Blog Archives
ලෝකයේ පෙනහැල්ල සිදුරු වෙයි…. තවමත් අපි බලා සිටිමු.
අපි බොහෝ දෙනෙකු නිවාඩුවක් එනතුරු බලා සිටින්නේ කොහේ හෝ විනෝදගමනක් යාමටයි. ඒ විනෝද ගමන් යන බොහෝ දෙනෙකුම පාහේ සොයා යන්නේ එක්කෝ දිය ඇල්ලක්, වනාන්තරයක්, කඳුපන්තියක් හෝ එවැනි උස් බිමක්, මුහුදු වෙරලක් ආදී ස්වභාව සෞන්දර්යයෙන් අනූන පෙදෙසක් විනා, කොන්ක්‍රීට් පිරුණු නගරය නොවේ. ඒ අප සියළුම දෙනා තුළ ජීවත්වන සත්ත්‍වයාගේ අවදි වීමයි. කවුරු කෙසේ කීවත් අප තවමත් කැමැත්තක් දක්වන්නේ ස්වභාවික පරිසරය හා බද්ධව ජීවත් වීමටයි. ඉඩක් ඇති තැනක් හෝ අවම වශයෙන් නිවස තුළ හෝ ගසක් පැලයක් වවන්නේ අප පරිසරයට දක්වන ඇල්ම බැල්ම මෙපමණක් කළක් ගියත් නොවෙනස්ව පවතින නිසායි.
වනාන්තරයකට හෝ ගස් වැල් පිරි කුඩා වනරොදකට වුවත් පිවිසුන විට අපට දැනෙන්නේ සුවදායී හැඟීමක්. වනරොදෙහි වූ තෙතමනය, සෙවන, තුරුලතා අතර ජීවත්වන සතුන්ගේ කිචිබිචිය, වෙහෙස වූ මනස සුවපත් කරනවා. ඒ වගේම තුරුලතා පිරිමැද හමන පිරිසිදු වායුව, අපේ පෙනහළු පුරවනවිට, වාතයේ ඇතිවන ධන ආරෝපිත අංශු අප සිරුර සුවපත් කරනවා. මේ නිසායි අපි මෙවැනි ස්ථානයකට ගියවිට ඉතාමත් සුවදායී හැඟීමක් ඇතිවන්නේ. කුඩා වනරොදක අසිරිය එවැනි නම්, අප රට මෙන් අසූපස් ගුණයක් පමණ සුවිසල් වනාන්තරයක ඇති ගාම්භීරත්‍වය, ගුප්ත බව, මහේශාක්‍ය බව කෙසේ විස්තර කරම්ද ?
දකුණු ඇමරිකාවේ රාජ්‍යයන් නවයක් පුරා පැතිරෙන, වර්ග කිලෝමීටර 5,500,000 ක් පුරා පැතිරුණ ඇමසන් වනය ලොව ජෛව විවිධත්‍වයෙන් වැඩිම වනාන්තරය වේ. එයින් සියයට 60 ක්ම බ්‍රසීලයටයි අයත් වන අතර ලොවෙහි අන් සියළුම වනාන්තර එක්ව ගත් කළ පවා ඇමසන් වනයට වඩා කුඩා වීම ඇමසන් වනයේ මහේශාක්‍ය බව මැනවින් කියාපායි. මේ නිසාම ශාක විශේෂ 16000 කට අයත් ශාක බිලියන 390 කින් සමන්විත මේ වනාන්තරයේ වටිනාකම පිළිබඳ කිසිදු විවාදයක් අනවශ්‍යය. ලොව ජීවත් වන සත්ත්‍ව විශේෂවලින් සියයට 10 ක්, කුරුළු විශේෂවලින් සියයට 20 ක්, කෘමී විශේෂ මිලියන 2.5 ක්, ක්‍ෂීරපායි විශේෂ සහ කුරුළු විශේෂ 2000 කට අධික සංඛ්‍යාවක් මෙන්ම ඇමසන් වනය වාසස්ථානය කරගෙන සිටින විවිධ ගෝත්‍ර දහස් ගණනක් ද මෙයින් ජීවය ලබනවා.
ඇමසන් නිවර්තන වැසි වනාන්තරය ලෝකයේ නිවර්තන කලාපීය වැසි වනාන්තර තීරුවේ ප්‍රධානතම වැසි වනාන්තරයයි. ලෝකයේ වායුගෝලීය සමතුලිතතාවය, පෘථිවියේ උෂ්ණත්‍වය යාමනය මෙන්ම ජීව විවිධත්‍වයට මූලිකවම බලපාන මෙය නිර්මාණය වී ඇත්තේ ඉයෝසීන යුගයේ (වසර මිලියන 55-33.9 අතර කාළයේ) යැයි ගණන් බලා තිබෙනවා. මුලින් මෙය වනාන්තරයක් ලෙසින් පැවතුනත්, ලොවෙහි ඇතිවූ අධික ශීත කාලයෙන් පසුව ක්‍රමයෙන් සැවනා වනාන්තර ගති ලක්‍ෂණ ද මේ වෙත එකතු වුනා. ඩයිනෝසරයන් වඳවී යාමත් සමගම ඇමසන් වනාන්තරය විශාලව පැතිරුණු අතර දේශගුණ විපර්යාස සමග වනාන්තරයේ ශාක සංයුතිය ද වෙනස් වුනා.
ඇමසන් වනය වයෝවෘධ වනාන්තරයක් වන අතර එහි වර්ධනය සිදු වන්නේ ඉතා සෙමින්, එසේම දීර්ඝ කාලයක් පසින් පෝෂක ලබා ගැනීම නිසාත් එහි පසෙහි වූ සමහර පෝෂක වර්ග ක්‍ෂය වී යාමක් දකින්නට පුළුවන්. මේ නිසාම ලෝකයේ සමබරතාවය මනාවට ඔප්පු කරමින් ඇමසන් වනයට අවශ්‍ය පෝෂණයෙන් 56% ක්ම, විශේෂයෙන්ම වනාන්තරයෙන් ඉවත් වන පොස්ෆරස් 100% ක්ම ලබා දීමට සැතපුම් 2600 ක් නැගෙනහිරින් පිහිටි සහරා කාන්තාරය ඉදිරිපත් වී තිබෙනවා. සහරා කාන්තාරයේ වූ දූවිලි අංශු අහසට එක් වී සුලං ධාරා හරහා අත්ලාන්තික් සාගරය තරණය කර අවසානයේ ඇමසන් වනාන්තරයට පතිතවන බව සොයාගෙන තිබෙනවා. එය චන්ද්‍රිකා ඡායාරූප වලින් ගණනය කර ඇති පරිදි සෑම වසරකම දූවිලි ටොන් මිලියන 182 ක් මෙසේ හුවමාරු වන අතර ඉන් ටොන් මිලියන 28 ක් ඇමසන් වනාන්තරය පෝෂණය කරමින් ඒ වෙත පතිත වන අතර ඉතිරිය අත්ලාන්තික් සාගරය, කැරිබියන් දූපත් ඒ අවට මුහුද පෝෂණය කරනවා. ඒ බව රසායනික සහ ද්‍රව්‍යමය සංයුතිය මනිනු ලබන පරීක්‍ෂණවලින් පවා තහවුරු කරගෙන තිබෙනවා. ඒ අනුව ලෝකයේ සමබරතාවය එය විසින්ම ඇතිකරගෙන ඇත්තේ එසේයි.
මෙසේ වසර මිලියන ගණනාවක් ලෝකයේ සමබරතාවය රැකගනිමින් අනේකවිධ සත්ත්‍ව විශේෂවලට සෙවණ සහ ජීවය ලබාදෙමින් සෙත සලසන ඇමසන් වනය මිනිසාගේ ආත්මාර්ථකාමීත්‍වය නිසාම දිනෙන් දින ලෝකයෙන් සමුගනිමින් පවතිනවා. විශේෂයෙන්ම දැව සඳහා වනාන්තරය එළි කිරීම නිසා දැනටමත් ඇමසන් වනයෙන් සියයට 20 ක් අහිමිව ගොස් තිබෙනවා. වසරකට වර්ග සැතපුම් 20,000 ක් අහිමි වන ඇමසන් වනයෙන් කපා ඉවත් කරන මහා වෘක්‍ෂයන් සංඛ්‍යාව බිලියන 7 ක් පමණ වනවා. එනම් ලෝක ජනගහනයට වඩා තරමක් කුඩා ප්‍රමාණයක්. මෙසේ වන විනාශය සිදු වන්නේ 1960 න් පසු ඇමසන් නිම්නයේ ඛණිජ තෙල් සොයාගැනීමත් සමගයි. ඉන්පසු ලොව විශාලතම ඛණිජ තෙල් ගවේශක සමාගම්, කෙමෙන් කෙමෙන් වනය තුළට පිවිසෙන්නට වුනා. 1991 සිට 2000 දක්වා කාළය තුළ පමණක් වන විනාශය වර්ග සැතපුම් ලක්‍ෂ හයකට ආසන්නයි. විශේෂයෙන්ම ගව පාලනයට ඉඩ සලසමින් කිරිපට්ටි හිමියන් වනය ගිණිතබමින් වනය තණ බිමක් බවට පරිවර්තනය කිරීමේ උත්සාහය නිසා සහ සෝයා බෝංචි වගාව සිදුකිරීමට අවශ්‍ය භූමිය සකසා ගැනීමට ඇමසන් වනය විනාශ කරමින් සිටිනවා. ලෝකයේ දෙවන විශාලතම සෝයා බෝංචි නිෂ්පාදකයා වන්නේ බ්‍රසීලයයි. නමුත් මෑතකදී කළ පර්යේෂණයකට අනුව ඇමසන් විනාශය නිසා සෝයා වගාවට ස්වභාවිකව ලැබෙන වැස්ස අඩු වී තිබෙන අතර ඵලදාව වර්ධනය වීමක් සිදු වී නැහැ.
ඇමසන් වනයේ හෝ වෙනත් වනාන්තරයක ලැව්ගිණි ඇතිවීම ස්වභාවිකයි. නමුත් ඇමසන් වැනි නිවර්තන වැසි වනාන්තරයක මෙපමණ කාළයක් දැවෙන, විශාල වපසරියක් පුරා විහිදී පැතිරෙන ගින්නක් අස්වාභාවික බවයි පරිසර විශේෂඥයින්ගේ මතය. මේ ගින්න අද ඊයේ ඇතිවූවක් නොවෙයි. ඇමසන් වනයේ ගිණි ගැනීම් පටන් ගත්තේ 2019 වසරේ ජනවාරි මාසයේ පමණ, නමුත් එය නිසි පාලනයකට යොමු කිරීමේ දේශපාලනික අපොහොසත්භාවය සහ බ්‍රසීල ජනාධිපති Jair Bolsonaro ගේ පරිසර හිතකාමී නොවන ප්‍රතිපත්ති නිසා මේ ගින්න පාලනය කළ නොහැකි තත්ත්‍වයට පත් වී ඇති බව පරිසර විද්‍යාඥයින්ගේ මතයයි. මේ වනවිට බ්‍රසීලය තුළ විවිධ ප්‍රමාණයන්හි ලැව්ගිණි 80,000 ක් වෙන් වෙන්ව පැතිරෙමින් පවතිනවා. ඉන් අඩක්ම ඇමසන් වනයේ ඇතුලත සිදු වනවා. එය ගිය වසරට වඩා 83% ක වැඩිවීමක්.
ඇමසන් වනාන්තරයේ ඇති ශාක ප්‍රමාණය මගින් ලෝකයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණයෙන් සියයට 20 ක් ලබා දෙන බවට මතයක් තිබෙනවා. එය සත්‍ය වශයෙන්ම ලොව ඇති කාබන් ඩයොක්සයිඩ් විශාල ප්‍රමාණයක් ශක්තිය වශයෙන් තිර කිරීමක් සිදු වන අතර කාබන් සංචිතය යාමනයට සිදු කරන ඉමහත් පිටිවහලක්. මේ නිසයි ඇමසන් වනාන්තරය ලෝකයේ පෙනහළු ලෙසින් නම් දරා සිටින්නේ…නමුත්, මේ වනවිට මේ ඔක්සිජන් නිකුත් කිරීම නැවතී, වන දහනය නිසා පිටවන කාබන් ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් වායුගෝලයට නිරන්තරයෙන් එකතු වෙමින් පවතිනවා. ඇමසන් වනයේ පිහිටි ස්වභාවික සදාහරිත තෙත් ස්වභාවය නිසාම එය නිරායාසයෙන් ගිණි ගැනීමට ප්‍රතිරෝධයක් දක්වයි. නමුත් දැන් දැන් සැවනා තත්ත්‍වය වර්ධනය වීම නිසාත්, සෝයා වගාව සහ ගව පාලනය වෙනුවෙන් සිදු කරන ගිණිතැබීම් පාලනයකින් තොරව සිදුවීම නිසාත් මේ ගිණිගැනීම දැන් ව්‍යසන තත්ත්‍වයකට පත් වී ඇති බව පැහැදිලියි.
මෙසේ ඇමසන් වනය ගිණි ගැනීම දකුණු ඇමරිකාවට පමණක් බලපාන සංසිද්ධියක් විය හැකි බවට කිසිවකුට තර්ක කළ නොහැක්කේ, මුළු ලෝකයම එකම වායුගෝලයකින්, ජලගෝලයකින් ආවරණය වී ඇති නිසායි. එයින් වායුගෝලයට මුදාහැරෙන කාබන් ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් ඉහළ වායුගෝලයට මුසු වී දැන් දැන් වර්ෂාව මගින් පොළව මතුපිටට වැටෙමින් පවතින අතර, එය පහළ වායුගෝලයට ද එක් වී හමාරයි. චන්‍ද්‍රිකා ඡායාරූප මගින් සනාථ වන කාබන් දූවිලි වලාව මුළු බ්‍රසීලයත්, ආජන්ටිනාව සහ වෙනත් රටවල් කරා ද පැතිරෙමින් පවතිනවා. මෙය ලෝක වායුගෝලයට මුසුවන්නට සුවිසල් කාලයක් ගත වන්නේ නැහැ. මෙසේ පාලනයකින් තොරව ඇමසන් විනාශය සිදු වුවහොත් තවත් වසර විස්සකින් ඇමසන් වනාන්තරය අපට අහිමි වීමේ අවදානමක් ඇති බවට පරිසර විශේෂඥයින් අනාවැකි පළකර තිබෙනවා.
මෙසේ පරිසරයට එකතුවන කාබන් ඩයොක්සයිඩ් සහ මොනොක්සයිඩ් ක්‍ෂණිකව ඉන් ඉවත් නොවන නිසා සමහරවිට සුළු ප්‍රමාණයක කාබන් ඩයොක්සයිඩ් සංයුතියේ ඉහළ යාමක් බලාපොරොත්තු විය හැකියි. එසේම මෙම ගින්න නිසා ඉහළ වායුගෝලයට යන කාබන් අංශු ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු මතට පතිත වීම නිසා එමගින් පරාවර්තනය වන ආලෝක ප්‍රමාණය අඩුවී අයිස් තට්ටු උණුසුම්වීම පවා සිදුවිය හැක. මේ නිසා ඇන්ටාක්ටිකාවේ අයිස් දියවීම ද සීඝ්‍රවීමේ අවදානමක් පවතී, දැනටමත් ලෝකයේ සමුද්‍ර ජලමට්ටම මිලිමීටර දශම ගණනකින් ඉහළට යමින් පවතින අතර, මේ දියවීම වේගවත් වුවහොත් නැවතිය නොහැකි චක්‍රයක් බවට මෙය පත්විය හැකියි. දැනටමත් බටහිර ඇන්ටාක්ටික් අයිස් තට්ටුව මානව ක්‍රියාකාරකම් නිසා දියවෙමින් පවතින බවට සාක්‍ෂි මගින් තහවුරු වී තිබෙනවා.
වැසි වනාන්තර ගිණිගැනීම ස්වභාවික මෙන්ම ඒවා නැවත වර්ධනය ද ස්වභාවික ය. සාමාන්‍යයෙන් වැඩුනු පැරණි වනාන්තරයක තිර කරන කාබන් ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයක් නව, වැඩෙමින් පවතින වනාන්තරයක තිර වනවා. ඒ ශාක වර්ධනයට අවශ්‍ය ශක්තිය, අමුද්‍රව්‍ය ඉක්මනින් තිර කිරීම නිසා. සමහරවිට මේ තත්ත්‍වය නිසා මේ වැඩි වූ කාබන් ප්‍රමාණය ඉක්මනින්ම වායුගෝලයෙන් අවශෝෂණය වී ඇමසන් වනාන්තරය නැවතත් කාබන් තිර කිරීමේ බැංකුවක් බවට පත් විය හැකියි. නමුත් වසරකට සිදුවන වන විනාශය යම් තරමකට හෝ නවතාලිය හැකි නම් මෙහි ආචරණ වැඩියෙන් ලබාගත හැකියි. කෙසේ නමුත්, අප සිදු කළ පරිසර විනාශයෙන් සහ දැනටමත් සිදු කරමින් පවතින විනාශයන් නිසා වනාන්තර ප්‍රමාණය අඩුවීම, කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය ඉහළ යාම, ග්ලැසියර දියවීම, මුහුදු මට්ටම ඉහළ යාම, දැඩි ස්වභාවික විපත්, ආහාර හිඟයක්, ජල හිඟයක් ඇති වීම ආදිය විෂමාකාර චක්‍රයක් මෙන් අපටම බලපෑම් කරනු ඇත. පරිසරයට අනුවර්තනය විය හැකි වුවත්, මේ සිදුවන වෙනස්වීම් වලට අනුගත නොවිය හැකි සතුන් සදහටම පරිසරයෙන් තුරන් වී අන්තර්ජාලය බිත්තියක එල්ලී සිටින සතුන් පිරිසක් පමණක් වනු ඇත.
අපි… කුමක් කරමුද ?
අපේ දරුවන්ට අවශ්‍ය STEM ද, STEAM ද, STREAM ද ?
රටක ප්‍රගමනයට දායක වන්නේ ජනතාවයි. රටක ජනතාව බුද්ධිමත් වනවිට, උගත් වනවිට ප්‍රගමනයට දායක විය හැකි ගුණාත්මක භාවය වැඩිය. රටක නූගත් ජනතාවක් සිටිනවිට, දේශපාලනඥයාට ඔවුන් රවටා තම සිතැඟි පරිදි කටයුතු කිරීමේ හැකියාව වැඩිය. මේ නිසා කපටි – අවස්ථාවාදී දේශපාලනඥයින් කරනුයේ නූගත් ජනතාවක් බිහිකිරීමට අධ්‍යාපන අවස්ථා, හැකියාවන් අවම කර, ජනතාවට අවශ්‍ය මූලික සහ වෙනත් සිල්ලර අවශ්‍යතා වැඩි දියුණු කර, තාවකාලිකව ඔවුන් සතුටු කර ඡන්දය ලබා ගැනීමයි. එසේම රටක නායකයන්ගේ උගත් – නූගත් බව අනුව සහ රටට ඇති ආදරය අනුව රට වෙනුවෙන් කෙරෙන ප්‍රතිපත්ති වෙනස්වීම් අනුව රට ඉදිරියට හෝ පසුපසට යාම සිදු වේ.
සීඝ්‍ර ආර්ථික ප්‍රගමනයට දැඩිලෙස කැප වී සිටින, කොරියාව, වියට්නාමය, චීනය, වැනි රටවල් මෙන්ම, තාක්‍ෂණිකව දියුණු වූ බටහිර රටවල ද සිදු වන්නේ සිය අනාගතය භාර ගැනීමට සිටින ළමා පරපුර දැනුමින් උගත්කමින් සන්නද්ධ කිරීමයි. එවිට, දැන්ම නොවුවත්, අනාගතයේදී හෝ රට කෙමෙන් කෙමෙන් ප්‍රගමනය කරා ගමන් කරනු ඇත.
පසුගිය ලිපියේ සඳහන් කළ පරිදිම STEM යනු විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව හා ගණිතය ඒකාබද්ධ කරන අධ්‍යාපනික න්‍යායික විෂයයක්. මෙය එක් එක් විෂයය වෙන වෙනම ඉගැන්වීම වෙනුවට, ගුරුවරුන් විසින් එක් එක් ව්‍යාපෘතියට STEM හි සමහරක් හෝ සියළුම අංගයන් ඇතුළත් කිරීම සඳහා අරමුණු කරයි. ඒ නිසා එය පෙර සිදු වූ විෂය මූලික, විභාග මූලික අධ්‍යාපන රටාවකට වඩා, එක් එක් හෝ කණ්ඩායම් ව්‍යාපෘති හරහා සිදු වන, දැනුම මූලික සමාජයකට මඟපාදන පුළුල් ප්‍රවේශයක් වනු ඇත.
මේ STEM ඉගැන්වීම, සාමාන්‍ය පාසැලක සාමාන්‍ය පන්ති කාමරයක් තුළදීම සිදු කළ හැකි අතර, අවශ්‍ය වන්නේ විෂයයන් සමෝධානිත කර, අවශ්‍ය පරිදි ඒ ඒ විෂයයන් අදාල කරගෙන දරුවන්ට ඉගැන්වීමයි. ඒ සමෝධානිත කිරීමට සෑම විටම STEM විෂයයන් හතරම එක් කර ගැනීමට අවශ්‍ය වන්නේ නැත. නමුත්, හැකි සෑම විටම ඒ ඒ විෂයයන්ගෙන් ලබා ගත හැකි දැනුම එයට එක් කිරීමෙන් දරුවාගේ නිර්මාණාත්මක භාවය, පරිකල්පන ශක්තිය සහ ව්‍යවසායකත්‍වය උපරිම තත්ත්‍වයට ගෙන ආ හැක. එසේම තවත් සමහර විටක සුවිශේෂී STEM පන්තිකාමර, පාසැල් ආදියද සැකසිය හැකිය. මෙහි විෂයය නිර්දේශයන් නවමු ආකාරයක් ගන්නා අතර ශිෂ්‍ය මූළික, දැනුම මූලික, සහ කුතුහලය මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයක් සකස් වේ. වඩාත්ම වැදගත් වන්නේ විෂයයන් උගන්වන ගුරුවරයාගේ නිර්මාණශීලීත්‍වය සහ නව්‍යකරණ හැකියාවයි. ගුරුවරයා සාම්ප්‍රදායිකව සිතන්නෙකු නම්, එතැන STEM පරිසරයක් නිර්මාණය නොවේ.
මේ විශේෂිත පාසල්හි STEM වැඩසටහනේ අරමුණු වෙනස් විය හැකි අතර, STEM හි සමස්ත අරමුණු කිහියක් වනුයේ STEM සාක්ෂරතාවය හා කණ්ඩායම් සහභාගීත්වය, විශේෂයෙන් තරුණ තරුණියන් හා ජාති, ආගම්, වර්ණ ආදී එකිනෙකට වෙනස් පසුබිමින් පැමිණෙන අයගේ කණ්ඩායම් හැඟීම ශක්තිමත් කිරීම, STEM දැනුම් බලකාය ශක්තිමත් කිරීම මගින් තාක්‍ෂණික සාක්‍ෂරතාවය ඉහළ නැංවීම සහ ඒ හරහා රට තුළ දැනුම් ආර්ථිකයක් ඇති කිරීමයි.
STEAM යනු කුමක්ද ?
STEAM යනු මේ සමෝධානිත විෂයයන් හතරට කලාව එකතු වීමයි. එහිදී දරුවා සමෝධානිත STEM විෂයයන් කලාත්මකව ඉදිරිපත් කිරීම, කලාත්මකව දැකීම සහ වෙනත් මාධ්‍යයකින් වෙනත් කෝණයකින් අධ්‍යයනය කිරීම සිදු කෙරේ.. උදාහරණයක් ලෙසින් රසායනිකව ස්ඵටික කරන ලද ලුණු, හෝ සූකිරි ලෙසින් අප දරුවන් හඳුන්වන ස්ඵටික කරන ලද සීනි ගත හැකිය. විද්‍යාත්මකව – විශේෂයෙන්ම රසායන විද්‍යාත්මකව න්‍යායික වශයෙන් ලුණු ස්ඵටික කරණය සරළව ඉගෙන ගන්නා දරුවා ගණිතමය භාවිතයෙන් ස්ඵටිකකරණයට අවශ්‍ය ලුණුවල බර ප්‍රමාණය, අවශ්‍ය ජලය ප්‍රමාණය ගණනය කරනු ලබයි. එය සිය තාක්‍ෂණික හැකියාවන් භාවිතා කර ස්ඵටිකකරණයට ලක් කරයි. එවිට අඩු වැඩි වශයෙන් ඔහු, විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතමය හැකියාවන් ප්‍රයෝජනයට ගනී.. මෙසේ ස්ඵටිකකරණය විවිධ මාධ්‍යවල, විවිධ කාලවල, විවිධ පරිසර තත්ත්‍ව යටතේ වෙනස් වීම, විවිධ අවස්ථාවන්හිදී විවිධ සංයෝගවල ස්ඵටික හැඩතල ආදිය ද ඔහු උගෙනී. මෙම හැඩතල සහ ස්ඵටික ආශ්‍රයෙන් විවිධ කලා නිර්මාණ සැකසීම, විවිධ වර්ණා ගැන්වූ ස්ඵටික කලාත්මකව යොදාගෙන නිර්මාණ කිරීම වැනි හැකියාවන් දරුවා තුළ ඇතිකිරීම සහ ඒවා ඔප්නැංවීම STEAM මගින් සිදු කෙරෙයි. සමහරවිට එම හැකියාවන් මගින් දරුවා අනාගත ව්‍යවසායකයෙකු වීම දක්වා ව්‍යාප්ත කළ හැකිවෙයි.
දරුවන් ස්වභාවයෙන්ම කුතුහලයෙන් පිරි සත්ත්‍ව කොට්ඨාසයකි. මේ නිසා දරුවාගේ කුතුහලය වර්ධනය, දරුවාගෙන් නිරතුරු නැගෙන ප්‍රශ්න වදයක් සේ නොසලකා දරුවා වෙනුවෙන් කැප වී දරුවා සමගම ඒවාට පිළිතුරු සෙවීම සහ දරුවා ඒ වෙත නැඹුරු කර ඔහු/ඇයගෙන්ම පිළිතුරු ලබා ගැනීම මගින් දරුවාගේ නිර්මාණාත්මක භාවය, පරිකල්පනය ආදිය දියුණු වේ.
STREAM යනු කුමක්ද ?
STEM, සහ STEAM විෂයයන්ට R වලින් හැඳින්වෙන විෂයයක් එකතු වීම සරළව STREAM ලෙසින් දැකිය හැකි වුවත්, විවිධ රටවල, විවිධ අර්ථකතන සහ විවිධ ප්‍රමුඛතා අනුව මේ R වලින් හැඳින්වෙන විෂයය පරාසය වෙනස් විය හැකිය. සමහර රටවල මේ R අර්ථ දක්වා ඇත්තේ READING, wRiting, නොහොත් කියවීම සහ ලිවීම වුවත්, සමහර තාක්‍ෂණිකව දියුණු රටවල් එය ROBOTICS – රොබෝ තාක්‍ෂණය ලෙසින් අර්ථ දක්වා ඇත. කියවීම සහ ලිවීම අධ්‍යාපනයේ මූළික අංගයක් බවට තර්කනය කරන කෙනෙකුට එය නවමු විෂයය ක්‍ෂෙත්‍රයක් ලෙසින් නොපෙනුනත්, දැන් දැන් දරුවන්ගේ විචාර බුද්ධිය හීන වීම, ප්‍රකාශනයේ මැලිකම වැනි දෑ වලට පිළියමක් වශයෙන් මෙය එකතු කර ඇත. නමුත්, මේ සියල්ලම සමෝධානිතව ඉගැන්වෙන නිසා අවසානයේ STEM ද, STEAM ද, STREAM ද යන තර්ක යටපත් වී ඉගැන්වෙන දෑවල අන්තර්ගතය ඉස්මතු වේ.
එසේම Robotics තාක්‍ෂණයද, එකතු වීම ඉංජිනේරු විද්‍යාව සහ තාක්‍ෂණයේ තවත් පියවරක් ලෙස හැඳින්විය හැකියි. දැන් දැන් ඉංජිනේරු විද්‍යාවද සිය වෙන් වෙන් වූ විෂයය ක්‍ෂෙත්‍රවලට සීමා නොවී Mechatronics වැනි පුළුල් විෂයය පරාසයන්ට අනුගත වීමෙන් පෙනී යන්නේ අපට එක් එක් විෂයයන් වෙන් වෙන්ව ඉගෙනගෙන දිගු ගමනක් යා නොහැකි බවයි.
තාක්‍ෂණිකව ඉදිරියට යාම නිසා ආගම පසුපසට තල්ලු වූ සමහර බටහිර රටවල් මෙන් නොව සමහර ආසියාතික රටවල් මේ R – Religion නැතහොත් ආගම ලෙසින් ද අර්ථ දැක්වෙන අවස්ථා නැතුවාම නොවේ. සමහර අධ්‍යාපනඥයින් STEM අධ්‍යාපනයට ආගමෙහි ඇති සම්බන්ධය විවේචනය කරන නමුත්, අධ්‍යාත්මික සංවර්ධනය දරුවාට ලබාදීම, සදාචාරාත්මක හැදියාවන් ඔප් නැංවීම, නීතිය හා සාමයට අවනත වීම, අන්‍යයන්ගේ මත වලට ඇහුම්කන්දීම සහ ඉවසීම, ආදී විද්‍යාවෙන් සහ තාක්‍ෂණයෙන් ඉගැන්විය නොහැකි දේ ආගම සහ ප්‍රජාචාරය වැනි ක්‍ෂෙත්‍ර හරහා දරුවා වෙත සම්ප්‍රේෂණය කළ හැකිය.
මේ නිසා පෙර ඉගැන්වූ කිසිදු විෂය ක්‍ෂෙත්‍රයක කොටස් ඉවත් වීමක් සිදු නොකර මේ STEM විධි ක්‍රමයන් අධ්‍යාපනයට අනුගත කිරීම ක්‍රමානුකූලව සිදු කළ හැකිය.
සෑම දරුවකු තුළම අඩු වැඩි වශයෙන් කලාකරුවකු, විද්‍යාඥයෙකු සහ ඉංජිනේරුවරයෙකු ජීවත් වේ. ඒ දරුවාගේ සහජ හැකියාවන් හඳුනාගෙන ඒවා ඔප් නැංවීම මගින් සමාජයට ඔහු වැඩදායී වනවා පමණක් නොව, තමන්ට හුරු නොවන, රුචි නොවන විෂය ක්‍ෂෙත්‍රයකට බලෙන් ඔහු/ඇය එබ්බවීම මගින් දරුවාගේ නිර්මාණශීලීත්‍වය, පරිකල්පනය විනාශ වනවා පමණක් නොව ඒ දරුවාට සහ දරුවා හරහා ලෝකයට අනාගතයේ ලැබිය හැකි බොහෝ දේ අහිමි වීමක් ද සිදු වේ.
අද ලෝකය විභාග මූලික අධ්‍යාපන රටාව ක්‍රමයෙන් බැහැර කරමින්, දරුවන්ට නිදහසේ ළමා කාළය ගත කර ඔහු/ඇය තුළ ජීවත් වන නිර්මාපකයා, කලාකරුවා, ව්‍යවසායකයා ඉස්මතු කර ගැනීමේ වෑයමක නිරතව සිටී. අවාසනාවකට අප තවමත්, දරුවා පෙර පාසැලේ සිටම දැඩි විනය සහිත, රාමුවකට කොටු වූ සහ අතිශය තරඟකාරී විභාග මූලික අධ්‍යාපන රටාවකට හිර කරමින් දරුවන්ගේ ළමා කාළය සොරා ගනිමින් සිටිමු. දැන් දරුවන් ගතහොත් ඔවුන් අතරින් නිදහසේ සිතන දරුවන් සහ සිත නිදහස් දරුවන් සොයා ගැනීම ඉතා අපහසු කරුණක් වී තිබේ පාසැලට ගොස් පැමිණි වහාම, හෝ පාසැලෙන් කෙළින්ම විවිධාකාර අමතර පන්තිවලට යන දරුවා නිවසට පැමිණෙන්නේ ඇඳිරි වැටුනු පසුවයි. දරුවා පරිසරයේ සුන්දරත්‍වය, සතුන් ගහකොළ විචක්‍ෂණශීලීව දකින්නේ ඉතාමත් කලාතුරකිනි. සතුන්ගේ හැසිරීම, ගහකොළවල වෙනස්වීම් දරුවා දකින්නේ රූපවාහිනියෙන් හෝ පින්තූර පොත් මගින් පමණි. දරුවා දෙමාපියන් හා ගතකරන්නේ ද සීමා සහිත කාළයකි. ඊට වඩා කාළයක් දරුවා රූපවාහිනිය හෝ වීඩියෝ ක්‍රීඩා සමග ගත කරති. පෙර ලිපියක සඳහන් කළ පරිදිම පහ ශ්‍රේණිය ශිෂ්‍යත්‍ව විභාගය සමත් දරුවන් සෑම දහ දෙනෙකුගෙන්ම හය දෙනෙකු කිසියම් හෝ මානසික අසමතුලිතතාවයකින් පෙළෙන අතර ශිෂ්‍යත්‍වය සමත් දරුවන්ගෙන් සියයට අසූ පහක් පමණ උසස් පෙළ අසාර්ථක වීමේ ප්‍රවණතාවයක් ද දැකිය හැකි බවයි.
අපි, දරුවන්ට ළමා කාළය ළමයින් සේ ගත කිරීමට ඉඩ දෙමු. දරුවා නිදහසේ වැඩුනු පසු, සිය මනස නිසි ලෙස නිසි ක්‍රමයට හැදුන පසු, විෂයය කරුණු ග්‍රහණය කිරීම එතරම් අපහසු නොවනු ඇත. එය පර්යේෂණ වලින් පවා හොඳින්ම ඔප්පු වූ කරුණකි. ෆින්ලන්තය වැනි රටවල අධ්‍යාපන ක්‍රම සැකසී ඇත්තේ දරුවන් සහ ඔවුන්ගේ නිදහස මූළික ක්‍රමයකටයි.
කෙසේ වුවත් මේ සියල්ලම සැබෑවක් වීමට දරුවන්ට වඩා දෙමාපියන් වන අපගේ සහ ඔවුන්ට මග පෙන්වන ගුරුවරුන්ගේ ආකල්ප විප්ලවයක් සිදු විය යුතුමය. දරුවා දරුවකු සේ දැක, ඔවුන්ට නිසි මග පෙන්වීම, ඔවුන්ගේ නිදහස, නිර්මාණාත්මකභාවයන්, කලාත්මක භාවයන් නිසි ඇගයීමකට ලක් කර, ඒ මඟ ඔවුන් යැවීමෙන්, හැම දෙනාම දොස්තරවරු, ඉංජිනේරුවරු කරන්නට දත කනවාට වඩා සුවයක්, දරුවන්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට මෙන්ම, සිය තරුණ ශ්‍රම බලකාය නිසි ලෙස යොදා ගැනීම තුළින් රටේ සංවර්ධනයට ද උපකාරී වනවා ඇත.
නායකයින්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට, සමාජයේ සියල්ලන්ටම, තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර සහ තමන්ම තනා ගත් රාමු වලින් ඉවත්ව, රටක් වශයෙන් සිතීමේ කාළය උදා වී ඇත. දරුවන් වෙනුවෙන් අප අද කරන මේ ආයෝජන ඵල දරන්නේ තව දශක කිහිපයකින් වියහැක.. නමුත්, එය අදම කළ යුතුව තිබේ… නැතහොත් ඉදිරි දශකයේ ද අප මැදපෙරදිගට ගෘහසේවිකාවන් සපයන, අපේ කාන්තාවන් ඇඟළුම් මසා පිටරටට විකුණන, ගණිකා මඩම් සහ සම්බාහන ආයතන තුළ ජීවිතය දියකර හරින තරුණියන් සහ පිරිමින් ත්‍රීරෝද රථ රියැදුරන් වන සමාජයක ජීවත් විය හැකිවනු ඇත.
ඔබේ දරුවාගේ අනාගතය පිළිබඳ තීරණය ඔබ සතුයි.
සෙත් ශාන්ති මොකුත් නැතිව දියුණු වෙන්න සැකක් නැතිව…. රිවිනෙත මෙවර ලිපිය
බ්ලොග් ලෝකයෙන් පත්තර ලෝකයට තියපු පා සටහන තව දුරටත් ඉදිරියට යනවා. මේ දෙවන පියවරේ ප්‍රතිපලය. මගේ ලිවීම ගොඩක් තාක්‍ෂණික බව මටම පේනවා. නමුත් ඒක තමයි මගේ ක්‍රමය – ඉට්ටැයිල් එක.
සාමාන්‍ය ව්‍යවහාරයට පුළුවන් තරම් ලං වෙන්න ලියන්නයි උත්සාහය… මේකට රිවිරේ රිවිනෙත කතෘතුමා ලොකු උදව්වක් දෙනවා. එතුමටත් සාධාරණයක් කරන අතරේ මමත් දිගටම ලියන්නයි උත්සාහය…
ලිපිය කොපි කරලා පළ කරන්න නම් අවසර නෑ…
නමුත් මේ තියෙන්නෙ ලිපියට සබැඳිය…
ඉස්සර බ්ලොග් එකේ වගේම මේ ලිපි ගැන විවේචන කරන්න තවමත් ඔබට අවස්ථාව තියෙනවා. එය මට තව තවත් දියුණු වෙන්න උපකාරයක් වේවි.
http://www.rivira.lk/online/2017/06/24/115286
GMOA දොස්තරලා කියන්නේ අලිපුකෙන් ආපු ජාතියක්ද ?
පසුවදන මුලින්ම: පසුගිය දිනක මහමෝදර රෝහල වෙත පැමිණි ත්‍රිරෝද රථයක ගෙන ආවේ හිස පොඩිපට්ටම් වී ගිය දරු ප්‍රසූතියට ආසන්නව සිටි මළකඳකි. ඒ අවස්ථාවේ රෝහලේ සිටි වෛද්‍යවරු තිදෙනෙකු මළගෙදරකට යාම සඳහා පිටත්වීමට සූදානමින් සිටියා. මළ සිරුර දුටු වහාම ඔවුන් සිදු කර තිබුණේ කුස තුළ සිටි දරුවා ජීවත්ව සිටී දැයි නිගමනය කිරීමයි. දරුවා තවමත් ජීවත්ව සිටින බව දැනගත් ඔවුන් වහාම කළේ මියගිය රෝගියාගේ භාරකරුවන්ගෙන් අවසර ලබාගෙන රෝහලේ කොරිඩෝවේදීම සිසේරියන් සැත්කමක් කර පණ යමින් සිටි දරුවා බේරා ගැනීමයි, ඉන්පසු දරුවා අදාල ඥාතීන්ට භාර දී තිබේ.
මේ වෛද්‍යවරු අතර සිටින දෙවියන් බඳු වූ මිනිසුන් පිළිබඳ කතාවකි.. ඔවුන්ගෙන් එකෙකු මගේ මිතුරෙකි… මම ඔහු ගැන ආඩම්බර වෙමි, ගරු කරමි, … අපි ඔවුනට හිස නමා ආචාර කරමු, දෑත් බැඳ, වැඳ නමස්කාර කරමු…
ඊට පෙර: දරු ප්‍රසූතියට ආසන්න මවක් උණවටුන රජයේ රෝහලට පැමිණ ඇත්තේ ප්‍රසූත වේදනාව උත්සන්න වීම නිසාය. රෝහලේ වෛද්‍ය පහසුකම් නැති නිසා හෝ ඒ අවස්ථාවේ යමක් සිදු කල නොහැකි නිසා ඥාතීන් ප්‍රසූතියට ආසන්න මව ත්‍රීරෝද රථයක දමාගෙන මහමෝදර රෝහල වෙත රැගෙන එන ලෙස ඔවුනට දැනුම් දී තිබේ.. එසේ රැගෙන එත්දී ප්‍රසූත වේදනාව දරාගත නොහැකිව මව සිහිමඳ ගතියකින් පසුවෙද්දී ඇගේ හිස ත්‍රීරෝද රථයෙන් එළියට පැමිණ තිබේ. ඒ අවස්ථාවේ පැමිණි රථයක හිස ගැටී ඇය එතැනම මියගොස් තිබේ. කෙසේ නමුත් ඥාතීන් ඇයව මහමෝදර රෝහල වෙත රැගෙන ගොස් ඇත.
මේ කතාන්දරය දොස්තර දෙවිවරු අතර සිටින ශයිලොක්ලා ගැනයි…
දෙවනුව ලියමි: හැමෝටම ඇති- කවුරුත් කතා කිරීමට අකමැති, බොහෝ පිරිමින්ගේ ඇස නිති යොමු වන : පුක යනු කුණුහරුපයක් නොවන බව ගුරු ජී කකා ජී විසින් පෙර කළක සාධනය කර ඔප්පු කරන ලදී.
අවවාදයයි : මේ කරුණට අදාල සියල්ල එකතැනකම සාකච්ඡා කරන නිසා මේ ලිපිය අතිශය දිග ලිපියක් විය හැක.
දෙමාපියන් කවුරුත් තම දරුවාට ලබා දෙන්නට අදහස් කරන්නේ උසස්ම අධ්‍යාපනයක්, උසස් පාසැලක්, හොඳ ඇඳුම් පැළඳුම්, කටට රසට ආහාර ආදියයි. එය සෑම දෙමාපියෙකුගේම සිහිනයක්. අපේ දෙමාපියෝ තමන්ට කන්න නැතත් තම දරුවන්ට එක බත් කටක් හෝ උයා දෙන්නේ, තමන්ට අඳින්න ඇඳුමක් නැතත්, තම දරුවන්ට හොඳ ඇඳුමක් ලබා දෙන්න වෙර දරන්නේත්, අනෝරා වැහි වහිද්දී තමන් තෙමි තෙමී තම දරුවන් ආරක්‍ෂා කරන්නේත්, තමන් මියෑදුනත් තම දරුවන් බේරා ගන්නට ගින්දරට, වැවට, පාරට, පනින්නේත් මේ අපරිමිත ස්නේහය නිසාමය… එය අප කිසිදු විටක ප්‍රශ්න කරන්නට සූදානම් වන කරුණක් නොවේ.
මේ දෙමාපියන් අතරේ තවත් දෙමාපියෝ වර්ගයක් සිටී…. ඒ තම දරුවන්ට ජනප්‍රිය පාසැල් අවශ්‍ය යැයි කියමින් අධ්‍යාපන අමාත්‍යාංශය අත්පත් කර ගත් GMOA ශයිලොක්ලාය..
තමන්ට ඩියුටි ෆ්‍රී කාර් නොදුන්නොත් රෝගීන් මිය ගියත් වර්ජනය කරනවා යැයි තර්ජනය කළේ ද මේ සෙට් එකමය… සීමා වාසික වෛද්‍යවරුන්ගේ තත්ත්‍වය ඉහළ දැමුවහොත් රෝගීන් මිය ගියත් වර්ජනය කරනවා යැයි තර්ජනය කළේ ද මේ සෙට් එකමය… නර්ස්ලාට අළුත් ඇඳුමක් දුන්නොත් රෝගීන් මිය ගියත් වර්ජනය කරනවා යැයි තර්ජනය කළේ ද මේ සෙට් එකමය… නර්ස් කෙනෙකු තමන්ගේ එකෙකුට බැන්නා යැයි කියා රෝගීන් මිය ගියත් වර්ජනය කරනවා යැයි තර්ජනය කළේ ද මේ සෙට් එකමය… පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එපා යැයිද, නමුත් පෞද්ගලික රෝහල්වල චැනල් කරන්නට දුවන්නේද, ඒ චැනල් බලයෙන් සහ ඖෂධ සමාගම් වලින් දෙන සන්තෝසම් වලින් ලංකාවේ හැමටම වඩා මුදල් හොයන්නේද, වාහනයේ ගසා ඇති රතුපාට කතිරයේ බලයෙන් බොහෝ අවස්ථාවල මාර්ග නීති කඩ කළත් ගැලවී යන්නේද, රජයේ ආයතනයක හෝ පෞද්ගලික ආයතනයකට ගියත් තමන් දොස්තර කෙනෙකු යැයි කියූ පමණින් ප්‍රමුඛතා ලයිස්තුවේ ඉදිරියට ගෙන අවශ්‍ය දෑ සිදු කර දෙන්නේ ද, මේ සෙට් එකේ අයටමය… ඒ… අපේ රටේ මහජනතාව තම බදු මුදල්වලින් දුන් නිදහස් අධ්‍යාපනයෙන් අවුරුදු 4-6 ක් වෛද්‍ය විද්‍යාලයක අමාරුවෙන් ඉගෙනගෙන, රටේ දුෂ්කර පලාතක අවුරුදු කිහිපයක් සේවය කර, නැවත කොළඹ/ගාල්ල/නුවර පැමිණ, රෝගීන් ප්‍රාණ ඇපයට තබාගෙන තම ඉල්ලීම් දිනා ගන්නට වලිකන… දොස්තර සෙට් එකමය…

මේ ඉන්නේ මගේ ප්‍රියතම දොස්තර සෙට් එකය.. උන් ඉන්නේ Grays Anatomy සෙට් එකේ විතරමය
දොස්තරලා සුවිශේෂි ද? පිළිතුර වන්නේ ඔවු සහ නැත යන දෙකමය…පිළිතුර වෙනස් වන්නේ ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන පුද්ගලයාගේ මානසික ස්වභාවය, දේශපාලනික සබැඳියාව, සමාජ තත්ත්‍වය, ආදී දේ අනුවය. දැන් දැන් මෙය මෛත්‍රී ද මහින්ද ද යන තත්ත්‍වය දක්වා වර්ධන වන අයුරක් ද දකින්නට ලැබේ.
දොස්තරලා සුවිශේෂීය:
ලෝකයේ මියෑදීමට ආසන්න හෝ රෝගීව සිටින හෝ අනතුරකට පත්වූ කෙනෙකුට අසන්නට කැමති එකම වදන තමන් අසළ වෛද්‍යවරයෙකු සිටින බවයි. ඒ, සිය ජීවිතය කෙසේ හෝ බේරා ගනීවි යැයි විශ්වාසය වෛද්‍යවරයා යන වදනේ ගැබ් වී ඇති නිසාය. ඈත කාළයේ පවා ගම්, නගරවල වෙද මහතාට සමාජයේ සුවිශේෂී ස්ථානයක් හිමිව තිබුණේ, ඒ මහඟු ජීව ගුණය නිසාය… සත්‍යයක් හෝ නැති වුවත්, බුද්ධදාස රජතුමාට තම සැරව ගෙඩිය පෙන්වූ නාගයා පවා, විශ්වාස කර තිබුණේ බුද්ධදාස රජුගේ සුපතල වෙදකමේ බල මහිමයයි. අපි අසරණ වූ විට – වෛද්‍යවරු පෙනෙන්නේ දෙවිවරු මෙනි.. සත්‍යය එයයි.
දොස්තරලා සුවිශේෂීය, උසස් පෙළින් ජීව විද්‍යා අංශයෙන් ඉහළම ප්‍රතිඵල ලබා වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වී වසර කීපයක් අමාරුවෙන් උගෙන : (ඇත්තෙන්ම අන් සියළු විෂය ක්‍ෂෙත්‍ර වලට වඩා අපහසු සහ නිවැරදිව උගෙන ගත යුතු විෂය වෛද්‍ය වෘත්තිය බව සැලකේ) වෛද්‍යවරයෙකු/වරියක ලෙස සමාජයට පැමිණීමට පාසැල් සිසුන් බොහෝ දෙනෙකුගේ, ඔවුනගේ දෙමාපියන්ගේ එකම සිහිනය විය හැකිය. එය බොහෝ විට එසේම වේ. මා ද ඒ ආකාරයේ සිහිනයක් තිබූ කෙනෙකි.. දොස්තරලාට සමාජයේ ලැබෙන වරප්‍රසාද සහ තත්ත්‍වය දකින අයද, තම තමන්ගේ දරුවන් දොස්තරලාම කරන්නට සිහින දකින බවද සැබෑය. ඒ තමන්ට නොලැබුන තත්ත්‍වයක් තම දරුවනට ලබා දීමේ මිනිස් ස්වභාවයයි.
දොස්තරලා සුවිශේෂීය: සමහර දොස්තරලා දිවා රෑ නොබලා මහන්සි වෙති, රෝගියෙකුගේ ජීවිතය ගොඩ දාන්නට අපරිමිත වෙහෙසක් ගෙන කටයුතු කරති, සමහර දොස්තරලා රෝගියෙකු මිය ගිය පසු දුකින් හඬති, ආහාර වේලක් දෙකක් නොකා සිටිති – එහෙමත් දොස්තරලා ලංකාවේ සිටිති. පෞද්ගලිකව රෝගීන්ට වෙදකම් කරන සමහර දොස්තරලා දුප්පත් මිනිසුන්ගෙන් මුදල් අය නොකරති, බෙහෙත් පවා මිනිසුනට අරන් දෙති, එහෙමත් දොස්තරලා ලෝකයේ සිටිති.
දොස්තර හොඳහිත ලා අතර දොස්තර ගඳහිත ලා ද ඇත.
දොස්තරලා සුවිශේෂීය – ඒ නිසාම තමන්ට සියළු වරප්‍රසාද ලැබිය යුතුයැයි සිතන පිරිසක් ද සිටිති. ඒ – අර කියූ අලි පුකෙන් ඇවිත් යැයි සිතා සිටින කොටසයි… සියළුම දොස්තරලා ඒ ගණයටද නොවැටෙති. ඒ මෙන්න මේ ලිස්ට් එකේ ඉන්න කට්ටිය වන්නට පුළුවන… මෙම ලිස්ට් එක මා උපුටා ගත්තේ අන්තර්ජාලයේ හුවමාරු වන පෝස්ට් එකකිනි. 100% ක සත්‍ය අසත්‍යභාවය නොදන්නා නමුත්, අදාල පුද්ගලයා එය සත්‍ය බව පවසා තිබුණි.
ඒ අනුව බොහොමයක් දෙනා ඉල්ලන්නේ යන්නෙ කොහෙද මල්ලෙ පොල් ගණයේ පාසැල් වේ.. මෙම ලිස්ට් එකට දැනට දරුවා ඉගෙන ගන්නා පාසැල ඇතුලත් කළා නම් එය වඩා අර්ථවත්ව විශ්ලේෂණය කළ හැකිව තිබුණි. උදාහරණයක් ලෙස 13 සහ 18 ඉල්ලීම් සසඳන විට වෛද්‍යවරුන් දෙදෙනාම මාරුවී පැමිණ ඇත්තේ කළුබෝවිල රෝහලටයි… නමුත් 13 පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඉල්ලුම් කරන විට 18 ඉල්ලන්නේ ඩී එස් සේනානායක විද්‍යාලයයි. අංක 41 කරාපිටියේ සිට බලපිටියට මාරු වන විට රිච්මන්ඩ් විද්‍යාලය ඉල්ලා සිටී. කරාපිටියේ සේවය කරන විට මෙම දරුවා ගිය පාසැල කුමක්ද ? එවිට මෙම ප්‍රශ්නය පැන නැඟී නැත්තේ මන්ද ? මෙම ලැයිස්තුව හොඳින් අධ්‍යයනය කළහොත් මෙම ඉල්ලීම්වල සාධාරණත්‍වය පෙනී යයි. ඒ අතරම, අතිශය සාධාරණ ඉල්ලීම් ද මේ ලැයිස්තුවේ නැතිවාම නොවේ…..
දොස්තරලා ද මනුශ්‍යයෝය… උන් ද අපි මෙන්ම සාමාන්‍ය ය….
ප්‍රජාතන්ත්‍රවාදීව අපි සැවොම එක හා සමාන සැලකුම් ලැබිය යුතුය. නියමාකාරව නම් ජනාධිපතිතුමා සිට අන්ත දුගී පුද්ගලයා දක්වා අයිතිවාසිකම් සාමානව ලැබිය යුතුය. නමුත් මිනිස් වර්ගයා සතු පන්ති-කුළ-ජාති-ආගම්-පාට-පක්‍ෂ පරතර නිසා අපි සැවොම විවිධාකාර සමාජ ස්ථරවල ජීවත් වෙමු. මේ තත්ත්‍වය කිසිදා වෙනස් කළ හැක්කක් ද නොවේ. මෙය අප රටට ආවේණික ලක්‍ෂණයක් ද නොවේ. වැඩි වශයෙන් ආසියානු රටවලද, අඩු වශයෙන් අනෙකුත් රටවල ද පොදුවේ දැකගත හැක්කකි.
මා ලංකාව හැර වෙනත් රටවල් දෙකක ජීවත්ව සිටි පුද්ගලයෙක් වන නිසා ඒ ඒ රටවල වෛද්‍යවරුන්ට ඇති තත්ත්‍වය හොඳින්ම දැක ඇත. ඇමරිකාවේ නම් වෛද්‍යවරයෙකු වීමට ලංකාවේ තරම් ලේසියෙන් බැරිය. පාසැලේදී උසස්ම GPA අගයක් පවත්වාගෙන යන සිසුන් විශ්ව විද්‍යාලයේ ද ඒ අයුරින්ම අති උසස් GPA අගයයක් (4.0 හෝ ඊට දශම කිහිපයක් අඩුවෙන්) පවත්වාගෙන යා යුතුය. ඒ අවුරුදු 4 ඉගෙන ගන්නා ඔවුන් නැවතත් වෛද්‍ය විද්‍යාලයේ ද ඉගෙන ගත යුතුය. මා දන්නා පරිදි සියළුම වෛද්‍ය විද්‍යාල මුදල් ගෙවා ඉගෙන ගත යුතු ඒවා වේ.. (යකෝ මෙන්න ඇමරිකාවෙ Private Medical Schools තියෙනවලු..) ඉන්පසුවද ඔවුන් Residencies, Internships ආදියෙන් හෙම්බත්ව වසර ගණනාවක් යනතුරු Bar Exams ආදිය සිදු කර කිසියම් තත්ත්‍වයකට ආ යුතුය. ඒ පැමිණියද, අද ලංකාවේ වෛද්‍යවරුන් ගත කරන සුඛෝපභෝගී හෝ අර්ධ සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමේ භාග්‍යය ඔවුනට නොලැබේ. සිය කාර්යය අකුරට ඉටු කළ යුතු මෙන්ම තමන් රෝගියාගේ ජීවිතය පිළිබඳ අසීමාන්තික වගකීමක් ඔවුනට පැවරී ඇත. ලංකාවේ නම් පළමු උපාධිය වූ MBBS නිම වූ පසු වෛද්‍යවරයෙකු සේ පත්වීමක් ලැබේ. නමුත් අමෙරිකාවේ BS වලින් පසුව Medical School හි අධ්‍යාපනය නිම කළ යුතුය. ඒ අනුව ඔවුන් වැඩි කළක් මුදල් ගෙවා ඉගෙන ගත යුතු වේ… බොහෝ සිසුන් මේ අධ්‍යාපනය නිම කරන විට ඩොලර් මිලියනයක් පමණ ණය වී අවසානය.. ඉන්පසු ඔවුන් කරන්නේ මුලින්ම ණය ගෙවා නිම කිරීමයි. ඇමරිකාවෙ එහෙම වුනත් – ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ..
වැරදිලාවත් දකුණු කකුල කපනවා වෙනුවට වම් කකුල කැපුවෝතින් සේසතම ඉවර වෙනකල් අර රෝගියාට වන්දි ගෙවන්නට වෙයි. රෝගියාට නොකිවයුතු යමක් හෝ අයුතු බලපෑමක් කළහොත් ලයිසන් එකම ඉවර වෙයි. මේ නිසා ඔවුනට වසරකට ඩොලර් ලක්‍ෂ ගණනක ආරක්‍ෂණ සහතිකයක් ලබා ගත යුතුය. එසේම මෙඩිකල් රෙප් ලා කියන පදමට බෙහෙත් නිකුත් කිරීම ද තහනම් ය. මේ නිසා ඖෂධ සමාගම් වලින් සන්තෝෂම් ලබා ගැනීමද අපහසුය.. වෛද්‍යවරයෙකු වූ පලියට වාහන පර්මිට් ලැබෙන්නේ ද නැත… ඔවුන් සමාජයේ තවත් එක් කොටසක් පමණි. එසේ නමුත් ආසියාතික රටවලින් අමරිකාවට යන බොහෝ වෛද්‍යවරු, තම රටේදී තිබූ තත්ත්‍වයම ඒ රටවල ද තම වර්ගයා ඉදිරියේ තබා ගැනීමට උත්සාහ කරති. අපේ දූපත් මානසිකත්‍වයට ගැලපෙන සේම පිටරට සිටින අපේ එවුන්ද උන්ට ඒ විදියටම වැඳගෙන සලකති.
කෙසේ නමුත් පාසැලකට දරුවන් ඇතුලත් කිරීමේදී, රජයේ ආයතනයකට ගොස් යමක් කරවා ගැනීමේදී හෝ බැංකුවකින් ණයක් ගැනීමේදී වැනි අවස්ථාවලදී වෛද්‍යවරුන්ට තරමක සුවිශේෂී ස්ථානයක් ලැබේ. ඒ උගත්කමට සහ වෘත්තීය ස්ථාවරභාවයට ගරු කිරීමක් ලෙසින්. එසේ නමුත් ඒ ගරු කිරීම ම, ආචාර්ය උපාධිධරයන්ට, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට, ගණකාධිකාරීවරුන්ට, නීතීඥයින්ට ආදී සමාජයේ අනෙකුත් උගත් යැයි සම්මත කොටසට ද ඒ අයුරින්ම ලැබේ. ඒ නිසා ඒ රටවල වෛද්‍යවරු අලිපුකෙන් ඇවිත් නැත.
ලංකාවේ මූලික අධ්‍යාපනය ලැබ, ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනය නම් පෞද්ගලික උපාධි කඩයක මූලික උපාධි තත්ත්‍වය ලබාගෙන, ඇමරිකාවේ විශ්ව විද්‍යාල දෙකක පශ්චාත් විද්‍යාවේදී උපාධිය සහ ආචාර්ය උපාධි ලැබ, විශ්ව විද්‍යාලයක අවුරුදු දෙකක් පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂණ සහ ඉගැන්වීම් සිදු කර, ජර්මනියේ BASF ආයතනයේ විද්‍යාඥයෙකු ලෙස සේවය කර ලංකාවට පැමිණි මා, දරුවාට කිසිදු රජයේ පාසැලක් සෙවීමට උනන්දු වූවෙකු නොවේ. මගේ පදිංචිය අනුව රාජකීය, ඉසිපතන, තර්ස්ටන් යන විදුහල් තුනටම ඇල්කෙමි පැටියා ඇතුලත් කර ගැනීමට තරම් “ලකුණු” තිබුණි. එකළ සිටි දේශපාලුවෙකුට රුපියල් ලක්‍ෂ දහයක් දුනහොත් පැටියාව රාජකීය විද්‍යාලයට ඇතුලත් කර දෙන බවට මගේ සමීපතම මිතුරෙකු ද මට පොරොන්දු විය…. නමුත් මා ඌව දැම්මේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසැලටයි. කිසිවෙකු මට ඌව ඒකට දැම්මාය කියා දොස් පැවරුවේවත්, අපරාදෙ රාජකීය විද්‍යාලයට දාන්න තිබුණ චාන්ස් එක මිස් කර ගත්තා යැයි උපදෙස් දෙන්න ආවේවත් නැත. ඒ සමහරවිට මගේ ගැන දන්නා නිසා වෙන්නට පුළුවන.
හිතවත් වෛද්‍යවරුනි,
මේ ගැන කතා කළ මගේම සමහර වෛද්‍ය මිතුරන් පැවසූයේ අපි මේ කතන්දරයට විරුද්ධ වන්නේ අප තුළ පවතින හීනමානය නිසා ය කියාය. මට නුඹලා ගැන කිසිම තරහක් හෝ හීන මානයක් නැත. වෛද්‍යවරයෙකු වීමේ සිහිනය මටද නොතිබුණා නොවේ… ඒ සිහිනය සැබෑ කරගන්නට නොහැකි වූවා කියා මට ඉරිසියාවක් හෝ වෛරයක් ද නැත. මම නුඹලාට වඩා කිහිප ගුණයක් නීත්‍යානුකූලව- සහ සාධාරණව කිසිවෙකු ප්‍රාණ ඇපයට තබා නොගෙන මුදල් උපයන කෙනෙකි. මම ද සමහරුන්ට දොස්තර (Dr.) කෙනෙකි. නුඹලාගේ තත්ත්‍වය භාවිතා කර නුඹලාට ඇති සමාජ තත්ත්‍වය නිසා වරදවා වටහාගෙන සිටින පුද්ගලයින්ට කියා යම් යම් දේ කරවාගත් බව නම් සැබෑය. ඒ සමාජයේ Ignorance බව සාර්ථකව වාසියට හරවා ගැනීමකි. ඇල්කෙමිච්චී ඉගැන්නුවේ Pre-Med සිසුන්ටය… ඒ නිසා ඇයට ද හීන මානයක් නොමැත… කොටින්ම කියනවා නම් නුඹලාගේ තත්ත්‍වය පිළිබඳ දශමයක හෝ හීනමානයක් අපට නොමැත. මෙය හීනමානයකින් ලියන ලද්දක් නොවේ.
මේ පිළිබඳ සක්‍රීයව කතා කරන බොහෝ දෙනාට නුඹලාගේ දරුවන් හොඳ පාසැල්වලට දැම්මාද නැද්ද යන්න ප්‍රශ්නයක් නොවනු ඇත. ප්‍රශ්නය වන්නේ නුඹලා ඒ ඉල්ලීම් ඉල්ලූ ආකාරයයි. උඹලා ඒ ඉල්ලීම් ඉල්ලුවේ ශයිලොක් මස් රාත්තලම ඉල්ලුවාටත් වඩා අමානුෂික ආකාරයටය…. මේවා ප්‍රසිද්ධියේ රෙදි ගළවා නොගෙන හීන් සැරයෙන් කරගත යුතු දේවල්ය.. නුඹලා පමණක් නොව, අන් සියළුම වෘත්තිකයින්ට සමාන අයිතිවාසිකම් සහ සමාන අභිමානයක් තිබේ.. රටක් වශයෙන් ඉදිරියට යන්නේ එවිටයි….
බොහෝ විට නුඹලා කරන හොඳ දේ ප්‍රචාරණය වනවා අඩු විය හැක… මාධ්‍ය බොහොමයක් රස කර කර විකුණන්නේ කුණු මාළු විනා සුවඳ හමන මල් නොවේ… ඒ උන්ගේ සදාචාරයයි. සමාජයේ වැදගත් යැයි සම්මත, බොහෝ දෙනා Role Models ලෙස සළකන නුඹලා යම් වැරැද්දක් කළවිට එය දස ගුණයකින් රැල්ලක් වී නුඹ වෙතම ආපසු එන්නේ සමාජය නුඹලා පිළිබඳ මවා ගෙන ඇති ප්‍රතිරූප බිඳී යාමේ වේදනාව නිසාය… අපේ සිරි ලාංකිකයාට ප්‍රතිරූප වන්දනාව ඉතා තදින් මුල් බැසගෙන ඇත. ජීවිතයට දෑසින් නොදුටු අය පවා ප්‍රතිරූප මවාගෙන වන්දනා කරන ඔවුන්, එය බිඳී ගිය පසු මරා ගන්නට ඉදිරියට කඩාගෙන පනී,.. ඉඳහිට සමහර බ්ලොග්කරුවන් තම හිට්ස් ප්‍රමාණය වැඩි කර ගනු වස්, පෝස්ට් දෙක තුනක් ද ඒ අතරට රිංගවා ගනිති.
සමාජයේ සුවිශේෂී පිරිසක් යැයි කියා කොටසක් නොමැත.
සිදු විය යුත්තේ මෙයයි. වෛද්‍යවරු, නීතීඥයින්, ගුරුවරු, ආචාර්ය-මහාචාර්යවරු, ලිපිකරුවන්, කුලීකරුවන්, වැසිකිලි පවිත්‍රකරන්නන්, සහ දේශපාලුවන් යන සියල්ලට එකම වරප්‍රසාද, එකම පිළිගැනීම තිබිය යුතුමය. නමුත්, දූපත් මානසිකත්‍වයක වැඩවසම් සමාජ ක්‍රමයක දිවි ගෙවන අපි, කවදාවත් කිසිවෙකුට වෙනස් තත්ත්‍වයක් දීමට මැලි වනවා සේම, තමන්ට හිමි තත්ත්‍වය නැති වනවාට ද අම්බානක බය පිරිසක් වේ. මේ නිසා බොහෝ දෙනෙකු අනුන්ට කෙළවෙනවා බලා සිට ස්වයං වින්දනයකට පත්වීමට කැමති ය. මේ නිසාම තැලන යකඩය උඩ පැන පැන තලන්නාක් මෙන් අනුන් කියන ඕනෑම මගුලක් මුහුණු පොතේ බෙදා ගන්නවා සේ, වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය අරභයාද ක්‍රියා කරති. එයට විරුද්ධව තම කුලකයේ එවුන් – එනම් වෛද්‍යවරු – ද විවධාකාර පෝස්ට් ලියති.
මෙම ප්‍රශ්නය කෙසේ නිරාකරණය කළ යුතුදැයි ඇත්තෙන්ම මට පැවසීමට හැකියාවක් නැත. ඒ තරම් සුවිශාල රාජ්‍ය තාන්ත්‍රික දැනුමක් හෝ මේ ප්‍රශ්නය නිරාකරණය කිරීම පිළිබඳ පුළුල් දැනුමක් මට නොමැත. ඒ නිසා ඒ පිළිබඳ ගොඩ පෙරකදෝරු කම් කිරීමෙන් වැලකී සිටිමි.
නමුත්, රජයක් ලෙසින් කළ යුත්තේ, මෙයට සාධාරණ විසඳුමක් ලබා දීමයි. තම සේවා ස්ථානය හෝ රැකියා ස්ථානය අනුව පාසැලක් ලබා දීම, එක්තරා කෝටා ක්‍රමයක් සැලසීම, ආදිය කඩිනම් විසඳුම් ලෙසින් සැලකිය හැකිය. නමුත් ප්‍රධානව සිදු විය යුත්තේ සෑම පාසැලකම පහසුකම් එක හා සමාන කිරීම මගින් ජනප්‍රිය පාසැල් තරඟය අවම කර මෙම තරඟය අඩු කිරීමයි.
වෛද්‍යවරුන් ද, මස් රාත්තලම නොඉල්ලා… තම දරුවන්ගේ පාසැල් ප්‍රශ්නය නොව, තම දරුවන්ට ද යා හැකි ආකාරයට සෑම පාසැලක්ම එක හා සමානව දියුණු කරන ලෙස ඉල්ලා වර්ජනය ආරම්භ කළේ නම්, සමහරවිට ඔබ වටා සමස්ථ සමාජයම එක් රොක් වන්නට ඉඩ තිබුණි. නමුත් ඔබේ ආත්මාර්ථකාමී ඉල්ලීම නිසාම, ඔබ තව තවත් සමාජයේ වෛරයට පාත්‍රවනවා විනා, අන් යමක් සිදු නොවේ…FUTA කළ දේ කුමක් වුවත්, ඔවුන්ගේ පා ගමනට බොහෝ දෙනා ආශීර්වාද කළේ, ඔවුන් අධ්‍යාපනය නැංවීමට 6% ක් ඉල්ලීම කළ නිසාය…
මින් පසුව වත්, සමාජයේ හද ගැස්ම හඳුනාගෙන, තමන්ගේ ප්‍රශ්නය එයට සමපාත කර සමාජය හා එක්ව එය ලබාගන්නට කටයුතු කරන්නේ නම්, සමස්ථ සමාජයම ඔබ හා එක්වනු නොඅනුමානය….
මේ ඔබ කළ කී දෑ නිසා සමාජයේ පිළිකුල අන්තර්ජාලයේ සටහන්වන ආකාර කිහිපයකි….
වෛද්‍යවරුනි, නුඹලා අලිපුකෙන් ඇවිත් නැත, නමුත් නුඹලා කරන රාජකාරියේ සුවිශේෂී බව නිසාම වෘත්තීයමය වශයෙන් ගරු කටයුතුව සැලකේ… එම ගරුත්වය මෙවැනි සාහසික ක්‍රියා මගින් කෙලෙසා ගන්න එපා…. සමාජය සමඟ එක්ව ගමනක යමු… එවිට සාමාන්‍ය ජනතාව පවා ඔබේ ඉල්ලීමට එකඟ වනු ඇත…
නුඹලා අලි පුකෙන් ඇවිත් නැත.
පසුව ලියමි: ග්‍රාම්‍ය ව්‍යවහාරයේදී, කෙනෙකු තම තත්ත්‍වය හෝ බලය නිසා අසාමාන්‍ය දෑ, වරප්‍රසාද ඉල්ලයි නම් අසන්නේ, “ඇයි ? උඹ අලිපුකෙන් ඇවිත් ද ?” කියායි… මාතෘකාවට නිමිත්ත වූයේ එයයි…
අව්ව සැරයි – විජලනයට පිළියම් යොදන්න…
පසුගිය දස වසර තුළ දේශගුණයේ දැඩි වෙනස් වීමක් සිදුව ඇති බව සියල්ලෝම අවිවාදයෙන් යුතුව පිළිගන්නා කරුණක්. වර්ෂාපතන රටාවේ වෙනස්කමක්, සුළං රටාව වෙනස් වීම්, උෂ්ණත්‍වය ඉහළ යාම, නියං තත්ත්‍වයන් වර්ධනය ආදිය ඉතා දැඩිව අපට දැනෙන කාළයක්. අප්‍රේල් මාසය කොහොමත් ලංකාවට රස්නය අධික කාළයක්. දක්‍ෂිණාර්ධගෝලයේ සිට උත්තරාර්ධගෝලය වෙත සූර්යයාගේ ගමනේදී ලංකාවට කෙළින්ම හිරු මුදුන් වෙන කාළය මේ කාළයයි. ඍජු වර්ෂාපතනයක් නොමැති වීම නිසාත්, මේ කාළයේ සාමාන්‍යයෙන් පතිත වන සංවහන වැසි නොවැටෙන නිසාත්, ලංකාවේ පවතින්නේ අධික රස්නයක්. මෙය උණුසුම් වායු තරංගයක් (Heat Wave) එකක් ලෙසින් හැඳින්වීම වරදක් නැහැ.
මේ ආකාරයේ කාළගුණ තත්ත්‍ව ඍජුවම පරිසරයට බලපානවා. සතුන්ට සහ ගහකොළවලට මේ වෙනස බලපෑවත්, ඔවුන් ස්වභාවයෙන්ම පරිසරයට අනුවර්තනය වන නිසා කෙසේ හෝ එයින් මිදීමට අවකාශ සළසා ගන්නවා. ඒ මිනිසුන්ට මෙන් සංකීර්ණ ජීවන රටාවක් ඔවුනට නැති නිසා. මිනිසුන්ට අවශ්‍යතා අධිකයි. විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයා අවුරුදු සමයේ ඔවුන් ක්‍රියාකාරී වන්නේ අවුරුද්ද ඔවුන්ට සංස්කෘතිකව ඉතා වැදගත් නිසා. ඒ නිසාම මේ අධික රස්නයත් ඔවුන්ට අමතකයි…. මෙය තරමක් දරුණු තත්ත්‍වයක්. ඒ නිසාම මේ වෙනුවෙන් විවිධ පිළියම් යෙදිය යුතුයි. රස්නය පාළනය කිරීමට අපට කල නොහැකක්කක්. නමුත් අප පරෙස්සම් වීම කළ හැකියි.
හැකි තාක් සිසිල් ස්ථානයක සිටින්න.
දවසේ උෂ්ණත්‍වය අධිකම කාළය වන්නේ උදෑසන 11.00 – 3.00 අතර කාළයයි. මේ කාළය ඇතුලත හැකි නම් සිසිල් සෙවන සහිත ස්ථානයක සිටිය හැකි නම්, ඉතා හොඳයි. නමුත් පවතින අධික වැඩ රාජකාරි සමඟ ඔබට එසේ කළ නොහැකියි. ඒ නිසාම විටින් විට සෙවනක් කරා යාම කළ හැකියි. නිවසක නම් පහත මාලය සිසිල් බවින් වැඩි නිසා දිවා කාළය පහත මාලයක ගත කළ හැකියි.
හොඳින් ජලය පානය කරන්න.
තාපයට ඔරොත්තු දීමට අවශ්‍ය එකම අවිය වන්නේ ජලයයි. අපේ ශරීරයෙන් 75% කට අධික ප්‍රමාණයක් ජලයෙන් සමන්විත නිසාම සහ සියළු ජීව ක්‍රියාකාරීත්‍වයේ මූලිකම මාධ්‍යය ජලය නිසාම අපට කිසිම විටක ජලයෙන් තොර ජීවයක් නැහැ. එසේමයි විජලනය ඇති වූ විට අපේ ජීව පද්ධතියම අඩපණ වෙනවා. මේ නිසයි අපට ආහාර නොමැතිව දින ගණනක් ජීවත් විය හැකි වුවත්, ජලය නොමැතිව ජීවත් විය නොහැක්කේ. උණුසුම් කාළයකදී සිදු කළ යුතු ප්‍රධානම දේ විජලනයෙන් වැලකීමයි. ඒ නිසා සෑම විටම සිසිල් ජලය පානය කළ යුතුයි. වෙනදාටත් වඩා වැඩියෙන් ජලය පානය කළ යුතුයි. සිසිල් බීම වලින් පිපාසය සංසිඳවූවත්, විජලනය වැඩි කරනවා. සිසිල්බීම වල අඩංගු සීනි සාන්ද්‍රණය අධික නිසා අපට ජල අවශ්‍යතාවය වැඩි වනවා.
කපු අැඳුම් භාවිතා කරන්න – සුදු නම් වඩාත් සුදුසුයි
අධික තාපය අැති දිනවල භාවිතයට වඩාත්ම සුදුසු වන්ෙන් සුදු කපු අැඳුම්. කපු අැඳුම් දහඩිය ෙහාඳින් උරා ගැනීම සහ පිට කිරීම සිදු කරන නිසා ශරීරයට සිසිලක් ලබා ෙදනවා. කළු පැහැති ෙහා් වර්ණ අැඳුම් හිරු කිරණ උරා ගන්නවා… සුදු සියල්ල පරාවර්තනය කරනවා. ෙම් නිසා ශරීරය මතුපිට උෂ්ණතවය ඉහළ යාම අඩු වනවා.
මද්‍යසාර පානය අවම කරන්න
අධික තාපය අැති දිනවල මද්‍යසාර භාවිතයෙන් වැලකී සිටිනවා නම් හොඳයි. මද්‍යසාර අැත්තෙන්ම ශරීරය විජලනයකට ලක් කරනවා. ෙම් නිසා හැකි තරම් මත්පැන් භාවිතෙයන් වැලකී සිටිනවා නම් හොඳයි.
සැහැල්ලු අාහාර වේලක් ගන්න
අධික ප්‍රෝටීන් සහිත බර අාහාර වේල් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්‍වය වැඩි කරනවා. මේ නිසා ශරිර උෂ්ණතවය ඉහළ යනවා… නිතරම සැහැල්ලු සමබල අාහාර වේලක් ලබා ගැනීම තාපයට ඔරොත්තු දෙනවා වගේම ශරීර සෞඛ්‍යයටත් හොඳයි. ඔබ අධිකව දහඩිය දමන පුද්ගලෙයකු නම්, ලුණු භාවිතය සහ සීනි භාවිතය අඩු කරන්න… මෙවැනි අාහාර වේල් ගැනීම නිසා අධික දහඩිය දැමීමේදී ශරීරයේ ලවණ සාන්‍ද්‍රණය වැඩි වී විජලනය අැති වීමට පුළුවනි.
කුඩයක් භාවිතා කරන්න – Sunscreen භාවිතා කරන්න
අවුවේ යනවා නම් කුඩයක් භාවිතා කළාට වරදක් නෑ. සමාජය මොනවා කිව්වත්, තාපයට නිරාවරණය වන්නේ ඔබයි. ඔබට අහිතකර යමක් සිදු වුනොත් ඔබට හිනාවෙන සමාජය ඔබව බේරගන්න එන්නෙ නෑ… ඒ් වගේමයි, Sunscreen ආලේප කළහොත් සමේ ලාමක ස්ථානවලට වැඩිපුර අාරකෂාවක් ලබා දිය හැකියි. මෙමගින් සමේ පිළිකා තත්ත්‍වයන් පවා පාලනය කළ හැකියි.
පරිසරයට නිරාවරණය වන ස්ථානයක වාහන ගාල් කිරීමේදී….
ඔබ සමහරවිට වාහනයේ ඔබේ දරුවන්, අාදරණීයයන්, සුරතල් සතුන් තබා සුළු වේලාවකට හෝ පිටතට යාමට ඉඩක් අැති. මේ සුළු වේලාව සමහරවිට ඔවුන්ගේ ඉරණම තීරණය කළ හැකියි. වාහන අැතුලත වාතය ඉතාම ඉක්මනින් රත් වනවා. මේ නිසා සමහරවිට වාහනය අැතුලත උෂ්ණත්‍වය අංශක 50- 70 දක්වා වුවද විය හැකියි. මෙය සිරුරකට දරාගත නොහැකියි. පිටරටවල කුඩා දරුවන් වාහනය තුළ මිය යන්නේ මේ වැනි අතපසුවීම් තුළින්. කිසිවෙකු වාහනයේ නවත්වා යා යුතු නම් වාහනය පණගන්වා වායුසමන යන්ත්‍රය ක්‍රියාත්මක කරවන්න. එසේත් නැතිනම් සියළුම ජනේල විවෘතකර තබන්න. හදිසියක් වූවොත් ඔවුනට ඉන් පැන යාමට හෝ පිටත සිටින කෙනෙකුට උදවුවක් හෝ කිරීමට හැකියි.
ජනේල දොරවල් හිරු එළිය නිවස තුළට ගෙන ඒ් නම් ඒ්වා අාවරණය කරන්න
වීදුරු ජනේල දොරවල් අැති නිවාසවලට හිරු රැස් පතිත වීමත් සමග හරිතාගාර තත්තවයක් අැති විය හැකියි. මේ නිසා අැතුලත උෂ්ණත්වය වැඩි විය හැකියි. මෙය වලක්වා ගැනීමට ජනේල සහ දොරවල් අැලුමිනියම් වැනි පරාවර්තක ද්‍රව්‍යයකින් අාවරණය කිරීම මගින් නිවස තුළට පැමිණෙන හිරු රැස් ප්‍රමාණය අවම කරගත හැකියි.
රෝග ලකෂණ හදුනා ගන්න
අධික තාපයට නිරාවරණය වීම නිසා පහත අනතුරුදායක සංඥා ශරීරෙයන් නික්මිය හැකියි. මේ ගැන අවධානය යොමු කිරීෙමන්හා් බොහෝ අනතුරු වලක්වාගත හැකියි
- අධික දහඩිය දැමීම
- මහන්සිය
- කරකැවිල්ල හෝ ක්ලාන්ත ගතියක්
- කෙණ්ඩා පෙරළිම්
- හිසරදය
- අධික උණ
- වමනය
- ඇඟේ හිරිගඩු පිපීමක්
- ඉර අවුවට පිච්චීම නිසා සමෙහි රතු පැහැති ලප
- හෘද ස්පන්දනය ඉහළ යාම
මේ රෝග ලකෂණ පැමිණි වහාම හොඳින් වාතාශ්‍රය අැති වියලි තැනකට ගොස් හොඳින් ජලය පානය කරවන්න. සාමාන්‍යයෙන් සෑම පැයකටම අවම වශයෙන් වතුර වීදුරු 4 ක් වත් පානය කිරීම සිදු කළ යුතුයි. හැකි නම් අැඳුම් බුරුල් කර සිසිලස ලබා දෙන්න. ශරීරය ජලයෙන් තෙත මාත්තු කර සිසිලස ලබා දෙන්න. ශරීරයේ කිහිලි – ඉකිලි බෙල්ල සහ පිට ප්‍රදේ්ශවලට අයිස් තබා ඉක්මන් සිසිලස ලබාදෙන්න
විශේෂයෙන්ම කුඩා දරුවන්, මහළු උදවිය සහ ගැබිණි මවුවරුන් අධික තාපෙයන් ප්‍රවේශම් විය යුතුයි. එසේම තාපය නිසා අැතිවන කම්පනය හෘදයාබාධ සහ අාඝාත තත්තවයනට මග පාදන්න පුළුවන්.
අවසාන වශයෙන් අප පමණක් නොවෙයි අපේ සුරතල් සතුන්ද මේ තාපයෙන් අාරකෂා කර ගත යුතුයි. ඔවුනට හොඳින් ජලය පානය කිරීමට ලබා දීම සහ සිසිල් ස්ථානයක රඳවා තැබීම මගින් ඔවුන් අාරක්ෂා කර ගත හැකියි.
සෑම විටම පෙර සූදානම ප්‍රතිකාරයට වඩා යෝග්‍යයි. ඒ් නිසා යමක් වීමට ෙපර එය වලක්වා ගැනීම ඔෙබ් යුතුකමක්.
සුබ අළුත් අවුරුද්දක් වේවා….