Blog Archives

2012 ජූලි 11: හුටා…. මයිටා…..


ඉස්සර ජංගි කොටයක් ගහගෙන ගෙදර ඉස්සරහ බළලුන් ජරා කරපු වැලි ගොඩේ ලැගගෙන බිංගෙවල් හාරනකොට අම්මලා අපව හෝදලා ගෙට ගන්නෙ ගෙදර නහයක් තියාගෙන ඉන්න බැරි නිසා. දවල්ට කාලා ආච්චිලගේ ගෙදර අයිනෙ තියෙන වැලි ගොඩවල බිංකුණ්ඩො හොයාගෙන ඇවිත් උන් බිම හාරගෙන ඇතුලට යනවා බලන්න අපටත් අතීතයක් තිබුණා. හවසට ලිඳට නාන්න ගියාම සීයා වෙලේ වතුර බැඳලා තියෙන වතුර පිරිච්ච කුඹුරේ මී හරක් වගේ දඟලලා දඟලලා මඩ නාගෙන ඉවර වෙලා තමයි අපි නාන්න ලිඳ ගාවට එන්නෙ. කුඹුරු මඩවන කාලෙට අන්තිම මී හරක් හතර දෙනාගෙ පස්සෙන් “හේ… මල්ලියේ….. ජහ්” කිය කියා මී හරක් පස්සෙ දිවුවත් කවුරුවත් නෙවෙයි වචනයක් කිවුවෙ… පොඩි එවුන්ගෙ ආසාවටත් වඩා ඒ අත්දැකීම් අපටත් ලබා දෙන්න ඒ අයට උවමනාවක් තියෙන්න ඇති. එහෙම වුනා කියලා අපට ඉඳලා හිටලා ඇතිවෙන සෙම් කෝපයකට වඩා ඉහෙන් බහින ලෙඩක් තිබුණෙත් නැහැ දෙයියනේ කියලා.. ඒ අපේ කුඩා කාළය…

දැන්..ඒකටත් එක්ක….. අපේ පැටියට දහයක් ජාති ආසාත්මිකයි… කන්න යමක් දෙන්න ඉස්සර වෙලා දහසක් ජාති අහන්න බලන්න වෙලා. අරවා තියෙනවාද මේවා තියෙනවාද කියලා. දැන් එයති ඒකට පුරුදු වෙලා කඩේකට ගියත් ගන්න කෑම වල ලේබලේ බලන්න පුරුදු වෙලා. පාරෙ වැටිලා ඉන්න කොල්ලන්ට මේ කිසි අමාරුවක් නෑ… උන් ජරාවත් එක්ක ජීවත් වෙලා පුරුදු වෙලාද කොහෙද ප්‍රතිශක්තිය වැඩියි… අපේ නිවෙස් පිරිසිදු වැඩියි… ඉතිං නිකම්ම ලෙඩ බෝ වෙනවා….

ඉස්සර නැති මයිටෝ දැන් දැන් ජංගම දුරකථනවලින් සොයා ගන්නවාලු… එකෙක් හොයාගෙන කවුද නොබෙල් ත්‍යාගය ගන්න තරම් ලොකු ප්‍රචාරයක් ගියා… මෙන්න දැනුත් හොයාගෙනලු…. අනේ මන්දා..

අනේ .. මයිටෙක් වෙන්න තියෙනව නම් කියලා කාට හරි හිතෙන්න බැරි නෑ…

දූවිලි මයිටා කියන්නෙ ඔය ගෙවල්වල ඉන්න මකුළුවොන්ගෙ ජාතියෙම කුඩා සත්තු ජාතියක්; මොවුන් වැඩිපුර නෑකම් කියන්නෙ කිණිතුල්ලන්ටයි. මොවුන් හැම තැනකම වගේ ඉන්න සත්තු ජාතියක්. බොහෝ විට දූවිලි එකතුවන ස්ථානවල තමයි ගැවසෙන්නෙ. ඇත්තෙන්ම මේ සතුන් ක්‍ෂුද්‍ර විලෝපිකයන් කොටසක්. ඍජු සූර්යාලෝකයට නිරාවරණය වුනොත් මොවුන් මිය යනවා. ඒ නිසා වෙන්න ඇති අපේ ආච්චිලා ඉස්සර දවල්ට කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි ආදී සියල්ල වේලෙන්න අවුවට දැම්මෙ. දැන් නම් ඒවා කරන්න වෙලාවක් නැහැනෙ. ඉතිං මයිටො බෝ වෙලා ඉතිරි වුනොත් ඇති. කොහොම වුනත් ගෙවල් ඇතුලෙ ඇති ආර්ද්‍රතාවය, අඳුරු බව, සූර්යාලෝකයට නිරාවරණය නොවීම වැනි කාරණා මේ මයිටොන්ට ජීවත් වෙන්න, ප්‍රචාරණය වෙන්න හොඳ තෝතැන්නක්.

මයිටන් අනතුරුදායක වෙන්නෙ ඔන් අපට ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සෑදීමට මුල් වන නිසා. සමහර විට ඔබ මයිටාවන්ට සංවේදී නම් දිගු කාලීන නිරාවරණය ඔබට ආසාත්මිකතාවයන් ඇතිකරවනවා විය හැකියි. ඔබ දැනටමත් ආසාත්මික නම් ඔබට ඔවුන් දැඩි අපහසුතා ඇති කරවන්නට පුළුවනි. සමහර විට ඇදුම පවා ඇති කරන්නට පුළුවනි.

දූවිලි මයිටාවන් නිසා ඇතිවන ආසාත්මිතකාවයන්ගේ රෝගලක්‍ෂණ වන්නේ,….

  • සුළු උණ තත්ත්‍වයන්, නාසයෙන් හොටු ගැලීම, කැසීම, කිවිසුම් යාම
  • සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්‍ෂණ නොමැති වුවත් නාසයේ අවහිරතාවයක් වැනි ගතියක්
  • ඇස් යට තද පැහැති ඉදිමුණ බවක්
  • ඇස්වලින් කඳුළු ගැලීම
  • ශ්වසන අපහසුතා, ඇදුම වැනි රෝග ලක්‍ෂණ
  • සම වියළීම වැනි ආසාත්මිකතාවයන් නිසා මතුවන රෝගලක්‍ෂණ මතු වීම
  • මුහුණේ රිදීමක් ඇතිවීම (රණ්ඩු වලට යන අයට මෙය අදාල නැත)

දූවිලි මයිටාවන්ගේ ඔබට ආසාත්මිකතාවයන් ඇති කරන්නේ ඔවුන්ගේ මළද්‍රව්‍ය සහ මියගිය සම වැනි කොටස් වලිනි. මයිටාවන් ශරීර ප්‍රමාණයෙන් විශාල වනවිට ඔවුන් හැව ඇරීමක් කරයි. මේ සම ඔබට ආසාත්මික විය හැක. ඔවුන්ගේ කෙටි ජීවිත කාළය තුළ සාමාන්‍යයෙන් මළද්‍රව්‍ය සහ සමේ කොටස් කැබලිති 2000 ක් පමණ ඔවුන් ඉවත දමයි. මේ කොටස් වල ඇත්තේ විවිධ ප්‍රෝටීන වර්ගයි. මේවා පෙනහළු තුළින් අප ශරීර වලට ඇතුළු වූ විට අපේ ශරීර ඒවාට සළකන්නේ ආගන්තුක ද්‍රව්‍ය ලෙසයි. එවිට ශරීරය ඒවා බැහැර කිරීමේ ප්‍රතික්‍රියාවක් දක්වයි, එය ආසාත්මිකතාවයක් ලෙසින් පිටතට දිස් වේ.

මේ මළ ද්‍රව්‍ය සහ සමේ කොටස් එකතු වන්නේ ඔබේ මෙට්ටයේ හෝ පුටුවේ වැනි ස්ථාන වලය. ඔවබ ඒවාට නිරාවරණය වූ විට ඔබට සමහර විට මේ ආසාත්මිකතා රෝග ලක්‍ෂණ ඇති විය හැකිය. සමාජයේ වෙසෙන බොහෝ දෙනෙකු මේ ආසාත්මිකතාවයන් දක්වන්නේ නැත.. එය පෙන්නුම් කරන්නේ බොහොම ස්වල්ප දෙනෙකි. මේ නිසා මෙය බොහෝ දෙනාගේ අවධානයට යොමු නොවේ.

දූවිලි මයිටාවන්ගෙන් සදහටම නිදහස් විය හැකිද ?

නැත, ඔවුන් ඇත්තෙන්ම දේශපාලනඥයින් මෙනි. මිනිසුන් ඇති තාක් කල් දේශපාලනඥයින් ඇති සේම දූවිලි ඇති තාක්කල් මයිටාවන් ද දැකිය හැක. ඔවුන් ඇති කරන්නේ අපමය.. දූවිලි සහිත තෙතමනය සහිත ස්ථාන ඔවුන්ගේ වගා බිම් වේ.. නිතර නිවෙස් සූර්යාලෝකයට විවෘතව තැබීමෙන් මෙය තරමකට පාලනය කරගත හැකිය. එසේම කොට්ට, මෙට්ට, පුටු ආදිය වේලෙන්න දැමීම, නිතර පිරිසිදු කිරීම වැනි පුරුදු වලින් දූවිලි මයිටාවන් පාලනය කරගත හැක… නිවසේ කිසිවෙකු දිගින් දිගටම ආසාත්මික ලක්‍ෂණ වලින් පෙළෙනවා නම් මේ ගැන සොයා බැලීම වටී. බොහෝ බටහිර රටවල මේ ප්‍රශ්නය වැඩිපුර දක්නට නොලැබෙන්නේ ඒ රටවල් ආර්ද්‍රතාවයෙන් අඩු වීම  (වියලි) නිසයි.

බොහෝ දෙනා මේ ආසාත්මිකතාවයන්ට ගොදුරු වෙන්නෙ නැහැ.. එයත් ජානමය ලක්‍ෂණ මත තමයි යැපෙන්නෙ. එකම කාමරයේ සිටින දෙදෙනෙකු ගත හොත් එක්කෙනෙක් ආසාත්මිකතා ලක්‍ෂණ පෙන්නුම් කරලා අනෙකා නිරෝගී වෙන්න පුළුවනි.

මෙම දූවිලි මයිටාවන් පාලනය කළ හැක්කේ ආසාත්මිකතාවයන්ට ප්‍රතිචාර දක්වන බෙන්සිල් බෙන්සොඒට් අඩංගු පිරිසිදු කිරීමේ ද්‍රාවණ මගින්.

ඉතින් පිරිසිදුව සිටීමෙන් සහ කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි නිතිපතා අවුවට දැමීමෙන් මේ මයිටාවන්ගෙන් බේරෙන්න පුළුවනි. ජංගම දුරකථනයේ ඉන්න මයිටාවොන්ට නම් ඉතින් කරන්න තියෙන්නේ ඕන නැති තැන්වල ඒක නොදාන එකයි… කොහොම වුනත් මේ මයිටාවන්ගෙන් ලොකු හානියක් සිදු වන්නෙ නැහැ….

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මේ බස් රේඩියෝවෙ තරඟාවලිය නිසා හැමදාම ලිපි දාන්න වෙලා… එක අතකට හොඳයි… මේ දවස්වල අධික වැඩ… කොහොම වුනත් මේක හොඳ දෙයක්… පුළුවන් තරම් දුරට මේ වැඩේ කරන්නයි බලාපොරොත්තු වෙන්නෙ… බලමු….

%d bloggers like this: