Blog Archives

2012 ඔක්තෝබර් 13 : ඔබ මේ විනාශ කරන්නේ ඔබේ පුතාගේ – දුවගේ ජීවිතයයි….


රටක  අනාගතය එහි තරුණ පරපුර සහ ළමා පරපුරයි. නිරෝගී ළමා-තරුණ පරම්පරාවක් නොමැති රටක අනාගතය අඳුරුය. බොහෝ දියුණු සහ දියුණු වෙමින් පවතින රටවල දූරදර්ශී නායකයින් අන් සියල්ලට වඩා මේ පරම්පරාවේ සුගතිය වෙනුවෙන් තැනක් දෙන්නේ එය අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් නිසාවෙනි. නිරෝගී පරපුරක් ඇති රටක සෞඛ්‍ය ක්‍ෂෙත්‍රය වෙනුවෙන් වියදම් කළ යුතු මුදල අඩු වේ. දැනට ගණන් බලා ඇති පරිදි ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍යය සඳහා යන වියදමෙන් 21% ක් වැය වන්නේ ස්ථුලතාවය වෙනුවෙන් කෙරෙන ප්‍රතිකාර සහ ප්‍රචාරණයන් වෙනුවෙනි. දීර්ඝකාලීන ක්‍රියාමාර්ග ගැනීමෙන් අනාගතයේ වැඩිවන සෞඛ්‍යමය ප්‍රශ්න සහ ඖෂධ-උපකරණ-සේවා යන වියදම් අඩු කිරීමට හෝ පාලනය කිරීමට අනාගත රජයයන්ට හැකි වන නිසා රටක් ලෙස ඔවුන් අනාගතය වෙනුවෙන් ආයෝජනය කරති. විශේෂයෙන් දරුවන් රෝග වලට භාජනය වීමට ඉඩකඩ වැඩි වන විට ඔවුන් තරුණ පරපුර බවට පත්වන කල්හි ඔවුන්ගේ සෞඛ්‍යයේ පිරිහීමක් දක්නට ලැබේ. මෙය රටක ඵලදායීතාවයට සහ කාර්යක්‍ෂමතාවයට දැඩි පහරක් එල්ල කරයි. මේ වෙනස දියුණු රටවල් සහ දියුණුව කරා (ඓශ්චර්යය කරා නොව) ගමන් කරන රටවල දැකිය හැකි පොදු ලක්‍ෂණයකි.

මේ ලිපිය ලියන්නට හේතුසාධක වූයේ The Island පුවත්පතේ වූ Child health crisis looms 37 % schoolgirls, 17% schoolboys obese නම් වූ ලිපිය ඇස ගැටීම හේතුවෙනි.

තමාගේ දරුවා දෙමාපිය යුවලකට ඇති මහඟුම සම්පතයි. පිළිසිඳගත් දා සිට මවක් සිය දරුවා වෙනුවෙන් කරන කැපවීම මේ ලොව සියළු කැපවීම් අභිබවා යයි. පියෙකු සිය ජීවිත කාළය පුරාම වෙහෙසෙන්නේ සිය දරුවන් සමාජයේ තමන්ට වඩා ඉහළ තැනක වැජඹවීමටය. මේ දෙමාපිය යුවලකගේ ලේ සම් මස් ඇටමිඳුලු පුරා දිවෙන දාරක ස්නේහයයි. උපන්දා සිට තම දරුවා වෙනුවෙන් නිඳිවැරීම, දුක්විඳීම මවකගේ ඉරණම හා බැඳී පවතී. ඒ වෙනුවෙන් ඇයට අමතර දීමනා හෝ විශේෂ ත්‍යාග නොලැබේ.. ලැබෙන්නේ දරුවන් හොඳින් හැදෙනු වැඩෙනු බලා – සමාජයේ හොඳින් වැජඹෙනු බලා ලබන සතුට පමණි. වෙනත් යමක් ලැබේ නම් එය අගනේය.. සමහර මවුන් මේ අච්චුවෙන් ඉවතට පැන දරුවන්ට වඩා තම සුවය පතා ගියත්, 90% කට වඩා මවුවරුන් පියවරුන් සිය දරුවන් වෙනුවෙන් ජීවිතය කැප කරති.

ළමා ස්ථුලතාවය – වැළැක්විය හැකි ව්‍යසනයකි.

දරුවා පෝෂණය කිරීම මවකගේ පියෙකුගේ මූලික කටයුත්තයි. ඒ වෙනුවෙන් තම හැකි පමණන් පෝෂ්‍යදායී ආහාර ගෙන දීම කොයි මවත්-පියාත් කරන මූලික දෙයකි. මේ කටයුත්තේදී තම නැණ පමණින් සහ තම ආර්ථික මට්ටම අනුව උපරිමය කිරීමට ඔවුහු කටයුතු කරති. ගමේ වෙසෙන දෙමාපියන් නිතිපතා තම හැකි පමණන් දරුවන් පෝෂණය කළත්, ඉඳහිට හෝ කුකුළුමස් කැබැල්ලක්, චොකලට් පෙත්තක් ආදිය ගෙනවිත් දීමට තමන්ට හැකිනම් පසුබට නොවෙති. නාගරික මධ්‍යම සහ උසස් මධ්‍යම පාන්තික පවුල්වල තත්ත්‍වය මෙයට තරමක් වෙනස් වේ. ඔවුහු බොහෝ දුරට වාහනයක් පාවිච්චි කරන, තරමක පෝෂ්‍යදායී ආහාර වේලක රස බලන, කුකුළු මස් – හැම් බේකන් හෝ බටර් මාගරින් ආදියේ රසකැවිළි ආදියේ පහස වඩා වැඩියෙන් ලබන කාණ්ඩයකි. එසේම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔවුන් අමතර පන්තිවලට, අමතර ක්‍රියාකාරකම් වලට ගෙනයන, ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් වැඩි ආයෝජනයක් කරන කාණ්ඩයකි. ඔවුන්ගේ කාලසටහන කාරය බහුලය. බොහෝවිට මවත් පියාත් රැකියා කරන උදවිය වේ. මේ නිසාම සමහරවිට දෛනික ආහාර වේල ගැන ලැබෙන්නේ අඩු අවධානයකි. දවස පුරා වෙහෙස වී දරුවන් කැටුව නිවසට පැමිණෙන මව සහ පියා කිහිප දෙනෙකුට කෑම ඉවීමේ භාරදූර කටයුත්ත වෙනුවට වඩා පහසු වූ ආහාර වේලක් මඟින් ගෙන ඒම හෝ නිවසටම ගෙන්වා ගැනීම යන කටයුත්තට යොමු වෙති. මේ ආහාර වේල් බොහෝ දුරට එතරම් සෞඛ්‍යාරක්‍ෂිත නොවිය හැකිය. අධිකව තෙල් සහ රසකාරක දැමූ මේ ආහාර බොහෝ දුරට ස්ථුලතාවයට පාර පෙන්වන බව සොයාගෙන ඇත. ඔවුනට ඇති ආදරය නිසාම, දරුවන් වඩා කැමති McDonalds, KFC, Pizza Hut වැනි ක්‍ෂණික ආහාර සපයන ආපනශාලා වලට යාමට හෝ ඒවායින් ආහාර රැගෙන ඒමට දෙමාපියෝ කටයුතු කරති. එසේම විවිධ කෝලා වර්ග- පැණි බීම වර්ග ආදියද ලබා දීමට ඔවුන් කටයුතු කරති.

මෙයට අමතරව බොහෝ දරුවනට පාසලේ සහ අමතර පංතිවල ක්‍රියාකාරකම් අධිකය. අද පවතින තරඟය නිසාම ඔවුන් අමතර පන්ති එකක් හෝ කිහිපයකට සහභාගී වී නිවසට පැමිණෙන්නේ බොහෝ වෙහෙස වී සහ ප්‍රමාද වීය. ඔවුනට එළියකට පහළියකට බැස ක්‍රීඩාවක් කිරීමේ අවස්ථාව ඉතාම අඩුය. බොහෝ විට සති අන්තය ද පෞද්ගලික පන්ති, සංගීත පන්ති, චෙස් පන්ති, ආදී පන්ති කරා යාමට සිදු වේ. මේ නිසා දරුවන්ට ඇඟ වෙහෙසා ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නැති තරම්මය. සමහර දෙමාපියෝ තම දරුවන් කරාටේ හෝ පිහිණුම් සඳහා රැගෙන යති. ක්‍රිකට් ද ක්‍රීඩා කෙරෙන නමුත් එය කොපමණක් දෙනා කරනවාදැයි නොදනිමි. කෙසේ වුවත් වසර විස්සකට පමණ පෙර රට පැවති තත්ත්‍වයෙන් අප බොහෝදුරට අපගමනය වී ඇත.

පාසැල් ගොස් පැමිණෙන අප අමතර පන්ති ගියත් අවම වශයෙන් සතියකට දින දෙකක් හෝ කිසියම් ම ක්‍රීඩාවක නියැළුණෙමු. පන්තියේ යහළුවන් හෝ වට පිට මිතුරන් කිහිප දෙනෙකු එකතුකරගෙන හෝ ක්‍රිකට් ගැසීම කළෙමු. ඇති තරම් දිවුවෙමු. තරමක් වැඩුන පසු වොලිබෝල් වැනි ලොකු මිනිසුන්ගේ ක්‍රීඩාවලට ද සහභාගී වුනෙමු. 2001 දී ලංකාවෙන් පිටවන තුරු බොහෝ දුරට සතියකට වතාවක් ක්‍රිකට් ක්‍රීඩාවත්, දවසක් ඇර දවසක් වොලිබෝල් ක්‍රීඩාවත් කිරීමට පුරුදු වී සිටියෙමි. ඒ අසළ වූ තරුණයන්- යෞවනයන් දහයක් දොළහක කණ්ඩායමක් සමඟිනි. පසුගිය මාස දෙකේ ලංකාවේ ගත කළ කිසිම දිනක මට ක්‍රීඩාවකට සහභාගී වීමේ අවස්ථාව නොලැබුණි. කිසිවෙකු දැන් ක්‍රීඩා නොකරයි. වොලිබෝල් පිට්ටනිය තිබූ තැන කැළයෙන් වැසී ඇත. සියළුම දෙනා හැල්මේ දුවති – ව්‍යායාමයට නොව ජීවිතය ගැට ගසා ගැනීමේ තරඟයට.. මේ දශක තුනක් තුළ ලාංකීය ජීවිතයේ සිදු වූ වෙනසයි.

මෙය සමාජයේ සියළුම වයස් ස්ථර වලට බලපායි. මා දන්නා මගේ වයස මට්ටමේ සහ වසර කිහිපයක් වැඩිමහළු කිහිප දෙනෙකුම හදිසි හෘදයාබාධ වලින් අප හැර ගොසිනි. මගේම වයසේ මිතුරන් අධික රුධිර පීඩනයෙන් පීඩා විඳිති. සමහරුන්ට දියවැඩියාවය. බොහෝ දෙනෙක්ගේ උදරය ඉදිරියට නෙරාවිත් ඇත… ඒ කිසිවෙකු මා දන්නා ආකාරයට සිය ශරීර සෞඛ්‍යය පිළිබඳ වැඩිදුර අවධානයක් ඇත්තෝ නොවෙති. පෙර පැවති කඩවසම් බව තවමත් පවත්වාගෙන යන කිහිප දෙනා නම් තවමත් පෙර පරිදිම ක්‍රීඩාවේ නියැලෙති. ඒ මා ගියවර ලංකාවට ගියවිට අත්විඳි සත්‍යයයි.

කුඩා දරුවන්ට සිය ජීවිතය දරුවන් හැටියට ගත කරන්නට………

මේ දෙමාපියන්ගේ දරුවන් ද දුවන්නේ තරඟය ජය ගැන්මටය. ඔවුනට සිය සෞඛ්‍යය ගැන මතක් වන්නේ එක්කෝ රෝගයක් වැළඳුන විට හෝ වෙනත් කාරණයකට වෛද්‍යවරයෙකු වෙත ගියවිට වෛද්‍යවරයා මතක් කළහොත් පමණි. එවිට ඔවුහු පමා වූවා වැඩි විය හැක. මේ තිත්ත ඇත්තයි. ලංකාවේ බොහෝ දෙනා සිතන්නේ දරුවන් තරමක් මහතට සිටීම ඒ දරුවා සනීපෙන් සිටින බවට බාහිර මිම්මක් ලෙසිනි. එසේ වුවද දැන් දැන් ආහාර වලට එක් කරන හෝමෝන සහ විවිධ රසකාරක නිසා දරුවන්ගේ ශරීර තුළ විවිධාකාර අසාමාන්‍ය වෙනස්කම් සිදු වේ. පෙර කළ අවුරුදු 13-15 අතර වැඩිවිය පැමිණෙන ගැහැණු දරුවන් දැන් අවුරුදු 9-10 වන විට වැඩිවිය පැමිණෙන්නේ මේ හෝමෝන අනවශ්‍ය ලෙස දරුවන්ගේ සිරුරු තුළට ඇතුළු වීම නිසාය. පිරිමි දරුවන් මෙන් නොව බොහෝ විට ගැහැණු දරුවන්ට වැඩිපුර ඇඟ වෙහෙසා ක්‍රීඩාවක් කිරීමට අවකාශයක් නොලැබේ. සමාජයීස මෙන්ම සංස්කෘතික බාධා තවමත් අප වෙලාගෙන ඇත. මේ නිසා සහ ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියා නිසාම ඔවුන්ගේ සිරුරු තුළ මේදය තැන්පත් වීම වැඩිපුර සිදු වේ. මේ නිසා ගැහැණු දරුවන් ස්ථුලතාවයට පත් වීම වැඩිපුර සිදු වේ. එසේම මෙය පසුකාලීනව ඔවුන්ගේ ජීවිත මෙන්ම ආත්ම විශ්වාසයට ද බලපායි. මේ නිසාම තරුණ වයසට පැමිණෙත්දී ඔවුන් ආහාර පාලනයට නතු වේ. මේ නිසා තරුණ කාළයේදී අවශ්‍ය පෝෂණය නොලැබී යයි. මෙය බලපාන්නේ ඊලඟ පරපුරටය..

මෙය චක්‍රයකි. මේ චක්‍රය බිඳ හෙළිය හැක්කේ දරුවන්ට නිසි පෝෂණය නිසි ආකාරයට කුඩා කාළයේදීම ලබා දීමෙනි. ආහාර පාලනය – සමබල ආහාර ලබා දීම. ආහාර ලබා දීමේදී සෞඛ්‍යාරක්‍ෂිත බව පිළිබඳ සැලකිලිමත් වීම යන කාරණා සාක්‍ෂාත් කර ගතහොත් තම දරුවන් අනාගතයේදී රෝගීන් වීමෙන් වලක්වා ගත හැක. සත්තකින්ම මෙහි වගකීම ඇත්තේ දෙමාපියන් හා ගුරුවරුන් වෙතයි. ඒ තමන් දැනුවත් වීමෙන් හා අනුන් දැනුවත් කිරීමෙනි. දරුවන්ට ඇඟ සොලවා ක්‍රීඩා කිරීමට අවකාශ ලබා දීමෙන් ඔවුන්ගේ රුධිර සංසරණය ක්‍රමවත් වී මානසිකවද ප්‍රබෝධමත් වේ. මානසිකව ප්‍රබෝධමත් දරුවා අධ්‍යාපනයේ ඉහළට යයි. සමබරව සිතයි. වැරදි තීරණ නොගනී…

අප කොපමණ ලිපි ලිවුවත් කියවන ඔබ මෙයින් 10% ක් හෝ අනුගමනය නොකරනවා නම් එහි ඇති අරුතක් නැත.. බටහිර රටවල ප්‍රධාන ප්‍රශ්නයක් වී ඇත්තේ ළමා ස්ථුලතාවයයි. බොහෝ දරුවන් සිය වයසට වඩා බරින් වැඩිය. බොහෝ දරුවන් විවිධාකාර රෝගවලින් පෙළෙති. දැනුවත් දෙමාපියෝ සිය දරුවන් සමබර ලෙස හදා වඩා ගනිති. බොහෝවිට ඔවුන් ආහාර පාලනය – එළිමහන් ක්‍රීඩා කෙරෙහි දරුවන් යොමු කිරීම මෙන්ම පවුලේ ක්‍රියාකාරකම් මගින් දරුවන් නිරෝගී කිරීමට වගබලා ගනිති. ඒ සමාජයෙන් 10 % ත් 20 ත් අතර කොටසකි. ඉතිරිය රැල්ලට හසු වී ගසාගෙන යති – පසුව පසුතැවිලි වෙති.

අවශ්‍යතාවය ඇතිනම් වෙනස් විය හැකිය.සමහර එළවළු වර්ග තම වත්තේම වගා කරගත හැකිය. තමන් වගා කරන ගමන්ම තම දරුවන්ටත් එක් එළවළු පාත්තියක් වගා කිරීමේ වගකීම පැවරිය හැකිය. එයින් ඔවුන් ඇඟ වෙහෙසා යමක් කිරීම- වගකීමක් දැරීම- ඉන් ප්‍රතිඵල ලැබීම වැනි බොහෝ දේ ඉගෙන ගනිති. කඩෙන් ගෙන එන පළතුරු බීම වෙනුවට පළතරු ගෙඩියක් දෙකක් බ්ලෙන්ඩරයට දමා අවම සීනි ප්‍රමාණයක් දමා තමන් විසින්ම පළතුරු බීමක් සාදා ගත හැකිය. එය තම දුවට පැවරීමෙන් ඒ වගකීම සහ දැනුවත් භාවය තවත් පරපුරකට සන්නිවේදනය වෙනවා ඇත. මෙසේ තම චර්යාවන් වෙනස් කර ගැනීම මගින් තමන්ගේත් පවුලේත් සුභසාධනය සළසා ගත හැක. ආණ්ඩුවෙන් හෝ පාසැලෙන් ඒ දේ කෙරෙනවාට වඩා ස්වයං පාලනයෙන් – ස්වයං වාරණයෙන් සහ අවබෝධයෙන් යමක් කරා යාම සතුටක් දනවයි. අදම ඔබ පවුලේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කර තමන්ගේ පවුලේ චර්යාවන් වෙනස් විය යුත්තේ කෙසේද කියා බලා වෙනස් වුවහොත් 2020 වන විට රටේ ජනගහනයෙන් 50% වන දියවැඩියා රෝගීන්ගේ කොටසට නොවැටී සිටීමට ඔබටත් හැකි වේ. නැතහොත් 2020 වනතෙක් කීදෙනෙක් ජීවත්ව සිටී දැයි බලා ඔබටම සුසුම් ලෑ හැකිය….

ඔබේ පවුල රැක ගැනීමේ – ඔබ ආරක්‍ෂාවීමේ තීරණය ඔබ සතුය… අපට හැක්කේ එය කියාදීම පමණි.

ඉතින් සිතන්න…. අදම ක්‍රියාකරන්න…. සමාජයක් වෙනස් කළ හැක්කේ ඔබ වෙනස් වීමෙන් පමණි. ඔබ වෙනස් වී අවට සිටින්නවුන් එක එකා වෙනස් කරන්න…

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

අර මුහුණු පොතේ තියෙන  විකාර වගේ “මේකට කැමති නම් Like කරන්න – මේකට කැමති නම් Share කරන්න” කියලා මම කියන්නෙ නෑ…. මම කියන්නෙ මේක බෙදා ගත්තොත් කිහිප දෙනෙක් දැනුවත් වෙයි කියලා විතරයි…. Like කෙනෙක් Share කරගන්න.

ප.ලි. හෙට වැටෙන ලිපිය නම් බොහෝ දෙනාට වැදගත් වෙන කතා කරන්න අකැමැති මාතෘකාවක් ගැන…  දැනටම ලියලා නම් ඉවරයි… හෙට බලමු.

මේ ලිපියම Blogger.com එකේ ඇල්කෙමියාගේ දිනපොත යටතේම තිබෙනවා.

Advertisements
%d bloggers like this: