Blog Archives

2011 ජනවාරි 06: මං තනි වෙලා නෑ


දවස් 3ක් ගෙදර ඉඳලා අද වැඩට ගියා මං. හැමෝටම සන්තෝසයි….

ආ… තවමත් පණපිටින් නේද ? කියලා මූන පුරා හිනාවක් පුරෝගත්තු ලොක්කා ඇහුවා…. කොහොමද දිගුකරගත් නිවාඩුව කියලා තව එකෙක් ඇහුවා…. ඔයා නැතුව අපි දෙයියනේ කියලා සද්ද බද්ද නැතුව හිටියා කියලා තවත් එකෙක් කිවුවා…..අනේ ඔයා ආයෙම දකින්න ලැබුන එක සන්තෝසයක් කියලා අළුතෙන්ම රසායනාගාරයට එක් වුන පුංචි චයිනීස් පැටික්කි කිව්වා….දෙපාර්තමේන්තුවේ සමහරක් දෙනාට මම දකින්න නැතුව පාළුයි…. කොහෙද මෙච්චරකල් ගිහින් හිටියේ කියලා රසායනාගාර ගබඩාවේ වැඩ කරන මැදිවියේ කාන්තාව ඇහුවා…. වොලිබෝල් කණ්ඩායමේ එක්කෙනෙකුත් ඇවිත් අහුවා දැන් හොඳද කියලා…. ඒ අය වොලිබෝල් තරඟාවලියකට සහභාගී වෙනවා ජනවාරි මාසයේ…. මමත් ඒකේ සාමාජිකයෙක්.. ඊයේ ඒඅය සෙල්ලම් කරලා තියෙන්නේ කිහිප දෙනෙක් අඩුවෙන්. කෙසේ හෝ 6 දෙනෙක් ඉඳලා තියෙනවා…..

මම ඉතිං අද රසායනාගාරයේ හිටියේ මුහුණු ආවරණයක් පැළඳගෙන… එතකොට කතා කරන විට හෝ කිවිසුම් අරින විට මගෙන් විෂබීජ පැතිරෙනවා අඩුයි නේ… ඒක මට වඩා අනෙක් අයට මානසිකව බලපාන නිසා ඒ විදිය හොඳයි කියලා හිතුනා…

මම ඉතිං වෙච්චි සංගදිය කිව්වාම, දන්න කියන හැමෝම කිව්වේ ඔක්කෝම ටික ටික හරි මේ විදියටම ලෙඩ වෙලා කියලා… හුඟක් දෙනෙක් අවුරුද්ද පටන් අරන් තියෙන්නේ බෙහෙත් වලින්….

අපි හැමෝම හැමදාම හැමකෙනාම එක්ක හිනා වෙලා කතා කරලා සතුටින් ඉන්නවනම් හැමෝටම සතුටුයි… ඉඳලා හිටලා පොඩි විහිළුවක් කරලා.. පුංචි මතකයක් ඒ අයගේ හිතේ ඉතිරි කළාම, අපි දවසක් ඒ අයගෙන් ඈත් වෙලා හිටියත්, ඒ අයට අප ගැන මතකයක් ඉතිරි වෙනවා….. අපි මෙලොවින් යනකොට ගෙනියන්නේ ඒ මතකයයි. නැතුව හම්බ කරපු සල්ලිවත්, තානාන්තරවත් ඉඩම් කඩම් වත් නෙවෙයි……

කවුරුවත් කැමති නෑ අකමැති කෙනෙක් මතකයේ තියාගෙන ඉන්න…..

මම ඉස්සර දවසක් කිවුවා වගේම…. මිනිස්සු හම්බ කරන්න….. ඒක සල්ලි හම්බ කරනවාට වඩා ලාභ දායකයි… සල්ලි වලින් කරගන්න බැරි දේවල් හම්බ කරපු මිනිස්සුන්ගෙන් කරවගන්න පුළුවන්…

ඉතිං මම නැති ටිකේ මගේ අඩුව හැමෝටම දැනිලා තිබුන නිසාම…….. මම තනි වෙලා නෑ කියලා මට හිතුනා…

%d bloggers like this: