Blog Archives

2012 මැයි 29: ලසිත් මාලිංග නම් දේශද්‍රෝහියා…… නිදහස් මිනිසා…..


ලසිත් මාලිංග ලංකාවේ දැනට සිටින භයානකම සහ දක්‍ෂතම පන්දු යවන්නා මෙන්ම ලෝකයේ දැනට ඉදිරියෙන්ම සිටින පන්දු යවන්නෙක් බවට කිසිදු සැකයක් නැත. ගාල්ලේ කුඩා පාසලක ටෙනිස් බෝලවලින් ක්‍රිකට් ගහ ගහා හිටි මේ කොළු ගැටයා ලෙදර් බෝල ගස්සවන්නට ගෙන ආවේ ගුරුතුමෙකි. විද්‍යාලෝක විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරන අතරතුර එක තරඟයක් විනිශ්චය කළ මහතෙකු (මහින්ද විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා උපදේශකවරයාදැයි මම නොදනිමි) මහින්දයේ දොර විවර කර දුනි. එතැන් පටන් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය අළුතින් ලියැවුණි.

ක්‍රිකට් ක්‍රීඩාවට නව ආරක පන්දු යවන්නෙක්, පිතිකරුවනට අළුත් භීතිකාවක්, ක්‍රිකට් ලෝලීන්ට අළුත් මාතෘකාවක්, අළුත් විලාසිතාවක්, අළුත් උන්මාදයක් බිහි වූයේ එතැන් සිටය. ලොව ක්‍රිකට් ක්‍රීඩකයන් කොතෙක් සිටියද, මාලිංගගේ විලාසිතා සහ පන්දු යැවීමේ රටාවට සම කළ හැකි කිසිවෙක් මෙතෙක් ලොව බිහිව නොතිබුණි. මේ නිසාම ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු ආභරණයක් විය. ඉලක්කයට, සිතා මතා යෝකර් පන්දු යැවීමට හැක්කේ පන්දු යවන්නන් අතලොස්සකට පමණි. ඉන් මාලිංග සිටින්නේ ඉදිරියෙන්මය. පිතිකරණයේදී ද ඉඳහිට සහ අවශ්‍ය අවස්ථාවල සිය දායකත්‍වය ඔහු සැපයීය. ඇන්ජලෝ මැතිව්ස් සහ මාලිංගගේ සුපිරි වික්‍රමයම එයට සාක්‍ෂි දරයි.

මාලිංග දන්නේ ක්‍රිකට් පමණි. එය ඔහුගේ රැකියාවය. අනෙක් ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන් මා දන්නා පමණින් ඹහු ව්‍යාපාර වලට තවමත් අතගසා නැත. එසේ අතගසා ඇත්නම් ඉතා හොඳය. මාලිංගගේ ක්‍රීඩා ශෛලිය නිසාම ක්‍රීඩා කිරීමේදී, පුහුණුවේදී, ඔහුගේ ශරීරයට අනවශ්‍ය බරක් පැටවේ. මේ නිසාම ආබාධවලට ගොදුරු වීමේ ඉඩකඩ වැඩිය. පසුගිය වසරක ඔහුට සිදු වූ දණහිස් ආබාධයකින් වසරක් පමණම ක්‍රීඩාවෙන් ඉවත්ව සිටීමට ඔහුට සිදුවිය. මේ කාලය ඇතුලත ඔහුව මධ්‍යම ක්‍රිකට් කොන්ත්‍රාත්තුවෙන් ඉවත් කරන්නටත් අපේ ක්‍රිකට් බලධාරීන් කටයුතු යොදා තිබුණා. සුව වූ අන්දම ආශ්චර්යයක් වුවත්, ජනාධිපතිතුමා මාර්ගයෙන් (ජනාධිපතිතුමාගේ වෛකල්පිත වෛදයවරයා යැයි කියන – එහෙත් ප්‍රතික්‍ෂෙප කරන) එලියන්ත වයිට් මහතා වෙත යොමු කෙරුණු ඔහු සුවය ලබා නැවත ක්‍රීඩාවට පිවිසියා. මේ යථාර්තයයි.

මා දකින අන්දමට ඔහු වෘත්තීය ක්‍රීඩකයෙක්. ලංකාවේ අන් සියළුම වෘත්තියකයන් මෙන් ඔහුද රැකියාවක් කරන්නෙක්, ඔහුගේ රැකියාව ක්‍රිකට් ක්‍රීඩාව. ගිවිසුම් අත්සන් කළ නිසා ඔහු ලාංකීය ක්‍රිකට් කණ්ඩයමේ සාමාජිකයෙක් වුනා. ගිවිසුම් වලින් නිදහස් වූ අය වෙනත් රටවල හෝ කණ්ඩායම් වල ක්‍රීකට් ක්‍රීඩා කළා. චමින්ද වාස් හොඳ උදාහරණයක්. ඔහුට පල නොකියා පලා බෙදෙද්දී ඔහු එංගලන්න ප්‍රාන්ත ක්‍රිකට් සමාජවල ක්‍රීඩා කර තරඟයේ වීරයා සහ තරඟාවලිවල ඉහළ පිළිගැනීමකට ලක් වුනා. ඒ අතරතුරදී වත් ඔහු නැවත කණ්ඩායමට කැඳවූයේ නැහැ. (ඔහුට කැඳවීමක් ලැබුණත් එය බංකුවට සීමා වුනා) මාංලිගට තම හැකියාවන් වර්ධනය කර ගැනීමට ඉවහල් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. ඒ ගැන විවාදයක් නැහැ. වෙනත් වෘත්තිකයින් ලංකාවේ විශ්ව විද්‍යාලවලින් ඉගෙන ගන්නවා හා සමානයි.

දැන් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ වූ ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්‍ෂෙප කරන නිසාම සමහරු ඔහුව දේශද්‍රෝහියෙකු ලෙස පවා හංවඩු ගසන තත්‍ත්‍වයකට පත්ව ඇත. ගොසිප් 9 හි ලිපියේ ප්‍රතිචාර බලන්න. හේතුව වන්නේ ඔහු ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්‍ෂෙප කිරීම, මේ නිසා ක්‍රිකට් ආයතනයට අවශ්‍ය පරිදි ඔහුව පාලනය කිරීමට නොහැකි වීම. මේ ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්‍ෂෙප කිරීම නිසා ඔහුට වාරණ දැමීමට ක්‍රිකට් ආයතනයට හැකියාවක් නැහැ. දැන් ඉතිං ක්‍රීඩකයන්ට මාධ්‍යයට කතා කරන්නත් අවසර ගන්න වෙලානෙ…. එසේම ඔහුට අවශ්‍ය නම් සංචිතයෙන් වුවත් ඉවත් වීමට පුළුවන්.

යමෙක් යම් ක්‍ෂෙත්‍රයක දක්‍ෂයෙක් නම් ඔහු/ඇය ට තමන්ගේ වටිනාකම අනුව ක්‍රියාකිරීමට හැකියාවක් පවතිනවා. අදක්‍ෂයින් බොහෝ දෙනා පසුපස යනවිට හෝ පවතින ක්‍රමය මත යැපෙන විට (පවතින ක්‍රමය දක්‍ෂයන්ට වඩා අදක්‍ෂයන්ට මුල් තැන දෙන නිසාම) දක්‍ෂයින් තම හැකියාවන් වලට මිලක් දෙන්නෙ (Demanding) ඒ බව දන්න නිසාම. හැකියාවන් සහ සුදුසුකම් ඇත්නම් හොඳ තැනකට යන්න කාටවත් බැරි වෙන්නෙ නැහැ. අපි විශ්ව විද්‍යාලවල ඉගෙනගෙන, ආචාර්ය උපාධි ගන්න කටු කාලා සුදුසුකම් සහ අගය වැඩි කර ගන්නවා වගේම මාලිංගත් උදේ හවා නොබලා පුහුණු වීම් කරලයි ඔය තැනට ඇවිත් ඉන්නෙ. නිකම් ඉඳලා ඔය වගේ හැකියාවන් ලබා ගන්න පුළුවන් නම් හැමෝම සාර්ථක වෙයි. (ඒ අතින් ලංකාවේ සාර්ථක වෙන්න පුළුවන් එකම රැකියාව දේශපාලනය විතරයි). හැකියාවන් ඇති අය සම්මුඛ පරීක්‍ෂණ වලදි තම වේතනය සහ පහසුකම් වැඩි කරගන්න තර්ක කරන්නෙත් ඒ වටිනාකම නිසාමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියන්නේ ලංකාවෙ දූෂිතම ආයතන දෙදාහක් පමණ අතරින් පෙරමුණේ සිටින ආයතනයක්.  සුදුසුකම් වලට වඩා ඥාති හිත මිතුරු සංග්‍රහ වලට මුල්තැන් දීපු මෙතැන සිදුවන කටයුතු පිළිබඳ කිසිවෙකු යහපත් ආකල්පයක් දරන්නෙ නැහැ. අති විශාල ලාභයක් ගන්නට තිබූ ලෝක කුසලාන තරඟ සංවිධානය සහ අනුග්‍රහය වැනි දේ වලින් අලාභයක් ලැබීම, ඉහළ නිලධාරීන්ට සංතෝෂම්, ක්‍රීඩකයන්ට වැටුප්වත් නොගෙවීම සහ තේරීම් මණ්ඩලයේ අක්‍රමිකතා වැනි දේ නිසාම මේ ආයතනය දූෂිත ආයතන වලින් ප්‍රමුඛස්ථානයේ පසු වන්නක්.

මගේ ආයතනයේ ප්‍රධානියා මම ආයතනයට අය කර දෙන මුදල විනාශ කරනවා නම්, මට නිසි වේතනය ලබා නොදෙනවා නම්, මම ඒ ආයතනයට තවත් සේවය කරනවාද නැද්ද යන්න පිළිබඳව මා වරක් නොව තෙවරක් වත් සිතා බලනවා. එසේම මා වෙත ඉහළ වටිනාකමක්, ඉහළ පිළිගැණීමක් ලබා දෙන්නට වෙනත් ආයතනයක් සූදානම් නම්, මුලින් සඳහන් කළ ආයතනය මා හට කෙතරම් පුහුණුවක් ලබා දුන්නත්, මගේ අනාගතය ගැන සිතා මම දෙවන ආයතනය වෙත යනවා. ඒ මනුෂ්‍ය ස්වභාවය සහ යතාර්ථය.

ලසිත් මාලිංග දක්‍ෂතාවයන් ඇති ඉහළම ගණයේ ක්‍රීඩකයෙක්. ඔහුව ලබා ගන්නට ක්‍රීඩා සමාජ පොරකනවා. තම පුරවැසිභාවය වෙනස් කර වෙනත් රටකට ක්‍රීඩා කිරීමට ඔහුට අවශ්‍ය යැයි ඔහු වැරදිලාවත් ප්‍රකාෂ කළහොත් රටවල් කීයක් ඔහුව මිලදී ගන්නට පොර කාවිද ? මෙයයි ඇත්ත තත්ත්‍වය.

අපේ රටේ කොතැනත් සිදු වන්නේ හරි දේ නොවෙයි. නුසුදුස්සන් තනතුරු වලට පත් කිරීම, වැරදි කළවුන් ආරක්‍ෂා කිරීම රටේ සම්ප්‍රදායක් වෙලා. මේ නිසාම සුදුස්සන්, උගතුන් සහ වෘත්තිකයන් රට හැර යන තත්ත්‍වයට පත් වෙලා. රටට නැවත පැමිණ සේවය කිරීමට උගතුන් සහ වෘත්තිකයන් සූදානම් නමුත් ඒ සඳහා සුදුසු වාතාවරණයක් බිහි වී නැහැ. මෑතකදී මගේ මිතුරකු අපූරු කතාවක් කිවුවා. ඒ ඔහුගේ මිතුරකු වන ශ්‍රී ලාංකික මහාචාර්ය වරයෙක් ඕස්ට්‍රේලියාවේ සිට ලංකාවට පැමිණ යම් ආයතනයක ඉතා ඉහළ තනතුරක වැඩ භාර අරගෙන තිබෙනවා. ටික කලක් සේවය කරගෙන යද්දී මේ ආයතනයේ සිදුවන යම් යම් අක්‍රමිකතා හඳුනාගෙන ඒවා නැති කිරීම/ අඩු කිරීමට පටන් අරගෙන ඇති මේ මහාචාර්යවරයා තම දෙවැනියාගේ සහ ඔහුගේ සහායකයන් ගේ අප්‍රසාදයට පත් වී තිබෙනවා. දේශපාලන හෙංචයියන් වූ මේ පිරිස ඉහළ තැන්වල ආධාරයෙන් මේ මහතා එතැනින් ඉවත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව ගැන කළකිරුණු මේ මහතා නැවත ඕස්ට්‍රේලියාව බලා ගොස් ඇත්තේ තවත් මෙවන් මෝඩ වැඩ “රට වෙනුවෙන්” කරන්නේ නැති බව ශපථ කරමින්. මේ එක් අවස්ථාවක් පමණයි. මෙවන් සිදු වීම් කීයක් රටේ සිදු වනවා ඇද්ද ?

ලසිත් මාලිංග සිය කොන්ත්‍රාත්තුව වෙනුවෙන් අසාධාරණ ඉල්ලීමක් ද කර තිබෙනවා. එනම්  සියළුම කොන්ත්‍රාත්තු අත්සන් කළ ක්‍රීඩකයන්ගේ වටිනාකම ම තමන්ට ද දෙන ලෙස කළ ඉල්ලීම. මෙය ඔහු කළ යුත්තක් නොවෙයි. ඒ අනෙක් ක්‍රීඩකයන් රට වෙනුවෙන් ඔහුට වඩා කැපවීමක් කරන නිසා. සේවයට සරිලන වැටුපක් ඉල්ලීම සාධාරණ වුවත් සමහර වෘත්තීය සමිති මෙන් ක්‍රියා කිරීම කළ යුතු නැහැ. කෙසේ වුවත් මා ලසිත් මාලිංග ගත් තීරණය බෙහෙවින්ම අගය කරනවා. බොරු දේශප්‍රේමීන් කෝටි ගණන් සිටින මේ රටේ කොන්දක් කෙළින් තියාගෙන තීරණයක් ගන්නට, තමන්ගේ අගය වටහා ගෙන එය තක්සේරු කර එයට අගයක් ලබා දෙන්නට මාලිංගට ඇති හැකියාව අගය කරනවා. ඔහුට ටෙස්ට් ක්‍රීඩා කිරීමට නොහැකි බව පැවසීම ඔහුගේ කටයුත්තක්. තමන්ට හැකි දේ තමන්ට නොහැකි දේ තක්සේරු කරගැනීමත් යම් හැකියාවක්. පිටත සිට ඔහුව විවේචනය කරන අයට සමහර විට මීටර සියයක් කෙළින් දුවාගන්න බැරිව ඇති, නමුත් ඔවුන් මාලිංගව විවේචනය කරන්න සූදානම්. තවමත් තරමක් හෝ ලෙදර් බෝල ක්‍රිකට් ක්‍රීඩා කරන කෙනෙක් හැටියට එහි ඇති අමාරුකම් මමත් දන්න කෙනෙක්. ක්‍රිකට් ක්‍රීඩාව නිසාම මගේ ඇඟේ මැහුම් දමාපු අවස්ථා, ඇඟිලි කඩා ගනිපු අවස්ථා තිබෙනවා. එය ලේසිපාසු කාර්යයක් නෙවෙයි. තමන්ගේ සේවය ලංකාවට අවශ්‍ය නිසාම සහ ඒ සඳහා අවශ්‍ය සූදානම, ශාරීරික යෝග්‍යතාවය පවත්වාගෙන යාම සඳහා ඔහු මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තය සමඟ වූ ගිවිසුමද අවලංගු කර තිබෙනවා. වෙනත් හේතු බලපෑවත්, ඔහු තවමත් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සිය කැමැත්ත දක්වා තිබෙනවා.

මේ නිසා මා ලසිත් මාලිංග දකින්නේ ඇත්තෙන්ම සිය හැකියාවන් මනාව හඳුනාගෙන සිය වටිනාකම මනාව තක්සේරු කළ කෙනෙක් හැටියට. ඒ වගේම සියළුම අනෙක් ක්‍රීඩකයන්ට ද තමන්ගේ වටිනාකම සොයා බැලීමට ඇස් ඇරවීමක් ලෙස. අනෙක් සියළුම වෘත්තිකයන්ට වෙනත් රටක සේවය කිරීමට හැකිවාක් මෙන්ම මාලිංගටද කැමති රටක කැමති ක්‍රීඩා සමාජයකට  ක්‍රීඩා කිරීමේ අයිතිය තිබෙනවා.

සිදු විය යුත්තේ මාලිංගව නිසි ලෙස පාවිච්චි කිරිමයි. නමුත් කළමණාකරණය යන කාරණය අතින් අතිශයින්ම පිටුපසින් සිටින ලංකාව සහ ලංකාවේ ආයතන වලින් මීට වඩා අවුලක් (Screw up) බලාපොරොත්තු වන්නට බැහැ..

ලසිත් මාලිංග දේශද්‍රෝහියෙක්ද ? නිදහස් මිනිසෙක් ද යන්න තීරණය කිරීම ඔබම කරන්න…..

%d bloggers like this: