Blog Archives

පිටස්තරයා – 04


Episode 4 mainවිශ්ව සමාධි සූර්යබණ්ඩාර….

ඔව්…

වයස  අවුරුදු 30 යි…

හරි….

ඇයි ඔබ හාවඩ් වැනි විශ්ව විද්‍යාලයක තනතුරක් ලැබී තිබියදීත් මේ වගේ තැනකට එන්න බලන්නෙ… ඔබට හාවඩ් විශ්ව විද්‍යාලය කියන්නෙ මීට වඩා යමක් කරන්න පුළුවන් තැනක්.. ඒ වගේම බොහෝ ප්‍රසිද්ධියක් ලබන්න පුළුවන් තැනක්….මහාචාර්ය ලිපර්ඩ් සම්මුඛ පරීක්‍ෂණය ආරම්භ කරමින්ම විශ්වගෙන් ඇසුවේය.

මේ මගේ කැමැත්ත තිබෙන පැත්ත.. හාවඩ් විශ්ව විද්‍යාලයට ගියත් මට මගේ පර්යේෂණ වලට මෙතැන වගේ සම්පත් සහ උපකරණ ආදිය සොයා ගන්න අමාරු වෙයි… බලන්න ඔයාලා ලඟ තිබෙන අවම ඝර්ෂණය සහිත ප්‍රති ගුරුත්ව මේසය…. ඔයා හිතනවද මේ වගේ උපකරණයක් මට හාවඩ් විශ්ව විද්‍යාලයෙන් හොයා ගන්න ලැබෙයි කියලා…

මහාචාර්ය ලිපර්ඩ සහ නීල් ෆියු මුහුණට මුහුණ බලා ගත් අතරම නැන්සි සිය කටහඬ අවදි කළාය…

ඔයාගෙ ජීව දත්ත සටහනේ සඳහන් වෙනවා ඔයා බොහෝ ක්‍රීඩා කළ පුද්ගලයෙක් බව.. ඔයා කොහොමද බර්ක්ලි වගේ විශ්ව විද්‍යාලයක ඇති වැඩ කන්දරාවත් එක්ක මෙතරම් හොඳට විභාග සමත් වුනේ…

“බර්ක්ලි විශ්ව විද්‍යාලය වගේ තැනක මලල ක්‍රීඩාවට තැන දෙන අය හරිම අඩුයි. ඒ වගේම මම කුඩා කාළයෙ ඉඳලම වෙලාව හොඳින් කළමණාකරණය කරගෙන හිටපු කෙනෙක්, ඒ නිසාම මට අධ්‍යාපනයට කියලා විශේෂයෙන් අමතර කාළයක් යොදවන්න අවශ්‍ය වුනේ නැහැ.”

“අපි දන්නවා ඔයාට ඉතා හොඳ මතක ශක්තියක්, යමක් එකවරක් බැලූ විට මතක තබා ගැනීමේ හැකියාවක් (Photographic Memory) තිබෙන බව… අපට කියන්න පුළුවන්ද ඔයා ඒ හැකියාව ලබා ගත්තෙ කොහොමද කියලා…”

ඔහුගේ මුහුණේ සිනා රැල්ලක් දුටු පළමු අවස්ථාව එය විය…..

“ඔයා සෑහෙන්න ඇමරිකානු රූපවාහිනී වැඩසටහන් බලනවා වගෙයි…”

විශ්ව තරමක් උපහාසයෙන් පැවසීය….

“ඇමරිකානු රූපවාහිනී වැඩසටහන්වල කියැවෙන Photographic Memory කියන ප්‍රස්තූතය ඇත්තෙන්ම සත්‍යයක් නොවෙයි නැන්සි මහත්මිය.. ඔයා දන්නවා ඇති CIA නිලධාරිනියක් විදියට ඔබේ ආයතනයේවත් Photographic Memory ඇති අය නැති බව.. නමුත් මට හොඳ මතකයක් තිබෙනවා. එය Photographic Memory එකක් නොවෙයි.. මගේ අවධානය එකතැනකට යොමු කළ විට ඒ දේවල් හොඳින් මතක තබා ගැනීමේ ශක්තියක් තිබෙනවා. එය මනස පුහුණු කිරීමෙන් කළ හැකි දෙයක්…”

“ඔයා කොහොමද හිතන්නෙ මම CIA ආයතනයෙ කියලා….”

“නැන්සි මහත්මිය, ඔයාගෙ හැසිරීමෙන් අහන ප්‍රශ්නවලින් මට අනුමාන කරන්න පුළුවන් ඔයා එවැනි ආයතනයකින් පැමිණි අයෙක් බව, ඔබේ ලඟ ඇති ප්‍රශ්නවල ක්‍ෂෙත්‍ර දැනුමක් නැහැ. ඔයා මෙතැනට ඇවිත් තිබෙන්නේ පුද්ගල චර්යාවන් නිරීක්‍ෂණයට.”

නැන්සි පෙපර්ගේ දෑස් විශ්මයෙන් ඇළලෙනු එතැන සිටි බොහෝ දෙනාට දැනුනි…

“හොඳයි විශ්ව…. ඔයා ස්ටැන්ෆර්ඩ් සරසවියේ ආචාර්ය උපාධියට හැදෑරුවෙ ප්‍රති ගුරුත්ව ක්‍ෂෙත්‍ර පිළිබඳව… නමුත් බොහෝ ශිෂ්‍යයෝ ආචාර්ය උපාධියට හදාරන්නෙ මෙයට වඩා වෙනස් විෂයයන්, ඇයි මේ වගේ වෙනස් විෂයයක් තෝර ගත්තෙ ?”

“පෘථිවි පෘෂ්ඨයේ ගුරුත්වාකර්ෂණය කිසිවිටෙක එක හා සමානව පැතිරිලා නැහැ. සමහර ස්ථානවල වැඩි ගුරුත්වයකුත්, තවත් සමහර ස්ථානවල අඩු ගුරුත්වයකුත් පවතිනවා. උදාහරණයක් වශයෙන් බහමාස් දූපත් අසළ, ඉන්දියාවේ හිමාලය කඳුවැටියේ   පරිවාර කඳු සහ ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට දකුණින් රූමස්සල නම් ප්‍රදේශයේ පවතින්නේ බොහොම අඩු ගුරුත්ව ක්‍ෂෙත්‍රයන්. ඒ වගේම   අන්දීස් කඳු, පැසිෆික් සහ අත්ලාන්තික් සාගරයේ සමහර පෙදෙස්වල ගුරුත්‍ව ක්‍ෂෙත්‍රය බොහොම වැඩියි. මෙන්න මේ විසංකූලතා සහ තවත් ඓතිහාසික සාධක මත මම ගුරුත්‍ව ක්‍ෂෙත්‍ර පිළිබඳ හැදෑරීම තෝරා ගත්තා..”

“නමුත්, ඔයා ගුරුත්‍වය පිළිබඳ දරන ආකල්පය බොහොම වෙනස් දෙයක්….”

“ඔව්… මම ගුරුත්‍වය පිළිබඳ හිතන්නෙ එය වස්තූන් දෙකක් අතර වූ සම්බන්ධතාවයක් විදියට. සරළ උදාහරණයක් ගත්තොත් යම් කෙනෙක් තවත් කෙනෙක් වෙතට දරන ආකර්ෂණය හෝ විකර්ෂණය ඒ දෙදෙනාගේ ජීව රසායනය  අනුව වෙනස් වෙනවා ; එහෙමත් නැතිනම් අණු හෝ පරමාණු දෙකක් අතර බැඳීම ඒවායේ ආරෝපණ අනුව සහ වෙනත් සාධක මත වෙනස් වෙනවා. මේ බැඳීම් වගේම විශාල වස්තූන්වල ආකර්ෂණය විකර්ෂණයත් මෙන්න මේ කුඩා අණුක-පරමාණුක සම්බන්ධතා අනුව ගණනය කරන්න පුළුවනි. නමුත් බොහෝ දෙනා සිතාගෙන ඉන්නේ ගුරුත්‍වය බලපාන්නෙ විශාල වස්තූන්ට පමණක් බව, අපි පොළව අතගාලා වැලිකැටයක් ගත්තොත් එයටත් කිසියම් ගුරුත්‍වයක් තිබෙනවා.”

“ඔයාලා දන්නවානෙ ගුරුත්‍වය ගණනය කරන සරළම සමීකරණය.”

g = GM/r2

මෙහිදී ඔයාලට පේනවා ඇති  r  අගය ගුරුත්‍වයට ලොකු බලපෑමක් කරන බව. දැන් ඔබ වැලිකැටයක් වැනි කුඩා දෙයක්  සළකා බැලුවහොත්, අන්න ඒකටත් කිසියම් අරයක් තිබෙනවා. M  කියන්නෙ එහි ස්කන්ධය, G  ගුරුත්වාකර්ෂණ නියතය… මෙන්න මෙතැනදියි බොහෝ දෙනාට වරදින්නෙ.. ඒ වගේම නොසළකන්නෙ අපට මෙන්න මේ කුඩා වස්තූන්වල ගුරුත්‍වාකර්ෂණ නියතය හදාරන්න අපහසුයි පෘථිවි ගුරුත්‍වය බලපාන නිසා. නමුත්, අපට හැකි නම් පෘථිවි ගුරුත්‍වය නොසලකා හරින්න නැතිනම් ශුන්‍ය කරන්න, අන්න ඒ අවස්ථාවෙදි අපට පුළුවනි එක් එක් වස්තූන්ගෙන් අනෙක් දේ වලට ඇති ආකර්ෂණය – විකර්ෂණය ගණනය කරන්න. මගේ පර්යේෂණය වුනේ මෙන්න මේ ගුරුත්‍වය නොසලකා හැරිවිට සිදුවන අන්තර් සම්බන්ධතා පිළිබඳ අධ්‍යයනය. ඉතින්, ඔයාලට දැන් තේරෙනවා මම ඇයි හාවඩ් විශ්ව විද්‍යාලයට වඩා මෙතැනට කැමැත්තක් දක්වන්නෙ කියලා.

ඒ පිළිතුරෙන් සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයේ සිටි සිවු දෙනා පමණක් නොව සත්‍යය නිර්ණය කරන පොලිග්‍රාෆ් යන්ත්‍රය ක්‍රියාකරවන තාක්‍ෂණික නිලධාරියා ද සෑහීමකට පත්වනු විශ්වට දැණුනි.

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: Piece of Cake !

මැතිව් නාවික පර්යේෂණ ආයතනයෙන් පිටත්වන පිටවන විටම තමන්ට කියා ගත්තේය…….

33 වන මට්ටමේ මේසන්වරු ලෝකයේ සිටින්නේ අතලොස්සකි. රහස්‍යව පැවති අති බලවත් සමාජයක් වූ Free Masons නම් සමාජයට අයත් බලවත් පුද්ගලයින්ගේ ලැයිස්තුව එසේ මෙසේ එකක් නොවේ. ජෝර්ජ් වොෂිංටන්, බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්, ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්, එළිසබෙත් රැජිනගේ ස්වාමියා වන එඩින්බරෝ ආදිපාද ෆිලිප් කුමරු, වින්ස්ටන් චර්චිල් වැනි ලොව පාලනය කිරීමට සම්බන්ධ බලවතුන් ද, සුප්‍රකට කතා රචක සර් ආතර් කොනන් ඩොයිල්, ගලිවරය ලියූ ජොනතන් ස්විෆ්ට් වැනි ලේඛකයින්, ගගනගාමී එඩ්වින් ඕල්ඩ්‍රින් වැන්නවුන් මෙන්ම හිල්ටන් හෝටල් සමූහයේ නිර්මාතෘ චාර්ල්ස් හිල්ටන්, වෙන්ඩීස් අවන්හල් සමූහයේ නිර්මාතෘ  ඩේව් තෝමස් වැනි ව්‍යාපාරික දැවැන්තයන් ද, ඉන්දියාවේ ආගමික ගුරු ස්වාමි විවේකානන්ද  ඇතුළු ලෝ වටා වූ බොහෝ බලවත් පුද්ගලයින් රැසක් සාමාජිකත්‍වය දරන ඉතා බලවත් සමාජයක් වන මෙහි සාමාජිකත්‍වය ලබා ගැනීමට ද අතිශය අපහසු කරුණකි. එසේ ලබා ගන්නා සාමාජිකත්‍වය වරින් වර සිදු කෙරෙන සමත්කිරීම් සහ පරීක්‍ෂණවලින් පසුව මට්ටමින් මට්ටම ඉහළට ගොස් අවසන උසස්ම මට්ටම වන 33 වන මට්ටමට උසස් කරනු ලැබේ. එය අතිශය උසස් ස්ථානයකි. ලොව පුරාම 33 වන මට්ටමේ මේසන්වරු සිටින්නේ අතලොස්සකි. ඒ අතරට බලවත් රාජ්‍ය නායකයින් බුද්ධිමතුන්, ව්‍යාපාරිකයන් සහ සොලමන් පරම්පරාව මෙන් පාරම්පරික මේසන්වරු ද අයත් වෙති.

සිය පියාගේ සම්බන්ධතා මෙන්ම ආණ්ඩුව තුළ වූ මේසන්වරුන්ගේ බලපරාක්‍රමය මත මේ රැකියාව තමන්ට ලැබෙන බව දැන් ඔහුට ඉර හඳ සේ විශ්වාසය. තමා තරමක් උඩඟු බවක් පෙන්වුවත් එයින් තමාගේ නායකත්‍ව ගුණාංගයන් ඉහළට ඔසවා තැබෙන බව ඔහු කල්පනා කළේය. කවුරු සම්මුඛ පරීක්‍ෂණයට පැමිණියත්, තමන්ට මේ අවස්ථාව ලැබෙන බව ඔහුට තේරුම් ගොස් තිබුණි.

::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::: ඇලෙක්ස් සිය වාර්තාව සම්මන්ත්‍රණ කාමරයේ සිටි සිවු දෙනා වෙත ගෙන ගොස් පසෙක වූ සුවිශාල තිරය මත දිස්වන්නට සැලැස්වීය. තම ආයතනයේ ඇති පර්යේෂණ විද්‍යාඥ තනතුර සඳහා ඉදිරිපත් වූ අපේක්‍ෂකයින්ගෙන් අවසන් අදියරට පැමිණි තිදෙනාගේ පර්යේෂණ ඉදිරිපත් කිරීම්වල පරිඝණක විශ්ලේෂණයන් වෙන වෙනම සසඳා තිබුණි. ඒ අනුව පැහැදිලිවම පිළිතුරක් ලැබී තිබූ නමුත් පරීක්‍ෂණ මණ්ඩලයේ සිටි සිවුදෙනාම එකසේ එයට කැමති වූයේ නැත….

පරිඝණක වැඩසටහන හරි වෙන්න පුළුවන්… නමුත් අපට තියෙනවා නේද කිසියම් හැඟීමක්…Gut Feeling එකක්… එතකොට ඒකට කිසිම තැනක් නැද්ද මෙතැන ? නැන්සි නැවතත් සිය විරෝධතාවය පළ කළා….

නැන්සි… ඔබ දන්නවා අපි මෙතැන ගන්න හැම තීරණයක්ම තර්කානුකූලව ගත යුතුයි කියලා… හැඟීම් කියන්නෙ මිනිස්සුන්ගෙ බොහොම දුර්වල තැනක්… අපට වඩා ඔබ ඒක දන්නවා… නමුත් අපි යට වෙන්න හොඳ නැහැ සමාජ සම්බන්ධතා වලට…..

නමුත්, අපි මේ වාර්තාව මත පමණක් තීරණය ගන්න බැහැ නේද ? FBI එකේ පසුබිම් වාර්තාව එනකල් කවුරු වුනත් ඉන්නෙ එකම තැනක… ඒක අනුව නෙ අපි අවසාන තීරණය ගන්නෙ…

ඇත්ත.. නමුත් මෙයා තමයි අපට දැනට හොඳටම සුදුසු… අපි දැක්කා එයාගෙ ඉදිරිපත් කිරීම, කියන්න තරම් වැරැද්දක් ඇත්තෙම නැහැ.. තරමක් මුරණ්ඩු ගතියක් පෙන්වුවත් බුද්ධිමත්, මම හිතන්නෙ අපි පරිඝණක වැඩසටහන අනුව යා යුතුයි…

බලමු… තවත් වාර්තා එන්න තිබෙනවා නෙ…. එහෙනම් අපි ආයෙම කවදද හමු වෙන්නෙ.. මට මේක ඉක්මනටම අවසන් කරලා මේ  පර්යේෂණය ඉක්මන් කරන්න ඕන…. කල් දාන්න බැහැ..

සියළුම දෙනා සිය ජංගම දුරකථන වලින් සිය කාලසටහන් පරීක්‍ෂා කරන්නට වූහ….

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

හලෝ……… මට පුළුවන්ද දකුණු ආසියානු බුද්ධි බලකායේ මේජර් බෙන්ජමින් වයිට් ට කතා කරන්න… මම ජෙනරාල් වෙලිංටන්… NSA එකෙන්……

CIA මූලස්ථානයේ දුරකථන යතුරු පුවරුව ක්‍රියාකරවන මෙලිසා කොවැක්ස් සිය පරිඝණකයට ජෙනරාල් වෙලිංටන්ගේ නම ඇතුලත් කළාය.

ජෙනරාල් වෙලිංටන් මහත්මයා, කරුණාකර ඔබේ රහස් අංකය  ඇතුලත් කරන්න….

ජෙනරාල් වෙලිංටන් සිය දුරකථනයෙන් ඉලක්කම් කිහිපයක් ඔබා සිය අනන්‍යතාවය සහතික කළේය….

ස්තුතියි… ඉන්න මම සම්බන්ධ කරන්නම්…

අතිශය ආරක්‍ෂාකාරී මධ්‍යස්ථාන වල ඉහළ නිළධාරීන්ට පිටතින් කිසිවකු ඇමතීමේදී පිලිගැනීමේ නිලධාරිනිය හරහා යනවිට අදාල පුද්ගලයා රහස්‍ය භාවයෙන් නිදහස් කරන ලද ඉහළ නිලධාරියෙකු නම් ඔහුගේ/ඇයගේ පෞද්ගලික රහස් අංකයක් පරිඝණයකට ඇතුව කිරීම මගින් අදාල පුද්ගලයාට කෙලින්ම සම්බන්ධ විය හැකි වේ. එසේ නොවන කෙනෙකුගේ දුරකථන ඇමතුම බොහෝ විට පහළ නිලයක තාක්‍ෂණික නිලධාරියෙකු හරහා අදාල පුද්ගලයා වෙත යැවෙන්නේ උසස් නිලධාරීන්ගේ අනන්‍යතාවයත් ආරක්‍ෂාවත් සහතික කිරීම පිණිසයි.

මේජර් වයිට් කතාකරනවා….

මේජර්…. මම ජෙනරාල් වෙලිංටන්… NSA ප්‍රධානි…

ඔව් සර් මොකක්ද මගෙන් කෙරෙන්න ඕන….

මට ඔබෙන් තොරතුරු කිහිපයක් දැන ගන්න අවශ්‍යයි.. ඔබ නේද දකුණු ආසියානු කළාපයට අදාල බුද්ධි අංශය භාරව ඉන්නෙ. ?

ඔව් සර්…

මට එවන්න පුළුවන්ද 2006 ජුනි මස 06 වනදා ලෙබනනයේදි මියගිය එක්සත් ජාතීන්ගෙ සාම සාධක නිලධාරී සෙනරත් සූර්ය බණ්ඩාර සහ ඔහුගෙ පවුල පිළිබඳ වාර්තාව… මට ඒ සිදුවීම ගැන පසුබිම් වාර්තාවක් ගන්න අවශ්‍යයි…

හොඳමයි ජෙනරාල් තුමනි… මම විනාඩි කිහිපයකින් එය ඔබේ ආරක්‍ෂිත විද්‍යුත් තැපැල් ලිපිනයට ලැබෙන්න සලස්වන්නම්.

ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතීඥයෙකු වූ සෙනරත් සූර්යබණ්ඩාර රටේ ප්‍රසිද්ධ පුද්ගලයෙකු විය. ඉතා සාධාරණ සහ නීතිගරුක පුද්ගලයෙකු වූ ඔහු බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙකි. ඔහුගේ නීතිමය දැනීමත් ක්‍ෂෙත්‍රයේ විශේෂඥතාවයත් නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක හමුදාවන්ට උපදේශකත්‍වය සලසන නීති උපදේශක වරයෙකු ලෙස පත් කළ ඔහු, රටවල් කිහිපයක සේවය කළ පුද්ගලයෙකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා ගෞරවයට පාත්‍ර වූ ඔහු 2006 වසරේ ලෙබනන් යුද්ධය ඇරඹීමට දින 6 කට පෙර සිදු වූ අනතුරකින් සිය පවුලේ සාමාජිකයින් සමඟ ඝාතනය වීම එක්සත් ජාතීන්ගේ සංවිධානයට එක් වූ තවත් කළු පැල්ලමක් විය. එය වැඩිදුර හෙළි නොවී යටපත් කිරීමට බලධාරීන් සමත් වුවත් ජෙනරාල් වෙලිංටන් එය දැන් හාරා අවුස්සන්නේ කුමකටදැයි බෙන්ජමින් ට සිතා ගන්නට නොහැකි විය…..

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

අද දිනයේ සිදු වූ සියල්ල සිය පියාට පැවසිය යුතු බව මැතිව්ට වැටහුණි. තමාට වෙන්කර තිබූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ක්‍රවුන් ප්ලාසා හෝටලයට ගොස් සියළු බර බිමින් තැබූ හෙතෙම සිය ජංගම දුරකථනයෙන් පියාගේ කාර්යාල සහායිකාව ඇමතීය.

එල්… මම මැට්…

කියන්න මැට්….

තාත්තා ඉන්නවද කාමරේ….

ඔව් ඉන්න මම සම්බන්ධ කරන්නම්…..

පිය පුතු දෙපළ සම්බන්ධ කළ එලේනා දුරකථනය රඳවනයේ තැබුවාය.. මහාචාර්ය සොලමන්ගේ  සහායිකාව වන එලේනාට  මැතිව් නුහුරු පුද්ගලයෙකු නොවේ…. නමුත් අද  ඔහුගේ කඩහඬ වෙනස් බව ඇයට දැණුනි…. සමහරවිට ඔහු දිගු ගමනක් ගොස් ඇති නිසා අපහසුතාවයට පත්ව සිටිනවා විය යුතුය….

ස්ටැන්ෆර්ඩ් එක දාලා මැට් මොකට වොෂිංටන් යන්න හදනවද මන්දා ? ඇය තමාටම කියාගත්තාය…..

:::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::::

ජනරාල් වෙලිංටන් නීතීඥ සෙනරත් සූර්යබණ්ඩාරගේ අතීථය හාරා අවුස්සා සොයා ගන්නේ කුමක්ද ?

FBI ආයතනය විශ්ව ගැන සොයාගත් තොරතුරු නිසා ඔහුට කුමන ඉරණමක් අත්වේද ?

සිය පියාගේ බලපරාක්‍රමය නිසා මැට් රැකියාව ලබා ගනීද ?

ලබන සතියට…

 

Advertisements

දියුණු වෙවී ආපස්සට යමු…. ජීවිතය ලස්සන වේවි…… මෙවර රිවිර ලිපිය


අපේ ගමේ ආච්චිගෙ ගෙදර අවුරුදු තිස්පහකට විතර ඉස්සර හරිම අපූරු තැනක්. ගෙදර එළදෙන්නු හත් අට දෙනෙක් හිටියා. උන්ට කාලෙන් කාලෙට වසුපැටවුන් ලැබෙන නිසා අපට කවදාවත් එලකිරි වලින් අඩුවක් වුනේ නැහැ. හරක් බැඳලා තිබුණේ වත්තේ තිබුණු පොල්ගස් වල. උන්ගේ ගොම පෝර සියල්ලම එකතු වුනේ එක මඩුවකට.. සීයා ඒකෙන් පෝර හදනවා… දැන් අපි ලොකුවට ඕගැනික් පෝර කියන්නෙ මෙන්න මේ ගොම පෝර එකතු කරලා ග්ලිරිසීඩියා කොළ, දහයියා අළු ආදිය මිශ්‍ර කරලා හදන පෝර වලට. වත්තේ පහල හොඳට වැඩුන කොහිල ගාලක් තිබුණා. ඒ කොහිල ගාලට යාබදව තිබුණේ පොල් ලෙලි වලක්. ගෙදර එකතු වෙන පොල් ලෙලි සියල්ලම වාගේ එකතු වෙන්නේ එතැනට… පොල් ලෙලි වලේම වියළුණු පොල් අතුත් පල් වෙනවා. දින දෙක තුනක් පල්වන පොල් අතු ලස්සනට වියෙන්නේ අපේ අම්මගේ, පුංචි අම්මලාගේ සහ ආච්චිගේ අත්වලින්… පසුකාලීනව මමත් පොල් අතු වියන්න පුරුදු වුනා…

Related image

Image result for Sri Lankan village

සමහර දවස්වලට ආච්චි පොල් ලෙලි ගොඩ දානවා… පලාතෙ ඉන්න බෑ ගඳේ… නමුත් ටික වෙලාවකින් නහයට හුරු ගතියක් දැනෙනවා… පොල් ලෙලි එක්කම මඩ පුවක් ගෙඩිත් එලියට එනවා.. ඒවා දියට දාන්නෙ සීයා… සීයා ඒවා එකතු කරලා බුලත්විට කන්න වෙනම එකතු කරගන්නවා. පොල්ලෙලි වල ලඟම ඇති කොටයක් උඩ තබාගෙන පොල් ලෙලි තලන්න අපිත් උදවු වෙනවා… මුලින් අමාරු වුනත් සැරෙන් සැරේ වතුරෙ දාලා සෙමින් සෙමින් පොල් ලෙලි තලනකොට අවසානයේ ලස්සන සුදුපාට පොල් කෙඳි සහිත පොල් ලෙල්ලක් ඉතිරි වෙනවා. පොල් කෙඳි අතර ඇති කොහු බත් වෙනම ගොඩකට එකතු වෙන්නේ කිසිම දෙයක් අපතේ යවන්නෙ නැති සංකල්පය ඔස්සේ… ඒවා පසුව අර සීයාගේ කොම්පෝස්ට් ගොඩට එකතු වෙනවා.

Image result for coconut husk

පොල් කෙඳි පෑදුන පොල් ලෙල්ල වියලන්නේ එක්කෝ පැදුරක දාලා, නැතිනම් ලණුවක එල්ලලා… දවස් දෙක තුනක් වේලෙන පොල් කෙඳි ආච්චිගේ අතින් අපූරු කොස්සක් බවට පත් වන්නේ අපටත් නොදැනීම… තරමක් මහත මල්කෑර කෝට්ටක අගින් තැබෙන පොල් කෙඳි එකට බැඳෙන්නේ කොහු ලණුවකින්… එයත් තැනෙන්නේ අර කෙඳි වලින්මයි.. වියන්න බැරි පොල් අතුවල ඉරටු ගන්නට අපිත් සහභාගී වෙනවා. ඒ ඉරටු මිටි බැඳිලා මඩුවකට එකතු වෙනවා. ඒ ඉරටු මිටි ඉදල් බවට පත් වන්නේ කොසු නිපදවීමේ යාන්ත්‍රණය මගින්ම තමයි. ඉරටු හදලා ඉතිරිවන පොල් කොළ සහ පොල් නාරටි වියැලිලා කුස්සියේ පැත්තක එකතු වෙන්නෙ ඉවුම් පිහුම් වලට සහභාගි වෙන්න. ඒ අයට ගස් වලින් වැටෙන් කොලපු ආදියත් එකතු වෙනවා. සමහර කොලපු නම් අපූරු නිමැවුම් බවට පත් වන්නේ ඉස්කෝලෙ අත්වැඩ පීරියඩ් එකේදී.

Related image Image result for coconut broom

ගොම පෝර ගොඩ  සාරවත් වෙන්න ගෙදර ඇති කරන කිකිළියෝ කීප දෙනත් දායක වෙනවා. එයාල එක්ක බේර ගන්න බැරිම එලවලු පාත්ති ටික තමයි. කුඹුරේ එක කොණක් ගොඩ කරලා තැණුන එලවලු පාත්තියේ අයිතිකාරයා සීයා.. උදේ පාන්දර නැවුම් එළකිරි වීදුරුවක් බීලා කුඹුරට යන සීයා වැඩ අවසාන කරන්නේ එලවලු පාත්තියෙන්. එතැන නැති දෙයක් නෑ. මිරිස්, වම්බටු, බණ්ඩක්කා, කැකිරි, වට්ටක්කා, කරවිල, පතෝල, වැටකොලු ආදිය වගේම මුකුණුුවැන්න, සාරණ සහ නිවිති ඒ පාත්තියේ නිත්‍ය සාමාජිකයො… කුඹුර වටකර තිබෙන වේල්ල දිගට තියෙන්නේ කුරුඳු පඳුරු… අතරින් පතර කෙසෙල් පඳුරුත් නැතුවාම නොවෙයි… පතෝල වැටකොළු වගේ වැල් යවන්න ආධාර කරගන්නේ පාත්තිය වටා හිටවපු කිතුල් රීප්ප ආධාරකරගෙන ඇදුන ලණු සහ කෙසෙල් පිති තීරු ගසා හදාගත්ත පටි… වැඩීගෙන එන වැටකොළු, පතෝලා ආදිය පළතුරු මැස්සාගෙන් ආරක්‍ෂා වෙන්නේ පරණ පත්තර ආධාරයෙන් අපි හදලා දෙන කවර වලින්.. ඒ කවර වැල්වල ගැටගැසෙන්නෙ වියැළුණු කෙසෙල් පිති තීරු ආධාරයෙන්. පාත්තියට පෝර දැම්මට පස්සේ ඒවා තැන තැන විසුරවන්නේ කුකුළු හමුදාව.. ඒ අතරම ඔවුන් අතරින් පතර හැදෙන කුඩා තණකොළ ගසුත් ගලවන නිසා සීයා උන්ට මොනවත් කියන්නෙ නෑ… නමුත් එලවලු පැලයක් ගලවපු දවසට නම් සෑහෙන බැණුම් අහනවා…

පාත්තියේ පැත්තකින් මඤ්ඤොක්කා ගස් කීපයක්, බතල පාත්තියක්, ඉන්නල කන්දක් වගේම නිල් මානෙල් මල් හැදෙන පොඩි පොකුණකුත් තිබෙනවා. බතල කන්ද හාරන දවස අපේ ප්‍රියතම දවසක් කහ බතල දෙක තුනක් පස් එක්කම අමුවෙන්ම බඩට යන්නේ පෙරේතකම නිසාම නෙවෙයි, අනිත් අයට නොදී රස බලන්න තියෙන ආසාවට. බෝලවගේ මහත බතල ගෙඩියක් තිබුණාම ඒක පුංචි මම්මා වගේ කියන්නෙ ඇය පවුලෙම මහතට හිටිය කෙනා නිසා…. දැන් ඉන්න වල් ඌරො, ඉත්තෑවො ඉස්සර කාලෙ සීයගේ වගාවට කරදර කරන්න ආවෙ නෑ.. උන් කැලේට වෙලා උන්ගෙ වැඩක් බලාගෙන හිටියා… ඒ නිසාම අපට උන්ගෙ මස්වල රස බලන්න ලැබුණෙත් නෑ.. දැන් කාලෙ වගේ… පාත්තිය අයිනෙ තිබුණ පොකුණෙ නිතරම කිතුල් කඳක්, ගස්වල කඳන් කීපයක් පදම් වෙන එකත් සිදු වෙනවා.  මානෙල් මල් කඩන්න පොකුණට නැඹුරු වෙලා වැටිලා වතුර පෙවුන දවස් මතක් වෙනකොට තවමත් ජීවත් වෙලා ඉන්න එක ගැනත් පුදුමයක් තිබෙනවා. ඒ පොකුණ කොනේ පන් ගස් හැදුන පන් විලක් තිබුණා. කාලෙන් කාලෙට ඒ පන් කොළ කපලා වේලලා, කුකුළු සායම් දාලා පාට කරපු පන්වලින් පැදුරු සහ පන් මලු වියන එකත් ආච්චිගේ විනෝදාංශයක්.

බොහොමයක් දෙනා නිදා ගත්තෙ පන් පැදුරු වල, සීයා නම් නිදා ගත්තෙ ලණු ඇඳේ.. ලණු ඇඳ උඩ දාපු පැදුර කියන්නෙ දැන් භාවිතා වන හැම මෙට්ටයක්ම පරදන දෙයක්. ඇඟේ හැඩයට වෙනස් වෙන ගතිය වගේම අංශක 360 න්ම වාතාශ්‍රය ලැබෙන, නිදා ගන්න අවස්ථාවෙත් ශරීරය සම්බාහනය වන අපූරු ක්‍රමයක්. මේ නිසාම මිනිසුන් නිරෝගීව උදේ අවදි වුනා කියන්න පුළුවන්. පන් මලු කියන්නේ ස්වභාවික ද්‍රව්‍ය වලින් සැකසූ මලු. මේවා කාලයක් පාවිච්චි වෙනවිට දිරන්න පටන් ගන්නවා ස්වභාවිකවම දිරන මේ මළු අවසන් වෙන්නේ වත්ත පහල කුණු ගොඩෙන්. නමුත් ඒවා පරිසරයට හානියක් නෑ.. පරිසරයෙන්ම ඉපදිලා පරිසරයෙන්ම අවසන් වෙනවා.

කුඹුරෙ වතුර බඳින කාලෙට අපට හරි ජොලි. ඒක තමයි අපේ පිහිණුම් තටාකෙ. දැන් වගේ කෘමිනාශක ගහන්නෙ නැති නිසා වතුර ඇත්තෙන්ම පිරිසිදුයි. අස්වැන්න නෙළුවට පස්සෙ කුඹුර තමයි අපේ පිට්ටනිය. කුඹුරේ ලොකු වලවල් හාරලා සුදු වැලි ගොඩ දාන්නෙ මේ කාලෙට. අඩි දෙක තුනක මඩ අයින් කළාට පස්සෙ මතු වෙන්නෙ සුදුම සුදු සුදු වැලි. ඒකට අපි හැමෝම උදවු වෙනවා. වැලි ගොඩ දාපු වලවල් වල වතුර පිරුණාම ඒකත් අපිටම තමයි. හැබැයි දැන් ළමයි වගේ ඒවයෙ පැනලා ගිලිලා මැරෙන්න නම් ගියේ නෑ අපි…

Image result for Sri Lankan village

වත්තේ හැම තැනම තිබුණ පළතුරු ගස් නම් අවුරුදු තිහක් ගිහිල්ලත් තවම ඒ වගේම තිබෙනවා. මැංගුස් ගහ ඉස්සර වගේම පළදාව දුන්නත්, ඒක මහ ගහක්… ඉස්සර අත්තෙන් අත්තට නැගපු අපි දැන් මැංගුස් කඩන්නේ රිටක උදවුවෙන්.. වත්තේ තිබුණ මහා ඩොංගා ගස් දෙක නම් ලී බවට පත් වුනා… අගෝස්තු මාසෙ ගෙඩි හැදෙන ඩොංගා ගහට පොලු ගහලා කහපාට ඩොංගා කඩාගෙන කන එක මේ ලියන වෙලාවෙත් කටට කෙළ උණනවා. ඩොංගා ඇට ගිලුනාම පස්සෙන්දා ඒවා අයින් කරගන්න සෑහෙන වෙහෙස මහන්සියක් දරන්නත් වෙනවා. ඒකට උදවු වෙන්නේ වත්තේ හැදෙන පැපොල් ගහේ ගෙඩි… ඒ කාලේ කොච්චර පැපොල් කෑවද කියනවා නම් දැන් පැපොල් කන එක එපා වෙලා තියෙන්නෙ.

පොල් වගේම කිතුල් ගසුත් වත්තෙ තැනින් තැන තිබුණා… මලක් පීදීගෙන එන කාලෙට ගමේ ඉන්න කෙනෙක් ඇවිත් ගහ හැර ගහනවා. හැර ගහනවා කියන්නෙ ගහට සවිමත් පොලු තබා බඳිමින් ඉහලට යන්නට මගක් පාදා ගන්න එක… ඒකෙ තේරුම අපට පැණි සහ හකුරු ලැබෙනවා කියන එක තමයි. මල් කපන එක කලාවක්, එයටම වෙන් වූ පිහිය අපි කාටවත් අල්ලන්න ලැබෙන්නෙ නෑ… ඇල්ලුවොත් වෙන්නේ ඇඟිල්ලක් දෙකක් කැපෙන එක විතරයි… ඒ තරම් මුවහත්, මල පීදෙන කාලෙට නැවුම් මුට්ටියක් ඇතුලත පුච්චලා සකසා ගන්නවා.. සමහර විට මුට්ටි දෙකක් තිබෙනවා. එකක් පැණි සෑදීමට අවශ්‍ය තෙලිදිය ගන්න. ඒකට සුවිශේෂී ගස් ජාතියක පොතු දමා තෙලිදිය පැසවීම නවත්වා ගන්නවා. අනෙක් මුට්ටිය එල්ලන්නේ රා වලට අවශ්‍ය තෙලිදිය ලබා ගන්න. ඒවා අපට අකැපයි.

ලොකු හට්ටියකට හැමදාම එකතු වෙන තෙලිදිය ලිපේ පැසෙන්නෙ ආච්චිගෙ අධීක්‍ෂණයෙන්. දිනක් දෙකක් එසේ පැසෙන තෙලිදිය පිටතට එන්නේ කිතුල් පැණි ලෙසින්. ඒ කිතුල් පැණි එකතු වෙන්නේ තවත් මුට්ටියකට, සමහර වෙලාවට පැණි තව තවත් හිඳවලා හකුරුත් හැදෙනවා.

Image result for කිතුල් පැණි හකුරු පදම වෙනස් වුනාම හැදෙන්නේ ලාකඩ වගේ ජාතියක්.. ඒවා ගුණසිරි බුල්ටෝ වගේ…අයිතිය අපට.. එයින් ගුලියක් කටේ දාගෙන දවස පුරාම උඩ තල්ලෙයි යට තල්ලෙයි අලවගෙන කෙල පෙරාගෙන කන එකත් අපේ විනෝදාංශයක්… සමහර වෙලාවට පැණි මුල් හැදෙනවා. පුවක් ගසක කොලපොතක් පිරිසිදු කරලා හොඳින් පැසක් හදලා එයට පැණි දාලා ලිපට උඩින් ඇති අගුවේ එල්ලනවා. කොළපොත තුලින් තව තවත් ජලය වාෂ්ප වෙලා පැණි මුල ඇතුලෙ හැදෙන්නෙ වැලි හකුරු… ඒ වැලි හකුරු කියන්නේ සීනි ස්ඵටික. ඒවා මාර රහයි… කර කර ගාලා හැපෙන්නෙ… පැණිමුල් එල්ලන්නෙ කුස්සියේ දුමේ. දුම කියන්නෙ ලිපට උඩින් ලී ආධාරයෙන් සැකසුන ගබඩාව, කොස් ඇට, ගන්දෙල්, වියැළුණු බත්, කරවල, උම්බලකඩ ආදී ආහාර වගේම යම් ප්‍රමාණයකට දර ගොඩකුත් එතැන එකතු වෙන්නෙ වැහි කාලයට භාවිතා කරන්න.  එතැන ගින්දර රස්නයට සියල්ලම හොඳින් වේලෙනවා. මේකත් ලිපෙන් හානි වන තාපය භාවිතා කරන එක ක්‍රමයක්.

Image result for පැණි මුල

වත්තෙ පැත්තක ඉඟුරු පාත්තියක් සහ කහ පාත්තියක්, ඒකට දාන්නෙ වී පොතු, පස බුරුල් වෙලා අල හොඳට බහින්න. හීං අරත්ත, ආඩතෝඩා, ඇත්තෝර, විසකුම්භ, වගේ බෙහෙත් ජාතිත් වත්තෙම පැත්තක තිබෙනවා. සීයගෙ ආදරණීයම වගාව තමයි බුලත් වැල්ටික. කවුරු ආවත් කඩන්න දෙන්නෙ නැතුව තමන්ම කඩලා දෙන්නේ, බුලත් වැල් වලට ලෙඩ බෝ වන නිසා. ඊට අමතරව ගම්මිරිස් වැල් කීපයක්, කරාබු ගහක් ආදිය වත්තේ කොතැනක හෝ තිබුණා. මේ නිසා ඇත්තෙන්ම ජීවන රටාව හරිම ස්වයංපෝෂිතයි. සියල්ලම තමන් විසින්ම සපයා ගනු ලැබුවා.

ගෙදර හැමෝම වැඩට උදව් වෙන නිසා හැම දෙනාම වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. දර අහුලන්න, පලා කඩන්න වගේම කුඹුරේ එළවලු පාත්තියේ වැඩ කරන්න හැමෝම යනවා. නාන ලිඳ සවස් තුන්සිය හැටපහ පුරාම උතුරලා යනවා.. ඒ අසල කණ්ඩියෙන් ඉපදිච්ච උල්පත්වලට තේ කොල තියලා පීලි හදන එක නාන්න ගියාම අපේ විනෝදාංශය. පණිට්ටුව ලිඳට ගහලා වතුර පණහක් නාන්නෙ සබන් ගාන්න… වතුර පණිට්ටු සීයක් කියන්නෙ සෑහෙන නෑමක්, ඒ වගේම ඇඳට හොඳ ව්‍යායාමයක්. මේ නිසා දැන් වගේ  තඩි බඩවල් කාටවත් තිබුණෙ නෑ..ජිම් නොගියත්, හොඳට කට්ස් දාපු ඇඟවල් කීපයක්ම ගමේ තිබුණා.. කාන්තාවන් වුනත් බොහොම නිරෝගීව සිටියෙ…

උණක් හැදුනාම සීයා තෙල් මතුරනවා. ඒ මන්තර වල වැඩිහරියක් තිබුණෙ බුදුගුණ. කහ ඩිංගක් උරච්චි කරලා සුදු හඳුන් පොඩ්ඩක් දාපු තෙල් හරිම සුවඳයි. තෙල් මතුරලා ඉවරවෙනකොට ලෙඩත් හොඳයි. ඉඟුරු කොත්තමල්ලි වෙනිවැල් ගැට තම්බපු වතුර වේල් දෙකක් බීවාම ඕනම ලෙඩක් නිට්ටාවට සුවයි.

හවසට අපි ඔක්කොම රේඩියෝව ලඟට කිට්ටු වෙන්නෙ මුවන් පැලැස්ස අහන්න… සමහර දවස්වලට හන්දියේ ගෙදරත් අහනවා.. පරණ අයට මතක ඇති. වේවැලක් නැති පාසැලක් කතාව තමයි ලමා අපට වැදගත්, ඒකෙ හිටපු ජිල්ජෝනා සහ වැන්දබෝනා ගෙ චරිත මතක හිටින ඒවා..හවස් වෙනකොට සීයා පැට්‍රල්මැක්ස් එකට භූමිතෙල් දාලා හුලං ගහනවා. ඒ හුලංපාරත් එක්ක මැද තිබෙන රෙදි මැන්ටල් එක රිදී පාටින් බබලනවා. වැඩිය දැඟලුවොත් ඒක කැඩෙනවා… ඒ නිසාම එතැන අපට තහනම්. සාලෙ ඒක එල්ලුවාම මුළු ගෙදරම එලියයි. අනෙත් කාමරවලට චිමිනි ලාම්පු.

ඒ ජීවිතය පහසුකම් අඩු වුනත් සරළයි. මුළු ජීවිතයම බද්ධ වෙලා තිබුණෙ පරිසරයත් එක්ක… උදෑසන අවදි වූ වෙලේ පටන් මිනිස්සු ජීවත් වුනේ පරිසරයත් එක්ක.. ඒ වගේම රෑට නින්දට යනකොට උදේ තිබුණ පරිසරය ඒ වගේම තිබෙනවා. පරිසරයට අළුතෙන් යමක් එකතු වුනේ නැහැ. හැම නිශ්පාදනයක්ම, හැම කාර්යයක්ම පරිසරයට අනුබද්ධයි. කුණු කඳු ගොඩගැහුනෙ නෑ…පරිසරය විනාශ වුනේ නෑ.. ගමේ වගේම නගරයෙත් ඒ සුන්දරත්වය තිබුණා.

මේ ජීවිතය සංකීර්ණ වෙලා වෙනස් වෙන්න පටන් ගත්තේ ගමට විදුලි බලය, දුරකථන පහසුකම් එකතු වීමත් එක්ක. ගමේ පාරවලට තාර දැමුනා… මෙච්චර කාලයක් පස් එක්ක හැපිපිච්ච කකුල් වලට සෙරෙප්පු වැටිලා පොළවත් එක්ක තිබුණ සම්බන්ධය නැති වුනා.. ඒත් එක්කම රූපවාහිනිය ගමට ආවම, ඉස්සර රෑට ඔක්කොම එකතු වෙලා පිල උඩ හෝ වෙනත් තැනක තිබුණ සතුටු සාමීචිය රූපවාහිනියේ නළු නිළියෝ කියන කරන දේ බලන් ඉන්න තැනට පත් වුනා. මිනිස්සු ටික ටික එකිනෙකාගෙන් ඈත් වෙන්නත් ඇති… අපටත් අළුත් වීරයෝ ඇති වුනා… නයිට් රයිඩර් වගේ බයිසිකලේ උඩින් පන්නන්න ගිහින් තරු පෙණුන වාර අනන්තයි.. පරිසරයට අනුබද්ධ නිශ්පාදන වෙනුවට ප්ලාස්ටික් බෑග් ආවා. ඒවා නොදිරන නිසාම පරිසරයේ එකතු වුනා.. අවුරුදු විස්සකට එහා තිබූ සමහර අසුරන ද්‍රව්‍ය දැන් පවා කුණුගොඩක් ඇවිස්සුවොත් හොයා ගන්න පුළුවන්.

අළුත් ජීවන රටාව පහසුයි… හැම දෙයක්ම අතට පයට. වාහන හැම තැනම.. එක බයිසිකලයක් හෝ නැති ගෙයක් හොයා ගන්නවට වඩා ලේසියි නොමල ගෙයකින් අබ ඇට මිටක් හොයා ගන්න එක.. ගම පුරාම ඇවිදපු කකුල්වලට විරාමයක් ලැබුණා වගේම ඇඟටත් විවිධාකාර රෝග ගොඩ වුනා.. ඉස්සර දියවැඩියාව, හෘද රෝග, පිළිකා නොදැකපු අපේ ශරීර, ඒවා නැතිනම් පුදුමයක් වන තත්ත්‍වයට පත් වෙලා. මිනිස්සු කම්මැලි වෙලා.. ගෙදර වත්තේ කොච්චර ඉඩ තිබුණත්, වෙලාව කොච්චර තිබුණත් හැම එළවලුවක්ම කඩෙන් ගේන්න, එකතු වෙන හැම කුණුගොඩක්ම නගර සභාවට දෙන්න පුරුදු වෙලා.. අච්චර ලස්සනට තිබුණ ජීවිතේ.. හිතාගන්න බැරි තරමට වෙනස් වෙලා…

දියුණුව හොඳයි… අපි ඉදිරියට යා යුතුමයි… ඒ දියුණුවත් එක්ක අපි බොහෝ දෙයින් පස්සට ගිහින්… අධ්‍යාත්මිකව, මානසිකව, ශාරීරිකව, චර්යාත්මකව අපි ඉන්නේ ඉස්සර මිනිස්සුන්ට වඩා බොහොම පිටුපසින්…තවමත් අපි ප්‍රමාද නෑ.. පොඩ්ඩක් හිතලා වෙනස් වෙන්නයි ඕන.. වෙනස් වීම අමාරුයි. අපි අපේ රටාවෙන් බැහැරට යනවා කියන්නෙ බොහොම අමාරු දෙයක්. නමුත් ඒ වෙනස දවසෙන් දවස හුරු කර ගත්තොත් තව වසර කිහිපයකින් හෝ අපි අළුත් වේවි.

දියුණු වෙවී ආපස්සට යමු…. ජීවිතය ලස්සන වේවි…..

 

සෙත් ශාන්ති මොකුත් නැතිව දියුණු වෙන්න සැකක් නැතිව…. රිවිනෙත මෙවර ලිපිය


බ්ලොග් ලෝකයෙන් පත්තර ලෝකයට තියපු පා සටහන තව දුරටත් ඉදිරියට යනවා. මේ දෙවන පියවරේ ප්‍රතිපලය. මගේ ලිවීම ගොඩක් තාක්‍ෂණික බව මටම පේනවා. නමුත් ඒක තමයි මගේ ක්‍රමය – ඉට්ටැයිල් එක.

සාමාන්‍ය ව්‍යවහාරයට පුළුවන් තරම් ලං වෙන්න ලියන්නයි උත්සාහය… මේකට රිවිරේ රිවිනෙත කතෘතුමා ලොකු උදව්වක් දෙනවා. එතුමටත් සාධාරණයක් කරන අතරේ මමත් දිගටම ලියන්නයි උත්සාහය…

ලිපිය කොපි කරලා පළ කරන්න නම් අවසර නෑ…

නමුත් මේ තියෙන්නෙ ලිපියට සබැඳිය…

ඉස්සර බ්ලොග් එකේ වගේම මේ ලිපි ගැන විවේචන කරන්න තවමත් ඔබට අවස්ථාව තියෙනවා. එය මට තව තවත් දියුණු වෙන්න උපකාරයක් වේවි.

http://www.rivira.lk/online/2017/06/24/115286

 

%d bloggers like this: