Blog Archives

2012 නොවැම්බර් 03: මෙන්න මිනිහෙක් මැරෙනවා… වරෙල්ලා වරෙල්ලා…. වීඩියෝ කරපල්ලා……


අපේ ඉතිහාසයේ නොවූ විරූ අන්දමට අපේ සිත් සතන් සහ සිතිවිලි විරූප වී තිබේ. තාක්‍ෂණයේ දියුණුවත් සමඟම සියළුම දෙනාට  අති නවීන ජංගම දුරකථන හිමි වී තිබේ. යුද්ධයේ අනුහසින් මරණය යනු තවත් සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබේ. මිනිසුන් සිතන්නේ නැත.. ඔවුහු තිරිසන් හැඟීම් සහ ඇඩ්‍රිනලින් ප්‍රවාහයන් වෙනුවෙන් මානුෂිකත්‍වය බිලි දී ඇත. පුවත්පතක් ගතහොත් ස්ත්‍රී දූෂණ 10ක්, මිනී මැරුම් 15 ක් සහ ලමා අපචාර පහක්වත් කියවිය හැක. පුවත්පත් විකුණා ගැනීම සඳහා ද බොහෝ පුවත්පත් මේවා රසකමින් පළකරති. තවත් සමහර රූපවාහිනී සේවා මළකඳන් විකුණමින් සිය ප්‍රවෘත්ති ජනතාව අතරට ගෙන යති. එසේම මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් තිරිසන් වී ඇති අයුරු මෑතකදී සිදු වූ සිදුවීම් කිහිපයකින්ම අපට පසක් විය. රිය අනතුරකට පත්ව හිස කඳින් වෙන්ව ගිය මවගේ හිස රැගෙන විලාප නඟන තරුණියක් වීඩියෝ කරන්නට සමත් නරුම හිත් අපට පහළ වූයේ කෙසේදැයි සිතා ගන්නට නොහැක… එයට දෙවැනි කර රන් පදක්කම ලබා ගන්නට ගාල්ලේ සිදුවීමක් වීඩියෝ කළ පුද්ගලයා සමත්ව ඇත.

ගාල්ලේ සිදු වූ ගැටුමකදී හිටපු නගරාධිපති ගේ සොහොයුරාගේ පාදයක් හා අතක් වෙන්වන්නටම මහමඟ කපා දමා තිබියදී ඔහුව රෝහලකට ගෙනයනු වෙනුවට ඒ වටා සිටි සියළුම දෙනා තම ජංගම දුරකථන ඒ දෙසට දික් කරගෙන වීඩියෝ කරනු අපට දක්නට ලැබුණි. මෙසේ වීඩියෝ කරගෙන කුමක් කරන්නද ? නැවත නැවතත් අර මිනිසා මරණය සමඟ පොරබදනු නරඹා මාර ආතල් එකක් ගන්නද ? ගෙදර ගෙනගොස් පෙන්වන්නද ? වෙබ්අඩවියකට විකුණා මුදල් ගන්නද ? මේ සිද්ධිය ගාල්ල ප්‍රදේශයේ කල්ලි කිහිපයක් අතර ගැටුමක ප්‍රතිඵලයක් බව දැන් දැන් ඇසෙන ප්‍රවෘත්ති වලින් දැනගන්නට ලැබේ. අවි ගත්තෝ අවියෙන්ම නැසුනත්, අපට ඒ ගැටුමට අත දැමීම තම ජීවිතයට තර්ජනයක් විය හැකි වුවත්, මානුෂීය හේතූන් සළකා එම පුද්ගලයා මහමඟ මිය යනු වීඩියෝ නොකර සිටියා නම් කොපමණ වටී ද ? මිනිස් ජීවිතයට ලැබෙන වටිනාකම මෙයද ?

මෝටර් රථ ධාවන තරඟයකදී පාරෙන් ඉවතට ගිය වාහනයක් ගොඩට අදින දර්ශනයක් වීඩියෝ කළ තරුණයින් දෙදෙනෙකු එහි දී සිදුවූ  අනතුරකින්  නිසාම මියගිය පුවතක් අපට අසන්නට ලැබුණේ වැඩි ඈතක නොවේ. එසේම ඒ මියගිය තරුණයින් දෙදෙනාද වීඩියෝ කර අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කර තිබෙනු අපට දකින්නට ලැබුණි. ඔබ හෝ ඔබගේ පවුලේ කිසිවෙකු මෙසේ මහමඟ මිය යද්දී අවට සිටින්නවුන් උපකාර නොකර දුරකථන දික් කරගෙන සිටිය හොත් ඔබට ඇතිවන හැඟීම කුමක්ද ?

මීට වසර විස්සකට පමණ පෙර පාර අයිනෙහි බල්ලෙකු පණ අදිමින් සිටියත් අහළ-පහළ මිනිසුන් එකතු වී ඌට වතුර පොදක් පෙවීමට හෝ තරම් මනුස්සකමක් අපේ හදවත් තුළ තිබුණි. නමුත් යුද්ධයත් තාක්‍ෂණයත් තවත් නොදන්නා සාධක බොහොමයකුත් එකතුව අපේ මනුස්සකම කොහේදෝ රැගෙන ගොස් ඇත… ඒ නිසාම මිය යන මිනිසාගේ ගෞරවයට වඩා වීඩියෝ කිරීම අපට ලොකු වී ඇත….

අපි අපේ මිනිස් ජීවිතවල අර්ථය කුමක්දැයි නැවත සිතා බැලීමට කාළය පැමිණ ඇත… ආණ්ඩුවෙන් නීති පැණවීම කරනතෙක් බලා නොසිට අපි අපිම ස්වයං වාරණයක් පණවාගත යුතුය… මිනිස් ඝාතනය කොතැනත් වැරදි ය… නමුත් ඒ සඳහා ක්‍රියා කිරීමට නීතියක්, පොලීසියක් ඇත.. ඒ පිළිබඳ ක්‍රියාත්මක වීමේ කාර්යය ඔවුන්ට භාර කරමු.. නමුත්, මිය යන මිනිසෙකුගේ අවසාන මිනිත්තු කිහිපය ඔබේ ජංගම දුරකථනයේ තබාගෙන එය රස විඳීම නම් අන්තිම පහත් කාර්යයකි….

ඔබේ වටිනාකම පිළිබඳ ඔබම තක්සේරු කරගන්න….. ඔබ මිය යන විටත් වටපිට මිනිසුන් ජංගම දුරකථන දික් කරගෙන සිටින දිනය වැඩි ඈතක නොවන්නට පුළුවන… ඔබ වෙනස් වෙන්න… ඔබේ මිතුරන් වෙනස් කරන්න…. සමාජය වෙනස් වනු ඇත….

මිනිසෙක් වශයෙන් ජීවත් වී මිනිසෙක් වශයෙන් මිය යන්න…… අවම වශයෙන් ඔබේ ආත්මයට සැනසීමක් එක්කරවනු ඇත…

%d bloggers like this: