්…. මොකද කියන්නෙ….

විෂය කරුණු පැත්තෙන් නම් විශ්ව ගොඩක් ඉදිරියෙන් ඉන්නවා… ඔහුගෙ ගුරුත්ව ක්‍ෂෙත්‍ර පිළිබඳ තර්කය මට තවමත් පැහැදිලි නැහැ… ඒක ඒ තරම් සංකීර්ණයි.. ඒ නිසා ඔහු මේ පර්යේෂණායතනයට සුදුසුම කෙනා.. නමුත් නැන්සි කිවුවා වගේ මුහුණෙ  කිසිම හැඟීමක් නැති පුද්ගලයෙක් කොහොමද අපේ කණ්ඩායමට බඳව ගන්නෙ ? ඇන්ඩ්‍රියා මිත්‍රශීලී තමයි.. නමුත් ඒ මිත්‍රශීලී භාවයම ඇයට හරහට හිටින්න පුළුවන්… මේක අතිශය රහස්‍ය පර්යේෂණයක්.. මේ රහස් ගන්න රුසියාවත් චීනයත් ඇහැ ගහගෙනයි ඉන්නෙ.. තවත් කවුරු මේ ගැන බලාගෙන ඉන්නවද දන්නෙ දෙයියො තමයි. සමාවෙන්න නැන්සි… මම ඔබ ගැන දන්නවා… නමුත් කාන්තාවන් කියන්නේ රහස් සංවිධාන වල ඉතා දුර්වල අංශයක්…

එහෙම කියන්නෙ කොහොමද නීල්…එයා  දැනටමත් NSA එකේ ඒජන්ත වරියක්… ඔබ හිතනවාද ජෙනරාල් වෙලිංටන් ආවට ගියාට මිනිස්සු ගන්නවා කියලා එයා ලඟට ?

ඇත්ත… නමුත් එතැන සිදු වන දේවලුයි මෙතැන සිදුවන දේයි තනිකරම වෙනස්… ඇන්ඩ්‍රියාට NSA එකේ ලොකු රහසක් නැහැ රකින්න… නමුත් මෙතැන එහෙම නෙවෙයි…. අපි බලමු කෝකටත්… අපිට වඩා ගොඩක් නිවැරදිව තීරණ ගන්න කෙනෙක් ඔවුන් පරීක්‍ෂා කරනවා නෙ.

මැතිව්… මම හිතන්නෙ මැතිව් මෙතැනට අදාල වෙන්නෙ ක්වොන්ටම් යාන්ත්‍රවිද්‍යාව ගුරුත්වාකර්ෂණයට ඈඳා කළ පරීක්‍ෂණය නිසා… නමුත් ඔහුගේ සමහර තර්ක මට පිළිගැනීමට අපහසුයි… එහෙම වුනා කියලා ඔහු අසමත් වෙන්නෙ නැහැ… ඔහුට බොහොම නිදහස් සිතුවිලි තිබෙනවා. මට හිතෙන විදියට ඔහු අපට හොඳ සම්පතක් වේවි…

අවසන කතා කළේ ආචාර්ය ලිපර්ඩ් : මම හිතන්නෙත් විශ්ව අපට හොඳ පර්යේෂකයෙක් වේවි… ඔහුගේ හැඟීම් රහිත මුහුණ නොවෙයි අපට වැදගත් වෙන්නෙ… අපට වැදගත් වෙන්නෙ මෙතැන පර්යේෂණ වලට සුදුසුම පුද්ගලයා කවුද කියන එක… දැනුම අතින් පරිපූර්ණ කවුද – ඔහුගේ හෝ ඇයගේ දැනුම මෙතැනට ලබා ගන්නෙ කොහොමද කියන එක… කොහොමත් අපට විද්‍යාඥයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ සේල්ස් රෙප් කෙනෙකුගෙ මිත්‍රශීලීභාවය…. නමුත් අපට හසුරවාගන්න පුළුවන්  කෙනෙක් නම්, අපට කරදරයක් නැති කෙනෙක් නම් මට  ප්‍රශ්නයක් නැහැ…

ඇන්ඩ්‍රියාගෙ මිත්‍රශීලීභාවය වගේම ඇයගේ සුදුසුකම් මට මෙතැනදි ප්‍රශ්නයක්… ඇය සුදුසු NSA එකට… ජනරාල් වෙලිංටන්ගෙ පෞද්ගලික යොමු කිරීමක් වුනත් අපට සුදුසුම කෙනා තමයි අපට තෝරගන්න වෙන්නෙ.

මැතිව්ගෙ දැනුම මට ප්‍රශ්නයක් නැහැ… ඔහුගෙ ක්වොන්ටම් විද්‍යාත්මක දැනීම, ඔහු ඒවා විෂයානුබද්ධ කළ ආකාරය හරිම අපූරුයි… මම තෝරා ගන්නවනම් තෝර ගන්නෙ විශ්ව හරි මැතිව් හරි… අපි තවම කිසිම කෙනෙක් මුහුණට මුහුණ ලා කතා කළේ නැහැනෙ… අපි බලමු අපේ හරස් ප්‍රශ්න වලට ඔවුන් කොහොම උත්තර දෙයිද කියලා.

මේ දෙදෙනාම පර්යේෂණ අංශයට තෝරා ගනීවිද ?

මැතිව්ගෙ සම්බන්ධකම් විශ්වගෙ දක්‍ෂතා අභිබවා යාවිද ?

ඔවුන්ට පැවරෙන රාජකාරි මොනවද ?

ලබන සතියේ කොටසින්

 

 

%d bloggers like this: