Blog Archives

මේක හරි යන්නෙ නෑ…. අපි ගුවන්ගත වෙනවා……


Ananthaya.jpgසමාජය එන්න එන්න යන්නෙ ආපස්සට. විද්‍යාව කොපමණ දියුණු වුනත්, හැම දෙනාම නොපෙනෙන බලවේද පස්සෙ දුවනවා. ෆෙංෂුයි, ගණ දෙයියෝ, කතරගම දෙයියො, පස්සෙ දුවන අපේ මහාචාර්යවරුත් නාථ දෙයියො පස්සෙ දිවුවා.. වෙනකක් තියා ක්‍රිකට් කණ්ඩායමත් දැන් බෝලෙ පස්සෙ දුවන එක නවත්තලා ගංගා මෑණි පස්සෙ දුවනවා…. ලොක්කො ටිකත් එකාට එකා හොරෙන් තිරුපති ගිහින් නලළේ අළු ගාගෙන එනවා…. අහෝ රටකට ගිය කළක්…

ඉතිං… අපි කොච්චර පත්තරවල ලිවුවත්, බ්ලොග් වල ලිවුවත්, ඒවා බලන ප්‍රමාණය සීමිතයි. එහෙම වුනා කියලා අපි කරන්න තියෙන දේ නවත්වන එක යුතු නෑ,..

ඒ නිසාම සහ අපේ ව්‍යායාමය තවදුරටත් ඉදිරියට ගෙන යන්න අපි COSTI ආයතනයේ මගපෙන්වීම සහ ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිතුමාගේ මූලිකත්‍වය සහ ආශීර්වාදය ඇතිව, නව ගුවන් විදුලි වැඩසටහනක් ආරම්භ කරන්නේ, රටේ ජනතාවගේ විද්‍යාත්මක චින්තනය අවදි කරන්නට… දරුවන්ගේ විද්‍යාත්මක දැනුම වැඩි කරන්නට.

2016 උසස් පෙළ විභාගයේ දත්ත අනුව, සිංහල විෂයයට පසු වැඩිම අයදුම්කරුවන් සංඛ්‍යාවක් මුහුණ දෙන ප්‍රශ්න පත්‍රය වන්නේ රසායන විද්‍යාව, නමුත් ලංකාවේ පඳුරකට පයින් ගැහුවාම 20 ක් විතර විසිවෙන රසායන විද්‍යා ටියුෂන් ගුරුවරුන් අතරේ බෙදිලා යන මේ සිසුන්ගේ දැනුම තවමත් ඉහළ මට්ටමක නැහැ. ඒ බව ප්‍රතිඵල වලින්ම සනාථ වනවා. මෙයට මූලික අඩිතාලම දැමෙන්නේ සාමාන්‍ය පෙළ විද්‍යාව විෂය හරිහැටි ග්‍රහණය කර ගැනීම මත, මෑතකදී මා කළ දේශන කිහිපයකින් අත්දැකපු දෙයක් තමයි ගුරුවරුන් මෙන්ම ගුරු උපදේශකයන්ද විද්‍යාත්මක දැනුම සහ කුතුහලය, නවතාවය, නිර්මාණශීලීත්‍වය ආදී ගැනුම ප්‍රගමනයට අත්‍යවශ්‍ය සාධක වලින් බොහෝ දුර්වල බව.

ඉතින් මේ කර්තව්‍යයට, ගුවන්විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතා, ලංකාවේ ප්‍රධානතම (සහ පිළිගතහැකි පරිදි එකම) විද්‍යා සන්නිවේදක නාලක ගුණවර්ධන, මෑතකදී ආසියාවේ හොඳම තරුණ පර්යේෂක සම්මානයෙන් පුදලද මොරටු සරසවියේ මහාචාර්ය රංගික උමේෂ්  හල්වතුර, ලේඛිකා තත්සරණි බුලත්සිංහල, ලංකාවේ ප්‍රධානතම විද්‍යාත්මක චරිතයක් වන මහාචාර්ය අජිත් ද අල්විස් මහතා, සක්‍රීය දායකත්‍වය දක්වන අතර මමත් දායක වනවා. මේ අතර මේ සියල්ල සම්පාදනය කළ COSTI ආයතනයේ සචී පනාවලට අපේ කෘතඥතාවය පිරිනැමෙන්නේ රට වෙනුවෙන් කළ යුතුව තිබූ දෙයක් ඇරඹීමට මූලිකත්‍වය ගෙන සිය ශ්‍රමය මුදල් කැප කරමින් වෙහෙස මහන්සිවීම ගැන…

ඉතිං  අපි අපේ මුල්ම වැඩසටහන බොහෝ දුරට 23 වන සඳුදා සවස 6.30 ට CITY FM ඔස්සේ ප්‍රචාරය කරනවා. එන්න අපිත් සමග එක් වන්න… ලංකාව තව පොඩ්ඩක් ඉදිරියට ගෙන යන්න තල්ලුවක් දෙන්න…. ට්‍රැෆික් එකේ හිරවෙලා යන අතරේ අපේ දිහාට හැරෙන්න… යමක් ඉගෙන ගන්න පුළුවන් වේවි….

අපි ගුවන්ගත වෙනවා….. 89.6 සහ 89.8 ඔස්සේ… සෑම සඳුදා සහ බදාදාම….

එන්න… අපේ ටකරං සද්දය අහන්න….

%d bloggers like this: