Blog Archives
අනාගතයේ දත්ත ලෝකය පාලනය කරන දෙවියා….. Facebook නිර්මාතෘ Mark Zuckerberg
මේ ලිපිය කියවන ඔබ සියවසේ පරපුරට අයත් නම් අනිවාර්යයෙන්ම Facebook සාමාජිකයෙක් වන්නට පුළුවනි. එසේ නොමැති අයෙක් සොයාගැනීම තරමක් අසීරු කාර්යයක්. Facebook සාමාජිකත්‍වය නොලබා සිටින්නකු එසේ නොවන්නේ යැයි ඉතා දැඩි ස්ථාවරයක සිටින අයෙක් හෝ, ස්මාට් ජංගම දුරකථනයක හිමිකරුවකු හෝ නොවිය හැකි අයෙකුයි. තවත් සමහරවිට ඒ පුද්ගලයා සමාජය සමග සබඳතා අනවශ්‍ය යැයි සිතන පුද්ගලයෙකු විය හැකියි. ඒ අය හැරුණුකොට, සමාජයේ විවිධ තලවල, විවිධ වෘතීන්වල, සහ විවිධ වයස් මට්ටම්වල සෑම දෙනෙකුම පාහේ Facebook හි සාමාජිකත්‍වය ලබා සිටිනවා.
එයින්ම ඔබට පෙනෙනවා ඇති 2004 පෙබරවාරි 04 දින ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේදී එලිදැක්වුන, ලෝකය වෙනතකට ගමන් කරවන Facebook නම් සමාජ ජාල වෙබ් අඩවිය ලෝකවාසී මිනිසුන්ගේ සිත් සතන්, ජීවන රටාව, සිතුවිලි රටාවට කළ සුසමාදර්ශීය වෙනස. The Facebook යනු ඇමරිකානු සරසවිවල සිසුන්ගේ පින්තූර එකතු කොට සැකසුන නාමාවලියක්. හාවඩ් හි දෙවන වසර සරසවි සිසුවකුව සිටියදී මාක් සකර්බර්ග් මුලින්ම Facemash නම් වෙබ් අඩවිය නිර්මාණය කළේ එකළ තිබූ Hot or Not නම් වෙබ් අඩවියට සමාන කරමින්. මෙහිදී සිදු කළේ හාවඩ් වෙබ් ජාලයේ තිබූ සිසුන්ගේ පින්තූර තෝරාගෙන දෙදෙනෙකුගේ පින්තූර දෙකක් සසඳා දෙදෙනාගෙන් කවුරු වඩා සරාගී ද යන්න තේරීමයි. ප්‍රසිද්ධ කර මුල් පැය 4 ඇතුළත, Facemash වෙබ් අඩවිය 450 ක් නරඹා තිබු අතර එහි වූ ඡායාරූප 22,000 වතාවක් පරිශීලනය කර තිබුණා. මේ නිසාම ඔහුට හාවඩ් සරසවියෙන් දඬුවම් ලැබූයේ වෙබ් ජාලයේ ආරක්‍ෂක උපක්‍රම අවදානමට ලක් කිරීම නිසා. පසුව ඔහු එම ව්‍යාපෘතිය කලාවේ ඉතිහාසය යන විෂයානුබද්ධ ව්‍යාපෘතියක් ලෙස සකසා ඉදිරිපත් කළා. එහිදී විවිධ කලාකෘතිවල පින්තූර වෙබ් අඩවියකට ඇතුලත් කර ඒවාට Comment කිරීමේ පහසුකම ඇති කළා. එය ඉතා ඉක්මනින්ම සිසුන් අතර ප්‍රචලිත වුනා.
අනෙක් සෑම නව නිර්මාණයකටම වාගේ මෙයටත් ප්‍රශ්න නොතිබුණා නොවෙයි. මෙය එළිදක්වා දින හයකට පසුව හාවඩ් විශ්ව විද්‍යාලයේම Cameron Winklevoss, Tyler Winklevoss, සහ Divya Narendra තිදෙනා සකර්බර්ග්ට විරුද්ධව පැමිණිලි කළේ ඔවුන්ව රවටා ඔවුන්ගේ දැනුම ලබාගෙන HarvardConnection.com නම් වෙබ් අඩවියට තරඟකාරී වෙබ් අඩවියක් නිර්මාණය කලාය පවසමින්. කෙසේ හෝ මේ පැමිණිල්ල 2008 නඩු මාර්ගයට ගොස් 2012 දී කොටස් වෙළඳපොලේ ඩොලර් මිලියන 300 ක් වටිනා කොටස් ප්‍රමාණයක් ඔවුනට ලබාදීමට එකඟවීමෙන් සමථයකට පත් කෙරුණා.
මුලින් සරසවි සිසුන්ට පමණක් විවෘතව ක්‍රම ක්‍රමයෙන් වැඩුණු Facebook වෙබ් අඩවිය 2006 සැප්තැම්බර් 26 වන දින අවුරුදු 13 ට ඉහළ සාමාන්‍ය ජනතාවට සාමාජිකත්‍වය ලැබිය හැකි වන සේ විවෘත වූ අතර 2007 අග භාගය වන විට ව්‍යාපාරික ප්‍රජාව අතරද බෙහෙවින් ජනප්‍රිය වුනා. ඒ අනුව ඒ කාළය වන විට ව්‍යාපාරික පිටු 100,000 ඉක්මවා එකතු වූවා. එපමණක් නොවෙයි, ව්‍යාපාරික දැවැන්තයන් වන මයික්‍රොසොෆ්ට් සමාගම පවා Facebook හි ආයෝජනයට එකතු වුණා. 2007 ඔක්තෝබර් වන විට Facebook හි පූර්ණ වටිනාකමින් 1.6% ක කොටස් ඩොලර් මිලියන 240 ක් මුදලක් ලබා දී මයික්‍රොසොෆ්ට් සමාගම මිලදී ගත්තේ ෆේස්බුක්හි මුළු වටිනාකම ඩොලර් බිලියන 15 ක් බවට ඉහළ නංවමින්. මේ සමගම අන්තර්ජාතිකව වෙළඳ දැන්වීම් Facebook හි පල කිරීමේ අයිතියත් ඔවුනට ලැබුණා.
2008 දී සිය ජාත්‍යන්තර මූලස්ථානය අයර්ලන්තයේ ඩබ්ලින් හි පිහිටවූ Facebook ආයතනය 2009 වන විට ලාභ ලබන තත්ත්‍වයට පත් වූයේ වඩාත්ම වැඩිපුර පරිශීලනය වන සමාජ වෙබ් අඩවිය ලෙස කිරුළු පලඳමින්. 2010 වනවිට මිලියන 500 ක සාමාජිකත්‍වයක් ඇතිකරගත් මෙය සත්තකින්ම නිහඬ විප්ලවයක් කළායැයි පැවසුවහොත් එය අසත්‍යයක් නොවන්නේ ලොව පුරා විවිධ අවස්ථාවන්හිදී රාජ්‍යබලය පවා මේ මගින් සෙලවුන නිසා.
2010 නොවැම්බර් වන විට ඇමරිකාවේ තුන්වන විශාලතම සමාගම බවට පත් වන්නට Facebook ආයතනයට හැකි වුවේ එහි අගය ඩොලර් බිලියන 41 ක් බවට පත් කරගනිමින් ඒ වනවිට ඉහළින්ම වැජඹුනේ ගූගල් සහ ඇමසොන් සමාගම් දෙකයි. 2011 වසර වනවිට ඇමරිකාවේ වැඩියෙන්ම පරිශීලනය කරන වෙබ් අඩවිය බවට Facebook පත් වූයේ මසකට ට්‍රිලියනයක වෙබ්ගත වීම් සනිටුහන් කරමින්.
Facebook නිර්මාතෘ මාක් සකර්බර්ග් රතු – කොළ වර්ණ අන්ධතාවයෙන් පෙළෙන නිසා ඔහු Facebook අඩවිය නිල්පැහැයෙන් වර්ණ ගැන්වුවා. එය ඔහු ප්‍රසිද්ධියේම පවසා සිටි දෙයක්. විවිධාකාර එළිදැක්වීම් සමගින් වැඩිදියුණු වූ වෙබ් අඩවිය, පස් වසරකට පසු Like බොත්තම හඳුන්වාදුන් පසු සාමාජිකයන්ගේ අන්තර් සබඳතා වැඩිවුනා. පින්තූරයකට හෝ සටහනකට Like දැමීම මගින් එහි වටිනාකම සහ ආකර්ෂණය වැඩි කර ගන්නට බොහෝ දෙනා සමත්වූ අතර විවිධ පිටු එලිදැක්වූ සාමාජිකයින් සිය ජනප්‍රියත්වය Like වලින් මනින්නට වුනා. ලංකාවේද සමහර පිටු Like හිඟාකන්නේ සිය වෙබ්පිටුව පරිශීලනය කරන පිරිස වැඩිකරගැනීමට. මෙසේ පරිශීලකයන් වැඩිවන විට එම පිටුවලට එකතු වන වෙළඳ දැන්වීම් ප්‍රමාණය වැඩි වනවා. Facebookහි ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය හරහා ලැබෙන ආදායමයි. මේ සඳහා විවිධ සමාගම් කෘත්‍රිම බුද්ධිය උපයෝගී කරගත් පරිඝණක ක්‍රමලේඛ උපයෝගී කරගෙන එක් එක් වයස් කාණ්ඩ සහ එකිනෙකාගේ රුචිකත්‍වය මත පදනම් වූ වෙළඳ දැන්වීම් ඒ අයගේ Facebook පිටුවල පළ කරනු ලබනවා. කෙසේ වුවත් වෙනත් වෙබ් අඩවි වලට වඩා අඩු සාර්ථකත්‍වයක් තමයි Facebook හි පළ කරන දැන්වීම් වල තිබෙන්නේ. එනම් වෙළඳ දැන්වීම් වෙත ගොස් Click කිරීමේ ප්‍රතිශතය වෙනත් වෙබ් අඩවි වලට වඩා අඩුයි. 2015 පෙබරවාරි වන විට Facebook හි සක්‍රීය වෙලඳ දැන්වීම් අනුග්‍රාහකයින් සංඛ්‍යාව මිලියන දෙක ඉක්මවා ගියා. මෙයින් වඩාත්ම වැඩි ප්‍රමාණයක් දැන්වීම් ලැබුණේ කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන්. එය කෙතරම් ඉක්මනින් වැඩිවූයේද කියනවා නම් 2016 මාර්තු වනවිට මිලියන තුනක සක්‍රීය වෙලඳ දැන්වීම් අනුග්‍රාහකයින් සංඛ්‍යාවක් Facebook සමඟ රැඳී සිටියා. ඔවුන්ගෙන් 70% ක්ම ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටත ව්‍යාපාරිකයන් වීමත් විශේෂත්‍වයක්.
Facebook හි මුහුණත එය වුවත්, ඒ හා සබැඳි ව්‍යාපාර කිහිපයක් තිබෙනවා. Whatsapp, Instagram, Messenger, සහ Oculus VR නම් Virtual Reality සමාගමක් ද මේ හා එකතුව තිබෙනවා.
දිනෙන් දින Facebook ආයතනය නව ප්‍රවණතා ලෝකයට හඳුන්වා දෙනවා. මෑතකදී එක් වූ Like බොත්තම සහ එහි දිගුවක් වන විවිධ හැඟීම් දනවන ඉමෝජී නිසා සාමාජිකයන්ට Like එකක් වෙනුවට ආදරය, සිනහව, විශ්මය, දුක සහ තරහ යන හැඟීම් දැක්වීමේ අවස්ථාව ලැබී තිබෙනවා. මෙයට අමතරව දැන් දැන් Facebook ආයතනය සිය කටයුතු වලට කෘත්‍රීම බුද්ධිය එකතු කරගන්නා අවස්ථාවත් පැමිණිලා තිබෙනවා. මෙයට සමගාමීව ඔවුන් ස්වයංක්‍රීයව පාලනය වන රොබෝ ක්‍රමලේඛ හඳුන්වා දුන්නේ සති කිහිපයකට පෙර. නමුත් ඔවුන් නොසිතූ විරූ අත්දැකීමකට ලෝකයම මුහුණ දුන්නේ මේ ස්වයංක්‍රීය රොබෝ ක්‍රමලේඛ විසින් ඔවුන්ට දෙනු ලබන විධාන පසෙක ලා, ඔවුන්ටම ආවේණික භාෂාවකින් සන්නිවේදනය ඇරඹීමත් සමගයි. එවිටයි ලෝකයටම වැටහුනේ, කෘත්‍රීම බුද්ධිය ඇත්තෙන්ම භයානක බව. මේ සිද්ධියත් සමගම ටෙස්ලා සමාගමේ නිර්මාතෘ ඉලොන් මස්ක් විසින් ලොවටම අනතුරු හැඟවීමක් කළා. එසේම Facebook විසින් මෙය ඉදිරිපත් කිරීමත් නිර්දය ලෙස විවේචනය කළා. මේ නිසාම ඉලොන් මස්ක් සහ මාක් සකර්බර්ග් අතර දැඩි අදහස් හුවමාරුවක්ද සිදු වුනා. කෙසේ වෙතත් Facebook ඉංජිනේරුවන් විසින් නව ක්‍රමලේඛයක් රොබෝ ක්‍රමලේඛ වෙත හඳුන්වා දී ස්වයං සන්නිවේදන හැකියාව අවසන් කළා. නමුත් මෙය භයානක තත්ත්‍වයක්. කවදා හෝ අනාගතයේදී කවුරුන්හෝ රොබෝ හමුදාවක් වුනත් තනන්නට හැකි බව මෙයින් ඔප්පු වුනා.
මෙපමණක් නොවෙයි, ආරංචියේ හැටියට කිසියම් කෙනෙකුගේ චිත්ත රටාවන් පවා හඳුනාගත හැකි වන ආකාරයේ කෘත්‍රීම බුද්ධිය සහිත ක්‍රමලේඛ Facebook විසින් සකසා අවසන්. සරළම උදාහරණය වන්නේ ඔබට ලැබෙන මිතුරු යෝජනා (Friend Requests). ඔබේ පරිඝණකයේ ඇති ඊමේල් ලිපිනයන් සහ නිතර නිතර ලිපි හුවමාරු වන අයගේ Facebook පිටු ඔබ වෙත ගෙනහැරපෑම, යම් යම් වෙලඳ දැන්වීම් ඔබ වෙත වැඩියෙන් ගෙන ඒම දක්වන්නට පුළුවන්. නමුත් වඩාත්ම ප්‍රබල උදාහරණයක් ලෙස සැලනේනේ ඉදිරියේදී පැමිණීමට නියමිත මෙවැනි ක්‍රමලේඛයි. ඔබ නිතර නිතර දුක්වන බව සහ සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවක් ඇති පුවත්, පෝස්ට්, ආදිය පළ කරන්නේ නම්, ඒ බව Facebook හි කෘත්‍රීම බුද්ධිය විසින් හඳුනාගෙන ඔබේ ආදරණීයයන්ට දන්වන්නට පුළුවනි. එවිට ඔවුන් ක්‍රියාකාරී වී ඔබ ඒ තත්ත්‍වයෙන් මුදවා ගන්නට හැකි වේවි.
Facebook හුදෙක් සමාජ සම්බන්ධතා පවත්වාගෙන යන්නක් පමණක්ම නොවෙයි. එය රටක හෘද ස්පන්දනය වෙනස් කිරීමට සමත්. Facebook විප්ලව යනුවෙන් හඳුන්වන්නේ ඒවා. රටේ තරුණ පරම්පරාව නිතරම Facebook සමගම සිටින නිසා, ඔවුන්ට කිසියම් පණිවුඩයක් යැවීම සහ ඔවුන් ක්‍රියකාරී කර ගැනීම මේ හරහා කරගත හැකියි. බොහෝ දේශපාලන ව්‍යාපාරවලට දැන් දැන් Facebook යොදා ගන්නේ එහි ඇති මේ ප්‍රබලතාවය නිසයි.
Facebook හි ප්‍රධාන විධායක සහ සභාපති මාක් සකර්බර්ග් (Mark Zuckerberg ) වන අතර ශෙරිල් සැන්ඩ්බර්ග් (Sheryl Sandberg ) ප්‍රධාන මෙහෙයුම් නිළධාරිණිය වශයෙන් කටයුතු කරනවා. ඩේවිඩ් වෙනර් (David Wehner ) ප්‍රධාන මූල්‍ය විධායකද, මයික් ශ්රෝෆර් (Mike Schroepfer ) විසින් ප්‍රධාන තාක්‍ෂණික විධායක කටයුත්ත මෙහෙයවනවා. 2017 ජුනි මස 30 වනදා වනවිට Facebook හි සේවය කරන සේවක සංඛ්‍යාව 20,658 ක්.
Facebook හි ප්‍රධානතම ශක්තිය වන්නේ එය සතු දත්ත ගබඩාවයි. ලෝකයේ බිලියන දෙකක ජනතාවකගේ පෞද්ගලික විස්තර, පින්තූර, පවුල් දත්ත ආදී සියල්ල මෙන්ම ඔවුන්ගේ රුචි අරුචිකම් පවා හොඳින් දන්නා මේ සමාගම ඉදිරියේදී අප සියළුම දෙනා බොහොම හොඳින් පාලනය කරන්නට පටන් ගනීවි. අප බොහෝ දෙනෙකු අවම වශයෙන් දවසකට පැයක්වත් Facebook හි ගත කරනවා. මේ කාළය ඇතුලත අපේ සිත් සතන් වෙනස් වන අවස්ථා බොහොමයි. බොහොමයක් ආදර සම්බන්ධතා ඇරඹෙන්නෙත්, අවසන් වන්නෙත් Facebook එකෙන්. වෙනකක් තියා යෝජිත විවාහයදී කේන්දර ගලපන්නටත් පෙර දෙපාර්ශවය අහන්නේ මනාලයාගේ හෝ මනාලියගේ Facebook ප්‍රොෆයිල් එකේ ලිපිනයයි.. එසේමයි, බොහෝ රටවල රැකියාවකට තෝරාගැනීමේදී අදාල පුද්ගලයාගේ Facebook පිටුව හොඳින් පරීක්‍ෂා කර බලනවා. ඒ ඔවුන් සිය සමාගමට ගැලපෙන ආකාරයේ පුද්ගලයින්ද කියා සොයා ගැනීමට. එමෙන්ම සිය Facebook පිටුවේ පළකළ දෑ නිසා රැකියාව අහිමි වූ බොහෝ දෙනෙකු ලොව සිටිනවා. ලංකාවේ නම් තවමත් ඒ තත්ත්‍වය නැහැ. නමුත් ඉදිරියේදී ඒ තත්ත්‍වය ඇතිවීමට පුළුවනි.
ඇමරිකානු වීසා අයදුම්පතේ දැන් ඔබට අයදුම් කිරීමේදී වසර පහක් තුළ භාවිතා කළ සියළුම Facebook ප්‍රොෆයිලවල ලිපිනයන් සඳහන් කිරීමට සිදු වනවා. මේ මගින් ඔබේ හැසිරීම, කල්ක්‍රියාව, දේශපාලනික සහ සමාජයීය අදහස් සියල්ල පරීක්‍ෂාකර බැලෙනවා. ඒ නිසා ඔබ ඇමරිකාවට යාමට අදහසක් තිබේ නම් ඔබේ Facebook කල්ක්‍රියාව හොඳින් තිබිය යුතු වෙනවා. මේ තත්ත්‍වය අනෙකුත් දෑ වලටත් එකතු වන දිනය වැඩි කල් නැහැ.
Facebook නිසාම එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් දැන් ලෝකයේ ධනවත්ම පුද්ගලයන් අතර පස්වන ස්ථානයේ වැජඹෙන්නේ ඩොලර් බිලියන 71.5 ක් සතු කරගෙන. නමුත් ඔහු නිල වශයෙන් වේතනය වශයෙන් ලබා ගන්නේ මසකට ඩොලර් එකක් පමණයි. ඒ වගේමයි ඔහු සහ ඔහුගේ බිරිය ප්‍රසිලා සකර්බර්ග් විසින් බොහෝ පුණ්‍යකටයුතු සිදු කරනවා. ඔවුන් සිය Facebook කොටස් අයිතියෙන් සියයට 99ක් සිය පුණ්‍යායතනය වෙත ප්‍රදානය කරන බවට පොරොන්දු වී තිබෙනවා. එනම් ඩොලර් බිලියන 43 ක මුදලක්. මේ නිසාම මාක් සකර්බර්ග් ලෝකයේ ඉතාම බලවත් පුද්ගලයෙකු බවට පත් වී තිබෙනවා. සිය පෞරුෂත්‍වය මෙන්ම ධනවත්කමින් ආඪ්‍ය වුවත්, ඔහු බොහොම සරළ පුද්ගලයෙක්, වෙනකක් තබා සිය ඇඳුම් පැළඳුම් පවා එකම වර්ණයකින් තබා ගන්නේ කාළය ඉතිරි කිරීමට ඉතා සරළව සහ පහසුව තෝරා ගැනීමට හැකි වන ආකාරයෙන් බවයි ඔහුම පවසන්නෙ. ඔහුගේ ජීවිත කතාව සහ මෙතෙක් පැමිණි ගමන තරුණ පරපුරට පූර්වාදර්ශයක්. Facebook ආයතනය ගොඩනැඟීම සහ පැවැත්ම පිළිබඳ කතාව චිත්‍රපටයකටත් නැංවුනා…
මේ නිසා Facebook දත්ත ලෝකයට හරි වැදගත්, ඉදිරියේදී ලෝකයේ සියල්ල දත්ත මත පාලනය වන නිසා දත්ත ලෝකයේ දෙවියා වන Facebook දෙවියාගේ බලපරාක්‍රමය ඉතා ඉහළ නැංවෙනවා. මේ නිසා Facebook දේවාලයේ මනා ලෙස හැසිරෙන එක කාගෙ කාගෙත්
අනාගතයේ ලෝකපාලන දෙවිවරු තුන්දෙනා…..
මිනිසුන් වන අපි බොහොම වෙනස් සත්තු කොට්ඨාසයක්. මොළයක් දියුණු නමුත් ඒ මොළයෙන් සිතන ප්‍රමාණය බොහොම අල්පයි. සමහර මිනිසුන්ගේ සිතීමේ පරාසය සතුන්ටත් වඩා පහත්. සමහරුන්ට සිතන්න හැකියාවක් තිබුණත්, වැල යන අතට මැස්ස ගහලා ජීවත් වෙලා ඔහේ මිය යනවා, ඔවුන්ටත් ලෝකයටත් දෙකටම වැඩක් නැතිව. ගල් යුගයේ මිනිසාට මේ සිතීමේ ඥාණය, තාර්කික හැකියාව, සන්නිවේදනය වැනි දෑ නොතිබුණ නිසාම සහ ලොව අළුතෙන් සිදුවන සෑම දෙයක්ම වෙනස් අත්දැකීමක් නිසා ඔවුන් ඒවාට බිය වුනා. ගින්දරට, ජලයට, සුළඟට, හිරු, සඳු ආදියට මෙන්ම ලෙඩ රෝගවලටද ඔවුන් බය වුනා.. මේ නිසාම ඒ තේරුම්ගත නොහැකිදෑ දේවත්වයෙන් පිදුවා.
ඒ ගල් යුගය පසු කර ආපු අපි විවිධාකාර ජාතීන් විදියට විවිධ වේගයන්ගෙන් දියුණු වුනා. සුද්දා සතුන් පසුපස දඩයමේ යන කාලෙයේ තිබූ ශ්‍රී ලාංකික ශිෂ්ඨාචාරය අත්‍යන්තයෙන්ම දියුණුයි. අඩි 660 ක් උස සීගිරිය පර්වතයට ජලය ගෙන යාමේ යාන්ත්‍රණය, අනුරාධපුයේ සුවිසල් ස්ථූප සහ යෝධ ඇල වැනි අතීත නිර්මාණයන් එයට මනාව සාධක සපයනවා. එසේ තිබූ ශිෂ්ඨාචාරයක් දැන් අන් සියළු රටවලට වඩා පසුපසින් සිඟමන් යදිමින් ගමන් කරන තත්ත්‍වයට පත් වීම අතිශයින්ම කණගාටුදායකයි.
විද්‍යාව, තාක්‍ෂණය දිනෙන් දින වේගයෙන් ඉදිරියට ගමන් කරන යුගයක අපි පසුගාමීව ගමන් කරන්නේ එක අංශයකින් පමණක් නොවෙයි. සෑම අතින්ම. වෙනකක් තබා නැවතත් අපි බොහෝ දේ දෙවියන් හට පවරා අත පිසදා ගන්නා මිනිසුන් කොට්ඨාසයක් බවට පත් වී හමාරයි. කිසියම් හෝ දවසක ඔබ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්‍ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ විභාගය හෝ උසස්පෙළ විභාගය ආසන්නයේ සති අන්තයක ප්‍රධාන පෙලේ බෞද්ධ සිද්ධස්ථානයකට ගියහොත් අපේ මවුවරු, පියවරු, සහ දරුවන්, සිය හැකියාවන් පැත්තකට දමා විභාග සමත්කර දීමේ අයිතිය දෙවිවරුන්ට පවරන අයුරු ඔබට දැක ගැනීමට පුළුවන් වෙිවි. මේ බොහෝ සිද්ධස්ථාන පවත්වාගෙන යන්නේත් දෙවිවරු මාකට් කරමින්, එතැන පිවිතුරු බුදු දහම නැහැ. තවත් සමහර අවස්ථාවදී තක්කඩි, සිය ගණදෙවි, ෆෙංෂුයි, සරස්වතී බන්ධන විකුණන අයුරු ඔබට දැක ගැනීමට පුළුවනි. තවත් සමහර දේශපාලනඥයන්, ජීවම් කළ පෑන් පවා බෙදනු ඔබට දකින්නට පුළුවන් වේවි… මාධ්‍ය නාලිකා පවා මේ මිත්‍යාව පතුරවමින් සිය මාධ්‍ය නාලිකාව ප්‍රචලිත කරනු ඔබට දැනේවි… ඒ අපේ ලාංකිකයන් සිය ජීවිත, නොදකින තිස්තුන්කෝටියක් දෙවියන්ට භාරකර ඇති ආකාරයයි. ඒ අතරම මදක් හිතන්න හිතවතුනි.. ඔබට මේ පිහිට වන කතරගම දෙවියන්ගේ භාරකරුවන් මේ දිනවල දේවාලය තුළම දෙවියන් බෙදා ගැනීමට අරගල කරන බව සහ දෙවියන්ටවත් ඔවුන් නැවැත්වීමට නොහැකි බව.. දෙවියන් සිටී නම් මෙය වෙනස් ස්වරූපයක් ගනු ලබනවා නොවේද ?
අපි එසේ අරගල කරන අතරතුර ලෝකය ඊට වඩා ගවු ගණනක් ඉදිරියට ගොස් අවසන්… අපි ඉතා සරළ දෑ විසඳාගත නොහැකිව වර්ජන ගර්ජන කරමින් කාලය කා දමන අවධියක, ලෝකය බොහෝ දුර ගොස් අවසන්. මේ ගමනේ පෙරගමන් කරුවන් බොහොමයක් සිටියා. විවිධ කාලවල විවිධාකාර පුද්ගලයින් ලෝකය වෙනස් කළා. අශ්ව කරත්තවලින් කළ ගමන නිමා කරන්නට කාල් බෙන්ස් සමත් වුනා. 1907 දී බෙලිජියානු ජාතික ඇමරිකානුවකු වූ ලියෝ හෙන්ඩ්‍රික් බීකලන්ඩ් (Leo Hendrik Baekeland) බේක්ලයිට් සොයා ගැනීමත් සමඟම ලෝකය වෙනතකට පෙරළුනා.. රිචර්ඩ් ස්මෝලී විසින් බකිබෝලය නම් කාබන් නැනෝබෝලය සොයාගැනීමත් සමගම ලෝකය නැනෝතාක්‍ෂණය වෙත නැඹුරු වුනා, ඒමගින් සිදු කෙරෙන සිතා ගැනීමට පවා නොහැකි නවෝත්පාදන අනන්තයි. මේ සියල්ල ලොව වෙත දායාද වුනේ තමන්ට ලැබෙන දේට වඩා තමන්ගෙන් ලොවට ලැබිය යුතු දෑ වලට ප්‍රමුඛත්‍වය දී ලොවට සේවය කළ නිසයි. අවාසනාවකට ලෝකය එසේ වුවත්, ලංකාවේ අපි තවමත් දූපත් මානසිකත්‍වෙයන් ඔබ්බට ගොස් නැති නිසා, අපි තවමත් එකතැන… නැතිනම් පිටුපසට ගමන් කරමින් සිටිනවා.
මෙසේ ලෝකය වෙනස් වන අතරතුර කලින් කලට සුවිශේෂී පුද්ගලයින් හෝ සමාගම් විසින් පවතින ක්‍රමය කඩාකප්පල් කර දමා (disrupt) නව සමතුලිතතාවයකට ලෝකය ගෙන යනවා. වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සොයා ගත් බිල් ගේට්ස් තවමත් ලොව ධනවත්ම පුද්ගලයා වූයේ එසේමයි. ඒ වගේම ඔහුගේ සොයාගැනීම ලෝකය වෙනස් කළා. ඔහුගේ තරඟකරුවා ඇපල් පරිඝණකය නිර්මාණය කළ ස්ටීව් ජොබ්ස් පරිඝණකය පැත්තෙන් නොවූවත්, ජංගම දුරකථනයේ විප්ලවීය පෙරලියක් ඇති කළේ ඒ හා සමානවම. තවමත් ඇපල් ජංගම දුරකථනයක් හෝ පරිඝණකයක් භාවිතා කරන කෙනෙක් වෙනත් දුරකථනයකට හෝ පරිඝණකයකට මාරු නොවන හේතුවම, ඔහුගේ නිර්මාණයේ ප්‍රබල බව කියා පානවා. මේ අතරට නවතම චරිත වරින් වර පැමිණියත්, ලෝකයටම දැනෙන අන්දමේ ප්‍රබල බලපෑමක් කරන්නට සමත්ව ඇත්තේ තුන්දෙනෙකු පමණයි.
ව්ලැමිඩිර් පුටින් සිය දේශපාලන බල පරාක්‍රමය විහිදුවමින් ලෝකයම සිය අණසකට යටත් කරන්නට මෙන් කටයුතු කරන අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ සමතුලිතතාවය කඩා කප්පල් කරමින් වලං කඩයට කඩා වැදුනු කේප්ප වස්සකු සේ සිතූ සිතූ දෑ කරමින් සියල්ල කණපිට හැරවීමේ උත්සාහයක නිරත වෙමින් සිටිනවා. ඒ සියල්ල අතර උතුරු කොරියාවේ කිම් ජොං අන් කිසිවෙක් නොසිතන ප්‍රතිචාරයක් ලබා දීමට ද හැකියාවක් තිබෙනවා. කෙසේ වුවත් මේ සියළුම බලපුළුවන්කාරයින් අභිබවමින් සිය ව්‍යාපාරික බලපරාක්‍රමය පතුරවන තිදෙනෙකු අනාගත ලෝකය පාලනය කිරීමේ නිහඬ ආක්‍රමණයක යෙදී සිටින බව බොහෝ දෙනා දන්නේ නැහැ.
ඒ තිදෙනා සියතින්ම බිහිකළ සමාගම්වල තාක්‍ෂණික සහ ව්‍යාපාරික පද්ධතිවල ඇති ප්‍රබලතාවය නිසාම ලොව ඉතා ඉහලින් වැජඹෙන්නට පටන් අරගෙන තිබෙනවා. ඒ අතරම ඒ ව්‍යාපාර නිසාම වෙනත් ව්‍යාපාරවල ස්ථාවරත්‍වය වෙත ද ප්‍රහාර එල්ල වීමට පටන් අරගෙන තිබෙනවා. මේ තත්ත්‍වය මෙසේ පැවතුනහොත් ඔවුන් සිය ව්‍යාපාරික බලපරාක්‍රමය නිසාම ලෝකයේ බොහෝ ක්‍රියාවලීන් තම අණසකට යටත් කර ගැනීමට හැකි වනු ඇති. දැනටම දේශපාලන ලෝකය පවා ඔවුන්ගේ සමාගම් නිසා සසළ වන්නට පටන්ගෙන තිබෙනවා
2004 පෙබරවාරි මාසයේදී සරසවි සිසුවකුව සිටියදී මාක් සකර්බර්ග් ෆේස්බුක් අඩවිය එලිදක්වන විට එය මේ තරම් ප්‍රබල සමාජ පරිවර්තනයක් කළාවි යැයි ඔහු වත් සිතන්නට නැතිව ඇති. නමුත් ඉතා ඉක්මනින්ම ෆේස්බුක් සමාජ ජාලය විශ්ව විද්‍යාල සිසුන් අතර සහ තරුණ පරපුර අතර ප්‍රචලිත වූයේ තමන්ගේ තොරතුරු බෙදාහදා ගැනීමට මෙන්ම අනුන්ගේ ඕපාදූප ද නිරායාසයෙන්ම දැනගැනීමේ හැකියාව ඔවුන්ට ලැබෙන නිසයි. බටහිර රටවල ෆේස්බුක් අඩවිය තම තොරතුරු බෙදාහදා ගැනීමට සහ තමන්ගේ තත්ත්‍වය සමාජ ජාලය හමුවේ පාරම්බෑමට යොදා ගත්තත්, අපටම අනන්‍ය වූ නව්‍යකරණ සංස්කෘතියක් ඇති ලාංකිකයා යොදා ගන්නේ බොහෝ වෙනස් දෑ වලට. කෙසේ වෙතත් ලෝකයේ වර්තමාන ජනගහනය වන බිලියන 7.5 ක් වනවිට දැන් ෆේස්බුක් අඩවිය මාසිකව භාවිතා කරන සාමාජිකයන් ගණන බිලියන 2.01 ඉක්මවා යාමෙන්ම එය කෙතරම් ප්‍රබල මාධ්‍යයක්දැයි ඔබටම සිතාගත හැකියි.
1994 ජුලි මස 5 වන දින ඇමරිකාවේ වොෂිංටන් ප්‍රාන්තයේ සියැටල්හි ජෙෆ් බෙසොස් විසින් ඇරඹූ ඇමසෝන් (Amazon) සමාගම මූලිකවම සිදු කළේ අන්තර්ජාලය හරහා පොත් විකිණීමයි. එය ඉලෙක්ට්‍රොණික වානිජ්‍ය සමාගමක් (e-commerce company) ලෙස මුලින් ඇරඹුනේ කිසිදු පොතක් හෝ භාණ්ඩයක් සිය සන්තකයේ නැතත්, ඒවා විකුණන සමාගමක් ලෙසින්. පසුව විවිධාංගීකරණය මගින් සිය බල පරාක්‍රමය විහිදූ ඇමසෝන් සමාගම 2015 වනවිට ඇමරිකාවේ සිල්ලර වෙළඳාමෙහි බලකණුවක් වූ වෝල්මාට් සමාගම පසු කරමින් වෙළඳපොලේ වටිනාම සමාගම බවට පත් වූවා. එය දැනට වැඩිම වෙළඳපොල කොටස් හිමි සමාගම වන අතර මෑතකදී අයිතිකරගත් Whole Foods සමාගමත් සමග ඔවුන් දැන් දැන් සිල්ලර බඩු වෙළඳාමටත් අත ගසා තිබෙනවා. මේ නිසා එම අංශයේ ප්‍රමුඛයින් වූ ටාගට්, වෝල්මාට්, සෑම්ස් ක්ලබ්, සහ කොස්ට්කෝ යන සමාගම්වල වෙලඳපොල ඒකාධිකාරය පවා සෙලවී තිබෙනවා.
වසර 2003 දි කැලිෆෝනියාවේ පාලෝ ඇල්ටෝ හිදී ආරම්භ වූ ටෙස්ලා මෝටර්ස් සමාගම ප්‍රචලිතව ඇත්තේ විදුලි මෝටර් රථ, සූර්ය කෝෂ, සහ විද්‍යුතය ගබඩා කිරීමේ ලිතියම් අයන බැටරි නිෂ්පාදකයකු ලෙසින්. කෙසේ වුවත් එය මහජනතාවගේ අවධානය ආකර්ෂණය කරගනු ලැබූවේ 2008 වසරේ නිපදවූ Roadster නම් වූ ප්‍රථම විද්‍යුත් මෝටර් රථය එලිදැක්වීමත් සමගයි. ටෙස්ලා සමාගමේ නිර්මාතෘ ඉලොන් මස්ක් දැන් දැන් ලොව පුරා කතා බහ කෙරෙන චරිතයක් බවට පත් වී ඇත්තේ ටෙස්ලා මෝටර් රථය නිසාම පමණක් නොවෙයි. ඔහු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශක තනතුරක සිට ඉන් ඉවත් වීමට තීරණය කිරීම, නගරාන්තර ගමනාගමනය කාර්යක්‍ෂම කිරීමට යෝජනා කළ හයිපර්ලූප් දුම්රිය, නිවාසවල සූර්ය බලශක්තිය වඩාත් කාර්යක්‍ෂමව නිපදවිය හැකි සූර්ය උළුකැට හඳුන්වාදීම වැනි මතක හිටින අන්දමේ වැඩකටයුතු බොහොමයක් සිදු කර පෙන්වීම නිසාමය. කිසිදිනෙක විද්‍යුත් මෝටර් රථයක් සාර්ථක නොවන්නේ යැයි සුවිසල් මෝටර් රථ සමාගම් පාරම් බෑ යුගයක ඔහු තැනූ ටෙස්ලා මෝටර් රථ, බලයෙන් පෙනුමෙන් මෙන්ම ක්‍රියාකාරීත්‍වෙයන්ද අනෙක් මෝටර් රථ අභිබවා යන්නේ අඩු මිලට විකිණීමත් සමගයි. මේ නිසා ටෙස්ලා මෝටර් රථයක හිමිකරුවකු වීමට බොහෝ දෙනා සිහින මවනවා.
මේ තුන්දෙනාගේ බලපරාක්‍රමය ලොව වටා විහිදීම එක්තරා ආකාරයක තර්ජනයක්. ඇමසෝන් සමාගමේ ක්‍රියාකාරීත්‍වය නිසා දැන් දැනි සුවිසල් රෙදිපිළි සමාගම් වන සියර්ස්, ඩිලර්ඩ්ස්, වැනි සමාගම්වල බොහොමයක් වෙළඳසැල් වසා දැමීමට සිදු වුනා. ටෙස්ලා සමාගමෙන් ඉදිකෙරෙන සුවිසල් මෝටර් රථ කර්මාන්තශාලාව නිසා සමහරවිට ඇමරිකානු මෝටර් රථ සමාගම්වලටත් ඒ ඉරණමම අත්වන්නට පුළුවනි. ෆේස්බුක් සමාජ ජාලය මගින් අත්පත් කරගෙන යන විවිධාකාර පරිඝණක සමාගම් සහ අන්තර්ජාල සමාගම් නිසා ඔවුන්ගේ ද බල පරාක්‍රමය දළුලා වැඩෙනවා. මේ සමාගම් තුන දැනටමත් විවිධ අයුරින් ලෝක ජනගහනයේ නව ප්‍රවණතා ඇති කර හමාරයි. නුදුරු අනාගතයේ මේ සමාගම් වලින් ඉදිරිපත් කෙරෙන නව නිර්මාණ නිසා ලෝකය කෙසේ වෙනස් වේදැයි විස්තර කෙරෙන ලිපි පෙළක් සමගින් ඉදිරි සතිවල හමුවෙමු.