Blog Archives

01-01-11 ඔබ යන්නේ කොහිද ? කෙසේද ?


අද ජනවාරි පළමු වෙනිදා. රෑ තිස්සේ පාටි දාලා ඇහැ ඇරෙනකොට උදේ 10 යි.  ඇල්කෙමිච්චි හදපු කිරිබත් දහවල් බුද්ධ පූජාවට තියලා, ඒකෙන්ම සප්පායම් වෙලා වොෂිංටන් බෞද්ධ විහාරයට ගියේ අවුරුද්දේ මුල ආගමික වතාවත් වලින් පටන් ගන්න. බණට යන්න පරක්කුයි වේග සීමාව පසු කරලා ගියා නම් බණ පටන්ගන්න වෙලාවටවත් යන්න තිබුණා. අපි පන්සලට යනකොට බණ ඉවරයි. ඒත් දුකක් නෑ… පස්සේ හාමුදුරුවෝ හමුවෙලා හොඳ බණ ටිකක් සාකච්ඡා කළා…..

ඒ අතරමඟ කතාවුනේ මිනිස්සු සංසාරේ යන ගමන ගැන… ඒකත් හරියට පාරේ වාහන එළවනවා වගේ…..

පාරේ මිනිස්සු වාහන එළවන විදිය දැක්කාම මට හිතුනේ කොහෙද මේ මිනිස්සු මෙච්චර කළබලේ යන්නේ කියලා. පාරේ වේග සීමාව පැයට සැතපුම් 65 ක් වුනත් සමහරු යන්නේ 85-90 ට පමණ…. ඒ සමහරු පොලීසියේ රේඩාර් එකටත් අහුවෙලා තිබුණා… විනාඩි ගාණක ඉතිරියට, එකසිය ගානට දඩ… ඒ විතරක් නෙවෙයි, පොඩ්ඩක් වැරදුනොත් කෙළවර වෙන්නේ එක්කෝ මරණයෙන්,  නැත්නම් බරපතළ තුවාලවලින් සහ සෑහෙන අලාභයකින්….. තවත් සමහරු වීරයෝ වෙන්න ගිහින් විහින් නහිනවා… තවත් සමහරු මඳ පමණට සුරාව රාගෙන ඉස්කාගාරයක් තරමට වෙරි වෙලා වාහන පදවනවා. මේ අයගේ වීරකම් වලින් මිය යන්නේ ඔවුන් පමණක් නොවෙයි. අහළ පහළ අයත් අමාරුවේ වැටෙනවා…

ගිය අවුරුද්දේ ජනවාරි පළමු වෙනිදා අපේ නගරයේ ලොකු වාහන අනතුරක් වුනා. අනතුරට භාජනය වුනේ ගැහැණු ළමුන් දෙදෙනෙක්. එක් අයෙක් අපේ විශ්ව විද්‍යාලයේ අති දක්‍ෂ සිසුවියක් ලු. අනෙකා අධික ලෙස බීමත්ව රිය පදවා රියදුරු බලපත්‍රය පවා අහිමි කරගත් තැනැත්තියක්… ඒ අනතුරට හේතු වුනේ ඒ බීමත් ඉතිහාසයක් ඇති තැනැත්තියයි. ඒ අවස්ථාවෙදිත් ඇය බීමත්වයි ඉඳ ඇත්තේ…. කෙසේ හෝ මියගියේ ඇය නොවෙයි… අර සමාජයට වැඩක් කළ හැකිව තුබූ දක්‍ෂ තරුණියයි.  මේ අවස්ථාවේ එතැනට පැමිණි පොළිස් නිළධාරියෙක් පවසා ඇත්තේ මියගොස් තිබෙන්නේ  ජිවත්ව සිටිය යුතු තැනැත්තිය මිය යාමත්, මිය යා යුතුව තිබූ තැනැත්තිය ජීවත් වීමත් අවාසනාවට කරුණක් බවයි.

ලංකාවේ වසරකට වාහන අනතුරු වලින් මිය යන සංඛ්‍යාව 10,000 ක්… මෙය මහා ලොකුවට හැමෝම කෑ ගසන ඩෙංගු, H1N1, ආදී සියළුම රෝගවලින් මිය යන ප්‍රමාණයට වඩා වැඩියි… මේවායින් බොහොමයක් වැලැක්විය හැකි අනතුරු…..

අපි අද පටන් හිතමු… අප යන්නේ කොහේද ? කෙසේ යා යුතුද කියා….

මිනිසා යනු සමාජයීය සත්ත්‍වයෙක්. අපේ ජීවිත තනිව ගොඩ නැඟී නැහැ. අපි හැමදෙනාම – හැමට සම්බන්ධයි… ඒ සම්බන්ධයට ගරු කළ යුතුයි… අප ජීවිතය ගැන තනි අයිතියක් අපට නැහැ. ඒ නිසා ක්‍ෂණික තීරණ ගන්න නිසා, වගකීම් රහිත තීරණ නිසා අමාරුවේ වැටෙන්නේ ඔබ පමණක් නොවෙයි..ඒ නිසා අපි වගකීම් සහිත පුරවැසියන් වෙමු.

පොඩ්ඩක් හෙමින් ගියා කියලා වාහනේ ගෙවෙන්නෙ වත්, යා යුතු තැනට පැය ගණනක් පරක්කු වෙලාවත් යැවෙන එකක් නැහැ.. එහෙම පරක්කු වෙනවා කියලා සිතෙනවා නම් වේලාසනින් යන්න… හදිසිය මත අනතුරුදායක ලෙස ගිහින් අමාරුවේ වැටෙනවාට වඩා හෙමින් ගමන හැමදාම හොඳයි…

හාවගෙයි ඉබ්බගෙයි රේස් එකෙනුත් දිනුවේ ස්ථාවරව හෙමින් ගිය ඉබ්බා…..

මොලේ ඇති ඉබ්බෙක් වෙන්න…. මෝඩ හාවෙක් වෙලා අකාලයේ මිය යනවාට වඩා ඒක ඵලදායකයි…..

%d bloggers like this: