Blog Archives
2012 අප්‍රේල් 07: No-Limit ටොපියෙන් සිංහල ජාතිය වඳ වෙන්නේ මෙහෙමයි…. හැමදාම නෑ හැමතැනම නෑ…. අවුරුදු කාලෙ විතරයි….
පසුගිය දිනවල මූණු පොතේ ගිය ලොකු කැම්පේන් එකක් වුනේ නෝ ලිමිට් එකේ මුස්ලිම් මුදලාලි සිංහල මිනිස්සු වඳකරන්න මැලික් අම්ලය දාලා තියෙන ටොපි කන්න දෙනවා කියන එක. මේ කාරණයට පක්‍ෂව මෙන්ව විපක්‍ෂවත් ලිපි ලියැවුනා…
සිංහල බෞද්ධයා කියන වෙබ් අඩවියේ මෙන්න මෙහෙම සඳහන් වෙලා තියෙනවා. ඒක මෙතැනින් බලන්න.
අන්වර් මනතුංග ලියන වෙබ් අඩවියේ සඳහන් වෙලා තියෙන දේ බලන්න මෙතැනින්.
දැන් මම කියන කරුණු කියවලා ඔබව තේරුම් ගන්න මේ කතාවල ඇත්ත නැත්ත…
මුලින්ම කියන්න ඕන මම මෙතැනදි කතා කරන්නේ මැලික් අම්ලය ගැන පමණක් බව… මුස්ලිම්වරුන් කරනවා යැයි කියන ජාතිවාදී හෝ ආගම්වාදී දේ පිළිබඳ කතා කරන්නට මම හරියටම කරුණු නොදන්නා නිසා ඒ පිළිබඳ කතා කරන්න මම සූදානම් නැහැ… මම කතා කරන්නේ මැලික් අම්ලය පිළිබඳ සහ එහි හොඳ නරක ගැන පමණමයි… ඒක හොඳින් මතක තබා ගන්න.. මගේ බ්ලොග් අඩවිය කිසිම ජාතියකට ආගමකට හෝ වෙනත් පක්‍ෂයකට අයත් එකක්වත් ඒ වෙනුවෙන් කඩේ යන එකක්වත් නෙවෙයි…
මැලික් අම්ලය. (Malic Acid)
මැලික් අම්ලය ස්වභාවයේ පවතින අම්ලයක්. මෙය පලතුරුවල ඇති සංඝඨකයක්. ඇපල් ගෙඩියක් කනවිට හෝ වෙනත් ඇඹුල් රසැති පළතුරක් හපන විට දැනෙන ඇඹුල් රස ගෙන එන්නේ මේ මැලික් අම්ලය මගින්. පළතුරුවල ඇති සීනි, රසකාරක, වෙනත් අම්ල වර්ග, සහ මැලික් අම්ලයේ සංකලනයක් ලෙසිනුයි පළතුරුවල දිගුකල් පවතින ඇඹුල් සහ නැවුම් රසය අපට ලබා දෙන්නේ. දැනුත් කටට කෙළ උණනවා ඒ බව මතක් වනවිට… මැලික් අම්ලයේ ඇති මෙන්න මේ ගුණාංගය නිසා බොහෝ ආහාර වර්ගවල පළතුරු සහ මුඛයේ දිගුකල් පවතින නැවුම් රසය පවත්වාගෙන යාමට රස කාරකයක් ලෙසින් මැලික් අම්ලය භාවිතා කරනවා.
මැලික් අම්ලය ආහාරයට එක් කරන විට එයට E-296 යන අංකය ලබා දෙනවා. මෙය බොහෝ රසකැවිලි, ටොෆී ආදියේ ඇඹුල් රසය ලබා දීම සඳහා භාවිතා කරන රසකාරකයයි. මෙය ඇමරිකානු, එක්සත් රාජධානියේ, ඕස්ට්‍රේලියාවේ සහ යුරෝපය ඇතුළු බොහෝ රටවල ආහාර රසකාරක සඳහා භාවිතා කිරීමට අනුමැතිය දී ඇති රස කාරකයක්.
මැලික් අම්ලය මුලින්ම සොයා ගත්තේ 1785 දි කාල් විල්හෙල්ම් ශීල් නම් විද්‍යාඥයා විසින්. ඒ ඇපල් යුෂවල ඇති සංඝඨකයක් ලෙසින්. නමුත් මෙයට මැලික් අම්ලය යන නම දුන්නේ අපි කවුරුත් දන්නා හඳුනන ලැවෝසියර් විසින් 1787 දි. එහි තේරුම ලතින් භාෂාවෙන් ඇපල් යන්නයි. මැලික් අම්ලය ආකාර දෙකකින් පවතිනවා; L සහ D ලෙසින්. නමුත් ස්වභාවයේ පවතින්නේ L ආකාරය ලෙසින් පමණයි. මේ මැලික් අම්ලය කෙල්වින් චක්‍රයේ සහ සිට්‍රික් අම්ල චක්‍රයේ (ක්‍රෙබ්ස් චක්‍රය, ට්‍රයි කාබොක්සිලික් අම්ල චක්‍රය) යන දෙකෙහිම වැදගත් තැනක් ගන්නා සංයෝගයක්. මේ ගැන වැඩිදුර කතා කරන්න යන්නෙ නැත්තෙ කියවනවිට නීරස වන්න පුළුවන් නිසා. නමුත් කෙටියෙන් කියනවා නම් මෙය අපේ ශරීරයෙත් ශාක වලත් නිරන්තරයෙන් නිපදවෙන, භාවිතයට ගැනෙන සංයෝගයක්. සෛල තුළ මැලික් අම්ලය නිපදවෙන්නේ සෛල වලට ශක්තිය ලබා දීමට සහ ඇමයිනෝ අම්ල සහ වෙනත් සංයෝග නිෂ්පාදනයේදී අවශ්‍ය කාබන් ව්‍යුහයන්හි සැකිල්ල නිර්මාණය කිරීම යන කාරණා වලටයි. සාමාන්‍යයෙන් මිනිස් සිරුර තුළ විශාල මැලික් අම්ලය ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා මෙන්ම බිඳ වැටීම ද සිදු කෙරෙනවා.
පැණිරස රස කැවිලි නිෂ්පාදනය කිරීමේදී මැලික් අම්ලය බහුලව භාවිතා කරනවා. මේ සඳහා කරුණු කාරණා බොහොමයක් වැදගත් වෙනවා. මැලික් අම්ලයේ ඇති විශේෂ ගුණ නිසා අනෙක් අම්ලවලට වඩා වාසිදායක නිසාත් බොහෝ ඇඹුල් රසැති රසකැවිලි නිෂ්පාදනයේදී මැලික් අම්ලය භාවිතා කරනවා. මේ ගුණ වන්නේ
- වෙනත් රස ගෙන නොදෙන, නමුත් පිරිසිදුව ඇඹුල් රස ලබා දීම
- වෙනත් රසකාරක වල රසකාරක ගුණ ඉස්මතු කිරීම නිසා රසකාරක අඩුවෙන් යෙදිය යුතු වීම (ආර්ථික වාසියක්)
- අධික ද්‍රාව්‍යතාවය
- වෙනත් අම්ලවලට වඩා තෙතබරි වීම (Hygroscopic) අඩුකම (මේ නිසා රසකැවිලි තෙතබරියම් වීම – දියවීම වලකී)
- ද්‍රවාංකය අඩු වීම නිසා රසකැවිලි නිෂ්පාදනයේදී වැයවන ශක්තිය අඩු වීම
- ලෝහ අයන සමග බන්ධනය වීමේ වැඩි හැකියාව
මේ නිසා මැලික් අම්ලය ආර්ථිකවත්, සෞඛ්‍යාරක්‍ෂිත බවෙනුත් රසකැවිලි සෑදීමේදී වඩා වාසිදායක වෙනවා.
මැලික් අම්ලය භාවිතාවන ආහාර/රසකැවිලි/බීම වර්ග
- සෝඩා බීම වර්ග (Carbonated Beverages)
- මෙහිදී රසකාරකවල රසය ඉස්මතු කරන නිසා අවම රසකාරක ප්‍රමාණයක් රසකාරක එකතු කිරීමෙන් ආර්ථික සහ සෞඛ්‍යමය වාසි ලැබීම.
- විශේෂ රසකාරක අනවශ්‍ය වීම නිසා පාරිභෝගිකයාට බීම වර්ගයේ නියම රසය භුක්ති විඳීමට හැකි වීම
- සෝඩා නොවන බීම (Non-Carbonated Beverages)
- පළතුරු බීම, අයිස් තේ, ශක්තිජනක සිසිල් බීම ආදියේ රසය ඉස්මතු කිරීම, පී එච් අගය පවත්වාගෙන යාම, මෙන්ම වෙනත් බීම වර්ගවල ඇති අහිතකර රසය නැති කිරීම නිසා මැලික් අම්ලය මේ සඳහා ද භාවිතා කරයි.
- පළතුරු බීම කුඩු වර්ග
- පළතුරු බීම, අයිස් තේ, ශක්තිජනක සිසිල් බීම ආදියේ රසය ඉස්මතු කිරීම, අධික ද්‍රාව්‍යතාවය නිසා අවම රසකාරක ප්‍රමාණයක් භාවිතා කිරීමට හැකි වීම.
- අඩුම කුඩු ප්‍රමාණයකින් වැඩිම රසයක්
- අඩු කැලරි බීම වර්ග
- අඩු කැලරි බීම වර්ගවල ඇති පැණි රසගන්වන දෑ නිසි පරිදි තබා ගැනීමට සහ දිගුකල් පවතින ඇඹුල් රසය පවත්වා ගැනීමට සිට්‍රික් අම්ලයට වඩා මැලික් අම්ලය වඩා හොඳ බව සොයාගෙන ඇත. ඒ අනුව බොහෝ බීම වර්ගවලට මැලික් අම්ලය යොදා ගනී.
- සයිඩර් වර්ග සහ වයින් වර්ග
- මද්‍යසාරමය සයිඩර් වර්ග සහ වයින් වර්ගවල සැර ගතිය තබා ගැනීමට මැලික් අම්ලය භාවිතා කරයි.
- ආම්ලික කරන ලද කිරි ආහාර
- සමහර ආම්ලික කරන ලද කිරි ආහාරවල ඇඹුල් ගතිය ඇති කිරීමට මැලික් අම්ලය භාවිතා කරයි
- පළතුරු රසය ඇති කිරිවල පළතුරු රසය ගැනීමට මැලික් අම්ලය භාවිතා කරයි
- මුදවන ලද සෝයා යෝගට්වල යෝගට් රසය ගැනීමට මැලික් අම්ලය භාවිතා කරයි
- අතිරේක ව ශරීරයට කැල්සියම් ලබා දෙන බීම වර්ග
- ද්‍රවමය කැල්සියම් පරිපූරකවලට පළතුරු රසය ලබා දෙන අතරම ආම්ලික/භාෂ්මිකතාවය පාලනය කිරීමට මැලික් අම්ලය භාවිතා කරයි.
- ඒවායේ කැල්සියම් අයන වල ද්‍රාව්‍යතාවය වැඩි කිරිමට සිට්‍රික් අම්ලයට වඩා මැලික් අම්ලය භාවිතා වේ
- රසකැවිලි / ටොෆි
- රසකැවිලිවල පළතුරු රසය සහ ඇඹුල් රසය ඇති කිරීමට, චුවිංගම් ආදියට, සීනි රහිත ටොෆි වර්ගවලට, මැලික් අම්ලය භාවිතා කරයි
- මැලික් අම්ලය භාවිතා කිරීම නිසා වැඩිපුර රසකාරක සහ සීනි ආදිය රසකැවිලි වලට දැමීමට සිදු නොවන නිසා ආර්ථිකවත් සෞඛ්‍යමය අතිනුත් වාසියක් සිදු වේ
- දිගුකාලීන ඇඹුල් ගතිය පවත්වාගෙන යයි
- තෙතබරියම් වීම වලකයි
මෙයට අමතරව
- තද ගතිය ඇති රසකැවිලි
- මෘදු රස කැවිලි
- චුවිංගම්
- පළතුරු රසකාරක සහ සංරක්‍ෂක ද්‍රව්‍ය ලෙසින් (කල්තබා ගැනීමට)
- බේකරිවල
- අතුරුපස
- බෙහෙත් සහ වෙනත් මින්ට් වැනි ටොෆි වර්ගවල
- කැස්ස සමනයට භාවිතා කරන සිරප්වර්ග
- කටට කෙළ ඉනීම පහසු කරවන බෙහෙත් වර්ගවලට
- මුඛ පිරිසිදු කරන දියරවලට
- සම පැහැපත් කරන ආලේපන වලට
මේ මැලික් අම්ලය අඩු වැඩි වශයෙන් භාවිතා වේ
මැලික් අම්ලයෙන් ශරීරයට ඇති වාසි.
“An Apple a Day Keeps the Doctor Away” යනුවෙන් සඳහන් කර ඇත්තේ ඇපල්වල ඉතා විශාල වශයෙන් මැලික් අම්ලය අඩංගු වන නිසාය. මැලික් අම්ලයේ වඩාත්ම වාසිය වන්නේ එය පරිවෘත්තීය ක්‍රියා සහ ශක්තිය නිපදවීම සඳහා ශරීරයේ සෛල විසින් භාවිතා කිරීමයි. මැලික් අම්ලය වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ කල් පවතින තෙහෙට්ටුව (Chronic Fatigue Syndrome) ඇති අයට සහ ෆයිබ්‍රොමයැල්ගියා (Fibromyalgia) රෝගය ඇති අයගේ ශක්තිය වර්ධනය කිරීමට සහ මස්පිඬු වේදනාව සමනය කිරීම සඳහා වේ. මේ සඳහා මැග්නීසියම් සහ මැලික් අම්ලයේ මිශ්‍ර ඖෂධ භාවිතා කිරීම මගින් මේ රෝග ලක්‍ෂණ වල පැහැදිලි අඩු වීමක් පෙන්නුම් කරන බව සොයාගෙන තිබෙනවා. එසේම මාංශ පේශීන් ශක්තිමත් කිරීමට ද මැලික් අම්ලය උපයෝගී කරගන්නවා. ව්‍යායාම කිරීමෙන් පසු මාංශ පේශීන් ඉක්මනින් ප්‍රකෘති තත්ත්‍වයට ගැනීමට, මාංශපේශි තෙහෙට්ටුව අවම කිරීමට සහ මානසිකව පරීක්‍ෂාකරීව සිටීමට මැලික් අම්ලයෙන් දැඩි බලපෑමක් දෙන බව සොයාගෙන තිබෙනවා.
මැලික් අම්ලය ලෝහ සමග සාදන සංයෝග නිසා ශරීරයේ ලෝහමය විශ නැසීමටත් භාවිතා කරනවා. විශේෂයෙන්ම ඊයම් සහ ඇළුමිනියම් සඳහා එය නඛරයක් (කීලේටයක් -Chelate) වශයෙන් යොදා ගැනෙනවා. මෙම බැර ලෝහ ශරීරයෙන් ඉවත් වීම නිසා පසුකාලීනව ඇල්ශයිමර් වැනි රෝග සෑදීමේ අවදානම මැලික් අම්ලය භාවිතා කිරීම නිසා අඩු වෙන බවයි සොයාගෙන ඇත්තේ. බොහෝ දන්තාලේප සඳහා මැලික් අම්ලය භාවිතා කරනවා මෙහි ඇති විශබීජ නාශක ගුණය නිසා සහ ඛෙඨය ශ්‍රාවය කිරීමේ ගුණය නිසා මුඛ සෞඛ්‍යය වර්ධනය කිරීමෙහිලා මහඟු සේවයක් කිරීමට මැලික් අම්ලය භාවිතා වෙනවා. මැලික් අම්ලය ඇපල් වලින් උකහා ගන්නක්, ඒ නිසා එය සමහර විට Fruit Acid යනුවෙන් හඳුන්වනවා. එය සම සුරකින ආලේපනවලට භාවිතා කරනවා. ඒ මගින් සහ මෘදුව, රැලි නොවැටී, තරුණ පෙනුමක් ලබා දෙනවා.
අතුරු ආබාධ
මේ සියළු ආබාධ දැක්වෙන්නේ මැලික් අම්ලය අමතරව ගැනීම පිළිබඳවයි. ස්වභාවිකව මැලික් අම්ලය අඩංගු දෑ ආහාරයට ගැනීමෙන් හෝ පානයට ගැනීමෙන් පැන නඟින අතුරු ආබාධ ගැන සඳහනක් නැහැ.
මැලික් අම්ලය ස්වභාවිකව ශරීරයේ නිපදවෙන නිසාත්, ස්වභාවයෙන්ම ලැබෙන නිසාත් ශරීරය මගින්ම බිඳ වැටෙන නිසාත් සාමාන්‍යයෙන් ස්වභාවිකව සුළු ප්‍රමාණ වලින් ගත් කළ අතුරු ආබාධ රහිත ලෙසිනුයි දැක්වෙන්නේ. නමුත් මැලික් අම්ලය පෙති වශයෙන් පිටතින් අමතරව ගන්නේ නම් වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.
සාමාන්‍ය අතුරු ආබාධ ලෙස
- පපුවේ වේදනාව
- කැසීම
- සම ඉදිමීම
- ක්ලාන්තය
- මාංශපේශි වේදනාව
- හිරි වැටීම
- බඩ වේලීම
- ශරීරයේ ආලේප කළවිට එතැන රතුපැහැ ගැනීම
ආදිය දකින්නට පුළුවන්
දැඩි අතුරු ආබාධ ලෙස
- ආසාත්මිකතාවයන්
- පපුව හිරවීම වැනි ගතියක්
- හුස්ම ගැනීමේ අපහසුතාවයන්
- සමේ දදයක් වැනි තත්ත්‍වයන්
- පළු දැමීම
- උගුර, මුඛය ආදී ස්ථාන ඉදිමීම
දකින්නට පුළුවන්…. නමුත් මේ සියල්ල මැලික් අම්ලය අඩංගු ඖෂධ ගැනීම නිසා සිදු වන දේවල් බව මතක තබා ගත යුතුයි.
වැදගත් සෞඛ්‍යමය තොරතුරු ලෙස ඔබ මැග්නීසියම් අඩංගු ඖෂධ ගන්නේ නම් හෝ ගර්භණී හෝ කිරි දෙන මව් කෙනෙකු නම් වෛද්‍ය උපදෙස් නොමැතිව මැලික් අම්ලය ගැනීම සිදු නොකළ යුතු බවයි දැක්වෙන්නේ.
මැලික් අම්ලය හා ගබ්සා වීම් හෝ වඳ වීම ගැන පැහැදිලි සඳහනක් නැහැ. මැලික් අම්ලය සහ ගර්භණි බව ගැන වැඩිදුර පර්යේෂණ සිදු වී නැති නිසා ඒ තත්ත්‍වයන්හිදී මැලික් අම්ලය අමතරව ගැනීම ගැන දෙවරක් සිතීම කළ යුතු වෙනවා විනා, මැලික් අම්ලය අඩංගු දේ ආහාරයට ගැනීම ගැන විශේෂ සඳහනක් නැහැ.
මගේ මතය
අප ආහාරයට ගන්නා බොහෝ දෑවල මැලික් අම්ලය අඩු වැඩි වශයෙන් ඇත. ලංකාවේ බොහෝ දෙනා ආහාරයට ගන්නා දෑ ශරීරයට අහිතකරය. පාරේ දුවනගිරි හෝටලයෙන් කන ආප්පය දැඩි වීමට කැල්සියම් කාබනේට් කුඩු දමයි. පළතුරු කල්තබා ගැනීමට වෙළඳුන් ගසන්නේ මැලතියන් ය. ලංකාවේ සීනි සහ ලුණු පරිභෝජනය නියමිත මාත්‍රාව මෙන් දෙගුණයකි. මැක්ඩොනල්ඩ්ස්, කේ එෆ් සී ආදී ස්ථානවලින් ආහාර ගැනීමේදී ශරීරයට අහිතකර ට්‍රාන්ස් මේද අම්ල, අහිතරක රසකාරක ආදී දෑ නොදැනුවත්වම ශරීරගත වේ. කොකාකෝලා සහ අනෙක් හැම කෝලා එකකම බොහෝ අහිතකර දෑ අඩංගුය. 2020 වන විට රටෙන් 50% කට දියවැඩියාව වැළඳීමට ඉඩ ඇති බව සොයාගෙන ඇත. මේ හැමටම වඩා අලසව ව්‍යායාම නැතිකමින් එකතැන වී සිටීම, මේදය සහ පිෂ්ඨය අධික ආහාර ගැනීම සහ කෘමිනාශක අඩංගු එළවළු ආහාරයට ගැනීමෙන් විශාල හානියක් සිදු වේ.
No limit එකෙන් දෙන ටොපියක වැඩ්ම වශයෙන් මැලික් අම්ලය මිලි ග්‍රෑම් 100 ක් තිබෙන්නට පුළුවන. සාමාන්‍ය මැලික් අම්ල පෙත්තක මැලික් අම්ලය මිලිග්‍රෑම් 200 සිට 800 දක්වා ප්‍රමාණයක් අන්තර්ගතය. මෙපමණක් මැලික් අම්ලය ශරීරගත වීමට අවම වශයෙන් ටොපි 5 ක් පමණ දිනකට කෑමට ගත යුතුය. මෙසේ ටොපි 5ක් කෑමේදී මැලික් අම්ලයෙන් සිදුවන හානියට වඩා හානියක් සීනි සහ රසකාරක වලින් සිදු වේ.
මේ මගේ මතයයි. රසායන විද්‍යාව හදාරන කෙනෙකු ලෙස මැලික් අම්ලය සහ No Limit ටොපිය අතර තේ කෝප්පයේ කිඹුලන් දැකීමක් මට නොපෙනේ.
සිංහල ජාතිය නැති කිරීමට මුස්ලිමුන් අමුතුවෙන් උත්සාහ කළ යුතු නැත. අපි සිංහලයන් ලෙස කී දෙනෙකු සිංහලෙන් කතා කරනවාද ? සිංහලකම ගැන ම උජාරුවට කතා කරන බොහෝ දෙනා කතා කරන්නේ සුද්දාගේ ඉංගිරිසියෙනි. ලංකාවේ අයට ලංකාවෙදීවත් පිටරටකදීවත් සිංහලෙන් කතා කිරීම මහා මදිකමකි. අපේ සිංහලයින් අනෙක් සිංහලයින්ව වලට දමන්නට උපන් දක්‍ෂයෝය. සිංහලයින්ට කුඩු පොවන්නේ අපේම සිංහල කුඩු මුදලාලිලා සහ සිංහල දේශපාලනඥයින් ය. සිංහලයින් තරම් කුහක ඊර්ෂ්‍යාකාරී ජාතියක් කොහේවත් නැත, අපේම එවුන් අපිම මරා දමන්නේ පටු අරමුණු උදෙසාය. පසුගිය දිනවල අසන්නට දකින්නට ලැබුණ දේ වලින් එය ඔබටම පැහැදිලිකර ගත හැක. දෙමළුන් සහ මුස්ලිමුන් තම ජාතියේ එවුන්ට සලකාගෙන සියළුම දෙනා ඉහළට ගෙන එත්දී සිංහලයන් කරන්නේ අනුන් පාගාගෙන තමන් පමණක් ඉහළට නැගීමයි.. රටේ මහ එකාගේ සිට අන්තීම හිඟන්නා දක්වා දැකිය හැක්කේ එයයි. එය මෙසේ වන කල්හි මුස්ලිමුන්ට සහ දෙමළ ජාතිකයන්ට බැණ අඬගැසීමෙන් සිංහල ජාතිය ආරක්‍ෂා කරගැනීමට නොහැක.
මේ මගේ මතයයි… මේ සම්බන්ධව ඔබේ මතය කුමක්දැයි ඔබම සිහි නුවණින් සිතා බලන්න… නැතිනම් තම්බින්ට කඩේ යනවා යැයි මට ගරහන්න…. ඔබේ කැමැත්තක්….
තොරතුරු ගත්තේ
http://www.thehealthierlife.co.uk/natural-health-articles/chronic-fatigue-syndrome/malic-acid-chronic-fatigue-syndrome-00974.html
http://www.livestrong.com/article/85196-malic-acid-benefits/
http://www.livestrong.com/article/40552-side-effects-benefits-malic/
http://www.dorsethealthshop.co.uk/Research/Malic-acid-Energy-boosting-properties-and-anti-ageing-benefits-linked-to-this-ingredient-in-apples