Blog Archives
2011 ජනවාරි 15 : දුන්නොත් දානේ, ලැබෙයි නිධානේ….
අද බොහොම කාර්ය බහුල දවසක්… උදෑසනම පුතුගේ නව පාසල සඳහා වූ සැසියකට සහභාගී වෙලා මිතුරකුගේ නිවසේ පැවති දානයකට ගියා. මේ රටේ දානයකට යත්දී බොහෝ දෙනා කළින් නියම කරගත් පරිදි එක් ව්‍යංජනයක් හෝ කිහිපයක් පිළියෙල කරගෙනයි යන්නේ. ඒ අනුව අපත් ව්‍යංජන කිහිපයක් පිළියෙල කරගෙන ගියා.
දානයට ස්වාමීන් වහන්සේලා සිවු නමක් වැඩම කළා. එතැන සිටි අපේ මිතුරෙකු නායක හාමුදුරුවන්ගෙන් අපූරු පැණයක් ඇසුවා. එනම්, දානයක් සාංඝික කිරීමට ස්වාමීන් වහන්සේලා කී නමක් වැඩම කළ යුතුදැයි කියා. දානයක් යනු විනය කර්මයක් නොවන නිසා එක් ස්වාමීන් වහන්සේ නමක් වුවත් සෑහෙන බවයි උන්වහන්සේගේ මතය වුනේ. එසේම දානයක් ඕනෑම කෙනෙකුට ප්රදානය කළ හැකියි. සතුනට, නැති බැරි මිනිසුන්ට, මිතුරන්ට, උපාසක උපාසිකාවනට සහ ශ්රද්ධාවන්තයිනට වශයෙන්. නමුත් දානයක මහත් ඵල මහානිස්ස නිසි ලෙස ලැබෙනුයේ ඒ දානය ධාර්මිකව උපයාගත් දෙයින්, ලෝභ නොමැතිව, ශ්‍රද්ධා සම්පන්න උදවියට දීමෙන් බව උන් වහන්සේ ප්‍රකාෂ කළා…
දානයක් යනු දීමක්. එසේ යමක් දීමේ හැකියාව ඇත්තේ තෘෂ්ණාව අඩු තැනැත්තන්ටයි. යමෙකුට කිසිවක් දීම මෙලොව හෝ පරලොව සැප පිණිස කෙසේ හේතු වූවත් ඒ දේ ලබන පුද්ගලයාගේ සිත නම් සන්තෝසයට පත්වන බව නොඅනුමානයි..
ඔබ සතුවත්, ඔබ පාවිච්චි නොකරන දෑ අනන්තවත් ඇති.. නැති බැරි මිනිසුන්, අවතැන් වූ මිනිසුන් අනන්තවත් අප අවටම සිටිනවා… ඔබ අනවශ්‍ය ලෙස ඒ දෑ ගොඩගසා නොගෙන, අසරණ අය සමඟ බෙදාගෙන ඒ අයගේ මුව‘ඟ එක් සිනා රැල්ලක් සටහන් කිරීමට දවසක් හෝ උත්සාහ කළාද ?
එසේ නැත්නම්, ඔබට තවමත් අවස්ථාව තිබෙනවා… ගංවතුරෙන් අවතැන් වූ දහසක් දෙනා වෙත ඔබේ පරිත්‍යාගයේ දෑත් දිගු කරන්න පුළුවන්… සමහර විට, ඔබට කරදරයක් සිදු වූ විට, එයින් කෙනෙක් ම ඔබට පිහිට වේවි….