Blog Archives

2013 පෙබරවාරි 10: මෙන්න තවත් ලෝක වාර්තාවක්…. හිතේ අමාරුවට නොලියා ඉන්න බැරි වූ කතාවක්……


ලංකාවේ ආණ්ඩුවේ ඇමති තනතුරු සංඛ්‍යාව ශතකය ඉක්මවූයේ මෑතකදීය… ඒ බූරුවන් කූට්ටමේ වෙනස් වූ කොළ අතර ඛණිජ තෙල් ඇමති ධුරයද විය. ඛණිජතෙල් නීතිගත සංස්ථාව එසේ නැතහොත් සිපෙට්කෝ ආයතනය සැමදාම පාඩු ලැබූ ආයතනයකි. එය පාඩු ලබනවා පමණක් නොව විදුලිබල මණ්ඩලය වැනි ආයතනවලටද පාඩු සිදු කරන බව හිටපු විදුලිබල ඇමති පාඨලී චම්පික රණවක පවසා තිබුණි.

මෙසේ පාඩු ලබන මේ ආයතනය පසුගිය වසරක සිදු කළ ඓතිහාසික හෙජින් ගණුදෙනුවද, මෑතකදී සිදු කළ බාල පෙට්‍රල් ගෙන්වීම නිසා සිදු වූ අලකලංචිය ද ලිහිසි තෙල් හුටපටයක් නිසා සිදු වූ පාඩුව ද ආදී ආසියානු වාර්තා රැසක් තබා ඇති ආයතනයකි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ නැතහොත් අඩුම ගණනේ ආසියාවේ ලොකුම ඒවා තබාගෙන වාර්තා තබන නිසා මෙවැනි වාර්තා ඇත්තෙන්ම ශ්‍රී ලාංකිකයනට අමුත්තක් නොවේ.

මේ අද දිවයින පුවත්පතේ වූ ලිපි දෙකකි. පළමුවැන්නෙන් කියැවෙන්නේ මූලදී රසායනාගාර තත්ත්‍ව පරීක්‍ෂණවලින් අසමත් වූ රුපියල් මිලියන 8000 ක් වටිනා ඛණිජතෙල් තොගයක් පසුව එක රැයින් රසායනාගාර පරීක්‍ෂණවලින් සමත් වූ බවය. මේ අනුව නැවතත් අපට සමහරවිට වාහනවලට වන්දි ලබා ගැනීමේ ස්වර්ණමය අවස්ථාව හිමි වෙනු ඇත.

දෙවන ප්‍රවෘත්තිය නම් ඛණිජතෙල් සංස්ථාවේ  එක්තරා ලොක්කෙකු සිය මාසික වැටුප රුපියල් ලක්‍ෂ දෙකේ සිට හත දක්වා වැඩි කරගෙන ඇති බවත් ඔහුට රුපියල් එක් කෝටි හතලිස් ලක්‍ෂයක් වටිනා වාහනයක් ද ආනයනය කරගෙන ඇති බවයි. එසේ වැඩි කර ගත්තේ අමතර කාර්යයක් හෝ අමතර වගකීමක් කිසිවෙකු දරන නිසාද ? නැතිනම් තමන්ට වැඩි කරගත හැකි වූ නිසා එසේ වැඩි කරගත්තාද ?

මේ එක දිනයක ඛණිජතෙල් සංස්ථාව තැබූ වාර්තාවකි… මේ දෙකටම ගෙවන්නේ අදාල නිලධාරීන් නොව මහජනතාවගේ මුදලිනි. එනම් පෙට්‍රල් හෝ ඩීසල් ලීටරයකට රුපියලක් හෝ දෙකක් වැනි ප්‍රමාණයක් මේ සඳහා වැයවනු ඇත.. මේ කාබාසිනියා කරන්නේ මහජන මුදල් වේ. සාමාන්‍යයෙන් සදාචාර සම්පන්න රටක පොදු දේපල අයථා ලෙස පරිහරණය කරන්නන් හට දඬුවම් ලැබෙන නමුත් ලංකාවේ ලැබෙන්නේ උසස්වීම් ය…

මේ, ඒ ආයතනයේ උසස් නිලධාරියෙකු දිවයිනට පැවසූ ප්‍රකාශයකි.

බාල පෙට්‍රල් හා බාල ඩීසල් ගෙන්වීමද, ඒවා නිසි පරිදි පරීක්‍ෂා කිරීම ආදී කටයුතුවලට සුදුසු සහ පළපුරුදු නිලධාරීන් නොමැති නිසා මෙම අර්බුද පැනනැගී ඇතැයි ද 1994 වසරින් පසු දේශපාලන හිතවතුන්ට ඉහළ තනතුරු ලබාදීම මෙම ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව යෑයි ද හෙතෙම කියා සිටියේය.

මේ අතර ඇමරිකාවේ එක්සෝන් මොබයිල් සමාගම 2012 වසරේ ඩොලර් බිලියන 44.3 ක වාර්තාගත ආදායමක් ලබා ගත් බවත් එය සමාගම් වැඩිම ලාභයට වඩා අඩුව ඇත්තේ මිලියන තුන්සියයකින් පමණක් බවත් මෙය ලෝකයේ තෙල් සමාගම් තැබූ ආදායම් වාර්තා අතර ඉහළම අගය ගන්නා බවත් වාර්තා වේ. මේ නිසි කළමණාකරණයෙන් නිසි සම්පත් පරිහරණයෙන් ලාභ ලබාගතහැකි එක් උදාහරණයක් පමණි. නමුත්, අප රටේ කිසිදු ආයතනයක නිසි සම්පත් කළමණාකරණයක් කවදා සිදු වේද ?

ජනාධිපතිතුමා කියන්නේ තමන්ගේ රට විවේචනය කිරීමෙන් වලකින ලෙසයි…. එසේනම් එතුමාගේ 2/3 බලතල සහ පූර්ණ විධායක ජනපති බලතල පාවිච්චි කර මේ අකටයුතුකම් නැවැත්විය යුතුය… එවිට රටේ සිදුවන යහපත් දෑ අගය කළ හැක… එතුමාගේ විධායක බලතල පාවිච්චි වන්නේ තම හෙංචයිනයට උසස්වීම් ලබාදෙන්නට පමණක් නම් අපට ආසියාවේ ආශ්චර්යය වීම ඉතාම ඉක්මනින් ඉටු කරගත හැක… සුදුස්සාට සුදුසු තැනක් ලැබෙන තුරු අපි හැමදාම වලේය…  නැතහොත් ඉක්මනින්ම මහින්ද චින්තනය ඇහින්ද චින්තනයක් වනු නොඅනුමානය…

සුභ අනාගතයක් !

සුභ අනාගතයක් !

ඔබට සුභ අනාගතයක් !

මේ සින්දුවත් අහගෙනම යමු…

මේ කියන්නේ තරහ ගන්නට නොව රට ගැන ආදරයට තියෙන හිතේ අමාරුවටය….. මේවා කිවුවාය කියා ඔබතුමන්ලා ගන්නා තීරණ වෙනස් වේ යැයි ද සිතන්නට අමාරුය… එසේ වූවා නම් මේ රට මීට වඩා හොඳ තැනක තිබෙන බව ද උපකල්පනය කළ හැක.

2012 දෙසැම්බර් 30: ලංකාවට ප්‍රබල භූමිකම්පාවක්….. එකසිය ගානක් මරුට… මිලියන විසි එකක් අවතැන්….


ලංකාවේ කලින් කලට විවිධාකාර විද්වත්හු පහළ වෙති… අවාසනාවකට බොහෝ තැන්වලින් ප්‍රසිද්ධිය ලැබෙන්නේ ද මෙවැනි විද්වතුන්ටය… එක කාළයක් අපේ රටේ හිටි ජ්‍යොතිශ්‍ය විද්වත්හු ලෝක විනාසය පිළිබඳ විවිධ මත පහළ කළහ… ඒ අනුව සම-හරක් අය, ලෝක විනාසය නොවන බවත් විශාල මනුෂ්‍ය ජීවිත හානි සිදුවන බවත් සඳහන් කරමින් සිය ආධිපත්‍යය තහවුරු කළහ… ඒ සියළුම දෙනාගේ මත තහවුරු කරමින් ලෝක විනාශය සිදු වී දැන් දින අටක් ගත වී ඇත.

ඉන්පසු තවත් විද්වතෙකු පහළ කළ මතයක් වන්නේ එතුමා කොහේදෝ පස් වගයක් පරීක්‍ෂා කර ලංකාවට 28 වනදා භූමි කම්පාවක් පැමිණෙන බවයි.. තවත් කට්ටියක් අද කූඹිකම්පාවක් වෙනවයි කියලා කිවුවා… අද 30 යි… එතුමට දවස වැරදුනාද නැතිනම් පස් ගොඩේ බල්ලෙක් ජරා කරලා තිබුණද මට නොතේරේ… එසේ නොමැති නම් ඒ අනාවැකියද හරි යා යුතුය……

ලංකාවේ විද්වත්හු සහ ජ්‍යෝතිශ්‍ය වේදීහු සිය මඩිය තර කර ගන්නට විවිධාකාර අනාවැකි පහළ කරති. ජාතියේ මහා දෛවඥයා කිව්වේ ලෝක කුසලානය අනිවාර්යයෙන් දිනන බවය. ලොක්කා ගිහින් වාඩි වුන ගමන්ම වැල නොගියා නම් අපිද ලෝක කුසලානයට හිමිකම් කියනවා සිකුරුය.. (ඒ කිවුවේ මගේ අනාවැකිය අනුවය… ඒක එහෙමම සිද්ධ විය… දැන් මටත් අනාවැකි කිවහැකිය…)

මෙන්න තැන... වැරදුනොත් මුදල් ආපසු.. හරිගියොත් ඩබල්..

මෙන්න තැන… වැරදුනොත් මුදල් ආපසු.. හරිගියොත් ඩබල්..

අපේ රටේ විද්‍යාවට තැනක් නැති බව මා මීට පෙරද ප්‍රකාශ කර ඇත.. දැන් තැනක් ඇත්තේ දේවාල වලටත්, හොර ජ්‍යොතිශ්‍ය කාරයින්ටත් පමණි. අප කුඩා කාළයේ විද්‍යාවත් වෛද්‍ය විද්‍යාවත් අපූරුවට ප්‍රචලිත කළ යුග පුරුෂයින්  දෙදෙනෙකු විය.. ඒ මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මැතිතුමා සහ ආචාර්ය උපාලි එම් සේනානායක මැතිතුමා යන දෙපළය.

මහාචාර්ය නන්දදාස කෝදාගොඩ

මහාචාර්ය නන්දදාස කෝදාගොඩ

UM Senanayake

ආචාර්ය උපාලි එම් සේනානායක

අද ඒ දෙපළම අප අතර නොමැත. අද තරමකට හෝ විද්‍යාව පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කරනුයේ නාලක ගුණවර්ධන පමණි. නාලක සහ චානුක අප කුඩාකළ රස කරමින් කියැවූ, බොහෝ දැනුම ලද, විදුසර පත්‍රයේ ආරම්භක ලේඛකයින් දෙදෙනාය…  එකළ අපද විදුසරට ලියන්නට උත්සාහ ගත් නමුත්, ඒ කාළයේ අපේ ලිවීමේ හැකියාව එතරම් උසස් නොවූ නිසා සහ තොරතුරු සොයා ගැනීමේ අපහසුව නිසා නිසි ලෙස ලිපියක් ගළපන්නට නොහැකිවීම යන කරුණු නිසාත්, නාලක සහ චානුක විදුසරෙහි ලිපිවල ගුණාත්මක භාවය ඉහළින්ම තබා ගෙන තිබූ නිසාත් අපට තැනක් නැති විය.. විද්‍යා ප්‍රබන්ධ දෙක තුනක් විදුසරට යොමු කළද, ඒවායේ ද ගුණාත්මක භාවයේ ප්‍රශ්න තිබෙන්නට ඇත. උසස් පෙළ කළාටත් පසු විදුසර මගේ ප්‍රියතම පුවත්පතක් වූයේ එහි වූ විද්‍යා දැනුම නිසාවෙනි. නමුත් දැන් දැන් නාථ දෙවියන්ගෙන් රසායන විද්‍යාව ඉගෙන ගන්නා විදුසර ද අවිදුසරක් බවට පත් වී ඇත.  රටේ මිනිසුන්ට නිසි මඟ පෙන්විය හැකි පුවත්පතක වර්තමාන කළදසාව පිළිබඳ ඇත්තෙන්ම දුකය… ඔවුනට දැනුදු නාථ දෙවියන්ගෙන් රසායන විද්‍යාව ඉගෙන ගැනීම පැත්තකට දමා නිසි ලෙස සත්‍යය සොයා රටේ දුවා දරුවන්ට බෙදා දිය හැකි නම් නැවත රසිකයින් අතරට පැමිණිය හැකි බව මතක් කර දීමට කැමැත්තෙමි.

ලෝක විනාශය මූලික කරගෙන ලංකාවේ මාධ්‍යවල හැසිරවීම පිළිබඳ ඉතා අගනා ලිපියක් නාලක ගුණවර්ධන විසින් සිය බ්ලොග් අඩවියේ පල කර ඇත… සාමාන්‍යයෙන් නාලක සිය බ්ලොග් අඩවියේ ලිපි පළ කරන්නේ ඉංග්‍රීසියෙන් නමුත්, මේ ලිපිය මනා ලෙස සිංහලෙන් ගලපා ලියා ඇත. තවමත් නාලකගේ සිංහල රචනය ප්‍රශස්ත මට්ටමේ පවතින බවට එය හොඳ ඉඟියකි. නාලක ද සිංහලෙන් සිය බ්ලොග් අඩවිය ඉඳහිට හෝ යාවත්කාලීන කරන්නේ නම් එය ද අපේ රසිකයනට කරන සේවයකි. චානුක ද සිය “සිහි සටහන්”  බ්ලොග් අඩවිය පවත්වාගෙන යන නමුත් පෙර මෙන් විද්‍යාත්මක සංවාදවල නියැලෙනවා අඩුය.

අපි, සෑම විටම දුවන්නේ ලාභ දේ සොයාගෙනය, ලාභ දේ බොහොමයක් බාලය. කියවා තේරුම් ගැනීමට සහ සිතීමට අවශ්‍ය ලිපි කියැවෙනවා බොහෝ අඩුය.. ඒ වෙනුවට කියැවෙන්නේ සරළ සුගම ශෛලියකින් ලියැවුන, හිතට වදින සුන්දර හෝ අසුන්දර එදිනෙදා ජීවිතයට සමීප පුවත් හෝ කතාන්දරය. මා ලියූ සමහරක් ලිපි පුවත්පත් වලට යැවුවද, ඒවායින් අවම වශයෙන් ලැබුන බවට පිළිතුරක් හෝ නොලැබුනේ, මගේ ලිපි “විකිණෙන ගණයට” අයත් නැති නිසාවෙන් විය හැකිය. ඒ ගැන මට කණගාටුවක් නැත්තේ මගේ ලිපි කියවන රසික කැලක් මා සතුව ඇති බැවිනි.. ඔවුනට මා නිබඳ ස්තුතිවන්ත වෙමි….

ලංකාවේ විද්‍යා අධ්‍යාපනය අනතුරේ බව මොරටුව විශ්ව විද්‍යාලයේ සහ SLINTEC  ආයතනයේ විද්‍යාඥ මහාචාර්ය අජිත් ද අල්විස් මහතා විසින් දැනට කලකට පෙර පුවත්පතකට යොමු කළ ලිපියකින් සඳහන් කර තිබුණි. එය දැන් දැන් හොඳටම දකින්නට ඇත. බොහෝ රූපවාහිනී නාලිකාවල කෙටි දැන්වීම් තීරු වල වැඩිපුරම දක්නට ලැබෙන්නේ යාග හෝම, වශී ගුරුකම්, අණවින-කොඩිවිණ සිදු කරන චීවරධාරීන්ගේ සහ කට්ටඬියන්ගේ දැන්වීම් වේ. ආණ්ඩුවේ ලොකු ලොකු ඇත්තන් රෙදි නැතුව දේවාල ගානේ යනු පත්තරවල ද ලොකු ලොකු පින්තූර පළ වේ. වෙනකක් තබා ජනාධිපති තුමා ද වශී සුරයක් අතේ රැගෙන යන පින්තූර බොහෝ පුවත්පත්වල පළ වී තිබේ….

ජනපතිතුමාගේ වශී යන්ත්‍රරාජයා... (පැත්තෙන් ඉන්න එක්කෙනා නෙවෙයි.. අතේ තියෙන එක)

ජනපතිතුමාගේ වශී යන්ත්‍රරාජයා… (පැත්තෙන් ඉන්න එක්කෙනා නෙවෙයි.. අතේ තියෙන එක)

මේ අපේ විද්‍යා අධ්‍යාපනයේ තත්ත්‍වයයි. කිසිවෙකු විද්‍යාත්මක යැයි හැඟෙන යමක් පැවසූ සැණින් එය හරිද වැරදිද යන්න නොසළකා බොහෝ මාධ්‍යවල උළුප්පා දක්වනු ලැබේ. වතුරෙන් දුවන මෝටර් රථය පුස්සක් බව දැනගත්තේ බොහෝ කලක් ගත වූ පසුවය… මේ අපේ මාධ්‍යවල දැනුමේ නිම් වළලු පුළුල් කිරීමේ ක්‍රියාදාමයයි. නයි නළඟනට ලැබෙන ප්‍රසිද්ධිය විද්‍යාඥයෙකුගේ ප්‍රකාශයකට නොලැබීමෙන්ම ඒ බව මනාව තහවුරු වේ. මා පෙර කීවාක් මෙන් මිනිසුන් විද්‍යාවට සහ විද්‍යාත්මක පැහැදිලි කිරීම් හරි හැටි අවබෝධ කරගන්නේ නැත… ආසනික් ප්‍රශ්නය ඔඩු දුවන්නේත් අදාල පාර්ශව එය වවාගෙන කන්නේත් මිනිසුන් විද්‍යාවෙන් ඈත් වී ඇති නිසාය… කළින් කළට මතුවෙන විද්වත්හු මිනිසුන් මුලා කරමින් සිය ජීවිකාව පවත්වාගෙන යති. විජ්ජාවෙන් ජනතාව මුලා කරන වි.ජ.මු. ලොකුබණ්ඩාර මැතිතුමා මේ ගණයට අයත් නොවේ.

නමුත්,……. ඒ මහතා අයත් ගණයටම අයත් තවත් කාණ්ඩයක් සෑම විටම සාමාන්‍ය ජනතාව මුලා කරමින් සැප විඳිති… එවන් අයෙක් රටට ඇතිවන ඊලඟ අනතුර පිළිබඳ කදිම අනාවැකියක් කියා ඇත. එය මෙතැනින් බලන්න….. මටද හැඟෙන පරිදි ඒ අනාවැකියෙන් කොටසක් හෝ සැබෑ විය හැකිය. නමුත් ඒ අනාවැකියෙන් කියැවෙන්නේ ස්වභාවික ව්‍යසනයක් ගැන නොවේ.. අපම විහින් දමාගත් ව්‍යසනයක් ගැනය….

බටහිර මාධ්‍යයන් විසින් ජනතාවට විද්‍යාත්මක දැනුම කොපමණ ලබා දුන්නද, සාමාන්‍ය මිනිසුන් ඒ පිළිබඳ එතරම් දැනුවත් වීමට කටයුතු නොකරති. ඒ මිනිසුන්ගේ හැටි ය. නමුත් අවම වශයෙන් අන්තර්ජාලයෙන් හෝ තරමක දැනුමක් ලබාගෙන මේ මොනවාදැයි කියා යම්තරමක හෝ අවබෝධයක් ලබා ගැනීමට ඔවුහු කටයුතු කරති. අපේ වැඩිහිටි පරපුර අන්තර්ජාලයෙන් බොහෝ ඈතක සිටින අතර තරුණ පරපුර SEX යනු මොනවාදැයි සොයමින් අන්තර්ජාලයේ අතරමංව සැරි සරති. මට ලැබෙන සමහර ඊමේල් අනුව, ලංකාවේ සමහර තරුණ තරුණියන් Google සෙවුම් යන්ත්‍රය භාවිතා කර තොරතුරු සොයා ගැනීමේ කටයුත්ත වත් හරි හැටි කරගන්නට හෝ, කර ගත්තද ඒ තොරතුරු පිළිබඳ නිසි අවබෝධයක් නැති පිරිසක් යැයි මට සිතෙන අවස්ථා ඇත. මෙයට ප්‍රධාන හේතුව අන්තර්ජාලයේ තොරතුරු සෙවීමේ කම්මැලිකම ද, එසේත් නැතහොත් ඉංග්‍රීසියෙන් යමක් කියවා අවබෝධ කර ගැනීමට ඇති කම්මැලිකම දැයි මම නොදනිමි…. මූණු පොතේ නිතර සැරිසැරුවද, එයින් ලැබෙන දැනුමක් නැත… අන්තර්ජාලය යනු මහා දැනුම් සම්භාරයක එකමුතුවකි… එයින් හරි දේ තෝරාගතහොත් ලැබිය හැකි දැනුම හා දියුණුව අපමණය…. තමන් දියෙන් කිරි වෙන් කර ගන්නවාද , කිරි කළයේ ඇති ගොම බිංදුව තෝරාගෙන අනුභව කරනවාද යන්න ඔබ තෝරා ගත යුතුය…

ලංකාවේ මාධ්‍ය වලින් මෙයට වඩා යමක් බලාපොරොත්තු විය නොහැක. මා පසුගිය කාළයේ ලංකාවේ සිටියදී ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙකුගේ පුතෙකු ගෙන් ඇසූ “ලංකාවේ උසස් ගණයේ ටෙලිනාට්‍ය බිහි නොවන්නේ මන්ද ?” යන පැණයට ඔහු දුන් එකම පිළිතුර වන්නේ ටෙලිනාට්‍යයක බජට් එකට සරිලන සේ පසුතලය සැකසීමේදී ගමේ ගොඩේ එදිනෙදා සිදුවන සිදුවීම් අළලා තැනෙන බාල ගණයේ ටෙලිනාට්‍ය මිසක්, වෙනත් නාට්‍යයක් නිෂ්පාදනය කළ නොහැකි බවයි. එනම් වෙනම පසුතල නිර්මාණය කර, අළුත් ආකාරයක කතාවක් නිෂ්පාදනය අතිශය අවදානම් කටයුත්තක් බවයි… මේ නිසා බොහෝ ටෙලිනාට්‍ය උසස් ලෙස නිර්මාණය කිරීමේ නොහැකියාවක් මෙන්ම, එපිසෝඩ් එකක් වැඩිම උනොත් ලක්‍ෂයක බජට් එකකට යටකර නිෂ්පාදනය කිරීමට සිදු වීම නිසා ගෙයක් අරන් කැමරා දෙකක් දාගෙන එපිසෝඩ් එකක් හදන තත්ත්‍වයකට අපේ ටෙලිනාට්‍ය සම්ප්‍රදාය පහතට වැටී ඇතිබව කණගාටුවෙන් වුවද පැවසීමට සිදු වී ඇති බව හෙතෙම පැවසීය… මේ අපේ ටෙලිනාට්‍යවල තත්ත්‍වයයි.

බටහිර රටවල නම් ටෙලිනාට්‍යවලට ලැබෙන ප්‍රේක්‍ෂක ප්‍රතිචාර අනුව  නාට්‍යය නරඹන සංඛ්‍යාව දිගටම පහළ බසී නම්, නාට්‍ය මාලාව මැදදී වුවත් ගලවා ඉවත් කිරීම සිදු වේ. නමුත් අපට සිදු වන්නේ මොන දහජරාවක් වුවත්, නාට්‍ය මාලාව අවසන් වනතුරු නැරඹීමට වීමයි: එය ඉතා කණගාටුදායක තත්ත්‍වයකි. එයින් වඩාත්ම අප්‍රසන්න සිදුවීම වන්නේ වෙළඳ දැන්වීම් නරඹන අතරතුර ටෙලි නාට්‍යයේ විනාඩි පහක් පමණ නැරඹීමට සිදු වීමයි. එයින් වෙළඳ දැන්වීමක්වත් හරිහැටි බලාගැනීමට නොහැකි වේ.

එදා අප දුටු වෙදහාමිනේ, දඬුබස්නාමානය, අකාල සන්ධ්‍යා, ගිරය, කඩුල්ල, යශෝරාවය, අඹයහළුවෝ වැනි ටෙලිනාට්‍ය අපට කවදා යළි නැරඹීමට හැකි වේද ? එදා මාධ්‍යයන්ගෙන්අප දුටු පරිණතබව, දැනුම, අපේ ඉදිරි පරපුරට කවදා දැකිය හැකි වේද ?

2011 ජනවාරි 09 : බෙල්ලන්විල පන්සලෙත් හොරු…….


අද ඉරිදා…. ගෙදර ඉන්න දවස….

උදේ ඉඳලා ගෙවල් වලින් දුරකථන ඇමතුම් එනවා…. අපි හැමදාම ඉරිදාට බලාපොරොත්තු වන දුර ඇමතුම තමයි ඇල්කෙමිච්චිගේ ගෙදරින් එන දුර ඇමතුම… ඇල්කෙමිච්චිටත් වඩා ඇල්කෙමිච්චිගෙ මෑණියන්දෑ මම බෑණාට හරි ආදරෙයි…. තමන් කොච්චර අසනීපව හිටියත්, අපේ අසනීප තත්ත්‍වය ගැන තමයි නිතර සොයා බලන්නේ. ලංකාවට ගියාමත් කැමති කැමති කෑම හදවලා දෙනවා. ඒ වගේමයි ඇගෙන් ජීවිතයට ලැබෙන අවවාද අනුශාසනා; තමන් ධර්මයෙහි පිහිටා, අනුන්වත් ඒ මාර්ගයේ ගෙනයන්න – යවන්න දරන වීරිය ආදිය .  අනේ මේ නැන්දම්මා ජාති ජාතිත් සංසාරයේ හම්බවෙන්න ඕන.

ඒත් අද උදේ ඈ ගෙනා ආරංචිය ඇහුවාම තවමත් ලංකාවේ මහ ජරා මිනිස්සු ජීවත් වෙනවා නේද කියන හැඟීම සිතට ආවා. ඇල්කෙමිච්චිගෙ නංගි බෙල්ලන්විල පන්සලට ඊයේ ඇගේ සැමියා සහ දියණිය සමඟ ‍ගොස් ඇත්තේ අවුරුද්දේ මුල් දිනවල පන්සලට ගොස් වතාවත් කිරීමට නොහැකි වූ නිසා. ඇය සිය දියණිය stroller එක මත තබා සිය සැමියා සමඟ පහන් දැල්වීමේ කටයුත්තේ නියැලී තිබෙනවා. සාමාන්‍යයෙන් පුරුද්දක් වශයෙන් ඈ සිය දියණියගේ ගමන් මල්ලත් සමඟම ඇගේ අත් බෑගයත් Stroller එකේම තබා තිබෙනවා… ඒ අසළ මිනිසුන් කිහිප දෙනෙක් සහ කාන්තාවන් කිහිප දෙනෙක් ගැවසී තිබුණත්, ඔවුන් එය වැඩි ගණනකට නොගෙන ඇත්තේ එය සාමාන්‍ය දෙයක් ලෙස සිතායි.

නිවසට පැමිණෙන්න සූදානම් වුන විටයි ඇයට තේරුම් ගොස් ඇත්තේ ඇගේ අත් බෑගය නොමැති බව…  ඇගේ අත් බෑගය පන්සලේ පහන් දල්වන අවස්ථාවේ එතැන ගැවසුන කිසිවෙකු විසින් රැගෙන ඇති බවයි සැම දෙනාගේම නිගමනය වුනේ. එම අත් බෑගයේ මුදල්, ජංගම දුරකථනය, ක්‍රෙඩිට් කාඩ් පත්, රියදුරු බලපත්‍රය ඇතුළු සමහරක් වටිනා ලියකියවිලි අඩංගුව තිබුණා. එසේම ඇගේ ජංගම දුරකථනය තුළ ඇගේ දියණියගේ ඡායාරූප සහ වීඩියෝ ද පටිගත කර තිබූ බවයි පසුව ඈ අප සමඟ පැවසුවේ..

මෙය බොහෝ අනුහස් ඇතැයි සැලකෙන බෙල්ලන්විල පන්සලේ දිම සිදු වූවක්… පන්සල්වල ඇති අනුහස් හෝ දෙවියන් පිළිබඳ එතරම් විශ්වාසයක් මා සිතේ නැතත්, සාමාන්‍යයෙන් පන්සලක සිදු වන මෙවැනි ක්‍රියා පිළිබඳ මා තුළ නම් ඇත්තේ අප්‍රසාදයක්.. පන්සලකට යත්දී වටිනා දේ අඩංගු අත් බෑග් ගෙන නොයාම සාමාන්‍ය සිරිත වුවත්, ඇගේ බෑගයේ මූල්‍යමය වශයෙන් එතරම් වටිනා දෙයක් තිබී නැහැ… තිබී ඇත්තේ ඈට පමණක් වටිනා වූ Sentimental Value අතින් වැදගත් භාණ්ඩ කිහිපයක් පමණයි.

ඇයි මේ මිනිස්සු පන්සල් වලදීත් හොරකම් කරන්නේ.. ? පන්සලක්, පල්ලියක්, කෝවිලක් යනු මිනිසුන් සිත් සැහැල්ලුවෙන් වැඳුම් පිදුම් කිරීමට එන තැන්…  මෙසේ සොරකම් සිදු වන විට පන්සලකට මිනිසුන් යාමේ මූලික අභිප්‍රාය පසෙක ලා තම තමන්ගේ භාණ්ඩ පරිස්සම් කිරීමේ තෘෂ්ණාව සිතට වද දෙනවා.. මෙවිට ඇත්ත වශයෙන්ම පන්සලට නොයනවාට වඩා පවක් සිද්ධ කර ගැනීමක්….

මිනිසුනේ… සමහර විට ඔබට අමාරුකම් ඇති…. ඒත්, කෙනෙකුගෙන් හොරකම් කරගැනීම ඒ අමාරුකම් පියැවීමේ දීර්ඝකාලීන පියවරක් නොවෙයි. එය පහසු වෙන්නට පුළුවන්, නමුත් කුරුමානම වැරදුනොත් ඇට කුඩුවෙන සම්භාවිතාවත් ඒ වාගේම සරළයි…

පූජ්‍ය සිද්ධස්ථාන කියන්නේ මිනිස්සු සිත නිදහස් කරගන්න පැමිණෙන තැන්… ඒවා ඒ අයුරින්ම නිදහසේ වන්දනාමාන කරගන්න ලැබෙනවා නම් ලෝකය කොයිතරම් ලස්සන වේවිද ? ලංකාවේ කවදා ඒ තත්ත්‍වය දැක ගන්න ලැබේවිද ?

%d bloggers like this: